V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label E Book. Show all posts
Showing posts with label E Book. Show all posts

Sunday, March 10, 2013

සකස්කඩ

සංඥාපනය

‘සකස්කඩ’ යනු සංස්කෘත පද බහුල මිශ්‍ර භාෂ‍ායෙන් රචිත බුද්‍ධ චරිතයෙකි. මෙය දොරකඩ අස්න වෙනුවට සත් දවසේ පිරිත් කිමේදී භාවිත වූවක් බව අග රතන සූත්‍රය සඳහන් කොට යො‍දා ඇති වාක්‍ය ඛණ්‍ඩයෙන් පෙනේ. එහෙත් පමා වැ බුද්‍ධගද්‍යය සේ ම දරුවනට අකුරු පුරුදු කරවන පාඩම් පොතක් සේ භාවිත ව ඇත. මේ දෙක අත්රගම රාජගුරු බණ්‍ඩාර පඬිතුමන්ගේ කෘති වශයෙන් සමහරු සලකති
බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්‍ථවිර

[සංස්කරණය] සකස්කඩ

නමඃ ශ්‍රී ගණාය
දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ
සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය
අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත්
සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය
අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්‍ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්‍වාෂෂ්‍ටි දෘෂ්‍ටිජාලාවබද්‍ධ සර්‍වසත්ත්‍වසමුද්‍ධරණානුබද්‍ධ බුද්‍ධි ඇති වැ - කායජීවිත නිරපෙක්‍ෂාභිජාත නිර්‍භාරාභ්‍යාහිත සර්‍වලොකෛක දීපායමාන දීපඞ්‍කර තථාගත ව්‍යාකරණාභිෂෙකයෙන් උදීර්‍ණක්‍ලෙශමලාපගම කොට නිර්‍මල වැ - අනෙක මුක්‍තිමුක්‍තානුයාත සම්‍යක් සම්‍බොධි සම්‍භාරහාරාලඞ්‍කාරයෙන් සමලඞකෘත වැ - ශශ්‍වදූපාස්‍යමාන පාරමිතාදූතිකානුනීයමාන ධර්‍මරාජ්‍යලක්‍ෂ්මීසඞ්‍ගමන මඞ්‍ගල්‍යයට ආරම්‍භ කොටැ - කල්ප කොටි ශතසහස්‍රාධික චතුරසංඛ්‍යකල්‍පකාලාභ්‍යාසාතිශය ස්‍වාත්‍මීකෘත සර්‍වසම්‍පදාදාන නිදාන දාන ශීල නෛෂ්‍කාම්‍ය ප්‍රඥා වීර්‍ය්‍ය ක්‍ෂාන්‍ති සත්‍යාධිෂ්‍ඨාන මෛ‍ත්‍ර්‍යුපෙක්‍ෂාලක්‍ෂණ දශවිධ පාරමිතා සාගරයෙහි පාරප්‍රාප්‍ත වැ - මාරාරාතිචක්‍රාක්‍රමණසන්නද්‍ධ බුද්‍ධාංකුර මහා යොධාද්‍ධ්‍යුෂිත තුෂිත භවනාරූඪ වැ - ශ්‍රද්‍ධානුරාගාවර්‍ජ්‍ජිතාමිතාමරවරවධු විධූයමාන මකරචාරුචාමරධවලීකෘතොදාර පාණ්‍ඩරතර කීර්ති විමානයෙහි වැඩැ වෙසෙමින් භක්‍තිප්‍රෙමාතිභාරාවන්‍ත සර්‍වසුරාසුරවර චක්‍රචාරුචූඩාමණිමරීචිසඤ්‍චය පරිචුම්‍බිත චරණනඛමයූඛ ජාලාභිෂෙකයෙන් භුවනත්‍රයයට අභිෂෙක දී - දුර්‍ගති දුර්‍ගාභිමුඛ වැ පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව සන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ - දිව්‍යබ්‍රහ්‍මයන් විසින් සමාරාධිත වැ - මහාසම්‍මත පරම්‍පරානුයාත ශුද්‍ධ සූර්‍ය්‍යවංශාභිජාත සර්‍වගුණ ගණාභරණ විභූෂිත කීර්තිමාලා පරිශුද්‍ධ ශුද්‍ධොදන මහාරාජොපනිඃශ්‍රයයෙන් අපරිමිත පුණ්‍යසම්‍භාර රූපලාවණ්‍ය ගුණොපෙත මහාමායා දේවීන් ගර්‍භචෛත්‍යාන්‍තර්‍ගර්‍භයෙහි ආත්‍මීය ප්‍රතිසන්‍ධාන ධාතුනිධාන කොටැ - ස්‍ඵටික චෛත්‍යාන්‍තර්‍ගතවිරාජමාන කනක ප්‍රතිමානුකාරයෙන් දිලිසෙමින් දශ මාසයක් මාතෘ ගර්‍භයෙහි වැසැ - වසන්‍ත මදමොදමානමුඛර මධුරතර භාරභරිතාංකුරිත කුසුමිත ඵලිතපල්‍ලවලතා විතාන විතත විචිත්‍ර විශාලසාල සලල කෙශර නක්‍තමාල තමාල නීප කදම්‍බාදී තරුෂණ්‍ඩ මණ්‍චිත ලුම්‍බිනී වනොද්‍යානයෙහි මාතෘගර්‍භයෙන් ප්‍රසූත වැ මහාබ්‍රහ්මොපනීන ස්‍වර්‍ණජාලයෙන් ලොකපාල දිව්‍යපුත්‍රොපනීත අජිනචර්‍මයෙන් මනුෂ්‍යොපනීත දුකූල චුම්‍බටකයෙන් ක්‍රමයෙන් වැඩැ - වසුධාඞ්‍ගනා මස්‍තකෛකශෙඛර භාවයට පම්‍ප්‍රාප්ත වැ - අශෙෂ දොෂාන්‍ධකාර නිකර නිරාකරණ සමුද්‍ගත තරුණ තරණී මණ්‍ඩලානුකාරයෙන් දිලිසෙමින් දශදිශා විලෝකනය කොටැ - අනන්‍තාපරිමාණ ලොකධාතු පර්‍ය්‍යාපන්‍න සමස්‍තසත්ත්‍ව නිකායයෙහි ආත්‍මසදෘශාධික පුද්‍ගලාන්‍තරයක්හු නැති සේ දැකැ - උත්‍තරදිශාභිමුඛ වැ සප්‍තපදව්‍යතිභාරාවසානයෙහි වැඩැ සිටැ - “අග්‍ගොහමස්‍මි ලොකස්‍ස, ජෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස, සෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස අයමන්‍තිමාජාති නත්‍ථිදානි පුනබ්‍භවො” යි අභීත සිංහනාද කොටැ - සර්‍ව සුරාසුරවර මත්‍තමාතඞ්‍ගමානමදපරිශොෂණ නිපුණ සිංහනාද පරිපූරිතාශෙෂ භවනකුහර ඇති වැ ශාක්‍යාධිරාජසිංහ පොතකොත්‍තමයන් චතුරචතුරාශීතිසහස්‍රකුලප්‍රභෙදවිස්‍තීර්‍ණ බන්‍ධු වර්‍ගයා මද්‍ධ්‍යයෙහි විරාජමාන වැ ශුක්‍ලපක්‍ෂාභිවර්‍ධමාන චන්‍ද්‍රමණ්‍ඩලානුකාරයෙන් ක්‍රමාභිවෘද්‍ධ වැ ප්‍රභාස්‍වරතරවරාඞ්‍ගනා මද්‍යයෙහි විරාජමාන චන්‍ද්‍රලෙඛානුකාරී යශොධරා ප්‍රමුඛානෙක කොටි නාටක ස්‍ත්‍රීන් පරිවෘත වැ - ප්‍රතිදිනාරබ්‍ධමංගල කපිලවාස්‍තු මහානගරවරයෙහි ක්‍රිඩානුභවයෙන් ඒකොනත්‍රිංශත් සංවත්‍සරාතික්‍රාන්‍ත කොටැ ජරාජීර්‍ණ රොගාවතීර්‍ණ මරණාවතීර්‍ණ පූර්‍වනිමිත්‍ත සත්ත්‍වසන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ ප්‍රව්‍රජිත රූපසන්‍දර්‍ශනයෙන් නිවෘත්‍ත වැ, නෛෂ්‍ක්‍රාම්‍යාභිමුඛ මනසින් සන්‍තුෂ්‍ට වැ, ඡන්න නම් අමාත්‍ය ද්‍විතීය වැ - අනෙක කොටි සතසහශ්‍ර චක්‍රවාලාන්‍තරාල පරිස්‍ඵුරිත දිව්‍ය බ්‍රහ්‍ම ගණාකීර්‍ණ පාරිජාත ම‍න්‍දාර මකරන්‍ද බින්‍දු සින්‍ධුරිතාංගසුන්‍දරතර චතුරතර තුරංගයානයෙන් ප්‍රයාණය කොට, අනොමා තීරයට සම්‍ප්‍රාප්‍ත වැ - සර්‍වාභරණ විභූෂිත කනකවර්‍ණ දෙහශොභා ඇති බැවින් සුපුෂ්‍පිත කණිකාර තරුශිඛර සමුර්‍ධ්‍වාගත භ්‍රමරාවලී ලීලායෙන් ආත්‍මීය ඛඞ්‍ගධාරා සමුච්‍ඡින්න කෙශධාතු ආකා‍ශයෙහි විහිදැ ඝටීකාර මහාබ්‍රහ්‍මොපනීත විශිෂ්‍ටාෂ්‍ටපරිෂ්‍කාරයෙන් ප්‍රව්‍රජිත වැ ප්‍රව්‍රජ්‍යාසුඛස්‍මෘති රසාස්‍වාදයෙන් සප්‍තාහාතික්‍රාන්‍ත කොටැ රාජගෘහ නගරවරයෙහි භික්‍ෂාටනයෙන් සන්‍තර්පිත වැ ෂට්-සංවත්‍සර මාත්‍රයක් ප්‍රධාන භූමියොග කොටැ - කෂ්‍ටව්‍රත සමාදානයෙන් මොක්‍ෂයාගේ අලභ්‍යභාවය ලොකයාහට ප්‍රකාශ කොට සුජාතොපනීත ක්‍ෂීරපායාස ප්‍රතිග්‍රහණයෙන් රූපකායානුග්‍රහය කොටැ ස්‍වස්‍තිද්‍විජොපනීත කුශමුෂ්‍ටිග්‍රහණයෙන් මාරාතිසංග්‍රාම භූමිස්‍ථානීය බොධි මණ්‍ඩපයට සම්‍ප්‍රාප්‍ත වැ - පෘථිවි සමුද්‍භෙදොද්‍ගත කුසුම පර්‍ය්‍යංකවරචාර සමාරූඪ වැ චතුරංග සමන්‍විත වීර්‍ය්‍යාධිෂ්‍ඨානයෙන් පර්‍ය්‍යංක බන්‍ධනය කොටැ - තත්‍කාල සමායාත සංග්‍රාමාතිභීෂණ මත්‍ත මාතඞ්‍ග තුරඞ්‍ගාඩම්‍බර හර්‍ෂහෙෂාරව බධිරීකෘතාශෙෂ ත්‍රිභුවන භවන පුටපාටනපටු පටහ පණව දුන්‍දුභිධ්‍වනි ප්‍රලයාසනි සම්‍පාත නිර්‍ඝොෂයෙන් ඝොෂ වූ දොර්‍දණ්‍ඩමණ්‍ඩලොෂිත නිශිත කොදණ්‍ඩ දණ්‍ඩ කාණ්‍ඩ කම්‍පන භින්‍දිවාල කරවාලාර්‍ධචන්‍ද්‍රචක්‍රාදි විවිධායුධ සහස්‍ර දුර්‍වාර සපරිවාර මාරපරාජය කොටැ - ප්‍රථම යාම සමධිගත පූර්‍වෙනිවාසානුස්‍මෘති ඥානාලොක බලයෙන් අතීත කාලවර්‍ත සර්‍ව දොෂාන්‍ධකාර නිකර නිරාකරණය කොටැ - මද්‍ධ්‍යමයාම සමධිගත දිව්‍යචක්‍ෂුරබිඥානාලොක බලයෙන් චවමානොපපද්‍යාමානාද්‍යනෙක සත්ත්‍ව සමීක්‍ෂණයෙන් නාගතාමිත කාලවර්‍ත්‍යඥානතමොජාලප්‍රදාලනය කොටැ - පශ්‍චිමයාම සමධිගතසවාසනාසර්‍වක්‍ලෙශසමුච්‍ඡෙද සමස්‍තාෂ්‍ටාංගාර්‍ය්‍යමාර්‍ගඥාන ලක්‍ෂණ ආස්‍රවක්‍ෂයකරාභිඥානාලොක බලයෙන් වර්‍තමාන ඝනතරාඥානතිමිර පටල පුටපාටනය කොට මෙසේ වූ ත්‍රිවිද්‍යාඥානාලොක බලයෙන් අධ්‍වත්‍රිතය සර්‍ව දොෂාන්‍ධකාර දූරීකරණයෙන් සංස්‍කාර විකාර ලක්‍ෂණ නිර්‍වාණ ප්‍රඥපති යන පඤ්‍චවිධඥෙයමණ්‍ඩලයෙහි ඓශ්‍වර්‍ය්‍යය කෙරෙමින් අනාවරණ ඥානාභිෂෙකයෙන් සර්‍වධර්‍මාධිරාජ්‍යපදයෙහි සුප්‍රතිෂ්‍ඨිත වැ - ස්‍ථානභවයොනිගතිවිඥානස්‍ථිති සත්ත්‍වාවාස භෙද භින්න සර්‍වසත්ත්‍වවර්‍ගාශ්‍රිත ක්‍ලෙශාරිවර්‍ගසමුච්‍ඡෙද චතුර චතුරාශීති සහස්‍ර ධර්‍මස්‍කන්‍ධ මහා නගරවරයට සම්‍ප්‍රාප්‍ත වැ චතු‍ර්‍වෛශාරද්‍ය දශබල චතුර්‍දශ බුද්‍ධඥානාෂ්‍ටාදශ බුද්‍ධ ධර්‍ම ද්‍වාත්‍රිංශද්‍වර මහාපුරුෂලක්‍ෂණයෙන් හා අශීත්‍යනුබ්‍යඤ්‍ජනව්‍යාමප්‍රභාකෙතුමාලාලඞ්‍කාරයෙන් විරාජමාන වැ - තථාගතවර ධර්‍මචක්‍රවර්ත්‍ති තමා නානා දෙශයෙහි නානා කාලයෙහි නානාවිධ විනෙය සත්ත්‍වාශයානුශය චරිතාධිමුක්‍ති වශයෙන් සද්‍ධර්‍මාමෘත වර්‍ෂා කෙරෙමින් සර්‍වසම්‍පන්න ශ්‍රාවස්‍ති මහා නගරවරොපනිඃශ්‍රය කොටැ - සර්‍වධර්‍මාධිරාජධානි ස්‍ථානීය ජේතවන මහා විහාරයෙහි වැඩ වෙසෙමින්, දෙසුවා වූ සුවාසූ දහසක් ධර්‍මස්‍කන්‍ධයට අන්‍තර්‍ගගත වූ විශාලා මහනුවර ජනපද රොගභය පලවා - කෙළලක්‍ෂයක් සක්වළෙහි ආඥා පැතිරැ දිලිසෙමින් සිටි රුවන් සූත්‍රයෙහි වදාළ තාක් ආඥා ගුණ තොජොබල මෛත්‍රී පුණ්‍ය ප්‍රභායෙන් සියල් ලෝවැස්සනට ද මට ද සේනුසේ විය යුතු.

සර්‍වාන්‍තරායවර මහබිනික්මන් සකස්කඩ නිමි

සිද්‍ධිරස්‍තු.

[සංස්කරණය] අනුග්‍රහය

පැරණි අකුරු කරවන පොත් පෙළ - 6
යතුරුලිවීම: හර්ෂණී දේවාදිත්‍ය මහත්මිය
අනුග්‍රහය: අනුරාධ රත්නවීර මහතා (ar-si.blogspot.com)

ගණ දෙවි හෑල්ල

ගණදෙවි හෑල්ල: නක්‍ෂත්‍ර යන්‍ත්‍ර මන්‍ත්‍ර ශාස්‍ත්‍ර බොහෝ පෙර සිට ම ලක්දිව භාවිත විය. බුදුදහම අනුව දිවි පවත්වන අතර ම මෙලොව දියුණුව තකා නක්‍ෂත්‍ර ශාස්‍ත්‍රාදිය ඔහු භාවිත කළහ. නකතට වැඩ ඇල්ලීම ඉතා පැරණි සිංහල සිරිතෙකි. මුල් කාලයේදී අකුරු ඉගැන්වීමට ලක්දිව භාවිත වූ පොත් අසුවල් ඒවායැයි තව ම හෙලි වී නැත. එහෙත් මෑත යුගයෙහි එයට සැකසුණු පොත් තව ම මද වශයෙන් නමුදු භාවිත වේ. බමුණන්ගේ පුද පූජා ක්‍රම අනුව ගණදෙවි පිදුම අධ්‍යයනාරම්‍භයෙහි කරනු ලැබේ. හෙළබසින් රැසැයුණු ගණදෙව් පුවත හා ගණදෙව් තුතිය මඟුල් ලකුණින් පසුව පාඩම් පොතක් වශයෙන් භාවිත වූයේ එහෙයිනි. මෙහි කර්‍තෘ කවරෙක් දැ යි සඳහන් නැත. 11 වැනි කවෙහි ‍පැණෙන “වනා පරහල උමන්” යන තැන පරහල යන්න පෘතුගීසි පරාල ශබ්‍දය ම හෙලබසට යොදාගත් සැ‍ටියෙකි. මෙයින් පෘතුගීසි සමයෙන් (1592 න්) පසු කලක පහතරට කෙනකු විසින් මෙය රැසැයුණු බව පෙනේ. “පරාල, බාල්ක” යන වචන උඩරට බාවිතයට අයේ බොහෝ මෑතක ය.
බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්ථවිර

ගණපති යාදින්න

1*
ආයුබෝ වන සෙතා
ඉසුරු වරමින් යුතා
උමාගන දළ නෙතා
ඉසුරු එබිසෝ වෙතා
2
*
ගැබැ කුමර හටගතා
දිනෙන් දින මෝරතා
දොළ උපත හටගතා
රස මියුරු ගෙන දෙතා
3
*
එදොළ සංසිඳුවතා
එසත් මස පිරිගතා
දෙතන පුඩු කළු වෙතා
කිරිබරින් සිටගතා
4
*
නවසඳෙව් රුවිනිතා
දසඑකඩ මස වෙතා
විලිරදය පහරිතා
ගුරුදිනේ බිහිවෙතා
5
*
රේවතිය මෙ නකතා
කඳකුමරු නම ලතා
ඔවුන් පුත් ගණපතා
ඔහුට තෙද බල ඇතා
6
*
තෙද නුවණ විකුමැතා
රකුසනට බලවතා
නරයනට සිරි දෙතා
සුරිඳුනට අගපතා
7
*
එ සිවුසැට සිල්පයට
වැඩි සිල්ප දසට රට
නිපුණ කරවන ලෙසට
මෙ වැනි ගණදෙවිඳු හට
8
*
වැඩ ඉන්න නිසි ලෙසට
මාලිගාවක් සොඳට
කරවන්න නියම කොට
ගණිත ඇදුරකු ළඟට
9
*
යවා පණිවිඩ එවිට
ගෙන්නවා එ නුවරට
බිමක් බලවා සොඳට
එ බිම සමකැරැ සතුට
10
*
ඇදුරුවරු එතැන සිට
කපා කප් සොඳ රඟට
ආවඩා දෙපස සිට
මගුල් කපගෙන අතට
11
*
වඩ වඩා සෙනෙහසින්
මගුල් කප සිටුවමින්
දමා යට තලාදින්
වනා පරහල උමන්
12
*
වෙළා නන බැඳ තදින්
එරන් උළු සොයොව මින්
පදනම ද ගලතෙලෙන්[1]
මුදුන කොත් සිටුවමින්
13
*
බිත්ති මැටි පද ලමින්
සුණුපදම් ලා ඔපින්
මකර රුව හංසයන්
ගවර දිවි සිංහයන්
14
*
මොනරු හා ගිරවනුත්
කොබෙය්යන් කුකුළනුත්
පරෙවි සොඳ කොවුලනුත්
ඇඳ බිත්තිවල මෙ සිත්
15
*
සිත්තරකු ගෙන්වනා
ආසනේ තනමිනා
උඩුවියන් බඳිමිනා
වටතිර ද අදිමිනා
16
*
සේර අඩි තනමිනා
වලුමල් ද බඳිමිනා
නොයෙක් රුවනින් මනා
සඳුන් මණ්ඩප තනා
17
*
දෙවි රුවක් තනමිනා
සොඬ තලු ද මුක තනා
ඉස ඔටුනු දරමිනා
ගජතකුගෙ හිස මෙනා
18
*
දෙ දළ කන්තල තනා
නළල අඩසඳ මෙනා
දෙබැම දේදුනු මෙනා
රුවින් සඳසේ මනා
19
*
නුවන් නිලුපුල් මෙනා
දෙතොල දළ පබලිනා
ගහණ රන් අකුසෙනා
මුකය රත් පියුමෙනා
20
*
සවන් දෙක දිළිසෙනා
දෙවුර රන් තොරණිනා
දෑත් දිළි ගනරනා
ඇඟිලි රන් පළු මෙනා
21
*
පිට ද රන් පලසිනා
ළමැද පිට බබළනා
දෙ තන රන් කුඹු මෙනා
උදර කළසක් මෙනා
22
*
සිහිනිඟද බබළනා
ඉඟට සළු බරණිනා
වටොර රඹකඳ මෙනා
දෙදන රන් බුබුලෙනා
23
*
කෙංඩ දුනු කැකුලෙනා
පතුල් පියුමක් මෙනා
ළමැද රන් පාටිනා
විසි නිය ද බබලනා
24
*
සුරිඳු රජ විලසිනා
දෙවිරුව ද බබළනා
ආසනේ ඉඳුවනා
බලා සුබ මොහොතිනා
25
*
පහන් දුම් මල් ගෙනා
සුවඳ සඳුනෙන් තනා
ඇමතිවරු සිටගෙනා
පල්ලි නම් තබමිනා
26
*
අග්ගලා කොමලිනා
තලකැරලි විලඳිනා
මල් කැවුම් රොටියෙනා
වෙල්ලවැසුමුත් තනා
27
*
පුලුප් බෝජන තනා
ලාලුයක් පැටියෙනා
කිරි උංඩ පූ තනා
අත්සුණු ද ඉසිමිනා
28
*
මොර හිඹුටු දම් පනා
අඹ දඹ ද ඇටඹිනා
පලු වීර ඩෙබරිනා
කදලි විලිකුම් මනා
29
*
උක් සකුරු රස තනා
වැලද වරකා ගෙනා
දීකිරි ද වෙඬුරෙනා
මෙසේ බෝජන තනා
30
*
මෙවැනි ගණදෙවිඳු හට
රන් කෙංඩියක් අතට
රන්තලිය තබා සිට
මුව සුද්ද කැර එවිට
31
*
වළඳවා සතුටු කොට
කපුරු බුලතුත් සොඳට
සිත් සමා කැර එවිට
උදහසක් නොවී මට
32
*
අදහසක් ඇතුව සිට
අවසරය දෙන් මෙ මට
පින් සිද්ද වෙයි ඔබට
දෙවන් සිල්පය මෙ මට
33
*
ගෙන්වා ගුරු ඇදුරු
පය සෝදවා එගුරු
වතක් අඳවා සොඳුරු
උසෙක ඉඳවා මහරු
34
*
තනා පස් රස මියුරු
කුසුම් සැම ඇඟ තැවරු
දෙවා බුලතුත් කපුරු
නමා හිස දෙපය ගුරු
35
*
ගුරුන් දෙස බලමිනේ
වැඳ වැටී එම දෙනේ
අවසරය ඇරගෙනේ
දැකුම් දී දකිමිනේ
36
*
සෝඩිය ද ගෙනතිනේ
කියා සිත් ලෙස දැනේ
පිල්ලම් ද කියමිනේ
වැල්ලේ ද ලියමිනේ
37
*
නම් ගමුත් කියමිනේ
සැහැලි පොත් කියමිනේ
වදන්කවි කියමිනේ
බුද්දගජ්ජය දැනේ
38
*
එ පස් වා මෙ පස්වා!
දහස් කල් රකීවා!
දිනේ මතු දිනේවා!
දිනේවා දිනේවා!

ගණපති යාදින්න නිමි.
  1. තලතෙලින් - සමහර මුද්‍රිත පොත්

ගණදෙවි හෑල්ල

39*
ගණපති දෙති නුවණ
මිහිකත රකියි මෙ දෙරණ
දෙන්නේ මට නුවණ
අසන් දෙවියනි මේ දේවගණ
40
*
ගනඳුරු දුරලවන්
නුවනින් නිපුණ කරවන්
මෙ නරලොව දිනවන්
සසිරි ගණදෙවි නුවණ මට දෙන්
41
*
පුදම් ආලංගා
සිතසේ කෙරෙයි අංගා
මව ද උමයංගා
වඳිම් ගණදෙවි දොහොත් නංගා
42
*
ගණදෙවියන් නුවණ දෙන්න
සරස්වතී පහළ වන්න
සියලු රෝග දුරු කරන්න
නිතර වඳිම් තුනුරුවන්න
43
*
සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා
44
*
ඊශ්වරා ලෙසින් තමා
ශාස්තරා දී නො පමා
ආස්පුරා ඇවිද නමා
භාස්කරා නමෝ නමා
45
*
චන්ද්‍ර සහෝදර උතුමා
චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා
46
*
නිත්ත ඇවිද මෙර වටමා
සිද්ද කරන ලොවට හැමා
උත්තම ගුණ නුවණ නමා
සත්තලෝක නමෝ නමා
47
*
ඔදැති තෙදැති සමාගමා
අරිති අරිති අඳුර තමා
දෙවති දෙවති නුවණ තමා
ජයතු ජයතු නමෝ නමා
48
*
ගණිසුරු මහසෙන් කන්දා
ගෙන අඩයටි සුරතින්දා
දෙමි කී අඹපල සන්දා
මෙ විකුම් කුමරුගෙ කන්දා
49
*
ඉසුරු උමා කී බසෙකින්
මයුරාසන පිට නැගෙමින්
සක්වල වට දිවි සැනෙකින්
සරණත කර මම නමදිම්
ගණදෙවි හෑල්ල නිමි.

අනුග්‍රහය

පැරණි අකුරු කරවන පොත් පෙළ - 4
යතුරුලිවීම: හර්ෂණී දේවාදිත්‍ය මහත්මිය
අනුග්‍රහය: අනුරාධ රත්නවීර මහතා (ar-si.blogspot.com)


සිරිත් මල්දම


    සිරිත් මල්දම ( 1 කොටස )

01.    මහත් සෙත් වඩවන
    සිරිත් මල්දම බලමින
    සිරිත් හොඳ දැනගෙන
    මහත් යසසිරි ලබනු දෙලොවින

02.     හොඳ ලෙස හැදීමට
    හොඳ සිත ඕනෑ හැම විට
    නරක සිත් ඇති විට
    නරකමයි සිදු වන්නෙ අපහට

03.    නරක සිතකින් නම්
    හොඳක් නොකළැකි කිසියම්
    හොඳක් නොකළේ නම්
    උපන් ගතියෙන් නැත පලක් නම්

04.    පව් නම් නරක මය
    එයින් දෙලොවෙහි දුක මය
    පින් නම් උතුම් මය
    එයින් දෙලොවෙහි මහත් සැප මය

05.    තමන් පණ ලෙස හැම
    සතුන් ගැන සළකා පෙම
    ඔවුන් දුටු විලසම
    කරන් ආදර ගුණය නොහැරම

06.    සෙල්ලම් සිතින් වත්
    යම්කිසි තරහකින් වත්
    මරන සිතකින් වත්
    සතුන්හට වදදීම නොහොබිත්

07.    නොමින් දුක විඳිමින
    අනුන් සෙව් දන මිල දැන
    හොරෙන් නො ගනුව පැන
    සිතන් කැබිලිති ලෙසින් ඒ ගැන

08.    අනුන්ගෙන් නැති උන
    දෙයක් ලැබුණොත් යම් දින
    එය සඟවා නොගෙන
    දෙන්ට කරුණා කරන් සතුටින

09.    කුණු සරුප නොකියනු
    කේලම් වචන නොකියනු
    විහිලූ බොරු නොකියනු
    ඇනුම්පද කිසිවෙකුට නොකියනු

10.    බොරු කීම කැතමය
    ගැරඬි කුණටත් නොසමය
    ඇත්ත නම් කදිමය
    මෙලොව රජ සැපතටත්උතුමය

11.    අතින් අත බැඳ පෙළ
    නොයන් මංමාවත්වල
    තැනින් තැන කඩවල
    නොයන් කරුණක් නැතිව කිසි කල

12.    තැනින් තැන ගෙන් ගෙට
    ගොසින් බලමින් වට පිට
    අනුන් කන බොන විට
    ලොබින් නොයිදින් නැතත් කෑමට

13.    දනන් නිති ගැවසෙන
    තැනින් කුඩ ඉසලාගෙන
    සැරෙන් බස් කියමින
    ගමන් නොකරන් උඩඟු විලසින

14.     පාරෙ යන එන විට
    අයින් වීමෙන් දකුණට
    දුව පැන දඟ නොකොට
    ගමන් කළ යුතුය කී හැම විට

15.    යම් කිසි ගෙදරකට
    ගිය කල ඕනෑ කමකට
    ඔවුන් නොම දැක ගෙට
    ඇතුල් නොමවන් නො හොබි සිරිතට

16.    සූදු කෙළි පලකට
    කොලහල කෙරෙන තැනකට
    තැබෑරුම් පලකට
    යාම හොඳ නැත බලා ඉඳුමට

17.    නාඩගම් බැලුමට
    විහිලු කෝලම් බැලුමට
    යක් තොවිල් බැලුමට
    නොයන් නොහොබින එවැනි තැනකට
  
18.    අව්වෙහි ගොසින් වත්
    සෙල්ලම් කිරීමෙන් වත්
    වෙහෙස වී සිටියොත්
    නො බොනු ඇල්දිය තිබහ තිබුනත්

19.    අඟුරු හුණු කැට ගෙන
    විහිලු නො ලියනු තැන තැන
    බිත්ති කණු කිසි තැන
    යමක් නො ලියනු අයුතු විලසින

20.    ගුරු බස සැබෑමය
    එය පිළිගැනුම යුතුමය
    පඬි බසත් එයමය
    එයින් දෙලොවෙහි මහත් සැපමය

21.     ගුරුවරු කිසිම විට
    සතුටු නොම වෙති තැළුමට
    හොඳින් එය සිහි කොට
    වැරදි නො කරන් තැළුම් කෑමට

22.     තක්කඩි කම් කළොත්
    දඬුවම් දෙති සැක නැත්
    දඬුවම් නුදුන්නොත්
    ළමයි කිසි කළ හොඳින් නො හැදෙත්

23.     වැරදි කළ අය හට
    දඬුවම් දෙන්නේ හැදුමට
    හැදෙන අය එම විට
    හොඳින් කීකරු වෙති නැමී සිට

24.     ඉර උදා වෙන්නට
    පළමුව නැඟිට සිහිකොට
    අලසකම් දුරුකොට
    කරන් වැඩ පල දියුණු වන්නට

25.     ගෙදොර අතුගෑමෙන
    මූණ කට සෝදා ගෙන
    ඔළුව පීරාගෙන
    අකුරු පාඩම් කරනු සතුටින

26.     අත පය සෝදා ගෙන
    නරක කෑමක් නොමගෙන
    හොඳ දෙයක් කෑමෙන
    සැරසෙන්න පාසලට යන මෙන

27.     කිලිටු රෙදි     බැනියම්
    ඇඳුම් නාඳිනු කිසියම්
    පිරිසිදු නිසි     ඇඳුම්
    අඳින් හැම කල නුඹට ඇත්නම්

28.     දිග නියපොතු වැඩුණු
    තිබුම හොඳ නෑ කප්පනු
    දත්පෙළ කුණු බැඳුණු
    පෙනෙයි කැත ලෙස හොඳින් සෝදනු

29.     සෙම් සොටු පෙරාගෙන
    කුණු කෙළ වගුරුවා ගෙන
    දැලිකුණු තවරැ ගෙන
    ඉඳුම කැත ලෙස පෙනෙයි බැලු තැනු

30.     හිස අවුල් කරගෙන
    කිලුටු වැරහැලි ඇඳගෙන
    පඹයකුගේ     විලසින
    ඉඳුම හොඳ නෑ බූත කරමින

31.     තම දෙවියන් නැමද
    මව්පිය දෙදෙන දැක වැඳ
    ගුරුන් වෙත ගොස වැඳ
    අකුරු නිසි ලෙස ඉගෙන ගනු සොඳ

32.     පාසලට යන එන
    අතර මගදී කිසිතැන
    කොලහල නොකරමින
    ගමන් කරපන් සිල්වතකු මෙන

33.     තම පොත් පත් රැගෙන
    නියම තැන්වල ඉඳගෙන
    ගෝසා නොකරමින
    කරනු පාඩම් සිතට ගනිමින

34.     පාසලෙහි තැන තැන
    නොයන් දුවමින් බලමින
    දඟ නොකර ඉඳගෙන
    ගුරුන් කී දෙය කරන් එලෙසින

35.     අනුන්ගේ පොත් පත්
    නාදිනු නොගනු කිසිවක්
    උවමනා කළහොත්
    කියා ඉල්ලා ගැනුම යහපත්

36.     ගල්ලෑලි පොත් පත්
    පෑන් පැන්සල් සැවොමත්
    තම සැලකුම ඇතොත්
    තමන් ගාවම තිඛෙයි සැක නැත්

37.     ගල්ලෑලි පොත්වල
    විහිලු නොලියනු කිසිකල
    පිරිසිදුව හැම කල
    තබනු පොත් පත් සියලු දේපල

38.     පාසලෙහි තැන තැන
    කෙල නො ගසන් නොහොබි දැන
    සෙම් සොටු සූරමින
    මිදුලෙහිද නො දමන් කිසි තැන

39.     සිඟා කා ගෙන වත්
    කිලුටු වැරහැලි ඇඳ වත්
    බිම වැටී ඉඳ වත්
    මහත් සැපවෙයි ඉගනෙ     ගතහොත්

40.    මවු පිය රවටලා
    නො ගනින් කිසිත් ඉල්ලා
    මව් පියන් වැඳලා
    ගනින් ඕනෑ යමක් ඉල්ලා

41.    දෙගුරුන්ට හිරිහැර
    නොකරන් කිසිත් කරදර
    පින් සිදුවෙයි නිතර
    කරන් ආදර ගුණය හැමවර

42.    පියාට ඉහළින් නොයිඳින් කිසි     තැන
    මව්හට ඉහළින් නොයිඳින් කිසි     තැන
    අයියට ඉහළින් නොයිඳින් කිසි     තැන
    අක්කට ඉහළින් නොයිඳින් කිසි     තැන

43.    අයියාට නොබනින් නොගහන්     තරහට
    අක්කට නොබනින් නොගහන්     තරහට
    මල්ලිට නොබනින් නොගහන්     තරහට
    නංගිට නොබනින් නොගහන්     තරහට

44.    අයියට අක්කට දෙගුරුන් දුන්     දෙය
    මල්ලිට නංගිට දෙගුරුන් දුන්     දෙය
    ලොබ කොට තරහට නොබලන් ඒ     දෙය
    හැමවිට සතුටට පැමිණෙත් ලත්     දෙය

45.    ආතාට මුත්තට වැන්දට පව්     නැත
    මාමට නැන්දට වැන්දට පව්     නැත
    අයියට අක්කට වැන්දට පව්     නැත
    මොවුනට වැන්දට කදිමට පින්     ඇත

46.    කරුණාවට කී බණ අහපන්නේ
    මැර ගතියට හෙම දුරු නොකරන්නේ
    හොඳ සිරිතට මග පඬි බස වන්නේ
    ජය ලැබුමට එම බස අරගන්නේ

47.    පොර බදමින් නෑමට     නොසිතන්නේ
    දුව හැපෙමින් වතුරට     නොපනින්නේ
    ගැඹුරු දියෙන් නෑමට     නොවදින්නේ
    තනිව ගොසින් නෑමට     නොසිතන්නේ

48.    ගෙඩි කැඩුමට ගස්වලට නොයන්නේ
    ගිනි තැපුමට හෙම පුරුදු නොවන්නේ
    නිදා ගන්නට දහවල් නොසිතන්නේ
    වැඩ කෙරුමට මැලිකම් නොකරන්නේ

49.     සුරුට්ටු බීමට පිරිය     නොවන්නේ
    දුම්කොළ හැපුමට පුරුදු     නොවන්නේ
    බුලත් විකීමට සතුටු     නොවන්නේ
    මේ ගති හැදුමට නොහොබි සිතන්නේ

50.    කෑමට කෑදරකම්     නොකරන්නේ
    තවමට කියමින් කෑ     නොගසන්නේ
    තරහට කෑමක් විසි     නොකරන්නේ
    එළිපිට හිටගෙන කෑම     නොකන්නේ

51.    කෑමට අත දමමින්     නොමගන්නේ
    කනවිට කැත ලෙස තලු     නොගසන්නේ
    කිසිවිට අඬමින් කෑම     නොගන්නේ
    හැමවිට සතුටින් ඉඳ     කාපන්නේ

52.    ආප්ප කැවුමත් ණයට නොගන්නේ
    අරගෙන කමිනුත් පාරෙ නොයන්නේ
    පිළිකුල් සිතුනොත් කෑම නොකන්නේ
    රසයක් ලැබුනොත් තනිව නොකන්නේ

53.    වතුරට මළමු විසි නොකරන්නේ
    අතකට සෝදා ගෙයි නොදමන්නේ
    තෙමෙන්ට ඇඟිලි බදුනෙහි වන්නේ
    බීමට යමකුට වතුර නොදෙන්නේ

54.    යකෝ යන බස් නොහොබි සිතන්නේ
    ඌ මු යන බස් කැතැයි     අසන්නේ
    කෝ බොල යන බස් දුරු     කරපන්නේ
    පිරිය වඩන බස් පවසාපන්නේ

55.     වැඩ ඇති විට අතපසු නොකරන්නේ
    අද දවසට වැඩ අද කරපන්නේ
    හෙට දවසට හෙම කල් නොදමන්නේ
    නිසි කාලෙට නිසි වැඩ කරපන්නේ

56.    සෙල්ලම් කරමින් දබර නොවන්නේ
    නොතරම් වචනින් බැන නොම ගන්නේ
    සෙල්ලම් කෙරුමෙන් වැඩ නො නසන්නේ
    සෙල්ලම් විලසින් කල් නොයවන්නේ

57.     සොහොයුරුවන් සහ දබර නො වන්නේ
    පරුස බසින් බැණ පව් නොම ගන්නේ
    තරහ වෙමින් ඌ මූ නො කියන්නේ
    එකතු කමින් හොඳ වැඩ කරපන්නේ

58.    ළමයින් දුටුකල පොරට නො යන්නේ
    කරමින් කොලහල බණ නොම ගන්නේ
    දෙවියන් ඉර හඳ මවු පිය වැන්නේ
    කියමින් කිසිකල නොම දිවුරන්නේ

59.     හවසම නින්දට පුරුදු නොවන්නේ
    උදයට නින්දෙන් නැගිට සිටින්නේ
    ආගම අදහන සිහි කර ගන්නේ
    නො හැර ම වැඩ පල බලා ගනින්නේ

60.     මහත් වැඩක් තව කියමි අසන්නේ
    පහත් ව පාලඟ දෙමව්පියන්නේ
    මහත් දයාවෙන් ගෙන දෝතින්නේ
    බුලත් අතක් දී වැඳ සිටපන්නේ

61.    ළමා කමට නිසි වැඩ     කරපන්නේ
    තරුණකමට හෙම සිත නොම ගන්නේ
    යටත් කමට සිත ගෙන     හැදියන්නේ
    උසස් බවට පැමිණෙයි     නිසැකින්නේ

62.    මිතුරු සැප     වේවා
    සතුරු දුක් දුරු වේවා
    ඉසුරු වැඩි     වේවා
    ළදරු පෙළහට ජයක් වේවා








    සිරිත් මල්දම ( 2 කොටස )

01.    සැමට සෙත් වඩවන
    සිරිත් මල්දම බලමින
    සිරිත් හොඳ    දැනගෙන
    මහත් යසසිරි ලබනු දෙලොවින

02.    හොඳ නොහොඳ දෙක මය
    හොඳ නොහොඳ අයගෙන් මය
    ගඳ සුවඳ දෙක මය
    ගඳ සුවඳ එම දෙයින්වනු මය

03.    නපුරු අය සමගින
    මිතුරු නොමවන් කිසිතැන
    රුදුරු නයි විස මෙන
    ඇසුරු නොකරනු සොඳින් දැනගෙන

04.    තම නිවසට     පැමිණි
    සැම දෙනහට ම කුලුණෙනි
    කතා බස් කරමිනි
    අසන් තොරතුරු සුදුසු විදියෙනි

05.    ඇනුම් පද නොකියමි
    බැනුම් කැත බස් නො කියමි
    නිකම් බස් නො කියමි
    තරම් පමණට වදන් තෙපලමි

06.    හිසකේ කැපීම ද
    ඉන්න තැන කෙල ගැසුම ද
    නියපොතු විකීම ද
    අසුබ ලකුණුය සිතන් හැම සඳ

07.    සිනා හඬ ලීමෙන
    කතා නොකරනු කිසි තැන
    කවට බස් කියමින
    උතුම් අය ළඟ කතා නැත ගුණ

08.    කතා බස් කරමින
    සිටින දෙදෙනකු අතරෙන
    ගමන නොහිබී යන
    වසනු යහපති එබව දැනගෙන

09.    උරුවන් බබා වත්
    සිව්පද කියා ගෙන වත්
    සින්දු කියමින් වත්
    ගෙවල් අසලින් යාම නොහොබිත්

10.    යමෙකු යන එන විට
    සිනා නො ම සෙන් කිසි    විට
    පැමිණි කල     ගෙදරට
    එබී නොබලනු සැඟවී ගෙයි සිට

11.    යමක් නො ම ඇසූ විට
    උත්තර නොදෙනු පරහට
    නුඹෙන් ඇසූ යමකට
    දෙනුව උත්තර හොඳින් සිහිකොට

12.    ගුරුන් දෙගුරුන් වත්
    වැඩිහිටි අන් කෙනකු වත්
    කතාවක් කළහොත්
    නැඟිට උත්තර දීම යහපත්

13.    මවු පිය දෙදෙන වත්
    තමන් ගුරුවරයින් වත්
    නුඹෙ වරද ඇසුවොත්
    නො සඟවා එය කියනු යහපත්

14.    මව්පියෝ උතුම් මය
    අපගෙ පෙර දෙවිවරු මය
    අප රකිනුවෝ මය
    වඳිමු මව්පිය දෙදෙන මහිමය

15.    සියලු යස ඉසුරට
    සරිලු නිසි මගපෙම් කොට
    බැබලු පිය රුවනට
    සියලු තන්හිම වඳිමු සිහිකොට

16.    ගියත් ගම් රටවල
    මහත් දුක් ඇත සිත තුළ
    වඩත් දරු පෙම් බල
    අපිත් අප පිය වඳිමු හැම    කල

17.    නොයෙක් කරදර විඳ
    සැපක් ගැනුමට නොම හිඳ
    දුකක් දැරු හැම සඳ
    මවක් වැනි වෙන මෙ ලොව කවරෙද

18.    ලබන තුරු දස මස
    දුකින් දැරුවත් දරු කුස
    දකින තුරු තම ඇස
    කලණ මව්වරු වෙසෙත් සැප ලෙස

19.    කුලුණු මෙත් වැඩුමෙන
    එරුණු, කිරි ටික පොවමින
    දරුණු දුක විඳගෙන
    තියුණු නුවණින් වැඩු පණ මෙන

20.    බොලඳ බස්     කියමින
    සුවඳ මල් ලෙස ඉඹිමින
    ඇඟද තෙල්    ගාමින
    පැහැද මව්වරු වැඩු හැම    දින

21.    බොජුන් දී රස     කර
    සොඳින් නාවා නිදි     කර
    පෙමින් සුරතල්     කර
    මවුන් වැඩු අපි වඳිමු හැම වර

22.    කිය නොහැකි දුක ගෙන
    වැඩූ අප මව් පිය ගුණ
    බඹ සුර නා     විසින
    කියා නිමවනු හැකිද කෙලෙසින

23.    මහලු වී සිටියත්
    රුවින් අඩු වී සිටියත්
    දුප්පත්ව සිටියත්
    දෙමව්පිය වැඳ පුදනු යහපත්

24.    දෙමව්පිය කී යම්
    වැඩක් ඇතහොත් කළ යම්
    අත් නොහැර කර පෙම්
    කරනු යහපති නොකර මැලිකම්

25.    දෙගුරුන් ඉදිරියේ
    උසක නොයිඳිනු සරියේ
    එන සඳ ඉදිරියේ
    නැඟිට වැඳලා සිටිනු සරියේ

26.    වරද ඇති වූ    විට
    දඬුවම් දෙතී පෙම් කොට
    එ ගැන මවු පිය හට
    තරහ නොවඩා යටත් වෙනු සිට

27.    මවුපියන්ගේ ගුණ
    දැනෙයි නැතිවී ගිය තැන
    මෙලොව අඳුරක් වන
    මහත් විපතක් වේය දුක්    දෙන

28.    ඇත නැත තම වරද
    පින් සිදු වෙන බැවින් සොඳ
    උදෑසන සවස ද
    වඳිමු මව්පිය දෙදෙන පෙම් බැඳ

29.    හැදෙන විදි     පෙන්වන
    නුවණ වඩවන සතරින
    සරණ දෙලොවට වන
    කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

30.    මෙලොව පරලොව ගැන
    යුතු බස් කියන කුළුණෙන
    ගුරුන් වෙත බැතියෙන
    පහත් ගතියෙන් වසනු අදරින

31.    ගුරුන් දැක එන සඳ
    තමන් උන් තැන නොම හිඳ
    ගමන් පෙරටුව වැඳ
    කරන් සැලකිලි අසුන් කර පුද

32.    ගුරුන් සිත නොරිදනු
    කීකරුකමින් පවතිනූ
    එකට එක නොකියනූ
    සතුටු මුහුණක් නිතර පෙන්වනූ

33.    ගුරුවරුන් නුඹහට
    අණක් දුන් කළ වැඩකට
    ඒ ගැන නුඹ පෙම් කොට
    කරන් ඒ දෙය කියූ විලසට

34.    වරද ඇතිවූ තැන
    දඬුවම් දෙවති කුලුණෙන
    එවිට නුඹ තරහෙන
    ගුරුන් නොබලනු අවැඩ වෙයි දැන

35.    තරුණ සිතකින් වත්
    කුලගොත් උඩඟුවෙන් වත්
    ඉසුරු බවකින් වත්
    ගුරුන් නොතකා ඉඳුම නොහොබිත්

36.    ගුරුවරුන් සැර කොට
    නුඹෙන් සිදුවන වරදට
     දඬුවමක් දුන් විට
    ගොසින් නොකියනු ගෙදර තරහට

37.    ගුරුන් ගුණ     සලකනු
    අසුන්වල සම නොයිඳිනු
     සැරෙන් බස් නොකියනු
    සොඳින් කරුණා සතුට ලැබ ගනු

38.    පෙමින් සත දැන     ගනු
    එමෙන් තුන් දොර රැක     ගනු
     ලොවින් තුති ලැබ     ගනු
    ගුරුන් දැක වැඳ කමා කරගනු

39.    දනුමැතියන් දෙන බස අහපන්නේ
    වැඩිහිටියන් දුටු විට නැමියන්නේ
     සොඳ මිතුරන් සහ දවසැරපන්නේ
    ගුරුවරයන් වෙත යටක් වෙයන්නේ

40.    මවුපිය දෙදෙනට සලකාපන්නේ
    හිරිහැර කෙරුමට සිත නොම ගන්නේ
     බණිමින් පාරට පැන නුදුවන්නේ
    දවසින් දවසට දැන හැදියන්නේ

41.    මහලු අයට සරදම් නොකරන්නේ
    විහිළුකමට ගල් මුල් නොගසන්නේ
     යහළු කමට ඔලගුව නා දින්නේ
    මහලු අයට කරුණා කරපන්නේ

42.    මවුපිය වරදක් පිට    නොකියන්නේ
    තිබුණත් වරදක් සැර    නොකරන්නේ
     උඹලගේ වරදක් ගැන    නොකියන්නේ
    ගැසුවෙත් පාරක් ගෙට    වැදියන්නේ

43.    වටපිට නොබලා බස්     නොකියන්නේ
    වරදට දඬුවම්     ඉවසාපන්නේ
     ගෙදරට නෑවිත් පිට     නොසිටින්නේ
    තරහට රට ගම හැර     නුදුවන්නේ

44.    කඩපිල්වල තැවෙමින්     නොයිඳින්නේ
    දෙරකඩවල ඉඳ කෑම     නොකන්නේ
     තොටුපළපල දැවටී     නොයිඳින්නේ
    පිටතැන්වල රෑ නිඳා     නොගන්නේ

45.    රහස් කියන තැන්වලට     නොයන්නේ
    දොසක් කියන විට තරහ     නොවන්නේ
     යමක් කියන විට කෑ     නොගසන්නේ
    හොඳින් කියන කල අසා     සිටින්නේ

46.    පලක් නැතිව පාරෙහි     නොසිටින්නේ
    දඟක් නැතිව පාරෙහ     පලයන්නේ
     බයක් ඇතුව රෑ එළි     නොබසින්නේ
    කෙනෙක් නැතුව නෑමට     නොමයන්නේ

47.    නිදිමත ඇති විට කෑම     නොකන්නේ
    නිදිමත නැති විට පොත්     කියවන්නේ
     කුණුකැත සිහිකොට කෑම නොකන්නේ
    යහපත සිහිකොට නින්දට යන්නේ

48.    ලෙඩක් හැදුණු විට රැකී සිටින්නේ
    යමක් ඉඳුල් කර පිටට නොදෙන්නේ
     ලෙඩෙක් දැක්ක විට බයක් නොවන්නේ
    ලෙඩෙක් ඉන්න තැන දුකින් නොයින්නේ

49.    ඇඟ වැසුමෙන් නිසි ඇඳුම් අදින්නේ
    බඩ නෙරුමෙන් රෙදි ඇඳ නොම ගන්නේ
     හිස වැසුමෙන් කිසි තැන නොවදින්නේ
    සුදුසු තැනින් නිසි ලෙස පලයන්නේ

50.    ඇඳුමට වැඩි වියදම් නොකරන්නේ
    වැඩි කොට ඇඳුමුත් ඇඳ නොම ගන්නේ
     ගමනට ගෙදරට එක නාඳින්නේ
    වයසට පමණට ඇඳුම් අඳින්නේ

51.    ගේ වට කුණු ගොඩවල්     නොතියන්නේ
    එළි කොට වත්ත ද සාදා     ගන්නේ
     සිහි කොට වැට කඩුලුත     බැඳපන්නේ
    හරකට ගස කොළ ඇර     නොතියන්නේ

52.    ඉලපත ගෙයි එළිපිට නොතියන්නේ
    එලිපත උඩ ඉඳ කෑම නොකන්නේ
     පැන් නැති ගේ තුළ රෑ නොනිදන්නේ
    දොස ඇත ගෙයි මැද එළි ගෙනයන්නේ

53.    කුණු ගොඩවල් ගෙයි මුළු නොකරන්නේ
    උදලු ඉදල් දොරකඩ නොතබන්නේ
     ඌරු කුකුළු කොටු ගෙට නෑඳන්නේ
    හුඹස් ගෙවල් ළඟ වසා දමන්නේ

54.    කිලිටු ඇඳුම් එළිපිට     නොතියන්නේ
    කිලිටි ඇඳුම් ගෙන බඩු     නොපිසින්නේ
     ඉරුණු ඇඳුම් අඳගෙන     නොයිදින්නේ
    විහිළු ඇඳුම් ඇඳ ගමන්     නොයන්නේ

55.    ලබන්ට සැප හැම දෙන තුටු වන්නේ
    විඳින්ට හිරිහැර සතුටු     නොවන්නේ
     අනුන්ට දුක් දී තම     නොරැකෙන්නේ
    තමන්ට යුතු වැඩ සපයා     ගන්නේ

56.    දුප්පත් නෑයන් සලකා     පන්නේ
    පරැඬැල් විලසින් එම     නොසිතන්නේ
     සරදම් කරමින් දුරු     නොකරන්නේ
    හිඟමඟ බලමින්     සනසාපන්නේ

57.    අසරණයන් දැක පිහිට     වෙයන්නේ
    වැඩකරුවන් හිරිහැර     නොකරන්නේ
     දූගී මගීන් එන සනසා     දෙන්නේ
    බියවූවන් සිත බය     දුරලන්නේ

58.    උසුළු විසුළුවෙන් බස්     නොකියන්නේ
    වටපිට බලමින් ඉඟි     නොකරන්නේ
     කොක් හඬ පාමින් සිනහ නොවන්නේ
    කී දෙය අහමින්     දවසැරපන්නේ

59.    ආගම ගැන වාදය     නොකරන්නේ
    පව් හැම දුරුකර පින්     කරගන්නේ
     නිතරම සිත පිරිසිදු     කරගන්නේ
    ආගම එමයයි පඬි බස     වන්නේ

60.    දෙගුරුන් කීවත් පව්     නොකරන්නේ
    සතුරන් කීවත් පින්     කරපන්නේ
     කවුරුන් කීවත් විමසා     ගන්නේ
    එබැවින් යහපත් වැඩ     කරපන්නේ

61.    අයුතුකමින් වැඩ නම්බු නොවන්නේ
    නම්බු ලෙසින් වැඩ සලසා ගන්නේ
     කී විලසින් වැඩ දැනුමැතියන්නේ
    කර ගනිමින් වැඩ සිදුකර ගන්නේ

62.    සොඳුරු සැප    වේවා
    උතුරු ගුණ වැඩි    වේවා
     මහරු බල         වේවා
    මෙදරු පෙළහට ජයක්    වේවා













    සිරිත් මල්දම ( 3 කොටස )

01.    සැමට සෙත් වඩවන
    සිරිත් මල්දම බලමින
    සිරිත් හොඳ     දැනගෙන
    මහත් යසසිරි ලබනු දෙලොවින

02.    වැඩක නොයෙදූ සිත
    නරක අතටම පෙරළෙත
    කිමෙක වන     යහපත
    වැඩක එබැවින් යොදනු තම සිත

03.    කටයුතු කිරීමය
    නොකටයුතු     නොකිරීමය
    අණ පිළිපැදීමය
    මෙතුන් ගුණ දියුණුවේ මගමය

04.    මොරන වී කරල
    නැමෙයි රස වැඩිවෙන කල
    නුවණ මෝරන කල
    එමෙන් දරුපෙළ නැමෙයි මනකල

05.    බඩු පිරෙන තරමට
    ගිලෙයි නැව සමුදුර පිට
    ඉසුරු වැඩි වෙන විට
    උඩඟු නැති අය පවති එලෙසට

06.    කසල ගොඩ තිබුණත්
    මැණික් අනගිය සිරිමත්
    එමෙන් සුලුදන පුත්
    උතුම් වෙයි හොඳ සිටිත් දැරුවොත්

07.    නමින් පටබැන්දත්
    රනින් රුවනින් දිලුණත්
    කුලෙන් රජ     වූවත්
    එයින් පල කිම සිරිත් හැරියොත්

08.    කුලේ ඇති මහතය
    කැලේ යන බව නියතය
    බලේ හොඳ     සිරිතය
    දිලේ සඳලෙස දෙලොව    සැපතය

09.    උසස් කුල උපන්නත්
    දහස් ගම් බිම් තිබුණත්
    පිරිස් බල සිටියත්
    උසස් නැත සිප් සතර නැතහොත්

10.    පහත් කුල උපතත්
     නැතත් රූසිරු පෙනුමත්
    උගත් සිප් ඇතහෝත්
    පුදත් රජවරු පවා සැක නැත්

11.    පිරෙන තෙක් විසි වස
    ඉගෙන ගැනුමෙහි සිටි යස
    පිරුණ කලතිස් වස
    තරුණ පෙළ බැබළේය ගරු ලෙස

12.    ගුරු වදන මහිමය
    ගරු කර ගැනුම යුතුමය
    සරු බවට මගමය
    බොරු නොවෙයි පෙර මඬිහු බසමය

13.    ගුරුන් ගුණ මහතය
    දෙගුරුන් ගුණ ද මහතය
    මෙකී ගුණ මහතය
    සැලකු අයහට මහත් සැපතය

14.     හොඳින් හැදූ දරුවන්
    මව්පියො     වාසනාවන්
    තම මව්පිය රුවන්
    පිදූ දරුවොද වාසනාවන්

15.     ගෙදොර සැම කටයුතු
    හොඳින් සලකා කළයුතු
    කීවට නොකළයුතු
    කරුණු සතුටින් බලා කටයුතු

16.     නිසි පිළිවෙල රැගෙන
    සියුම් පිරිසිදුකම ගෙන
    ඇද නැති ගතිය ගෙන
    සියලු වැඩපල කරන් සතුටින

17.     ගතහැකි දෙය වැඩට
    අහක නොදමනු කිසිවිට
    වැඩ නැති දෙය නුඹට
    දෙනුව ඉන් වැඩ ගන්න අයහට

18.     සුළු වරද කෙරුමෙන
    මහත් වැරදිත් වෙයි දැන
    සුළු වරද සුළු මෙන
    සිතා නො ගනින් මතු බලා ගෙන

19.     හරි දෙය වැරදි ලෙස
    වැරදි දෙය හරි දෙය ලෙස
    පිළිගැනුම තද දොස
    එයින් විපතක් වේය අපහස

20.     කළ වරද යට කර
    බොරු බස් කියන මැරවර
    එක වරද දෙක කර
    මහත් හිරිහැර ලබයි වැඩිපුර

21.     වරද නොම දන්නා
    කීවට පිළිනොගන්නා
    අපා ගති වන්නා
    අසයි ගුණ දොස් සුගති වන්නා

22.     කිසිවක් පටන් ගෙන
    එහි හරි වැරදි ඇසුමෙන
    පලක් නැති බව දැන
    අසනු මුලදිම හිතැති අය ගෙන

23.     තම අත තම හිසට
    අන් අත නොවෙයි හැම විට
    නිතින් එය සිහි කොට
    කරනු වීරිය හොඳින් හැදුමට

24.     තම දොස මෙහෙවර මෙන් ගොඩ වූවත්
    අන් දොස අබ ඇට මෙන් සුළු වූවත්
    තම දොස නොපෙනී අන් දොස පවසත්
    එම දොස මහ විපතින් ඔහු වැනසෙත්

25.     තම ගති නුහුරට පමුණගත් විට
    එළඹෙති විගසට හැම දොස සත හට
    හොඳ ගති නරකට හැඟීයයි ඔවුනට
    හිත ඇති අයහට නුරුසත් එම විට

26.     අනුන්ගෙ යසසට මසුරු කෙරේ නම්
    තමන්ගෙ යසසට මයි අනතුරු නම්
    තමන්ගෙ පණකොට ලොව සලකා නම්
    ඔවුන්ගෙ දෙවිකොට පෙනෙයි තමා නම්

27.     කළ ගුණ සලකන අය දෙවියන් වැනි
    කළ ගුණ නොතකන අය රකුසන් වැනි
    මෙම බණ දැන ගෙන සියපණ විලසිනි
    කළ ගුණ අය දැන සලකනු බැතියෙනි

28.     මුහුණ ද අත පය සෝදා ගන්නේ
    ඔලුව ද තෙල් ගා පීරා ගන්නේ
    කිලිටු ද වැරහැලි ඇඳ නොම ගන්නේ
    හැමසඳ පිරිසිදු ලෙස සිට පන්නේ

29.     දොරකඩ ඉඳගෙන කතා නෙවන්නේ
    එළිපිට සිටගෙන රෙදි නාඳින්නේ
    ගෙන්පිට සිටගෙන හිස පීරන්නේ
    අවරණ ඇති තැන නිදා ගනින්නේ

30.     ඉණ රෙදි අඳිමින් පාරෙ නොයන්නේ
    රෙදි හඬ නගමින් පා නොතබන්නේ
    තමරුව බලමින් උඩඟු නොවන්නේ
    හැඩ නිල බලමින් ගමන් නොයන්නේ

31.     රේස් ගොනුන් බැඳගෙන     නුදුවන්නේ
    පොර කුකුළන් ගෙන පොරට     නොයන්නේ
    දුව පනිමින් ලොතරැයි         නොකරන්නේ
    අයුතු මගින් සෙල්ලම්         නොකරන්නේ

32.     පාරෙහි තැන තැන කටු     නොතබන්නේ
    කඩුලු තිබෙන තැන උල් නොතබන්නේ
    සතුන් යනෙන තැන මදු     නො තබන්නේ
    ඉන් ඔවුනට වන දුක     සලකන්නේ

33.     ඉරටි කෙමෙන් හැදුමට     නුදුවන්නේ
    බිලි බාමින් තැන තැන     නොසිටින්නේ
    දුවපනිමින් හුලුමන්     නොකොටන්නේ
    බොර කරමින් වලවල්     නොඉසින්නේ

34.     යහපත් වැඩ ඇති තව අහපන්නේ
    වැදගත් අය දැක නම්බු කරන්නේ
    දුටුවන් මගකදි සිට නැමියන්නේ
    කීවත් 'තෝ', 'බොල' තරහ නොවන්නේ

35.     අනුන්ට බුහුමන් දී සලකන්නේ
    තමන්ට බුහුමන් ලැබෙයි එයින්නේ
    අනුන්ට තම වංසය කියමින්නේ
    ලබන්ට නම්බුව නොසිතාපන්නේ

36.     එක ම වැඩක නිතරම නොයෙදෙන්නේ
    වෙන ම වෙන ම වැඩ සලකා ගන්නේ
    පෙනුම ඇතුව හොඳ වැඩ කරපන්නේ
    තරම නොදැන වැඩකට නොබසින්නේ

37.     දුදනන් දැකලා මඟ හැරපන්නේ
    සුදනන් දැකලා මඟ නාරින්නේ
    උතුමන් දැකලා දුන් බස ගන්නේ
    ඉහළින් පැනලා බස් නොකියන්නේ

38.     උතුමන් ඉදිරියෙ කෙළ නොගසන්නේ
    ඉඳිමින් එහි පා දිගු නොකරන්නේ
    එලෙසින් ඉඳ ඈනුම් නාරින්නේ
    සියතින් එලෙසම හිස නොකසන්නේ

39.     ගතු ඇසු පමණින් බාර නොගන්නේ
    සිතු ලෙස සොයමින් අදහා ගන්නේ
    ගතු බොරු කියමින් ලොව නොනසන්නේ
    සිතු දොස තරමින් තම නොනැසෙන්නේ

40.     බයෙන් තැවුල් අය ළඟ නොනිදන්නේ
    දිරූ ගෙවල් ගස් ලඟ නොසිටින්නේ
    පාළු ගෙවල් ළින් ළඟ නොසිටින්නේ
    දෙමැද දවල් තනි මග නොමයන්නේ

41.     මල මූ ඇති තැන අවරණ වන්නේ
    තැන තැන සිටගෙන නුසුදුසු වන්නේ
    මග වෙත ඉඳ ගෙන නොහොබි සිතන්නේ
    කී විදි දැන ගෙන පිළිපැදපන්නේ

42.     කෑමක් යමෙකුට සතුටින් දෙන්නේ
    පෙනුමක් ලෙස නිසි බඳුනක දෙන්නේ
    කෑමක් කන තැන කෙළ නොගසන්නේ
    තරහක් වී එහි කෑ නොගසන්නේ

43.     සුරුට්ටු බීමෙන් හදවත විස වෙයි
    ඇඟපත දිරුමෙන් කට ගඳ ඇති වෙයි
    මත් ගතිවීමෙන් නුවණ ද අඩු වෙයි
    කැස්සද සැදුමෙන් ආයුස කොට වෙයි

44.     දුම්කොළ හැපුමෙන් දත්මුල් කුණු වෙයි
    කටගඳ වීමෙන් වස පිළිකුල් වෙයි
    කෙළ වැගිරීමෙන් දිව රස අඩු වෙයි
    බල අඩු වීමෙන් සිහිය ද මඳ වෙයි

45.     බුලත් විකීමෙන් දත්මුල් කැත වෙයි
    දිව රළු වීමෙන් හඬ අමිහිරි වෙයි
    කට කැත වීමෙන් ඇඳුම් ද කැත වෙයි
    වැඩ පසු වීමෙන් කාලෙ ද නැති වෙයි

46.     මත්පැන් බීමෙන් ලේ කෝපය වෙයි
    වෙරිමත් වීමෙන් සිහි විකලය වෙයි
    බල අඩු වීමෙන් නෙත ලෙඩ ඇති වෙයි
    දුප්පත් වී මෙන් අකල් මරණ වෙයි

47.     ඇත්ත නැත්ත නැති ඇති කර පැවසීම
    සත්ත නොවන බස වෙයි ඒ බොරු කීම
    පැත්ත උතුම් වැනසෙයි ලොව දොසින් එම
    ඇත්ත නිතර පවසනු දොලොවෙහි මහිම

48.     කෑමට බොහොම පළතුරු ඇත තැනින් තැන
    සැපයට නිතර හිත වෙයි ඒ රස බොජුන
    ලොබ කොට සතුන් නො මරනු මස් කෑම ගැන
    සතහට දුකක් දී තම රැකෙනු ද යෙහෙන

49.     දුක් ගෙන දනෝ රෑ දාවල් වෙහෙසෙමින
    සපයන දෙයට ලොබවෙති සැප පතා ගෙන
    සියපණ ලෙසට සලකා එම දනන් ගැන
    පව් දැන සොර සිතින් නොගනුව එකී දන

 50.     බීමට අපට පැන් ඇත මිහිපිට සොඳට
    සැපයට සිතා මත්පැන් විස බොනු කුමට
    වද යට දොලොව පැමිණෙයි ඒ පව්කමට
    ලොබ කොට නො බොනු මත් පැන් කිසිකල සැපට

51.     ලොබකර දන මිලට දියුණුව පතා ගෙන
    ගොරතර අවමඟට තුන්දොර නමා ගෙන
    කරදර අන් අයට කරමින් තැනින් තැන
    හිරිහැර සූදුවට නො බසිනු අවැඩ දැන

52.     හිසකේ විදාගෙන යම් තැනකට නො යමී
    හිසකේ විදාගෙන උතුමන් වෙත නො යමී
    හිසකේ විදාගෙන දොරකඩ නොම ඉඳිමී
    හිසකේ විදාගෙන සබමැද නොගැවසෙමී

53.     මසුරු ගුණැති නො සිරිත් අය සැම වර
    සිදුරු සොයති ගුණවත් අය දැක පවර
    සොඳුරු ගුණැති යහපත් අය කිසිම වර
    මසුරු නොවෙති ගුණවත් අය දැක පවර

54.     නොසිරිත් ලෙසට කල් අරිනා අය නිතින
    හරහත් යසට හැසිරෙන උතුමන්ට බැන
    ගුණවත් අයට දොස් පවරා පව් නො ගෙන
    යහපත් ලෙසට හැසිරෙනු උතුමන් ඇඳින

55.     සොඳ ගුණ කියා පෙරමුණ බැහැරට ගොසින
    ඇති ගුණ මකා නැති ගුණ ලොව පළ කරන
    යස ගුණ මකා අවගුණ සිරිතට හැදෙන
    මොහු ගුණ බලා බේරෙන ලෙස ගනු ඇඳින

56.     සතුටින් යමෙකු කෑමක් දුන් විට බැතින
    කියමින් එහි දෝස කනු හොඳ නැත පෙනුන
    එලෙසින් අනුන්ගේ දේවල් කිසිත් ගැන
    සොයමින් දෝස කීම ද නොහොබී සිතින

57.     අනුවණ උඩඟු අයගේ ගතියක සැටිය
    ලැබගෙන පිහිට උතුමන් නොතකන සැටිය
    දෙ නුවන විලස සලකා වැඩු ඇති සැටිය
    සසොබන මහතුන්ට එම සලකනු වටිය

58.     හිත ඇතියන් දෙන බස් නො අදහන සත
    තම සතුරන් සිත් තොස් වඩවයි සතත
    අවගතියෙන් ගුණ දොස් නොදැනෙයි නියත
    එම විපතින් සැම දොස් පැමිණෙයි සියත

59.     දෙගුරුන් ගුරුන් දුටු දෙවියන් ලෙස සිතමු
    උතුමන් බසින් ඉටු දෙවියන් දැන ගනිමු
    එබැවින් නිතින් මේ දෙවියන් වැඳ ගනිමු
    බැලුමෙන් හොඳින් ගුරු දෙගුරුන් රැක ගනිමු

60.     මවුපිය ගුරුන් වැඩිහිටියන් උතුමන්ද
    පැවිදි උතුමන්ද සිල්වත් සුදනන්ද
    සැළකිය යුතු මෙකී අය ඉදිරි එන සද
    වඳිනු ය නැගිට ගරු බුහුමන් ලෙස පැහැද

61.     වැඩුනොත් යමෙක් නිසි ගුරු අවවාද ගෙන
    සැපවත් කෙනෙක් වනු නියතයි පඬි වදන
    එපවත් සිතට ගනිමින් දියුණු වන මෙන
    යහපත් ලෙසට හැසිරෙනු ගුරු වදන ගෙන

62.     සමා සිත් වේවා
    හැමා දොස් දුරු වේවා
    මෙමා සිතු වේවා
    ළමා පෙළහට ජයක් වේවා