V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

Saturday, May 7, 2016

ලෝකයේ ප්‍රථම නවකතාව කාන්තාවකගෙන්


ජපානයේ මුරසකි ෂිකිබු

“මම ආභාසය එනතෙක් බලා නොසිටින්නෙමි‍. ඔබ එසේ සිටියොත් ඔබට කිසිවක් කරකියා ගත ‍හැකි නොවේ‍. තමා ක්‍රියාකාරීවන්නට ඕනෑ යැයි කියන හැඟීම, ඔබගේ මනසට දැනෙන්නට ඕනෑ ය.”
පර්ල් එස්. බක් (1892 – 1973)
සියවස් තිස් - හතළිස් ගණනකට පෙර පටන් ම, මිනිසා කතා නිර්මාණය කරන්නට පුරුදුව සිටියේ ය. ඒවායින් බොහොමයක් ජන කතා ය. නො එසේ නම් පරපුරෙන් පරපුරට ගෙනෙනු ලබන, මිථ්‍යා ප්‍රවාද, දේව කතා, සුරංගනා කතා ආදියයි. ලෝකයේ ප්‍රභවය පිළිබඳ විචිත්‍ර නිර්මාණශීලී කතාන්තර, ලොව බොහෝ ‍ජන කණ්ඩායම් සතුව ඇත.
මෙයට අවුරුදු 4000 කට පමණ පෙර, බැබිලෝනියා මහා රාජ්‍යයේ, ‘ගිල්ගමේෂ්’ නම් ප්‍රබල මහා කාව්‍යයක් නිර්මාණය වී තිබිණි. එහි වීරයා වූයේ ගිල්ගමේෂ් නමැති සුමේරියානු අධිරාජයායි. එහි අන්තර්ගතය වන්නේ, අමරණීයත්වයේ රහස සොයා, ඒ අධිරාජයා විසින් කරන ලද වීර චාරිකාවයි‍. මෙහි ඇතැම් කොටස් අද පවා ඉතිරිව පවතී.
පංචතන්ත්‍ර, හිතෝප‍ෙද්ශ ආදී කථා සංග්‍රහයන්හි එකතු වී තිබෙන්නේ පැරණි ලෝකයේ ප්‍රබල සංචාරක කණ්ඩායම් දෙකක් වන, ප්‍රබල ජාත්‍යන්තර වෙළෙඳ ජනයාත්, ජනතාවට බණ - දහම් දෙසමින් දේශ දේශාන්තරයන්හි සැරි සැරූ, විවිධ පූජක වර්ගයාත්, සිය අධ්‍යයනයන්හිදී ලබාගත් මහා අත්දැකීම් සම්භාරයේ ප්‍රතිඵලයි‍‍.
ඊසොප් ගේ උපමා කතා පවා, ජනශ්‍රැතිවලින් උකහා ගන්නා ලද ආදර්ශ ප්‍රවාදයි.
නවකතා, ප්‍රබන්ධ කතා, ආදී නම් වලින් හැඳින්වෙන නිර්මාණ, ඊට හාත් පසින් ම වෙනස් ය.
ඒ නිර්මාණවල අතිශයින් ම මූලික ලක්ෂණය නම් නවමු බවයි. ඒවා නව නිර්මාණ විය යුතු ය. ඓතිහාසික සිද්ධි හෝ පුද්ගලයන් හෝ ආශ්‍රිතව නි‍ෙවසක වුව ද, ඒවා වංශ කතා හෝ පුරාණෝක්ති නොවේ. ඒ ආකාරයේ රචනා යම්කිසි ලේඛකයෙකුගේ පුද්ගලික නිර්මාණශීලී දර්ශනයෙන් බිහිවන කෘතියි. ඒවා බොහෝ විට නිර්මාණය වන්නේ ගද්‍ය ශෛලියෙනි. එහෙත් ගද්‍ය - පද්‍ය සම්මිශ්‍රිත ‘චම්පු’ ශෛලියෙන් කළ නවකතාද, ඉඳහිට නිර්මාණය වේ.
අපගේ ශ්‍රී ලාංකේය සාහිත්‍යලෝලීන්, නවකතා, ප්‍රබන්ධකතා වශයෙන්, බොහෝවිට දකින්නේ අපරදිග ලෝකයෙන් බිහිවූ මහා නිර්මාණ පද්ධතියයි. මෙතෙක්, ලොව පහළ ශ්‍රේෂ්ඨතම ප්‍රබන්ධ කතාව වශයෙන් සම්මානයට පාත්‍රවන්නේ, රුසියාවේ ලියෝ ‍ටොල්ස්ටෝයි (1828 – 1910) විසින් විරචිත ‘වෝර් ඇන්ඩ් පීස්’ (යුද්ධය හා සාමය) නම් ප්‍රබල ප්‍රබන්ධ කතාවයි. ඉංගිරිසි ලේඛක චාල්ස් ඩිකන්ස්ගේ අ ‍ටේල් ඔෆ් ටූ සිටීස් (දෙනුවර අන්දරය), ඔලිවර් ට්විස්ට් ආදී නවකතා උපරිම ජනාදරය දිනූ ජගත් නිර්මාන වශයෙන් ඉතිහාස ගත ව සිටී.‍
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ අර්නස්ට් හෙමිංවේ (1899 – 1961) සිය කෘති උදෙසා, නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ඇතුළු ‍උසස් තිළිණ සම්භාරයත් දිනූ ප්‍රබන්ධ කතා, කලාකාරයෙකි. ෆෝ හූම් ද බෙල් ටෝල්ස්, ද ඕල්ඩ් මෑන් ඇන් ද සී ආදී කෘති ඔහුගේ විශිෂ්ට නිර්මාණ අතර වෙතියි ෆ්ලෝබෙයා, වික්ටර් හියුගෝ, ගී ද මෝ පසාං ආදී ප්‍රංස ලේඛකයෝ ප්‍රබන්ධ කතා සම්ප්‍රදාය බැබළුවා ලූහ. විඥානධාරා ශෛලිය ලොවට හඳුන්වා දුන්, අයිරිස් ජාතික ‍ලේඛක ‍ෙජ්ම්ස් ජොයිස් වැන්නෝ ප්‍රබන්ධ කතා නිර්මාණයන්හි නිම් වළලු පුළුල් කළහ. පෙරදිග, චීන ජපන් ආදී භාෂාවන්හිත්, විශිෂ්ට ප්‍රබන්ධකතා කලාකාරයෝ වැජඹුණි.
නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රථම ජපන් ජාතික ලේඛකයා වූ යසුනාරි කවබාතා (1899 – 1972), ලාලිත්‍යවත්, සරල ප්‍රබන්ධ කතා ශෛලියක් ලොවට හඳුන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාවේත් කීර්තිධර නවකතා කලාකාරයෝ බිහිවූහ.
සිය නිජ සංස්කෘතියෙන් බැහැරව, මුල්සුන් චරිත මෙන්, මුළු ලොවම සිය නිවෙස කොටගත්, එහෙත් ස්ථිර සංස්කෘතික පදනමක් නැති, ඩයස්පෝරික ලේඛ‍කයෝත්, අද ලොවට ඉතා ප්‍රබල ප්‍රබන්ධ කතා සම්ප්‍රදායයක් තිළිණ කොට දෙති. ජගත්, අවධානයට පත් නොවූ අප්‍රිකානු ප්‍රදේශවල ලේඛකයෝත් අද සිය අත්දැකීම් මාලාව ලොවට දෙන්නට, ප්‍රබන්ධ කතා ශෛලියේ පිහිට සොයති.
මේ දිගු ප්‍රබන්ධ කතා සම්ප්‍රදායයෙහි බ්‍රිතාන්‍ය ජාතික ජේන් ඕස්ටින් (1875 – 1812) වැනි ප්‍රබන්ධ කතා කලාකාරී ලේඛිකාවෝත් පහළ වූහ.
මේ ප‍ූර්විකා පාඨ කිහිපය ඉදිරිපත් කළේ, සාහිත්‍යකාමී බොහෝ දෙනා තුළ අපූරු විස්මයක් දනවන, සාහිත්‍ය ඉතිහාස ප්‍රවෘත්තියක් අනාවරණය කරනු පිණිසයි.
අද ලොව, විවිධ භාෂාවලින් වසරකට ප්‍රබන්ධකතා පනස් දහසක් පමණ ප්‍රකාශවේ. මේවා නවකතා (Novels), කෙටි නවකතා (novella) ප්‍රබන්ධ කතා (fiction) කෙටි ප්‍රබන්ධ (short fiction) ආදී විවිධ නම්වලින් ප්‍රකාශ වේ.
එහෙත්, ප්‍රබන්ධ කතා නම් ව‍ූ මේ මහා සාහිත්‍යයික නිර්මාණ ප්‍රවාහය, ප්‍රභවය වූයේ කවදාද? කොතැනද? මේ මහා සම්ප්‍රදාය , ජගත් උරුමයට තිළිණ කරන ලද්දේ කා විසින්ද?
සාහිත්‍ය ඉතිහාස විද්‍යාඥයන්ගේත්, සම්භාවනීය ජගත් විචාරකයන්ගේත්, ඒකමතික තීරණයක් වෙයි.
ඒ අනුව, මේ උදාර සාහිත්‍ය සම්ප්‍රදාය වන නවකතා කලාව, ප්‍රථමයෙන් ලොවට පිරිනමන ලද්දේ ජපානය විසිනි. ලෝකයේ ප්‍රථම ප්‍රබන්ධකතා නිබන්ධය - ජගත් සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රථම නවකතාව - ලියන ලද්දේ මුරසකි ෂිකිබු නම් කුලීන ජපාන ලේඛිකාව විසිනි.
සෑම සිතකටම, හැම හදවතකටම, සුහද ආස්වාදයක් සපයමින්, දිගු කලක් මුළුල්ලේ ලෝක සාහිත්‍යාම්බරය එකලු කරන, මේ නවකතා කලාව හාපුරා කියා, ජගත් ජනමණ්ඩලයට පිරිනැමීමේ ගෞරවය පිරිනැමෙන්නේ මුරසකි ෂිකිබු නම් ඒ ජපන් ලේඛිකාවටය.
මේ මුරසකි ලේඛිකාව, ජපානයේ හෙයි - අන් රජ පෙළපතේ පාලන සමයයෙනි. රාජ සභාවේ නියුක්තව සිටි කුලීන කාන්තාවකි. ෂිකිබු යන ගරු පදයෙහි අරුත ආර්යාව යන්නයි. ඓතිහාසික වාර්තාවලට අනුව, එතුමිය ජීවත්වූයේ ක්‍රිස්තු වර්ෂ 978 – 1031 අතර කාල පරිච්ඡේදයේයි.
මානව සාහිත්‍ය වංශයේ ප්‍රථම නවකතාව වශයෙන් සැලකෙන එතුමියගේ නිර්මාණය නම් කෙරෙන්නේ ‘ගෙන්ජි මොනොගතරි’ වශයෙනි. (සිංහල අරුත: ගෙන්ජි කතාව - ගෙන්ජි වස්තුව)
එතුමිය ගත කළේ කෙටි ජීවන සමයකි. අවුරුදු පනස් තුනකි. එහෙත් ඒ කෙටි ආයු කාලය තුළ, මුරසකි ආර්යාව, සිය අසහාය නිර්මාණශීලී ප්‍රවීණත්වය, විචක්ෂණ ලෙස මෙහෙයවා, මානව සමාජයේ නිබන්ධ සම්ප්‍රදායයෙහි, කිසි කලෙක අමතක නොවන, විශිෂ්ට පුරෝගාමී කෘතියක්, ජගත් ජන මණ්ඩලයට පිරිනැමුවා ය.
ජපානයේ, රාජකීයයෝත්, කුලීනයෝත්, අතිශයින් විශිෂ්ට චාරිත්‍ර - වාරිත්‍ර රටාවක් අනුව දිවි පෙවෙත හැඩගස්වා ගත්තෝ වූහ.
චමත්කාර සෞන්දර්ය ඉහළ තන්හිලා සැලකූ ඔවුහු, ඉතා සුළු චර්යාවකදී වුව ද සිය කුලීන ශික්ෂණය ප්‍රදර්ශනය කළහ.
උසස් මැඳුරක, ඉතා සිනිඳු බිමේ, යන්තමින් ගැටෙන සේද ඇඳුමක සිහින් හඬට පවා, ඒ කුලීනයෝ සංවේදී වූහ.
මුරසකි ආර්යාව, සිය ගෙන්ජි වස්තුවට තේමා කොට ගත්තේ, සමකාලීන රාජ සභා ආශ්‍රිතව පැවති, සුවිශිෂ්ට, චමත්කාරයට නැඹුරු, සූක්ෂ්ම චාරිත්‍ර - වාරිත්‍ර රටාවෙන් ශික්ෂණය ලද අතිකුලීන ජීවන රටාවයි. මුරසකි කාන්තාව, ඒ උදාර කුලීන ජීවන රටාව, ලාලිත්වයෙන් සටහන් කරන ගමන් ම, ඒ හා සමඟ සිය සන්තානයෙහි උද්ගතවන චින්තන ධාරා ද විචිත්‍ර ගද්‍යයෙන් වාර්තා කළා ය. ලොව ප්‍රථම නවකතාව, ලොවට පිරිනැමීමේදී මුරසකි ආර්යාව, ව්‍යක්ත ආකෘතියක් භාවිත කළා ය. එතුමිය සිය කතාව කියා ගෙන යන්නේ කථකයෙකුගේ මඟිනි. ගෙන්ජි වස්තුව පෙදෙස් පෙද දිග හැරෙන්නේ, කථිකයා විසින් කරනු ලබන ප්‍රවාදයෙක විලාසයෙනි.
මුරසකි ආර්යාව සිය කතාව කියාගෙන යන්නේ, එතෙක් ජපන් සාහිත්‍ය සම්ප්‍රදායයේ මුල් බැසගෙන තිබුණු, දේවකතා, මිථ්‍යා විශ්වාස ආදියෙන් සහමුලින් ම බැහැරව, අත්‍යයන්තයෙන් ම තාත්වික තේමාවක් පදනම් කොටගෙනයි. මෙසේ, එය, සම්ප්‍රදායය ඉවත්කොට, එදිනෙදා දිවි පෙවෙත ප්‍රස්තුත කොට නිර්මාණයක් වීම නිසා ගෙන්ජි මොනොගතරි ලෝකයේ ප්‍රථම තාත්වික නවකතාව බවට පත්විය.
මුරසකි ආර්යාව විසින් ගෙන්ජි මොනොගතරි නිර්මාණය කරන ලද්දේ 1008 දී ය. එනිසා අදට එහි වයස අවුරුදු 1008 කි. ගෙන්ජි මොනොගතරිය ලියන ලද්දේ ශ්‍රී ලංකාවේ පස්වැනි මිහිඳු රජුගේ පාලනය පැවැති සමයෙදීය.
ලොව ප්‍රථම නවකතාවේ තේමාව, ගැඹුරු දෝමනස්සයකට බර, දර්ශනවාදී චින්තනයකි.
එතුමියගේ තේමා සංකල්පය මෙසේ ය:
“කාලය සිත් - පිත් නැති ආඥාදායකයෙකි. ඒ හේතු කොට අතිසෞන්දර්යාත්මක ප්‍රේමය අනිවාර්යයෙන් ම දුක්බර ය.”
මෙය බුදු හිමියන්ගේ පේමතෝ ජායතී සෝකෝ යන සනාතනික දහම් පදයට බොහෝ සේ සමානය. මේ ලොව මුල් ම කතාවට පදනම සපයන තේමාව ජීවිතය අනියතැයි කතාවේ දී, මුරසකි ආර්යාව, ජීවිතය දුකින් පිරුණෙයැයි යන අදහස දක්වන්නේ මොහො නො අවාරේ’ යන ජපාන පාඨයෙනි.
එදිනෙදා දිවි පෙවෙතින් ඉතා ම ඈත් වූ, අධි කුලීන, රාජකීය ජීවන රටාවක ගැලී සිටිමින් ම, ලෝකයේත් ලෝකයාගේත් යථා තත්ත්වය, ඇති සැටියේ දකින්නට මුරසකි කාන්තාව සමත් වූයේ, ඇයගේ ගැඹුරු අාධ්‍යාත්මික ශික්ෂණය නිසා ය.
ඇයගේ නවකතාවේ මුඛ්‍ය චරිතය ගෙන්ජි කුමාරයායි. ගෙන්ජි යනු බැබළෙන යන අරුත් සහිතයි. මානව ජීවය වසාගෙන පැතිරෙන අනියත බවෙන් මිදෙන්නට මේ පැතිරෙන අනියත බවෙත් මිදෙන්නට, මේ බැබළෙන කුමාරයාගේ චරිතය පිහිට වන්නේ යැයි මුරසකි ආර්යාව සිතුවා වැන්න. ඇය විසින් ගෙන්ජි කුමරුගේ චරිතය මවනු ලබන්නේ කායික සුරූපිබවින්, අගතැන්පත්, එයට සරිලන උදාර චර්යා ධර්මවලින් අලංකෘත, ඒ එක්කම මානව භක්තියෙන් පරිපූර්ණ මෙත් කරුණා ගුණෙන් පෝෂිත, රාජ වංශික, සනාතන මානව මූර්තියක් හැටියටයි; අනියත ලොවක, ස්ථාවර වස්තුවක් ලෙසයි.
හෙයි - අන් රජ පෙළපත, ගෙන්ජි වස්තුවේ පසුබිමයි. එය පෙම් සබඳතා අතිශයින් බහුල ලෙස පැවති යුගයකි. එසේ වුව ද, එදා කුලීන කාන්තාවනගේ ඉරණම වූයේ තිරයකට මුවාවී සිටීමයි.
මුරසකි ෂිකිබි සිය නවකතාව කළේ ස්ථාවර රාජපාලන බලය තහවුරුව පැවති සමයක වුව ද, ඇය එහිදී සනාතනික මානව හර පද්ධති හුවාලූවාය. ඒ නිසා ම, ඇයගේ පු‍රෝගාමී නවකතාව, සනාතනිකවම මානව හදවත් අමතයි.‍ ඇයගේ මේ දර්ශනයේ ප්‍රතිඵලය නම්, මුරසකි ආර්යාවගේ නවකතාව, ප්‍රබල අකාලික මානව ප්‍රකාශනයක් බවට පත්වීමයි. සමකාලීන ජපාන සමාජයේ අධිකුලීන ජීවන රටාවක් ආශ්‍රිතව විසූ වද, මුරසකි තිබූ විප්ලවීය චරිතයකි. එදා උසස් ජපන් සමාජයේ විශිෂ්ටයන්ගේ භාෂාව වූයේ චීන බසයි. එහෙත්, කුලීන පවුල්වල කාන්තාවනට චීන බස තහනම් විය. එසේ වුව ද විශිෂ්ට උගතෙකුගේ දියණිය වූ මුරසකි, කුඩා කල පටන් ම චීන භාෂාව හැදෑරුවා ය.
එදා කුලීන ජපන් කාන්තාවනට, සම්මත චාරිත්‍ර - වාරිත්‍ර මඟින් එතරම් ස්වාධීනත්වයක් නිදහසක් නොලැබුණ ද, මුරසකි කාන්තාව තරමක නිදහසක් භුක්ති විඳි කුලීන ජපන් යුවතියක් වූවාය.
මුරසකි යුවතිය, විවාහ වූයේ අධිරාජයාගේ පාලන සේවයේ යෙදුණු කුලීනයෙකු හා සමඟය. ජනකාන්ත ඇඳුමට - පැලඳුමට‍ ප්‍රිය කළ ඒ නිලධාරියා නැටුමෙහි හසළයෙක් විය. ඔහු බහුල වශයෙන් ප්‍රේම සම්බන්ධතා පැවැත්වූයේ ය. ඉසුරුමත් ජන ප්‍රභූවරයෙක් විය. ඔහුගේ අභාවයෙන් පසුව, මුරසකි ෂිකිබු, ඉතා බොහෝ සේ කලාවට - සෞන්දර්යයට නැඹුරු වූවා ය‍.
මුරසකි ආර්යාවට මේ ගෙන්ජි වස්තුව රචනා කරන්නට ආභාසය ලැබුණු ආකාරය, ජනශ්‍රැතියෙන් කියැවෙයි. එතුමිය කලක් ‘බිවා’ නම් වැව අසබඩ නිකේතනයක ‍විවේක සුවයෙන් පසුවූවා ය. එහිදී එක් අගෝස්තු රැයක, ඈ සරත් සඳ ලෙස බලා සිටියාය.
ගෙන්ජි කතාව, ඇයගේ සන්තානගත වූයේ, එසේ එතුමිය සරත් සඳ ලෙස බලා සිටිද්දී යැයි ජනශ්‍රැතියෙන් ප්‍රකාශ වේ.
මුරසකි ආර්යාව සිය ගෙන්ජි වස්තුව ලියූවේ කොටස් වශයෙනි. ඒ කොටස්, එතුමිය සිය යෙහෙළියන්ට යැව්වාය. යෙහෙළියෝත්, ඒ කොටස් පිටපත් කොට බෙදා හැරියහ. මෙසේ ගෙන්ජි මොනොගතරිය සමකාලීන සාහිත්‍ය ලෝලීන් අතර ඉක්මනින් ම ජනප්‍රිය විය.
මුරසකි ආර්යාවට ෂෝශි අධිරාජිනියගේ පාලන සමයයෙහි දී, අතිවිශිෂ්ට ස්ථානයක් හිමි ව‍ූයේ ය.
එහෙත්, ඇය අධිරාජිනියගේ සේවයෙන් විශ්‍රාම ගෙන, ආධ්‍යාත්මික තැන්පත් බව ලබමින් වැව ආශ්‍රිතව වාසය කළේ තපෝ ව්‍රතයක යෙදෙන්නාක් මෙනි.
ඇය විසින් මානව වංශයට පිරිනමන ලද ගෙන්ජි වස්තුව ලෝකයේ පු‍රෝගාමී නවකතාව වූයේ ය. එහි පරිච්ඡේද 54 කි. කොටස් තුනකි. පිටු සංඛ්‍යාව 1100 කි. ගෙන්ජි කතා ලියා නිම කරන්නට, ඇයට අවුරුදු දහයක් ගත විය‍.
ඇයගේ පොත ලියන්නට අවශ්‍ය වටනා කඩදාසි හා තීන්ත සම්පාදනය කිරීමෙන් මිචිනාගා නම් කුලීන ප්‍රභූවරයා ද ඉතිහාසයට එක්වූයේ ය.
ඇය සිය නවකතාව උදෙසා නිර්මිත‍ ගෙන්ජි කුමරු (බැබළෙන කුමාරයා) සිය පෙම්වතියන්ගේ බාහිර ආටෝපය පමණක් නොව, අභ්‍යන්තර ශෝභාව ද අගය කරයි. ඒ බැ‍බළෙන කුමරා, යථාතත්ත්වවාදී ලෙස ලොව බලමින් ජීවිතයේ ක්ෂණ භංගුරත්වය ප්‍රත්‍යක්ෂ කොට ගනී.
එසේ ගෙන්ජි කුමරු ‘ආධ්‍යාත්මික වීරයෙක් ද’ වන්නේ ය.
ජපානයේ බොහෝ චිත්‍ර ශිල්පීහු සියවස් ගණනක් මුළුල්ලේ සිට ගෙන්ජි නවකතාව, සම්භාව්‍ය චිත්‍ර බවට පරිවර්තනය කරති. ගෙන්ජි කතාව ජපානයේ ජනජීවිතයේ අංග බවට පත්ව තිබෙන්නේ විවිධාකාරවලිනි. මුරසකි ආර්යාව, ජනවීරවරියක බවට පත්ව සිටී.
මුරසකි උපත ලැබුවේ ජපානයේ කියෝතෝ නගරයෙහි ය. ඇයගේ නවකතාවට දහස් වස පිරුණ අවස්ථාවේ, කියෝතෝ නගරයේ වසරක් පු‍රා උත්සව පැවැත්වෙයි‍.
මුරසකි ආර්යාවට පිදෙන ජාතික ගෞරවය, පිළිබිඹු කරමින්, ජපානයේ ප්‍රථමයෙන් ප්‍රකාශිත දෙදහසේ මුදල් නෝට්ටුවේ මුරසකි ආර්යාවගේ ගෙන්ජි කතාව නිරූපණය වෙයි.
මුරසකි ආර්යාවගේ ප්‍රතිමා නොයෙක් තැන්වල ඉදිකර තිබේ.
සාහිත්‍යය පිළිබඳ නව අවබෝධයක් බලා ගමන් කරන ශ්‍රී ලංකාවේ අප විසින්, මුරසකි ආර්යාවගේ චරිත කතා ඉතා ගැඹුරින් හැදෑරිය යුතුවේ.
ලේඛක ගෞරවය ඉහළ ස්ථානයක තබා සලකන ජපානයේ ආදර්ශය, ශ්‍රී ලංකාවට ද පාඩමක් විය යුතු ය.


Tuesday, April 19, 2016

ගැහැනු දරුවන් සිටින මවු පියවරුන්ගේ අවධානය යොමු විය යුතු පොතක්

මේ කතාවේ එන චරිත, සිද්ධි සහ අවස්ථාවන් බොහෝවිට සැබෑ ජීවිතයේ අප අසා ඇති අප දැක ඇති පුවත්පත් වලින් අප කියවා ඇති දේ සමඟ මනාව සැස‍ඳේ.‍
කර්තෘ - සෝමලතා වෛද්‍යරත්න
මිල - රුපියල් 450
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ
සෝමලතා වෛද්‍යරත්න ලියූ තුන්වැනි නවකතාව ‘අහස් වියන’ සරසවි ප්‍රකාශනයක් ලෙස මෑතකදී මුද්‍රණය කොට පළවී ඇත. ඉතාම වැදගත්, කාලෝචිත සමාජ ප්‍රශ්නයක් වන පවුලේ මව විදේශ රැකියාවක් සඳහා විදේශ ගත වූ විට දරුවන් මුහුණ දෙන අනාරක්ෂිත තත්ත්වයන් මේ නවකථාවේ හරය වශයෙන් සැලකිය හැකි ය. අද ශ්‍රී ලංකාවේ පවුල් විශාල සංඛ්‍යාවක් මුහුණදී ඇති, එහෙත් බොහෝ විට අප්‍රකට ව පවතින ඛේදවාචක තත්ත්වයක් සිය නිර්මාණ ප්‍රතිභාවෙන් පාඨකයාට ඒත්තු ‍ගන්වන්නට කතුවරිය දරා ඇති වෑයම ප්‍රශංසනීය ය.
මේ නවකතාව හුදෙක් කතුවරියගේ මනසේ ඇඳුණ පරිකල්පනීය කතාවකට වඩා අද අප සමාජයේ විද්‍යමාන ප්‍රායෝගික අවස්ථා මැනවින් නිරූපණය කරන සත්‍ය කතාවක් බව මගේ හැඟීමයි. මේ කතාවේ එන චරිත, සිද්ධි සහ අවස්ථාවන් බොහෝවිට සැබෑ ජීවිතයේ අප අසා ඇති අප දැක ඇති පුවත්පත් වලින් අප කියවා ඇති දේ සමඟ මනාව සැස‍ඳේ.‍ මවගේ විදෙස්ගතවීම නිසා අසරණ වන දරුවන්, විශේෂයෙන් ම දියණියන් ලක් වන අනේකවිධ අපචාර සහ මුහුණ දෙන මානසික ප්‍රශ්න මනාව විවරණය කරමින් සිය පරිකල්පනයේ උපදින සංවාද සහ සිද්ධි ශූර ලෙස හැසිරවීමට කතුවරිය සමත්ව ඇති බව අපේ විශ්වාසයයි.
වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය වසා පිළිලයක් මෙන් ශීඝ්‍රයෙන් පැතිරෙන කාන්තා හා ළමා අපචාර පිළිබඳ ව නීති සම්පාදනය කරන්නන් අතර මෙන් ම පොදුවේ මුළු සමාජයේ ම සංවාදයට භාජනය විය යුතු ය. එවන් පසුබිමක ‘අහස් වියන’ නවකතාව මතු කරන පුළුල් සමාජ විග්‍රහය අප සැමගේ, විශේෂයෙන් ම තරුණ දූ දරුවන් සිටින දෙමාපියන්ගේ නොමඳ අවධානයට ලක් විය යුතු ව ය. සිය ‘විසල් පවුරක් සේ’ නවකතාවෙන් කතුවරිය මතු කළ සමාජ ප්‍රශ්නය තවදුරටත් වෙනත් මානයකට යොමු කරවීමට ගත් උත්සාහය සාර්ථක වි ඇත. නවකතාවේ සියයට අනූවක්ම පුරා පැතිරෙන සංවාද එහි කියවාගෙන යාමේ ගුණයට උත්ප්‍රේරණයක් සපයයි. නවකතාවක අනිවාර්යයෙන් ම තිබිය යුතු පාඨකයාට වෙහෙසක් නොමැතිව එක දිගට කියවාගෙන යා හැකි වීම ‘අහස් වියන’ තුළ සැබැවින් ම ඇත.
සෝමලතා වෛද්‍යරත්න කතුවරිය ‘අහස් වියන’ පෙර වදනෙහි සඳහන් කරන පරිදි ‘කාන්තාවක’ වී මෙලොව ඉපදීම මොන තරම් අභාග්‍ය සම්පන්නදැයි සිතෙන තරමට දැන් සමාජය කාම අපරාධවලින් පිරී පවතී. අසූ වියැති මිත්තණියක පමණක් නොව කටේ කිරි සුවඳ පවා නොගිය කුඩා දරුවන් පවා අමානුෂික ලෙස දූෂණය කර ඉනුදු නොනැවතී ක්‍රෑර වධ බන්ධනවලට ලක් කර මරා දැමීම සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන මේ ධර්මද්වීපයේ සිදුවන බව අදහන්නට නොහැකි තරම් ය. අද දියණියක තම පියා හෝ සොහොයුරා ෙහා් ළඟ තනිව තබා යෑම පවා බිය ජනක වන තරමට සමාජය පිරිහී තිබේ.”
මේ සමාජමය පිරිහීම සිය ‘අහස් වියන’ නවකතාව මඟින් සනාථ කරවන කතුවරිය ස්වකීය නිර්මාණ ප්‍රතිභාව සමාජ ශෝධනය උදෙසා දැරූ ප්‍රයත්නයක් ලෙස හැඳින්වීමට මම පසුබට නොවෙමි. දිනපතා මෙතරම් අපරාධ අසන්නට ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයේ ඒවා මර්දනය කිරීමට බලධාරීන් උත්සුක කිරීමට ඔවුන් ද මෙවන් නවකතා කියැවිය යුතු බව මගේ අදහසයි.
‘අහස් වියන’ නවකතාව අප සියලු දෙනා විසින් ම අගය කළ යුතු, වැදගත් පණිවිඩයක් සමාජයට ලබාදෙන නවකතාවක් බව මගේ විශ්වාසයයි. මේ නවකතාව කියැවීමෙන් පාඨකයා තුළ ඇතිවන දුක, වේදනාව සහ කම්පනය මිශ්‍ර හැඟීම් දරුවන්ගේ විශේෂයෙන් ම ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ව සෑම මවකගේ ම, සෑම පියකුගේ ම නොමඳ අවධානය යොමු කිරීම සඳහා අභිප්‍රේරණයක් වනු ඇත.


http://www.silumina.lk/2016/04/17/_art.asp?fn=sm1604172

Saturday, February 20, 2016

ළමා ලෝකයේ අපූරු කතන්දරකාරිය - ඉනිඩ් බ්ලයිටන්

සෑම කුඩා දරුවකු තුළ ම යම් අන්දමේ ත්‍රාසජනක වූ සිහිනයක් තිබීම සමාන්‍ය දෙයකි. ඝනවනාන්තර තුළින් බියමුසු ත්‍රාසජනක ගමන් යාම, අද්භූත සතුන් හමුවීම, ඔවුන් සමඟ සටන්කොට ජයගැනීම එසේ නැතහොත් රහස් පරීක්ෂකයින් මෙන් ක්‍රියාකරමින් මෙතෙක් සැඟව තිබූ අභිරහසක් එළිදරව් කිරීම එසේත් නැතහොත් නිධානයක් සෙවීමට යාම වැනි අත්දැකීම් පිළිබඳ සිහින දරු දැරියන් තුළ නිතැතින් ම ජනිත වී ඇත.
මේ අන්දමේ ත්‍රාසජනක සිහිනවලට පණපෙවීමට සමත් වූ ඉංග්‍රීසි ජාතික ඉනිඩ් මේරි බ්ලයිටන් ළමා සාහිත්‍යය නව මඟකට හැරවූ නිර්මාණකාරියක ලෙස අතිවිශේෂ ස්ථානයක වැජඹේ.
ඇයගේ “ෆේමස් ෆයිව්” (Famous Five) නවකථා පෙළ සිහිනෙන් ත්‍රාසය අත්විඳිමින් දිවි ගෙවූ දරු දැරියන්ට සිහින සැබෑවීමක් ලෙස හැඳින්විය හැකි ය. අවදානම් අත්දැකීම් සහිත මේ ත්‍රාසජනක ළමා නවකතා පෙළ නියෝජනය කරනු ලබන්නේ පස්දෙනකු විසින්. ඒ ජුලියන්, ඩික්, ඈන් සහ ඔහුගේ ඥාති සොහොයුරු ජෝජ් යන අයයි. ඒ කල්ලියේ පස්වැනි. ඇත්තට ම ජෝජ් යනු ගැහැනු දරුවෙකි. එහෙත් ඇය පිරිමි දරුවකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. මේ කල්ලියේ පස්වැනියා ටිමි නමැති සුනඛයා ය.
මොවුන්ගේ ප්‍රථම ත්‍රාසජනක අත්දැකීමට සම්බන්ධ වන්නේ කිරින් නමැති දූ‍පතේ පවතින බවට කියනු ලබන නිධානයක් සොයා ගැනීමයි. එම නිධානය ලබාගැනීමට තවත් පිරිසක් මානබැලීම ඒ කතාවෙන් හැ‍ඟෙන ත්‍රාසය තව තවත් තීව්‍ර කරනු ලබයි.
මේ අන්දමේ ත්‍රාසජනක කතාපෙළක් මේ පස්දෙනා සහිත ව ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරනු ලැබූ අතර ඒවා “ෆේමස් ෆයිව්” කතා පෙළ ලෙස හඳුන්වනු ලබයි.
ත්‍රාසය සමඟ සිහිනෙන් ජීවත් වූ දරු පිරිසට මේ කතා පෙළත් ඉන්පසු රචනා කරනු ලැබූ “ද සීක්‍රට් සෙවන්” කතා පෙළත් හේතුකොටගෙන ඉනිඩ් බ්ලයිටන් ළමා කතා කලාවේ අග්‍රගණයේ නිර්මාණකරුවකු තත්ත්වයට පත්වූ අතර ඇයගේ ඒ කෘති උණු කැවුම් ලෙස අලෙවි වීම සිදුවිය.
1897 අගෝස්තු 1 වැනි දින උපත ලැබූ ඉනිඩ් මේරි බ්ලයිටන් ගේ ළමා කතා ලෝ පුරා භාෂා රැසකට පරිවර්තනය කරනු ලැබූ අතර දැනට මිලියන 600ක් පමණ අලෙවි වී ඇතැයි වර්තා වේ.
ලන්ඩනයේ නැ‍ඟෙනහිර ඩල්විච් නගරයේ උපත ලැබූ බ්ලයිටන් හැඳි ගෑරුප්පු වෙළඳාමේ යෙදුණු ව්‍යාපාරිකයකු වූ තෝමස් කේරි බ්ලයිටන් ගේ දියණියයි. ඇය තම පියාට මහත් සේ ආදරය කළ අතර ඔහු වෙනත් ගැහැනු කෙනකු සමඟ ඔහුගේ පවුල අත්හැර යාම ඉනිඩ් තුළ අතිමහත් චින්තන කඩාවැටීමකට හේතු වූ බව කියැවේ.
අධ්‍යාපනය අවසන් කළ ඇය පාසල් කිහිපයක ගුරුවරියක ලෙස සේවය කළා ය. ඒ රැකියාවේ දී ඈ ලැබුවා වූ අත්දැකීම් තුළින් ළමා මනස හඳුනාගැනීමට හැකිවීම ත්‍රාසයෙන් හා කුතුහලයෙන් පිරුණු කතා රැසකට පසුබිම් වූයේ යැයි සිතිය හැකි ය.
වැඩිහිටියන්ගේ කිසිදු උදව්වක් ආධාරයක් නොමැති ව තම ප්‍රශ්න විසඳාගැනීම ළමා මනස ශක්තිමත් කිරීම ඇයගේ කෘති තුළින් වහනය වන බලවේගයයි.
ඇයගේ “සීක්‍රට් ‍ෙසවන්” (Secret Seven) නම් වූ ළමා කතා පෙළ එවැනි ම වූ නිර්මාණ වේ. “සීක්‍රට් සෙවන්” යනු ළමුන්ගෙන් සැදුණු රහස් සංවිධානයකි. එය නිතර රැස්වෙන අතර එහි දී කළ යුතු ව ඇති වැඩ කටයුතු ගැන සාකච්ඡා කරනු ලබයි. ඒ සාකච්ඡාවලට සමාජයේ ඇතැම් අයට මුහුණදීමට සිදුවන ප්‍රශ්න, අභිරහස් නිරාකරණය කිරීම නැත්නම් රතු ඉන්දියානුවන් ලෙස කැලෑ තුළ විනෝද ක්‍රීඩා කිරීම වැනි කරුණු බඳුන් වේ. ඒ සාමාජිකයන්ට විශේෂිත වූ පලඳනාවක් ඇත. රහස් වචනයක් ද ඇත. එසේම රහසින් හමුවීමට ස්ථානයක් ද ඇත. එහි නායකයා පීටර් නමැත්තෙකි. එයට ඔහුගේ නැඟනිය වූ ජැනට් හා ජැක්, කොලින් ජෝජ්, පෑම් හා බාබරා මෙන්ම ස්පැනියල් වර්ගයේ සුනඛයකු වන ස්කැම්පර් ද එම රහස් සංවිධානයේ සාමාජිකයන් වෙති. නායක පීටර් කළ යුතු වැඩ ‍අනෙක් සාමාජිකයින් දන්වයි. අභිරහසක් එළිකිරීමේ වැනි කටයුතු මොවුන්ගේ ප්‍රධානතම කර්තව්‍යය හැටියට පෙන්විය හැකි ය.
මේ අන්දමට දරුවන් තුළ කුතුහලය ජනිත කරවමින් ඒ කුතුහලය ඇතිවූ යම් අභිරහසක් ඇත්නම් එය වැඩිහිටි උපදෙස් නැතිව එසේම ඔවුන්ගේ අනුදැනීම නැතිව තනිව ම විසඳුම් සෙවීම කෙරේ ළමා සිත පුබුදුවාලීමට බ්ලයිටන් ගේ කෘති සමත් වූ බව විචාරක මතයයි.
ඉනිඩ් බ්ලයිටන් ගේ ළමා කතා තුන්වැදෑරුම් ලක්ෂණ පෙන්වනු ලබයි.
මින් පළමු කොටසට වැටෙන කතාවල චරිත සාමාන්‍ය දරුවන් විය. ඔවුනට මුහුණදීමට සිදුවන්නේ අසාමාන්‍ය සිදුවීම් ය. ත්‍රාසජනක චාරිකා, අපරාධ විසඳීම, එසේම අදහාගත නොහැකි අවස්ථාවලට මුහුණදීම වැනි සංසිද්ධීන්වලින් යුක්ත වේ. උදාහරණ වශයෙන් “ෆේමස් ෆයිව්”, “සීක්‍රට් සෙවන්” හා ත්‍රාසජනක චාරිකා වැනි ග්‍රන්ථාවලි පෙන්විය හැකි ය.
දෙවැනි ගණයට බෝඩිමක ගතකරන ජීවිතය හා පාසල් ජීවිතයේ දී මුහුණදීමට සිදුවන අසාමාන්‍ය අභිරහස් සිදුවීම අයත් වේ. මධ්‍යම රාත්‍රියේ ආහාර පාන සහිත සංග්‍රහයන්, එකිනෙකා වෙත කරනු ලබන උසුලු විසුලු හා එකිනෙකා අතරේ පවතින සබඳතා අයත් වේ. මෙයට උදාහරණ වශයෙන් ඇය රචනා කළ “මැලරි ටවර්ස්”, “සෙන්ට් ක්ලෙයාර්” .. ග්‍රන්ථාවලිය සහ “නෝටියස්ට් ගර්ල්” ග්‍රන්ථාවලිය අයත් වේ.
තුන්වැනි ගණයට ඉන්ද්‍රජාලික ලෝකයක් තුළ සිදුවන අසාමාන්‍ය පුදුමසහගත අවස්ථාව නිරූපණය වන ග්‍රන්ථ අයත් වේ. ඒ ග්‍රන්ථ තුළින් සුරංගනාවියන්, රකුසන් වැනි අපූර්ව චරිත මතුවේ. බොහෝ අවස්ථාවලදී මේ ග්‍රන්ථවල දක්නට ලැබෙන සෙල්ලම් බඩුවලට පණ ලැබීම සිදුවේ. උදාහරණයක් වශයෙන් “විෂිං චෙයාර්”, “ද ෆාර් එවේ ට්‍රී” යන නිර්මාණ පෙන්විය හැකි ය.
වර්තමාන දරු දැරියන් හැරී පොටර් ගේ චරිතය ඇතුළත් මැජික් ලෝකයේ සිදුවීම් රැගත් කතා කෙරේ මහත් උනන්දුවක් ඇතිකර ගෙන සිටින්නාක් මෙන් එදා දරු දැරියන් ගේ ජනප්‍රිය තම කතා පොත් වූයේ ඉනිඩ් බ්ලයිටන් ගේ නිර්මාණ වේ.
පනස් වසරක ජීවන කාලයක් තුළ දී ඉනිඩ් බ්ලයිටන් විසින් ළමුන් වෙනුවෙන් 700ක් පමණ නිර්මාණ කර ඇති බව සඳහන් වේ. එසේ ම 1968 දී මරණයට පත්වූ ඇය 20 සියවසේ සිටි ග්‍රන්ථ කතුවරයන් අතුරෙන් වැඩිම ප්‍රමාණයක් ග්‍රන්ථ අලෙවියට පත්වූ කතුවරයා ලෙස ද දක්වනු ලැබේ.
ඒකාකාරී ව පැවැති ළමා සාහිත්‍යයට ප්‍රාණයක් ලබාදුන් දරු දැරියන්ට තනිව ම තම ජීවන ප්‍රශ්න විසඳා ගැනීමට ශක්තියක් ඇති බව පෙන්වීමට ඇය තම කෘති තුළින් නිරූපණය කිරීම ඇය අතින් සිදුවූ අති විශේෂ මෙහෙවර හැටියට ද පෙන්විය හැකි ය.

http://www.silumina.lk/punkalasa/20130707/_art.asp?fn=ar1307079

Tuesday, September 9, 2014

සමුගනිමු ගුල්සාරි

චිංගීස් අයිත්මාතව්ගේ  නිර්මාණ චාරිකාව


චිංගීස් අයිත්මාතොව් (1928 - 2008) යනු සෝවියට් ලේඛකයන් අතර විශිෂ්ටතමයෙකි. අද්‍යතන කිර්ගීස් සාහිත්‍යයේ අග්‍රතමයා ඔහු ය. පූර්ව විප්ලව රුසියාව විසින් යම් සේ පුෂ්කින්, ගොගොල්, චෙකොෆ්, දොස්තයෙව්ස්කි, තෝල්ස්තෝයි, කුප්රීන්, තුර්ගිනිෆ්, බුනින්, ගොන්චාරෙව්, ලර්මන්තොව්, ගෝර්කි වැනි ශ්‍රේෂ්ඨ ලේඛකයන් ද, අපර විප්ලවීය සෝවියට් දේශය විසින් ෂෝලහොව්, පැඩින්, පවුස්තොව්ස්කි, ලියනිඩ් ලියනෝව්, ඔස්ත්‍රොව්ස්කි, බන්දාරොව්, තිකනෝව්, සිමනෝව්, ග්‍රැනින්, ගම්සාතොව්, රස්පුටින්, රිටිකියු, යෙව්ෂෙන්කෝ, අයිත්මාතොව්, අම්මදුලිනා, මයා ගැනීනා වැනි ලේඛකයන් හා ලේඛිකාවන්ද බිහි කරනු ලැබීය.
චිංගිස් අයිත්මාතොව් 1928 දෙසැම්බර් 12 දා සෝවියට් කිර්ගීසියාවේ ෂෙකරින් නම් ගම්මානයේදී උපත ලද්දේ ය. එහි සෝවියට් පාසලක ප්‍රාථමික අධ්‍යාපනය ලැබු හේ 1946 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා කිර්ගීසියාවේ අගනගරය වන ෆ්රුන්සේ (Frunze) හි පිහිටි කිර්ගීස් කෘෂි කාර්මික විද්‍යායතනයේ සත්ත්ව පාලන අංශයට සම්බන්ධ විය. පසුව සාහිත්‍ය විෂය කෙරෙහි නැඹුරු වූ ඔහු 1956 දී මොස්කව්හි මක්සිම් ගෝර්කි සාහිත්‍ය නිකේතනයට ඇතුළත් ව 1958 තෙක් එහි ශිල්ප හදාළේය.
රුසියානු බසින් ලියැවුණු ඔහුගේ කුළුදුල් සාහිත්‍ය නිර්මාණ ද්වය 1952 දී ද, කිර්ගීස් බසින් ලියැවුණු පළමු නිර්මාණය 1954 දී ද පළ වූ අතර ‘ජමීලා’ නම් වූ ඔහුගේ මුල්ම ප්‍රධාන සාහිත්‍ය කෘතිය හෙවත් කෙටි නවකතාව 1958 දී පළ විය. එදා මෙදා තුර ඔහු අතින් ලියැවුණු අනේක සාහිත්‍ය කෘතීන් අතරින් ප්‍රධානතම ඒවා බොහොමයක් ඉංගී‍්‍රසි බසට පරිවර්තනය වී ඇතත් මෙතෙක් සිංහල බසට පරිවර්තනය වී ඇත්තේ ඉන් අල්පයකි. ඒවා මෙසේ ය.
. ජමීලා - රුසියන් බසින් සිංහල බසට පරිවර්තනය - දැදිගම වී. රුද්රිගු
. පළමුවන ගුරුවරයා - රුසියන් බසින් සිංහල බසට පරිවර්තනය - දැදිගම වි. රුද්රිගු
. අම්මා සහ මිහිකත - රුසියන් බසින් සිංහල බසට පරිවර්තනය - දැදිගම වි. රුද්රිගු
. අනර්හායි සුන්දර කත - රුසියන් බසින් සිංහල බසට පරිවර්තනය - දැදිගම වි රුද්රිගු
. නැතිවුණු වස්තුව - රුසියන් බසින් සිංහල බසට පරිවර්තනය - දැදිගම වි රුද්රිගු
. සමුගනිමු ගුල්සාරි - ඉංගී‍්‍රසි බසින් සිංහල බසට පරිවර්තනය - චූලානන්ද සමරනායක
. සුදු නැව - ඉංගී‍්‍රසි බසින් සිංහල බසට පරිවර්තනය - චූලානන්ද සමරනායක
. සියවසක් පවත්නා දවසක් - ඉංගී‍්‍රසි බසින් සිංහල බසට පරිවර්තනය - චූලානන්ද සමරනායක
. ධීවර ගීතය - ඉංගී‍්‍රසි බසින් සිංහල බසට පරිවර්තනය - චූලානන්ද සමරනායක
. වේලාසන කොක්කු ඇවිත් - ඉංගී‍්‍රසි බසින් සිංහල බසට පරිවර්තනය - ඩබ්ලියු. ඒ. අබේසිංහ
. ලැබීම හා නොලැබීම - ඉංගී‍්‍රසි බසින් සිංහල බසට පරිවර්තනය - ඩබ්ලියු. ඒ. අබේසිංහ
චිංගීස් අයිත්මාතොව් නම් කීර්තිධර සෝවියට් ලේඛකයා සිංහල පාඨක ප්‍රජාව විසින් මැනවින් හඳුනාගනු ලැබීමට මේ පරිවර්තන කෘති අප රටෙහි ප්‍රචලිතව මහත් සේ ජනපි‍්‍රය වීම වෙසෙසින් බලපෑ බව කිවමනා ය. මෙකී කෘතිවලින් කිහිපයක් පිළිබඳ අප රටේ විද්වත් විචාරකයන් දක්වා ඇති අදහස් සමුච්චයක් පහත ගෙන හැර දක්වනු රිසියෙමු.
“ජමීලා” නමැති කෙටි නවකතාවෙහි කතා නායිකාව වන ජමීලාගේ චරිතය මඟින් කතුවරයා විවරණය කරනු ලබන්නේ සෝවියට් විප්ලවය, කිර්ගීසියාව නමැති මධ්‍යම ආසියානු ගැහැනියගේ ජීවිතය කෙරෙහි බලපෑ ආකාරයයි. ජමීලා වැනි සාම්ප්‍රදායික ඇවතුම් පැවතුම්වලට නතු වූ තරුණ කාන්තාවකට, සාම්ප්‍රදායික එඬේර ජීවිතය විසින් තමා වෙත පටවන ලද තහංචි සියල්ල පිසදාලීම පහසු නොවෙයි. එතෙකුදු, අපූර්වයෙන් පිරුණු අර්ථවත් නව ජීවිතයක් ඇය ඉදිරියේ බිහි වෙමින් පවතියි. ඒ ජීවිතය වැලඳ ගැනීම සඳහා කිසියම් පරිත්‍යාගයක් කළ යුතුමය. එකී පරිත්‍යාගයේදී සාම්ප්‍රදායික ජීවන ක්‍රමය හා ගැටුමක් ඇතිවන්නේ ය. ජමීලා මුහුණ දෙන්නී, එකී අභියෝගයටය.”
“පළමුවන ගුරුවරයා (හෙවත් ‘දුයිෂේන්’) වූ කලී ලෝකයේ ප්‍රබන්ධ සාහිත්‍යය වෙත කිර්ගීසියාව (චිංගීස් අයිත්මාතොව්) විසින් පුදන ලද අග්‍රතම දායාදය වශයෙන් හැඳින්විය හැකිය. රතු හමුදාවට බැඳී සිය ජාතියේ විමුක්තිය උදෙසා සටන් කළ දුයිෂේන් නම් මේ නූගත් මිනිහා නව පරපුරක පළමුවැනි ගුරුවරයා බවට පත්වීමේ ආස්වාදකර කතාන්තරය මේ නවකතාවට විෂය වෙයි.
අයිත්මාතොව් විසින් සමකාලීන ප්‍රබන්ධ සාහිත්‍යයට දායාද කරන ලද දුයිෂෙන්ගේ චරිතය සම වන්නේ මක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ නවකතාවෙහි පාවෙල් ව්ලාසව්ගේ චරිතයටත්, නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’ නවකතාවෙහි පාවෙල් කොර්චාගින්ගේ චරිතයටත් ය.”
“චිංගීස් අයිත්මාතොව්ගේ වඩාත්ම පරිණත සාහිත්‍ය නිර්මාණය සේ සලකුණු ලබන්නේ ‘සමුගනිමු ගුල්සාරි’ නමැති දිග නවකතාවයි. තනබායි නමැති එඬේරාගේත්, ඔහුගේ ගුල්සාරි නමැති අශ්වයාගේත් ජීවන පුවත හෙළි කරමින් ලියන ලද මේ නවකතාව ලෝක සාහිත්‍යය තුළ සැබෑම අපූර්වයකි. අලීම් කෙෂෝකොව් නමැති දගෙස්තාන ලේඛකයා වරක් පැවසූ පරිදි ඒ වු කලී අර්නස්ට් හෙමිංචේගේ ‘මහල්ලා සහ මුහුද’ නමැති නවකතාව හා සමතැන් ගන්නා සාහිත්‍ය නිර්මාණයකි.”
“වේලාසන කොක්කු ඇවිත්” නමැති නවකතාව දෙවැනි ලෝක යුද්ධය, සෝවියට් රුසියාවේ පිටිසර ගම්මානයක ජන ජීවිතය කෙරෙහි ආනුභාව පවත්වන අයුරු නිර්මාණය කරයි. කෘතිය පුරා විකාශනය වන්නේ යුද්ධය පසුබිම් කොටගත් සිද්ධිදාමයකි. සමාජ ජීවිතය ද, පවුල් සංස්ථාව ද, පුද්ගල චිත්ත සන්තානය ද යුද්ධයේ භීෂණය මඟින් කැලඹී, ඇළලී, අක්මුල් සුන්වී, අවුල් වියවුල් වී යන ආකාරය කතුවරයා එහි විචක්ෂණ ලෙස නිරූපණය කරයි. මේ මහා වියවුල් මැද එළඹ සිටි සිහියෙන් යුතුව, අධිෂ්ඨාන පූර්වකව නොසැලී කටයුතු කරන්නේ විප්ලවීය විනය මඟින් ශික්ෂණය කරන ලද සුළු පිරිසක් පමණි.
සුල්තන් මුරාත් නමැති පසළොස් හැවිරිදි ගැටවර චරිතය මෙහි සුවිශේෂයෙහි කේන්ද්‍රය වෙයි. සුලතාන් මුරාත් මුහුණ දෙන ගැටලු ද, ඔහුගේ අපරිණත අපේක්ෂා හා සිතුම් පැතුම් ද, ඔහු තුළ පිබිදී එන නැවුම් පේ‍්‍රමය ද කතුවරයා නිරූපණය කරන්නේ නව යොවුන් වියට ආවේණික ගති ලක්ෂණ විනිවිද දැකීමේ කෞශල්‍යය ප්‍රකට කරමිනි.”
‘ජමීලා’ හා ‘පළමුවැනි ගුරුවරයා’ නම් නිර්මාණ ද ඇතුළත් ‘කඳුකර හා ස්ටෙප්ස් තණ බිම් ආශි‍්‍රත කතා’ (Tales of the Mountains and Steppes) නම් ඔහුගේ කෙටි නවකතා එකතුව උදෙසා 1963 වසරේදී ඔහු ලෙනින් සම්මානයෙන් පුද ලද අතර පසු අවස්ථාවක ‘සමු ගනිමු ගුල්සාරි’ නිර්මාණය සඳහා ඔහුට රාජ්‍ය සම්මානය හිමි විය.
සාහිත්‍ය නිර්මාණකරණයට පරිබාහිරව පසු කලෙක රාජ්‍ය තාන්ත්‍රික සේවාවෙහි ද නිරත වූ අයිත්මාතොව් විදේශ සේවයෙහි යෙදී සිටියදී රෝගාතුරව 2008 වසරේ ජුනි 10 දා ජර්මනියේ නියුරම්බර්ග් නගරයේදී මිය ගියේ ය. ඔහුගේ දේහය කිර්ගීසියාවට ගෙන එන ලදුව, එහි ඔහු විසින්ම කලකට පෙර ස්ථාපනය කරනු ලැබුවා වූද ඔහුගේ පියාගේ දේහය මිහිදන් කරනු ලැබී යැයි විශ්වාස කෙරෙන්නා වූද චොංග් - ටෑස් (Chong - Tash) නම් ගම්මානයේ අටා බෙයිට් (Ata Beyit) නම් සුසාන භූමියෙහි මිහිදන් කරනු ලැබීය.

Sunday, August 31, 2014

ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ නවකතා 5




 දෙදහස් දහතුන වර්ෂයේ ප්‍රකාශයට පත්වූ නවකථා එකසිය හතක් අතරින් ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ දෙවන වටය සඳහා ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවත, නිශ්ශංක විජේමාන්නගේ තාරා මගේ දෙව්දුව, පී.බී.ජයසේකරගේ මරියා සිලෝනිකා වස්තුව, නෝබට් අයගමගේ ‍ෙග් කාල නදී ගලා බසී, එරික් ඉලයප්ආරච්චිගේ පාද යාත්‍රා, සුනේත්‍රා රාජකරුණානායකගේ සෞම්‍යා ‍ලෝකය, මොහාන් රාජ් මඩවලගේ ලොවීනා, මංජුල වෙඩිවර්ධනගේ මගේ ආදරණීය යක්ෂණී සහ ජයතිලක කම්මැල්ලවීරගේ ප්‍රින්ස්, ටෙනිසන් පෙරේරාගේ දණ්ඩ භූමි නවකථා තේරුණි.
http://www.silumina.lk/2014/08/31/_art.asp?fn=cr1408311

දණ්ඩ භූමි - ටෙනිසන් පෙරේරා


මගේ දණ්ඩ භූමි නවකථාවෙන් සාකච්ඡා වෙන්නේ දේශපාලකයින්ගෙ සූරාකෑම් ගැන. සමහර නිලධාරීන්ගේ වංචා සහගත ක්‍රියා ගැන. පුරාවිද්‍යාවට සම්බන්ධ නිලධාරීන් බුද්ධ රූප කෝවක උණු කරල නාඩාර්ලට විකුණනව. දේශපාලකයින් ගස් කපල කැලෑ විනාශ කරනවා. පස් විකුණනවා. අල්ලස් දීල රේගුවෙන් බඩු පන්නනවා. ජාතික අපරාධ සිදුවෙන අන්දමයි “දණ්ඩ භූමි” නවකථාවෙන් විස්තර වෙන්නෙ. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ ඉන්න සමහර එන්ජීඕ කාරයින්ට ඒව අල්ලන්නෙ නැහැ.
ඔවුන් මතයක් ඇතිකරන්න යනවා සාර්ථක නවකථාවක් වෙන්න නම් සුළු ජාතිකයින්ට පීඩා කරනවා කියල ලියන්න ඕන. මුස්ලිම් කඩ කඩනවාය කියල ලියන්න ඕනෙ. දෙමළ මිනිස්සුන්ට සිංහලයන් නිරන්තරයෙන් හිරිහැර කරනවාය කියල ලියන්න ඕන.
මගේ නවකථාවෙ ඒවා නැහැ. මගේ දණ්ඩ භූමි නවකථාවෙ එහෙම ‍දේවල් ගැන ලිව්ව නම්; සිංහලයන්ගේ උත්පත්තිය ද්‍රවිඩ උත්පත්තියකින් කියල කිව්වා නම් මගේ නවකථාවටත් ස්වර්ණ පුස්තක තිළිණය දේවි.
දෙවන වටයට තේරුණ පොත් දහයම මම කියෙව්වා. මංජුල වෙඩිවර්ධනගේ “මගේ ආදරණීය යක්ෂණී” කියවන්න මාස තුනක් ගියා. මෙලෝ මිනිහෙකුට ඒක කියවලා තේරුම් ගන්න අමාරුයි. ඒක පුද්ගලවාදී කෘතියක්. තමන්ගේ පුද්ගල අත්දැකීම් ගූඪ විදියට ලියලා; අපේ ජන පුරාණයට සම්බන්ධ කරල ප්‍රතිගාමී ස්වරූපයට ලියපු එකක්.
දෙදහස් දහතුන වර්ෂයේ ප්‍රකාශයට පත්වූ නවකථා 107 අතරින් ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේ දෙවැනි වටයට තේරුණ කෘතීන් අතරින් මංජුල වෙඩිවර්ධනගේ නවකථාවට ලකුණු ලැබුණෙ දහයටත් අඩුවෙන්. “මගේ ආදරණීය යක්ෂණී” ප්‍රතිගාමී නවකථාවක් නිසා ඒක අවසාන පොත් පහට උඩට ගත්තා. ස්වර්ණ පුස්තක සම්මානයත් එයටම දේවි.
ලියනගේ අමරකීර්තිගේ “කුරුලු හදවත” විනිශ්චය මණ්ඩලයේ විසිදෙනාගෙන් දහනම දෙනෙකුගේම ඡන්දය ලැබුණත් එය විශිෂ්ට නවකථාවක් නොවෙයි. එය උත්කර්ෂවත් නැහැ. කුල භේදය ගැනයි කතා කරන්නෙ. කුල ප්‍රශ්නය ගැන අභ්‍යන්තරයට ගිහිල්ල නැහැ. උඩ මට්ටමින් කතා කරන්නෙ.
නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ට සුළු ජාතිකයන්ට හිරිහැර ගැන කියන නවකථාවක්. දෙමළ ඩයස් පෝරාව කියන්නෙත්, නිශ්ශංක විජේමාන්න “තාරා මගේ දෙව්දුව” නවකථාවෙන් කියන දෙයම තමයි.
පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සමහර දෙනාට සාහිත්‍ය ගැන දැනුමක් නැහැ. ඒක නිසා සමහර ප්‍රකාශකයො ගේම් දෙනවා. විදර්ශන ප්‍රකාශකයින් පොත් දෙකක් පී.බී.ජයසේකරගේ “මරිය සිලෝනිකා වස්තුව”, නිශ්ශංක විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” උඩට ගන්න ජනක ඉනිමංකඩට ඕන වුණා.
විනිශ්චය මණ්ඩලය පත්කරන්න මුල්වෙන්නෙ ජනක ඉනිමංකඩ. ඔහුගෙ හිතවතුන් තමයි එතැනට එන්නෙ. ඒ විතරක් නොවෙයි ෆේස් බුක් හරහාත් ඔහු තම පොත් දෙකට ලොකු තල්ලුවක් දෙනවා. ඔහුට ඕන ස්වර්ණ පුස්තක සම්මානයෙ රශ්මියෙන් ඔහුගේ පොත් දෙකට ඉහළම ‍අලෙවියක් ලබාගැනීම. ජනක මේ සඳහා කැන්වසින් ගියා.
ස්වර්ණ පුස්තක නව විනිශ්චය ක්‍රමවේදයත් වැරදියි. එකම පුද්ගලයා විසිදෙනෙක් ආරම්භයේ පටන් අවසානය දක්වා විනිශ්චයේ යෙදෙද්දි එකම රසයේ පොත් ගැනමයි අවධානය යොමු වෙන්නෙ. විවිධත්වයක් නැහැ. රසිකත්වය විවිධ වෙන්න ඕනෙ. එතකොටයි අලුත් දෙයක් ඇතිවෙන්න පුළුවන්.
මෙතැන තව ගේමක් යනවා. ඒ සිංහල නවකථාව නැති කිරීම. පාඨකයින් ප්‍රිය නැති නවකථා විනිශ්චය මණ්ඩලය ‍තේරීමෙන් පාඨකයාට නවකථාව එපා වෙනවා. මේ අවුරුද්දෙ නිර්දේශිත පොත් ගන්න අය ලබන අවුරුද්දෙ පොත් ගැනීම සම්පූර්ණයෙන් අත්හැර දානවා.

http://www.silumina.lk/2014/08/31/_art.asp?fn=cr1408311