Sunday, August 24, 2014

පොඩි දරුවන්ගේ ලොකු කතා


"දෙයියනේ! මේ ළමය කියන කතා. මෙහෙ එනව. කවුද ඕක කියල දුන්නෙ. ඇත්ත කියනව කවුද ඔය ජරා කතා ඉගැන්නුවේ" මව සහ පියා එක දිගට දරුවාගෙන් ප්‍රශ්න කරයි. නැහැ කවුරුවත් කිව්වෙ නැහැ. මේ බොරු කියන්න එපා. අපේ ගෙවල්වල කියන ඒවද ඕව. කියනව ඇත්ත. දැන්නම් දරුවාට ගැලවීමක් නැත. මුළු නිවෙසම උසාවියක් බඳුය.


දරුවාගේ මුවින් පිටව ඇත්තේ නරක යැයි සම්මත වචනයක් බව පැහැදිලිය. ඒ නිසා දරුවාද නරක් වී ඇතැයි මවුපියන් සිතයි. නොඑසේනම් දරුවාගේ අනාගතයට භයානක හානියක් වෙතැයි මවුපිය මනස කලඹවා ඇත. එබැවින් දරුවා තුළින් මේ වචනය ගලවා ගැනීමට ගන්නා වෙහෙස අත්හැරිය නොහැකිය.
කරන ලද තරවටු කිරීම් හමුවේ දරුවා ඇත්ත කියයි. "ඕක කිව්වෙ එහා ගෙදර මල්ලි." "ඕන් දැක්කද අපි කී දවසක් කියල තියෙනවද ඔය ළමය ආශ්‍රය කරන්න එපා කියල. හොඳයි මම බලාගන්නම්කො" ප්‍රශ්නය කෙළවර වන පාටක් නැත. අසල්වැසි චූදිතයාගේ මවුපියන් හමුවී මේ වචනය ඉගැන්වීමේ වරද පටවයි. "අනේ ඇත්තද? අපේ ගෙවල්වල නම් ඔය වගේ කතා දරුවො ඉස්සරහ කියන්නෙ නැහැ." දැන් ගෙදරත් යුද පිටියකි. ඒ අයද වරදකරුවා සොයයි.


දරුවන්ගේ පුංචිකමට, සුරතල්කමට කවුරුත් කැමැතිය. වැඩිහිටියන්ට පමණක් සීමා වූ වචන දරුවන් කියද්දී ඔවුන්ගේ ළමාකම මැකී ගොස් අනවශ්‍ය වැඩිහිටි බවක් පෙන්වයි. සුරංගනා කතා, ළමා කතා, ළමා ගීත දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වී ඇත්තේ ළමා කාලයේ ළමා ලෝකය තුළ හැසිරෙන දරුවකු දකින්නට වැඩිහිටියන් තුළ පවතින වුවමනාව නිසයි. දරුවා "හඳ" පෙන්වා "හඳ මාමා" කිවූවිට ළමා හුරතලයට ගැළපේ. නමුත් "පිස්සු හැදෙන සඳ" කිව්වොත් එය වැඩිහිටි ප්‍රකාශයකි.
දරුවන්ගේ වචන කෝෂය වර්ධනය විය යුත්තේද වයසට ගැළපෙන රටාවකටය. හේතුව ඒ ඒ වයසට අනුව දරුවන් කතා බහ කරන ආකාරයක් වැඩිහිටි මනසේ ඇඳී තිබෙන නිසයි. විෂය කරුණුවලදී බරපතළ වචන උගත්තද දරුවන්, දරුවන් අතර හා දරුවන් වැඩිහිටියන් අතර අන්තර් සබඳතා පැවැත්වීමේදී සාමාන්‍ය දරුවකුගෙන් අපේක්‍ෂිත විනයක් තිබේ. මෙම විනය නොපෙන්වන දරුවා පාසල තුළ හා අනෙකුත් වැඩිහිටි සමාජය තුළ පිළිකුලට ලක්වේ. එහෙත් සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබේ. අප බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකික සංස්කෘතියට හැඩගැසුණු ළමයෙකි. යුරෝපීය දරුවකු ගැන මට එවැනි අදහස් ප්‍රකාශ කළ නොහැකිය.


ඉහත පුංචි වචනයක් නිසා දුරදිග ගිය කතන්දරය දෙස නැවැතත් අවධානය යොමු කරමු. සමහර නිවෙස්වල වැඩිහිටියන් ගැටුම් ඇති කර ගනිද්දී තොග පිටින් නරක වචන මුදා හරී. ඇතැම් නිවෙස්වල සාමාන්‍ය භාෂාවටද නරක වචන භාවිතය පුරුද්දක් ලෙසට එකතු වී තිබේ. දරුවන්ට අමතන්නේද එවැනි වදන්වලින්ය. එවැනි නිවෙසක හැදෙන දරුවකුට නරක වචන එතරම් බරපතළ ඒවා නොවේ. ගිරවුන් මෙන් නිතර කියා පායි. මිතුරන් අතරේද නිතර මුදා හරී. වැඩිහිටියන්ගේ වරදින් නරක වචන හුරුකරගත් මෙවැනි දරුවන්ට මම නම් අනුකම්පා කරමි. මේ දරුවන් දෙස අප බැලියයුත්තේ වෙනත් ආකාරයකටයි. මෙම වචන දරුවාට නිතර ඇසේනම් දරුවා වටහා ගන්නේ ඒවා සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ඒවා මිස මහා වරදක් ඇති වචන ලෙස නොවේ. මේ නොදරුවාට තමන්ගේ වචන භාවිතය නිසා හානියක් වේ යැයි කිසිදු වැටහීමක් නැත. ඒ අර්ථයෙන් ගත්විට නරක් වී ඇත්තේ වචන මිස දරුවා නොවේ.

ඉහත සිදුවීමේ සඳහන් වූ දරුවන් දෙදෙනා මීට වෙනස්ය. ඔවුන්ගේ මවුපියන් පවසන පරිදි නිවෙස තුළ එවැනි වචන භාවිතයක් නැත. එසේ නම් මේ වචනය කිවූ නිසා මේ දරුවන් නරකද? ඉදිරියේදී නරක් වෙයිද? මේ පිළිබඳ විමසා බැලිය යුත්තේ වෙනස් පැතිකඩකින්ය.


කවුරුන් හෝ වචනයක් කියා ඇත. එය දරුවා මෙතෙක් අසා නැති වචනයකි. දරුවාට එය "රෝසමල" "හාවා" වැනිම සාමාන්‍ය වචනයකි. එසේනම් ප්‍රශ්නය එතරම් බරපතළ නැත. ඊළඟට එම වචනය පැවසූ අය එය අමුතු ශෛලියකින් හෝ රහසිගත ස්වභාවයකින් පවසයි නම් ඇසූ දරුවාට තරමක් විශේෂයකි. එහෙත් බරපතළකමක් නොදන්නා නිසා තම මවුපියන්ටද කියයි. මෙතැනදීද ප්‍රශ්නය බරපතළ නැත. තවමත් මේ වචනය ඇසූ දරුවන්ට එය වචනයක් පමණි. වචනය කියද්දී එහි තේරුමද රස කරමින් කියාදෙයි. මේ කුමන අයුරකින් සිදුවුවද මවුපියන් වටහාගත යුතු වැදගත්ම තත්ත්වය මෙයයි. මේ වචන කීමේදී ප්‍රාථමික ශේ‍ර්ණිගත දරුවකු නම් ඔවුන් තුළ වචනය සමඟ වැඩිහිටි හැඟීමක් ඇති නොවන බවයි.


දරුවන් අතරම හුවමාරු වූ මෙවැනි වචන පවසද්දී වැඩිහිටියන් හැසිරිය යුතු ආකාරය කෙසේද? පළමුවැන්න නම් අධික ලෙස කලබලයට පත්වීමෙන් වැළකීමයි. බලන්න ඉහත ගැටලුව ගිය දුර. දරුවන් දෙදෙනාට එම වචනය සාමාන්‍ය ඒවාය. නමුත් මවුපියන්ට ඉතා බරපතළය. ඔවුන් ඒ වචනය පසුපස හඹා යයි. දරුවන් කුමක් සිතයිද? "මේ වචනයේ කුමක් නමුත් අමුතු තේරුමක් ඇති" ඒ නිසා එතැන් සිට දරුවන් එම කුතුහලය නිවා ගැනීමට තවදුරටත් වචනයේ තේරුම සොයයි. ඒ අනුව නරක වචනය නියම විදියටම හුරුකරන්නේ අර වචනය කියාදුන් ළමයාද මවුපියන්ද? නමුත් නිතර නිතර මෙවැනි වචන කියාපාන පුරුද්දක් දරුවා තුළ වැඩේ නම් ඊට ප්‍රතිකර්ම යෙදිය යුතුය. එය මවුපියන් දරුවන්ට ලබාදෙන ආදරය හරහාම විය යුතු දෙයකි. වචනයට අධික බරක් නොයොදා එහි ඇති විශේෂ යමක් නැතැයි මවුපිය තුළින් ඇඟවේ නම් දරුවන්ටද එය භාවිත කිරීමේ වුවමනාව ශේෂ වී යයි. මේ එක ක්‍රමයක් පමණි. එමෙන්ම මවුපියන්ගේ චර්යාධර්ම ගරු කරන දරුවකු නම් කල්යත්ම එවැනි වචන භාවිතය අඩුකරයි.


හොරණ ප්‍රදේශයේ මා සමඟ ඉතා සමීප මිතුරු යුවළකගේ සිඟිති දරුවා දිනක් අප වෙත කදිම ආදර්ශයක් ලබා දුන්නේය. දරුවා අතිශය කටකාරය. සුරතල්ය. එහෙත් පුංචි නරක යැයි සම්මත වචනයක් නිතර කියයි. "අනේ බලන්නකො ගෙදරකට ගෙනියන්නත් බයයි. බස් එකක ගෙනියන්නත් බයයි. හිටිගමන් ඒ වචනෙ කියනව" මිතුරු යුවළ පවසන්නේ සිනහමුසුව නමුත් ගැටලුකාරී පීඩාවකින්ද යුක්තවයි. මම සහ මගේ පවුලේ අය සමඟ සාමීචියේ යෙදී සිටිද්දී දරුවා අර වචනය ශබ්ද නඟා කියන්නට විය. "අන්න පුතේ මතකද එදා මම කියල දීපු කතාව" මිතුරා මින් පෙර මෙම වචනය කීම වැළැක්වීමට උපක්‍රමයක් ලෙස පුංචි කතාවක් කියාදී තිබේ. "මතකද? ඔන්න ගිරව් දෙන්නෙක් හිටිය. එක ගිරවෙක් සාදු පන්සලක හිටිය. අනෙක් ගිරව නරක හොරු ගොඩක් ළඟ හිටිය. හොරා ළඟ හැදිච්ච ගිරව කතා කරන්නෙ මොනවද?" "උඹ කියනවා, පලයන් කියනවා, තෝ කියනවා" ආදී ලෙස දරුවා පිළිතුරු දෙන්නට විය. "ඔව් ඒ ගිරවා නරක වචන කියන නරක ගිරවෙක් වුණා. එතකොට සාදු පන්සලේ හිටපු ගිරවට මොනවද කිව්වේ" නැවැත දරුවාගෙන් ප්‍රශ්න කරන්නට විය. එවිට එක්වරම දරුවා පැවැසූ දෙයින් අපි සියලු දෙනා ඇති තරම් සිනාසුණෙමු. "ඒක මට මතක නැහැ" යන්න දරුවාගේ පිළිතුර වීම හේතුවයි.


මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? මිතුරු යුවළගේ උත්සාහය නරක ගිරවා හරහා නරක වචන නැති කිරීම වුව සිදුව ඇත්තේ ඊට තබන වැඩි බර නිසාම නරක ගිරවාගේ කතාව දරුවාට තවදුරටත් හුරුවීමයි.


කුඩා දරුවකුගේ අයහපත් ගති ලක්‍ෂණයක් ඉවත්කර යහපත් දේ මනසට ඇතුළු කිරීම දැඩි කල්පනාවෙන් කළ යුතුය. ගැටලුව පවතින්නේ වැඩිහිටියාට නරක දේ දරුවන්ට නරක යැයි ඔප්පු කිරීමට දරුවාගේ අත්දැකීම් මඳ බව බාධාවක් වීමයි.
වැඩිහිටි අප එතරම් නොසිතන බොහෝ කාරණා මේ පසුපස පවතී. පළමුව අපි අප ගැනම සිතා බැලිය යුතුය. අපගේ ළමා කාලයේද ඕනෑ තරම් නරක වචන අපට ඇසී තිබේ. ඒවා අපගේ ජීවිතවලට අනර්ථයක් ඇති කළාද? ඒ වචන ඇසීම කිසිවකුට නතර කළ හැකි වූවාද? පවුලක පවතින යහපත් දූ දරු සබඳතා හමුවේ මේ කිසිවකින් හානියක් වීමට ඉඩ ලැබුණේ නැත. අනෙක් අතට කිසිම දරුවකුට සම වයස් ඇසුරෙන් මිදීමට නොහැකිය. හොඳ, නරක දෙකම සම වයස් මිතුරන්ගෙන් අත්දැකීමට සිදුවේ. පූර්ණ පෞරුෂයක් සහිත මිතුරකු නිර්මාණය වන්නේ මේ භාවිතයන් අතරේ ජීවත්වීමෙන් පමණි. නරක වචන භාවිත නොකළද ඒවා සමාජය තුළ පවතින අයුරු කවදා හෝ අපට දැනගැනීමට සිදුවේ. මෙම නුසුදුසු යැයි කෘත්‍රිමව ඉගැන්වීම පහසු නැත. වඩා විශ්වාසයෙන් දරුවන් සමඟ ගනුදෙනු කරන්න. එවිට නුසුදුසු කුමක්දැයි දරුවන්ම වටහා ගනී.


"අරය හරි නරකයි. එයා කතා කරන විදිය දන්නෙ නැහැ. එයා කියන්නෙම කැත වචන" යනුවෙන් මවුපියන්ට වෙනත් දරුවන් පිළිබඳ සිය අප්‍රසාදය පළකරන දරුවන් සිටී. ඔවුන් එසේ කියන්නේ නරක වචන දන්නා නිසයි. එහෙත් එයින්ම තමා කවරකු විය යුතු දැයි ඔවුන්ම වටහාගෙන ඇත. ඒවා නරක බව දැන ගැනීමද ඉගෙනුමකි.
එක්තරා අනතුරු ඇඟවීමක්ද කළ යුතුය. එනම් කිසියම් වැඩිහිටි අයකු දරුවකුට නරක වචන කියාදෙමින් අනවශ්‍ය චර්යා ලක්‍ෂණ පෙන්වයි නම් එය භයානකය. එය "ළමා අපයෝජනයට" අයිති කාරණාවක් එහි අරමුණ අහිංසක දරුවා වරදට පොලඹවා ගැනීම විය හැකියි. මෙය වෙනම මාතෘකාවක් යටතේ විග්‍රහ කළ යුතුය.
කුමන දේ සඳහන් කළත් ඔබේ දරුවන් මේ යුගයට අයත් බවද සිහිතබා ගත යුතුය. අද දරුවන් කණ්ඩායමක් පුංචි රවුමක් හැදී කතාකරන දේට සවන් දුන්නොත් බොහෝ වැඩිහිටි ලක්‍ෂණ දැකගත හැකිවනු ඇත. එදා සමාජයේ වැසී තිබුණු බොහෝ සංස්කෘතික යුගයන් අද වන විට පුපුරා ගොස් දරුවන්ට අකැප දේ විවෘතව පවතී. ළමාකමට හානි වන එම වටපිටාව දෙස මවුපියන්ගේ අවධානය වැඩි විය යුතුය. හැමවිටම දරුවන් කියන නරක දේ පිළිබඳ අන්කවරදාටත් වඩා අද ඔබ විමසිලිමත් විය යුතුය. මා මෙතෙක් පැවැසුවේ ඒවායේ අවගුණ දුරලීමට ඔබේ මැදිහත්වීම උපක්‍රමශීලී හා වඩා බුද්ධිමත් ක්‍රියාමාර්ගයක් විය යුතු බව පමණි. පොඩි දරුවන්ගේ ලොකු කතා වුවත් තවත් දිනක "පොඩි වුන්ගේ ලොකු වැඩ" ගැනද අප හඳුනාගත යුතු යැයි සිතේ.

ආර්. විජේසිංහ
සහකාර අධ්‍යා: අධ්‍යක්‍ෂ
කොළඹ අධ්‍යාපන කලාපය
http://www.mawbima.lk/85-63797-news-detail.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි