Tuesday, May 12, 2015

අපේ අලුත් පරපුර රටක ඉතිහාසය අධ්‍යයනය කිරීම ඉතා අවශ්‍යයි

රටක්‌ ජාතියක්‌ ගොඩනඟන්න
ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 


රටක්‌ ජාතියක්‌ ගොඩනැඟීමේලා ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා. ඉතිහාසය කියන්නේ අතීතයටයි. වර්තමානය ගොඩනැගෙන්නේ අතීතය පාඩම්වලින් නිසා අනාගතය ගොඩනැඟීමට අතීතය අවශ්‍ය වෙනවා. කෞතුකාගාරයක්‌ තුළ කෞතුක භාණ්‌ඩ හරහා ඉතිහාසය, කියවීම හා අධ්‍යයනය කිරීමට හැකිවනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

හම්බන්තොට "මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය" විවෘත කිරීම සඳහා හම්බන්තොටදී පැවැති උත්සවය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.

අපේ රටේ ඉතිහාසය මෙන්ම ශිෂ්ඨාචාරය පිළිබඳව වත්මන් පරපුර වගේම අනාගතයේ උපදින දරුවන් හා ජනතාව දැනුවත් කිරීම සඳහා රුහුණු මාගම්පුර කෞතුකාගාරය විවෘත කිරීම ඉතා වැදගත් අවස්‌ථාවක්‌. මෙහි වැදගත්කම මෙන්ම කෞතුකාගාරයකින් ඉටුවන සේවය ඔබ අප කවුරුත් දන්නවා. කෞතුක වස්‌තු ආරක්‍ෂා කිරීම මෙන්ම සුරක්‍ෂිත කිරීම සඳහා ලෝකයේ සංවර්ධනයවූ රටවල් කිසිදු භේදයකින් තොරව කටයුතු කරනවා. යම් රටක, ප්‍රදේශයක මානව ශිෂ්ඨාචාරය හා මානවයාගේ ප්‍රගමනය පිළිබඳ කෞතුකාගාරයකින් ජනතාව දැනුවත් වනවා. ඇතැම් විට ඉතිහාසය පිළිබඳ පොතපත නොකියවෙන අවස්‌ථා තිබෙනවා. අපේ අලුත් පරපුර රටක ඉතිහාසය අධ්‍යයනය කිරීම ඉතා අවශ්‍යයි. පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය ඉවත් කළ කාලයක්‌ තිබුණා මට මතකයි. රටක්‌ ජාතියක්‌ ගොඩනැඟීමේ ලා ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා. ඉතිහාසය කියන්නේ අතීතයටයි. වර්තමානය ගොඩනැඟෙන්නේ අතීතයේ පාඩම්වලින් නිසා අනාගතය ගොඩනැඟීමට අතීතය ඉතා අවශ්‍ය වනවා. රටක අතීතය මෙන්ම අනාගතය මිනිසෙකුගේ ජීවිතය වගෙයි. මිනිසෙකුට සම්පූර්ණ වීමට නම් ඔහුගේ ජීවිතයේ අත්දැකීම්, මුහුණ දීමට සිදුවූ ගැටලු, අභියෝග සමග අතීතයද වැදගත් වනවා. ඒවා දුක්‌ ගැහැට මෙන්ම සැප සම්පත් විය හැකියි. බුද්ධිය, අධ්‍යාපනය, සමාජගත විවිධ ව්‍යාපෘති හරහා ලබන අත්දැකීම්වලින් ලබන පාඩම් ඔස්‌සේ මිනිසෙකු සම්පූර්ණ වන්නේ අතීතයෙන් ලබන පාඩම්වලිනුයි. එමෙන්ම රටක්‌, ජාතියක්‌ ගොඩනඟන්නට ඉතිහාසය පිළිබඳ දැනුම, අවබෝධය ඉතා අත්‍යවශ්‍ය වනවා.

කෞතුකාගාරයක්‌ විවෘත කරන්නේ එහි තිබෙන කෞතුක භාණ්‌ඩ නැරඹීමට පමණක්‌ නොව, ඒ කෞතුක භාණ්‌ඩ හරහා ඉතිහාසය කියවීම හා අධ්‍යයනය කිරීම සඳහායි. එමගින් රටකට වැදගත් වන විශේෂ සිද්ධීන් තෝරාගෙන රටේ අනාගතය ගොඩනැගීම සඳහායි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ ප්‍රධාන ව්‍යාපෘතියක්‌ ලෙස මේ කෞතුකාගාරයේ වැඩ කටයුතු ආරම්භ කර අද එය විවෘත කිරීමට ලැබීම ගැන අප ඉතා සතුටට පත් වනවා.


http://www.divaina.com/2015/05/12/news25.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි