Thursday, May 28, 2015

ඇසෙන නොඇසෙන ඔබේ ම නාදය


ඔබ කෙදිනක හෝ ඔබෙන් නැඟෙන නාදයට සවන් දී තිබේ ද? කඳු පන්තියකට, ගසකට, දිය ඇල්ලකට මතු නොව ක්‍ෂණයෙන් වෙනස්වන වලාකුළකට මෙන් ම ඔබට ද ඔබට ම ආවේණික නාදයක් තිබේ.
ඒ නාදයට සවන්දීම පුරුදු පුහුණුවෙන් වගා කොට ගත යුතු වූවක් ය. ඔබේ හදවතෙන්, ඔබේ මනසෙන් නැඟෙන ඔබේ ජීවයේ නාදය මෙන් ම මගේ හදවතේ නැඟෙන නාදය ද අව්‍යාජ බවට සැක නැත. එය බාහිර සංසිද්ධීන්ගේ බලපෑමෙන් වෙනස් වන්නක් නොවේ.
සිදු වෙන්නේ යටපත් වීමක් පමණි. නැතිනම් ඒ අව්‍යාජ නාදය ඇසෙන්නේ නැතිවීම පමණි. එහෙත් මොහොතකට සිතන්න, ඔබේ හදවතේ රාවය නිවැරදි ව ඇසීමට තරම් ඉසුඹුවක් ඔබේ මනසට තිබේ ද කියා.
ජීවන ගමනේ තරගකාරීත්වයත් සමඟ නෙක අවශ්‍යතා ප්‍රමුඛ වීමෙන්, නිසල ව නිහඬ ව ඔබට ඔබේ හදවතෙන් නැඟෙන නාදයට සවන්දීමට නොහැකි වී නම් ඔබ මෙතෙක් ඔබේ නිර්ව්‍යාජ සිතිවිලි හඳුනා ගෙන නැත.
මේ ලොව පවතින සියලු ම දේට අනන්‍ය වූ නාද රටාවක් තිබෙන බව ඔබ දන්නවාද? ලොව පවතින මේ නෙක නාද රටා ආශ්චර්යයක් ම ය.
’න නාදේන විනා ගීතං
න නාදේන විනා ස්වරාඞ
න නාදේන විනා නෘත්‍යං
තස්මාන්නාදාත්මකං ජගත්’
මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහයන්ගේ ‘සකුදියවර’ කෘතියෙන් හමු වූ මේ සංස්කෘත කවියා පවසන්නේ නාදයෙන් තොර ගීතයක් නැති බව ය. නාදයෙන් තොර ස්වර ද නැති බව ය. නාදයෙන් තොර නෘත්‍යයක් ද නැති බව ය. එහෙයින් මුළු ලොව ම නාදාත්මක බව ය.
ලෝකය අප්‍රමාණ වූ සුන්දර නාදාවලීන්ගෙන් සමන්විත සුවිසල් සංගීත භාණ්ඩයක් නොවේ ද? එහෙත් ඒ අව්‍යාජ නාද රටා සංගීත භාණ්ඩයකට ලඝුකොට ගත හැක්කේ යැයි ඔබ සිතනවාද? විසල් වෘක්‍ෂලතාවලින් ගහන මිනිසා විසින් විනාශයට බඳුන් නොකරනු ලැබූ වන වියන යටින් කිසිදු ශබ්දයක් නොනැඟෙන සේ ගමන් කරන්න. හාත්පස මුළු මහත් නිහඬතාවකින් වෙළී සිටිය ද ඒ ගැඹුරු ප්‍රසන්න නිහඬතාව අතරින් මිහිකතේ පමණක් නොව ගස්වැල් නඟන නාදය ද ඔබට ඇසෙන්නට පටන් ගනු ඇත.
නවතින්න මඳක්. ඒ පරිපූර්ණ නිහඬතාව මුළුමනින් ම විඳිද්දී ඔබට නොයෙක කුරුලු කූජන ඇසෙන්නට පටන් ගනු ඇත. සිහින්, ලතාවත්, ගීතවත් නාද, රළු, සුමුදු නාද, තියුණු පැහැදිලි නාද, පක්‍ෂීන්ගේ සුසුම් රාව ඈ නොයෙක රාව අව්‍යාජ සෙයකින් ඔබේ දෙසවනට ඇසෙන්නට පටන් ගනු ඇත. ඒවා ඇසෙන්නේ හුදෙක් ඔබේ කනට ම නොවේ. එය හදවතට ද ඇසෙන්නේ ය.
ඒ අව්‍යාජ නාද රටා ඒ අයුරින් ම ඔබට ව්‍යාජ සංගීත සංයෝජනවලින් ඇසී තිබේ ද? වනාන්තරයක පවතින නෙක නාද රටා ඔබට ඔබේ නාදය සිහිපත් කරවන්නේ ඒවා පවතින ස්වරූපයෙන් ඊට බාධා නොකොට නිසංසලේ ඇහුම්කන් දුනහොත් පමණී. එහෙත් මේ ලොව කීයෙන් කී දෙනකු ඒ අව්‍යාජ නාද රටාවල අපූර්වත්වය විඳ තිබේ ද? සොබාදහමේ නාද රටා පරිපූර්ණ ලෙස විඳීමට ඔබට හැකිනම් ඔබට ඔබේ හදවතෙන් නැඟෙන අව්‍යාජ නාදය ඇසෙන්නට පටන් ගනු ඇත.
සුළඟේ මිහිරි සනීපවත් සර සර නාදය ද, තරුවේ කාන්තියෙන් විහිදෙන නාදය ද එකසේ දැනෙන්නට නම් ඔබ ඒ අව්‍යාජ නාද රටා සමඟ නිහඬ ව ම හදවතෙන් කතා කළ යුතුය. ගඩොල් කැට දෙකක් අතරින් හෝ කළුගල් දෙකක් අතරින් අසීරුවෙන් මතුවෙන ළා තණ පතක් නඟන නාදය මෙන් ම ගස්වල කොළ නඟන නාදයට ද ඔබේ සිත දැහැන්ගත කරවීමට හැකි ය. ඒ අපූර්ව සංහිඳියාව ඔබට හදවතේ අව්‍යාජ නාදය ඇසෙන්නට සලස්වනු ඇත. ඒ නාදය ඔබ වඩාත් අපූර්ව, සුන්දර මිනිසකු බවට පත් කරවනු නො අනුමාන ය.
නාදයේ අපූර්ව ආශ්චර්යය ගැන මා මනස අවදි කළේ අඳ වාදකයකු බව ඔබ දන්නවාද? ඒ අඳ වාදකයා නොතිත් ඉවසීමකින් යුතු ව නාදයේ අපූර්වත්වය මට පසක් කළේ ය. ඒ මාවත මුළුමනින් ම මේ මිහිකතේ පවතින අනේකවිධ තරගකාරීත්වයෙන් වියෝවූ අතිශය නිවීමක් ම සිතට උදා කළේ ය. ‘වී. කරලෙන්කො’ නම් රුසියන් ගත්කරුවා වසර 14 ක් තිස්සේ ඒ අවබෝධයේ හා ආදරයේ මාවත අපට විවර කරන්නට වෙහෙසුණේ ය.
අවසන පෙත්රුස් නම් අඳ දරුවා සමඟ අපි නාදයේ ආශ්චර්යය සොයා සොබාදහමේ නෙක වපසරීන් හි සැරිසැරුවෙමු. අනතුරු ව මක්සීම් මාමා හා පෙත්රුස් කැටුව බටනළාවෙන් මැවෙන නාද රටා ඔස්සේ ඈත අනන්තය තෙක් ස්ටෙප්ස් තණ බිම පුරා ඇවිද ගියෙමු. හදවතෙන් නැෙඟන නාදය හා සොබාදහමෙන් නැඟෙන සොඳුරු අව්‍යාජ නාදය කෙතරම් නම් සමානද යන්න අවසන පසක් කරගත්තෙමු. ඉඳින් අද වාදකයා පෙන් වූ මාර්ගය අවසන් වූයේ අප, අප ව ම හඳුනාගැනීමෙනි. එනම් අපේ ම නාද, අපේ ම ස්වරූපය අපට ම අවබෝධ වීමෙනි.
”ගිම්හාන දවස්වල මද්දහන් කාලයේදී අවට හැම දෙයක් ම නිහඬ වූ විට මිනිසුන් ගේ යාම් ඊම් නැවතුණු විට සොබාදහම මත නිහඬතාව රජ කරවන විට, ජීවමය බලවේගයන්ගේ නිහඬ ම ය ධාවනය පමණක් ඇසෙන විට, ඔහුගේ මුහුණෙහි සුපුරුදු විලාසයක් මැවිණි. බාහිර ඇති නිහඬතාව විසින්, ඔහුට පමණක් ඇසෙන ශබ්ද ජනිත කරවයි. ඔහු ඒවාට මහත් අවධානයකින් සවන් දෙන සැටියකි. ඔහුගේ සිතෙහි උපන් නොපැහැදිලි හැඟීම් ගීතයක තාලයක් මෙන් නොපැහැදිලි ලෙස ඔහුගේ හදවතේ හඬ නඟන බව ඔහුගේ මුහුණ දෙස බලන විට පෙනේ.”
අඳ දරුවාට ලෝකය පසක් වන්නේ නාද ශ්‍රවණයෙනි. එමඟින් ඔහු තම හදවතේ නාදය හඳුනා ගනී. ඔහුගේ හදවතේ නාදය අපට අපේ නාදය හඳුනාගන්නට මඟ විවර කරයි. වී. කරලෙන්කො නිමවන මේ රමණීය ගද්‍ය කාව්‍ය සිංහල බසට නඟන්නේ දැදිගම වී. රුද්රිගු විසිනි. මුල් කෘතියේ රමණීය බව එපරිද්දෙන් ම අප වෙත ගෙන එමින් ඔබට ඔබේ නාදය හඳුනා ගන්නට, අවබෝධ කරන්නට දැදිගම වී. රුද්රිගු විවර කරන මාවතේ ගමන් කිරීමට නම් ඔබ ‘අඳ වාදකයා’ කියැවිය යුතු ම ය. ඒ කියැවීම ඔබට පොතක් කියැවීමෙන් ඔබ්බෙහි ඇති පරිපූර්ණ සංහිඳියාව උදාකර දෙනු ඇත.
මේ මුළු මහත් විශ්වය ම එක ම නාදාවලියකි. අනන්ත අප්‍රමාණ නාද රටා අතර අප සොයා ගත යුත්තක් තිබේ. ඒ අපේ හදවතෙන් නැඟෙන නාදයයි. ඒ නාදය මුළුමනින්ම අව්‍යාජ ය. ඒ අව්‍යාජ බව අතරට ඔබ සුපහන් සිතිවිලි ඒකරාශී කරතොත් ඔබ නිවී සැනහුණු අයකු වනු නොඅනුමාන ය. ඔබේ නාදය දන්නේ ඔබ පමණක් නිසා ඒ රාවය සුපහන් කරගත හැක්කේ ද ඔබට ම ය.
නොයෙක අව්‍යාජ නාද රටා පරිසර හා ඒකාත්මික ව අප හා නිරන්තර සංයෝග වෙයි. ඒවා සියල්ල ම ජීවිතයේ අරුත සොයා දෙන මධුර නාදාවලි පමණක් ම නොවේ. ඒ අමධුර නාදාවලි හඳුනාගෙන ඒවායෙන් ඈත් වීම ඇත්තේ ඔබ අත ය. අනන්ත අප්‍රමාණ සුමධුර නාදවලින් තම ජීවිතය සුසර කොට ගත හැකි ව තිබිය දී අමධුර නාද රටාවලට ඔබේ ජීවිතයට බලපෑම් කිරීම ඔබ ඉඩ දිය යුතු නැත. පළමු ව තම නාදයට සවන් දෙන්න. එවිට දහසකුත් නාද අතරින් සුමධුර නාද වෙන්කොට ගැනීමට ඔබට හැකිවනු ඇත. ඒ මධුර නාද රටා පෙත්රුස් නම් අඳ වාදකයාට ජීවිතයේ අනන්ත අප්‍රමාණ සැනසිල්ල උදා කළාක් මෙන්, ඔබට ද ඔබේ දිවි මඟ අවබෝධ කොටගන්නට මඟ විවර කර දෙනු නොඅනුමාන ය. 

http://www.silumina.lk/punkalasa/20130310/_art.asp?fn=ar1303102

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි