Sunday, August 24, 2014

අත් නොහළ යුතු පත පොත


සාහිත්‍ය කලා කෘති අධ්‍යයනය කරන තැනැත්තා නිතැතින්ම සාහිත්‍යකාමියකු බවට පත් වේ. මෙලෙස සාහිත්‍ය කෘති කියැවීමට නැඹුරු වූවන් පමණක් දන්නා සුන්දර රහසක් නම් අප ගෙවනා ජීවිතය සත්‍ය වශයෙන්ම ඇත්තේ අප තුළ නොවේ සැබවින්ම අපේ ජීවිතය ඇත්තේ මේ සාහිත්‍ය කලා කෘති අතරය.
ජීවිතය විඳීමට කැමැත්තක් දක්වන පුද්ගලයා සාහිත්‍ය කලා කෘති කියැවීමට පෙලඹෙන අතර ඔවුන් නොදැනුවත්වම, චින්තනයෙන්, නිර්මාණශීලිත්වයෙන් හා කලා රසඥතාවයෙන් පිරිපුන් වී සමාජයට දියවර සපයන්නන් බඳු සමාජයට අත්‍යවශ්‍යම පුද්ගලයෝ බවට පත්වෙති.
අතීතයේ ඇමෙරිකාවේ තිබූ ගමක පුංචි දුප්පත් පවුලක සිටි පුංචි පුතෙන් ඉගෙනුමට බොහෝ ඇල්මක් දැක්වුව ද ඒ කාලයේ එරට පැවැති කළු සුදු බේදය නිසා මේ පුංචි පුතාට කුඩා කාලයේදීම හිමි වුණේ වහල් සේවයයි. එහෙත් ඔහු කිසිවිටෙක ඉගෙනීමට තිබූ ආසාව අත් නොහැර තමා කරන සේවයට පඩියක් ලෙස ඒ ඒ නිවෙස්වලින් පුංචි පොතක් ණයට ලබාගෙන රාත්‍රී යාමයේ නගරයේ පහන් කණුවක් යටට වී ඒ පොත් කියවීම පුරුද්දක් කර ගෙන සිටියේය.
ඔහුගේ ඒ අධ්‍යාපනය සහ ජීවිතය අතර කුඩා අවධියේ සිට පැනනැඟුණ නොනිමි අරගලයට සාර්ථකව මුහුණ දුන් ඒ පුංචි පුතාට අවසානයේ හිමි වූයේ ඉතා විශිෂ්ට ප්‍රතිඵලයකි. ඒ ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත්වීමයි. එවන් වූ අභියෝගාත්මක ජීවිතයකට මුහුණ දී තම චින්තනය ඔප්නංවා ගැනීමට ලින්කන් නමැති ඒ කුඩා දරුවාට උපකාර වුණේ නගරයේ පහන් කණුව යට සිට කියැවූ පොත-පතය.
තාක්ෂණ දියුණුවත් සමඟ මිනිසා සහ පොත අතර තිබූ සබැඳියාව කෙමෙන් ගිලිහී යන්නට විය. ඒ කිසිවක් නිසා නොව තාක්ෂණය හේතුවෙනි. එදා විවේකය ගතකිරීමට පොත්පත් කියවීමට පෙලඹී සිටි ජනයා වර්තමානය වන විට අන්තර්ජාලය දුරකථන ආදී තාක්ෂණික අංග සමඟ ගත කිරීමට පෙලඹී සිටිති.
පුංචි අප හෝ මේ මොහොතේ සිටම අපේ ඇල්ම බැල්ම පොත්පත්වලට ලබා දෙමින් ඒ තුළ සැඟවී ඇති දැනුම් සම්භාරය දායාද කර ගැනීමට පෙලඹෙමු.
එරන්දිනී සෞභාග්‍යා
10 ශ්‍රේණිය ‘ඩී’, ගෝතමී බාලිකා විද්‍යාලය, කොළඹ.

http://www.silumina.lk/2013/09/15/_art.asp?fn=au130915

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි