Thursday, August 28, 2014

මහපොළ ශිෂ්‍යාධාරය රු. 6000 දක්වා

ජනාධිපති උපදෙසින්

මහපොළ ශිෂ්‍යාධාරය රු. 6000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා

 - ඇමැති එස්.බී දිසානායක
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් හය දහස දක්වා ඉහළ නැංවීමට අදාළ පිඹුරුපත් සකස් කොට අවසන් බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මේ යටතේ අඩු ආදායම්ලාභී ශිෂ්‍යන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නංවන බව පැහැදිලි කළ ඇමතිවරයා මහපොළ අරමුදල , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ උප කුලපතිවරු සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ ඇතැයි අනාවරණය කළේය.
පෙරේදා (26) බත්තර මුල්ලේ පිහිටි අමාත්‍ය නිල නිවසේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමැතිවරයා එසේ සදහන් කළේය.
මෙම අරමුදල් ප්‍රමාණය ඉහළ නැංවීම‍ට අදාළ සියලු කටයුතු සකස් කර තිබිය දී අන්තවාදී පිරිසක් පා ගමනක් යෑමට සුදානම් වන බව කී ඒ මහතා පෙරටුගාමින් සහ ජ‍විපෙ ගෙන යන මෙම වැඩපිළිවෙළ අසාර්ථක ප්‍රයත්නයක් යැයි සඳහන් කළේය.
ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ලෝක ශ්‍රේණිගත කිරීමේ 14වන තැනට පත් කිරීම තම ඒකායන අරමුණ බව කී ඇමැතිවරයා ඒ වෙනුවෙන් විදේශ සිසුන්ට මෙරට ජනාධිපති විශේෂ උපාධි අවස්ථා ඇති කළ බවත් ඒ අනුව මෙම වසරේ විදේශ සිසුන් 100දෙනෙක් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යනය කටයතු සඳහා මෙරටට පැමිණ ඇති බවත් මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ වසරේ මෙරටට පැමිණි සිසුන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් ආපසු ගිය බවත් අනාවරණය කළේය.
මෙරට විශ්වවිද්‍යාල වරම් අහිමිවන අපේ දරුවෝ නේපාලය , භූතානය බංගලාදේශයට ගොස් දුක් විදින බව අනාවරණය කළ ඇමැතිවරයා ඒ දරුවන් වෙනුවෙන් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතු බවට රජය තීන්දු කළ බව පැවසීය.
කොන්දේසි මත මෙරට වෛද්‍ය උපාධිය පිරිනමන ආයතනයක් ලෙස මාලඹේ වෛද්‍ය විද්‍යාලය රජය පිළිගන්නා බව කී අමාත්‍යවරයා එහි සියලු ප්‍රශ්න මේවන විට නිරාකරණය කර ඇති බැවින් අධ්‍යනය කටයුතු අරඹිය හැකි බවත් එහි ශික්ෂණ රෝහලක් ඇතැයි ද රාගම පේරාදෙණිය සහ කොළඹ වෛද්‍ය පිඨයේ වෛද්‍යවරු එහි ඉගැන්වීම් සිදු කරන බවද කීය. විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා නවක දරුවන්ට නායකත්ව පුහුණු වැඩසටහන සැප්තැම්බර් 6වෙනි දා ඇරඹෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

   http://www.dinamina.lk/2014/08/28/_art.asp?fn=n14082811



0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි