Saturday, October 25, 2014

අයියණ්ඩිය බිය නොවන්න, මැරෙනා සැටි මම පෙන්වමි'

අයියණ්ඩිය වන ලොකු බණ්ඩාර මරණය අබියස මුලුගැන්වෙද්දී මද්දුම බණ්ඩාර නිර්භීතව ජීවිතය පූජා කළේය. 'දරුවනි බිය නොවන්න, අපි මරණයට නියම වී සිටින්නෙමු. කෘර වඩිගයාගේ පිපාසය අපේ ලෙයින් සංසිදේවා!!! මේ බිලි පූජාවෙන් නුඹලාගේ පියාණන් වහන්සේට යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු' යනුවෙන් ඇහැළේපොළ කුමාරිහාමි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඇසෙන සේ හඬ නගා කෑ ගසා කීවාය.
සෙංකඩගල නුවර නාථ දේවාල භූමියෙහි පිහිටි වැලි බෝධිය දකුණුපස වූ 'දේව සංහිඳ' නමින් හැඳින්වෙන ස්ථානයෙහි මෙම සිදුවීම සිදුවිය. ඇහැලේපොළ මහ අදිකාරම්ට සහ ඇහැලේපොළ කුමාරිහාමිට දාව උපන් කිරි දරුවා වංගෙඩියක දමා කෙටීමට කුමාරිහාමිට මෙදින සිදුවිණි. අනතුරු කුමාරිහාමිට බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත්කළාය.
ලංකා ඉතිහාසයේ හෝ සමහර විට ලෝක ඉතිහාසයේ සඳහන් වන රජ කෙනෙකුගේ අතින් කළ කෘරතම මිනිස් ඝාතනය මෙය වෙයි. ඇහැලේපොළ කුමාරිහාමිගේ අභීත වදන් සහ මද්දුම බණ්ඩාරගේ නිර්භිත වදන හා ක්‍රියාව ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත.
මව, පියා සහ පුතු යන එකම පවුලක තිදෙනෙකු පිළිබඳ වීර චරිත ලංකාවේ හැරෙන්නට ලෝකයේ කිසිම රටක සිටි බව ඉතිහාසයේ සඳහන් නොවන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. එමෙන්ම හත් හැවිරිදි මද්දුම බණ්ඩාර මරණය අබියස පෙන්වූ නිර්භීත බව ලොව කොතැනකවත් එම වයසේ දරුවෙකුගෙන් සිදුවී නොමැති බවද ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
සර් පෝල් ඊ. පීරිස්ගේ කෘතියක සඳහන් වන අන්දමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (ක්‍රි.ව. 1798 - 1815) මහ අදිකාරම් ධුරය දැරූ ඇහැලේපොළ මහ අදිකාරම්ට හිමි වූ ඉරණම විග්‍රහ කර තිබේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෘර පාලනයෙන් රටත්, ජාතියත්, මුදාගැනීම පිණිස 1814 මැයි මස සබරගමුවේ කැරැල්ල ආරම්භ විය. කැරැල්ලට නායකත්වය දුන්නේ ඇහැලේපොළ මහ අදිකාරම් ඇතුළු උඩරට නිළමේවරුය.
'බුද්ධාගම රුකගත යුතුයි, සිංහල සිංහාසනය සිංහලයකුටම උරුම කළ යුතුයි, ඒ වෙනුවෙන් සටන් කරමු' යැයි ඇහැලේපොළ මහ නිළමේ උඩරට නිළමේවරුන් අමතා ප්‍රකාශ කළේය. එවැනි අභීත ප්‍රකාශයක් කළැයි කියන ඇහැලේපොළ මහ අදිකාරම් රට පාවාදුන්නේ යැයි කීම පිළිගැනීමට හැකිද යන්න වර්තාමානයේ පවතින කතිකාවති.
සර් පොල්. ඊ. පිරිස්ගේ කෘතියේ සඳහන් වන අන්දමට මාම්පිටියේ වාසල බණ්ඩාර උඩරට සිහසුනට ඔටුනු පළන්දා යළි සිංහල රාජ්‍ය වංශයක් පිහිටුවීමේ අදහස උඩරට නිළමේවරුන් අතර විය. ශ්‍රි දළදා මැදුරේ දියවඩන නිලමේ ධුරය දැරූ ඔහු මාම්පිටියේ දුග්ගන්නා දේවියගේ පුත්‍රයෙකි. මාම්පිටියේ වාසල බණ්ඩාර විසින් ඇහැලේපොළ මහ අදිකාරම්ට යවන ලද ලිපියක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතට පත් වී ඇහැලේපොළ මහ අදිකාරම්රාජ උදහසට පත්විය. මාම්පිටියේ වාසල බණ්ඩාරට මරණීය දඬුවම නියම විය.
මාම්පිටියේ වාසල බණ්ඩාරයන් යටතේ සිංහල රාජ්‍ය වංශයක් පිහිටුවීමේ පිළිමතලාවේ අදිකාරම්ගේ සැලසුම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට හෙළි විය. මේ වනවිට ලංකාවේ මුහුදුබඩ පළාත්වල බලය තහවුරු කරගෙනසිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට මුළු ලංකාව තුළම ඉංග්‍රිසී බලය තහවුරු කිරීමට අවශ්‍ය විය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා උඩරට රදලයන් අතර පැවැති අරගලය දිනෙන් දින දරුණුවිය. 1814 මාර්තු මස දිනක ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ උදහසට ලක්වුණු පිළිමතලාවේ මහඅදිකාරම්ගේ හිස ගසා මරණයට පත්කළේය. සබරගමුවේ මහ අදිකාරම්ව සිටි ඇහැළේපොළ මහ අදිකාරම්ට පිළිමතලාවේ මහ අදිකාරම් මරණයට පත්කළ බව දැනගන්නට ලැබී දැඩි වේදනාවටත්, කෝපයටත් පත්විය.
උඩරට නිළමේවරු රජු සමග දැඩි ලෙස උරණ වූහ. ඇහැලේපොළ මහ අදිකාරම් සබරගමුවේ ප්‍රාදේශිය නායකයන් ඒකරාශී කොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එම කැරැල්ල සාර්ථකව  මර්දනය කළේය. අනතුරුව රජු ඇහැලේපොළ මහ අදිකාරම් අල්ලාගෙන එන ලෙස රාජ නියෝගයක් නිකුත් කළේය. ඇහැලේපොළ මහ අදිකාරම් ඉංග්‍රිසීන්ට එකතු විය.
ඉංග්‍රීසින්ට එක්වූ ඇහැලේපොළ මහ අදිකාරම් සමග උරණ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොළ මහ අදිකාරම්ගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ හිස ගසා මරා දැමීමටත්, කිරි දරුවා කුමාරිහාමි ලවා වංගෙඩියක දමා කොටා මැරීමටත්,කුමාරිහාමි නුවර වැවේ ගිල්වා මරාදැමීමටත් නියෝග කළේය. මේ සැහැසි ක්‍රියාවට උඩරට රදලයන් සහ රටවැසියන් කෝපයට පත්වූහ. ඔවුන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රජකමෙන් නෙරපා දැමීමට ඉංග්‍රීසින්ට උදවු කළහ.
මැද මහනුවරදී ශ්‍රී වික්‍රම රජු ඇතුළු පිරිසක් ඉංග්‍රිසී හමුදාව යටතට පත්වූහ. 1815 මාර්තු 02 වැනිදා  උඩරට රදලයන් හා හෙන්රි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා අතර උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව මුළු ලංකාවම බ්‍රිතාන්‍ය කිරීටය යටතට පත්විය.
ඇහැලේපොළ මහ අදිකාරම්ගේ ඡන්ම භූමිය උතුරු මාතලේ උඩුගොඩ උඩසියපත්තුවට අයත් ඇහැලේපොළ ග්‍රාමයයි. විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ නම් වූ ඇහැලේපොළ මහ අදිකාරම්ගේ බිරිඳ ඇහැලේපොළ කුමාරිහාමි කැප්පෙටිපොළ මහ දිසාවගේ සහෝදරියකි.
මද්දුම බණ්ඩාර ළමා වීරයා අභීතව ජීවිතය පූජා කොට අවුරුදු දෙසීයක් පිරීම නිමිතිකර ගුණ සමරු උත්සවයක් ඇහැලේපොළ රජමහා විහාරයේදී පසුගිය 17 වැනිදා පැවැත්විණි. 
මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න

http://ada.lk/





0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි