Wednesday, August 13, 2014

පාසල් නොඑන සිසුන්

පාසල් නොඑන සිසුන් පාසල් ගෙන්වා ගැනීමට
පොලිසියේ සහායෙන් වැඩපිළිවෙළක්

* දිසාපතිවරුන්ට ජනපතිගෙන් නියෝග
* තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 2016දී 75% දක්වා ඉහළ දැමීම රජයේ අරමුණයි
පාසල් නොපැමිණෙන දරුවන් පිළිබඳ සොයා බලා ඔවුන් පාසල් ගෙන්වා ගැනීමට පොලිසිය සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපතිවරයා මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නියෝග කළේය.මාතලේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට ඊයේ (12) උපදෙස් දුන්නේය.
දිස්ත්‍රික්කයේ සාක්ෂරතාව පහළ ගොස් තිබීම සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඉදිරිපත් වූ වාර්තා සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා අවධාරණය කෙළේ රටේම සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින විට මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් මන්දගාමී තත්ත්වයක් තිබිය නොහැකි බවයි.
තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වර්ෂ 2016 වන විට සියයට 75 දක්වා ඉහළ දැමීම රජයේ අරමුණ වන අතර මාතලේ පමණක් පසුගාමී වුවහොත් රටක් වශයෙන් එම ඉලක්කයට යාමට නොහැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
සාක්ෂරතාව අඩුවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පාසල් ළමයින් පාසල් නොපැමිණීම බව මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකානායක මහතා පෙන්වා දුන් අතර පක්ෂ භේදයකින් තොරව සියලුදෙනාට එකතු වී මාතලේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය නඟා සිටුවීමට සූදානම් වන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කෙළේ මාතලේ දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට මාතලේ මහා නගර සභා ශාලවේ දී ඊයේ (12) එක්වෙමිනි.
මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගිතය විමසා බැලීමත් ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීමත් අරමුණු කරගෙන මේ විශේෂ සංවර්ධන කමිටු රැස්වීම පැවැත්විණ. නියඟය පවතින ප්‍රදේශවල වන සතුන්ට ජලය සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකසන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා මිනිසුන්ට පැමිණ තමන්ගේ දුක පැවසිය හැකි වුවත් සතුන්ට එසේ පැවසීමට නොහැකි නිසා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස නියෝග කළේය.
යාල, විල්පත්තුව වැනි අභය භූමිවල සිටින සතුන් රැකගැනීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපතිවරයා රට පුරාම සතුන් පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය. තමන්ගේ දිස්ත්‍රික්කය පමණක් නොව මුළු රටට සේවය කිරීමේ වගකීම මධ්‍යම ආණ්ඩුවේ ඇමැතිවරුන්ට පැවරී තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දිස්ත්‍රික්කයකට සීමා නොවී රටටම වැඩ කිරීම ඔවුන්ගේ වගකීම බවත් ප්‍රකාශ කළේය.
වත්මන් රජය තිබෙන දේ විකුණන රජයක් නොව විකුණා තිබූ දෙයත් ආපසු පවරා ගන්නා රජයක් බවත් රජයේ ඉඩම් කිසිවකුටත් විකිණීමට වර්තමාන රජය කටයුතු කර නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය. දිවිනැගුම වැඩපිළිවෙළ යටතේ ලියාපදිංචි කළ කුඩා කර්මාන්තකරුවන්ට රාජ්‍ය දැව සංස්ථාවෙන් සහන මිලට දැව ලබා නොදීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු අනාවරණය වූ අතර එවන් සහනයක් ලැබෙන්නේ මොරටුවේ ව්‍යාපාරිකයන්ට පමණක් බව දැව සංස්ථා නිලධාරීහූ පෙන්වා දුන්හ.
මොරටුවේ පමණක් නොව රට පුරා සෑම ප්‍රදේශයකම කර්මාන්තකරුවන්ට සහන මිලට ලී සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී දැව සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.  සංවර්ධන කමිටු රැස්වීම්වල දී ඉදිරිපත් වන ගැටලු පිළිබඳ සොයා බලා ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දීම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කළ ජනාධිපතිවරයා රජයට හෝ රටට හෝ බරක් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටින රටවැසියන් රැකගැනීමේ වගකීම නිලධාරීන් සතු බවත් පැවසීය.
නකසල් රක්ෂිතයේ එනසාල් වගා කරන ගොවීන් පිළිබඳවත් මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු අතර ජල පෝෂක ප්‍රදේශ රැකගැනීමට පියවර ගන්නා අතරම එම ගොවීන්ට විකල්ප ඉඩම් ලබා දීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය ඇමැතිවරුන් වන රෝහණ දිසානායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නන්දිමිත්‍ර ඒකනායක, ඉන්දික බණ්ඩාරනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

http://www.dinamina.lk/2014/08/13/_art.asp?fn=n1408133

1 comments:

Ape lami pasal yawanna, kanna nehe, sapaththu nehe, uniform nehe, poth nehe, inne gas yata.

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි