Monday, May 18, 2015

දහම් පාසල අනිවාර්ය කරන්න



යහපත් පුරවැසියන්ගේ දායකත්වයෙන් තොරව රටක යහපාලනයක්‌ ඇති කළ නොහැකිය. එසේ නම් යහපත් පුරවැසියන් තනා ගැනීම සඳහා රටේ සියලු දෙනාගේම මෙන්ම සියලු ආයතනවලද අවධානය හා පරිශ්‍රමය බෙහෙවින් වැඩදායක වනු ඇත.

සමකාලීන සමාජය බෙහෙවින් සංකීර්ණය. වර්තමාන පුරවැසියන්ගේ චින්තනය හා ජීවන රටාව තුළ යහපත් පුරවැසියෙක්‌ නිර්මාණය කර ගැනීම අති දුෂ්කරය. මේ සඳහා වෙනමම වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද කැපී පෙනෙයි.

මේ කාර්යය ආරම්භ කළයුත්තේ රටේ දරු පරපුර වෙත අවධානය යොමු කිරීමෙන් පමණකි. අද දරුවා හෙට තරුණයෙකි. අනිද්දා ඔහු පුරවැසියෙකි. මේ චරිතය ගුණ නැණ දෙකින්ම පිරි පුරවැසියෙක්‌ ලෙස තනා නොගතහොත් රටේ අනාගතය බෙහෙවින්ම අවාසනාවන්ත තත්ත්වයට පත්වීම නොවැළැක්‌විය හැකිය.

සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ දින පහක්‌ පාසල තුළ ගතකරන දරුවා වැඩිපුර අධ්‍යාපනය ලබන්නට ඉතිරි දින දෙක උපකාරක පන්තිය තුළ ගතකිරීමට පුරුදු වී සිටීම රටේ දැන් කොහෙත් ක්‍රියාත්මක වන සම්ප්‍රදායයි.

මේ අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවාගේ විෂය දැනුම, බුද්ධිය හා මොළය වැඩෙන බව ඇත්තකි. එහෙත් ඔහු මනා පුරවැසියෙකු ලෙස තනා ගැනීමට එයම ප්‍රමාණවත් නොවේ.

දරුවකුගේ හදවත හා මනස යහගුණ දහමින් පෝෂණය කොට ජාතියේ සංස්‌කෘතික උරුමය හා උතුම් ගුණ වගාවද ඔහු වෙත ප්‍රදානය කළහොත් පමණකි. ගුණ නැණ දෙකින්ම සපිරි සංවේදී දරුවකු මතු රටට සමාජයට දායාද කළ හැක්‌කේ දහම් පාසල හරහාය.

සිංහල, දෙමළ, මුස්‌ලිම් සෑම දරුවකුම සතියකට එක්‌ දිනක්‌ දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීම ඉතා වැදගත්ය. ඉරිදා පැවැත්වෙන උපකාරක පන්ති මීට ප්‍රධානම බාධකයයි. ඉරිදා උපකාරක පන්ති පැවැත්වීම මුළු රටේම තහනම් කිරීම මෙහිලා ගතහැකි වඩා දූරදර්ශී උපාය මාර්ගයයි.

තවද සෑම දරුවකුටම දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය අවශ්‍යතාවක්‌ ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ ස්‌ථාපනය කරන්නේ නම් අපේක්‍ෂිත ප්‍රතිඵලය ක්‍ෂාත්සාත් කර ගැනීම අසීරු නැත.

මෙය කල් දැමිය හැකි හෝ කල් දැමිය යුතු කාරණයක්‌ නොවන බව අවධාරණය කරනු රිසිවෙමි. මේ සඳහා බලධාරීන්ගේ ක්‍ෂණික අවධානය යොමුවන්නේ නම් මැනවි.

ජෝ. නවරත්න
- සඳලංකාව


http://www.divaina.com/2015/05/18/feature02.html

2 comments:

පලමුව කිවයුත්තේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදි රටක් බවය.ආගමක් ඇදහීමේ හා නොඇදහීමේ නිදහස පුරවැසියන්ට ඇත.
අනාගමීක දෙමාපියන්ගේ දරුවන් ඉරුදින දහම් පාසැල් වලට යැවීම අනිවාර්‍ය කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
ඉරු දින සිය දරුවා දහම් පාසැල් යවන්නේද නොයවන්නේද යන්න තීරනය කල යුත්තේ දෙමාපියන් විසින් පමනි!

ආනන්ද

මහතාණනි, සැමදා පන්සලේ වාසය කරන භික්ෂුන් හික්මවා ගැනීමට බැරි ආයතනයන් රටේ අනෙකුත් පුරවැසියන්ට යහපත් පිරිසක් කරන්නේ කෙසේද යන්න මට ගැටළුවකි. නිදහස් පුරවැසියන් ලවා බලහත්කාරයෙන් ආගම් ඇදහවීමේ ඉල්ලීම් රජය වෙත ඉදිරිපත් කිරීමට පෙර බුද්ධ ධර්මය නිසි ලෙස වටහා ගන්නාමෙන් ඉල්ලා සිටිමි. මා දන්නා ආකාරයට නිර්ආගමිකයන් (මා ද ඇතුළුව) සමාජයේ ඉතාමත්ම යහපත් ආකාරයෙන් හැසිරේ, ඔබගේ ඉල්ලීම් අපගේ ප්‍රජාතත්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංගනය වන්නකි. - වැලිකලගේ. එස්, ශ්‍රී ලංකාව.

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි