Sunday, August 24, 2014

නිමල් දැන් හොඳ ළමයෙක්

නිමල් දැන් හොඳ ළමයෙක්

ලස්සන පුංචි කැලෑවක උස ගසක් මුදුනෙ ගිරා අම්මයි පුංචි ගිරා බබාලා දෙන්නෙකුයි හිටියා. මේ පුංචි පවුල කැලේ ජීවත් වුණේ හරිම සතුටින්. පුංචි ගිරා පැටවු දෙන්නට තවම පියාඹන්න බැහැ. ඒ නිසා ගිරා අම්මයි තාත්තයි කැලේට ගිහින් කෑම හොයාගෙන ඇවිත් කූඩුවෙ ඉන්න පැටවුන්ට කවනවා. දවසක් ගිරා අම්මයි තාත්තයි කෑම හොයාගෙන එනකොට පැටවු දෙන්නා කූඩුවේ හිටියේ නැහැ. ගිරා දෙමහල්ලෝ හොඳටම කලබල වෙලා හැම තැනම පැටවු දෙන්නව හොයනවා. එයාලගෙ පැටවු දැක්කද කියලා කැලෑවෙ සත්තු හැමෝගෙන්ම අහනවා. ඒත් කවුරුවත්ම පැටවුන් දැකල නැහැ. අඬ අඬා කැලෑව පුරාම පැටවුන්ව හොයන ගිරා දෙමවුපියන්ට කපුටු හාමි මුණ ගැහුණා.
“ඔයාලගෙ පැටවු දෙන්න කැලේට එහා පැත්තේ ගමේ ගෙදරක කූඩුවක ඉන්නවා” කියල කපුටුහාමි ගිරවුන්ට කීවා.
ගිරා අම්මයි තාත්තයි ඉක්මනටම ගම්මානෙට ගියා. එක ගෙදරක කූඩුවකට දාල පැටවුන් දෙන්නා ඉන්නවා. අම්මා තාත්තා දැකපු එයාලා බේරගන්න කියල අඬන්න පටන් ගත්තා. ගිරා අම්මටයි තාත්තටයි හරිම දුකයි. තමන්ගෙ දරුවො දෙන්න බේරාගන්නෙ කොහොමද කියල මේ දෙන්නා අඬ අඬා කල්පනා කළා. මෙහෙම කල්පනා කරන අතරෙදි මේ දෙන්නට ගමේ පන්සල මතක් වුණා. පන්සලේ ඉන්න හාමුදුරුවො හැමෝටම හරිම කරුණාවන්තයි. හැමදාමත් සත්තුන්ට කන්න පලතුරු, බොන්න වතුර පන්සලේ තියෙනවා. පන්සලට ගියාම කවුරුවත් සත්තුන්ට ගල් ගහන්නේ හිංසා කරන්නේ නැහැ. ඒ නිසා කැලේ ඉන්න හුඟාක් සත්තු පන්සලට යනවා. තමන්ගෙ දරුවො දෙන්නා බේරල දෙන්න කියල පන්සලේ ලොකු හාමුදුරුවන්ට කියන්න කතා වුනු ගිරා දෙමහල්ලෝ පන්සලට ගියා. පන්සලේ වැඩඉන්න පොඩි සාමණේර හාමුදුරුවෝ බෝමළුවේ ඉඳගෙන බණ පොතක් කියවනවා. ගිරා දෙමහල්ලෝ පොඩි හාමුදුරු‍වෝ ළඟට ගියා.
“ඇයි පෙත්තප්පු...” තමන් දිහා දුකින් බලාගෙන ඉන්න ගිරවුන්ගෙන් පොඩි හාමුදුරුවෝ විමසුවා. තමන්ට සිද්ධ වෙලා තියෙන කරදරය ගැන ගිරවුන් හාමුදුරුවන්ට කීවා.
“පෙත්තප්පුලා දැන් අඬන්නෙ නැතුව ගෙදර යන්න. මම ඔයාලගෙ දරුවො දෙන්න නිදහස් කරල දෙන්නම්.” හාමුදුරුවෝ ගිරා දෙමහල්ලන්ට පොරොන්දු වුණා.
ඊට පස්සෙ පොඩි හාමුදුරුවො ගිරා පැටවුන් හිර කරගෙන ඉන්න ගෙදරට ගියා. ගිරා පැටවු කූඩුවක ඉන්නවා. පොඩි පිරිමි ළමයෙක් මිදුලෙ සෙල්ලම් කරනවා.
“නිමල්...” හාමුදුරුවෝ ළමයට කතා කළා.
“පොඩි හාමුදුරුවනේ...” දුවගෙන හාමුදුරුවෝ ළඟට ආපු නිමල් හාමුදුරුවන්ට වැන්දා.
“නිමල්... ඔයා කැමතිද ඔයාගෙ දෙමවුපියො ගෙදර නැති වෙලාවක කවුරු හරි ගෙදරට ඇවිත් ඔයා බලෙන් අරගෙන ගිහින් කොහේ හරි හිර කරනවට...”
“අපෝයි... නෑ.. හාමුදුරුවනේ...”
“ඒක තමයි නිමල් කවුරුවත් කැමති නැහැ හිරවෙලා ඉන්න. ඉතිං නිමල් ඔයා කැලේට ගිහින් ගිරා පැටවු අරගෙන ඇවිත් කූඩුවක දමල මේ විදිහට තියාගෙන ඉන්න එකත් වැරදියිනේ. එයාලගෙ අම්මල දැන් එයාලව හොයනවත් ඇතිනේ..” පොඩි හාමුදුරුවෝ නිමල් කරපු වැරැද්ද තේරුම් කරල දුන්නා.
“මට දැන්නේ තේරුනේ මං කළේ ලොකු වැරැද්දක් කියලා. මට ආය කවදාවත් මේ විදිහෙ දේවල් කරන්නේ නැහැ. මං දැන්මම මේ පැටවු දෙන්නා එයාලගෙ ගෙදරට ගිහින් දානවා.” නිමල් පොඩිහාමුදුරුවන්ට පැවසුවා.
ගිරා පැටවු අතට ගත්තු නිමල් කැලයට ගියා. ගිරා දෙමවුපියෝ පැටවු එනකම් මඟ බලාගෙන ඉන්නවා. අමාරුවෙන් ගස උඩට නැගපු නිමල් පැටවු දෙන්නා කූඩුවෙන් තිබ්බා. ගිරවුන්ට හරිම සතුටුයි.
“මං ආය කවදාවත් සත්තුන්ට කරදර කරන්නේ නැහැ.” ගසෙන් බිමට බැහැපු නිමල් කීවා.
‍කේ.ජී. ප්‍රදීපා මහේෂිකා
12 ශ්‍රේණිය කලා (2015),
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය,
හාලි ඇල, බදුල්ල.

http://www.silumina.lk/2014/08/24/_art.asp?fn=au140824

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි