Wednesday, July 3, 2013

මාස 6-12 දරුවන් සඳහා විශේෂ සරම්ප ප්‍රතිශක්‌තිකරණ දිනයක්‌ 5 දා

මාස 6-12 දරුවන් සඳහා
විශේෂ සරම්ප ප්‍රතිශක්‌තිකරණ දිනයක්‌ 5 දා



දිවයිනේ වයස අවුරුද්දට අඩු ළදරුවන් අතර සරම්ප රෝගය (මීසල්ස්‌) වසංගත තත්ත්වයෙන් පැතිර යන බව අනාවරණය වීම නිසා මාස 6 ත් අවුරුද්දත් අතර සෑම ළදරුවකුටම සරම්ප එන්නත අමතර වේලක්‌ වශයෙන් ලබා දීමේ විශේෂ දීපව්‍යාප්ත ප්‍රතිශක්‌තිකරණ වැඩසටහනක්‌ මෙම සිකුරාදා (5 දා) ක්‍රියාත්මක කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම වසරේ ගත වූ මාස හය ඇතුළත දිවයිනෙන් සරම්ප රෝගය වැළඳුණු ළමුන් 600 ක්‌  පමණ වාර්තා වී ඇති අතර ඔවුනගෙන් සියයට 60 ක්‌ පමණම වයස අවුරුද්දට අඩු ළදරුවන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

මෙය පසුගිය වසරවල මුල් මාස හය තුළද වාර්තා වී ඇති සරම්ප රෝගී දරුවන්ගේ සංඛ්‍යාවට වඩා විශාල වැඩිවීමක්‌ බව ද ඔහු කීවේය.

දැනට ජාතික ප්‍රතිශක්‌තිකරණ වැඩසටහන යටතේ සරම්ප රෝගයෙන් ආරක්‍ෂාවීම සඳහා වයස අවුරුද්ද සම්පූර්ණ වූ දරුවන්ට සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා එන්නත (එම්. එම්. ආර්.) ලබාදෙන අතර එහි වාර්ෂික ආවරණය සියයට 99 ත් සියයට 100 ත් අතර පවතී.

සරම්ප රෝගය සඳහා ප්‍රතිශක්‌තිකරණය ලැබූ දරුවන් ද එම රෝගයට ගොදුරු වී තිබිය හැකි අතර එම තත්ත්වය ඉදිරියේදී ඇතිවීම වැළැක්‌වීම සඳහා එම්. එම්. ආර්. එන්නත ලබාගත් දරුවන් ඇතුළු මාස 6-12 අතර වයස්‌ කාණ්‌ඩයේ පසුවන සියලු දරුවන්ට මෙම 05 වැනිදා දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් සරම්ප එන්නත අමතර වේලක්‌ වශයෙන් ලබාදෙන බව එම ප්‍රකාශකයා කීවේය.

මේ අනුව මෙම 05 වැනිදා විශේෂ සරම්ප ප්‍රතිශක්‌තිකරණ දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එදිනට ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගොස්‌ තම දරුවාට සරම්ප එන්නත ලබාදෙන ලෙස මවුවරුන්ගෙන් ඉල්ලීම් කෙරේ.


ඒමන්ති මාරඹේ

http://www.divaina.com/2013/07/02/news04.html
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි