Sunday, September 14, 2014

ඉංග්‍රීසි සාහිත්‍යය අපෙන් දුරස් ද?

නූතන ශ්‍රී ලාංකික සාහිත්‍යය ක්‍ෂේත්‍රය තුළ ඉංග්‍රිසි බසින් නිර්මාණය වන සාහිත්‍ය කෘතීන් ද ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරයි. එපමණක් නොව සමහර ඉංග්‍රිසි කෘති අන්තර්ජාතික තලයේ අවධානයට යොමු වෙමින් විවිධ අන්තර්ජාතික සම්මාන ද හිමිකර ගැනීමට සමත් වී තිබේ. එහෙත්  තවමත් අපට ආගන්තුක ස්වරූපයක් ගෙන දෙයි.
අද අපගේ අවධානය යොමුවනුයේ ඒ වෙනුවෙනි.


ඉංග්‍රීසියෙන් ලියන බොහෝ දෙනෙක් සිංහලෙන් කතා කරන්නෙවත් නැහැ

විජිතා ප්‍රනාන්දු


1. මම හිතන්නෙ මීට දශක දෙක තුනකට කාලෙට වඩා වර්තමාන තත්ත්වෙ හොඳයි. අපේ රටේ කෙරෙන ඉංග්‍රිසි රචනා, සාහිත්‍ය කෘතිවල දියුණුවක් වර්තමානයේ දකින්න පුළුවන්. එය කොතරම් පුළුල් වෙලා ද කිවහොත් මීට පෙර යුගයන්හි ඉංග්‍රිසියෙන් සිංහලට පරිවර්තනය වෙච්ච ලේඛන අද වෙනකොට සිංහලෙන් ඉංගි‍්‍රසියට පරිවර්තනය කරනව. එය හොඳ ලක්ෂණයක්. මෙයට අධ්‍යාපනයේ දියුණුව, ලෝක දෘෂ්ටිය පුළුල්වීම, අන්තර්ජාතික දැනුම උකහා ගැනීමට ඇති හැකියාව වර්ධනය වීම, මිනිසුන්ගෙ ලිබරල්වාදී චින්තනය වර්ධනය වීම වැනි කරුණු රාශියක් බලපාල තියෙනව.
අද අපට හමුවන්නෙ හැටේ දශකයේ අපට හමුවුණු සාහිත්‍යකරුවා නෙමෙයි. වර්තමාන සාහිත්‍යකරුවා අතීත දැනුමෙන් හා වර්තමාන දැනුමින් සන්නද්ධ වෙච්ච කෙනෙක්. ඒ නිසා ඔහු සිතන පතන ආකාරය වෙනස්. ඔහුට බොහෝ දේ බාධකයන් නෙමේ. ඒ නිසා ඔහු බය නැතිව ලේඛනයෙහි පවා යෙදෙනවා. එම ලේඛනවල අඩුපාඩු නැතිවා නෙමෙයි. නමුත් වැරදි වැරදි හරි ලේඛනයට යොමුවීම ඉතා වැදගත්. යමක් නොකර සිටීමට වඩා යම් දෙයක් කිරීමට උත්සාහ කිරීම ඉතා වැඩදායී දෙයක්.

2. කොහෙත්ම කරන්න බැහැ. ඒකෙ ආයිත් කථා දෙකක් නැහැ. ඕනැම රටක නිර්මාණකරණයක නියැළෙනවා නම් එහි සාහිත්‍ය සම්ප්‍රදාය දැනගත යුතුයි. එහෙම නැතුව අඳුරේ අතපතගාන්න බැහැ. නමුත් අපේ රටේ වෙලා තියෙන්නෙ ඉංග්‍රිසියෙන් ලේඛනයෙහි යෙදෙන, සාහිත්‍ය නිර්මාණ කරන වැඩි දෙනෙක් (එක්කෙනෙක් දෙන්නෙක් හැර) සිංහල සාහිත්‍ය තියා සිංහලෙන් කතා කරන්නෙවත් නැහැ. ඒ වගේම ඒ බොහෝ දෙනෙක් දක්ෂ සිංහල ලේඛක, ලේඛිකාවන්ගෙ නම් පවා දන්නෙ නැහැ. මෙවැනි වටපිටාවක ඔවුන් අතින් අව්‍යාජ කෘති බිහිවෙයි කියල හිතන්න බැහැ.
අපි ඔක්කොටම ඉස්සෙල්ල අපි ජීවත්වෙන පොළොවෙ පය ගහල ඉන්න ඕන. එහි සංස්කෘතිය, භාෂාව, පිළිබඳ දැනගෙන ඉන්න ඕන. එහෙම නැතුව තමාට අවශ්‍ය දේ පමණක් කෘති හරහා ප්‍රකාශයට පත් කරාට වැඩක් නැහැ. එවිට එම නිර්මාණවල පවතින්නෙ ව්‍යාජ ස්වරූපයක්. මෙම තත්ත්වය එන්න එන්නම වැඩිවෙනවා මිසක් එහි අඩුවක් පෙනෙන්නට නැහැ. අපි ඉංග්‍රිසියෙන් ලේඛනයෙහි යෙදුණට අපේ මුල් සාහිත්‍ය සම්ප්‍රදාය අමතක කරල නිර්මාණයෙහි යෙදීම කෘතිමයි.
3. එයට ප්‍රධාන හේතුවක් වන්නෙ හුඟ දෙනෙක් එවැනි දේ ගැන නොදැනීම. ඒ වගේම තමයි දන්න අය තමන්ගෙ කෘති විදේශ වෙළෙඳපොළට යැව්වත් එම නිර්මාණවල එතරම් ගුණාත්මක බවත් නොමැතිවීම. අන්තර්ජාතික තලයෙ පොත් කියවන්නන්ගෙ සංඛ්‍යාව අතිවිශාලයි. ඔවුන් කියවන පොත්පත් ද විවිධයි. ඒ නිසා ඔවුනට සෑම විටම අවශ්‍ය වන්නෙ නව නිර්මාණ. එකම තැනකට කොටුවෙච්ච නිර්මාණ කියවන්න ඔවුන් කැමැති නැහැ.
අපේ බොහෝ පොත්වල තියෙන්නෙ ඔන්න ඔය කියන ඒකාකාරී ස්වරූපය. නමුත් ඒ අතරෙ අලුත් නිර්මාණ, ගුණාත්මක බවින් යුතු නිර්මාණ බිහිවෙන්නෙ නැහැ කියල කියන්න බැහැ. ශෙහාන් කරුණාතිලකගෙ Chinaman එවැනි කෘතියක්. එය සාමාන්‍ය කෘතියකට වඩා ඉහළ කෘතියක්. ඒ වගේම සොනිලි දැරණියගලගේ Waves කියන සුනාමිය අළලා ලියා තිබෙන කෘතිය පිළිබඳ Newyork literary news Newyoker සඟරාවෙ කෙටි සටහනක් තියෙනව. ඒ වගේම ඈන් රණසිංහ වැනි ලේඛිකාවො පිළිබඳ සාකච්ඡා වෙලා තියෙනවා. තවත් කිහිප දෙනෙකු ද ඒ අතරෙ සිටිනව. ඒ නිසා මෙවැනි දේ පිළිබඳ අපේ සාහිත්‍යකරුවනව දැනුවත් කළ යුතුයි.

4. විචාර කලාවක් නැහැ. ඉංග්‍රිසි පුවත්පත් හරහා විවිධ කෘති පිළිබඳ විචාර පළවෙනව තමයි. නමුත් එය සිදුවන්නෙ බොහෝ විට දැන ඇඳුරුම්කම් මත. කිසියම් කෘතියක් රචනා කරපු කෙනෙක් තමන් දන්න කෙනකුට කියල තම පොත ගැන ලියවගන්නව. එතැනදි විචාරය ලියන එක්කෙනා තමන්ගෙ මිතුරගෙ පොත හොඳයි කියල ලියනවා. එය පත්තරේ පළකරනවා. ඔවැනි විචාරයක් තමයි අද තියෙන්නෙ. එයින් වෙන්නෙ හානියක්. එහිදී පොත පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලැබෙන්නෙ නැහැ.

5. බොහෝ සිංහල ලේඛක ලේඛිකාවන්ට දැඩි ආශාවක් තියෙනවා තමන්ගෙ කෘතිය ඉංග්‍රිසියට පරිවර්තනය කරගැනීමට. නමුත් අපි කරන්න ඕන කිසියම් වැදගත්කමක් තියෙන කෘතියක් පමණයි. මම පරිවර්තනය කරනකොට මුලින්ම අවධානය යොමු කරන දෙයක් තමයි එම කෘතිය පරිවර්තනය කිරීමෙන් කිසියම් වැඩක් වේද? කියන එක. ඒ වගේම එයින් මට වින්දනයක් ලැබිය හැකිද? කියන එක. නමුත් වර්තමානයෙ සමහර කෘති කිසිම විශේෂ හේතුවක් නැතුව පරිවර්තනය වන බවක් පෙනෙන්ට තියෙනවා.

ලාංකේය ඉංග්‍රීසි සාහිත්‍යයේ නූතනවාදය ඉස්මතු වෙලා

මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු

1. ඇත්තටම මම ඒ පිළිබඳ හුඟක් දන්නෙ නැහැ. නමුත් සිංහල හා ඉංග්‍රිසි යන භාෂා දෙකෙන්ම බිහිවන කෘති කියවන පාඨකයෙක් වශයෙන් මං යමක් ප්‍රකාශ කරන්නම්. ඉංග්‍රිසි ලේඛනයෙහි යෙදෙන ලේඛක ලේඛිකාවන් ප්‍රධාන ධාරාවන් දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. ඉන් පළමුවන කොටස තමයි සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමය අනුගමනය කරන පිරිස. දෙවන පිරිස තමයි වෙනස් වූ නූතනවාදය ඇසුරෙහි තම කෘති බිහි කරන පිරිස. මෙම දෙවන පිරිස බොහෝ අය පශ්චාත් නූතනවාදීන් හෙවත් පශ්චාත් නූතනවාදය ප්‍රකාශ කරන්නන් ලෙස හැඳින්වූවත් මා එය හඳුන්වන්නෙ සමකාලීන නූතනවාදය හැටියට. අද තියෙන්නෙ සමකාලීන නූතනවාදයෙහි වර්ධනයක්.
ඔවුන් කලාව, සාහිත්‍ය පිළිබඳ හෙලන දෘෂ්ටිකෝණය සාම්ප්‍රදායික දෘෂ්ටිකෝණයෙන් එහා ගිය නූතනවාදී එළඹුමක්. වර්තමාන ලාංකික ඉංග්‍රිසි සාහිත්‍යයෙහි එම වර්ධනය ඉස්මතු වෙලා තියෙනව. එයට හොඳම උදාහරණයක් තමයි මහාචාර්ය සුමති ශිවමෝහන්. ඇය ඉංග්‍රිසියෙන් නවකතා ආදිය නොලියුවත් ඇයගේ ලේඛන තුළ නූතනවාදී ලක්ෂණ ඉතා පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ඒ අනුව වර්තමාන ඉංග්‍රිසි ලේඛන යම් නවතාවක් පෙන්නුම් කරනව. ඒ වගේම මයිකල් ඔන්ඩච්චි, පුණ්‍යකාන්ති විජේනායක, ජීන් අර්සනායගම් වැනි අය වගේම වර්තමානයේ ශෙහාන් කරුණාතිලක වැනි නිර්මාණකරුවන් ලාංකික ඉංග්‍රිසි සාහිත්‍යය තුළ කැපී පෙනෙනව.

2. එය එක්තරා ප්‍රශ්නයක් තමයි. ඒකට කෙටි පිළිතුරක් දෙනව නම් එහෙම කරන්න බැහැ. නමුත් ඉංග්‍රිසියෙන් ලියන අපේ බොහෝ දෙනෙක් අපේ සම්ප්‍රදාය ගැන වැඩිය දන්න අය නෙමෙයි. ඔවුන්ගෙ පළමුවන භාෂාව ඉංග්‍රිසි. ඔවුන් ජීවිතය ඉංග්‍රිසියෙන් ලියන්න හදන්නෙ. නමුත් ඉන්දියාවෙ ඔය තත්ත්වෙ නැහැ. ඉන්දියාවෙ තියෙන්නෙ British Engligh  නෙමේ. ඒවා ඉන්දියානු ඉංග්‍රිසි . ඔවුන් හිතන්නෙ Indian English වලින්. මේ පිළිබඳ මහාචාර්ය මැණික් ගුණසේකර ඉතා වැදගත් පර්යේෂණයක් කරල තියෙනවා. ඒ වගේම මහාචාර්ය අර්ජුන පරාක්‍රම සාමාන්‍ය ජනයාගේ ඉංග්‍රිසි එහෙම නැත්නම් සාමාන්‍ය ජනයා ව්‍යවහාර කරන ඉංග්‍රිසි පිළිබඳ දැඩි අවධානයක් යොමු කරනව. මමත් වැඩිය කැමැතියි එයට. ලාංකිකයන්ගෙන් පවා ඔවුන්ට ම ආවේණික ඉංග්‍රිසි භාෂාවක් ගොඩනැෙඟන්න පුළුවන්.

3. එයට හේතු කීපයක් තිබුණට එයට ප්‍රධාන හේතුව තමයි ශ්‍රී ලංකාවේ ජනගහනය ඉතා කුඩා වීම. අපේ අසල්වැසි ඉන්දියාව සමඟ සැසඳුවොත් එහි අති විශාල පාඨක පිරිසක් ඉන්නව. ඒ වගේම ඒ අරුන්දතී රෝයි වගේ ඉතා රැඩිකල් ලේඛිකාවො ඉන්නව. ඒ නිසා ඔවුන්ගෙ නිර්මාණ විශාල පාඨක පිරිසක් අතර සංසරණය වෙනව. ඒ හේතුවෙන් ලෝක අවධානය පවා ඒ වෙත යොමු වෙනවා. ඒ වගේම එම කෘති නවීන අදහස්වලින් යුක්තව නව සම්ප්‍රදායන්ගෙන් යුක්තයි. නමුත් අපේ කෘති තුළ පිටරට මිනිසුන්ට කියවන්න අලුත් දෙයක් නැහැ. ඒ නිසා ඒව අපේ රටින් පිට ඉල්ලුමක් නැහැ. හැබැයි අපිට අවශ්‍ය නම් එම තත්ත්වයට ළඟාවිය හැකියි. උදාහරණයක් වශයෙන් ගතහොත් අපේ කුලබේදය, ජාතික ප්‍රශ්නය වැනි දේ ගැන හරවත් නිර්මාණයක් බිහි කළොත් ඒ තුළ යම් නවතාවයක් තිබෙයි. එවැනි දේ සඳහා විදේශ ඉල්ලුමක් තියෙයි. නමුත් තාම එවැනි දේ පිළිබඳ හරවත්, ගැඹුරු නිර්මාණයක් බිහිවෙලා නැහැ. දෙවන කරුණ තමයි හරවත් දෙයින් පවා අපි ප්‍රයෝජනයක් අරගෙන නැතිකම. සරච්චන්ද්‍රයන්ගෙ නාට්‍ය, ලෝකෙ බිහිවෙච්ච හොඳම නාට්‍ය. නමුත් එය ලෝකේ තියා ලංකාවෙ අයවත් දන්නෙ නැහැ.

4. තරමක් දුරට තියෙනව. ඉංග්‍රීසි පුවත්පත් හරහා එය සිදුවනවා. ඒ වගේම ලංකාවෙ ඉංග්‍රිසි නාට්‍ය ගැන මහාචාර්ය නෙලූෂ ඩිමෙල් වටිනා අදහස් රාශියක් ඉදිරිපත් කරල තියෙනවා. විවේචනාත්මක ඒ දෙස බලල ඉතා වැදගත් කරුණු රාශියක් දක්වල තියෙනවා.

5. හොඳ කෘති කිහිපයක් තිබුණ සරච්චන්ද්‍රයන් කරපුව. විශේෂයෙන් ‘මළවුන්ගේ අවුරුදු දා’ ඉංග්‍රිසි පරිවර්තනය, මාර්ටින් වික්‍රමසිංහයන් කරපු පරිවර්තන, ඒ වගේම රංජිනී ඔබේසේකර ජාතක පොත පරිවර්තනය කිරීම. ඈෂ්ලි හල්පෙ “විරාගය” ඉංග්‍රිසියට පරිවර්තනය කිරීම. නමුත් මහාචාර්ය හල්පෙට “විරාගය” කෘතිය සිංහලෙන්වත් හරියට තේරුණාද? කියන එක ප්‍රශ්නයක්. මෙවැනි ගැටලු මධ්‍යයේ වුවත් හොඳ පරිවර්තන වගේම වැඩකට නැති පරිවර්තන ද සිදු කෙරෙනවා. මහාචාර්යවරුන් පවා එවැනි දේ සිදු කරනවා.


ඉංග්‍රිසි ලේඛකයො සිංහල නිර්මාණ නොකියවීම අඩුවක්

කුසුම් දිසානායක


1. දැන් නම් මීට ඉස්සෙල්ලට වඩා උනන්දුවක් තියෙනවා. ඒත් ඉංග්‍රිසියෙන් ලියන අය ඉන්නෙ බොහොම ටික දෙනයි. ඒ කට්ටිය යම් දෙයක් කරන්න උත්සාහ කරනව. නමුත් මට පෙනෙන පැහැදිලි දුර්වලතාවයක් තමයි ඒ බොහෝ කෘතිවල අන්තර්ගතය තුළ ගැඹුරක් දක්නට නොලැබීම. එහෙම නැතුව අපිට එදිනෙදා සිදුවන දේ ගැන පමණක් විස්තරයක් අවශ්‍ය වෙන්නෙ නැහැ. සාහිත්‍ය කෘතියක් කියන්නෙ පාඨකයාට වින්දනයක් දැනුමක් ලබා දෙන එකක්. එතැනදි මේ කාරණා දෙකම සමබරව තියෙන්න ඕන. මෙය ඉංගි‍්‍රසියෙන් කෙරෙන රචනාවල පමණක් නොව සිංහල කෘතිවලත් දක්නට ලැබෙන අඩුවක්. මම මේ දෙවිදියෙහිම කෘති කියවන නිසා එය මට හොඳින් දැනෙනව. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට සිංහලෙන් රචනා කරන බොහෝ අය ඉංග්‍රිසි කෘති කියවන්නෙ නැහැ. ඒ වගේම ඉංග්‍රිසියෙන් රචනා කරන අය සිංහල කෘති කියවන්නෙ නැහැ. ඔය දෙකම කියවන්න ඕන. එවිට තමයි ඒ පිළිබඳව තුලනාත්මක දැනුමක් බිහිවන්නෙ.

2. මම හිතන්නෙ එය වඩා වැදගත් වන්නෙ සිංහලෙන් ලේඛනය කරන අය සඳහා කියල. මොකද ඔවුන්ට ඔවුනගෙ නිර්මාණ සාර්ථක කරගැනීම සඳහා සිංහල සාහිත්‍යය අනිවාර්ය බලපෑමක් කරනව. එය කරුණු තුනක් යටතේ ඔවුනට වැදගත් වෙනවා. එහි පළමු වටිනාකම තමයි ඒ හරහා ඔවුනගෙ භාෂා ඥානය වැඩි දියුණු කරගැනීමට හැකිවීම. දෙවැන්න තමයි අපේ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම. තෙවැන්න තමයි සාහිත්‍ය විකාශනය වූ ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම. මේවා ඉංග්‍රිසියෙන් නිර්මාණය කරන අයට වැදගත් නොවනවා කියල කියන්න බැරි වුණත් ඔවුන්ගේ බොහෝ නිර්මාණ සඳහා පාදක වන්නෙ වර්තමාන සමාජ තත්ත්වය ගැන. ඒ නිසා ඔවුන් අවධානය යොමු කරන්නෙ අපේ පැරණි සාහිත්‍යය පිළිබඳ නෙමේ. වර්තමාන සමාජ තත්ත්වය පිළිබඳ. එතැනදි අපේ පැරණි සාහිත්‍ය ඔවුනට එතරම් අදාළ වන්නේ නැහැ.

3. අපේ රටේ ලේඛකයන් පළකරන ඉංග්‍රිසි කෘතිවලට අන්තර්ජාතික වශයෙන් වටිනාකමක් ලැබෙන්නෙ නැහැ කියල කියන්න බැහැ. ළඟදි ශෙහාන් කරුණාතිලකගෙ Chinaman කෘතිය ඇගයීමට පාත්‍රවුණා. ඒ වගේ තවත් අයගෙ කෘතිවලට ඇගයීමක් ලැබුණා. මෙහි මූලිකත්වය ගත යුත්තෙ ප්‍රකාශනයටයි. ලේඛකයා කරන්නෙ නිර්මාණය විතරයි. ඔහුට එය විදේශ වෙළෙඳපොළට ගෙනයන්න බැහැ. ඒක කරන්න ඕන ප්‍රකාශකයො. ශෙහාන් කරුණාතිලකගෙ පොත පවා තරගයට ඉදිරිපත් කළේ එහි ප්‍රකාශකයො. නමුත් අපේ රටේ ප්‍රකාශකයන් එවැනි උත්සාහයක් දරන්නෙ නැහැ. Chinaman කෘතිය ප්‍රකාශයට පත් කළේ සිංගප්පූරු ප්‍රකාශන ආයතනයක් නිසා එය ඔවුන් විදේශ වෙළෙඳ පොළට නිකුත් කළා. ශෙහාන් ගෙ පොතක් අපේ රටේ ප්‍රකාශ කළා නම් එයට ඔවැනි පිළිගැනීමකට ලක් නොවන්න ඉඩ තිබුණා.

4. විචාර කලාවක් ලෙස වර්ධනය නොවුණත් ඉංග්‍රිසි කෘති සම්බන්ධයෙන් බොහොම පුවත්පත්වල පළවන විචාර සිංහල විචාරවලට වඩා බොහොම ඉදිරියෙන් සිටිනව. ඇත්තටම එහි වැදගත්කම වඩා ඉස්මතු වන්නෙ සිංහල විචාර කලාවක් නැතිවීමේ අඩුව මත. ඉංග්‍රිසියෙන් විචාර ලියන බොහෝ දෙනා ඒ විෂයය පිළිබඳ දැනුමක් ඇතිව එය කරන බව පෙනෙනව. ඒ වගේම ඔවුන් කිසියම් කෘතියක් පිළිබඳ තුලනාත්මක විස්තරයක් කිරීමට හැකියාවක් තියෙනව. ඒ අනුව ඉංග්‍රිසි කෘති සම්බන්ධව පළවන විචාර, විචාර කලාවක් ලෙස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙයි කියා හිතනව.

5. එහෙම කරන්නෙ ඉතා ටික දෙනයි. මමත් එවැනි කෙනෙක් නිසා ඒ ගැන වැඩිය කතා කරන්න මම කැමැති නැහැ. නමුත් මට කියන්න තියෙන්නෙ ඒ සඳහා අනිවාර්යයෙන්ම සිංහල භාෂාවත්, ඉංග්‍රීසි භාෂාවත් ඉතා හොඳට දැනගෙන ඉන්න ඕන. නමුත් අපේ බොහෝ ලේඛක ලේඛිකාවො දන්නෙ එක භාෂාවක් විතරයි. එවැනි අය කරන කුමන පරිවර්තනයක් හෝ සාර්ථක වන්නෙ නැහැ. සාර්ථක පරිවර්තනයකට බහු භාෂා පිළිබඳ දැනුම ඉතා වැදගත්.



ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ව හරි විචාරයක් නැහැ

දයා දිසානායක



1. එය මේ වෙන කොට අන්තයටම පිරිහිලා. හොඳටම වැටිල. ඒකට හේතුව තමයි ලියන්න කිසිම පෙලඹවීමක් ඇති නොකිරීම. ඒ කියන්නෙ කිසිමඡ්දජධභපචඨඥථඥදබ එකක් කොහෙන්වත් නැතිවීම. ප්‍රකාශකයො පවා ඉංගි‍්‍රසි කෘති පළකිරීමට කැමති නැහැ. විශ්වවිද්‍යාලවල ඒ සම්බන්ධව කිසිදු හරවත් සාකච්ඡාවක් ඇතිවෙන්නෙ නැහැ. මෙවැනි දේ නිසා ලේඛනයෙහි යෙදෙන පිරිසට පවා ඇතිවෙලා තියෙන්නෙ මහ එපාවීමක්. ලංකාවේ සිංහල සාහිත්‍යය හා සංසන්දනය කරන ඉංගි‍්‍රසියෙන් ලේඛනයෙහි යෙදෙන්නෙ කිහිප දෙනයි. ඒ අයටත් එපාවීමක් වෙනකොට ඒ ගැන ඉතිං බලාපොරොත්තු තියාගන්නෙ කොහොමද? දෙවන කාරණය තමයි කල්ලිවාදය. ඉංගි‍්‍රසියට එක කට්ටියක් අරක්ගෙන ඉන්නව. ඔවුන් ඒ තුළ දැඩි ඒකාධිපති ස්වරූපයක් උසුලනවා. මෙම ලක්ෂණ යම් පමණකට සිංහල සාහිත්‍යයට ද වලංගු වුණත් ඉංගි‍්‍රසිය තුළ එය ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මම මුලින් කිව්ව පරිදි ප්‍රකාශකයන්ගෙ අකමැත්ත. ඇත්තටම ඉංගි‍්‍රසි කෘති පළකරන ප්‍රකාශකයන් කිහිප දෙනයි ඉන්නෙ. ඒ ප්‍රමාණය හොඳටම මදි. ප්‍රකාශකයන් නොමැති වීම ලංකාවේ ඉංගි‍්‍රසියෙන් ලේඛනකරණයෙහි යෙදෙන අයට විශාල පාඩුවක්.

2. සිංහල සාහිත්‍යය අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ලංකාව ගැන ලියනව නම්, ලංකාවෙ බිහිවන චරිත ඇසුරින් නිර්මාණයක් කරනව නම් අනිවාර්යයෙන්ම සිංහල සාහිත්‍යය අධ්‍යයනය කළ යුතුයි. එහෙම නැතුව තමාගේ දක්ෂතාවය පෙන්නන්න ව්‍යාජ කෘති බිහිකරාට වැඩක් නැහැ. අපි පවුලෝ කොයියො, කෆ්කා වැනි අය පිළිබඳ ඉතා විශාල ලෙස සාකච්ඡා කරනව. ඒ වගෙම ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ගැන ලොකුවට කතා කරනව. නමුත් Magical Realism  අපේ ජාතක කතාවල තමයි පළමුවෙන්ම හමුවන්නෙ. ඒක අමතක කරල කෘතිම දේවල් වැලඳගන්නවා. මේක දැන් මෝස්තරයක් බවට පත්වෙලා. ඒ වගේම ලංකාවේ බිහිවන ඉංගි‍්‍රසි සාහිත්‍යය තුළ පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් තමයි එම නිර්මාණ බොහෝ විට සීමිත සමාජ කණ්ඩායමක් ගැන විතරයි සාකච්ඡා කරන්නෙ. පුළුල්ව පැතිරී ගිය සමාජ කතිකාවතක් ඒ තුළ නැහැ. එයට ප්‍රධාන හේතුවෙක් වන්නෙත් අපේ පැරණි සාහිත්‍යය පිළිබඳ ඔවුනට අවබෝධයක් නැතිකම. එය හදාරනව නම් ඒ වගෙ ගුණාත්මක බව දියුණු කරගන්න පුළුවන්.

3. අන්තර්ජාතික තලයට අපේ පොත් ගෙනියනව කියන්නෙ ලේඛකයෙකුට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ සඳහා මූලික වශයෙන් රාජ්‍ය අනුග්‍රහයක් ලැබිය යුතුයි. නමුත් අපේ සංස්කෘතික අමාත්‍යාංශය හෝ වෙන කිසිම රාජ්‍ය ආයතනයකින් එවැනි දෙයක් ඉටුවෙන්නෙ නැහැ. නමුත් ඉන්දියාවෙ වගෙ රටක එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනව. Indian Books abroad  කියන වැඩ සටහන හරහා ඉන්දියාවෙ පළවන ඉංගි‍්‍රසි කෘති ලෝකයට හඳුන්වාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනව. ඒ හරහා ඉංගි‍්‍රසි කෘති විශාල වශයෙන් අන්තර්ජාතික ප්‍රජාව පරිහරණය කරනව. ඒ හරහා ඔවුනට නිසි පිළිගැනීමක්, ගෞරවයක් ලැබෙනවා. අවාසනාවකට අපිට එහෙම තත්ත්වයක් නැහැ. පිටරට යවනව තියා ලංකාව තුළ වුණත් ඉංගි‍්‍රසි කෘතියක් අලෙවි කර ගැනීම ප්‍රශ්නයක්. ඒ වගේම අපේ කෘති බොහෝ විට එකම අත්දැකීම් මත නිර්මාණය වන්නක්. ඒ නිසා අපේ කෘති ප්‍රකාශනයට අවම වශයෙන් ඉන්දියාව වත් බාර ගන්නෙ නැහැ. එවැනි මොහොතක අපේ ප්‍රකාශකයන් පවා ඒ පිළිබඳ උනන්දුවක් නැහැ.

4. ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ නියම විචාරයක් නැහැ. පුවත්පත්වල පළවන විවිධ අදහස්වල තාම පදනම වෙන්නෙ මීට අවුරුදු බොහෝ ගණනකට ඉස්සෙල්ල පාවිච්චි කරපු මිනුම් දඬු. අපේ රටේ සංස්කෘතියට ගැළපෙන විදියට කිසිම විචාරයක් කෙරෙන්නෙ නැහැ. ඒ වගේම බොහෝ විචාර පත්තරවල පළ කරන්නෙත් නැහැ. කෙනකුගෙ නිර්මාණයකට හොඳයි කියන්න බොහෝ දෙනා කැමැති නැහැ. ඒ වගේම තමයි පුවත්පත්වල පළ කරන කිසිදු විචාරයකට ගෙවීමක් කරන්නෙත් නැහැ. ඒ නිසා කවුරුවත් විචාරයක් ලියන්න පෙලඹෙන්නෙත් නැහැ.

5. ඉතා ස්වල්පයක් තමයි සිංහලෙන් ඉංගි‍්‍රසියට පරිවර්තනය වෙලා තියෙන්නෙ. පරිවර්තනය විය යුතුව තිබුණ ඒවා පරිවර්තනය වෙලා නැහැ. වගේම පරිවර්තනය නොකළ යුතු දේවල් පරිවර්තනය වෙලා තියෙනවා. මහගමසේකරගෙ, කෘති පරිවර්තනය වී නැහැ. සයිමන් නවගත්තේගමගෙ පවා එක පොතයි පරිවර්තනය වෙලා තියෙන්නෙ. ඒ ඇරුණු කොට තවත් පරිවර්තනය විය යුතු ඉතා වටිනා කෘති රාශියක් තියෙනව. නමුත් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුවෙලා නැහැ. මේක සමස්ත සාහිත්‍ය ලෝකයේම තියෙන විශාල ගැටලුවක්. සාහිත්‍යය පිළිබඳ අවධානය පටන්ගන්න ඕන පාසල් වලින්.



 http://www.silumina.lk/punkalasa/20130512/_art.asp?fn=ar1305126

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි