Tuesday, August 12, 2014

"විසාකා"වේ විසාකා සිටු දේවියෝ

 
වර්තමානයේ පාසල් හා එහි පරිපාලනය පිළිබඳව අප අසනා, දකිනා සිදුවීම් සමග සසඳා බැලීමේදී, කොළඹ විසාකා විදුහලේ කලකට ඉහත විශ්‍රාම ගිය හා දැනට එහි විදුහල්පතිනිය ලෙස සේවය කරනා කාන්තා රත්නයන් දෙපළක්‌ පිළිබඳව කථා බහට ලක්‌ කිරීම යුතුකමක්‌ හා වගකීමක්‌ ලෙස මම කෘතඥතාපූර්වකව ලියා තබමි.

කිසිදා දැන හැඳුනුම්කමකින් තොරව නීති රීතිවලට අනුකූලව ඉදිරිපත් කළ අයෑදුම්පත්‍රය මගින් මගේ එකම දියණිය " විසාකා" මව් තුරුළට තේරීපත් වූයේ එවකට සිටි විදුහල්පතිනියගේ ප්‍රතිපත්තිගරුක පරිපාලනයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

2008 වර්ෂයේ අවසාන කාර්තුවේ අගභාගයේ වැඩ භාරගත් වර්තමාන විදුහල්පතිනියගේ නිසි මග පෙන්වීම යටතේ ඉතා වේගයෙන් දීප්තිමත් බුද්ධිමත් ශිෂ්‍යාවකගේ තත්ත්වයට, මගේ දියණියද පත් වූයේ විදුහලේ ගුරුවර ගුරුවරියන්ගේ දක්‍ෂතාව හා කාර්යක්‍ෂමතාව වර්තමාන විදුහල්පතිනිය නිසි පරිදි උකහා ගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

එහි ප්‍රගතිය තහවුරු කරමින් 2010 වර්ෂයේ අ. පො. ස. (සා. පෙළ) විභාගයෙන්, විෂයයන් සියල්ලටම විශිෂ්ට සම්මාන ලබාගත් දියණියන් 130 දෙනා අතරට මගේ දියණියද ඇතුළත් වීම ඇය ලත් භාග්‍යයකි. එහිදී දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාවද මේ අතර සිටීම විදුහල, කලකට පසු ලත් විශාල ජයග්‍රහණයකි.

පාසලේ දැරියන් ඉගෙනීමේ කටයුතුවලට පමණක්‌ සීමා නොකොට ආගම දහම, සාරධර්ම හා ශිෂ්ඨ සම්පන්න ගති සිරිත් කෙරෙහිද යොමු කරවීමට, ඉමහත් පරිශ්‍රමයක්‌ ගත් එතුමිය පාසල් විදුහල්පති ධූරය භාරගත් දිනයේ පටන් මේ දක්‌වාම නොකඩවා ඉටු කරන්නේ, උගත්කම පමණක්‌ දැරියකගේ ජීවිතය ආලෝකවත් නොකරන බව අවබෝධ කරගත් නිසාවෙනි.

තවද දැරියන්, ගුරුවර ගුරුවරියන් හා දෙමාපියන් වන අප සමගද සමීප සම්බන්ධතාව ගොඩනැඟêම කෙරෙහි සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන අවධියේ සිටම වැඩි වශයෙන් තම අවධානය යොමු කිරීම විශේෂත්වයකි. සිසුවියක්‌ තුළ තිබිය යුතු සංයමය ඇය පරිහරණය කළ යුතු හා නොකළ යුත්දේ පිළිබඳ දැඩි සාකච්ඡාවට හා විමර්ශනයට ලක්‌ කිරීම සඳහා නිතිපතා ගුරු දෙගුරු රැස්‌වීම් පැවැත්වීමට කටයුතු කළාය. එම රැස්‌වීම්වලදී ඇය නිතරම මතක්‌ කර සිටියේ යෞවනත්වයට පත්වන දියණිය පිළිබඳව දෙමාපියන් වන අප නිතරම අවදියෙන් සිටිය යුතු බවයි. (එය නිතරම අපට අමතක වන්නේ තවමත් දියණිය අපට සිඟිත්තියක්‌ ලෙස සිතෙන බැවිනි) ඇය තම පළපුරුද්ද, අත්දැකීම්, දක්‍ෂකම් හා ප්‍රඥාව උපයෝගී කරගනිමින් විභාගය ආසන්න වනතෙක්‌ම දැරියන් පාසල වෙත ගෙන්වා ගැනීමට දක්‍ෂ වූවාය. මා දන්නා බොහෝ පාසල් උසස්‌ පෙළ සඳහා ඉගැන්වීම් කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක්‌ නොපෙන්වන හෙයින් දරු දැරියන් පෞද්ගලික පන්ති කෙරෙහි වැඩි නැඹුරුවක්‌ දැක්‌වීම සුලබ කරුණකි. විසාකාවේ මා දුටු විශේෂත්වය එය එසේ නොවීමයි. මේ හේතුව පසුපස සෙවණැල්ලක්‌ සේ ඇප කැප වී සිටින්නී වර්තමාන විදුහල්පතිනියයි.

මේ වන විට මාගේ දියණිය ගණිත අංශයෙන් උසස්‌ පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වී මේ මේ වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සූදානම් වී සිටින බව සතුටින් සඳහන් කරමි.

මා මෙලෙස දෙපා නමැද ස්‌තූති පූර්වකව, ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරන්නේ මුලින් සඳහන් කළ, මාගේ දියණිය විසාකාවට ඇතුළත් කරගත් එවකට විදුහල්පති ධූරය දැරූ ආදි විශාඛාවක්‌ වන එම්. එන්. එදිස්‌සූරිය මැතිනියත්, පාසල් දියණියන් තම කුස උපන් දැරියන් සේ සලකා පාසල් මාතාවගේ මෙන්ම දියණියන්ගේ අභිවෘද්ධිය උදෙසා දැඩි වෙහෙසක්‌ හා කැපවීමෙන් කටයුතු කරන රාත්‍රියේ අහස්‌ කුස බැබලෙන සඳක්‌ වැනි වර්තමාන විදුහල්පතිනිය වන සඳමාලි අවිරුප්පොළ මැතිනියන් යන උත්තමාවියන් දෙපළයි.

විසාකා විදු මෑණියන් තව තවත් දිදුලන දීප්තියක්‌ කරා යොමු කළ සහ යොමු කරන, මිහිපිට වෙසෙන මෙම ගුරු දේවතාවියන් දෙපළට දීර්ඝායුෂ සමග නිරෝගීමත් සාමකාමී දිවියකට තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.

(විසාකා මව් තුරුළෙන් සමුගත් දියණියකගේ මෙන්ම ආදී විසාකාවක්‌ද වන මවකි)

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි