V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Thursday, May 28, 2015

ඇසෙන නොඇසෙන ඔබේ ම නාදය


ඔබ කෙදිනක හෝ ඔබෙන් නැඟෙන නාදයට සවන් දී තිබේ ද? කඳු පන්තියකට, ගසකට, දිය ඇල්ලකට මතු නොව ක්‍ෂණයෙන් වෙනස්වන වලාකුළකට මෙන් ම ඔබට ද ඔබට ම ආවේණික නාදයක් තිබේ.
ඒ නාදයට සවන්දීම පුරුදු පුහුණුවෙන් වගා කොට ගත යුතු වූවක් ය. ඔබේ හදවතෙන්, ඔබේ මනසෙන් නැඟෙන ඔබේ ජීවයේ නාදය මෙන් ම මගේ හදවතේ නැඟෙන නාදය ද අව්‍යාජ බවට සැක නැත. එය බාහිර සංසිද්ධීන්ගේ බලපෑමෙන් වෙනස් වන්නක් නොවේ.
සිදු වෙන්නේ යටපත් වීමක් පමණි. නැතිනම් ඒ අව්‍යාජ නාදය ඇසෙන්නේ නැතිවීම පමණි. එහෙත් මොහොතකට සිතන්න, ඔබේ හදවතේ රාවය නිවැරදි ව ඇසීමට තරම් ඉසුඹුවක් ඔබේ මනසට තිබේ ද කියා.
ජීවන ගමනේ තරගකාරීත්වයත් සමඟ නෙක අවශ්‍යතා ප්‍රමුඛ වීමෙන්, නිසල ව නිහඬ ව ඔබට ඔබේ හදවතෙන් නැඟෙන නාදයට සවන්දීමට නොහැකි වී නම් ඔබ මෙතෙක් ඔබේ නිර්ව්‍යාජ සිතිවිලි හඳුනා ගෙන නැත.
මේ ලොව පවතින සියලු ම දේට අනන්‍ය වූ නාද රටාවක් තිබෙන බව ඔබ දන්නවාද? ලොව පවතින මේ නෙක නාද රටා ආශ්චර්යයක් ම ය.
’න නාදේන විනා ගීතං
න නාදේන විනා ස්වරාඞ
න නාදේන විනා නෘත්‍යං
තස්මාන්නාදාත්මකං ජගත්’
මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහයන්ගේ ‘සකුදියවර’ කෘතියෙන් හමු වූ මේ සංස්කෘත කවියා පවසන්නේ නාදයෙන් තොර ගීතයක් නැති බව ය. නාදයෙන් තොර ස්වර ද නැති බව ය. නාදයෙන් තොර නෘත්‍යයක් ද නැති බව ය. එහෙයින් මුළු ලොව ම නාදාත්මක බව ය.
ලෝකය අප්‍රමාණ වූ සුන්දර නාදාවලීන්ගෙන් සමන්විත සුවිසල් සංගීත භාණ්ඩයක් නොවේ ද? එහෙත් ඒ අව්‍යාජ නාද රටා සංගීත භාණ්ඩයකට ලඝුකොට ගත හැක්කේ යැයි ඔබ සිතනවාද? විසල් වෘක්‍ෂලතාවලින් ගහන මිනිසා විසින් විනාශයට බඳුන් නොකරනු ලැබූ වන වියන යටින් කිසිදු ශබ්දයක් නොනැඟෙන සේ ගමන් කරන්න. හාත්පස මුළු මහත් නිහඬතාවකින් වෙළී සිටිය ද ඒ ගැඹුරු ප්‍රසන්න නිහඬතාව අතරින් මිහිකතේ පමණක් නොව ගස්වැල් නඟන නාදය ද ඔබට ඇසෙන්නට පටන් ගනු ඇත.
නවතින්න මඳක්. ඒ පරිපූර්ණ නිහඬතාව මුළුමනින් ම විඳිද්දී ඔබට නොයෙක කුරුලු කූජන ඇසෙන්නට පටන් ගනු ඇත. සිහින්, ලතාවත්, ගීතවත් නාද, රළු, සුමුදු නාද, තියුණු පැහැදිලි නාද, පක්‍ෂීන්ගේ සුසුම් රාව ඈ නොයෙක රාව අව්‍යාජ සෙයකින් ඔබේ දෙසවනට ඇසෙන්නට පටන් ගනු ඇත. ඒවා ඇසෙන්නේ හුදෙක් ඔබේ කනට ම නොවේ. එය හදවතට ද ඇසෙන්නේ ය.
ඒ අව්‍යාජ නාද රටා ඒ අයුරින් ම ඔබට ව්‍යාජ සංගීත සංයෝජනවලින් ඇසී තිබේ ද? වනාන්තරයක පවතින නෙක නාද රටා ඔබට ඔබේ නාදය සිහිපත් කරවන්නේ ඒවා පවතින ස්වරූපයෙන් ඊට බාධා නොකොට නිසංසලේ ඇහුම්කන් දුනහොත් පමණී. එහෙත් මේ ලොව කීයෙන් කී දෙනකු ඒ අව්‍යාජ නාද රටාවල අපූර්වත්වය විඳ තිබේ ද? සොබාදහමේ නාද රටා පරිපූර්ණ ලෙස විඳීමට ඔබට හැකිනම් ඔබට ඔබේ හදවතෙන් නැඟෙන අව්‍යාජ නාදය ඇසෙන්නට පටන් ගනු ඇත.
සුළඟේ මිහිරි සනීපවත් සර සර නාදය ද, තරුවේ කාන්තියෙන් විහිදෙන නාදය ද එකසේ දැනෙන්නට නම් ඔබ ඒ අව්‍යාජ නාද රටා සමඟ නිහඬ ව ම හදවතෙන් කතා කළ යුතුය. ගඩොල් කැට දෙකක් අතරින් හෝ කළුගල් දෙකක් අතරින් අසීරුවෙන් මතුවෙන ළා තණ පතක් නඟන නාදය මෙන් ම ගස්වල කොළ නඟන නාදයට ද ඔබේ සිත දැහැන්ගත කරවීමට හැකි ය. ඒ අපූර්ව සංහිඳියාව ඔබට හදවතේ අව්‍යාජ නාදය ඇසෙන්නට සලස්වනු ඇත. ඒ නාදය ඔබ වඩාත් අපූර්ව, සුන්දර මිනිසකු බවට පත් කරවනු නො අනුමාන ය.
නාදයේ අපූර්ව ආශ්චර්යය ගැන මා මනස අවදි කළේ අඳ වාදකයකු බව ඔබ දන්නවාද? ඒ අඳ වාදකයා නොතිත් ඉවසීමකින් යුතු ව නාදයේ අපූර්වත්වය මට පසක් කළේ ය. ඒ මාවත මුළුමනින් ම මේ මිහිකතේ පවතින අනේකවිධ තරගකාරීත්වයෙන් වියෝවූ අතිශය නිවීමක් ම සිතට උදා කළේ ය. ‘වී. කරලෙන්කො’ නම් රුසියන් ගත්කරුවා වසර 14 ක් තිස්සේ ඒ අවබෝධයේ හා ආදරයේ මාවත අපට විවර කරන්නට වෙහෙසුණේ ය.
අවසන පෙත්රුස් නම් අඳ දරුවා සමඟ අපි නාදයේ ආශ්චර්යය සොයා සොබාදහමේ නෙක වපසරීන් හි සැරිසැරුවෙමු. අනතුරු ව මක්සීම් මාමා හා පෙත්රුස් කැටුව බටනළාවෙන් මැවෙන නාද රටා ඔස්සේ ඈත අනන්තය තෙක් ස්ටෙප්ස් තණ බිම පුරා ඇවිද ගියෙමු. හදවතෙන් නැෙඟන නාදය හා සොබාදහමෙන් නැඟෙන සොඳුරු අව්‍යාජ නාදය කෙතරම් නම් සමානද යන්න අවසන පසක් කරගත්තෙමු. ඉඳින් අද වාදකයා පෙන් වූ මාර්ගය අවසන් වූයේ අප, අප ව ම හඳුනාගැනීමෙනි. එනම් අපේ ම නාද, අපේ ම ස්වරූපය අපට ම අවබෝධ වීමෙනි.
”ගිම්හාන දවස්වල මද්දහන් කාලයේදී අවට හැම දෙයක් ම නිහඬ වූ විට මිනිසුන් ගේ යාම් ඊම් නැවතුණු විට සොබාදහම මත නිහඬතාව රජ කරවන විට, ජීවමය බලවේගයන්ගේ නිහඬ ම ය ධාවනය පමණක් ඇසෙන විට, ඔහුගේ මුහුණෙහි සුපුරුදු විලාසයක් මැවිණි. බාහිර ඇති නිහඬතාව විසින්, ඔහුට පමණක් ඇසෙන ශබ්ද ජනිත කරවයි. ඔහු ඒවාට මහත් අවධානයකින් සවන් දෙන සැටියකි. ඔහුගේ සිතෙහි උපන් නොපැහැදිලි හැඟීම් ගීතයක තාලයක් මෙන් නොපැහැදිලි ලෙස ඔහුගේ හදවතේ හඬ නඟන බව ඔහුගේ මුහුණ දෙස බලන විට පෙනේ.”
අඳ දරුවාට ලෝකය පසක් වන්නේ නාද ශ්‍රවණයෙනි. එමඟින් ඔහු තම හදවතේ නාදය හඳුනා ගනී. ඔහුගේ හදවතේ නාදය අපට අපේ නාදය හඳුනාගන්නට මඟ විවර කරයි. වී. කරලෙන්කො නිමවන මේ රමණීය ගද්‍ය කාව්‍ය සිංහල බසට නඟන්නේ දැදිගම වී. රුද්රිගු විසිනි. මුල් කෘතියේ රමණීය බව එපරිද්දෙන් ම අප වෙත ගෙන එමින් ඔබට ඔබේ නාදය හඳුනා ගන්නට, අවබෝධ කරන්නට දැදිගම වී. රුද්රිගු විවර කරන මාවතේ ගමන් කිරීමට නම් ඔබ ‘අඳ වාදකයා’ කියැවිය යුතු ම ය. ඒ කියැවීම ඔබට පොතක් කියැවීමෙන් ඔබ්බෙහි ඇති පරිපූර්ණ සංහිඳියාව උදාකර දෙනු ඇත.
මේ මුළු මහත් විශ්වය ම එක ම නාදාවලියකි. අනන්ත අප්‍රමාණ නාද රටා අතර අප සොයා ගත යුත්තක් තිබේ. ඒ අපේ හදවතෙන් නැඟෙන නාදයයි. ඒ නාදය මුළුමනින්ම අව්‍යාජ ය. ඒ අව්‍යාජ බව අතරට ඔබ සුපහන් සිතිවිලි ඒකරාශී කරතොත් ඔබ නිවී සැනහුණු අයකු වනු නොඅනුමාන ය. ඔබේ නාදය දන්නේ ඔබ පමණක් නිසා ඒ රාවය සුපහන් කරගත හැක්කේ ද ඔබට ම ය.
නොයෙක අව්‍යාජ නාද රටා පරිසර හා ඒකාත්මික ව අප හා නිරන්තර සංයෝග වෙයි. ඒවා සියල්ල ම ජීවිතයේ අරුත සොයා දෙන මධුර නාදාවලි පමණක් ම නොවේ. ඒ අමධුර නාදාවලි හඳුනාගෙන ඒවායෙන් ඈත් වීම ඇත්තේ ඔබ අත ය. අනන්ත අප්‍රමාණ සුමධුර නාදවලින් තම ජීවිතය සුසර කොට ගත හැකි ව තිබිය දී අමධුර නාද රටාවලට ඔබේ ජීවිතයට බලපෑම් කිරීම ඔබ ඉඩ දිය යුතු නැත. පළමු ව තම නාදයට සවන් දෙන්න. එවිට දහසකුත් නාද අතරින් සුමධුර නාද වෙන්කොට ගැනීමට ඔබට හැකිවනු ඇත. ඒ මධුර නාද රටා පෙත්රුස් නම් අඳ වාදකයාට ජීවිතයේ අනන්ත අප්‍රමාණ සැනසිල්ල උදා කළාක් මෙන්, ඔබට ද ඔබේ දිවි මඟ අවබෝධ කොටගන්නට මඟ විවර කර දෙනු නොඅනුමාන ය. 

http://www.silumina.lk/punkalasa/20130310/_art.asp?fn=ar1303102

“මෙන්න හැඳි කැවුම් ටික පැණි මුට්ටිය ඇතුළේ! පැණි බේරි බේරී තියෙනවා

අවුරුදු කැවුම්

අලුත් අවුරුද්දට අත්තම්මා අපි යාළුවෝ හැම දෙනාටම රසට කැවුම් හදල දෙන්නම් කියල පොරොන්දු වුණා. අත්තම්මා කියපු විදිහටම අපිට කැවුම් හදල දෙන්ට අවශ්‍ය හාල්, පැණි, තෙල් කඩෙන් ගෙනල්ලා ගෙදර පැත්තක තියල තිබුණා. පසුව හාල් ටික වතුරේ පොඟවා කොටල පිටි ගන්න හැටි අපිට පෙන්වා කියල දුන්නා.
අපි හැම දෙනාම අත්තම්මට පිටි කොටන්නට උදව් කළා. අත්තම්මට හරිම සතුටුයි. අපි සමඟියෙන් පිටි කොටල කැවුම් හදන්ට අත්තම්මට උදව් කරපු එක ගැන. ඉන්පසු අත්තම්මා කිතුල් පැණි මැටි මුට්ටියකට දාල ළිපේ තබා පැණි උණුකර පැත්තක තිබ්බා.
ටික වෙලාවකින් කොටපු හාල් පිටි භාජන තුනකට දැමුවා.
අත්තම්මා මුලින්ම කොණ්ඩ කැවුම් හදන පදමට පිටිවලට පැණි එකතු කරල දියාරුවක් හදා ගත්තා.
පළමුව නටන තෙලට පිටි දාල කූර ගසල කොණ්ඩය ගන්න හැටි කියල දුන්නා. කොණ්ඩ කැවුම් තෙල් තාච්චියේ චාස්! චූස්! සද්දෙන් බැදෙනවා චුරු! චුරු! සද්දෙත් එනවා ගෙදර වටේම කැවුම් සුවඳයි බැදෙන කැවුම් ළිප ළඟ තියෙන මැටි මුට්ටියට දානවා. අපි අත්තම්මා කියල දුන්න විදිහට කොණ්ඩ කැවුම් හැදුවා. ඊළඟට අත්තම්මා අතිරස කැවුම් හදන හැටි පෙන්වා දුන්නා. පිටි හට්ටියකට දාල ඒ උඩට පැණි දාල හොඳට අනල අතේ නොගෑවෙන පදමට පිටි හදල කුඩාවට බෝල කරල එම පිටි බෝල කෙසෙල් කොළවල තුනී කරල පුංචි පුංචි කැවුම් හදලා නටන තෙලට දැම්මා. ලස්සනට පුංචි කැවුම් ගොඩක් හැදුවා.
අපිත් අත්තම්මට අතිරස කැවුම් හදන්ට උදව් කළා. ඒ කැවුම් වෙනත් මුට්ටියකට දැම්මා, ඊළඟට හැඳි කැවුම් හදන්ට පිටිවලට පැණි දාල දියාරුවක් හදා ගත්තා. පොල්කටු හැන්දෙන් නටන තෙලට පිටි හැන්දක් දාල කැවුම් බැදෙන විට හැන්දෙන් කැවුම් තද කර කර හැඳි කැවුම් හැදුවා. අපි අත්තම්මා කියලා දුන්න අන්දමට හැඳි කැවුම් හැදුවා. වෙනම මුට්ටියකට දැම්මා.
අත්තම්මට හරිම සතුටුයි. අපි අත් පුච්චා නොගෙන කැවුම් බැදීම ගැන. කොණ්ඩ කැවුම්, අතිරස කැවුම්, හැඳි කැවුම් මුට්ටි තුනයි. අත්තම්මා කැවුම් මුට්ටි තුනම හොඳට වහල දුමේ උඩ කොටසේ තිබ්බා. අවුරුද්දට දින දෙකකට කලින් අත්තම්මා කැවුම් මුට්ටි බලල කොණ්ඩ කැවුම් මුට්‍ටියේ කොණ්ඩ කැවුම් නෑ! අපි හදපු අතිරස කැවුම් නෑ! අත්තම්මා කුස්සියේ හැමතැනම කැවුම් හොයනවා. මෙන්න! කොණ්ඩ කැවුම් මිදුලේ ගහක තැන තැන ඇලවිලා පැණියි තෙලුයි ගහ දිගේ ගලනවා. කැවුම් සුදු පාටට හැරිලා සුදු පාට මිශ්‍ර ළා රෝස පාටට ගෙඩි හැදිලා. බලන්ට ලස්සනයි.
අතිරස කැවුම් ටික මිදුලේ තැනින් තැන විසිරිලා. කූඹියෝ රංචු පිටින් අතිරස කැවුම්වල රස බලනවා. ඉතිරි හැඳි කැවුම් ටික කෝ! කෝ! කියල අත්තම්මා හොයනවා.
“මෙන්න හැඳි කැවුම් ටික පැණි මුට්ටිය ඇතුළේ! පැණි බේරි බේරී තියෙනවා. අත්තම්මට හයියෙන් හිනා ගියා. “දරුවනේ, අපි හදපු කැවුම්වලට වෙච්ච දේ! අතිරස කැවුම් මිදුලේ ඇවිදින්න ගිහින් කූඹි කනවා. කමක් නෑ ඉතිරි හැඳි කැවුම් ටික අපි හැමදෙනාම බෙදා හදාගෙන කමු කියලා. අත්තම්මා හැමදෙනාම වට කරගෙන පැණිවල තිබුණු හැඳි කැවුම් අපිට බෙදල දීල කැවුම් රස කරමින් කනවා බලල සතුටු වුණා. අත්තම්මත් හැඳි කැවුම්වල රස බැලුවා.
“දරුවනේ ඊළඟ අවුරුද්දේ අපි එකතු වෙලා කැවිලි වර්ග ගොඩක් හදමු” කියල අත්තම්මා සතුටින් සිනාසී වත්ත පහළට ගියා.
එනිදු සුපසන් ප්‍රේමසුන්දර
3 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල,
කොළඹ 08

http://www.silumina.lk/2015/04/12/_art.asp?fn=au150412

අභිනව සංගීත සම්ප්‍රදායක පුරෝගාමියා - සුනිල් සාන්ත


මහාචාර්ය සුනිල් ආරියරත්න
නිදහස් චින්තනයේ ආකර්ෂණයෙන් සුනිල් සාන්තයන් රවීන්ද්‍රනාත් තාගෝර් තුමන් වෙත ප්‍රවේශ වීම සුනිලුන්ගේ සංගීත දිවියෙහි මූලාරම්භය සලකුණු කළා නො වේ ද?
සුනිල් සාන්තයන් මුලින් ම යන්නේ තාගෝර්තුමන්ගේ ශාන්ති නිකේතනයට යි. ඉන් අනතුරු ව ඔහු භාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයට යොමු වෙනවා. අපේ රටේ කලාව හා සංගීතය පිළිබඳ අලුත් දැක්මක්, චින්තනයක්, විපර්යාසයක් සිද්ධ වෙන්නේ තාගෝර්තුමන්ගේ ආගමනයෙන්. තාගෝර්තුමන් තුන් වරක් ලංකාවට ආවා. ඒ ආව ගමන්වලින් අපේ කලාකරුවන්ට, නිර්මාණකරුවන්ට වඩාත් බලපෑම් කළේ 1934 සංචාරයයි. ඒ වෙනකං අපට තිබුණේ සිංහල වචන නිසා පමණක් සිංහල වූ සංගීතයක්. ඊට හේතුව 1934 වගේ වකවානුවක අපේ රටේ සංගීතය කියලා තිබුණේ නූර්ති සංගීතය යි. අනෙක් පැත්තෙන් ග්රැමෆෝන් සංගීතය. භාරතීය රාගධාරී සංගීතය පදනම් කරගත් සරල ගීත තමයි මේ දෙපැත්තෙන් ම ඇහුණේ. ඊට වැඩිය වෙනස් දකුණු ඉන්දීය කර්ණාටක හඬක් ඇහුණානම් ඒ චාල්ස් ඩයස්ගේ ‘පණ්ඩුකාභය’ කියන නාට්‍යයට ඩබ්ලිව්. සතාසිවම් කියන දේශීය දමිළ ජාතික සංගීතඥයා නිර්මාණය කළ තනු පමණ යි. සමහර ග්රැමෆෝන් සිංහල තැටිවලට උපුටා ගත්තෙත් දෙමළ කර්ණාටක තනු. මෙබඳු පසුබිමකයි තාගෝර්තුමා පැමිණෙන්නේ.
එතුමාගේ නෘත්‍ය, නාට්‍ය හා උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් වියුක්ත රවින්ද්‍ර සංගීතය පදනම් වූ නිර්මාණ බැලීමෙන් බොහෝ පිරිස් අතර ශාන්ති නිකේතනයට යෑමේ ආශාවක් ඇති වෙනවා. ඒ අතරින් අපට වැදගත් වන ප්‍රධාන චරිත දෙකකුත් ශාන්ති නිකේතනයට යනවා. ඒ තමයි ගුරුවරුන් වුණු ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත. සමරකෝන් ඉන්දියාවට යන්නේ 1936 දී. සුනිල් සාන්ත ඊට වසර තුනකට පසු 1939 දී ඉන්දියාවට යනවා. ශාන්ති නිකේතනයට යන ‘ජෝර්ජ් විල්ෆ්‍රඩ්’ ලංකාවට එන්නේ ‘ආනන්ද සමරකෝන්’ නමින්. ‘ජෝශප් ජෝන්’ නමින් ශාන්ති නිකේතනයට යන පුද්ගලයා ලංකාවට එන්නේ ‘සුනිල් සාන්ත’ නමින්.
සුනිල් සාන්ත රවීන්ද්‍ර සංගීතයෙන් පමණක් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අවුරුද්දක් රවීන්ද්‍ර සංගීතය ඉගෙන ගෙන ඊට පස්සේ භාත්කණ්ඩේ සංගීත පීඨයට ගිහින් උත්තර භාරතීය රාගධාරී සංගීතය ඉගෙනගන්නවා. මෙහිදී ඔහු ඉගෙනගන්නේ ගායනය නො වෙයි, වාදනය යි. සුනිලුන් එහිදී සිතාර් වාදනය ප්‍රගුණ කොට වාද්‍ය විශාරද ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ලබනවා. ගායනය සම්බන්ධයෙන් ඔහු ප්‍රථම පන්ති ඩිප්ලෝමා සහතිකයක් ලබා ගන්නවා. ඉන් අනතුරුවයි ලංකාවට එන්නේ.
සුනිල් සාන්තයන් ලංකාවට පැමිණීමෙන් පසු ව ඩී. එල්. පූජිත ගුණවර්ධනයන් ඔවුන් ගුවන්විදුලිය වෙත කැඳවාගෙන එනවා. සුනිල් සාන්තයන්ගේ ජීවිතයේ ගුවන්විදුලිය හැරවුම් ලක්ෂයක්.
1944 දී භාත්කණ්ඩෙ ඉඳලා සුනිල් සාන්තයන් ලංකාවට පැමිණෙනවා. ඒ වෙන කොට ලංකාව පුරා ප්‍රචලිත සංගීතය වුණේ ග්රැමෆෝන් සංගීතය යි. නූර්ති යුගයත් ඒ වෙනකොට ඉවර යි. ඒ කාලේ ගුවන්විදුලියත් ප්‍රචාරය කරන්නේ ග්රැමෆෝන් සංගීතය. ගුවන්විදුලි මයික්‍රෆෝනය ඉදිරිපිට ග්රැමෆෝන් තැටි වාදන යන්ත්‍රයක් තියලා ග්රැමෆෝන් තැටිය වාදනය කරලා මෙහෙම නිවේදනය කරනවා:
“මේ තැටිය කොලොම්බියා තැටියක්. ඒක අපි ලබාගත්තේ කාර්ගිල්ස් සාප්පුවෙන්.”
ඒ ඔස්සේ තැටි නිෂ්පාදන ආයතනයටත් ප්‍රචාරයක් ලබා දෙනවා. පැරැණි පුවත්පත්වල ගුවන්විදුලි වැඩසටහන පළ කරනවා. ඒවායේ සඳහන් වෙන්නෙත් ගුවන්විදුලි සංගීතයක් නො වෙයි, ග්රැමෆෝන් සංගීතයක් ගැන. ඊට පස්සේ ඔවුන් ගුවන්විදුලි සංගීතය පටන් ගන්නවා. ඒවා සජීව විකාශ ලෙසයි කරන්නේ. සජීව කියන්නේ ඒ වැඩසටහන් ගුවනේ පාවී යනවා මිස පටිගත වීමක් නැති නිසයි. 1946 අවසානේ වගේ මුල් වතාවට ගුවන් විදුලි තැටියක් නිර්මාණය කරනවා. ඒ සඳහා තෝරා ගත්තේ සුනිල් සාන්ත. ඒ තමයි “ඕලු පිපිලා” කියන ගීතය.
සුනිල් සාන්තයන් ගුවන් විදුලි නිර්මාණයක් කිව්වොත් ඔබ ඊට එකඟ ද?
පැහැදිලි ව ම. ඔහු මැරෙන තාක් කල් කවදාවත් ග්රැමෆෝන් තැටිවලට සින්දු කිව්වෙ නැහැ. ඔහුට වෙළෙන්දන් අසාත්මිකයි. එහි වෙනස ආනන්ද සමරකෝන්ගේ ගීතවලින් සියයට අනුවක් ම එච් එම් වී තැටි (His Master's Voice) මඟින් බිහි වීමයි. අපේ ජාතික ගීය පවා බිහිවෙන්නේ එහෙමයි. ඒ අතරේ “ඇසේ මධුර ජීවනයේ..., පුංචි සුදා සුදු කැටියා... ආදි ගීත රාශියක් බිහිවෙන්නේ ග්රැමෆෝන් තැටි මඟින්. ඒ කාලේ හතර වටින් අත්පත් කරගෙන තිබුණු මේ ව්‍යාපාරයට සුනිල් සාන්ත නතු වෙන්නේ නෑ. හැබැයි ඒ කාලේ වෙනකොට ආනන්ද සමරකෝන් ජනප්‍රිය ගායකයෙක්. ඒත් ආනන්ද සමරකෝන් මේ සඳහා තෝරා නොගෙන සුනිල් සාන්ත ම ඊට තෝරා ගැනීමට හේතුව කිසිම ග්රැමෆෝන් තැටියකට ගීත ගායනා නොකළ ගායකයා නිසා ද කියලා අපි දන්නෙ නැහැ.
කෙසේ වෙතත් “ඕලු පිපිලා විල ලෙළ දෙනවා” කියන මේ ගීතය එක රැයකින් ජනප්‍රිය වෙලා ඔහු ගුවන්විදුලි තාරකාවක් බවට පත් වුණා. එතැන් සිට ඔහුගේ සියලු ගීත ඔහු නිර්මාණය කරන්නේ ගුවන් විදුලිය සඳහා පමණක් ම යි. ඔහු මැරෙන තුරු වෙළෙඳ තැටියක් සඳහා ගීතයක් ගායනා කොට නැහැ. ඒ නිසා තමයි විද්වතුන් ඔහු ගුවන් විදුලි නිෂ්පාදනයක් ලෙස හඳුන්වන්නේ. එයට හේතුව ගුවන් විදුලියෙන් තොරව කිසිම දෙයක් ඔහු ගායනා කළේ නැහැ. පරිභ්‍රමණ 78 ගුවන් විදුලි තැටි නිකුත් කරන කාලේවත්, ඊට පස්සේ ඊ පී තැටි පරිභ්‍රමණ 44 තැටි නිකුත් කරන කාලේදීවත්, කැසට් පට නිකුත් කරන කාලේදීවත් කිසිදු වෙළෙඳ උපක්‍රමයකට ඔහු මිල දී ගත නොහැකි වුණා. ඒ නිසා සියයට සීයක් ම ඔහු ගුවන් විදුලි නිෂ්පාදනයක්. ඒ මතය හා මම එකඟයි.
එහෙත් ගුවන්විදුලිය වෙනුවෙන් එතරම් ආදරයක්, කැපවීමක් තිබු සුනිලුන්ගේ ජීවිතය බිඳ වැටෙන්නෙත් ගුවන් විදුලිය නිසා ම යි.
ඇත්තෙන්ම ගුවන් විදුලියට එතරම් ආදරය කළ ඔහු විනාශ කළේත් ගුවන් විදුලිය ම තමයි. ඒ තමයි දෛවය. ගුවන් විදුලිය වෙනුවෙන් ජීවිතය කැප කළ, වෙනත් කිසිම කෙනකුට තමන්ගේ කටහඬ මිලට ගන්නට ඉඩ නොදුන් ඔහුට අවසානයේ වුණු දේ ඛේදජනකයි. ඔහු ගුවන්විදුලියට ගීත ගැයුවේ රුපියල් 25ට 30ට. නමුත් ඒ වෙනකොට ග්රැමෆෝන් තැටියකට සුනිල් සාන්තට එක් ගීතයක් වෙනුවෙන් රුපියල් 1000 ක් විතර අය කිරීමේ අවස්ථාව තිබුණා. එහෙම නොකළ ගුවන් විදුලි ශිල්පියා ව ම මරණය කරා ගෙන යන්නේ ඒ ගුවන් විදුලිය ම යි.
සුනිල් සාන්තයන්ගේ ස්වරිත කටහඬ විධිමත් පුහුණුවෙන් වඩාත් අර්ථ ධ්වනි පූර්ණ වූ බැව් අවිවාදිතයි. ඒ පිළිබඳ ඔබේ අදහස.
ඔහුට තරම් නිවැරැදි උච්චාරණය, නිවැරැදි ස්වරස්ථාන කරා ගමන් කිරීමේ හැකියාව, මිහිරියාව, කටහඬ උස් පහත් කිරීම, ගීතයෙන් නිරූපිත වචනවලට, භාවවලට අනුරූප ව හඬ ස්ථානගත කිරීම, ආදියට ළං වීමටවත් හැකි කෙනෙක් හිටියේ නැහැ. ඒ යුගයේ මිහිරි ම හඬ තිබුණේ ඔහුට. එසේ ම ඔහුගේ හඬ උත්තර භාරතීය රාගධාරී සංගීතය අනුව ශික්ෂිත හඬක් වුවත් කිසිම අවස්ථාවක අපිට හිතෙන්නෙ නැහැ ඔහු උත්තර භාරතීය සංගීතය හදාරපු කෙනෙක් කියලා. තාම්පුරාවට අනුව ස්වර අභ්‍යාස කළ ගායකයෙක් ය මේ ගයන්නේ කියලා අපට හැ‍ඟෙන්නේ නෑ. මොකද අමු ම අමු සිංහල හඬක් අපිට ඇහෙන්නේ. ඒ අපිට ඇහුණු පළමුවැනි සිංහල හඬ. ඒ හඬ ඊට පෙර යාන්තමින් හෝ ඇහුණේ ආනන්ද සමරකෝන්ගෙන්. නමුත් සමරකෝන්ගේ හඬ මිහිරි හඬක් කියලා සමරකෝන්වත් විශ්වාස කළේ නැහැ. ඔහු අතිදක්ෂ තනු නිර්මාපකයෙක්. ඒ නිසා අපට ඇහෙන මුල් ම ශුද්ධ සිංහල හඬ සුනිල් සාන්තගේ. ඔහු ගුවන් විදුලියෙන් බිහි වුණු සුපිරි තරුව, මුල් ම පවිත්‍ර, ශුද්ධ සිංහල හඬ.
ඒ කාලේ අපිට මොහිදින් බෙග්, අහමඩ් මොහිදින්, එච්. ඩබ්ලිව්. රූපසිංහ, සාදිරිස් මාස්ටර්, ඇම්. කේ. වින්සන්ට් වැනි ගායක පරම්පරාවක් තමයි හිටියේ. ඔවුන් පැහැදිලි ව ම ගායනා කළේ භාරතීය සංගීතයට අනුගත වූ හඬකින්. ඒ සම්ප්‍රදායට එරෙහි ව ඊට වඩා වෙනස් ආරකින් වංග සංගීතය අනුව යමින් ගායනා කළේ ආනන්ද සමරකෝන් විතරයි.
ඔහුගේ පුංචි සුදා සුදු කැටියා..., ඇසේ මධුර ජීවනයේ ගීතා..., බලන්න සොහොයුරියේ හා... හා... හා... වගේ ගීත බැලුවහම ඔහුගේ හඬ අනෙක් හඬවලට වඩා වෙනස් බව තේරෙනවා. ඒ වෙනස් වෙච්ච හඬ සුනිල් සාන්ත පිළිගත් බවත් පෙනුණා. ඔහුට පූර්වගාමීන් අතරින් ඔහු ගරු කළේ ආනන්ද සමරකෝන්ට විතරයි. ඒ පිළිබඳ ව ඔහු ලියලත් තියෙනවා. අදටත් සුනිල් සාන්තයන්ගේ හඬ ආවේණික හඬක්. ඒ හඬ තියෙන්නේ අයිවෝ ඩෙනිස්ට විතරයි.
සුනිල් සාන්තයන්ට එතරම් නිදහස් ස්වායත්ත චින්තනයක් ඇතිවීමට කුමාරතුංගයන් ප්‍රමුඛ හෙළ හවුල දැඩි සේ බලපෑ බව පෙනෙනවා.
ඔහු 1944 ලංකාවට එනකොට ලංකාවේ තිබුණු ප්‍රධාන භාෂා ව්‍යාපාරය හෙළ හවුලයි. කුමාරතුංගයන් 44 දී දිවංගත වූ නමුත් ඔහුගේ රශ්මිය, ප්‍රභාව මියගියේ නැහැ. අදටත් ඒ රශ්මිය පවතිනවා. සුනිල් සාන්ත තමන්ගේ ඥාතියකු වන මෝසැසි පෙරේරා පියනම නිසා හෙළ හවුලට ඇදී යනවා. ඔහු මුලින් ම කියවන්නේ 1942 කුමාරතුංගයන් පළ කළ “හෙළ මීයැසිය” සහ “විරිත් වැකිය” පොත් දෙකයි. මේ පොත් දෙක ඔහුගේ ජීවිතයට තදින් බලපෑවා. ඔහු හෙළ හවුල් රැස්වීම්වල ගීත ගායනා කළා.
සිංහල සංගීත සංකල්පය “හෙළ මීයැසිය” කෘතියේ තියෙනවා. නමුත් එහිදී කුමාරතුංග එක් අන්තයකට ගියා. ඔහු කිව්වා ස, රි, ග, ම, ප, ද, නි කියන ඉන්දියානු ස්වර අපි සිංහල කළ යුතුයි කියලා. ඒ අනුව සි රි ගි මි පි දි නි වශයෙන් අකුරු වෙනස් කළා. සංගීතයක් වෙනස් කරන්න බැහැනේ. ඒ අන්තයට සුනිල් සාන්තයන් ගියේ නැහැ. සිංහල සංගීතය කියන සංකල්පය ඔහු අතින් දේශීය සංගීතය බවට පත් වුණා. “දේශීය සංගීතය” නමින් පොතක් ලියමින් ඔහු කිව්වා, අපේ රටේ කලාකරුවෝ ඒ කාලේ කල්කටාවේ ශාන්ති නිකේතනයට, ලක්නව්හි භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨයට, කේරලයට, අඩයාර්වල පිහිටි කලා නිකේතනයට, උදය ශංකර්ගේ අල්මෝරා නැටුම් මධ්‍යස්ථානයට ආදි වශයෙන් සංගීතය හා නැටුම් ඉගෙන ගැනීමට ගියේ ම ඉන්දියාවට කියලා. ඔහු පැවසුවේ ඉන්දියාවට යන අය ඉන්දියාවම ගෙඩි පිටින් ම ලංකාවට ගේනවා කියලයි. ඔහු කියනවා, “මමත් 44 ලංකාවට ආවේ ඉන්දියානුවෙක් බවට පත් වෙලා. මගේ කොණ්ඩෙ, මගෙ කතාබහ, හැසිරිම් ඇවතුම් පැවතුම් ඔක්කොම ඉන්දියානුවෙක් විදියටයි තිබුණේ. මම වැරදියි කියලා මට තේරුණේ කුමාරතුංග මුනිදාස කියෙව්වාට පසුවයි. අපි ඉන්දියාවට යන්න ඕන ශිල්පය හැදෑරීම සඳහා පමණයි, ඉන්දියානුවෙක් වීමට නොවෙයි. ඒ නිසා අපි සංගීතය දේශානුගත කරන්න ඕන” කියලා ඔහු ලියනවා. මේ පදනමේ ඉඳන් තමයි ඔහු ඔහුගේ සියලු ගී, තනු නිර්මාණය කළේ. ඔහු සොයාගෙන ගියේ අපිට ම අනන්‍ය වූ සංගීතයකුයි.
ඔහු රාගධාරී සංගීතය භාවිත කළ අවස්ථාත් ඉඳහිට හමුවෙනවා නේද?
ඉඳහිට ඔහු රාගධාරී සංගීතයට අනුවත් ගී නිර්මාණය කළා. උදාහරණයක් ලෙස ‘සිහිකර ඔබැ රුව වැලපෙමි සොඳුරිය...’ කියන රාම වැලපිල්ලෙදි ඔහු භෛරවී රාගය අනුවයි ගීතය නිර්මාණය කරන්නේ. ‘ඉමිහිරි සුවඳැති මල් ඇයි මෙතරම් හනිකට පරවන්නේ...’ කියන සූර්යශංකර් මොල්ලිගොඩ වෙනුවෙන් නිර්මාණය කළ ගීතය ඔහු ඍජු ව රාගධාරී සංගීතය අනුව නිර්මාණය කරන ලද්දක්. ඒ නිසා ඔහුගේ ගීත අතර ගීත අතළොස්සක් පමණයි ඍජු ව රාගධාරී සංගීතය අනුව නිර්මාණය කළ ඒවා තියෙන්නේ. අනෙක් සියලු ගීත දේශීය චින්තනයක පිහිටා බිහි කළ නිර්මාණ. අනෙක් සියලු දෙනා රාගධාරී සංගීතයට අනුව ගීත නිර්මාණය කරද්දි ඔහු උඩුගං බලා පීනු කෙනෙක්.
දේශීය හෙළ ඌරුව රැක ගනිමින් හෙළ හවුලේ අනන්‍යතාව බඳු ‘ඇ’ කාරය පවා භාවිත කරමින් ඔහු ගී පද මාලා නිර්මාණය කිරීමත් සුවිශේෂ බවයි අපේ හැඟීම.
ඔහු තමයි මුල් වරට පවිත්‍ර ගීත සාහිත්‍යයක් සොයාගෙන ගිය තැනැත්තා. නූර්ති හා ග්රැමෆෝන් ගීතවල බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ සංස්කෘත මිශ්‍ර පද මාලා අනුව රචනා වූ ගීත. එයට හේතු වුණා, ඒ සඳහා යොදාගත් මුල් තනු. ඒ මුල් ගීත තනු බොහෝ විට සංස්කෘත වචනවලට බරයි. හින්දි භාෂාවට සංස්කෘතය මුල් භාෂාවක්. සිංහලයට වුණත් එහෙමයි. තනුව හින්දි වගේ ඇහුණට වචන සිංහල.
මේ තත්ත්වය සමරකෝන්ට බලපෑම් කළේ නැහැ. ඔහුමයි ඔහුගේ ගී පද රචනා කර ගත්තේ. නමුත් සුනිල් සාන්තට හෙළ හවුල් ආභාසය නිසා හොඳ සාහිත්‍ය ඥානයක් ලැබුණා. ඒ නිසා ඉතා ම ජනප්‍රිය ගීත රාශියක් ඔහු ම රචනා කර ගත්තා. උදාහරණයක් ලෙස ඕලු පිපීලා විල ලෙළ දෙනවා..., වරෙන් හීන් සැරේ රිදී වලාවේ..., දියගොඩ සැම තැන කිරි ඉතිරේ..., හෝ ගා රැල්ල බි‍ඳේ.., නැළැවී සැනහෙන්නේ... වගේ ගීත පණහක් විතර ඔහු ම රචනා කළා. ඒවා ඉතාමත් හොඳ ගීත. එහෙම හැකියාවක් තිබියදීත් ඉන් සෑහීමකට පත් නොවී ඔහු හෙළ හවුල් රචකයන් ලවා ගීත රචනා කර ගත්තා. උදාහරණයක් විදියට අරීසෙන් අහුබුදු සූරීන් ලවා ලංකා ලංකා පෙම්බර ලංකා, දකුණ නැගෙනහිර බටහිර උතුර ද... වගේ ගීත ලියවා ගත්තා. ඒ වගේම හියුබත් දිසානායක, රැයිපියෙල් තෙන්නකෝන්, කුමාරතුංග මුනිදාස වැනි වියතුන්ගේ කවිත් ගීත බවට පත් කරගත්තා. කුකුළු හැවිල්ල, හෙළ රණ ගීය, සැරදේ වවුල් රජින්දේ... වැනි කවි ඊට උදාහරණයි.
හෙළ හවුලේ අනන්‍යතාව වුණු ‘ඇ’ කාරය, අමිශ්‍ර සිංහලය සුනිල් සාන්තයන් ගී පද නිර්මාණයට යොදා ගත්තා. ඔහුගේ මුළු ගීත සාහිත්‍යයම අතිපවිත්‍ර පදමාලා. කිසි කෙනෙක්ට ඒ ගීතයක ඉස්පිල්ලක, පාපිල්ලක ඇදක් කුදක් කියන්න ඔහු ඉතිරි කළේ නැහැ. ඒ නිසා ඔහු අපේ ගීත සාහිත්‍යයේ තිරසාර පදනමක් පිහිටු වූ කෙනෙක්. ඇත්තට ම මේක ඒ කාලේ ගීත රචකයන්ට නුහුරු අත්දැකීමක් වුණා.
හියුබත් දිසානායක වගේ ඒ කාලේ ගීත රචකයන්ගෙන් සුනිලුන්ගෙන් ගීතයක් ඉල්ලා සිටියා ම ඔවුන් සුනිලුන්ගෙන් තනුවක් ඉල්ලා සිටියා. සුනිල් සාන්ත කිව්වා නෑ, ඔබට කැමැති ආකාරයකට ලියන්න කියලා, මම ඒකට තනුවක් නිර්මාණය කරන්නම්, ඒකට හේතුව ඒ කාලේ තිබුණේ වචන දැමීමේ සම්ප්‍රදාය. ඒ වචන දැමීමේ සම්ප්‍රදාය මුළුමනින් ම ප්‍රතික්ෂේප කරලා ඔහු වචනවලට තනු යෙදීමේ සම්ප්‍රදාය ස්ථාපිත කළා විතරක් නොවෙයි, ඒ ගීත සියල්ල ම ජනප්‍රිය ගීත බවට පත් කරගන්නට ඔහුට හැකියාව තිබුණා. අනුකාරක තනුවලට වඩා ඒ ගීත මිහිරි වුණා, ජනප්‍රිය වුණා.
එතකොට සුනිල් සාන්තයන් අභිනව සංගීත සම්ප්‍රදායක පුරෝගාමියකු ලෙස හඳුන්වන්න පුළුවන් නො වේ ද?
පැහැදිලි ව ම එසේ හැඳින්විය හැකි යි. ඔහු තමයි මුල් වතාවට බටහිර සංගීතය සිංහල ගීතයට වැද්දගත්තේ. සමරකෝන්ගේ කිසිම ගීතයක බටහිර සංගීතයක ඡායාවක්වත් නැහැ. නමුත් සුනිල් සාන්ත තමන්ගේ දේශීය සංගීතය කියන චින්තනය ප්‍රකාශයට පත් කරන කොට ඔහු කියනවා මේ චින්තනය කෞතුක වස්තුවක් විදියට තියන්න නෙමෙයි මම ඉදිරිපත් කරන්නෙ කියලා. මම ඒ චින්තනය ගේන්නේ ජනතාව අතර ප්‍රචලිත කරන්න කියලා. ඒ නිසා ඔහුට ඕන වුණා ජනතාව අතර ප්‍රචලිත කළ හැකි ජනප්‍රිය ගීත සාහිත්‍යයක් ඇති කරන්න. ඔහු ඒ සඳහා මුල් වරට භාවිත කළා බටහිර සංගීත ආරක්.
මුල් වතාවට සුසංවාද (හාර්මනි) සිංහල ගීතයක යොදා ගත්තේ ඔහු. ඒ වගේ ම බොහොම සරල ප්‍රාථමික සංගත (Cords) ඔහු භාවිත කරනවා. ඒ වගේ ම ඔහුගේ ගීත රාශියක ස, රි, ග, ම, ප, ද, නි කියන ශුද්ධ ස්වර භාවිත කරනවා. මේ සියල්ල ඔහු කළේ සංගීතය ප්‍රචලිත කරන්න. ඔහුගේ ගීත තමයි මුල් වතාවට සමූහ ගායනයට සුදුසු ඒවා ලෙස බිහි වුණේ. මේ ගීත අතිශය සරලයි. ඒ නිසා අදටත් විනෝද චාරිකාවක් යද්දි “ඕලු පිපිලා...” ගායනා නොකරන කෙනෙක් නැති තරම්. මේ ගීතවල තියෙන බටහිර ආර නිසා අද ත්‍රිවිධ හමුදාවල තියෙන බටහිර තූර්ය වාදක කණ්ඩායම් හැම එකක් ම තමාගේ ආචාර පෙළපාළිවල අනිවාර්යයෙන් ම “දකුණ නැගෙනහිර බටහිර උතුර ද...”, “ලංකා ලංකා පෙම්බර ලංකා...” ගීත වාදනය කරනවා ම යි.
ඔහු තමයි මුල් ම පුද්ගලයා තමන්ගේ ගීත බටහිර ස්වර ප්‍රස්ථාරවලට නඟලා පොත් වශයෙන් පළ කරපු. ඔහුගේ ගීතවල බටහිර ස්වර රටා සහිත පොත් දෙකක් පළ වුණා. සිංහල ගීතයක් ජීවිතේට අහපු නැති බටහිර පන්නයට හැඩ ගැහුණු මධ්‍යම පාන්තික සිංහල කතා නොකරපු පන්තියක් සුනිල් සාන්තගේ ගීත ගයන්නට, වයන්නට පටන් ගත්තා. රැම්ස් බොතම් නමැති ආණ්ඩුකාරවරයාගේ දියණිය තමා කැමතිම ගීතය “ඕලු පිපිලා විල ලෙළ දෙනවා...” යැයි කියා සුනිල් සාන්තයන්ගෙන් අවසර අරගෙන, ඒ ගීතය ගයා පටිගත කිරිම ද සුනිල් සාන්තයන්ගේ අරමුණ පිළිබඳ චිත්‍රයක් අපට ලබා දෙනවා.
ඔහු තමයි අපිට මහා සංගීත රසික පිරිසක් ඇති කළේ. ඔහු බිහි නොවෙන්න අපේම සංගීත රසික පිරිසක් බිහි වෙන්න තව බොහෝ කල් යාවි. අමරදේවයන් සංගීත ක්ෂේත්‍රයට එනකොට ඔහුට විශාල සිංහල රසික පිරිසක් නිර්මාණය කර තබන්නට සුනිල් සාන්ත සමත්වීම එක් අතකින් ඓතිහාසික කාර්යභාරයක්.
සුනිල් සාන්තයන්, ලයාන්විත මන්දගාමී ස්වරය වෙනුවට විකට සරල රංගනයට පොලඹවන ගී තනු චිත්‍රපට සඳහා නිර්මාණය කළා. මේ එකිනෙකට වෙනස් භාවිතය ගැන සඳහන් කළොත්...
කවදාවත් චිත්‍රපට බැලුවෙ නැති, චිත්‍රපටවලට කැමැති නැති සුනිල් සාන්ත කෙතරම් ප්‍රායෝගික ලෙස “රේඛාවට” හා “සංදේශයට” ගීත නිර්මාණය කළා ද කියන එක ඔහුගේ හැකියාවට කදිම නිදර්ශනයක්. සුනිල් සාන්ත වගේ සංගීතඥයකුට ඒක අමාරු කාර්යයක්. ව්‍යවහාරික සංගීතයට ඔහුගේ කිසිම නැඹුරුවක් තිබුණේ නැහැ.
ඔහු චිත්‍රපට ගීතය කියන එක කොයිතරම් දුරට වටහා ගත්තා ද කියන එක පුදුම සහගතයි. මේ චිත්‍රපටවල එකිනෙකට වෙනස් තේමා සහිත ගීත ගොන්න ඊට නිදර්ශනයක්. නැළැවිලි ගී, කරත්ත කවි, දේශාභිමානී ගී වගේ විවිධ ගීතවලට එකිනෙකට වෙනස් ආකාරයට ඒ ඒ අවස්ථෝචිත ලෙස ගී තනු මාලාවක් සුනිල් සාන්ත ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අතරිනුත් ‘පුරුතුගීසිකාරයා...’ වගේ බයිලා සම්ප්‍රදායට අයත් ගීතයක් සඳහා තනු නිර්මාණය කිරිම විශේෂයි.
ඔහු විවෘත මනසක් තිබුණු කෙනෙක්. ‘කෝකිලයන්ගේ කෝකිල නාදේ...’ කියන ගීතයෙන් බයිලා සංගීතයේ ආභාසය දැකිය හැකියි. “කටේ කිරි සුවඳ...” ගීතයට අපේ කරත්ත කවිවල ආභාසය ලබා ගන්නවා. ඒ වගේ ම අපේ රටේ නැළැවිලි ගීත අතර විශිෂ්ට නැළවිලි ගීයක් වන “සීගිරි ළඳකගෙ මල් වට්ටියෙ ලා පොඩි පුතු නළවන්නා...” මේ ගී තනු අතර විශේෂයි. මේ ගීතවල සංගීත සංයෝජන වෙනස් දෙදෙනකුගේ. රේඛාවේ සංගීත සංයෝජනය බී. එස්. පෙරේරාගේ, සංදේශයේ සංගීත සංයෝජනය ආර්. මුත්තුසාමිගේ. සමහර අයගේ අදහසක් තියෙනවා ඉන් මුත්තුසාමි සුනිල් සාන්තගේ ගී තනු විකෘති කළා කියලා. සුනිල් සාන්ත පවා මුත්තුසාමිගෙ ඒ සංගීත සංයෝජනයට කැමැති වුණේ නැහැ. නමුත් මගේ පෞද්ගලික විශ්වාසය නම් ඒ ගී තනු විචිත්‍රවත් වෙන්න මුත්තුසාමිගේ සංගීත සංයෝජනය ඉවහල් වුණා කියලයි.
රේඛාව, සංදේශය හැරුණාම සුනිල් සාන්තයන් වෙන කිසිදු චිත්‍රපටයකට සංගීතය නිර්මාණය කරන්නේ නෑ. ඒ වගේම මේ පුරෝගාමි ප්‍රවේශ දෙක අනාගත පරම්පරාවකට පූර්වාදර්ශයක් සහ ආභාසයක් වුණු බවකුත් පෙනෙන්නේ නෑ. ඊට හේතු ලෙස ඔබ දකින්නේ මොනවා ද?
සුනිල් සාන්ත කාලයක් තිස්සේ සංගීත පන්ති පැවැත්වූවා. සංගීත පන්තිවල ගෝළබාලයනුත් හිටියා. නමුත් අයිවෝ ඩෙනිස් නමැති ගායකයා හැරෙන්නට ඔහුගේ සංගීත සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්නට කිසිම කෙනෙක් බිහි කරන්නට ඔහුගේ සංගීත පන්ති සමත් වුණේ නැහැ. ඔහුගේ සංගීත පන්තිවල හිටිය අය වෙනත් වෙනත් පැතිවලට ගියා. උදාහරණයක් ලෙස විනී විතාරණ, කාලෝ ෆොන්සේකා, නන්දදාස කෝදාගොඩ, ඉන්ද්‍රානි ඊරියගොල්ල වගේ අය විවිධ පැතිවලට ගියා. නමුත් ඔවුන් කිසි කෙනෙක් සංගීතඥයන් වී මේ සංගීත සම්ප්‍රදාය ඉදිරියට ගෙනයන්න සමත් වුණේ නැහැ. මෙය එතරම් පුදුම සහගත දෙයක් නො වෙයි. අයිවෝ ඩෙනිසුත් නොසිටින්නට සුනිල් සාන්ත ගී ආර සුනිල් සාන්තගෙන් ම අවසන් වීමට ඉඩ තිබුණා.

මාර්ටින් වික්‍රමසිංහ - සිංහල ජනවිඥානයේ සනාතන මූර්තිය

කුශාග්‍ර බුද්ධිමතුන් වශයෙන් අප විසින් හැඳින්වෙන විශිෂ්ටයන් හැම දෙනා ම සතු විශේෂ චරිත ලක්ෂණයක් වෙයි. තමන් අන් අයට වඩා වෙනස් යැයි යන හැඟීම, ඒ මහා ප්‍රාඥයන් සියලු දෙනාටම පොදු චරිත ගතියකි.
මිගෙල් ඩි උනමූනෝ (1864 - 1936)
ස්පාඤ්ඤ ජාතික දර්ශනවාදියා
සිංහලයේ පෘථුල බුද්ධි ‍ක්ෂේත්‍රයේ, අග්‍රගණ්‍ය ජන ප්‍රාඥයකු වීමේ භාග්‍යය උරුමකොටගෙන, මාර්ටින් වික්‍රමසිංහ සිඟිත්තා මෙලොව එළිය දුටුවේ, මෙයට අවුරුදු 125 කට පෙරයි‍. එහෙත් එවැනි දිගු කලකටත් පසුව, මාර්ටින් වික්‍රමසිංහ, යුගයෙන් යුගය, යළි යළිත් උපදින්නේ ය.
එයට, හේතුව, අලුතින් සිංහල සංස්කෘතියට එළැඹෙන දරු - දැරියන් ගේ චින්තනයෙහි මාර්ටින් වික්‍රමසිංහ නැවත උපත ලබන හෙයිනි.
ඔහු ජීවත්ව සිටියේ අසූහය වසක් පමණි. එහෙත්, ඒ කාල පරිච්ඡේදය තුළදී ඔහු විසින් ජන දායාද වශයෙන් මෙලොවට තිළිණ කළ බුද්ධිමය නිධාන සම්භාරය, තාමත්, ස්පන්දනය වෙමින් දිදුලු දෙන්නේ ය.
ශ්‍රී ලංකාවේ දිගු සාහිත්‍ය සම්ප්‍රදායෙහි වරණ්ඩයන් ඔස්සේ, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උදාර ජයග්‍රහණ, අඛණ්ඩ ව ම රැව් - පිළිරැව් දෙමින් විහිදෙති. කාල‍යාගේ ඇවෑමෙන් ලොව පුරා නව සන්නිවේදන මංකඩ අනිවාර්යයෙන් ම පහළ වෙති. එහෙත්, මේ මහා ජන ප්‍රාඥයා විසින් නඟන ලද, නිර්මාණශීලී හ‍ඬෙහි දෝංකාරය, ඒ දියුණු, නවීනතම මාධ්‍ය වන, සිනමාව, රූපවාහිනිය හා ගුවන් විදුලිය වැනි සන්නිවේදන පථ ඔස්සේ, අදත් නො අඩුව රාව - ප්‍රතිරාව නංවයි. ඉන් ඉතා පැහැදිලි ව ම ප්‍රකාශ වන්නේ මේ මහා ප්‍රාඥයාගේ මූලික දර්ශනය සතු, කාලයට අභියෝග කළ හැකි ජීව ශක්තිය යි. සනාතන නාමයක් සහිත, ජන ප්‍රාඥයකු වීමේ උච්ච කූටය කරා යන්නට, ඔහුට ආභාසය සලසන ලද්දේ ඔහු විසින් ජන්මයෙන් ලබන ලද අපූරු ගැමි ළමා සමය විසිනි.
බොහෝ දෙනා මාර්ටින් වික්‍රමසිංහ දන්නේ වයෝවෘද්ධ, ඥාන වෘද්ධ මුහුකුරාගිය වැඩිහිටියකු වශයෙනි. ඒ නිසා සිය ගැමි ළමා සමය සතු විශේෂ ගුණය නිසා ඔහු බුද්ධි ලෝකය ජයගත්තේ යැයි කියන නිගමනය, බොහෝ දෙනාට නුහුරු විය හැකි ය.
කාටත් ළමා සමයක් ඇත්තේ ය. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට ගම්මානයක ගත වුණු ළමා වියක් අයත් ය. එසේ නම් වික්‍රමසිංහගේ ළමා සමය සතු සුවිශේෂී ලක්ෂණය කවරේද? බොහෝ දෙනාට එසේ සිතෙනු ඇත.
මෙය, තරමක් තියුණු ලෙස විමසා බැලිය යුත්තකි. ඔහු උපත ලද කොග්ගල - මලලගම ගම්මානය, එදා සොබාදහම විසින් අරක් ගන්නා ලද කමනීය බිම් පෙදෙසක් වූයේ ය. කෘත්‍රිම නාගරික ලක්ෂණ ඒ ගැමි සිරියාවට අතපෙව්වේ නොවේ. ගැහැණු දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලක එක ම පිරිමි දරුවා වූ නිසා, ඔහුට ලැබෙන ආදරය, අසාමාන්‍ය මානව වර ප්‍රසාදයක් වූයේ ය.
රිසි පරිදි යන්ට - එන්ට සහ හැසිරෙන්නටත් කුඩා මාර්ටින් දරුවාට ඉඩකඩ සැපයුණේ ය.
පසුව මුහුකුර‍ා ගොස් දැවැන්ත වෘක්ෂයක් බවට පත්වූ ඔහුගේ ජන බුද්ධියේ, කුඩා බීජයට අවශ්‍ය පෝෂණය සැපයුණේ ඔහුගේ තියුණු කුතුහලය නිසා ය. ළමා කාලයේදී, හැම දරු‍වකු තුළ ම කුතුහලයක් ඇත්තේ ය. පරිසර‍ය ජයගෙන ජීවිතය ගෙන යනු පිණිස, සොබා දහම විසින් දරුවන්ට පිදෙන ශක්තිය එයයි. එහෙත්, ළමා සමය සතු සාමාන්‍ය කුතුහලයට වඩා තියුණු, අධිකුතුහලයන් ඇතැම් දරුවන්ට ලැබෙන්නේ ය. මාර්ටින් දරුවා ද ඒ වරප්‍රසාදය ලද්දෙක් විය. ගමේ සම වයසක අන් දරුවන්, පරිසරය පිළිබඳ ව අවදි නොවී නින්දෙන් ඇවිදින්නාක් සේ, පුරුදු ජීවන රටාව කරගෙන යද්දී, කුඩා මාර්ටින් දරුවා ප්‍රශ්න අසන්නටත්, සිය කුතුහලයට ඉඩ දී යම් යම් දේ තියුණු ලෙස විමසන්නටත් පුරුදු වූයේ ය. ඔහුගේ කුතුහලයට සරිලන මහා ලෝකයක් ඔහු අවට විහිදියේ ය. අනන්තයට විහිදෙන ගොළු මුහුද - ඉන්දියානු සාගරය එක් පසෙකින් පැවැත්තේ ය. දිය පාරවල්, සතා - සිව් පාවා වනගහණ ආදී ස්වාභාවික නිධාන, ගම්මානය පුරා ඔහු වෙනුවෙන් සැදී තිබිණි. ඔහුගේ ළමා ආත්මය විස්මයෙන් පිරුණේ ය.
ඔහුගේ ආධ්‍යාත්මය තවත් නිර්මාණශීලී ලෙස අවුස්සන සිද්ධියකට ඔහු දහසයවන වියේදී ම මූණපෑවේ ය. සිය සුමිතුරු පරිසරයෙන් වියෝ වී ඔහුට නගරයට සංක්‍රමණය වන්නට සිදු විය. ඔහු සිදාදිගත වූයේ, ජීව වේගය උතුරා යන ළමා සමය, ගම්මානයේ තබා ලා ය.
දකුණු ගම්මානයට ඔහු සතුව තිබුණු දැඩි ආශක්ත භාවය, ඔහුගේ ජනබුද්ධිය අවදි කළ ප්‍රබල ආවේගය විය. සිදාදියේ කොන්ක්‍රීට් පවුරු මැද දී, ඔහුට ළමා ලෝකයේ අසීමිත විස්මය සිහි වූයේ දැඩි අතීතකාමයකින් ඔහුගේ ආධ්‍යාත්මය පෙළමින් ය.
ඔහු ගමේ ගෙවුණු ළමා වියට නිර්මාණශීලී අගයක් එකතු කළේ ය. එදා ගම් සිරියෙන් ලද ආස්වාදය, ඔහු මුළු මහත් දේශයේ ම අතීතය කෙරේ යොමු කොට, මහා පරිමාණයේ සාංස්කෘතික ගවේෂණයක යෙදුණේ ය. අපගේ දේශජ නිර්මාණශීලී සාහිත්‍යය සතු අසහාය චමත්කාරය අනාවරණය කොට ගෙන, සිය අත්දැකීම් ශ්‍රී ලංකාවේ පාඨක ලෝකයට උරුම කරන්නට දැරූ ප්‍රයත්නය, නව සාහිත්‍යයික නවෝදයකට මුල පිරුවේ ය.
මෙසේ විශ්ලේෂණාත්මක ව සලකා බැලීමේදී එළැඹිය හැකි නිගමනයක් වෙයි.
මෙසේ මාර්ටින් වික්‍රමසිංහ නම් සිංහල ජන ප්‍රාඥයා, ජන බුද්ධිමය ජයග්‍රහණ ලබා ගත්තේත්, දේශජ ආත්මයේ සනාතන මූර්තිය බවට පත්වූයේත්, ඔහුගේ ආධ්‍යාත්මික අතීතකාමී නිර්මාණ කෞශල්‍යය නිසා ය.
තමන් සතු නොතිත් ඥාන කුතුහලය, ඔහු ජන සතු කළේ ය. සත්ව සන්තතිය පිළිබඳ ව මුල් පොත් කළේත් ඔහු ය. තමාගේ ආස්වාදය දිනූ අදහස් - උදහස්, ඔහු පාඨක ලෝකයට බෙදා දුන්නේ ය. දැනුම් පිපාසය සඳහා කෙමෙන් අවදි වීගෙන මහා දේශජ රසිකයන්ගේ සිත දුටු ඔහු සිය ලිපි - ලේඛන හා නිර්මාණශීලී කෘති මඟින් ජන අවශ්‍යතා සපුරාලූයේ ය. සනාතන මූර්තියේ ජන්මතලය, ෙකාග්ගල ගම්මානයයි.

ගැමි විඥානයෙන් පෝෂණය වූ සාහිත්‍යධරයා


ගාල්ල බොනවිස්ටාවේ පස්වැනි පන්තිය දක්වා අධ්‍යාපනය ලබා වසර 86 ක් පුරා පැමිණි දිගු ගමන් මඟ අනුව මාර්ටින් වික්‍රමසිංහ හෙවත් කොග්ගල ප්‍රාඥයා ගේ භූමිකාව ප්‍රසාර්ථ, උත්ප්‍රේරණීය තලයකට පත්වී යුග පුරුෂයකුගේ තත්ත්වයට පත්වීම අතිශය පරමාදර්ශි ක්‍රියාවකි.
කොග්ගල ගැමි පෙදෙසක උපත ලත් වික්‍රමසිංහ ගේ සරසවිය වූයේ ඒ පරිශ්‍රයේ ජනකාය හා ගස් කොළන් ද සතා සිවුපාවුන් ය. නිරන්තරයෙන් ම අනවරතයෙන් ම ගැමි සමාජය ස්වකීය දිවියට බද්ධකොට ගෙන සැඳෑ සමයේ කොග්ගල වෙරළ තීරයේ සක්මන්කොට බෙල්ලන්, සිප්පිකටු අත පත ගාමින් ද ඔයට බැස පඳුරු අත පත ගාමින්ද කිරල ගෙඩිවල රස බලමින් ද ස්වකීය විඥානය විශද කරගන්නට එතුමෝ මේ සොබාදහම මහා ග්‍රන්ථයක් බවට පත්කර ගත්තෝ ය.
ලොව බොහෝ ගත්කරුවන් එක විෂයකට පමණක් සීමාවෙන අතර මාර්ටින් වික්‍රමසිංහ එක විෂයකට පමණක් සීමා නොවී ය. කෙටි කතාව, නවකතාව, විචාරය, දර්ශනය, වාග් විද්‍යාව, පරිණාමවාදය, පුරාවිද්‍යාව, සංස්කෘතිය, සමාජ විද්‍යාව ආදි විවිධ විෂයයන් යටතේ ග්‍රන්ථ නිර්මාණය කෙළේ ය. වික්‍රමසිංහ අවුරුදු 86 ක් ජීවත් විය. සම්භාව්‍ය ගණයට ගැනෙන ග්‍රන්ථ 86 ක් ලියා තිබීම අතිශය පරමාදර්ශි ක්‍රියාවකි.
මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස ඒ අංශයෙන් ද ප්‍රාතිහාර්ය පෑවේ ය. ‘දිනමිණ’ ‘සිළුමිණ’ පුවත් පත්වල කතුවරයා වශයෙන් සේවය කොට ඒ පුවත් පත්වල විශාල පෙරැළියක් කෙළේ ය. සිළුමිණ පුවත්පතේ ස්වර්ණමය යුගය වශයෙන් වික්‍රමසිංහ සමය හැඳින්වීම හැම අතින් ම සර්වසාධාරණ ය. සිළුමිණ පුවත් පත ‘ශත දහයේ විශ්වවිද්‍යාල’ තත්ත්වයට ගෙන ආවේත් වික්‍රමසිංහයන් ය. සහෘදයන් එදා සිළුමිණ සියතට පත්වන තුරු බලා සිටියේ ය.
වික්‍රමසිංහ ගල්කිස්සේ ටෙම්පල් පාරේ විසූ අවදියේ පත්තර මහගෙදර වැඩ නිමවී නිවෙසට යන්නේ දුම්රියෙනි. මෙසේ දුම්රියෙන් ගමන් ගන්නා අවස්ථාවේ සිළුමිණට එකතු කළ යුතු විශේෂාංග ගැන කල්පනා කරමින් යන අතරතුර ගල්කිස්ස දුම්රිය පොළෙන් බැසිය යුතුව තිබියදී කල්පනාකිරීම හේතුවෙන් ගල්කිස්ස දුම්රිය පොළෙන් බැසීම අතපසුවී යළි බසින්නට වූයේ මොරටුව දුම්රිය පොළෙනි. එසේ මොරට‍ුවෙන් බැස ගල්කිස්සට පැමිණියේ තිරික්කලයෙනි. මේ සම්බන්ධ ව ඔහු අතින් රචිත ‘උපන් දා සිට’ ග්‍රන්ථයෙන් මනාව හෙළිවෙයි. ඔහු 1945 දී පත්‍රකලා දිවියෙන් සමුගෙන ග්‍රන්ථකරණයට මුළු දිවියම කැප කෙළේ ය.
ස්වකීය උපන් දා සිට ග්‍රන්ථයෙන් හෙළි කෙළේ දිවියේ ‘මුල් දිවිය’ හා ‘මැදිවියයි'. පත්තර මහගෙදර ජීවන රටාවන් විවරණය කරන උපන් දා සිට ආශ්‍රයෙන් වික්‍රමසිංහ දිවියේ ප්‍රශාර්ථ ලක්ෂණ මතු කරයි. ‘දිවියේ අවසාන භාගය’ ගැන ලියන්නට පෙළගස්වා තිබුණත් එය සහෘදයන්ට අතට පත් කිරීමට නොහැකි විය. එය සහෘදයන්ගේ අවාසනාවකි. උපන්දා සිට පරිශීලනය කර සහෘදයකු වික්‍රමසිංහගේ අවසාන භාගය පරිශීලනය කරන්නට සිටියේ මහත් ආයාසයෙනි.
වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨ ගණයට ගැනෙන ගත්කතුවරයකු මෙන් ම නවකතාකරුවකු, කෙටිකතාකාරයකු, විචාරකයකු බව ඔහු ගේ විඥානයෙන් විශදකොට ඇත.
නවකතාව යනු කුමක් ද එයින් ධ්වනිත විය යුත්තේ කුමක් ද යන්න ප්‍රථමයෙන් ම හෙළි කෙළේත් වික්‍රමසිංහයි. නවකතාව වූ කලී අනුශාසනාවක්, ආදර්ශයක් දෙන කතාවක් ය යන නියතයෙන් බැහැරකොට යථාර්ථය හෙළි කරන නවකතාවක් යන්න කියාපෑවේ වික්‍රමසිංහයි. නවකතාව වුලී ඇත්ත ඇති සැටියෙන් හෙළිකරන්නක් විනා අනුශාසනාවක් නො වේ.
පෙර අපර දෙදිග නවකතා භූමිකාවේ සම්භව්‍ය ගණයට ගැනෙන නවකතා කියවා ඒ ආශ්‍රයෙන් නවකතාකරණයට පිවිසියේ ය. ඔහුගේ ‘ගම්පෙරළිය’ මගින් සිංහල නවකතා ක්ෂේත්‍රයට පාදම දැමීය.
මඩොල්දූව - රෝහිණි - අපේ ගම බඳු නවකතා පරිශ්‍රයෙන් දුරස්තව වඩාත් සුගැඹුරු දාර්ශනික පසුබිමක පිහිටා ගම්පෙරළිය නිර්මාණය කෙළේ ය. ගම්පෙරළියට සමගාමී ව ‘කලියුගය’ හා ‘යුගාන්තය’ නමැති නවකතා ත්‍රිකය හෙවත් තුන් ඈඳුතු නවකතාව (Triology) නිර්මාණය කිරීමෙන් සිංහල නවකතා ක්ෂේත්‍රය වඩාත් ප්‍රසාර්ථ තලයකට ගෙන ගියේ ය.
වික්‍රමසිංහ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ නැත. ඔහුගේ විශ්වවිද්‍යාලය වූයේ ගැමි පරිශ්‍රය හා තමන්ගේ ‘මහා පොත්ගුලයි’ ඔහුගේ මහා පොත්ගුලේ ග්‍රන්ථ 15,000 ක් පමණ තිබුණේ යැයි සඳහන් වෙයි. මේ හැම ග්‍රන්ථයක් ම පරිශීලනය කොට අවශ්‍ය තැන්වලට යටින් පැන්සලෙන් ඉරිගසා තිබෙන බවත් දක්නට ලැබේ.
ඔහු සමඟ කිසියම් විෂයයක් පිළිබඳව සාකච්ඡාවට ගිය විට සියලු ම තොරතුරු අනාවරණය කිරීමෙන් පසු පොත් ගුලේ අසවල් පොතේ, අසවල් පිටුව බලන්න යැයි ද වික්‍රමසිංහ සඳහන් කරයි.
වික්‍රමසිංහ ලිපි ලියන්නට, ග්‍රන්ථ ලියන්නට ෆුල්ස්කැප් පිටුව භාගයට කපා ලියන්නට පුරුදුවී සිටියේ ය. සම්පූර්ණ පිටුවේ ලිවීම ඔහුගේ සම්ප්‍රදාය නොවීය. අත් අකුරු කලාත්මක ස්වරූපයෙන් උපයුක්ත ය.
පාසල් අධ්‍යාපනයේ පහ වසරට ඉගෙන ගෙන මහා ප්‍රාඥයකුගේ තත්ත්වයට පත් වික්‍රමසිංහගේ පොත් පරිශීලනය කරන්නට අපට සිදුවූයේ එම්.ඒ., පී.එච්.ඩී. උපාධි ලබන්නට ය. පහ වසරට ගිය අයකුගේ ග්‍රන්ථ එම්.ඒ., පී.එච්.ඩී. උපාධිවලට පරිශීලනය කරන්නට ලැබීම කොතරම් ආශ්චර්යයක්ද. මෙයින් ගම්‍ය වන්නේ වික්‍රමසිංහගේ සමාජ චින්තනයයි.
නවකතාවෙන් හෙළිවිය යුත්තේ කුමක් ද යන්න අනාවරණය කළාසේම, කෙටිකතාවෙන් පිළිබිඹුවිය යුත්තේ කුමක්ද යන්නත් ඔහු හෙළි කෙළේ ය. නවකතාවට සිද්ධි සමුදායයක් විෂය වෙයි. එහෙත් කෙටිකතාවට විෂය වන්නේ එක් සිද්ධියක්, අත්දැකීමක්, එහෙමත් නැත්නම් ධාරණාවකි. සුර කෙටිකතාකාරයකුට අත්දැකීමක් ම අවශ්‍ය නොවේ. අත්දැකීමක් නිර්මාණය කළ හැකිය. ඒ අර පරිචය, ප්‍රාගුන්‍ය, විෂය ඥානය හේතු කොටගෙන ය.
වික්‍රමසිංහ නවකතා පණහක් නිර්මාණය කෙළේ නැත. ඔහු නවකතා නිර්මාණය කෙළේ සයකි. මේ සය තවමත් සහෘදයන් සමඟ ය. මේ නවකතා සයම ආන්දෝලනාත්මක තලයකට ගෙන ගියා සේ ම සහෘදයන් යන යන තැන සාක්කුවේ රුවාගෙනද යන්නේ ය.
ඔහුගේ අවසාන නව කතාව වූ ‘බවතරණය’ සමාජයේ ගිහි - පැවිදි පඬුවන් අතර මහත් ආන්දෝලනයට පාත්‍ර වූවකි. ගතානුගතික විශ්වාසයන්ගෙන් බැහැරව නව මතයක් ඉදිරිපත් කිරීමේ කඩඉමක් වශයෙන් ‘බවතරණය’ හැඳින්විය හැකිය.
නවකතාකරුවා අතින් සිදුවිය යුත්තේ නිද්‍රාශීලි සමාජය අවදි කිරීම ය. ජීවිතයේ යථාර්ථය හෙළි කිරීම නවකතාවේ මූලික අභිප්‍රාය නම් වික්‍රමසිංහ හෙළිකළ නවකතා සයෙන් සිදුවූයේත් එබන්ඳකි. ඇත්ත ඇති සැටියෙන් නවකතාකාරයා හෙළි කිරීම මත ඒ ඒ චරිතවලට අනුගත අය නවකතාකාරයාගේ නිවෙස අසලට පැමිණ බැණ වැදුණු ආකාරය හෙළිවෙයි.
ෆියදෝර් දොස්තව්ස්කිගේ නිවෙස අසලට පැමිණ පාඨකයන් බැණ වැදුණේ ඔබේ නවකතාවෙන් මගේ චරිතය හෙළි කර ඇති හෙයිනි. එහෙත් දොස්තව්ස්කි‍ ඒ සියල්ලටම නිහඬව සවන්දී සිනාසුණේ තමන්ගේ කාරිය නිසි ලෙස ඉටුවී ඇති බැවිනි.
මාර්ටින් වික්‍රමසිංහ‍ගේ ‘බවතරණය’ මඟින් සිදුවූයේත් මෙබන්ඳකි. බුදුසිරිත විකෘතිකොට ඇතැයි වික්‍රමසිංහට දොස් නැගූහ. ඒ සියල්ලට ම වික්‍රමසිංහ සවන් දී නිහඬව සිනාමුසු මුහුණින් යුතු ව පිළිගත්තේ ය. කිසි ම දෙයකට සැලුණේ නැත. මෙබඳු නවකතා අද්‍යතන අවදියේ අපට පරිශීලනය කරන්නට ලැබෙන්නේ ද.
සම්භාව්‍ය ගණයට ගැනෙන නිර්මාණකරුවකුට තුලනාත්මක විචාරකයකු විය නොහැකියයි මතයක් ඇත. එහෙත් මතය වික්‍රමසිංහ සිඳ බිඳ දැම්මේ ය. ඔහු ශ්‍රේෂ්ඨ ගණයට ගැනෙන නිර්මාණ තරුවකු මෙන්ම තුලනාත්මක විචාරකයෙකි. තුලනාත්මක විචාරයෙන් තමයි ශ්‍රේෂ්ඨ නිර්මාණවලට පාදම ඇතිවන්නේ.
වික්‍රමසිංහ විචාර විඥානය තුලනාත්මක වූවකි. අදීන විචාර මාර්ගයක් ඔහු හෙළි කෙළේ ය. එයට හොඳම නිදසුන තමයි 1964 දී හෙළි කළ ‘සිංහල විචාර මඟ’ නමැති ග්‍රන්ථය.
විශ්ව සාහිත්‍යයේ විචාරකයන්ගේ විචාර මං පරිශීලනයකොට ඒවායේ හරය උරගා බලා අපට ගැළපෙන විචාර මාර්ගයක් හෙළි කෙළේ ය. ගුරු කුල - නිකායයන් - හිතමිත්‍ර කම්වලින් බැහැරව අදීන ගමන් මාර්ගයක් කියා පෑවේ ය.
ටී.එස්. එලියට්, ඊ.එම්. ෆොස්ටර්, ඩේවිඩ් ක්රේග්, ජෝර්ජ් ලුගෙෂ්, රෝලන්ඩ් බේක්, අයි.ඒ. රිචඩ් ගේ ‘භාවිත විචාරය’ ආදි විචාර ග්‍රන්ථත්, විචාර මාර්ගත් ආනන්ද වර්ධන, භවභූති, පතඤ්ජලී, රාජශේඛර බඳු විචාර වාදද පරිශීලනයකොට අපට අනුගත විචාර මාර්ගයක් ඔහු නිර්මාණය කෙළේ ය.
1. සැසඳීම (Compare)
2. විශ්ලේෂණය (Analice)
3. ඇගැයීම ((Evaluation) හා
4. පැහැදිලි කිරීම. (Explanation) යන චතුර් අංග කෙරෙහි මේ විචාර මාර්ගය සැකැසී ඇත. අපේ සමාජ ව්‍යුහයට, සංස්කෘතියට අනුගත විචාර මාර්ගයක් නිර්මාණය කිරීමෙන් ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහිවීමට මං පෑදුවේ ය.
වික්‍රමසිංහ හෙළිකළ සිංහල විචාර මඟ අද්‍යතන අවදියේ විචාර කාරියට පිවිස සිටින අය උකහා ගන්නේද? එසේ උකහා ගන්නා, විෂය කර ගන්නා බවක් නම් නොපෙනේ. ඔබ විචාර මාර්ගය නොහොඳ නම් ඊට වඩා හොඳ මාර්ගයක් බිහි කළ යුතුය. එහෙත් එය ද සිදු වී නොමැත. එහි ඌනතා ඇත්නම් ඒ සියල්ල අකා මකා සැකැසිය යුතුය. ඒ කාරියද සිදුවී නොමැත. මෙයින් ගම්‍ය වන්නේ වික්‍රමසිංහ හෙළි කළ විචාර මාර්ගය තුලනාත්මක වූවක් බවයි.
නිර්මාණකරුවාටත් වඩා අසීරු කාරියකි, විචාරකයා ඉටුකරන්නේ. ශ්‍රේෂ්ඨ නිර්මාණවලට පාදම දමන්නේත් සැබෑ විචාරකයා ය. වික්‍රමසිංහ විචාර විඥානය අදටත් වලංගු ය. එය අනවරතයෙන් පරිශීලනය කළ යුත්තේ ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි කිරීම අරබයා ය.
ශිල්පීය ධර්මතාවලින් පරිපූර්ණ ‘විරාගයක්’ තව ම බිහි වී නොමැත. නවකතාව කොතරම් සු ගැඹුරු විඥානා ශ්‍රිතවූවක් ද යන්න ‘විරාගය’ නමැති නවකතාවෙන් හෙළි වෙයි.
වික්‍රමසිංහ පුරාවිද්‍යාව කෙරෙහි ද ස්වකීය විඥානය හෙළි කෙළේ ය. ‘සීගිරි සිතුවම්’ දෙසට ද, ‘සඳකඩපහණට ද’ වික්‍රමසිංහ දෘෂ්ටිය යොමුවිය. ඒවා අතපත ගා නව මතයක් ඉදිරිපත් කරන්නට තරම් වික්‍රමසිංහ සමත් විය.
සීගිරි සිතුවම්වලට (ළඳුන්ගේ) වික්‍රමසිංහ දුන් නිර්වචනය වූයේ අන්තඃපුරයේ කාමිනියන් බවයි. සඳකඩපහණ පිළිබඳ ව ඔහුගේ මතය වූයේ සරදමේ සංකේත බවයි.
හින්දු වන්දනයට පාත්‍ර වූ සංකේත විහාරයට පිටියෙන දොරටුව අභියස සඳකඩ පහණට යොදා බෞද්ධයන් ලවා පාගවන්නට ශිල්පියා යත්න දැරූ බවයි.
වික්‍රමසිංහ සමාජ චින්තනය එදාටත් වඩා වැදගත් වන්නේ අදට ය. අදටත් වඩා හෙටට තවත් ආකර්ෂණීය වෙයි. වික්‍රමසිංහ ගේ 125 වැනි ජන්ම දිනය සමරන මේ මොහොත ඒ දිවියේ වැදගත් කඩඉමකි.
විවිධ පැතිකඩාශ්‍රිතව ස්වකීය චින්තනය මෙහෙයවා සහෘද මනස සනසාලන්නට මඟින් වෙහෙසක් ගත් නිසා ම කොග්ගල ප්‍රාඥයා ලොව පවතින තාක් සහෘදයන් සමඟ ය.

කුහුඹු ලෝකය



කූඹියෝ හරිම කඩිසර හා එකමුතු සත්තුය. කූඹියන් ඉතා පුංචිය. කූඹියෝ විවිධ පාටින් වෙති. මිනිසුන් වන අපට ද උන් ආදර්ශවත්ය. බොහෝ සතුන්ට මෙන්ම කුහුඹුවාට ද ඇස් දෙකක් ඇත.
ඇස් පෙනීම දුර්වල නමුත් හිසෙහි තිබෙන ස්පර්ශ දෙක කුහුඹුවාට වැදගත් වේ. එම ස්පර්ශක මඟින් පණිවුඩ හුවමාරු කර ගැනීම, ආහාරවල ඇති ගඳ, සුවඳ දැනගැනීම හා සීතල, උණුසුම දැනගැනීමට ප්‍රයෝජනවත් වේ.
කුහුඹු ලෝකයේ නායකයා රැජනය. රැජන බිත්තර දමයි. රැජන ප්‍රමාණයෙන් විශාල වුවත් අන්ධය. කුහුඹුවෝ නායකයාට ගරු කරති. කුඩා අපි කුහුඹුවා මෙන් එකමුතුව සමඟිව වැඩ කරමු.

කේ. එම්. එම්. පී. කුමාරසිංහ
3 ශ්‍රේණිය,
දිද්දෙණිය ම. වි., දිද්දෙණිය

මාත්, තාත්තත් එකතු වී වෙසක් කූඩුවක් හැදුවා

වෙසක් කූඩුව


මේ වෙසක් දවසේ මාත්, තාත්තත් එකතු වී වෙසක් කූඩුවක් හැදුවා. ඒක ලස්සන අටපට්ටම් කූඩුවකි. සුදු, රෝස, කහ, සව් කොළ ගෙනවිත් මාත් අක්කාත් කූඩුව ඇලෙව්වා. කහ, රෝස පාටින් රැලි ඇලෙව්වා. වෙසක් දා රෑ අපි කූඩුව පත්තු කළා. කූඩුව බැබළුණා. මට හරි ආසයි.

හරිනි උමායා හඳුගල
2 ශ්‍රේණිය ‘ඒ’, ‘සමනල’,
ගෝතමී ක. වි.,
ගම්පහ

http://www.silumina.lk/2015/05/24/_art.asp?fn=au150524

Monday, May 25, 2015

ගුවන් විදූලි සංස්ථාවේ විදුල ළමා ගුවන් විදූලියට එක්වන්න, මෙන්න කදිම අවස්ථාවක්


විදුල ළමා ගුවන් විදුලියේ මෙම බ්ලොග් අඩවියේ,
ඔබගේ වටිනා නිර්මාණ පල කිරීමට අවස්ථාව ලබා දීමට, 
විදුල ළමා ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලය තීරණය කර ඇත.

තෝරාගත් පිරිසකට ඔවුන්ගේ නිර්මාණ, 
මෙම බ්ලොග් අඩවියේ ඔවුන්ටම පල කිරීමේ අවස්ථාවද, 
අනෙක් පිරිසගේ නිර්මාණ අපගේ ඊමේලය වෙත ලබාගෙන, 
සුදූසු අයුරින් සකසා පල කිරීමේ අවස්ථාවද මෙහිදී හිමි වනු ඇත.
vidularadio@gmail.com
වටිනා සාහිත්‍යයික ලිපි එක්තැන් කොට ගබඩා කිරීමටත්,
නව නිර්මාණ කරුවන්ට අත දීමටත් යන කරුණු මූලික කරගෙන 
මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

සැමදින ළමා පරපුර වෙනුවෙන් කැපවූ, 
ශී‍්‍රලංකා ගුවන් විදූලි සංස්ථාවේ
විදුල ළමා ගුවන් විදූලිය සමග එක්වීමට කැමති ඔබ 
ඔබේ නිර්මාණයක් අපවෙත යොමු කරන්න.
vidularadio@gmail.com
මෙය සිංහල යුනිකෝඩ භාවිතා කරමින් හෝ 
සිංහල වෙනත් ෆොන්ට් යොදාගෙන 
වර්ඩ් ඩොකියුමන්ට් ලෙස අප වෙත ඊමේල් කරන්න
සුදූසු නිර්මාණ අපගේ බ්ලොගයට, 
ඔබේ නමින් අන්තර්ගත කරනු ඇත.
ඉන් තෝරාගත් පිරිසකට 
අපගේ බ්ලොග් අඩවියට ලිවීම සදහා පාස්වර්ඞ් ලබා දෙනු ඇත.

වටිනා ඉංග‍්‍රීසි සිංහල ශබ්ද කෝශයක් හිමි කරගන්න


ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ 
ස්වදේශිය සේවා විදුල ළමා ගුවන් විදුලියෙන්  
Fm 91.7 හෝ Fm 91.9
සිකුරාදා පස්වරු 5ට විකාශය වන 
හෙළ බස් මහිමය වැඩසටහනට සවන් දී 
අප අසන පැණයට නිවැරදි පිළිතුරු ලබාදී 
ගොඩගේ සමාගමෙන් 
වටිනා සිංහල ඉංග‍්‍රීසි ශබ්දකෝෂයක් 
සතිපතා දිනාගන්න.

අපගේ වෙබ් අඩවියේ දකුනුපස ඉහල කෙලවරේ ඇති 
ෆෝරමය පුරවා 
නිවැරදි පිලිතුරු ලබා දිය හැකියි 

විදුල ළමා ගුවන් විදුලිය දැන් Podcast තාක්‍ෂණයෙන්


 
දැන් ඔබට 

ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ 
ස්වදේශීය සේවා
විදුල ළමා ගුවන් විදුලිය 
Podcast තාක්‍ෂණය ඔස්සේ සවන් දිය හැක.

ඔබේ ප‍්‍රතිචාර අපට දන්වන්නේ නම්,
එය අපගේ රේඩියෝව 
වැඩිදියුණු කිරීම සදහා, 
අනගි සහයකි.

විදුල ළමා ගුවන් විදුලියෙන් "Q වොත් හපනා"

Quiz & Win [ කියන්න දිනන්න ]

Quiz Master 

Monday, May 18, 2015

ගුවන් විදුලි සංස්ථාවේ හෙළබස්මහිමයෙන් වටිනා ශබ්ද කෝෂයක් දිනාගත් ජයග‍්‍රාහකයා



ශ‍්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ 
ස්වදේශිය සේවා විදුල ළමා ගුවන් විදුලියෙන්  
Fm 91.7 හෝ Fm 91.9
සිකුරාදා පස්වරු 5ට විකාශය වන 
හෙළ බස් මහිමය වැඩසටහනට සවන් දී 
අප අසන පැණයට නිවැරදි පිළිතුරු ලබාදී 
ගොඩගේ සමාගමෙන් 
වටිනා සිංහල ඉංග‍්‍රීසි ශබ්දකෝෂයක් 
සතිපතා දිනාගන්න.

අපගේ වෙබ් අඩවියේ දකුනුපස ඉහල කෙලවරේ ඇති 
ෆෝරමය පුරවා 
නිවැරදි පිලිතුරු ලබා දිය හැකියි 



2015 - 05 - 08 වැඩසටහනේ ජයග‍්‍රාහකයා වන්නේ

මහනුවර මැණික්හින්නේ විජිත නවරත්න

දහම් පාසල අනිවාර්ය කරන්න



යහපත් පුරවැසියන්ගේ දායකත්වයෙන් තොරව රටක යහපාලනයක්‌ ඇති කළ නොහැකිය. එසේ නම් යහපත් පුරවැසියන් තනා ගැනීම සඳහා රටේ සියලු දෙනාගේම මෙන්ම සියලු ආයතනවලද අවධානය හා පරිශ්‍රමය බෙහෙවින් වැඩදායක වනු ඇත.

සමකාලීන සමාජය බෙහෙවින් සංකීර්ණය. වර්තමාන පුරවැසියන්ගේ චින්තනය හා ජීවන රටාව තුළ යහපත් පුරවැසියෙක්‌ නිර්මාණය කර ගැනීම අති දුෂ්කරය. මේ සඳහා වෙනමම වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද කැපී පෙනෙයි.

මේ කාර්යය ආරම්භ කළයුත්තේ රටේ දරු පරපුර වෙත අවධානය යොමු කිරීමෙන් පමණකි. අද දරුවා හෙට තරුණයෙකි. අනිද්දා ඔහු පුරවැසියෙකි. මේ චරිතය ගුණ නැණ දෙකින්ම පිරි පුරවැසියෙක්‌ ලෙස තනා නොගතහොත් රටේ අනාගතය බෙහෙවින්ම අවාසනාවන්ත තත්ත්වයට පත්වීම නොවැළැක්‌විය හැකිය.

සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුළ දින පහක්‌ පාසල තුළ ගතකරන දරුවා වැඩිපුර අධ්‍යාපනය ලබන්නට ඉතිරි දින දෙක උපකාරක පන්තිය තුළ ගතකිරීමට පුරුදු වී සිටීම රටේ දැන් කොහෙත් ක්‍රියාත්මක වන සම්ප්‍රදායයි.

මේ අධ්‍යාපන ක්‍රමය තුළින් දරුවාගේ විෂය දැනුම, බුද්ධිය හා මොළය වැඩෙන බව ඇත්තකි. එහෙත් ඔහු මනා පුරවැසියෙකු ලෙස තනා ගැනීමට එයම ප්‍රමාණවත් නොවේ.

දරුවකුගේ හදවත හා මනස යහගුණ දහමින් පෝෂණය කොට ජාතියේ සංස්‌කෘතික උරුමය හා උතුම් ගුණ වගාවද ඔහු වෙත ප්‍රදානය කළහොත් පමණකි. ගුණ නැණ දෙකින්ම සපිරි සංවේදී දරුවකු මතු රටට සමාජයට දායාද කළ හැක්‌කේ දහම් පාසල හරහාය.

සිංහල, දෙමළ, මුස්‌ලිම් සෑම දරුවකුම සතියකට එක්‌ දිනක්‌ දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කිරීම ඉතා වැදගත්ය. ඉරිදා පැවැත්වෙන උපකාරක පන්ති මීට ප්‍රධානම බාධකයයි. ඉරිදා උපකාරක පන්ති පැවැත්වීම මුළු රටේම තහනම් කිරීම මෙහිලා ගතහැකි වඩා දූරදර්ශී උපාය මාර්ගයයි.

තවද සෑම දරුවකුටම දහම් පාසල් අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය අවශ්‍යතාවක්‌ ලෙස ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ ස්‌ථාපනය කරන්නේ නම් අපේක්‍ෂිත ප්‍රතිඵලය ක්‍ෂාත්සාත් කර ගැනීම අසීරු නැත.

මෙය කල් දැමිය හැකි හෝ කල් දැමිය යුතු කාරණයක්‌ නොවන බව අවධාරණය කරනු රිසිවෙමි. මේ සඳහා බලධාරීන්ගේ ක්‍ෂණික අවධානය යොමුවන්නේ නම් මැනවි.

ජෝ. නවරත්න
- සඳලංකාව


http://www.divaina.com/2015/05/18/feature02.html

උසස්‌ පෙළ විෂයයන් තෝරා ගැනීම සඳහා සිසුන්ට උපදෙසක්‌



උසස්‌ පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් වන්නේ මේ දිනවල ය. උසස්‌ පෙළ විෂය ධාරා සංඛ්‍යාව ද මේ වන විට හය දක්‌වා වැඩි වී තිබේ. ඒ.... අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂණවේදය විෂය ධාරාව ද නිසා ය. උසස්‌ පෙළට පොදු විෂය ධාරාවක්‌ ද වෙයි. පොදු විෂය ධාරාවට අයත් වන්නේ ප්‍රධාන විෂය ධාරා පහට අයත් නොවන අයදුම්කරුවන් ය. ප්‍රධාන විෂය ධාරා පහේ විෂයයන් විවිධාකාර වශයෙන් සිසුන් ය. එලෙස විවිධාකාරයෙන් විෂයයන් තෝරාගන්නා බොහෝ සිසුහු තමන් කලා විෂය ධාරාවට අයත් යෑයි සිතති. එහෙත් තමන් පොදු විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිට ඇති බව සිසුන් දැන ගන්නේ ප්‍රතිඵල නිකුත් වූ පසු ය. ඇතැම් විට ඒ ඒ පාසල්වල පවතින පහසුකම් හා ඒ ඒ විෂයයන්ට සිටින ගුරුවරුන් අනුව විෂයයන් තෝරා ගැනීම සඳහා අනියම් බලකිරීමකට ලක්‌ වීමට සිසුන්ට සිදු විය හැකිය. උසස්‌ පෙළ විෂය සංයෝජන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති 2009/16 දරන චක්‍රලේඛය පිළිබඳ බොහෝ ගුරුවරුන්ට මෙන්ම පාසල් ප්‍රධානීන්ට පැහැදිළි අවබෝධයක්‌ පවතින්නේ ද යන ගැටලුව පවතී.

අනවබෝධයෙන් විෂයයන් තෝරා ගැනීම නිසා සිසුන්ට අපහසුතාවට පමණක්‌ නොව අසාධාරණයට ලක්‌ වීමට ද සිදු වෙයි. අසාධාරණය සිදුවන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ දී ය. පොදු විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන්ට සාපේක්‍ෂව කලා විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන්ට තෝරා ගැනීමට ඇති පාඨමාලා සංඛ්‍යාව වැඩි ය. එහෙයින් ඒ ඒ විෂයධාරා සඳහා තෝරා ගැනීමේ දී සිසුන් දැඩි ලෙස සැලකිලිමත් වීම අවශ්‍ය ය. මෙම ලිපිය පළ කෙරෙන්නේ උසස්‌ පෙළ සිසුන් රැසකගේ ඉල්ලීමකට අනුව ය.

කලා විෂය ධාරාව සඳහා විෂය කාණ්‌ඩ

(අ) සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන්

1. ආර්ථික විද්‍යාව

2. භූගෝල විද්‍යාව

3. ඉතිහාසය ( ලංකා ඉතිහාසය සමග ඉන්දීය ඉතිහාසය හෝ යුරෝපා ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය )

4. ගෘහ ආර්ථික විද්‍යාව

5. දේශපාලන විද්‍යාව

6. තර්ක ශාස්‌ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය

7. ගිණුම්කරණය හෝ ව්‍යාපාර සංඛ්‍යානය

8. කෘෂි විද්‍යාව හෝ ගණිතය

9. තාක්‍ෂණවේදය විෂයයන්ගෙන් එක්‌ විෂයයක්‌ ( සිවිල් තාක්‍ෂණවේදය හෝ යාන්ත්‍රික තාක්‍ෂණවේදය හෝa විදුලි ඉලෙක්‌ට්‍රොනික සහ තොරතුරු තාක්‍ෂණවේදය හෝ ආහාර තාක්‍ෂණවේදය හෝ කෘෂි තාක්‍ෂණවේදය හෝ ජෛව සම්පත් තාක්‍ෂණවේදය

10. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය

11. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

(ආ) ආගම් හා ශිෂ්ටාචාර විෂයයන්

1. බුද්ධ ධර්මය හෝ බෞද්ධ ශිෂ්ටාචාරය

2. ක්‍රිස්‌තියානි ධර්මය හෝ ක්‍රිස්‌තියානි ශිෂ්ටාචාරය

3. හින්දු ධර්මය හෝ හින්දු ශිෂ්ටාචාරය

4. ඉස්‌ලාම් හෝ ඉස්‌ලාම් ශිෂ්ටාචාරය

5. ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය

(ඇ) සෞන්දර්ය අධ්‍යයන විෂයයන්

1. චිත්‍ර කලාව

2. නර්තනය (දේශීය හෝ භරත නාට්‍ය)

3. සංගීතය (පෙරදිග සංගීතය හෝ කර්ණාටක සංගීතය හෝ බටහිර සංගීතය)

4. නාට්‍ය හා රංග කලාව (සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි)

(ඈ) භාෂා විෂයයන්

1. සිංහල, දෙමළ, ඉංග්‍රීසි

2. අරාබි, පාලි, සංස්‌කෘත

3. චීන, මැලේ, ප්‍රංශ, ජර්මන්, රුසියන්, හින්දි, ජපන්

මෙම විෂය ධාරාව තෝරා ගන්නා සිසුන් ඉහත සමාජ විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂය කාණ්‌ඩයෙන් අවම වශයෙන් එක්‌ විෂයයක්‌ තෝරා ගත යුතුය. (භාෂා විෂයයන් 2ක්‌ හෝ තුනම තෝරා ගන්නා සිසුන්ට මෙය අදාළ නොවේ.) ශිෂ්‍යයාගේ මනාපය අනුව මේ කාණ්‌ඩයෙන් විෂයයන් 2ක්‌ හෝ තුන ම තෝරා ගත හැකිය.

එමෙන්ම ආගම් හා ශිෂ්ටාචාර විෂයයන් අතරින් යම් ආගමක්‌ තෝරා ගන්නේ නම් ඊට අදාළ ශිෂ්ටාචාර විෂය තෝරා ගත නොහැකිය.

සෞන්දර්ය අධ්‍යයන විෂයයන් අතරින් විෂයයක්‌ හෝ දෙකක්‌ තෝරා ගත හැකිය.

භාෂා විෂය කාණ්‌ඩයේ භාෂා විෂයයන්ගෙන් එකක්‌ හෝ දෙකක්‌ තෝරා ගත හැකි වන අතර විෂයයන් තුනම භාෂා විෂයයන්ගෙන් තෝරා ගන්නේ නම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන විෂයයන් තුන ම හෝ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, අරාබි, පාලි, සංස්‌කෘත යන විෂයයන්ගෙන් තුනක්‌ තෝරා ගත යුතුය.

තාක්‍ෂණවේදය විෂය ධාරාව

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ සිසුන් වෙනුවෙන් තාක්‍ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නේ 2012 වසරේ දී ය. එම විෂය නිර්දේශ පදනම් කර ගනිමින් ප්‍රථම වරට උසස්‌ පෙළ විභාගය පැවැත්නේ මෙම වසරේ දී ය. තාක්‍ෂණවේදය හැදෑරීමට අපේක්‍ෂා කරන සිසුන්,

1. ඉංජිනේරු තාක්‍ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්‍ෂණවේදය

2. තාක්‍ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයයන් අනිවාර්යයෙන් තෝරා ගත යුතුය.

තුන් වැනි විෂය ලෙස පහත සඳහන් විෂයයන්ගෙන් එකක්‌ තෝරා ගත යුතුය.

1. ආර්ථික විද්‍යාව

2. භූගෝල විද්‍යාව

3. ගෘහ ආර්ථික විද්‍යාව

4. ඉංග්‍රීසි

5. සන්නිවේදනය මාධ්‍ය අධ්‍යයනය

6. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

7. චිත්‍ර කලාව

8. ව්‍යාපාර අධ්‍යයනය

9. කෘෂි විද්‍යාව

10. ගිණුම්කරණය

ඉංජිනේරු තාක්‍ෂණවේදය සහ ජෛව පද්ධති තාක්‍ෂණවේදය හදාරණ සියලුම සිසුන් විභාග දෙපාර්තාම්න්තුව මගින් පත් කරන ප්‍රායෝගික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ ප්‍රායෝගික පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතු වන අතර මෙම පරීක්‍ෂණය උසස්‌ පෙළ ලිත විභාගය අවසන් වීමෙන් පසුව පැවැත්වේ. ප්‍රායෝගික පරීක්‍ෂණය සඳහා සියයට 25 ක ලකුණු ප්‍රතිශතයක්‌ හිමි වන අතර මෙම වසරේ දී (2015) පමණක්‌ එම ප්‍රතිශතය සියයට 15 දක්‌වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. එම තීරණය ගෙන ඇත්තේ තාක්‍ෂණවේදය විෂය ධාරාව හදාරන සියලුම සිසුන් සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණ පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ අඩුපාඩුකම් අනුව ය. කෙසේ වුව ද ලබන වසරේ දී දෙවැනි වරට විභාගයට පෙනී සිටින සිසුන්ට ද සියයට 25 ලකු=ණු ප්‍රතිශතය ක්‍රියාත්මක කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති 02රැ2015 චක්‍රලේඛයේ සඳහන් වේ.

වාණිජ්‍ය විෂය ධාරාව

මෙම විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත සඳහන් විෂයයන් අතරින් අවම වශයෙන් දෙකක්‌වත් තෝරා ගත යුතුය.

1.ගිණුම්කරණය

2. ව්‍යාපාර අධ්‍යයනය

3. ආර්ථික විද්‍යාව

ඉතිරි විෂයය පහත දැක්‌වෙන විෂයයන් අතරින් තෝරා ගත යුතුය

1. ව්‍යාපාර සංඛ්‍යානය

2. භූගෝල විද්‍යාව

3. දේශපාලන විද්‍යාව

4. ඉතිහාසය (ලංකා ඉතිහාසය සමග ඉන්දීය ඉතිහාසය හෝ යුරෝපා ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය)

5. තර්ක ශාස්‌ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය

6. ඉංග්‍රීසි

7. ජර්මන්

8. ප්‍රංශ

9. කෘෂි විද්‍යාව

10. සංයුක්‌ත ගණිතය

11. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

විද්‍යා හා ගණිත අංශ යටතේ විෂයයන් තෝරා ගැනීමේ දී ගැටලු උද්ගත නොවේ.
 



http://www.divaina.com/2015/05/18/gurusitha01.html

Sunday, May 17, 2015

රටට ජාතියට, ආගමට කීර්තියක් අත්කරදුන් රාජ්‍ය නායකයා

මහා පරාක‍්‍රමබාහු රජු යනු අසහාය චරිතයකි. ඔහු රට එක්සේසත් කිරීම සඳහා අභ්‍යන්තර යුද්ධ රාශියක් කළේය. කොටස් වශයෙන් රාජ්‍ය පාලනය ගෙනගිය ලංකාද්වීපය තමන්ගේම ඥාතීන් සමඟ යුද්ධකර එක්සේසතක් යටතට ගත්තේය. අද අප අභිමානයෙන් සලකන ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ගොඩනැගුණේ එසේය. පොළොන්නරු රාජධානියේ සිට බලය ක‍්‍රියාත්මක කළ එතුමා දිවයිනේ සෑම පළාතකම කෘෂිකර්මාන්තය, වාරිකර්මාන්තය දියුණුකරමින් ආර්ථීකය නගාසිටුවූයේය. ඉන් නොනැවතුණු එතුමා ආගමික සහජීවනය ද ගොඩනැංවිය. අලංකාර උයන්, පොකුණු, මංමාවත්, ගොඩනැගිලි නිර්මාණය කරමින් රට සශ්‍රීක කළේය. ඒ ආකාරයට දවසින් දවස දියුණු වූ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙසද නම් කෙරිණි. එසේම එහි අති සුන්දරත්වය නිසාම එය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසද හැඳින්විය.
මෙවැනි ස්වභාවික පිහිටීමක තිබූ සුන්දර දිවයින විදෙස් ආක‍්‍රමණවලට ලක්වූයේ ද එහි තිබූ සුන්දරත්වය මෙන්ම ස්වභාවික සම්පත් නිසාය.

අද මෙන්ම එදාත් මේ සුන්දර දිවයිනට අධිරාජ්‍යවාදීන්ගේ උකුසු ඇස් එල්ලවී තිබුණි. එම නිසා සතුරන් පරදා රට එක්සේසත් කර සංවර්ධනය කරා ගෙනගිය මහා පරාක‍්‍රමබාහු රජතුමාට ද විදේශ සමඟ යුද වදින්නට සිදුවිය. ඒ පිළිබඳව සාකච්ඡුා කිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධකර ගනිමු.
31pg-23d--TAKS--pgs
මහාපරාක‍්‍රමබාහු රජතුමා බලය ලබාගෙන රට එක්සේසත් කළාට පසු රටේ ආර්ථිකයත් සංවර්ධනය කළා. ඒ නිසා ඒ කාලපරිච්ෙඡ්දය බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා. විශේෂයෙන්ම වාරිමාර්ග නිර්මාණය කර කෘෂිකර්මාන්තය දියුණුකිරීමත්, වෙළෙඳාම මුල් කරගෙන ආර්ථිකය නගාසිටුවීමත් සිදුවුණා.

මෙහිදී වෙළෙඳාම පිළිබඳ කතාකළොත් පරාක‍්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ අභ්‍යන්තරික වෙළෙඳාම වගේම බාහිර වෙළෙඳාමත් දියුණු තත්ත්වයක පැවතුණා. එනම් බුරුමය ඉන්දියාව වැනි රටවල් සමඟ වෙළෙඳාම් කර අධික ලෙස ලාභ ලබාගැනීමට පරාක‍්‍රමබාහු රජතුමා දක්ෂ වුණා. ඉන් රටේ මූල්‍යමය වත්කම් ප‍්‍රමාණය වැඩි වුණා.

මේ ආකාරයට රටට ජාතියට, ආගමට කීර්තියක් අත්කරදුන් රාජ්‍ය නායකයා ජාත්‍යන්තර වශයෙනුත් රටට කීර්තියක් අත්කරදුන් බව මූලාශ‍්‍රවල සඳහන් වෙනවා.

ඒ වගේම මේ කාලයේදී රටේ සාමය පැතිරිලා තිබුණා. මේ හේතු නිසා හමුදා සෙබළු හිටියේ ඉටුකිරීමට සේවයක් නැතිව ඔවුන්ට වැඩක් තිබුණේ නැහැ. යුද්ධයක් නොමැති අවස්ථාවකදී හමුදාව විසුරුවා හැරීමක් තමයි වර්තමානය වනවිට වෙනත් රටවල ක‍්‍රියාත්මක වන්නේ. ඒත් පරාක‍්‍රමබාහු රජතුමා මේ සෙබළු රටේ සංවර්ධනයට දායක කරගත්තා. එනම් එතුමා මේ හමුදාව නගර අලංකරණය කිරීමට යොදා ගත් බව සිතිය හැකියි.

මේ සියලූ දේ වගේම ඒ කාලය නාවික හමුදාවකුත් ක‍්‍රියාකාරීව තබාගත්තා. හේතුව රට අභ්‍යන්තරය සාමකාමී වුවත් විදෙස් රටවලින් සතුරු ආක‍්‍රමණ සිදුවිය හැකි නිසා. ඒ වගේම පරාක‍්‍රමබාහු රජතුමා එතුමාගේ සටන් ව්‍යාපාරයට සහය දුන් යුද විරුවන්ට තාන්න මාන්න දී තෑගි බෝග ලබාදී ගෞරවයක් ලSLD_20150201_B023බාදුන්නා. ඒ පිළිබඳ අතීත සෙල්ලිපි පරීක්‍ෂා කිරීමේදී අවබෝධකරගත හැකියි. ඊට හොඳම උදාහරණයක් ලෙස බුරුම ආක‍්‍රමණය පෙන්වා දෙන්න පුළුවන්.

ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ යුද ගැටුමක් වන බුරුම ආක‍්‍රමණය සිදුවීමට හේතුවුණේ වෙළෙඳ ගිවිසුමක් කඩකිරීම. මෙම ආක‍්‍රමණය සිදුවුණේ පරාක‍්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ 11 වැනි අවුරුද්දේ. බුරුමය රාමඤ්ඤදේශය හෙවත් අරමණ රට විදියට හඳුන්වනවා. ලංකාවත් බුරුමයත් අතර යුද්ධය පැතිරියාමට හේතු චූල වංශයේ සඳහන් වෙනවා.

එනම් මෙම රටවල් දෙක අතරේ අනාදිමත් කාලයක සිට දැඩි සුහද සබඳකමක් පැවතුණා. මේ රටවල් දෙකම බෞද්ධ රටවල්. පරාක‍්‍රමබාහු රජතුමාගේ කාලයේ සිටි මේ පාලකයන් දෙදෙනාම බෞද්ධ පාලකයින් වුණා. ඒ නිසා මේ වෙළෙඳ සබඳතා තරකරගනිමින්, තෑගිබෝග දෙමින් මිත‍්‍ර සබඳතා පවත්වාගෙන ගියා. ඒ හොඳ හිත දිනාගැනීම සහ වෙළෙඳ ගිවිසුම් දියුණු කර ගැනීමේ පරමාර්ථ ඇතිව. මේ කාලයේ බුරුමය පාලනය කළේ අලවුංසිතු රජුයි.

මේ දෙන්නා සුහද වෙළෙඳ සබඳතාවක් පැවැත්වූවා. ඒත් අවලංසිතු රජතුමාගේ සාමාන්‍ය ස්වභාවය අනුව ඔහු අහංකාර පාලකයෙක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙනවා.

ලංකාව හා බුරුමය අතර තිබූ මිත‍්‍ර සබඳතා මත වෙළෙඳ සබඳතා තරකර ගැනීමට තෑගි භාණ්ඩ රැගත් නැවක් බුරුමයට පිටත්වෙනවා. ඒ නැව බුරුම රජතුමාට ලැබුණම ඔහුත් ඇතෙක්් තෑගි වශයෙන් එවීම සිරිතක් වුණා.  ඒත් අහංකාර බුරුම රජු එම සම්ප‍්‍රදාය කැඩුවා.

එනම් යම්කිසි අවස්ථාවක පරාක‍්‍රමබාහු රජතුමා රන්පතක ලියූ හසුනක් තෑගිත් සමග බුරුම රජුවෙත යැව්වා. එහෙත් අලවංසිතු රජතුමා ලංකාවෙන් ගිය දූත පිරිස මිලදීගත් ඇතුන් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය කොල්ලකා ඔවුන් කඳුකරයේ රැඳවුම් කඳවුරක හිර කළා. ඉන් නොනැවතී සිංහල දූතයන්ගේ පයේ විලංගුලා සිරගෙවලට ජලය ඇදීම සඳහා යෙදවූවා.ඊට පසු ලංකාවෙන් කිසිම ත්‍යාගයක් නොඑවන ලෙසත් ලාංකීය දූතයන්ට බුරුමයට ඒම තහනම් බවත් එසේ ආවොත් ඔවුන් මරාදැමීමට නීතියෙන් තහනමක් නැති බවත් දැන්වූවා. ඉන්පසු සිදුරු සහිත නැවකට දැමූ මේ දූත පිරිස ආපසු ලංකාවට එව්වා. මේ හේතුව වගේම මෙම මිත‍්‍ර සබඳතා කඩාවැටීමට තවත් හේතුවක් තිබුණා. එනම් එක් විටක මහා පරාක‍්‍රමබාහු රජතුමා ඇතුන් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් හා තෑගි  භාණ්ඩ යැවූ අවස්ථාවක ඒ කිසිවක් කිරීමට ඉඩනොදී වෙළෙඳ ගිවිසුම කඩකර එම දූත පිරිසත් ආපසු  එවා තිබුණා.

ඒ වගේම ලංකාවේ සිට බුරුමය හරහා කාම්බෝජයට යැවූ සිංහල කුමාරිකාවක් බුරුම පාලකයාගේ කණ්ඩායමක් මුහුදේදී පැහැර ගත්තා.

එකපිට එක ආ මෙම අපහාස වලින් පරාක‍්‍රමබාහු රජතුමා කුපිත වුණා. ඒ නිසාම යුද්ධ කිරීම හැර මොහුට විරුද්ධව කළ හැකිවෙන කිසිවක් නොවන බව වටහාගත්තා. ලංකාවේ කීර්තිය වෙනුවෙන් බුරුමය සමඟ සටන් කිරීමට ඒ ආකාරයට සූදානම් වූ රජතුමා ආක‍්‍රමණයට අවශ්‍ය යුධ සැලසුම් සකස් කළා.
පස් මසකින් නාවික කණ්ඩායම් සූදානම් කළා. සන්නාහ සන්නද්ධ යුද උපකරණ රැස්කළා. ඒ සියලූ දේ මේ සේනාවට ලබාදී යුධ නැව් සඳහා අවශ්‍ය සියලූ ආහාර පානද සැපයුවා. සෙබළුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා කටයුතුත් සූදානම් කළා. ඒ සඳහා විශේෂ ඖෂධ, ඊතල, ඉවත්කිරීමේ ශල්‍ය උපකරණ, වෛද්‍යවරු, පරිවාර නැව් කණ්ඩායමට ඇතුළත් කළා. සියලූ කටයුතු සූදානම් වූ පසු සේනාව ඊශාන වෙරළේ පිහිටි පල්ලවක්කි (කුච්චවේලියට උතුරින් පිහිටි වරායකි) වරායෙන් පිටත් කළා.

මේ සේනාවේ ප‍්‍රධානියා (අණදෙන නිලධාරි) වූයේ පරාක‍්‍රම බාහු රජතුමාගේ සිවිල් යුද කටයුතුවලදී අවංකව සේවා සැපයූ නිලධාරියෙක්. ඔහු ආදිත්‍ය දමිල අධිකාරි නම් ගණකාධිකාරවරයෙක්. මෙහි උප අණදෙන නිලධාරියා වූයේ කිත්ති නුවරගල්ල නම් සෙන්පතියෙක්. මොවුන් ගිය නැව කුණාටුවකට හසුවී මුහුදු බත්වුනා. තවත් නැව් කීපයක් තවත් රටවලට පාවී ගියා. එක් නැවක් කාක දේශයට ළඟාවුණා. මේ ආක‍්‍රමණයට නාවික කණ්ඩායම් 5 ක් පමණ පිටත් වී තිබෙනවා. කාක දේශයට ගොඩබට නැවේ භටයෝ එම දූපතේ  සිටි මිනිසුන් සමූහයක් ජීවග‍්‍රහණයෙන් ලංකාවට ගෙන ආවා.

ඒ අතර කිත්ති නුවරගල සෙන්පතියා ඇතුළු පිරිස බුරුම දේශයට ගොඩබැස්සා. සටනට පැමිණි බුරුම භටයන් පරාජය කර ඒ අවට ප‍්‍රදේශ ආක‍්‍රමණය කළා.
මීළඟට දමිළ ආදිත්‍ය ඇතුළු පිරිස බුරුමයේ වෙනත් ප‍්‍රදේශයක පිහිටි පප්පාලමට ගොඩ බැහැලා ඉදිරියට ගියා. ඔවුන් උක්කමපුරය අල්ලාගත්තා.

එහි සිටි රජු උක්කම පුරයේදී මැරුම් කෑ බව සඳහන් වෙනවා. ඒත් මේ සිදුවීම පිළිබඳ අදහස දෙආකාර වෙනවා. චූල වංශයට අනුව සිංහල සෙබළුන්ගේ ජයග‍්‍රහණය සඳහන් වුවත් බුරුම ලේඛනවල තිබෙන්නේ බොහොම අඩු තොරතුරු ප‍්‍රමාණයක්. ඒ නිසා ලංකාවේ මහා පරාක‍්‍රමබාහු රජතුමා මේ බුරුම යුද්ධය ජයග‍්‍රහණය කළ බව සනාථ කළ හැකි වෙනවා.

ඒ වගේම මේ ආක‍්‍රමණය මගින් ලංකාවට ගෙන ආ අපකීර්තිය නැතිකිරීමත් ලාංකීය බෞද්ධ සිංහලයාගේ තිබෙන අභිමානවත් බව පෙන්නුම් කිරීමත් විදහා දක්වනවා.

මේ කාර්ය සම්පූර්ණ කර ජයග‍්‍රහණය ලබාගත් ශ්‍රී ලාංකීය සෙන්පතියෝ යළිත් නැව්නැග ලංකාවට පැමිණියා.

ඊට පසු බුරුම රජතුමා යළිත් වතාවක් ලංකාව සමග මිත‍්‍ර සබඳකමක් ඇති කර ගැනීමට කටයුතු කළා. එනම් ලංකාවේ මහා සංඝයා වහන්සේලාගේ උපකාරය ඇතිව පරාක‍්‍රමබාහු රජතුමා සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට පියවර ගත්තා. ඒ අනුව පෙර පරිදිම සිංහල දූතයන්ට තිබූ වරප්ප‍්‍රසාද යළිත් ලබාදීමට බුරුම රජතුමා කැමැති වුණා.

මේ බුරුම ආක‍්‍රමණය සාර්ථකව නිමකිරීමට. උපකාර කළ කිත්ති නුවරගල්ල සෙන්පතියාට ගම්වරයක් දීමට ද පරාක‍්‍රමබාහු රජතුමා කටයුතු කළ බව දෙවනගල සෙල්ලිපියේ සඳහන් වෙනවා. එහි ලාංකීය සෙන්පතියන් ජයග‍්‍රහණය වෙනුවෙන් මාස 05 ක පමණ කාලයක් සටන් කළ බවද සඳහන්. මේ ජයග‍්‍රහණයට සහයෝගය දුන් අනිත් සියලූම සෙබළුන්ටත් ගම්වරදී තාන්න මාන්න දී ඔවුන්ගේ ජීවිත ද ඔසවා තැබීමට පරාක‍්‍රමබාහු රජතුමා කටයුතු කර තිබෙනවා.

මෙය යහපාලනය පිළිබඳව සිංහල පාලකයන් කියා දුන් යහපත් සංකල්පයක්.

මේ ආකාරයට රට එක්සේසත් කර ජාත්‍යන්තර කීර්තියක් ලබාදුන් මහා පරාක‍්‍රමබාහු රජතුමාට විරුද්ධව ක‍්‍රි.ව. 1169 මහාතිත්ත ප‍්‍රදේශයේ යළිත් කැරැුල්ලක් ඇතිවෙනවා. රජතුමා ඒ කැරැල්ලත් මැඩපවත්වනවා. මේ සියලූ දේ මගින්ම පැහැදිලි වන්නේ රට එක්සේසත් කළත්, ජාත්‍යන්තර කීර්තිය ලබා දුන්නත් ලංකාව කොටස් වශයෙන් පාලනය කරන කාලයේ පරාක‍්‍රමබාහු රජතුමාට විරුද්ධව කටයුතු කළ යම් පිරිසක් අවසානය දක්වාම වෛරී සිතුවිලිවලින් කටයුතු කළ බවයි. එහෙත් රජතුමා මැදහත් සිතින් රටවැසියාට සලකමින් එක්සේසත් කළ රට රැකගැනීමට  කටයුතු කළා.
 
mbv