V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Thursday, July 30, 2015

ලොව ගැඹුරුම තැනකින් පත්තෑයෙක් මතුවෙයි


ලොව පොළොව යට ගැඹුරුම ස්ථානයේ ජීවත්වන පත්තෑ විශේෂය සොයාගත් බව ක්‍රොඒෂියාවේ විද්‍යාඥයෝ පිරිසක් කියති. එරට වෙලබිට් කඳුකර කලාපයේ පිහිටි ගැඹුරු ගුහාවක අඩි 3600ක් හෙවත් මිටර 1100ක් යටින් මේ ජීවී විශේෂය සොයා ගැණිනි.
ගොපිලස් හැඩෙසි ලෙස නම්කැර ඇති මොවුන්ට ශක්තිමත් හකු, විෂ සහිත රෝම සහ දිග වක්‍රාකාර වූ අඩු පිහිටා ඇත. ඒවා ගොදුරු තදින් අල්ලා ගැනීමට වඩාත් හොඳින් විකසනය වී ඇතැයි ද පර්යේෂකයෝ කියති.
ලොව මෙතරම් ගැඹුරු ස්ථානයකින් හමුවූ දෙවැනි පත්තෑ විශේෂය මෙයයි. විෂ සහිත මොවුන් සෙන්ටිමීටර 2.2-2.8ක් දක්වා දිගින් යුතු බව ද විද්‍යාඥයන් පවසයි.

http://www.lankadeepa.lk/

ඔබ්සවර්-මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මානය රිච්මන්ඩ් විදුහලේ අසලංකට


ඔබ්සවර්-මොබිටෙල් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක ප්‍රධාන ආරාධිතයා වූ ශ්‍රී ලංකා පිලේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනෝල්ඩ් මහතා අතින් සම්මාන ලබාගත් අයුරු. (වමේ සිට) ලේක්හවුස් සමාන්‍යාධිකාරී අභය අමරදාස, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ සභාපති පී.ජී.කුමාරසිංහ, ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ‍කාවන් රත්නායක, සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලක්ෂ්මන් ගුණසේකර මහත්වරුද සිටිති.
 සන්ඩේ ඔබ්සවර් පුවත්පත සහ මොබිටෙල් සමාගම එක්ව 37වැනි වරටත් මෙහෙයවූ 'ඔබ්සවර්-මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා' සම්මාන රාත්‍රිය පෙරේදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි. එහිදී වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක සමත්විය.
ශ්‍රී ලංකා පිලේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වූ සම්මාන රාත්‍රියේ ගෞරවනීය ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතා සහභාගි විය. ලේක්හවුස් ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක, ශ්‍රී ලංකා ටෙලි‍කොම් සමාගමේ සභාපති පී.ජී.කුමාරසිංහ, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සහ ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මේ සම්මාන රාත්‍රිය පැවැත්විණි.
ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා අතින් වසරේ හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක සම්මාන ලබමින්ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ සභාපති පී.ජී.කුමාරසිංහ මහතා අතින් සම්මානයක් පිරිනමමින්. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ කපිල ගීගනගේ මහතාද සිටි.
වයඹ පළාතේ හොඳම කණ්ඩායම් අනුශූරතාව දිනූ කටුනේරිය සා.සෙබස්තියන් විදුහලට හිමි සම්මානය ලේක්හවුස් ආයතනයේ අලෙවි හා බෙදාහැරීමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව ජයතිලක මහතා අතින් ලබාගත් අයුරු.
වසරේ ක්‍රීඩකයාට හිමි ප්ලැටිනම් සම්මානය දිනූ සාන්ත පීතර විදුහලේ ලක්ෂින රොද්‍රිගු සන්ඩේ ඔබ්සවර් ප්‍රධාන කර්තෘ ලක්ෂ්මන් ගුණසේකර මහතා අතින් සම්මාන ලබමින්.
වසරේ හොඳම පාසල් කණ්ඩායමට හිමි ජාතික ශූරතාව දිනූ ත්‍රිත්ව විදුහල් පිල ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා අතින් සම්මාන ලබාගත් අයුරු.
හොඳම පිතිකරු සඳහා ප්ලැටිනම් සම්මානය දිනූ ඩී.එස්.සේනානායක විදුහලේ අකීල් ඉන්හාම් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා අතින් සම්මාන ලබමින්..
හොඳම තුන් ඉරියව් ක්‍රීඩක රන් සම්මාන අනුශූරතාව දිනාගත් කරන්දෙනිය මැදි විදුහලේ යොහාන් මදුසංඛ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාරද සුමනරත්න මහතා අතින් සම්මාන හිමිකර ගනිමින්..
ඡායාරූප-  විපුල අමරසිංහ, ලලිත් සී.ගමගේ තිලක් පෙරේරා


http://www.dinamina.lk

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ට යවයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ට යවයි

ලබන අගොස්තු 23 වැනි දා පැවැත්වීමට නියමත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රවේශ පත්‍ර පසුගිය 27 වැනි දා රජයේ පාසල් විදුහල්පතිවරුන් වෙත තැපැල් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩිවියට පැවසීය.
ඒ මහතා ප්‍රකාශ කළේ මෙවර මෙම විභාගය සඳහා සිසුන් 340,930ක් පෙනී සිටීමට නියමිත බවයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 290කදී මෙම විභාගය පැවැත්වේ.

මෙම විභාගය සම්බන්ධයෙන් පහත සඳහන් දූරකතන අංක ඔස්සේ විමසීම් සිදු කළ හැකිය.

පාසල් විභාග සංවිධාන ශාඛාව- දූරකතන අංක- 0112784208/011 2784537
ෆැක්ස් අංකය-              0112784422
ක්ෂණික ඇමතුම් අංකය - 1911

kpm

http://sinhala.news.lk/news/sri-lanka/item/12694-5

දෙවන පාසල් වාරය අදින් අවසන්

දෙවන පාසල් වාරය අදින් අවසන්

රජයේ හා රජයේ අනුමත පාසල්වල 2015 වර්ෂයේ දෙවන පාසල් වාරය අද (30) දිනෙන් අවසන් වේ.
උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් හැර අනෙකුත් සියලුම පාසල් ලබන අගෝස්තු මස 31 වන දින තෙවන පාසල් වාරය සඳහා විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

kpm

http://sinhala.news.lk/news/sri-lanka/item/12693-2015-07-30-04-21-21

Wednesday, July 29, 2015

ළමා අප­චාර අව­දා­නම හා වැඩි­හිටි අව­ධා­නය

දින­පතා පළ­වන පුව­ත්ප­ත්ව­ලින් මෙන් ම රූප­වා­හි­නිය, ගුවන් විදු­ලිය ආදි මාධ්‍ය මඟින් ද කියැ­වෙන තොර­තුරු අනු­ව‍ ­මෙ­රට සිදු­වන ළමා අප­චාර දිනෙන් දින වැඩි වන බව පැහැ­දි­ලි­වම පෙනෙ­න්නට ඇත. ළමා අප­චාර යනු වයස අවු­රුදු 18 ට අඩු සැම ළම­ය­කු­ටම දෙනු ලබන කායික හෝ මාන­සික පීඩා­වන් ලෙස අර්ථ­ක­ථ­නය කළ හැකිය.
ළම­යින්ට වැඩි­හි­ටි­යන් විසින් නොයෙක් අන්දමේ වධ දීම, බාල වය­ස්කාර ළම­යින් මෙහෙ­කාර සේවයේ යෙද­වීම, මත්කුඩු, මත්පැන් බෙදා හැරීම ආදි නොයෙක් හොර ජාවා­ර­ම්ව­ලට සම්බන්ධ කර ගැනීම, විවිධ ව්‍යාපා­ර­ව­ලට කුලී­ක­රු­වන් ලෙස අඩු වැටු­ප­කට යොදා ගැනීම ආදිය ළමා අප­චාර ලෙස වර්ග කළ හැකි වේ.
රටේ කොත­රම් නීති පැන­වූ­වත්, වැරැ­දි­ක­රු­වන් නීතියේ රැහැ­නට හසු කළත් මේ අප­චා­ර­වල අඩු­වක් දක්නට නොලැ­බෙන්නේ බොහෝ විට වැඩි­හි­ටි­යන්ගේ නොසැ­ල­කි­ලි­ම­ත්කම හා නොදැ­නු­ව­ත්කම නිසාය. ඒ අතර තම දූ දරු මුනු­පු­රන් වැනි අහිං­සක දරු­වන් තළා­පෙළා ශ්‍රමය සූරා­ක­රන වැඩි­හි­ටියෝ පිරි­සක් ද සිටිති. මේ දෙපි­රිස ම නිසා සිදු­වන්නේ රටක අනා­ගත පුර­වැ­සි­යන් වීමට සිටින ළමා සම්පත විනාශ වී යෑමයි.
මේ ළමා අප­චාර අවම කර ගැනී­මට වැඩි­හි­ටි­යන් දැනු­වත් කිරීම අනි­වා­ර්ය­යෙන් ම විය යුතුය. පාසල් මට්ට­මින් පට­න්ගෙන පුළුල්ව නිර­න්ත­ර­යෙන් දෙම­වු­පි­යන් දැනු­වත් කිරීම ඉතා වැද­ගත් වේ. දරු­වන්ට ද හොඳ නරක අව­බෝධ කර දීම ද සිදු­ විය යුතුය.

ශ්‍යාමලී දිල්රුක්ෂි
12 ශ්‍රේණිය,
කලා අංශය,
ශ්‍රී සාරා­ලං­කාර මහා විද්‍යා­ලය,
වැල්මිල්ල

ඔබේ අධ්‍යාපනික බ්ලොග් අඩවිය පිලිබද නොමිලේ රේඩියෝ ප‍්‍රචාරයක්


ඔබේ බ්ලොග් අඩවිය, අධ්‍යාපනික වටිනාකමින් යුතු නිසා 
ශී‍්‍රලංකා ගුවන් විදුලි සංස්ථාවේ 
ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලියේ 
ළමා ශිල්පීන් ඉදිරිපත් කරන ළමා පිටිය තුලින් 
ඒ පිලිබද ප‍්‍රචාරයක් ලබා දීමට
අප සැලසුම් සකස් කරමින් පවතී. 

ඒ සදහා කැමති ඔබ 
අපට ඔබේ බ්ලොග් අඩවිය පිලිබද දන්වා එවන්න. 

ඔබ ඉක්මනින් සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක්ද සහිතව
ඔබේ අඩවි ලිපිනයද සමගින් දන්වන්න.

vidularadio@gmail.com

Friday, July 24, 2015

උසස් පෙළ විභාගයටපිටත් වීමට



විභාගයට පෙර දින සන්ධ්‍යා කාලයේ ආගමික ස්ථානයකට ගොස් මිදුල් අමදා පිරිසුදු කොට තෙල්, මල්, පහන් පුදා බුදුන් වැඳ නමස්කාර කොට බෝධි පූජාවකට සහසම්බන්ධව ජය ප්‍රාර්ථනා කර තමාටද සෙත් පතා ගන්න. විභාග දින උදේ සුදුමල් වට්ටියක් බුදුන්ට පූජා කොට පහන් දල්වා තෙරුවන් නමදින්න.
උසස් පෙළ විභාගයේ ඒ අනුව පළමුවැනි අදියර 2015 අගෝස්තු 04 අඟහරුවාදා සිට අගෝස්තු 13 වැනි බ්‍රහස්පතින්දා දක්වාද දෙවැනි අදියර අගෝස්තු 24 සඳුදා සිට සැප්තැම්බර් 08 අඟහරුවාදා දක්වා පැවැත්වීමට මේ වන විට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර තිබේ.

විභාගයට පෙර දින සන්ධ්‍යා කාලයේ ආගමික ස්ථානයකට ගොස් මිදුල් අමදා පිරිසුදු කොට තෙල්, මල්, පහන් පුදා බුදුන් වැඳ නමස්කාර කොට බෝධි පූජාවකට සහසම්බන්ධව ජය ප්‍රාර්ථනා කර තමාටද සෙත් පතා ගන්න. විභාග දින උදේ සුදුමල් වට්ටියක් බුදුන්ට පූජා කොට පහන් දල්වා තෙරුවන් නමදින්න.
නිවෙසින් පිටත්වීට පෙර ජය පිරිතේ සඳහන්
"ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ - අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං දේව ගණා පසන්නා - ඒතේන සච්චේන ජයස්සු මය්හං" 
යන ගාථාව තෙවරක් කියන්න.

දකුණු පය පෙරට තබා පහත දක්වා ඇති සුබ මොහොතකින් සුබ දිශාව බලා විභාගයට පිටත්වන්න. සුදු මලක් දමන ලද පිරිසුදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙර මඟට හමුවන ලෙසින් ගමන් ඇරඹීම වඩා ශුභ වේ.

බුදුන් ජීවමාන සමයේදිත් සිංහල අකුරු

1996 වසරේදී ලංකාව විල්ස් ලෝක කුසලානය දිනාගන්නා තෙක් ඇතැම් ලෝකවාසීන් ලංකාව කියා රටක් ඇත්දැයිවත් දැන සිටියේ නැත. ලෝක සිතියමේ වූ මේ කුඩා තිතක් සම ලංකාව ඔවුන්ට වටිනාකමක් ඇති බිමක් ලෙස හැඟුණේ නැත. එහෙත් මතක හිටින්නට යමක් කරන්නට ලොකු පොඩි කතා, දුප්පත් පොහොසත් කතා, කිසිදු විටක බලනොපාන වග කියන්නට අප ළඟ අපමණ හේතු සාධක ඇත. ඉන් එකක් ලෙස බොහෝ අභිමානයෙන් ලංකාවේ පුරාවිද්‍යා සොයා ගැනීමක් නම් කළ හැකි බව පවසා සිටිමු.

මීට අවුරුදු එකසිය විසිපහකට පෙර ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල් මහතා විසින් ආරම්භ කරන ලද ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශය අභිමානවත් සොයාගැනීම පිළිබඳ අද ලංකාව පමණක් නොව ලෝක ඉතිහාසය පුදුම වෙමින් පවතී.
ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද ඔබ ඉතිහාසයට පෙම් බඳින්නෙක්ද? එසේ නම් අසනු මැන ඔබට ඔබේ හදවත ආඩම්බරයෙන් පුරවාගත හැකි ඒ අරුම පුදුම ඓතිහාසික සොයාගැනීම පිළිබඳව.

පුංචි දවස්වල අපි ඉගෙන ගත් ඉතිහාසයේ වූවේ අපිට සංස්කෘතියක්, ආගමක්, කලාශිල්ප, අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනය සමඟය. එය ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් අප හට ලබාදුන් ත්‍යාගයක් බවය. ඒ එදාය. ඒත් අද වනවිට ඒ ඉතිහාස පාඩම් අමතක කළ යුතුව ඇත. මහාවංසයටද තම ඉතිහාසය යළි ලියවාගත යුතු කාලය උදාවී ඇත. මන්ද අපිට අක්ෂර කලාව ලැබුණේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ කාලයේ නොව එය ඊට වසර තුන්සියයකට පෙරද මෙරට තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇති හෙයිනි.

අපි ඔබෙන් එක් ප්‍රශ්නයක් අසමු. ඔබ කවදාහරි අනුරාධපුරයට ගිහින් තිබේද? එහි පිළිතුර 'ඔව්' නම් එහි දෙවන පැනය ලෙස ඔබ කවදාහරි අනුරාධපුරයේ ඇතුළු නුවරට ගිහින් තිබේද? එහි උත්තරය බහුතරයකගේම 'නෑ' යන්න බව අපි දනිමු. ඊයේ නොගියද අදින් පසු අනුරාධපුරයට යන ඔබට ඇතුළු නුවර නම් වූ ඒ අප රටේ පමණක් නොව දකුණු ආසියාතික මානව ශිෂ්ටාචාරයම පුදුම කළ ඒ බිමට ගොස් එහි උරුමය මනසින් විඳිනා ලෙසට ආයාචනා කරමු.

ක්‍රි.පූ. තුන්වැනි සියවසේදී මෙරට පාලකයා වූ දේවානම්පියතිස්ස රජු වෙතට තම මිත්‍රත්වය පිළිබිඹු කිරීමේ ත්‍යාගයක් ලෙස ධර්මාශෝක රජු විසින් බුදුදහම එව්වේය. ඒ සමඟ මෙරට සංස්කෘතික උරුමයන් ස්ථාපිත විය. මේ අපි උගත් ඉතිහාසයයි. ඒ අනුව අක්ෂර කලාවද මෙරටට දායාද වූ වගයි. මන්ද බ්‍රාහ්මී අක්ෂර කලාව ධර්මාශෝක රජු යුගයේදී ඉන්දියාවේ ඇතිවූවක් බවට ඉන්දියාවද පිළිගෙන තිබිණි. එහෙත් මෙරට පුරාවිද්‍යාඥයන්ට එම කතාව බොරු කරන්නට හැකි වූයේ මීට අවුරුදු විසි හතකට එහා දිනයකදීය. ඒත් ඒ ඇත්ත පිළිගන්නට ඉන්දියාව මැළිවූවේ ඊට සමාන පුරාවිද්‍යාත්මක සාධක ඔවුන්ගේ බිමේ නොමැතිවීම හේතුවෙන්ය. ඔවුන් අවුරුදු විසිහතක් පුරා බලා උන්නේ අප ඉදිරිපත් කළ මතය සනාථ කරන්නට හෝ බිඳ දමන්නට හැකි සාධකයක් ලැබෙන තෙක්ය. සියල්ල කාලයා විසඳුවේය. ලොව හොඳම විසඳුම් දෙන්නා කාලය වග තවත් වරක් සනාථ කරමින් පසුගියදා අප මතය සනාථ කරන්නට හැකි සාධක භාරත දේශයෙන්ද හමුවිය. දැන් අපි එම විප්ලවයේ පර්යේෂණ බළකායේ ප්‍රබලයන් සේම ප්‍රථමස්ථානයද දිනාගෙන අවසානය.

ඒ විප්ලවයේ මුල, මැද, අග පවසන්නේ නම් එය මෙසේ සිදුවිය. ඒ පිළිබඳ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන හා නාණක විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා කරුණු දක්වාලමින් සිටියේ මෙසේය.
මීට වසර විසිහතකට එහා ගිය දිනක මෙරට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරුවේ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා. ඔහු තම දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැමවිටම නිසි ක්‍රමවේදයකින් යුතුව පර්යේෂණ කටයුතු සිදුකිරීමට ඇවැසි උපරිම සහාය ලබා දුන්නේය. ඒ අනුව එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් උපදේශක තනතුර දැරූ ආචාර්ය සිරාන් දැරණියගල මහතා යටතේ වන පර්යේෂණ කණ්ඩායමක් අනුරාධපුර ඇතුළු නුවර කැණීමක් ආරම්භ කරන්නට විය.

එම කැණීම් ක්‍රියාවලිය කැණීම් දහතුනකින් සමන්විත විය. ඒ වනවිට ඇතුළු නුවර සල්ගහවත්ත කැණීම, මහා පාලි දාන ශාලාව ආදී කැණීම් ක්‍රියාත්මක විය. මෙම කැණීම්වලදී එහි මතුපිට ස්තරය අඩි තිහක් යටට යනතුරුම සංස්කෘතික සාධක හමුවන්නට විය. එසේ හමුවන සියලු සාධකවල කාල නිර්ණය කිරීම සඳහා එම ස්තර සතු අඟුරු සාම්පල් කාබන් 14 කාල නිර්ණයටද යොමු කෙරිණි.

මෙම කැණීමේ පහළම ස්තරය ක්‍රි.පූ. 900 දක්වා අතීතයකට අයත් බවට පැහැදිලි සාක්ෂි ලැබිණි. මේ සාධක අතර විවිධ සංස්කෘතික අවධීන්ට අයත් සාධක රැසක් හෙළිදරවු වන්නට විය. ඒ අනුව ලෝහමය ඇණ, උසස් තත්ත්වයේ මැටි බඳුන්, ගවයා භාවිත වූ බවට සාධක මෙරට අශ්වයන් උන් බවට අශ්ව දත් එසේම එපමණ අතීතයකදී මෙරට ධාන්‍ය වගාව වූ බවට සාධකද ලැබිණි.

මේ ඇතුළු නුවර කළ පර්යේෂණ අනුව මුල්ම කාලයේදී ඇතුළු නුවර අක්කර 35-65 පමණ වපසරියක් තුළ ව්‍යාප්ත වූ ගම්මානයක් ලෙසද, එය ක්‍රි.පූ. 700 පමණ වන විට අක්කර 25ක් පමණද ක්‍රි.පූ. තුන්වැනි සියවස වන විට එනම් දේවානම්පියතිස්ස රාජ යුගය වනවිට අක්කර දෙසිය පනහක් පමණට ව්‍යාප්තව තිබිණි. එය ඉන්දියාවේ නගර සමඟ සසඳන්නේ නම්, උතුරු ඉන්දියාවේ පිහිටා ඇති උජ්ජෙනි හෙවත් උදේනි නගරයට සමාන තත්ත්වයට වර්ධනය වී තිබිණි. එසේම එය තවත් පසුකාලීන වනවිට ඉන්දියාවේ දෙවැනි නගරායනය ලෙස සලකන කෞෂම්බි නගරායනයේ බලපෑමටද ලක්වී ඇත.

එපමණට දියුණු තත්ත්වයක පැවැති අනුරාධපුර ඇතුළු නුවරින් හමුවූ අප්‍රමාණ පුරාවිද්‍යා සාධක අතර මුළු ලොවම මවිත කරවන්නට සමත් වූ සාධකය හමුවිය. එය වළංකටු කැබැල්ලකි. එය හමුවූයේ එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් හා කෞතුකාගාර සේවක එසේම කැණීම් කටයුතු භාරව උන් පසුකලෙක ලංකාවේ විශිෂ්ටතම පස් ස්තර සොයා ගැනීමේ විශේෂඥයා වූ ඇල්ෆ්‍රඩ්ද මෙල් අතටය. එදවස ඔහුගේ ගුරුවරයා වූ මඟ පෙන්වන්නා වූ ආචාර්ය සිරාන් දැරණියගල නම් විශිෂ්ටයා හැමවිටම කැණීම් බිමේ රැඳී සිටිමින් පර්යේෂණ මෙහෙයවූ අතර ඇල්ෆ්‍රඩ්ද මෙල් තම ගුරුවරයාට එම වළං කටු කැබැල්ල පිළිබඳ දැනුම් දුන්නේය. එය නිරීක්ෂණය කළ ආචාර්ය සිරාන් දැරණියගල මෙහි වූ අක්ෂර හා තාක්ෂණවේදය
පර්යේෂණයට බඳුන් කළේය.

ඔහු සතුවූ විශිෂ්ට දැනුම් පරාසය අනුව මෙම වළං කටු කැබැල්ල විශේෂ වූවක් වග දැන එය කාබන් කාල නිර්ණයට යොමු කළේය. ඒ අනුව ලැබූ ප්‍රතිඵලය නම් මෙම අක්ෂර සහිත වළං කටු කැබැල්ල හෙවත් මැටි බඳුන් කැබැල්ල මෙරට ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වීමය.
ලංකාවේ ඓතිහාසික යුගය ආරම්භ වූවේ ක්‍රි.පූ. තුන්වැනි වැනි සියවසේ සිට යැයි තිබූ මතය බිඳ හෙළමින්, මෙරට ඓතිහාසික යුගය ක්‍රි.පූ. හයවැනි සියවස දක්වා දිවයන බව සනාථ කරන්නට ඒ අනුව හැකිවිය.

'බිය අනුරධ' නම් බ්‍රාහ්මී අක්ෂර සහිත එම මැටි බඳුන් කැබැල්ල ක්‍රි.පූ. හයවැනි සියවස හෙවත් ක්‍රි. පූ. 600ට පමණ අයත් වග තහවුරු විය. එහි විශේෂත්වය වූයේ ඓතිහාසික යුගය ආරම්භය තීරණය කරනු ලබන්නේ අක්ෂර භාවිතය ඇරැඹීමත් සමඟ වීමය. මේ අනුව අක්ෂර භාවිතය මෙරට මීටත් පෙර සිට සිදුවූ බව මේ ඔස්සේ තහවුරු වීමත් සමඟ එය මෙම ඓතිහාසික යුගය තවත් අතීතයට රැගෙන යන්නට විය.

ඉතා කෙටියෙන් සරලව ප්‍රකාශ කළහොත් අප මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජු සමයේදී අශෝක රජුගේ අනුග්‍රහයෙන් මෙරටට ගෙන ආ බවට සැලකූ අක්ෂර කලාව, මිහිඳු හිමිත්, දේවානම්පියතිස්ස රජුත් ධර්මාශෝක රජුත් ඉපදෙන්නට පෙර සිටම මෙරට භාවිත වූ බව සක්සුදක් සේ තහවුරු වීමය. එනම් බුදුන් වහන්සේ ජීවමානව සිටි යුගය වන විටත් ලංකාවේ විසූ ආදි මුතුන්මිත්තන් අක්ෂර භාවිත කර තිබූ බවට තහවුරු වීමයි.
ආචාර්ය සිරාන් දැරණියගල තම පර්යේෂණ තවදුරටත් නිවැරැදි කරගැනීම උදෙසා එංගලන්තයේ පුරාවිද්‍යාඥයන් වූ එෆ්.ආර්. ඔල්ඩිං ප්‍රමුඛ රොබින් කනින්හැම් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් කැණීම් කොට පරීක්ෂණ පවත්වන්නට විය. ඒ අනුව ඔවුන්ටද පෙරදී ලද වළං කටුවේ කාලයටම අයත් ස්තරවලින් බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබලි ලැබීමත් සමඟ ඒවා කාලනිර්ණයට ලක් කිරීමත් සමඟ ඒවා ක්‍රි.පූ. 450 දක්වා කාලයට අයත්වන බවය. තවත් එවැනි අක්ෂර සහිත වළං කටු කැබලි අටක් මෙම ඇතුළු නුවරින් සොයා ගැනිණි.

මේ පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එවකට ඉන්දියාවේ අක්ෂර පිළිබඳ විශිෂ්ටතමයා වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා මහාචාර්ය ඉරවදන් මහාදේවන් ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවෙන්ද මේ යුගයට අයත් එවන් සාධක ලැබෙන තෙක් ලංකාවේ පර්යේෂණ ප්‍රතිඵල පිළිගත නොහැකි බවය.
එහෙත් මේ බව කාලයත් සමඟ බොහෝ දෙනකුට අමතකව ගිය සිදුවීමක්ව තිබිණි. පසුගියදා ඒ සත්‍යයම වැලි පිසලා නැඟිට්ටේය. ඒ අප ඒ හපන්කම කොට අවුරුදු විසිහතකට පසුය. ඉන්දියාවේ පොන්ඩි චෙරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. රාජන් විසින් තමිල්නාඩුවේ කොන්ගු ප්‍රදේශයේ වූ කොඩුමනල් හා පෙරුන්තාල් නමැති මෙගලිතික සුසාන කැණීමෙන් බ්‍රාහ්මී අක්ෂර සහිත වළං කටු කැබලි සොයාගනු ලැබිණි.

ඒ අනුව ඔවුන් ඒවා කාල නිර්ණය කළ අතර එම මැටි බඳුන් කැබලි ක්‍රි.පූ. 490 දක්වා කාලයට අයත් බව පිළිගැනිණි. ඒ අනුව මහාචාර්ය රාජන් විසින් ලංකාව කළ පර්යේෂණයේ වටිනාකම තහවුරු කරන ලදී. මහාචාර්ය ඉරවදන් මහාදේවන්ගේ විශ්වාසයද තහවුරු විය. දැන් දකුණු ආසියාවම පිළිගනු ලබන්නේ ධර්මාශෝක අධිරාජ්‍යයාට පෙර සිට බුදුන් වහන්සේගේ කාලයේ සිට ලංකාවත් ඉන්දියාවත් බ්‍රාහ්මී අක්ෂර කලාව පවත්වාගෙන ගිය බවය.

මෙවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද ඒදජඪඥදබ ඛ්ඥරතධද අංක 24 කලාපයට ලිපියක් යොමු කරමින් නාමල් කොඩිතුවක්කු මහතා මේ බව ප්‍රකාශයට පත්කොට ඇත. එසේම මේ බිමේ කළ පර්යේෂණ වෙනුවෙන් තම දහඩිය හෙළුෑ සියලු කම්කරුවන්, පර්යේෂණ නිලධාරීන් ඇතුළු පිරිසකටද හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සිරාන් දැරණියගල මහතා තම ස්තුතිය පුදකර සිටින්නේය. එසේම නාමල් කොඩිතුවක්කු මහතා යෝජනා කර සිටින්නේ මෙවන් අමිල උරුමයන් සහිත ඇතුළු නුවර භූමිය පුරාවිද්‍යා ආඥා පනත යටතේ සීමාවන් යොදා ආරක්ෂා කළයුතු බවයි.

කවුරුත් සුළුවට සැලකූ ලංකාව අද දකුණු ආසියානු ඓතිහාසික යුගය තවත් අතීතයකට රැගෙන යන්නාවූ ඒ මහා විප්ලවයේ පූර්ව ප්‍රකාශයන්ව අවසානය.
ඒ මහා විප්ලවයේ ඉදිරි කටයුතු සිදුකිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු භාරදූර වගකීම්ද වන්නේය. එතෙක් ලංකාවේත්, ඉන්දියාවේත් අතීතය සොයා යන පුරාවිද්‍යාඥයනි ඔබට අප 'මව්බිමේ' සැබෑ උත්තමාචාරය පිළිගන්වා සිටිමු.
සඳරැසි සුදුසිංහ

http://www.mawbima.lk/55-90973-news-detail.html

පැන්සල් පෙට්ටිය


සිතාරි ඉගෙන ගන්නේ දෙකේ පංතියෙ. එයාගෙ අම්ම සිතාරි ඉගෙන ගන්න ඉස්කෝ­ලෙම ගුරු­ව­රි­යක්. මේ පාර සිතා­රිගෙ උපන් දිනේ දවසෙ එයාට ගොඩාක් තෑගි හම්බ වුණා. ඒ තෑගි අතරෙ තිබුණා ලස්සන පැන්සල් පෙට්ටි­යක්. සිතාරි මේ පැන්සල් පෙට්ටි­යට ගොඩාක් ආසයි.
සිතාරි මේ පැන්සල් පෙට්ටිය පංතියෙ යාළු­වන්ට පෙන්නුවේ ගොඩාක් ආඩ­ම්බ­රෙන්. එයා ඒක කාට­වත් අල්ල­න්න­වත් දුන්නේ නැහැ.
සිතා­රිගෙ පංතියෙ හිටිය පියුමි කියල ටිකක් දඟ­කාර ළම­යෙක්.
“මේක පැළ කලාම පැන්සල් පෙට්ටි ගහක් ම හැදෙ­නවා” රතු­පාට පුංචි ඇට­යක් සිතා­රිට පෙන්නාපු පියුමි කීවා.
“බොරු...” සිතාරි කීවා.
“බොරු නෙමෙයි ඇත්ත­මයි. මං ඔයාට මේක දෙන්නම්. පැළ කරල බලන්න මට ඔයාගෙ පැන්සල් පෙට්ටිය දෙන්න.” පියුමි කීවා.
පැන්සල් පෙට්ටි ගොඩාක් ගහ­කින් කඩා ගන්න තිය­නවා නම් කොයි­ත­රම් හොඳ­යිද කියලා හිතාපු සිතාරි පැන්සල් පෙට්ටිය දීල පියුම ළඟ තිබුණු ඇටය ගත්තා.
පහු­වෙ­නිදා නිවාඩු දව­සක්. සිතාරි විටින් විට මල් පාත්ති­යට වතුර ගිහින් දානවා දැකපු සිතා­රිගෙ අම්මා සිතා­රි­ගෙන් ඒ ගැන ඇහුවා. එයා අම්මට විස්තරේ කීවා. එත­කොට අම්මට තේරුණා පියුමි ඔළිඳ ඇට­යක් පෙන්නලා සිතා­රිව රව­ට්ටලා පැන්සල් පෙට්ටිය අර­ගෙන කියලා. සිතා­රිගෙ අම්මට හොඳට ම තර­හයි.
“මෙහෙ­මත් මෝඩ ළම­යෙක්” කියල සිතා­රිට බැණපු අම්ම කෝටු­වක් අර­ගෙන සිතා­රිට පාරක් ගැහුවා.
“හෙට ඉස්කෝ­ලෙදි මං පියු­මිට හොඳ පාඩ­මක් උග­න්න­න්නම්කො. දණ ගස්සල තිය­නව ආය­මත් හොර වැඩ නොක­ර­න්නම.” අම්මා තර­හින් පුපු­ර­මින් කීවා.
‍ඒත් ඊට පස්සෙ දවස් දෙකේ ම පියුමි ඉස්කෝලේ ආවේ නැහැ.
“හොර වැඩක්නෙ කළේ. ඒකයි ඉස්කෝලෙ එන්න නැත්තේ.. අද මං යනවා ගෙද­ර­ටම...” පහු­වෙ­නිදා හවස අම්ම පියු­මිගෙ ගෙදර යන්න ලෑස්ති වුණා.
“ගෙද­රට හොයා­ගෙන යන්න තරම් ලොකු හොර­ක­මක් ඒ ළමය කරල නැහැනේ.. පොඩි ළමයි කොහො­මත් ලස්සන දේව­ල්ව­ලට ආස­යිනේ. ඒකයි ඔය වගේ වැඩක් කරන්න ඇත්තේ.” සිතා­රිගෙ තාත්තා කීවා.
“ලොකු වුණත් පොඩි වුණත් කරල තියෙන්නේ වැරැ­ද්දක්නේ. දෙම­වු­පි­යොත් දැන­ගන්න ඕන දරුවා යමක් ගෙනා­වම කොහෙන්ද කියල අහන්න.” එහෙම කියාපු අම්මා සිතා­රි­වත් එක්ක­ර­ගෙන පියු­මිලා ගෙද­රට යන්න පිටත් වුණා.
කීප දෙනෙ­කු­ගෙන් ම පාර අහ­ගෙන සිතා­රියි අම්මයි සෑහෙන දුරක් ගියා.
“අර වෙල් යායෙන් එහා ඈතින් පෙනෙන ගේ තමයි නෝනලා හොයන්නේ.” එක් අයෙක් සිතා­රි­ලාට පියු­මිගෙ ගෙදර පෙන්නුවා.
“කඩේට ගියා නෝනා. දැන් එනවා ඇති. ඇයි නෝනලා අපේ කෙල්ල හොයා­ගෙන ගෙද­රට ම ආවේ...?” පියු­මිගේ තාත්තා ඇහුවා.
සිතා­රිගෙ අම්මා විස්තරේ කීවා.
“බලන්න හාමිනේ කරල තියන වැරදි වැඩේ. අපට කීවේ යාළු­වෙක් දුන්නා කියලා. ආව­දෙන්කො ගෙදර. අද මම හොඳ පාඩ­මක් උග­න්නන්න.”
“දරු­වට ගහල වැඩක් නැහැ පියු­මිලා තාත්තේ.. අපි එයාට තේරුම් කරල දෙමු එයා කරපු වැරැද්ද ගැන. පොඩි ළමයි ‍ඔහොම තමයි. නොතේ­රුම් කමට වැරදි කර­නවා...”
මේ වෙන­කොට කඩේට ගිය පියු­මිත් ගෙදර ආවා. සිතා­රි­ලාව දැකපු පියුමි හොඳට ම බය වුණා.
“මොකක්ද මේ කරල තියෙන‍්නේ...?” පියු­මිගෙ තාත්තා සැරෙන් ඇහුවා.
“පියුමි... පුතේ... ඔයා කරල තියෙන්නේ ලොකු වැරැ­ද්දක්නේ. අනුන්ගෙ දේවල් බොරු කියල රව­ට්ටලා ගන්න හොඳ නැහැ. ඒක වංචා­වක්, හොර­ක­මක්. පුංචි කාලෙදි පොඩි වැරදි කරන අය තමයි ලොකු වුණාම ලොකු ලොකු වැරදි කරල හිර ගෙදර ගිහින් දුක් විඳින්නේ. හොඳ ළමයි කව­දා­වත් ඔය විදිහේ දේවල් කරන්නේ නැහැනේ.” සිතා­රිගෙ අම්මා කීවා.
සිතා­රිගෙ අම්මා කීව දේවල් අහ­ගෙන හිටපු පියුමි ගේ ඇතු­ළට ගිහින් පැන්සල් පෙට්ටිය ගෙනත් සිතා­රිට දුන්නා. සිතා­රිගෙ අතින් පැන්සල් පෙට්ටිය ඉල්ලලා ගත්තු අම්මා ඒක ආයි­මත් පියුමි අත­ටම දුන්නා.
“ඔයා‍ ­මේක තියා ගන්න පුතේ... හැබැයි මීට පස්සෙ ඔය වගේ වැරදි වැඩ කරන්න එපා. තමන් ළඟ නැති දෙයක් හොර­කම් කරන්නේ නැතුව ඉල්ලලා ගන්න පුරුදු වෙන්න. මීට පස්සේ හොඳ ළම­යෙක් වෙන්න.” දණ ගහල වැඳපු පියු­මිගේ ඔළුව අත­ගාපු සිතා­රිගෙ අම්ම කීවා.
කඳුළු බේරෙන දෙනෙ­තින් ඉස්කෝලේ හාමිනේ දිහා බලපු පියුමි හා කියලා ඔළුව වැනුවේ ආයි­මත් කව­දා­වත් බොරු කියල හොර­කම් කරන්නේ නැහැ කියල හිතා­ගෙ­න­මයි.
කේ.ජී. ප්‍රදීපා මහේ­ෂිකා
12 ශ්‍රේණිය කලා (2015)
ඩෙන්සිල් කොබ්බෑ­ක­ඩුව මහා විද්‍යා­ලය,
හාලි­ඇල, බදුල්ල.

http://www.silumina.lk/2014/09/14/_art.asp?fn=au140914

Monday, July 20, 2015

ඔබේ අධ්‍යාපනික බ්ලොග් අඩවිය පිලිබද නොමිලේ රේඩියෝ ප‍්‍රචාරයක්


ඔබේ බ්ලොග් අඩවිය, අධ්‍යාපනික වටිනාකමින් යුතු නිසා 
ශී‍්‍රලංකා ගුවන් විදුලි සංස්ථාවේ 
ස්වදේශීය සේවා විදුල ළමා ගුවන් විදුලියේ 
ළමා ශිල්පීන් ඉදිරිපත් කරන ළමා පිටිය තුලින් 
ඒ පිලිබද ප‍්‍රචාරයක් ලබා දීමට
අප සැලසුම් සකස් කරමින් පවතී. 

ඒ සදහා කැමති ඔබ 
අපට ඔබේ බ්ලොග් අඩවිය පිලිබද දන්වා එවන්න. 

ඔබ ඉක්මනින් සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක්ද සහිතව
ඔබේ අඩවි ලිපිනයද සමගින් දන්වන්න.

vidularadio@gmail.com

විනාඩි දෙකයි. ටක් ගාලා.

හිත රවටා හීන පෙන්වන වචන අලෙවිය

විනාඩි දෙකයි. ටක් ගාලා. රසම රසයෙන්. මෙවැනි වචනයක් ජනතා ආකර්ෂණය දිනා ගන්නේ නිතැතින්. බොහෝ දරුවන් විතරක් නෙවෙයි අම්මලාත් විනාඩි දෙකෙන් හදන කෑම වලට ගොඩක් කැමැතියි. මොකක් හරි දීලා දරුවන් ගේ කුස පුරවනවාට වඩා දරුවන්ට පෝෂණයෙන් යුක්ත කෑම දීමට අම්මලා වග බලාගතයුතුයි. පලා ටිකක් අලුත් මාළු දරුවන්ගේ කෑම වේලට එකතු කරගන්න එක හොඳයි. නැතිනම් ටක් ගාන්න ගිහිල්ලා ගොඩක් කෑවට හැදෙන ලෙඩ ටික නම් ටිකක් එහෙම නෙවෙයි.

දවටනයට හා වෙළෙඳ ප්‍රචාරණයට රැව‍ටිලා ගොඩක් දේවලට දැන් හිත යන්නේ දරුවන්ගේ විතරක් නෙවෙයි. අම්මලාගෙත් හිත ඇදිලා යන එක අරුමයක් නම් නෙවෙයි. අලුත්ම පලතුරු ගහෙන් කැඩුවා වගේ කියලා අඹ බීම එකක් පෙන්නුවත් ඔබ හිතනවා ද එයට රස කාරක යොදලා නැහැ කියලා. දරුවන් මෙන්ම අම්මලා මුළාවේ දමන අලෙවි ප්‍රවර්ධනය සියලු දෙනාම අන්ධ කරන්න ගත කරන්නේ එක තප්පරයක් විතරයි. උපතින්ම අන්ධවීමත් සැබැවින්ම අන්ධවීමත් ප්‍රශ්නයක් නැත. එහෙත් දෑස් ඇරගෙන අඳුරේ අතපත ගෑම ඊට වඩා භයානකයි.

ඇයි දන්නව ද පුතාගේ අම්මා පුතාට මේවා දෙන්නේ පුතාට ආදරේ නිසා. පුතාට ඉක්මනින් ලොකුවෙන්න පෝෂ්‍ය පදාර්ථයෙන් යුතු ආහාර දෙන්න ඕනේ. නැණවත් මවක් හැම විට පාවිච්චි කරන්නේ මේ වගේ ආහාර. අපේ අම්මලාට මේ වගේ වචන කනට මී පැණි වත්කරනවා වගේ. ඇත්තටම නැණවත් අම්මලාගේ තේරිම මේක නම් ,මාත් නැණවත් අම්මා කෙනෙක් වෙන්න ඕනේ. ඔන්න ඔහොම හිතලා අමුම අමුම මෝඩ වැඩ කරනවා. ගෙදර තියෙන තැඹිලි, පලතුරු කඩේට යවලා. කඩේ තියෙන පාන් පිටි ගොඩවල් දරුවා ගෙනත් දෙනව සැකයක් නැතුව.

ඊට පස්සෙ මෙහෙම කියනවා. අනේ අපේ පුතා හරිම චබී. අයි ඩොන්ට් නෝ. වට්ටු ඩූ, මේ වගේ කතා හොඳයි ඉතින් කොණ්ඩේ බැදපු චීන්නුන්ට. දැන් ඇල්ලු වගේ මාළු ඔබේ මේසයට, ඉතින් කට්ටියම රැවටිලා හරිම ‍‍ෆ්‍රෙෂ් මෙයා කියලා ගන්නවා. අර රසකාරක නාවපු මාළු කෑල්ලක් මොන ෆ්‍රෙෂ් ද මෙයා. කෑවට පස්සේ හොයා ගන්න බැරි ලෙඩ ගොඩයි. අලෙවිකරණයෙන් මිලදී ගත් මනුෂ්‍ය ජීවිත රූප පෙට්‍ටිය විසින් පෙන්වන කෑම ජාති ඔක්කොම බඩට දා ගන්නේ කිසිම බයක් නැතුව.

තේ හදනවා. තේ බෙදනවා. ගමේ ගෙඩේ අය තේ බෙදනවා දැක්කම අපේ අයත් ගන්නෙම ඒ තේ. රැවටෙන රැවටිල්ල වචනවලින් විග්‍රහ කරන්න අපහසුයි. නියම කහට කිව්වම තවත් අය රැවටෙන ආකාරය කියලා වැඩක් නැහැ. අලෙවිකරණයෙන් නියම කරන දෙය තමයි අපි කොයි කාගේත් ආහාරය වෙන්නේ. ඇයි එකක්. ඉල්ලන්නකෝ දෙකක්. ඉතින් අපේ අය එකට දෙකක් දෙයි කියලා ඒක ගන්නවා. අන්තිමේ දී අතේ තියෙන මුදල් නිකරුණේ නාස්ති වෙනවා. මේ නාස්තිවීම සිදුවන්නේ අපිට නොදැනුවත්වමයි. මේ නොදැනුවත් බව නොදැනීම අරුමයක්.‍
අක්කායි නංගියි ද නැහැ අම්මායි දුවයි. මේ සබන් ගෑවහම තමයි මෙහෙම වෙන්නේ. රූපපෙට්ටිය හඳුන්වා දෙන අරුමෝසම් හැම දෙයක්ම කරන්න යන්නේ රූපය සහ වචනවල තියෙන ලස්සන නිසා. මේ ලස්සන මුදලට විකිණෙන්නේ උඩ යන සරුංගලයක් වගේ. සුළඟක් වගේ ඇවිත් ඇගේ හැපී ඇස් ඇරුන දාට සිදුවෙන අවදි වීම පුදුමයි. මේ අවදිවීම සිදුවෙන තෙක් බොහෝදෙනා හීන දකින්න පුරුදු වෙලාවත් ද? ඇත්තටම මේ තරමටම සිත රැවටිලිකාර ද? මගේ පුතාට මම දෙන්නේම මේවා. විටමින් ගුණ සපිරි නිසා පොඩිත්තෝ හරිම ආසයි. මේ ආසව තරුණ අම්මා කෙනෙක් කිව්වහම අද හැම අම්මාම පිළිගන්න තරම් නියතයක්. මේ නියතය නිසා අද බොහෝදෙනා අතරමං කියලා කියන්න පුළුවන්.

භාණ්ඩයක් නිෂ්පාදනයේ සිට අලෙවිය තෙක් ක්‍රියාවලිය හැසුරුවන්නේ යම් කිසි වචන පරිචයකට හසුවෙමින්. ‍ඒ වගේම මුල් නිෂ්පාදනයේ සිටම එය අලෙවි කරගැනීම යම් ක්‍රියාපිළිවෙතක් දරන්න සිදුවීම අවධාරණාත්මකව කිව යුතුයි. එහෙත් අද නම් අලෙවිකරණය සිදුවෙන්නේ වචන හරඹයකින්. මේ වචන හරඹය කිසියම් ක්‍රියාවලියකට බද්ධවෙලා සිදු වුවත්, අවසානයේදී සිදුවන්නේ භාණ්ඩ අලෙවියක්. අලෙවියේ දී භාණ්ඩයේ ඇති ගුණත්වය හා සවරූපය වචනවලින් විග්‍රහ කළයුතු ‍වෙනව. නැතිනම් භාණ්ඩයට නිසි අලෙවියක් ලබාගැනීමට නොහැකි වීමෙන් නිෂ්පාදකයා පමණක් නොවෙයි අලෙවිකරුවාත් අපහසුවට ලක්වීම සුලබයි. එහෙත් අලෙවිය රැව‍‍ටීමක් නොවන්නේ කියන ගුණත්වය භාණ්ඩයේ තිබීමෙන් පමණි. මුදල ගැන මෙන්ම මුදලට අලෙවි වෙන දේ පිළිබඳවත් මඳක් සිතුවොත් පාරිභෝගිකයා රැවටෙන්නේ නැත.

“වයරිං” කරගෙන මඟතොටේ යන්නෙ බලාගෙනයි!


මීට අවුරුදු 20 කට විතර කලින් - ඒ කියන්නෙ සෙලියුලර් ෙෆා්න් ඉහළ පෙළැන්තියේ භාණ්ඩයක් හැටියට තිබුණු කාලෙ සිද්ධියක් මට අද වගේ මතකයි. හයිකාරයන්ගෙ පෙළැන්තියේ නැතත් මගේ ළගත් සෙලියුලර් ෙෆා්න් එකක් තිබුණා. මම සෙලියුලර් ෙෆා්න් එකක් ගත්තෙ ඊට කලින් වෙච්ච ලොකුම විපතක් මට දැන ගන්න හුඟක් පරක්කු වුණු නිසයි. සුපිරි භාණ්ඩයක් හැටියට තිබුණත් මා ළඟටත් එයින් එකක් ආවෙ ඒ විදිහටයි. ඉතින් කතාව කියල ඉමුකො.
මට ආපු කෝල් එකකට කතා කතා කර කර මම කෝච්චියෙන් බැහැලා එනවා. මා ළගට දුවල ආපු කෙනෙක් මගෙන් ඇහුවෙ ‘හෂාන් අවුට් ද?’ කියල. මම ටිකක් අන්දුන් කුන්දුන් වුණත් ක්ෂණයකින් මට සේරම වැටහුණා. ඒ දවස්වල ලංකා නවසීලන්ත ටෙස්ට් මැච් එක. දකින දකින තැන්වල පොකට් රේඩියෝ කනේ ගහගෙන මැච් අහන අය හිටියෙ. මගෙන් හෂාන් අවුට්ද අහපු කෙනා හිතන්න ඇති මමත් පොකට් රේඩියෝ එකක් කනේ තියාගෙන ඉන්නව කියලා. එහෙම හිතා ගෙන වෙන්න ඇති මගෙන් එහෙම ඇහුවේ.
මම ටිකක් හිනාවෙලා. එයාට ෙෆා්න් එක පෙන්නලා ගියා.
ඒ එදා... ඒත් අද තත්ත්වය හුඟක් වෙනස්. අද හැම කෙනෙක් ළඟම මොබයිල් ෙෆා්න් එකක් තියෙනවා. මේ වෙනකොට ඒ මොබයිල් ෙෆා්න් එකත් මොඩ් වෙලා. ඒක ස්මාට් වෙලා. දැන් ඒක තවත් ටිකක් ලොකු වෙලා ටැබ් එකත් ඇවිත්. ටැබ් එකක් අතේ තියා ගත්තහම මුළු ලෝකෙම අතේ තියා ගත්ත වගෙයි. ඉන්ටර්නෙට් එක අත ළගනෙ. ලෝකෙ වෙන ඕනම දෙයක් තත්ත්පර ගානෙන් තමන්ගෙ අතට එනවා. ඒ විතරක්ද ඉස්සර වගේ නෙමෙයි. දැන් තමන්ටත් ඒකට අදහස් එකතු කරන්න පුළුවන්.
අපි මේ කියන්න යන්නේ ඒ කතාව නෙමෙයි.
මේ සෙලියුලර් ෙෆා්න් එක දෙපැත්ත කැපෙන අවියක් කියන එක මේ වෙන කොට බහුවිධ ඇත්ත තත්ත්වයක් වෙලා තියෙන නිසයි. මොකද අපේ තරුණ පරම්පරාවෙන් මේ පෝන් හරියටම පාවිච්චි කරන්න හැකියාව තියෙන්නෙ හරි අඩකට විතරයි කියලයි අපට වාර්තා වෙන්නෙ. ඒක අඩමානෙට කියන කතාවක් එහෙම නෙමෙයි. වගකිව යුතු තැන්වලින්මයි ඒ බව දැන ගත්තෙ. ඇත්ත තත්ත්වයයි ඒ කිව්වෙ.
එහෙමනම් මොකක්ද වෙලා තියෙන්නෙ.
අද බස් එකක කෝච්චියක යන අය දිහා බලන්න. ඒකෙන් තුනෙන් එකක විතර කට්ටියකගෙ කන් දෙකේම වයර් ගහගෙන ෙෆා්න් එක අතේ. එහෙමත් නැත්නම් හෑන්ඩ් බෑග් එකේ එහෙමත් නැත්නම් සාක්කුවේ. මේ අයගේ අවධානය තියෙන්නෙ තමන්ගෙ කනේ තියෙන ෙෆා්න් එක ගැන විතරයි. සමහර වෙලාවට බස් එකෙන් කෝච්චියෙන් බහින තැන විතරක් නෙමෙයි. පාරෙ යන එන ඒවත් මතක නැතිවෙන තත්ත්වයක් තියෙන්නෙ.
කෝච්චියෙ බස් එකේනම් බහින තැන් අමතක වෙන එක විතරනේ දෙයියනේ වෙන්නෙ. ඒ වුණත් ගිය අවුරුද්දෙ විතරක් මේ විදිහට ෙෆා්න් කනේ ගහගෙන රේල් පාරේ ගිහින් 25 දෙනෙකුට විතර ජීවිත අහිමි වුණා.
හැටන් පැත්තෙ උසස් පෙළ තරුණියක් ෙෆා්න් එක කනේ ගහගෙන ගිහින් කෝච්චියෙ හැප්පුණාට පස්සෙ එයාට මිස් කෝල් 100 කට වඩා ඇවිත් තිබුණලු. ඒ එයාගෙ පෙම්වතාගෙන් කියලයි වාර්තා වුණේ. ඒත් වැඩක් තියෙනවද? ජීවිතේ නැතිවුණේ ඒ ෙෆා්න් එක නිසානෙ.
පහුගිය දවසක කොළඹ ඉඳල පොල්ගහවෙලට ගිය කාර්යාල දුම්රියක හිටපු පෙම් යුවළක් දෙන්න එකම ෙෆා්න් එකෙන් සින්දු අහගෙන ගිහින්. මගදි දෙන්නටම හොඳට නින්දත් ගිහින්. ඒ කෝච්චියෙ මීරිගමින් පස්සෙ සීට් ගානටවත් සෙනඟ නැහැ. කෝච්චිය පොල්ගහවෙලට ගිහින් මගීන් බැස්සට පස්සෙ ධාවනාගාරයට ගිහින්. එතන හිටපු සේවකයෙක් දුම්රියේ ජනෙල් කවුළු වහනකොට තමයි දෙන්නට ඇහැරවලා තියෙන්නෙ.
ඒ සේවකයාගේ හොඳකම නිසා එයාල දෙන්න එහෙම ගියාට ඒක බරපතළ වරදක් වෙන්න තිබුණා. එකක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් චෝදනාවක් එල්ල ‍ෙවන්න තිබුණා. හිස් දුම්රිය මැදිරි තුළ විශේෂයෙන් ධාවනාගාරයේ ඇති මැදිරි තුළ මගීන් සිටීම බරපතළ වරදක් ඒක සොර
කම් කිරීමට උත්සාහ කිරීමක් යටතේ ඉදිරිපත් කරන්න තිබුණා. අනෙත් කරුණ නීතියෙන් පොදු වාහනයක් තුළ අයාලේ හැසිරීමට උත්සාහ දැරීමක් කියල චෝදනාවක් එල්ල වෙන්නත් තිබුණා. දෙයියනේ එහෙම දෙයක් වුණානම් දෙන්නටම මොකද වෙන්නෙ. අම්මට තාත්තට යහලු යෙහෙළියන්ට කොහොමද මුහුණ දෙන්නේ.
අනිත් එක පාලු කෝච්චියෙ අවධානයක් නැතිව ගිය දෙන්නට එක එක නොසංඩාල අයගෙන් අඩන්තේට්ටම් වෙන්නත් තිබුණා. දෙන්නටම ජීවිතේ ඕන නැති වෙයි.
ඉස්සර වගේ නෙමෙයි. දැන් ෙෆා්න් එක නිසා ගමනක් බිමනක් යන ගමන්ම විනෝදය ලබා ගන්න පුළුවන්. කැමැති සින්දුවක් අහගන්න පුළුවන්. ගෙදර ගිහින් කැසට් රේඩියෝ අහන්න ඕන නැහැ. ඒත් තමන්ගේ ආරක්ෂාව කියන එක ගැන මුලින් හිතන්න ඕන කියන එක නම් මතක් කරන්නම වෙනවා. අද බොහෝ දෙනාටම අමතක වෙන්නෙම ඒකයි.
මේ විදිහට ෙෆා්න් එකේ වයර් කනේ ගහගෙන සින්දු අහගෙන හිටපු ගැහැනු ළමයෙක් දුම්රිය ස්ථානය ළං වෙද්දි බහින්න ආවා. එයාට ඒ එක්කම කෝල් එකක් ආව මං හිතන්නේ. කෝල් එකට උත්තර දීල ඉවර වුණු ගමන් එයා කෝච්චියෙන් බැස්සා. එයා කෝච්චියෙන් බහින්න ගියාට ඒ වෙනකොටත් කෝච්චිය වේදිකාවේ නවත්තල තිබුණෙ නැහැ. හොඳ වෙලාවට වේදිකාව ඇතුළට නෙමෙයි වේදිකාවෙන් පිටතටයි එයාව විසිවෙලා වැටුණේ. මේ දේවල් වළක්ව ගන්න තිබුණ දේ නේද?
තව දවසක් 120 බස් එකක පිළියන්දල පැත්තෙ ඉදල ආපු අපේ ලොකු මහත්තයෙක් ළඟ වාඩි වෙලා හිටපු තරුණ ගැහැනු ළමයෙක් මෙලෝ සිහියක් නැතිව ෙෆා්න් එකේ සින්දු අහ අහ ඇවිත්. තුම්මුල්ලෙදි කෝල් එකක් ආපු ගමන් කලබල වෙලා ඇහුවලු ‘ අන්කල් මේ කොයි හරියද?‘ කියලා. තුම්මුල්ල කියපුවහම අහල තියෙන්නෙ කොහුවල පහුවුණාද ? කියලා.
මේ විදිහට ෙෆා්න් කනේ ගහගෙන යන අය ගැන ගැට කපන අය හොඳ විමසිල්ලෙන් ඉන්නෙ. එයාලගෙ භාෂාවෙන් කියන්නෙ ‘වයලට්‘ල නැත්නම් ‘වයර්වතී‘ කියලා. වයලට් කියල ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම පොදුවේ කියනවා. ඒ බව අපේ තරුණ පරපුර තාම දන්නෙ නෑ.
හැබැයි දැනගන්නකොට හුඟක් පරක්කු වෙන්න පුළුවන්. ඒක නිසා ඔය ෙෆා්න් සින්දු ඇහිල්ල විනෝද වීම කමක් නැහැ. ඒත් දුම්රියේ බස් රියේ විතරක් නෙමෙයි කහ ඉරේදි පාර මාරු වෙද්දිවත් ඒ ගැන හොඳ සිහි බුද්ධියෙන් හිටි­‍ෙයාත් හොඳයි. නැත්නම් දවසක තමන්වම උස්සගෙන යනකල් නොදැන ඉන්න වෙයි.
අද අලුත්ම මෝස්තරේ වෙලා තියෙන්නෙ එක ෙෆා්න් එකෙන් ඉයර් ෙෆා්න් එකෙන් දෙන්නෙක් රස විඳින එක. අනේ කොච්චර හොඳ දෙයක්ද? සහයෝගය සහෝදරත්වය නෙ පෙන්නුම් කරන්නෙ. ඒත් මේ අයට නොතේරෙන තාක්ෂණයකුත් එතන තියෙනවා. ස්ටීරියෝ විදිහට එහෙමත් නැත්නම් ඒ රසය නියම විදිහට විඳින්න නම් ඉයර් ෆෝන් එකේ වයර් දෙකම තමන්ගෙ කන් දෙකට එන්න ඕන. ඒකත් මේ අලුත් පරපුර දන්නෙ නැහැනෙ.
ඒත් එක්කම අවදානම ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන. විශේෂයෙන්ම හවස 6 න් පස්සෙ යන කෝච්චිවල බස්වල යන වයර්වතී, වයලට්ලට දඩයම් කරන්න කට්ටියක් බලන් ඉන්න බව අමතක කරන්න එපා. එයාල හොඳට දන්නව. අපේ දුර්වල තැන්. ඒවට ඉඩ තියන්න එපා. මොබයිල් ෙෆා්න් එක තව දුරටත් කතා කරන්න පණිවුඩයක් එහා මෙහා කරන්න ගන්න උපකරණයක් විතරක් නෙමෙයි තියල අපි දන්නවා. ඒ වුණත් විනෝදයයි රටයි ලෝකෙයි ගැන දැනුවත් වෙලා බලන කොට තමන් මාසයක් ම දර දිය ඇදල හරි හම්බ කරපු පොකට් එකට විදලා නම් එහෙමත් නැත්නම් බෙල්ලෙ තියෙන චේන් එකට විදලා නම් ඉතින් සේරම වැඩ හමාරයිනේ. ඒක නිසා ෙෆා්න් එකයි විනෝදයයි එක්කම සිහි බුද්ධියත් අනිවාර්යයෙන්ම තියා ගන්න. එතකොට කිසිම ගැටලුවකට මුහුණ දෙන්නේ නැතුව අපේම වැඩ අපිටම කර ගන්න පුළුවන් වෙයි.

සිසුන් HIV ආසාදනයෙන් ගලවා ගන්නට නම්...?


“මේක පුදුම රටක්නෙ. ළමයෙක් ගෙයින් එළියට යවන්නත් බයයි”
“ළමයින්ගෙ පස්සෙන් ම යන්න කාට ද පුළුවන් නෙ?”
මේ දෙබස මට ඇසුණේ බස් රියක ගමන් කරමින් සිටිය දී ය. පුවත්පතකින් දුටු පුවතක් මවුවරුන් දෙදෙනකුගේ බියට හේතු වී තිබිණ.
ඔවුන්ගේ කැලඹීමට හේතු වී තිබුණේ මෑත දී හඳුනාගත් HIV ආසාදිතයන් අතර පාසල් සිසුන් පිරිසක් ද සිටින බවට පළවූ පුවත්පත් වාර්තාවකි.
දැනුවත් කිරීම
“ප්‍රජනන සෞඛ්‍යය” සම්බන්ධ ව යොවුන් සිසුන් දැනුවත් කිරීමේ යෝජනාව මීට වසර කිහිපයකට පෙර පරාජය වුණා. එහි ප්‍රතිඵල තමයි ඒඩ්ස් හැටියට ලැබී තිබෙන්නෙ.” HIV නිවාරණ ඒකකයේ වෛද්‍යවරයෙක් මෑත දී ප්‍රකාශ කළේය.
HIV ආසාදනය වීමේ අනතුර පිළිබඳ කලබලයට පත් වූ වැඩිහිටියන්ගේ අදහස් අනුව හැඟී යන්නේ මෙය සදාචාරය පිරිහීමේ ගැටලුවක් හැටියට ය. එහි කිසියම් සත්‍යයක් තිබිය හැකි ය. එහෙත් මෙහි තවත් පැත්තක් තිබේ. එනම් වැඩිහිටියන් තරුණ දූ පුතුන්ගේ සදාචාරය පිළිබඳ ව දක්වන ආකල්පය දෝෂ සහිත බව ය; එය තරුණ දරුවන් විපතට පත් වීමේ හේතුවක් බවට ද පත් විය හැකි බව ය. මේ ඒ පිළිබඳ ව වෛද්‍යවරයකු දක්වන අදහස් ය මේ.
“අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ වැඩසටහනක් සංවිධානය කිරීම සඳහා අප සමඟ සාකච්ඡා කළ විදුහල්පතිවරයකු කියා සිටියේ මේ සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගත යුතු බව යි. නමුත් ඔවුන් කැමැති වුණේ නෑ.”
කුරුණෑගල මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී හැටියට කලක් සේවය කළ වෛද්‍ය එම්. බණ්ඩාර මහතා එසේ සඳහන් කරයි. තරුණ සිසුන්ගේ සදාචාරය සම්බන්ධයෙන් දෙමාපියන්ගේ සිත්වල ඇති වැරැදි ආකල්ප එයින් පෙනේ.
ලිංගාශ්‍රිත රෝග බහුල ව ව්‍යාප්ත වන කලාපයක් හැටියට සැලකෙන කුරුණෑගල නගරයෙහි උපකාරක පන්ති සඳහා සති අන්තයෙහි සිසුන් දස දහසකට අධික පිරිසක් පැමිණෙති. ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ කුරුණෑගල මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය විශේෂ සැලකිල්ලක් දැක්වීමෙහි ප්‍රතිඵල ලෙස, තරුණ පිරිස් විශාල වශයෙන් දැනුවත් කිරීමේ වැඩ සටහන් සඳහා සහභාගි වී ඇත.
පසුගාමී ආකල්ප
ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය තරුණ හා වැඩිහිටි පිරිස්වලට ලබා දීම සඳහා අවශ්‍ය සූදානම රජයේ සෞඛ්‍ය කාර්යාංශවලට ඇතත්, ගුරුවරුන්ගේත් දෙමාපියන්ගේත් පසුගාමී ආකල්ප මීට බාධාවක් ව පවතින බව වෛද්‍ය එම්. බණ්ඩාර මහතාගේ අදහස යි.
ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය විෂයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සතු ව වගකීම් රැසක් පවතී. එම වගකීම් ඉටුකිරීම සඳහා ගුරුවරුන්, දෙමාපියන්, ආගමික සංස්ථාව සහ දේශපාලන සංස්ථාව සහයෝගය ලබා දිය යුතු ය.
9, 10 ශ්‍රේණිවලට නියමිත සෞඛ්‍ය පොත්වල ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමෙන් කරුණු ඇතුළත් කර ඇත. එහෙත් විෂය උගන්වන ගුරුවරු බොහෝ විට මේ කරුණු මඟ හරිති. නො එසේ නම් උඩින් පල්ලෙන් කරුණු පහදා දෙති. පාසල් සිසුන් ඉදිරිපිට අපහසුතාවට පත්වීමට තුඩු දෙන සංස්කෘතික පසුබිමක් ද පවතී. අනෙක් වැදගත් කරුණ වන්නේ එවැනි පාඩමක දී සිසුන් අසන ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරු ලබා දීමේ ඥානයක් සහ විෂයාවබෝධයක් ගුරුවරුන්ට නොතිබීම ය.
ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය, අස්ථි පද්ධතිය සහ පේශි පද්ධතිය පිළිබඳ සිසුන් දැනුවත් කරන ගුරුවරයා ප්‍රජනන පද්ධතිය පිළිබඳ නිවැරැදි ව කරුණු කීමට උකටලී වීමේ ප්‍රතිඵලය වනුයේ දරුවන්ට තම ප්‍රජනන පද්ධතිය පිළිබඳ ව විද්‍යාත්මක අවබෝධයක් නො ලැබීම ය. මේ නිසා, යොවුන් වියෙහි කායික වර්ධනයේ දී තම කයෙහි ඇතිවන වෙනස්කම් පිළිබඳ ගොඩ වෙදුන් සහ පුවත්පත්වලින් පතුරුවන වැරදි මත යෞවන යෞවනියන්ගේ මනස් තලයෙහි පැලපදියම් වේ. කායික හා මානසික වශයෙන් පරිවර්තනීය අවධියක පසු වන තමන්ට ඇති වන ගැටලු වැඩිහිටියන්ට ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද ඔවුනට නොමැත. HIV ආසාදනය වීමෙන් වැළැක්වීම පිළිබඳ හරි අවබෝධයක් ඔවුනට නොලැබෙන්නේ එවැනි පසුබිමක ය.
ප්‍රජනන සෞඛ්‍යය
යොවුන් සිසුන් හට ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා ගෙන ආ යෝජනාවක් පළාත් සභා දෙකකින් ප්‍රතික්ෂේප කරන ලද්දේ මීට වසර කිහිපයකට පෙර ය. දේශපාලන සංස්ථාව සහ ආගමික සංස්ථාව ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනයට එරෙහි වන්නේ යෞවන යෞවනියන්ගේ සදාචාර පරිහානියට එය බලපානු ඇති බවට හුඹස් බියක් මවා පාමිනි. එහෙත් ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය හා HIV ආසාදනය සමාජ අනතුරක් වීම දක්වා වර්ධනය වීම සම්බන්ධයෙන් ඔවුහු මුනිවත රකිති. තරුණ සිසුන් ආගම දහමට යොමු කිරීමෙන් පිළියම් යෙදිය හැකි බවට විශ්වාස කරති.
HIV ආසාදනය වන ආකාරය, HIV ආසාදනය වළක්වා ගන්නේ කෙසේ ද යන්න, HIV ආසාදනය වී ඇති බව තහවුරු කර ගන්නා ආකාරය යනාදිය පිළිබඳ නිවැරැදි විද්‍යාත්මක අවබෝධයක් තරුණ සිසුන්ට ලබාදීම ශික්ෂා පද කට පඩාම් කරවීමට වඩා ප්‍රතිඵලදායක ය.
මීට වසර කිහිපයකට පෙර වෛද්‍ය ශ්‍රියානි බස්නායක සහ වෛද්‍ය ප්‍රියා ද සිල්වා විසින් සංස්කරණය කරන ලද “නව යොවුන් වියට ප්‍රජනන සෞඛ්‍යය - ප්‍රශ්න 100 සහ පිළිතුරු” පොත් පිංච යොවුන් පරපුර අතට පත් කළ යුතු අගනා කෘතියකි.
ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් යෞවන යෞවනියන්ට බලපාන ගැටලු පිළිබඳ මෙහි වැඩි අවධානය යොමු කර ඇත. මේ කෘතිය පාසල් සිසුන්ට සෞඛ්‍ය විෂයය උගන්වන ගුරුවරුන් අතට නොපමාව පත් කළ යුත්තකි.
අරලගංවිල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී බණ්ඩාර සෙනෙවිරත්න මහතාගේ අදහස වනුයේ ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරින් ඉක්මන් තීන්දුවක් නොගතහොත් වත්මන් තරුණ පරපුර බරපතළ සමාජ ව්‍යසනයකට ගොදුරු විය හැකි බව ය.
තම ජීවිතයෙහි අවසාන කාලයෙහි “අනාගත ශික්ෂණය” මැයෙන් අගනා කෘතියක් සම්පාදනය කළ මාර්ටින් වික්‍රමසිංහ සූරිහු යති දෘෂ්ටියෙන් දරුවන් හික්මවන්නට යෑම කුහකයින් බෝ කිරීමේ මඟක් වන බවත් දරුවන්ගේ විවිධ වයස් මට්ටම්වලට ගැළපෙන කෘති සම්පාදනය කළ යුතු බවත් අවධාරණය කරයි.
යොවුන් විය
සුරංගනා කතා කියවූ දරුවන් යොවුන් වියට එළැඹෙන විට, ආදරය, විවාහය, පිළිබඳ සරල වින්දනාත්මක කතා ද එම වයස ඉක්මවන අයට ලිංගිකත්වය පිළිබඳ (වික්‍රමසිංහ ලිංගිකත්වය වදන පාවිච්චි නොකරයි) හරි අවබෝධයක් ලැබෙන කතා ද ඇතුළත් සාහිත්‍යයක් නිර්මාණය කළ යුතු බව මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කළේ 70 දශකයේ මැද භාගයෙහි දී ය. උදේ සිට රෑ වන තුරු කටින් පොතින් පතින් හා රේඩියෝවෙන් මෙතරම් බණ කියන රටක් ලෝකයේ කොහේවත් නැති බව ද, වික්‍රමසිංහ මහතා සිහිපත් කරනුයේ නාරද හිමියන් හා කළුකොඳයාවේ හිමියන් නවකතා කියවීමෙන් දරුවන් වළක්වා ගන්නැයි බණට එක් කිරීම හේතුවෙනි.
මාර්ටින් වික්‍රමසිංහ 1975 දී කළ අනතුරු ඇඟවීම අධ්‍යාපන බලධාරීන් වටහා ගත්තේ නම්, ඒ අනුව, දරුවන්ට කියවීමට උචිත සාහිත්‍යයක් නිර්මාණය කළේ නම්, 2015 දීHIV ආසාදනය වුණු යොවුන් දරුවන් පිළිබඳ අසන්නට නො ලැබෙනු ඇත.
යෞවන යෞවනියන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබා දීමට වඩා ඔවුන් භාවනාවට යොමු කිරීම වැදගත් කොට සලකන ගුරුවරු, දෙමාපියෝ, පූජකවරු සහ දේශපාලකයෝ එදාට වඩා අද බහුල වෙත්.

Wednesday, July 15, 2015

නවීන ලොවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ භාවිතය

මිනිසා අලුත් සොයා ගැනීම් හමුවේ අතීතයේ සිට මිනිසාට වඩා බෙහෙවින්ම උසස් මට්ටමක සිටී. ආදි වාසීන්ගේ කාලයේ සිට අද දක්වා ලෝකය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වී ඇති බව අප කවුරුත් දන්නා කාරණයකි.
උදාහරණයක් ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගැන කරුණු සලකා බලමු. ඉහත යුගය හා සසඳන විට අද දවසේ අප ගතකරන යුගය ඉතිහාසයේ යෝධ පිම්මක් ලෙස සැලකිය හැකිය.
එදා දුෂ්කර ප්‍රදේශ දෙකක් අතර සන්නිවේදන සිදු වූයේ කෙසේ ද? දවුල, සතුන්, ගිනි ගොඩක දුම ආදිය භාවිත කර එදා සන්නිවේදනය සිදුවිය. අද ජනතාව ඊට වඩා බෙහෙවින් දියුණුය.
ඕනෑම ප්‍රදේශයක වාසය කරන පුද්ගලයකුට ලෝකයේ ඕනෑම තැනක වෙසෙන පුද්ගලයකු වෙත පණිවුඩයක් යැවීම අද ඉතා පහසු කටයුත්තකි. දුරකථනය අද බෙහෙවින්ම මිනිසාට සමීපතම උපකරණයක් වී ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ජන සමාජයේ සෑම අංගයක් හා සම්බන්ධ වේ. අද අප ජීවත් වන්නේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ යුගයකැයි කිවහොත් එය නිවැරැදිය. බැංකු පද්ධතිය සන්නිවේදන පද්ධතිය ප්‍රවාහන මාධ්‍යය වෛද්‍ය ක්ෂේත්‍රය අධ්‍යාපනය හා ආරක්ෂක කටයුතු යනු තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගන්නා ක්ෂේත්‍ර කිහිපයකි.
ඉදිකිරීම් ධීවර කාලගුණ හා කෘෂිකාර්මික කටයුතුවලට ද මෙය උපයෝගී කරගනු ලැබේ. ගසට පොත්ත මෙන් මිනිසා හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය එකිනෙකාට ඇළී ගැලී පවතී. අද සෑම කටයුත්තකටම තොරතුරු සන්නිවේදන තාක්ෂණය අපට අත්‍යවශ්‍ය වී ඇත.
සමාජ සංවර්ධනය ආර්ථික දිරිමත් කිරීම වැනි දේ සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය අද දවසේ යොදා ගන්නා ආකාරය දක්නට ලැබේ.
දිළිඳුකම අඩු කර ජීවන තත්ත්වය උසස් කිරීමට යන කරුණු උදෙසා ද ධනාත්මක බලපෑමක් ඇති කරයි.
යූ. හර්ෂණි සෙව්වන්දි
9 ශ්‍රේණිය,
ඇතාබැඳිවැව විද්‍යාලය, ත්‍රිකුණාමලය

Tuesday, July 14, 2015

‘ස්ප්‍රේ කෝලා'


එච්.ඩී.බී. හේරත්
‘ස්ප්‍රේ කෝලා' අපේ රටේ කොල්ලන් කෙල්ලන් වනසන්නට ආ පැණි බීමක් බව දැන් නොදන්නා කෙනෙක් නැති තරම්ය. පැණි බීම යැයි කීවාට ‍එය කිසියම් මත් බීමක් බවට සැක පහළ වී තිබේ. මේ ස්ප්‍රේ කෝලා පානය කළ ඇතැම් ශිෂ්‍යයන් මත් වී ඇතැයිද තවත් අයෙකු සිහිමද ගතියට පත් වූ බවද පුවත්පත්වල වාර්තා විය. මෙම ස්ප්‍රේ කෝලාවල අඩංගු රසායන ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා ඒවායෙහි සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට සහ කාර්මික තාක්ෂණික ආයතනය වෙත යවා ඇතැයිද දැනගන්නට තිබේ.
මෙවැනි අවදානම් ආහාරපාන රට ඇතුළට නිදහසේ පැමිණෙන්නේ කෙසේද? මේ පිළිබඳ නිසි තොරතුරු දැන ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ ආහාර උපදේශන කමිටුවේ ලේකම්වරයා හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහත්වරු හමුවුණෙමු.
පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා නැඟූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය.
* පසුගිය දිනවල රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ “ස්ප්‍රේ කෝලා” පැණි බීම වර්ගය කුමක්ද? ඒවා මෙරටට පැමිණියේ කොහෙන්ද?
එය චීනයෙන් ආනයනය කරන ලද කෝලා වර්ගයේ පැණි රස බීමක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙහි ප්‍රධාන වෙනස බෝතල්වල අසුරා තිබුණ ද කෙළින් ම මුඛයට ස්ප්‍රේ කරන්නාක් මෙන් විද ගැනීමට සකස් කර තිබීමයි.
* මේ බීම වර්ගය පානය කළ ශිෂ්‍යයන් මත් වූ බවත් ඇතැමකු සිහිමද ගතියට පත්වූ බවත් වාර්තා වුණා. මේ බීමවල කිසියම් මත් ද්‍රව්‍යයක් අඩංගු වෙනවාද?
මෙහි කිසියම් මත්වන සුළු ද්‍රව්‍යයක් අන්තර්ගත වෙනවාදැයි පරීක්ෂා කිරීම සඳහා මෙකී බීම සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත සහ අන්තරායකර ඖෂධ අධිකාරියේ රසායනාගාරයට හා කාර්මික තාක්ෂණ ආයතනයට ලබා දී තිබෙනවා.
* එම පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වූයේ කුමක්ද?
තවම එම පරීක්ෂණ වාර්තා අප වෙත ලැබී නෑ. එම ප්‍රතිඵල වාර්තා ලැබුණු පසු තොරතුරු අනාවරණය කරගත හැකියි.
* වරාය හා ගුවන්තොටුපොළ රේගු පරීක්ෂණ කටයුතු තරව තිබියදී මෙවැනි භාණ්ඩ රට තුළට එන්නේ කෙළෙසද?
සාමාන්‍යයෙන් ආහාර කාණ්ඩයක් හෝ ආහාර ද්‍රව්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද භාණ්ඩ ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ, වරාය මෙන් ම ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයේදී (Rank container Terminal - RTc-) හිදී පරීක්ෂාවට ලක් කෙරෙනවා. මෙම බීම වර්ගය එම දැඩි පරීක්ෂාවන් ගෙන් බේරී රටතුළට පැමිණි ආකාරය සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රේගු අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා.
* ආහාර පාන ආනයනය කිරීමේදී රේගුවෙන් සිදු කෙරෙන පරීක්ෂණ කවරාකාරද?
ආනයනිත ආහාර සඳහා නිසි බලධාරියා ලෙස කටයුතු කරන්නේ ‍රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඔහු යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද බලයලත් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් රට තුළට ගෙනෙන ආහාර හෝ ආහාර කාණ්ඩයට අයත්යැයි ප්‍රකාශයට පත් කරන ලද සියලුම භාණ්ඩ පරීක්ෂාවට බඳුන් කරනු ලබනවා.
* ඒ කවරාකාරයෙන්ද?
ඒ ඒ ආහාර වර්ග පරීක්ෂණ කළ යුතු ආකාරය හා පරීක්ෂණ සඳහා නිර්ණායක පිළිබඳ උපදෙස් අප විසින් ඔවුනට ලබා දී තිබෙනවා. ඇතැම් ආහාර ද්‍රව්‍යවල සාම්පල අනිවාර්යයෙන් ම පරීක්ෂණ සඳහා යොමු කළ යුතුයි. නිදසුනක් ලෙස මෙරටට ආනයනය කරන සියලුම කිරිපිටි වර්ග ක්ෂුද්‍ර ජීවී පරීක්ෂණ මෙන්ම විකිරණශීලී ද්‍රව්‍ය හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගුදැයි සොයා බැලීම සඳහා සාම්පල පරීක්ෂාවට ලක් කරනවා. සියලුම වර්ගයේ මාළු මස් හෝ ටින් කෑම වර්ගත් එලෙස ඍජු පරීක්ෂණ සඳහා යොමු කරනවා.
ඇතැම් ආහාර ද්‍රව්‍ය ආවේක්ෂණ කටයුතු සඳහා උපදෙස් ලබා දී තිබෙනවා.
ඇතැම් ආහාර ද්‍රව්‍ය භෞතික වශයෙන් පරීක්ෂාවට ලක් කෙරෙනවා. නිදසුනක් ලෙස කරවල, හාල් මැස්සන්, අල, ලූණු, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය දෙස බලා ඒවා දුර්වර්ණ වී ඇත්ද? දුගඳ හමනවාද? ගුල්ලන් හෝ වෙනත් කෘමීන් සිටිනවාද? ආදී වශයෙන් පරීක්ෂා කොට මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි තහවුරු වුවහොත් ඒ භාණ්ඩ සියල්ල ආපසු හරවා යවනවා. නැත්නම් විනාශ කරනවා.
* මේ පරීක්ෂණවලට අමතරව වෙනත් කරුණක් පරීක්ෂාවට ලක් කෙරෙනවාද?
ඕනෑම භාණ්ඩයක් අපනයනය කිරීමට පෙර ඒ භාණ්ඩ නිෂ්පාදනය කළ රටවල ආහාර හා ඖෂධ අධිකාරීන් හෝ ආහාර කමිටු මගින් නිර්දේශ කරනු ලබන ප්‍රමිතීන්ට හා තත්වයට අනුකූළ වූ බවට සහතිකයක් ලබා තිබිය යුතුයි. එලෙස තත්ත්ව සහතික සහ අනුමැති සහතික ලත් ආහාර පමණයි අපනයනය සඳහා අවසර ලැබෙන්නේ. ඒවා අපේ රටට ආනයනය කළ විට ඒවා ඒ රටවල අනුමැති සහතිකය ලබා ඇත්දැයි පරීක්ෂා කරනවා. ඒවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නීති රීති හා තත්ත්ව පාලන රෙගුලාසිවලට අනුකූලදැයි ප්‍රමිති ආයතනයට, සාම්පල යවා පරීක්ෂා කරවනවා. ජනතාවගේ පරිභෝජනය සඳහා රේගුවෙන් නිදහස් කිරීමට පෙර මෙවැනි පරීක්ෂණ ගණනාවක් සඳහා භාණ්ඩ යොමු කෙරෙනවා.
* එතරම් තදබල නීතිරීති හා සුපරීක්ෂණ කටයුතු රැසක් අතරින් බේරී මෙවැනි අහිතකර ආහාර පාන වෙළෙඳපොළ වෙත නිකුත් වෙන්නේ කොහොමද?
එය ගැටලුවක්. ඒ පිළිබඳ සොයා බැලීමට අදාල බලධාරීන් වෙත නියෝග නිකුත් කර තිබෙනවා.
අපේ රටේ අභ්‍යන්තර ආහාර පාලන නීතිරීති කෙසේ වෙතත් ලෝකයේ වෙනත් රටවල මිනිස් පරිභෝජනයට හිතකර වන බවට තහවුරු කරන ලද ආහාරද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට අපිට නීතිමය අවසරයක් නෑ. අද වෙළෙඳපොළේ පවතින ඇතැම් ශක්ති ජනක පාන මෙරට වෙළෙඳ පොළේ අලෙවි කරන්නේ ඒ අවසරයෙන්. එවැනි ආහාර පාන භාවිතය ශරීර සෞඛ්‍යයට අහිතකර බවට ජනතාව දැනුවත් කිරීම හැර ඍජුවම ඒවා තහනම් කිරීමේ අයිතියක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නෑ.
* එසේ නම් එවැනි අහිතකර ආහාර පාන මෙරටට ගෙන්වීම වැළැක්වීමට කළ යුත්තේ කුමක්ද?
දැනට අපේ රටේ ක්‍රියාත්මක වන 1980 අංක 26 දරන ආහාර පනතේ අඩංගු නීති රීති සංශෝධනය කර එවැනි ආහාර පාන ගෙන්වීම තහනම් කිරීම සඳහා අලුතින් නීති සකස් කළ යුතුයි. ඒවා පාර්ලිමේන්තුවට පනතක් මගින් ඉදිරිපත් කර සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි.
* මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ඉහත කී බීම වර්ගයට අදාළ වැටලීම් සිදු කර තිබෙනවාද?
ඔව්. දිවයිනේ සෑම පළාතකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට මේ බීම වර්ගය වෙළෙඳ සල්වල හෝ වෙනත් ස්ථානවල අලෙවි කරනවා දැයි සොයා බලා ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
* මේවා ගෙන්වා ඇති පුද්ගලයින් හෝ ආයතන හඳුනාගෙන තිබෙනවාද?
පුද්ගලයකු විසින් අරඹන ලද සමාගමක් මගින් ආනයනය කළ බවට තොරතුරු ලැබී තිබෙනවා. එහෙත් එම නම සඳහන් සමාගම ඇතැයි කියන ලිපිනයෙහි එවැනි සමාගමක් නැති බවයි හෙළවී ඇත්තේ.
* ස්ප්‍රේ කෝලා පිළිබඳ මේ වන විට අමාත්‍යංශය විසින් ගනු ලැබූ පියවර කුමක්ද?
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත දැනට මෙම පැණි බීම වර්ගය අලෙවි කරන්නේ නම් වහාම පොලීසිය හා එක්ව ඒවා අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා තිබෙනවා. එලෙස අල්ලාගත් බීම සාම්පලවල අන්තර්ගත රසායන ද්‍රව්‍ය මොනවාද? එයින් සිදු විය හැකි බලපෑම කවරාකාරද යන්න සොයා බැලීමට අදාළ ආයතන හා බලධාරීන් වෙත යවා තිබෙනවා. දැනට මෙරටට ගෙන්වූ තවත් එවැනි තොග වරායේ රඳවා ඇත්නම් වහාම ඒවාට මුද්‍රා තබන ලෙසත් ඒවා වෙළෙඳපොළට නිකුත් නොකරන ලෙසත් උපදෙස් දී තිබෙනවා.
පාසල් දරුවන් විවිධාකාරයෙන් මත්ද්‍රව්‍යවලට පොලඹවා ගැනීමේ කූට උපායක් ලෙස මෙය මා දකිනවා.
* පසුගිය දිනවල මත් පෙති ලෙස මානසිකව රෝගීන්ට දෙනු ලබන පෙති වර්ගයත් සිසු පිරිසකට ලබා දී තිබුණා. මෙවැනි දේ පිළිබඳව ගනු ලබන පියවර කුමක් ද?
මෙය ටොෆි, චොක්ලට්, සීනි බෝල මෙන් ම ඇතැම් ඖෂධ හරහා ද තරුණ පරපුර මතට යොමු කරවීමේ ප්‍රයත්නයක් තිබෙනවා. මෙවැනි ඖෂධ අලෙවිසල් වටලා ඒවායෙහි අහිතකර ඖෂධ හෝ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ආහාර ද්‍රව්‍ය හෝ ඇත්නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට උපදෙස් දී තිබෙනවා.


පාසල් විද්‍යාගාරයේ පිපිරීමක්


හලාවත ආරච්චිකට්ටුව දෙමටපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමරයක් තුළ විද්‍යා විෂයට අදාළ පරීක්ෂණයක් සිදු කිරීමේදී සිදු වූ හදිසි පිපිරීමක් හේතුවෙන් ඉකුත් 07 දා විද්‍යාලය තුළ දැඩි නොසන්සුන්තාවක් ඇති විය.
සිද්ධිය හේතුවෙන් විද්‍යා ගුරුවරයා හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 07 දෙනෙකු සුළු තුවාල ලබා හලාවත මූලික ‍රෝහලට ඇතුළත් කෙරිණි.
ප්‍රථමයෙන් රෝහලේ ප්‍රාථමික ඒකකයේ ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ගුරුවරයා හා ශිෂ්‍ය ශිෂ්‍යා­‍ෙවා් අක්ෂි වාට්ටුවට ඇතුළත් කරනු ලැබූහ.
ඒ ඔවුන්ගේ ඇස්වලට වීදුරු කැබලි හෝ අදාළ රසායනික ද්‍රව්‍ය ඇතුළුවී ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහාය.
මෙම සිද්ධියට මුහුණ දුන්නේ විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන සිසුන්ය. එදින විද්‍යාලයේ විද්‍යා විෂය භාර ගුරුවරයා විෂයට අදාළ පරීක්ෂණය සිදු කිරීම සඳහා පන්ති කාමරයක් සූදානම් කර තිබුණි. විද්‍යාලයේ විද්‍යාගාරයේ එම පරීක්ෂණය සිදු කිරීම සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් නොමැතිවීම ඊට හේතුවයි.
වේලාව උදෑසන 10.30 යි. 4 වන කාල පරිච්ඡේදය සඳහාය. 11 වසර සිසුන් 15 දෙනෙකු අදාළ පන්ති කාමරය වෙත යොමු වූයේ විද්‍යා විෂයට අදාළ පරීක්ෂණය සිදු කිරීමටය. විෂය භාර ගුරුතුමා පැමිණියේය. බීකරයක් හා පරීක්ෂණ නළයක් සූදානම් කර තිබුණෙ එම පරීක්ෂණය සිදු කිරීමටය. පොටෑසියම් පර්මැංගනේට් සහ සල්ෆියුරික් ඇසිඩ් පරීක්ෂණයට භාජන වූ රසායනික ද්‍රව්‍යයන්ය. පරීක්ෂණ ආරම්භ කෙරිණි.
සිසුන් ගුරුවරයා වෙත ක්‍රමයෙන් සමීප වූයේ එහිදී සිදුවන විපර්යාසයන් හොඳින් නිරීක්ෂණය කිරීමටය. සියල්ලන්ගේ ම දෑස් යොමු වී තිබුණේ පරීක්ෂණ නළය හා බීකරය වෙතය. රසායනික ද්‍රව්‍ය දෙක මිශ්‍රකර ගතවූයේ සුළු වේලාවකි. පිපුරුම් ශබ්දයක් සමඟ දුමාරයක් ඇතිවිය. සසු සිසුවියෝ තැති ගැම්මත් සමඟ ඒ මේ අත දුවන්නට වූහ. සියල්ලෝම පන්තිය අසළ තිබූ ජල කරාමය වෙත දිවගියහ. ඒ ඇස්වල ඇති වූ දැවිල්ලත් සමඟ සෝදා ගැනීමටය. වීදුරු භාජනවල වීදුරු කටු ශරීරයේ වැදීමෙන් ඇතැම් සිසුන්ගේ ලේ වහනය විය. සුදු ඇඳුම් රසායනික ද්‍රව්‍ය වැදීමෙන් අවපැහැ ගැන්විණි. විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුවරු සිද්ධියට මුහුණ පෑ සිසු සිසුවියන් හලාවත මූලික රෝහල වෙත රැගෙන යාමට පියවර ගත්හ.
සිද්ධිය වී ටික වේලාවකින් ආරංචිය ලද දෙමාපියෝ පාසල වෙත දිව ආහ. සිද්ධියට මුහුණ දුන් දරුවන්ගේ දෙමවුපියෝ හලාවත රෝහල වෙත ගියහ. විද්‍යාලය ඇතුළත පැය කීපයක් දැඩි නොසන්සුන්තාවක් පැවතිණි.
සිද්ධිය සම්බන්ධව අදහස් දක්වන විද්‍යාලයේ විදුහල්පති සමන් තෙලිසිංහ මහතා පවසන්නේ මෙයට ලක්වූ දරුවන් බේරා ගැනීමට කටයුතු කළ බවයි.
“මම හිටියේ කාර්යාලයේ 10.45 ට පමණ පිපුරුම් ශබ්දයක් ඇහුණා. ඒ එක්කම දුමාරයක් ද ඇතිවුණා. මම සිද්ධිය වූ පන්ති කාමරය වෙත දිව ගියා. ළමයින්ගේ ඇඳුම්වල කෙමිකල් වැදිලා තිබුණා. ඒ අය දුවගෙන ගොස් ටැප් එකෙන් මුහුණ සේදුවා. මේ සිද්ධියට මුහුණ දීලා තිබුණේ ළමයි හත්දෙනෙක්. විද්‍යා ගුරුවරයාගේ කමිසය පුරා රසායනික ද්‍රව්‍ය තිබුණා. මම ඉක්මනින් ගුරුවරුන්ට කථා කරලා වාහනයක් ගෙනල්ල හලාවත මූලික රෝහලට ගෙනිච්චා. එහිදී ප්‍රාථමික අංශයෙන් ප්‍රතිකාර ලබා ඇස්වලට වීදුරු කටු ගිහින් යැයි සැකයට රෝහලේ අක්ෂි වාට්ටුවට ඇතුළත් කළා. ඉන් ළමයි පස්දෙනෙක් හා ගුරුවරයා ප්‍රතිකාර ලබා සවස් වෙනකොට රෝහලෙන් පිටව ගියා. ළමයි දෙන්නෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන්න වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලැබුණා.” විදුහල්පතිවරයා කියයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණය සිදුකළ විද්‍යා විෂය භාර ගුරුවරයා තොරතුරු ලබා ගැනීමට සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවත් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
නමුත් මෙවැනි සිද්ධීන් හෙළි නොකිරීමෙන් සිදුවන්නේ මෙවැනි විපර්යාසයන් සිදුවන හේතුව සැඟවීමයි. විශේෂයෙන් පාසල් දරුවන් මුහුණ දුන් ප්‍රශ්නයක් නිසා එය සෙසු ගුරුවරුන් මෙන් ම පාසල් දරුවන් ද දැනුම්වත් විය යුතුයි. මේ සිද්ධිය පිළිබඳව අප අදාළ සිද්ධියට මුහුණ දුන් දරුවන්ගේ දෙමවුපියන්ගෙන් විස්තර විමසූ විට ඔවුන් කීවේ මීට පසු පර්යේෂණාගාරවල මෙවැනි පරීක්ෂණවල නිරතවීමට සැලකිලිමත් විය යුතු බවයි.
මීට අමතරව මේ පරීක්ෂණය කිරීමේදී නියමිත ක්‍රමවිධි අදාළ ගුරුවරයා විසින් අනුගමනය නොකර ඇති බවට ද මත පළවී ඇත.

Monday, July 13, 2015

මේ සොදුරු කතාබහට සවන් දෙන්න ජූලි 13 සවස 05.10ට ස්වදේශීය සේවාවේ Fm 91.7 හෝ Fm 91.9ට සවන් දෙන්න


70 දශකයේදී සමන් අතාවුද හෙට්ටි මාමා සහ කරුනාතිලක හදුවල මාමා ගුවන් විදුලියට රචනා කල, මහින්ද අල්ගම මාමා නිෂ්පාදනය කල, රූකඩ පැංචා පිනෝකියෝ නාට්‍යයේ, පිනෝකියෝගේ චරිතය රගපෑ මාලක මිහිර බන්ඩාර මහතා සහ අපේ ළමා පිටියේ වත්මන් දූ දරුවන් සිදුකල සම්මුඛ සාකච්චාවක්  5වන මැදිරියේදී පටිගත කෙරුනා


මේ සොදුරු කතාබහට සවන් දෙන්න, ඔබත් ජූලි 13 සවස පහයි දහයට ස්වදේශීය සේවාවේ එෆ් එම් මීටර 91.7 හෝ 91.9ට සවන් දෙන්න

Sunday, July 12, 2015

ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියට අමුත්තෙක් ඇවිත්

පසුගිය ජූලි 09 බ‍්‍රහස්පතින්දා ගුවන් විදුලි ළමා පිටියේ ළමා ශිල්පීන් ටික හරියට කඩියො ටික වගේ .මාලක මිහිර බන්ඩාර මාමා ගුවන් විදුලියට එන ආරංචිය ලැබිලා  අපේ පුංචි පැංචියො හැමෝම එයාලගේ මහගෙදර වන ගුවන් විදුලියේ ඉදිරිපිටට ගියා මාමාව පිලිගන්න
මාලක මිහිර බන්ඩාර මහතා ගුවන් විදුලි සංස්ථා අධ්‍යක්‍ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා සමග පිළිසදරක

70 දශකයේදී සමන් අතාවුද හෙට්ටි මාමා සහ කරුනාතිලක හදුවල මාමා ගුවන් විදුලියට රචනා කල, මහින්ද අල්ගම මාමා නිෂ්පාදනය කල, රූකඩ පැංචා පිනෝකියෝ නාට්‍යයේ, පිනෝකියෝගේ චරිතය රගපෑ මාලක මිහිර බන්ඩාර මහතා සහ අපේ ළමා පිටියේ වත්මන් දූ දරුවන් සිදුකල සම්මුඛ සාකච්චාවක් එදින 5වන මැදිරියේදී පටිගත කෙරුනා



මේ සොදුරු කතාබහට සවන් දෙන්න, ඔබත් ජූලි 13 සවස පහයි දහයට ස්වදේශීය සේවාවේ එෆ් එම් මීටර 91.7 හෝ 91.9ට සවන් දෙන්න