Friday, July 5, 2013

"මට සතුටුයි මම විභාගෙ පාස්"

කියවන්න ජයගන්න
මම හිතනවා ඔබ දැන් මේ ලිපිය කියවීම ආරම්භ කළා. එහෙම නම් මතක තබාගන්න ඔබ නොනවත්වා මේ ලිපිය කියවන්නේ නම් ඔබ හරිම වාසනාවන්තයි. ඇයි මම එහෙම කියන්නෙ? මේ ලිපියේ වචනවල ඔබේ ජීවිතය වෙනස් කරන, ජයග්‍රහණය කරන, ඔබට ආඩම්බරයෙන් සතුටු විය හැකි ලොකු බලයක් තියෙනවා.


නමුත් හොඳින් හිතට ගන්න. දැඩි අවධානයෙන් කියවන්න හැබැයි දුවේ පුතේ අදින් අරඹන මේ ලිපිය සතිපතා "මව්බිම" පුවත්පතේ පළවෙනවා. මම දන්නවා ඔබ "මව්බිම" ශිෂ්‍යත්ව අතිරේකයේ ක්‍රියාකාරකම්වල නිරත වන අයෙක් බව. ඉතින් ඒ ක්‍රියාකාරකම් අරඹන්නට පෙර ඔබ මේ ලිපිය කියවිය යුතුයි.


ලිපියක් කියවලා කොහොමද ඔය තරම් ලොකු ජයග්‍රහණයක් ලබන්නෙ. ඔව් ඔබට එහෙම හිතෙනවා ඇති. එහෙම නම් මම කියන්නම් මේ ලිපි මාලාවේ තියෙන විශේෂ බලය මොකක්ද කියලා. ඔව් මේ ලිපි මාලාවේ සතිපතා ඔබට හිතන්න දෙයක් තියෙනවා. ඒ වගේම නිතර කියන්න ඕනෙ වචන ටිකක් දෙනවා. පුංචි පුංචි දේවල් ටිකක් කරන්න කියලා ඔබට පවරනවා. ඒ දේවල් හරිම ලෙහෙසියි. නමුත් මම තවම කිව්වේ නෑ අර විශේෂ බලය ගැන මම ලබන ජයග්‍රහණය ගැන. එහෙම නම් කියන්නම්.


මගේ උපදෙස් ඉතා ඕනෑකමින් පිළිපදින්නේ නම් ඔබ ඉගෙන ගන්න ඕනෑම විෂය කරුණක් ඉතා පහසුවෙන් ඔබේ මතකයේ රැඳෙනවා. ඔබේ හිතට පුදුම සතුටක් දැනෙනවා. ඒ වගේම ඔබේ ශරීරයට අමුතු ජීවයක් එනවා. කොටින්ම ඔබට ඕනෑම දෙයක් "පුළුවන්" කියන හැඟීම එනවා. මේ සියල්ල ඔබ ඇසුරු කරන හැමෝටම දැනෙනවා. ඒ හැමදෙනාම හරිම පුදුමයෙන් සහ ආදරයෙන් ඔබ දිහා බලනවා. මේක ඔබට ලැබෙන විශාල ශක්තියක්, බලයක්. එතකොට ඔබ ලබන ජයග්‍රහණය කුමක්ද?


මේ ලිපි මාලාවේ උපදෙස් පිළිපදින ඔබ 2014 වර්ෂයේ 5 ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අයෙක් නම් මෙන්න මේකයි ඔබ ලබන ජයග්‍රහණය. නියත වශයෙන්ම ඔබ ශිෂ්‍යත්ව විභාගය ඉතා ඉහළින් සමත් වෙනවාමයි. සමහර විට ඔබට විහිළු කතාවක් වගේ දැනෙනවාද? විශ්වාස කරන්න. මම කියන්නෙ ඇත්තමයි. ඒත්! මට හිතෙනවා ඔබේ අවධානය වෙනස් වුණා. දුවේ පුතේ... කියවන්න විශ්වාසයෙන්, කියවන්න හොඳ අවධානයකින්. ඇත්තටම ඔබ හරිම වාසනාවන්තයි.


ඔබ දන්නවද? සමහර දරුවෝ මොන තරම් වෙහෙසුණත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නැහැ. සමහරු පන්ති දහයකට විතර යනවා, ප්‍රශ්න පත්‍ර සිය ගණනකට උත්තර ලියනවා. ගෙදරට ගුරුවරු කැඳවලා උගන්වනවා. මවුපියන් දිවා රෑ වෙහෙසෙනවා. සල්ලි දහස් ගණනින් නෙවෙයි ලක්‍ෂ ගණනින් වියදම් කරනවා. අන්තිමට ඔබ වැනිම දරුවන් විතරක් නෙවෙයි, ඔවුන්ගේ මවුපියන්, ගුරුවරු හැමෝම කඳුළු සලමින් හූල්ලනවා ඇයි ඒ? මහන්සියේ තරමට ප්‍රතිඵල නැහැ.


ඒ විතරක්ද ශිෂ්‍යත්ව විභාගය නිසාම දරුවන්ට තමන් ආස කරන විනෝදාංශයක නිරත වෙන්න, විනෝද ගමනක් යන්න, මවුපියන් සහෝදර සහෝදරියන් සමඟ නිදහසේ සතුටු වෙන්න කිසිම ඉඩක් නැහැ. හරියට හිරකාරයෝ වගෙයි. වෙලාවකට මවුපියන්ගෙන් බැනුම් අහන්න, දඬුවම් විඳින්න පවා සිදු වෙනවා. හැබැයි මවුපියන් එහෙම කරන්නෙ තමන්ගෙ දරුවෝ ඉහළ තැනකට ඔසවා තබන්න හිතේ තියෙන අසීමිත ආශාව නිසා. එහෙත් මම දන්නවා දුවේ පුතේ ඇතැම් දරුවෝ මේ නිසා විඳින්නෙ ලොකු පීඩාවක්.
ඔබ ආසද ඔය පීඩාවට? මම දන්නවා ඔබේ උත්තරේ.


"අනේ... මට සතුටින් ඉගෙන ගන්න ඇත්නම්" ඒක තමයි ඔබේ ප්‍රාර්ථනාව. ඒ සතුට අත්කරගන්න පිය සෙනෙහසින් උදවු කරන්න තමයි මේ ලිපි පෙළ පළ කරන්නෙ. ඉතුරු ටික කියන්න කලියෙන් මම ඔබෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මේ ලිපිය ඔබ කියවා අවසානයේ ඔබේ මවට පියාට හෝ භාරකරුවකුට කියවන ලෙස කාරුණිකව ඉල්ලීමක් කරන්න.


ඔන්න එහෙනම් මේ සතියේ ඔබට මම හිතන්න වාක්‍යයක් දෙනවා. ඊළඟ සතියේ ඔබ "මව්බිම" කියවන තුරු මේක හිතන්න. හැම මොහොතකම හිතන්න. පාසල් යන විට, සෙල්ලම් කරන වෙලාවට, කෑම කන වෙලාවට හැම වෙලාවෙම මේ දේ හිතන්න. අමතක වෙනව නම් පාඩම් කරන තැන හෝ බිත්තියේ හොඳට පෙනෙන තැනක කොළයක ලියා අලව ගන්න. ඔබ මේ සතියේ අධ්‍යාපන වැඩ කරන්න ආරම්භ කරන කොට ඉතා තදින් හිතට ගෙන මේ ගැන මෙනෙහි කරන්න. දවස අවසානයේ නින්දට යද්දී මේ ගැනම හිතන්න. හොඳට මතක තියාගන්න මේ වාක්‍යය විහිළුවට ලක් කළොත් ඔබට ප්‍රතිඵලයක් ගන්න බැහැ. ඇත්තටම හිතන්න.


මෙන්න ඔබට දෙන වාක්‍යය.
"මට සතුටුයි මම විභාගෙ පාස්"
ඉතින් දුවේ පුතේ ආයෙමත් අපි හම්බ වෙන්න ලබන සතියෙ. එතෙක් ඔන්න මමත් කියනවා ඔබට ඇත්තටම ඔබ ශිෂ්‍යත්ව විභාගය පාස්.


ආර්. විජේසිංහ
ගුරු උපදේශක,
මාර්ගෝපදේශය හා උපදේශක,
කොළඹ අධ්‍යාපන කලාපය

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි