Thursday, May 28, 2015

“මෙන්න හැඳි කැවුම් ටික පැණි මුට්ටිය ඇතුළේ! පැණි බේරි බේරී තියෙනවා

අවුරුදු කැවුම්

අලුත් අවුරුද්දට අත්තම්මා අපි යාළුවෝ හැම දෙනාටම රසට කැවුම් හදල දෙන්නම් කියල පොරොන්දු වුණා. අත්තම්මා කියපු විදිහටම අපිට කැවුම් හදල දෙන්ට අවශ්‍ය හාල්, පැණි, තෙල් කඩෙන් ගෙනල්ලා ගෙදර පැත්තක තියල තිබුණා. පසුව හාල් ටික වතුරේ පොඟවා කොටල පිටි ගන්න හැටි අපිට පෙන්වා කියල දුන්නා.
අපි හැම දෙනාම අත්තම්මට පිටි කොටන්නට උදව් කළා. අත්තම්මට හරිම සතුටුයි. අපි සමඟියෙන් පිටි කොටල කැවුම් හදන්ට අත්තම්මට උදව් කරපු එක ගැන. ඉන්පසු අත්තම්මා කිතුල් පැණි මැටි මුට්ටියකට දාල ළිපේ තබා පැණි උණුකර පැත්තක තිබ්බා.
ටික වෙලාවකින් කොටපු හාල් පිටි භාජන තුනකට දැමුවා.
අත්තම්මා මුලින්ම කොණ්ඩ කැවුම් හදන පදමට පිටිවලට පැණි එකතු කරල දියාරුවක් හදා ගත්තා.
පළමුව නටන තෙලට පිටි දාල කූර ගසල කොණ්ඩය ගන්න හැටි කියල දුන්නා. කොණ්ඩ කැවුම් තෙල් තාච්චියේ චාස්! චූස්! සද්දෙන් බැදෙනවා චුරු! චුරු! සද්දෙත් එනවා ගෙදර වටේම කැවුම් සුවඳයි බැදෙන කැවුම් ළිප ළඟ තියෙන මැටි මුට්ටියට දානවා. අපි අත්තම්මා කියල දුන්න විදිහට කොණ්ඩ කැවුම් හැදුවා. ඊළඟට අත්තම්මා අතිරස කැවුම් හදන හැටි පෙන්වා දුන්නා. පිටි හට්ටියකට දාල ඒ උඩට පැණි දාල හොඳට අනල අතේ නොගෑවෙන පදමට පිටි හදල කුඩාවට බෝල කරල එම පිටි බෝල කෙසෙල් කොළවල තුනී කරල පුංචි පුංචි කැවුම් හදලා නටන තෙලට දැම්මා. ලස්සනට පුංචි කැවුම් ගොඩක් හැදුවා.
අපිත් අත්තම්මට අතිරස කැවුම් හදන්ට උදව් කළා. ඒ කැවුම් වෙනත් මුට්ටියකට දැම්මා, ඊළඟට හැඳි කැවුම් හදන්ට පිටිවලට පැණි දාල දියාරුවක් හදා ගත්තා. පොල්කටු හැන්දෙන් නටන තෙලට පිටි හැන්දක් දාල කැවුම් බැදෙන විට හැන්දෙන් කැවුම් තද කර කර හැඳි කැවුම් හැදුවා. අපි අත්තම්මා කියලා දුන්න අන්දමට හැඳි කැවුම් හැදුවා. වෙනම මුට්ටියකට දැම්මා.
අත්තම්මට හරිම සතුටුයි. අපි අත් පුච්චා නොගෙන කැවුම් බැදීම ගැන. කොණ්ඩ කැවුම්, අතිරස කැවුම්, හැඳි කැවුම් මුට්ටි තුනයි. අත්තම්මා කැවුම් මුට්ටි තුනම හොඳට වහල දුමේ උඩ කොටසේ තිබ්බා. අවුරුද්දට දින දෙකකට කලින් අත්තම්මා කැවුම් මුට්ටි බලල කොණ්ඩ කැවුම් මුට්‍ටියේ කොණ්ඩ කැවුම් නෑ! අපි හදපු අතිරස කැවුම් නෑ! අත්තම්මා කුස්සියේ හැමතැනම කැවුම් හොයනවා. මෙන්න! කොණ්ඩ කැවුම් මිදුලේ ගහක තැන තැන ඇලවිලා පැණියි තෙලුයි ගහ දිගේ ගලනවා. කැවුම් සුදු පාටට හැරිලා සුදු පාට මිශ්‍ර ළා රෝස පාටට ගෙඩි හැදිලා. බලන්ට ලස්සනයි.
අතිරස කැවුම් ටික මිදුලේ තැනින් තැන විසිරිලා. කූඹියෝ රංචු පිටින් අතිරස කැවුම්වල රස බලනවා. ඉතිරි හැඳි කැවුම් ටික කෝ! කෝ! කියල අත්තම්මා හොයනවා.
“මෙන්න හැඳි කැවුම් ටික පැණි මුට්ටිය ඇතුළේ! පැණි බේරි බේරී තියෙනවා. අත්තම්මට හයියෙන් හිනා ගියා. “දරුවනේ, අපි හදපු කැවුම්වලට වෙච්ච දේ! අතිරස කැවුම් මිදුලේ ඇවිදින්න ගිහින් කූඹි කනවා. කමක් නෑ ඉතිරි හැඳි කැවුම් ටික අපි හැමදෙනාම බෙදා හදාගෙන කමු කියලා. අත්තම්මා හැමදෙනාම වට කරගෙන පැණිවල තිබුණු හැඳි කැවුම් අපිට බෙදල දීල කැවුම් රස කරමින් කනවා බලල සතුටු වුණා. අත්තම්මත් හැඳි කැවුම්වල රස බැලුවා.
“දරුවනේ ඊළඟ අවුරුද්දේ අපි එකතු වෙලා කැවිලි වර්ග ගොඩක් හදමු” කියල අත්තම්මා සතුටින් සිනාසී වත්ත පහළට ගියා.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
3 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල,
කොළඹ 08

http://www.silumina.lk/2015/04/12/_art.asp?fn=au150412

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි