V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Tuesday, February 17, 2015

දරුවා යමක් කට තුළට දාගන්න හැදුවොත්.....????????

දරුවා යමක් කට තුළට දාගන්න හැදුවොත් කෑගසා කලබල කරන්න එපා



දරුවන්ට සිදුවන හදිසි අනතුරු අතර වැරදීමෙන් හෝ සිතාමතාම යම් යම් දේ ගිලීමද බහුලව සිදු වේ. දරුවන් තුළ පවත්නා කුතුහලය හේතුකොට ගෙන කුඩා ළමයි අතට අසුවන හැම දේම කටේ දමා ගනිති.
එසේ කිරීමෙන් නොදැනුවත්වම ගිලෙන ද්‍රව්‍ය අතර ඔවුන්ගේ සෙල්ලම් බඩුවල කුඩා කොටස්, බොත්තම්, හැට්ට කටු, යතුරු, ඉඳිකටු, කොණ්ඩ කටු, රටකජු, කඩල වැනි ඇට වර්ග, රබර් ඇට, ජිල් බෝල වැනි දේ වේ.
මේ ද්‍රව්‍යවලට අමතරව විවිධ දේ පෙවීමෙන් ද විශාල සංකූලතාවන්ට ගොදුරු වෙති.
විවිධ ආගන්තුක ද්‍රව්‍ය ගිලීමෙන් මුඛය හා ඒ අවට තුවාල වීමට ඉඩ තිබේ.
ස්වසන පද්ධතියට ඒවා ඇතුළු වුවහොත් පෙනහලුවල සැරව ගෙඩි හැදේ. ඇතැම්විට පෙනහලුවල විශාල කොටස් ඉවත් කිරීමට සිදුවේ. රටකජු වැනි ඇට වර්ග හෝ සෙල්ලම් බඩු කැබලි, බොත්තම් වැනි දේ පෙනහලු තුළට යාමෙන් විශාල අපහසුතාවලට ලක් වේ. කැස්ස තදින් ඇති වේ. ඇතැම් විට හුස්ම ගැනීමට පවා අපහසු විය හැකිය.
බහුලවම සිදුවන්නේ යම් යම් දේ කට තුළට දා ගැනීමෙන් ඒවා ආහාර මාර්ගයට පිවිසීමයි. ගලනාලයෙන් ඉහළ කොටසේ ඒවා රැඳුනහොත් එය නැවත මුඛය තුළට පැමිණීමේදී හුස්ම ගැනීම අපහසු වී බරපතළ ප්‍රතිඵල ඇතිවිය හැකිය. ගලනාලයේ රැඳී ඇත්නම් ආහාර සහ කෙළ ගිලීමට අපහසුතා ඇතිවේ. එම නිසා ගලනාලයේ ඇති ආගන්තුක කොටස් ඉවත් කළ යුතුය.
මේ ද්‍රව්‍ය ගලනාලය තුළ දිගටම රැඳී තිබීමෙන් ගලනාලය සිදුරු වේ. මාළු කටු වැනි දේ නිසා තුවාල සිදුවේ. උල් සහිත කටු, කොණ්ඩකටු, කමිසවලට අමුණන ලොකු ඇල්පෙනෙති වැනි දේ ගිලීමෙන් එවැනි තුවාල ඇතිවේ.
ගලනාලය පමණක් නොව ඒ ආශ්‍රිත රුධිර නාලවල ඇමිණීමෙන් ඒවා හිල්වී රුධිර වහනය නිසා බරපතළ තත්ත්වයක් ඇති විය හැකිය. ගලනාලය සිදුරුවීම නිසා පපු කුහරය තුළ ඇතිවන රෝග තත්ත්වය ඉතා බරපතළ වූවකි. මෙහි ඇති වැදගත් කරුණක් වන්නේ උපතින්ම හෝ පසුකාලීනව ඇති වූ සිදුරක් වේ නම් හදිසියේ යමක් ගිලුණු එවැනි දරුවකු ගේ තත්ත්වය වඩාත් දරුණු විය හැකි වීමය. යමක් ගිලීමෙන් එය හිරවී ඇත්නම් සිදුර වඩාත් සිහින් වීම නිසා ගිලින දේ ගලනාලය දිගේ පහළට යන්නේ නැත.
ආමාශයට ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වුවහොත් සාමාන්‍යයෙන් බඩවැල් දිගේ පහළට යාමේ හැකියාව වැඩිය. එහෙත් ඇතැම් ද්‍රව්‍ය උදා: යතුරු කැරලි වැනි දේ එතැනින් පහළට ගමන් කිරීමට අපහසු වී රැඳී තිබීමට ඉඩ ඇත. ඇතැම් විට ඒවා ශල්‍යකර්ම මඟින් ඉවත් කිරීමට සිදුවේ.
එසේ ගිලින බොහෝ දේ එක්ස් කිරණවලට හසුවන හෙයින් දින කිහිපයක් පුරා එක්ස් කිරණ පරීක්ෂණ මඟින් එහි චලනය පරීක්ෂා කිරීමට සිදු වේ. ඇතැම් ද්‍රව්‍ය පහළට ගමන් නොකර එකතැන රැඳී පවතින්නට ඉඩ තිබේ. ඒවා ඉවත් කිරීමට එන්ඩොස්කොපි පරීක්ෂණයක් හෝ විවෘත සැත්කමක් කිරීමට සිදුවිය හැකිය.
එසේ ගිලෙන ඇතැම් ද්‍රව්‍යවල ඇති රසායනික ද්‍රව්‍යවල පිටකවරය දියවීම නිසා ඒවා එළියට ඒමෙන් ද විෂ වීම් සිදුවේ.
ඇතැම් අවස්ථාවල නාසයට ද ආගන්තුක ද්‍රව්‍ය ඇතුළු විය හැකිය. නාසය තුළින් ඇතුළුවන දේවල් වැඩිදුරක් ගමන් නොකරන නමුත් නාසයේ සිදුර අවහිර කළ හැකිය. එහෙයින් නාසය තුවාල වීම මෙන්ම නාසය පැසවීම සිදුවිය හැකිය.
කුඩා දරුවන් සිටින මවුපියන් ඉහත කරුණු දැන සිටීම ඉතා වැදගත්ය. කුඩා දරුවකු සිටින නිවසක මෙවැනි අනතුරුදායක දේ අතට අසුවන සේ නොතැබිය යුතුය. බොහෝ සෙල්ලම් බඩුවල අවුරුදු 3න් පහළ අයට නුසුදුසු බවට අනතුරු හඟවා තිබේ.
කුඩා දරුවකු යමක් කට තුළට දමා ගන්නට උත්සාහ කරන විට කෑ ගැසුවොත් සිදුවන්නේ ඔහු වහාම එය කට තුළට දමා ගැනීමයි. එහෙයින් කළ යුත්තේ කෑගසා කලබල නොකර හැකි විගස එය ළමයාගේ අතින් හෝ මුඛයෙන් ඉවත් කිරීමය.
එක්ස් කිරණවලට නොපෙනෙන ආගන්තුක ද්‍රව්‍යයක් ගිලුණොත් ඒවා හඳුනා ගැනීමේ අපහසුතාවක් පවතී. එවිට විශේෂිත වූ වෙනත් පරීක්ෂණ කිරීමට සිදුවේ. එය සරල එක්ස් කිරණ පරීක්ෂණයට වඩා බරපතළ වේ.
මීට අමතරව ඇතැම් දරුවන් එවැනි ආගන්තුක ද්‍රව්‍ය කන තුළට, ගුද මාර්ගයට හෝ මුත්‍රා මාර්ගයට ඇතුළු කරගනී.
එවැනි තත්ත්වයක් ඇත්දැයි හඳුනාගත හැක්කේ යෝනි මාර්ගයෙන් සැරව ගැලීම, ඉදිමීම හෝ රත්පැහැ ගැනීම, ගුද මාර්ගයෙන් ලේ ගැලීම හෝ සැරව ගැලීම වැනි ලක්ෂණ පහළ වූ විටය. කාර්යබහුල මවුපියන් තම දරුවන් වෙනත් අයට බලා ගන්නට දෙන විට මේ කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
වර්තමානයේ නිවෙස්වල විවිධ රසායන ද්‍රව්‍ය සහිත දේ බහුලව භාවිතා කෙරේ. අතීතයේ මෙන් නොව අද නිවෙස්වල රෙදිපිළි, පිඟන් කෝප්ප, ගෙබිම, නාන කාමර, වැසිකිළි පවිත්‍ර කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු කුඩු වර්ග, විවිධ වර්ණ සහිත දියර වර්ග බහුලව භාවිතා කැරේ. මේවා දරුවන් අතට අසු නොවන සේ ගබඩා කිරීමෙන් ළමයි ඒවා කෑමට හෝ බීමට ඉඩ තිබේ. ඇතැම් සෝදන දියර විවිධ වර්ණැති ඒවාය. ඒවා බීම වර්ගයකැයි රැවටී දරුවෝ ඒවා කටේ දමා ගනිති.
සුළු ප්‍රමාණයක් ශරීර ගත වුවත් දරුවනට සංකූලතා ඇතිවිය හැකිය. එවැනි දේ ශරීරගත වූ විට විවිධ දියර වර්ග බීමට දී වමනය කිරීමට උත්සාහ නොකළ යුතුය. එවැනි අවස්ථාවක කළ යුත්තේ දරුවා වහාම වෛද්‍යවරයා හෝ රෝහල වෙත රැගෙන යාමය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
ආනන්ද ළමාහේවා

දෙහි ගසට ආ අමුත්තා


ඔන්න දවසක් ඉසුරි උදෙන්ම නැගිටලා වත්තට ආවා. දෙහි පැළයේ කොළ කිහිපයක් කවුරුන් හෝ කා ඇති බව දුටු ඉසුරි විමසිල්ලෙන් දෙහි පැළය දෙස බැලුවා. ළපටි දෙහි කොළයක් උඩ දුඹුරු පැහැති කෝටු කෑල්ලක් බඳු කුඩා දළඹුවකු සිටියා.

සෑමදාම උදේට ඉසුරි දළඹුවා බලන්න ගියා. දළඹුවා කොළ එකින් එක කමින් ටික ටික ලොකු වුණා. ටික දිනකට පසු දළඹු පැටියා කොළ පැහැයට හැරුණු අතර ඇඟ දෙපස ඉරි දෙක බැගින් හා හිස වෙන් කරමින් ඇඟ හරහා ඉරක් ද ඇස් යා කරමින් ඉරක් ද පිහිටා තිබුණා. එම ඉර කළු හා සුදු පාටය. බඩ ද සුදු පාටය.

දින හතරකට පසු බැලු විට දළඹුවා මුද්දක් ලෙස දෙහි අත්තක එල්ලී සිටියා. පසුදා බලන විට දෙහි කොළයක ආකාරයට කෝෂයක් සාදා තිබුණා.
දින කීපයකට පසු දිනක උදේ ඉසුරි කෝෂය බැලීමට ගිය විට කෝෂය කළු පාට වී තිබුණා. ටිකකින් සුදු පාට රටා සහිත කළු ලස්සන ලොකු සමනලයකු කෝෂයෙන් පිටතට පැමිණියා. ටිකකින් සමනලයා ඈතට ඉගිළ ගියා. ඒ දැක ඉසුරි හුඟාක් සතුටු වුණා

.

ඉසුරි චන්දිමා නවෝදනී
1 ශ්‍රේණිය ‘ඒ’,
ආරියවංශ ම. වි., බේරුවල

Sunday, February 15, 2015

දුම්රියේදී හමුවූ සමනලිය

සතියකට දෙකකට වතාවක් සවස කාර්යාල දුම්රියේ දී මම ඇය දකිමි. කැරලි ගැසුණු පුංචි කෙහෙරැළි ඒ මුහුණට සුරතල් බවක් ගෙන දෙයි. ඇය තවමත් තුන් අවුරුදු විය නො ඉක්මවා ඇතැයි හැ‍ඟේ.
වරෙක මවගේ තුරුලට පැන කිරි උගුරක් දෙකක් බොන ඈ තවත් වරෙක දුම්රිය අසුනේ හිඳගනී. කවුළුවෙන් පිටත බලා ක්ෂණයකින් අම්මා දෙසට හැරේ. කතාවෙහි තොර තෝංචියක් නොවුණ ද ඒ වදන් සුරතල් ය.‍ අසන්නට වෙහෙසකර නොවේ. සෑම පැනයකටම නැතත් බොහොමයක් ප්‍රශ්නවලට පිළිතුරු අම්මා ළඟ තිබේ.
ඒ මව සිහින් ය. පිළිවෙළකට හිස පීරා ඇත. ඇඳුම් පිරිසිදු ය. බොහෝ අසරණ බව හැඟුණ ද සිඟමන් නොයදින්නී ය. පුංචි දියණියත් සමඟ ඇය කොළඹ නගරයේ කොහේ හෝ තැනෙක කුමක් හෝ රැකියාවක් කරනවා ඇත. වරෙක සිය කුඩා දියණිය ගේ සුරතල් ලෝකයේ අතරමං වන ඈ බොහෝ විට ජනෙල් කවුළුවෙන් හිස් අවකාශය දෙස බලා සිටින්නීය. මැදිරියේ යන කිසිවකු ඔවුන් දෙදෙනා ගැන සැලකිල්ලක් දක්වනු නො පෙනේ. ඔවුන් ඔවුන් ගේ පාඩුවේ ය. මගීන් තමන්ගේ ම ලෝකය ක ය.
කොළඹ - කොටුව සිට රඹුක්කන බලා ධාවනය වන සවස දුම්රියේ දැක පුරුදු මේ අම්මාත් දුවත්, අදට සිවු දිනකට පෙර ද මම දුටුවෙමි. ඒ කොළඹ බලා යන උදෑසන දුම්රියක දී ය. කාර්යාල වේලාව තරමක් ඉක්මවා තිබුණ ද මැදිරිය මගීන්ගෙන් පිරී තිබුණි.‍ පසු වූයේ රාගම දුම්රිය ස්ථානය විය යුතු ය. පුංචි කෙල්ල අම්මා ගේ කණට මුමුණා යමක් කීවා ය. බෑගයකින් ගත් පාන් පෙති සහිත කුඩා සිලි බෑගයක් ඈ අතට ලැබුණි. පාන් පෙති වල බටර් ගා සීනි තවරා තිබෙනු දුටුවෙමි. ඇය ඉන් එකක් ගෙන රස බලන්නට වූවා ය. පුංචි ගවුමේත්, දෑත් පුරාත් බටර් හා සීනි ය. එහි වගක් නොවූ ඈ අසළින් සිටි මගියකු දෙස බැලුවේ බියපත් දෙනෙතිනි. නිල් පැහැ කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී සිටි ඔහු හතළිස් පස් විය ඉක්මවූවෙකුයි සිතේ. වරෙක ඔහු ගේ ජංගම දුරකථනයට ආ ඇමතුමකට දුන් පිළිතුරට අනුව උසස් රැකියාවක් කරන්නෙකැයි ද හැ‍ඟේ. වරක් දෙවරකින් නො ස‍ෑහී ඔහු හැකි සෑම විටෙකම පුංචි දියණිය දෙස හැරී තරහෙන් රවනවා දුටුවෙමි. ඇය බිය පත් දෙනෙතින් වටපිට බලන්නී එවිට ය.
පුංචි කෙල්ල යාන්තමින් හෝ ස්පර්ශ වේ යැයි බියෙන් ඔහු හැකි තරම් පසෙකට වන්නේ අසීරුවෙනි. කැලණිය දුම්රිය පළේ දී ඔහු බැස ගියේ ය. දියණිය ගේ මුහුණට නැඟුණේ අපූරු සිනාවකි. ඇය සතුටින් වටපිට බැලුවා ය. ඈ ඉදිරියෙන් සිටගෙන සිටියේ මා ය.
“නැන්දේ! ඉඳගන්න” ඇය මට කීවා ය. සීනි සහ පාන් කැබලි ඈ අසල විසිරී තිබෙනු දුටුවෙමි. වෙනදා කෙනෙක් බැස ගිය සැණින් අසුනට පොරකන මගීන් නිහඬ ය. නොදුටුවා සේ ඉවත බලාගෙන ය.
‘නැන්දේ ඉඳගන්න’ ඇය නැවතත් මට ඇරයුම් කළා ය. “ඉඳ ගන්නද? එපාද? මා සිත දෙගිඩියාවක ය. අවසන අසුන පිසදා මම එහි හිඳ ගතිමි. ඇය තවත් සතුටින් මා හා සිනාසුණා ය.
“මම පාන් කෑවා” පිරුණු කුස පෙන්වමින් ඇය මට කීවා ය.
“මම දැක්ක පුතේ.” මම පිළිතුරු දුන්නෙමි.
“ඊයේ රෑට අපි කෑවේ පාන්. ඒත් අම්මා කිව්වා සත්තු වගේ එක වේලටම ඔක්කොම කන්න එපා කියලා. ඉතින් ඉතුරු පාන් උදේට අරගෙන ආවා. බඩගිනි වැඩි හින්දයි කෝච්චියේ දී කෑවේ. අර බැහැල ගිය මාමා මට රැවුවේ මම පාන් කෑවටද නැන්දේ?”
ඇයගේ පැනයට පිළිතුරු දෙන්නට වචනයක් දෙකක් ගළපා ගන්නට මට පුළුවන් වූයේ නැත. ඉකියකින් උගුර හිරවී ගියා සේ ය. මම නිහඬවම ඇය දෙස බලා සිටියෙමි.
“නැන්දේ, මේ කෝච්චිය කොළඹට විතරයි. බහින්නේ නැද්ද?” දුම්රිය කොළඹ කොටුවට පැමිණ තිබුණි. මගීන් බොහෝ දෙනෙක් බැස අවසන් ය.
අම්මා ගේ දෑතට වී ඇය දුම්රියෙන් බසින්නට යන මොහොතේ මා දෙස බලා නැවතත් සිනාසුණා ය. පුංචි අත වනමින් ඇය සෙනඟ අතරේ නොපෙනී ගියා ය.
http://www.silumina.lk/2015/02/15/_art.asp?fn=tl1502153

Friday, February 6, 2015

"හාඩ් එක" වෙනුවට අතීතයේ මැටිපුවරු



වසර දහස්‌ ගණනකට පෙරාතුව මිනිසුන් තොරතුරු ගබඩා කිරීම වෙනුවෙන් මැටි පුවරු භාවිතා කරනු ලැබුවා. මැටි පුවරු පිළිබඳ අනන්‍යතාවය බැබිලෝනියන්වරුන් මුල් කර ගෙන ගොඩනැගුනත් ක්‍රිට්‌ ප්‍රදේශයෙන් හමු වුන පුළුස්‌සන Phaisto ලද මැටි පුවරුවක කාන්තාවන් වෙනුවෙන් වු ආශිsර්වාදාත්මක සටහන් මෙහි ඇතුළත්ව තිබුණා. ඒ වෙනුවෙන් පැරණි අකුරු වගේම චිත්‍ර සංකේතත් ඇතුළත්ව තිබුණා. දෙවැනි ශතවර්ෂයට අයත් යෑයි උපකල්පනය කරන මෙම මැටි පුවරුවේ සෙන්ටිමිටර් 15 ක්‌ පමණ වුණ අතර එහි දෙපැත්තේම සර්පිලාකාර මද්‍රා තබන ලද සටහන් ඇතුළත් වුණා. මෙම පුළුස්‌සන ලද (Phaistos Disk) මැටි පුවරුව සුසංහිත තැටියකට සමාන බැව් පුරාවිද්‍යාඥයන් සඳහන් කරනවා. සාමාන්‍ය මැටි පුවරුවක්‌ මෙන් නොව දෙපැත්තෙම මුද්‍රd කරන ලද අක්‌ෂර සහ රූප සටහන්ව වලින් මෙම තැටිය යුක්‌ත වුණා.

මෙම පුවරුවේ අරමුණ සහ අදහස ගැන විවාදාත්මක සංවාදයක්‌ ගොඩ නැගි තිබුණත් පර්යේෂකයන්ගේ අදහසට අනුව මවකට ලියන ලද ආශිර්වාදයක්‌ මෙහි සටහන්ව ඇති බැව් ඔවුන් පෙන්වා දෙනවා. 1908 වසරේ සොයා ගන්නා ලද මෙහි සංකේත 241 ක්‌ අඩංගුයි. එම සංකේත ආධාරයෙන් ඒකීය සලකුණු 45 ක්‌ නිර්මාණය කරනවා. ඔරලෝසුවක හැඩය සහිත සර්පිලාකාර පිළිවෙලකින් මෙම තැටිය සමන්විත වෙනවා.

අවසාන සලකුණ යටින් දිවෙන විකර්ණයක්‌ 18 වතාවක්‌ යොදා ගෙන තිබෙනවා. ස්‌ථාන කිහිපයකම රචකයා විසින් වැරැදි නිවරැදි කළ බවටත් සලකුණු පිහිටා තිබෙනවා.

ක්‍රිට්‌ දුපතේ Technological Educational Institute (TEI) ආයතනයේ ආචාර්ය ගැරිත් ඔවන්ස්‌ Archaeology News Network ජාලය ඔස්‌සේ අදහස්‌ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ අම්මා යන සංකල්පය මෙහි ඉතා ගාම්භීරව ඉස්‌මතු වෙමින් පැවැති අතර මව්දෙවන පිළිsබඳව වූ සංකල්පයන් සමාජගත Minoan අවදියේ මෙම නිර්මානය සිදු වන්නට ඇති බවයි. යුරෝපයේ සාක්‌ෂරතාවයේ මුල්ම ප්‍රදේශය ලෙසට වාර්තා වෙන්නේ ක්‍රිට්‌ දිවයිsනේ Minoan ප්‍රදේශයයි.

මෙහි යොදා ගත් චිත්‍ර පිළිsබඳවත් ආචාර්ය ගානත්ගේ අවධානය යොමු වුණා. මීවදයක්‌, ඉරි සහිත හිසක්‌ සහ දරුවෙකුගේ රූපයක්‌ ඒ අතර තිබුණා. මෙම චිත්‍ර නැවත නැවත යෙදුන අතර ගානත් විසින් එම චිත්‍ර ප්‍රමුඛ පද ලෙසින් තෝරා ගෙන ඔහුගේ අධ්‍යනය ඉදිරියට ගෙන ගියා.

මෙහි අකුරු යොදා ගෙන තිබුණ අන්දම කණ්‌ඩායම් තුනක්‌ ඔස්‌සේ අධ්‍යනය කරනු ලැබුවා. එහි I-QE-KU-RJA යන අක්‌ෂරයන්හි I-QE යන්නෙහි අදහස ශ්‍රේෂ්ඨ කාන්තාව යන අදහසයි. එහි අනෙක්‌ පස තිබුණ අර්ථය ගර්භණී මව යන්නෙන් ඔවුන් අර්ථ දක්‌වා තිබෙනවා. මෙම තැටියේ සංකේත කියවා ගැනීම සඳහා ඔක්‌සෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජෝන් කොල්මන් වසර හයක කාලයක්‌ ගත කළ බව සඳහන් කරනවා. ඒ අනුව එක්‌ පැත්තක්‌ ගර්භණි මවක්‌ වෙනුවෙන් වූ ආශිර්වාදයන් සහ අනේ පැත්ත දරුවෙකු ලත් කාන්තාවක්‌ වෙනුවෙන් වු ආශිsර්වාදාත්මක සටහන් වෙනුවෙන් යොදා ගෙන තිබෙනවා. දැනට මෙහි A වශයෙන් හඳුන්වන ලද පැත්තෙන් 90%ක්‌ කියවා අවසාන අතර ඉතිරි B පැත්ත වෙනුවෙන් වූ අධ්‍යනයන් ඉදිරියේදි ආරම්භ කිරීමට නියමිතයි.
පුන්‍යා චාන්දනි ද සිල්වා


http://www.divaina.com/2015/02/01/diyaga09.html

'සිරිමැටි සිත්තරාවි' 10 වැනිදා සිට ජාතික රූපවාහිනියෙන්..

.
ශ්‍රී ලාංකේය රූපවාහිනී රසවතුනට ජාතික රූපවාහිනිය වෙතින් තිළිණ කළ, සිංහල හඬ කැවූ කොරියානු මාලා නාටක අතරට එක්‌වන නවතම ටෙලි නාට්‍ය නිර්මාණය 'සිරිමැටි සිත්තරාවි' (Ceramic Artist) එළැඹෙන 10 වැනිදා සිට සතියේ දින පහේදී සවස 6.30 ට විකාශයට නියමිතය.

සුජාත දියණිය ටෙලි නාටකය මෙරට තුළ ජනප්‍රිය වීමත් සමඟ 'චංගුමීට' බොහෝ පිරිසකගේ ආදරය නොඅඩුව හිමි විය. 'මන්ජුන් හෝ' ද ජනප්‍රිය චරිතයක්‌ විය. ඉන් පසු කොරියාවේ සිට පැමිණි, 'අභීත දියණිය' වූ 'දොං යී' ජනප්‍රියත්වයට පත් වූයේ එම ටෙලි නාටකයට ද ඉහළ ජනතා ප්‍රසාදයක්‌ අත්කර දෙමිනි. 'දිරිය දියණිය' ද ජනතා ගෞරවාදරය හිමිකර ගැනීමට සමත්කම් පෑවාය. කොරියානු නාටකයන්ගෙන් බැහැරව විකාශය නිමාව දුටු චීන මාලා නාටකයක්‌ වූ 'මායාවරුන්ගේ ලෝකය' මෙරට රූපවාහිනි ප්‍රේක්‍ෂකයන්ව විශ්මය ජනක ලොවකට කැඳවාගෙන යැමට සමත් වූහ. ඉන් ඉක්‌බිතිව ජපානයේ අති දක්‍ෂ සන්නාලියකගේ කතාන්දරය ජාතික රූපවාහිනි තිරය මත දිග හැරුණේ 'අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි' නමිනි. ඉසිවර වෙදැදුරු හි 'පෙක්‌' ගේ චරිතයට ද රසික හද බැඳුණි. ඉන් පසු පැමිණි 'යහපත් මහරජ' කොරියානු ටෙලි නාටකය මෙරට සමාජ, දේශපාලන කතිකාවතට මඟ විවර කළා යෑයි පැවසීම ද අතිශයෝක්‌තියක්‌ නොවේ.

දැන්....ජාතික රූපවාහිනියේ මේ දිග හැරුමට සූදානම් වනුයේ 6 වැනි දකුණු කොරියානු මාලා නාටකයයි. 'Goddess of Fire' නම් ඉංග්‍රීසි බසින් නම් කර ඇති මෙම නාටකය පුරාවට කියෑවෙන්නේ කුඹල් කර්මාන්තයේ ඇති කලාත්මක පෞරුෂයයි.

'සිරිමැටි සිත්තරාවි', 'ජොං යී' නමැති සුප්‍රසිද්ධ පිඟන් මැටි භාණ්‌ඩ නිර්මාණ ශිල්පිනියගේ ජීවන කතාවයි. මේ සඳහා පාදක වී ඇත්තේ 16 වැනි සියවසේ කොරියානු ජොසොන් රජ පෙළපතේ රාජ්‍ය මැටි හා පිඟන් භාණ්‌ඩ නිර්මාණ ශිල්පිනිය වූ 'බේක්‌ පා සන්' ගේ සත්‍ය ජීවිත කතාන්දරයයි. ඇය ප්‍රථම කුඹල් කාන්තා ශිල්පිනිය වශයෙන් ඉතිහාස ගත වී ඇති අතර, ඇයගේ නිර්මාණ කොරියානු සහ ජපන් ඉතිහාසය තුළ සදානුස්‌මරණීයය.

ඉතිං.., එළැඹෙන 10 වැනිදා අඟහරුවාදා සවස 6.30 සිට විකාශය අරඹන 'සිරිමැටි සිත්තරාවි' මාලා නාටකය සමගින් ඔබේ නිවසේ ආලින්දය සැරසීමට 'ජොං යී', 'කුවන්ගේ කුමරු', 'කිම් තේදොa', 'ලී යුක්‌ දොa', 'ෂිම් හුවා යීසුන්' සහ 'ලී ගං චූන්' චරිත දැන් සිටම සැදී පැහැදී ඇති බව පවසනුයේ සතුටිනි.

'සිරිමැටි සිත්තරාවි' සිංහල බසින් තවත් රසවත් කොට ඔබ වෙත ගෙන ඒමේදී හඬ නළුව වෙමින් ප්‍රවීණ කලා ශිල්පීන් වන කරුණාරත්න අමරසිංහ, ග්‍රේස්‌ තෙන්නකෝන්, රෝහණ සිරිවර්ධන, කමල් දේශප්‍රිය, සමගින් තිසුරි හීන්තිලක, රත දිල්ශාන්, රුවන් තරංග, ගඟන් ජෝශප්, ශක්‌ති ලක්‌නාථ, නිමල් ජයසිංහ, ඉසිනි තිසාරා, කස්‌සප සෙනරත්, චන්දන ඉරුගල්බණ්‌ඩාර, කෝකිල පවන්, ඉරේෂා ලක්‌මාලි, කවිඳු බණ්‌ඩාර, පසිඳු සමරවීර ආදී ශිල්පීන් එක්‌ව සිටිති. සංගීතය සහ තේමා ගී තනු, සහන් රන්වල, තේමා ගී ගැයුම නන්දා පතිරණ, මෙහෙයුම් සහාය අනුර ධර්මසේන සහ රංජිත් ද සිල්වා, නිපැයුම් මෙහෙයුම, සංස්‌කරණය සහ තේමා ගී පද අතුල රන්සිරිලාල්, 'සිරිමැටි සිත්තරාවි' වෙනුවෙන් එක්‌ව සිටිති.

සටහන - සුජීව තත්සර

http://www.divaina.com/2015/02/06/cineart03.html

වෛරස් උණක්: කුඩා දරුවන් ප්‍රවේසමෙන්


විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියයි
කුඩා දරුවන් අතර මේ දිනවල වෛරස් උණ රෝගයක් පැතිරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. පාසල් සහ ළදරු පාසල් වාරය ආරම්භ වී ඇති නිසා එක් දරුවකුට උණ රෝගය වැළඳී තිබුණහොත් අනෙක් දරුවන්ට ද රෝගය බෝ වීමේ වැඩි අවදානමක් පවතින බව ද ඒ මහතා පැවැසුවේය.
වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝගවල පැතිරීම ඉහළ යන බවක් පෙන්වන අතර දින තුනකට වඩා උණ පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගත යුතු යැයිද හෙතෙම අවධාරණය කළේය.
මේ දිනවල ඩෙංගු උණ රෝගයේ ද වැඩි වීමක් පවතින නිසා දින තුනකට වඩා දරුවකුට උණ පවතින්නේ නම් වහාම රුධිර පරීක්ෂයක් කළ යුතු බවත් වෛද්‍ය දීපාල් මහතා කීය.
පාසල් යන දරුවකුට උණ රෝගය වැළඳී ඇත්නම් දරුවා පාසල් නොයවා විවේකීව නිවසේ තබා ගත යුතු බවත් වැඩිපුර දියර ආහාර ලබාදිය යුතු බවත් ඒ මහතා දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට දැනුම් දෙයි.
මදුරුවන් බෝ වන ස්ථාන තමා ජීවත්වන අවට පරිසරය තුළ තිබේ නම් එම ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු උවදුරෙන් වැළකී සිටිය හැකි යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

http://dinamina.lk/

Thursday, February 5, 2015

රජයේ උත්සවවලට සිසුන් යොදා නොගැනීමට ජනාධිපති ගත් තීරණය විද්වතුන්ගේ පැසසුමට

මින් ඉදිරියේ දී පාසල් සිසුන් රජයේ උත්සව සඳහා යොදා නොගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලැබු තීරණය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ පැසසුමට ලක් වේ.
පසුගිය කාලය තුළ මෙරට පැවැති ඇතැම් ජාත්‍යන්තර උත්සවවල දී කිලෝමීටර දෙක තුනක් තරම් දුරට පාසල් දරුවන් පෙළ ගස්වා එම දරුවන් කායික හා මානසික ව දැඩි පීඩාවකට ලක් කළ බව තමන් මනාව නිරීක්ෂණය කළ බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
පාසල් දරුවන් කිලෝමීටර් තුනක් පමණ දුරට පෙළ ගස්වා එය ලෝක වාර්තාවක් යැයි කියමින් ඇතැම් අය පුරසාරම් දෙඩූ බව කී ජනාධිපතිවරයා, එම පාසල් දරුවන් විශාල පිරිසක් ආහාරයක් හෝ දිය පොදක් නොමැතිව සිහිසුන් ව ඇඳ වැටුණු බවත් බොහෝ සිසුන් හාමත්ව සිටි බවත් ඒ නිසාම තමන් පෞද්ගලිකව එවැනි වැඩසටහන්වලට සහභාගී නොවු බවත් කීවේය.
දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට ඇති වටිනා කාලය මෙවැනි දෑ සඳහා යොදවා ගැනීමෙන් එම දරුවන්ට සිදු වන හානිය සුලුපටු නොවන බව පවසන අධ්‍යාපන ක්ෂේත්‍ර යේ විද්වතුන් රැසක් ඊයේ ජනාධිපතිතුමන් ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කර තිබේ.

* දැරිය ගඟ දෙසට තනිවම ගියාදැයි තවමත් අභිරහසක්

කාගෙත් නෙතු අග කඳුළක් රඳවා පුංචි උමේෂාගේ සිරුර කළු ‍ග‍‍‍‍‍‍ෙඟන් මතුවෙයි

මගේ දිහා බලලා වෙනදා වගේ කතා කරන්න පැටියෝ
- මව විලාප නඟයි
* දැරිය ගඟ දෙසට තනිවම ගියාදැයි තවමත් අභිරහසක්
* අඟුරුවාෙතාට වේරවත්ත ප්‍රදේශයම කම්පාවෙන්
අනේ මගෙ පැටියෝ ... මම කොහොමද බලන්නෙ ඔයා දිහා ... මගෙන් කිරි බිබි හිටිය දරුවා ... දෙයියනේ ... අනේ මේ මොකද වුණේ ... අපිට වෙනදා වගේ කතා කරන්න පැටියෝ මට එක පාරක් ...
හොරණ වල්පිට වේරවත්ත ප්‍රදේශයම කළු ගඟ අසලට අතුරු සිදුරු නැතිව එක්රොක් වී බලා සිටියේ ඒ පුංචි මුහුණ දැක ගැනීමේ ආසාවෙනි. කිචිබිචි ගාමින් දුව පැන ඇවිද හුරතල් වු පුංචි උමේෂා දම්මිනි වයස අවුරුදු 1යි මාස 09ක සිඟිති දූ පැටියා අද නිහඩව නිසලව වැතිරි සිටින්නේ කාගේත් හදවත් රිදවා තබමිනි.
ඒ නිවසේ සිට මිටර් 40ක් පමණ දුරින් වේරවත්ත, ගෝනපැතිගල ප්‍රදේශයේ කළු ග‍ගේ උණ අත්තක් යට රොඩු ගොඩක සැගවි සිටි සුරංගනාවියගේ සිරුර කිමිදුම්කරුවන් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි.
අනේ මේ බත් කටත් කන්න පැටියො ... හේමන්ති අතුකෝරළ මහත්මිය අනාගත් බත් කට කවන්නට මිදුල පුරා ඇවිදින්නේ පුංචි දඟකාරියට බත් කැවිම ඒ තරම් ලේසි පහසු කාරියක් නොවන නිසායි.
පසුගිය 02දා දහවල් මිදුලේ පොල් ගස අසලට ගිය හේමන්ති දරුවාට වදෙන් පොරෙන් බත් කටවල් දෙකක් කැව්වත් පුංචි බන්ඩිය නොපිරුණ බව නම් සැබෑවකි. ඇය පිඟානත් රැගෙන නිවසට ගියේ වතුර කෝප්පයක් රැගෙන ඒමටය.
මේසය මත පිඟාන තබා වතුර රැගෙන එළියට එන විට දු පැටියා පෙනෙන්නට නොසිටිය නිසා ඉවානිගෙන් නංගි දැක්කාදැයි ඇසුවේ ගෙතුළට නොගිය බව දන්නා නිසාය. ඉවානි උදාරි, පුංචි උමේෂාගේ වැඩිමල් සොයුරියයි. ඇය හොරණ ශ්‍රිපාලි විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලබන 09 හැවිරිදි දැරියකි. නංගි නුදුටු බව පැවසු ඉවානි අම්මා සමග එක්ව සැම තැනම ඇය සෙව්වේ කලබලයෙනි.
පුංචි කන්දක් සහිත ස්ථානයක බැල්ලපිටිය වේරවත්ත මාර්ගය අසල ඇති හේමන්තිලාගේ වත්ත පිටුපසින් කලබලයකින් තොරව ගලා බසින්නේ කළුගං කොමලිය නිසා හේමන්තිගේ හදවත ගැහෙන වේගය වැඩි වුණත් දරුවාට අඩ ගසමින් ඇය විපරම් කළේ විහිළුවට හැංගි හෝ ඇතැයි සිතමිනි.
දරුවාගේ පියා හරිශ්චන්ද්‍ර ලොකුපතිරගේ මහතා තම ටිපර් රථයෙන් උදැසන නිවසින් පිට වුණේ ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලටය. හරිශ්චන්ද්‍ර මහතාගේ පියා එල්. පී. විජේදාස මහතා (56) මව වන වයලට් රම්‍යසීලි (55) මහත්මිය සිටින්නේ හේමන්තිලාගේ නිවසට යාබද නිවසේය. ඒ නිවස ඇත්තේ කළුගඟට වඩාත් ලංවය. ඒ නිවසේ පිටුපස වතුර කරාමය අසල මෙන්ම එක දිගටම ඉතාම අවදානම් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
විශේෂයෙන්ම වතුර කරාමය අසල නිවසේ පිටු පස සිට අඩි හතක් පමණ දුරින් කෙලින්ම කළු ගඟට බෑවුම්ව ඇති අයුරු දකින ඕනෑම කෙනෙකුගේ හිත භියෙන් මුසපත්වනවාට සැක නැත. ආරක්ෂිත වැටක් හෝ නොමැති මෙම පිටුපස කොටස කුඩා දරුවෙකු පමණක් නොව වැඩිහිටියෙකුට පවා අනතුරු සහිත බව පැහැදිලි වන කරුණකි.
ආච්චිගේ නිවස අසලම ඇති පොල් ගස ළග සිට බත් කැවු බව ආච්චි පැවසුවත් ඇය ඒ අවස්ථාවේ සිට ඇත්තේ නිවස තුළයි. ඒ පොල් ගස ළග සිට කෙලින්ම බලන විට පෙනෙන්නේ ඔවුන් දිය නෑමට ගඟට බසින මාර්ගයයි.
එය ගල් මුල් මතුවි කාලයක් තිස්සේ ගමන් කිරිම නිසා ඇති වු එකකි. වැඩිහිටියෙකුට පවා එයින් බැසිම තරමක් දුෂ්කර කටයුත්තකි. එම මාර්ගය පිවිසෙන්නේ ගල්තලාවක් මතට විමද විශේෂත්වයකි.
මේ පිලිබද අදහස් දැක්වු දරුවාගේ ආච්චි වයලට් රම්‍යසිලි මහත්මිය මෙසේ පැවසුවාය. මම දවල් උයන්න හාල් ටික මුට්ටියට දැම්මා. එතකොට දරුව ඇවිත් හාල් ටිකක් බිමට දැම්මා. මම ඇහුව අනේ පුතේ හාල් ටික හැලුවා නේද කියලා කිව්වම දරුවා හාල් ටික ඇහිදලා දුන්නා.
මම කිව්ව පුතේ කවියක් කියන්න කියලා. තාත්තටයි මටයි ‍ගෙඩි දෙකක් ඇති කියල කිව්වා දෙයියනේ. ඊට පස්සෙ මම කුස්සියෙ උය උයා හිටියා. මගේ දූව දරුවට බත් කැව්ව මිදුලෙ පොල් ගහ ළඟ. ලොකු දුව හිටියෙ අපේ ගෙදර ටීවි බල බලා.
අම්ම ඇහුව දුවගෙන් කෝ පුතේ නංගි කියලා ඇහුවහම එයා දැක්කෙ නෑ කිව්වා. ඊට පස්සෙ අපි හැම තැනම හෙව්වා.
වතුර ගේන්න ගෙට යනව කිව්ව නම් මං බලා ගන්නවනෙ දරුවව. අපි කෝල් කරල පුතාවයි මගෙ මහත්තයවයි ගෙදර ගෙන්න ගත්තා.
අපි ග‍ඟ අයින දිගේ කැලෑවල පීර පිරා හෙව්වා. මම වලං හෝදන්නෙ ගෙයි පිටිපස්සෙ. අපි නාන්නෙ ගගෙන්. ඒත්දරුවන්ව අරන් යන්නෙ නෑ. මං හිතුවෙ නෑ දරුවා ගඟට වැටිලා ඇති කියලා. කවුරුහරි අරන් යන්න ඇති කියලා තමයි මට හිතුනේ.
දරුවාගේ මව හා පියා සමග කතා කිරීමට අසිරු වුයේ ඔවුන් දැඩි කම්පනයෙන් වැලපෙමින් සිටි නිසාය . අසල් වාසින් පවසන්නේ මෙම පවුල ගමේ කා සමගත් ඉතා හිතවත්ව සුහදශිලීව කටයුතු කරන අය බවයි .
මෙම ස්ථානයට පැමිණි හොරණ මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නිවස හා දරුවා ගොඩ ගත් ස්ථානයේ ස්ථානීය පරීක්ෂණ සිදු කර නිවස පිටුපස පරිසරය ඉතාම අනාරක්ෂිත බව පැවසුවාය. කෙසේ හෝ වැඩිහිටියන්ගේ නොසැලකිල්ලෙන් පිපෙන්නට පෙරාතුවම පුංචි මල් කැකුලක් අකලට පරවී ගියේ ලොවේ මිහිරියාව අත් විදින්නට ඉඩ නොදි වීම ශෝචනියවයි.
පශ්චාත් මරණ පරික්ෂණය සදහා දේහය හොරණ මුළික රෝහලට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ කළ අතර පානදුර දකුණ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි විජේගුණවර්ධණ මහතාගේ මෙහෙයවිමෙන් අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති පො.ප.ඇපලකොටුව මහතාගේ මගපෙන්විම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප මිහිරාල් මහතා ඇතුළු නිලධාරින් ඉදිරි විමර්ෂණ කටයුතු මෙහෙයවති.

http://dinamina.lk/2015/02/05/_art.asp?fn=n15020518

සැබෑ නිදහස සහ එහි පුරෝගාමියෝ

නිදහස යනු විවිධ ලෙසින් අරුත් දැක්වෙන පදයකි. වචනාර්ථ වශයෙන් ගත් කල, ‘දාසත්වයෙන් තොර’ යන අදහස එයින් ලැබේ. සංස්කෘතයෙහි ‘නිර්දාස’ යන වචනය පාලියෙහි ‘නිද්දාස’ බවට පත් වී සිංහලයෙහි ‘නිදහස්’ වෙයි. දාස භාවය වනාහි බැම්මකි. එහෙයින් දාස භාවයෙන් නො ව, වෙනත් බැම්මකින් මිදුණ ද නිදහස යන වදන රූඪි අර්ථයෙන් ඒ සඳහා යොදනු ලැබේ.

නිදහස පිළිබඳ යථෝක්ත අර්ථ කථනය කරන ලද්දේ අප ගේ නිදහස - එ නම් 1948 පෙබරවාරි 04 වැනි දා අප ලැබු හයි කියන නිදහස පිළිබඳ විවරණයකට පූර්විකාවක් වශයෙනි. මෙහි දී අප මුහුණ දෙන පළමු ගැටලුව වන්නේ යට කී පසු බිමෙහි දී, 1948 දී අප ලැබු හයි කියන නිදහස ඇත්තට ම නිදහසක් ලෙස සැලකිය හැකි ද යන්න යි. ඒ කවර හෙයින් ද?
යට දක්වන ලද පරිදි, නිදහස යනු මූලික වශයෙන් දාස භාවයෙන්, නැතහොත් යටත් පිරිසෙයින් වෙනත් බැම්මකින් ගැලවීම, මිදීම වෙයි. ඉතින් අප ශ්‍රී ලංකා වාසීන් එ බඳු දාස භාවයකට හෝ වෙනත් බැම්මකට හෝ අසු වී සිටියා යැ යි සැලකිය හැකි ද?
එස්. මහින්ද හිමි
පාසලේ දී හෝඩියේ සිට උසස් පෙළ වන තෙක් ම අපට උගන්වන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් ව තිබූ ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වැනි දා නිදහස ලද බව යි. ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමේ දීත් නිදහස් දිනය ලෙස පෙබරවාරි 04 වැනි දා ලියන්නට අපට පුරුදු කරවනු ලැබ ඇත. අපිත් එසේ ම ලියමු. අපට පෙර සිටි පරපුර ද එසේ ම ලිවී ය. අප ගෙන් පසු පරපුර ද එ සේ ම ලියනු ඇත. වැඩි දුරටත් අපට උගන්වන ලද කරුණක් නම් අපේ ජාතික වීරයන් ගේ දක්ෂතාව නිසා ‘ලේ බිඳකුදු නොසොල්වා’ නිදහස ලබන්නට අපේ රට පින්වත් වූ බව යි.
නිදහසක් ලබන්නට නම් බැම්මකට, යටත් වීමකට හසු වී සිටිය යුතු වෙයි. ශ්‍රී ලංකා වාසීන් එසේ බැම්මකට හසු වූයේ කවර දා ද? එයත් අපට පාසලේ දී මැනවින් උගන්වා ඇත. 1815 මාර්තු දෙවැනි දා උඩරට ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් කරගන්නා ලදි!
මේ සමාජය පිළිගත් මතය යි. මෙහි සත්‍යාසත්‍ය භාවය පළමු ව විමසා බලමු. රටක් යටත් කර ගන්නේ ආයුධ බලයෙන් කරනු ලබන යුද්ධයක් මඟිනි. එ බඳු යටත් කිරීම් ගැන උදාහරණ ලෝක ඉතිහාසයෙන් අපමණ සොයාගත හැකි වෙයි. තවත් ආකාරයක යටත් කරගැනීමක් දේශපාලන විප්ලව මඟින්, බලයේ සිටින පාලකයා ඉවත් කිරීමෙන් කරනු ලැබේ. ඒ සඳහා ද ලෝක ඉතිහාසයේ ඇති උදාහරණ අපමණ ය. එහෙත් යටත් කරගැනීමක් ලෙස බොහෝ විට සැලකෙන්නේ යුද්ධයක් මඟින් කරන ලද යටත් කරගැනීමක් ම ය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අපේ රට එසේ යටත් කරගත හැකි නො වී ය. ලන්දේසීන් සතු ව තිබු මුහුදුබඩ පළාත් හා බලකොටු ඔවුන් පලවා හැර අල්ලාගත් නමුදු මෙ රට පාලන අගනුවර වශයෙන් තත්කාලීන ව පැවැති, මහනුවර යටත් කරගැනීමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට නොහැකි විය. එය ඇත්තට ම නොහැකි වීමක් වන්නේ ඒ සඳහා උත්සාහ කොට නොහැකි වූ බැවිනි. අපේ ඉතිහාසයේ දැක්වෙන අන්දමට, බොරු ගැටලුවක් (පුවත් වෙ‍ළෙඳාම පිළිබඳ ව) මතු කොට 1803 දී, එ වක මෙහි කොළඹ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා ව සිටි ප්‍රෙඩ්රික් නෝත් කන්ද උඩරට ආක්‍රමණය කළේ ය. එහෙත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගේ හමුදා එල්ල කළ ‘ගරිල්ලා’ ප්‍රහාර හමුවේ හිස් ලූ ලූ අත දිව යන්නට බ්‍රිතාන්‍යයේ දක්ෂ යුද්ධ භටයනට සිදු විය. වැඩි දෙනෙක් මැරුම් කෑ හ.
මෙයින් බ්‍රිතාන්‍ය පාලකයන් වටහාගත් කාරණය කුමක් ද? යුද්ධයෙන් නම් කිසි දිනක කන්ද උඩරට රාජධානිය ජයගත නොහැකි බව යි. එ හෙයින් වෙනත් උපායකින් (එ වක හැඳින්වුණු පරිදි) සිංහලේ රජු පරදවා කන්ද උඩරට අල්ලාගත යුතු බව ඔවුන් ගේ තීරණය විය. උඩරට ප්‍රධාන නිලමෙවරුන් අතර බල අරගල ඇති කොට රට අවුල් කොට රජු මර්දනය කිරීම ඔවුන් පිළිපන් පිළිවෙත විය. ජෝන් ඩොයිලි මෙහි දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වඩුගයකු වීම (මෙය ද ප්‍රධාන ධාරාවේ ඉතිහාසයෙහි සඳහන් වන නමුදු විමර්ශනීය කාරණයකි. කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිමතලව්වේ නිලමේ ගේ අවජාතක පුත්‍රයකු බවට සාධක උඩරට ඉතිහාසයෙන් ලැබේ), රජු ගේ වඩුග නෑයන් හට වැඩි සැලකිලි දැක්වීම, රජු ගේ අදූරදර්ශී අමනෝඥ ක්‍රියා, දුර්දාන්ත පාලනය වැනි කරුණු මුල් කොට උඩරට කැලඹිලි ඇති කොට රාජ්‍ය පාලනය දුර්වල කොට බලය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍යයෝ කටයුතු යෙදූ හ. එහෙත් එය ඔවුනට කළ හැකි වූයේ ඇහැළේපොළ, මඩුගල්ලේ වැනි නිලමෙවරුන් ගෙන් ලද සහයෝගය නිසා ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන් විසින් අල්ලා නොගැනුණු අතර සිංහල නිලමෙවරුන් විසින් අල්ලා බ්‍රිතාන්‍ය නිලධාරීන් හට බාර දෙනු ලැබී ය.
ඉක්බිති ව වත් කන්ද උඩරට රාජ්‍යය යටත් කරගැනීමට බ්‍රිතාන්‍යයට හැකි නො වී ය. එ වක රාජ සභාවේ සිටි ප්‍රධාන නිලමෙවරුන් උපායශීලි ව ‘පොරොන්දු ගිවිසුමකට’ නැත හොත් ‘ආරක්ෂක ගිවිසුමකට’ කැමති කරවාගෙන උඩරට පාලනය සියතට ගන්නටයි, බ්‍රිතාන්‍යයට හැකි වූයේ. ඒ ව්‍යාජ පොරොන්දු ගණනාවක් මඟින් නිලමෙවරුන් රැවටීමෙන් පසු ය. මේ නිසා කිසි සේත් ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් රාජ්‍යයක් වූ හයි කිව නොහැකි ය. බ්‍රිතාන්‍ය රජු ලංකාවේ ද රජු ලෙස උඩරට ගිවිසුම මඟින් පිළිගන්නා ලද හෙයින් බ්‍රිතාන්‍ය ‘විජිතයක්’ (Coloney) ලෙස හදුන්වන නමුදු ලංකාව බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කරගන්නා ලද රාජ්‍යයක් නො වේ (විජිත යන්නෙහි අරුත නම් ‘විජයග්‍රහණය කරන ලද’ යනු යි. ඒ අරුත අනුව ගියහොත් බ්‍රිතාන්‍ය විජිතයක් වශයෙන් වුව ද ලංකාව හැඳින්වීම කො තරම් යුක්ති යුක්ත දැ යි ප්‍රශ්න කළ හැකි ය.)
කුමාරතුංග මුණිදාස
කෙසේ වුව ද, තමන් රවටන ලද බව ද, තමන් ගේ අභිමතාර්ථ ඉටු නොවන බව ද, යටත් පිරිසෙයින් ගිවිසුමේ සඳහන් ප්‍රධාන පොරොන්දු වත් බ්‍රිතාන්‍යයන් ඉටු නොකරන ලද බව ද වැඩි කල් නො යා දීම නිලමෙවරුන් ඇතුළු මෙ රට ජනතාවට වැටහිණ. එ හෙයින් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි මහත් අරගලයක් 1818 දී ඇති විය. එය මර්දනය කරන ලද්දේ අතිශය ක්‍රෑර ආකාරයෙනි. නැවත 1848 කැරැල්ල ද එ සේ ම මර්දනය කරන ලදි. මෙයින් පෙනෙන්නේ කන්ද උඩරට රාජ්‍යය ආයුධ බලයෙන් අත්පත් කරගන්නට බ්‍රිතාන්‍යයනට නොහැකි වුව ද උපක්‍රමයෙන් නමුදු පාලන බලය ලබාගත් පසු ආයුධ බලයෙන් ජනතාව මර්දනය කිරීමට ඔවුන් උත්සුක වූ ආකාරය යි.
බාර දුන් තරම් පහසුවෙන් මෙ රට පාලන බලය යළි ලබා ගැනීමට හැකි නො වී ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලවා රාජත්වය ලබා ගැනීමට සිතූ ඇහැළේපොළ මහ අදිකාරම් මුරිසියට පිටුවාහල් කරන ලදි. උඩරට ගිවිසුමට අස්සන් කළ ප්‍රධානයන් වූ කැප්පෙටිපොළ, මඩුගල්ලේ ආදීහු රාජද්‍රෝහීන් වශයෙන් හිස් ගසා දමන ලද හ. එහෙත් පසු කල, එංගලන්ත පාර්ලිමේන්තුවේ ම සිදු වූ වෙනස්කම් නිසා තම විජිතවල පාලන බලය ස්‍වදේශිකයනට පවරන්නට බ්‍රිතාන්‍යයට සිදු විය. ලංකාවට ද එසේ 1948 පෙබරවාරි 04 වැනි දා එසේ පාලන බලය ලැබිණ. යට දක්වන ලද කරුණු අනුව එය නියම නිදහසක් ද, මෙය නිදහස් දිනය වශයෙන් සැලකීම යුක්ති යුක්ත ද යනු සිතා බැලිය යුතු ය. යමෙක් මෙය බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබූ නිදහසකැ යි සිතන්නේ නම් පවා එයට බාධක වන්නේ කවර අරුතින් ගත්තත් මෙය සම්පූර්ණ නිදහසක් නොවීම යි. 1972 වන තෙක් ම ශ්‍රී ලංකාව කිරීට විජිත (crown coloney) තත්ත්වයේ ලා සලකන ලදි. එහෙයින් ‘1948 නිදහස’ යන්න බෙහෙවින් විවාදාපන්න කාරණයකි.
නිදහස යන්න විවිධ අංශවලින් අර්ථකථනය කළ යුතු සංකල්පයකි. දේශපාලන නිදහස පමණක් නො ව, ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස ආදි වශයෙන් එය වර්ග කොට දැක්විය හැකි ය. මේ අතුරින් නියම නිදහස ලෙස දැක්විය හැක්කේ කුමක් ද? දේශපාලන නිදහස යැ යි බොහෝ දෙනකු කියන්නට ඉඩ ඇත. එහෙත් එය අර්ධ සත්‍යයකි. දේශපාලන නිදහස ලැබුණත් අප ආර්ථික වශයෙන් යැපෙන්නේ වෙනත් රටවල් මත නම් ඒ රටවල බලපෑමට නතු වන්නට වීම අනිවාර්ය වේ. තුන් වන ලෝකයේ බොහෝ රටවලට සිදු වී ඇත්තේ මෙය බව හොඳින් විමසන විට පෙනී යයි.
ආර්ථික වශයෙන් ස්වාධීන ව සිටිය ද සංස්කෘතික නිදහස නැත් නම් රටක් නියම වශයෙන් නිදහස් යැයි කිව නොහැකි ය. සංස්කෘතික නිදහස යන්නෙන් සලකන්නේ තම රටේ දේශීයත්වයෙන් ගොඩ නැඟුණු අනන්‍ය ලක්ෂණ සහිත, එ මෙන් ම, විදේශයකින් ගත් නමුදු දේශීයත්වයට හොඳින් අනුගත ව, ජීර්ණය වූ, ලක්ෂණ සහිත සංස්කෘතියක් යම් රටක පැවතීම යි. එහි පදනම නිදහස් චින්තනය යි. සත්‍ය වශයෙන් ම බලන කල දේශපාලන වේ වා, ආර්ථික වේ වා නිදහස ඇති වන්නේ චින්තනයේ නිදහස හෙවත් නිදහස් චින්තනය මූලික කරගෙන යි.
මෙ නයින් සලකන කල්හි මෙරට සැබෑ නිදහස නම් අපට කුඩා කල සිට ම උගන්වා ඇති පරිදි 1948 පෙබරවාරි 04 වැනි දා ලබාගත් ඊනියා (අසම්පූර්ණ) පාලන නිදහස ද නැතහොත් පූර්ණ සංස්කෘතික නිදහස ද යන්න නැවත නැවතත් විවේක බුද්ධියෙන් යුතු ව සිතා බැලිය යුතු කරුණකි. එ සේ සිතා බලන කල්හි අපට වැටහෙන්නේ සංස්කෘතික නිදහස ම සැබෑ නිදහස වන බව යි. මේ මාර්ගයේ ම තවත් දුරට ගමන් කොට විමසා බලන විට නිදහසේ සැබෑ පියවරුන් වන්නෝ ‘ලේ බිඳකුදු නො සොල්වා’ (ඉන්දියාවට නිදහස දෙන විට පිනට මෙන්) ලංකාවට නිදහස ලබාගත් දේශපාලකයෝ ද නැත හොත් රටේ ජන විඥානය සංස්කෘතික වශයෙන් නිදහස් ව ස්වාධීන ව සකස් කිරීම පිණිස උත්සුක වූ චින්තකයෝ ද යනු ලෙහෙසියෙන් ම විසඳාගනු ඇත.
දේශපාලන නිදහස මෙන් නො ව, සංස්කෘතික නිදහස යනු අස්සන් කරන ලද ලියවිල්ලකින් හෝ ගිවිසුමකින් හෝ ලබාගත හැක්කක් නො වේ. දීර්ඝ කාලයක් තිස්සේ ලේඛනයෙන්, දේශනයෙන්, නොයෙක් කලා මාධ්‍ය ආදියෙන් ජන විඥානය සකස් කොට ලබාදිය යුත්තකි. මෑත ඉතිහාසයේ දී මේ කටයුත්ත දැඩි වෑයමින් ඉටු කළ කිහිප දෙනකු ගේ කාර්ය සාධනය (හරි වුව ද, වැරදි වුව ද 1948 නිදහස කඩඉම ලෙස තබාගෙන) විමසා බලමු.
අනගාරික ධර්මපාල තුමා
මෑත ඉතිහාසයේ මෙ රට ජන මනස සකස් කළ චින්තකයන් අතරින් මුල් තැන ලැබෙන්නේ අනගාරික ධර්මපාල (1864 - 1933) තුමනට බව කීම අතිශයෝක්තියක් නො වේ. සැබැවින් ම එ තුමන් සංස්කෘතික වීරයකු වන නමුදු මෙහි යට දක්වන ලද ආර්ථික, දේශපාලන නිදහස ද සංස්කෘතික නිදහස ඔස්සේ ලබාදීම සඳහා ඉතා පුළුල් චින්තනයකින් යුක්ත වූ බුද්ධිමතකු ලෙස සැලකිය යුතු වෙයි.
ධර්මපාල තුමෝ ජාතිය හා ආගම අන්‍යෝන්‍ය වශයෙන් අවියෝජනීය වූ කේන්ද්‍රීය සහසංකල්ප ලෙස තබාගෙන ස්වකීය ව්‍යාපාරය ගෙන ගියහ. සිංහල ජනතාවගේ ජාතික චින්තනය අවදි කිරීම පිණිස එය අත්‍යවශ්‍ය බව එතුමන්ට පෙනෙන්නට ඇත. එහෙත් එතුමන් ගේ චින්තනය වඩාත් පෘථුල එකක් වූ බව “මගේ රට, මගේ ජාතිය, මගේ ආගම මගේ භාෂාව යන මේ මහා අනර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කරගැනීම මගේ යුතුකමකි” යන කියමනින් පෙනේ. ආගම මෙන් ම භාෂාව ද සංස්කෘතියේ ප්‍රධානතම සාධකයකි. ඒ බව අවබෝධ කොටගැනීම සංස්කෘතික විඥානය සකස් කිරීම පිණිස එතුමන් ඉතා නිවැරැදි මාර්ගයක ගිය බව සුවිශද ව පෙන්වයි.
සංස්කෘතියක් නම්, ගම්, ඇඳුම් පැලඳුම්, කෑම බීම ආදි අංග ගණනාවකින් සමන්විත වේ. ධර්මපාල තුමෝ මේ සැම අංගයක් ම දේශීය අනන්‍යතාව ආරක්ෂා වන පරිදි භාවිත කිරීම පිණිස මෙරට ජනතාව මෙහෙයවූහ. මෙහි දී පැහැදිලි ව පෙනෙන කාරණ්‍යක් වනුයේ දේශීය සංස්කෘතිය බටහිර ග්‍රහණයෙන් මුදා ගැන්මට උත්සුක වූ නමුදු භාරතීය බලපෑමෙන් මුදා ගැන්මට එතුමන් උත්සුක නොවූ අයුරු යි. නැත හොත් භාරතීය හා ලංකා සංස්කෘති අතර එතරම් වෙනසක් නොතැකුවා විය හැකි යි. භාරතය සමඟ එ තුමන් දැඩි සම්බන්ධයක් පැවැත්වූ අතර මියගියේ ද එහි දී ය. භාරත නිදහස් සටනේ ආභාසය ද එතුමන් ගේ අදහස්වලින් ප්‍රකට වේ.
ධර්මපාල තුමන් ගේ පුළුල් මෙහෙවර මෙබඳු ලිපියකින් විමසිය හැකි නො වේ. එ සේ ම එතුමන්ගේ මෙහෙවර මහාබෝධි සංගමය පිහිටුවීම, බුද්ධගයාව බේරා ගැනීම, සිංහල බෞද්ධයා පත්‍රය පැවැත්වීම වැනි කරුණුවලට ඌනනය කරනු ලැබේ. මේ හැම එකක ම පදනමේ සංස්කෘතික විඥානය ක්‍රියාත්මක වන නමුදු ඒ ගැන සියුම් විමර්ශනයක් සාමාන්‍යයෙන් නො කෙරේ. එහෙත් මෙහි දී එක් කරුණක් පැහැදිලි ව දැක්විය හැකි ය. සුද්දන් මෙරටින් යන විට ඔවුන්ගේ තැන ගැනීමට ‘කළු සුද්දන්’ බෝ කර යනවා ඇතැයි යන එතුමන් ගේ කියමන විමසා බලන කල, දේශීයත්වය තීරණය වන්නේ ජන්මයෙන් නො ව සංස්කෘතියෙන් යැයි එතුමන් තුළ පැහැදිලි වැටහීමක් තිබූ බව පෙනේ.
ධර්මපාල තුමන්ගේ මඟ ම ගත් තවත් සංස්කෘතික වීරයකු ලෙස පියදාස සිරිසේන මහතා දැක්විය හැකි ය. ඔහු ගේ මාධ්‍ය වූයේ පුවත්පත, නවකතාව හා කවිය යි. දේශකයකු වශයෙන් ද හෙතෙම කීර්තිමත් විය. ධර්මපාල තුමා තරම් රළු නොවූ නමුදු සංස්කෘතික නිදහස මෙ රට ජනයාට ලබාදෙනු වස් සිරිසේන මහතා ගෙන් ද ඉතා අගනා මෙහෙයක් ඉටු විය.
සිරිසේන මහතාගේ නවකතාවල අන්තර්ගත වූ සාකච්ඡා මඟින් ඔහුගේ අදහස් බොහෝ විට ජනතාව අතරට ගෙන යන ලදී. පුරාතන ඖදාර්යය පුනරුත්ථානය කිරීමේ අභිලාෂය ඔහු තුළ වූ බව පැහැදිලි ව පෙනීයන නමුදු පුළුල් දැනුමකින් යුතු වූ ඔහු ස්වකීය මත සාධනය කිරීම සඳහා පුරාතන භාරතීය, සිංහල මෙන් ම බටහිර මූලාශ්‍රයවලින් ද කරුණු උපුටා දක්වා ඇත. (මත්පැන්වල අයෝග්‍ය භාවය ඔප්පු කිරීම පිණිස ඔහු බටහිර උගතුන් රාශියකගේ මත උපුටා දක්වා තිබීම නිදර්ශනයකි.)
“ස‍ඳේ මෙන් පතළ පැරැකුම් දුටුගැමුණු
උදේ සවස මුනිඳුට පසු සිහි කරනු
විදේ සින්ගෙ දුසිරිත් පිළිකුල් කරනු
මෙ දේ කරන තුරු නැත වන්නේ දියුණු”
යන ඔහු ගේ ප්‍රකට කවියෙන් ද කියැවෙන්නේ ස්වකීය ප්‍රෞඪ ඉතිහාසය සිහි කිරීම හා (ඒ වන විට මෙරට ජනයා අතර පැතිරී පැවැතී) විදේශිත දුශ්චරිත පිළිකුල් කිරීම දේශීය ජනතාවගේ දියුණුවෙහි මාර්ගය බව යි.
පියදාස සිරිසේන
සිරිසේන මහතා ද ධර්මපාල තුමා මෙන් ම ජාතිය හා ආගම අවියෝජනීය අංග ලෙස සලකා ඇත. ඔහු පැහැදිලි ව දක්වන පරිදි කටින් ගිලිහු‍ණත් දත වනාහි දත ම වන්නාක් මෙන් බෞද්ධයකු නොවුණ ද සිංහලයා, සිංහලයා ම වෙයි. එහෙත් කටින් ගිලිහුණු දත නිෂ්ප්‍රයෝජන පිළිකුල් දෙයක් වේ. මෙරට සංස්කෘතික පුනරුත්ථානයේ පදනම ලෙස සිංහල - බෞද්ධත්වයේ අභිවර්ධනය ඔහු විසින් සලකන ලද බව මෙයින් පෙනේ.
ආගමය පිළිබඳ ව මොවුන් ඉතා දැඩි ලෙස සැලකීම විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. යම් කිසි ජන සමූහයන් ජාතියක් වනුයේ පොදු සංස්කෘතියකින් බැඳුණු කල්හි ය. යට ද දක්වන ලද පරිදි සංස්කෘතියෙහි ප්‍රධාන සාධකයක් වන්නේ ආගම යි. එසේ ම සංස්කෘතියක අනෙක් අංග සියල්ල සඳහා ද ආගම මඟින් කෙරෙන බලපෑම සුළුපටු නො වේ. සංස්කෘතික විඥානය සකස් කිරීමේ දී ආගමයට ප්‍රධාන තැනක් දෙන්නට මේ කරුණ මොවුන් පෙලඹවූවා යැ යි සිතිය හැකි යි.
සිරිසේන මහතාගේ නවකතාවල අන්තර්ගතය වූයේ දේශීය සංස්කෘතියෙහි පිහිටා සිටින්නන් ජීවිතය ජය ගැනීමත් විදේශීය හෙවත් පරගැති සංස්කෘතියෙහි පිහිටා සිටින්නන් පරාජය වීමත් ය. මේ නවකතා එකල විශාල වශයෙන් අලෙවි වූ බැවින් ජන සංස්කෘතික විඥානය සකස් කරන්නට ඔහු විශාල බලපෑමක් කළ බව සිතිය හැකි ය. (සිරිසේන මහතා ගේ ප්‍රථම නවකතාව වූ ‘ජයතිස්ස හා රොසලින්’ පිටපත් 25000 ක් පමණ විකුනුණු බව කියැවේ.)
සංස්කෘතික නිදහස ඇති කිරීමේ ලා පුරෝගාමි වූ අනෙක් ප්‍රධාන බුද්ධිමතකු වූයේ කුමාරතුංග මුනිදාස ය. ඔහු ගේ විශේෂතාව වූයේ භාරතීය සම්බන්ධතාව ප්‍රතික්ෂේප කිරීම හා සංස්කෘතික විඥානය සකස් කිරීමේ දී ආගමය අත හැරීම යි. හෙතෙම බස හෙවත් භාෂාව සංස්කෘතියේ මූල සාධකය ලෙස සැලකී ය. බස - රැස - දෙස තෙරුවනක් සේ සැලකූ හේ බස නැඟීමෙන් රැසත් රැස නැඟීමෙන් දෙසත් නැ‍ඟෙන බව පැවසී ය.
‘ජාතිය ද ආගමය ද’ යන පැදි පෙළේ දී කුමාරතුංග මහතා පැහැදිලි ව පෙන්වා දෙන්නේ මිනිසුන් අතර ඇති ඉතා ම ශක්තිමත් බැම්ම ජාතිය විනා ආගමය නොවන බව යි ජාතියේ පදනම බස යි. එ හෙයින් බස නැංවීම සංස්කෘතික විඥානය සකස් කිරීමේ දී ප්‍රධාන කාර්යය වශයෙන් ඔහු සැලකූ බව පෙනේ. ඔහු පළ කළ අදහස්වලින් ගම්‍ය වන කාරණයක් නම් චින්තනයේ මාධ්‍යය භාෂාව වන බැවින් චින්තන නිදහස ලැබීමට නම් භාෂාව ස්වාධීන ව පැවතිය යුතු බව යි.
“සිත නිදහස් බවට
නො පමුණුවා පළමු කොට
නිදහසට සිය රට
ලමු යි’ යෙති දදහු ඇතියෙන් කට”
යන කවියෙන් පෙන්වා දෙන පරිදි, රටට නිදහස ලැබීම නම් රට වැසියන් ගේ සිත නිදහස් විය යුතු ය. මෙය සමකාලීන අනෙක් විද්වතුන් ගේ අදහස් අතර සුවිශේෂ වූවකි.
කුමාරතුංග මහතා ගේ අනෙක් විශේෂතාව වූයේ ‘හෙළ’ අනන්‍යතාව මතු කිරීම යි. විජය ගෙන් සිංහල ජාතිය ඇරැඹිණැ යි යන මහාවංශ ප්‍රවාදය ප්‍රතික්ෂේප කළ හේ එයට වඩා අවුරුදු දහස් ගණනක් පැරැණි ඉතිහාසයක් සිංහල ජාතියට ඇතැයි ද එ කල ‘හෙළ’ යන නමින් සිංහලය හැඳින්විණැ යි ද පැවැසී ය.
“පොරණ හෙළ දැය තාරකාදි වීර
පවර මහ නිරි‍ඳෝ වැඩූ හ සාර
“තරු නරඉදු - රවුළු නිරිඳු
කළ පරසිදු - හෙළ දෙස සුදු”
වැනි කවි මඟින් පෙන්වා දෙන පරිදි, මහාවංසය ඉක්මවා ගොස් තාරක රාවණ යුගය තෙක් සිංහලයේ අතීතය ගෙන යෑමට හෙතෙම උත්සුක විය. එසේ ම හෙළ සංස්කෘතිය මෙ රට ම ඇති වූවක් විනා භාරතය ප්‍රභව කොට ඇති වූවක් නොවන බව ද ඔහු ගේ අදහස විය.
“අපට කුමට ලෙඩට දුකට
ඇරුණු දෙරණ දඹදිවේ” වැනි කවි පදවලින් දක්වන පරිදි භාරත සම්බන්ධය අනවශ්‍ය වුවක් බව හේ පැවසී ය. මේ අදහස් අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන වැනි බුද්ධිමතුන් ගේ චින්තන ධාරාවෙන් පැහැදිලි ව ම වෙනස් විය. එ සේ ම සමකාලීන සමාජයේ - විශේෂයෙන් ම තරුණ පරපුර අතර මහත් සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට කුමාරතුංග මහතා ගේ නව සංකල්ප හේතු විය.
ලංකාවේ සංස්කෘතික නිදහස සඳහා කවිය මඟින් ස්වාධීන කාර්ය භාරයක් ඉටු කළ තවත් ප්‍රධාන විද්වතකු වූයේ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියෝ ය. ස්වදේශිකයකු නොවුව ද, සංස්කෘතියෙන් ස්වදේශිකයකු වූ උන් වහන්සේ ගේ කාව්‍ය රචනාවලින් බහුතරය දේශපාලන නිදහස ඉලක්ක කරගත් රචනා විය, අදහස අතින් කෙසේ වුව ද, රචනා විලාසය අතින් ඉතා උද්වේගකර වූ ඒවා කෙළින් ම නිදහස පිණිස පොලඹවන සුලු විය.
“කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගහල ද සිහළුන්නේ”
මේ අතර උන් වහන්සේ, සංස්කෘතික විඥානය සකස් කරනසුලු රචනා ද පළ කෙළේ ය.
“වන්නි හතේ වැදිලත් අර ඉංග්‍රිසියෙන් ම කතාව කරන්නේ
දැන් බැරි නම් මතුවත් මම ඉංග්‍රිසියෙන් ම වෙමි සිතන්නේ”
ධර්මපාල තුමන්ගේ ව්‍යාපාරය හා මහින්ද හිමියන් අතර සම්බන්ධතාවක් වී ද යනු දැනගන්නට හැකි නමුත් ධර්මපාල තුමාගේ ලේඛනවල හා දේශනවල තිබු උද්වේගය උන්වහන්සේ ගේ පද්‍යවලින් ද දැකගත හැකි විය.
ආනන්ද රාජකරුණා වැනි කවීන් ගේ රචනා ද දේශීය සංස්කෘති විඥානය සකස් කිරීමට ඉවහල් විය.
“හෙට හව මෙහේ ඒවී මිසිස් වැන්දබෝනා
කොට ගවුම ඇඳන් යාවී ෂොපිං මිස් ජොහානා
කදිම ජොලි ෆෙලෝ වික්ටර් ලුකැට් මයි පියානා
දොඩන හැටි බලව් අච්චාරු බාසෙන් අ‍ඳෝනා”
දීර්ඝ කාලයක් තිස්සෙ සමාජ හරයන් (Social Values) බවට පමුණුවා තිබූ භාවිතයන් වෙනස් කිරීම පිණිස පොදු ජන වින්දන මාධ්‍යයක් වූ කවියෙන් කරන ලද සේවාව සුළුපටු නො වේ.
* * *
මෙහි දී, මුඛ්‍ය අදහස ලෙසින් දක්වන ලද්දේ 1948 දී අප ලැබු නිදහස සැබෑ නිදහසක් ද යන්න හා දේශපාලන නිදහසට වඩා බලවත් වනුයේ සංස්කෘතික නිදහස යන්න යි, කෙසේ වුවත්, දේශපාලන නිදහස ලබා වුව ද වසර හැත්තෑවකට ආසන්න කාලයක් ගත වී තිබිය දීත් සංස්කෘතික නිදහස අතින් අතිශය පරිහානිය කරා මෙරට ගමන් කරන බව ඉතා පැහැදිලි ය. එ හෙයින් දේශපාලන වෙනසකට ද වඩා සංස්කෘතික වෙනසක් ඇති කරන ව්‍යාපාරයක් අද දිනයේ ප්‍රමුඛ අවශ්‍යතාව වෙයි.

දිනූ නිදහසේ ප්‍රතිඵල නෙළා ගනිමු


1948 පෙබරවාරි 04 වැනිදා අපි දිනාගත් නිදහස සමරන 67 වැනි සමරුව මෙවර යෙදී තිබේ. අපි දිනාගත් නිදහස පිළිබඳව ආවර්ජනය කිරීමේදී අප මතකයට පළමුව නැ‍ඟෙන්නේ යුරෝපා ජාතීන් අප රට ඔවුන්ගේ අණසකට යටත් කරගත් අයුරුය. යුරෝපා ජාතීන් අතුරින් මුලින්ම 1505 දී අප රටට පැමිණියේ පෘතුගීසි ජාතිකයන්ය. ඔවුන් ප්‍රථමව සිදුකළේ අප රටෙහි මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීමයි. නමුත් ලන්දේසීන් අප රටට පැමිණි පසු පෘතුගීසින් පලවා හරින ලදි. පසුව මෙරටෙහි මුහුදුබඩ ප්‍රදේශවල පාලනය හිමි වූයේ ලන්දේසි ජාතිකයන්ටයි. මෙසේ කල් ගෙවී යද්දී 1796 දී බ්‍රිතාන්‍යය ජාතිකයෝ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ තම ආධිපත්‍යයට නතු කර ගත්හ.
බ්‍රිතාන්‍යය පාලනය අප රටෙහි නව වෙනසකට මූලාරම්භය විය. 1796 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල තම අණසක පැතිර වූ බ්‍රිතාන්‍යයන් ක්‍රි. ව. 1815 දී සමස්ත සිරිලක් භූමියම තම යටතට ගන්නා ලදී. ආර්ථිකමය වශයෙන් හා භූගෝලීය වශයෙන් වැදගත්කමක් තිබූ ශ්‍රී ලංකාව තමන් යටතට ගැනීම බ්‍රිතාන්‍යයන්ට ඉතා විශාල වූත්, වාසිදායක වූත් ජයග්‍රහණයක් විය.
අප රටෙහි තිබූ පොල්, කුරුඳු, ගම්මිරිස්, එනසාල් වැනි දෑ ඔව්හු සිය රට ගෙන ගියහ. ලාංකිකයන් තලාපෙළා අසාධාරණ නීති හා බදු පනවමින් බ්‍රිතාන්‍යයන් ගෙන ගිය පාලනය ඉතා ඉක්මනින්ම ස්වදේශිකයන්ගේ කෝපය ඇවිස්සීමට සමත් විය.
විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් ජනතාව වෙත පැටවූ අධික බදු නිසා ශ්‍රී ලාංකිකයෝ ඉතා අසරණත්වයට පත්වූහ. මේ තත්ත්වය යටතේ 1818 දී උඩරට, ඉංග්‍රීසින්ට විරුද්ධව කැරැල්ලක් ඇතිවිය. එය මොණරවිල කැප්පෙටිපොළ අදිකාරම් තුමාගේ මූලිකත්වයෙන් ඇතිවූ අතර එය මර්දනය කිරීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ.
ඉන් පසු වරින් වර ඉංග්‍රීසින්ට විරුද්ධව කැරැලි කෝලාහල ඇතිවිය. ගොන්ගාලේගොඩබණ්ඩා, වීර පුරන් අප්පු සහ කඩහපොල හිමි ආදි ජාතික වීරවරයන්ගේ ප්‍රධානත්වයෙන් මේ අරගල ව්‍යාප්ත වුණි. මවුබිමේ නිදහස වෙනුවෙන් උඩරැටියන් විසින් ගෙන යන ලද විමුක්ති ව්‍යාපාර මර්දනයට ලක්විය.
1848 නිදහස් සටන පරාජය කිරීමෙන් පසුව බ්‍රිතාන්‍යයෝ තමන්ට රිසි සේ ධනය සූරා කන්නට වූහ. එපමණක් නොව ඉංග්‍රීසි අධ්‍යාපන ක්‍රමය හා යුරෝපීය සංස්කෘතිය මෙරට ස්ථාපිත කිරීම ද ඉතා වේගවත් අන්දමින් මිෂනාරි ආගම රටපුරා ව්‍යාප්ත වීම ද සිදුවිය.
අප රටේ එතෙක් පැවැති බෞද්ධ ප්‍රබෝධය හා සංස්කෘතිය ශීඝ්‍රයෙන් විනාශ වනු දුටු සිංහල බෞද්ධ නායකයෝ විශේෂයෙන් භික්ෂුන් වහන්සේ නැවතත් අප රටෙහි ආගමික ප්‍රබෝධය ඇති කිරීමටත්, සංස්කෘතිය නඟා සිටුවීමටත් අපමණ වෙහෙසක් ගත්හ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, අනගාරික ධර්මපාල තුමා, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි සහ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ආදිහු එහිදී ප්‍රමුඛත්වය ගත්හ.
මෙසේ අරගල කරමින්, ජිවිත පූජා කරමින් අප රටට නිදහස දිනා දීමට පුරෝගාමී වූ ශ්‍රේෂ්ඨයෝ බොහෝය. නිදහස අප රටට ලබා දෙන අවදිය වෙද්දී ඉන්දියාවේ ද විශාල නිදහස් අරගලයක් දියත් වෙමින් පැවැතිණි. එය ද අප රටට නිදහස ලබා ගැනීමට බොහෝ සේ ඉවහල් විය. නිදහස ලබා ගැනීමට පුරෝගාමී වූවන් අතර ඩී. එස්. සේනානායක, පොන්නම්බලම් අරුණාචලම්, ඩී. බී. ජයතිලක, පොන්නම්බලම් රාමනාදන්, ඊ. ඩබ්ලිව්. පෙරේරා, එෆ්. ආර්. සේනානායක, ඒ. ඊ. ගුණසිංහ, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, එස්. ඒ. වික්‍රමසිංහ, ටි. බී. ජයා, සහ ඩී. ආර්. විජේවර්ධන වැනි වියත්හූ බොහෝ වූහ. නිදහස උදාවී වසර 67 ක් ගතවූ නමුත් තවමත් අප සිත් තුළ සැබෑ සිහල ගති ඇති නොවීම මහත් අරුමයකි. දිනු නිදහස ඔපවත් වීමට නම් ගතින් හා සිතින් අපි සැබෑම ශ්‍රී ලාංකිකයන් විය යුතු වෙමු.
මෑතකදී ශීඝ්‍රයෙන් පරිහානියට ලක්වෙමින් තිබෙන අපගේ සංස්කෘතික උරුමයන් ඔප් නංවමින් ලොවට ආදර්ශවත් ජාතියක් ලෙස පෙළ ගැසීමට ප්‍රමාද වී හෝ උත්සාහ ගතහොත් දිනු නිදහසින් නිසි ඵල නෙළා ගැනීමට අපට හැකිවනු ඇත.
විදුමි ජයවර්ධන
10 ශ්‍රේණිය ‘ඩී’,
ජනාධිපති බාලිකා විදුහල,
වංචාවල, ගාල්ල

ලක්මව වෙනුවෙන් සපථ වෙමු

නිදහස

වහල් භාවයේ යදමින් බැඳිලා 
ලක් මවගේ යස ඉසුරු ගෙන ගියා
නිවහල් භාවය රැකගනු උදෙසා
අභීත විරුවන් සටනේ යෙදුණා
වාරියපොළ හිමි අභීත නදපා
කැප්පෙටිපොළ සහ පුරන්ආපු වැනි
ගොංගාලේගොඩ යන හෙළ විරුවෝ
පෙරමුණ ගත්තෝ නිදහස වෙනුවෙන්
රැය ද දවාල ද එකසේ සලකා
පැමිණෙන බාධක සතුටින් ඉවසා
සියලු දෙනාගේ නිදහස උදෙසා
ඒ විරුවෝ තම දිවිය කැපකළා
හැට හත්වැනි වසර එළඹිලා
නිදහස වෙනුවෙන් සැවොම එක්වෙලා
දිනු ඒ නිදහස රැකගන්නට හෙට
ලක්මව වෙනුවෙන් සපථ වෙමු අපි

ඩබ්ලිව්. ජේ. පී. චාමිකර
9 ශ්‍රේණිය ‘සී’,
සිද්ධාර්ථ විද්‍යාලය,


වැලිගම

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වෙයි

පසුගිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු සිකුරාදා මාධ්‍යයට නිකුත් කෙරිණි. විවිධ හේතු මත මේ ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වූ අතර නව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මේ ලකුණු නිකුත් කෙරීම කඩිනම් කැරිණ.
ඒ අතර රාජකීය විදුහල - 186, කොළඹ ආනන්ද විදුහල - 183, මහනුවර ධර්මරාජ විදුහල - 183, කුරුණෑගල මලියදේව පිරිමි විදුහල - 182, කොළඹ නාලන්දා විදුහල - 181 ද වෙයි.
කාන්තා පාසල් අතර කොළඹ විශාඛා විදුහල - 185, නුවර මහමායා කාන්තා විදුහල - 183, දේවි බාලිකා - 182, කුරුණෑගල මලියදේව බාලිකා - 182, ගාල්ල සවුත්ලන්ඩ් විදුහල - 182 ලෙස දැක්වෙයි.

සුභාෂිණී ජයරත්න