Sunday, May 17, 2015

මම අටපිරිකරක් පූජා කළෙමි


නොවැම්බර් පළමුවැනිදා, මෑතගම දිඹුල රජමහා විහාරයේ කඨින පින්කම පැවැත්විණි. මහණ පින්කමක් ද එදාම තිබුණි. විශාල පිරිසක් පින්කම සඳහා සහභාගි වූහ.
උදෑසන මහණ පින්කමක් පැවැත්විණි. අයේශ් අයියා මෑතගම පියරතන නමින් පැවිදි වූවේය. පළමුවෙන්ම හිස බූ ගා සුදු ඇඳුම් අන්දවා සිටියේය. පසුව කාමරයකට කැඳවාගෙන ගිය අතර අයියා කාමරයෙන් එළියට එන විට පුංචි හාමුදුරුනමක් වී සිටියේය. පුංචි හාමුදුරුවෝ බණ මඩුවට එන විට නැන්දලා ආච්චිලා අඬන්ට පටන් ගත්තෝය. ලොකු හාමුදුරුවන් විසින් පුංචි හාමුදුරුවන් ලවා සිල්පද කියවන ලද්දේය. පුංචි හාමුදුරුවන්ට සල්ලිත් තෑගිත් ගොඩක් ලැබුණේය.
මම පසුව කඨින සිවුරට පඬු පොවනවා බැලීමට ගියෙමි. සුදු පාට රෙද්දෙන් මැසූ සිවුරක් වතුරෙන් සෝදා එය නමා ටිකෙන් ටික පඬු පොවන අයුරු මම දුටුවෙමි. ටිකෙන් ටික පඬු පෙවූ සිවුරු භාජනයෙන් එළියට ගත් මාමලා දෙන්නෙක් සිවුර කරකවමින් පඬු මිරිකා හැරියහ.
කටුගොල්ලේ ආනන්ද නායක හාමුදුරුවෝත් රාවණාගොඩ පිරි­‍ෙවනේ චන්ද්‍රජෝති නායක හාමුදුරුවෝත් එම සිවුර නවන අන්දම පහදා දුන්හ. නැමු සිවුර බන්දේසියක තබා පසුව ඒ සිවුර කහත්තේවෙල ඉන්ද්‍රජෝති ලොකු හාමුදුරුවන්ට පූජා කළෝය. කඨින ආනිශංස බණ දේශනාවේදී තුන් මසක් යනතුරු මේ සිවුර ආරක්ෂා කළ යුතු බව දේශනා කළහ. කඨින පින්කමට සහභාගි වීමෙන් විශාල කුසල් සිදු වෙතැයි මම අසා ඇත්තෙමි. මම ද අටපිරිකර පූජා කිරීමෙන් විශාල කුසලයක් අත්කර ගත්තා යැයි නැන්දා පැවසුවාය.


1 comments:

Dear Podi duve,
Your letter is very beautiful! Please accept my thanks!

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි