Friday, July 12, 2013

තාත්තේ මම හරි ආසයි ......... අර කඩේ තියෙන ලස්සන බෑග් එකට ...

දරුවන්ගේ ලෝකයේ ඔබට හිමි තැන රැකගන්න


පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදො....
උන්ගේ සිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකිවේදො.....
.

දරුවන්ට මාපිය සෙනෙහස තරම් වටිනා සම්පතක් මේ මිහිපිට නොමැත. ජීවිතයේ දහසකුත් බලාපොරොත්තු සිතේ හොවාගෙන ගුරු ගෙදරට යන අහිංසක දරුවන්ගේ ලෝකයේ එකම රැකවරණය වන්නේ මවුපියන්ය. මවුපියන් තම නිවෙසේ ආදරෙන් සිටිනු දැකීම තරම් සතුටක් දරුවන්ට වෙන නොමැත.
පිය සෙනෙහස බිඳීගිය මොහොතක දරුවන් අසරණ වනු නොඅනුමානය. තම පියාගේ වරද දකින දරුවන් 'බුදු තාත්තේ බොන්න එපා.....' යැයි හඬා වැටෙනු අප දැක ඇත. ඔබත් මේ වරද සිදුකරන්නේද? ඔබ එසේ කරන්නේ නම් ඔබ අතින් සිදුවන අනිසි විපාකවලටද ඔබ වගකීමට සූදානම් විය යුතුය.

ශ්‍රී ලංකාව තවමත් පිතෘ මූලික සමාජයකි. පවුල තුළ සිදුවන සියලුම ක්‍රියා සිදුවන්නේ ගෘහමූලිකයාගේ මූලිකත්වයෙනි. නාගරික ප්‍රදේශ හැරුණු කොට බොහෝ ගම්වල මවුවරුන් රැකියාවට නොයති. පවුලේ සියලුම බරට උරදෙන්නේ පියාය. තම පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා රෑ වෙහෙසවී ඔවුහු වැඩ කරති. කුමන වෘත්තියක නියැළී සිටියද ඔබ නිවෙසට එනතෙක් දරුවන් බිරිය බලා සිටිති. ඔබ තුළ ඇති මහා පෞරුෂයට දරුවෝ ආදරය කරති. ඔබ තුළ ඇති මහා අභිමානයට දරුවෝ ගෞරව කරති. රැකියාව නිමවී නිවෙසට එන තම පියා ආදරෙන් වැලඳ ගනිමින් ඔවුන් ඔබ පසුපස එන්නේ ඔබ කෙරෙහි ඔවුන් හද තුළ ඇති ආදරය සෙනෙහස නිසාය.

තාත්තේ........ මට මොනවද ගෙනාවේ
තාත්තේ.......... මට අද පින්තූර කොළයක් ගෙනාවද?
තාත්තේ මම හරි ආසයි ......... අර කඩේ තියෙන ලස්සන
බෑග් එකට .... මට තාත්තා ඒක ගෙනත් දෙනවාද?

එක් වෙලාවකට ඔබ දරුවන්ට සිතූ පැතූ සම්පත් ලබාදෙන .... තවත් විටෙක ඔබ නිවෙසේ මුදල් උපයන යන්ත්‍රයක් මෙනි. එබැවින් දරුවන්ගේ ලෝකේ රජ කෙනෙක් වේ නම් ඒ කිසිවකු නොව ඒ ඔබය. ඔබ ආදරණීය පියකු නම් ඔබ දරුවන්ගේ ලෝකයේ රජකම රැකගත යුතුය.

සමහර පියවරුන් නිවෙසට පැමිණෙන්නේ අසිහියෙනි. කටගොන්නක් මත්පැනින් සප්පායම් වී රෑ දෙගොඩහරියේ නිවෙසට පැමිණෙන පියවරුන් දකින දරුවෝ බියෙන් සැඟවෙති. කොයි මොහොතේ හෝ අම්මා සමඟ රණ්ඩුවේ යැයි දරුවෝ බියෙන් පසුවෙති. පියාගේ බීමත්කම නිසා පීඩා විඳින බොහෝ දරුවෝ පාසල්වලදී අපට හමුවේ. බීමත් පියාගේ කෘෘර බැනවැදීම්, තර්ජනය කිරීම්වලට දරුවෝ ලක්වෙති. පහරකෑම්වලට ලක්වෙති. ඇතැම් දරුවන් මාරාන්තික පහරදීම්වලට පවා ලක්වී ඇත.

මෙවැනි ගැටුම්කාරී නිවාස පරිසරයකින් එන දරුවන් බොහෝ දෙනකු විවිධ මානසික රෝගවලින් පෙළෙනු ඇත. අධික බියගුලුගතිය, විශාදය, ඉදිරිපත්වීමේ හැකියාවේ දුර්වලකම හා නිතර සැඟවී සිටීමට උත්සාහ කිරීම හා සමහර දරුවන් පාසල තුළ ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අවස්ථාද අප දැක ඇත. තවත් සමහරකු පියාගේ පහරකෑම් ඉවසා සිටීමට නොහැකිව නිවෙසින් පලායයි. ගැහැනු දරුවන් ළාබාල වියේදීම රහසේ පැනගොස් විවාහ වූ අවස්ථා අපට නිතර අසා ඇත. එපමණක් නොව පියාගේ මත්පැන් ඇබ්බැහිකම දරුවන් අනුකරණය කිරීම හේතුවෙන් බොහෝ දරුවන් ළාබාල වයසේදීම මත්පැන් පානයට පෙලැඹී තිබේ. සමහර ග්‍රාමීය ප්‍රදේශවල කුඩා දරුවන් මත්පැන් ගෙන ඒම වැනි විවිධ අපචාරී ක්‍රියාවලට පෙලඹෙන අවස්ථා අප අසා ඇත. පියාගේ ආදරණීය රැකවරණය අපේක්‍ෂා කරන බොහෝ ළාබාල දැරියන් ලවා පියවරු තම පහත් ආශාවන් පවා සපුරාලූ අවස්ථා සුලබව දකින්නට ඇත.

ආදරණීය තාත්තේ..... ඔබ නිවෙසේ කැඩපතක් බඳුය. ඔබ දෙස බලා ලෝකය දකින්න හැදෙන දරුවන්ට හොඳ රූපයක් මැවීමට ඔබට හැකියාව තිබිය යුතුය. 'අප්පා විදියටනේ දරුවො යන්නෙත්' යැයි කවුරු හෝ ඔබට පැවැසුවහොත් ඔබට කුමක් සිතෙනු ඇත්ද? දවස පුරා බීමතින් පරුෂ වචනවලින් බැනවදිමින් නිවෙසට එන පියාට දරුවන් වෛර කරනු ඇත. තම මවට නිතර ගුටිබැට දෙන පියාට දරුවෝ සැමදා වෛර කරති. දිවා කාලයේ හොඳින් ඇඳ පැලඳ නිවෙසින් පිටවන පියා සවස් වනවිට පාරේ, කඩපිළේ හෝ කානුපල්ලක වැටී සිටිනු දකින්නට දරුවන් අකැමැතිය. ඔබේ මෙම ක්‍රියාකලාපය නිසා සමාජයෙන් ලැජ්ජාවට පත්වන්නේ ඔබේ දරුවන්මය. ඔබේ බිරියමය. පවුලක් තුළ ඔබ රඟපාන ප්‍රධාන චරිතය අසාර්ථක වුවහොත් දරුවන්ගේ අධ්‍යාපනය කඩා ඉහිරෙනු ඇත. විවිධ තාඩන පීඩන නිසා දරුවන්ගේ අධ්‍යාපනයද අතරමැද ඇද හැලෙනු ඇත. මත්පැන් වෙනුවෙන් වැය වන මුදල් ඔබට ඉතිරි කළ හැකි නම් නිවෙසේ බොහෝ ප්‍රශ්නවලට පිළියම් කළ හැකිය.

දරුවන් බොහෝ දේ ඉගෙනගන්නේ තම නිවෙසේ පරිසරයෙනි. ඒ සඳහා දරුවාට සුදුසු මානසික වටපිටාවක් නිවෙස තුළ තිබීම වැදගත්. දරුවාට නිවෙස තුළ විවේක බුද්ධියෙන් ජීවත්වීමට නොහැකි වුවහොත් විශේෂයෙන් දරුවාට අධ්‍යාපනික වටපිටාවක් නිවෙසේ නොතිබුණොත් ඉගෙනීමට බාධා පැමිණේ. නිතර චිත්තපීඩා ඇතිවේ. මවුපිය අසමඟිය නිසා දරුවන් අපහරණ වන අවස්ථා අප දැක ඇත. මානසික ඇදවැටීම හේතුවෙන් නිතර කනස්සල්ලෙන් පසුවෙයි. හුදකලාව කල්පනා කරමින් එදිනෙදා කටයුතු සිදුකරයි. පාසලේදී අසල්වැසියන්ගෙන් නිතර ලැජ්ජාවට පත්වෙයි. දීර්ඝකාලීනව මෙම තත්ත්වයන් පැවතියහොත් දරුවාගේ මානසික ඇදවැටීම වැළැක්විය නොහැකි බව ඔබ සිතන්න.

කථිකාචාර්ය
නයනා ගුණවර්ධන
ජාතික අධ්‍යාපන ආයතනය

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි