සිතාරි
ඉගෙන ගන්නේ දෙකේ පංතියෙ. එයාගෙ අම්ම සිතාරි
ඉගෙන ගන්න ඉස්කෝලෙම ගුරුවරියක්. මේ පාර
සිතාරිගෙ උපන් දිනේ දවසෙ එයාට ගොඩාක් තෑගි
හම්බ වුණා. ඒ තෑගි අතරෙ තිබුණා ලස්සන පැන්සල්
පෙට්ටියක්. සිතාරි මේ පැන්සල් පෙට්ටියට
ගොඩාක් ආසයි.
සිතාරි මේ පැන්සල් පෙට්ටිය පංතියෙ
යාළුවන්ට පෙන්නුවේ ගොඩාක් ආඩම්බරෙන්. එයා
ඒක කාටවත් අල්ලන්නවත් දුන්නේ නැහැ.
සිතාරිගෙ පංතියෙ හිටිය පියුමි කියල ටිකක්
දඟකාර ළමයෙක්.
“මේක පැළ කලාම පැන්සල් පෙට්ටි ගහක් ම
හැදෙනවා” රතුපාට පුංචි ඇටයක් සිතාරිට
පෙන්නාපු පියුමි කීවා.
“බොරු...” සිතාරි කීවා.
“බොරු නෙමෙයි ඇත්තමයි. මං ඔයාට මේක
දෙන්නම්. පැළ කරල බලන්න මට ඔයාගෙ පැන්සල්
පෙට්ටිය දෙන්න.” පියුමි කීවා.
පැන්සල් පෙට්ටි ගොඩාක් ගහකින් කඩා ගන්න
තියනවා නම් කොයිතරම් හොඳයිද කියලා හිතාපු
සිතාරි පැන්සල් පෙට්ටිය දීල පියුම ළඟ තිබුණු
ඇටය ගත්තා.
පහුවෙනිදා නිවාඩු දවසක්. සිතාරි විටින් විට
මල් පාත්තියට වතුර ගිහින් දානවා දැකපු
සිතාරිගෙ අම්මා සිතාරිගෙන් ඒ ගැන ඇහුවා.
එයා අම්මට විස්තරේ කීවා. එතකොට අම්මට තේරුණා
පියුමි ඔළිඳ ඇටයක් පෙන්නලා සිතාරිව රවට්ටලා
පැන්සල් පෙට්ටිය අරගෙන කියලා. සිතාරිගෙ
අම්මට හොඳට ම තරහයි.
“මෙහෙමත් මෝඩ ළමයෙක්” කියල සිතාරිට බැණපු
අම්ම කෝටුවක් අරගෙන සිතාරිට පාරක් ගැහුවා.
“හෙට ඉස්කෝලෙදි මං පියුමිට හොඳ පාඩමක්
උගන්නන්නම්කො. දණ ගස්සල තියනව ආයමත් හොර
වැඩ නොකරන්නම.” අම්මා තරහින් පුපුරමින්
කීවා.
ඒත් ඊට පස්සෙ දවස් දෙකේ ම පියුමි ඉස්කෝලේ ආවේ
නැහැ.
“හොර වැඩක්නෙ කළේ. ඒකයි ඉස්කෝලෙ එන්න
නැත්තේ.. අද මං යනවා ගෙදරටම...” පහුවෙනිදා
හවස අම්ම පියුමිගෙ ගෙදර යන්න ලෑස්ති වුණා.
“ගෙදරට හොයාගෙන යන්න තරම් ලොකු හොරකමක් ඒ
ළමය කරල නැහැනේ.. පොඩි ළමයි කොහොමත් ලස්සන
දේවල්වලට ආසයිනේ. ඒකයි ඔය වගේ වැඩක් කරන්න
ඇත්තේ.” සිතාරිගෙ තාත්තා කීවා.
“ලොකු වුණත් පොඩි වුණත් කරල තියෙන්නේ
වැරැද්දක්නේ. දෙමවුපියොත් දැනගන්න ඕන
දරුවා යමක් ගෙනාවම කොහෙන්ද කියල අහන්න.” එහෙම
කියාපු අම්මා සිතාරිවත් එක්කරගෙන
පියුමිලා ගෙදරට යන්න පිටත් වුණා.
කීප දෙනෙකුගෙන් ම පාර අහගෙන සිතාරියි
අම්මයි සෑහෙන දුරක් ගියා.
“අර වෙල් යායෙන් එහා ඈතින් පෙනෙන ගේ තමයි
නෝනලා හොයන්නේ.” එක් අයෙක් සිතාරිලාට
පියුමිගෙ ගෙදර පෙන්නුවා.
“කඩේට ගියා නෝනා. දැන් එනවා ඇති. ඇයි නෝනලා
අපේ කෙල්ල හොයාගෙන ගෙදරට ම ආවේ...?”
පියුමිගේ තාත්තා ඇහුවා.
සිතාරිගෙ අම්මා විස්තරේ කීවා.
“බලන්න හාමිනේ කරල තියන වැරදි වැඩේ. අපට
කීවේ යාළුවෙක් දුන්නා කියලා. ආවදෙන්කො ගෙදර.
අද මම හොඳ පාඩමක් උගන්නන්න.”
“දරුවට ගහල වැඩක් නැහැ පියුමිලා තාත්තේ..
අපි එයාට තේරුම් කරල දෙමු එයා කරපු වැරැද්ද
ගැන. පොඩි ළමයි ඔහොම තමයි. නොතේරුම් කමට
වැරදි කරනවා...”
මේ වෙනකොට කඩේට ගිය පියුමිත් ගෙදර ආවා.
සිතාරිලාව දැකපු පියුමි හොඳට ම බය වුණා.
“මොකක්ද මේ කරල තියෙන්නේ...?” පියුමිගෙ
තාත්තා සැරෙන් ඇහුවා.
“පියුමි... පුතේ... ඔයා කරල තියෙන්නේ ලොකු
වැරැද්දක්නේ. අනුන්ගෙ දේවල් බොරු කියල
රවට්ටලා ගන්න හොඳ නැහැ. ඒක වංචාවක්,
හොරකමක්. පුංචි කාලෙදි පොඩි වැරදි කරන අය
තමයි ලොකු වුණාම ලොකු ලොකු වැරදි කරල හිර ගෙදර
ගිහින් දුක් විඳින්නේ. හොඳ ළමයි කවදාවත් ඔය
විදිහේ දේවල් කරන්නේ නැහැනේ.” සිතාරිගෙ අම්මා
කීවා.
සිතාරිගෙ අම්මා කීව දේවල් අහගෙන හිටපු
පියුමි ගේ ඇතුළට ගිහින් පැන්සල් පෙට්ටිය
ගෙනත් සිතාරිට දුන්නා. සිතාරිගෙ අතින්
පැන්සල් පෙට්ටිය ඉල්ලලා ගත්තු අම්මා ඒක
ආයිමත් පියුමි අතටම දුන්නා.
“ඔයා මේක තියා ගන්න පුතේ... හැබැයි මීට
පස්සෙ ඔය වගේ වැරදි වැඩ කරන්න එපා. තමන් ළඟ
නැති දෙයක් හොරකම් කරන්නේ නැතුව ඉල්ලලා ගන්න
පුරුදු වෙන්න. මීට පස්සේ හොඳ ළමයෙක් වෙන්න.”
දණ ගහල වැඳපු පියුමිගේ ඔළුව අතගාපු
සිතාරිගෙ අම්ම කීවා.
කඳුළු බේරෙන දෙනෙතින් ඉස්කෝලේ හාමිනේ දිහා
බලපු පියුමි හා කියලා ඔළුව වැනුවේ ආයිමත්
කවදාවත් බොරු කියල හොරකම් කරන්නේ නැහැ කියල
හිතාගෙනමයි.
කේ.ජී. ප්‍රදීපා මහේෂිකා
12 ශ්‍රේණිය කලා (2015)
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය,
හාලිඇල, බදුල්ල.
http://www.silumina.lk/2014/09/14/_art.asp?fn=au140914
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි