Thursday, September 11, 2014

ළමයා පුංචි වැඩිහිටියෙක් කරන්න එපා...

සිබිල් වෙත්තසිංහ

‘මගේ පාසල් ජීවිතය ඇරැඹෙන්නෙ අවුරුදු තුනේදි. ඒ කාලේ අවුරුදු තුන වෙනකොට ළමයෙක් පාසලට ඇතුළත් කරන්න ඕනෑ. අපේ ගම ගාල්ලේ ගිංතොට. ගමේ සිංහල බෞද්ධ මිශ්‍ර පාඨශාලාවටයි මුලින් ම ඇතුළුවුණේ. පාසල තිබුණේ මුහුද අද්දර. හරි ම සුන්දරයි. ඕල්කට් තුමා පිහිටවපු පාසලක්.
අද ගිංතොට මධ්‍ය මහා විද්‍යාලය නමින් හඳුන්වන්නෙ ඒ පාසල තමා. පාසලේදි අකුරු ශාස්ත්‍රය ඉගෙන ගත්තත් මගේ නිර්මාණශීලිත්වය අවදි කළේ නම් අපේ අත්තම්මා බව විශේෂයෙන් ම සඳහන් කරන්න ඕන. ඇත්ත ම කියනවා නම් අපේ අත්තම්මා මළපොතේ අකුරක්වත් දන්න කෙනෙක් නෙමේ.
 කැලෑවල – කුඹුරුවල ඇවිදිමින් කාලය ගෙවපු අත්තම්මාගෙන් අහපු කතන්දර තමා පසුකාලෙක මගේ බොහොමයක් නිර්මාණවල පසුබිම් වුණේ. කොටින්ම කියනවා නම් මම කතාරසය හඳුනාගත්තේ ඇගෙන්.”
ජීවන චාරිකාවේ දශක අටක කඩඉම ඉක්මවා සිටිය ද අදටත් ළමා ලෝකයේ සැරිසරන සිබිල් වෙත්තසිංහ නම් සිත්තර ලේඛිකාව දිගු කතාවකට මුලපිරුවේ එලෙසිනි.
සිබිල්ගේ ගැමි කතන්දර කලාවට ම උචිත සිතුවම් රටාවක් නිර්මාණය කරගැනීමට හැකිවූයේ කෙසේදැයි විමැසූ විට මට ලැබුණේ මෙවන් පිළිතුරකි.
”මට මතකයි මම මුලින් ම ඇඳපු චිත්‍රය. එතකොට අවුරුදු පහක් විතර ඇති. අවුරුදු කාලෙක අපේ ගෙදර බිත්තිවල අලුතින් තීන්ත ආලේප කර තිබුණා.
අම්මා කැවුම් බදින තැනින් අඟුරු කැටයක් අරන් ගිහින් මම අලුත් බිත්තියේ චිත්‍රයක් ඇන්දා. බිත්තිය කැත කළා කියලා අම්මා දුක් වුණත් තාත්තා මොකුවත් ම නොකියා බිත්තිය පිරිසිදු කළා.
බිත්ති නාස්තිකරන එක හොඳනැති බව තේරුණාට පස්සෙ කෝටු කෑල්ලකින් මිදුලේ අඳින්ඩ පුරුදුවුණා. ඔන්න එක අවුරුදු දවසක අපි නෑ ගෙදරක ගියා. වැඩිහිටියො එකතුවෙලා කතා කර කර ඉන්නවා. මට හොඳට ම බඩගිනියි.
මම දැක්කා ගල්ලෑල්ලක් තියෙනවා. බඩගින්නේ අඬන ළමයෙක් මම ඒකේ ඇන්දා. ඒක දැකපු බාප්පා කෙනෙක් ‘මේ දරුවා බඩගින්නේ. එයාට කන්න දීපල්ලා කිව්වා.’ හැඟීම් පළ කිරීම සඳහා චිත්‍ර කලාව ඉතා සුදුසු බව මම එදා තේරුම් ගත්තා.
සිබිල්ට වයස හත සැපිරෙන විට බම්බලපිටියේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට ඇතුළත් කෙරිණි. ඇය ගම අතහැර ආවේ දැඩි දුකකිනි. ඒ දුක නිවාගැනීමට ඇයට පිහිට වූයේ ද චිත්‍ර කලාවය.
සිබිල්ගේ පියා ගෘහනිර්මාණ ශිල්පියෙක් විය. පියාණන්ගේ පෑන් හා තීන්ත ඇගේ සිතුවම් කලාවේ උපකරණ බවට පත්විණි. ගමට තිබුණු අසීමිත බැඳීම නිසාදෝ ඇගේ හැම සිතුවමකට ම පාහේ මුල් වූයේ ගමේ සුන්දරත්වයයි.
දියණියගේ හපන්කම් දුටු පියා ඒ චිත්‍ර කිහිපයත් රැගෙන ගොස් එකල කලාභවනේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට ඉදිරිපත් කළේ ය. එවකට රාජකීය විදුහලේ කනිෂ්ඨ අංශයේ විදුහල්පතිවරයා ව සිටි, ප්‍රකට කලාකරුවකු ද වන එච්.ඩී. සුගතපාල මහතා සිබිල්ගේ චිත්‍ර දැක මහත් සේ ප්‍රමෝද විය. ‘නවමග‘ නම් කියැවීම් පොතට චිත්‍ර අඳින ලෙස ඔහු සිබිල්ට ඇරයුම් කළේ ය. සිබිල් වෙත්තසිංහ නම් ළමා සිත්තරාවියගේ කලඑළිබැස්ම සිදුවන්නේ මේ අයුරිනි.
”නවමග පොතේ චිත්‍ර දැකපු මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා, මේ ළමයට හොඳ අනාගතයක් තියෙනවා කියලා එතුමාගේ ‘අපේ ගම’ පොතටත් චිත්‍ර අඳින්න මට ආරාධනා කළා. මට ඒක අදටත් අදහාගන්ඩ බැහැ. මට මතකයි මම චිත්‍රත් ඇඳගෙන වික්‍රමසිංහ මහත්තයා හමුවෙන්ඩ ගිය දවස. එතුමා මගෙන් ඇහැව්වා සල්ලි කොච්චර ඕනැද කියලා. මම එපා කිව්වහම එතුමගෙ පොත් දෙකක් අත්සන් කරලා මට දුන්නා.”
මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ පවා අවධානය දිනාගැනීමට සමත්වන විට සිබිල් වෙත්තසිංහ සිත්තරාවිය යාන්තම් පහළොස් වස සපුරා සිටියා පමණි. මෙබඳු සිදුවීම් හේතුකොටගෙන චිත්‍ර ශිල්පයට සිබිල්ගේ සිත කෙතරම් ඇදී ගියාද කිවහොත් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට ලිවීමටත් පෙර ඕතොමෝ ‘ලංකාදීප’ යට බැඳුණාය. ඩී.බී. ධනපාල, ජූලියස් ද ලැනරෝල්, වී.ඩී. ලැනරෝල් ආදී පුරෝගාමී පුවත්පත්කලාවේදින් සෙවණේ ශිල්ප ප්‍රගුණ කරගැනීමට යොවුන් සිත්තරාවියට එහිදී අවකාශ සැලැසිණි.
”මට ලංකාදීපෙ ‘ළපටි පෙළ’ පිටුවෙ වී.ඩී. ලැනරෝල් මහත්තය යටතෙ වැඩකරන්ඩ ලැබුණා. අත්තම්මා කියලදීපු ජනකවි චිත්‍රයට නඟලා ළපටි පෙළ පිටුවේ පළකළා. මේවා හරි ඉක්මනින් ම ජනපි‍්‍රය වුණා. ඒ කාලෙ හුඟ දෙනෙක් හිතාගෙන හිටියේ මම පිරිමියෙක් කියලා. මොකද සිබිල් කියන නම ඒ තරම් හුරු නැහැනේ. ”
මම ඉඳහිට ඇයට බාධා කරමි. “ ඔබතුමී චිත්‍ර ශිල්පිනියක් වගේ ම ළමා කතා රචිකාවක් හැටියටත් ප්‍රසිද්ධයිනෙ. කොයි කාලෙද ළමා කතා රචනා කිරීම ඇරැඹුවේ?”
”ළපටි පෙළට අඳින්ඩ ජනකවියක් හොයාගන්ඩ බැරිවුණු දාට කවියක් හදලා දාන්ඩ මම පුරුදු වුණා. සමහරු ඇහැව්වා කොහෙන්ද මේ ජනකවි හොයාගත්තේ කියලා. මේ විදිහට ලේඛන කලාවත් දියුණු කර ගත්තා. කොහොම වුණත් ළමා පොතක් හැටියට මගේ මුල් ම පොත පළවුණේ 1956 දී. ඒක අදත් ළමා - වැඩිහිටි කා අතරත් ඉතා ජනපි‍්‍රය පොතක් වන ‘කුඩ හොරා’.
ඒ වගේ ම මේ වෙනකොට භාෂා 10 කට විතර පරිවර්තනය වෙලා තියෙනවා. 1982 දී ජපානයේ පැවති ලෝක ළමා පොත් තරගයකින් ‘කුඩ හොරාට’ තුන්වෙනි තැන ලැබුණා. අසූ හයේදි ජපානයේ පළ කළ හොඳ ම විදේශීය පොතට හිමි සම්මානයත් අසූ හතේදි ජනපි‍්‍රය පොතට හිමි සම්මානයත් ලැබුණේ කුඩ හොරාට. නෝර්වේවල මේ කතාව පසුබිම් කරගෙන දැන් ළමා චිත්‍රපටියකුත් හදනවා.” සිතේ උතුරා යන පී‍්‍රතිය සිනහවකට පෙරළමින් සිබිල් ම’දෙස බැලුවා ය.
සිබිල් වැඩිකලක් ගතවෙන්නට පෙර පුවත්පත් ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය චරිතයක් බවට පත්වූවා ය. 1952 දී ඇයට ලේක්හවුස් ආයතනයට සම්බන්ධවීමට අවකාශ සැලසිණි. එහි සිංහල මෙන්ම ඉංගි‍්‍රසි පත්තරවලට ද ඇගේ නිර්මාණවලින් නව ආලෝකයක් ලැබිණි. ලේක්හවුස් පුවත්පත් සමූහයේ ප්‍රධානියා වූ ඩෙන්සිල් පීරිස් මහතා සිබිල්ගේ කුසලතා හැඳිනගෙන ජනතා පුවත්පතට ළමා කතාවන් ලියන්නට ඇරයුම් කළේ ය.
පසුකලෙක සිබිල්ගේ ජීවිතය නව මඟකට යොමු කිරීමට තුඩුදුන් දෙස් විදෙස් සම්මානයට පවා පාත්‍ර වූ ‘කුඩ හොරා’ ලියවුණේ මේ ඇරයුමට ප්‍රතිචාරයක් වශයෙනි. ඉන් ප්‍රමෝදයට පත් පීරිස් මහතා ජනතාවේ ‘කුමාර මණ්ඩපය’ නමින් ළමා පිටුවක් අරඹා එහි සංස්කාරකත්වය සිබිල්ට පැවරුවේ ය. එකල සිබිල්ගේ කුමාර මණ්ඩපයේ හපන්කම් පෑ දරුවන් අතර සුනිල් ආරියරත්න හා තිලකරත්න කුරුවිට බණ්ඩාර වැන්නෝ ද වූහ. සිළුමිණේ ‘සූත්තර පුංචා’ හා සරසවියේ ‘කුසුමලතා’ වූයේ ද සිබිල් ම ය.
සිබිල්ගේ සිතුවම් හා ලේඛන හැකියාවන්ට ඇලුම් කළ රසික රසිකාවියන් සමූහය අතර ජනතාවේ උපකතුවරයකු වූ ධනපාල වෙත්තසිංහයන් ද විය. වැඩිකලක් ගතවෙන්නට පෙර ඔහු ඇගේ නිර්මාණවලට මතු නොව ඇයටත් පෙම් බඳින්නට පටන් ගත්තේය. ඒ ප්‍රේම බන්ධනය මල්ඵල ගන්වමින් ඔවුහු 1955 දී විවාහ දිවියට පිවිසියහ. එතුවක් කලක් සිබිල් ද සිල්වා වූ ඇය සිබිල් වෙත්තසිංහ බවට පත්වූයේ ඉනික්බිතිවය.
සිබිල්ගේ ජීවිතයේ තවත් කඩඉමක් ඇරඹෙනුයේ 1970 දී ධනපාල වෙත්තසිංහයන්ට ලේක්හවුසියේ රැකියාව අහිමිවීමත් සමඟ ය. සිබිල් ඒ දුෂ්කර සමය වාග් චිත්‍රයකට නැඟුවේ මේ අයුරිනි.
”මහත්තයට රස්සාව නැතිවුණාට පස්සෙ මාත් ලේක්හවුස් එකෙන් අයින් වුණා. දරුවො හතරදෙනෙක් එක්ක අපිව පාරට වැටෙන තත්Àවයක් උදාවුණා. නමුත් මම ජීවිතේ කවදාවත් අහිමිවුණු දේවල්වලට අඬා වැලැපුණු කෙනෙක් නෙමේ. තව තවත් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් වැඩකරලා හැම අභියෝගයකට ම සතුටින් මුහුණ දුන්නා. මුල, මැද, අග ගැන මට කිසිම දුකක් නැහැ. එදත් අදත් එක විදිහට ම සතුටෙන් ජීවත් වෙනවා.”
සිබිල්ගේ ජීවනතතු විමසන අතරවාරයේ, ජ්‍යෙෂ්ඨ ලේඛිකාවක් හා සිත්තරියක් වශයෙන් දරුවන් සඳහා ලිවීමේදීත් සිතුවම් කිරීමේදීත් ඇය සැලැකිලිමත් වන කරුණු කවරේදැයි මම විමැසීමි.
”ළමා සාහිත්‍යය ගැන කතා කරනව නම් කියන්න බොහෝ දේවල් තියෙනවා. මුල් කාලෙට වඩා අද ළමා කතාවල චිත්‍රවලට ප්‍රමුඛත්වයක් දෙනවා. ඒකට හේතුව තමා රූප මාධ්‍යයේ ඇති වී තිබෙන දියුණුව. තවත් දෙයක් නම් අකුරු බැරි දරුවකුට වුණත් වර්ණ හා චිත්‍ර මඟින් යමක් අවබෝධ කළ හැකි වීම. ඇත්තට ම අද හුඟක් ළමයි කතා රසවිඳින්නේ චිත්‍ර මඟින්.
නමුත් සමහර ලේඛක ලේඛිකාවන් චිත්‍ර සඳහා වර්ණ යොදා ගැනීමේදී ළමා මනස පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කරනවා. ළමයි තද වර්ණවලට කැමති නැහැ. තද වර්ණයක් යොදාගත යුත්තේ විශේෂ අර්ථයක් දීමටයි. ආදරය කරුණාව වගේ අවස්ථා නිරූපණය කරනවිට ලා වර්ණ යොදා ගැනීම වැදගත්. ළමයි අඳින චිත්‍ර දිහා බලපුවහ ම අපට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ළමා මනස තේරුම්ගන්න නම් ළමයි ලියන – අඳින දේවල් නිරීක්‍ෂණය කරන්න ඕනෑ.
”මම උදාහරණයක් කියන්නම්. මගේ මුණුපුරා රූපවාහිනියේ යන ’spider man’ වැඩසටහනට හරි කැමැතියි. එයා ඒක බලනකොට මම හැම වෙලාවෙ ම බාධා කරනවා. දවසක් එයා කියනවා “ආච්චි අම්මට තේරෙන්නෙ නැද්ද මම එහෙම යන්නෙ නැහැ කියලා. මම බලන්නෙ එයාට කොච්චර වේගයෙන් යන්ඩ පුළුවන් ද කියලයි” ළමයින්ට නිකම් ම විරුද්ධවෙනවට වඩා ළමයි එක්ක සාකච්ඡා කිරීම වැදගත්.
‘ඇයි පුතේ ඔයා මෙහෙම කරන්නෙ’ කියල අහපුවහම ළමයා ඒකට හේතුව කියනවා. දවසක් මේ දරුවා මොන්ටිසෝරියෙදි වෙච්ච සිද්ධියක් මට කිව්වා. එයා චිත්‍ර අඳින්න ආසයි. ගුරුතුමී ‘හාවයි – ඉබ්බයි රේස් දුවපු හැටි’ අඳින්න කිව්වලු. මේ දරුවා ඇඳල තියෙන්නෙ ඉබ්බගෙ පිට උඩ හාවා නටන විදිහේ චිත්‍රයක්.
ගුරුතුමී ඒක බලලා කිව්වලු ඔයාට චිත්‍ර අඳින්ඩ තේරෙන්නෙ නැහැ කියලා. දරුවගෙ හිත හොඳට ම රිදිලා. දරුවා මට කියනවා ආච්චි අම්මේ මම රේස්වලට කැමති නැහැ. ඒක හින්දා තරගෙන් පස්සෙ ඒ දෙන්නා විනෝදවෙන හැටි ඇන්දා කියලා. අර ගුරුතුමී ළමයත් එක්ක නිකමට හරි සාකච්ඡා කළා නම් ළමයගෙ මානසික ස්වභාවය තේරුම් ගන්නවා නේද?” සිබිල්, ඇගේ දීර්ඝ පළපුරුද්දෙන් ලද අත්දැකීම් එසේ විස්තර කළා ය.
වැඩිහිටි පරපුර, විශේෂයෙන් ම දෙමව්පියන් හා ගුරුවරුන් ළමා මනස තේරුම් නොගැනීම හේතුවෙන් සිය දිවි නසා ගැනීම් පවා සිදුවන අයුරු සිබිල් වෙත්තසිංහ මහත්මිය තවදුරටත් විස්තර කළා ය. මෙබඳු පසුබිමක් තුළ වැඩිහිටියන්ට පැවැරී ඇති වගකීම කුමක්දැයි විමසූ විට ඇය පිළිතුරු දුන්නේ මෙලෙසිනි.
”ළමයා පුංචි වැඩිහිටියෙක් කරන්න එපා කියන එක තමා මට විශේෂයෙන් ම කියන්න තියෙන්නෙ. අද බහුල ව දකින්න ලැබෙන දෙයක් තමා රූපවාහිනී වේදිකාවල ළමයි ලව්වා වැඩිහිටියන් කරන දේවල් අනුකරණය කරවීම. දරුවා ඉදිරියට දමා තමන් කැපී පෙනෙන්නයි හුඟ දෙනෙක් උත්සහ කරන්නෙ. කෙනෙක් දරුවෙක් වෙලා ඉන්නෙ ජීවිතේ එක වතාවයි.
ඒ නිසා ඒ කාලය ළමයෙක් හැටියට ගත කරන්න අවශ්‍ය වටාපිටාව වැඩිහිටියන් විසින් සකසා දිය යුතුයි. එහෙම නැතුව දරුවගෙ ළමා කාලය උදුරගෙන එයා ව වැඩිහිටියෙක් කරන්න හදනඑක අපරාධයක්. පහුගිය කාලයේ පාසල් ළමයි කිහිපදෙනෙක් ම දිවි නසා ගත් බව අපට අසන්න ලැබුණා. කවුරුහරි මේ දිවි නසා ගැනීම්වලට හේතුව ගැඹුරින් හොයා බැලුවොත් වැටහේවි ඒ දරුවන්ගෙ සිත්වලට වැඩිහිටි ලෝකයේ ප්‍රශ්න ඇතුළත් කර තිබීම මීට හේතුවිය හැකි බව.
“අපේ රටට වැඩි ම විදේශ විනිමයක් උපයාදීපු ලේඛිකා ඔබ ය කියා මතයක් තියෙනවා.. ඒක හරිද?”
”මම ගණන් හදල නම් නැහැ. නමුත් වෙන්න පුළුවන්. මොකද ලෝකය පුරා මගේ පාඨකයෝ ලක්‍ෂ ගණනක් ඇති. නවසිය අසූ ගණන්වල ඉඳලා ජපානය, නෝර්වේ, ස්විඩන්, කොරියාව, අමෙරිකාව, චීනය ඇතුළු රටවල් ගණනාවක මගේ පොත් පළවෙනවා. කුඩ හොරා, දුවන රැවුල, බළල් රටට ආ පුදුම අමුත්තෝ වගේ පොත් ජපානයේ හැම අවුරුද්දකම වගේ අලුතෙන් මුද්‍රණය වෙනවා.
‘හොයිට් නම් හිවලා’ කියන පොත ජපානයේ විතරක් 14 වතාවක් විතර මුද්‍රණය වෙලා තියෙනවා. ජපන් දරුවන් කුඩ හොරාට වගේ ම මේ පොතටත් හරි ආසයි.” ආඩම්බර සිනහවක් ඇගේ මුවගින් යාන්තමට මතුවෙනු පෙනිණ. සිබිල්ගේ ළමාකතා හා සිතුවම්වලට දෙස් විදෙස් දරුකැල මෙතරම් පෙම් බඳින්නේ කිමදැයි මම ඊළඟට විමසුවෙමි.
”අර මම කලිනුත් කිව්වෙ. මම කරන්නෙ හැඟීම් ප්‍රකාශනය කිරීම. මම අදටත් දරුවන්ගෙන් ඉගෙනගන්න කෙනෙක්. කොටින් ම මම හිතින් ජීවත් වෙන්නේ මගේ ළමා ලෝකය ඇතුළෙ. ඒකයි කොහොම හරි ඉඳහිට ගමට ගිහින් මතකය අලුත් කර ගන්නෙ. අනිත් එක මගේ පොත්වලට ළමයි කැමති චිත්‍රවලින් මම ළමයින්ට කතා කරන නිසයි.
ඒවා කවුරුවත් උගන්වපු චිත්‍ර නෙමෙයි. මගෙම නිර්මාණ. කොටින් ම කියනව නම් කවුරුවත් මට පින්සල අල්ලන හැටිවත් කියල දීලා නැහැ. අනිත් එක මම කිසිම ගුරුකුලයකට අයිතිත් නැහැ. මගේ චිත්‍රවලින් මහ ගැඹුරු දර්ශනවාදී අදහස් ප්‍රකාශ වෙන්නෙත් නැහැ. ඇත්ත ම කියනවා නම් මම ළමයින්ගෙන් ඉගෙන ගනිමින් ළමයින්ට උගන්වන කෙනෙක්.”
බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියපත් ගත් කතුවරියක වුව ද සිබිල් ඒ වචන කිහිපය පිට කළේ දැඩි නිහතමානී ස්වරයකිනි. මේ වනවිට පොත් 200 ක් පමණ ලියා ඇතත් ඇය අදත් සිතනුයේ තමාට තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට ඇති බවයි. එතෙර මෙතෙර ආයතන සහ රාජ්‍යවලින් ඇයට ලැබී ඇති ගෞරව සම්මාන සංඛ්‍යාව ද දෙසීය ඉක්මවයි.
සිබිල්ගේ කෘති රැසක් රාජ්‍ය සම්මානයට ද පාත්‍ර ව ඇති අතර ඕතොමෝ 2003 වසරේදී කලා කීර්ති නාමයෙන් ද ගරු බුහුමන් ලැබුවා ය. ඒ සියලු ම ගරු සම්මානයන්ට වඩා තම පොත්පත් කියවන දරු දැරියන්ගෙන් ලැබෙන සිය දහසක් ලිපි හා දුරකතන ඇමතුම් අගය කරන බව සිබිල් පවසයි.
මෑතක් වනතුරු ම සිබිල් පුවත්පත් ආයතන කිහිපයක ළමා පුවත්පත් සඳහා දායකත්වය ලබා දුන්නා ය. ‘විජය’ හා ‘බිංදු’ එසේ ඇගේ නිර්මාණශිලීත්වයෙන් ඔපවත් වූ ළමා පත්තර දෙකකි. දියණියන් දෙදෙනකුගේ හා පුතණුවන් දෙදෙනකුගේ මවක් වන ඇය දැන් ආච්චි අම්මා කෙනෙකි.
ඇගේ දිවිමගට මහත් දිරියක් හා ආලෝකයක් වූ පෙම්බර සැමියා 1988 දී මෙලොව හැර ගිය පසු ව දරුවන් සිව් දෙනා ද සමඟ සිබිල් තම ජීවන ගමන මෙන් ම නිර්මාණ චාරිකාව ද පෙරට ගෙන ගියේ සියලු අභියෝගයන්ට එඩිතර ව මුහුණ දෙමිනි.
තමා ජීවත්වන්නේ ලිවීමට හා ඇඳීමට බව පවසන සිබිල් අදත් එදා මෙන් ම දවසින් වැඩි කාලයක් නිර්මාණ කටයුතු සඳහා කැප කරයි. ඇයගේ අලුත් ම පොත ‘නොමියෙන කළු දූ’ නමින් සැප්තැම්බරයේ එළි දුටුවේ ය. එය ’Elernally Your’s’ ලෙස ඉංගි‍්‍රසියට ද නැඟී ඇති අතර ළඟදී ම දෙමළ බසින් ද පළවීමට නියමිත ය. 1928 වසරේ ඔක්තෝබර් 31 වන දින උපත ලද සිබිල් ගේ මීළඟ උපන් දිනය යෙදෙන විට එනම් 2009 ඔක්තෝබර් 31 වන විට ‘සිබිල් වෙත්තසිංහගේ කතාව‘ නම් චරිතාපදාන කෘතිය සිංහල හා ඉංගි‍්‍රසි භාෂාවලින් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි