දරුවන්ට දෙන පොත්වල කිරි සුදු චරිතම තිබිය යුතු නැහැ

බහ තෝරන වයසෙ ඉඳන්ම කුඩා දරුවන් වැඩිපුරම ඉල්ලන දේ තමයි සෙල්ලම් බඩු. පොඩි දරුවෙකුට සෙල්ලම් බඩුවක් අතට ලැබුණහම දැනෙන්නෙ රටක් රාජ්‍යයක් අත්පත් කරගත්තාක් වැනි සතුටක්. මේ නිසා නැතිබැරි මෙන්ම ඇති හැකි සෑම මවුපියෙක්ම නිතරම උත්සාහ ගන්නේ තමන්ට හැකි පමණින් සෙල්ලම් බඩුවක් තම කුඩා දරුවාගේ අතට පත් කිරීමටයි. අද ඇතැම් දෙමවුපියෝ සිය දරුවන්ට සෙල්ලම් බඩු අරන් දීමේදී ඒවා දරුවාට සුදුසුද නැද්ද කියා නොබලා දරුවා ඉල්ලන්නේ කුමක්ද එය රැගෙන දීමට පෙලඹී සිටිති. එහෙත් දරුවකු සෙල්ලම් බඩු ඉල්ලා අඬද්දී දරුවාට හොඳ නරක කියා දී සෙල්ලම් බඩුව වෙනුවට පොතක් පතක් මිලදී ගෙන දීමට උනන්දු වන්නේ දෙමවුපියන් අතරින් කීයෙන් කී දෙනෙක්ද? සෙල්ලම් බඩු අතට නොදී කුඩා කල සිටම දරුවා පොත් ගුල්ලන් කිරීමට කටයුතු කළ යුතුයැයි මෙහිදී වරදවා තේරුම් නොගත යුතුය. සෙල්ලමත් සමඟ කුඩා වියේ සිටම දරුවා පොතට යොමු කිරීමෙන් සෑම අතින්ම යහපත් ප්‍රථිඵල අත්කර ගත හැකි බව දෙමවුපියන් තේරුම් ගත යුතුය.
අද කුඩා දරුවන් වෙනුවෙන් ග්‍රන්ථකරණයේ යෙදෙන බොහෝ දෙනෙක් වෙති. එහෙත් ඒ අතරින් දරුවන් අතරට සැබවින්ම ගිය ලේඛක ලේඛිකාවෝ අල්පය. එසේ ගිය කීපදෙනා දරුවන් ගේ මතකයේ සදා ජීවත් වන අතර ඇතැම් ලේඛකයන් ගැන මතකය ඒ කෘතියට පමණක් සීමාවේ. කුඩා දරුවන් අතට පතපොත හුරුකරවීමට අද ඇතැම් දෙමවුපියෝ දැඩි වෙහෙසක් දරති. දරුවන් ගේ සිත් ඇද ගන්නා යැයි සිතන පතපොත අරන් දෙති.

"ළමයි පොතක් අතට ගත්තම කියවන්නේ එක වරක් නොවෙයි. පොත ගෙවෙනකම්ම කියවනවා. කට පාඩම් වෙනකම්ම කියවනවා. කොළ කැඩෙනකම් කියවනවා. පුංචි කාලෙ කියවපු පොත් ලොකු වුණාම කටපාඩමින් කියනවා. දරුවෙක් කුඩා කාලයේ කියවපු පොතක් මුළු ජීවිත කාලයම යටි හිතේ සටහන් වෙනවා. පුංචි කාලෙ යටි හිතට ඇතුළුවන දේ ලොකු වෙද්දී සිතේ පැළපදියම් වෙලා ඉවරයි.පුංචි ළමයින්ගේ අතට යන පොත්වල අප ලියනදේ ඉතාම වැදගත්. මේ අන්තර්ගතය ගැන අප සිතිය යුතුමයි. 'හාවා ආවා පැනලා දිව්වා' පොත්වල මෙවැනි දේ තියෙනවා මේවාත් පොත් තමයි.
එහෙත් ළමයින්ට ලියන පොත් ලොකු පරාසයකට වැටෙනවා. ළමා පොතක මූලිකම දේ විය යුත්තේ කතා රසයයි. මොන දේ තිබුණත් කතා රසය නැත්නම් ඒ පොතෙන් වැඩක් නැහැ. ඊළඟට ළමා පොතක තිබිය යුත්තේ ගුණයයි. රසයයි ගුණයයි ආවාම සෑහෙන්න හොඳ පොතක් වෙනවා. අප කෙතෙක් උත්සාහ කළත් පොත නීරස නම් දරුවා ඒ පොත ප්‍රතික්ෂේප කරනවා.පුංචි දරුවාට දෙන පොත රසවත් විය යුතුමයි. එවැනි පොත් ළමයා හිනා වෙවී බලනවා. ඉන් දරුවාට හොඳ මානසික පෝෂණයක් ලැබෙනවා. ඊළඟට අවශ්‍ය වන්නේ නැවුම්බවයි. කතාවේ නැවුම් බවත් ඉතා වැදගත්. කතාව හරවත් නම් රසවත් නම් යහපත් අරමුණු එහි ගැබ්වේනම් ඒ පොත් අනිවාර්යෙන්ම දරුවා අතරට යනවා. මේ අතරට කතාවට හානි නොවන ලෙස යම් යම් පුංචි දේ එකතු කළ හැකියි. එය රචකයාගේ දක්ෂකමයි.
පුංචි දේශාභිමානී අදහස්, යහගුණ, අන් අය හා කටයුතු කළයුතු අන්දම, පරිසරයට ආදරය කිරීම සහ පවුලේ අය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරය, සානුකම්පිතභාවය වැනි ළමා හැදියාව දියුණු කිරීම වැනි කතාවට අවශ්‍ය විටමින් ප්‍රෝටීන් කතාවට එකතු කරන්න පුළුවන්. අද පුංචි ළමයි නිතරම කියන දේ තමයි ''මට'' කියන වචනය. ''මට බඩගිනියි'' ''මට ඕනෑ'' ''අම්මාගේ ඔඩොක්කුවෙ මමයි ඉඳ ගන්න ඕනෑ'' ආදී ලෙසින් කුඩා දරුවන් පවසනවා අපි ඕනෑ තරම් අසා තියෙනවා. ඒ වෙනුවට ''මං විතරක් නොවෙයි අක්කටත් ඉඩ දෙන්න ඕනෑ'' ''නංගිටත් ටොපියක් දෙන්න ඕනෑ'' ''අයියෙ ඔයත් එන්න'' යනාදී ලෙසින් අදහස් පොත් මගින් දරුවන්ගෙ හිතට ඇතුළු කළ හැකියි. එවැනි අදහස් දරුවන්ගේ හිතේ තැන්පත් වෙනවා. පසුකාලීනව වැඩිහිටියකු වුණාමත් දරුවාගේ හිතේ ඒ ගුණ පැළපදියම් වෙනවා.
මේවා සීයට සීයක් නොවුවත් ජානමය ලක්ෂණත් දරුවකුගේ ගතිගුණ ඇතිවීමට බලපානවා. මෙවැනි අදහස් දියයුතු එක්තරා ක්‍රමයක් තියෙනවා .ඒ ආකාරයට දුන්නොත් දරුවා ඒවා කියවනවා. ඒ මිස ''එන්න වාඩි වෙන්න'' ''නැගිටින්න'' ''අත හෝදන්න'' ඒ විදිහට ලියනවාට දරුවන් කැමැති නැහැ. මොකද ඇත්තම නම් දරුවා අවවාද අහන්න කැමති නැහැ. දරුවන්ට කෙළින් කියා වටහා ගත නොහැකි බොහෝ දේ පතපොතින් පුංචි සිත්වල තැන්පත් කළ හැකියි. කතාවක චරිත ගොඩ නගද්දි දරුවා ඒ චරිතයට ආසා වුණාම ඒ චරිතය අනුකරණය කරනවා. ඒ අනුකරණය කරන චරිතය හොඳ චරිත විය යුතුයි. හැබැයි හොඳ කිරි සුදු චරිත නොවිය යුතුයි. දරුවා ළඟ දරුවකුගේ ලක්ෂණත් තිබිය යුතුයි. එක තැන ඉඳගෙන ඉන්න උකටලී චරිතයක් නොවී දඟකාර චරිත ලක්ෂණත් තිබිය යුතුයි. මේ සියලු දේ මේ චරිත අතරින් දෙන්න පුළුවන්. අප පොත පත මගින් තැනිය යුත්තේ ගොඩක් ආදරණීය දරුවෙක්. ඔහු දක්ෂම දරුවෙක් විය යුතු නැහැ. මොකද හැම දරුවෙක්ම දක්ෂ නැහැනේ. එහෙම අවශ්‍යත් නැහැ.
පොත්පත් මගින් දරුවන්ට අපූරුවට එදිනෙදා ජීවිතයට මෙන්ම පාසලට අව්‍ශ්‍ය පාඩම් දැනුමත් දිය හැකියි. උදාහරණයක් ලෙස මගේ 'වැහි ලිහිණි පැටියා ' පොතේ තනිකරම පවසන‍්නේ ජල චක්‍රය ගැනයි. හැබැයි එය කියවද්දී දරුවාට තමා කියවන්නේ ජල චක්‍රය කියා හිතෙන්නේ නැහැ. තුන්වැනි ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට සුදුසු මේ පොත දරුවන් අතර බොහෝ ජනප්‍රියයි.

ඊළඟ පියවරේදි රෑප ටිකයි.දරුවා කියවලා වචන මනසින් රෑපණය කරනවා. අන්තිමට අකුරු විතරයි. ඒ වෙද්දී දරුවා කතාව තනිකරම මනසින් රෑපණය කරනවා.
දරුවා කියවීමට හුරුකරවීමට පොතක් අතට දෙද්දී භාෂා රටාව, වාක්‍ය රටාව සහ ප්‍රහසනය තිබිය යුතුමයි. නැත්නම් දරුවා උදාසීන වෙනවා. භාෂාව රසවත් නැත්නම් ඉනුත් ඵලක් නැහැ. බලන්න එකම කතාව දෙන්නෙක් කියද්දී දෙවිදියක්.
එක් කෙනෙක් කියන දේ අනෙක් කෙනා කියනවාට වඩා අහන් ඉන්න ආසයි. ඒත් දෙන්නාම කියන්නෙ එකම කතාව . ඒත් දෙවිදිහකට. එනිසා කතාව දරුවාට ඉදිරිපත් කරන ආකාරයත් විශේෂයි. මේ ලෙසින් ගුණයෙන් පිරිපුන් පොත් දුන්නොත් දරුවාට පොත් කියවීමේ ආසාව ඇති වෙනවා පමණක් නොවෙයි දරුවකුගේ අතට පොතක් දීමෙන් අපේක්ෂා කරන දේත් ඉෂ්ට වේවි.
අද පතපොත වෙනුවට දරුවන්ගේ අත හිත ගිහින් තියෙන්නෙ පරිගණක වැනි විද්යුත් උපකරණ වෙතටයි. ඒක ලෝක ස්වභාවය වුවත් අපට ඒ තාක්ෂණයත් සමඟ දරුවන්ට සාහිත්‍ය දැනුම ලබා දිය හැකියි. ඒ සඳහා වැඩිහිටියන්ගේ දැනුම්වත් වීම අවශ්‍යයයි.
ලිව්වේ - සේමාලි කැල්ලපත
http://www.silumina.lk/2013/07/21/_art.asp?fn=as1307213
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි