V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Thursday, April 28, 2016

නොනගත පෙරහර

පෙරහරේ ගෙනියන්න ඓතිහාසික කොඩිය සකසා දුන්නේත් ජෝන් ඩොයිලි

තෙලුල්ලේ නන්දාලෝක හිමි
ශ්‍රී ලාංකීය ජාතියේ ජන අන්‍යතාවය පිළිබිඹු කරන අලුත් අවුරුද්ද සියලු ජාතීන්ගේ සමගියේ කැඩපතක් බඳුය. මේ සංස්කෘතික මංගල්‍යයේ දී රුහුණේ අවුරුදු චාරිත්‍රවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.
මාතර අවුරුදු සංස්කෘතියේ නොනගත පෙරහර, නාමල් පූජාව, පොත්තේවෙල දානය, හඳ දානය යන සංස්කෘතික චාරිත්‍රවලින් මාතර සංස්කෘතිය පොහොසත් වී ඇත.
ඉන් නොනගත පෙරහර හෙවත් මාතර අවුරුදු පෙරහරට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. මේ පෙරහර වේරගම්පිට විහාරස්ථානයෙන් ආරම්භ වී උයන්වත්ත ප්‍රදේශයෙන් ගොස් මාතර බෝධින් වහන්සේ පැදකුණු කර නැවත වේරගම්පිට රජමහා විහාරස්ථානයට ගෙවැදීම සිදු වේ.
නොනගත හෙවත් නැකත් නැති අවස්ථාවේ දී ලංකාවේ පැවැත්වෙන එකම අවුරුදු පෙරහර වශයෙන් මේ පෙරහර හඳුන්වයි.
නොනගත පෙරහර මීට සියවස් කිහිපයකට පෙර ආරම්භ වූ පෙරහරක් බවට ජනසම්මතයේ පිළිගැනේ. අපේ රට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගුණු යුගයේ දි සිංහල සමාජයේ ආගම්ක හැඟීම් යටපත් කීරීමට අධිරාජ්‍යාවාදිහූ වෙර දැරූහ.
ඓතිිහාසික කොඩිය
ඔවුහූ මේ නිසා මෙරට පෙරහර සම්ප්‍රදායන් පවා දුටු තැන මර්දනයට පි‍යවර ගත්හ.
එහෙත් ලන්දේසි යුගය අවසන් වීමත් සමඟ මෙරටට පැමිණි ඉංග්‍රිසි අධිරාජ්‍යවාදි පාලන තන්ත්‍රයේ රාජත්‍රාන්ත්‍රිකයකු වූ ශ්‍රිමත් පෝන් ඩොයිලි මෙරට මුල් බැසගත් සම්ප්‍රදායික ජනවිඥානගත සිතුම් පැතුම්වලට ගරු කරමින් ඉතා මිත්‍රශීලී පාලන ව්‍යුහයක් ගෙන ගිය පාලකයෙක් වශයෙන් හඳුනාගත හැකිය.
1804 පෙබරවාරි 2 වැනි දා මාතර ප්‍රාදේශිකයේ සභාපතිවරයා ලෙස පත් වූ මොහු 1804 පෙබරවාරි 2 වැනිදා සිට 1806 පෙබරවාරි දක්වා ඉංග්‍රිසි පාලනයේ මාතර දිසාපතිවරයා වශයෙන් සේවය කළේ ය.
එකල සිංහල සංස්කෘතියට පැවැති අසිමිත ආදරය නිසා වේරගම්පිට රජ මහා විහාරස්ථානයේ වැඩවාසය කළ මහා ශාස්ත්‍රඥයකු වූ කරතොට ධම්මාරාම නා හිමියන්ගේ ඇසුර ලබමින් සිංහල, පාළි, සංස්කෘත පමණක් නොව පෙරදිග දර්ශනය අධ්‍යයනය කළ බව සඳහන් වේ.
වේරගම්පිට නාලන්දා පිරිවෙන් විහාරාධිපති තෙලුල්ලේ නන්දාලෝක හිමි නොනගත පෙරහර ගැන අප හා මෙලෙස අදහස් පළ කළේය.

ගමවටා පිරිත් පැන් බෙදා යද්දී
“ජෝන් ඩොයිලි ඒජන්තතුමා පෙරදිග සාහිත්‍යය අධ්‍යයනයට විශේෂ උනන්දුවක් දැක් වූ පුද්ගලයෙක්. ඒ නිසා මේ විහාරස්ථානයේ වැඩ වාසය කළ කරතොට ධම්මාරාම නාහිමියන්ගේ පෘථල දැනුම ඉතා හොඳින් උකහා ගෙන සිය දැනුම පුළුල් කර ගත් බව සඳහන්.
මේ ශාස්ත්‍රීය අධ්‍යයන කාලයේ දී මාතර කිවිඳිය වූ ගජමන්නෝනා ද සිය කාව්‍යා හැකියාව වැඩි දියුණු කර ගැනීම වෙනු වෙන් විශාල වෙහෙස මහන්සියක් ගත්තා. මේ විහාරස්ථානය ඓතිහාසික හා විශේෂ පුදබිමක්.
විහාර ගෙහි වැඩ සිටින බුදු රජාණන් වහන්සේගේ පිළිමයේ නේත්‍රා දෙකට නිල් මැණික් කැට දෙකක් පුජා කළ බවට ඉතිහාසගත තොරතුරුවලින් කියැවෙනවා. මේ නිසා විහාරස්ථානයට විශාල දායක පිරිවරක් ඈත අතීතයේ සිටි බවට සඳහන් වෙනවා.
ජනප්‍රවාදගත කාරණා අනුව පෝන් ඩොයිලිගේ ගුරුවරයා වූ කරතොට නායක හිමියන්ගේ ඉල්ලීමකට අනුව මේ ප්‍රදේශයේ ජිවත් වූ සිංහල ජනතාවට මේ පෙරහර කිරීම සඳහා අවස්ථාව උදා කර දුන් බව සඳහන්. ඉන් අනතුරුව ජනතාව ප්‍රීති ඝෝෂා පවත්වමින් එදා දිසාපති නිල නිවස වූ අද හමුදා කඳවුර පිහිටි ස්ථානයට පෙරහර කිහිපයකින් ගිය බවත් සඳහන් වෙනවා.“
නොනගත පෙරහරේ අවස්ථා
නොනගත පෙරහරේ දැනට ලේකම් ධුරය දරන ජයසිරි ජයසිංහ කරුණාරත්න මහතා පෙරහර පිළිබඳව මෙසේ පැවසීය.
" මගේ තාත්තා 1899 නමයේ තමයි ඉපදුණේ. තාත්තාගේ පොඩිකාලේ පවා මේ පෙරහර ගිය බව තාත්තා මට කියලා තියනවා. ඒ නිසා මේ පෙරහරේ ආරම්භය 1800 වගේ කාලයේ දී සිදු වූවා යැයි සැලැකිය හැකියි. අපේ රට ඉංග්‍රිසින්ට යටත් වීමටත් පෙර පටන් මේ පෙරහර පැවැත් වූ බව සැලකිය හැකියි.
ඉංග්‍රිසීන්ට පෙර සිටි ජාතීන් අපේ ආත්මයන් නැති කර ඔවුන්ගේ සංස්කෘතීන් මෙහේ වපුරන්න උත්සාහ කළත් ඩොයිලි ඒජන්තවරයා පෙරහර කිරීමට අවස්ථාව ලබා දීමත් සමඟ මහා වෙනසක් මේ ප්‍රදේශවල ඇති වුණා" .
සිංහල ජනතාව පසු කාලීනව හැම පැත්තකින්ම පැමිණ පෙරහර පවත්වමින් කලබලයක් ඇති කිරීම හේතුවෙන් එක් පෙරහරක් පමණක් සිදු කරන ලෙස ඩොයිලි විසින් දැනුම් දෙනු ලැබූ බව සඳහන්ය. පසුව එම පෙරහර වෙනුවෙන් වෙනම කොඩියක් සකස් කර සංවිධායකවරුන්ට ඩොයිලි විසින්ම භාරදුන් බව ද සැලකේ.
නොනගත පෙරහැරේ ප්‍රධාන සංවිධායකවරයා වන්නේ චතුර කරුණාරත්න මහතාය.
“අපේ පෙරහරට අමුතුම ආලෝකයක් එක් කරන්නේ මේ කොඩියයි. මෙහි අපුර්ව කතාවක් තියෙනවා. ඩොයිලි ඒජන්තවරයා වර්තමානයේ තිබෙන මාතර කොටු පවුර මතට නැග ජනතාව ඉදිරියේ එම කොඩිය බිම දැමූ පසු එම කොඩිය අහුලා ගනු ලැබුවේ උයන්වත්තේ ජනතාවයි.
මේ නිසා ඔවුන් එදා පටන් මේ පෙරහර පැවැත්වීම පුරාණ චාරිත්‍රයක් විධියට නොනවත්වාම සිදු කළා."
දිවියකු විසින් වඳුරකුගේ දිව සපා කන ආකාරයක් නිරූපණය වන මේ කොඩියෙන් දිවියා ඉංග්‍රිසි පාලක පංතිය වන අතර වඳුරා ලන්දේසි පාලක පංතිය ලෙසන් අර්ථවත් කර තිබේ.
මෙහි ඉර හා සඳ යන සංකේතවලින් නිරූපණය කරන්නේ ඉර හඳ පවතින තුරා පෙරහර පැවැත්විය යුතුය යන කාරණයයි. කොඩියේ විවිධ හැඩයෙන් කැටයම් මෝස්තර දැක ගත හැකිය.
තරු ලකුණු චතුරාස්‍රාකාර හැඩය හා නොයෙක් කැටයම් දැකගත හැකියි. මේ ආකාරයෙන් මාතර ශ්‍රි විභුතිය මතු කරන ආකාරයෙන් මේ කොඩිය පවා නිර්මාණ කර තිබීම මාතරට තවත් අභිමානයකි.
''මේ පෙරහර අපි කලබල ඇති කාලේ පවා සිදු කළා. මතක ඇති කාලයක දී මේ පෙරහර නොපවත්වා තිබුණේ නැහැ. හැත්තෑ එකේ භීෂණය හා අසූ නමයේ භිෂණ කාලයේ දී විහාරස්ථානය වටේ තමයි පෙරහර පැවැත්වීම සිදු කළේ.
පෙරහර වීදි සංචාරය කිරීමට අවසර නොලැබුණත් අපි කෙසේ හෝ අපේ චාරිත්‍රය ඉටු කළා'' යැයි නොගත පෙරහර සංවිධානයේ උප ලේකම් සැමි රණසිංහ මහතා පවසයි .
පෙරහාර සඳහා එක් වන්නේ උයන්වත්තේ හා ඒඅවට ගම්මානවල ජනතාවය. උඩරට, පහතරට හා සබරගමුව නැටුම් මෙහිදී දැකගත හැකි වන අතර සධාතුක කරඬුව වැඩම කරවීම, ගම වටේ පිරිත් සජ්ජායනය කරමින් රථයක් ගමන් කිරීම ද සිදු වේ. ගමේ ජනතාවට පිරිත් පැන් ලබා දීම හා ගෙමිදුල්වලට පිරිත් පැන් ඉසීම ද සිදු කෙරේ. පෙරහර නැරැඹීම මෙන්ම ආශිර්වාද ලබා ගැනීමට ගමේ ජනතාව එකතුවෙති.
නොනගත පෙරහර සංවිධානයේ විධායක කාරක සභික චුලා රණසිංහ මහතා,
“මේ පෙරහර මාතර දිසාවට ආභරණයක්. පෙර‍හරේ මුල් කොඩිය දිරාපත් වෙලා එහෙත් එය අපි ගාව අදත් තියෙනවා. මුල් නිර්මාණයේ ලක්ෂණ අනුව මුල් නිර්මාණයට හානි නොවන ආකාරයෙන් අපි කොඩියක් නිර්මාණය කර ගත්තා. දැන් අපි අරන් යන්නේ එසේ නිර්මාණය කර ගත් හතර වැනි කොඩියයි".
පෙරහර සම්බන්ධයෙන් ලංකාවේ එකොළොස් වසක් (Eleven Years of Ceylon- BY Mager Forbas) යන කෘතියේ අපූර්ව අදහසක් දැක්වේ. මාතර පිහිටි සත්බෝධි වත්ත මුල් කර ගනිමින් මේ පෙරහර කළ බව කෘතියේ රචකයා වූ මේජර් ෆෝබස් දක්වයි.
පසුව එම ස්ථානය සොහොන් නටඹුන් පැවැති අතර එම ස්ථානයේ ශුද්ධ වු වෘක්ෂයක් ආශ්‍රිත කර ගෙන පෙරහරක් පැවැති වු බවට ද සඳහනක් පවතී.
සිංහල අලුත් අවුරුද්ද වර්ණවත් කර හැඩවත් කරන මෙවන් සංස්කෘතික අංගවලට ජීවය ලබා දීම මිනිස් ජිවිතවල හිඩැස් පිරවීමක් වැනිය.

අද විශ්වවිද්‍යාල ළමයි කවි ලියන්නෙත් නැහැ කියවන්නෙත් නැහැ


බුද්ධදාස ගලප්පත්ති
බුද්ධදාස ගලප්පත්ති අද සිටින ජ්‍යෙෂ්ඨතම කවීන් කීප දෙනාගෙන් ප්‍රමුඛයෙකි. ඔහු බිහි වූයේ ඉතාම පෙරළිකාර සමයක් වූ හැත්තෑව දශකයේදීය. බුද්ධිගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය ‘තීර්ථය අසබඩ’ පසුගිය දා එළිදුටුවේය. එය ඔහු ලියූ අට වැනි කවි පොතය. මීට ඉහත ඔහු ‘දොළොස්මහේ පහන’ (මහාචාර්ය සුනිල් ආරියරත්න, ජයලත් මනෝරත්න සමඟ) ‘කැටපත් පවුර’ (1972), ‘පාර වසා ඇත’ (1974) ‘රැජිනක් හැඬුවාය’ (1976) ‘දෙදෙනාම දියණියෝ’ (1983) ‘නිශ්චලයි රාත්‍රිය’ (1992) ‘තුරුලිය අකුරු විය’ (1998) ‘දවස හෙටයි’ (2003) යනාදි වශයෙන් කාව්‍ය සංග්‍රහ එළිදක්වා ඇත.
ඔබ නියෝජනය කරන්නේ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන් පතිරණට සමකාලීන වූ හැත්තෑව දශකයේ නව කවිය
ඔව්. ඒ වෙනකොට පේරාදෙණි කවිය ජනතාවගෙන් ඈත්වෙලා. ඔය අතරේ තමයි විමල් දිසානායකගේ, මහගමසේකරගේ ආගමනය සිද්ධ වෙන්නේ.
පේරාදෙණි කවිය මොකද ජනතාවගෙන් ඈත්වුණා යැයි කියන්නෙ?
එකක් එහි ආකෘතිය. ඒ කවි පොදුජන විඥානයෙන් අඩුවුණා. මහාචාර්ය සිරි ගුනසිංහගේ කවි දාර්ශනිකයි. ඒ කවි තේරුම් ගන්න බුද්ධියක් අවශ්‍යයි. හැබැයි අමරසේකරගේ කවි ඊට වඩා වෙනස්. පේරාදෙණි කවි පරපුර ජනතාවගෙන් ඈත්වුණා. ඒ අතර තමයි සේකර, විමල් දිසානායක මතු වුණේ.
මං හිතන්නෙ මෙතැනදි සේකර සුවිශේෂයි.
සේකරගේ කවිවල නවීන අත්දැකීම් තිබුණා. විශේෂයෙන් නාගරික ජීවිතය ගැන. ප්‍රේමය, හුදෙකලාව ගැන ඔහු රසවත් කවි ලිව්වා. ඔහු ජනකවියෙන් නොමඳ ආභාසයක් ලැබු කවියෙක්. පසු පරපුර කෙරෙහි වැඩිම බලපෑමක් කළේ සේකර. විමල් දිසානායක පැරැණි කවි බස සේකරට වඩා අවශ්‍ය තැන්වලදී මැනවින් යොදා ගත්තා. ඔහුගේ විශේෂම ලක්ෂණය වුණේ රූපක භාවිතය. ඒක තමයි ඔහුගේ අනන්‍යතාව. සංකල්ප රූප මැවීමේ අපූර්ව කුසලතාවයක් විමල්ට තිබුණා. ‘උවැසිය’, ‘දියේ ගිලුණු අයියාට’, ‘පිස්සු වැටුණු උදෑසන’ වගේ කවි එයට උදාහරණ.
ඔබටත් වැඩියෙන් බලපෑවේ සේකර ද?
මම ඉස්කෝලේ යන කාලේ කොළඹ කවියට හුඟක් කැමැති වෙලා හිටියා. සිවුපද කවියෙක් හැටියට කුමාරගමගේ කවි අර්ථාන්විතයි. ඒ වගේම තමයි මානවසිංහ. ඔහුගේ භාෂාවේ විචිත්‍රත්වයට, සෞන්දර්ය භාවයට මගෙ විශේෂ කැමැත්තක් තිබුණා. සේකර පසුකාලීනව සියලු කවීන්ට බලපෑ කවියෙක්. මගේ (මහාචාර්ය සුනිල් ආරියරත්න හා ජයලත් මනෝරත්න සමඟ එක්ව) ‘දොළොස්මහේ පහන’ කවි පොතට සේකර ලවා පිටකවරයක් අන්දවන්නට ලැබීම මා සලකන්නේ වාසනාවක් වශයෙන්.
හැත්තෑව දශකයේදී නව කවියේ පිබිදීමක් ඇති වෙනවා.
ඔව්. අලුත් කවීන් බිහිවෙන්න පටන් ගන්නවා. දයාසේන ගුනසිංහ, බර්ටි බී. කුඩාහෙට්ටි, වින්ටර් කුරේ, ධර්මසිරි රාජපක්ෂ, වැනි කවින් ඊට නිදසුන්. කවි කොළ සාහිත්‍යයක් බිහිවෙන්න පටන් ගන්නවා. ‘මාවත’ වගේ වාර සඟරාවල වැඩි ඉඩකඩක් කවියට ලැබෙනවා. කවිය අළලා විචාරවත් ලිපි පළ වෙනවා.
මං හිතන්නේ ඊට සාපේක්ෂව ශ්‍රී ලාංකික දෙමළ කවියෙත් කිසියම් පුනරුදයක් ඇතිවෙනවා.
විශේෂයෙන් වතුකරයේ කවි. පරාක්‍රම කොඩිතුවක්කුගෙන් සිදුවූ ලොකුම මෙහෙවරක් තමයි ඒ කවි සිංහලට නඟා පළ කිරීම.
හැත්තෑව දශකයේ කවීන් නිසඳැස් කවි ලිව්වත් හතරපද කවිය බැහැර කළේ නැහැ. වඩාත් වැදගත් අන්තර්ගතය බවයි ඔවුන්ගේ පිළිගැනීම වුණේ.
තම අත්දැකීම් සිවුපද ආකෘතියෙන් කියන්න බැරි වුණොත් තමයි ඒක කඩාගෙන ගියේ. නාට්‍ය කලාවෙත් ඕකමනේ සිද්ධ වුණේ. ශෛලිගත සම්ප්‍රදායෙන් කියන්න බැරිවෙනකොට ඒක කඩාගෙන තාත්වික රීතියට ගියා. සංවාද නාට්‍යවලට ගියා.
ඔබේ කවිවල අත්දැකීම් ක්ෂේත්‍රය ගැන යමක් කතා කරමු ද?
විවිධ මානුෂික හා සමාජ අත්දැකීම් මම ග්‍රහණය කරගත්තා. වේදිකා නාට්‍ය වේෂ නිරූපණ ශිල්පියෙක් වශයෙන් මට මුළු ලංකාවේම ඇවිදින්න අවස්ථාව ලැබුණා. ඒ නිසා වඩාත් විස්තීර්ණ අත්දැකීම් ලබන්ට මට පුළුවන් වුණා. පන්ති භේදය, සූරාකෑම, තරුණ අසහනය, මිථ්‍යාව ප්‍රශ්න කිරීම වගේ දේවල් මගේ කවිවල අත්දැකීම් ක්ෂේත්‍රය වී තිබෙනවා.
ඒ අනුව ඒ කවි දේශපාලනිකයි?
අපි කවි ලිව්වේ 1971 කැරැල්ල සිදුවූ කාලයේ. රැකියා නැති උපාධිධාරීන් රස්තියාදුකාරයන් සේ හැසිරුණු කාලයේ. ඉතින් ඒ කවි දේශපාලනික වීම සහේතුකයි.
ඔබේ කවිවල කිසියම් දෘශ්‍යමය ස්වරූපයක් මම දකිනවා.
දෘශ්‍ය මාධ්‍යයත් එක්ක මගේ සම්බන්ධතා තිබෙන නිසා ඒක නිරායාසයෙන් එන්න පුළුවන්. මගේ අලුත්ම කවි පොතේ තියෙන ශිෂ්‍ය අරගලයකදී සිසුන්ට පහර දෙන පොලිස්කාරයෙක් ගැන ලියැවුණු කවිය තනිකරම දෘශ්‍යමයි.
මෙය ඔබේ අටවැනි කවි පොත. අවුරුදු හතළිස් පහකටම ඔබ ලියා ඇත්තේ කවි පොත් අටයි.
සම්මාන ගැනීමේ පටු චේතනාවෙන් අවුරුද්දට එක ගානේ කවි පොත් ලියා පළ කරන්න මං ගියේ නැහැ. අපේ රටේ සම්මාන උමතුවක් තියෙනවනේ. මං ඒ රෝගෙන් පෙළෙන්නේ නැහැ. මගේ කවි පොත්වල විරාම කාලය දිගයි. එයින් අදහස් වෙන්නෙ නැහැ මං කවි නොලියන බවක්. මං කවි ලියනවා. ඒත් කවියක් වුණත් නිරන්තර සංස්කරණයට ලක්වෙමින් එය වර්ධනය කරන්න ඕනැ.
සමකාලීන කවිය ගැන ඔබ මොකද හිතන්නේ?
අසූ ගණන්වල රත්න ශ්‍රී ප්‍රමුඛ තරුණ පිරිසක් කවියට එකතු වුණා. දෙදහ වසර මං හිතන්නේ තවත් කඩඉමක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ප්‍රමුඛ තරුණ කවීන් රැසක් බිහිවෙන්න පටන්ගත්තා. ඔවුන් අතර රුවන් බන්දුජීව, සෞම්‍ය සඳරුවන් ලියනගේ, අනුරාධා නිල්මිණි, මාලති ඇම්බ්‍රෝස් යනාදි වශයෙන් කවි කිවිඳියන් රැසක් ඉන්නවා.
මං හිතන්නේ මොවුන් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාලවලින් පරිබාහිර කවින්?
විශ්වවිද්‍යාල ළමයි කවි ලියන්නෙත් නැහැ. කවි කියවන්නෙත් නැහැ.
නව කවියට හරිහමන් විචාරයක් නැති එක කැපිලා පෙනෙනවා?
විචාර කලාව වැඩුණේ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින්. අද එහි බුද්ධි පරිහානියක් තියෙන්නේ. අනික පාසල් මට්ටමේ සිටම කවියට තැනක් නැහැ. ඒ පසුබිමේ කවීන් බිහිවන්නෙත් නැහැ; විචාරකයන් බිහිවන්නෙත් නැහැ. අද රසිකත්වයේ දැවැන්ත පටුවීමක් දක්නට ලැබෙනවා. එහෙම තියෙද්දි හරවත් විචාර කලාවක් බිහි වෙන්න ඉඩක් නැහැනේ.
ඔබ වේදිකා නාට්‍ය වේෂ නිරූපණය කළාට, තීරු ලිපි ලිව්වට, කෙටිකතා ලිව්වට කලා විචාරයේ යෙදුණට ඔබ ඔබව හඳුනාගන්නේ කවියෙක් විදියට ද?
ඔව්. ඕනෑම කලා මාධ්‍යයක ශක්‍යතා හා සීමා තියෙනවනේ. කවියෙන් කියන්න බැරි දෙයක් තමයි මං කෙටිකතාවෙන් කියන්නෙ; නැත්නම් නවකතාවකින් කියන්නේ.

Thursday, April 21, 2016

සිනමාවේදී DB නිහාල්සිංහ සමුගනී



















මෙරට සිනමා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවකු වන ආචාර්ය ඩී.බී නිහාල්සිංහ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වී තිබේ.
1939 උපත ලැබූ ඒ මහතා මියයන විට 77 වැනි වියේ පසුවිය. 
සිංහල සිනමා ක්ෂේත්‍රය තුළ  ඡායාරූප ශිල්පියෙකු, සංස්කාරකරවරයෙකු, නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහු අතින් සිදුවූ මෙහෙවර සුවිසල්ය.
 'දවස' පුවත්පතේ ආරම්භක කතෘවරයෙකු ලෙස සැලකෙන ඩී.බී. ධනපාල මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නිහාල්සිංහ මහතා ශ්‍රී ලංකා‍ චිත්‍රපට සංස්ථාවේ මුල්ම සාමාන්‍යාධිකාරීවරයා ලෙසද කටයුතු කර තිබිණ.
වැලි‍කතර නමින් පුළුල් තිරයේ මුල්ම සිනමා ස්කෝප් චිත්‍රපටය හා ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍ය ද ඔහුගේ අධ්‍යක්ෂණයෙන් සැකසිණ.
වියට්නාම් යුද්ධය වාර්තා කිරීමට ගිය ඔහු සිනමාව සම්බන්ධව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් ද විය.
"Public Enterprise in Film Development Success and Failure" කෘතිය චිත්‍රපට කර්මාන්තය සම්බන්ධයෙන් ඔහු විසින් ලියන ලද්දකි.

http://dinamina.lk/

අලුත් වෙමු ද....


මම බස් රථයේ කවුළුව අයිනේ ඉඳගෙන සිටින්නෙමි. ගමනාන්තය දීර්ඝ බැවින් මා ගමන ආරම්භ කළේ හිරු පායා එන්නට සිතන්නටත් පෙර ය. ක්‍රමයෙන් බසය නාගරික ප්‍රදේශය පසු කරයි. රාත්‍රී ගැඹුරු නිහැඬියාව ඇතුළතින් ම සෙමෙන් සෙමෙන් බොහෝ ඉවසිලිවන්ත ව ප්‍රභාතය උදා වෙමින් පැවැතිණි.
ගම්බද ට හුරු නිහැඬියාවෙන් ම වෙල්යාය සහ ඈතින් පිහිටි කඳු වළල්ල අවදි වන්නට පටන් ගත්තේ ය. නිහැඬියාවෙන් ම ඇරඔුණු ප්‍රභාතයේ ආලෝක කිරණ මඳින් මඳ රශ්මිය පතුරන්නට වෙර දරයි. කන්ද උඩින් පායා එන හිරුගේ දසුන මනරම් ය.මුල් ම හිරු කිරණ පහස ලබන්නේ වෙනදා මෙන් ම පැරණිතම හා උස් ම ගස් ය.
ඒ ගස් අතුපතර සැඟවී සිටි කුරුල්ලෝ නිද්‍රාශීලී බවක වගක් හෝ නැතිව උදා ගී ගයනු ඇසේ.මේ නම් මනරම් උදෑසනකි. ප්‍රාණවත්, ජීවමාන, රම්‍ය උදෑසනකි. තවකකුගේ පහසින්, වදනින් කිලිටි නොවූ උදෑසනකි. කෙනකු මේ උදෑසනනෙහි ලස්සනින් මවිත වෙයි. පත්‍ර මත ඇති පිනි බිඳු හිරු කිරණ වැටී දිලිසෙන චමත්කාරය සිත මන්මත් කරයි. ඇත්තෙන් ම මේ උදෑසන පෙර නොවූ විරූ පරිදි නිකැලැල් ය.
මා ගමට පැමිණියේ බොහෝ කලකිනි. අඳුරා ගත නොහැකි තරම් කිසිවක් වෙනස් වී නැත. ඈතින් පෙනෙන උස් අඹ ගසෙහි වෙනදා තරම් ගෙඩි හැදෙන්නේ නැත. එහෙත් මීට කලකට පෙර ඒ අඹ ගසෙහි කොළ පරදමින් මල් හැදෙනුත්, අනතුරුව ගහ පුරා පල හටගන්නා අයුරුත් සුන්දර මතකයක් ව ම සිත තැන්පත් ව තිබේ.
දැන් අඔ ගස සිටින්නේ වයස්ගත වෙමිනි. සෑහෙන කාලයක් තිස්සේ අඹ ගස සීත කාලවලට, දැඩි නියං සමයට පමණක් නොව දැඩි කුණාටු සුළංවලට ද හිරුගේ ගිනියම් දෙනෙතට ද ලක් වෙන්නට ඇත. හිරු ගිනි ගෙන දැවෙන අහසේ පීඩාකාරී බවෙන් හෙම්බත් ව කුඩා සන්දියේ සෙල්ලම් කරනා අප ඒ අඹ ගස මුලට දිව එන්නේ මවගේ ඇකයට ආරක්ෂාව පතා එන දරුවන් පරිද්දෙනි.
හිත් පිත් නැති හිරු අඹ ගසේ සෙවණැල්ල පවා ගස මුලට ම ඇද දමා තිබුණ ද අඹ ගස කිසිදා අප ගිනියම් නොකළේ ය. අඹ ගස මහලු ව ගෙඩි වරා සිටින මෙකල්හි පවා අප ව හිරුගෙන් ආරක්ෂා නොකරන්නේ ද? ම සිත විමසයි. එසේත් නැතිනම් හිරු කිරණින් නැහැවුණු ගස්වලට, මල්වලට, ගෙඩිවලට කාලය පිළිබඳ ව හැඟීමක් නැත් ද?
අපට ජීවත් වීමට පැවැත්මක් අවශ්‍ය නො වේ ද? පැවැත්ම අපේ ජීවිතයේ ම කොටසක් යැයි සිතේ. ජීවත් වීම යනුවෙන් හඳුන්වන්නේ මේ පැවැත්මයි. පැවැත්ම මරණයෙන් අවසන් නොවන්නේ ද; ඔබ මගෙන් ප්‍රශ්න කරනු නියතය.
මරණය අප සැමට පොදු කාරණයකි. මරණයෙන් බොහෝ දේ කෙළවර ද වනු ඇත. එහෙත් ඔබ හෝ මා මිය ගියා යැයි කියා මේ ලොව පැවැත්මට තර්ජනයක් වේ ද? මඳක් සිතන්න, අඛණ්ඩ පැවැත්මට අප කිසිවකුත් බාධාවක් නො වේ.
අඛණ්ඩ පැවැත්ම යනු කුමක්ද? ම සිත විමසයි. මා ඔබට කියූ අඹ ගසට මැරෙන තෙක් ම අඛණ්ඩ පැවැත්මක් තිබෙනු ඇත. ඉන් අනතුරුව ඒ ගස මැරුණා යැයි කියා මේ ලොව පැවැත්මට බාධා වේ ද? හිරු ගෙන් අප ගලවා ගන්නේ ඒ ගස පමණක් ද?
ඔබගේ මගේ අඛණ්ඩ පැවැත්ම කිනම් ආකාරයේ දෙයක් ද? ඒ අපගේ මතකයේ ගබඩා කර ගෙන ඇති දැනුම් සම්භාරය ද? අපේ ජීවිතය ම මතක ගබඩාවකි. ඒ මතක, හැසිරීම් ඔස්සේ අප බොහෝ දේ අපේ ජීවිතවලට ආරෝපණය කර ගන්නෙමු.
අප කරන කියන දෑ, හොඳ ගතිගුණ, දියුණු වීමේ අභිලාෂය ආදී බොහෝ දේ අපි අපේ ජීවිත වලට එක් කරගන්නෙමු. මඳක් සිතන්න; මේ සියල්ලේ ම එකතුවක් නො වේ ද කියා අපේ ජීවිතය. නොකඩවා සිදුවෙන පැවැත්මක් පරිද්දෙන් එය එකින් එකට අමුණන ලද දම්වැලක් සේ ගලා යයි.
මා මේ පවසන අඛණ්ඩ පැවැත්ම අප ජීවිතවලින් පලා ගියහොත් ඉතිරි වන්නේ කුමක්ද? අප නිරන්තරයෙන් බිය ගන්වන ශූන්‍ය බව නො වේ ද? ශූන්‍ය බව යනු කිසිවක් නොමැති බවයි. අප නිරන්ත‍රයෙන් කරන්නේ අතීත සිදුවීම් වලින්, අත්දැකීම් වලින් හා එදිනෙදා උකහා ගන්නා දැනුම් සම්භාරයෙන් අපේ මනස පුරවා ගැනීමකි.
එවිට අපේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ අත්දැකීම් අනුසාරයෙන් යැයි අපි සිතමු. එහෙත් ඒ අත්දැකීම් හා දැනුම ඔබේ මනස කුරුවල් කරන්නේ යැයි මා පැවැසුවහොත්; ඔබ සමහර විට එකඟ නොවනු ඇත.
එහෙත් අලුත් දෙයක් පහළ වීමට නම් පැරණි අතීත දැනුම් සම්භාරය මත ම සිටීම ප්‍රයෝජනවත් නො වේ. අලුත් යනු මීට පෙර කවදාවත් නොතිබුණු දෙයකට යොදන යෙදුමකි. 'අලුත්' බව ඇත්තේ සියලු මතක වලට ඔබ්බෙනි.
අඹ ගස තවමත් නිසල ව ප්‍රභාතයට සිය සිරු‍ර ශක්තිමත් ව ප්‍රදානය කරමින් සිටියේ ය. එය දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතික්‍රියාවකින් තොර ව සිදු වූවකි. එනම් පැවැත්මට කිසිදා තර්ජනයක් නොකර එයට මුහුණ දීම ය.
එහෙත් අලුත් අවුරුද්දක් උදා වී ඇති මේ ඇසිල්ලේ පැවැත්මට මුළුමනින් ම යට වෙනවා ද; නැතිනම් අලුත් වී නව චින්තනයක් අනුව නව මාවතකට පිය මනිනවා ද? ඒ ගැන තීරණය කිරීම ඔබ සතු ය. මා යෝජනා කරන්නේ අලුත් වීමට උත්සාහ දරමු ද කියා ය.

http://www.silumina.lk/2016/04/17/_art.asp?fn=sm16041715

Tuesday, April 19, 2016

වෑර්ලස් මහගෙදරින් තොර ලොවක් පොඩ්ඩන්ට නැත...

නිවේදන කුසලතා, ගායන කුසලතා, සහ නාට්‍ය රගපෑමට හැකි, වයස අවුරුදු 10 සිට 17 දක්වා දරු දැරියන්, ගුවන් විදුලි සංස්ථා ලමා අංශයේ ළමා වැඩසටහන් සදහා සහභාගී කිරීමට පෙර පැවැත්වෙන හඩ පරීක්ෂණය සදහා ඔබේ දරැවාගේ විස්තර පහත ‍‍සදහන් කර ඊට යටින් ඇති Submit Button එක click කරන්න

Fill out my online form.

|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|

ආප්ප සවුදම


තුන් තුඹ මල් තුනක් ගනින්
මාල ගොතන නූල ගනින්
හීන් පබලු පොටක් ගනින්
නෑනණ්ඩිගෙ කරේ බඳින්

කළු කපුටෙක් උඩ ඉඳගෙන කරව් කරන්නා
සුදු කපුටෙක් උඩ ඉඳ‍ෙගන පියලි ගණින්නා
ඒ මැද්දේ නයි පැටියෙක් පෙණේ කරන්නා
තාන දොමිති අපි ඉඳගෙන රබන් ගසන්නා

රැල්ල රැල්ල පිට රැල්ලෙන් රැල්ලට
ම‍ූදෙන් ගොඩ ගසතෙයි
වැල්ල වැල්ල පිට - මීගොමු වැල්ලේ
ගෑනු මාළු ගණිතෙයි - තෙතෙයි තෙයි
ගෑනු මාළු ගණිතෙයි

හාල් මිටක් ගෙන වණේ දමාලා
කෙළ මෝලෙන් තළතෙයි
පෙනේරයක් ගෙන ඒකෙ දමාලා
ඇතුල්පතට බාතෙයි
ලොකු හැළියක් ගෙන ඊට දමාලා
උකුවට දිය කරතෙයි
ආප්ප සවුදම ඔන්න ගහනවා
මැද මහතෙන් බාගෙයි

කැවුම් හොරා

රංසගේ අප්පච්චි අත්තම්මට කිව්වා “අම්මේ, අවුරුද්දට කැවිලි හදමුද?” කියල 
අත්තම්මා “ඔව් පුතේ අපේ පුංචි පැටවුන්ට රස කැවිලි ටිකක් හදල දෙන්න ඕනැ තමා.
අප්පච්චි හාල්, කිතුල් පැණි, පොල් තෙල් ගෙනැල්ලා දුන්නා. අත්තම්මා හාල් දියේ පෙඟෙන්නට දැමුවා. පෙඟුණු හාල් වංගෙඩියේ දමා කොටන්ට අපේ ගෙදර හැමෝම අත්තම්මට උදව් වුණා.
ඔන්න අත්තම්මා කැවුම් හදන්ට සූදානම්. පැණි උණු කරල පිටියි පැණියි එකට කලවම් කරල දියාරුවක් හදා ගත්තා. ඊළඟට තෙල් තාච්චිය ළිප උඩ තියල රත් කළා. “දැන් අපි කොණ්ඩ කැවුම් හදමු” කියල අත්තම්මා ළිප ළඟ වාඩි වෙලා නටන තෙලට පිටි හැන්දක් වක් කරල ඒ මැද්දට කූරක් ගසා හැන්දෙන් තෙල් ඉස ඉස කැවුම් ගෙඩියේ කොණ්ඩය වඩමින් කැවුම් බැද්දා.
චාස්! චූස්! චෝස්! චුරු චුරු සද්දෙන් තෙල් තාච්චිය මැද්දේ කැවුම් බැදෙනවා. ගෙදර හැම තැනම කැවුම් සුවඳේ බෑ! අත්තම්මා බඳින බඳින කැවුම් අපි නැවුම් මැටි මුට්ටියට දැම්මා. උණු උණුවේ කැවුම් හරිම රසයි. ටික වෙලාවකින් කැවුම්වලින් මුට්ටිය පිරුණා. අත්තම්මා කැවුම් මුට්ටිය පිරිසුදු වැස්මකින් වසා කුස්සියේ මේසය පැත්තකින් කැවුම් මුට්ටිය තැබුවා.‍
මෙන්න! දවසක් කුස්සියේ මේසය උඩ කැවුම් කෑලි වැටිලා! අත්තම්මා කැවුම් මුට්ටිය බලන කොට කැවුම් අඩු වෙලා! අත්තම්මා ඉන්පසු කැවුම් මුට්ටියෙන් කොටසක් වෙනම මුට්ටියකට දමා වැස්මකින් වහල කුස්සියේ වෙනත් තැනක තැබුවා. මුලින් ම කැවුම් තිබූ මුට්ටියට කොහොල්ලෑ ගාපු කැවුම් කීපයක් දමා මුට්ටිය නැවත වසා තැබුවා. කුස්සිය පැත්තේ රංස කෑගසන සද්දේ ඇසුණා‍. රංස අතේ කැවුමක් තියාගෙන “මගෙ අත ඇලවෙනවා නූල් නූල් ඇදෙනවා කිය කියා” කොහොල්ලෑ ගාගෙන කුස්සියේ එහාට මෙහාට දුවනවා. මෙහෙම දුවන රංස දැකල “අද මම කැවුම් හොරා අල්ලා ගත්තා” කියල අත්තම්මා හිනාවුණා. කුස්සියට ආපු අම්මයි, අප්පච්චියි, අයියයි රංස ගේ හැටි දැකල හිනා වුණා.
ඉන්පසු අත්තම්මා “මගෙ පොඩි පු‍තාගේ කොහොල්ලෑ මම අරින්නම්” කියල පොල් තෙල් බෝතලය ගෙනල්ලා පොල්තෙල් රංස මල්ලිගේ අත් දෙකේ ගාලා කොහොල්ලෑ අයින් කරලා අත් දෙක පිරිසුදු කළා.
ඉන්පසු අත්තම්මා “මගේ පුංචි පුතාට රස කැවුම් දෙන්නම්” කියල අනිත් මුට්ටියෙන් කැවුම් අරගෙන පිඟානකට දාල රංස මල්ලිට කන්ට දීල “ආයේ එහෙම කැවුම් හොරෙන් කනවා එහෙම නෙවෙයි” කියල රංස කැවුම් කන හැටි ආදරයෙන් බලා සිටියා.

ගැහැනු දරුවන් සිටින මවු පියවරුන්ගේ අවධානය යොමු විය යුතු පොතක්

මේ කතාවේ එන චරිත, සිද්ධි සහ අවස්ථාවන් බොහෝවිට සැබෑ ජීවිතයේ අප අසා ඇති අප දැක ඇති පුවත්පත් වලින් අප කියවා ඇති දේ සමඟ මනාව සැස‍ඳේ.‍
කර්තෘ - සෝමලතා වෛද්‍යරත්න
මිල - රුපියල් 450
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ
සෝමලතා වෛද්‍යරත්න ලියූ තුන්වැනි නවකතාව ‘අහස් වියන’ සරසවි ප්‍රකාශනයක් ලෙස මෑතකදී මුද්‍රණය කොට පළවී ඇත. ඉතාම වැදගත්, කාලෝචිත සමාජ ප්‍රශ්නයක් වන පවුලේ මව විදේශ රැකියාවක් සඳහා විදේශ ගත වූ විට දරුවන් මුහුණ දෙන අනාරක්ෂිත තත්ත්වයන් මේ නවකථාවේ හරය වශයෙන් සැලකිය හැකි ය. අද ශ්‍රී ලංකාවේ පවුල් විශාල සංඛ්‍යාවක් මුහුණදී ඇති, එහෙත් බොහෝ විට අප්‍රකට ව පවතින ඛේදවාචක තත්ත්වයක් සිය නිර්මාණ ප්‍රතිභාවෙන් පාඨකයාට ඒත්තු ‍ගන්වන්නට කතුවරිය දරා ඇති වෑයම ප්‍රශංසනීය ය.
මේ නවකතාව හුදෙක් කතුවරියගේ මනසේ ඇඳුණ පරිකල්පනීය කතාවකට වඩා අද අප සමාජයේ විද්‍යමාන ප්‍රායෝගික අවස්ථා මැනවින් නිරූපණය කරන සත්‍ය කතාවක් බව මගේ හැඟීමයි. මේ කතාවේ එන චරිත, සිද්ධි සහ අවස්ථාවන් බොහෝවිට සැබෑ ජීවිතයේ අප අසා ඇති අප දැක ඇති පුවත්පත් වලින් අප කියවා ඇති දේ සමඟ මනාව සැස‍ඳේ.‍ මවගේ විදෙස්ගතවීම නිසා අසරණ වන දරුවන්, විශේෂයෙන් ම දියණියන් ලක් වන අනේකවිධ අපචාර සහ මුහුණ දෙන මානසික ප්‍රශ්න මනාව විවරණය කරමින් සිය පරිකල්පනයේ උපදින සංවාද සහ සිද්ධි ශූර ලෙස හැසිරවීමට කතුවරිය සමත්ව ඇති බව අපේ විශ්වාසයයි.
වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය වසා පිළිලයක් මෙන් ශීඝ්‍රයෙන් පැතිරෙන කාන්තා හා ළමා අපචාර පිළිබඳ ව නීති සම්පාදනය කරන්නන් අතර මෙන් ම පොදුවේ මුළු සමාජයේ ම සංවාදයට භාජනය විය යුතු ය. එවන් පසුබිමක ‘අහස් වියන’ නවකතාව මතු කරන පුළුල් සමාජ විග්‍රහය අප සැමගේ, විශේෂයෙන් ම තරුණ දූ දරුවන් සිටින දෙමාපියන්ගේ නොමඳ අවධානයට ලක් විය යුතු ව ය. සිය ‘විසල් පවුරක් සේ’ නවකතාවෙන් කතුවරිය මතු කළ සමාජ ප්‍රශ්නය තවදුරටත් වෙනත් මානයකට යොමු කරවීමට ගත් උත්සාහය සාර්ථක වි ඇත. නවකතාවේ සියයට අනූවක්ම පුරා පැතිරෙන සංවාද එහි කියවාගෙන යාමේ ගුණයට උත්ප්‍රේරණයක් සපයයි. නවකතාවක අනිවාර්යයෙන් ම තිබිය යුතු පාඨකයාට වෙහෙසක් නොමැතිව එක දිගට කියවාගෙන යා හැකි වීම ‘අහස් වියන’ තුළ සැබැවින් ම ඇත.
සෝමලතා වෛද්‍යරත්න කතුවරිය ‘අහස් වියන’ පෙර වදනෙහි සඳහන් කරන පරිදි ‘කාන්තාවක’ වී මෙලොව ඉපදීම මොන තරම් අභාග්‍ය සම්පන්නදැයි සිතෙන තරමට දැන් සමාජය කාම අපරාධවලින් පිරී පවතී. අසූ වියැති මිත්තණියක පමණක් නොව කටේ කිරි සුවඳ පවා නොගිය කුඩා දරුවන් පවා අමානුෂික ලෙස දූෂණය කර ඉනුදු නොනැවතී ක්‍රෑර වධ බන්ධනවලට ලක් කර මරා දැමීම සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන මේ ධර්මද්වීපයේ සිදුවන බව අදහන්නට නොහැකි තරම් ය. අද දියණියක තම පියා හෝ සොහොයුරා ෙහා් ළඟ තනිව තබා යෑම පවා බිය ජනක වන තරමට සමාජය පිරිහී තිබේ.”
මේ සමාජමය පිරිහීම සිය ‘අහස් වියන’ නවකතාව මඟින් සනාථ කරවන කතුවරිය ස්වකීය නිර්මාණ ප්‍රතිභාව සමාජ ශෝධනය උදෙසා දැරූ ප්‍රයත්නයක් ලෙස හැඳින්වීමට මම පසුබට නොවෙමි. දිනපතා මෙතරම් අපරාධ අසන්නට ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයේ ඒවා මර්දනය කිරීමට බලධාරීන් උත්සුක කිරීමට ඔවුන් ද මෙවන් නවකතා කියැවිය යුතු බව මගේ අදහසයි.
‘අහස් වියන’ නවකතාව අප සියලු දෙනා විසින් ම අගය කළ යුතු, වැදගත් පණිවිඩයක් සමාජයට ලබාදෙන නවකතාවක් බව මගේ විශ්වාසයයි. මේ නවකතාව කියැවීමෙන් පාඨකයා තුළ ඇතිවන දුක, වේදනාව සහ කම්පනය මිශ්‍ර හැඟීම් දරුවන්ගේ විශේෂයෙන් ම ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ව සෑම මවකගේ ම, සෑම පියකුගේ ම නොමඳ අවධානය යොමු කිරීම සඳහා අභිප්‍රේරණයක් වනු ඇත.


http://www.silumina.lk/2016/04/17/_art.asp?fn=sm1604172

Sunday, April 10, 2016

‘කෝන මංගල්ලෙට පේවීම’

ගෙයක් දොරක් නැරී, අතිරහ පුසුඹ එක පැත්තකින්... තවත් පැත්තකින් වෙල් එළියේ ඉපනැල්ලෙන් එන පුසුඹ... කොල්ලෝ කුරුට්ටෝ වැව් තාවල්ලේ වෙල් එළියේ චක්ගුඩු, තාච්චි කෙළිවලට හරි බරි ගැහෙනවා.කෙලිත්තියෝ මුතුපෝරු, (ඔළිඳ පුවරු) ගල්කෙටුම් පොළවල්වලට හැඩ වෙනවා වාගේම බවලතියෝ රබං පේ කොරනවා. පංගුවක් පිරිමි පංච, දාං වාගේ සෙල්ලංවලට හාමු වෙනවා...”
“මේ දවස්වල නං මහත්තයෝ අපේ ගමේ බිමේ ඇත්තන්ට ඉස්පාසුවක් නෑනෙවැ (විවේකයක් නැත).”
“හා... බෑ... ට ඒ... මොකෝ ලොකු උන්නැහේ...?”
“ඇයි මහත්තයෝ කෝන මංගල්ලෙට (අලුත් අවුරුදු උලෙළට) කොල්ල කියලා නෙවැ තියෙන්නෙ... (ළං වෙලයි ඇත්තේ)”
“ඉතිං....?”
“ඉතිං... ගමේ ගොල්ල (ගැමි පිරිස) මේ ජාමේ ඉදං පේවෙන්ඩ එපැයි.” (සූදානම් විය යුතුයි)
“හරි... හරි... ලොකු උන්නැහැලා මේ කඩි මුඩියේ ලැහැස්ති වෙන්නේ අවුරුදු කන්ට වෙන්ටැ....?”
“නැතුව... නැතුව.... බවලතියෝ ගේ දොර ගොම මැටි ගාල හැඩ වැඩ කොරනවා. ඔය පේනවානෙ පිරිමි උදවිය ගෙවල වහලවල් වලට නැඟලා පිදුරු හොයන හැටි. (පිදුරු සෙවිලි කරන අයුරු.) පංගුවක් ඇත්තෝ (සමහරෙක්) ගේ දොර හරි බරි ගහනවා.” (උපකරණ සූදානම් කරනවා)
“මේ ලොකු උන්නැහේ මං මේ බලාගන ඉන්නේ අර වැව්කණ්ඩිය දිගේ එන පෙරහර දිහාවෙයි.”
“මො... මො... මොනවා... පෙරහැරක් එනවා...?”
“ඔව්... ඔව්... අර බලන්ඩ කො... ලොකු උන්නැහැ...”
ඔහෙ පලයං... ඒක පෙරහැරක් නෙවෙයි මහත්තයෝ. ගමේ කෙලි රෑන. කෝනට දර පාරේ ගුහිං එනවා නොවැ.” (ගමේ තරුණියන් දර රැගෙන එනවා)
“ඇත්තට...”
“හප්පා කෝන මංගල්ලේ ගම් කොටුවට සේන්දු උනාම බලන්ටැපැයි ගමේ තියෙන කලේලිය...”
“ඒ කීවේ ලොකු උන්නැහේ...?”
“ඇයි මහත්තයෝ, ගෙයක් දොරක් නැරී, අතිරහ පුසුබ එක පැත්තකින්... තවත් පැත්තකින් වෙල් එළියේ ඉපණැල්ලෙන් එන පුසුඹ... කොල්ලෝ කුරුට්ටෝ වැව් තාවල්ලේ වෙල් එළියේ චක්ගුඩු, තාච්චි කෙලිවලට හරි බරි ගැහෙනවා.
කෙලිත්තියෝ මුතුපෝරු, (ඔළිඳ පුවරු) ගල්කෙටුම් පොළවල්වලට හැඩ වෙනවා වාගේම බවලතියෝ රබං පේ කොරනවා. පංගුවක් පිරිමි පංච, දාං වාගේ සෙල්ලංවලට හාමු වෙනවා...”
“අනේ ඇත්තට... අලුත් අවුරුදු දවසට ලොකු උන්නැහැලා මොකටද ඔය හැටි නහින්නෙ? එහෙම බැලුවාම මට නං පේන්නේ ලොකු ‍උන්නැහැලා හරිම මෝඩයි කියලයි.”
“ඇයි මහත්තයෝ එහෙම කියන්නේ. මහත්තැන්ලා ඔය කෝන චාරිත්‍ර වාරිත්‍ර වලට පයින් ගහන්ඩ තමුන්නැහැලා පරයෝයැ. (පිට රැටියෝද) එහෙම නැත්තං මෙච්චර පංකාදු කාර්යකට ඔහොම නරිවන්දං කතා කොරයියැ. හැබෑට... තමුන්නැහැලාගේ සිදාදියේ කෝන මංගල්ල කොරන් නැතැ...?”
“හ්ම්... ඒක ඉතිං එක දවසක් විතරයි නෙවැ ලොකු උන්නැහැ... ඉතිං ඒ දවසට මොකටද සති ගණන් ලැහැස්ති වෙන්නෙ.”
“ඔහොම කීවාට මොකෑ අපි කෝන මංගල්ලේ ඉඳලා තමා හැම කටයුත්තකටම මුල පු‍රන්නේ. හරි හමන් විදියේ නැකැත් සිරිතට තමයි අපි වැඩ අල්ලන්නෙ. එව්වා සිදාදි තියනවැයි...?”
“ඕවා මේ ලොකු උන්නැහැලා හදාගත්ත පුහු මතනෙ. එදාට සිදාදියේ අපි හැම එකක්ම කඩෙන් අරගන ඒ දවස ගෙවනවා. අද ඕනෑම දෙයක් කඩෙන් ගන්ට ඇහැකියිනෙ.”
“හැබෑට... එතකොට අතිරහ වාගේ කැවිලි පෙවිලිත් කඩේ තියනවැයි?”
“නැතුව... මං කීවේ ඕනෑම දෙයක් කඩෙන් ගත හැකියි.”
“එතකොට මනුස්සකොම, අපේකම, චාරිත්‍රවාරිත්‍ර. ඒවාත් සිදාදියේ ඇත්තෝ කඩෙන් ද ගන්නේ මහත්තයෝ.”
“ඔය කියන ඒවා කන්ඩද?‍‍‍‍.... අද ඔය කියන මනස්ගාත ඔක්කොම මුදලට යටයිනෙවැ ලොකු උන්නැහේ...”
“හද්දෙයියනේ රටට තොටට වෙච්චි වින්නැහියක්...”

ජනකෙළි හා ඇදහිලි


අපේ පැරැණියන් කළ කී බොහෝ දේ හැඳින්වීමට ‘ජන’ යනුවෙන් අමුතුවෙන් පදයක් එක් වන්නේ කෙසේ ද? පැරැණියන් කියූ කවි, ජනකවි විය. කතා ජනකතා විය. නැටුම් ජන නැටුම් විය. සමස්තයක් වශයෙන් කලාව ම ජන කලාවක් විය. සාමාන්‍ය කලාවේ හා ජන කලාවේ බෙදුම් රේඛාව පිළිබඳව නිශ්චිත මිනුම් දඬු නැත.
සිංහල දෙමළ අලුත් අවුරුද්දත් සමඟ විවිධ ජනකෙළි කරළියට එන බවක් අතීත ජන සමාජයේ දක්නට ලැබුණි. වර්තමානය වන විට බොහෝ දුරට කරළියට පැමිණෙන්නේ ජන කෙළිවලටත් ව ඩා ජනකෙළි පිළිබඳ කතිකාවන්, විමර්ශනයන් හා පර්යේෂණයන් ය. කෙසේ නමුත් ජනකෙළි යනු මොනවාද යන්න මූලිකව ම විසඳාගත යුතුව ඇත.
අපේ පැරැණියන් කළ කී බොහෝ දේ හැඳින්වීමට ‘ජන’ යනුවෙන් අමුතුවෙන් පදයක් එක් වන්නේ කෙසේ ද? පැරැණියන් කියූ කවි, ජනකවි විය. කතා ජනකතා විය. නැටුම් ජන නැටුම් විය. සමස්තයක් වශයෙන් කලාව ම ජන කලාවක් විය. සාමාන්‍ය කලාවේ හා ජන කලාවේ බෙදුම් රේඛාව පිළිබඳව නිශ්චිත මිනුම් දඬු නැත. “ජන” යන්න මේ කලාවන්ට හෝ ක්‍රියාකාරකම්වලට ආදේශ වන්නේ විදේශික මිනුම් ඇස්වලිනි.
විශේෂයෙන් ඉංග්‍රිසි ජාතිකයෝ මේ රට පාලනය කිරීමේදී සිය පරිපාලන පහසුව උදෙසා මෙරට මිනිසුන්ගේ ජීවන රටා අධ්‍යයනය කරන්නට වූහ. ‘ජන’ යන්නේ ගැටලුව කුමක් ද? අපගේ ඥාන පද්ධතියට ඔවුන් “ජන” යන්න යොදන්නේ ඉංග්‍රිසි භාෂාවේ ‘Folk’ යන අරුතිනි. ඔවුන් Folk යන්නෙන් අදහස් කළේ වැඩවසම් සමාජයේ නොදියුණු මිනිසුන් අතර තිබූ කවි, කතා, නැටුම් වැනි නොදියුණු සරල සිල්ලර දේ ය. ඔවුන්ගේ නොවන සියලු දේ ‘ජන’ යන ලේබලයට යටත් විය. චක්ගුඩු ජන ක්‍රීඩාවක් වන්නේත් කබඩි ක්‍රීඩාවක් වන්නේත් එසේ ය. චෙස් ක්‍රීඩා වනවිට දාම් ජන ක්‍රීඩාවක් වන්නේත් එසේ ය. දැන් ‘ජන’ නමින් බෙදා වෙන් කළ බෙදුම් රේඛාව පැහැදිලි ය. මේ ලිපියෙන් ජන කෙළි පිළිබඳ සාකච්ඡා කෙරෙන බැවින් ඒ පිළිබඳව දීර්ඝ ලෙස විස්තර නො කරමි.
මෙහි සාකච්ඡා කෙරෙන ‘කෙළි’ යනු වර්තමානයේ භාවිත ක්‍රීඩා යන්නෙහි අර්ථය සමාන දැඩි විමසිය යුතු ය. අප ‘ජන ක්‍රීඩා’ යනුවෙන් හඳුන්වන බොහෝ දේ පැරැණියන් හඳුන්වා ඇත්තේ ‘කෙළි’ යන නාමයෙන්, අංකෙළිය, පොල් කෙළිය, මේවර කෙළිය, ඔලිඳ කෙළිය. පංච කෙළිය, ලී කෙළිය ඊට උදාහරණ ය. සැබැවින් ම මේවා වර්තමානයේ ක්‍රීඩා වශයෙන් හඳුන්වන ක්‍රිකට්, අත් පන්දු, දැල් පන්දු, බාස්කට් බෝල්, දුර පැනීම, රිටි පැනීම, කඩුලු පැනීම, චෙස්, කැරම් වැනි විවිධ අංශයන් නියෝජනය කරන කිසිදු ක්‍රීඩාවක් සමඟ ගැළපිය නො හැකි බව ප්‍රත්‍යක්ෂය. මේ සියලු කෙළි ක්‍රීඩා මනස හා කය වෙහෙසවා සිදුකර ඥාන සහ බල වර්ධනය කරගන්නා කායික හා මානසික සුවය සාදන ක්‍රියාකාරකම් බව සත්‍යය. ඒ අතින් කෙළි හා ක්‍රීඩා සමාන වේ. එහෙත් ඒ හැර වර්තමානයේ ව්‍යවහාරික ක්‍රීඩා හා අතීත කෙළි අතර වෙනස්කම් රාශියකි. ක්‍රීඩා අතර ‘කෙළි’ සුවිශේෂ වන්නේ ද ඒ නිසා ය.
ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවේ දී මෙන් ජය පරාජය විඳගැනීම කෙළිවලදී එතරම් දුරට දක්නට නැත. ‘කෙළි’ යන්නෙහි භාවිතාර්ථය තුළ ජය පරාජය ඉලක්කගත නැත. සද්ධර්ම රත්නාවලියේ “කෙළගෙන සීගෙන” යන්නෙන් අදහස් කෙළේ “සෙල්ලම් කරගෙන සිනාසීගෙන” යන්නයි. එතැන ‘කෙළි’ යනු ‘සෙල්ලම’ යි. ලෝවැඩ සඟරාවෙහි ‘කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ’ යන්නෙන් ‘කෙළි’ යන්නෙන් අදහස් කරනුයේ ‘විහිළුව’ යන්නයි. විහිළුවක හෝ සෙල්ලමක ජය පරාජය ඉලක්කගත නැත. එහෙත් ජන කෙළිවල ජයග්‍රාහී කණ්ඩායමක් හා පරාජිත කණ්ඩායම් ද ඇත. එහෙත් ඔවුන් ජය විඳගත්තේ පරාජිතයා සමඟ ය. පරාජිතයාට විහිළු කිරීම, හුරේ දැමීම සිදුවූයේ ගැටුම් හෝ මානසික බැඳවැටීම්වලින් ‍‍තොරවූ ලෙස ය. අංකෙළිය වැන්නක උඩුපිල හා යටිපිල ලෙස තරග කරන පිල් දෙකින් ජයග්‍රහණය කරන පිල අනුව ගමට සිදුවන සුභ අශුභ පිළිබඳ විනිශ්චයක් සිදුවේ. ඒ නිසා මේ කෙළිවල ජයග්‍රහණය පෞද්ගලිකත්වයට වඩා පරාර්ථයට කේන්ද්‍රවී ඇත.
එමෙන් ම පරාජය හා ජය විඳ ගැනීම බුදු දහමින් ශික්ෂණය වූවන්ගේ ලක්ෂණ විදහා පාන්නේ ය. ජන කෙළි පිළිබඳ ඉදිරි විග්‍රහයන්ගෙන් ද මේ කරුණු තහවුරු කරගත හැකි වනු ඇත.
ජන කෙළි නිර්මාණය වන්නේ කෘෂිකර්මාන්තය, බුදු දහම, ජන ඇදහිලි හා අභිචාර යන සිව් වැදෑරුම් අංශයන්ගේ පදනම මත ය.
කෘෂි ආර්ථිකය තුළ අස්වනු නෙළා අවසන් ව ගොවි පවුල් ලැබූ කායික හා මානසික විවේකය ජන කෙළි නිර්මාණය වීමට බෙහෙවින් බලපෑවේය. බොහෝ ජන කෙළිවල නිරූපණය වන්නේ ද එකී මානසික හා කායික නිදහසයි. එමෙන් ම ඔවුන්ගේ කෙළි මඬල වන්නේ ද කමත හෝ වෙල් ඉපනැල්ලයි. කුඹුරු හා කමත් අස්වී නිදහස්වීම මෙන් ම ගොවි පවුල් ද කායික හා මානසි වශයෙන් නිදහස් වීම සමඟ සිංහල අවුරුදු උදාව ද මනාව ඒකාබද්ධවී ඇත. ඒ නිසාම කෘෂිකාර්මික පදනම මත ගොඩනැඟුණු ජන කෙළි කරළියට එන්නේ සිංහල අවුරුද්ද සමඟය. එසේ නොමැතිව හින්දූන්ගේ සූර්ය දෙවි වන්දනාව ජනකෙළිවලට පදනම වූ බවක් දක්නට නැත. එහෙත් කෘෂි කර්මාන්තය අත්‍යන්තයෙන් ම නැකැත් ක්‍රමය සමඟ සමීප සම්බන්ධතාවක් ඇති කරගෙන තිබූ බැවිනුත් ස්වභාවධර්මයේ හිරුගේත් සඳුගේත් බලපෑම බීජ රෝපණයට හා දලු, මල්, පල හට ගැනීමට තිබූ ඍජු සම්බන්ධතාව ගොවියා දැන සිටි නිසාත් හිරු හා සඳු දේවත්වයෙන් විඳීමට පුරුදු වූවා මිස හින්දු දේව සංකල්ප මත පිහිටා හිරු සඳු පිදීමක් හෝ සිරිත් සම්ප්‍රදායක් ගොඩ නැඟීමක් සිදුවූ බව දක්නට නොලැබේ.
ඒ නිසා ජන කෙළිවල දක්නට ඇති කවි ගායනාවන්හි එන හිරු දෙවි හා සඳු දෙවි යනු දේශීය සංකල්පය මිස හින්දු සංකල්ප නොවන බව වටහාගත යුතු ය. එය හුදෙක් කෘෂි ආර්ථිකය මත පදනම් වූ භාවිතාවක් මිස ඇදහිල්ලක් ද නොවන්නේ ය. සිංහල ජන ඇදහිල්ල තුළ හිරු දෙවි හෝ සඳු දෙවි වෙනුවෙන් දේවාල ඉදිවී නැත. ඒ නිසා වර්තමානයේ සූර්ය මංගල්ලය යන අරුතින් හඳුන්වන සිංහල අලුත් අවුරුද්ද තුළ සූර්ය ඇදහිල්ලක් දක්නට නොමැති බව ද වටහාගත යුතු ය. එසේ සඳහන් කළ පමණින් ජන කෙළිවලට හින්දු දේව සංකල්පය බලනොපෑවා යයි ද වරදවා වටහා නොගත යුතුය. එවැනි බලපෑම් ද ඉදිරියේ දී විස්තර වනු ඇත.
කෙසේ නමුත් කෘෂි කර්මාන්තය පදනම් කරගත් ජන කෙළිවල ජන ඇදහිලි ද අන්තර්ගතව ඇති බව දක්නට ලැබෙන්නේ ය. උදාහරණයක් ලෙස මේවර කෙළියේ ආකෘතිය හා භාෂා විලාසය අධ්‍යයනය කර බලන විට දක්නට ලැබෙන්නේ ගැමි ගැහැනියක සංහිඳ ඉදිරියේ තමන්ගේ නැති වූ වස්තුවක් ඉල්ලා දෙවියන්ට කරන යාතිකාවක ස්වභාවයයි. එසේත් නැතිනම් තමන්ගේ නිවැරදි බව සපථ කිරීම සඳහා දෙවියන් ඉදිරියේ දිව්රා සිටීමයි. දිව්රා කීම සඳහා අතීත නීතිය තුළ වලංගුභාවයක් තිබූ බව නීති නිඝණ්ඩුව ද සාක්ෂි දරයි.
“නෑනේ නුඹ පල් නුඹෙ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා”
(මේවර කෙළිය)
මෙය කෙළියක් බැවින් අනුන් හා අනුන්ගේ දරුවන් සම්බන්ධ කර දිව්රා සිටීම කෙළිවලට ආවේණික වූ විහිළු ස්වභාවයක් අර්ථය අතින් විද්‍යමාන වුවත් ෙමහි භාෂා ආකෘතිය තුළ තිබෙනුයේ ජන ඇදහිලි ලක්ෂණයන් ය. මෙසේ බොහෝ ජන කෙළිවල ඇති ජන ඇදහිල්ල සූක්ෂ්මව වෙන් වෙන්ව හඳුනා ගැනීමට ඕනෑතරම් සාක්ෂ්‍ය ඇත.
එමෙන් ම මේවා නිර්මාණය කළ සිංහල ගොවියා තම දාර්ශනික පාර්ශ්වය වන බුදු දහම ද අමතක කර නැත. අංකෙළිය, පොල් කෙළිය, ලී කෙළිය වැනි ජනකෙළි ආරම්භ වන්නේ බුද්ධ වන්දනයෙනි. එමෙන් ම බොහෝ කෙළි සමඟ එන ‍කවි ගායනා යාතිකා ආදිය ආරම්භ වන්නේ ‘නමෝ’ යන්නෙනි. ජන සම්ප්‍රදාය අනුව සාතාගිර යකු බුදුන් වැන්දේ “නමෝ” කියා ය.
“සාතාගිර යකු නමෝ කියලා
මුනිඳුගෙ සිරිපා යුග වැන්දා”
මේ මතය මත පිහිටා දෝ බොහෝ කවි ගාථා ආදියේ දී මෙන් ම මන්ත්‍රවල දී ද “නමෝ” යන්නෙන් ආරම්භ වීම යනු බුද්ධ වන්දනය බව පැරැණියෝ කියති. එහෙත් ජන කෙළි මෙකී බුද්ධ වන්දනයෙන් ද ඔබ්බට යමින් එහි ඉගැන්වෙන ශික්ෂණයට ද අනුගත වන බවක් දක්නට ඇත. ජන කෙළිවලදී කිසිවකු කිසිවකුට හොර බොරු වංචා කිරීමක් හෝ වෛරය තරහව ඊර්ෂ්‍යාව ඇති කරගැනීමක් හෝ නොවන ආකාරයට එකී කෙළි නිර්මාණය වී ඇත. වර්තමානයේ ක්‍රීඩා බොහොමයකදී ජය පරාජය විනිශ්චය කරන්නේ විනිසුරුවන් ය. ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්වන විනිසුරුවරයෙක් ද සිටී. ඒ එම ක්‍රීඩාව තුළ එතරම් ම වංචා සිදු කළ හැකි බැවිනි. එහෙත් ජන කෙළි කිසිවක විනිසුරු නැත. ඒ, එය වංචාවෙන් තොර වන බැවිනි. මුලින් සඳහන් කළ පරිදි ජයග්‍රහණය ම අපේක්ෂා නොකරන බැවිනි. එසේ වීමට හේතුව බෞද්ධ චින්තනය මත පදනම් වූ ජනතාවක් මෙකී කෙළි නිර්මාණය කිරීම මිස වෙනත් පැහැදිලි හේතුවක් නැත.
ජන කෙළි තුළ බෞද්ධ චින්තනය පදනම් වුවත් බෞද්ධ චින්තනය විසින් මිථ්‍යාව යයි බැහැර කරන ඇතැම් අභිචාර ලක්ෂණ ද ජන කෙළි තුළ දක්නට ඇත. විශේෂයෙන් මේ අභිචාරයන් සියල්ල සමඟ නැවතත් කෘෂිකර්මාන්තය බද්ධ වන්නේ ය. එනම් කෘෂිකාර්මික සශ්‍රීකත්වය පදනම් කරගත් අභිචාර ලක්ෂණ මේ ජන කෙළි තුළ කැපී පෙනෙන්නේ ය.
අභිචාර විධි අධ්‍යයනයේදී විශේෂයෙන් හමු වන අනුකරණය, අනුරූපණය හා සංකේත භාවිතය යන ලක්ෂණ ජන කෙළි තුළ දක්නට ලැබෙන්නේ ය.
අනුකරණ අභිචාර විධික්‍රමය ප්‍රාග් ඓතිහාසික මානව ශිෂ්ටාචාරයේ සිට පැවත එන්නකි. දඩයම් යුගයේ මානවයා දඩයම අනුකරණයෙන් දඩයම් ලැබීම සිදුවෙතැයි විශ්වාස කළේය. මේ උදාහරණය සරලව විග්‍රහ කරන්නෙකුට එය අනුකරණය නොව පෙර පුහුණුව යයි විග්‍රහ කිරීමට ද පුළුවන. එහෙත් මේ ලිපිය තවදුරටත් දීර්ඝ වන බැවින් එය එසේ නොවන හේතු ඉදිරිපත් නොකර එය එසේ නොවන බවට සාධක ඇති බව සටහන් කරමි.
අංකෙළියේ පුරාවෘත්තය හින්දු දේව කතාවකට සම්බන්ධය. පත්තිනි හා පාළඟ සපුමල් කැඩීමට ගොස් පටලවා ගත් කෙකි දෙක ගලවා දීමට රාමගේ දරුවන්ට හැකිවිය. එහිදී ඔවුන්ට පත්තිනිගේ ආශිර්වාදය ලැබුණි. මේ කතාවේ කෙකි පටලැවිල්ල ලිහා දීම අනුකරණය කිරීම අංකෙළියේ දී සිදු වේ. එමෙන් ම එළුවන් කෑම වැනි ළමා ක්‍රීඩාවක ද තිබේනනේ අනුකරණ අභිචාර ලක්ෂණයකි.
එමෙන් ම සොකරි නැටීම වැන්නක් ජන නාට්‍යයක්, ශාන්තිකර්මයක් යන අදහසින් ගන්නා සේම කෘෂි ආර්ථික ක්‍රමය තුළ කමතේ සිදු වූ ජන කෙළියක් ලෙස ද අර්ථ දැක්විය හැකි ය. සොකරි නැටීම තුළ විවිධ අනුරූපණය දක්නට ලැබේ. ඒ සියල්ල සශ්‍රීකත්ව අපේක්ෂිත අනුරූපණ ය. ජන සමජයේ තිබූ කිලි පිළිබඳ සංකල්පය මත කාන්තාව කමතට පා නොතැබීම නිසා හා වෙනත් විශ්වාසයක් මත මේ අනුරූපණ ද පිරිමින් විසින් ම සිදු කරන ලදි. සම්භෝගය, ගර්භිණීභාවය විශේෂයෙන් සශ්‍රීකත්වය නිරූපණය කරන බැවින් සොකරිය තුළ ඇති එකී ලක්ෂණ අනුරූපණ අභිචාර ලක්ෂණ පෙන්නුම් කරන්නකි.
එමෙන් ම පොරපොල් ගැසීම හෙවත් පොල් කෙළිය තුළ සශ්‍රීකත්වය හෙවත් වර්ෂාව පිළිබඳ සංකේත ඉදිරිපත් කිරීමේ අභිචාර ලක්ෂණ නිරූපණය වේ. දෙපිලට බෙදී පොල් විසි කර ගැනීමත් ඒවා අහ‍සේදී එකට ගැටීමත් බිඳීමත් පොල් කෙළියේ නිරූපිත මූලික සරල සංසිද්ධියකි. මෙහි පොල් එකට ගැටීම හා ඉන් නිකුත්වන ශබ්දය අකුණු හඬත් ‍පොල් බිඳී වතුර වෑස්සීම වර්ෂාවත් සංකේතවත් කරන්නේ ය. මේ සංකේත ඉදිරිපත් කිරීම මඟින් වැහි පල ලැබී ගම සාරවත් වේ යයි ගොවියා තුළ අභිචාරාත්මක සංකල්ප ක්‍රියාත්මක විය. මෙ වැනි සංකේත භාවිත අභිචාර ගල් යුගයේ සිට වර්තමානය දක්වා ම අණවින සූනියම්වලදී ද හමු වන්නේ ය.
කෙසේ නමුත් ජනකෙළි පිරික්සන විට මෙකී පසුබිම් ලක්ෂණ ගණනාවක් හඳුනාගත හැකිවන අතර ඒ මඟින් ඒ ජන සමාජයේ අපේක්ෂිතාර්ථ හා චින්තන රටාව මනාව ඉස්මතු කරගත හැකි වනු ඇත. සුවිශේෂයෙන් ම ජනකෙළි ඇදහිලි සමඟ බද්ධ වූවක් බවත්, එයින් සශ්‍රීකත්වය, රෝග නිවාරණය ආදිය උදා කර ගැනීම සඳහා ගුප්ත පරමාර්ථ තිබූ බවත් ඉන් මෙපිට සමාජීය වශයෙන් කායිකව බලය ද මානසිකව ඥානය ද, කටයුතුවල සූක්ෂ්මාත්මතාව හා නිපුණතාව ද නිරෝගීභාවය ද මනා මානව සම්බන්ධතාවන් පවත්වා ගැනීම ද ආදි බොහෝ අපේක්ෂා සාධනය කර ගැනීමක් සිදු වූ බවත් දක්නට ලැබෙන්නකි.

අලුත් අවුරුදු නැකැත් පත්‍රය

පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වැනි බදාදා දින කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වැනි බදාදා දින අපරභාග 07.48 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 01.24 සිට 14 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.12 දක්වා පුණ්‍ය කාලය යෙදේ.
ආහාර පිසීම
අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 08.06 ට ළා කොළ පැහැති (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 08.54 ට ළා කොළ පැහැති (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි සෙනසුරාදා පූර්ව භාග 10.41 ට බටහිර දිශාව බලා හිසට නුග පත්ද, පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල තෙල් සහ නුග පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 18 වැනි සඳුදා පූර්ව භාග 06.27 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දී කිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභවකර නැ‍ඟෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
සැ.යු. -
ඉහත නැකැත් වේලාවන් සකස් කර ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකැත් කමිටුව විසිනි.