Sunday, August 31, 2014

සයිමන් අර බලහන්කෝ කොල්ලො කෙල්ලෝ ටික කොම්පියුටර් මැෂිමේ බොත්තම් ඔබන හැටි

එව බලව - ඌව පළාත දැනුමේ කේන්ද්‍රස්ථානයක් වන හැටි

රූප පෙට්ටියවත් අල්ලලා නැති ආදිවාසි දරුවන්ටත් ‘කොම්පියුටර්’

“සයිමන් අර බලහන්කෝ අපේ කොල්ලො කෙල්ලෝ ටික අර කොම්පියුටර් මැෂිමේ බොත්තම් ඔබන හැටි”
“ඔව් පීටර් අයියේ මටත් හරි සතුටුයි. එදා ජනාධිපතිතුමා ඕක විවෘත කරන දවසේ මම ආවට පස්සේ අදයි ඕං මං ආවේ මෙතැනට.”
“මේ රතුගලට ලයිට් නැතුව රූපවාහිනියක්වත් අතපත ගාන්න වාසනාවක් නැතිව හිටි අපේ කොල්ලො කුරුට්ටො ටික දැන් කොම්පියුටර් ජිල්මාට් දානවා. අපිට හරි සතුටුයිනෙ බං. අනේ අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අනාගතය දැන් ඉතින් මල් හතයිනේ.”
“ඔව් ඉතින් මේ අපේ ශාන්ත මුදලාලියි ආදිවාසි නායකතුමයි ජනාධිපතිතුමාට කියපු ගමන් එතුමා අපට ලයිට් දෙන්න උපදෙස් දීපු එකත්, එතුමාම ඇවිල්ලා රතුගල ලයිට් විවෘත කළ එකත් කොතරම් හොඳ දෙයක් ද? විශේෂයෙන් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කරපු එක අපේ ලොකු වාසනාවක්නේ සයිමන්.”
පීටර් අයියේ මේ රතුගල ගල්ගමුවේ විතරක් නෙවේ මුළු ඌව පළාතේම මේ වගේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 88 ක් හදනවා. ඒ හැම එකකම පරිගණක 60 ක් තියෙනවා. දැන් ගමේ දරුවන්ට දැනුම තාක්ෂණය ඉහළින්ම ලැබෙනවා.
මේ රතුගල ගල්ගමුව මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය අසල දී අපට ඇසුණු දෙබසකි. ඔවුන්ගේ කථාව ඇත්තය. දැන් ඌව පළාත මහින්ද චින්තනයේ ඉදිරි දැක්මේ සඳහන් අයුරින්ම දැනුමේ කේන්ද්‍රස්ථානය බවට අප රට පත්කිරීමේ වැඩ පිළිවෙළේ ප්‍රධානම බලප්‍රදේශයක් බවට පත්ව තිබේ.
ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඌව පළාත පුරා මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 88 ක් පිහිටුවන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙවැනි එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයකට වැය වන මුදල රුපියල් ලක්ෂ 180 කි.
මොනරාගල මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමෙන් පසු.
මෙම විද්‍යාගාරයක පරිගණක 40 කින් යුත් පරිගණකාගාරයක්, පරිගණක 20 කින් සමන්විත භාෂාගාරය දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකය, විද්‍යාගාරය, ගණිතාගාරය යන අංගයන් ගෙන් සමන්විතය.
මේ අතර ඌව පළාත පුරා මහින්දෝදය තාක්ෂණික විද්‍යා පීඨ 21 ක්ද මේ වන විට ඉදිවෙමින් පවතී. මහින්දෝදය තාක්ෂණික විද්‍යා පීඨයක් සඳහා රුපියල් දසලක්ෂ 80 වැය වේ. ඒ සඳහා තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකරන අතර එහි පළමු මහල ඉංජිනේරු තාක්ෂණවේදී විෂයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා වෙන්කර ඇතැයි ද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මෙම ගොඩනැඟිල්ලේ දෙවැනි මහල ජෛව පද්ධති පිළිබඳ තාක්ෂණවේදී විෂය ධාරාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා තෙවන මහල තාක්ෂණවේදී විෂය ධාරාව හදාරන සිසු සිසුවියන්ගේ කාමරවලින් සමන්විත වන බව ද ඇමැතිවරයා කීය.
මීට අමතරව මෙම පළාතේ ප්‍රධාන පාසල් 8 ක් මහින්දෝදය ද්විතියික පාසල් බවට පත්කෙරෙන අතර ඒවා හැම එකකම තෙමහල් ගොඩනැඟිල්ලක් අලුතින් ඉදිවේ. පරිපාලන සංකීර්ණය උසස් පෙළ විද්‍යාගාරය, පුස්තකාලය යන අංග එහි ප්‍රධාන ලෙස අන්තර්ගත කරනු ලැබේ. මේ මහින්දෝදය ද්විතියික පාසල්වල එක් තෙමහල් ගොඩනැඟිල්ලක් සඳහා රුපියල් කෝටි 4 ක් බැගින් වැය වේ. ඒ අනුව ඌව පළාතේ අලුතින් ඉදිවන නව පාසල් ගොඩනැඟිලි හා මහින්දෝදය විද්‍යාගාර සඳහා වැයවන මුදල රුපියල් කෝටි 360 කට වැඩි වේ.
මීට අමතරව ඌවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට පසුගිය වසර ගණනාවක් තිස්සේ වැඩ කටයුතු රැසක් හිටපු ප්‍රධාන ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් සිදුවිය. ඒ අනුව පසුගිය වසර 5 - 6 වකවානුවේ ඌවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළම ප්‍රගතියක් අත්කර ගත්තේය. ඉන් ලැබු ඉහළම ජයග්‍රහණය වන්නේ උසස් පෙළ විභාග සමත් වීමේ සංඛ්‍යාව අනුව දිවයිනේ දෙවන ස්ථානය ඌවට ලබා ගැනීමට හැකි වීමයි. ඊට අමතරව පසුගිය වසර 5 ඇතුළත බදුල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව සමතුන් සංඛ්‍යාව ද දෙගුණ වී තිබේ. පසුගිය පළාත් සභා කාලය ඇතුළත ඌව පළාතේ අධ්‍යාපන සංවර්ධනය සඳහා වැය කරන ලද මුදල රුපියල් දසලක්ෂ 3191.8 කි.
 අලුතින් ඉදිකළ බිබිල විහාරමහා දේවි විද්‍යාලය
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ප්‍රථම තාක්ෂණික විශ්ව විද්‍යාලය පිහිටුවීම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරමින් තිබේ. මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් හිගුරුගමුවේ පිහිටුවීම ද ඉදිරියේදී සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රමෝපාය අතර දැනුම කේන්ද්‍රය කරගත් සමාජයක ශ්‍රී ලාංකික පුරවැසියන් බවට පත්වීම අපි කාගේත් අපේක්ෂාව වෙමු. එමඟින් ආසියාවේ ආශ්චර්ය බවට පත්වීමට අධ්‍යාපනයේ මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ දායකත්වයක් ඌවෙන් ඇරැඹීමට මේ සියලු කටයුතු හේතු වනු ඇත.
මේ අතර හිටපු ප්‍රධාන ඇමැතිතුමාගේ අදහස් අනුව ඌවේ පාසල් වන නව පන්ති කාමර, පුස්තකාල හා විද්‍යාගාර සඳහා නව ගොඩනැඟිලි ඉදිකිරීම් 238 කට රුපියල් දසලක්ෂ 840 ලබා දී තිබේ. ඊට අමතරව ගොඩනැඟිලි අලුත්වැඩියාවට රුපියල් දස ලක්ෂ 414 ක් පානීය ජලය විදුලිය හා සනීපාරක්ෂක කටයුතු සඳහා රුපියල් දස ලක්ෂ 55 ක් ද ලබා දී තිබේ.
ප්‍රධාන අමාත්‍යතුමාගේ සංකල්පයක් ලෙස පාසල් ගේට්ටු හා ජීව වැටවල් ඉදිකිරීමෙන් පාසල්වල ආරක්ෂාව සුරැකීමට පියවර ගත්තේය. ඊට අමතරව ද්විතියික පාසල් හා සම්බන්ධ පෝෂිත පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දී ඌව පළාත් පාසල් 97 ක් සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ලක්ෂ 507 ක් වැය කිරීමට කටයුතු කළේය.
හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව වැසි යාමට ආසන්නව තිබූ පාසල් 155 ක් ඌව පළාතෙන් හඳුනාගෙන තිබේ. ඒවා කැපකරු විදුහල් ක්‍රමය යටතේ දියුණු කිරීමට කටයුතු කර ඇත. මේ සඳහා කැපකරු ආයතන කිහිපයක් රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් හඳුනාගෙන එම ආයතන හරහා පාසල්වල දියුණුව කඩිනම් කිරීමට කටයුතු කෙරිණි.
මේ අතර ICTA ආයතනය විසින් ඌව පළාතේ බාල, තරුණ, මහලු ජනතාවගේ තොරතුරු තාක්ෂණික සන්නිවේදන දැනුම දියුණු කිරීම සඳහා ‘නැණසල’ 92 ක් ඌව පළාත පුරා පිහිටුවා තිබේ. ඉන් 45 ක් බදුල්ලේ ද 37 ක් මොනරාගල ද පිහිටුවනු ලැබීය. මේ එක් එක් නැණසල මධ්‍යස්ථාන මඟින් මසකට 5000 කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලබන බව ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.
මෙහිදී කැපකරු ආයතන ස්වේච්ඡාවෙන් සහභාගි වී ඉගැන්වීම් කටයුතු සිදුකරන අතර ශ්‍රමදානය හරහා ගමේ ජනතාව ද එකතු වී පාසලේ නඩත්තු සිදු කරයි.
මීට අමතරව ප්‍රධාන ප්‍රසිද්ධ විභාග ත්‍රිත්වය වන ශිෂ්‍යත්වය සාපෙළ හා උසස් පෙළ විභාග සඳහා හිටපු ප්‍රධාන අමාත්‍ය තුමාගේ සංකල්පයක් මත ‘සිප්සර උදානය’ නමින් සිසු සම්මන්ත්‍රණ මාලාවක් ද පැවැත්වේ. ප්‍රවීණ විද්වත් මණ්ඩලයක් හා විශ්ව විද්‍යාල ආචාර්යවරු මෙහිදී දේශන පවත්වති. විශේෂයෙන් ප්‍රධාන විභාග ඉලක්ක කරගෙන ප්‍රශ්න උත්තර සාකච්ඡා කරනු ලැබේ.
මේ සඳහා පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මේ වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 50 ක් වැය කරනු ලැබේ. ඒ අනුව 2009 සිට 2013 දක්වා වසර 5 ක් සඳහා රුපියල් ලක්ෂ 250 ක් වැය කර තිබේ.
මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ පුස්සැල්කන්න මහා විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. රත්නපාල මහතා පැවසුවේ මෙම සිප්සර උදාන වැඩ පිළිවෙළ නිසා ජාතික විභාගවලින් උසස් ප්‍රතිඵල ගැනීමට ඌව පළාතේ සිසු දරුවන්ට අවස්ථාව ලැබී ඇති බවයි.
මීට අමතරව ප්‍රසිද්ධ විභාග ඉහළින් සමත්වීම සඳහා තවත් වැඩ පිළිවෙළ රැසක් පසුගිය වසර 5 ඇතුළත ක්‍රියාත්මක විය.
දුෂ්කර පාසල්වල ගුරු ඌණතා සම්පූර්ණ කිරීම, අඛණ්ඩ ගුරු සංවර්ධන කටයුතු සිදු කිරීම, විභාග පෙරහුරු පරීක්ෂණ පැවැත්වීම හා විදුහල්පතිවරුන් බලගැන්වීම හා දෙමවුපියන් බලගැන්වීම ආදිය මඟින් ඌව පළාතේ දූ දරුවන්ගේ ඇස් පෑදීමට පසුගිය වසර 5 ඇතුළත කටයුතු කර තිබේ.
ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් සියලු දෙනාටම අද රැකියා ලබා දී ඇත. ඊට අමතරව ගුරු ගම්මාන වැඩ පිළිවෙළ, මුල් ළමාවිය සංවර්ධන වැඩ පිළිවෙළ ද ඌව පළාත පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ජාතික අධ්‍යාපන නියමයට අනුව ගුරු සිසු අනුපාතය සිසුන් 17 කට ගුරුවරු එකක් වුවද ඌව පළාතේ එය සිසුන් 14 කට එක් ගුරුවරයකු දක්වා වර්ධනය කර ගැනීමට පළාත් අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව හැකියාව ලැබී තිබීම සුවිශේෂී කටයුත්තකි.
මේ අතර 2016 වන විට පළාතේ සියලුම පාසල්වල පාදක ගුරු සංවර්ධන ක්‍රියාවලිය ඌව පළාතේ සියලුම පාසල් ඇතුළත ක්‍රියාත්මක කිරීමට යෝජිතය. 2016 වන විට පළාතේ සියලුම පාසල් නඟා සිටුවීමේ වැඩ සටහනට ඇතුළත් කොට සැලසුම් කරන ක්‍රමවේදයක් අනුගමනය කරමින් පාසල් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබේ.
ඒ සමඟම 2016 වන විට පාසල් පාදක ගුරු සංවර්ධන ක්‍රියාවලිය ඌව පළාතේ සියලුම පාසල් ඇතුළත ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරනු ලැබේ. මීට අමතරව ඌව පළාතේ කෘෂිකර්මය සංවර්ධනය කිරීමට නව තාක්ෂණික ක්‍රම වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඌවේ 2009 දී අර්තාපල් අස්වැන්න වූයේ මෙට්‍රික් ටොන් 51600 කි. නමුත් ඒ ප්‍රමාණය 2011 වන විට මෙට්‍රික් ටොන් 59655 ක් දක්වා වැඩි වී තිබේ. ඒ නව තාක්ෂණික ක්‍රම නිසාය.
ඒ සමඟම කිලෝ ලක්ෂ ගණනක් බීජ අර්තාපල් වැඩිපුර ලබා ගැනීම පිණිස වැලිමඩ පාලුගම සමූහ බීජ අර්තාපල් ගොවිපළ හා බොරලන්ද පිටපොළ බීජ අර්තාපල් ගොවිපළ නවීකරණය කිරීමට කටයුතු සිදු කරමින් පවතී. ඊට අමතරව වැඩි අස්වැන්නකින් යුත් පෙරමූලික බීජ යොදා ගැනීම හා පරිසර හිතකාමී අයුරින් කෘමිනාශක අවම කිරීම හා කාබනික පොහොර අවම ලෙස යෙදීම මඟින් ප්‍රදේශයේ පරිසරය සුරැකීමට ද පියවර ගෙන ඇත.
උක් වගාවෙන් බදුල්ල දිස්ත්‍රික්කය ස්වයංපෝෂිත කිරීමට ද කටයුතු කෙරේ. කුඩා පරිමාණයේ වගාකරුවන් සඳහා හෙක්ටයාර් 250 බැගින් හෙක්ටයාර 3750 ක් වගා කිරීම, බදුල්ල දිස්ත්‍රික්කය පුරා අලුතින් උක් කර්මාන්ත ගාල 30 ක් ආරම්භ කිරීම හා එමඟින් අලුත් රැකියා අවස්ථා 600 ක් උත්පාදනය කිරීමට ද කටයුතු කෙරේ. ගොවීන් 5000 ක් පමණ ස්වයං රැකියා උත්පාදනය කිරීමට ද සාමාජිකයන් 30 දෙනා බැගින් යුත් කුඩා සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලා පිහිටුවීම හා එමඟින් බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළත සීනි මෙට්‍රික් ටොන් 20000 ක් නිපදවීමට ද කටයුතු කිරීමට සීනි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ සියලු කටයුතු මඟින් අපනයන වෙළෙඳ පොළට ද සීනි ලබා දී සීනි සඳහා පිටරට යැවුණු රුපියල් කෝටි 200 ක් පමණ වූ විදේශ විනිමය මේ රටේ ම ඉතිරි කර ගැනීමට ද කටයුතු කෙරේ. ඊට අමතරව ඇල්ල නගරය ආශ්‍රිතව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට හා බදුල්ල බණ්ඩාරවෙල හා මහියංගණය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට ද කටයුතු කෙරේ. ඌව පළාතේ ප්‍රධාන ප්‍රවේශ ආශ්‍රිතව සංචාරක පහසුකම් සපයන මධ්‍යස්ථාන පිහිටුවීමට ද හපුතලේ ප්‍රදේශයේ සංචාරක නැරැඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද කටයුතු කෙරේ.
මේ අතර දොරින් දොරට ගමින් ගමට සංවර්ධනය සඳහා වූ ජාතික සැලැස්ම යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා රුපියල් කෝටි 173 ක් ලබා දී ඇත. මේ යටතේ මොනරාගල ග්‍රාම නිලධාරී වසම් 319 ක් යටතේ සංවර්ධන වැඩ සටහන් 319 ක් ඇතුළු වැඩ සටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.
මේ සියලු කටයුතුවලින් දැන් ඌව පළාතේ සිසු පරපුරට පමණක් නොව තරුණ හා වැඩිහිටි පරපුරට ද අවශ්‍ය පරිගණක, තොරතුරු තාක්ෂණ, කෘෂිකාර්මික හා ව්‍යාපාරික දැනුම ලබාදීමට කටයුතු කර තිබේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම හා පසුගිය ඌව පළාත් සභාවේ විධිමත් වැඩ කටයුතු මඟින් ඌව පළාත අපේ රටේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයි අපේ විශ්වාසයයි.
මේ අතර ඌව පළාතේ විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට පසුගිය පළාත් සභා කාල‍යේ දී වැඩ කටයුතු රැසක් කෙරී ඇත. බදුල්ල රෝහල ඉහළම මට්ටමට සංවර්ධනය කර තිබේ. බදුල්ලේ පිළිකා රෝහලක් ඉදිකර ඇති අතර එහි බාහිර රෝගී අංශයට රුපියල් ලක්ෂ 4000 ක් වැය කර තිබේ. තැලසීමියා හා හෘද රෝග සැත්කම් ඒකකයක් ද මෙහි පිහිටුවා ඇත. ඊට අමතරව ගිරාඳුරුකෝට්ටේ රෝහලට වකුගඩු ඒකකයක් ද, මහියංගණ රෝහල නවීකරණය කිරීම ද බදුල්ල රෝහලට නවීනතම ස්නායු යන්ත්‍රයක් සවිකර ඇති අතර බදුල්ල ඔසුසල නවීකරණය කර තිබේ. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කය පුරා ගිලන් රථ 10 ක් බෙදා දී තිබේ. ඒ සමඟම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය හා පරිසර හිතකාමී වගා කටයුතු ක්‍රියාවට නංවා ඌව පළාත ඇතුළත නිරෝගී පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබේ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි