Sunday, August 24, 2014

දරුවන්ගේ සෙනෙහසේ නවාතැන වීරවිල ළමා නිකේතනය


 සුන්දර ළමා නිකේතනය
 ආදරයෙන් මල් වලට සාත්තු කරනා දරුවන්
දරුවන්ගේ හෙට දවස තැනෙන්නේ අසීමිත මව් පිය සෙනෙහසත් සමගිනි. එහෙත් දැයක් තනන්නට මෙන්ම ලොව සුවඳවත් කරන්නට සිටිනා සුපිපි මල් කැකුළු වන් දූ දරුවන්ට මව් පිය සෙනෙහස අහිමිව යද්දී එම දරුවන් පත්වන අන්ත අසරණ තත්වය වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. ඇතැමුන් එම දරුවන් තම ඉපයීම් ආර්ථිකයේ වෙළෙඳ භාණ්ඩ බවට පත්කර මුදල් උපයද්දී ඇතැමෙක් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් හැබෑ ලෙසම කැපවන අයුරු ද දකින්නට ඇත.
වීරවිල ළමා නිකේතනය එවන් උදාර පරමාර්ථයන් අනුව බෞද්ධාගමික ඉගැන්වීම් මත ගොඩනැගුණදරුවන්ගේ මවු පිය සෙනෙහසේ නවාතැනකි.
මාපිය රැකවරණය අහිමි දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් ඇරැඹි වීරවිල ළමා නිකේතනය අද වන විට දූ දරුවන් පනස්දෙනෙකුට නේවාසික පහසුකම් ලබාදිය හැකි සුන්දර ස්ථානයක් බවට පත්ව ඇති අතර දැනට දූ දරුවන් විසිදෙනෙකු මෙහි මවු පිය සෙනෙහස ලබති. කළු ගඟට දරුවා දමාගිය අම්මාත්, දරුවන් ගෙදර තබාවිත් නිල්වලා ගඟට පැන්න අම්මා වැන්නන්ට අද වීරවිල ළමා නිකේතනය සිත් සනහන ස්ථානයක් බවට පත්ව ඇත.
මෙහි දරුවන්ගේ ආදරණීය මාපියන්වී සිටින්නේ නීතීඥ හා වැඩබලන මහෙස්ත්‍රාත් පියරත්න බණ්ඩාර හා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඩී. එස්. පත්ම කුලසූරිය මහත්ම මහත්මීන්ය. ඔවුනට මෙහි දරුවන් කථාකරන්නේ අම්මේ, තාත්තේ කියාය. මේ ඔවුන්ගේ හඬයි.
“අපි පාසල් නොයන දරුවන්ට උදව් උපකාර කිරීමේ වැඩසටහනක් ස්වේච්ඡාවෙන් කරගෙන යන අතර 2002 ජූලි 22 තමයි ළමා රැකවරණ මධ්‍යස්ථානයක්, සෙනෙහස අහිමි ළමයින් දෙදෙනෙකු වෙනුවෙන් අපි ආරම්භ කරන්නේ.
අපි පස් හය දෙනෙක් එකතුවෙල රෝහණ ළමා සංවර්ධන පදනම නමින් සංවිධානයක් ගොඩනගාගෙන තමයි මෙය ආරම්භ කරන්නේ. එදා තාවකාලිකව ගෙයක් කුලියට ගෙන අපි මේ වැඩේ පටන්ගන්න විට ගාල්ලෙන් මෙහා ළමා රැකවරණ මධ්‍යස්ථානයක් තිබුනේ නෑ.
එහෙත් අපි දැක්කා බත් ටිකක්, පොත් බෑගයක් දීල ඇතැම් පිරිස් අපේ දරුවන්ගේ ආගමික ලබ්දිය උදුරා ගන්නා ආකාරය. එම තත්වය සුළුවෙන් හෝ විසැඳීමේ අරමුණින් තමයි අපි බෞද්ධ ස්වාමීන්වහන්සේලාගේ අනුශාසකත්වයෙන් තිස්සමහාරාම පොල්ගහවැලෑනේ ගෙයක් කුලියට අරගෙන මෙය ආරම්භ කරන්නේ.
මුල් අවස්ථාවේ පිරිමි දරුවන් හිටියෙ තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ. නායක හාමුදුරුවො තමයි ඔවුන්ට රැකවරණය දුන්නෙ,, නීතීඥ හා වැඩබලන මහෙස්ත්‍රාත් පියරත්න බණ්ඩාර මහතා ළමා නිකේතනයේ ආරම්භය පිළිබඳ ආඩම්බරයෙන් එලෙස පවසති.
2004 දී සුනාමිය එනවිට මෙහි ළමයින් 15 ක් පමණ සිටියද නොයෙක් හේතු ඉදිරිපත් කරමින් ආයතනය ලියාපඳිංචි කිරීම පරිවාස නිලධාරීන් ප්‍රමාද කර ඇත. එහෙත් දිනක් හදිසියේපැමිණි පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් රුක්මනී මහතමියගේ මැදිහත්වීමෙන් ආයතනයට තාවකාලික ලියාපඳිංචිය ලැබාදී ඇත.
“සුනාමියත් සමග මෙරටට පැමිණි නෙදර්ලන්ත T.D.H. ආයතනය හා ලංකා සුළු ධීවර සම්මේලනය එක්ව හදිසියේ අපේ ආයතනයට පැමිණ දරුවන් හා අප අතර ඇති බැඳීම හා දරුවන් අපට අම්මා තාත්තා කියා කථාකරනු අසා සතුටට පත්ව අපිට ආයතනය දියුණු කරන්න, ගොඩනැගිලි හදන්න සල්ලි දෙන්න හැදුවා. අපි සල්ලි එපා කීවා. ඉන් තවත් සතුටට පත් එම පිරිස මාස හයක් වැනි කෙටි කාලයක් තුළ පහසුකම් සපිරි අලංකාර ළමා රැකවරණ මධ්‍යස්ථානයක් ලෙස වීරවිල ළමා නිකේතනය අපට තනාදී අපට මෙය පවත්වාගෙන යන්න 2011 දක්වා ආධාර ලබාදුන්නා. ළමයි ප්‍රමාණයත් පනහක් (50) දක්වා වැඩිවුනා.
2011 සිට කිසිදු අඩුවකින් තොරව පෞද්ගලික මුදලින් මේ දක්වා අපි ලියාපදිංචි ආයතනයක් ලෙස මෙය හොඳින් පවත්වාගෙන යනවා. වීරවිල ළමා නිකේතනය මාපියන් විසින් ද සමහර බලධාරී ආයතන විසින්ද ආදරය, සෙනෙහස, අධ්‍යාපනය, ආහාර, රැකවරණය පැහැර හැර කෘෘරත්වයට පත්කරන ලද දරුවන්ට පුද්ගලික වියදමින් (90% පමණ) ආදරය, සෙනෙහස, අධ්‍යාපනය, ආහාර, රැකවරණය සපයන ආයතනයක්.
ඒ සදහා රජය විසින් නාමිකව මේ දක්වා එක් දරුවෙක් සදහා දිනකට දළ වශයෙන් ශත අසූදෙකක් වැනි වැය බරක් දරා තිබෙනවා.අප ඒ සදහා මාසිකව පුද්ගලිකව රුපියල් ලක්ෂ 1 ½ සිට 2 දක්වාවූ වැය බරක් දරමින් සිටිනවා.
දෙමාපියන්ට හික්මවීමට නොහැකිවු ද ඥාතීන් විසින්ද ප්‍රතික්ෂේපවූ විවිධ විෂමාචාරීවූ ගති පැවතුම් සමගින් පැමිණෙන දරුවන් මේ වන විට මතකයෙන් තුන් සූත්‍රය සහ නවග්‍රහ ශාන්තිය සජ්ජායනා කොට නින්දට යනවා,, පියරත්න බණ්ඩාර මහතා ආයතනය ආ ගමන්මග පිළිබඳ එසේ පවසයි.
මේ වන විට මධ්‍යස්ථානයේ පාලිකාවන් දෙදෙනෙකු හා මුරකරුවෙකු සේවයේ යෙදී සිටිති. මෙහි පහසුකම් සපිරි නිවාස පහක් පමණ ඇත. ඉන් අද වන විට දෙකක පමණක් ළමයින් නේවාසිකව සිටිති. ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා වරක් පැමිණි මොහොතක එහි විශේෂ අමුත්තන්ගේ පොතේ මේ ආයතනය රජයට හා ළමාරක්ෂක කෙෂ්ත්‍රයට ආදර්ශ සපයන ආයතනයක් ලෙස සටහනක් තබා ඇත.
එවන් ඇගයීම් වලට ලක්ව ඇති ආයතනය සමග ප්‍රදේශයේ විහාරස්ථාන වල ඇත්තේ ඉහළ බැදීමකි. ආයතනය පිළිබඳ විහාරාධිපති නාහිමිවරුන් මෙලෙස පවසති.
වීරවිල ළමා නිකේතන කළමණාකරන මණ්ඩලයේ ගරු සභාපතිතිස්සමහාරාම සඳගිරි උභයවිහාරාධිපති මාතර කන්දබඩපත්තුව දෙපලාතේ ප්‍රධාන සංඝනායකආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි - අද ළමයින් භාවිත කර නොඑකුත් ලාභ ප්‍රයෝජන ගන්න ආයතන පවත්වාගෙන යන කාලයක මෙම ආයතනය අපට ඉතා වටිනවා.
මෙය ආරම්භයට අපත් සම්බන්ධ වුනා.මෙය ආරම්භයේ පිරිමි දරුවන් හිටයේ පන්සලේ. එලෙස හිටපු හිටපු ළමයි අපි ළමා නිකේතනයට භාරකළා. මෙය බෞද්ධ වටපිටාවක් තුළ පවත්වාගෙන යන ආයතනයක්. අපි දිගටම මේ ආයතනය සමග සම්බන්ධව හිටියා. වෙනත් කිසිදු ආගමකට අයත් ළමයි අපි මෙහිදී බෞද්ධාගමට හරවාගන්නේත්, වැරදි ක්‍රියා සඳහා යොමුකරන්නේත් නෑ. දිගටම හොඳින් ක්‍රියාත්මක කළා,,
නැදිගම්විල විල්පිට රාජමහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්ම යුත්තික මාතර මහා නිකායේ අනුනායක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම අනුනාහිමි - වීරවිල ළමා නිකේතනය කියන්නෙ බෞද්ධ පරිසරයක් තුළ ක්‍රියාත්මක වන එකම ආයතනය.සියළුම මහා සංඝරත්නයේ ආශිර්වාදය හා උපදේශකත්වය තුලින් ක්‍රයාත්මක තැනක් ලෙසයි හැඳින්විය යුත්තේ.
මෙහි ළමයින් සකස්කරන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුවයි. විනය හදන්නේත් ඒ පසුබිම තුලයි. ඉතිං මෙම මධ්‍යස්ථානය අපේ ගම් ප්‍රදේශයට, එහි දරුවන්ට කරණා සේවය අතිමහත්. මෙය වටිනාම තැනක් මෙන්ම අත්‍යාවශ්‍ය තැනක්.
වීරහෙල ශාන්ති නිකේතනාරාමාධිපති පූජ්‍ය බොරලැස්ගමුවේ විජිතසිරි හිමි - බෞද්ධ ළමා නිකේතනයක් වශයෙන් මෙය අපේ ප්‍රදේශයට ඉතා වටිනා සේවාවක් කරනා තැනක්. සෑම ළමයෙකුට භේදයකින් තොරව සලකනවා. පාලනාධිකාරයත් තම වැඩකොටස ඉතා හොඳින් කරනවා. මෙය ප්‍රදේශයට අත්‍යාවශ්‍ය වටිනා තැනක්,

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි