Saturday, January 31, 2015

අන්දරේගේ කතා - ගොරකා මුලේ කතාව

http://sithuwilisuwadakakulu.blogspot.com




රජ ගෙදර මුළුතැන්ගෙයි එදා ගොරකා ඉවර වෙලා. ඉතින් ගොරකා ඉවර වුනාම
හැමදාම රජ බිසව කරන්නේ ගමේ කවුරු හෝ ගෙන්නගෙන ගොරකා
මුලක් ගෙන්වා ගැනීමයි. ඔන්න ඉතිං බිසව ඒ වැඩේ පවරන්න කෙනෙක්
ගැන සිතමින් ඉන්න කොට අන්දරේ මාලිගාවේ මුළුතැන්ගේ
පැත්තට ආවා. ඉතිං අන්දරේට කතා කරපු බිසව
“අන්දරේ මට උදව්වක් ඕනෑ....කියලා කිව්වා.
“කියන්න බිසවුන් වහන්ස, ඕනෑ දෙයක් කියන්ට....අපි නිතරම බැදී සිටින්නේ
ඔබතුමියට හා රජතුමාට සේවය කිරීමටයි....අන්දරේ කිවුවා.
“එහෙනම් අන්දරේ මට ගොරකා මුලක් ගෙනැත් දෙන්න...බිසව කිව්වා.

අන්දරේ ඒ එක්කම රජවාසලින් පිටත් වුණේ බිසවුන් වහන්සේගේ ඉල්ලීම ගැන සිතමින්.  
අන්දරේගේ ඉඩමට කිට්ටුව ඉඩමේ ලොකු ගොරකා ගහක් තිබුණා.
හැබැයි මේ ගොරකා ගහ අන්දරේට පුදුම කරදරයක් වෙලයි තිබුණේ.
ඇයි ඉතින් ගහේ අතු ඔක්කෝම අන්දරේගේ වත්තට පාත්වෙලා.
මේ ගහේ කොළ සේරම අන්දරේගේ වත්තේ.
ඒත් අනුන්ගේ ඉඩමක ගහ තිබුණ නිසා
ගහේ අතු කපන්නත් බැහැනේ.
ඉතින්....මේ අවස්ථාව අන්දරේගේ අදහස ඉටු කරගන්න 
හොදම වෙලාව.  අන්දරේ කෙලින්ම ගියේ 
ගහේ අයිතිකාරයාගේ ගෙදරට.
“ගෙදර කවුරුත් නැද්දෝ......??????
ආ....ලොකු උන්නැහේ මම ආවේ රජ ගෙදර ඉදන් රාජ ආඥාවක් අරගෙන.
වහාම මේ ගොරකා ගහ කපලා ඒකේ මුල රජ ගෙදරට අරගෙන එන්න කියලා රාජ ආඥාවක්
නිකුත් කරලා තියෙනවා.....අන්දරේ කිව්වා.
රාජ ආඥාවකට පිටුපෑම මරණය පවා අත්වන්නට පුළුවන් කාරණාවක්.  ඒ හින්දම ගොරකා ගහේ අයිතිකාරයා තවත් දහපහලොස් දෙනෙක් එකතු කරගෙන ගොරකා ගහ කපලා ගැලෙව්වා.  
එයින් මුල වෙන්කරගන්ත කට්ටිය  මුලත් කරතියාගෙන රජ ගෙදරට ගියා.  
අන්දරේ තමයි ඉස්සරහින්ම ගියේ.
විශාල ගොරකා මුලක් මිදුලේ තබනු දුටු රජතුමා..
“මොකද අන්දරේ මේ.......??කියාලා පුදුම වුණා.
“කුමන කාරණාවකට ගේන්න කිව්වද කියලා මම නම් දන්නේ නැහැ දේවයන් වහන්ස.
ඔබ වහන්සේගේ අග බිසවුන් වහන්සේ තමයි මට ගොරකා මුලක් 
ගේන්න කියලා කිව්වේ. අන්දරේ කිව්වා.  
බිසවුන් වහන්සේගෙන් කාරණාව විමසූ රජතුමාට හොදටම හිනා.
බිසවට මේකට ටිකක් කේන්ති ගියත් ඇය අන්දරේගේ තරම
දන්නා නිසා මොනවත් කියන්නට ගියේ නැහැ. 

http://sithuwilisuwadakakulu.blogspot.com

1 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි