V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Saturday, October 25, 2014

අයියණ්ඩිය බිය නොවන්න, මැරෙනා සැටි මම පෙන්වමි'

අයියණ්ඩිය වන ලොකු බණ්ඩාර මරණය අබියස මුලුගැන්වෙද්දී මද්දුම බණ්ඩාර නිර්භීතව ජීවිතය පූජා කළේය. 'දරුවනි බිය නොවන්න, අපි මරණයට නියම වී සිටින්නෙමු. කෘර වඩිගයාගේ පිපාසය අපේ ලෙයින් සංසිදේවා!!! මේ බිලි පූජාවෙන් නුඹලාගේ පියාණන් වහන්සේට යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු' යනුවෙන් ඇහැළේපොළ කුමාරිහාමි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඇසෙන සේ හඬ නගා කෑ ගසා කීවාය.
සෙංකඩගල නුවර නාථ දේවාල භූමියෙහි පිහිටි වැලි බෝධිය දකුණුපස වූ 'දේව සංහිඳ' නමින් හැඳින්වෙන ස්ථානයෙහි මෙම සිදුවීම සිදුවිය. ඇහැලේපොළ මහ අදිකාරම්ට සහ ඇහැලේපොළ කුමාරිහාමිට දාව උපන් කිරි දරුවා වංගෙඩියක දමා කෙටීමට කුමාරිහාමිට මෙදින සිදුවිණි. අනතුරු කුමාරිහාමිට බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත්කළාය.
ලංකා ඉතිහාසයේ හෝ සමහර විට ලෝක ඉතිහාසයේ සඳහන් වන රජ කෙනෙකුගේ අතින් කළ කෘරතම මිනිස් ඝාතනය මෙය වෙයි. ඇහැලේපොළ කුමාරිහාමිගේ අභීත වදන් සහ මද්දුම බණ්ඩාරගේ නිර්භිත වදන හා ක්‍රියාව ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත.
මව, පියා සහ පුතු යන එකම පවුලක තිදෙනෙකු පිළිබඳ වීර චරිත ලංකාවේ හැරෙන්නට ලෝකයේ කිසිම රටක සිටි බව ඉතිහාසයේ සඳහන් නොවන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. එමෙන්ම හත් හැවිරිදි මද්දුම බණ්ඩාර මරණය අබියස පෙන්වූ නිර්භීත බව ලොව කොතැනකවත් එම වයසේ දරුවෙකුගෙන් සිදුවී නොමැති බවද ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
සර් පෝල් ඊ. පීරිස්ගේ කෘතියක සඳහන් වන අන්දමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (ක්‍රි.ව. 1798 - 1815) මහ අදිකාරම් ධුරය දැරූ ඇහැලේපොළ මහ අදිකාරම්ට හිමි වූ ඉරණම විග්‍රහ කර තිබේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෘර පාලනයෙන් රටත්, ජාතියත්, මුදාගැනීම පිණිස 1814 මැයි මස සබරගමුවේ කැරැල්ල ආරම්භ විය. කැරැල්ලට නායකත්වය දුන්නේ ඇහැලේපොළ මහ අදිකාරම් ඇතුළු උඩරට නිළමේවරුය.
'බුද්ධාගම රුකගත යුතුයි, සිංහල සිංහාසනය සිංහලයකුටම උරුම කළ යුතුයි, ඒ වෙනුවෙන් සටන් කරමු' යැයි ඇහැලේපොළ මහ නිළමේ උඩරට නිළමේවරුන් අමතා ප්‍රකාශ කළේය. එවැනි අභීත ප්‍රකාශයක් කළැයි කියන ඇහැලේපොළ මහ අදිකාරම් රට පාවාදුන්නේ යැයි කීම පිළිගැනීමට හැකිද යන්න වර්තාමානයේ පවතින කතිකාවති.
සර් පොල්. ඊ. පිරිස්ගේ කෘතියේ සඳහන් වන අන්දමට මාම්පිටියේ වාසල බණ්ඩාර උඩරට සිහසුනට ඔටුනු පළන්දා යළි සිංහල රාජ්‍ය වංශයක් පිහිටුවීමේ අදහස උඩරට නිළමේවරුන් අතර විය. ශ්‍රි දළදා මැදුරේ දියවඩන නිලමේ ධුරය දැරූ ඔහු මාම්පිටියේ දුග්ගන්නා දේවියගේ පුත්‍රයෙකි. මාම්පිටියේ වාසල බණ්ඩාර විසින් ඇහැලේපොළ මහ අදිකාරම්ට යවන ලද ලිපියක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතට පත් වී ඇහැලේපොළ මහ අදිකාරම්රාජ උදහසට පත්විය. මාම්පිටියේ වාසල බණ්ඩාරට මරණීය දඬුවම නියම විය.
මාම්පිටියේ වාසල බණ්ඩාරයන් යටතේ සිංහල රාජ්‍ය වංශයක් පිහිටුවීමේ පිළිමතලාවේ අදිකාරම්ගේ සැලසුම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හෙළි විය. මේ වනවිට ලංකාවේ මුහුදුබඩ පළාත්වල බලය තහවුරු කරගෙනසිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට මුළු ලංකාව තුළම ඉංග්‍රිසී බලය තහවුරු කිරීමට අවශ්‍ය විය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා උඩරට රදලයන් අතර පැවැති අරගලය දිනෙන් දින දරුණුවිය. 1814 මාර්තු මස දිනක ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්වුණු පිළිමතලාවේ මහඅදිකාරම්ගේ හිස ගසා මරණයට පත්කළේය. සබරගමුවේ මහ අදිකාරම්ව සිටි ඇහැළේපොළ මහ අදිකාරම්ට පිළිමතලාවේ මහ අදිකාරම් මරණයට පත්කළ බව දැනගන්නට ලැබී දැඩි වේදනාවටත්, කෝපයටත් පත්විය.
උඩරට නිළමේවරු රජු සමග දැඩි ලෙස උරණ වූහ. ඇහැලේපොළ මහ අදිකාරම් සබරගමුවේ ප්‍රාදේශිය නායකයන් ඒකරාශී කොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එම කැරැල්ල සාර්ථකව  මර්දනය කළේය. අනතුරුව රජු ඇහැලේපොළ මහ අදිකාරම් අල්ලාගෙන එන ලෙස රාජ නියෝගයක් නිකුත් කළේය. ඇහැලේපොළ මහ අදිකාරම් ඉංග්‍රිසීන්ට එකතු විය.
ඉංග්‍රීසින්ට එක්වූ ඇහැලේපොළ මහ අදිකාරම් සමග උරණ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ මහ අදිකාරම්ගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ හිස ගසා මරා දැමීමටත්, කිරි දරුවා කුමාරිහාමි ලවා වංගෙඩියක දමා කොටා මැරීමටත්,කුමාරිහාමි නුවර වැවේ ගිල්වා මරාදැමීමටත් නියෝග කළේය. මේ සැහැසි ක්‍රියාවට උඩරට රදලයන් සහ රටවැසියන් කෝපයට පත්වූහ. ඔවුන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රජකමෙන් නෙරපා දැමීමට ඉංග්‍රීසින්ට උදවු කළහ.
මැද මහනුවරදී ශ්‍රී වික්‍රම රජු ඇතුළු පිරිසක් ඉංග්‍රිසී හමුදාව යටතට පත්වූහ. 1815 මාර්තු 02 වැනිදා  උඩරට රදලයන් හා හෙන්රි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා අතර උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව මුළු ලංකාවම බ්‍රිතාන්‍ය කිරීටය යටතට පත්විය.
ඇහැලේපොළ මහ අදිකාරම්ගේ ඡන්ම භූමිය උතුරු මාතලේ උඩුගොඩ උඩසියපත්තුවට අයත් ඇහැලේපොළ ග්‍රාමයයි. විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ නම් වූ ඇහැලේපොළ මහ අදිකාරම්ගේ බිරිඳ ඇහැලේපොළ කුමාරිහාමි කැප්පෙටිපොළ මහ දිසාවගේ සහෝදරියකි.
මද්දුම බණ්ඩාර ළමා වීරයා අභීතව ජීවිතය පූජා කොට අවුරුදු දෙසීයක් පිරීම නිමිතිකර ගුණ සමරු උත්සවයක් ඇහැලේපොළ රජමහා විහාරයේදී පසුගිය 17 වැනිදා පැවැත්විණි. 
මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න

http://ada.lk/





අටුවැහිළිහිණියන් ඔබත් දැක තිබේද?







කාගේත් අවධානය ගනිමින් සෑම වසරකම මෙම කාලයේදී රත්නපුරයේ විදුලි කම්බි වල රාත්‍රිය ගතකරන දහස් ගණනක් වූ අටුවැහිළිහිණියන් ඔබත් දැක තිබේද? වසරක් පාසා ලංකාවට සංචාරය කරනා අටුවැහිළිහිණියා නම් වූ මේ කුරුල්ලන් (Barn Swallow) ගොම්මන් අඳුරත් සමග රත්නපුරයේ විදුලි කම්බිවල දහස් ගණනින් ලැගුම් ගැනීම සිරිතකි. මේ වසරේ මුල්ම අටුවැහිළිහිණියන් රංචුව සැප්තැම්ර් 8 වැනි දින නිරීක්ෂණය කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය පවසයි. ඉදිරි සති කිහිපයේදී තවත් බොහෝ කුරුල්ලන් ලංකාවට පැමිණෙනු ඇත.
සෑම වසරකම මේ කාලයේදී ශ්‍රී ලංකාව බලා සංචරණය කරන කුරුල්ලෝ සමූහය වඩාත් නිවැරදිව නිහැරියන් ලෙස හඳුන්වයි. මේ සංචාරක කුරුල්ලන් සමහරෙක් අපේ ගෙවත්තේ පවා දැකගත හැකිය. අවිච්චියා, සුදු රැහැන්මාරා, නිල්පෙද බිඟුහරයා වැනි පොදු කුරුල්ලන් වසරක් පාසා ශ්‍රී ලංකාවට එන අටුවැහිළිහිණියන් මෙන්ම අපේ ගෙවත්තේ පවා දැකගත හැකි අපේ නෑදෑයෝ වෙති.
කුරුල්ලන් නැරඹීම ප්‍රචලිත කිරීමටත්, නිහැරියන් පිළිබඳ දත්ත සටහන් කරගැනීමේ අවශ්‍යතාවය ඉස්මතු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය නිහැරි නිකසුම  (Migrant Watch) නමින් වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙයට කුරුල්ලන් අධ්‍යයනයට උනන්දුවක් දක්වන නවකයන්ටද සහභාගී විය හැකි අතර, ඔවුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ශ්‍රී ලංකා කේෂ්ත්‍ර පක්ෂි අධ්‍යයන කවය විසින් සංවිධානය කර ඇත. මේ වසරේදී මේ තාක් දුටු නිහැරියන්ගේ ඡායාරූප සහ වැඩි විස්තර 
www.migrantwatch.wordpress.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මෙම වසරේ නිහැරි නිකසුම (Migrant Watch) හි ප්‍රධාන දේශනය, වසරක් පාසා ශ්‍රී ලංකාවට එන නිහැරියන් මාතෘකාව යටතේ මහාචාර්ය දේවක වීරකෝන් විසින් හෙට (27දා)  පෙ.ව. 9.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ පවත්වනු ලබන අතර, ක්ෂේත්‍ර වැඩසටහන (කුරුල්ලන් නැරඹීමේ වැඩසටහන) කුරුලු පාරාදීසයක් වූ පැලවත්ත, බත්තරමුල්ල, තලංගම වැව අසලදී හෙට (28දා) උදෑසන 7.00 – 10.30 දක්වා පවත්වනු ලබයි. කුරුල්ලන් නැරඹුම හා ඔවුන්ගේ සංරක්ෂණයේ අවශ්‍යතාවය ඉස්මතු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන නොමිලේ පවත්වනු ලැබේ.




Who am i..............................???

සමන්මලි පද්මකුමාරගෙන් ඉංග්‍රීසි ළමා පොත් දෙකක්

ප්‍රවීණ ලේඛිකාවක වන සමන්මලි පද්මකුමාරගේ නවතම ග්‍රන්ථ යුවළ Who am i 1 සහ Who am i 2 ලෙස පසු ගිය දා එළි දැක්විණි.
දරුවන්ගේ මනස ඉතාමත් ශීඝ්‍රයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කරා ඇදි යන සමයක කියවීම අත්‍යාවශ්‍ය අංගයක් ලෙස ළමා සාහිත්‍ය රසයෙන් දරුවන් පෝෂණය ‍කරමින් කියැවිමෙන් පරිපූර්ණ මිනිසකු බටව පත් කිරිම ඇගේ සැම
ළමා කෘතියකම අරමුණ වී තිබේ.සෑම දේකටම නොබියව මුහුණ දිමටත් අප දකින කියන සැම දෙයින්ම හොඳ පුරුදු පමණක් උකහා ගැනිමෙන් ධනාත්මක සිතුවිලි දරුවන් තුළ වඩවා ගැනීම මෙහි පළමු කෘතියට පසුබිම් වි ඇති අතර මෙරට ජනප්‍රිය සහ ආදර්ශවත් චරිත කිහිපයක් තෝරා ගනිමින් අභියෝගයන්ට මුහුණ දෙමින් කුඩා කල සිට සිය අරමුණු කරා යෑමේ නිසි මෙහෙයවීම ‍මෙහි දෙවැනි කෘතියෙහි අන්තර්ගතය වි ඇත. 

http://www.silumina.lk/2014/10/26/_art.asp?fn=av14102613

‘ආදර මගෙ අම්මා’ ගී තැටිය එළිදකි


එස්. බී. රත්නායක නිර්මාණය කළ ‘ආදර මගෙ අම්මා’ සංගත තැටිය පසුගිය දා එළිදුටුවේය. ශෂිකලා සමරසිංහ, ටනාකා තාරකි නිර්මාණි, රවිඳු නදීෂාන් ගී ගායනයෙන් එක්ව ඇති මෙහි සංගීතය හේමලාල් ගීතදේව ගෙනි.
ජනිත මාරසිංහ නිෂ්පාදනය කළ “මගේ යාළු මාළු” නවතම ළමා චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ලෝක ළමා දිනය නිමිත්තෙන් බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවේදී පාසල් දරු දැරියන් සඳහා පවත්වන ලදී. මේ සඳහා කොළඹ තෝරාගත් පාසල් කිහිපයකින් දරු දැරියෝ 600 ක් පමණ සහභාගි වූහ.
තායිලන්තයේ සහ ශ්‍රී ලංකාවේ රූපගත කරන ලද “මගේ යාළු මාළු” දරුවන් සහ ස්වභාව ධර්මය අතර ඇති ළබැඳියාව විදහාපාන චිත්‍රපටයකි. සොබාදහම රකින දරුවන් සොබාදහම මඟින්ම රකින අයුරු මෙම චිත්‍රපටයේ කතාබහට ලක්වෙයි.
ළඟදීම තිරගත වීමට නියමිත “මගේ යාළු මාළු” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය රීගල්, ලිඩෝ, ඕඩියන් ඇතුළු CEL-රිද්මා ඒකාබද්ධ මණ්ඩලයේ සිනමා ශාලාවලදී සහ www.facebook.com/janithafilms වෙබ් අඩවියට පිවිසීමෙන් නැරැඹිය හැකිය.

http://www.silumina.lk/2014/10/26/_art.asp?fn=av14102615

ගොරක යකා

අපේ අත්තම්මා හැමදාම උදේම වත්ත පහළට ගිහින් පුවක්, සාදික්කා ගම්මිරිස් කරල්, ගොරකා ඇහිඳගෙන හෙමින් හෙමින් ගෙදරට එනවා.
එක දවසක අත්තම්මා වත්ත පහළ ඇළ අයිනෙන් පළා ටිකක් කඩාගෙන ගෙදරට එනකොට ගොරක ගහ යට ගොරක ලෙලි ගොඩක් වැටිල තියෙනවා දැක්කා. අත්තම්මා ගොරක ලෙලි ඇහිද ඇහිද ඉන්න කොට අත්තම්මගෙ පිටට‍ ගොරක ගෙඩියක් වැටිලා. ටික වෙලාවකින් ගොරක ගෙඩි කිහිපයක් ම අත්තම්මගෙ පිටට වැටිලා. ඒ පාර නම් අත්තම්මා හොඳටම බය වෙලා. හෙමින් හෙමින් වට පිට බැලුවත් කිසි කෙනෙක් දැක්කෙ නෑ. ඒ නිසා ඇහිඳ ගත්ත ගොරක ලෙලි ටිකත් ගහයට දාල කලබලයෙන් හයියෙන් ගෙදර ඇවිල්ලා කතා බහක් නැතුව බයෙන් වත්ත දිහා බලාගෙන ඉන්නවා දැක්ක. මාමා අත්තම්මා බය වුණේ ඇයි කියල අහල බැලුවා.
අත්තම්මා කිවුවා “අනේ! පුතේ මම ගොරක ඇහි දිනකොට මගෙ පිටට ගොරකවලින් කවුදෝ ගැහැව්වා. වටපිට බැලුවා කිසි කෙනෙක් දැක්කෙ නෑ. ගොරක ගහට යකෙක් ඇවිල්ල ද කියල මම බය වුණා.”
මේ කථාව අහපු මාමා ගොරක ගහ ළඟට ඉක්මනින් ගියා. ටික වෙලාවකින් මාමගෙ පිටටත් ගොරක ගෙඩි වැටුණා. මාමාත් ටිකක් බයවෙලා හෙමින් හෙමින් වට පිට බැලුවා. ඒත් කවුරුවත් දැක්කෙ නෑ. පසුව මාමා සද්ද නොකර ටිකක් වෙලා ඉඳලා ගොරකා ගහ උඩ බැලුවා. මෙන්න ලොකු වඳුරෙක් ගොරක මද කකා ලෙලිවලින් ගහනවා.
මාමා දැනගත්තා අත්තම්මා බයවුණේ මේ වඳුරට කියල මාමා හයියෙන් කෑගහපු සද්දයට බය වුණු වඳුරා එහා වත්තෙ කොස් ගහට පැනල ගියා.
මාමා ගෙදර ඇවිත් අත්තම්මට කිවුවා “බයවෙන්ට එපා ගොරක ගහ උඩ යකෙක් හිටියේ නෑ හිටියේ ලොකු වඳුරෙක්. වඳුරා ගොරක මද කාල ලෙලිවලින් ගහල තියෙන්නේ” බයවෙලා හිටපු අත්තම්මට හිනාවක් ගියා” වඳුරා කළ දේට මම බයවුණු තරමක් කියල.
(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
එනිදු සුපසන් ප්‍රේමසුන්දර,
2 ශ්‍රේණිය ‘බී’,
කේරි විදුහල, කොළඹ 8.

http://www.silumina.lk/2014/10/26/_art.asp?fn=au141026

Monday, October 20, 2014

මං ගෙන ගොසින්...


වනයේ තිබෙන වල් කා මට ඉන්න නොදී
ගෙනවිත් නගරයට දෙපයට විලංගු දී
හෙණ්ඩුවකින් ඇන මට හරියට වද දී
ඉගැන්නුවා යන හැටි පෙරහැරේ දී
මා ගත වැසෙන්නට ඇඳුමක් ඇන්දුවා
ලස්සන විදුලි බුබුළින් එය හැඩ කෙරුවා
හේවිසි නැටුම් අතරින් මා රැඳවූවා
පෙරහර හැඩ කරන් මට යන්නයි කීවා
බෙර හඬ දවුල් හඬ සවනට ඇසුණාම
මා ගත නැටවුණේ සිතටත් නොදැනීම
දරුවන් මගේ හැඩ බලනව දුටුවාම
ආඩම්බරයකුත් දැනුණා මං ගැනම
පන්දම්කරු නොදැන ගිලිහුණු ගිනි පුපුරක්
පෑගුණු ගමන් පෙනුණා මට තරු පොකුරක්
එනිසයි දැඟලුවේ මම ඔසවන් කකුළක්
තේරුම් ගන්න නුඹලට නැතිදෝ මොළයක්
“අලියකු කුලප්පුයි” කවුදෝ කෑ ගැසුවා
මරහඬ තලන් ජන ගඟ ඈතට දිවුවා
සමහරු පොලු අරන් මා පසුපස ආවා
යන එන මඟ නොදැන මා අසරණ වූවා
අල්ලන් මාව කඹයක් ගෙන ගස් බැඳලා
තලමින් හෙණ්ඩුවෙන් හොඳහැටි වද දීලා
ඇයි මට බනින්නේ මනු සතුනේ නුඹලා
කෙලෙස කියන්දෝ මගෙ දුක කට ඇරලා
පෙරහර කරවනා ලොකු ලොකු මහතුන්නේ
අලි දුක ගැනත් පොඩියට හරි හිතපන්නේ
දොහොත් නගා වැඳලයි මේ පවසන්නේ
මං ගෙන ගොසින් මහ කැලයට දමපන්නේ


කේ. ජී. ප්‍රදීපා මහේෂිකා
13 ශ්‍රේණිය (2015 කලා),
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහා විද්‍යාලය,
හාලිඇළ, බදුල්ල

පිච්ච මලක්








පිච්ච මලක්

ගීතිකා ගයා නටන්න සැවොම එක්වෙලා
වෙනදා වාගේ සඳ කුමාරි ආවේ නෑ කියා
තාරුකා කුමාරියක් රැයේ හැඬු නිසා
පුංචි පුංචි කඳුළු බිංදු පිච්ච මල් පුරා
සඳළුතලේ තුරු ගොමු වල කඳුළු විසිරිලා
ක්ෂිතිජ ඉමේ දුදන වදන් සිරිත් රජවෙලා
තාරුකා කුමාරියක් රැයේ හැඬු නිසා
පුංචි පුංචි කඳුළු බිංදු පිච්ච මල් පුරා


නිලන්ත අනුහස්
12 ශ්‍රේණිය ‘කලා’,
මහා වි.,
තලාව

කොළඹ මහානාම විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය


කොළඹ මහානාම විද්‍යාලයේ 
60 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට
ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 
එම පාසලේ කුඩා දරුවන් දෙදෙනකු විසින් 
උත්සව ශාලාවට කැඳවාගෙන පැමිණියේ මෙසේ ය. 
අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, 
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, 
මහානාම විදුහල්පති කර්නල් ප්‍රසන්න උපශාන්ත යන මහත්වරු ද 
මෙහි සිටිති. 

ඡායාරූපය - සුදත් මලවීර

Thursday, October 9, 2014

"ඒබ්‍රහම් ලින්කන් "සිය පුතුගේ මුල් ගුරුතුමා වෙත යවන ලද ලෝප්‍රකට ලිපිය

Abraham-Lincoln
ඇමෙරිකාව මගින් ලෝකයට දායාද කළ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා ලෙස අදටත් අවිවාදිතව හැඳින්වෙන්නේ එරට 16 වන ජනාධිපති ධුරයට පත් ඒබ්‍රහම් ලින්කන් මහතාය. ඔහු ඇමෙරිකාව වැනි සුදු අධිරාජ්‍යයක මුදුන්මල්කඩ වැනි ජනාධිපති ධුරයට පත් වූවද, සෑමවිටම ඇපකැප වූයේ එරට සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අරගලකොට ඔවුනට සමානාත්මතාව ලබා දීමටය. ඔහු විශිෂ්ට චරිතයක් වන්නේද ඒ නිසාමය.
අදටත් ලොව සියලු රාජ්‍ය මහා ඉහළින් වර්ණනා කරන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ප්‍රධාන නිර්මාණකරුවකු හා අර්ථ නිරූපකයකු වන්නේ ඒබ්‍රහම් ලින්කන් මහතාය. දිළිඳු ගොවි පවුලක උපන් ඔහු ධවල මන්දිර දක්වා ගිය ගමන අතිශය දුෂ්කර විය. එය පරාජයන් ගණනක් මධ්‍යයේ ඉදිරියට ගිය ගමනකි. තමා සෙමින් ගමන් කරන නමුත් පරාජය හමුවේ කිසිදා ආපසු නොහැරෙන බව පැවසූ ලින්කන් මහතාගේ පෞද්ගලික ජීවිතය ඉතා අමිහිරි විය. එතුමාගේ බිරිඳ නාස්තිකාර ආර්යාවක් වූවාය. ඔවුන්ට දාව දරුවන් හතර දෙනෙකු වූ අතර, ඉන් කුඩා විය ඉක්මවා ජීවත් වූයේ 1843 වසරේදී උපන් පුත්‍රයා වන රොබර්ට් වෝඩ් ලින්කන් පමණි. අනෙක් දරුවන් තිදෙනාම අකාලයේදී මියගියේ ලින්කන් සමග එම ආර්යයාවද බොහෝ සේ මානසික රෝගී තත්ත්වවලට පත්කරමිනි.
එසේ ඉතිරි වූ දරුවා වන රොබට් ලින්කන් පාසල් යන වයස වන විට ලින්කන් මහතා ඇමෙරිකානු ජනාධිපතිවරයා විය. දරුවා පාසලට යැවීමටත්, ඉතා ඉහළින් නිවැරදි දේ ඉගැන්වීමට ලින්කන්ට අවශ්‍ය වූ නමුත් වර්තමාන දේශපාලකයින් මෙන් එය දේශපාලන බලයෙන් මත්වී අයුතු ප්‍රයෝජන සහ විශේෂ වරප්‍රසාද බලා‍පොරොත්තු නොවීම ඔහුගේ සුවිශේෂී ලක්ෂණයකි.
ලින්කන් ජනාධිපතිවරයා තමා ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කොට පැමිණියාසේ තම වැඩිමහල් දරුවාටද ජිවිතයේ යථාර්ථය කියාදීමට ඉටා ගත්තේය. මේ නිසා තම දරුවා පාසල් යන පළමු දිනයේදී රොබට් ලින්කන් පුතුගේ පාසල් ගුරුවරියට මෙවන් ලිපියක් ලියා යැව්වේය. මෙම ලිපිය ලියා දැනට සියවසකට අධික කාලයක් ගත වුවද අදටද එම ලිපියේ අඩංගු කරුණු කාලෝචිත බව ජගත් විචාරක මතයයි. දැන් අප එම ලිපිය කියවමු.
ආදරණීය පාසල් ගුරුතුමිය වෙත, “අද පටන් මාගේ පුත්‍රයා ඔබගේ සෙවණේ පාසල් අධ්‍යාපනයට පැමිණෙනු ඇත. ටික දිනක් යනතුරු ඔහුට මේ පරිසරය අලුත් හා ආගන්තුක වනු ඇත. ඒ නිසා ඔහුව හොඳින් බලාගන්න. ඔහුට හොඳින් සෞම්‍ය ලෙස සලකන්න. ලොව පුරා දැනුම, මහද්වීප තරණය කරමින් නව ලොවකට යන සුවිශේෂී ගමන ආරම්භ කරන්නේ අද දින සිටයි. සෑම අසීරු ගමනකම දුක, වේදනාව, සතුට, අපාය, කුමන්ත්‍රණය ආදිය ගැබ්ව තිබේ. මේ ජීවිතය ගතකිරීමට විශ්වාසය, ආදරය සහ ධෛර්යය අවශ්‍ය වෙයි.”
Abraham-Lincoln1“ඉතින් දයාබර ගුරුතුමියනි, මේ මාගේ පුත්‍රයා ඔහුගේ අතින් අල්වාගෙන ප්‍රවේශමෙන් රැගෙන යන්න. ඔහු දැනගත යුතු දේ ඔහුට උගන්වන්න. සෑම නොමිනිසෙකුටම, සතුරකුටම, මිතුරකු සිටින බව ඔහුට උගන්වන්න.”
“දුෂ්ට මිනිසුන් සිටින නමුත් ඒ සෑම කෙනෙකුටම වීරයන්ද සිටින බව උගන්වන්න. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයින් අතර, තම ජීවිතය පරාර්ථකාමීත්වය වෙනුවෙන් කැපකරන නායකයින් ද සිටින බව පහදා දෙන්න.”
“ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත්කර තබන්න. නිහඬ සිනහවක පවතින අගය ඔහුට පහදා දෙන්න. සදාකාලික නොවන බව ඔහුට පහදා දෙන්න. ‍පොත්වල සුන්දරත්වය හා විශ්වයේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. අහසේ පියාඹන කුරුල්ලන්ගේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. දිවා කල පියඹනා මී මැස්සන් ගැන ඔහුට උගන්වන්න. කඳු මුදුන් හි පිපි ගී ගයන මල් ‍පොහොට්ටුවල සුන්දරත්වය ඔහුට පෙන්වන්න.”
“රැවටීමට, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබිම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න. තමාගේ නිවැරදි අදහස් ගැනම දැඩි ලෙස විශ්වාසය තැබිමට උගන්වන්න. තමා වටා සිටින සියලු දෙනාම තමා වැරදි බව පවසද්දීත් තමාගේ මතය නිවරදි නම් එම මතය විශ්වාසය තැබිමට උගන්වන්න.”
“අනෙක් මිනිසුන්ට දයාව කරුණාව දැක්වීමට ද නපුරු තද ගති ඇති මිනිසුන්ට තදින් සැලකීමට ද උගන්වන්න. මගේ දරුවා පිරිසක් පිටුපස යනවා වෙනුවට එහි ඉදිරියට යෑමට උගන්වන්න. සියලු මිනිසුන්ට සවන්දීමට ඔහුට උගන්වන්න. තෝරා බේරාගෙන නරකින් හොඳ වෙන්කර ගැනීමට උගන්වන්න. ඔහුට දුකින් සිටින විට සිනාසීමට උගන්වන්න. නෙත කඳුළුවල ලැජ්ජාව නොමැති බව උගන්වන්න.”
“තමා උගත් දැනුම සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කල දැනුම හදවත හා ආත්මය උකස් නොකිරීමට උගන්වන්න. තමාට මිලක් නියම කරනොගැනීමට උගන්වන්න. මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නොඇසෙන ලෙස සිටීමට උගන්වන්න. තම මතය නිවැරදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කතා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරාගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සලකන්න.”
“ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය. ඔහුට ඒවා පහදා දෙන්න. ඔහුට අවශ්‍ය පරිදි හොඳින් මුවහත් කරන්න. පරාජය තුළ සැඟවුණු ජයග්‍රහණයන් පවතින බව උගන්වන්න. ඉවසීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න.”
“ඉවසීම පුහුණු කිරීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න. ඉවසීමට ඔහුට නිර්භය බව ලබාදෙන්න. තමාට තමා ගැනම විශ්වාසය ඇති විය යුතුය. එවිට ඔහුට මිනිසුන් ගැන විශ්වාසයක් ඇති වනු ඇත. එවිට ඔහු දෙවියන්ද විශ්වාස කරනු ඇත.”
“මේ මා ඔබට දෙන විශාල අණයි. නියෝගයයි. ඔබට පුළුවන් ලෙස ඔහුව රැකබලාගන්න. උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න.”
මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි.
ඒ මගේ පුතාය.
මෙයට,
ලින්කන්

මෙම ලිපිය ලියා දැනට ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක් ගත වුවද මෙම ලිපිය එදිනට වඩා අද දිනට ඉතාම වැදගත් ලිපියකි. එහි වටිනාකම නොමිනිසුන් වැනි දේශපාලනඥයින් සහ ඔවුන්ගේ දූ පුතුන් සිටින ශ්‍රී ලංකාව වැනි රටකට ඉතාම වැදගත් බව ඔබටද හැඟෙනු ඇත.

වෛද්‍ය පී.පී. චමල් සංජීව

Tuesday, October 7, 2014

දමිළ සිසුවියගෙන් සිංහලෙන් කතන්දර‍ පොතක්


දමිළ සිසුවියගෙන් සිංහලෙන් කතන්දර‍ පොතක්
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන අංශය සංවිධාන කළ ‘21වන සියවසට ලේඛකයන් බිහි කරමු’ ව්‍යාපෘතිය යටතේ මුද්‍රණයට තෝරා ගත් කෘති අතර ‘හිරු කුමරුයි සුළං කුමාරියි’ ළමා කෘතිය ද වේ. එහි විශේෂත්වය මෙහි කතුවරිය දමිළ ජාතික සිසුවියක වීමයි. ඇය කොළඹ පොල්හේන්ගොඩ මහාමාත්‍ය විදුහලේ 4වන ශ්‍රේණියේ නඩේෂන් දර්ශිකා සිසුවියයි. මෙහි චිත්‍ර නිර්මාණය කර තිබෙන්නේ ද මේ සිසුවිය විසින්මය.
දර්ශිකා සිංහල සාහිත්‍ය කටයුතුවලට චිත්‍ර ඇඳීමට සහ කථිකත්වයට දස්කම් පාන කුසලතා පිරි සිසුවියකි.

සුරකිමු ළමා විය


මල් කොතරම් සුන්දර ද? ගැහැනු පිරිමි භේදයකින් තොරව මල්වලට ආශා කරති. මවුපියන්ට ඉතාමත් වටිනා සම්පත වන්නේ දරුවන්ය. කෙසේ වෙතත් අප ජීවත්වන සමාජයේ ළමාවිය සුරකින්නට ඇතැම් වැඩිහිටියන් නිවැරැදි ලෙස දායක වී නොමැති බවක් වර්තමාන සමාජ රටාවෙන් අපට දක්නට ලැබෙයි. අද සමාජයේ වැඩිහිටියන් දරුවන් කී දෙනකුගේ ජීවිතවලට අඳුරක් එක්කර ඇත්තේ ද? එය ගණනය කළ නොහැකි තරම්ය. වැඩිහිටි උදවියගෙන් දරුවන්ට වන හිංසනය ඉතාමත් ප්‍රබල ලෙස වර්තමානයේදී වර්ධනය වී ඇත.
ගැහැනු දරුවන්ට පමණක් නොව පිරිමි දරුවන්ට ද මේ හිංසනය පොදුය. බාල වයස් දරුවන් මෙහෙකාර සේවයට යොදා ගනු ලබන මිනිසුන් මේ සමාජයේ බහුලය. එය කොතරම් බරපතළ වරදක්දැයි බොහෝ දෙනා නොසිතති. දරුවන්ට එරෙහිව සිදුවන මෙවැනි ක්‍රියාකාරකම් වෙනුවෙන් ළමා හා කාන්තා කාර්යාංශය දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.
ඊ. ඒ. ඩී. අමන්දි චාරුන්ද්‍යා
10 ශ්‍රේණිය,
හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලය,
හෙයියන්තුඩුව

http://www.silumina.lk/2014/10/05/_art.asp?fn=au141005

රස ගුණ පිරි පලතුරු

රස ගුණ පිරි පලතුරු

පලතුරු වගා කිරීමෙන් අපට ප්‍රයෝජන බොහොමයක් ලබා ගත හැක. පලතුරු ආහාරයට ගැනීම නිසා අපට වැල‍ඳෙන ලෙඩ රෝග වැළකේ. ඇඹුල් සහිත පලතුරු මඟින් අපේ ශරීරයට විටමින් සී ලබා ගත හැකිය.
අපේ රටේ පලතුරු හිඟ නැත. පලතුරු නිසා සුප්‍රසිද්ධ වූ පළාත් ශ්‍රී ලංකාවේ එමටය. රඹුටන් නම් මල්වානය. නාවල හා යක්කල ඒ අවට ප්‍රදේශ අන්නාසි ගැන පතළය. ලංකාවේ පලතුරු ගසක් නැති ගෙවත්තක් නැති තරම්ය. අතිරික්ත පලතුරු අලෙවියෙන් මුදල් ද ඉපයිය හැකිය.
පලතුරු වර්ග සෑම දිනකම ඵල දරන්නේ නැත. එ ම නිසා බොහෝ දෙනා අවාරයේ ප්‍රයෝජනයට ගැනීමට සකස් කර ගනිති. රස ගුණ පිරි පලතුරු නිසා ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයින් අතර ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. සිරිලක බැබළවීමට එක් හේතුවක් වන්නේ පලතුරුය.
ටී. ප්‍රභානි නිමේෂා
මධ්‍ය විද්‍යාලය,
බදුල්ල.

http://www.silumina.lk/2014/10/05/_art.asp?fn=au141005

ගිනස් වාර්තාවට ජනපති ආර්යාවගෙන් සුබ පැතුම්

ගිනස් වාර්තාව පිහිට වූ සිත්තන්ට ජනපති ආර්යාවගෙන් සුබ පැතුම්

ලෝක ළමා දිනය වෙනුවෙන් කිලෝමීටර් 191 ක දුරක් පාපැදියෙන් ගමන් කොට ගිනස් වාර්තාවක් පිහිටවූ කාල්ටන් පෙරපාසල් සමූහයේ කුළුණු ගවේෂික නානායක්කාර සහ දිෂාරා දෙසැදි හෙට්ටිආරච්චි දරුවන් දෙදෙනා ඊයේ (06) තංගල්ල කාල්ටන් පෙර පාසල අසලින් ගමන් අවසන් කළ අවස්ථාවේ දී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔවුනට සුබ පැතීමට එක්ව සිටි අයුරු. ඇමැති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කමලා රණතුංග මහත්මිය ද මෙහි වෙති.