V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Tuesday, July 30, 2013

ඉතා දුර්ලභ අති ශ්‍රේෂ්ඨ සරස්‌වතී බන්ධන මන්ත්‍ර රාජයා



ඕං ශ්‍රී්‍රං ශ්‍රීං අස්‌වාහ අමරගුරු රත මයුරාසනේ බල දැරූ ශ්‍රියා කාන්තාව දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දිව්‍යරාජයින්නේ දිව්‍ය පරසතු මල් උයනේ පරසතු මල් නෙළා මල් යහනාවක්‌ කර අතුරුවා දස දහසක්‌ දිව්‍ය සළු එලා මල් මාලා පැළඳ රන් ඔත් මාලිගා සමග ශක්‍ර දිව්‍ය රාජයා අප ගෞතම බුදුරජාණන් වහන්සේට පාණ්‌ඩුකම්බල සෛලාසනේ පිදූ දාමේ දිව්‍ය දේවතාවී යහනාව පූජාකර චන්ද්‍රමණ්‌ඩලයට වැඩ සිට සුවඳ මල් විමාන දේවාල රාජභවන විහාර මාලිගා බලා වාස භවන ලත් ශ්‍රියාකාන්තාවී වා වා දේව ශ්‍රී කාලී එන් එන් මාගේ සුවඳ මල් අස්‌නට සරස්‌වතී දිව්‍ය දේවතාවී එන් එන් සුවඳ මල් පහන් කෙරේ දිෂ්ඨිලා මාගේ බන්ධනයට අසුව මම සිතූ දේ සිද්ධ කර දෙන්න මම යන ගමන දිනවා දෙන්න කුහේරපුර වෛශ්‍රවන දිව්‍ය රාජයින් අනින් බැන්දේන් ශ්‍රී ලෝකාග්‍ර මුනිවරයින් අනින් බැන්දේන් තවද වෘක්‌ෂ දේවාල හිමාල දොරටු අදිපති දෙවියන් අනින් බැන්දේන් රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කෙහෙතුයි යන නව ග්‍රහ දෙවියන් අනින් බැන්දේන් ශ්‍රීකාන්තාවි පත්‍රකාලී පිය රූපි සර්වලෝක නායකකී දේව සිරි කාලි ගණදේවී සරස්‌වතී වරදේවී සිව් සැටක්‌ ශිල්ප ධාරණේ වර දේවී නමෝ නමඃ ඕං අංගුලිමාලි මහා පෝරිසාද දැහනේ ශ්‍රීං ශ්‍රීං ශ්‍රී මුඛ සලිත දේවතාවියේ මුඛය සලිතවී දිවතුලට හිතට ප්‍රාණ දිෂ්ඨි සරස්‌වතී දේවසිරි කාලිවර වර නමඃ 

(මෙහි මම, මගේ යන තැත්වලට අනුන්ට කරදෙන විට ඔහුගේ නියම නමට මතුරා දෙන්න)

මෙයින් නිසිපල නෙළා ගැනීමට නම් පිරිසිදු පැන් කළයක්‌ හත් වරක්‌ පෙරා මල් අසුනක තබා, රන්තැඹිලි තෙල්, නෙලුම් රේණු, ඇට මද, අල, සුදු හඳුන්, බැමිකීරිය, ෙත්‍රෙයිලෝක්‍ය විජය පත්‍රම්, නෙලුම් පත්‍ර කබලේ රන්වන් පාටවනතෙක්‌ බැද රසදියෙන් අඹරා අව්වේ සිඳුවා තඹ, පිත්තල බඳුනක තබා එම අසුනේම තබා ඉතා පිරිසිදුව සරස්‌වති ස්‌තෝත්‍ර කියා පිංදී ඉහත මන්ත්‍රයෙන් 1008 වරක්‌ ජපකොට පැන් ටික ටික දින 21 ක්‌ උදේ හිස්‌ බඩ බොන්න. ඉන් පසු ඔබ පාඩම් කරන විට ජපකරගත් "සරස්‌වතී බන්ධන තෙල්වලින් අශ්ව මයිලක්‌ නැතහොත් නෙලුම් රේණුවක්‌ ගෙන බහා දිව ගා පාඩම් කරන්න. දේශනා අහන්න. ඔබ අදහන දේත් ඔබ පොත පතින් ලබන දැනුමත් සිත තුළට ධාරණයවී ඔබේ හිස තුළ ඇති ගබඩාවෙහි තැන්පත්වී ගුප්ත මහ වාසලක්‌ වී එයින් ඔබට අනාගත ලෝකයේ සුන්දර විමන හමු වේ·

‘දැන් ඔය දරුව මේකෙ නැගල යන්ඩ

හෙණ පුපුරමින් මහ වැසි වැටෙමින් තිබිණ. උදෑසන වුවත් වැස්ස නිසාම හාත්පස අඳුරු වී පැවතිණ.
මේ වෙලාවේ මා නුහුරු නුපුරුදු කොළඹ කොටුවෙන් බැස ගත්තේ මුවැත්තියක සේ ගැහෙමිනි.
මා පොලොන්නරු බසය සොයා යා යුතු විය. එය ගමන් වාරය අරඹන්නේ කොතැනින් දැයි මම නොදැන සිටියෙමි.
හතර වටේ ම ඇත්තේ නන්නාඳුනන මුහුණු ය. ඇසුණේ වැසි හඬත් ඒ පරයා නැගුණු හෙණ හඬත් පමණි.
මම බිය වීමි.
වැස්ස ටිකින් ටික අඩු වන විට මම විශ්වාසය තැබිය හැකි මිනිසකු සොයන්නට වීමි. බොහෝ දෑස් මා නෙත ගැටිණ. මම ඒවා මඟ හරිමින් අවංක දෑසක් සෙවීමි.
අවසානයේ එක් පියකු ගේ මුහුණෙහි මා නෙතු නතර විය. ඔහු මා දුටුවේ නැත. ඒ මුහුණ තැන්පත් ය.
මා උරින් දරා සිටි බෑගයට වඩා අතේ එල්ලා ගෙන සිටි බෑගය බර විය. මම බර ද දරා ගෙන සෙනඟ මැදින් ඔහු ළඟට ගියෙමි.
‘සර්’
ඔහු පුදුම වී මදෙස බැලුවේ ය.
මම කාරණය කීමි.
ඔහු ගේ මුහුණ බැරෑරුම් විය. වගකීමක් හිතට ගන්නා ලකුණ පහළ විය.
‘එන්ඩ මං පෙන්නන්නං’ ඔහු ඉස්සර විය.
මම ඔහු පසුපස ගමන් කළෙමි.
යන ගමන් අපි වචන දෙක තුනක් කතා කළෙමු.
‘සර් මේ කොහෙ යන ගමන් ද?’
‘මං ඉසුරුපායට යන ගමං දරුවො. ඔය දරුව කොහෙ ද?’
‘පොලොන්නරුවෙ සර්’
‘කාලයක් මාත් පොලොන්නරුවෙ ඉගැන්නුව’
‘අහන්ඩත් සන්තෝසයි. දැන් සර් මොකද කරන්නෙ?’
‘දැං මං විශ්‍රාමිකයි’
‘සර් මං පාර කාගෙන්වත් ඇහුවෙ නෑ. සර්ගෙන් තමයි ඇහුවෙ’
‘පාරෙදි හම්බ වෙන හැම කෙනෙකුගෙන්ම පාර අහන එක අද කාලෙ ගෑනු ළමේකුට තියා කාටවත් හොඳ නෑ’
ඔහු මා පොලොන්නරු බසය ළඟට කැඳවාගෙන ගියේ ය.
‘දැන් ඔය දරුව මේකෙ නැගල යන්ඩ
‘හොඳයි සර්, සර්ට බොහොම ස්තුතියි’
මම බසයට ගොඩ වීමි. ඔහු යන්නට ගියේ ය.
එදින සිද්ධිය එතෙකින් කෙළවර විය. එහෙත් ඔහු සිය ගුණ යහපත්කමින් මට කළ යහබලපෑම නම් එතැනින් නිමා නොවීය.
මම ගුණයහපත් සැබෑ පියකුගේ රැකවරණය හා මඟ පෙන්වීම ලද්දෙමි. ඒ කෙටි කාලය තුළ දියණියක ලෙස මා ලද සතුට සහනය නිම් නැත.
සමුගන්නා අවස්ථාවේ මා ඒ පියාගේ දෙපා නොවැන්දේ ඇයි? මට නොදැනුවත්වම මා ආත්මාර්ථකාමී වී ද? මට එබඳු සේවාවක් කළ ඒ උතුම් මිනිසාගේ නම ගමවත් අසා දැන ගැනීමට නොහැකි විය. මේ සියල්ල දැන් මගේ වේදනාවට හේතු වී තිබේ. සති කිහිපයක් ගෙවී ගොස් තිබුණ ද වේදනාව යළි යළිත් අලුත් වෙනවා මිස යටපත් නොවේ.
පියාණනි, ජීවිතයේ තවත් එක් වතාවක් ඔබ දැක ගැනීමට ලැබේ නම් එය මට භාග්‍යයකි. මම ඔබට ‘විශ්වාසවන්ත උතුම් මිනිසෙකි’ යන නම්බු නාමය දෝතින් පිරිනමමි.
ඔබේ දෙපා නැමද සමු ගැනීමට මට ඉඩ දෙනු මැනවි.
 
මේ ලිපිය යම් දිනෙක ඔබ නෙතු ගැටෙනු ඇත. එදින ඔබ මා අමතනු ඇතැයි සිතමි. පියාණනි, ඔබට දිගාසිරි පතමි.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති ‘පොලොන්නරුවේ දියණිය’ විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි. ඇයට මඟ පෙන්වූ පියාණන්ට ලබා දීම සඳහා ඇගේ දුරකථන අංකය ද ලියා ඇත. එය වැරදි කෙනකුන් ගේ අතට පත්වීම වළකනු පිණිස අදාළ ‘පියාණන්’ ම අපට ලිපියක් යොමු කරන්නේ නම් යෙහෙකි. එවිට ඔහුට ‘දියණියන්ගේ’ දුරකථන අංකය ලබා දිය හැකි ය.

'සූත්තර පුංචා'

පොත් කියවන සහ නොකියවන දරුවන්ගේ වෙනස පෙර පාසලේදීම දැනගන්ඩ පුළුවන්

අද දරුවන් සඳහා වෙනමම සාහිත්‍යයක් බිහිවී තිබේ. ‍එසේම දරුවන් සඳහාම ලියන ලේඛකයෝද අද බොහෝය. කෙසේ වුවද ඇතැම් දරුවන් තවමත් පතපොත කියවීම සඳහා එතරම්ම රුචිකත්වයක් නොදක්වන්නේ දරුවාට යෙදීමට සිදුව ඇති බාහිර වැඩ කොටස අධික වීම නිසා විය හැකිය.
කෙසේ වුවද පාසල් විෂයෙන් පරිබාහිරව ‍පතපොතට වැඩි නැඹුරුවක් සහිත දරුවන්ගේ සහ පතපොත කියවීම කෙරෙහි එතරම් නැඹුරුවක් නොමැති දරුවන් අතර වෙනස පන්ති කාමරයේදී බොහෝ සෙයින් කැපී පෙනේ.
''පාසල් වියේ දරුවන් බාහිර පතපොත කියවීමට නැඹුරුවක් නැති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ රූපවාහිනියට ඇබ්බැහි වීමයි. එදා දරුවන් පතපොත කියවා චිත්ත රූප මවා ගත්තා. එහෙත් අද දරුවා ඒ වෙනුවට හැම දෙයක්ම ක්ෂණිකව ග්‍රහණය කරගන්න කැමතියි. පොතක් බලා හිතේ චිත්‍ර රූප මවා ගන්නවාට වඩා ලෙහෙසියෙන්ම දකින දේ දරුවා වැලඳගන්නවා.
මෙය දරුවා‍ මවු කුස සිටින දා සිටම එන දෙයක්. මොකද අද මවුවරුන්ට ද වේගයෙන් දුවන දිවිල්ලට හසු වීම නිසා පතක් පොතක් බලන්න වෙලාවක් නැහැ. ප්‍රවෘත්ති දැන ගැනීමේ ආශාව නිසා දුවන ගමන් හෝ පුවත් පතක් පමණක් බලනවා. ඒ හැරුණුවිට දරුවා පතපොතකට යොමු කරවීමට වැඩිහිටියන්ට කාල වේලාවක් නැහැ.ඒ නිසා දරුවන්වෙතින් අද ‍පතපොත කියවීමේ ආභාෂය ගිලිහී ගිහින්." දරුවන් අතර කල්ගෙවන බාලාංශ පන්ති ගුරුවරියකගේ අදහස් එසේය.
දරු සුරතට පතපොත යොමු කරන්නේ කෙසේද යන්න ගැන අදහස් පළ කරමින් ගෙදර විශේෂාංගය හා අද එක්වන්නේ පුවත් පත් කලාවේදිනියක මෙන්ම දරුවන් වෙනුවෙන් ලේඛනයේ යෙදෙමින් චිත්‍ර ශිල්පිනියක ද ලෙස ළමා හදවත් ඇද බැඳගත් ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මියයි‍. දරුවන් ඇය හඳුන්වන්නේ සිබිල් නැන්දා ලෙසය.
''දරුවන්ට පතපොත අතට හුරු කරවිය යුත්තේ බහ තෝරන අවදියේ සිටමයි. අකුරු නොදන්නා පුංචි දරුවාට පවා පිංතූර පොතක් පෙන්නා කියවීම හුරු කරවිය හැකියි. පිංතූරයෙන් කියන දේ දරුවාට පැහැදිලි කර දිය යුත්තේ වැඩිහිටියායි. මෙහිදී මවට ලොකු වගකීමක් තියෙනවා. පියවරෙන් පියවර චි‍ත්‍රය දරුවාට පහදා දීම මවට කළ හැකියි. ඉන්පසු දරුවාට කතාව කියවා දීම කළ හැකියි.
මේ ලෙස පියවරෙන් පියවර දරුවාට කියවීම පුරුදු කළහොත් පෙර පාසල් අවදිය වෙද්දී දරුවාට කියවීමේ හැකියාව ලැබෙන්න පුළුවන්. කුඩා දරුවෙකුගේ අතට පොතක් දීමේදී හිත ඇදී යන චිත්‍ර තිබීමද වැදගත්‍. චිත්‍ර මගින් දරුවාට ප්‍රසන්න ලෝකයක් මවා පෙන්විය යුතුයි. බිය වෙන පිංතූර දීම හොඳ නැහැ. රෙඩ් රයිඩින් හුඩ් වැනි බටහිර ලෝකයේ එකල ඉතා ප්‍රසිද්ධ කතා දැන් දරුවන්ට කියවීමට දෙන්නේ නැහැ. එහි එන වෘකයා ආච්චි මරා කෑම වැනි කතා දැන් දරුවන්ට දෙන්නේ නැහැ. දරුවන් සතුන්ට ආදරෙයි. පුංචි හිත් අහිංසකයි. අද දරුවන් අතට දෙන්නේ සතුන් ගැන ඇති ඒ ආදරය වැඩි දියුණුකරවන තේමා රැගත් පතපොතයි.
දරුවා ලෝකයට ආධුනි‍කයෙක්. බලන්න චිත්‍රයක් බලාගෙන අඳින්න දුන්නොත් දරුවා ඕනැ ඕනෑ පාටින් තමන්ට හිත යන විදිහට ඒ චිත්‍රය පාට කරකනවා. අලියෙක් අඳින්න දුන්නොත් දරුවා අලියා රෝස පාටින් පාට කරනවා. ලොකු වුණාම හරි වැරැද්ද තෝරා ගන්නා තුරු දරුවාට ඕනෑ විදිහට අඳින්න දෙන්න ඕනෑ.වෙනත් රටවල කුඩා වයසේ දරුවන්ට පිංතූර මගින් තමයි කතාව කියන්නේ.
මගේ කුඩ හොරා කතාව ජපානයේ දරුවන් අතර ඉතා ජනප්‍රිය වුණා. ඒ දරුවන් පිංතූරවලින් කතාව ව‍ටහා ගෙන කියවන්න පටන් ගත්තා. මේ නිසා දරුවන්ට කියවන්න දෙන්න ඕනෑ වැඩිහිටියන් කැමැති පොත් නොවෙයි දරුවන් කැමැති පොතුයි.
ඒ වගේම කුඩා දරුවන් අද්භූත කතා තමන්ට නොපෙනෙන දේ ගැන කතා අහන්න කැමැතියි. සුරංගනා කතා නිසා දරුවන්ගේ කල්පනා ශක්තිය දියුණු වෙනවා. දුවන රැවුල දරුවන් අතර බොහෝ ජනප්‍රියයි.
සුරංගනා කතාවල එන ඉර හඳ තාරුකා ගැන කතා කියවන්න දරුවන් කැමැතියි. අපේ ඉස්සර දරුවන් හඳමාමාගෙන් කිරියි පැණියි ඉල්ලනවා. හඳමාමා සමඟ කෙරෙන කතා ගැන මොන තරම් නම් කතා අප දරුවන් අතර ජනප්‍රියද? යක්ෂ කතා පවා දරුවන් ප්‍රිය කරනවා. එහෙත් යකුන් මිනිසුන් මරා කෑ කතා වෙනුවට මිනිස්සු යකුන් බිය කළ කතායි මම ලියන්නේ.
සාමාන්‍යයෙන් හිවලා කියන්නේ කපටි සතෙක් ලෙසයි අප දකින්නේ. බොහෝ කතාවල අප අසන්නේ හිවලා මිනිසුන් රැවටූ කතායි. එහෙත් මගේ ‍'හොයිටි නම් හිවලා' කතාවේ එන්නේ හිවලා රැවටූ කාන්තාවන් පිරිසක් ගැන කතාවක්. එහි එන විදිහට ගම හාමිනේලා තමයි කපටි. ලෝකයේ මෙතෙක් එවැනි විදිහට කතාවක් ලියවෙලා නැහැ.
ඒ ‍වගේ අමුතු කතා තියනවා නම් විනෝදමත්. අඬන වධවෙන කතාවලට වඩා දරුවන් මෙවැනි කතාවලට හරි කැමැතියි‍. අනෙක ඉර හඳ ගස්වැල් මල් සත්තු දරුවන් හා ඉතා සමීපයි. ඔවුන් මේවාට ආශා කරනවා . දරුවනට යම් අදහසක් දීමේ දී ඔහු ආසා කරන මෙවැනි දේ එක්කර ගැනීමෙන් දරුවා පතපොතට වැඩියෙන් නැඹුරු වෙනවා‍.
මං හැට ගණන්වලදී සිළුමිණට 'සූත්තර පුංචා' ලියද්දි සරසවි ආචාර්යවරුන් පිරිසක් එයට විරුද්ධ වුණා. මෙහි එන පුංචි කොලු පැ‍ටියා හරිම දඟයි. තමන්ට එන කරදරවලින් කොහොමහරි බේරිලා යනවා.
මෙය ළමයින්ට ඔබින්නේ නැහැ කියමින් ඔවුන් විරුද්ධ වුණා. මං ඇහුවේ ඔබතුමන්ලාට ළමා වියක් තිබුණාද කියලයි. දඟකාරකම දරුවාගේ අයිතියක්. නිරෝගී දරුවා දඟකාරයි. අපි හැමෝම කුඩා කල දඟකාරයි. ඒ දඟකාරකමට හොඳින් ආදරයෙන් කරුණු පහදා දෙනවා මිස දඬුවම් කිරීම වැරැදියි. රෝල් ඩාල් ගේ පොත්වලට දරුවන් ඔච්චර කැමැති ඇයි? ඒ දරුවන්ගේ දඟකාරකම් නිසයි. අපේ රටේ නම් එවැනි පොතක් තහනම් කරයි. අන්න ඒ විදිහට තමයි දරුවන්ගේ හිත දිනා ගෙන පතපොතට අත හුරුකර විය යුත්තේ.
අනෙක තමයි දරුවන්ට පොතක් අතට දීමේදී ඒ පොතේ ඇති චිත්‍ර ගැනත් අවධානය යොමු කළ යුතුයි. ඇතැම් වැඩිහිටි චිත්‍ර ළමා මනසට ඔබින්නේ නැහැ. ළමයාට ඒ චිත්‍ර රුචි නැහැ.
ළමා පොතක චිත්‍ර අඳිද්දී ළමයාට ගැලපෙන ලෙසින් චිත්‍ර ඉදිරිපත් විය යුතුයි. දරුවන්ගේ ලෝකය අමුතුයි. චෙක් රට ජපානය චීනය වැනි රටවල ළමා පොත්වල එන චිත්‍ර සාමාන්‍ය චිත්‍ර නොවෙයි.
ළමා ලෝකයට ගැලපෙන චිත්‍රයි. දරුවන් උදෙසා පතපොත අතට දෙද්දී ළමා මනසට ඇතුළු වන පතපොත අතට දිය යුතුයි. දරුවන් පතපොත ග්‍රහණය කරගන්නේ එවිටයි. ළමා ලෝකයක් යනු රස වින්දනයෙන් පිරුණු තැනක්.
දරුවකුට ළමා කතා පොතක් අතට දෙද්දී දරුවකු වශයෙන් රස විඳිය හැකි පොතක් අතට දීම වැඩිහිටියන් සතුයි. නොඑසේ නම් දරුවාට පතපොත එපාවිය හැකියි.
කුඩා කල සිටම දරුවාට කියවා රස විඳිය හැකි පතපොත අතට දීමෙන් ඔහුගේ පතපොත කෙරෙහි ඇති රුචිකත්වය දිනෙන් දින දියුණු විය හැකියි.
අද කතා බහ ප්‍රවීණ චිත්‍ර ශිල්පිනියක හා ළමා ග්‍රන්ථ කතුවරියක වන සිබිල් වෙත්තසිංහ

පහදා දෙනු මැනවි

හැඟීම් දියුණුවීමට නම් හොඳ පතපොත කියවිය යුතුයි

එක් කුඩා දරුවකු තම පියාගෙන් දියුණුවේ දොරටු මොනවා දැයි විමසුවා.‍ සිය පුතු ගේ උනන්දුව ගැන සතුටට පත් පියා,
“පුතුනි, ඔබ ගේ ප්‍රශ්නයට මට වඩා හොඳින් පිළිතුරු දන්නේ බුදුරජාණන් වහන්සේ ය. අපි උන්වහන්සේගෙන් විමසා දැනගනිමු” යි තථාගතයන් වහන්සේ වෙත පැමිණියා.
“භාග්‍යවතුනි, මා පුතු දියුණුවේ දොරටු කවරේදැයි විමසන්නේ ය. පහදා දෙනු මැනවි’ යි ඉල්ලා සිටියා.
“මේ දරුවා අත‍ීත භවයක දී ද මේ පැනයම විමසා ඇතැ'යි දේශනා කළ බුදුරජාණන් වහන්සේ දියුණුවේ දොරටු හයක් පිළිබඳව විස්තර කළා. ‘ශ්‍රැත’ බව ඉන් එක් දොරටුවක්. එනම් අසා දැන ගැනීමෙන් ලැබුවා ව‍ූ දැනුමයි. ඇසීමෙන් බොහෝ දැනුම ධාරණය කරගත් පුද්ගලයා බහුශ්‍රැතයෙක් බවට පත්වුණා. අතීතයේ එය දුෂ්කර කාර්යයක් වුව ද , ලේඛනය, මුද්‍රණ ශිල්පය දියුණු වීමත් සමඟ අපේ මුතුන් මිත්තෝ බොහෝ කොට කියවීමෙන් බහුශ්‍රැතයන් වුණා. තාක්ෂණයේ දියුණුව නිසා අද අපේ දරුවන්ට අන්තර්ජාලයේ සැරි සැරීමට පවා අවකාශය උදා වී තිබෙනවා. යහපතට මෙන් ම අයහපතට ද හරවා ගත හැකි අන්තර්ජාලය යහපත් කියවීමක් බවට පත් කරගන්නා පුද්ගලයාට ලෝකය ගැන බොහෝ තොරතුරු පහසුවෙන් ගවේෂණය කළ හැකි වෙනවා.
තාක්ෂණය වේගයෙන් අප කරා පැමිණිය ද මිනිසකු සම්පූර්ණ කරන්නේ කියවීමෙන් බව අපි අමතක නොකළ යුතු කරුණක්. දරුවකු පාසල් අධ්‍යාපනයට යොමු කිරීමේ අරමුණ ඔහු දැනුමෙන්, කුසලතාවන්ගෙන් මෙන් ම ආකල්පයන්ගෙන් ද පරිපූර්ණ කිරීමයි. දැනුම පමණක් දියුණු වී හැඟීම් දුර්වල වූයේ නම් ඒ පුද්ගලයා බුද්ධිමතෙක් මිස සැබෑ මනුෂ්‍යයකු බවට පත් නොවෙයි. යහපත් මිනිසකු වීමට නම්, මිනිසා පාලනය වීමට නම්, ඔහුගේ ආවේදන ක්ෂේත්‍රය දියුණු විය යුතුයි. දැනුම මෙන් ම, ආවේදනයන් එනම් හැඟීම් දියුණුවීමට නම් අපි හොඳ පොත පත කියවිය යුතුයි.
මෙසේ සිතමු. න්‍යෂ්ටික අවි නිපදවන්නට තරම් දැනුමෙන් පොහොසත් මිනිසා එය මිනිසා ගේ ම විනාශය පිණිස භාවිත කරනවා නම් ඔහු‍ හැඟීමෙන් තොර පුද්ගලයෙක් වනවා. දරුවකු ගේ දැනුම මෙන් ම ආකල්ප ද දියුණු කළ යුතු වන්නේ ඒ නිසයි. අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට පෙළ පොතේදී විවිධ කෘතීන්ගෙන් උපුටා ගත් කොටස් නිර්දේශ කෙරෙනවා. අපේ දරුවො නිර්දේශිත ‍කොටසට පමණක් අවධානය යොමු කරන්නේ විභාගය ඉලක්ක කරගනිමින්. එහෙත් නිර්දේශ පත්‍රයට පමණක් සීමා වීමෙන් දරුවාගේ ලෝකය පුළුල් නොවන බව වටහා ගත යුතු වෙනවා‍. මේ නිසා දරුවා නිවැරැදි දිශාවට යොමු කිරීම, අතිරේක පොතපතට උනන්දු කරවීම ගුරුවර වැඩිහිටියන් ගේ වගකීමක් බව වටහාගත යුතුයි.
වසර බොහෝ ගණනක් ඉක්ම ගියත් හෙළයේ මහා ගත්කරු ලෙස අදටත් විරුදාවලී ලබන්නේ මාර්ටින් වික්‍රමසිංහ නම් වූ ලේඛකයා. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය නොලදත් අදත් විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් පරිශීලනය කරන්නේ එතුමා ගේ පොතපත. එතුමා පොත පත රචනා කළේ බොහෝ කොට කියවීමෙන් ලැබූ ඥානයෙන්. බලංගොඩ ආනන්ද මෛ‍ෙත්‍රය හිමියන් උසස් විභාගවලට පෙනී නොසිටියත් උන්වහන්සේ මහා දැනුම් කෝෂයක් ලෙස ප්‍රචලිතයි. භාෂා ගණනාවක් දැන උගත් උන්වහන්සේ දැනුමෙන් පරිපූර්ණ වූයේ කියවා ධාරණය කර ගැනීමෙන්්‍.
වැඩිහිටියන්ට ජීවන සටන ගෙන යන්නට වෙහෙසෙනවා හැර, දරුවන්ට විභාගය සමත් වෙන්නට ඇවැසි කරුණු කට පාඩම් කරනවා හැර පොතක් පතක් කියවන්නට තරම් කාලයක් නැති බවට බොහෝ දෙනා මැසිවිලි නැගුවත් එහි සත්‍යතාව පිළිබඳ ඇත්තේ ගැටලුවක්්‍. සාමාන්‍යයෙන් පොදු වාහනයක රැකියාවට, පාසලට යන එන බොහෝ දෙනකු ගේ දෛනික කාලයෙන් පැය තුන හතරකටත් වඩා ගෙවෙන්නේ මහ මඟ. බස්රියේ, දුම්රියේ යන ගමන අලසකමින්, නිදි කිරා වැටෙමින්, එසේත් නැතිනම් ඕපාදූප බිණිමින් ගෙවා දමනවාට වඩා රසවත්, හරවත් පොතක් කියවීමට වෙන් කළ හැකි නොවේද?
ශාස්ත්‍රීය පොතකට අවධානය යොමු කිරීම අසීරු වුණ ද හොඳ කෙටිකතාවක්, නවකතාවක්, පරිවර්තනයක්, දහම් පඬුරක් කියවීම අසීරු නොවේ. කවියකට, කෙටිකතාවකට, දහම් පණිවුඩයකට ඔබේ ජීවිතයට සුවිශේෂී වෙනසක් ඇති කරන්නට පුළුවන්. ජීවිතය ගැන අපූරු අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. චරිත කතාවකට ඔබ ගේ ජීවිතයම යහපත් වෙනසකට පරිවර්තනය කළ හැකියි. බුද්ධ චරිතය ම උදාහරණ කොට ගන්න. අභියෝග ජය ගන්නා හැටි, අනේක විධ නින්දා අපහාස හමුවේ ජීවිතයට නොසැලී මුහුණ දෙන හැටි තථාගතයන් වහන්සේ ගේ චරිතය අපට ඉතා අපූරුවට කියා දෙනවා ඔබට දැනේ.
අතට ලැබෙන කුමක් හෝ පත්කර කැබැල්ලක්, කඩදාසි කොළයක් කියවීමට සුදුසු බව හැ‍ඟේ නම් එය කියවා මිස ඉවත දැමීම මා ගේ පුරුද්දක් නොවේ. දායක මහතකු විසින් දිනක් මා වෙත පූජා කරන ලද පිරිකරක් ආවරණය කර තිබූ පත්තර පිටුවක් මට කියවන්නට ලැබුණේ අහම්බයෙන්. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා තම පුතුගේ මුල් ගුරුවරයාට යවන ලද ලිපියක් එහි වූවා. අපහසුවෙන් වුව ද තම පුතුට උගන්වන ලෙස ඉල්ලූ වටිනා කරුණු රැසක් එහි සටහන්ව තිබුණා. එය මගේ ජීවිතයට ද වටිනා අලුත් අත් දැකීමක් වුණා. කුඩා කල සිටම කියවීම පුරුදුදක් බවට පත් කර ගත්තේ නම් වැඩිහිටියකු වී ද එය අපේ ජීවිතයෙන් දුරස් කළ නොහැකි පුරුද්දක් බවට පත්වෙනවා. එයම අපි දැනුමෙන්, මෙන් ම හැඟීමෙන් ද පිරිපුන් මිනිසුන් බවට පත් කරන්න‍ට උපකාරී වෙනවා.

Sunday, July 28, 2013

පායාලා ඔබ දුරින් රැඳී එළිය දෙන්න සැමදා

‘අභීත දියණිය’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන අතුරු තේමා ගීතය

පායාලා ඔබ දුරින් රැඳී
එළිය දෙන්න සැමදා
පායාලා ඔබ දුරින් රැඳී
එළිය දෙන්න සැමදා
දුක් සිසීකඩ විසිකරදා
සිනා වෙන්න රහසින්
කුරිරු කම් දලුලනවා
මියුරු අඳුරු මේ ලෝකේ
කෙතරම් සුසුම් ආ නමුත්
හසරැල් පාගලා
සිතු පැතුම් හැම පෙරළී යයි
මා නොසැලී ඉමි හිත තද කරන්
දිනුම් ලබා සැනසේ සතුටින්
අත ළඟටම පීඩා ඇවිදින් //
හසරැල් වෙහෙසින්
පද රචනය - අතුල රන්සිරිලාල්
සංගීතය - නුවන් සමරසිංහ
ගායනය - සශිකා නිසංසලා


මෙම ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන ‘මනුදම් උයනේ’ ගීතය සමඟින් ගීත විස්සක් ඇතුළත් වී ඇති අතර ඒ සියලුම ගීත සංකල්පනා හිමිකරු ගී පද රචක අතුල රන්සිරිලාල් ය.
අතුල ‘පායාලා ඔබ දුරින් රැඳී’ ගීතය නිර්මාණය වූ පසුබිම අප සමඟ පැවසුවේ මෙසේ ය.
“කොරියානු ඉතිහාසයේ සැබෑ ඓතිහාසික සිදුවීම් මාලාවක් වටා තමයි ‘අභීත දියණිය’ කතාව ගෙතී ඇත්තේ. එවකට එරට සංස්කෘතික වටපිටාව, සමාජ පසුබිම, ජන ජීවිතය හා බැඳී පැවැති වාදන සහ නර්තන වැනි ලලිත කලාවන්, පන්ති පරතරයන් - අධිෂ්ඨානයෙන් හා සත්‍යවාදීව අනාථ දැරියක් ජීවිතය ජයගන්නා අයුරුත් මේ ‘අභීත දියණිය’ කතාවෙන් පැවසෙනවා.
විශේෂයෙන්ම මෙම කතාවේ රජුගේ ප්‍රේමය තුළ නැ‍ඟෙන විරහව ඉතාම විචිත්‍ර අයුරින් රූපණය කෙරෙනවා. ‘ප්‍රේමය’ රූප මාධ්‍යයෙන් කොහොම ද පෙන්වන්නේ කියා මෙහි අපූර්ව ලෙස පෙන්නා දී තිබෙනවා. මෙහි මනු දිවියේ රසය මතු කරමින් ප්‍රේමය සුන්දරව හා විචිත්‍රවත්ව යොදා ගෙන තිබෙන අයුරු අපි රූප මාධ්‍යයෙන් ප්‍රේමය පෙන්වන ආකාරයට වඩා බෙහෙවින්ම ආචාරශීලියි.
‘අභීත දියණිය’ ටෙලි නාට්‍යයේ පෙන්වන ප්‍රේමය අපේ කුඩා දරුවන් දැන ගත්තාට කමක් නැහැ. මන්ද ඔවුන් යහපත් නිවැරැදි ප්‍රේමය දැන ගත යුතු නිසා. එසේ නොමැතිව වයස ඉක්මවා ඔවුන් කාමුක වීමයි වැරැදි. ප්‍රේමය හරියාකාරව කුඩා දරුවෙකු වයසේදී පටන් දැන හඳුනා ගන්නවා නම් මේ රටේ සිදුවන ඔය ස්ත්‍රී දූෂණ වැනි අපරාධ අඩු වේවි කියා මං විශ්වාස කරනවා.”
“එවැනි කල්පනා අතරින් තමයි මම ‘අභීත දියණිය’ ගීත විස්සේම පද රචනා කෙරුවේ. රූපණ අවස්ථා අනුව කලබල නැතිව පද විචිත්‍රවත් අයුරින් යොදා ගන්නත් අදහස් පැවසීමේ දී ළමයින්ට ගැළපෙන අයුරු විවිධ අරුත් වලින් ඒවා පවසන්නත් මම පරිස්සම් වුණා.
එක්වෙන විට දී සොම්නසත් වෙන්වෙන විට දී දොම්නසත් හැ‍ඟෙන පරිදි වචන මම භාවිත කළා. මුළු වෘත්තාන්තයේ තිබුණේ ප්‍රේම ගීත වුණත් මම ළමා ගීත ලෙස රස විඳින්න හැකි අයුරුයි මේ ගී නිර්මාණය කළේ. සරල වදන් යොදා ඇත්තේ ඒ නිසයි.
විශේෂයෙන්ම ‘පායලා ඔබ දුරින් රැඳී’ ගීතය ටෙලි නාට්‍යයේ ප්‍රධාන අතුරු තේමා ගීතය ලෙස අවස්ථා කීපයකටම යොදා ගැනීමේ දී රූපණ අවස්ථාවන්ට සුදුසු අයුරින් පද වෙනස් කර රචනා කිරීමටත් මම වග බලා ගත්තා.”
” ‘පෙම්වතුන් ඈත් වී යන තැනකදී’, ‘දුක් සිසීකඩ විසි කරදා - සිනා වෙන්න රහසින්’ ලෙස යොදා ගත්තත් ඔවුන් එක් වෙන තැනකදී යොදා ගත්තේ ‘දුක් සිසීකඩ විසි කරදා - හස අහුලමු සැඟවී’ යනුවෙනු යි. එමෙන්ම මේ ‘පායලා ඔබ දුරින් රැඳී’ ගීතය ටෙලි නාට්‍යයේ ඇතුළත් වන විවිධ අවස්ථාවල දී අන්තරා කොටස් මා පද රචනය කර ඇත්තේ වෙනස් අර්ථ පැවසෙන අයුරින් රූපණ අවස්ථානුකූලවයි.

වින්දනීය රාජධානිය

ක් රජකුට දියණිවරු සත් දෙනෙක් සිටියෝ ය. රජු ගේ බිරිය මිය ගොසිනි. මේ දියණියෝ රාති‍්‍රයේ දී අතුරුදහන් වෙති. ඔවුහු කොහේ දෝ යති. උදෑසන යළි පැමිණෙති. කිසිවකුට මේ ගමන වැළැක්විය හැකි නො වේ. එය මහා අබිිරහසකි.
රජුට මේ ගමන නවත්වන්නට වුවමනා ය. එහෙත් එය කළ හැකි නොවේ. මේ අබිිරහස හෙළිදරව් කර ගැනීමට එරට විසූ එක් දිළිඳු තරුණයෙක් ඉදිරිපත් විය. ඔහු සතු ව මායාකාරී තොප්පියක් තිබිණි. එය පැළැඳි විට තරුණයා නොපෙනී යයි.
පිය රජුගේ අනුදැනුමින් යුතු ව තරුණයා රාත‍්‍රි කාලයක දී මාලිගාවට ඇතුළු විය. මධ්‍යම රාති‍්‍රය එළැඹිණි. කුමාරියෝ ගමනට සූදානම් වූහ. ඔවුහු වටිනා වස්ත‍්‍ර හැඳ, වටිනා සැරසිලි කළහ. වැඩිමහල් සොහොයුරිය සිය යහන පසෙකට කළ විට එතැන අබිරහස් දොරටුවක් මතු ව ආවේ ය. මායාකාරී හිස්වැස්ම පැළඳ ගත් තරුණයා මේ සියල්ල දුටුවේය.
විවර වූ අබිරහස් දොරටුවෙන් කුමාරියෝ ඇතුළු වූහ. එතැන වූ පිය ගැට පෙළ අවසානයේ වින්දනීය රාජධානිය හමුවිය. එහි සංගීතය වැයේ. ඒ හඬ අතිශය මියුරු විය.
මේ රාජ කුමාරියන් හට සිය පිය රජු ගේ රාජධානියෙහි සියලු ඉසුරු තිබූ නමුත් වින්දනයට යමක් තිබුණේ නැත. පිය රජතුමා සංගීතය ප‍්‍රිය නො කෙළේ ය. එහෙයිනි මේ දූ කුමාරියන් වින්දනීය රාජධානිය සොයා පැමිණ තිබුණේ.
මේ රාජධානියේ රන්වන් රෝස පිපේ. තරුණයා එයින් එකක් ද නෙළා ගත්තේ රජතුමාට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නට යි.
රැය පහන් වන තුරුම මධුර සංගීත ස්වර අතර රඟමින් ගත කළ දූ කුමාරියෝ යළි උදාසන මාලිගයට ආහ. තරුණයා ද යළි ආවේ ය. කිසි ම අයකුට ඔහු පෙනුණේ නැත.
දැන් තරුණයා ගේ වාරය යි. ඔහු සියලු කරුණු රජතුමාට හෙළි කෙළේ ය. ධනවත් වීමට නම් පාවා දීම් කළ යුතුª බව ඔහු දැන සිටියේ ය. ඔහු ගේ පාවා දීම අකුරට ම වැඩ කළේ ය.
සිය රාජධානියෙන් අඩක් ද, ළාබාල ම කුමරිය ද ඔහුට රජතුමාගෙන් තිළිණ සේ ලැබිණි. ඔහු මේ කුමරිය සිය බිරිය කොට ගෙන සතුටින් දිවි ගෙවී ය.
එහෙත් කුමරිය සතුටින් දිවි ගෙව්වා දැයි කිසිවෙක් නොදනී.

බිරියෝසා කුමාරී

රුසියාවේ ජනශ‍්‍රැති ජනකතා සහ සුරංගනා කතා

එක්තරා ඈත කාලයකදී එක්තරා රුසියානු හමුදා භටයෙක් සිය නිවාඩු කාලය ගත කරනු පිණිස ගමරට බලා පිටත් ව ගියේ ය. එසේ ඔහු යා යුතු ව තිබුණේ මහා වනාන්තරයක් මැදිනි.
මේ වනයේදී ඔහුට මායාකරුවකු මුණගැසිණි.
මායාකරුවාට වනයෙන් බැහැර ව යෑමට වුවමනා වූ හෙයින් ඔහු බාරයේ සිටි රාජාලියන් සිව් දෙනකු හමුදා භටයා ගේ භාරයට පත්කරවන්නට ඔහුට අවශ්‍ය ව තිබිණි.
තම නිවාඩු කාලයේදී කළ හැකි අන් යමක් ද නො වූ නිසා සොල්දාදුවා මේ කාර්යයට අත ගැසුවේ ය. ඔහුට වාසය සඳහා දැවමුවා නිවෙසක් ලැබිණි.
කෑම බීම සියල්ල එහි තිබේ. රාජාලියෝ ද සිටිති. කිසිවකින් අඩුවක් නැත. එහෙත් වස කම්මැළි ය. මිනිස් හඬක් නැත. පුදුමාකාර පාළුවකි!
හමුදා භටයාට ඉක්මනින් ම මේ සියල්ල එපා විය. ඔහු ගෙයින් බැහැර ව යාබද වනයට පිවිසියේ ය. එවිට ම ඔහුට මිනිස් කටහඬක් ඇසිණි. ඒ බිරියෝසා ගසකිනි.
”කරුණාවන්ත තරුණය, මා අද බිරියෝසා ගසක්ව සිටින්නේ මායාකාරයා නිසා. ඔහු මා සරණ පාවා ගැනීමට උත්සාහ කළා. මා ඊට අකමැති වූ විට මා බිරියෝසාවක් කළා. ඔය රාජාලියන් මගේ සහෝදරයන්. ඔවුන් මා බේරාගන්නට ඇවිත් ශාපයට හසුවෙලා.”
මේ පුවතින් කරුණාවන්ත සොල්දාදු සිත රිදිණි. ඈ බේරාගන්නට කළ යුත්ත ඔහු අසා සිටියේ ය.
”එසේ නම් නුඹ එහා ගමට යා යුතුයි. එහි යහපත් මිනිසෙක් සිටිනවා. ඔහු නුඹට පොතක් තෑගි කරාවි. නුඹ එය දින තුනක් කියැවූ විට මේ ශාපය නිමාවේවි”
හමුදා භටයා ඒ වචන එසේ ම පිළිපැද්දේ ය. ඔහු බිරියෝසා ව පාමුල සිට පොත කියවන විට ගහේ කඳ දෙපළු වෙමින් රූබර කාන්තා රුවක් ඉස්මතු වන්නට විය. තෙවැනි දින අවසානයේදී ගසින් බට රූබරිය හමුදා භටයාගේ බිරිය වන්නට කැමැත්ත පළ කොට සිටියා ය.
එවිට රාජාලියෝ ද පියාඹා’විත් අළු පැහැති පොළොවේ හැපී ශක්තිමත් තරුණයෝ බවට පත්වූහ. ඔවුන් සියල්ලන් යාබද රාජධානියක රජුගේ දරුවන් බව ද හෙළිවිණි. ඔවුහු හමුදා භටයා ද රැගෙන සිය මාලිගය වෙත ගියෝ ය.
මිනිසුන් ගස් ගල් බවට පත් නොවන්නට නම් පොත් පත් පරිශීලනය කළ යුතු ය.

Wednesday, July 24, 2013

‘මම රාජකුමාරයෙක් නෙමේ... ගමේ කොල්ලෙක්





 
සිරිපැරකුම් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකගේ සිට ඊට දායකවූ සියලූදෙනා අතර ඔහු ප‍්‍රකටව සිටින්නේ ”පරා පැටියා” නමිනි. ඒ පරාක‍්‍රමබාහු රජුගේ ළමා කාලය රඟපාන නිසාය. එලෙසින් පරා පැටියා ලෙස සුරතල් නාමයෙන් හඳුන්වන ඔහු කවුද?
මේ ළමා ශිල්පියාගේ නම ප‍්‍රමුදිත උදයකුමාරය. නාරම්මල ඔහුගේ උපන්ගමය. වයස අවුරුදු 6 කි. මේ පුංචි ප‍්‍රමුදිත සිරිපැරකුම් චිත‍්‍රපටයට තෝරා ගත්තෙ කොහොමද? ඒ ගැන ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක අපට පැවසුවේ මෙලෙසිනි.
”සිරිපැරකුම් චිත‍්‍රපටයට ළමා ශිල්පීන් තෝරා ගැනීම සඳහා වූ දැන්වීමක් පුවත්පත්වල පළකළාම, ඒ සඳහා විශාල පිරිසක් අයදුම්කර තිබුණා. ඉන්පසුව අපි ඒ තෝරාගත් අය අතරින් වැඩමුළු පැවැත්වුවා. ඒ සියලූදෙනා අතරින් වඩාත් සුදුසුකම් ලද දරුවා වුණේ මේ පුංචි ප‍්‍රමුදිතයි. ඊට හේතු වෙච්ච කරුණු බොහෝමයක් තිබුණා. මේ දරුවාට අප විසින් පවරන ලද සියලූ දේ එයා නොපැකිළිව ඉදිරිපත් කළා. සබකෝලය තිබුණෙම නැහැ. ඒ ඒ අවස්ථාවට අනුව සියල්ල නිවැරදිව කළා. පසුව මෙයා චිත‍්‍රපටය සඳහා ගැනීමට පෙර එයා ඉගෙන ගන්නා පාසලේ ගුරුවරුන්ගෙන් අපට අවසර ගත යුතු වුණා. අපි ගුරුවරුන්ගෙන් මේ දරුවා ගැන විමසුම් කළාම, ගුරුවරු කිව්වෙ මේ දරුවාගේ ඉදිරිපත්වීමේ හැකියාව ඉතා ඉහළයි කියලයි. ඉතින් මේ චරිතය සඳහා මේ දරුවා ඉතා කදිමට ගැලපුණා”
මේ විදියට සිරිපැරකුම් චිත‍්‍රපටය සඳහා තෝරා ගැනුණු පුංචි ප‍්‍රමුදිත රූගත කිරීම්වලට බොහෝ දුරට ආවේ ගියේ එයාගේ සීයා එක්කයි. අම්මා තාත්තා දෙන්නම ගුරුවරු නිසා ඒ අයට නිතරම එන්න ලැබුණෙ නැහැ. ප‍්‍රමුදිතගෙ තාත්තා මයුරපාද විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයායි. මව විද්‍යා අංශයේ ගුරුවරියකි. ප‍්‍රමුදිතගෙ පුංචි මල්ලි එළිය දුටුවෙ ඔහු මෙම චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වෙමින් සිටියදීයි. ඒ පුවත දැනගත් ප‍්‍රමුදිත අම්මා ළඟට දිව ගියේ පුදුමාකාර සතුටකින් ලූ. චිත‍්‍රපටය රූගත කරන කාලයේදී අම්මා තාත්තාගෙ අඩුවක් ඔහුට නොදැනුණේ මේ චිත‍්‍රපටයට සම්බන්ධ හැමෝම පුංචි ප‍්‍රමුදිතට පුදුම විදියට ආදරය කළ නිසයි. මෙයාට බත් කැව්වෙ රේණු නැන්දා ලූ. චිත‍්‍රපටයේ රූගත කිරීම් අතරවාරයේදී විරාමයක් ලැබුණාම හැමෝම දුවගෙන ආවේ පුංචි ප‍්‍රමුදිත ළඟට ලූ. ඇයි දන්නවද මෙයාට කවියක්, සිංදුවක්, කතාවක් කියන්න යැයි කියූ විගස ඒවා ගයා පෙන්වූයේ නැටුමකුත් සමග ලූ. මේ නිසා චිත‍්‍රපටයේ හැමෝම ආදරයට මෙයාට ආමන්ත‍්‍රණය කළේ සෝමේ මාමා ලෙහෙසියට දාපු නම වන ”පරා පැටියා” නමින් ලූ.
චිත‍්‍රපටයේ එන කතාවේ හැටියට, මේ පුංචි කුමාරයාට මාළිගාවෙන් මරණීය තර්ජන එල්ල වෙනවා. මේ නිසා පුංචි කුමරුට ආදරය කරන පතිරාජ සෙනෙවි, රෙදි නැන්දා අත මෙයාව හොර රහසේම ගම්මානයකට පිටත් කර හරිනවා. මෙයා රාජ කුමාරයෙක් වග ගමේ අයට කියන්න බැහැ. එහෙම කිව්වොත් මේ රහස හෙළිදරව් වෙනවා. මේ නිසා රෙදි නැන්දා මෙයාව ගමට කැන්දාගෙන යන අතරවාරයේදී, ”උඹ රාජකුමාරයෙක් නෙමේ ගමේ කොල්ලෙක්”
කියලා කියනවා. එහෙම කියන්නෙ මේ රහස රකින්න  ඕනෑ නිසයි. මෙන්න මේ නිසා තමයි, මෙයා ”මම රාජ කුමාරයෙක් නෙමේ, ගමේ කොල්ලෙක්” කියලා නිතරම කියන්න පටන් ගත්තෙ. මේ දෙබස අද වන විට රටපුරා වඩාත් ජනප‍්‍රිය වීමේ රහස එයයි.
පුංචි ප‍්‍රමුදිත ගැන තවත් විස්තර කිව්වොත්, එයා අනෙක් ළමයින්ට වඩා ගවේෂණාත්මක දේවලට කැමති කෙනෙක්.
”බොහෝ ළමුන් පැණි රස ජාතිවලට කැමතියි. ටොපියක්, චොක්ලට් එකක් දුන්න විගස එය කෑමට ප‍්‍රියයි. ඒත් මේ දරුවා එහෙම කෙනෙක් නෙවෙයි. චොක්ලට් එකක් - ටොෆි එකක් දුන්නාම, එයා එය කෑමට වඩා එය ඔතා තිබෙන්නෙ කොහොමද? එහි ඇති චිත‍්‍රය මොකක්ද? චොක්ලට් හදන්නෙ කොහොමද? ආදී දේ ගැන කතා කරන්න වඩා විමසිලිමත් වුණා.”
සෝමේ මාමා පුංචි ප‍්‍රමුදිත ගැන මේ විදියට විස්තර කළේ බොහෝම ආඩම්බරයෙන්. අද ඒ ආඩම්බරය ඇත්තේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන ඔහුට විතරක් නෙවෙයි. අද නාරම්මල අවට ගම්වාසීන් මෙයාව අගය කරන්නෙ බැනර් කටවුට් එහෙම තැන තැන ප‍්‍රදර්ශනය කරලයි.
”රාජ කුමාරයෙක්ගෙ චරිතය නිරූපණය කළ, අපේ ගමේ අපේ කොල්ලාට ගමේ උපහාරය” යන පුවරු ඒ විදියට දැකගන්න පුළුවනි.
මයුරපාද කණිෂ්ඨ විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන පුංචි ප‍්‍රමුදිතගේ අරමුණ කෙදිනක හෝ ඉංජිනේරුවරයකු වීමට ලූ.
”දොස්තර කෙනෙක් වෙන්න පුතා” යැයි මව කීවාම ප‍්‍රමුදිත කියා ඇත්තේ, ”දොස්තර යන්නෙත් කාර් එකෙන්, ඒ නිසා මට  ඕනෑ කාර් හදන්නයි, එහෙම වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න  ඕනෑ” පුංචි ප‍්‍රමුදිතගේ ඒ අරමුණ අනාගතයේදී සඵල වේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.
 
 


 http://www.lankadeepa.lk/index.php/articles/155174

දහම් අධ්‍යාපනයේ මාත්‍රාව වැඩි කළ යුතු...

දහම් අධ්‍යාපනයේ මාත්‍රාව වැඩි කළ යුතු...

කලක සිටම පෞද්ගලික උපකාරක පංති තහනම් කොට ඉරිදා උදෑසන දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට නොයෙකුත් බෞද්ධ ආයතනයන් මෙන්ම, තවත් සංවිධාන බොහොමයක්‌ විසින් විටින් විට උත්සාහ කරන ලදි. කවුරු කොතෙක්‌ උත්සාහ කළද, රජය ඒ සඳහා සෘජුව මැදිහත් නොවූයේ ඉරිදාවන්හි දී පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම තහනම් කැරෙන නීති සම්පාදනය කිරීමට වත්මන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව බාධකයක්‌ වී ඇති බැවිනි.ඒ බැව් හිටපු නීතිපතිවරයා පෙන්වා දීමෙන් අනතුරුව, ඉරිදාවන්හි දී පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම තහනම් කෙරෙන නීති සම්පාදනය කිරීම සඳහා දැරූ උත්සාහයට, රජයට මැදිහත් විය නොහැකි බව හිටපු අග්‍රාමාත්‍යතුමාද වරක්‌ ප්‍රකාශ කර ඇති පුවතක්‌ පුවත්පතක දුටිමි.

කෙසේ වුවද, මොනයම් හෝ ක්‍රමයකින් ඉරිදා උදෑසන පෞද්ගලික උපකාරක පංති පැවැත්වීමට බාධා කොට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ පමණින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවේද යනු, ඒ පිළිබඳව ගැඹුරින් සිතන යමෙකුට ගැටලුවකි. එවැනි ආකල්ප ඉටුකර ගැනීම පිණිස ක්‍රියාත්මක වීමේදී, සෑම නිවසක්‌ම පෞද්ගලික උපකාරක පංතියක්‌ බවට පත්වීමට ද ඉඩ තිබේ.

5 ශිෂ්‍යත්ව විභාගය අරමුණුකොට මේ දිනවල පැවැත්වෙන පොදු සම්මන්ත්‍රණ ඒ සඳහා හොඳම උදාහරණයකි.පෞද්ගලික උපකාරක පංති පමණක්‌ නොව නොයෙකුත් පළාත් සභා විසින් සංවිධානය කරන බොහෝ සම්මන්ත්‍රණද ඉරු දිනවලදීම යොදා ගැනීම තුළින්, දහම් පාසල් අධ්‍යාපනය එතරම් ගණනකට ගෙන ඇති බවක්‌ නොපෙනේ.

දහම් අධ්‍යාපනයෙහි මූලිකම අරමුණ දහමට අදාළ දේ ඉගැන්වීමය. දෙමළ භාෂාව, ඉංගී්‍රසි, ගණිතය හෝ විද්‍යාව වැනි විෂයන් පිළිබඳව දැනුමක්‌ ලැබීමට කිසිවෙක්‌ දහම් පාසල් වෙත යන්නේ නැත. එබැවින් දහම් පාසලේ මූලිකම අරමුණ වන්නේ බුදුදහම ඉගැන්වීමය.

මෙය කොතරම් වගකීමකින් ඉටුකළ යුතු අසීරු කාර්යයක්‌ දැයි මානසික සුවතාව නැමැති බෝගොඩ ප්‍රේමරත්නයන්ගේ කෘතියේ සඳහන් කොට ඇත්තේ මෙසේය.

'බුදු දහම ඉගැන්වීමේ එකම අරමුණ අප ඇසුරට එන අන් අයගේ හිත සුවපත් කිරීමයි. ඔබත්, ඔබේ සිසු දරුවනුත් මේ මොහොතේ එකම පරිසරයක රැස්‌වී සිටිනවා වාගේම, එක හා සමාන මානසික පරිසරයක ජීවත් වන තත්ත්වයක්‌ ඇති කරගත යුතුයි.'

'බුදු දහම ඉගෙනුමේ අරමුණ මානසික සුවතාව හෙවත් දුක්‌ කරදරවලින් හිත නිදහස්‌ කර ගැනීම බව කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ස්‌වභාව ධර්මයට පටහැනිව හිත හැසිරවීම දුකට මූලික හේතුව බව කිව හැකිය. ඒ නිසා හිත වැඩ කරන විධි දැන හඳුනා ගෙන, හරි හැටියට හිත හසුරුවා ගැනීමට පුරුදු පුහුණු වීම බුදු දහම ඉගෙනුමේ අරමුණයි. අපේ සිසු දරුවන් දැනුම ලබා ගන්න පුරුදු වෙලා ඉන්නේ ගුරුවරුන් කියන දේට ඇහුම්කන්දී පොතපත කියවා බලා. මේ දෙවිධියෙන්ම කෙරෙන්නේ තමන්ගේ ජීවිතයට පිටින් තියෙන දේ ගැන ඇහැට පේන විධියට, කනට ඇහෙන විධියට දැන ගැනීමයි. බුදු හිමියන් මේ දේවල් හඳුන් වන්නේ පරතෝ ඝෝසෝ කියාය. අනුන් ගේ කතාබහ කියන ශබ්ද ශාස්‌ත්‍රය හරහා ගලා එන අදහස්‌. මෙය බුදුදහම ඉගෙන ගැනුම වන්නේ නැති බවත් උන්වහන්සේ අවධාරණය කොට තිබෙනවා.'

මේ අනුව බුදු දහම ඉගෙන ගැනීමත්, ඉගැන්වීමත් බරපතළ බුද්ධිමය ව්‍යායාමයකි. දහම් පාසල් අධ්‍යාපනය සඳහා සුදුසු අකෘතියක්‌ ගොඩනැඟීමටවත් කටයුතු නොකරමින්, දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට දරන උත්සාහයෙන් සමාජ සුබවාදී ප්‍රතිඵලයක්‌ බලාපොරොත්තු විය හැකිවේද?

අධාර්මිකව උපයාගත් ධනයෙන් හෝ, මතුවට යම් යම් ධාර්මික වැඩකටයුතුවල නියෑලීමෙන්, පෙර කරන ලද අකුසලකර්මය හේතුවෙන්, ලැබීමට නියමිත බලගතු ප්‍රතිවිපාක බොහෝ දුරට දුරුවන බව එක්‌තරා ස්‌වාමීන් වහන්සේ නමක්‌ විද්යුත් මාධ්‍යයෙන් දේශනා කරනු ඇසිණි.

මෙය බුදුදහමට අනුව කොතෙක්‌ සාධාරණ ධර්මෝපදේශයක්‌ දැයි නොතේරේ. එවැනි දේශනා බුද්ධ දේශනා විය නොහැකිය. ඇතැම් විට එවැනි දේශනා, තමුන්ගේ ප්‍රායෝගික තත්ත්වයෙන් තමුන් විඳින වදවේදනාවලින් හිත සුවපත් කර ගැනීම පිණිස එම හිමියන් විසින්ම දේශනා කරගත් ධර්මයක්‌ විය හැකිය. අපේ දුවා දරුවන්ට ද දහම් පාසලේ දී හෝ, මෙවැනි දේවල් ඉගෙන ගැනීමට ලැබුණහොත් අනාගත සමාජයට උදාවන කල දසාව වර්තමානයට වඩා ශෝචනීය විය හැකිය.

ගුරුවරියක්‌ දණගස්‌වන ලද, පළාත් සභා මන්ත්‍රීවරයා මෙන්ම, අල්ලස්‌ ගත් බවට චෝදනා ලැබ සිටින අධිකරණ විනිසුරුවරයාද ඇතැම් විටක දහම් පාසල් අධ්‍යාපනය ලැබූවන් විය හැකිය. මෙයට අමතරව සියයකට ආසන්නව චෝදනා ලැබ සිටින ආණ්‌ඩු පක්‍ෂයේ දේශපාලකයන්aද බොහෝ දුරට දහම් පාසල් යන්නට ඇත. ඒ අය ගැන වැඩිපුර කථා බහ කෙරෙන්නේ දැනට ආණ්‌ඩු පක්‍ෂයේ සිටින බැවිනි. ජයවර්ධන යුගයේදී මහා ඇදුරු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දෙපාවලින් හරකකු මෙන් ඇදගෙන ගොස්‌ පහර දුන් පාහරයන්ද වැස්‌සකට හෝ දහම් පාසලකට ගොඩ වන්නට ඇත. අග්ගොන චන්දරේ මෙන්ම, ජුලංපිටියේ අමරෙලාද දහම් පාසල් යන්නට ඇත. කියන කතාවලින් ජනතාවට මූණත්තහඩු පෙන්වන ඇතැම් පාර්ලිමේන්තු ජෝකර්ලාද ගමේ දහම් පාසලින් අධ්‍යාපනය ලබන්නට ඇත.

මෙවැන්නන් දහම් පාසල් ගියත් ඉන් වැඩක්‌ වී නැත. ඉන් ගම්‍ය වන්නේ දහම් පාසල වැඩක්‌ නොවන තැනක්‌ යෑයි තර්ක කිරීම නොවේ. බෝගොඩ ප්‍රේමරත්නයන්ගේ උදාර අදහස ගැලපෙන්නේ, මෙවැනි නරුමයන්ද දහම් පාසල් අධ්‍යාපනය ලැබුවත් සැබෑ දහම් අධ්‍යාපනයක්‌ ලබා දී ඔවුන් සුමගට යොමු කිරීමේ වගකීම බොහෝ දහම් පාසල් තුළින් ඉටු නොවී ඇති බැවිනි. දහම් අධ්‍යාපනය සඳහා සුදුසු ආකෘතියක්‌ ගොඩනැඟීම ජාතික වගකීමක්‌ වී ඇත්තේ එබැවිනි.

පසුගිය දශක දෙක තුනක සිට මේ ධර්මද්වීපයේ ජනතාව තුළ පැවති ගුණ දහම් සීග්‍රයෙන් විනාශ වී ගොස්‌ ඇති බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. භෞතික සම්පත් වැඩි දියුණු වූ බව සැබෑවකි. අමාවතුර බුත්සරණ වැනි ජාතික සාහිත්‍යය විනාශ වීමට ඉඩදී තාක්‍ෂණයෙන්ම පමණක්‌ රට ගොඩගන්නට උත්සාහ කරන්නට යැමේදී මේ සියල්ල විනාශ වන බව නැවත නැවතත් කිවයුතු නොවේ.සංස්‌කෘතිය බල්ලට දමා ජාතියක්‌ ගොඩනඟන්නට උත්සාහ කරන්නේ නම් එය කිසිදිනක ඉටු නොවන බව දිගින් දිගටම පෙන්වා දිය යුතු නැත.

මැදහත්ව සිතා බලන කෙනෙකුට මේ සිදුවන විනාශයන් දෙස විචාරවත්ව සිතා බැලීමේදී හිත හදා ගත හැකි දේ ද නැතිවා නොවේ. කොසොල් රජු දුටු සිහින දහසය කෙමෙන් කෙමෙන් සැබෑවන යුගය ළඟා වෙමින් තිබේ.

සමාජය පිරිහීමේ කඩිනම් පියවර ආරම්භ වූයේ 80 දසකයේ මුල සිටය. එතෙක්‌. දහම් අධ්‍යාපනයෙන් ලබාදුන් දේ එවකට ප්‍රමාණවත් වුවද, වර්තමානයේ දහම් අධ්‍යාපනයේ මාත්‍රාව වැඩිකර දිය යුතුව තිබේ. එසේ නොවන්නේ නම් එක්‌ ගුරුවරියකට පමණක්‌ නොව සමස්‌ත ගුරු පරපුරටම දේශපාලන හෙන්චයියලා ඉදිරියේ දණ ගැසීමට සිදුවනු ඇත.

වර්තමානය වන විට පළාත් සභා, ප්‍රාදේශීය සභා මෙන්ම නගර සභා නියෝජිතයන්ගෙන් බන්ධනාගාරය පිරී ඉතිරී ගොස්‌ ඇත. මෙය දිනෙන් දින අඩු වන ලකුණු නොව, වැඩි වන ලකුණු පහළ වෙමින් තිබේ. ජනතාවට අවශ්‍ය වන්නේ මේ අපරාධකරුවන්ට ලබාදුන් දඬුවම මිස, උන්ව ආරක්‍ෂා කිරීමට වෙර දරන, ඊට නොදෙවෙනි අපරාධකරුවන්ගේ විලි ලඡ්ජා නැති තර්ක විතර්ක නොවේ.

කෙසේ වුවද මේ තත්ත්වය වෙනස්‌ කළ හැක්‌කේ ආකල්පමය වෙනසක්‌ තුළින් පමණි. එබැවින් දහම් මත්‍රාව වැඩි කර දිය යුතුය. දහම් පාසලකට තබා පාසලකටවත් වැස්‌සකට ගොඩ නොවූ ඇතැම් දේශපාලකයන්ට දහම් මාත්‍රාව වැඩි කොට දීමද ගැටලුවකි. ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක්‌ හඳුන්වාදීමට කාලය පැමිණ ඇත. සමස්‌ත සමාජයටම මෙන්ම, අනාගත ලක්‌දෙරණම විනාශ කරන මේ අපරාධකරුවන්ට දහම් අධ්‍යාපනය කෙසේ ලබාදිය යුතු දැයි සැලසුම් කිරීමට වහවහාම විද්වත් මණ්‌ඩලයක්‌ පත්කළ යුතුය.

මෙහිදී, අවධානයට ගත යුතු කරුණු රාශියක්‌ තුඹුල්ලේ සීලක්‌ඛන්ධ හිමියන් ලියූ 'අස්‌ගිරි මහා විහාරයේ ප්‍රභවය විකාශය හා තදානුබද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය' නමැති කෘතියෙහි ඇතුළත් කොට තිබේ. එහි එක්‌ ඡේදයක මෙසේ සඳහන් වේ.

'පොදුවේ බලන විට නූතන භික්‍ෂූ අධ්‍යාපනයේ අඩුපාඩු එමටය.ඒ බව කාගේත් පිළිගැනීමයි.විෙද්‍යාදය, විද්‍යාලංකාර පිරිවෙන් විශ්aවවිද්‍යාල තත්ත්වයට පත්වන තුරු ආරක්‍ෂා වුණු, පෝෂණය වුණු, වර්ධනය වුණු සම්ප්‍රදාය ප්‍රාචීන අධ්‍යාපනය මෙන්ම ථෙරවාද අධ්‍යාපන සම්ප්‍රදාය මේ සියවසෙහි මැද භාගයෙන් පසු ක්‍රමයෙන් අඩාල විය.රජයේ විභාග පටිපාටිය හා සම්බන්ධ වීමද මේ පරිහානියට හේතු විය. පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල තත්ත්වයට පත්කරන විටත් විශ්ව විද්‍යාල තත්ත්වයේ උසස්‌ මට්‌ටමක ඒවායෙහි අධ්‍යාපනය පැවතුණි. පිරිවෙන්, නමින් පිරිවෙන් වුවද. අධ්‍යාපන මට්‌ටමින් විශ්වවිද්‍යාල තත්ත්වයෙන් පැවතුණ බව එකල පිළිගැනීම විය.මෙසේ, දෙපිරිවෙන් මෙම විශ්ව විද්‍යාල තත්ත්වයෙන් පැවතියේ එහි පවත්වාගෙන ආ උසස්‌ මට්‌ටමේ සාම්ප්‍රදායික අධ්‍යාපන ව්‍යqහය නිසාය.මේ හේතුවෙන් පිරිවෙන් දෙකට විශ්ව විද්‍යාල නාමය දෙමින් 1959 දි රජය ක්‍රියා කළේ බෞද්ධ සංස්‌කෘතිය ආරක්‍ෂා වන පරිදි පාළි, සංස්‌කෘත, තර්කන්‍යාය යන පාරිවේණික අධ්‍යාපනය වඩාත් පුළුල් කොට ඒ පිළිබඳව තවදුරටත් පර්යේෂණ පවත්වමින් ධර්ම විනය දෙකට මුල් තැන දෙන පැරණි ථෙරවාද බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය ශක්‌තිමත් කිරීමටය.මේ අයුරින් පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්‌කරණය කිරීමේ අවශ්‍යතාව දැනට කලයක සිටම පැවත එයි.'

වර්තමානයේ ඇතැම් පිරිවෙන් ටියුෂන් පංති පමණක්‌ නොව කේක්‌ වැඩ, මනාලියන් හැඩ ගැන්වීම්, රූපලාවන්‍ය මෙන්ම එන්.ජී.ඕ හොර නඩයන්ගේ තිප්පොළවල් බවට පත්කර ගෙන ඇත.බොහෝ පළාත් තුළ දහම් පාසල් වලට, ඇතැම් දෙමාපියන් සිය දරුවන් යොමු නොකිරීමටද ඉහත තත්ත්වය සෘජුව බලපා ඇත.

ලඡ්ජා බිය හඳුනන, පිං පව් කෙරෙහි හැඟීමක්‌ ඇති චරිතවත් පුද්ගලයකු බිහි කිරීම දහම් පාසලක්‌ පවත්වාගෙන යැමේ අරමුණු අතර.ප්‍රධානතම අරමුණ වේ.

බුදු දහම ඉගැන්වීමේ අරමුණ මෙන්ම එය ඉටුකර ගැනීමට ඇති ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ඉගැන්වීම තුළින් දහම් අධ්‍යාපනය වඩාත් අර්ථවත් කළ හැකිය යනු මාගේ හැඟීමයි.

අයි. ජී.එල්.ජයවීර

http://www.divaina.com/2013/07/22/gurusitha01.html

ලද දන් මටත් දෙන පොඩි හාමුදුරුවනේ

ලද දන් මටත් දෙන පොඩි හාමුදුරුවනේ
බුදු බණ කෙබඳුදැයි මගෙ හදවතට දැනේ
පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩවසන මේ කුඩා සාමණේරයන් වහන්සේලා අවට කැලෑවේ සිටින රිළවුන්ගේ කුසගිනි නිවමින් දන් වළඳන ආකාරය  "දිවයින" කැමරාවේ මෙසේ සටහන් විය.
ඡායාරූපය - රොෂාන් තුෂාර - අරලගංවිල

ඇසළ පුද ලබන දෙවිනුවර දෙවියෝ උපුල්වන්ද, විෂ්ණුද?

ඇසළ පුද ලබන දෙවිනුවර දෙවියෝ උපුල්වන්ද, විෂ්ණුද?

වීරසේන අල්ගෙවත්ත



ඇසළ මහ දෙවියන්ගේ මාසය ලෙස පැරැන්නෝ විශ්වාස කළෝය. ඒ ඇසළ මසින් අරඹා එකක්‌ ඇවෑමෙන් එකක්‌ ලෙස පිළිවෙලින් පැවැත්වෙන දේව පූජාවලිය දිවයිනේ නන් දෙසැ පිහිටි දේවාල රැසක පැවැත්වෙන බැවිනි.

දිවයිනේ පැවැත්වෙන පූජා උත්සව අතරින් අතිශයින් චමත්කාර ජනක ඇසළ පූජා සැණකෙළිය මහනුවර "දළදා" පූජාවලියයි. එහෙත් එය තනිකරම "දළදා" පූජාවක්‌ නොවන්නේ දළදා වහන්සේ ප්‍රමුඛව සිවු මහ දේවාල පූජාවක්‌ද ඒ සම`ගමැ පැවැත්වෙන බැවිනි. කතරගම "මහසෙන්" (ස්‌කන්ධකුමාර ?) දෙවියන්ද, "දෙවිනුවර" උපුල්වන් (විෂ්ණු ?) දෙවියන්ද "රත්නපුරේ" "සමන්" දෙවියන්ද "නවගමුවේ" "පත්තිනි" දෙවියන්ද මේ ඇසළ පූජා ලබන ප්‍රධාන දෙවි වරුන්යෑ. මීට අමතරව දිවයිනේ නන් දෙස පිහිටි විවිධ ප්‍රාදේශීය අගයන් ගන්නා දේවාලවලද ඇසළ පූජා සැණකෙළි පැවැත්වෙයි. සාමාන්‍යයෙන් ඇසළ මසින් ඇරඹෙන පූජා උත්සව මාලාව සිවු මසක්‌ පමණ කාලයක්‌ දක්‌වා පැවැත්වෙයි. "ඇසළ පෝය" "ශුද්ධ පෝය" නමින් දකුණේ ඇතැම් ප්‍රදේශවල ජනතාවෝ හඳුන්වති. වහරති. මේ නිසාම ඇසළ පුර පසළොස්‌වක දා සිට ඊළ`ග අටවක පෝය දක්‌වා සතියක පමණ කාලයක්‌ දකුණේ සෑම නිවසක පහන් පැලක්‌ සාදා දෙවියන් උදෙසා එම පහන් පැලේ පොල් තෙල් පහනක්‌ දල්වයි. මෙය දෙවිනුවර දෙවියන් උදෙසා කරන පූජාවකි.

දෙවිනුවර දෙවියෝ කවරහුද ? පැරැණි මූලාශ්‍රවල සඳහන් අන්දමට දෙවිනුවර දෙවියෝ "උපුල්වන්" හෙවත් "උත්ඵලවර්ණ" දෙවි රජාණෝය. එහෙත් අද ඇත්තේ "ශ්‍රී විෂ්ණු" දේවාලයකි. ඇතැම් තැනෙක "ශ්‍රී විෂ්ණු උපුල්වන්" දේවාලය යනුවෙන්ද ලියෑවී ඇති ස්‌ථාන තිබේ.

"උපුල්වන්" සහ "ශ්‍රී විෂ්ණු" එකම දෙවියෙක්‌ ද ? එසේ නොවන්නේ ද ? වර්තමානයේ නම් සිතන බව පේන්නේ එකම දෙවි කෙනෙක්‌ ලෙසැ විය යුතු යෑ.

"ශ්‍රී විෂ්ණු" හින්දු සමයේ සඳහන් "ත්‍රි මූර්තියේ" එක්‌ දෙවියෙකි. "බ්‍රහ්ම" "විෂ්ණු" "මහේෂ්වර" ඒ ත්‍රීමුර්තියයි. ලොව පාලනය කරන්නේ "විෂ්ණු" දෙවියන් විසින් යෑ යි හින්දූහු විශ්වාස කරති. මහා සමය සූත්‍රයේ බුදුන් වහන්සේ බැහැ දැකීමට පැමිණි දෙවි වරුන් ගේ නම් අතර "වෙණුහු" නමැති දෙවි කෙනෙක්‌ ගැනද සඳහන් වෙයි. හෙතෙම විෂ්ණු හු මැ දැයි අපැහැදිළිය. "විෂ්ණු" කාල වර්ණයෑ "සුරා' සුර"යුද්ධයට පෙරැ "කිරි මුහුද" කලඹන විට හමු වූ මංගල වස්‌තූන් අතර සිටි වාසනාවේ දෙව්දුව වූ ශ්‍රියා කාන්තාව "විෂ්ණු" හු ගේ බිරින්දෑ යෑ.

"උපුල්වන්" දෙව් රජ ගැන මුලින්ම සඳහන් වන්නේ විජය කුමරුන් ලක්‌දිවට පැමිණෙන අවස්‌ථාවේ බුදුන් වහන්සේගේ ඇනැවීමෙන් සක්‌දෙව් රජුගේ ඉල්ලීම අනුව විජය කුමරුන් ප්‍රමුඛ පිරිසට පිරිත් පැන් දී පිරිත් හූ බැඳ අහසින් යන මහාවංශයේ තොරතුරෙනි. එහි මෙසේ සඳහන් වන්නේ යෑ.

"පිරිනිවන් ම`ඤaචකයෙහි" හොත්තාවූ ලෝහිමි වූ වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ මුනිතෙමේ මහත් වූ දේව සමාගමයෙහි දී එහි සමීපව සිsටි ශක්‍රයා හට වදාරණ සේක්‌ සිංහ බා රජු පිත් තෙල විජය කුමර අනුගත සත් සියයක්‌ පිරිවර ඇතිව ලාට රටින් (අවුත්) ලක්‌දිව බැස්‌සේය. දේවේන්ද්‍රය මාගේ සස්‌න ලක්‌දිව් හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහු ද ලංකාවද මොනවට රකුව්යි වදාළ සේක ........ දේවේන්ද්‍ර තෙමේ තථාගතයන් බස ගෞරවයෙන් ඇසූයේම උපුල්වන් දෙව් රජ හට ලංකාරක්‌ෂාව භාර කළේය. ඒ තෙමේ ශක්‍රයා විසින් කී පමණින් එකනෙහි ලක්‌දිව අවුත් පරිබ්‍රාජක වේශයකින් රුක්‌ මුලෙක හුන්නේය. විජය කුමාරයා ප්‍රධානකොට ඇති සියල්ලෝ උහු වෙත අවුත් පින්වන්නි ( මේ තෙමේ කවර දිවයිනක්‌ දැයි විචාළෝය. හේ තෙමේ ලක්‌දිව යයි කියා මිනිස්‌සු මෙහි නැත්තාහු යයි ද තොපට භයෙක්‌ නොවන්නේ යයි ද කියා මෙසේ කියා කෙණ්‌ඩියෙන් මිනිසුන් පිරිත් පැන් ඉස උන් අත්හි (පිරිත්) හූ බැද අහසින් ගියේය.

(මහා වංශය, හත්වෙනි පරිච්ඡේදය - 2003 දෙසැ. ප්‍රකාශනය බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය. දෙහිවල)

රාජාවලියෙහි සඳහන් වන්නේ මෙයට තරමක්‌ වෙනස්‌ වූ විස්‌තරයකි. එහි සඳහන් වන්නේ ලක්‌දිව බුදු සසුන්හි භාරකාරත්වය බුදුන් වහන්සේ විසින් මැ උපුල්වන් දෙවිඳුන් වෙත භාර කළ බවකි.

දස දහසක්‌ ශක්‍රයන් අතුරෙන් මේ ම`ගුල් සක්‌වල බලන ශක්‍රයන් ළ`ගට කැඳවා ශ්‍රී ලංකාව භාර කර දී විජය කුමාරයාට ආරක්‌ෂාවට පිරිත් නූල් හා පිරිත් පැන් දී "උපුල්වන්" දෙවිඳුහට ශ්‍රී ලංකාව භාර කර දී පිරිනිවන් පෑ වදාල සේක. විජය රජ නුගසේවණේ උන්විට "උපුල්වන් " දෙවිඳු තපස්‌ වෙස්‌ ගෙන කසා වතින් ඇවිත් විජය කුමාරයා හට පිරිත් නූල් කරලා පන්සියයක්‌ යෝධයන්ට පිරිත් පැන් ඉස දෙව්ලොව ගියාහ.

(රාජාවලිය Aගඪග සුරවීර. අධ්‍යාපන ප්‍රකාශන දේපාර්තමේන්තුව)

මහාවංශ ටීකාවේ සඳහන් වන්නේ උපුල්වන් දෙව් රජුන් විජයගේ මවුබිම වූ "ලාට" දේශයෙහි පූජා ලැබූ දෙවියෙක්‌ බවයි. ඒ නිසා සක්‌දෙව් රජ විජය අතැ පිරිත් හූ ලැමට ඔහුම තෝරා ගත්තා විය හැකි යෑ.

"පැරකුම්බා සිරිත" කළ කවියා පවසන්නේ මීට ඉඳුරාම වෙනස්‌ වූ අදහසකි. ඔහු උපුල්වන් දෙව් රජුගේ ලංකාවතරණය සිදු වී ඇති අන්දම වාර්තා කරන්නේ මෙසේය.

ඉමල් හල මුනි ලෙසින් වදහළ මෙලක රකිනුව මෙත් සිතින්

උපුල් වන් දෙව් රජුන් පිළිරුව වඩිනු දැක මහ සයුරකිsන්

විමල් ගුණ යුත් නමින් "දාපුළුසෙන්" රජෙක්‌ ආ එමොහොතින්

විමල් සිරි දෙව් නුවර කරවා පිහිට කරවී යහපතින්

(පැරකුම්බා සිරිත - මහාචාර්ය රෝහිණී පරණවිතාන - 1997 මධ්‍යම සංස්‌කෘතික අරමුදල)

මේ වාර්තාව අනුව "දාපුළුසෙන්" නම් රජ කෙනෙකුන් කාලයේ උපුල්වන් දෙව් රුවක්‌ මුහුදේ පාවී පැමිණි බවත් රජු එහි ගොස්‌ දෙව් රුව රැගෙන දෙවිනුවර කරවා එහි දේව ප්‍රතිමාව වඩා හිඳැ වූ බවක්‌ යෑ, පැහැදිලි වනුයේ.

පැරැකුම්බා සිරිත රචනා වන්නේ කෝට්‌ටේ රාජ්‍ය සමයේ දී යෑ. ඊට පෙර ලියෑවී ඇති දීපවංශ, මහාවංශ ආදියෙහි මෙවැන්නක්‌ සඳහන් නොවේ. "කිහිරැලි" යන විශේෂණ පදයක්‌ උපුල්වන් දෙව්රජුගේ නමට මුලින් යෙදේ. "කිහිරි" ලීයෙන් තැනූ දේව ප්‍රතිමාවක්‌ නිසා මේ නම යෙදෙන බව ජනප්‍රවාද පුවත්වලින් පෙනේ. මුහුදෙහි ඔබැ මොබැ පා වෙමින් තුබූ විශාල කිහිරි කඳක්‌ දැක මහ පිරිස්‌ වෙරළට රැස්‌ ව එය ගොඩ ගැන්මට මහත් වෙහෙසක්‌ දැරුවද කිසිවකුට එය කළ නොහැකි විය. කවරක්‌ හෝ කිහිරි කඳට ලංවත්ම එය ඈතට යන අතර පිරිස්‌ මෑත් වන කල්හි වෙරළ අසලට පා වෙන්ට විය. මේ අසිරිය දා පුළු සෙන් රජුට සැලවී එතුමන් වෙරළට පැමිණි කල්හි කිහිරි කඳ රජු වෙතට පාවී ආවේලු. රජු කිහිරි කඳ ගොඩට ගෙන "මෙයින් දෙව් රුවක්‌ තැනිය හැක්‌කේ කවරක්‌ හු හට දැයි සොයන අතර මහළු ශිල්පියෙක්‌ පැමිණ දෙව්වරු නිම කිරීමේ කාර්යය භාර ගත්තේය. ඒ මහළු ශිල්පියා මණ්‌ඩපයක්‌ තනවා එය සිවු දෙසින් තිර බඳවා කිසිවෙකුට නොපෙනෙන සේ ආවරණය කොට ගෙන එක්‌ රැයකින් දෙව් රුව නිමවා අතුරුදන් වී ලු. දෙව් රුව තැනීමේදී කිහිරි කදින් කැපී ගිය කිසිදු ලී කැබැල්ලක්‌ හෝ නොවී ලු. මේ මහා ආශ්චර්යය දුටු රජු පැහැද දෙවිනුවර දෙවොල තනවා එහි වඩා හිඳුවා මහ පෙරහැර පැවැත්වී යෑ.

මහා වංශයේ මේ දාපුළුසෙන් රජ "සාමි දප්පුල" නමින් හඳුන්වයි. මේ රජු අනුරපුරයේ දින හතක්‌ සිහසුන් ගතව සිට රුහුණට පැමිණ තුන් අවුරුද්දක්‌ රජ සිරි විඳි කෙනෙකි.

උපුල්වර්ණ ප්‍රතිමා නෙළීමට සුදුසුම ලීය "කිහිරි" ලීය වන බැවින් කිහිරි ලීයෙන් කළ උපුල්වන් පිළිමය කිහිරැලි උපුල්වන් නමින් හඳුන් වතියි සෙනරත් පරණ විතානයෝ කියති. කිහිරි ලීය (රත් හඳුන්) සැබැවින්ම ඉතා තද ලී වෙසෙසකි. "කිහිරි උලක්‌ ගෙන, ගල් පොත්තක්‌ කැණ " යෑ යි ජාතක පොතේ එන බැවින් එය ඉතා දැඩි බව වටහාගත හැකිය.

(ශාස්‌ත්‍රපති කරතොට ප`ඤaඤdසීල හිමි - ලක්‌මිණි පහන 1993 සැප්තැම්බර් කලාපය)

කදිරදේහලි වංශෝද්භූත යන යෙදුම පිළිබඳව විග්‍රහයක යෙදෙන විද්වත් මහ ප`ඩි කුමාරතුංගයෝ "දේහලී" යන්න "එළිපතෙට" නමෙක්‌ යෑ යි පවසති. ඒ අනුව උපුල්වන් දෙවොලේ "එළිපත" කිහිරි ලීයෙන් තැනුන නිසා කිහිරැලි උපුල්වන් වී යෑයි සිතන්නෝද වෙති. එහෙත් මෙය පිළිගත හැකි බවෙක්‌ නොපෙනේ.

දෙවුන්දරින් මෑත යුගයේ සොයාගත් සෙල්ලිපියක "ගිරියල කිහිරැල් පිරිවෙනට" යන පාඨයක්‌ ඇත. එයින් කියෑවෙන්නේ මේ පෙදෙස "ගිරියල" නමින් හැඳින්වූ බවයි. "ගිරියල" යන්න "ගිරිහෙල" වී යෑයි සිතිය හැකිය. එහි "කිහිරැළි" නමින් පිරිවෙනක්‌ වූ බවක්‌ ද කියෑවෙයි. මෙය අටවන සියවසට පමණ අයත් කින්නග්ගබෝධි ඈපා නන් ගේ සෙල්ලිපියක්‌ සේ පිළිගැනේ. ස්‌වාභාවික උස්‌ භූමියක පිටිහි දෙවිනුවර සොබා දහමින් රැකවරණය ලැබූ පුරවරයකි. "ගම්පොල" යුගය වනවිට මේ සියල්ල වෙනස්‌ වී යෑ. එවක ප්‍රසිද්ධව තුබුණේ "ඉරුගල් කුලතිලක" පිරිවෙනයි.

"විජය ප්‍රමුඛ පිරිස්‌' රක්‌නට සක්‌ දෙවියන් වෙත බුදුන් වහන්සේ කරන ඉල්ලීම හුදු ප්‍රබන්ධයක්‌ බව කියමින් කුමාරතුංගයෝ එම පුවත තරයේ ප්‍රතික්‍ෂේප කරති. එතුමෝ මෙසේ කියති.

"බෞද්ධ දේව ගණයේ මහ රජ වූ ශක්‍රයා ලවා ලංකාවට අධිපතිකම් කරවන්නට මෙසේ තැත් කළද "තතු විමැසූ කලැ උපුල්වන් කිසි කලෙක ශක්‍රයා යටතෙහි නුවූ බවද ආදියෙහි පටන් මැ ලංකාවට අධිපති වූ බවද පෙනී යේ.

(ප්‍රබන්ධ සංග්‍රහය - කුමාරතුංග මුනිදාස - විසිදුනු ප්‍රකාශකයෝ 2012)

මහාචාර්යය සෙනරත් පරණ විතාන මහතා පවසන්නේ උදක + පාල + වර්ණ යන පද එක්‌ වීමෙන් උත්ඵලවර්ණ යන නම සෑදුනු බවයි. එතුමා ගේ මතය අනුව උපුල්වන් දෙවි වෛදික වරුණ දෙවියාය. රෑ දවාල Rතු විපර්යාසය, ජීවයේ පැවැත්මට ආදිය මේ වෛදික දෙවියාගේ බලය මත රදා පවතී.

(සිංහලයන්ගේ මූලාරම්භය - ආචාර්ය A H මිරැන්ඩෝ 1993 - ඇම්.ඩී. ගුණසේන සහ සමාගම)

උදක + පාල + වරුණ යන්න ජලයෙන් පහළ වූ යන අර්ථයක්‌ ගෙනෙනවාය යන්නද මෙහිදී අමතක කළ නොහැකිය. උපුල්වන් දෙව් රද දෙවිනුවර ට ලැබෙන්නේ සමුදුරෙනි. ඒ අර්ථයෙන් බැලුවද මේ දෙව් රද ජලයෙන් පහළ වූ කෙනෙකි.

කිහිරි දැවයෙන් නිර්මාණය කළ දේව ප්‍රතිමාවක්‌ කිහිරි කඳේ පැහැය ගත යුතුය. එනම් "රක්‌ත" වර්ණයයි. එහෙත් උපුල්වන් දෙව් රජ තමා වසන සමුදුරෙහි පැහැය ගනී. එනම් නිල් උපුල් පැහැයයි.

මේ නිල් පැහැය (කළු) නිසා පසු කාලීනව යම් යම් ගැටලු තත්ත්aවයන් ඇති වූ බවද පෙනේ. හින්දු සමයෙහි දේව ත්‍රිත්වයේ ප්‍රමුඛ දෙවියා වූ විෂ්ණු දෙවියන්ද නිල් පැහැ දෙවියෙකි. ඒ නිසා "විෂ්ණු" සහ "උපුල්වන්" දෙදෙනෙක්‌ නොවැ, එකම දෙවි කෙනෙක්‌ යෑ යි බොහෝ දෙනෙක්‌ පිළිගන්නට වූහ. මේ නිසා සිදුවූයේ උපුල්වන් නාමය සමාජ පිළිගැනීමෙන් ඈත් වී ඒ තැනට "වෙණු" දෙවියා පත් වීම යෑ. මේ නිසාම බෙහෝ බෞද්ධයෙන් විශ්වාස කළේ බුදු සමයේ භාර කාරත්වය විෂ්ණු දෙවියන් සතු බවෙකි.

"විෂ්ණු දෙවියන් තමාගේ ආගම වූ හින්දු සමය නො රැක බුදු සමය රැක ගනීද ?"

මේ පිළිබඳව කුමාරතු`ගු මුනිදස්‌හු මෙසේ පවසති.

ඇතැමෙක්‌ උපුල්වනු විෂ්ණු යෑ යි ගනිත්. පිහිට නැති ගැන්මෙකි. "විෂ්ණු" නම් දඹදිව දෙවියෙකි. බැහැරින් දඹදිවට ආ බමුණෝ එහි එකලැ වැජඹුණු තමන්ගේ දේව ගණයට ඇතුළු කොටැ ගත්හ. විෂ්ණුද ඔවුනතර වෙයි. ලාංකාවට බමුණු බලය නොපැමිණි බැවින් ඔවුන්ගේ දෙවිවරු අමුත්තන් මෙන් ඇතුළතුන් මෙන් නොපැමිණි යෝය. විෂ්ණු හු ගේ දේවිය ලක්‌ෂ්මීය. පුත් ප්‍රද්යුම්ය යෑ. "ලක්‌ෂ්මිය" නම් මුත් ඇතැම් කවීන් විසින් වරින් වරැ "උපුල්වනු" වෙත යවන ලද බව සැබෑය. "ප්‍රද්යුම්න" යා එක වරකුදු නොගියේ යෑ. උපුල්වනු ගේ දේවි "චන්ද්‍රවතීය" පුත් "ධනු" යෑ මෙසේ වෙන් වැ මැ වැජඹෙන විෂ්ණු උපුල්වන් දෙදෙනා පුරාතන සිංහල යෝ සියලු විටැ දෙ දෙනෙකු කොටැ මැ දුටහ. අවුල නැගුණේ මෑත කැ යෑ. එදා දන්නවුන් අතරැ නොවේ.

(ප්‍රබන්ධ සංග්‍රහය. කුමාරතුංග මුනිදාස - විසිදුනු ප්‍රකාශන - 2012)

සන්දේශ කවීන් අතර අතිශයින් ජනප්‍රිය දෙවියන් වුයේ උපුල්වන් දෙවිඳුය. තිසර, මයුර, පරෙවි සහ කෝකිල සන්දේශ කරුවෝ තම කාව්‍ය අරමුණු උදෙසා මේ දෙවිඳුන් පිදූහ. ඔවුහු උපුල්වන් විෂ්ණු දෙදෙනෙක්‌ බව මැ දත්හ.

23. විසේස වන් විකුමෙන් සදිසි දිය බඳ

රෝසේ රැපෑ පෙරැ සුර කුරිරු මන්බිද

තෝසේ මුනිදු සාසන රක්‌නා නිබඳ

වෙසේ සිරින්a කිහිරැලි පුල් සුරිඳු සඳ

(කොවුල් සදෙස අලවු ඉසි සැබිහෙළ 1962 ඵගෘගගුණසේන සහ සමාගම)

"කොවුල් අසුන්" කරුවා කිහිරැලි උපුල් වන් දෙවිඳු පිළිබඳ වැ වැදගත් කරුණු තුනක්‌ ඉදිරිපත් කරයි. එනම්,

1. "විෂ්ණු" හා සාමාන බව (දියබද විෂ්ණුට නමෙකි)

2. පෙර සුරන් මන් බිඳි බව සහ

3. මුනිදු සාසන රක්‌නා බව යි.

"මයුර" කිවියාද "135 සිරිලක පැවරු හැ`ගි පුරදර දැරු මුදුනි" යන්නෙන් සක්‍රයා බුදු සස්‌න රැක්‌මේ කාරිය උපුල්වන් දෙවිඳු හට පැවැරුවේ යෑ යි. යන මහා වංශ පුවත යළිදු සිහිපත් කරවයි.



5. තෙපුල් ගෙනැ සුරිදු රක්‌නා ලෙව් සස්‌න " යන රහල් හිමියන්ගේ පරෙවි අස්‌නෙ හි කවි පාදයෙන් ද මේ මහාවංශ පුවත සිහිපත් කරවයි.

මේ හැම කවියෙක්‌ම උපුල්වන් දෙවියන් "කාලවර්ණ" බව (නිල්) මහත් ඉහළින් වර්ණනා කොට ඇත. මේ කළු පැහැය ගැන තිසර කරුවා මවන කාව්‍ය සංකල්පය රසවත් යෑ.

21.

සතොසින් වසත සිරි සරසවිය මොහු කෙරේ

වියොවින් පැමිණි දුක්‌ නොම විඳ එ අවසරේ

රැකියෙන් මිසක්‌ බඹ බඹ සරම අරතරේ

සොවගින් තැවී කලු නොම වේ ද වෙනු යුරේ

(තිසර සන්දේශය ආචාර්ය කුලතිලක කුමාරසිංහ 1985 ප්‍රදීප ප්‍රකාශකයෝ)

"වෙනු" බිරිද "සිරි" සහ "බඹ" බිරිඳ "සරසවි" දෙදෙනාම උපුල්වනු වෙතමැ වෙසෙති. මේ නිසා වෙණු සොවින් තැවී කළු වී යෑ "බඹ" සිල් රැකී නිසා "වෙණු" මෙන් කළු නොවියෑ යන මේ කවි සිතුවිල්ල යෑ.

කිsසිදු තැනෙක නොදකින අමුතු මැ පුවතෙක්‌ "කොවුල්" අසුන් කරුවා මෙසේ ඉදිරිපත් කරයි.

30. අමා ඇ»රු උන් සද විදු රසුන් මතු

පමා නොවී පැමිණෙත යුදට වසවතු

තමා මැ සැවු බල පෑ සිටි නොබා සිතු

මෙමා වනනු කිම මොහු තෙද බල අමුතු

(කොවුල් සදෙස්‌ විවරණය - අලවුඉසි සැබිහෙළ 1962)

බුදුහිමි විදුරසුන් අරා වැඩ සිටින කල්හි වසවතු යුදට ආ කල හැම දෙවියෙක්‌ බඹෙක්‌ මැ බියේ පලා ගිය බැව් කියෑ වේ. එහෙත් උපුල්වන් දෙවි බියේ පලා නොගොස්‌ බුදුහිමි රැක්‌මේ සිටියේලු.

බෞද්ධ තොරතුරු පරීක්‌ෂණ වාර්තාවේ දෙවිනුවර දෙවොලේ විනාශය පිළිබඳව මෙබඳු විස්‌තරයෙක්‌ සඳහන් වේ.

පෘතුගීසීන් මෙහි පැමිණියේ මෙහි වූ වස්‌තු සම්භාරය කොල්ලකා ගැනීම සඳහාය. ඔවුන් ගොඩ බසින විට විරුද්ධව නැගී සිටි කිසිවෙක්‌ නොවූහ. පෘතුගීසීන් කළ විනාශය ඔවුන්ගේ රාජකීය ඉතිහාසඥයා ගේ වචන වලින්ම මෙසේ දැක්‌විය හැකිය.

පෘතුගීසින් දුටු මිනිස්‌සු නගරය හැර දමා රට තුළට පැන ගියහ. එයට ඇතුළු වූ අපේ පිරිසට විරුද්ධව නැගී සිටි කිසිවෙක්‌ නොවූහ. දා ගැබ ළ`ගට පැමිණි මේ පිරිස වාසල් දොරවල් කඩා දමා විරුද්ධව කිසිවකු නොදැක හැම තැනම ඇවිද්දෝය. කිsසිවකු නැති බව දුටු "තෝමස්‌ ද සූසා" එය යුද්ධ භටයන්ට භාර දුන්නේය. ඔවුන් මුලින්ම කළ දේ නම් එහි පැවති දහසකට වැඩි තරම් ප්‍රතිමාවන් විනාශ කර දැමීමය. ඉක්‌බිති ඔවුන් කළේ ස්‌තූපයේ ධාතු ගර්භය බිඳීමය. එහි පැවති කර`ඩු ආදිය සුනු විසුනු කළ ඔවුහු භාණ්‌ඩාගාරය බිදීමට පටන් ගත්තෝය. ඇත් දත් වටිනා රෙදි පිළි, තඹ, සඳුන්, මැණික්‌, දාගැබ පිළිබඳ අලංකාර භාණ්‌ඩ ආදී වස්‌තු රාශියක්‌ ඔවුන් අතට පත්විය. මෙයින් තම තමන් කැමති දේ පැහැර ගත් ඔවුහු සෙසු දේ වලට ගිනි තබා විනාශ කර දැමූහ.

(බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවේ වාර්තාව 2550 බුද්ධ ජයන්ති විශේෂ මුද්‍රණය. විසිදුනු ප්‍රකාශන 2006)

එදා "පෘතුගීසීන්" දෙවිනුවර උපුල්වන් දෙවොලට කළ මහා විනාශය පිළිබඳ වැ දීර්ඝ විස්‌තරයක්‌ එහි ඇතුළත් වෙයි. ඉක්‌බිතිව උපුල්වන් දෙවොල "ශ්‍රී විෂ්ණු" දේවාලය බවට පත් වී මැ පිළිබඳව "දෙවිනුවර දෙවියෝ කවරහුද? " යන හිසින් යුතුව "දෙවිනුවර විජයනන්ද" හිමියන්ගේ ලිපියක්‌ "ලක්‌මිණි පහන" පතෙහි 1995 මැයි 14 දින කලාපයෙහි පළ විය. එහි මෙසේ දැක්‌වේ.

පෘතුගීසී විනාශයෙන් පසු වැ අස්‌වාමික ව තුබූ රජමහ වෙහෙරෙහි පති බවට පත් හ, "ශ්‍රී ධර්මරක්‌ෂිත" අමරපුර නිකාය පිsහිටුවා වදාළ අත්තුඩාවේ සිරි දම් රැකි මා හිමියෝ. එය සිදු වූයේ එක්‌ දහස්‌ අටසිය දහතුනේ දී යෑ. මෙ සමයෙහි දේවාලයක්‌ නොතිබුණු සේයෑ, සමහරුන් නිගමනය කරන්නේ කරුණු නොවිමසා කැරුණු නිගමන යකි මේ. ඉපැරැණි උපුල් දෙවොල පෘතුගීසීන් අතින් විනාශයට පත් වුවද නොබෝ කලකින් මැ බැතිමතුන් විසින් දේව කෝවිලක්‌ ඉදි කොට විෂ්ණු රූපය රෙදි කබෙකැ ඇඳැ එහි තබා පුද පූජා පවත්වන්නට පටන් ගත්හ. උපුල්වන් දෙවොල ශ්‍රී විෂ්ණු දේවාලය සේ හඳුන් වන්ට වූයේ මෙතැන් සිට යෑ. (දෙවිනුවර දෙවියෝ කවරහුද ? දෙවිනුවර විජයනන්ද හිමි 1995 මැයි 14 ලක්‌මිණි පහන)

මෙයින් පේන්නේ ඉපැරැණි දෙවොල උපුල්වන් දෙවොලක්‌ වුවද පෘතුගීසීන් කළ විනාශයෙන් පසුව මෙහි ශ්‍රී විෂ්ණු දෙවොලක්‌ ගොඩ නැඟු බවයි. මෙසේ සිදුවූයේ නොදැ න මැ දැයි දන්නෝ දෙවියෝ මැ පමණක්‌ වෙති.


http://www.divaina.com/2013/07/24/badada02.html

ගුරු-සිසු මුදල් පරිත්‍යාගයෙන් තැනෙන අලිමංකඩ දුම්රිය පොළේ ඉඳි කිරීම් ඇරැඹේ

ගුරු-සිසු මුදල් පරිත්‍යාගයෙන් තැනෙන අලිමංකඩ දුම්රිය පොළේ ඉඳි කිරීම් ඇරැඹේ

ආසිරි පතා අද බෝධි පූජා
පාසල් සිසුන්ගේ හා ගුරුවරුන්ගේ මුදල් පරිත්‍යාගයෙන් ඉදිවන අලිමංකඩ දුම්රිය ස්ථානයේ ඉදි කිරිම් ආරම්භ කෙරේ.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් හෙට උදේ 10.00 ට ඉදිකිරිම් ආරම්භ කෙරෙන අලිමංකඩ දුම්රිය ස්ථානය සෙනෙහසක තොටුපළ නමින් නම් කර ඇත.
පාසල් දරුවකුට ආහාර ගැනීමට ලැබෙන ම ුදලින් රුපියල් දෙකක් ද එන් ගුරු භවතකුගෙන් රුපියල් දහයක මුදලක්ද බැගින් එකතු වු රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් මේ සඳහා වැය කෙරේ.
මෙම ව්‍යාපෘතියට ආශිර්වාද පතා සියලුම පළාත් නියෝජනය වන පරිදි අනුරාධපුර ශ්‍රී මහා බොධීන් වහන්සේ අභියසදී බෝධී පුජාවක් අද (23) සවස 5.00ට පැවැත්වෙන අතර සියලුම පළාත් නියෝජනය වන පරිදි අනුරාධපුරයෙන් අද (24) අලුයම 5.00ට පිටත් වන පෙරහැර අලිමංකඩ දුම්රිය ස්ථානය දක්වා ගමන් කරයි .
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත උතුරු දුම්රිය මාර්ගය ජනතා සහභාගිත්වයෙන් ගොඩනැගීමේ වැඩසටහන යථාර්ථයක් කරමින් ඉදි කෙරෙන මෙම දුම්රිය මාර්ගය ඉදිකිරිමේදී ශ්‍රි ලාංකික සිසුන් තුළ දේශය ගොඩනැගීමේ අරමුණ සකසුරුවමින් හා කැපවීමේන් සාමුහිකව ක්‍රියා කිරිමේ ආකල්ප කුසලතා වර්ධනය කරගැනීම අරමුණ බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

සුභාෂීණී සේනානායක‍
http://www.dinamina.lk/2013/07/23/_art.asp?fn=n1307235

තාගෝර්ගේ කෙටිකතා

පුවත්පත්වල පළවීම නිසා කෙටිකතාව බාලවෙලා

- ටෙනිසන් පෙරේරා
කෙටිකතා, නවකතා මෙන් ම පරිවර්තන කෘති රචකයෙක් වන ටෙනිසන් පෙරේරා, විසින් පරිවර්තනය කර සම්පාදනය කරන ලද ඊසොප්ගේ උපමා, කතා සංග්‍රහය සහ රබීන්ද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ටතම කෙටිකතා යන කෘති යුගල අගෝස්තු 04 වැනිදා කැලණිය රජමහා විහාර පරිශ්‍රයේදී ජනගත කිරීමට නියමිත ය. මේ එම කෘති යුගල සම්බන්ධව ටෙනිසන් පෙරේරා සමඟ කළ සංවාදයකි.
* පරිවර්තනය සඳහා රබීන්ද්‍රනාත් තාගෝර්ගේ කෙටිකතා තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණද?
රබීන්ද්‍රනාත් තාගෝර් - කියන්නේ පාඨකයන්ට ඉතා වැදගත් වන රචකයෙක්. ඒ වාගේම ඔහු ශ්‍රී ලාංකේය පාඨකයන් හොඳින් හඳුනන ලේඛකයෙක්. තාගෝර් ආසියාවේ නූතනවාදී ලේඛකයෙක් ලෙසත් සලකනවා. ඔහු නවකතා, කෙටිකතා ගොඩාක් රචනා කර තිබුණත්, ඔහුගේ බහුතරයක් කෙටිකතා ලංකාවේ පළවෙලා නැහැ. මම පහුගිය කාලේ ඔහුගේ කෙටිකතා 150ක් විතර එක්රැස් කරගත්තා. එයින් තෝරාගත් කෙටිකතා 22ක් මගේ කෘතියේ අන්තර්ගත වෙනවා. මම තෝරාගත් කෙටිකතා අතුරින් කෙටිකතා 3ක් හැර අනෙක් එකක්වත් මෙතෙක් ලංකාවේ පළ වෙලා නැහැ.
* තාගෝර්ගේ කෙටිකතා කලාව අනෙකුත් කෙටිකතාවන්ගෙන් වෙනස්වන්නේ කුමන හේතු කාරණා නිසාද?
තාගෝර්ගේ කෙටිකතාවල නූතනවාදී ස්වරූපයක් තිබෙනවා. ඔහු කෙටිකතා ලියලා තිබෙන්නේ වසර සියයකටත් ඉහතදී වුණත් අදටත් ඒවා වලංගුයි. අද තිබෙන සමාජ ප්‍රශ්න බහුතරයක් ඒවායේ කතා කරලා තිබෙනවා. එදා භාරතීය සමාජයේ දරුණු ලෙස පැවැති ස්ත්‍රී පීඩනය, කුල පීඩනය ආදිය තාගෝර් සිය කෙටිකතා තුළ මැනවින් නිරූපණය කර තිබෙනවා. ඒත් ඔහු ඒවා රචනා කර තිබෙන්නේ ප්‍රචාරකවාදී ස්වරූපයෙන් නොවෙයි. ඔහු ඒවා පාඨකයන් වෙත ගෙන ආවේ කලාත්මක පරිකල්පනයෙන් යුතුවයි. එය තාගෝර්ගේ කතා කලාවේ එක් විශේෂත්වයක්. ඔහුගේ ප්‍රතිභාව, පරිකල්පන ශක්තිය ආදිය අනෙකුත් ලේඛකයන්ට වඩා විශේෂයි.
* මේ කෙටිකතා පරිවර්තනයේදී ඔබ ලාංකීය සමාජයට ගැළපෙන පරිදි ඒවා වෙනස් කළාද?
තාගෝර්ගේ කෙටිකතා ඔහු ඉන්න කාලේ පටන් විවිධ ලේඛකයන් පරිවර්තනය කර තිබෙනවා. තාගෝර් මුල්වතාවට කෙටිකතා ලියලා තිබුණේ වංග බසින්, ඒ නිසා පසුකාලීනව ඔහුගේ කෙටිකතා ඉංග්‍රිසියට පරිවර්තනය කෙරුණා. ඒ අතරින් තාගෝර්ගේ කතා කලාවට ගැළපෙන ලක්ෂණ ඇතියි කියලා හිතෙන පරිවර්තනය තමයි මම තෝරා ගත්තේ. මගේ පරිවර්තනයේදී මම කිසිම දෙයක් ඉවත් කළේ නැහැ. කතාව, අන්තර්ගතය, කතා රිද්මය ඒ ආකාරයෙන්ම තිබෙනවා. ඒ නිසා තාගෝර්ගේ කෙටිකතාවල නියම ස්වරූපය මගේ කෘතියේ තිබෙනවා. සාමාන්‍යයෙන් පරිවර්තනයකදී සීමිත ප්‍රමාණයක් ගිලිහෙන්න පුළුවන්. ඒ තත්ත්වය නැතිකරන්න මම පරිවර්තකයෙක් ලෙස උත්සාහ කළා. ඒ වගේම මේය සරල පරිවර්තනයක්. මෙය පාඨකයාට රසවිඳිය හැකි හොඳ කතා සරණියක් වෙයි කියලා මම හිතනවා.
* තාගෝර්ගේ කෙටිකතා කලාවෙන් ලාංකේය කෙටිකතාකරුවන්ට ලබාගත හැකි ආදර්ශ මොනවාද?
ලාංකේය කෙටිකතා කලාවේ අන්තර්ගතය වැඩිය පෝෂණය වෙලා නැහැ. තාගෝර්ගේ කෙටිකතා කියවද්දී තේරෙනවා ඒවා කොයිතරම් ජීවිතයට බද්ධවෙලා, අන්තර්ගතය සකස් වෙලා තිබෙනවාද කියලා. අපේ නවක ලේඛකයන්ට වගේම ප්‍රවීණයන්ටත් තාගෝර්ගේ කෙටිකතාවලින් ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා. සමාජ යථාර්ථය ස්පර්ශ කරන්නේ මොන පැති ද කියලා මේ කෙටිකතාවලින් ඉගෙන ගන්න පුළුවන්. තාගෝර් සිය කෙටිකතා රචනා කර තිබෙන්නේ සමාජය විනිවිද දකිමින්.
ඇතැම් අවස්ථාවල ඔහු ඉතිහාසයට පවා යනවා. සමාජයේ පවතින දරිද්‍රතාව, විෂමතාව, කුල පීඩනය, චාරිත්‍ර වාරිත්‍ර ආදී සියල්ලම ඔහු කතාවට ගේනවා. ඒ කෙටිකතා තුළින් සමාජයේ පැතිකඩක් දකින්න අපට පුළුවන්. ශ්‍රී ලංකාවේ කෙටිකතාවල බොහෝ වෙලාවට ඒ දේ දකින්න අපහසුයි. ඒ නිසා සමාජ යථාර්ථය ස්පර්ශ කරන්නේ කොහොමද කියලා ලංකාවේ ලේඛකයන්ට මේ කෙටිකතාවලින් ඉගෙන ගන්න පුළුවන්.
ඒවාගේම කලාකෘතියක් ප්‍රචාරකවාදී නොවී පාඨකයා වෙත ගෙනයන්නේ කොහොමද කියලා ඔහු සිය කෙටිකතාවලින් මනා ව නිරූපණය කර තිබෙනවා. ඒවා නිරූපණය කරලා දක්වනවා. තාගෝර් කියන්නේ සමාජ දර්ශනයක් තිබුණු ලේඛකයෙක්. ඒ සමාජ දර්ශනයේ විඥානවාදී ස්වරූපයක් තමයි තිබුණේ. ඒත් ඔහු ‍ෙසෟන්දර්යවාදියෙක්. එනිසා තාගෝර්ගෙන් අපට පරිපූර්ණ කෙටිකතාවක් නිර්මාණය කරගැනීම සම්බන්ධයෙන් බොහෝ දේ උකහා ගන්න පුළුවන්. තාගෝර් ආසියාතික ලේඛකයෙක්. ඒ නිසා අපේ අත්දැකීම්වල වෙනසක් නැහැ. ඒ නිසා මේ කෙටිකතා කෘතිය ශ්‍රී ලංකාවේ ලේඛකයන්ට කෙටිකතාව පිළිබඳ මහඟු අත්පොතක් වෙනවාට සැකයක් නැහැ.
* විශ්ව සාහිත්‍ය තුළ ශ්‍රී ලාංකේය කෙටිකතා කලාව තිබෙන්නේ කුමන මට්ටමකද?
ලෝක කෙටිකතා කලාව තුළ ශ්‍රී ලාංකේය කෙටිකතාව යම් සාර්ථක තැනක තිබෙනවා. දකුණු ආසියාවේ කතා කලාව තුළ ඉන්දියානු කතා කලාව තමයි අපිට ඉතාමත් අභියෝගාත්මක කතා කලාවක් වී තිබෙන්නේ. විශ්ව සාහිත්‍යයේ කෙටිකතා කලාව කාලයක් පෝෂණය වුණු කතා කලාවක්. ඒ නිසා එහි ලොකු වර්ධනයක්, ගැඹුරක් තිබෙනවා. ඒත් ලෝකයේ ලියවෙන හැම කෙටිකතාවක්ම සාර්ථක නැහැ.
මම හිතන්නේ ශ්‍රී ලංකාවේ කෙටිකතා කලාව මීට වඩා වර්ධනය වෙන්න ඕනා. අපේ කෙටිකතා කලාවට සද්ධර්මරත්නාවලිය, ජාතක පොත ආදිය ඉතා සමීපයි. නමුත් විදේශීය ආක්‍රමණත් සමඟ අපේ සාහිත්‍ය කලාවේ කොඳු නාරටිය කැඩුණා. අද අපේ රටේ තිබෙන්නේ චෙකොෆ්, ගෝර්කි ආදී බටහිර සාහිත්‍යකරුවන්ගෙන් පෝෂණය වුණු කෙටිකතා කලාවක්. අද යුරෝපයේ කෙටිකතා කලාව ගතහොත් වර්ධනීය තත්ත්වයක තිබෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ කෙටිකතා කලාව තුළ එවැනි වර්ධනයක් දකින්න නැහැ. ඒකට එක හේතුවක් තමයි පුවත්පත්වල කෙටිකතා පළවීම.
මේ නිසා අපේ කෙටිකතා බාලවෙලා. කෙටිකතාවක් හදිස්සියේ ලියන්න බැහැ. කෙටිකතාව කියන්නේ වෙනම සන්දර්භයක තිබෙන දෙයක්. එය වෙනම ආඛ්‍යාන කලාවක්. එය හුදු කතාන්දරයක් නොවෙයි. කතාන්දරය අතික්‍රමණය කිරීමක්. නමුත් ශ්‍රී ලංකාවේ කෙටිකතා බොහොමයක් ලියවෙන්නේ කතන්දර ස්වරූපයෙන්. ඒ නිසා අපේ කෙටිකතා කලාව මීට වඩා අර්ථසම්පන්න විය යුතුයි. ආඛ්‍යාන කලාව වගේම අන්තර්ගතයත් පෝෂණය වෙන්න ඕනෑ. යුරෝපීය කෙටිකතාවල සන්දර්භය ශක්තිමත්. අපේ සන්දර්භය එහෙන් මෙහෙන් එල්ලා තිබෙන්නේ. අපේ කෙටිකතා කලාව 80 න් පස්සේ යම් වර්ධනයක් වුණත්, 2013 වෙද්දී එහි ලොකු වර්ධනයක් වෙලා නැහැ.
* ඊසොප්ගේ උපමා කතා සංග්‍රහය ඔබගෙන එන්නේ කුමන පාඨක පිරිසක් ඉලක්ක කරගෙනද?
විශේෂයෙන් ළමයින් වෙනුවෙන් තමයි මේ කෘතිය පරිවර්තනය කළේ. ඊසොප් උපමා කතා කියලා තිබුණේ ක්‍රි.පූ.පන්සීය ගණන්වලදී. අද වන විට ඊසොප් කියන නම තිබෙනවා. නමුත් එහෙම පුද්ගලයෙක් නැහැ. ඊසොප්ගේ නමින් ඒ ආරේ කතා ගොඩාක් අය ලිව්වා. ඒවා ජනශ්‍රැතියටත් එකතු වුණා. ඊසොප්ගේ උපමා කතා ඇතැම් විට ඊසොප්ට කියපු ඒවා නොවෙයි. මේ කතා හැම රටකම ජනප්‍රිය වුණා. නමුත් ඊසොප්ගේ අනන්‍යතාව නැති වුණේ නැහැ. ඔහුගේ ආඛ්‍යාන කලාව ඒ විදිහටම තිබුණා. මම ඊසොප්ගේ කතා ඇතුළත් පරිවර්තන කිහිපයක් අන්තර්ජාලයෙන් හා විවිධ පොත්වලින් එකතු කර ගත්තා. මගේ කෘතියේ කතා 423ක් අන්තර්ගත වෙනවා. මම හිතන්නේ ඊසොප්ගේ ශ්‍රී ලංකාවේ පළවුණු ලොකු ම කතා සංග්‍රහය මෙයයි. මෙතෙක් මේ තරම් විශාල කතා සංග්‍රහයක් පළ වෙලා තිබුණේ නැහැ.
* මේ කෘතිය රචනා කිරීමේදී ඔබ යොදා ගත් සාහිත්‍යමය උපක්‍රම මොනවාද?
කතාව නැවත නැවත ඉදිරිපත් නොවෙන්නට මම වගබලා ගත්තා. ළමයි ඉලක්ක කරගත් කෘතියක් නිසා යොදා ගත්තේ සරල සිංහල භාෂාව. ඒ වගේම කතාවේ එන නාට්‍යාත්මක ලක්ෂණවලට මුල්තැනක් දී තිබෙනවා. හැම කතාවකම අවසානයේ උපහැරණයක් ගෙන එනවා. එය හැම ලේඛකයෙක්ම, පරිවර්තකයෙක්ම අනුගමනය කළ දෙයක්. ඒ වගේම කුඩා ළමයින් ආකර්ෂණීය වන ආකාරයට චිත්‍ර යොදා තිබෙනවා. කෘතිය අවසානයේ සුචියක් තිබෙනවා. ඒ නිසා කතාවක් හොයාගන්න මුළු පොතම කියවන්න අවශ්‍ය නැහැ. මේ කෘතිය පාසල් සිසුන්ට වගේම ශ්‍රාස්ත්‍රීය අධ්‍යයන කරන අයටත් ඉතා වැදගත් කෘතියක්.
* එකවරම ඔබ නිර්මාණ සාහිත්‍යයෙන්, පරිවර්තන සාහිත්‍යයට යොමු වුණේ ඇයි?
මම පරිවර්තකයෙක් නොවෙයි. මම නිර්මාණ සාහිත්‍යකරුවෙක්. නවකතාකරුවෙක්. කෙටිකතාකරුවෙක්. මම පරිවර්තන කලාවට ඇබ්බැහිවෙන්න එක හේතුවක් තිබුණා. අපි පාසල් යන කාලේ ඉංග්‍රීසි පොත්පත් ගොඩාක් කියවන්න ලැබුණා. ඒවා අපි ළඟ එකතු වුණා. ඒවා අපි ළඟ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒවා අපේ ඉදිරි පරම්පරාවලටත් දෙන්න ඕනා. මම පරිවර්තනවලට ඇබ්බැහි වුණේ ඒ නිසයි. මේ වන විට මව ලොව ප්‍රකට සුරංගනා කතා, රුසියානු සුරංගනා කතා, රුසියන් චීන කතන්දර, රූපාන්තරණය, ලා මාන්ඩාහි වීර පුතා, නඩු යන්නෝ, ප්‍රේමය සහ තවත් යක්කු ආදී පර්වර්තන කෘති ගණනාවක් කරලා තිබෙනවා.

Tuesday, July 23, 2013

ඇයි; අම්මෙ මට මෙහෙම ‍කළේ



විඩෙන් විඩේ වැටෙන වැහි පොදෙන් තෙත බරියම් වුණු මහ පොළොවේ සොහොන් කොතක් යට පුංචි සුරංගනාවියක් මිහිදන් වුණා. මීට සිවු දවසකට පෙර.
එදා මළ හිරු බැහැගෙන යන හැන්දෑවේ පාළු කනත්ත පුරා දෝංකාර දුන්නු කිරි අම්මා ගේ විලාපය ඇසුණා නම්, ආදරෙන් අකුරු කියල දුන්න ගුරු මවුවරුන්ගේ ඇස්වලින් කඩා වැටුණු කඳුළු කැට දැක්කා නම් ඇය ආයෙත් ඔවුන් වෙත එනවා නොඅනුමානයි.
ඒත්... හැමෝටම ආයුබෝවන් කියලා. තමන්ගේ පාඩුවේ කාටවත් අවලාද නොනඟා ඇය යන්නම ගිහින්. ඒත් ඇගේ ශෝකාලාපය යට ඇත්තේ අපේම නොසැලකිල්ල. අවුරුදු 12 ක් පුරා අම්ම ගේ කිරි සුවඳ ඉල්ලලා, තාත්ත ගේ රැකවරණය ඉල්ලලා අඬා වැටුණු පුංචි කෙල්ල පාළුවෙන් තනිකමෙන් ගෙවුණ ජීවිතේට විරාමයක් තියලා.
අනියත ජීවිතේ මරණය නියත වුණත් මේ පුංචි දුවගේ මරණය ඇසූ දුටුවන් ගේ හදවත කම්පනයට පත් කළා. ටිකක් නෙමෙයි. කියන්න බැරි තරම් වේදනාවකින්.
ඇය ගේ කතාව මේ විදිහට අකුරු කෙරෙන්නේ ඇය වගේ ම අසරණ වෙන, මේ ලෝකයේ ආදරේ ඉල්ලලා හඬා වැටෙන අනන්ත වූ දරු පැටවු වෙනුවෙන්. ඇත්තටම ඇගේ හිත පුරා කියාගන්ඩ බැරි තරම් බොහෝ සිතිවිලි තිබෙන්නට ඇති.
“අම්මට මතක ද? මං පුංචි කාලෙ අම්මයි තාත්තයි මොන තරම් ආදරෙන් හිටිය ද? අම්ම ගේ ඇඟිල්ලක් අල්ලගෙන වැටි වැටී ඇවිදින මගේ පස්සෙන් තාත්තත් දුවගෙන ආවා. මට අනතුරක් වෙයි කියන බයට. ඇඟ ටිකක් රත් වුණත් අම්ම විතරක් නෙවෙයි තාත්තත් නිදිවරාගෙන මගේ ළඟින් හිටියා. ඒත් ඒ ලස්සන දවස් ටික බොහොම ඉක්මනට ගෙවිලා ගියා.
අම්මයි තාත්තයි හැම තිස්සෙම රණ්ඩු වෙන්න පටන් ගත්තා. අම්මා තාත්තට බණිනවා. තාත්තා අම්මට බණිනවා. රණ්ඩු වෙන්න එපා අම්මේ කියලා වචන ගළපා ගන්න බැරි මම ඒ වචන ටික දහස් වාරයකටත් වැඩිය හිතෙන් කියෙව්වා. ඒත් අම්මවත් තාත්තවත් මගේ හිත කියෙව්වේ නෑ. ඔය දෙන්නට මාවත් එපා වුණා. තාත්තා ගෙදර නෑවිත් හිටියා.”
‘මම විතරක් කොහොම ද මේ දරුව ගේ බර කරට ගන්නේ’ අම්මා හැම තිස්සෙම කියනවා මට ඇහුණා.
මුලින් මුලින් දවසකට වරුවක් දෙකක් කිරි අම්මට බාර කෙරුණු මගෙ රැකවරණය හැමදාටම බාර කෙරුණා.
මං මොන්ටිසෝරි ගියෙත් කිරි අම්මත් එක්ක.
‘ඔයා ගෙ අම්මා අපේ ආච්චම්මා වගේ’ දවසක් මගේ හොඳම යාළුවා මට කිව්වා.
ඒ මගේ අම්මා නෙමෙයි කියලා මම කිව්වේ නෑ. මම දන්නවනේ මගේ අම්මට ඒ තරම් වයස නෑ කියලා...’
මම ඉන්නේ ආච්චි අම්ම ළඟ කියල මම කීවේ මගේ ඉස්කෝලේ ටීචර්ට විතරමයි. ටීචර් හැමදාම මගේ ඔළුව අතගාලා කිව්වේ පුතා හොඳට ඉගෙන ගන්නකෝ. අපි හැමෝම පුතාට ආදරෙයි කියලා.
ටීචර් එහෙම කිව්වට මගේ අම්මයි තාත්තයි මගෙ ළඟ නෑ නේ.
එක දවසක් තාත්ත මාව බලන්න ඉස්කෝලේ ගේට්ටුව ළඟට ආවෙ තනියම නෙවෙයි.
තාත්තගේ කාරෙක ඇතුළෙ ඉඳන් ලස්සන ආන්ටි කෙනෙක් මට හිනාවෙලා අත වැනුවා. මම නම් අහක බලා ගත්තා. එයා මොකටද මගේ තාත්තගේ කාරෙකට වෙලා ඉන්නේ. තාත්තා මට තෑගි ගොඩක් ගෙනැත් තිබුණා. ඒත් මට ඕන තෑගි නෙමෙයි. මගේ අම්මයි තාත්තයි ළඟට වෙලා ඉන්න මං ආසයි කියලා එච්චර ලොකු මහත් වෙලත් තාත්තට තේරුණේ නෑනේ.
ඉස්කෝලේ ඇරෙන වෙලාවට හුඟක් දවස්වලට අම්ම එනවා මාව එක්කරගෙන යන්න. මමත් දුවගෙන ගිහින් අම්ම ගේ අතේ එල්ලෙන්නේ මගේ යාළුවන්ට වගේ ම මටත් හොඳ අම්මා කෙනෙක් ඉන්න බව පේන්න. ඒත් අම්ම ගේ අතේ ඉන්න චූටි මල්ලිට නම් මම කවදාවත් ආදරේ වුණේ නෑ. ඉස්සර මගේ අම්මටයි තාත්තටයි හිටියේ මම විතරයිනේ. මාව ආච්චි අම්මගේ ගෙදරට ඇරලවලා අම්ම මල්ලිත් එක්ක වෙන ගෙදරකට යනවා. ඒ වෙලාවට චූටි මල්ලි අම්ම ගේ අතේ ඉඳන් මාත් එක්ක හිනාවෙනවා. එතකොට නම් මට අහක බලන්න හිතෙන්නේ නෑ. මල්ලි මොනවා කරන්න ද? මට ඕන දේ අම්මට නොතේරුණාට.
කිරි අම්මට හුඟක් වයස වුණත් මාව ආදරෙන් බලා ගත්තා. ඒත් හැමදාම පාන්දර නැඟිටලා මට කෑම උයලා දෙන්න බැරි වයස වැඩි නිසා. එහෙම දවසට මට ලැබෙන්නේ සල්ලි. ඉස්කෝලේ කැන්ටිමෙන් මොනවා හරි ගන්න කියලා. දවසක් කිරි අම්මා දුන්නු සල්ලි නැතිවුණා. උදේ බඩගින්නේ හිටියත් දවල් වෙද්දි ඇඟටත් පණ නැති වුණා.
පන්තියේ යාළුවෝ කෑම කන අතරේ මම එළියට ගියා. එක යාළුවෙකුට එයා ගේ අම්මා රස බත් එකක් උයලා දීලා. ඒ සුවඳ දැනුණු මටත් අම්ම ගේ අතින් උයපු බත් ටිකක් කන්න ආස හිතුණා. ඒ යාළුවා කෑම කාලා ඉතිරි ටික කුණු කූඩෙට දානවා මම දැක්කා. කාටවත් නොපෙනෙන්න මම ඒ කෑම එක හොයා ගත්තා. ඒත් කන්න ලැබුණේ නෑ. කවුරු හරි ඒ ගැන අපේ ටීචර්ට කියලා.
‘ඇයි පුතේ සල්ලි ඉල්ලුවානම් මම දෙනවනේ’ ටීචර් එහෙම කිව්වෙ ඇස්වල කඳුළුත් පුරවගෙන. මේ කතාව අපේ අම්මටත් ආරංචි වුණා.
ඒ වෙලාවෙ අම්මා මගේ කන මිරිකුවේ ‘කුණු බක්කිවල තියෙන කෑම අහුලගෙන කන්න උඹ හිඟන්නියක් ද?’ කියලා. ඒත් මම වැරැද්දක් ද කළේ? මට තේරෙන්නේ නෑ.
ආච්චි අම්මයි මමයි නතර වෙලා හිටියේ කැලණිය පැත්තෙ කුලියට ගත්ත ගෙදරක. පුංචිම කාලෙ නම් ලස්සන ගමක ලස්සන ගෙදරක් තිබුණා. අම්මයි තාත්තයි ඈත් වුණාට පස්සේ මටත් ඒ ගෙදරින් එන්න වුණා.
අපි දෙන්න හිටිය පුංචි කාමරේ ජනෙල් අරිනකොටම පේන්නේ වතුර පිරුණ කානුවක්. ආච්චි අම්මනම් පුළුවන් හැටියට වත්ත පිරිසුදු කරනවා. ඒත් ගෙදර අයිති ආන්ටිලාට නම් එහෙම පුරුද්දක් තිබුණේ නෑ. යෝගට් කෝප්ප, ටින් කෑලි වත්තේ අහුමුළුවල. සති දෙකකට විතර කලින් මගේ ඇඟපත රිදෙන්න පටන් ගත්තා. ගිනි කබල වගේ ඇඟත් රත්වුණා. ආච්චි අම්මා බෙහෙත් පෙත්තක් දුන්නා. උණ අඩු වෙන හැම දවසෙම මම ඉස්කෝලේ ගියා. යාළුවොත් එක්ක ඉන්න මම ගොඩක් කැමති නිසා. ඒත් දවස් හතරක් පහක් යනකොට මට හුඟක් අමාරු වුණා. නැඟිට ගන්න බැරි තරමට. තාත්තා ඇවිත් මාව ඉස්පිරිතාලෙට එක්ක ගියා.
හීනෙන් වගේ මට මතක් වෙනවා. අම්මත් මාව බලන්න හැමදාම ආවා. චූටි මල්ලි නිසා ඉක්මනටම ආපහු ගියා. ඒත් මගේ අම්මයි තාත්තයි මගේ ළඟ ඉන්න බව මට හොඳටම දැනුණා. අම්ම පුංචි කාලෙ වගේ ළඟ ඉඳන් මගේ හිස අත ගානවා. තාත්ත හුඟාක් රිදෙන අත්දෙක අත ගානවා. ඇස් පියවුණු වෙලාවට එහෙම දැනුණත් ඇස් ඇරල බලද්දි ඒ දෙන්න වෙනුවට මගේ ළඟ හිටියේ මම අඳුරන්නේ නැති නැන්දා කෙනෙක්.
මාව බලා ගත්ත නිසා එයාට මගේ තාත්තා සල්ලි දෙනවා කියලා කවුදෝ කියනවා මට යාන්තමට ඇහුණා. ඒත් මම ඉක්මනට ඇස් දෙක පියා ගත්ත. මට දැන් කිසිම දෙයක් ඇහෙන්නේ නෑ. පේන්නෙත් නෑ. ඒත් මගේ අම්මයි තාත්තයි මට ආදරෙන් මගේ ළඟ ඉන්නවා මට දැනෙනවා. මම තවත් තදින් ඇස් පියා ගත්තා. ආයෙනම් කවදාවත් අම්ම තාත්තා ළඟ නැති ලෝකෙක ඇස් දෙක අරින්නෙ නෑ...”
වයසටත් වඩා දුක් කන්දරාවක් හිතේ හිර කරගෙන ඒ පුංචි දුව මේ ලෝකෙන් සමුගත්තා. ඇයට වැලඳී තිබුණේ ඩෙංගු රක්තපාතය. ‘නිසි මවුපිය රැකවරණය තිබුණා නම් මේ දරුව ගේ ජීවිතේ බේර ගන්න තිබුණා. කායිකව විතරක් නෙවෙයි මානසිකවත් දරුවා වැටිලයි හිටියේ...’ රෝහලේ වෛද්‍යවරු හැමෝම කම්පා වුණා.

සත්‍ය කතාවක් ඇසුරිනි.

දරුවන්ට දෙන පොත්වල කිරි සුදු චරිතම තිබිය යුතු නැහැ

දරුවන්ට දෙන පොත්වල කිරි සුදු චරිතම තිබිය යුතු නැහැ

 
බහ තෝරන වයසෙ ඉඳන්ම කුඩා දරුවන් වැඩිපුරම ඉල්ලන දේ තමයි සෙල්ලම් බඩු. පොඩි දරුවෙකුට සෙල්ලම් බඩුවක් අතට ලැබුණහම දැනෙන්නෙ රටක් රාජ්‍යයක් අත්පත් කරගත්තාක් වැනි සතුටක්. මේ නිසා නැතිබැරි මෙන්ම ඇති හැකි ‍සෑම මවුපියෙක්ම නිතරම උත්සාහ ගන්නේ තමන්ට හැකි පමණින් සෙල්ලම් බඩුවක් තම කුඩා දරුවාගේ අතට පත් කිරීමටයි. අද ඇතැම් දෙමවුපි‍යෝ සිය දරුවන්ට සෙල්ලම් බඩු අරන් දීමේදී ඒවා දරුවාට සුදුසුද නැද්ද කියා නොබලා දරුවා ඉල්ලන්නේ කුමක්ද එය රැගෙන දීමට පෙලඹී සිටිති. එහෙත් දරුවකු සෙල්ලම් බඩු ඉල්ලා අඬද්දී දරුවාට හොඳ නරක කියා දී සෙල්ලම් බඩුව වෙනුවට පොතක් පතක් මිලදී ගෙන දීමට උනන්දු වන්නේ දෙමවුපියන් අතරින් කීයෙන් කී දෙනෙක්ද? සෙල්ලම් බඩු අතට නොදී කුඩා කල සිටම දරුවා පොත් ගුල්ලන් කිරීමට කටයුතු කළ යුතුයැයි මෙහිදී වරදවා තේරුම් නොගත යුතුය. සෙල්ලමත් සමඟ කුඩා වියේ සිටම දරුවා පොතට යොමු කිරීමෙන් සෑම අතින්ම යහපත් ප්‍රථිඵල අත්කර ගත හැකි බව දෙමවුපියන් තේරුම් ගත යුතුය.
අද කුඩා දරුවන් වෙනුවෙන් ග්‍රන්ථකරණයේ යෙදෙන බොහෝ දෙනෙක් වෙති. එහෙත් ඒ අතරින් දරුවන් අතරට සැබවින්ම ‍ගිය ලේඛක ලේඛිකාවෝ අල්පය. එසේ ගිය කීපදෙනා දරුවන් ගේ මතකයේ සදා ජීවත් වන අතර ඇතැම් ලේඛකයන් ගැන මතකය ඒ කෘතියට පමණක් සීමාවේ. කුඩා දරුවන් අතට පතපොත හුරුකරවීමට අද ඇතැම් දෙමවුපියෝ දැඩි වෙහෙසක් දරති‍‍. දරුවන් ගේ සිත් ඇද ගන්නා යැයි සිතන පතපොත අරන් දෙති.
එහෙත් දෙමවුපියන්ගේ උත්සාහයට සරිලන තරමින් දරුවන් පතපොතට යොමුවේද යන්න සැකයකි. දරුවන්ගේ මතකයේ රැඳී සැමදා රැඳී තිබෙන්නේ කුමන ආකාරයේ පතපොතද, දරුවන් පොතපතට යොමු කරන්නේ කෙසේද එය ළමා මනසට බලපාන්නේ කෙසේද යන කරුණු ගැන අද අප කතාබහට යොමු වූයේ ළමා මතකයේ සදා රැඳී ඇති පොත් රැසක් ලියා පළ කළ ළමයින් වෙනුවෙන්ම ග්‍රන්ථකරණයේ යෙදෙන එමෙන්ම ළමයින් බොහෝ ආදරය කරන තරුණ ලේඛිකාවකි. ඇය ජානකී සූරියආරච්චිය. දරුවන් පතපොත ට යොමු කරන්නේ කෙසේද යන්න ගැන ඇය අප හා කතාබහ කළාය.
"ළමයි පොතක් අතට ගත්තම කියවන්නේ එක වරක් නොවෙයි. පොත ගෙවෙනකම්ම කියවනවා. කට පාඩම් වෙනකම්ම කියවනවා. කොළ කැඩෙනකම් කියවනවා. පුංචි කාලෙ කියවපු පොත් ලොකු වුණාම කටපාඩමින් කියනවා. දරුවෙක් කුඩා කාලයේ කියවපු පොතක් මුළු ජීවිත කාලයම යටි හිතේ සටහන් වෙනවා. පුංචි කාලෙ යටි හිතට ඇතුළුවන දේ ලොකු වෙද්දී සිතේ පැළපදියම් වෙලා ඉවරයි.පුංචි ළමයින්ගේ අතට යන පොත්වල අප ලියනදේ ඉතාම වැදගත්. මේ අන්තර්ගතය ගැන අප සිතිය යුතුමයි. 'හාවා ආවා පැනලා දිව්වා' පොත්වල මෙවැනි දේ තියෙනවා මේවාත් පොත් තමයි.
එහෙත් ළමයින්ට ලියන පොත් ලොකු පරාසයකට වැටෙනවා. ළමා පොතක මූලිකම දේ විය යුත්තේ කතා රසයයි. මොන දේ තිබුණත් කතා රසය නැත්නම් ඒ පොතෙන් වැඩක් නැහැ. ඊළඟට ළමා පොතක තිබිය යුත්තේ ගුණයයි. රසයයි ගුණයයි ආවාම සෑහෙන්න හොඳ පොතක් වෙනවා. අප කෙතෙක් උත්සාහ කළත් පොත නීරස නම් දරුවා ඒ පොත ප්‍රතික්ෂේප කරනවා.පුංචි දරුවාට දෙන පොත රසවත් විය යුතුමයි. එවැනි පොත් ළමයා හිනා වෙවී බලනවා. ඉන් දරුවාට හොඳ මානසික පෝෂණයක් ලැබෙනවා. ඊළඟට අවශ්‍ය වන්නේ නැවුම්බවයි. කතාවේ නැවුම් බවත් ඉතා වැදගත්. කතාව හරවත් නම් රසවත් නම් යහපත් අරමුණු එහි ගැබ්වේනම් ඒ පොත් අනිවාර්යෙන්ම දරුවා අතරට යනවා. මේ අතරට කතාවට හානි නොවන ලෙස යම් යම් පුංචි දේ එකතු කළ හැකියි. එය රචකයාගේ දක්ෂකමයි.
පුංචි දේශාභිමානී අදහස්, යහගුණ‍, අන් අය හා කටයුතු කළයුතු අන්දම, පරිසරයට ආදරය කිරීම සහ පවුලේ අය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආකාරය, සානුකම්පිතභාවය වැනි ළමා හැදියාව දියුණු කිරීම වැනි කතාවට අවශ්‍ය විටමින් ප්‍රෝටීන් කතාවට එකතු කරන්න පුළුවන්. අද පුංචි ළමයි නිතරම කියන දේ තමයි ''මට'' කියන වචනය. ''මට බඩගිනියි'' ''මට ඕනෑ'' ''අම්මාගේ ඔඩොක්කුවෙ මමයි ඉඳ ගන්න ඕනෑ'' ආදී ලෙසින් කුඩා දරුවන් පවසනවා අපි ඕනෑ තරම් අසා තියෙනවා. ඒ වෙනුවට ''මං විතරක් නොවෙයි අක්කටත් ඉඩ දෙන්න ඕනෑ'' ''නංගිටත් ටොපියක් දෙන්න ඕනෑ'' ''අයියෙ ඔයත් එන්න'' යනාදී ලෙසින් අදහස් පොත් මගින් දරුවන්ගෙ හිතට ඇතුළු කළ හැකියි. එවැනි අදහස් දරුවන්ගේ හිතේ තැන්පත් වෙනවා. පසුකාලීනව වැඩිහිටි‍යකු වුණාමත් දරුවාගේ හිතේ ඒ ගුණ පැළපදියම් වෙනවා.
මේවා සීයට සීයක් නොවුවත් ජානමය ලක්ෂණත් දරුවකු‍ගේ ගතිගුණ ඇතිවීමට බලපානවා. මෙවැනි අදහස් දියයුතු එක්තරා ක්‍රමයක් තියෙනවා .ඒ ආකාරයට දුන්නොත් දරුවා ඒවා කියවනවා. ඒ මිස ''එන්න වාඩි වෙන්න'' ''නැගිටින්න'' ''අත හෝදන්න'' ඒ විදිහට ලියනවාට දරුවන් කැමැති නැහැ. මොකද ඇත්තම නම් දරුවා අවවාද අහන්න කැමති නැහැ. දරුවන්ට කෙළින් කියා වටහා ගත නොහැකි ‍බොහෝ දේ ‍පතපොතින් පුංචි සිත්වල තැන්පත් කළ හැකියි. කතාවක චරිත ගොඩ නගද්දි දරුවා ඒ චරිතයට ආසා වුණාම ඒ චරිතය අනුකරණය කරනවා. ඒ අනුකරණය කරන චරිතය හොඳ චරිත විය යුතුයි. හැබැයි හොඳ කිරි සුදු චරිත නොවිය යුතුයි. දරුවා ළඟ දරුවකුගේ ලක්ෂණත් තිබිය යුතුයි. එක තැන ඉඳගෙන ඉන්න උකටලී චරිතයක් නොවී දඟකාර චරිත ලක්ෂණත් තිබිය යුතුයි. මේ සියලු දේ මේ චරිත අතරින් දෙන්න පුළුවන්. අප පොත පත මගින් තැනිය යුත්තේ ගොඩක් ආදරණීය දරුවෙක්. ඔහු දක්ෂම දරුවෙක් විය යුතු නැහැ. මොකද හැම දරුවෙක්ම දක්ෂ නැහැනේ. එහෙම අවශ්‍යත් නැහැ.
පොත්පත් මගින් දරුවන්ට අපූරුවට එදිනෙදා ජීවිතයට මෙන්ම පාසලට අව්‍ශ්‍ය පාඩම් දැනුමත් දිය හැකියි. ‍උදාහරණයක් ලෙස මගේ 'වැහි ලිහිණි පැටියා ' පොතේ තනිකරම පවසන‍්නේ ජල චක්‍රය ගැනයි. හැබැයි එය කියවද්දී දරුවාට තමා කියවන්නේ ජල චක්‍රය කියා හිතෙන්නේ නැහැ. තුන්වැනි ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට සුදුසු මේ පොත දරුවන් අතර බොහෝ ජනප්‍රියයි.
ඕනෑම අමාරු දෙයක් සරල කර දිය හැකියි. එය ලේඛකයාගේ ප්‍රතිභාවයයි. ලෝක සාහිත්‍යයයේ එලෙස ප්‍රතිභාව පෑ ලේඛක ලේඛිකාවො ඕනෑ තරම් සිටියා. ඒ පොත් රැඳෙන්නේ ලේඛක ප්‍රතිභාව නිසායි. නිර්මාණය ගොඩ නැගෙන්නෙ ඒ මතයි. දරුවකුට පොතක් කියවන්න අතට දෙන්න වයසක් බලනොපාන බව මගේ අදහසයි. දරුවාට පොතක් අල්ලන්න පුළුවන් නම් මාස හයෙන් දහයෙන් වුවත් පොතක් අතට දිය හැකියි. වයස අවුරුද්ද නම් ‍එයත් පොතක් අතට දෙන්න හොඳ වයසක්. ළමා පොතකට හොඳ පරාසයක් තියෙනවා. දරුවාට ඉස්සෙල්ලාම පේන්නේ රෑප. එයාට මුලදී අකුරු බැහැ. මුල්ම අවස්ථාවේදී දරුවාට රෑප පෙන්වමින් කතාව කියා දිය හැකියි. දරුවා ඒ අවස්ථාවේදී රෑප රස විඳිමින් කතාව ඉගෙන ගන්නවා. ඊළඟට රෑපයට යටින් පුංචි වාක්‍යයක් දුන්නාම එයා කතාව රෑපයෙන් තේරුම් ගන්නා ගමන් වාක්‍යයත් ඉගෙන ගන්නවා. මීළඟට රෑපයයි කතාවයි සමබරව යද්දි එයා දෙකම රස විඳිනවා.
ඊළඟ පියවරේදි රෑප ටිකයි.දරුවා කියවලා වචන මනසින් රෑපණය කරනවා. අන්තිමට අකුරු විතරයි. ඒ වෙද්දී දරුවා කතාව තනිකරම මනසින් රෑපණය කරනවා.
දරුවා කියවීමට හුරුකරවීමට පොතක් අතට දෙද්දී භාෂා රටාව, වාක්‍ය රටාව සහ ප්‍රහසනය තිබිය යුතුමයි. නැත්නම් දරුවා උදාසීන වෙනවා. භාෂාව රසවත් නැත්නම් ඉනුත් ඵලක් නැහැ. බලන්න එකම කතා‍ව දෙන්නෙක් කියද්දී දෙවිදියක්.
එක් කෙනෙක් කියන දේ අනෙක් කෙනා කියනවාට වඩා අහන් ඉන්න ආසයි. ඒත් දෙන්නාම කියන්නෙ එකම කතාව . ඒත් දෙවිදිහකට. එනිසා කතා‍ව දරුවාට ඉදිරිපත් කරන ආකාරයත් විශේෂයි. මේ ලෙසින් ගුණයෙන් පිරිපුන් පොත් දුන්නොත් දරුවාට පොත් කියවීමේ ආසාව ඇති වෙනවා පමණක් නොවෙයි දරුවකුගේ අතට පොතක් දීමෙන් අපේක්ෂා කරන දේත් ඉෂ්ට වේවි.
අද පතපොත වෙනුවට දරුවන්ගේ අත හිත ගිහින් තියෙන්නෙ පරිගණක වැනි විද්යුත් උපකරණ වෙතටයි. ඒක ලෝක ස්වභාවය වුවත් අපට ඒ තාක්ෂණයත් සමඟ දරුවන්ට සාහිත්‍ය දැනුම ලබා දිය හැකියි. ඒ සඳහා වැඩිහිටියන්ගේ දැනුම්වත් වීම අවශ්‍යයයි.

ලිව්වේ‍‍ - සේමාලි කැල්ලපත

http://www.silumina.lk/2013/07/21/_art.asp?fn=as1307213

මඩොල් දූව























 මා කියවූ රසවත්ම පොත

කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි. කිසිදිනෙක අකුරක් නොකියවූ මිනිසා ජිවත්ව සිටිය ද ඇතුළතින් මැරුණු මිනිසෙකි. ඕනෑම කෙනෙකුට ජීවය දෙන්නට කියවීමට හැකිය. අකුරින් අකුර කියවා නව නිපැයුම්වලට පණ දී, දියුණු නව ලොවකට මංපෙත් විවර කරන්නට හැකිවන්නේ කියවන්නාට පමණි. සියල්ලෝම දැනුම ලබාගන්නේ, තොරතුරු හුවමාරු කරගන්නේ, රසවින්දනයට යොමු වන්නේ, ඕනෑම දෙයක් වටහාගන්නේ කියවීමෙනි. එනිසා මේ සුවිසල් ලොව තුළ කියවීම ඉටුකරන මෙහෙවර, කියවීමේ අගය නිම කළ නොහැකිය.
මුලින්ම අකුරු කියවූ දිනයේ පටන් අද වනතුරු අපි කියවා ඇති දෑ ගතහොත් කියා නිම කළ නොහැකි තරම්ය. නමුත් එතැනින් ද යමෙකුගේ කියවීම අවසන් නොවේ. මිය යන තෙක්ම අපි මොනවා හෝ ඉගෙනගත යුතුය.
කියවිය යුතුය. මේ දක්වා අපි කියවූ දේ අතරින් වඩාත්ම ඇලුම් කරන යම් සිද්ධියක් හෝ පොතක් සෑම කෙනෙකුටම ඇත. මා කියවූ රසවත්ම පොත වන්නේ ‘මඩොල් දූව‘ නමැති ළමා නවකතා පොතයි. එය රචනා කොට ඇත්තේ ‘හෙළයේ මහා ගත්කතුවරයා’ ලෙස හා දකුණු පුරවරයෙන් බිහිවූ ‘කොග්ගල ප්‍රාඥයා’ ලෙස විරුදාවලිය ලැබූ මාටින් වික්‍රමසිංහ මහතායි.
මඩොල් දූව කෘතිය මාගේ පමණක් නොව කියැවූ ඕනෑම කෙනෙකුගේ නෙත් සිත් වශී කිරීමට සමත් වේ. ඒ එම නවකතාව සතු සිත් ඇද බැඳ ගන්නා සරල බස් වහර, භාෂාව රසවත් කරන විවිධ සම්ප්‍රදායික යෙදුම්, මෙම කතාවට පණගන්වන ප්‍රධාන චරිතවල ක්‍රියාකලාපය, නවකතාවේ ඇති හාස්‍ය දනවන සුළු හා විස්මය හා භය දනවනසුළු සිද්ධීන්, ඒ ළමයින්ගේ උත්සාහවන්ත බව, දඟකාරකම, නිර්භීතකම ආදී ගුණාංග හා කර්තෘවරයාගේ අතිවිශිෂ්ට දක්ෂතාවය ආදී විශේෂ ගුණාංග නිසාය. මෙය අප රට තුළ පමණක් නොව, මුළු ලෝකය තුළම ළමා ලොවේ සිහින කතාවක් ලෙස අතිශයින් ජනප්‍රිය වී ඇත.
මේ සියලු ගුණාංගවලින් හෙබි මඩොල් දූව නවකතාවේ හරවත් සාරාංශය මෙසේ එක් ඡේදයකට සිරකර තැබීම ඉතා අසීරුය.
නොපසුබට උත්සාහය, සහයෝගීතාවය, අධිෂ්ඨානය, මිථ්‍යාමත විශ්වාස නොකිරීම හා ඕනෑම දෙයක් තමන්ට හැකි බව සිතමින් කටයුතු කිරීම ආදී ගුණාංග ජීවිතයට එකතු කරගනිමින් ජීවිතය සාර්ථක කරගැනීමට අපටත් හැකිය. එබැවින් මා කියවූ රසවත්ම පොත වන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘මඩොල් දූව‘ කෘතිය ලෝකයේ අනර්ඝම කෘති අතරට එක් වූ කෘතියක් බව නොඅනුමානය.

ආර්.ඒ.හිරුණි සමීරා රණසිංහ
8 ශ්‍රේණිය ‘සී’,
රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ.

බොළඳ කටට කුමර ගී

ශ්‍රී ලාංකේය ළමා සාහි­ත්‍ය­යට විශිෂ්ට නිර්මාණ රැසක් දායාද කළ කුමා­ර­තුංග මුනි­දාස ශූරීන්ගේ ළමා කවි සම්භා­ර­යක් එක්රැස් කර­මින් ශාස්ත්‍රීය මෙන්ම උසස් මුද්‍රණ නිමා­ව­කින් ද යුතු ග්‍රන්ථ­යක් 2003 වසරේ දී ‘විසි­දුනු’ ප්‍රකා­ශන සමා­ගම විසින් කුමර ගී ඇතුළු ළමා පැදි නමින් ප්‍රකා­ශ­යට පත් කරන ලදී.

බළ සෙන­ඟට සමර ගී
සුර සබ­යට අමර ගී
සුවඳ මලට බමර ගී
බොළඳ කටට කුමර ගී


කුමර ගී ඇතුළු ළමා පැදි නම් වූ මේ ග්‍රන්ථ­යට පහත සඳ­හන් ග්‍රන්ථ වලින් උපුටා ගත් ළමා පැදි ඇතු­ළත් කර තිබිණි.
එනම් ස්වරා­ජ්‍යය 1922, කුමර ගී 1926, ශික්ෂා මාර්ගය 1933, පුරාණ සිංහල අකුරු කර­ණය 1935, අකුරු සැහැල්ල 1935, රසා­ය­නය 1936, කුමාර පද්‍ය සංග්‍ර­හය 1937, සුර කුම­රිය 1955, කුම­ර­තුඟු පැදි එක­තුව 1970 යන ඒවාය. මෙම ගතෙහි වටි­නා­ක­මට හේතු වූයේ එම මිහිරි ගී පාඨ­කයා වෙත නැවත සේව­නය කිරීම සඳහා ඉදි­රි­පත් කිරීම පම­ණක් නොවේ. එකල කුම­ර­තු­ඟු­වන්ගේ ග්‍රන්ථ­යන්හි නිද­ර්ශන චිත්‍ර නිර්මා­ණය කළ සුප්‍ර­සිද්ධ චිත්‍ර ශිල්පී ඇම්. සාර්ලිස්ගේ සිතු­වම් එප­රි­ද්දෙන්ම එම කාව්‍ය සංග්‍ර­හ­යට ඇතු­ළත් කර තිබීම ද එයට හේතු විය. එය එක් අත­කින් පැරණි සිතු­වම් සංර­ක්ෂ­ණය කිරී­මකි. එසේම ඉතා සෞම්‍ය මුද්‍ර­ණ­යක් මෙන්ම ඝන කවර බැම්ම­කින් ද ප්‍රකා­ශ­යට පත්කර තිබීම පිළි­බඳ විසි­දුනු ප්‍රකා­ශ­ක­යින්ට පාඨ­ක­යින්ගේ ප්‍රණා­මය හිමි විය යුතුය.
මෙම සද්කා­ර්ය­යෙහි ඉදිරි පිය­ව­රක් ලෙස පසු­ගිය වසරේ ඉහත කී ග්‍රන්ථ­ව­ලින් උපුටා ගත් ගී පැදි එක­තු­වක් වෙන වෙන ම ළමා පොත් වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් කිරීම ප්‍රශං­ස­නීය වේ. ප්‍රවීණ ළමා පොත් සැල­සුම් ශිල්පිණී සිබිල් වෙත්ත­සිං­හ­යන් විසින් මේ පොත් පෙළ සඳහා චිත්‍ර සැල­සුම් කර තිබීම තවත් විශේ­ෂ­යකි.
කුම­ර­තු­ඟු­වන්ගේ ‘ශික්ෂා මාර්ගය’ ‘කිය­වන නුවණ’ වැනි පාඨ­ශා­ලීය ග්‍රන්ථ­ව­ලින් උපුටා ගත් ‘දොරට වැඩුම’ ‘සිරි­මත්’ ‘මලෙක මලක’ ‘හා හා හරි හාවා’ ‘ගොඩ ඉතා ලොකු සතා’ සහ ‘නැළ­විල්ල’ වැනි කාව්‍ය පංති වෙන වෙනම සිතු­වම් සහිත කුඩා පොත් වශ­යෙන් ඉතා රම­ණීය ලෙස විසි­දුනු ප්‍රකා­ශන සමා­ගම විසින්ම ප්‍රකා­ශ­යට පත් කර තිබේ.
මේ කෘතීන්හි කාව්‍ය­මය ගුණය මෙන්ම සිබිල් විසින් ඉදි­රි­පත් කර ඇති නව­තම සිතු­වම් නිසා ද මෙහි අගය තවත් තීව්‍ර වී ඇත.
මේ කෘතීන් අතර දොරට වැඩු­මෙහි චිත්‍ර සැල­සුම වඩා උසස් තත්ත්ව­යක තිබේ. නිව­සක ආලි­න්ද­යට ආස­න්නව පිහිටි තල් පැල­යක අත්තක තැනූ කුරුලු කැදැ­ල්ලක පැණි කුරුලු යුව­ළ­කගේ පැට­වුන් දෙදෙනා දොරට වැඩීම පිළි­බ­ඳව කාව්‍ය­මය සංක­ල්ප­නා­වක් මේ පද්‍ය පන්තියේ අන්ත­ර්ගත ය. කුරුලු පැටවු දෙදෙනා කුරුලු දෙම­ව්පි­යන් සෙව­නෙහි වැසී සුළං­ව­ලින් ආරක්ෂා වී සිට දොරට වැඩී­මෙන් පසු වලා­කුළු අත­රින් නිල් අහස් තලයේ පියා­ස­ල­මින් ඉගි­ළෙන සැටි ඒ ග්‍රන්ථයේ කවර සිත්ත­මින් ඉතා මැන­වින් නිරූ­ප­ණය කොට ඇත. ඒ තුළින් පෙනී යන්නේ සිබිල් මෙම කාව්‍යයේ රසය හඳු­නා­ගෙන ඉතාම උචිත ලෙස තම සිතු­වම් ශෛලි­යෙන් මේ චිත්‍ර සැල­සුම් ඉදි­රි­පත් කර ඇති බවයි.
බොහෝ ග්‍රන්ථ විචා­ර­කයෝ කවි පිළි­බඳ ව කථා කරති. එහෙත් චිත්‍ර ගැන කතා නොක­රති. ඒ දෙක ම කතා කළ ද පිට­ක­ව­රය පිළි­බඳ ව උන­න්දු­වක් නොද­ක්වති. ඕනෑ ම කෙන­කුට මුලින් ම දිස්වන්නේ පොතක පිට­ක­ව­ර­යයි. පිට­ක­ව­රය වුවද දෙපැ­ත්තක් ඇති බව බොහෝ දෙනා අම­තක කරති. පිට­ක­ව­රය නිර්මා­ණය කරන සැල­සුම් ශිල්පියා කව­රයේ ඉදි­රි­පස මෙන්ම පසු පිටුව පිළි­බ­ඳව ද සැල­කි­ලි­මත් විය යුතු ය. සිබිල් පොත්වල පිට­ක­ව­රය නිර්මා­ණය කිරීමේ දී කව­රයේ දෙපැත්ත ම උප­රීම ලෙස භාවිත කර­මින් ඉතා ම අර්ථ­වත් මෙන්ම නිර්මා­ණා­ත්මක ලෙස ද සැල­සුම් කරන්නී ය. ‘දොරටු වැඩුම’ පොතෙහි කව­රය ද ඊට කදිම නිද­සු­නකි.
වැසි සුළං ආදි­යෙන් කුරුලු පැට­වු­නට දැඩි ආර­ක්ෂා­වක් දෙන කුරුලු පවුලේ කැදැල්ල පිට­ක­ව­රයේ පිටු­ප­ස­ටත් දොරට වැඩු­මෙන් පසු කුරුලු පැට­වුන් වලා­කුළු සහිත නිල් අහ­ස්ත­ලයේ ඉගිළී යන ආකා­රය ඉදි­රි­ප­ස­ටත් යෙදී­මෙන් කාව්‍යයේ අර්ථය තීව්‍ර කරයි.

උදෑ­සන ම කිමැ ඉර අද
කුරුළු ගෙදරැ මඟු­ලක් වෙද
සුබ‍ ­මො­හො­තක් ළඟ යැ නොමඳ
යව රැස් මට පළමු විහිද


පොතක් දිග­හැ­රෙන විට පාඨ­ක­යාට පොතේ පිටු දෙක ම එක­වර පෙනේ. ඒ නිසා පිටු දෙක ම එක සිතු­ව­මක් ලෙස යොදා ගනි­මින් මේ පොතේ ඉහත සඳ­හන් පළමු කවිය සිතු­ව­මට නඟා ඇත්තේ උදෑ­සන රන් වන් හිරු රැස් ගෙමි­දු­ලට වැටෙන අයුරු දැක්වී­මෙනි. නිව­සට යාබ­දව පිහිටි තල් පැළය සහ කුරුලු කැදැල්ල සිතු­වම් කොට ඇත්තේ පාඨ­ක­යාගේ වැඩි අව­ධා­න­යට යොමු­වන සමීප රූප­යක් ලෙසිනි. කුරුලු කැදැල්ල සහිත තල් පැළය මෙහි චිත්‍ර සංර­ච­න­යට අලං­කා­ර­යක් ගෙන දී ඇත.
කුරුලු පැටි­යාගේ දොරට වැඩීමේ මඟු­ලට සුළ­ඟට ලැබුණු ආරා­ධ­නය මෙම සිතු­වම් තුළින් සිබිල් ඉතා රිද්ම­යා­නු­කූල වර්ණ සම්පි­ණ්ඩ­න­ය­කින් පෙන්වා ඇත. සුදෝ සුදු වලා­කුළු කවියා දකින්නේ කුරුලු පැට­වුන්ගේ මඟු­ලට සුදුසු වර්ණ­යෙන් සැරසී පැමිණි අය ලෙසිනි. කළු පාට මඟු­ලට කළු නොනිසි බැවිනි. උදෑ­සන ගෙවත්තේ පිපී එන මල් පොකුරු කවියා දකින්නේ කුරුලු පැට­වුන් දොරට වඩින මඟු­ලට ඇර­යුම් ලැබුණු අමු­ත්තන් ලෙසිනි. වලා­කුළු සහ මල් සතු­ටින් සිනා මුහු­ණ­කින් සිටින බවක් පෙනේ.

කුසු­මෙනි ඇයි සෙන්නේ සිනා
නැත් නම් මඟු­ලට නොමනා
පැට­වුන් එළි­යට වඩනා
සැටි බල­මුව අපි දු පිනා


අවට පරි­ස­රය කවියා දකින්නේ පැට­වුන් දොරට වඩින මඟු­ලට ආරා­ධනා ලැබ පැමිණි අය ලෙසිනි. සුදෝ සුදු වලා පෙළත් සිනා මුහු­ණු­ව­ලින් යුතු මල් ගොමු­වත් සිබිල් සිතු­ව­මට නඟන්නේ උචිත වර්ණ තල­යක් මත සියුම් සරල රේඛා භාවිත කර­මිනි. සිත්ත­රා­විය මෙහිදී වලා­කුළු සහ මල් ගොමු­වට ජීව­යක් දී ඇති බව පෙනේ.
1948 වසරේ දී ප්‍රකා­ශ­යට පත්වූ පාඨ­ශාලා අති­රේක කිය­වීම් පොතක් වූ “පද්‍ය රසය” 2 වැනි පොතෙහි “සපු­මල සහ බඹරා” නමැති කව් පෙළ සඳහා සිබිල් වෙත්ත­සිංහ විසින් නිර්මා­ණය කර තිබූ සිතු­වම මෙහිදී සිහි­පත් වේ.

මඟුල් ගෙදර හඬක් ඇසී
විසි­තුරු ඇඳු­මෙන් සැරසී
ගී ගය­වුද සිනා සිසී
කුරුලු යහ­ළු­වෙනි එකසී


අපගෙ දරු­වන් එළි­යට
වඩනා මේ දවසේ අපට
නැත්තේ නම් මහත් සතුට
ඔබට ද ඇත්තේ සැබ­වට


සිබිල් මෙම කවි සඳහා පොතේ පිටු දෙක ගළපා ඇත්තේ ඉතාම විචිත්‍ර ලෙස ය. විසි­තුරු ඇඳු­මෙන් සැරසී ගසක අතු­ප­තර වසා සිටින විවිධ වර්ණ­වත් කුරු­ල්ලන් සතු­ටින් ගී ගයන අයුරු චිත්‍ර­වත් කර ඇත.
කොළ පැහැති සිහින් අතු­ප­තර මත හිඳ ගී ගයන කුරු­ල්ලන්ගේ සැහැල්ලු භාවය සිතු­වම් කර ඇති අතර අනෙක් පිටුවේ තල් ගසෙහි කොළ අතු වලින් වෙන් කර අදාළ පරිදි සිතු­ව­මෙහි සම­බ­ර­තා­වය තහ­වුරු කර ඇත. සිත්ත­රා­වි­යගේ රේඛා රිද්ම­යෙහි ගීත­වත් භාව­යක් දන­වයි. යාබද පිටු­වෙහි තල් අතු මත කුරුලු දෙම­හ­ල්ලන් සමඟ ඇති­වන ගීත­මය සංවා­දය කාව්‍ය අර්ථය නිද­ර්ශ­නය කරයි.
පොතක පිටු සැල­සු­මක් වශ­යෙන් මෙහි ඇති උසස් භාවය රැඳී ඇත්තේ සිත්ත­රා­විය විසින් පිටු­වට ලබා දී ඇති අව­කා­ශය මත ය.
කුරුලු දරු­වන්ගේ දොරට වැඩුම සිදු­වන්නේ අව­සාන පිටු දෙකෙ­හිදී ය.

නැකැත හොඳයි කී යැ පියා
මව ඉන් ඉදි­රි­යට ගියා
මගැ හැම වස් දොස් හැරියා
එක පැටි­යෙක් හැඹී පියා


නැකත හොඳ බව කුරුලු පියා කියන විට සුබ පෙර නිමිත්ත සේ ඉදිරියට යාමට සුදුසු වන්නේ කුරුලු මවය. ඒ සමඟ ම එක පැටි­යකු ඉගිළී යන සැටි සිබිල් අපූ­රු­වට ඉදි­රි­පත් කර ඇත.
දෙවැනි කුරුලු පැටවා ද පියා­ප­තින් වැඩ­ගත් සැටි දෙවැනි පිටු­වෙන් දැක්වෙයි.

පසු වැ පැමිණි සුබ මොහො­තින්
දෙවැ­නියා ද පියා පතින්
වැඩ­ගත් පැමි­ණියෝ හිතින්
සිතට සතුටු යැවූ නෙතින්


චිත්‍ර­යට දෙවැනි නොවූ කවි­යත්, කවි­යට දෙවැනි නොවූ චිත්‍ර­යත් එකට එක්වූ මෙවන් ග්‍රන්ථ­යක් කුඩා දරු­වන් මතු නොව වැඩි­හි­ටි­යන් ද රස ලෝක­ය­කට කැඳ­වා­ගෙන යයි. මේ කුඩා­ගත මහා කවි කුමා­ර­තුංග මුනි­දා­ස­යන් සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පී සිබිල් වෙත්ත­සිං­හ­යන්ගේ අපූරු සුසං­යෝ­ග­යක් ම වන්නේ ය. ළම­යින් සඳහා නිර්මා­ණය කරන පොත් ඉතා සුන්දර විය යුතු ය. මේ ගතෙහි අන්ත­ර්ග­තය සඳහා තෝරා­ගෙන තිබෙන්නේ කුම­ර­තු­ඟු­වන්ගේ උසස් ම කවි පෙළකි. චිත්‍ර සැල­සුම් සඳහා තෝරා­ගෙන තිබෙන්නේ අග්‍ර­ගණ්‍ය චිත්‍ර ශිල්පි­නි­යක වන ආචාර්ය සිබිල් වෙත්ත­සිං­හ­යන් ය.
මේ වටිනා කවි සිත්තම් නව පර­පුර වෙත ගෙන යාමට විසි­දුනු ප්‍රකා­ශ­ක­යන් ගත් උත්සා­හය ඉතා ප්‍රශං­ස­නීය වේ. උසස් නිමා­ව­කින් මේ පොත් මුද්‍ර­ණය කර ප්‍රකා­ශ­යට පත් කිරීම විසි­දුනු ප්‍රකා­ශ­ක­යන්ගේ වැද­ගත් මෙහෙ­ව­රකි.