Tuesday, July 16, 2013

කෙටි පණිවිඩ මගින් ශිල්පීන් තෝරන ක‍්‍රමයට මම කැමැති නැහැ

 කෙටි පණිවිඩ මගින් ශිල්පීන් තෝරන ක‍්‍රමයට මම කැමැති නැහැ
- විශාරද නන්දා මාලිනි
 
පසුගිය වසර 25 ක කාලයේ ඔබේ සංගීත ආශ‍්‍රමය ඇසුරෙන් සංගීත ක්‍ෂේත‍්‍රයට කවරාකාර මෙහෙයක්ද ඉටු වුණේ?

ළමයින්ගේ දැනුම හා රසවින්දන ශක්තිය වර්ධනය කරන්න යම් අත්වැලක් සැපැයීමට කටයතු කිරීම පිණිස 1982 වසරේ මේ සංගීත ආශ‍්‍රමය ආරම්භ කළා. මුලින්ම ළමයි දහසය දෙනයි සිටියේ. ඒ වුණාට මම අධෛර්වත් නොවී දිගින් දිගටම මේක කරගෙන ගියා. වයස මට්ටම් හතරක ළමයින් වෙනුවෙන් වැඩ කරන්න ඒ අනුව මට හැකියාව ලැබුණා.
මේ සංගීත ආශ‍්‍රමයට දැන් අවුරුදු 25 ක් ගතවෙලා තිබෙනවා. විශාල සිසුන් පිරිසක් මෙහි උගැන්ම ලබනවා. දැන් මගේ ගායන ජීවිතයටත් දශක පහක් පමණ වෙනවා. මට තවමත් ගායනා කිරීමට හොඳ ශක්තියක් තියෙනවා.
මේ ක්ෂේත‍්‍රයේ හුඟක් ශක්තිමත්ව මම රැඳී සිටිනවා කියලා නිර්භයව කියන්න පුළුවන්. එහෙම වුණේ මගේ මේ සංගීත ආශ‍්‍රමය නිසා මමත් හැමදාම පුහුණු වෙන නිසයි. වෘත්තීය ගායන ශිල්පියකුට පුහුණුව කියන එක හැමදාමත් අවශ්‍යයි. එහෙම නැත්නම් අපේ මේ නහර සහ අනෙකුත් දේවල් මැරිලා යනවා. ඒ නිසා සංගීත ආශ‍්‍රමයෙන් මමත් දිගින් දිගටම පුහුණුවක් ලබනවා.
මම සියලු මාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා, තම දරුවා මොනයම්ම හෝ සෞන්දර්යය විෂයයකට කෙටි කාලයකට හෝ යොමු කරන්න. ඒ යොමු කිරීම මඟින් දරුවා හරිම සංවේදි භාවයකට පත් වෙනවා. ඔහු තුළ යම්කිසි ආත්ම අභිමානයක් ඇති වෙනවා.
සෞන්දර්යය විෂයයන් හදාරන අය හරි මුදු තැන්පත් තත්ත්වයකට පත් වෙනවා. ඒ දරුවාගේ කතා බහ, හැසිරීම, මාපියන්ට සලකන විදිය ආදිය ඉබේම පුරුදු පුහුණු වෙනවා. ඔහු හෝ ඇය කාටවත් වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න පුරුදු වෙන්නෙ නැහැ. බොහොම මෘදු සංවේදි හිතකින් තෙවැනි ඇහැකින් බලන දරුවකු බවට ඔහු ඉබේම පත් වෙනවා.
ඔබ ගැයූ චිත‍්‍රපට ගීත ඇතුළත් ගී තැටි දෙකක් කාණ්ඩ දෙකක් යටතේ දැන් නිකුත් කොට තිබෙනවා. මේ චිත‍්‍රපට ගී මාලාව යළි පටිගත කොට නිකුත් කිරීමේ වෙසෙස් අර්ථයක් තිබෙනවද?
චිත‍්‍රපට සියයකට වඩා අධික සංඛ්‍යාවකට මම ගීත ගායනා කොට තිබෙනවා. මේ ගීත මම ගායනා කළේ මගේ හොඳම තරුණ කාලේ. ඒ කියන්නේ දැනට අවුරුදු 35 කට පමණ කලින්. රන්මුතු දූවෙන් තමයි මම චිත‍්‍රපට ගීත ගායනය ආරම්භ කළේ. ඒ වෙනකොට මම අවුරුදු දහ අටක නව යොවුන් තරුණියක්. 1962 දි තමයි මම මගේ පළමු චිත‍්‍රපට ගීය පටිගත කළේ. එදා අද තිබුණු තාක්‍ෂණික දියුණුව තිබුණේ නැහැ.
ඒ කාලේ තිබූ පහසුකම් අනුව තමයි අපි ඒවා පටිගත කළේ. එතකොට ගොඩක් පටිගත කිරීම් කළේ රාති‍්‍ර කාලයේදී. ඒ කාලේ කුරුල්ලකු ගේ ශබ්දයක් ඇහුණත් පටිගත කිරීම නතර කරනවා. අද ට‍්‍රැක් එකට සින්දු කියනවා කියලයි කියන්නේ. දැන් සින්දුවට අදාළ සංගීතය වේලපහම පටිගත කරනවා. ඊට පස්සේ තමයි ගායන ශිල්පියා අවශ්‍ය තැනට හඬ කවන්නේ. ඒ කාලේ එහෙම නැහැ.
වාද්‍ය ශිල්පීන් ඉන්නවා, ශබ්ද පරිපාලකවරයා ඉන්නවා. ගායන ශිල්පියා ඉන්නවා. ඔවුන් ඉදිරියේ අපි ගීතය ගායනා කරන්න ඕන. වැරදුණොත් ආපහු මුල ඉඳලම කියන්න ඕන. මේ තියෙන තාක්‍ෂණික වෙනසත් එක්ක එදා ඒ අප ගායනා කළ ගීත කිසිදු නාලිකාවක ඒ අයුරින් අද ගායනා කරන්න බැහැ. ඒ නිසා අපිට නැවත ගායනා කරලා පටිගත කරලා මේවා සංරක්ෂණය කිරීමට සිදු වෙනවා.
ඒ නිසා තමයි මම මේක කළේ. අපේ මුල් කාලේ තමයි චිත‍්‍රපට ගීත කීමට අවශ්‍ය මහා ජවය ඇති වුණේ. හැම ගීතයක්ම රසිකයා ගේ හිතේ තිබෙනවා. මටත් ආසාවක් තිබුණා මේ චිත‍්‍රපට ගීත මාලාවේ කිහිපයක් හෝ එකතු කරලා කාණ්ඩ තුනකට එළි දක්වන්න. එහෙම හිතලා තමයි මම 2005 දී ‘රන් කෙන්දෙන්’ කියන ගීත තැටිය කළේ. මගේ සම්මාන ලැබුණු ගීත කිහිපයකුත් ඇතුළත්ව එහි ගීත 16ක් තිබෙනවා. 2007 දී දෙවන කාණ්ඩය එළිදැක්වූවා. ‘ඈත කඳුයායේ’ නමින්. මේ ගීත සමුච්චයේත් සම්මාන ලැබුණු ගීත හතරක් තිබෙනවා.
 සමහර චිත‍්‍රපට තිබෙනවා, තිරගත වෙලා සතියෙන් දෙකෙන් තුනෙන් ගැලවිලා යන. එතකොට මේ චිත‍්‍රපටවල හොඳ සින්දු තිබුණාද නැත්ද කියලා කවුරුවත් දන්නෙ නැහැ. සමහර චිත‍්‍රපට තියෙනවා මිනිසුන්ට සින්දු විතරක් මතක. අඹු සැමියෝ, පෙම් රජදහනේ, රාගිනි වගේ චිත‍්‍රපට ගැන මිනිස්සු දන්නෙවත් නෑ. ගීතය, සම්මානය සඳහා ඉදිරිපත් වෙද්දි තමයි චිත‍්‍රපටය පිළිබඳව ඔවුන් දැනුවත් වෙන්නේ. ඒ විදියට තමයි මේ චිත‍්‍රපට ගීතවලට සම්මාන ලැබුණේ. එහි අඩංගු ගීත සියල්ලම අලුතෙන්ම පටිගත කළා. 1962 දී මම රන්මුතුදූවට ගායනා කළ ගීතය අවුරුදු 45කට පස්සේ නැවත මම පටිගත කළා.
මේක ඇත්තෙන්ම හරිම පී‍්‍රතිමත් අවස්ථාවක්, මොකද අවුරුදු 45 කට පස්සෙත් මට මේ ගීය ගායනා කරන්න හයිය තිබුණු එක ලොකු දෙයක්. මේ ගීත නැවත ගායනා කරනා විට අලුත් එකක් ගායනා කරනවා වගේ නොවෙයි, අපි හරිම අභියෝගයකට මුහුණ දෙනවා. මොකද මේවා අහලා රසිකයන් “අපෝ මේක ඉස්සර අහපු සින්දුව වගේ නොවෙයි” කියලා හිතුවොත් අපේ කීර්තිනාමයට ලොකු කැළලක් සිදු වෙනවා. මේක හරිම අභියෝගයක්. මේ සමහර ගීත හොයා ගන්නත් හරි අමාරු වුණා. රෝහණ වීරසිංහයන් තමයි මේ ගීත නැවත නැවත අහමින් ඒ ආකාරයෙන්ම ප‍්‍රතිනිර්මාණය කළේ. සමහර වැදගත් සංගීත භාණ්ඩ දැන් ඇත්තෙත් නැහැ. ඒවා හොයාගෙන තමයි අපි මේ ගී පටිගත කළේ. මම තව එක කාණ්ඩයක් ලබන වසරෙදි නිකුත් කරනවා. ඊට පස්සේ මගේ චිත‍්‍රපට ගීත සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය මම නතර කරනවා.
පරණ ගීත නැවත නැවත ගායනා කරමින් ඔබ සංගීත ක්‍ෂේත‍්‍රයේ නව නිර්මාණ කිරීමේ ප‍්‍රගතිගාමී මාර්ගයෙන් ඉවත් වී ඇති බවට සමහරුන් චෝදනා කරනවා.
ඇත්තෙන්ම මම වඩාත් කැමැති නව නිර්මාණ කරන්නයි. මගේ චිත‍්‍රපට ගීත සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතිය කාණ්ඩ තුනකින් අනතුරුව නවත්වන්නෙත් ඒ කාරණය නිසයි. මේක තවත් පරක්කු වුණොත් කර ගන්න බැරි වන නිසයි මම මේ අවස්ථාවේ ඒක කළේ. නැතිනම් මමත් නිරන්තරයෙන්ම නව නිර්මාණ සමඟ ගනුදෙනු කිරීමටයි කැමැති.

එදා චිත‍්‍රපට ගීත පිළිබඳව වූ උනන්දුව හා අවධානය පිරිහීමට බලපෑ හේතු කෙබඳුද කියා ඔබට කිය හැකිද?
ඇත්තටම ඒක අපිටත් හිතාගන්න අමාරු ප‍්‍රශ්නයක් තමයි. අපි ගීත ගායනා කළ කාලයේ චිත‍්‍රපට ගීත පිළිබඳව මිනිස්සුන්ගේ පුදුමාකාර උනන්දුවක් තිබුණා. ඒ වගේම ඉතාමත් සාරවත් ගීත තමයි චිත‍්‍රපටවලට අන්තර්ගත වුණේ. අද වෙනකොට එබඳු චිත‍්‍රපට ගීත දක්නට ලැබෙන්නේ නැහැ.
උරේෂා රවිහාරි, අංජලිකා චිත‍්‍රපටයට ගායනා කළ “පායනා ඉර පාන අහසේ” ගීතයත් හර්ෂණ දිසානායක “සූරිය අරණට” ගායනා කළ ගීතයත් පමණයි මෑතකදී රසිකයන් අතරට ගියේ. එහෙම චිත‍්‍රපට ගීත ජනපි‍්‍රය නොවෙන්න එක හේතුවක් විදියට මම දකින්නේ, චිත‍්‍රපට ඉතා ඉක්මනින් සිනමා ශාලාවලින් ගැලවී යෑම. මෑතක තිරගත වුණු ‘උත්පලවණ්ණා’ චිත‍්‍රපටය හා ‘සිකුරු හතේ’ චිත‍්‍රපටය අගය කළ යුතු කාලයක් සිනමා ශාලාවල රැඳී තිබුණා. ඒක හොඳ ප‍්‍රවණතාවක්. ඉදිරියටත් හොඳ චිත‍්‍රපට කිහිපයක් පැමිණීමට නියමිතයි. එය හොඳ සුබ නිමත්තක්. චිත‍්‍රපට කර්මාන්තය ඉතාම හොඳ, දක්ෂ පිරිසක් සමාජයට දායාද කළා. ඔවුන් සමාජය තුළ යම් ලකුණක් තියල තියෙනවා.
ඉස්සර අපි චිත‍්‍රපටවලට කවි පවා කිව්වා. මේ කවිවලටත් සම්මාන ලැබිලා තියෙනවානේ. මම මුලින්ම කවි කිව්වේ “සැඩොල් කඳුළු” කියන චිත‍්‍රපටයට. ඒකටත් සම්මාන ලැබුණා. චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයේ හෝ නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ කඩා වැටීමක් ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. හොඳ දෙයක් කරනව නම් පෙ‍්‍ර්ක්ෂකයෝ ඉන්නවා. ඔවුන් ඒක වැලඳ ගන්නවා. පසුගිය කාල වකවානුවේ එය ඉතාමත් හොඳීන් පැහැදිලි වුණා. ‘සූරිය අරණ” චිත‍්‍රපටය පෙ‍්‍ර්ක්ෂක වාර්තා තැබුවා. ඒ වගේ නිර්මාණවලින් පැහැදිලි වන්නේ හොඳ දෙයක් කළොත් තාමත් අපේ රටේ ඒකට හොඳ ඉඩක් තිබෙන බවයි.

ඔබ පසුගිය පුවත්පතක් හරහා චෝදනා කර තිබුණා, දැන් ඉන්න කැසට් ව්‍යාපාරිකයෝ බොහොම දෙනෙක් හොරු කියලා.
ඇත්තටම කැසට් ව්‍යාපාරය කියන්නේ දශක තුනක් හතරක් ඈතට දිවයන ව්‍යාපාරයක්. දශක තුනක් තිස්සේ මගේ ගීත කළේ සිංග් ලංකා කියන සමාගමයි. එහි අධිපති ආනන්ද ගනේගොඩ මහත්මයායි. සියලුම ගීත පිළිබඳ වැඩ කළේ එහි කළමනාකරු කුලරත්න ආරියවංශ මහත්මයායි.
මොවුන් තමන්ගේ ‘සිංග් ලංකා’ කියන මුද්‍රාව කීර්තියට ලක් කරන්න හැකි අයුරිනුයි වැඩ කළේ. ඔවුන් බාල දේවල් කළේ නැහැ. නිර්මාණකරුවාට කවදාවත් තහංචි පැනවූයේත් නැහැ. අපි මේ වගේ නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වහම පූර්ණ සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම ඔවුන් කළේ හොඳ දේවල්. දැන් බලන්න ඔවුන් ළමයින් වෙනුවෙන් සංගත තැටි නිකුත් කළා. ‘හඳහාමි’, ‘සිංදු හෝඩිය’ ‘පුංචි සිංදු’ යනුවෙන්. ‘කිඳුරියගේ විලාප’ යනුවෙන් නව නිදහස් කවීන් දහදෙනකු ගේ කවි එකතුවක් ඔවුන් නිකුත් කළා.
‘අරලිය ලන්දට’ නමින් ලංකාව පුරා විසිරී සිටින අලුත්ම ගීත රචකයන්ගේ ගීත ගොනුවක් ඉදිරිපත් කළා. ‘මලට රේණු’ නමින් හොඳම ගී තනු නිර්මාණ කරපු නව නිර්මාණකරුවන්ට අවස්ථාවක් සලසා දුන්නා. “කුංකුම පොට්ටු” නමින් දෙමළ කැසට් පටයක් කළා. මේ අය ප‍්‍රධාන සමාගමක්. නමුත් මේ අය බංකොලොත්. වටේටම බිහිවෙලා ඉන්න හොරුත් එක්ක මේ අයට මේ ගමන යන්න බැරි වෙලා තියෙනවා. ඒ ගොල්ලො මේ නිර්මාණ නිකුත් කරලා සතියකින් විතර නව තාක්‍ෂණය යොදා ගෙන හොර සංගත තැටි (CD)  ගහනවා.
කොහෙන් හරි පිංතූරයක් හොයා ගෙන කවරයකුත් දානවා. ඊට පස්සේ විකුණනවා. දැන්  MP3  තාක්ෂණය ගත්තොත් ලංකාවේ එහෙම එකක් නැහැ. ඔවුන් කියන්නේ ඒවා  MP3  කියලයි. මේ වායේ මොනවද තියෙන්නේ, බුරුතු පිටින් ගත්තු අපේ කැසට්වල සින්දු. මේක  MP3  නිසා මේකෙ සින්දු තුන්සියයක් තියෙනවා, හාරසියයක් තියෙනවා කියලයි ඔවුන් ඒක වෙළෙඳ පොළට දමන්නේ. මේකට නීතියක් නැහැ. ඒ ගැන ඇති නඩු දෙකක් මේ වන විට විභාග වෙමින් තිබෙනවා.
අපේ ගීත හොරෙන් විකුණන කූට බොරුකාරයොත් එක්ක. සංස්කෘතික දෙපාර්තමේන්තුව හරි රජය හරි මේ සඳහා මැදිහත් විය යුතු වෙනවා. දැන් අපේ සින්දු හොරු අරන් කියනවා. ඒ වගේම එක එක තැන්වල කැසට්වලත් ඒ සින්දු තියෙනවා. නමුත් අපිට මේකට හඬක් නඟන්න විදියක් නැහැ.
එවැනි දේට හදලා තියෙන නීති බලසම්පන්න මදි. මේ සඳහා උනන්දු වුණු පිරිසකුත් ඉන්නවා. ලලිත් ඇතුලත්මුදලි මහත්මයා සිටින කාලයේ මේකට යම්කිසි තහංචියක් දැම්මා. ඩලස් අලහප්පෙරුම මහත්මයාත් මේ ගැන පොඩ්ඩක් උනන්දු වුණා. නමුත් කර ගන්න පුළුවන් වුණේ නැහැ. මේ තත්ත්වයෙන් නිර්මාණශීලි කලාකරුවෝ පෙළෙනවා. ඒ නිසා හොඳ කැසට් ව්‍යාපාරිකයෝ දැන් වැඩිය වියදම් කරන්නේ නැහැ. මොකද මේක ඩැහැ ගන්න හොරු කණ්ඩායමක් ඉන්නවානේ. මේකට විසඳුමක් ඉක්මනට අවශ්‍ය වෙනවා. දැන් පිටරටවල මෙවැනි දේ කරන්න බැහැනේ. ඒ සම්බන්ධයෙන් ගොඩනැගුණු යම් නීති මාලාවක් තිබෙනවා. අපට එහෙම නීති මාලාවක් නැති නිසා හොරු රැළක් එක්කයි ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ.

ගීත ක්‍ෂේත‍්‍රය තුළ බිහිවන නව ශිල්පීන් පල රහිත රුක් හැටියටයි සමහර ප‍්‍රවීණයන් චෝදනා කරන්නේ.
අලුතින් බිහිවන ශිල්පීන්, ශිල්පිනියන් පිළිබඳව මම නම් අසුබවාදීව බලන්නේ නැහැ. අපි ක්‍ෂේත‍්‍රයට එනකොට අපිත් ඕපපාතිකව මේ ක්‍ෂේත‍්‍රයට ආවා නොවෙයිනේ. අපිට මඟක් හදලා දීපු අය ඉන්නවා. රුක්මණී දේවිගේ ඉඳන් ලතා වල්පොල වගේ අය අපට පාර පෙන්නුවා. ඔවුන් හදපු පාර අමරදේව මාස්ටර් ශුද්ධ කරලා දුන්නා. අමරදේව මාස්ටර් ගේ අත අල්ලගෙන ගිය සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ වගේ පූර්වාදර්ශ අපිට තිබුණා. අපි එළියට එන කාලයේදී ඇත්තටම අපිට ශ‍්‍රවණ මාධ්‍ය විතරනේ තිබුණේ.
ශ‍්‍රවණ මාධ්‍ය විතරක් තිබීම අපේ ස්ථාවරයට හොඳ පදනමක් වුණා කියලයි මගේ හැඟීම. මොකද ඇහෙනවා විතරනේ. අපේ සරල ගී වැඩ සටහනක් ගැන පත්තරේ විතරයි පොඩි කෑල්ලක් යන්නේ. මිනිස්සු ඒ වෙලාව එනකම් බලාගෙන හිටියා. මිනිසුන්ට අපිව ඇහුණා විතරයි. කටහඩින් විතරයි හඳුනන්නේ. ඔවුන් අපිව දැක්කේ ගොඩාක් කල් ගිහින්. රස වින්දනය කියන එක ඒ කාලයේ තිබුණේ ඉතාම ඉහළ තැනක. අපිට එහෙම පූර්වාදර්ශ තිබුණා. ඒ නිසා මගේ අදහස නම් අලුත් අය එන්න ඕන. හැබැයි ඒ දරුවන්ට ගායන හැකියාව විතරක්ම තිබිලා මදි.

බොහෝ අය චෝදනා කරන්නේ මේ නවක ශිල්පීන් ගේ අඩිතාලම ශක්තිමත් නොවනා බවයි.
ඇත්තෙන්ම ඔව්. අඩිතාලම ශක්තිමත් නොවූ බොහෝ අවස්ථාවල ඔවුන් කඩා වැටී තිබෙනවා. ගැයීමේ හැකියාව විතරක්ම තිබීම අද තත්ත්වය අනුව ගමනක් යන්න හොඳටම මදි. තෝරාගැනීමේ ඥානයක් අවශ්‍ය වෙනවා. රටේ ලෝකයේ දැනුම අත්‍යවශ්‍යයි. පොතපත කියවීම, සාහිත්‍ය පරිශීලනය, පූර්වාදර්ශ ලැබීම, අත්දැකීම් ආදියත් අවශ්‍යයයි. මේ වගේ අවබෝධයක් අලුත් පරම්පරාව ලබන්න ඕන. එහෙම වුණොත්, ඔවුන් ගේ ගායන හැකියාව දියුණු කරගන්න තවදුරටත් හැකිවේවි.
හොඳ ගීත තෝරාගැනීමට, හොඳ සංගීත අධ්‍යක්ෂවරු තෝරා ගැනීමට හා නව නිර්මාණ කිරීමට හැකිවන්නේ එවිටයි. මම ඔවුන් දෙස අසුබවාදීව බලන්නේ නැහැ. ඔවුන් සමඟ මට මිත‍්‍රවීමට හැකි නම් මම ඒක සතුටින් කරනවා. නැත්නම් ඔවුන් හිතාවි අපි ඈතයි කියලා. ශශිකා නිසංසලා, උරේෂා රවිහාරි, ඉන්දිකා උපමාලි වගේ අය එක්ක වැඩකරන්න මම හරි ආසයි. අලුත් කණ්ඩායම් එක්ක වැඩිහිටි අය විදියට අප සබඳතා පවත්වා ගත යුතුයි. ඔවුන් බැහැර කරන්න නරකයි.

තවමත් හොඳ රසඥතාවයක් සහිත පිරිසක් අපේ රටේ සිටිතැයි කියා ඔබ විශ්වාස කරනවද?
ඇත්තටම දැන් අපේ රටේ වෙලා තියෙන්නේ රසිකයා කැමැති දේ ඔවුන්ට නොලැබීමයි. බොහොම මෑතකදී මම මගේ ‘ඈත කඳුයායේ’ සංගීත තැටිය එළිදැක්වීම වෙනුවෙන් ගීත ප‍්‍රසංගයක් කළා. ඒකට උණුසුම් ප‍්‍රතිචාර තිබුණා. අපේ ප‍්‍රවීණ ශිල්ප ශිල්පිනියන් කරන බොහෝ දේ හොඳ ඇගැයීමකට ලක් වෙනවා. රසිකයාට තිබෙනවා ලොකු පිපාසයක්. ඔවුන් ගේ රසඥතාව පවතින්නේ ඉහළ තැනක. දැන් ඔවුන්ට ලැබෙන්නේ ඔවුන් කැමැති දේ නොවෙයි. අලුත් දේවල් එන්න ඕන. නැත්නම් අපි එක තැන පල්වෙනවනේ. නමුත් අපේකමට අපේ දේශගුණයට, අපේ පොළොවට, අපේ අනන්‍යතාවට හා සංස්කෘතියට හරියන අලුත් දේවල් එන්න ඕන. එහෙම තමයි අපි මේ නිර්මාණ සමඟ ගනුදෙනු කළ යුතු වන්නේ.

දීර්ඝකාලීනව නිර්මාණකරණයේ හා අභ්‍යාසයේ යෙදෙමින් පැමිණි නිර්මාණකරුවන් පිරිස හා ජනප‍්‍රිය තරුව තෝරන උන්මාදනීය තත්ත්වය යන මේ දෙවැදෑරුම් සමාජය කෙසේ සංයෝග වේවි කියලද ඔබ හිතන්නේ.
රට ගමන් කරන්නේ විවිධ පැතිවලටනේ. අපි ක්‍ෂේත‍්‍රයට එන කාලේ මේ වගේ් තත්ත්වයන් තිබුණේ් නැහැ. අද වෙනකොට ඒවා වෙනස් වෙලා. අපි මේ ක්‍ෂේත‍්‍රයට එන කාලේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය විතරයි තිබුණේ. අද වෙනකොට තරගකාරී ගුවන් විදුලි නාලිකා බොහෝ ගණනක් පැමිණ තිබෙනවා. ගීතය කියන එක අද ජනප‍්‍රියම මාධ්‍යයකුක් වෙලා තියෙනවා. අපි ක්‍ෂේත‍්‍රයට එනකොට ඉක්මනට ජනප‍්‍රිය වෙන්න ඕන කියන කාරණයවත් ඔළුවෙ තිබුණේ් නැහැ. අපි වැඩකරගෙන ගියා.
ළමා මණ්ඩපයේ අවුරුදු පහක් හයක් හිටියා. ඊළඟට ගුවන් විදුලියේදි විවිධ විද්වතුන් හමුවුණා. මහගමසේකර, ඩෝල්ටන් අල්විස්, අමරදේව මාස්ටර් වගේ අය කරන වැඩසටහන්වලට අපි සම්බන්ධ වුණා. සමහර වැඩසටහන්වලට ගිහින් අපි නිකම්ම නිකන් බලාගෙන ඉඳලා තියෙනවා. ඒවා පස්සේ කල්පනා කරලා බලනකොට සුන්දර අත්දැකීම්. දැන් මේක ජනප‍්‍රිය මාධ්‍යයක්නේ. අද එන බොහෝ අය ගේ බලාපොරොත්තුව ඉක්මනින් ජනප‍්‍රියවීම. ඒ නිසා අලුත් අයගේ ගීත දිහා බැලුවහම අපිට පේන්න නැහැ විවිධ පැතිකඩවලට විසිරුණු ගීත. බෞද්ධ ගීත, මවුගුණ ගීත, දේශාභිමානී ගීත, ළමා ගීත, වගේ විවිධ පැතිකඩ නැහැ.
ඒ මොකද ඒගොල්ලොත් හිතනවා ඒ වගේ විෂයයන් ජනප‍්‍රියවීමේ මාර්ග නොවෙයි කියල. ආදර ලෝකයේ විතරයි ඔවුන් කැරකෙන්නේ. පවතින වාණිජ රැල්ල තමයි මේවා ඇතිකරන්නේ. දැන් මේ කෙටි පණිවිඩ ක‍්‍රම (ඉර්ඉ) මඟින් ශිල්පීන් තෝරන ක‍්‍රමත් ඇතිවෙලානේ. ඒ මඟින් ඉතා කනගාටුදායක විදියට දක්ෂයා නැතිවෙලා යනවා. දක්ෂයාට ඒ තුළ තැනක් නැහැ. මුදල් තිබෙනවා නම් ඉදිරියට පැමිණිය හැකියි. දක්ෂ අහිංසක දරුවෝ මේ ක‍්‍රමය නිසා හැළිලා යනවා. ඒ ක‍්‍රමය ගැන නම් මගේ ඒ තරම් පැහැදීමක් නැහැ. ඒකෙන් දක්ෂයන් තෝරන්න නම් බැහැ. වෙන දේවල් තෝරාගැනීමට ඒක භාවිතා කළාට කමක් නැහැ.

එහෙත් ඔබ කෙටි පණිවිඩ ක‍්‍රමය (SMS) භාවිත කරමින් සිරස මාධ්‍ය ජාලය පැවැත්වූ සුපර් ස්ටාර් තරගාවලියේ තරගකරුවන් පුහුණු කිරීම සඳහා දායකත්වය ලබාදුන්නා?
සිරස මාධ්‍ය ජාලය පවත්වන ඒ වැඩසටහන මඟින් දක්ෂ ළමයින්ට වේදිකාවක් සකස් කරලා දුන්නා. ඒක අගය කළයුතුයි. ඒ වගේම එය ආකර්ෂණීය වැඩසටහනක්. ඒ ළමයි දක්ෂයි. කොළඹට එන්නවත් හැකියාවක් නොතිබුණු දක්ෂ ළමයි කිහිප දෙනකුට මේක නිසා වේදිකාවක් විවෘත වුණා. ඔවුන් දක්ෂ ළමයි. නමුත් කෙටි පණිවිඩ (ඉර්ඉ) හරහා වුණු දේ ගැන කතාකරන්න කැමැති නැහැ. මම ඒ කෙටි පණිවිඩ ක‍්‍රමයට කැමැති නැහැ. මම විනිශ්චය මණ්ඩලයට සහභාගි වුණේ නැහැ. එහෙම කළේ තරහකට නොවෙයි.
වෘත්තීය ගායන ශිල්පිනියක් හැටියට මම ළමයින්ට විනිශ්චයක් දීලා ඔවුන්ගේ හිත අසතුටු කරන්න කැමැති නැහැ. එතනින් හොඳම කවුද කියලා මට දැන් වුණත් කියන්න පුළුවන්, නමුත් මම එහෙම කැමැති නැහැ. කිසිම විනිශ්චය මණ්ඩලයකට මම මේ වනතුරු සහභාගිිවෙලා නැහැ. නමුත් මම ඒ ළමයින්ට පුහුණු වැඩමුළුවක් පැවැත්වූවා. මොකද මගේ සංගීත ආශ‍්‍රමයෙන් පිටවෙලා මේ තරගයට මුහුණ දීපු දරුවන් පවා ඉන්නවා. එහෙම පුහුණු කළා කියලා මම සිරස මාධ්‍ය ජාලය එහිදී භාවිත කරපු කෙටි පණිවිඩ (SMS) ක‍්‍රමය අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒ දරුවන් දක්ෂයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි