Wednesday, August 13, 2014

පටු වාසි ගන්න දරුවන් බිලි දෙන්න එපා

පටු වාසි ගන්න දරුවන් බිලි දෙන්න එපා

බන්දුල ගුණවර්ධන
අධ්‍යාපන ඇමැති
අ‍.පො.ස. උසස් පෙළ විභාගය ආරම්භ වීමත් සමඟම ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය හා සම්බන්ධ ගැටලු ඇති බවට මතයක් සමාජගත විණි. මේ සම්බන්ධයෙන් සහ විභාග ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි.
* ප්‍රසිද්ධ විභාගයක් පවතිද්දීම විභාගය සම්බන්ධයෙන් වැරැදි විවේචන සමාජගත වීම විටින් විට සිදුවෙනවා. මේවා සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ගන්නා පියවර මොනවාද?
1968 අංක 25 දරන විභාග පනතට අනුවයි මේ රටේ සියලුම ‍ප්‍රසිද්ධ විභාග පවත්වන්නේ. ඇමැතිවරයා ලෙස මමත් , විභාග කොමසාරිස්වරයාත් කටයුතු කරන්නේ විභාග පනතට අනුව. මේ පනතට පටහැනිව අබමල් රේණුවක තරම්වත් වැරැද්දක් වංචාවක් අක්‍රමිකතාවක් සිදුවී තිබේ නම් අපි මේ තනතුරු දරන්න සුදුසු නැහැ.
අපි මේ කටයුතු කරන්නේ මේ රටේ අවිහිංසක දරුවන් සමඟයි. මා පොඩි කාලේ සිටම හිතන අදහන දෙයක් තමයි මේ රටේ දරුවන්ගේ විභාග සම්බන්ධයෙන් ගැටලුවක් වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවක් ඇතිවීමෙන් අගාධයට යන මනුෂ්‍ය ජීවිත සංඛ්‍යාව විශාල වන බව. ඒ නිසා අප ඒ ගැන ඉතා සැලකිල්ලෙන් කටයුතු කරනවා.
1977දී විවෘත ආර්ථිකය සමඟම අපොස සාමාන්‍ය පෙළ විභාගය හඳුන්වා දුන්නා ලන්ඩ‍න් ඕ ලෙවල්, ඒ ලෙවල් වලට සමගාමීව. එදා සිට අපේ රටේ තිබු‍‍ෙණ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයයි. මවුපියන් තමන්ගේ දරුවන් අමතර පන්තිවලට ගෙනියනවා. ‍ඕනම උසස් නිල‍ධාරියෙක් මේ දේ කරනවා. අපේ මවුපියන් මෙහෙම කළාද අපිට? පසුගිය කාලය පුරාම විභාග පවත්වද්දී විවිධ පාර්ශ්ව විවිධ ගැටලු පවතින බවට මතයක් සමාජගත කරන්නට උත්සාහ කරනවා.
විභාගයකට පෙරම විභාග කොමසාරිස් ජනරාල්වරයා දුරකථන අංක ලබාදී තිබෙනවා විභාග අක්‍රමිකතා ඇත්නම් දැනුම් දීමට. මෙයට පෙර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අපි අධිකරණයට ගියා. විභාග සඳහා වංචා දූෂණ සිදු කරන නිලධාරීන් ඉවත් කිරීම විභාග පනතට අනුව සිදු කළ හැකියි. එය අතීතයේත් සිදු කළා. දැනුත් කරනවා. මේ රටේ අහිංසක දරුවන් ආරක්ෂා කිරීම අපේ වගකීමක්. ඒ සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නවා. මේ ගැටලුව සම්බන්ධයෙන් අපි අධිකරණයට යනවා.
* 2014 වසරේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෝෂ සහිත බව ලංකා ගුරු සේවා සංගමය මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළා. මෙය ඇත්තක්ද?
මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සැකසුවේ පසුගිය වසරේ (2013) සැකසුව අය නොවෙයි. මේ වසරේ ප්‍රශ්න පත්‍රය ගැන අපිට ආර්ථික විද්‍යා ගුරුවරුන්ගෙන් උසස් පෙළ ආර්ථික විද්‍යා විෂයට පෙනී සිටින දරුවන්ගෙන් කිසිම පැමිණිල්ලක් ලැබී නැහැ. මේ දරුවන් ප්‍රශ්න පත්‍රයට හොඳින් උත්තර සපයා තිබෙනවා.ග්‍රාමීය දරුවන් මේ ප්‍රශ්න පත්‍රය අගය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයාට විභාග පනතට අනුව විශාල බලයක් පැවරී තිබෙනවා කටයුතු කිරීමට. එතුමා ඕනෑම විභාගයක් අවසන් වුණාම වගේම විභාගයට පෙරත් සකස් කළ ප්‍රශ්න පත්‍ර පිළිබඳවත් සිසුන් පිළිතුරු ලියූ ආකාරය ගැනත් සලකා බලා විභාගය හා ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් විවිධ තීන්දු තීරණ ගන්නවා. ඒක හැමදාමත් සිදු වුණා.
* 2013 වසරේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලු තිබෙන බව මාධ්‍ය හෙළිදරව් කළා.
ඒ සම්බන්ධයෙන් සොයා බලා එක්තරා ආචාර්යවරයෙක් ඉවත් කර ඇති බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා මා වෙත දැන්වුවා. එම ආචාර්යවරයාත් ඒ සම්බන්ධව ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙතුමා 1973 සිට 2004 දක්වා විශ්‍රාම යන තෙක් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරක් තමයි දරලා තිබෙන්නේ. එතුමා ඉගෙනුම් ක්‍රියාවලියෙන් ඉවත්ව දැනට වසර 10ක් වෙනවා. වයස අවුරුදු 70යි. පදිංචිව සිටින්නේ කැනඩාවේ. ප්‍රශ්න පත්‍රය සැකසීම සඳහා පමණයි එතුමා ලංකාවට එන්නේ. එතුමා ලියූ පොත පත සහ පුවත්පතකට ලිවීම වැනි යම් යම් කාරණා නිසා විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රධාන පාලක පරීක්ෂකවරයෙක්ව සිටි එතුමාව ඉවත් කර තිබෙනවා.
තවත් අයෙකුත් දීර්ඝ කාලයක් ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සකස් කළා. එතුමාට විවිධ මාධ්‍ය මඟින් චෝදනා එල්ල වුණා. එතුමා පොත් දෙකක් ලියා තිබෙනවා. එම පොත් වල තිබෙන ආකාරයට තිබෙන පිළිතුරු වලට පමණක් නිවැරැදි ලෙස ලකුණු දුන්නා. ඒ සම්බන්ධ ප්‍රකාශ පුවත්පතක පළ කරලා. පෞද්ගලික ආයතන මාර්ගයෙන් සම්මන්ත්‍රණ තියලා. චෝදනා විභාග කරලායි එතුමාව ඉවත් කර තිබෙන්නේ. මේ අය ඉවත් කර වෙනත් අය පත් කර තිබෙන්නේ විභාග පනතට අනුවයි. මේ සඳහා විභාග කොමසාරිස්වරයාට බලතල තිබෙනවා. මේ සිද්ධීන් වලට අදාළ අභ්‍යන්තර විමර්ශන සිදුවෙනවා.
* ඔබතුමා කියන්නේ ප්‍රශ්න පත්‍ර සකස් කරන ආචාර්ය මහාචාර්යවරු වංචා සිදුකරනවා කියලද?
ඇත්තෙන්ම ප්‍රසිද්ධ ප්‍රශ්න පත්‍ර සකස් කරන කිසිම ආචාර්ය මහාචාර්යවරයෙකුට තමන් ප්‍රශ්න පත්‍ර සකස් කරන බවට ප්‍රසිද්ධ කරන්නවත් බැහැ. ඒත් සමහරු මේවා මඟින් මුදල් උපයාගන්න ගිහින් තිබෙනවා. ඒ බව අනාවරණය වුණාම තමයි ඉවත් කරන්නේ. මීට පෙරත් ගණකාධිකරණය ඇතුළු ප්‍රශ්න පත්‍ර සකස් කළ අය ඉවත් කර තිබෙනවා. මේ අය අතරේ හිටියා දෙවිවරු වගේ මහාචාර්යවරුත්. මහාචාර්ය සිරිසේන තිලකරත්න මහතා එවැනි අයෙක්. අවාසනාවට එතුමා මිය ගියා. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක්.
එතුමා වසර ගණනාවක් ප්‍රශ්න පත්‍රය සකස් කළා. ඒ එකම වසරකවත් පොත් මුද්‍රණය කළේ නැහැ. එතුමාගේ දියණිය ආර්ථිකවිද්‍යා ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට නියමිත වසරට වසර තුනකට පෙර ප්‍රශ්න පත්‍ර සැකසීමෙන් ඉවත් වුණා. ඒ වගේම එතුමා ලියූ ආර්ථික විද්‍යා පදනම පොත අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දුන්නා මුද්‍රණය කරන්න. සත පහක්වත් ගත්තේ නෑ. මුල්ම මුද්‍රණය 1996 මුද්‍රණය කළා. පොතේ මිල රුපියල් 60යි. 1999, 2001, 2003, 2007 වසරවල මුද්‍රණය කළ මේ පොත දැන් රුපියල් 150ටයි විකුණන්නේ. මේ අය දෙවිවරු වගේ නෙමෙයිද?
* ලන්ඩන් ඒ ලෙවල් ප්‍රශ්නම 2013 වසරේ සිංහලට පරිවර්තනය කර ලබා දී තිබෙනවා යැයි කියනවා. මේ කතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගැටලුවක් පැන නගීවිද?
මේ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමත් සිදු කළා. අපි මේ බව දැනගත් නිසයි මේ අය මෙයට පෙර ඉවත් කළේ. අධ්‍යාපනය, විභාග සම්බන්ධ ප්‍රශ්න පිටතට දෙනවට වඩා සුදුසු නිශ්ශබ්දව විසඳා ගැනීමයි. වසර ගණනාවක් පුරා ඉගෙනගන්නා දරුවන්ගේ අනාගතය තීරණය කරන විභාගයක් තමයි උසස් පෙළ විභාගය. දරුවන්ට පීඩනයක් නොදී අපි මේ ප්‍රශ්න විසඳා ගත යුතුයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිද්ධිය සම්බන්ධව වාර්තාවක් ලබා දෙන ලෙසට නියෝග කළා. දැන් විමර්ශනයක් සිදු කරනවා. ජනාධිපතිතුමා මේ රටේ දරුවන්ට යහපත් හෙටක් හදන්නයි උත්සාහ කරන්නේ. දේශපාලන පටු වාසි තකා අවිහිංසක දරුවන් භාවිතා නොකරන ලෙස පටු වාසි තකා මෙවන් ප්‍රකාශ කරන අයගෙන් මා ඉල්ලා සිටිනවා.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි