Thursday, May 28, 2015

ගැමි විඥානයෙන් පෝෂණය වූ සාහිත්‍යධරයා


ගාල්ල බොනවිස්ටාවේ පස්වැනි පන්තිය දක්වා අධ්‍යාපනය ලබා වසර 86 ක් පුරා පැමිණි දිගු ගමන් මඟ අනුව මාර්ටින් වික්‍රමසිංහ හෙවත් කොග්ගල ප්‍රාඥයා ගේ භූමිකාව ප්‍රසාර්ථ, උත්ප්‍රේරණීය තලයකට පත්වී යුග පුරුෂයකුගේ තත්ත්වයට පත්වීම අතිශය පරමාදර්ශි ක්‍රියාවකි.
කොග්ගල ගැමි පෙදෙසක උපත ලත් වික්‍රමසිංහ ගේ සරසවිය වූයේ ඒ පරිශ්‍රයේ ජනකාය හා ගස් කොළන් ද සතා සිවුපාවුන් ය. නිරන්තරයෙන් ම අනවරතයෙන් ම ගැමි සමාජය ස්වකීය දිවියට බද්ධකොට ගෙන සැඳෑ සමයේ කොග්ගල වෙරළ තීරයේ සක්මන්කොට බෙල්ලන්, සිප්පිකටු අත පත ගාමින් ද ඔයට බැස පඳුරු අත පත ගාමින්ද කිරල ගෙඩිවල රස බලමින් ද ස්වකීය විඥානය විශද කරගන්නට එතුමෝ මේ සොබාදහම මහා ග්‍රන්ථයක් බවට පත්කර ගත්තෝ ය.
ලොව බොහෝ ගත්කරුවන් එක විෂයකට පමණක් සීමාවෙන අතර මාර්ටින් වික්‍රමසිංහ එක විෂයකට පමණක් සීමා නොවී ය. කෙටි කතාව, නවකතාව, විචාරය, දර්ශනය, වාග් විද්‍යාව, පරිණාමවාදය, පුරාවිද්‍යාව, සංස්කෘතිය, සමාජ විද්‍යාව ආදි විවිධ විෂයයන් යටතේ ග්‍රන්ථ නිර්මාණය කෙළේ ය. වික්‍රමසිංහ අවුරුදු 86 ක් ජීවත් විය. සම්භාව්‍ය ගණයට ගැනෙන ග්‍රන්ථ 86 ක් ලියා තිබීම අතිශය පරමාදර්ශි ක්‍රියාවකි.
මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස ඒ අංශයෙන් ද ප්‍රාතිහාර්ය පෑවේ ය. ‘දිනමිණ’ ‘සිළුමිණ’ පුවත් පත්වල කතුවරයා වශයෙන් සේවය කොට ඒ පුවත් පත්වල විශාල පෙරැළියක් කෙළේ ය. සිළුමිණ පුවත්පතේ ස්වර්ණමය යුගය වශයෙන් වික්‍රමසිංහ සමය හැඳින්වීම හැම අතින් ම සර්වසාධාරණ ය. සිළුමිණ පුවත් පත ‘ශත දහයේ විශ්වවිද්‍යාල’ තත්ත්වයට ගෙන ආවේත් වික්‍රමසිංහයන් ය. සහෘදයන් එදා සිළුමිණ සියතට පත්වන තුරු බලා සිටියේ ය.
වික්‍රමසිංහ ගල්කිස්සේ ටෙම්පල් පාරේ විසූ අවදියේ පත්තර මහගෙදර වැඩ නිමවී නිවෙසට යන්නේ දුම්රියෙනි. මෙසේ දුම්රියෙන් ගමන් ගන්නා අවස්ථාවේ සිළුමිණට එකතු කළ යුතු විශේෂාංග ගැන කල්පනා කරමින් යන අතරතුර ගල්කිස්ස දුම්රිය පොළෙන් බැසිය යුතුව තිබියදී කල්පනාකිරීම හේතුවෙන් ගල්කිස්ස දුම්රිය පොළෙන් බැසීම අතපසුවී යළි බසින්නට වූයේ මොරටුව දුම්රිය පොළෙනි. එසේ මොරට‍ුවෙන් බැස ගල්කිස්සට පැමිණියේ තිරික්කලයෙනි. මේ සම්බන්ධ ව ඔහු අතින් රචිත ‘උපන් දා සිට’ ග්‍රන්ථයෙන් මනාව හෙළිවෙයි. ඔහු 1945 දී පත්‍රකලා දිවියෙන් සමුගෙන ග්‍රන්ථකරණයට මුළු දිවියම කැප කෙළේ ය.
ස්වකීය උපන් දා සිට ග්‍රන්ථයෙන් හෙළි කෙළේ දිවියේ ‘මුල් දිවිය’ හා ‘මැදිවියයි'. පත්තර මහගෙදර ජීවන රටාවන් විවරණය කරන උපන් දා සිට ආශ්‍රයෙන් වික්‍රමසිංහ දිවියේ ප්‍රශාර්ථ ලක්ෂණ මතු කරයි. ‘දිවියේ අවසාන භාගය’ ගැන ලියන්නට පෙළගස්වා තිබුණත් එය සහෘදයන්ට අතට පත් කිරීමට නොහැකි විය. එය සහෘදයන්ගේ අවාසනාවකි. උපන්දා සිට පරිශීලනය කර සහෘදයකු වික්‍රමසිංහගේ අවසාන භාගය පරිශීලනය කරන්නට සිටියේ මහත් ආයාසයෙනි.
වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨ ගණයට ගැනෙන ගත්කතුවරයකු මෙන් ම නවකතාකරුවකු, කෙටිකතාකාරයකු, විචාරකයකු බව ඔහු ගේ විඥානයෙන් විශදකොට ඇත.
නවකතාව යනු කුමක් ද එයින් ධ්වනිත විය යුත්තේ කුමක් ද යන්න ප්‍රථමයෙන් ම හෙළි කෙළේත් වික්‍රමසිංහයි. නවකතාව වූ කලී අනුශාසනාවක්, ආදර්ශයක් දෙන කතාවක් ය යන නියතයෙන් බැහැරකොට යථාර්ථය හෙළි කරන නවකතාවක් යන්න කියාපෑවේ වික්‍රමසිංහයි. නවකතාව වුලී ඇත්ත ඇති සැටියෙන් හෙළිකරන්නක් විනා අනුශාසනාවක් නො වේ.
පෙර අපර දෙදිග නවකතා භූමිකාවේ සම්භව්‍ය ගණයට ගැනෙන නවකතා කියවා ඒ ආශ්‍රයෙන් නවකතාකරණයට පිවිසියේ ය. ඔහුගේ ‘ගම්පෙරළිය’ මගින් සිංහල නවකතා ක්ෂේත්‍රයට පාදම දැමීය.
මඩොල්දූව - රෝහිණි - අපේ ගම බඳු නවකතා පරිශ්‍රයෙන් දුරස්තව වඩාත් සුගැඹුරු දාර්ශනික පසුබිමක පිහිටා ගම්පෙරළිය නිර්මාණය කෙළේ ය. ගම්පෙරළියට සමගාමී ව ‘කලියුගය’ හා ‘යුගාන්තය’ නමැති නවකතා ත්‍රිකය හෙවත් තුන් ඈඳුතු නවකතාව (Triology) නිර්මාණය කිරීමෙන් සිංහල නවකතා ක්ෂේත්‍රය වඩාත් ප්‍රසාර්ථ තලයකට ගෙන ගියේ ය.
වික්‍රමසිංහ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ නැත. ඔහුගේ විශ්වවිද්‍යාලය වූයේ ගැමි පරිශ්‍රය හා තමන්ගේ ‘මහා පොත්ගුලයි’ ඔහුගේ මහා පොත්ගුලේ ග්‍රන්ථ 15,000 ක් පමණ තිබුණේ යැයි සඳහන් වෙයි. මේ හැම ග්‍රන්ථයක් ම පරිශීලනය කොට අවශ්‍ය තැන්වලට යටින් පැන්සලෙන් ඉරිගසා තිබෙන බවත් දක්නට ලැබේ.
ඔහු සමඟ කිසියම් විෂයයක් පිළිබඳව සාකච්ඡාවට ගිය විට සියලු ම තොරතුරු අනාවරණය කිරීමෙන් පසු පොත් ගුලේ අසවල් පොතේ, අසවල් පිටුව බලන්න යැයි ද වික්‍රමසිංහ සඳහන් කරයි.
වික්‍රමසිංහ ලිපි ලියන්නට, ග්‍රන්ථ ලියන්නට ෆුල්ස්කැප් පිටුව භාගයට කපා ලියන්නට පුරුදුවී සිටියේ ය. සම්පූර්ණ පිටුවේ ලිවීම ඔහුගේ සම්ප්‍රදාය නොවීය. අත් අකුරු කලාත්මක ස්වරූපයෙන් උපයුක්ත ය.
පාසල් අධ්‍යාපනයේ පහ වසරට ඉගෙන ගෙන මහා ප්‍රාඥයකුගේ තත්ත්වයට පත් වික්‍රමසිංහගේ පොත් පරිශීලනය කරන්නට අපට සිදුවූයේ එම්.ඒ., පී.එච්.ඩී. උපාධි ලබන්නට ය. පහ වසරට ගිය අයකුගේ ග්‍රන්ථ එම්.ඒ., පී.එච්.ඩී. උපාධිවලට පරිශීලනය කරන්නට ලැබීම කොතරම් ආශ්චර්යයක්ද. මෙයින් ගම්‍ය වන්නේ වික්‍රමසිංහගේ සමාජ චින්තනයයි.
නවකතාවෙන් හෙළිවිය යුත්තේ කුමක් ද යන්න අනාවරණය කළාසේම, කෙටිකතාවෙන් පිළිබිඹුවිය යුත්තේ කුමක්ද යන්නත් ඔහු හෙළි කෙළේ ය. නවකතාවට සිද්ධි සමුදායයක් විෂය වෙයි. එහෙත් කෙටිකතාවට විෂය වන්නේ එක් සිද්ධියක්, අත්දැකීමක්, එහෙමත් නැත්නම් ධාරණාවකි. සුර කෙටිකතාකාරයකුට අත්දැකීමක් ම අවශ්‍ය නොවේ. අත්දැකීමක් නිර්මාණය කළ හැකිය. ඒ අර පරිචය, ප්‍රාගුන්‍ය, විෂය ඥානය හේතු කොටගෙන ය.
වික්‍රමසිංහ නවකතා පණහක් නිර්මාණය කෙළේ නැත. ඔහු නවකතා නිර්මාණය කෙළේ සයකි. මේ සය තවමත් සහෘදයන් සමඟ ය. මේ නවකතා සයම ආන්දෝලනාත්මක තලයකට ගෙන ගියා සේ ම සහෘදයන් යන යන තැන සාක්කුවේ රුවාගෙනද යන්නේ ය.
ඔහුගේ අවසාන නව කතාව වූ ‘බවතරණය’ සමාජයේ ගිහි - පැවිදි පඬුවන් අතර මහත් ආන්දෝලනයට පාත්‍ර වූවකි. ගතානුගතික විශ්වාසයන්ගෙන් බැහැරව නව මතයක් ඉදිරිපත් කිරීමේ කඩඉමක් වශයෙන් ‘බවතරණය’ හැඳින්විය හැකිය.
නවකතාකරුවා අතින් සිදුවිය යුත්තේ නිද්‍රාශීලි සමාජය අවදි කිරීම ය. ජීවිතයේ යථාර්ථය හෙළි කිරීම නවකතාවේ මූලික අභිප්‍රාය නම් වික්‍රමසිංහ හෙළිකළ නවකතා සයෙන් සිදුවූයේත් එබන්ඳකි. ඇත්ත ඇති සැටියෙන් නවකතාකාරයා හෙළි කිරීම මත ඒ ඒ චරිතවලට අනුගත අය නවකතාකාරයාගේ නිවෙස අසලට පැමිණ බැණ වැදුණු ආකාරය හෙළිවෙයි.
ෆියදෝර් දොස්තව්ස්කිගේ නිවෙස අසලට පැමිණ පාඨකයන් බැණ වැදුණේ ඔබේ නවකතාවෙන් මගේ චරිතය හෙළි කර ඇති හෙයිනි. එහෙත් දොස්තව්ස්කි‍ ඒ සියල්ලටම නිහඬව සවන්දී සිනාසුණේ තමන්ගේ කාරිය නිසි ලෙස ඉටුවී ඇති බැවිනි.
මාර්ටින් වික්‍රමසිංහ‍ගේ ‘බවතරණය’ මඟින් සිදුවූයේත් මෙබන්ඳකි. බුදුසිරිත විකෘතිකොට ඇතැයි වික්‍රමසිංහට දොස් නැගූහ. ඒ සියල්ලට ම වික්‍රමසිංහ සවන් දී නිහඬව සිනාමුසු මුහුණින් යුතු ව පිළිගත්තේ ය. කිසි ම දෙයකට සැලුණේ නැත. මෙබඳු නවකතා අද්‍යතන අවදියේ අපට පරිශීලනය කරන්නට ලැබෙන්නේ ද.
සම්භාව්‍ය ගණයට ගැනෙන නිර්මාණකරුවකුට තුලනාත්මක විචාරකයකු විය නොහැකියයි මතයක් ඇත. එහෙත් මතය වික්‍රමසිංහ සිඳ බිඳ දැම්මේ ය. ඔහු ශ්‍රේෂ්ඨ ගණයට ගැනෙන නිර්මාණ තරුවකු මෙන්ම තුලනාත්මක විචාරකයෙකි. තුලනාත්මක විචාරයෙන් තමයි ශ්‍රේෂ්ඨ නිර්මාණවලට පාදම ඇතිවන්නේ.
වික්‍රමසිංහ විචාර විඥානය තුලනාත්මක වූවකි. අදීන විචාර මාර්ගයක් ඔහු හෙළි කෙළේ ය. එයට හොඳම නිදසුන තමයි 1964 දී හෙළි කළ ‘සිංහල විචාර මඟ’ නමැති ග්‍රන්ථය.
විශ්ව සාහිත්‍යයේ විචාරකයන්ගේ විචාර මං පරිශීලනයකොට ඒවායේ හරය උරගා බලා අපට ගැළපෙන විචාර මාර්ගයක් හෙළි කෙළේ ය. ගුරු කුල - නිකායයන් - හිතමිත්‍ර කම්වලින් බැහැරව අදීන ගමන් මාර්ගයක් කියා පෑවේ ය.
ටී.එස්. එලියට්, ඊ.එම්. ෆොස්ටර්, ඩේවිඩ් ක්රේග්, ජෝර්ජ් ලුගෙෂ්, රෝලන්ඩ් බේක්, අයි.ඒ. රිචඩ් ගේ ‘භාවිත විචාරය’ ආදි විචාර ග්‍රන්ථත්, විචාර මාර්ගත් ආනන්ද වර්ධන, භවභූති, පතඤ්ජලී, රාජශේඛර බඳු විචාර වාදද පරිශීලනයකොට අපට අනුගත විචාර මාර්ගයක් ඔහු නිර්මාණය කෙළේ ය.
1. සැසඳීම (Compare)
2. විශ්ලේෂණය (Analice)
3. ඇගැයීම ((Evaluation) හා
4. පැහැදිලි කිරීම. (Explanation) යන චතුර් අංග කෙරෙහි මේ විචාර මාර්ගය සැකැසී ඇත. අපේ සමාජ ව්‍යුහයට, සංස්කෘතියට අනුගත විචාර මාර්ගයක් නිර්මාණය කිරීමෙන් ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහිවීමට මං පෑදුවේ ය.
වික්‍රමසිංහ හෙළිකළ සිංහල විචාර මඟ අද්‍යතන අවදියේ විචාර කාරියට පිවිස සිටින අය උකහා ගන්නේද? එසේ උකහා ගන්නා, විෂය කර ගන්නා බවක් නම් නොපෙනේ. ඔබ විචාර මාර්ගය නොහොඳ නම් ඊට වඩා හොඳ මාර්ගයක් බිහි කළ යුතුය. එහෙත් එය ද සිදු වී නොමැත. එහි ඌනතා ඇත්නම් ඒ සියල්ල අකා මකා සැකැසිය යුතුය. ඒ කාරියද සිදුවී නොමැත. මෙයින් ගම්‍ය වන්නේ වික්‍රමසිංහ හෙළි කළ විචාර මාර්ගය තුලනාත්මක වූවක් බවයි.
නිර්මාණකරුවාටත් වඩා අසීරු කාරියකි, විචාරකයා ඉටුකරන්නේ. ශ්‍රේෂ්ඨ නිර්මාණවලට පාදම දමන්නේත් සැබෑ විචාරකයා ය. වික්‍රමසිංහ විචාර විඥානය අදටත් වලංගු ය. එය අනවරතයෙන් පරිශීලනය කළ යුත්තේ ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි කිරීම අරබයා ය.
ශිල්පීය ධර්මතාවලින් පරිපූර්ණ ‘විරාගයක්’ තව ම බිහි වී නොමැත. නවකතාව කොතරම් සු ගැඹුරු විඥානා ශ්‍රිතවූවක් ද යන්න ‘විරාගය’ නමැති නවකතාවෙන් හෙළි වෙයි.
වික්‍රමසිංහ පුරාවිද්‍යාව කෙරෙහි ද ස්වකීය විඥානය හෙළි කෙළේ ය. ‘සීගිරි සිතුවම්’ දෙසට ද, ‘සඳකඩපහණට ද’ වික්‍රමසිංහ දෘෂ්ටිය යොමුවිය. ඒවා අතපත ගා නව මතයක් ඉදිරිපත් කරන්නට තරම් වික්‍රමසිංහ සමත් විය.
සීගිරි සිතුවම්වලට (ළඳුන්ගේ) වික්‍රමසිංහ දුන් නිර්වචනය වූයේ අන්තඃපුරයේ කාමිනියන් බවයි. සඳකඩපහණ පිළිබඳ ව ඔහුගේ මතය වූයේ සරදමේ සංකේත බවයි.
හින්දු වන්දනයට පාත්‍ර වූ සංකේත විහාරයට පිටියෙන දොරටුව අභියස සඳකඩ පහණට යොදා බෞද්ධයන් ලවා පාගවන්නට ශිල්පියා යත්න දැරූ බවයි.
වික්‍රමසිංහ සමාජ චින්තනය එදාටත් වඩා වැදගත් වන්නේ අදට ය. අදටත් වඩා හෙටට තවත් ආකර්ෂණීය වෙයි. වික්‍රමසිංහ ගේ 125 වැනි ජන්ම දිනය සමරන මේ මොහොත ඒ දිවියේ වැදගත් කඩඉමකි.
විවිධ පැතිකඩාශ්‍රිතව ස්වකීය චින්තනය මෙහෙයවා සහෘද මනස සනසාලන්නට මඟින් වෙහෙසක් ගත් නිසා ම කොග්ගල ප්‍රාඥයා ලොව පවතින තාක් සහෘදයන් සමඟ ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි