V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Friday, May 27, 2016

ආසියානු පාසල් පිහිනුම් ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 31ක් එක් වෙති

 පස්වැනි ආසියානු පාසල් පිහිනුම් ශූරතාවලිය අද (26) ඉන්දුනීසියාවේ පෙලින්බැන්ග් නුවර දී ආරම්භ වෙයි. මේ ශූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පාසල් පිහිනුම් කණ්ඩායම පසුගියදා ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේය.
ලබන 29 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු පාසල් පිහිනුම් ශූරතාවලියට එක්වි සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ බාලක අංශයේ නායකයා ලෙස ඩී.එස්.සේනානායක විදුහලේ ඉමේෂ් චතුරංග කටයුතු කරන අතර විශාඛා විද්‍යාලයේ ශෙලීනා පීරිස් බාලිකා අංශයේ නායිකාව ලෙස කටයුතු කරන්නීය. මීගමුව මාරිස්ටෙලා විදුහලේ දිනෙත් ජයකොඩි බාලක අංශයේ උපනායකයා වන අතර ආවේ මරියා කන්‍යාරාමයේ ලංකිකා මෙලනී බාලිකා අංශයේ උපනායිකාව ලෙස කටයුතු කරන්නීය.
ක්‍රීඩකයන් 14 දෙනකු බාලක අංශය නියෝජනය කරන අතර බාලිකා අංශය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 17ක් එක්වී සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය.
බාලක - ඉමේෂ් චතුරංග (නායක - ඩි.එස්.), දිනෙත් ජයකොඩි (උපනායක - මාරිස්ටෙලා), නිලංක ශෙහාන් (නාලන්දා), ස්ටීවන් පෙරේරා (ගේට් වේ), අකලංක පීරිස් (සා.පීතර බම්බලපිටිය), සී.ආර්.යෝගරත්නම් (සා.අන්තෝනි මහනුවර), දිලුක් ජයතිලක, එන්.ඒ.ළහිරු (ලයිසියම් වත්තල), ඉෂාර අබේරත්න (රාජකීය), උෂාන් ගුණරත්න (ලයිසියම් රත්නපුර), ශිවංග ද සිල්වා (සා.ජෝශප් මරදාන), ජේ.ජේසුදාසන් (කොළඹ ජාත්‍යන්තර පාසල), ඊ.ධර්මප්‍රිය (ත්‍රිත්ව), ගැවින් කරුණානායක (බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල කොළඹ)
බාලිකා - ශෙලීනා පීරිස් (නායිකා - විශාඛා), ලංකිකා මෙලනී (උපනායිකා - ආවේ මරියා මීගමුව), උත්තමා සිල්වා, මහේෂිකා හේවගේ, මොනේත්‍රා වීරසිංහ, නෙත්මි මහකුමාර, දේවින්ද්‍යා ජයවර්ධන (මහමායා මහනුවර), ශෙහාන්ති ගුණරත්න, දිහිනි නාවල (විශාඛා), තිමාලී බණ්ඩාර (ලයිසියම් වත්තල), ඒ.සමරසිංහ (මියුසියස්), චොමාලී සෙනෙවිරත්න, විනෝලි කලුආරච්චි (සිරිමාවෝ), දුලක්ෂි පෙරේරා (හිල්වුඩ්), ශෙනාලී වීරවංශ (අවේ මරියා මීගමුව), ටී.වී.ජයතිලක (විහාරමහා දේවි කිරිබත්ගොඩ), ශෙනාලී පෙරේරා (ලයිසියම් නුගේගොඩ).
නිලධාරී මණ්ඩලය - වයි.එන්. ඩී.යාපා මයා (කණ්ඩායම් ප්‍රධානී), ක්‍රිෂාන් දුමින්ද මයා (කළමනාකරු), ජුලියන් බෝලිං මයා (පුහුණුකරු), පෙම්ලත් උයන්ගොඩ මයා (සහාය පුහුණුකරු), ලලනී ජයතිලක මිය (සහාය කළමනාකාරීනි), තිසරු පෙරේරා (කාන්තා කණ්ඩායම භාර නිලධාරීනී) 


Guiding Light

The Sri Lanka Girl Guides Association’s Eastern Province Annual General Meeting was held on Saturday May 7, 2016
at Shanmuga Hindu Ladies College, Trincomalee.  Ms. Jecintha Arulanantham Deputy Director of Education, Provincial Education Department Eastern Province graced the occasion as the Chief Guest.
In her address she stressed the importance of girls joining the  Girl Guides Association. Professor Anoja Fernando President, Ms. Harshini Perera Director Communications and Ms. Dimanthi Gunawardena National Secretary were present on behalf of the SLGGA. There were more than 100 Girl Guide leaders and Girl Guides present from the Eastern Province.

http://www.sundaytimes.lk/160522/funday-times/guiding-light-194373.html

එවරස්ට් ජයගත් පළමු ශී‍්‍ර ලාංකිකයා ජයන්ති


 
හිමාලය කඳු වැටියේ පිහිටි ලොව උසම කන්ද වන එවරස්ට් කඳු මුදුන (මීටර් 8,848) තරණය කළ පළමු ශී‍්‍ර ලාංකිකයා ලෙස ජයන්ති කුරුඋතුම්පාල  ඉතිහාසයට එක්විය. ජයන්ති ඇතුළු පිරිස එවරස්ට් කඳු මුදුනට පැමිණි බව කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ සටහන්ව තිබිණ.

ජයන්ති ඇතුළු පිිරිස  අලූයම 5.00 ට පමණ එවරස්ට් කඳු මුදුනට අවතීර්ණ වූ බව වාර්තා වේ.
ඇයගේ කණ්ඩායමට කඳු තරණය කරන්නන් 9 දෙනෙක් සහ ෂර්පා ජාතිකයෝ 15 දෙනෙක් ඇතුළත් වූ බවද කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ සටහන් වී තිබේ.
කෙසේ වෙතත් ජයන්ති කුරු උතුම්පාල සමග හිමාලය තරණය කිරීමට ගිය අනෙක් ශී‍්‍ර ලාංකිකයා වන ජොහාන් පීරිස් තරණයේ අවසන් කොටසේදී ඇය සමග සිට නැත. ජොහාන් පීරිස් 4 වැනි කඳවුර දක්වාම ජයන්ති සමග සිට ඇතත් අවසන් කොටසේදී ජයන්ති සහ ෂර්පා ජාතිකයෝ ඉදිරියට ගියහ.
හිමාලය තරණය කරන්නන් විසින් ඔවුන්ගේ බඩු බාහිරාදිය ඔසවාගෙන යාම සඳහා හිමාලයේ කඳු ආශි‍්‍රතව දිවිගෙවන ෂර්පා ජාතිකයන් යොදා ගැනේ.
4 වැනි කඳවුර පිහිටා ඇත්තේ මුහුද මට්ටමේ සිට අඩි 26,000 ක උසිනි.
20 වැනිදා රාති‍්‍රයේ 9.00 ට පමණ ජයන්ති ඇතුළු කණ්ඩායම තරණයේ අවසන් කොටසේ නැග්ම ආරම්භ කරන විට එහි තිබී ඇත්තේ චන්ද්‍රාලෝකය පමණි. එවරස්ට් කඳු මුදුනට මුහුදු මට්ටමේ සිට ඇති උස අඩි 29,029 කි.
මරණයේ කලාපය යනුවෙන් හැඳින්වෙන අඩි 26,000 කට ඉහළින් පිහිටි කොටසේදී හිමාලය තරණය කරන්නන්ට විඳින්නට සිදුවන දුෂ්කරතා කෙළවරක් නැත. උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ අගයක් ගන්නා එම කොටසේදී වායු ගෝලයේ පවතින ඔක්සිජන් ප‍්‍රමාණය මුහුදු මට්ටමේ පවතින ප‍්‍රතිශතයෙන් තුනෙන් එකකි. එබැවින් ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම ඉතා අසීරුය.
ජයන්ති සහ ජොහාන් ඇතුළු පිරිස එවරස්ට් පදනම් කඳවුරෙන් පිටත් වූයේ මැයි 15 වැනිදාය.
ජයන්ති සහ ජොහාන් අපේ‍්‍රල් මාසයේ මුල සිට හිමාලය කඳු ආශ‍්‍රිතව පුහුණුව ලැබූ අතර පසුගිය මාසය පුරාම එවරස්ට් පදනම් කඳවුරේ සිට තවත් කඳවුරු තුනක් දක්වා වූ ඉතාමත් උස කඳු සහ උස් ප‍්‍රදේශ කරා ඉහළට සහ පහළට ගමන් කිරීමේ පුහුණුව ලබාගත්හ.
ඉතාමත් අසීරු මෙන්ම වඩාත් අවදානම් සහිත කුම්බු අයිස් ඇල්ලේ නිතැතින්ම වෙනස් වන අයිස් ග්ලැසියර කඩා වැටෙන ස්ථානය හරහා ගමන් කිරීමත්, ඊට මුහුණලා ඍජුව පිහිටා තිබෙන ලෝට්ස් නම් වූ අයිස් වලින් සැදුණු බිත්තියට පහළින් ගමන් කර පිහිටි කඳවුරු අංක 3 වෙත ළඟාවීමත් එම පුහුණුවට ඇතුළත් විය.
වසර 30 පමණ පළපුරුද්දක් සහිත ජාත්‍යන්තර උපදේශක කණ්ඩායමක් සමග ජයන්ති සහ ජොහාන් එවරස්ට් කඳුමුදුනට යාමට එක්වී සිටියහ. මෙම ගමනට සම්බන්ධ වීමට ජයන්තිට සහ ජොහාන්ට ඔවුන්ගේ උස් කඳු නැගීමේ අත්දැකීම්, අයිස් කඳුනැගීමේ කුසලතා සහ ලණු බැඳීමේ තාක්ෂණික ක‍්‍රමවේදයන්හි පළපුරුද්ද එම කණ්ඩායම ඉදිරියේ පෙන්නුම් කිරීමට අවශ්‍ය විය.




ඡයාරූප : කඳු නැගීමේ අන්තර්ජාතික මාර්ගෝපදේශ වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි


- See more at: http://kelimandala.lankadeepa.lk

ග්‍රහලෝක 550ක් සොයා ගනී



විශ්වයේ තිබෙන නාඳුනන ග්‍රහලෝක හඳුනා ගැනීම සඳහා වසර 2009 මාර්තු 07 වන දින අභ්‍යවකාශ ගත කළ කෙප්ලර් අභ්‍යවකාශ දූරේක්ෂය (Kepler Space Telescope) වසර 2016 මැයි 12 වන දින වනවිට ග්‍රහලෝක 1284 ක් හඳුනා ගනිමින් වාර්තාවක් පිහිටුවා අැති බැව් නාසා ආයතනය නිවේදනය කරයි. මේ හෝඩුවාව නාඳුනන විශ්වයේ කොතැනක හෝ තිබෙන අපගේ හිරු වැනි තරුවක් වටා පරිභ්‍රමණය වන පෘථිවිය වැනි ග්‍රහලොවක් හඳුනාගැනීමට හැකිවේය යන්න දනවන ඉඟියක් විය හැකි යයි වොෂින්ටන්හි නාසා මුලස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ ඇලන් ස්ටොෆැන් පවසයි.

කෙප්ලර් පෘ‍ථිවිය වැනි ග්‍රහලෝක 550ක් සොයා ගනී


වසර 2009 මාර්තු 07 වන දින කෙප්ලර් අභ්‍යවකාශ දූරේක්ෂය අභ්‍යවකාශගත කරන ලද්දේ තාරකා 150,000 ක් පමණ අධ්‍යයනයට ලක්කර එම තාරකා වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝකවලින් කවර හෝ ජීවයක් ඇති ග්‍රහ ලොවක් හඳුනා ගැනීම පෙරදැරි කරගෙනය. මේ වන විට විවිධ අභ්‍යවකාශ දූරේක්ෂ මගින් හඳුනාගෙන තිබෙන නාඳුනන වස්තු ප්‍රමාණය 5,000ක් වුවත් මෙයින් නිත්‍ය වශයෙන් ග්‍රහ ලෝක ලෙසට හඳුනා ගෙන ඇත්තේ 3,200ක් වැනි ප්‍රමාණයකි. මේ ග්‍රහලෝක 3,200න් ග්‍රහලෝක 3,225ක් ම හඳුනා ගෙන තිබෙන්නේ කෙප්ලර් අභ්‍යවකාශ දූරේක්ෂය වීමද විශේෂත්වයකි. ඉතාමත් මෑතකදී හඳුනාගත් ග්‍රහලෝක 1284න් ග්‍රහලෝක 550ක් පමණ පෘථිවිය වැනි ඝන මතුපිටක් (Solid Surface) තිබෙන ඒවා බැව් තහවුරු කරගෙන ඇත.

http://www.silumina.lk/2016/05/22/_art.asp?fn=af1605227

(MARKER STONE) මීට වසර 2640 ඉහත දී සිදුහත් කුමරු උපන් ස්ථානය දැක්වෙන ලුම්බිනි පුදබිමේ පාෂාණය


සිද්ධාර්ථ කුමාරයා උපන් ලුම්බිනිය පිහිටා තිබෙන්නේ මෙකල ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශසීමාවෙන් කිලෝමීටර් දහයක් පමණ ඇතුළට වන්නට නේපාලයේය. නේපාලයේ බටහිර කේරායි ප්‍රදේශයේ පිහිටි ලුම්බිනි සල් වනය බුද්ධ කාලයට පෙර සිටම කපිලවස්තු සහ දෙව්දහ පුර යන ප්‍රදේශවාසීන්ගේ පොදු විනෝද උයනක් ලෙසින් පැවතුණි.
ප්‍රමෝද වන ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ලුම්බිනි සල් වනය සල්ගස්වලින් පිරී තිබිණි. එපමණක් ද නොවේ, විවිධ වර්ණවලින් යුක්ත පුෂ්පයන් ද පිපී සුවඳ හමමින් පැවැතිණි. විවිධ මීමැසි වර්ගයන්ගෙන් ද ගහන වූ මේ රමණිය දැකුම්කලු සල් වනය කාගේත් සිත්ගත් තැනක් විය. කුරවි කෝකිළ නාදයෙන් යුත් මේ වන උයන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ඉන්දු දෙවියාගේ චිත්ත ලතා උයනට සමාන කර ඇත. (ARCHAEOLOGICAL REMAINS OF KAPILAVSTU, LUMBINI AND DEVDAHA - B. K. RIJAL - P. 11 - 1979 - KATMANDU NEPAL)
සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මායාදේවි විහාරය - සිරිසමන් විජේතුංග - පි. 55 - 56 (2014) සුබෝධි ප්‍රකාශන)
මීට වසර 2640 ඉහතදී මහ බෝසතාණන් වහන්සේ එම සල් උයනේ උපත ලැබු බව මහා පරිනිබ්බාන සූත්‍රය ඇතුළු බෞද්ධ සාහිත්‍යයෙහි ද සංස්කෘත (මහායාන බෞද්ධ) සාහිත්‍යයෙහි ද සඳහන් වී ඇති කරුණකි.
මෙකල නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 90 පමණ දුරින් පිහිටි මෙම පුද බිමට බෝසතාණන් වහන්සේ උපත ලැබු දිනයේ සිට ක්‍රිස්තු පූර්ව 250කට පෙර බෞද්ධ ජනතාව මෙන්ම විවිධ පුද්ගලයන් පැමිණෙන්නට ඇත. එහෙත් විශේෂිත වූ එක් මහා පුරුෂයෙක් පැමිණියා පමණක් නොව සිදුහත් කුමරු (ශාක්‍යමුනි බුදු රජාණන් වහන්සේ) එහි උපන් බව ද තමාම පැමිණ මෙහි ශිලා ස්තම්භයක් පිහිටුවන ලද බව ද ශිලා ටැඹෙහි අසෝක රජතුමා ලියා තැබුවේය. ඒ ශිලා ටැඹෙහි සඳහන් වන්නේ මෙසේ ය.
“දේවානම්පියදසි (රජු - අසෝක) ගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි ශාක්‍යමුනි බුදු රජාණන් වහන්සේ උපන්නේ යැයි (සලකා) තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප්‍රකාශයට පත්කොට) දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක් පිහිටුවීය. ලුම්බිනි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කළේය.
(අසෝක ධංම ලිපි (ටැම් ලිපි හා ලෙන් ලිපි) මහාචාර්ය අබය ආර්යසිංහ - පි. 38 - 59 (2000)
ස්ථිර ලෙසින්ම මෙම පුදබිමෙහි සිදුහත් කුමරු උපන් බව මෙම ශිලා ලේඛන සාක්ෂිය ඉතා විශිෂ්ට පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙස පිළිගෙන ඇත. මීට පසුව ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ දී ෆාහියන් හිමි හා ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසේදී හියුං සාං යන චීන ජාතික භික්ෂුන් වහන්සේලාගේ වාර්තාවල ද උන්වහන්සේලා මෙම පුදබිම පැමිණි බව ද සිදුහත් කුමරු මෙහි උපන් බව ද ලිඛිත සාක්ෂි ලෙසින් පිළිගෙන ඇත.
සිදුහත් කුමරු මෙම පුදබිමෙහි උපත ලද බව මුළු ලොවම පිළිගෙන ඇත. 2011 වර්ෂයේ සිට 2013 තෙක් මෙම පුදබිමේ මායාදේවි විහාරයෙහි පුරාවිද්‍යා කැණීමක් කරන ලද්දේ එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ අපගේ ද හිතවත් මහාචාර්ය රොබින් කනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසිනි. ඒ පිළිබඳ මේ ලේඛකයා විසින් 2014 දී “සිදුහත් කුමරු උපන් මායාදේවි විහාරය” නමින් ග්‍රන්ථයක් ද පළ කරන ලදී.
මයාදේවි විහාරය යනු සිදුහත් කුමරු උපත ලද නිශ්චිත වූ ස්ථානයෙහි ලුම්බිනි පුද බිමේ ද සල් ගස වට කර සාදන ලද විහාරයයි. මහාමායා ‍බිසව දරු ප්‍රසූතිය සඳහා සිය දෙමාපියන්ගේ නි‍ෙවස වූ දෙව්දහ පුරයට (කිඹුල්වත් පුරයේ සිට) පැමිණෙන අතරමඟදී මෙම සල් වනයට පැමිණි බව ඉතා ප්‍රකටය. එහි මලින් බර වූ සල් අත්තක් ඇල්ලීමට උත්සාහ කරද්දි සිදුහත් කුමරු උපත ලද බව බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම අමරාවති, ගන්ධාර, ආදි මූර්තිවල ද නිරූපණය කර ඇත.
මෙම මායාදේවි විහාරයෙහි එක් සුවිශේෂ වූ ශිලාමය කොටසක් පුරාවිද්‍යාඥයන්ට ඒ කැණීමට පෙර සිටම හමුවී තිබිණි. ඒ ශිලා ඛණ්ඩය පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වා ඇත්තේ මාර්කර් ස්ටෝන් MARKER STONE යන නාමයෙනි. එම ස්ථානය ඉතා ආරක්ෂා සහිතව අදත් මායා දේවි විහාරයේ ස්ථානයක තැන්පත් කර ඇත. මෙම පාෂාණය පිහිටුවා තිබෙන්නේ සිදුහත් කුමාරයා සල්ගස් සෙවණේ උපත ලැබු ස්ථානයෙහිය. ඒ වටා සාදන ලද විහාරය මායාදේවි විහාරය නම් වේ. මෙම පාෂාණය (MARKER STONE) ආරක්ෂා කිරීම සඳහා වෙඩි නොවදින වීදුරු ඵලකයකින් ආවරණය කර තිබේ. මෙම වීදුරු ඵලකය දැවයෙන් නිර්මාණය කරන ලද රාමුවකින් ද වානේ රාමුවකින් ද නිර්මාණය කර තිබේ.
මායාදේවි විහාර පුදබිමෙන් හමු වූ (මෙම ස්ථානයෙන්ම) මහාමායා දේවිය ප්‍රජාපති දේවිය සහ සිදුහත් කුමාරයාගේ උපත නිරූපණය කෙරෙන මූර්ති ඵලකයක් ද මෙහි තිබී හමු වී ඇත. එය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට (ගුප්ත රාජ යුගයට) අයත් සේ සැලැකේ. මායා දේවිය ස්නානය කළ පොකුණ ද (මායාදේවි පොකුණ) ද මෙම පුදබිමෙහි දැකිය හැකිය.

රටට වද දෙන සරසවි නවක වද

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදය හා ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා නිවාරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්වවිද්‍යාල සංගම සමඟ ඒකාබද්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂඥ උපදේශන සංවාදයක් සංවිධානය කර තිබිණ. නවක වදය නමින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන ක්‍රියාදාමයන් ඉන් පරිබාහිරව සිදුවන්නේ නම් ඒවා බරපතළ අපරාධ වේ. ඒ සඳහා නීතිය මගින් දඬුවම් ලැබිය යුතු වේ.
1998 අංක 20 දරණ නවක වද නිවාරණ පනත තිබියදීත් එය නොසලකා හැරීමේ හා ඊට සංවේදී නොවීමේ සංස්කෘතියක් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දක්නට ඇත. ඒ හේතුවෙන් වින්දිතයන් නිහඬව විඳ දරාගැනීමේ සිට සිය දිවි නසා ගැනීම දක්වා තත්ත්වය දුරදිග ගොස් තිබේ.

නවක වදයෙන් ආබාධිත වෙයි

1975 සිට මේ දක්වා වසර 40 කාලයක් තුළ නවක වදය හේතුවෙන් සිසුන් 9දෙනෙකු මරණයට පත්ව ඇත. වත්මන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා‍ගේ ප්‍රකාශයට අනුව සරසවියට ඇතුළත්වන සිසුන්ගෙන් 5%ක් නවක වදය හේතුවෙන් ආබාධිත වේ. විශ්වවිද්‍යාලයට ඇතුළත්වන සිසුන්ගෙන් 5%ක පමණ ප්‍රතිශතයකගේ මානසික මට්ටම නවක වදය හේතුවෙන් පහළ වැටේ යැයි අනාවරණය වී ඇත. වසර ගණනාවක් තිස්සේ කැපවීමෙන් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයට තේරිපත්වූ සිසුන් අතරින් කොටසක් නවක වදය හේතුවෙන් විශ්වවිද්‍යාල සිහිනය අතහැර දමයි. විශ්වවිද්‍යාල යේ නවක වදයට ලක්වන සිසුන් පීඩාවට පත් වෙද්දී නවක වදය ක්‍රියාත්මක කරවන සිසුන් නීතියේ රැහැනට කොටුකර ගැනිමට නීතිය ක්‍රියාත්මක කරන්න් උත්සුක වෙමින් සිටී. නීතිය නොසලකා හැරීම බරපතළ වරදකි. එහෙත් විශ්වවිද්‍යාල සිසුන්හට නීතියෙන් සහනයක් සැලැසී තිබූණා යැයි කීම වරදක් නොවේ. එහෙත් ඒ සහනය මේ වසරේ සිට නොලැබි යන බව තහවුරුවන්නේ 1998 අංක 20 දරන නවක වදහා වෙනත් සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ අංක 2.1, 2.2, 2.3 වගන්ති යටතේ නවක වදය ක්‍රියාවට නැඟූවන් අත්අඩංගුවට ගැනීමෙන් තහවුරු වේ
සංඛ්‍යා ලේඛන සියල්ල අද අපි අමතක කර දමමු. අය වැයෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වැය කරනු ලබන වැය ශීර්ෂය ද අමතක කර දමමු. ජීවත් වීමට තබා බෝඩින් ගාස්තු ගෙවා දැමීමට වත් ප්‍රමාණවත් නොවූ විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන ශිෂ්‍යාධාර ද නොසලකා හරිමු. ක්‍රමවත් නොවු, විධිමත් නොවූ දේශීය ආර්ථිකයට පලදායී ශ්‍රම දායකත්වයක් බිහි කිරීමට හෝ ජාත්‍යන්තතරයට පිවිසීමට හැකියාව සහිත උගත් බුද්ධිමත් ශික්ෂණයකින් යුතු ශ්‍රමිකයන් බිහි නොකරන නවීකරණය නොවූ අධ්‍යාපන පාඨමාලා සහිත උසස් අධ්‍යාපනයේ අඩු ලුහුඬු සියල්ලද අමතක කර දමමු. ජීවත් වීමට හා ඉගෙනුමට අවශ්‍ය මුදල් සොයා ගැනීම අරබයා කුඩා රැකියාවන්හි නිරත වන තරුණ පිරිස ද අද අපි අමතක කර දමමු. එවිට අපට කතා බහ කිරීමට ඉතිරිවන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ආරම්භයේ සිට ම පැවත ආ මේ වන විට විලාසිතාවක් හෝ වෙන යමක් නොවූ “ නවක වදය“ යන මාතෘකාව පමණි.

කායික මානසික හිංසනය

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ ආරම්භය තරම් ඈතට නවක වදය යන නවමු නොවූ නවමු මාතෘකාව දිව යයි. අතීතයේ එහි අරමුණ වූයේ සමාජානුයෝජන ක්‍රීයාවලියක් ලෙස පවත්වා ගනිමින් එකිනෙකා හඳුනා ගනිමින් සහෝදරත්වය වර්ධනය කර ගැනීම යි. විශ්ව විද්‍යාල උප සංස්කෘතියක් නිර්මාණය කිරීමයි. විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළු වූ වැඩි දෙනෙක් නවක වදයට මුහුණ දෙනු ලැබුවෝය. එය අතීතයෙදී ද කායික මෙන්ම මානසිකව ද සිසුහු අත්වින්දහ. නවකයෝ අද මෙන්ම අතීතයේ දී ද මාස තුනක් තිස්සේ ‍ජ්‍යෙෂ්ඨයන් අතින් හිංසනයට ලක් වූහ. එය ඇතැම් විට ප්‍රිතිය ද වේදනාවද ගෙන ආවේය. එහෙත් නවක වදයට ගොදුරුවූ සියල්ලෝ ම ඉදිරි වසර කිහිපය තුළ විශ්ව විද්‍යාලයට ඇතුළු වන පිරිස් නවක වදයට ලක් නොකළහ. එහෙත් නවක වදයට බියෙන් විශ්ව විද්‍යාලයට සුදුසු කම් ලබා තිබියදී ඒ අවස්ථාව අත්හැර දැමූ පිරිස් ද, එම නවක වදය හේතුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවූ පිරීස් ද අපට නොඅඩුව අතිතයේ දී හමු විණි. එහෙත් අනාගතයේ දී එසේ නොවිය යුතුය.
ශ්‍රී ලංකාව අධ්‍යාපනයට මුල්තැනක් දෙන රටකි. අප දරුවන් ක්‍රමවත් අධ්‍යාපනයක් සඳහා අවුරුදු හයේ සිට යොමු කරවමු. ද්විතීයික අධ්‍යාපනයෙන් පසු ලෝකයේ සමත්වීමට අපහසුම විභාග අතරින් එකක් වන අපොස උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වරම් ලබන්නේ සියයට දෙකක් තරම් වූ කුඩා පිරිසකි. ඔවුහු දුක් ගැහැට විඳ නිදිවරා පාඩම් කොට සරසවියට පැමිණෙති. නවක වදය ඔවුන්ගේ දෑසට කඳුළු එක් කරයි නම් එය නොසලකා හැරිය යුතු තත්වයක් නොවේ.
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් වන පිරිසෙන් බහුතරය නිර්ධන පාන්තික හෝ පහළ මධ්‍යම පාන්තික දරුවෝය. ඒ දරුවන් එපමණ දුරක් ගෙන ඒම සඳහා මාපියන් කොපමණ කැපකිරීම් කර ඇද්ද? ඔවුන් මවුපියන් සතු වගකීම ඉටු කරමින් තම වර්තමානය කැපකර අනාගත අරමුණු ඇතිව තම දරුවෝ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරති. ඒ දරුවන් සුරක්ෂිතව රටේ ආර්ථික සමාජ සංස්කෘතික දියුණුව අරබයා නිර්මාණය කර ගැනීම විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම රටේ බල පවත්නා රජයේ වගකිමයි.
සරසවියට පැමිණෙන සෑම දරුවෙකු හටම නිරායාසයෙන් ලැබු පරිචයක් තිබේ. විශ්ව විද්‍යාලයෙන් එය වර්ධනය කරගනී. ඔවුන් දහසක් අපහසුතා මැද උපාධියක් ලබා ගැනීම ඔවුන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවේ. එය අපේ රටේ ජයග්‍රහණයකි.

සරසවි දේශපාලන හස්තය

නවක වදය විශ්වවිද්‍යාල කේෂ්ත්‍රයට අලුත් නොවේ. දේශපාලනයද එසේමය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විශ්වවිද්‍යාල පද්ධතිය රසවත් කෑමක් ලෙස සලකා බෙදා හදා ගැනීමට උත්සහ දරයි. ඒ අතරින් ද ඇතැම් දේශපාලන පක්ෂ විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියා කාරිත්වය සම්පුර්ණයෙන්ම තමන්ට නතු කර ගැනීමට ගන්නා උත්සාහයක් ද පෙනී යයි. මේ හේතුවෙන් ශ්‍රි ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පවා ලේ හලන ව්‍යාපාරයක් බවට පත් කරමින් විශ්වවිද්‍යාලය තුළ මැර සංස්කෘතියක් නිර්මාණය කර තිබේ.
මහා ශිෂ්‍ය සංගමය හා ශිෂ්‍ය සංගම් මෙහෙයවන දේශපාලන ව්‍යාපාරයක් අතීතයේ ද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක විය. එම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි රට තුළ වු යම් පිළිගැනීමක් හෝ ආකල්පයක් හේතු කොට ගෙන විනයකින් යුතුව හා වගකීමෙන් යුතුව විධිමත් ආකාරයෙන් විශ්වවිද්‍යාලය තුළ දේශපාලන කටයුතු මෙහෙය විණි. මැත අතීතයේ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පරිවර්තන හේතුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම රැඩිකල් රාජ්‍ය විරෝධි ව්‍යාපාරයන් ද වර්තමාන ලංකාවේ සැලකිය යුතු දේශපාලන පක්ෂයක් නොවූ, ජාතික තලයේ පිළිගැනිමක් නැති දේශපාලන පක්ෂයක් වූ පෙරටුගාමී පක්ෂය අතට තල්ලු වී ගියේය. මේ වන විට ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ දේශපාලනය මෙහෙයවන්නේ පෙරටුගාමී පක්ෂයයි. විශ්වවිද්‍යාල සිසුන්ට දේශපාලනය කිරීමේ අයිතිය තිබේ. එමගින් රටට අවශ්‍ය උගත් නායකයන් බිහිවනු ඇත.
එහෙත් ගැටලුව ඇත්තේ එතැන නොවේ. සිසුන් වර්තමාන සමාජය ලෝක තත්ත්වයේ සිදුවූ ආර්ථික, නවීකරණ, මතවාදි වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කර තිබිමයි. ඒ ලෝක ප්‍රවණතා සමඟ වර්තමානයේ අප රට තුළ ද ප්‍රජාතන්ත්‍රවාදය සමඟ නිදහස ස්ථාපිත විය. ඒ හේතුවෙන් වර්තමාන සමාජය දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන් තුළ පවත්නා අධිපති වාදි මතවාද ඉවසන්නේ නැත.

දුප්පත් පවුල්වල දරුවෝ

1990 දශකය වන තුරුම විශ්ව විද්‍යාලයට ඇතුල් වන තරුණයෝ කායික හා මානසික පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු වූහ. නවක වදය එහෙයින් මහා වියවුලක් වූයේ නැත. වර්තමාන තරුණයා එවන් දරාගැනිමේ හැකියාවකින් තොරය. මක්නිසාද යත් වත්මන් පවුල් සංථාව තුළ රටෙහි බලපවත්නා ආර්ථික සමාජමය හා සංස්කෘතික හේතුන් ප්‍රමුඛ වේ. පවුලේ බොහෝ විට ඇත්තේ එක් දරුවකු හෝ දෙදෙනෙකි. අතීතයේ මෙන් දරුවන් කිහිපදෙනෙක් එකට ගැටෙමින් නොවැඩෙති. මේ හේතුවෙන් දුප්පත් පවුල්වල දරුවෝ පවා පීඩනය දරා ගැනීම, ගැටලුවලට මුහුණ දීම, උත්සහ වත්වීම සම්බන්ධයෙන් ඉතා අවම ශක්‍යතාවන් පෙන්නුම් කරති.
අතීතයේ මෙන් නොව වර්තමානයේ අධ්‍යාපනය දැනුම කුසලතා හා ආකල්පයන ක්ෂේත්‍රයන් හි එකතුවයි. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලයට ඇතුළුවන සිසුන් නිදහසේ අධ්‍යාපනය ලැබීම විනා තමන්ට හිමිවි ඇති ජීවිතයේ අගනාම කාලයේ පීඩනයට එරෙහි වන්නේ ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණියේ උප සංස්කෘති හෝ සම්ප්‍රදායන් බිහිකිරීමට පවත්වාගෙන යාමට නොවන බැවිනි. උප සංස්කාති හෝ සම්ප්‍රදායන් ගතිකය බලෙන් පවත්වාගෙන යාමේ හැකියාවක් නැත. සමානාත්මතාව සහෝදරත්වය තහවුරු කරගැනීමට සෑබෑ අවශ්‍යතාවක් පවතී නම් “නවක නවීකරණය“ නමින් තවදුරටත් පවත්වාගෙන යන නවක වදය මගින් යෞවන පිරිස් කායික, මානසික, වද හිංසා කෙරෙහි යොමු කරවීම කිසිසේත් ම අවශ්‍ය නොවේ. මෙම වද හිංසා පැමිණවීම මගින් සැබෑ ලෙස ම සිදු කෙරෙනුයේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නවක සිසුවාට ස්වාධිනව නැඟී සිටිය හැකි ශක්තිය විනාශකර දමමින් පටු දේශපාලන අරමුණු කරා යොමු කරවා ගැනීමයි. පසුව මේ සිසුහු පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනිමට අන්තවාදී සටන් අරගල ආදියේ ඉදිරියට දමා ශිෂ්‍ය නායකයන් යැයි කියා ගන්නා පිරිස් පලායති.
වර්තමානයේ කනගාටුදායකම තත්ත්වය වී ඇත්තේ දේශපාලනයේ හය හතර නොදන්නා පාසැල් සිසුන් පවා මේ තත්ත්වයන්ට ගොදුරු වීමයි. මෙය දේශපාලන ක්‍රියාකාරකමක මුල් පියවර වන බව නොදැන සහයෝගීතාව, සමානාත්මතාව, සහෝදරත්වය වැනි සොඳුරු වදන් වලින් බැඳ පාසැල් පද්ධතිය තුළ ද නවක වදය ක්‍රියාත්මක වෙමින් පවතී. එම තත්ත්වය දුර දිග යාමට නොදී මැඬපවත්වා ගැනීමට අධ්‍යාපන කේෂත්‍රයේ බලධාරින් අවධානය යොමු කළ යුතුවේ.
එසේ කළ යුත්තේ පාසැල් දරුවන් වේවා, විශ්ව විද්‍යාල සිසුන් වේවා ඔවුන්ට නවක වදය වෙනුවෙන් හෝ දේශපාලනය වෙනුවෙන් හෝ වෙනත් කවර හෝ අනවශ්‍ය කාරණාවක් වෙනුවෙන් හෝ මිඩංගු කිරීමට ඇත්තේ තම තරුණ දිවියේ අගනාම කොටසින් බැවිනි. තම දිවියේ අගනා ම කාලය අපතේ නොයවා මේ යෞවනයන් කළ යුත්තේ තම මූලික අභිමතාර්ථය සිහියේ තබාගෙන අධ්‍යාපන කටයුතුවල නිරත වීමයි. ඒ මක් නිසාද යත් රටක දියුණුව කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපෑම් කරනුයේ එම රටේ ජනතාවගේ උසස් අධ්‍යාපන මට්ටම බැවිනි.


Tuesday, May 17, 2016

අම්ම හොඳයි කීවත් වැරදී - තාත්තා හොඳයි කීවත් වැරදී

මනකල් හදවිල් තලය

ගුවන් විදුලි ළමා පිටිය යුග ගණනක් තිස්සේ බාල ළමාවරුන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද රසඥතාව ඉහළ තලයකට ගෙන ඒමට සමත්වූ වැඩ සටහනකි. “සුරතල් නංගියෙ අපේ අම්මා” ළමා ගීතය සිරි අයියාගේ ළමා පිටියේ සිරි අයියා නමින් පෙනී සිටි නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකුවූ යූ.ඒ.එස්. පෙරේරා විසින් රචිත ළමා පිටියෙන් බිහිවූ ගීතයකි. එදවස සැඳෑ කල දොරකඩ පඩිපෙළේ හිඳ අම්මා මෙය හඩනඟා ගායනා කළ හැටි තවමත් මතකයේ දෝංකාර නැ‍ඟෙන්නාසේ ය.
සිරි අයියා කොළඹ යුගයේ කවියෙකි. “සුරතල් නංගියෙ අපෙ අම්මා” දෙබස්මය ගීතයේ අම්මගේ හොඳ මෙන් ම තාත්තගේ හොඳද එකිනෙකා පරදවමින් ළමා ගායක යුවළ දැක්වීමෙන් අනතුරුව සිරි අයියාගේ ගැඹුරු කටහඬ වාදය අවසන් කරමින් මතුවෙයි. “අම්ම හොඳයි කීවත් වැරදී - තාත්තා හොඳයි කීවත් වැරදී - එබැවින් නංගියෙ මල්ලියේ පවසමු දෙන්නම හොඳය කියා” යන්න සිරි අයියාගේ ඔවදන විය.
සිරි අයියාගේ ළමා පිටියෙන් පසුව අපේ ළමා ලෝකයේ රජවූයේ කරු අයියා ය. කරුණාරත්න අබේසේකර සිරි අයියාගේ ළමා පිටියෙන් කලා ලොවට පිවිසි මෙරට රස වින්දනය කෙරෙහි මහත් ආනුභාවක් පෑ කලාකරුවෙකි.
මා ගීත රචකයෙක් බවට පත් කිරීමට ද කරු අයියාගෙන් නොමද පිටුබලයක් ලැබුණි.
කරුණාරත්න අ‍ෙබ්සේකර
කරු අයියා මෙහෙයවූ ඉරිදා “සරස්වතී මණ්ඩපය” හා සඳුදා “මිණි කිකිණි” වැඩ සටහන් ඇසීමට බාලයන් වූ අපි එදවස සවස 5 වන විට ගුවන්විදුලිය වටා රොක්වූයෙමු. මෙම වැඩසටහන් දෙකම සජීවී වැඩ සටහන් ය. මෙම වැඩ සටහන් ඇසීමට සැදී පැහැදෙන්නේ ළමා උපන්දින සුබ පැතුම් තේමා ගීතය වන “ආයුබෝවන් වාසනාවන් - වාසනාවන් - ආයුබෝවන් - ප්‍රිතිමත් සුබ උපන් දිනයක් වේවා ආසිරි වාදයෙන් දිගුකල් වැජඹේවා” ගීතයට සවන්දීමෙනි.
කරු අයියා පබඳන ලද මෙම ගීතයේ තනුව ඩී.ඩී. ඩැනී අයියාගේ ය. මෙම ගීතය ගායනයට ළමා පිටියේ විශාල ළමා ගායක පිරිසක් සහභාගිවී ඇත. එස්. ලියනගේ, නොයෙලින් ලියනගේ, විජිත කුසුම් ලියනගේ, පැට්‍රික් ප්‍රනාන්දු, මල්ලිකා ද සිල්වා (මල්ලිකා කහවිට), සුදර්මා සිල්වා, මානෙල් ඉන්ද්‍රානි උපසේන, චන්ද්‍රානි ගුණවර්ධන, එම්.ඒ. සුමනා ආදිහු මේ අතර මතකයට නැ‍ඟෙයි.
කරු අයියාගේ ළමා පිටියේ “සරස්වතී මණ්ඩපය” හා ”මිණි කිකිණි” වැඩ සටහන් තුළින් නිර්මාණය වූ “අපෙ අම්මා කොළඹ ගිහිල්ලා, දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්කෝලේ, ලේනගේ පිටමැද ඉරිතුන ඇන්දේ, හිනැහේවී බෝනික්කා, අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි, ආච්චියේ බොලන්නේ පාත්වෙලා වරෙන්නේ” ආදී ගීත ඇතුළත් මධුර ගීතාවලිය අදත් අපට ගෙන දෙන්නේ අපූරු ආස්වාදයකි.
කරු අයියා අපට පූර්වාදර්ශයක් වූ ගීත රචකයෙකි. ශබ්දය හා අර්ථය මනාව සංවිධානය කර ගනිමින් ළමා පරිකල්පනයට ගැළපෙන අයුරින් ඔහු පද හසුරුවා ගනී. මෙම දක්‍ෂතාව වටහා ගැනීමට ඩී.ඩී. ඩැනීගේ තනුවකට අනුව එස්. ලියනගේ ගායනා කරන පහත සඳහන් ගීතය ප්‍රමාණවත් ය.
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා - මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
යාළුවො දෙන්නෙක් තවමත් පහලයි
හරි ඉහලයි පන්තිය මාගේ
භූගෝලය ඉතිහාසය ගණිතය ලේසියි
මට රට කජු වාගේ
ගුත්තිලයේ කවි ටික කට පාඩම්
අමාවතුර මට වතුර වගේ
කතා පොත හොඳයි නින්දට යන විට කියවන්නට
එය හරිම අගේ
පෙර’පර දෙ දිගම රසවත් පත පොත
ඉඩ ලැබුණම මම කියවනවා
මා ලොකු වු පසු කවි ගී රචනා ලියලා
පොඩි අය සනසනවා
පාසල් වියේ දී ම කරු අයියාගේ ළමා පිටියට සහභාගි වීමේ වරය මට ලැබුණි. පාසල් කථිකෝදය සමිතියට ගීත ලියා තිබූ මට කරු අයියාගේ ළමා පිටියට ආරාධනා කිරීමෙන් ලැබුණේ නොනිම් සතුටකි.
ගීත දෙකක් ලියාගෙන පැමිණෙන ලෙස කරු අයියා මට දැනුම් දුණි. මවිසින් පබදන ලද ගීත දෙකක් රැගෙන සඳුදාවක් ගුවන් විදුලි කාර්යාලයට ගිය මම ගුවන් විදුලි ඉදිරිපස ආලින්දයට වී ඔහු එනතුරු රැඳී සිටියෙමි.
මේ අතර ඇතුල් ගැබෙහි සිට ඉදිරිපස දොරටුව වෙත පැමිණි සංගීතඥයකුට (ළමා පිටියට සම්බන්ධ) මා ලියූ ගීත පෙන්වීමට සිතක් පහළ වූයෙන් එම ගීත ඔහු වෙත වෙත ඉදිරිපත් කළෙමි.
මා දිරිමත් කරනු වෙනුවට ඔහු එසැණ කියා සිටියේ ”මේවා කවිනෙ” යනුවෙනි. දිවා අහර කිසට ගිය කරු අයියා එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි මම ඉහත කී සංගීතඥයාගේ කියමනෙන් මහත්සේ අධෛර්යයට පත්වීමි.
කරු අයියා එන්නට කලින් ගුවන් විදුලියෙන් පිටවී යෑමට තීරණය කළ ද, මා ඉදිරියේ කරු අයියාගේ රූපකාය මතුවීමත් සමඟ එය වැළකිණි. කොළ පැහැති ට්‍රෑම්ප් හැරල්ඩ් රථයෙන් බැසගත් කරු අයියා ගීත ගෙනාවාදැයි මගෙන් විමසී ය.
ඔහු වෙත ආලින්දයේ දී ම ඉදිරිපත් කළ ගීත අතට ගෙන 10 වන මැදිරිය දෙසට පියනැඟී ය. මම ද ඔහු අනුව ම පිය නැඟුවෙමි‍. ඔහුගේ හිස පිස හමා ආ යාර්ඩිලි හෙයාර් ක්‍රීම් සුවඳ හා දල්වාගත් වැනිලා සුරුට්ටුවේ සුවඳ ද ගුවන් විදුලි කොරිඩෝවේ ගමන් කරන විට තවමත් දැනෙන්නා සේ ය.
දහවෙනි මැදිරියේ විසල් පියානෝව වාදනය කරමින් සංගීතඥ තිලකසිරි ප්‍රනාන්දු මහතා එදින ගුවන්ගත කිරීමට නියමිත ”මිණි කිකිණි” වැඩ සටහනට තනුවක් නිර්මාණය කරමින් සිටිනු දුටුවෙමි.
මවිසින් පබඳ කළ ගීතයක් පියානෝව මත තැබූ කරු අයියා "මේ තියෙන්නේ හොඳ ගීතයක් තිලක් මෙයට තනුවක් දමමු යැයි ” යෝජනා කළේ ය. එසේ වුව ද එම ගීතය තිබිය දී එසැණ ගීතයක් ලියමුදැයි කරු අයියා යළි මට යෝජනා කළේ ය. පියනෝව මත තබාගෙන එසැණ ගීතය මම ලීවෙමි. "කොට්ටෝරුවො ඇයි හොරේ - මොනවද ඔබ නැති වුණෙ ” පද වැලට තිලකසිරි ප්‍රනාන්දු මහතා කදිම තනුවක් නිර්මාණය කළේ ය. එය ගායනා කළේ ලාලනී සෝමසිරි ගායිකාවයි. කොට්ටෝරුවො ගීතය මගේ මෙන් ම ලාලනීගේ ද පළමු ගුවන් විදුලි ගීතය විය.
මිණි කිකිණි වැඩ සටහන සජීවි ලෙස විසීරණය කරන ලද වැඩසටහනකි. පුහුණුව අවසන් වූ සැණින් මා ගුවන් විදුලි කාර්යාලය පිහිටි ටොරින්ටන් සිට එදවස මා පදිංචිව සිටි පාමංකඩ නිවස බලා එක හුස්මට දිවගියේ මගේ පළමු ගීතය මාපියන්ද සමඟ එක්ව අසනු රිසියෙනි. මගෙන් කවියක් දැයි ඇසූ සංගීතවේදියා පසු‍ කලෙක ගීත ලියා ගැනීමට මා වෙත පැමිණියේ ය.
ගුවන් විදුලි සංස්ථාව හා බැඳුණු ජීවන අත්දැකීම් රාශියක් මා ලබා ඇත. මිහිරි අත්දැකීම් මෙන්ම අතිශය කටුක අත්දැකීම් ද ගුවන් විදුලිය නිසා මා අත්වින්දෙමි. එදවස ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රැකියාව අහිමි විී අම්පාර ප්‍රදේශයේ සේවය කරද්දී ගුවන් විදුලි වැඩ සටහන් සඳහා පැමිණි බවට කළ චෝදනාව මත ය.
ගුවන් විදුලි ළමා පිටියට කොට කලිසමකින් සැරසී පැමිණි මට ගුවන් විදුලියේ සභාපති තනතුර දැරීමට සිදුවේයැයි හීනෙකින්වත් නොසිතුවෙමි. කෙසේ වුව ද ගුවන් විදුලි ළමා පිටියෙන් බිහිවී ගුවන් විදුලි සභාපති තනතුර හෙබවීමේ එකම තැනැත්තා වීමේ භාග්‍ය මම ලදිමි.
ළමා පිටිය අවසන් වී නිවෙස් බලා යෑමට පෙර ගුවන් විදුලිය ඉදිරිපිට ක්‍රීඩා පිටියේ හොකී තරග නැරඹුවේ මහත් වූ අභිරුචියෙනි. ගුවන් විදුලි කෙටි තාප්පය මත හිඳගෙන හොකී තරග නැරඹුවන් අතර අජන්තා රණසිංහ, පාලිත පෙරේරා සහ ඩී.ඩී. ඩැනී වැනි මට වඩා ජ්‍යෙෂ්ඨ පිරිස් ද වෙති. එදවස කාන්තා හොකී පිටිය කාලයාගේ ඇවෑමෙන් රූපවාහිනිය ඉදි වූ බිම බවට පත්විය. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට මා පත්වීම ද දෛවයේ ප්‍රදානයක් කොට සලකමි.
ගුවන් විදුලි ළමා පිටියෙන් බිහි වූ මාහට ලෝකයේ පළමු ළමා ගුවන් විදුලිය බිහිකිරීමට ලැබීම ද භාග්‍යයක් කොට සලකමි.
විදුල ළමා ගුවන් විදුලි සේවය 2006.03.28 දින ආරම්භ කෙරුණි. මෙය වත්මන් ජනාධිපතිතුමන් අතින් අරලියගහ මැදුරේ දී උත්සවශ්‍රීයෙන් ඇරඹුණි. මෙම ඓතිහාසික අවස්ථාවේ දී ”රාජධානි තරගය” යනුවෙන් නම් කළ ධාවන පෙරහරක ළමා ධාවකයන් විසින් රාජධානි හරහා රැගෙන ආ සංදේශයක් ද ඉදිරිපත් කෙරුණි. විදුල ළමා ගුවන් විදුලිය ජාත්‍යන්තර මාධ්‍ය ක්‍ෂෙත්‍රයේ ද අවධානයට පත්වූවකි. දවස පුරා විකාශය වන අධ්‍යාපනික, උපදේශාත්මක හා දරුවන්ගේ මෙන් ම ගරුදෙගුරුන්ගේ ද විනෝදාස්වාදය උසස් තලයකට ගෙන යෑමේ අරමුණෙන් සැලසුම්ගත වැඩ සටහන් මෙයට ඇතුළත් විය.
කරු අයියාට අමතරව එදවස සාර්ථක ළමා පිටිය වැඩ සටහන් ඉදිරිපත් කළ මාධ්‍යවේදීහු කීපදෙනෙක්ම වෙති. එච්. එම්. ගුණසේකර, නන්ද ජයමාන්න, ප්‍රභා පෙරේරා, තිලක සුදර්මන් ද සිල්වා, සරත් විමලවීර චිත්‍රානන්ද අබේසේකර, මඩවල එස්. රත්නායක ආදීහු මේ අතර ගුවන් විදුලි ඉතිහාසයට එක්වී සිටිති. සතියේ දින පහ පුරාම මොවුන්ගේ වැඩසටහන් ප්‍රචාරය විණි.
ගුවන් විදුලි ළමා වැඩ සටහන් තේමා ගීතය වශයෙන් කාලාන්තරයක් තිස්සේ භාවිත වු "මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් - රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්” පරම්පරා කීපයක ළමයින් පුබුදු කළ ගීතය ළමා පිටියෙන් ම බිහිවූ මවිසින් පබැඳීම වෙසෙසින් ස්මෘතියට නැ‍ඟෙන්නකි. මෙයින් කිසියම් ආත්ම තෘප්තියක් ද මම අත්විඳිමි.
අමරදේවයන්ගේ තනුවකට අනුව අමරදේව මහතා ප්‍රමුඛ ගුවන් විදුලි ළමා ගායක ගායිකා පිරිසක් මෙය ගයති.
"මනකල් හද විල් තලයේ” ගීතය පළමුව නිර්මාණය වුයේ එදවස ගුවන් විදුලි ළමා වැඩ සටහන් නිෂ්පාදකවරයකු වූ සුනෙත් ගෝකුල මහතාගේ ආරාධනාවකට අනුව ඔහු විසින් නිෂ්පාදනය කළ ගුවන් විදුලි ළමා වැඩ සටහනක් සඳහා ය.
ගුවන් විදුලි ළමා පිටිය අනාදිමත් කාලයක සිට මෙරට ජන විඥානය කෙරෙහි අනුභාව පා තිබේ. එය ඉදිරියටත් ළමා පරපුරක යහගුණ හා රසවින්දනය වැඩීමට හේතුවේවායි ප්‍රාර්ථනා කරමි.

සුනිල් සරත් පෙරේරා
sunilsarathp@yahoo.com


බාගෙට මිය යන ලෝකයේ පෙණහැල්ල


මිය ගිය සාගර කලාප 405ක් ලොව පුරා

සාගර ජල මට්ටම තවත් ඉහළට

සාගර හා මුහුදු ප්‍රදේශ වර්ග කිලෝ මීටර් 250,000ක් මිය ගිය කලාපයට අයත්

ලෝකයේ සාගර කලාප මිය යමින් පවතී. මෙතෙක් කාලයක් මේ මහා ජල පරිසරය හැඳින්වුණේ ලෝකයේ පෙණහැල්ල යන ගෞරව නාමයෙනි. ඒ, වනාන්තර හා සමානව ම වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව උරාගෙන පෙරළා ඔක්සිජන් වායුව පිට කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගැනීම නිසා ය. එහෙත් අද වන විට පොදුවේ ලෝක සාගර කලාපයන් හි සිදුවෙන හිංසනීය මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන ගොඩබිමට ස‍ාපේක්ෂව පුළුල් ම ජෛව කලාපය වන සාගර බොහෝ තැන්වල දී මළ සාගර කලාප බවට පත්වෙමින් පවතී. මේ ආකාරයට ලොව පුරා සිදුවන සාගරයේ මිය යන ප්‍රදේශ මළ සාගර කලාප වශයෙන් හඳුනාගෙන ඇත්තේය.
මළ කලාපයක් එසේ වන්නේ එම සාගර ප‍්‍ර‍ෙද්ශයට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ විට දී ය. මානව ක්‍රියාකාරකම් නිතර සිදුවන නො ගැඹුරු වෙරළ කලාප, ගං මෝයවල් යට කී වර්ගීකරණයට වැඩි වැඩියෙන් ඇතුළු වෙමින් පවතී. ඊට හේතුව වශයෙන් සාගර විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ සාගරවල සිදු විය යුතු පෝෂණීය ගනුදෙනු නිසි ආකාරයෙන් සිදු නොවීම නිසා මෙසේ සිදු වන බවත් නිරෝගී සාගරයක් නම් ඊට අවශ්‍ය පෝෂණීය කොටස් අවශ්‍ය පමණින් ලබා ගන්නේ ජලජ පරිසරයේ වැඩෙන ඇල්ගි මූලික ජෛව ශාක මූලාශ්‍රවලිනි. ඒවා වැඩෙන්නේ ද ආක්‍රමණික ස්වභාවයකින් නොවේ. එහි එන පෝෂණ කොටස් වන්නේ නයිට්රේට් හා පොස්පේට් ඇතුළු වෙනත් කොටස් ය. නමුත් මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන අද දවසේ එකතු වීම් නිසි ප්‍රමාණය ඉක්මවා සාගර ජලය හා එක්වීම ගැටලුකාරී තත්ත්වයක් ඇති කොට තිබේ.
විශේෂයෙන් ම රසායනික පෝර භාවිතයේ ඉහළ යෑම ගොඩ බිමටත් වඩා සාගරවල මරණයයට හේතු වී තිබේ. ඒත් සමඟම කෘමිනාශක, කර්මාන්ත අපද්‍රව්‍ය අභ්‍යන්තර ජල මූලාශ්‍ර වන ඇළ දොළ ගංගා හරහා සයුරු ප්‍රදේශවලට ගලා යෑම නොනවතින ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.
ලෝකයේ විශාලම මළ කලාපය ලෙසින් හඳුනාගන්නේ බෝල්ටික් මුහුද වන අතර එය රටවල් 9 කින් පමණ වට වූ මිලියන 85 ක් ඉක්මවූ ජනගහනයක් ඇසුරේ පවතින්නකි. මේ අතර යුරෝපා සංගමයේ බොහෝ සංවර්ධිත රටවල් බහුල වශයෙන් සත්ව මෙන් ම වෙ‍ෙළඳ භෝග ‍පෝර භාවිතා කිරීම නිසා යුරෝපය ආශ්‍රිත සාගර කලාප ද බරපතළ අවදානමකට තල්ලු වී තිබේ. කෙසේ වෙතත් පළමු වරට මළ කලාපයක් ලෙසින් සාගර ප්‍රදේශයය, ලෝකයා හඳුනා ගන්නේ වෙසජික් බොක්ක වන අතර එය පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නැ‍ඟෙනහිර වෙරළාශ්‍රිතවය. දැඩි නාගරීකරණයක් සහිත මේ ප්‍රදේශය කෘෂිකර්මාන්තයට ද ප්‍රසිද්ධ ය.
මිහිතල උණුසුම ඉහළ යෑම විසින් ද සාගර ප්‍රදේශ ක්‍රමානුකූලව මරණය කරා ගෙනයනු ලබයි. එක් අතකින් මානව ක්‍රියාකාරකම් නිසාත් අනිත් අතින් ඇතැම් ස්වභාවික හේතු නිසාත් මරණයට පත් වෙන සාගර කලාප දේශගුණික විපර්යාස හමුවේ ද පාරිසරික කලාප බවට පත් වීම සුළුවෙන් තක්සේරු කළ හැක්කක් නොවේ.
අධික උණුසුම සාගර ජලය ප්‍රමාණය ඉක්මවා උණුසුම් කරයි. (මේ වන විටත් ඉන්දීය සාගරය මේ අවදානමට ඍජුව ම ගොදුරු වී ඇති ආකාරය අපි පසුගිය ලිපියකින් පෙන්වා දුනිමු.) එසේ වැඩි වන උෂ්ණත්වය හමුවේ සාගර ජීවිහු වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් ඉල්ලා සිටිති. එය ස්වාභාවික ය. නමුත් ඔවුන් ඉල්ලා සිටින තරමේ වැඩිපුර ඔක්සිජන් සැපයුමක් දීමේ ලා උණුසුම් වන සාගර ජලය අසමත් වේ. අවසන් ප්‍රතිඵලය වන්නේ එම සාගර ප්‍රදේශය ජීවීන් රහිත හෝ ජීවය මියගිය මළ සාගර කලාපයක් බවට පත් වීම යි. අද වන විට ලොව පුරා මළ සාගර කලාප 405 ක් පමණ ඇති බවත්, 1960 දී ලොව පුරා දැකිය හැකි වූයේ එවැනි තැත් 40 ක් පමණක් ය යනුවෙන් පළවූ වාර්තාවේ තිබේ. කෙසේ වුව අද වන විට ලොව පුරා සාගර සහ මුහුදු ප්‍රදේශවල අවම වශයෙන් වර්ග කි.මී. 250,000 ප්‍රමාණයක් ම පවතින්නේ මියගිය සාගර ප්‍රදේශ වශයෙනි.
ලෝකයේ සාගර පැවැත්මට අදාළව සාගරයක් මිය යන හෝ ඊට පසුබිම සැදෙන ඍතුව වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙන්නේ ගිම්හාන සමය යි. ඊට හේතුව වන්නේ ගෙවතු, කුඹුරු මෙන් ම පොදුවේ ගත් කළ භූමියේ ඇති එමෙන් ම අභ්‍යන්තර මිරිදිය ජල මූලාශ්‍රවලට එකතුවෙන නයිට්‍රජන් සහ පොස්පරස් වැනි රසායන සාගර කරා සේදී යෑම ගිම්හාන සමයේ දී හොඳින් ම සිදු වීම යි. එසේ ගොස් කරදියට එක් වන එකී රසායනයන් ඇල්ගී සහ ප්ලවාංගවල වර්ධනය වැඩි කරයි. පමණ ඉක්මවා වැඩෙන මේ ජීවි ශාක මිය ගිය පසුත් සාගරයේ තැන්පත් වනවා මිස පිටතට නො යයි. සාගරය තුළ වියෝජනය වීම ද සිදු වේ. ඒ කාර්යය සඳහා ඔක්සිජන් ඉල්ලා සිටීමයි. සාගරයේ සමස්ත ජෛව පැවැත්මට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය තවදුරටත් පහත වැටීමට එයද, හේතුවක් වේ.
ගිම්හාන කාලයේ දී දිගින් දිගට ම භූමියෙන් සේදී එන රසායන ද්‍රව්‍ය සාගර ජලයට එකතු වීම නිසා සාගර ඔක්සිකරණය වීම නම් ස්වාභාවික ක්‍රියාවලිය ද නවතී. එක් පැත්තකින් අනවශ්‍ය තරමින් ඇල්ගි ප්ලවාංග වර්ධනය වී ඒවා වියෝජනය වීමට වැඩි ඔක්සිජන් ඉල්ලා සිටිද්දී අනිත් පසින් ජලය ස්වාභාවිකව ම ඔක්සිකරණය වීම නවතින විට එම සාගර ප්‍රදේශය මළ කලාපයක් බවට පත්වීම වැළැක්විය නොහැකි සාගර විද්‍යාඥයින්ගේ නිරීක්ෂණ පෙන්වා දෙන අන්දමට යට කී හේතුව නිසා ජලය ලීටර් එකකින් ඔක්සිජන් මිලිග්රෑම් 20කටත් වඩා අඩුවීම අද දවසේ සුලබ තත්ත්වයක් බවට පත් වෙමින් තිබේ. මේ තත්ත්වය ඉතා බරපතළ අවසානයක් කරා සාගරවාසී ජීවීන්ව ඇද දමමින් ද තිබේ.
ගෝලීය උණුසුම පෘථිවි ජෛව පැවැත්මට හා සමානව ම බලපෑමක් සාගර ජෛව පැවැත්මට ද සිදු කරන බැව් සොයාගෙන ඇත. ගොඩබිමට සාපේක්ෂව සමුද්‍ර පරිසරයේ උෂ්ණත්වය ඉහළ යෑම පහළ අගයක් ගත්ත ද ඒ පහළ අගය තුළ වුව සමුද්‍ර ජෛව පැවැත්මට මුහුණ පා ඇති තර්ජනය සුළු නැත.
ඉහළ යන උෂ්ණත්වය නිසා හටගන්නා වෙනස් වන දේශගුණික තත්ත්ව හමුවේ සාගර ජලයේ පාවෙන ශාක ජීවි කොටස් වඳ වීම නියතියක් වේ. ඇතැම් මත්ස්‍ය විශේෂ ඉහළ යන උෂ්ණත්වය හමුවේ ගැඹුරු සාගර කලාපවලට ගමන් කළ ද මන්ද චලනයක් සහිත කොරල් වැනි ජෛව විශේෂයන් ට එසේ ඉක්මන් පියවර ගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා අනිවාර්යයෙන් ම එවැනි ජීවිහු ඉහළ යන උෂ්ණත්වය හමුවේ තම පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ පාති.
සමුද්‍ර ජල පරිසරයන් හි පී.එච් අගය පහළ වැටීම ද පැහැදිලිවම අර්බුදයක් වේ. මූලික වශයෙන් ම මේ තත්ත්වය සාගරයේ විචිත්‍ර මෙන් ම ආරක්ෂණය ජෛව විශේෂයක් වන කොරල් පරවලට ඍජු තර්ජනයක් එල්ල කරන අතර අවසානයේදි එම ජෛව කලාපය මිය යෑම ද ඒ නිසා සිදුවිය හැකි බවට හඳුනාගෙන තිබේ. තවද කැල්සියම් කාබනේට් වලින් සැදුණු සැකිලි සහිත එමෙන් ම කවච ඇති බෙල්ලෝ ද මට්ටීන් ද ඒත් සමඟම වඳ වෙති. සාගර මිය යෑමට එය ද අදාළය.
ගෝලීය උණුසුම හමුවේ ධ්‍රැවාසන්න ප්‍රදේශයන් හි ඇති හිම කලාප දියවීම ගැන බොහෝ අය කතා කරති. ඒ නිසා සාගර ජල මට්ටමේ ඉහළ යෑම ගැන බිය වෙති. එහෙත් ඒ නිසා විය හැකි බරපතළ ම අනතුර ගැන අදහස් පළවීම නම් සිදු නොවනතරම් ය. යට කී අයිස් පර්වත ඝන ස්ථාවර පිහිටීමක් වශයෙන් පවතින්නේ ම වායුව බහුල වීම යන තත්ත්වය ද ඉක්මවා ලොව ජෛව පැවැත්මට තර්ජනාත්මක අවදානමක් ඇති කළ හැකි මීතේන් වායුව නිදහස් නොකිරීමට ය. ඒ නිසා ම අදටත් පෘථිවිය සෙසු ග්‍රහ ලෝක අබිබවා ජෛව පැවැත්මට හිතකරම වාස භූමිය බවට පත්ව තිබේ. නමුත් ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හමුවේ ලිහිල් වන ධ්‍රැවාසන්න අයිස් ගබඩා අතරින් අද වන විට මීතේන් නම් ඒ ජෛව විරෝධි වායුව අප ආශ්වාස කරන වායු ගෝලයට නිදහස් වෙමින් පවතින බවට විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
මීතේන් වායුව එසේ නිදහස් වීම තුළ දිගින් දිගට ම සාගර ජලය උණුසුම් වීම වැළැක්වීමට පුළුවන්කමක් නැත. එසේ වැඩි උෂ්ණත්වයක් කරා ලොව සාගර පද්ධතීන් ගමන් කළහොත් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමට සාගරය සතු හැකියාව තවදුරටත් දුර්වල වේ. ගෝලීය උෂ්ණත්වය මීටත් වඩා අගයකින් ඉහළ යෑමේ බරපතළ අවදානමක් ඉදිරියේදී බලාපොරොත්තු වීමට සිදු වන බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ මෙවැනි පසුබිමක් තුළ සිටිමින් ය. මේ සෑම ක්‍රියාවලියක් විසින් ම සාගර ජෛව පැවැත්මට අවශ්‍ය ස්වභාවික ආහාර දාම මිය යැවීම ද නොවැරදීම සිදු කරන අතර ඔක්සිජන් වායුව අවශ්‍ය පමණින් නො ලැබී යෑම ද ඊට එකතු වෙනු ඇත. විශේෂයෙන් ම සාගර පරිසරයට අයත් මුහුදු තෘණ විනාශ වීම ද මේ තත්ත්වය තුළ ස්ථිර ලෙසින් ම සිදු වන්නකි. එතැනදී සිය වාසස්ථාන අහිමි වන සාගර ජීවිහු පාරිසරික අනාථයන් බවට පත් වෙති. සිය ජීවය පවත්වාගෙන යෑමට අසමත් වෙති. ලෝක සාගර පැවැත්ම අපට නොදන්වා ම මරණයට පත් වෙමින් සිටින්නේ මෙවැනි ක්‍රියාවලියක් ද සමඟ ය.
ඊළඟ කාරණය සාගර ජල මට්ටම ඉහළ යෑම නම් සංසිද්ධිය යි. අයිස් යුගය අවසන් වී පෘථිවිය සූර්ය රශ්මියෙන් උණුසුම් වීම පටන්ගත් තැන් සිට (දළ වශයෙන් දැනට වසර 18,000 කට පමණ පෙර සිට) සාගර ජල මට්ටම මීටර් 120 කට වඩා උසින් වැඩි වී ඇති බව හඳුනාගෙන තිබේ. සාගර විද්‍යාඥයින් ගණනය කොට ඇති අන්දමට (ඉහත තත්ත්වයට සාපේක්ෂව) පසුගිය වසර 3000 ක් වැනි කාලයක් තුළ සාමාන්‍යයෙන්, සාගර මට්ටම මිලි මීටර් 0.1ත් 0.2ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබේ. එය වාර්ෂිකව සිදු වූ වැඩි වීමකි. කෙසේ වෙතත් “උදම් ආමාන දත්ත” අනුව විසිවන සියවස තුළදී සාගර ජල මට්ටම මි.මී. 1 ත් 2 ත් අතර අගයකින් ඉහළ යාමක් පෙන්වයි. ඒ අනුව අද දවසේ අප ගත කරන්නේ අපට නො දැනී සාගර ජල මට්ටම ඉහළ යමින් පවතින පාරිසර පසුබිමකය යන්න බොහෝ අය නො දනිති.
සාමාන්‍යයෙන් මි.මී 1 ක් තරම් අගයකින් සාගර ජලය ඉහළ යෑමක දී සිදු විය හැකි දේ ද දැන සිටීම වැදගත් ය. අත්ලාන්තික් වැනි සාපේක්ෂව ගත් කල සමතලා සමුද්‍ර තීරයක් මෙන් ම ඩෙල්ටා පිහිටි වෙරළ තීරයක් ගොඩබිම් ප්‍රමාණය මීටර් 1.5 කින් පටු වීමට එය ප්‍රමාණවත්ය. එවැනි තත්ත්වයක් හමුවේ භූගත ජලයට ලවණ දිය මුසු වීම පහසුවෙන් සිදු වේ. ඉදිරි දිනවල පානීය ජලය අර්බුදයක අවදානමක් ඇතැයි පැවසෙන්නේ මේ තත්ත්වය අධ්‍යයනය කිරීමෙනි. මේ වන විට පැසිෆික් දූපත් වාසීහු ඉතා පැහැදිලිවම එවැනි පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිති.
ලෝක සමුද්‍ර කලාපය අපට බොහෝ ‍ඈතින් තිබුණ ද මිය යන සාගර නම් පාරිසරික අර්බුදය එමෙන් ම එහි ප්‍රතිඵල මේ වන විට අපගේ ගෙවත්තට ම පැමිණ ඇති බව අමතක නොකිරීම මැනවි.

http://www.silumina.lk/2016/05/15/_art.asp?fn=ss1605154

Sunday, May 8, 2016

හොරණ රාජකීය විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය සිසු අයිතියට

හොරණ රාජකීය විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරාදීම 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින්  සිදු විය.

හොරණ රාජකීය විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැදවාගෙන යනු ලැබීය.
සමරු ඵලකය නිරාවරණය කර නව ශ්‍රවණාගාරය සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
එය සංකේතවත් කරමින් විද්‍යාල පරිශ්‍රයේ නා පැලයක් ද රෝපණය කෙරිණි.
ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විදුහල්පති ඒ.ඩී.බී.එල්. ගුණතිලක මහතා විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
විද්‍යාලයේ සිසු දැරියක් විසින් තම නිරිමාණයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි මලිත් ජයතිලක, බස්නාහිර පළාත් අමාත්‍යවරුන් වන රංජිත් සෝමවංශ, සුමිත් ලාල් මෙන්ඩිස්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරුන් වන කිත්සිරි කහටපිටිය, නිමල් චන්ද්‍රරත්න යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් පිරිසක්ද විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
http://www.mawbima.lk/34-109840-news-detail.html

පාසල් දරුවන් දැනුවත් කරන්න ජනපතිත් එක්වෙයි







ජාතික සංහිඳියාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ 'සිසු දිවියට නව අරුතක්' ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ජාතික සංහිඳියාව පාසලෙන් ඇරඹීමේ මූලික පියවරක් ලෙස මෙම වැඩසටහන ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබයි.
නිර්මාණ ඉදිරිපත් කළ සිසු දරු දැරියන් වෙත සහතික පත් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
කුරිරු යුද්ධයෙන් පීඩා විඳි නෙදර්ලන්ත සිසුවියක් විසින් සිත්තම් කරන ලද චිත්‍ර ප්‍රදර්ශනය නැරමීමට ද ජනාධිපතිතුමා එක් විය.
'සිසු දිවියට නව අරුතක්' වැඩසටහනේ තේමා ගීතය ඇතුළත් සංයුක්ත තැටිය ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන් යන මහත්වරුන් ද විදේශ තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජාතික ඒකාබද්ධ හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතා විසින් ජනාධිපතිවරයාට සමරු තිළිණ ප්‍රදානය කළ අයුරු.රාජ්‍ය ඇමැති ලේකම් එම්.එම්. සුහයිර් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එම්. ගනේෂමුර්ති මහත්වරුද පසෙකින් වෙති.
ඡායාරූප සුදත් මලවීර
http://dinamina.lk/

විද්‍යා තාක්ෂණ සංසදයක්

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් සමාජය සඳහා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ සංසදයක් ලබන සැප්තැම්බර් 07 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
ගෝලීය මට්ටමෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සිදුව ඇති සංවර්ධනයන් තුළින් ශ්‍රී ලංකා සමාජයට අත් කරගත හැකි අවස්ථාවන් සොයා බැලීම මෙහිදී සිදු වේ.
එසේම ශ්‍රී ලාංකේය සමාජය තුළ විද්‍යාව හා තාක්ෂණය සඳහා ඇති භූමිකාව සාකච්ඡා කිරීම සහ විද්‍යාව හා තාක්ෂණය ශ්‍රී ලංකා සමාජය තුළ යොදා ගැනීමේදී මුහුණ දීමට සිදුවන බාධක විශ්ලේෂණය කිරීම යන අරමුණු ඇතිව මෙම සංසදය පැවැත්වේ.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන රටවල විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරුන්, නොබෙල් සම්මානලාභීන්, අදාළ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානයන්හි ඉහළ නිළධාරීන්, මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තාක්ෂණවේදීන්, කර්මාන්තකරුවන්, නව නිපැයුම්කරුවන් සහ විශ්වවිද්‍යාල හා පාසල්වල ඉහළ ශ්‍රේණිවල සිසුන් සහභාගී වීමට නියමිතය.

ඉසිපතන ක්‍රීඩකයෝ අපරාජිතව ඉදිරියට



වයස අවු. 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ සිය අපරාජිත බව තවදුරටත් තහවුරු කරගත් ඉසිපතන කණ්‌ඩායම, ගල්කිස්‌ස විද්‍යා විද්‍යාලයීය කණ්‌ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 29-23 ක්‌ වශයෙන් ජය වාර්තා කරගැනීමට සමත් වූවේය.

ඒ අනුව ඉසිපතන කණ්‌ඩායම මෙවර තරග වාරය තුළදී අඛණ්‌aඩව වාර්තා කරන ලද පස්‌වැනි ජය වශයෙන් මෙය සටහන් විය.

ඉසිපත ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 4 ක්‌ ගෝල ප්‍රවර්ථන තුනක්‌ හා එක්‌ දඬුවම් පහරක්‌ සාර්ථක කරගනිමින් සිය ලකුණු රැස්‌කරගන්නා අතරවාරයේ විද්‍යා ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් තුනක්‌, ගෝල ප්‍රවර්ථනයක්‌ මෙන්ම දඬුවම් පහර දෙකක්‌ මගින් අදාළ ලකුණු වාර්තාකර ගත්හ.

තරගයේ පළමු භාගය නිමාවන විට ලකුණු 21-8 ක්‌ වශයෙන් ඉසිපතන කණ්‌ඩායම පෙරමුණේ පසුවිය. එහිදී ඉසිපතන කණ්‌ඩායම වෙනුවෙන් චමෝද් අංජන, වගීෂ වීරසිංහ මෙන්ම හරිත් බණ්‌ඩාර උත්සාහක දිනුම බැගින් වාර්තා කරගත් අතර එම ගෝල ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට ගයාන් වික්‍රමරත්නට හැකිවිය.

වී.එස්‌. හංසජ වාර්තා කරන ලද දඬුවම් පහරින් හා තරිඳු මධුරංග වාර්තා කරන ලද උත්සාහක දිනුමෙන් විද්‍යා විදුහල පළමු අර්ධයේ ලකුණු රැස්‌කරන ලදී.

අනතුරුව දෙවන භාගයේදී ලකුණු 26-23 ක්‌ ලෙස විද්‍යා කණ්‌ඩායම ඉසිපතන කණ්‌ඩායම ආසන්නයට පැමිණියද, අවසන් විනාඩි කිහිපයේ ගයාන් වික්‍රමරත්න සාර්ථක කරගත් දඬුවම් පහරින් ඉසිපතන ජය තහවුරු විය.
 

ගයාශාන් විතානආරච්චි

http://www.divaina.com/2016/05/02/sports03.html

ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරඟාවලිය - 2016

ict champion
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 8 වන වරටත් 2016 වර්ෂයේ දී පැවැත්වේ.
(A) ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරඟාවලිය - (NSSC)
  • ලියාපදිංචි වීමේ අවසන් දිනය - 2016 මැයි 31
  • ලියාපදිංචි වීම
    • පළමු කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 17ට අඩු සිසුන් 
    • දෙවන කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 17 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 19ට අඩු සිසුන්

B) තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරඟාවලිය - (YCS)
  • ලියාපදිංචි වීමේ අවසන් දිනය - 2016 මැයි 31
  • නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය - 2016 ජුනි 30
  • ලියාපදිංචි වීම
    • පළමු කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 10 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 13ට අඩු සිසුන් 
    • දෙවන කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 13 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 17ට අඩු සිසුන් 
    • තෙවන කාණ්ඩය - 2016 වසරේ ජනවාරි 01 දිනට වයස අවුරුදු 17 හෝ ඊට වැඩි හෝ එහෙත් එදිනට වයස අවුරුදු 20ට අඩු සිසුන්
  • නිර්මාණ ඉදිරිපත් කිරීම
(c) ගුරුවරුන් සහ ගුරු සිසුන් සඳහා වන තරඟාවලිය

මෙම තරඟාවලිය පහත සඳයන් උපදෙස් සංග්‍රහය ප්‍රකාරව සිදුවේ. 

ඒකාකාරී ජීවිත ඉන් මුදා ගැනීමට

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය හා ටවර් හෝල් පදනම එක්ව 24 වැනි වරටත් සංවිධානය කළ 2014 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ තිළිණ හා සම්මාන ප්‍රදානය පසුගිය දා (28) ගරු අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ටවර්හෝල් රඟහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ වර්තමානයේ තාක්ෂණය හා කාර්ය බහුලත්වය හේතුවෙන් බොහෝ දෙනා කලාවෙන් ඈත්වී ඇති බවයි. මේ තත්වය තුළ සමාජයේ ඒකාකාරී බවක් නිර්මාණය වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා නව තාක්ෂණය පසුපස දුවන්නන් වාලේ දුවන බොහෝ දෙනෙකුගේ ඒකාකාරී ජීවිත ඉන් මුදා ගැනීම සඳහා කලාව විශාල මෙහෙවරක් ඉටුකරන බවද පැවසීය.
ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු මහතා, අධ්‍යක්ෂ ලාල් රත්නවීර ඇතුළු සම්භාවනීය අමුත්තන්ද, දිවයින පුරා පාසල් අතර පැවැත්වුණු තරගාවලියේ දී අවසන් වටයට තේරී පත්වූ නාට්‍යවල රඟපෑ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් රාශියක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



https://www.facebook.com/moe.gov.lk/

Saturday, May 7, 2016

සමාජයට "වධයක්‌" වීමට පෙර


(සිසුවියකට නවක වධය දුන් පහක්‌ අත්අඩංගුවට)

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් අමානුෂික ලෙස නවක වධයට භාජනය කරනු ලැබේ යෑයි වාර්තා වූයේ පසුගිය මාර්තු= මාසයේදීය. එම "වධක සිසුන්" නවක ශිෂ්‍යයන්ට හිංසා කිරීමෙන් නොනැවතී ආචාර්යවරුන්ට තර්ජනය කිරීම, අපහාසාත්මක ලෙස දොaෂාරෝපණය කිරීම පවා කර තිබිණි. විශ්වවිද්‍යාල තුළට පාතාලයේ මැර සංස්‌කෘතියත්a, පාදඩ දේශපාලනයේ මැර සංස්‌කෘතියත් දෙකම එකට කලවම් කර මුදාහරින මේ පාදඩයන් පසුගිය දිනවල කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට අමානුෂික ලෙස නවක වධය දී හිංසා කර තිබිණි. මේ කටුක පීඩනය දරාගත නොහැකි වූ තැන එම ශිෂ්‍යාව ඒ බව කැලණි පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව පොලිසිය ශිෂ්‍යයන් යෑයි කියාගන්නා එම මැර පිරිසේ පස්‌දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. විශේෂත්වය වන්නේ එයින් හතරදෙනකුම ශිෂ්‍යාවන් වීමය. අනෙකා ශිෂ්‍යයෙකි. මෙවැනි අශිෂ්ට හා ගෝත්‍රික ලක්‍ෂණ විදහා දක්‌වන උන්ට ශිෂ්‍යයන් යෑයි කීමද පිළිකුලක්‌ වන නමුත්, විශ්වවිද්‍යාලයේ උගෙනුම ලබනා බව තහවුරුව ඇති නිසා අපි එසේම කියමු.

මේ නරුම සිසුහු දරුණු ලෙස නවක සිසුවිය නවක වධයට පත් කර ඇත්තේ වසරක්‌ යනතුරු "දිග කලිසම්" අඳින්නට එපා යෑයි කියමිනි. නවක වධය දීමට මුල්වූ ඒ නරුම ශිෂ්‍යාවන් පිරිස අඳින්නේ රෙද්ද හැට්‌ටය නොවේ. ඒ ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට පැමිණෙන්නේ අමුඩය හැඳ නොවේ. ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ මෙවැනි නරුමයන්ට දඬුවම වශයෙන් යට ඇඳුමින් පාරේ සිටුවා තැබීමය. දිග කලිසමට තහංචි දැමීමෙන් නොනැවතී මේ ගැන පොලිසිය ට පැමිණිලි කළ පසු එම අශිෂ්ටයන් පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසද "තර්ජනය" කර තිබේ.

මේ වධකයන් නවක වධය ගැන දක්‌වන අදහස්‌ ද අපූරුය. මහා ශිෂ්‍ය සංගමය කියන්නේ විශ්වවිද්‍යාලවලට නවක සිසුන් පැමිණි පසු එම සිසුන් වර්ග කිරීම, අනුගත කිරීම සහ හඳුනා ගැනීම සිදු කරන බවය. එමෙන්ම විශ්වවිද්‍යාලවල සංස්‌කෘතික කාරණාවලට අදාළව ශිෂ්‍යයන් හඳුනා නොගෙන විශ්වවිද්‍යාල තුළ පැවැත්මක්‌ නැති බවද ඔවුහු පවසති.

අප දන්නා පරිදි ශිෂ්‍යයන් වර්ග කරන්නේ විෂයයන් අනුවය. ඊටත් එහා වර්ග කිරීමක්‌ තිබේ නම් ඒ කවරාකාරයටද යන්න තේරෙන බාසාවෙන් කිව යුතුය. ජාතීන් වශයෙන්, කුල වශයෙන් ආගම් වශයෙන් වර්ග කරනවාද, එසේත් නැතිනම් පෙනුමේ හැටියට වර්ග කරනවාද, ඒ එකක්‌වත් නොවේ නම් දුප්පත් පෝසත් හැටියට වර්ග කරනවාද යන්න අපට පැහැදිලි නැත. දඹානෙන් එන ශිෂ්‍යයකු අයත් වන්නේ කුමන කැටගරියකට දැයි අපි ඒ වධකයන්ගෙන් අසා සිටිමු. "ශිෂ්‍යයන් අනුගත කිරීම " ද අපට කොහෙත්ම තේරෙන්නේ නැත. සමහර විට අනුගත කිරීම යන්නෙන් හඳුන්වනවා ඇත්තේ මේ අමනයන්ගේ ගෝත්‍රික ක්‍රමවලට අනුගත කර ගැනීම වන්නට පිළිවන. එවැනි "ගෝත්‍රික" වැඩ ප්‍රතික්‍ෂේප කරන පිරිසගේ ඉරණම අතීත උදාහරණ සහිතව පෙන්වා දෙනු කැමැත්තෙමු. අද වනවිට නවක වධය ගැන පණ්‌ඩිතකම් දොඩවන බොහෝ දෙනකුට මේවා අමතකව ඇති බව සහතිකය. නවකවධය නිසාම සිසු සිසුවියන් බොහෝ දෙනෙකු අධ්‍යාපනය අතහැර දැමූ බවත්, සියදිවි නසාගත් බවත්, ආබාධිත වූ බවත් අද "ජ්‍යෙෂ්ඨයන්" යෑයි කියා ගන්නා ළදරු වැද්දන්ට අපි මතක්‌a කර දෙමු.

1997 වර්ෂයේදී සෙල්ව විනයාගර් වරප්‍රකාශ් මරා දමන්නේ නවක වධයට ලක්‌ කරමිනි. ඒ අදින් දහනව අවුරුද්දකට ඉහතදීය. මේ අත්අඩංගුවට ගත්තා යෑයි කියන මේ ශිෂ්‍යයා හා ශිෂ්‍යාවන් හතරදෙනා ඒ කාලයේ "පැම්පර්ස්‌" අඳින වයස පසු කරමින් සිටි බව සහතිකය. ඒ මේ පස්‌දෙනා අම්මලා තාත්තලාටත් "වධයක්‌ව"Êසිටි කාලයයි.

2014 වර්ෂයේ අඟුණකොළපැලැස්‌සේ ඩී. කේ. නිශාන්ත පේරාදෙණි සරසවි භූමියේදීම සිය දිවි නසා ගන්නේ නවක වධය නිසාය. අනුගත කිරීමේත්, වර්ග කිරීමේත් ක්‍රමය දරුණු වූ නිසාය. කවරකු හෝ වේවා දැඩි පීඩාවට ලක්‌ කරමින්, ලිංගික හිංසන පමුණුවමින් වධ දීම දැනෙන්නේ කවරාකාරයට දැයි වරප්‍රකාශ් මරණයට පත් කළ අයගෙන් මේ පස්‌දෙනා වහාම අසා දැනගත යුතුය. ඒ මේ පිරිස ඉදිරියේදීත් පවුල්වල උදවියට පමණක්‌ නොව සමාජයටත් "වධයක්‌" වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති නිසාය.
 


http://www.divaina.com/2016/05/07/editor.html

කැලණිය නවකවධ සිද්ධියේ 7ක්‌ රිමාන්ඩ්


















කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවියකට අසභ්‍ය වචනයෙන් හා නොයෙක්‌ අඩන්තේට්‌ටම් කරමින් බැණ වැදීමෙන් නවකවධය දුන්නේ යෑයි චෝදනා කොට කිරිබත්ගොඩ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් හත් දෙනකු ලබන 17 දක්‌වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මහර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා ඊයේ (06 වැනිදා) නියෝග කළේය.

එම සිසු සිසුවියන් 07 දෙනා රාගම රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කෙරිණි. වන්නිආරච්චිගේ තුෂාර සම්පත්, ළහිරු අතුල ප්‍රියදර්ශන, රසාංජලී ෙµdන්සේකා, රංගිකා නදීශානි දිල්රුක්‍ෂි, තිළිණි දනුෂිකා දිල්රුක්‍ෂි, ඩී. එම්. ලසන්ති සුභාෂිණී, ඒ. බී. ඉෂාන් ලක්‍ෂිත යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 07 දෙනා මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූහ.

සැකකාර සිසු සිසුවියන් පස්‌දෙනකු ඇතුළු පිරිසක්‌ නවක සිසුවියකට අඩන්තේට්‌ටම් කරමින් හිරිහැර කරන බවත් ඇයට දේශන ශාලාවට, වැසිකිළියට හෝ යැමට ඉඩ නොදී වට කරගෙන අසභ්‍ය වචනවලින් බැණවදින බවට පැමිණිලි කර ඇති බවත් පැමිණිලිකාරිය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ලබාගත් වාර්තාවේ නවක වධය හේතුවෙන් පැමිණිලිකාරිය මානසික පීඩනයකට ලක්‌ව ඇති බව සඳහන් බවත් සැකකාර සිසුවියන් අධිකරණයට ඉදිරිපත් කරමින් කිරිබත්ගොඩ පොලිස්‌ ස්‌ථානයේ සැරයන් (32873) නිලධාරියා පැවසීය.

අනෙක්‌ සැකකාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනා ජංගම දුරකථනය මගින් තර්ජනය කර ඇති බවට අනාවරණය වී ඇති බව ද එම නිලධාරියා පැවසීය.

සැකකාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්‌වූ නීතිඥ නුවන් බෝපගේ මහතා පවසා සිටියේ පොලිසිය පදනම් විරහිත 'බී' වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොලිසිය දේශපාලන හිරවීමක හිරවී සිටින නිසා බවයි.

ජංගම දුරකථනයෙන් කතා කර ඇති එක සැකකාරියක්‌ පැමිණිලිකාරියගේ හොඳම මිතුරිය බවත් ඇයට විරුද්ධව පැමිණිලි කිරීමෙන් පැමිණිලිකාරියට මානසික රෝගයක්‌ තිබෙන බව පැහැදිලි බවත් සැකකාර ශිෂ්‍ය ශිෂ්‍යාවන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන හෙයින් ඔවුන් අධිකරණ මඟහැරීමක්‌ කිසි විටකත් සිදු නොකරන හෙයින් සැකකරුවන් සහ සැකකාරියන් සුදුසු ඇපයක්‌ මත මුදාහරින ලෙසත් ඉල්ලීමක්‌ කළේය.

නවක වධ මාලාවේ පනත 1998 වර්ෂයේ සම්මත වූ එකක්‌ බව පැවසූ මහෙස්‌ත්‍රාත්වරයා එය කියවා ඇත්නම් මෙවැනි වැඩ නොකරන බව පැවසීය. මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඇප දීමේ බලයක්‌ නොමැති බව පැවසූ මහෙස්‌ත්‍රාත්වරයා මහාධිකරණයෙන් ඇප ලබාගන්නා ලෙස දන්වමින් සැකකරුවන් සහ සැකකාරියන් 07 දෙනා ලබන 17 දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කළේය.

කිරිබත්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එස්‌. කේ. එච්. මීඇල්ලගේ මහතා සමඟ උප පොලිස්‌ පරීක්‍ෂිකා සුගන්ධිකා මහත්මිය පැමිණිල්ල මෙහෙයවූහ.




මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක

http://www.divaina.com/2016/05/07/news03.html