Monday, July 1, 2013

විශේෂ ඩෙංගු මර්දන සතිය අද සිට

dengue
ඉතා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා වූ විශේෂ ඩෙංගු මර්දන සතිය අද (01)සි‍ට ලබන 07 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. 2013 වසර සඳහා වන ‍‍දෙවැනි ඩෙංගු මදුරු මර්දන සතිය මෙයයි.

ඩෙංගු මදුරු මර්දනය සඳහා අන්තර් අමාත්‍යාංශ කමිටුවක් පිහිටුවා ඇත. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද විශේෂ කැබිනට් පත්‍රිකාවක් මඟින් මෙම කමිටුව පිහිටුවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මෙම අන්තර් අමාත්‍ය කමිටුව සෞඛ්‍ය, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන, අධ්‍යාපන, පළාත් සභා හා පළාත් පාලන,පරිසර යන අමාත්‍යාංශවලින් සමන්විත වේ. මෙම අන්තර් අමාත්‍ය කමිටුව විසින් ඩෙංගු මර්දන සතිය තුළ දී විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සඳහා පාසල් සිසුන් හා දෙමාපියන් ද මේ වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට නියමිතයි.

සියලු අමාත්‍යාංශවලට අයත් දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරි ඇතුළු සියලුම ආයතන ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. ජාතික මදුරු මර්දන සතියෙන් පසු එම ආයතන සියල්ලම වෙන් වෙන් වශයෙන් වූ මදුරු මර්දන සති ප්‍රකාශයට පත් කර වැඩසටහන් දියත් කිරීම අනිවාර්ය වේ.

එසේ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරන මදුරු මර්දන වැඩසටහන් පිළිබඳ වාර්තාවක් මාස 03කට වරක් ඩෙංගු මර්දනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි.

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි. 

රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි