Sunday, August 24, 2014

දරුවන්ට පාසලෙන් පසු රැකියාගතවීමට සුදුසු අධ්‍යාපනයක් ලබාදීමට ගත හැකි සියලු පියවර අපි ගන්නවා

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය හා දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන මෙන්ම ඉටුකළ යුතු හා වගකීම් සමුදායක් දැරිය යුතු අමාත්‍යාංශයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වාදිය හැකිය. එහි නූතන ගැටලු හා අනාගත ඉලක්ක පිළිබඳ මෙසේ අද හා සංවාදයකට එක්වූයේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතායි.

  • මෙරට තුළ අධ්‍යාපනයේ වත්මන වන විට පවතින ගැටලු මොනවාද?

  • ප්‍රධාන ගැටලු කිහිපයක් හඳුනාගන්නට පුළුවන්.
  • පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ පවතින තරගාකාරීත්වය
  • පහ වසර ශිෂ්‍යත්වයෙන් ජනප්‍රිය පාසල් හඹායාම නිසා දරුවන්ට ඇතිවන පීඩනය
  • සාමාන්‍ය ‘පෙළ සමත්ව හෝ අසමත්ව පාසල් පද්ධතියෙන් පිටවන දරුවන්ගෙන් කෙතරම් ප්‍රමාණයක් රැකියා වෙළෙඳ පොළට යොමුවෙනවාද, එසේත් නැත්නම් සාමාන්‍ය අධ්‍යාපනය රැකියා වෙළෙඳ පොළ හා ගැළපෙනවාද යන ගැටලුව
  • ගුණාත්මක බවේ අඩුපාඩු හා සම්පත් බෙදීයාමේ විෂමතාව
  • රැකියා වෙළෙඳ පොළේ ඉල්ලුමට සරිලන අන්දමට ඉංග්‍රීසි භාෂාව නොදැනුවත් බව
  • දරුවන්ගේ සදාචාරය පිරිහීම (ප්‍ර‘දේශ අනුව 8,9 ශ්‍රේණිවල දරුවන් පාසලින් ඉවත්වීම වැනි)
  • මෙම ගැටලුවලට යම් ආකාරයක විසඳුම් ගනිමින් තිබෙනවාද?

මේ ප්‍රශ්න හුඟක් එකට බැඳිලා තියෙන්නෙ. ද්විතීය පාසල් දහසේ වැඩපිළිවෙළ මේ ප්‍රශ්න සියල්ලටම විසඳුම් ලැබෙන ආකාරයේ ක්‍රියාවලියක්. එම පාසල් දහස හදන්නට තෝරාගෙන තියෙන්නෙ දිවයින පුරා සමාකාරව විහිදෙන ආකාරයටයි. දිවයින පුරා තිබෙන ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 334 හි හැම එකකින්ම ද්විතීය පාසල් තුනක් තෝරාගෙන තිබෙනවා. මේවා දැනටමත් පවතින හොඳින් ඉඩකඩ තියෙන පාසල්. මේ විදිහට අරගෙන ඒවා සංවර්ධනය කරගෙන යනවා. සම්පත් බෙදීයාමේ විෂමතාව පිළිබඳ තිබුණු මූලික ප්‍රශ්නයක් තමයි ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාස 334 න් 72 ක උසස් පෙළ විද්‍යා හා ගණිත විෂයයන් උගන්වන කිසිම පාසලක් තිබුණෙ නෑ. ඊට හේතුව ඒ දුෂ්කර ප්‍රදේශවල පරීක්ෂණාගාර නොතිබීම වගේම උපාධිධාරී ගුරුවරුන් ඒ පළාත්වලට යන්නට අකමැති වීම.
ඒ ප්‍ර‘දේශවල උසස් පෙළ හදාරන්නට තිබුණෙ කලා හා වාණිජ අංශ විතරයි. ඒ දරුවන්ට උවමනාව තිබුණත්, දක්ෂකම තිබුණත්, විද්‍යා හෝ ගණිත අංශ හදාරන්න බාධා තිබුණා. ඒ හින්දා මේ පාසල් දහස තෝරාගෙන ඒ දහසටම විද්‍යාගාර කිහිපයක් තියෙන ඒකකයක් හඳුන්වාදුන්නා. ඒකට තමයි මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඒකකය තියෙන්නෙ.

එහි පරිගණක විද්‍යාගාරයක්, භාෂාගාරයක්, දුරස්ථ අධ්‍යාපන ඒකකයක් හා ගණිතාගාරයක් තිබෙනවා. එතකොට මේ හතරට අමතරව පාසලේ විද්‍යා හා ගණිත විෂයයන් නැත්නම් භෞතික විද්‍යාගාරයක්, උද්භිද විද්‍යාගාරයක් හා රසායන විද්‍යාගාරයක්ද හදනවා. එතකොට මේ ආකාරයට තෝරාගත් පාසල්වල විද්‍යාගාර 07 ක් හැදෙනවා. ගොඩනැගිල්ල සහ සියලු උපකරණත් එක්ක මේ විද්‍යාගාරයක  වියදම රුපියල් මිලියන 20 ක් පමණ වෙනවා. 
ද්විතීයික පාසලක් කියන්නෙ 06 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා තිබෙන පාසලකටයි. දැන් මේ හැම පාසලකටම ළඟම තියෙන ප්‍රාථමික පාසල් කිහිපයක් (4/5) සම්බන්ධ කරලා තියෙනවා. මේවට කියන්නෙ පෝෂිත පාසල්, එහෙමත් නැත්නම් ළමා මිතුරු පාසල් කියලයි. එතකොට ද්විතීය පාසල් 1000 ට සම්බන්ධ වන පෝෂිත පාසල් සංඛ්‍යාව පන්දහසකට ආසන්නයි. ළමා මිතුරු පාසල් පන්දහස කියලා හඳුන්වන්නෙ මේවායි. ඒවත් දියුණු කරගෙන යනවා. පසුගිය වසර දෙක තුන තුළ එම පාසලකට ලක්ෂ 5 බැගින් මුදල් දුන්නා. එම මුදලුත්, දෙමාපියන්ගේ සහ පළාතේ වෙනත් අයගේ ආධාරත් එකතු කරලා ශ්‍රමදාන සහ වෙනත් වැඩ කටයුතු හරහා සනීපාරක්ෂක කටයුතු, ජලය, වැසිකිළි, ගේට්ටු, තාප්ප, ළමා මිදුල ආදී සංවර්ධන කටයුතු සිදුකළා.
මෙම ද්විතීය පාසල් වසර 10 ක් පුරා දියුණුවෙන්නට ඕනෙ. ඒ නිසා මෙය එක දවසින් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි.  මේවට උපාධිධාරී ගුරුවරුන් 4000 ක් බඳවගෙන පත්කරලා යැවුවා. කොහොම වුණත් අපේ බලාපොරොත්තුව මේ අනෙකුත් පහසුකම් ලැබිලා, ගුරුවරුන් පත්කරලා ජනප්‍රිය පාසල් තරමටම දියුණු කරන්නටයි. එයට කාලයක් ගතවේවි. එහෙම වුණත්, පාසල්වල 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලු විෂයයන් උගන්වනකොට, හොඳ ගුරුවරුන් ඉන්නකොට ඒවට සම්බන්ධ ප්‍රාථමික පාසල්වලට දරුවො දාන්න දෙමවුපියන්ට අකමැත්තක් ඇතිවෙන්න හේතුවක් නෑ. මොකද පෝෂිත පාසලකට යන දරුවෙකුට පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මොනවා වුණත් ඒ අයගෙ පාසලට සම්බන්ධ ද්විතීය පාසලට ඇතුළුවන්නට නීත්‍යනුකූල අයිතිය තියනවා.
  • ද්විතීය පාසල් දියුණු කළාම, ශිෂ්‍යත්වයෙන් පසු දරුවන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළුවෙන්න තිබෙන අවස්ථාව නැති කරනවද?

නෑ. ඒ අවස්ථාව ලබාදෙනවා. පහ වසර ශිෂ්‍යත්වය අපි අහෝසි කරන්නෙ නෑ. පහේ ශිෂ්‍යත්වයට දෙමවුපියන්ට උවමනා නම් දරුවා වාඩි කරන්න පුළුවන්. එහෙම කරලා ඔය ඉහළම පාසලකට යන්න පුළුවන්. ලංකාවට තියෙන්නෙ ජනප්‍රිය කියන පාසල් 56යි. මේ ජනප්‍රිය පාසල්වලට යාම හැරුණුකොට ශිෂ්‍යත්වය මගින් දරුවාට ලැබෙන පීඩනය, මානසික ආතතිය වැනි දේ දෙමාපියන් තේරුම්ගත්තාම ද්විතීය පාසල්වලින් ලැබෙන වාසියත්, තරගය මගින් ඇතිවන පාඩුවත් ඔවුන් හඳුනාගනීවි. ළඟම හොඳ පාසලක් තියෙද්දි වියදම් කරගෙන තමන්ගේ ග්‍රහණයෙන් මුදලා, හොස්ටල් එකක නවත්තලා මුහුණදෙන ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්. මට හිතෙනවා ක්‍රමයෙන් දෙමවුපියන් මීට අනුගත වේවි. අපි කියන්නෙ පහේ ශිෂ්‍යත්වය ඒ තත්ත්වය යටතේ ඉබේම දියවෙලා ගිහින් ස්වාභාවික මරණයකට පත්වෙයි කියලයි.
  • දැනට පාසල තුළින් එළියට එන දරුවා රැකියාගතවීම අඩු නම්, එයට පිළියම් ලෙස යම් ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවාද?

අද කර්මාන්ත ක්ෂේත්‍රයට වැඩිපුර අවශ්‍ය වෙන්නෙ තාක්ෂණය. ඊට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනයත් ඇතුළත්ව තාක්ෂණ විෂයයක් පාසල්වලට හඳුන්වාදෙන්න අපි තීරණය කළා. ඒ සඳහා අපි ද්විතීය පාසල් 1000 අතුරින් 250 ක් තෝරාගත්තා. එහිදී තාක්ෂණ දෙකක් අන්තර්ගතයි. එකක් ඉංජිනේරු තාක්ෂණය එහිදී ඉංජිනේරු පැත්තට අදාළ මූලික කරුණු එහි ඇතුළත් කරනවා. ඒ ආශ්‍රිත ප්‍රා‘යෝගික ක්‍රියාකාරකම් සිදුකරමින් ඉගෙනගත යුතුයි. වැඩ කිරීමත් එක්කයි මේ පාඨමාලා ඉදිරියට යන්නෙ. උසස් පෙළ විභාගයේදී සිද්ධාන්ත පාඨමාලාවට ලැබෙන්නෙ 75% යි. ඉතිරි 25% ලැබෙන්නෙ ප්‍රා‘යෝගික වැඩවලටයි.
අනෙක් අංශය තමයි ජෛව පද්ධති තාක්ෂණය. ඒ ජෛව පද්ධති තාක්ෂණය යටතේ තියෙන මෘදු තාක්ෂණය, කෘෂි, ගොවිපොළ, ආහාර, පසු අස්වනු, සමුද්‍රීය සම්පත්, කාලගුණ විද්‍යාව, තම පළාත තුළ පිහිටි ජෛව සම්පත් ආදී තාක්ෂණයන් පිළිබඳ, තම පළාතේ කෘෂිකාර්මික අස්වනු පිළිබඳ, ඒවායේ සංරක්ෂණය හා ප්‍රවාහනය, ගබඩා කිරීම, කල්තබාගැනීම ආදී සියලු දේ ඉගැන්වෙනවා. මේ අංශ දෙකම අපේ රටට ඉතා විශාල වශයෙන් අවශ්‍යයි.

මීට සහාය දෙමින් කටයුතු කරන්නෙ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය. එහිදී මම මෙහි නියෝජ්‍ය ඇමතිවරයා හැටියටත්, එහි අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙසත් හිඳිමින් කටයුතු සැලසුම් කරනවා. මේ අමාත්‍යාංශ දෙක අපි එකට බද්ධ කරනවා. එමගින් තාක්ෂණ විෂයයට අවශ්‍ය උපදෙස්, ක්‍රියාකාරකම්, පරීක්ෂණාගාර හා වැඩපොළ පහසුකම් සියල්ල සපයන්නෙ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය විසින්. කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන යොදාගනිමින් ළමයි පරීක්ෂණ පවත්වනවා. ඒවායේ ඉන්න උපදේශකවරු පාසල්වලට එනවා. 
පළමු වසරේදීම 15,000කට අධික ශිෂ්‍ය ප්‍රමාණයක් මෙම විෂය ධාරාවට ඇතුළත් වුණා. එහි දෙවැනි වසර ආරම්භ කරද්දි දැනට පියවන්නට අපහසු තරම් ඉල්ලුමක් තියෙනවා. මේ පාසල් 250 ක් කරගන්න බැරි තරම්. දරුවන් 40,000 ක පමණ ප්‍රමාණයක් මෙම විෂය ධාරාවට ඇතුළුවෙන්න ඉල්ලනවා.
මේ අයට තියෙන වාසිය ඔවුන් උසස් පෙළ සමත්වුණාම ඔවුන්ට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. අලුතෙන්ම ඒ අය සඳහා පාඨමාලා හැදුණා. ඒ අයට දෙන්නෙ Bsc උපාධිය. තාක්ෂණවේදය පිළිබඳ විද්‍යා‘වේදී උපාධිය තමයි ඒ අනුව ලැබෙන්නෙ. ඒ අනුව පළමුවරට පුරප්පාඩු 2000 ක් පමණ හදනවා. ඊළඟ අයට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ අලුත් සංකල්පයක් යොමුකරනවා. ඒ විශ්වවිද්‍යාල විද්‍යායතන සංකල්පය. අපේ රටේ සම්මත විශ්වවිද්‍යාල 17 ක් තියෙනවා. මේ විශ්වවිද්‍යාල විද්‍යායතනත් විශ්වවිද්‍යාල වගේමයි. හැබැයි මේවායේ උගන්වන්නෙ තාක්ෂණය පැත්තෙන්. මේවා සුදු කරපටි රැකියාම නොවෙයි. නමුත් වැඩකරන ගමන් ළමයට තාක්ෂණයත්, එක්ක කර්මාන්තවල ඉහළට යන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලිත් එක්ක අධීක්ෂණය කරන අය, වැඩ පරීක්ෂකවරු, මැදපෙළ කළමනාකාරවරු, ඉහළ පෙළ කළමනාකාරවරු වගේ ඉහළට යන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ සඳහා උවමනා දැනුම තමයි මේවයෙ දෙන්නෙ. මේ වගේ විශ්වවිද්‍යාල විද්‍යායතන 25 ක් පිහිටුවන්න යෝජනා කරලා තියෙනවා. 10 ක වැඩ ආරම්භ කරලා තියෙනවා. 2016 වෙනකොට ඒ වැඩ අවසන් කරලා ළමයි ඒවට ගන්න පුළුවන්.

එතකොට හොඳම ටික විශ්වවිද්‍යාලයට. ඊළඟ ටික විශ්වවිද්‍යාල විද්‍යායතනවලට. ඒවයේ පටන්ගන්නෙ NVQ 5 මට්ටම. එය ලබාගත්තම NVQ 06 මට්ටමට යන්න පුළුවන්. NVQ 5 කියන්නෙ ඩිප්ලෝමාව, NVQ 6 කියන්නෙ උසස් ජාතික ඩිප්ලෝමාව (HND).  ඕනෙ නම් එතැනින් එළියට ගිහින් රැකියාවක් කරලා ආයෙ එන්නත් පුළුවන්. එහෙම නැත්නම් NVQ 7 කියන්නෙ Btec උපාධිය. මේ සේරම සම්බන්ධ වෙලා තියෙන්නෙ රත්මලානේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට. ඊට සම්බන්ධ ශාඛා පද්ධතියක් විදිහට තමයි එය පැතිරිලා යන්නෙ.
එතනිනුත් පහළ ටිකට තාක්ෂණ විද්‍යාව කරලා වැඩ ඉගෙනගෙන එළියට එද්දි ඔවුන්ට විභාගය හොඳින් සමත් නොවුණත්, විෂය සමත්නම් NVQ 3 සහතිකය ලැබෙනවා. උසස් පෙළින් එළියට එද්දි ඔවුන් වෘත්තියකට සුදුසුයි. රැකියාවකට යන්න, නැතිනම් කාර්මික විද්‍යාලයකට ගිහින් ඉදිරියට ඉගෙනගන්නත් ඔවුන්ට පුළුවන්. NVQ 4 කරලා ඔවුන්ට විශ්වවිද්‍යාල විද්‍යායතනයකට යා හැකියි. මේ මගින් දරුවාට මාර්ගයක් හැදෙනවා. ඒ අනුව රැකියා වෙළෙඳ පොළත්, අධ්‍යාපනයත් මනාව ගැළපෙනවා. ඉදිරියේදී මෙම පාසල් හැම එකකටම මිලයන 07 බැගින් යොදා පාසල් 250 ම තාක්ෂණ විද්‍යාපීඨ හදන්නත් සූදානම් කර තිබෙනවා. ඒවා පර්යේෂණ සඳහායි. ඉදිරියට සංචාරක ව්‍යාපාරය වැනි ක්‍ෂේත්‍රවල ඉහළ තනතුරුවල ඉල්ලුමට හරියන්නත් අධ්‍යාපනය හදන්න අපි සූදානම් වෙනවා.
කලා විෂයයන් කරලා උපාධිය ගත්තත්, රැකියා දීමේ හැකියාව තියෙන්නෙ 2.5% ක් පමණයි. ඒ නිසා අපි ඉදිරියේදී කලා විෂය ධාරාවේ අන්තර්ගතයන් වෙනස් කරන්න තීරණය කර තිබෙනවා.
ප්‍රශ්නය තියෙන්නෙ දුෂ්කර පළාත්වලට යොමුකරන ගුරුවරුන් එම ප්‍ර‘දේශ අතහැරලා පසුදාම ආපසු එනවා. එහෙමත් නැතිනම් නොයා ඉන්නවා. ඉදිරියේදී අපි ආයෙත් මේ පිළිබඳ ගැසට් කරලා ගුරුවරුන් පුහුණු කරලා බඳවාගන්නවා.

  • ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට උසස් පෙළ සඳහා රජයේ පාසල්වලට ඇතුළත් වීමේ ගැටලුවක් මතු වී තිබෙන්නෙ ඇයි?

එහෙම දෙයක් තිබුණා. 1961 උපකෘත පාසල් හා පුහුණු කිරීමේ විදුහල් පිළිබඳ පනතක් තියෙනවා. ඊට අනුව වයස අවුරුදු 05 සිට 14 දක්වා ළමයින්ට ඉගෙනගන්න පාසල් ඇරඹීම තහනම් කළා. පෞද්ගලික පාසල් ඊට විරුද්ධ නම් රජය විසින් ගුරුවරුන්ට මුදල් ගෙවන නමුත්, නඩත්තු කටයුතු දරුවන්ගෙන් මුදල් අය කරගෙන කළයුතු පාසල් තිබුණා. ඒවා අර්ධ රාජ්‍ය පාසල් ලෙස හඳුන්වනවා. 1977 විවෘත ආර්ථිකය පැමිණීමත් සමග විදේශිකයන් එද්දි, අපේ අය රට යද්දි, ඉංග්‍රීසි විතරක් දන්න දරුවන්ට පාසල් අවශ්‍ය වුණා. Overseas Children’s School එක විතරයි රජයේ අනුමත ඉංග්‍රීසි පාසලකට තිබුණෙ. ඒවායින් ඉගෙනගත්තෙ තානාපතිවරුන්ගෙ දරුවො. 
මෙහෙම විදේශිකයන්ගෙ දරුවන් එද්දි මුලින්ම 1978 දී Colombo International School පටන්ගත්තා. පනත තියෙද්දිම බොහෝ ජාත්‍යන්තර පාසල් ඇතිවෙන්න ගත්තා. ඒවයේ London O/L, London A/L උගන්වද්දි තවත් පාසල් හැදුණා. ලංකාවේ විෂය නිර්දේශය ඉංග්‍රීසියෙන්ම උගන්වන මේ පාසල් නගරයෙන් පිටත් හැදෙද්දි ගොඩක් පාසල්වල පන්ති තිබුණෙ සාමාන්‍ය පෙළ දක්වා පමණයි. ඒ දරුවන්ට උසස් පෙළට පාසල් අවශ්‍ය නිසා ළඟම තිබුණ රජයේ පාසලට ගියා. එහෙම කෙරීගෙන යද්දි 2013 කැබිනට් පත්‍රයක් ගෙනාවා ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් නියාමනය කිරීම සඳහා.
පෞද්ගලික පාසල් කටයුතු අංශයක් තිබුණා. එය ලේකම් කාර්යාලයක් බවට පත්කරලා ඒක යටතෙයි නියාමනය කරන්නට කටයුතු කළේ. ඒ අනුව එම පාසල් පළමු, දෙවැනි, තුන්වැනි ලෙස ශ්‍රේණිගත කිරීමත්, අනාගතයේ ඉදිවන පාසල්වල ප්‍රමිතිය පෙන්වා අවසරගැනීමත් වැනි දේ මෙහිදී අවශ්‍ය වුණා. ඒ වගේම සියලු පෞද්ගලික පාසල්වල සිංහල, මේ රටේ ඉතිහාසය හා ආගම ඉගැන්වීම නිර්දේශ කරලා තිබුණා. එය නීතියක් විදිහට ආවා.
පෞද්ගලික පාසල්වල දරුවන් රජයේ පාසලට එද්දි රජයේ පාසල්වල දරුවන්ට අඩුපාඩුවක් වෙයිද කියන ප්‍රශ්නය ඇමතිතුමාට ආවා. ඒ නිසා ඒ පිළිබඳ අදහස් දැක්වීමක් කළා සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමක් කළා. ඒ අනුව විදුහල්පතිවරුන් සිසුන් බඳවාගැනීමෙන් වැළකී සිටියා. කැබිනට් එකේ අනෙක් ඇමතිවරුන් ප්‍රශ්න කළාම ඒ පිළිබඳ පැහැදිලි කිරීමේ වාර්තාවක් කැබිනට් එකට ඉදිරිපත් කළා. මෙහි කැළඹිලිකාරී තත්ත්වය මඟහැරගන්න නම් ඇත්තටම සාකච්ඡා කරලා, හොඳ පිළිතුරකට එන්න ඕන.

ඒ වගේම අතරමැද කඩාකප්පල් වන ජාත්‍යන්තර පාසල් තිබෙන නිසා ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතුයි. දරුවන්ගේ අධ්‍යාපනය රැකගැනීමටයි මුල්තැන දියයුත්තේ. ලංකාව තුළ මම හිතන විදිහට ජාත්‍යන්තර පාසල් දෙසීයක් පමණ තියෙනවා. කොහොම වුණත් දැනට ලියාපදිංචි කිරීමක්වත් නැති නිසා කවුරුත් නිවැරදි ගණනක් දන්නෙ නෑ. නියාමනය කිරීමකුත් නෑ. අපේ රට තුළ සාර්වත්‍ර අධ්‍යාපන ප්‍ර‘වේශයක් තියනවා. උපදින දරුවන් අධ්‍යාපනයට යොමුවීම 100%ක්ම වගේ සිදුවෙනවා. නමුත් ගණන් බැලීමේදී ප්‍රශ්නයක් එනවා. සුළු කොටසක් ලියාපදිංචියක් නැති, ජාත්‍යන්තර පාසල්වලට යන නිසා. එහිදී සාර්වත්‍ර ප්‍ර‘වේශය 98% ක් වගේ යැයි කියවුණොත් ඒක රටටත් හොඳ මදි. ඒ නිසා මේ ගැන නියාමනය අතිශය වැදගත්. මං හිතනවා නිවැරදි තීරණයකට යා යුතුයි. වසර 37 ක් පමණ නොවිසඳුණු මේ ප්‍රශ්න දැන්වත් විසඳිය යුතුයි.
ඡායාරූප - ඉසුරු පෙරේරා
http://ada.lk/
-

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි