Monday, August 18, 2014

පුංචි දහම්

පුංචි දහම්

පුංචි දහම් ඉස්කෝලෙ යන ගමන් මා දැක හිනාවෙයි. මම ද හිනාවක් පාමි.
‘ගුඩ් මෝනිං මාමෙ’
‘ගුඩ් මෝනිං පුතා’
පුංචි දහම් ඉස්සර වී යයි. සීයා දහම් ගේ පොත් බෑගය ද ගෙන පස්සෙන් යයි.
පුංචි දහම්ට දඟ හිතක් එයි. ඔහු හිටි අඩියේ ම සීයා දමා පන්තියට දුවයි.
සීයා හෙමිහිට පන්තිය ළඟට ගොස් පොත් බෑගය බාර දී ආපසු එයි.
මේ අපේ ගමේ පුංචි පාසලයි. මගේ දරුවන් එහි නොගිය ද මම පාසල සමඟ සැප දුක බෙදා ගතිමි. එහෙයින් ම විදුහල්පතිත්, දහම් ගේ පන්ති බාර ගුරුතුමියත් හොඳින් හඳුනමි.
පුංචි දහම් ගේ ඇඳුම් පිළිවෙළට නැත. කමිසය පොඩි වී ගොසිනි. එය අවපැහැති ය. කමිස කොලරයේ කට පිස දැමීම ඔහු ගේ පුරුද්දකි.
ඔහුට පාසලින් සපත්තු ජෝඩුවක් ලැබී තිබේ. ඒත් ඒ නොදා, සුපුරුදු සෙරෙප්පු දෙක පැළඳීමට ඔහු ආසා කරයි.
දිනක් පුංචි දහම් පන්තියට ආ හැටියේ ම ගුරුතුමිය ඇමතුවේ ය.
‘ටීචර්, අද මගෙ කමිසෙ ලස්සනයි නේද?’ පුංචි දහම් ගේ කමිසය දෙස හොඳින් බැලූ ගුරුතුමිය ගේ මුව හිනාවකින් හැඩ විය.
‘ආ ඔව් පුතේ. කොහොම ද ඒක වුණේ?’
‘ටීචර්, මං ඊයෙ පොල් මුඩ්ඩක් අරං කමිසෙ හොඳට ඇතිල්ලුව. කුණු ඔක්කොම ගියා.’
‘ඔව්. ඔව්. පුතා කමිසෙ හොඳට හෝදලා තියනව. අන්න එහෙම තමා ඉන්න ඕනැ. තමන්ගෙ වැඩ තමන්ම කරගන්න එපායැ’
පුංචි දහම් ගේ මුහුණ එළිය වූයේ ය.
පොසොන් පොහොය උදා වෙමින් තිබිණ.
පන්තියට ආ හැටියේම පුංචි දහම් සාක්කුවෙන් නෝට්ටු කොළ වගයක් අතට ගෙන ගුරුතුමියට දිගු කළේ ය.
‘ටීචර්, මේ රුපියල් හැට අර ඊයෙ පොසොන් දන්සැලට සල්ලි එකතු කරන්ඩ ආපු මාමලට දෙන්ඩ!’
මුදල ගුරු මේසය මත තැබූ දරුවා සුපුරුදු වැඩට බැස්සේ ය. ඔහු කී පරිදි ම එතැන රුපියල් හැටක් තිබිණ.
පන්තිය ඇරඹෙන සීනුව නාද විය.
සරම කැසපට ගසා ගත් සීයා හෙමිහිට පන්තියට කිට්ටු කොට, දැල් කවුළුවෙන් ඇතුළට එබුණේ ය. ගුරුතුමිය ඔහු දුටුවා ය.
‘කෝ අපේ එකා ඉන්නව ද?’
‘අර ඉන්නෙ’
‘ඒකට උදේම කඩෙන් කෑම එකක් ගන්ඩ කියල රුපියල් හැටක් දුන්න. ඒක කෑම එක අරගෙනත් නෑ. කඩේ පැත්ත පළාතෙ ගිහිල්ලත් නෑ. සල්ලිවලට මොනව කරල ද මන්ද?’
‘ආ ඒක වෙන්ඩ ඇති උදේ මට රුපියල් හැටක් දුන්නෙ පොසොන් දන්සැලට දෙන්ඩ කියල’
‘මේ කතාව ඇහුණු පුංචි දහම් පන්තියේ මැද සිට කෑගැසුවේ ය.
‘මට බඩගිනි නෑ ටීචර්, ඒක දන්සැලට දෙන්ඩ!’
ඊට පසු දින අපේ මාතෘකාව බවට පත්වූයේ මේ කතාව ය.
‘අනේ, මෙහෙමත් හොඳ ළමයි තාමත් අපි අතර ඉන්නවනේ’ ගුරුතුමිය විදුහල්පතිත්, මාත් දෙස බලමින් පැවසුවේ සංවේගයෙනි. ඇගේ දෑස පොඟා තිබිණ.
ඇතැම් දිනවල මට හිටිඅඩියේ පුංචි දහම් මතක් වෙයි.
‘පොඩි එකා කාල ද දන්නෙ නෑ’ මගේ හිත කලබල වෙයි. වැඩක් - පළක් කර ගැනීමට බැරි වෙයි.
මම ළඟ පාත කඩේට ගොස් පුංචි බිස්කට් පැකැට්ටුවකුත්, කෙසෙල් ගෙඩි කිහිපයකුත් ගෙන පන්තිය අසලට යමි.
ගුරුතුමිය මා දැක පිටතට එයි.
‘ටීචර් විවේක වෙලාවෙදි මේක දහම්ට දෙන්ඩ!’
‘හොඳයි’ ගුරුතුමිය එය බාර ගනී.
මම සැහැල්ලුවෙන් ආපසු හැරෙමි.
පාසල ඇරුණු හවසක පුංචි දහම් පාසල් ඇඳි කලිසම පිටන් ම වසු පැටවුන් පසුපස දිව යනු මට පෙනෙයි.
වසු පැටව් නැට්ට උස්සා ගෙන වෙල දිගේ දුවති. පුංචි දහම් ද හුරතලෙන් කෑ ගාගෙන උන් පසුපස දුවයි.
 
හඳපාන්ගොඩ, ගැටකොස්ගහහේනේ, ප්‍රදීප සමරසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
නෙළුම්විල, සිළුමිණ
ලේක්හවුස්, කොළඹ.

1 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි