V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label චරිතාපදාන. Show all posts
Showing posts with label චරිතාපදාන. Show all posts

Sunday, July 2, 2017

ඇහැළ මලින් ගස්‌ පිරිලා බලන්න හරි ලස්‌සනයි...



සිංහබාහු නාටකයේ ගීත පිළිබඳ රසවිඳීමකදී එක්‌වරම මතකයට එන්නේ ගල්ලෙන බිඳලා සිංහයාගේ විලාපයයි. මනමේ නාටකයේදීද ජනප්‍රියම ගීතය වී ඇත්තේ ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතයයි. එහෙත් මේ ජනප්‍රියම ගී හැරුන කල ඉහත නාට්‍ය ද්වයෙහිම තවත් බොහෝ මිහිරි ගී ඇති බව අපි දනිමු. නරිබෑනා නාට්‍යයේ ජනප්‍රියම ගීතය බවට පත්ව ඇත්තේ නරියා ගම දුව කරකාර බැඳගෙන උහුගේ අරමට ගෙන යද්දී ඈ සනසවමින් ගායනා කරනු ලබන කුමටද සොබනියේ කඳුළු සලන්නේ ගීතය වේ. එහෙත් දයානන්ද ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදියාගේ නරිබෑනාහි අපට ඇසෙන රඟමඬලෙහි අපට දකින්නට ලැබෙන තවත් ජනප්‍රිය ගී අතර ගම දියණිය තම මව සමඟ කැලේ දර අහුලන්නට ගිය අවස්‌ථාවේ ගායනා කරනු ලබන ඇහැළ මලින් ගස්‌ පිරිලා බලන්න හරි ලස්‌සනයි ගීතය සංගීත නිර්මාණයෙන්ද, තනුවෙන්ද, ගීත රචනයෙන්ද අතිශයින් පොහොසත් බව පැවසිය යුතුය.

" ඇහැළ මලින් ගස්‌ පිරිලා
බලන්න හරි ලස්‌සනයි
අඹ රඹුටන් ජම්බු ඉදිලා
අද හැම තැන හරි හැඩයි

දොඹ ගස්‌ යට මල් හැලිලා
සුවඳක්‌ හැමතැන දැනෙයි
වලිකුකුළන් හඬලන කොට
අහං ඉන්න හරි හිතයි

ගස්‌වල දලු නැළවෙන කොට
ඇඟට හරිම සීතලයි
ඉගිලෙන අර සමනලයන්
අල්ලන්නට බැරි හැඩයි...."

1961 දී පාසල් නිෂ්පාදනයක්‌ ලෙස නරිබෑනා රංගගත වූ අවස්‌ථාවේදී ප්‍රථම ගම දුව ලෙස රංගනයට එක්‌ වී ඇත්තී ගෝතමී බාලිකාවේ ශිෂ්‍යාවක වූ චන්ද්‍රd විඡේවර්ධනයි. නරියාගේ භූමිකාව පණ ගන්වා තිබුණේ සාලමන් ෆොන්සේකායි. එහෙත් ප්‍රසිද්ධ නිෂ්පාදනයක්‌ ලෙස නරිබෑනා ජනප්‍රියත්වයට පත්වෙමින් දිවයින පුරා රංග ගත වූ කල්හි ගම දුව ලෙස රංගනයට එක්‌වන්නී වර්තමාන සිනමාවේ රූපවාහිනියේ ප්‍රවීණ නිළියක වන ශ්‍රියානි අමරසේනයි. අර්ධ ශෛලිගත රීතියෙන් නිෂ්පාදනය වූ නරිබෑනා රචනා වන්නේ ජනකතා දෙකක කතා වස්‌තුව පාදක කරගනිමිනි. නිෂ්පාදක දයානන්ද ගුණවර්ධන සඳහන් කරන පරිදි මෙහි ඇතැම් ගී හා සංවාද කොටස්‌, රබන් පද ශෛලියෙන් ගොඩනඟා ඇත. ඉහත සඳහන් ගම දුව ගයන ගීයට මුල් වී ඇත්තේ පහත සඳහන් රබන් පදයයි.

"අඹ රඹුටන් ගස්‌ දෙක යට
වලිකුකුළන් පස්‌ දෙනයි
උන්ට කන්ට බත් දෙන කොට
අපිත් එක්‌ක ලස්‌සනයි...."

රබන් පද ආශ්‍රිත ගී තනු නව නිර්මාණ සේ කරලියට උචිත අයුරින් සකස්‌ කොට නාට්‍යය සඳහා සංගීතය නිර්මාණය කරන ලද්දේ ලයනල් අල්ගම සංගීතවේදියා විසිනි. නරිබෑනාහි නැටුම් නිර්මාණය බැසිල් මිහිරිපැන්නගේය. හැටේ දශකයේ පටන් අද දක්‌වාම රංගගත වන නරිබෑනා නාට්‍යය, සරල කතා පුවතක්‌ මත නිර්මාණය වූ අපූරු නාට්‍යමය අත්දැකීමක්‌, ප්‍රේක්‌ෂකයනට ලබාදෙන වේදිකා නාට්‍යයක්‌ සේ ජනප්‍රියත්වයට පත් වී තිබේ. නාට්‍යයේ එන ගී කිහිපය අතර, ඇහැළ මලින් ගස්‌ පිරිලා ගීතයද ප්‍රේක්‌ෂක, ශ්‍රාවක, රසවින්දනයට ලක්‌ වූ ගීතයකි. නරිබෑනා නාට්‍යයෙහි පළමුවෙනි ජවනිකා ඇරැඹෙන්නේ ගම මහගෙ, තම දියණිය සමඟ දර ඇහිඳීමට කැලේට යන අවස්‌ථාව නිරූපණය කරමිනි. ගම දුව මවගේ වදනට කන් නොදී, දර ඇහිලීම පසෙකලා කැලේ පිපී තිබෙන ඇහැළ මල් සුන්දරත්වයෙන් වශීකෘතව, ගී ගයමින් නටන්නීය. කැලේ සැඟ වී සිටින නරියාගේ නෙතට ගම දුව හසුවන්නේ මේ මෙහොතේදීය. ජන ගීතයේ රබන් පද ආශ්‍රිත තනුවට උචිත වදන් මාලාවක්‌, තෝරා ගැනීමෙහිලා නාට්‍ය රචක දයානන්ද ගුණවර්ධන ප්‍රකට කරන ප්‍රතිභාව ගීත සංකල්පනාව තුළින් මනාව පිළිබිඹුවේ. ලාබාල යුවතියකගේ සැහැල්ලු ජීවිතයක සිත් ගත් පරිසරයේ වස්‌තුන් චිත්තරූපාවලියකට නැංවීමට මේ ගීයෙහි සරල වදන් භාවිතය සමත් වේ. කැලේ සුන්දරත්වයට ඇහැළ මල් පිරුණු ගස්‌ පමණක්‌ නොව අඹ, රඹුටන්, ජම්බුද ඈ නෙත ගැටේ. මල් සැලී ඇත්aතේ දොඹ ගස්‌ යටය. ඉන් සුවඳ විහිදේ. වලි කුකුළන්ගේ හඬට කන්දී සිටින්නට ඈ සිත ඉල්ලයි. ගී ගයනවා පමණක්‌ නොව වේදිකාව මත නර්තනයේද යෙදෙන්නීය. ගීය ගයන්නී නටමිනි. අභිනයෙන් පරිසරයේ සුන්දරත්වය, ප්‍රේක්‌ෂකයනට පෙන්වමිනි. ගස්‌වල නැළවෙන දලු ඇඟට සිහිලස ගෙනෙන බවයි රචකයා පවසන්නේ. සමනලුන් යුවතියකගේ ආදරය දිනා ගන්නා වස්‌තුවකි. පරිසරය පුරාම මවනු ලබන සුන්දරත්වය තීව්‍ර කරනු ලබන්නේ නාට්‍ය රචකයා විසින් උපයුක්‌ත, ගැමි පරිසරය වර්ණිත සරල වදන් මාලාවෙනි. ඇහැළ මල්, අඹ, රඹුටන්, ජම්බු, දොඹ මල්, වලි කුකුල් හඬ, ගස්‌වල නැළවෙන දලු, ඉගිලෙන සමනලයන් දඟකාර ගැමි දියණියකගේ සැහැල්ලු වගකීමෙන් තොර ජීවිතයේ කොටස්‌ ලෙස නිරූපිතය. ඇගේ ජීවිතයේ තීරණාත්මක සිදුවීමට මුල්වන්නේ ඇහැළ මල් කඩමින් ගී ගයමින් මවට උදවුවට නොසිටීමයි. මවට ඈ සොයා ගත නොහී පසුව ඇහැළ මල් කඩන බව ඇසීමෙන් මවගේ කෝපය ඉහවහා ගොස්‌ පවසන වදනින් නාට්‍යමය අවස්‌ථාව ගොඩනැඟේ.

"තෝව දෙන්නෙත් නරියටයි
තෝව ගන්නෙත් නරියෙකුයි
තෝව දෙන්නෙත් තෝව ගන්නෙත්
කැලේ ඉන්නා නරියෙකුයි...."

ගම දියණියගේ ගීතය අග ඇගේ ජීවිතයට ස්‌වාමි පුරුෂයෙකු ලැබෙන බවයි නාට්‍යකරු ඉඟි කරන්නේ.

බුද්ධදාස ගලප්පත්ති


http://www.divaina.com/2017/07/02/cineart.html

Friday, August 26, 2016

ඤාව්වා

පරාක්‍රම පෙරේරා


බොඒ කලේ ගුවන් විදුලි ළමා රංග පීඨය, ගුවන් විදුලි රඟ මඬල කොයි තරම් ජනප්‍රිය ද කියනවා නම් අදටත් මෙම වැඩ සටහන් ගැන එහි ප්‍රචාරය වූ නාට්‍ය සහ චරිත ගැන බොහෝ අය තුළ තිබෙන්නේ හොඳ මතකයක්.
ලන්දේසි දූපත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙද්දී එය නෑසූ කෙනෙක් නැති තරම්. එහි ජිල්ජෝනා වැන්දබෝනා හරිම ජනප්‍රියයි. ඒ විතරක් නෙවෙයි ඔබට මතකද හන්දියේ ගෙදර නවරත්නම්, ඉරිවේරිස් මාමා? මේ ගුවන් විදුලි නාට්‍ය ගැන වගේම රූපවාහිනී කාටුන් හඬ කැවීම් ගැනත් කතා කරද්දී නම් අපට ඔහුගේ නම, ඔහු ඉදිරිපත් කළ චරිත අමතක වන්නේ නෑ.
ඔහු තමයි පරාක්‍රම පෙරේරා. ක්ෂේත්‍රයේ කවුරුත් ඔහුව හඳුනන්නේ, ඔහුට අමතන්නේ ‘පරා’ කියලයි. බොහෝ දෙනෙක් ඔහුව රූපයෙන් හඳුනන්නේ නෑ. නමුත් කට හඬින් ඕනෑම තැනකදී පරාව හඳුනා ගන්න පුළුවන්.
කොහොමද පරා ඔබ ගුවන් විදුලි ජීවිතය පටන් ගත්තේ?
ඉස්කෝලේ යන කාලේදී. ඉස්සර ඉතින් ඉස්කෝලේ (කොළඹ මහාබෝධි විදුහල) ඇරුණු ගමන්ම පුරුද්දට වගේ ගුවන් විදුලියට යනවා. කරු අයියගේ ළමා පිටිය. ඊට පස්සේ මහින්ද අල්ගමගේ ළමා රංග පීඨයට එහෙම සහභාගී වෙනවා. ඇත්තටම ඒ කාලේ හරිම සුන්දරයි. හැම දෙයක්ම සුන්දර අත්දැකීමක්. ළමා පීඨයේ මා එක්ක සිටිය වැඩි දෙනෙක් අද මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. ඒකම කොයි තරම් සතුටක් ද?
ඒ දවස්වල සමකාලීනයෝ ගැන සඳහන් කළොත්?
නිරංජලා, රෝහණ සිරිවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, ගීතා කාන්ති, සමන් ආතාවුදහෙට්ටි, කරුණාතිලක හඳුවල, විජයන්ති මිගෙල්, කුසුම් පීරිස් වැනි කීප දෙනෙක් සිටියා. ඔය අතරතුර ගුවන් විදුලි නිවේදකයින් තෝරන පරික්ෂණයක් තිබුණා. මාත් ඉතින් ලොකු බලාපොරොත්තුවක් අරං ඔය පරීක්ෂණයට ඉදිරිපත් වුණා.
ඔබ ඉහළින්ම සමත් වෙන්නට ඇති?
මොන පිස්සුද ෆේල්.
ඉතින්?
මොනවා කරන්නද මම ඉතින් හිත හදා ගත්තා. නමුත් ඊට පස්සේ මම හිතපු නැති විදිහේ හොඳ අවස්ථාවක් උදා වුණා.එතකොට රූපවාහිනී හඬ කැවීම් පටන් ගන්න යන කාලේ.
ටයිටස් තොටවත්ත මහත්තයා විවිධ හඬවල් හොයමින් ඉඳලා තියෙනවා. ප්‍රේමකීර්ති ද අල්විස්, ටයිටස් තොටවත්ත මහත්තයට මගේ නමත් යෝජනා කරලා තිබුණා. ඊට පස්සේ පවත්වපු හඬ පරීක්ෂණයකින් මාව තෝරා ගත්තා.
රූපවාහිනියේ පැත්කට දමලා තිබුණු වීඩියෝ කැසට් පට කීපයක් ටයිටස් මහත්තයට හම්බ වෙලා. ඒ කැසට් පටි අපේ රටට, අපේ අයට සුදුසු විදිහට දෙබස් ලියලා ඔන්න කාටුන් වැඩ සටහනක් නිර්මාණය කෙරුණා.
ඒ කාලේ දැන් තරම් තාක්ෂණය අතින් දියුණුවක් තිබුණේ නැහැනෙ. මේකට නම තිබ්බේ දොස්තර හොඳ හිත කියලා. හරියට ජනප්‍රිය වුණු කාටුන් එකක්. මේ කාටුන් එකේ දොස්තර හොඳ හිත ගේ චරිතයත්, චව් චව් කියන චරිතයටත් හඬ කැව්වේ මමයි.
රූපවාහිනී කාටුන් අතර වඩාත් ජනප්‍රිය වූ කාටුන් බොහොමයකට පරාක්‍රමගේ හඬ නැතුවම බැරි හඬක් වූ නිසාවෙන්දෝ කාටුන් චරිත වැඩි ප්‍රමාණයකට දායක වීමට ඔහුට අවස්ථාව ලැබී තිබිණි. තාත්ත්වික වූ හඬ කැවීම් තුළින් බොහෝ අය අතරට කාටුන් චරිත සමීප කරවන්නට පරාක්‍රමට තිබුණේ පුදුම හැකියාවකි.
පිස්සු පූසා . . . ඒත් ඔබමයි නේද?
මාව පේන්නේ පිස්සු පූසෙක් වගේද?
ඒ කාටුන් රිතය වඩාත් ජනප්‍රිය වුණේ ඔබේ හඬ නිසයි.
ඔය පිස්සු පූසා කරන්න ඉස්සෙල්ලා ඉතින් ටයිටස් මහත්තයා කථාව ගැන කිව්වා. මේ කතාව ඉතින් පූසෙක්ගේ වටා ගෙතුණු කතාවක්නෙ. කතාව බලලා ඉවර වෙලා ඔන්න ටයිටස් මහත්තයා මට කිව්වා පූසෙක් වගේ ඤාව් ඤාව් කියන්න කියලා. මම ඉතින් ඤාව් ඤාව් කිව්වා. මගේ ඤාව්වට ටයිටස් මහත්තයටත් හරි හිනා. වැඩේ හරි ගියා. මං පිස්සු පූසා වුණා.
මේ පූස් ලොක්කා එහෙමත් නැත්නම් ඤාව්වා චරිතයට අපූර්වතම ජීවයක් ලබා දුන්නේ පරාක්‍රමයි. ‘ඒයි මාළු කට්ටා ලැහැස්ති වෙනවා. අපි දැන් වැඩේ පටාං ගන්ඩයි යන්නේ. ඔන්න පටාං ගන්නවා’.
ඒ අණ දෙන පිස්සු පූසා නැත්නම් පූස් ලොක්කාගේ් දෙබස් අදටත් අපේ මතකයෙන් ඈත් නොවෙයි.
ඔබගේ මේ සුවිශේෂී හැකියාවන් අගැයුමට ලක් වී තිබෙනවාද?
ඔව්. රූපවාහිනී හඬ කැවීම්වලින් විශිෂ්ඨ ශිල්පියාට හිමි සම්මානය මට හිමි වුණා. එය මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්.
මට කිසියම් ගෞරවයක් හිමි වුණා නම් ඒ ගෞරවය මට මේ තැනට එන්නට අත හිත දුන් මට මඟ පෙන්වපු හිතවතුන්ටත් හිමි වෙන්න ඕන. විශේෂයෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස්, මහින්ද අල්ගම, මඩවල එස්. රත්නායක, ප්‍රභා රණතුංග, රූපවාහිනී හඬ කැවීම් අංශයේ අතුල රන්සිරිලාල් මහතාවත් සිහිපත් කළ යුතුමයි. ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ ශ්‍රවණ ආරාධනා ගීත ප්‍රසංගයේ 500 කට ආසන්න වාර ගණනක් කථනයෙන් දායක වුණේ මමයි. එයත් මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක්.
ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැන දැන ගන්න කැමැතියි.
මම කලංසූරිය ආරච්චිගේ පරාක්‍රම පෙරේරා. මගේ අම්මා තවමත් මාත් එක්ක ඉන්නවා. අම්මාගේ ආශිර්වාදය මට හැමදාමත් ශක්තියක්.
ඒ වගේම මගේ ආදරණීය බිරිඳ අයිරාංගනීගෙන් මගේ කලා කටයුතුවලට ලොකු සහයක් ලැබෙනවා. පුතා දැනට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සහකාර වැඩ සටහන් නිෂ්පාදකවරයෙක්.
ලොකු දුව ශාන්ත මරියා විදුහලෙත්, පොඩි දුව යශෝධරා බාලිකාවේත් ඉගෙනුම ලබනවා. මගේ බලාපොරොත්තුව මගේ දරුවොයි. 0714475212 පරාක්‍රමගේ දුරකථන අංකයයි.

Saturday, February 20, 2016

ළමා ලෝකයේ අපූරු කතන්දරකාරිය - ඉනිඩ් බ්ලයිටන්

සෑම කුඩා දරුවකු තුළ ම යම් අන්දමේ ත්‍රාසජනක වූ සිහිනයක් තිබීම සමාන්‍ය දෙයකි. ඝනවනාන්තර තුළින් බියමුසු ත්‍රාසජනක ගමන් යාම, අද්භූත සතුන් හමුවීම, ඔවුන් සමඟ සටන්කොට ජයගැනීම එසේ නැතහොත් රහස් පරීක්ෂකයින් මෙන් ක්‍රියාකරමින් මෙතෙක් සැඟව තිබූ අභිරහසක් එළිදරව් කිරීම එසේත් නැතහොත් නිධානයක් සෙවීමට යාම වැනි අත්දැකීම් පිළිබඳ සිහින දරු දැරියන් තුළ නිතැතින් ම ජනිත වී ඇත.
මේ අන්දමේ ත්‍රාසජනක සිහිනවලට පණපෙවීමට සමත් වූ ඉංග්‍රීසි ජාතික ඉනිඩ් මේරි බ්ලයිටන් ළමා සාහිත්‍යය නව මඟකට හැරවූ නිර්මාණකාරියක ලෙස අතිවිශේෂ ස්ථානයක වැජඹේ.
ඇයගේ “ෆේමස් ෆයිව්” (Famous Five) නවකථා පෙළ සිහිනෙන් ත්‍රාසය අත්විඳිමින් දිවි ගෙවූ දරු දැරියන්ට සිහින සැබෑවීමක් ලෙස හැඳින්විය හැකි ය. අවදානම් අත්දැකීම් සහිත මේ ත්‍රාසජනක ළමා නවකතා පෙළ නියෝජනය කරනු ලබන්නේ පස්දෙනකු විසින්. ඒ ජුලියන්, ඩික්, ඈන් සහ ඔහුගේ ඥාති සොහොයුරු ජෝජ් යන අයයි. ඒ කල්ලියේ පස්වැනි. ඇත්තට ම ජෝජ් යනු ගැහැනු දරුවෙකි. එහෙත් ඇය පිරිමි දරුවකු ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. මේ කල්ලියේ පස්වැනියා ටිමි නමැති සුනඛයා ය.
මොවුන්ගේ ප්‍රථම ත්‍රාසජනක අත්දැකීමට සම්බන්ධ වන්නේ කිරින් නමැති දූ‍පතේ පවතින බවට කියනු ලබන නිධානයක් සොයා ගැනීමයි. එම නිධානය ලබාගැනීමට තවත් පිරිසක් මානබැලීම ඒ කතාවෙන් හැ‍ඟෙන ත්‍රාසය තව තවත් තීව්‍ර කරනු ලබයි.
මේ අන්දමේ ත්‍රාසජනක කතාපෙළක් මේ පස්දෙනා සහිත ව ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරනු ලැබූ අතර ඒවා “ෆේමස් ෆයිව්” කතා පෙළ ලෙස හඳුන්වනු ලබයි.
ත්‍රාසය සමඟ සිහිනෙන් ජීවත් වූ දරු පිරිසට මේ කතා පෙළත් ඉන්පසු රචනා කරනු ලැබූ “ද සීක්‍රට් සෙවන්” කතා පෙළත් හේතුකොටගෙන ඉනිඩ් බ්ලයිටන් ළමා කතා කලාවේ අග්‍රගණයේ නිර්මාණකරුවකු තත්ත්වයට පත්වූ අතර ඇයගේ ඒ කෘති උණු කැවුම් ලෙස අලෙවි වීම සිදුවිය.
1897 අගෝස්තු 1 වැනි දින උපත ලැබූ ඉනිඩ් මේරි බ්ලයිටන් ගේ ළමා කතා ලෝ පුරා භාෂා රැසකට පරිවර්තනය කරනු ලැබූ අතර දැනට මිලියන 600ක් පමණ අලෙවි වී ඇතැයි වර්තා වේ.
ලන්ඩනයේ නැ‍ඟෙනහිර ඩල්විච් නගරයේ උපත ලැබූ බ්ලයිටන් හැඳි ගෑරුප්පු වෙළඳාමේ යෙදුණු ව්‍යාපාරිකයකු වූ තෝමස් කේරි බ්ලයිටන් ගේ දියණියයි. ඇය තම පියාට මහත් සේ ආදරය කළ අතර ඔහු වෙනත් ගැහැනු කෙනකු සමඟ ඔහුගේ පවුල අත්හැර යාම ඉනිඩ් තුළ අතිමහත් චින්තන කඩාවැටීමකට හේතු වූ බව කියැවේ.
අධ්‍යාපනය අවසන් කළ ඇය පාසල් කිහිපයක ගුරුවරියක ලෙස සේවය කළා ය. ඒ රැකියාවේ දී ඈ ලැබුවා වූ අත්දැකීම් තුළින් ළමා මනස හඳුනාගැනීමට හැකිවීම ත්‍රාසයෙන් හා කුතුහලයෙන් පිරුණු කතා රැසකට පසුබිම් වූයේ යැයි සිතිය හැකි ය.
වැඩිහිටියන්ගේ කිසිදු උදව්වක් ආධාරයක් නොමැති ව තම ප්‍රශ්න විසඳාගැනීම ළමා මනස ශක්තිමත් කිරීම ඇයගේ කෘති තුළින් වහනය වන බලවේගයයි.
ඇයගේ “සීක්‍රට් ‍ෙසවන්” (Secret Seven) නම් වූ ළමා කතා පෙළ එවැනි ම වූ නිර්මාණ වේ. “සීක්‍රට් සෙවන්” යනු ළමුන්ගෙන් සැදුණු රහස් සංවිධානයකි. එය නිතර රැස්වෙන අතර එහි දී කළ යුතු ව ඇති වැඩ කටයුතු ගැන සාකච්ඡා කරනු ලබයි. ඒ සාකච්ඡාවලට සමාජයේ ඇතැම් අයට මුහුණදීමට සිදුවන ප්‍රශ්න, අභිරහස් නිරාකරණය කිරීම නැත්නම් රතු ඉන්දියානුවන් ලෙස කැලෑ තුළ විනෝද ක්‍රීඩා කිරීම වැනි කරුණු බඳුන් වේ. ඒ සාමාජිකයන්ට විශේෂිත වූ පලඳනාවක් ඇත. රහස් වචනයක් ද ඇත. එසේම රහසින් හමුවීමට ස්ථානයක් ද ඇත. එහි නායකයා පීටර් නමැත්තෙකි. එයට ඔහුගේ නැඟනිය වූ ජැනට් හා ජැක්, කොලින් ජෝජ්, පෑම් හා බාබරා මෙන්ම ස්පැනියල් වර්ගයේ සුනඛයකු වන ස්කැම්පර් ද එම රහස් සංවිධානයේ සාමාජිකයන් වෙති. නායක පීටර් කළ යුතු වැඩ ‍අනෙක් සාමාජිකයින් දන්වයි. අභිරහසක් එළිකිරීමේ වැනි කටයුතු මොවුන්ගේ ප්‍රධානතම කර්තව්‍යය හැටියට පෙන්විය හැකි ය.
මේ අන්දමට දරුවන් තුළ කුතුහලය ජනිත කරවමින් ඒ කුතුහලය ඇතිවූ යම් අභිරහසක් ඇත්නම් එය වැඩිහිටි උපදෙස් නැතිව එසේම ඔවුන්ගේ අනුදැනීම නැතිව තනිව ම විසඳුම් සෙවීම කෙරේ ළමා සිත පුබුදුවාලීමට බ්ලයිටන් ගේ කෘති සමත් වූ බව විචාරක මතයයි.
ඉනිඩ් බ්ලයිටන් ගේ ළමා කතා තුන්වැදෑරුම් ලක්ෂණ පෙන්වනු ලබයි.
මින් පළමු කොටසට වැටෙන කතාවල චරිත සාමාන්‍ය දරුවන් විය. ඔවුනට මුහුණදීමට සිදුවන්නේ අසාමාන්‍ය සිදුවීම් ය. ත්‍රාසජනක චාරිකා, අපරාධ විසඳීම, එසේම අදහාගත නොහැකි අවස්ථාවලට මුහුණදීම වැනි සංසිද්ධීන්වලින් යුක්ත වේ. උදාහරණ වශයෙන් “ෆේමස් ෆයිව්”, “සීක්‍රට් සෙවන්” හා ත්‍රාසජනක චාරිකා වැනි ග්‍රන්ථාවලි පෙන්විය හැකි ය.
දෙවැනි ගණයට බෝඩිමක ගතකරන ජීවිතය හා පාසල් ජීවිතයේ දී මුහුණදීමට සිදුවන අසාමාන්‍ය අභිරහස් සිදුවීම අයත් වේ. මධ්‍යම රාත්‍රියේ ආහාර පාන සහිත සංග්‍රහයන්, එකිනෙකා වෙත කරනු ලබන උසුලු විසුලු හා එකිනෙකා අතරේ පවතින සබඳතා අයත් වේ. මෙයට උදාහරණ වශයෙන් ඇය රචනා කළ “මැලරි ටවර්ස්”, “සෙන්ට් ක්ලෙයාර්” .. ග්‍රන්ථාවලිය සහ “නෝටියස්ට් ගර්ල්” ග්‍රන්ථාවලිය අයත් වේ.
තුන්වැනි ගණයට ඉන්ද්‍රජාලික ලෝකයක් තුළ සිදුවන අසාමාන්‍ය පුදුමසහගත අවස්ථාව නිරූපණය වන ග්‍රන්ථ අයත් වේ. ඒ ග්‍රන්ථ තුළින් සුරංගනාවියන්, රකුසන් වැනි අපූර්ව චරිත මතුවේ. බොහෝ අවස්ථාවලදී මේ ග්‍රන්ථවල දක්නට ලැබෙන සෙල්ලම් බඩුවලට පණ ලැබීම සිදුවේ. උදාහරණයක් වශයෙන් “විෂිං චෙයාර්”, “ද ෆාර් එවේ ට්‍රී” යන නිර්මාණ පෙන්විය හැකි ය.
වර්තමාන දරු දැරියන් හැරී පොටර් ගේ චරිතය ඇතුළත් මැජික් ලෝකයේ සිදුවීම් රැගත් කතා කෙරේ මහත් උනන්දුවක් ඇතිකර ගෙන සිටින්නාක් මෙන් එදා දරු දැරියන් ගේ ජනප්‍රිය තම කතා පොත් වූයේ ඉනිඩ් බ්ලයිටන් ගේ නිර්මාණ වේ.
පනස් වසරක ජීවන කාලයක් තුළ දී ඉනිඩ් බ්ලයිටන් විසින් ළමුන් වෙනුවෙන් 700ක් පමණ නිර්මාණ කර ඇති බව සඳහන් වේ. එසේ ම 1968 දී මරණයට පත්වූ ඇය 20 සියවසේ සිටි ග්‍රන්ථ කතුවරයන් අතුරෙන් වැඩිම ප්‍රමාණයක් ග්‍රන්ථ අලෙවියට පත්වූ කතුවරයා ලෙස ද දක්වනු ලැබේ.
ඒකාකාරී ව පැවැති ළමා සාහිත්‍යයට ප්‍රාණයක් ලබාදුන් දරු දැරියන්ට තනිව ම තම ජීවන ප්‍රශ්න විසඳා ගැනීමට ශක්තියක් ඇති බව පෙන්වීමට ඇය තම කෘති තුළින් නිරූපණය කිරීම ඇය අතින් සිදුවූ අති විශේෂ මෙහෙවර හැටියට ද පෙන්විය හැකි ය.

http://www.silumina.lk/punkalasa/20130707/_art.asp?fn=ar1307079

Monday, February 15, 2016

චිරං ජයතු බලගල්ලේ පඬිඳාණ!


ප්‍රඥා පාටවයෙන් උද්දීප්ත වූ විමල් ජී. බලගල්ලේ නම් ඒ මහා පඬිවරයාණන් හෙළ බසටත්, සාහිත්‍ය කලා යනාදියටත් සිදු කළා වූ අනූපමේය අතිවිශිෂ්ට සේවාව අරබයා ස්වාධීන වූ විවේචනාත්මක අබිමන් ග්‍රන්ථයක් ලිවිය යුතු කාලය ද ඉක්ම ගොස් ඇතැයි ඒ මහා ඇදුරාණන් ගුණෝවෘද්ධ ව, ඥානවෘද්ධ ව, වයෝවෘද්ධ ව අනූ දෙවැනි වියට පා තබන ‍මොහොතේ අපට හැඟී යයි.

ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදය සමඟ සෑම ශ්‍රේණියක දී ම ප්‍රථම ස්ථානය දිනාගනිමින් අකුරු සරු කළ ඔහු 1938 දී එකල රජය මඟින් පවත්වනු ලැබූ කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර (ජේ. එස්. සී.) පරීක්ෂණයේ දී ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් දිනා ගත්තේ ය.

1938 වර්ෂයේ දී ගුණසේකර ශිෂ්‍යයා වැඩිදුර අධ්‍යාපනය සඳහා පල්ලෙවෙල වික්‍රමශීලා පිරුවනට නේවාසික ශිෂ්‍යයකු වශයෙන් බැඳුණේ ය. ගුණසේකර ශිෂ්‍යයා සාම්ප්‍රදායික පන්සල් පොත් කියවීමට සමගාමීව ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර (එස්. එස්. සී.) විභාගයට ද සූදානම් වූයේ ය. 

මේ අතර, ප්‍රාචීන භාෂා අධ්‍යයනය සම්පූර්ණ කිරීම සඳහා වංග භාෂාව ද ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාව මත ගුණසේකර ශිෂ්‍යයා 1945 වර්ෂයේ දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරුවනේ උසස් අධ්‍යාපන අංශයට ඇතුළත් වූයේ ය. එකල පරිවේණාධිපති වූ බද්දේගම පියරතන නාහිමි, උන් වහන්සේගෙන් පසු පරිවේණාධිපති වූ ද විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමී වූ ද ගරු වැලිවිටියේ සෝරත නාහිමි, පල්ලන්නරුවේ විමලධම්ම හිමි, ආචාර්ය දෙහිගස්පේ පඤ්ඤාසාර හිමි, කලුකොඳයාවේ පඤ්ඤාශේඛර නාහිමි ආදි ගිහි පැවිදි පඬිවරුන්ගෙන් ශාස්ත්‍ර පරායනය කිරීමේ භාග්‍යය ගුණසේකර ශිෂ්‍යයාට එකල ලැබිණි.
වර්ෂ 1949 ගුණසේකර ශිෂ්‍යයා පිරුවන් අධ්‍යාපනය සමාප්ත කළේ දිවයිනේ විශිෂ්ටතම ශිෂ්‍යයා ලෙස සමත් ව ශ්‍යාමරාජ ත්‍යාගය ද හිමි කරගනිමිනි. 

ඉන් අනතුරු ව සමානුයාත වර්ෂයේ දී හෙවත් 1950 වර්ෂයේ දී ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පවත්වන ලද පණ්ඩිතෝපාධි පරීක්ෂණයෙන් ප්‍රථමයා ලෙසට උත්තීර්ණ ව ස්වර්ණ මුද්‍රිකාව ද දිනාගැනීම වාර්තාගත වූ සිදුවීමකි. මෙහි සුවිශේෂත්වය වන්නේ එතුමන් විසින් 1949 දී හිමි කරගන්නා ලද ශ්‍යාමරාජ ත්‍යාගය හෝ 1950 දී ස්වීයාකෘත ස්වර්ණ මුද්‍රිකාව හෝ අද වන තුරුත් කිසිදු ශිෂ්‍යයෙකුට හිමි කරගැනීමට නොහැකි වීම ය. එය මෙතෙක් ලංකා ඉතිහාසයේ නොබිඳුණු වාර්තාවකි.


කොළඹ නගරයට පැමිණීමත් සමඟ ඉංග්‍රීසි භාෂා ඥානය ද ප්‍රගුණ කළ ගුණසේකර ශිෂ්‍යයා, 1951 දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිට ඉන් ද ඉහළින් ම සමත් වූයේ ය. ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය මඟින් 1952 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ යථෝක්ත විභාගයේ ප්‍රතිඵල පිට වීමටත් පෙර ය. අනෙක් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ, උපාධියක් ලබා ඉක්මනින් රැකියාවක් සපයා ගනු පිණිස ය. එහෙත් ගුණසේකර ශිෂ්‍යයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ මෙතෙක් ප්‍රගුණ කළ පෙරදිග භාෂා ඥානය නවීනත්වයෙන් ද යළි ප්‍රගුණ කිරීමට ය.

1956 දී බී.ඒ. (ගෞරව) උපාධියත් ලැබීමත් සමඟ ම ගුණසේකරට විද්‍යෝදය පිරුවනේ ආචාර්ය ධුරයක් ද ලැබිණි. එතැන් සිට ගුණසේකර ශිෂ්‍යයා විමල් ජී. බලගල්ලේ නමින් ප්‍රකට වූයේ ය.
පෙරදිග භාෂා ශාස්ත්‍ර ගවේෂණයේ කේන්ද්‍රස්ථාන දෙකෙන් එක්ක වූ විද්‍යෝදය පිරුවන විශ්වවිද්‍යාලයයක් බවට පත් කරගැනීමේ ව්‍යාපාරය ආරම්භ වූයේ මේ යුගයේ දී ම ය. එකල විද්‍යෝදය පරිවේණාධිපති ධුරය දැරූ වැලිවිටියේ සෝරත නාහිමියන්ට සහාය වෙමින් ක්‍රියා කළ ගුණසේකර මහතා 1959 පෙබරවාරි 19 වැනි දා විද්‍යෝදය විශ්වවිද්‍යාලය නිල වශයෙන් ආරම්භ කළ අවස්ථාවේ සිට එහි විභාග කටයුතු භාර සහාය ලේඛකාධිකාරී තනතුර ද හෙබවූයේ ය. එමතු ද නොව, සිංහල විෂයය පිළිබඳ කථිකාචාර්ය ධූරයට පත් වූ එතුමා එකී වර්ෂයේ ම මැයි මස, සිංහල අංශයේ ප්‍රධාන ධුරයට ද එම වර්ෂයේ ම ඔක්තෝබර් 01 දින සිංහල විෂයය පිළිබඳ මහාචාර්ය ධුරයට ද අංශ ප්‍රධාන ධුරයට ද පත් කිරීම සුවිශේෂ සිදුවීම් ය. එතැන් සිට සිංහල අංශයට සුදුසු ආචාර්යවරුන් තෝරාපත් කරගැනීමේ වගකීම බලගල්ලේ මහතාට පැවරිණි. මහාචාර්ය ඒ. වී. සුරවීර සහ මහාචාර්ය විනී විතාරණ ආරම්භයේ දී ම එසේ බඳවා ගනු ලැබූ විද්වත්හු වෙති.
කේ. එස්. සිවකුමාරන්, ජීන් අර්සනායගම් සමඟ මහාචාර්ය බලගල්ලේ
ගොඩගේ දිවමන් සම්මාන ලබයිි.
වර්ෂ 1961 ඔක්තෝබර් සිට 1963 දෙසැම්බර් දක්වා යුනෙස්කෝ අධිශිෂ්‍යත්වයක් මත ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පර්යේෂණයන්හි නියැළී සිටි මහාචාර්යතුමාට ඒ ගමනේ දී ම ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා පර්යේෂණවල නියැළෙමින් පශ්චාත් උපාධියක් ලැබීමට වාසනාව උදා විණි. 1963 දෙසැම්බර් මස පෙරළා දිවයිනට පැමිණි බලගල්ලේ මහාචාර්යතුමා නැවත සිංහල අංශයේ වැඩ භාර ගනිමින්, තමන්ට හිමි සප්ත වාර්ෂික නිවාඩු ඇතුළු කිසිදු නිවාඩුවක් නොගෙන විශ්වවිද්‍යාල සේවයට ම කැප වූයේ ය.
1988 වර්ෂයේ දී මහාචාර්ය බලගල්ලේ මහතා නැවතත් තුන් මසක කෙටි නිවාඩුවක් ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ භාෂා විද්‍යාගාරය ආශ්‍රයෙන් ශබ්ද විචාරාත්මක ගැටලු කිහිපයක් පිළිබඳ පර්යේෂණ කිරීමට ගියේ ය. ඒ ගමනේ දී ම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අප්‍රකට ග්‍රන්ථ පර්යේෂණය ද එතුමාගේ තවත් අරමුණක් වූ සේ ය.
මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා විශ්වවිද්‍යාල ජිවිතයෙහි තැබූ වාර්තා කිහිපයකි. එතුමා මහාචාර්ය ධුරයට පත්වූයේ වයස අවුරුදු තිස් පහේ දී ය. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු, මහාචාර්ය ධුරයට පත් කරනු ලබන්නේ ඔහු ලබා ඇති උපාධි හා කර ඇති පර්යේෂණ පිළිබඳ එකතු කරගත් ලකුණු සලකා බැලීමෙනි. එහෙත් මහාචාර්ය බලගල්ලේ මහතා එම ධුරයට පත්වූයේ එතුමා ලබා තිබූ උපාධි සහතික දෙස ‍බලා නොව, ලංකාවේ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර අධ්‍යයනය හා ඍජුව පර්යේෂණවල අතිශය දීප්තිමත් වූ ද සුදුර්ලභ වූ ද වාර්තා තැබීමෙන් ප්‍රකට කළ පාණ්ඩිත්‍යය විශ්වවිද්‍යාල බලධාරීන් විසින් අවිවාදයෙන් පිළිගනු ලැබූ බැවිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට විශ්වවිද්‍යාලාධිපති වැලිවිටියේ සෝරත ස්වාමින් වහන්සේ ඇතුළු පාලක පක්ෂය ගත් තීරණය අනුව බලගල්ලේ මහතා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සිංහල මහාචාර්යවරයා ලෙස පත් කරනු ලැබූ දා සිට එම ධුරය දෙතිස් වසරක් දැරීය.
විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු එම ධුරයේ රැඳී සිටිය දී ම ඒ විශ්වවිද්‍යාලය මඟින් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීම ඉතා ම දුර්ලභ සිද්ධියකි. එබැවින් 1984 දී පැවැති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය රජත ජයන්ති උපාධි ප්‍රදානෝත්සවයේ දී බලගල්ලේ මහතා ආරම්භයේ සිට ම විශ්වවිද්‍යාලයට කළ සේවය අගයමින් ඩී.ලීට් (සාහිත්‍ය චක්‍රවර්තී සම්මාන) උපාධිය ප්‍රදානය කරනු ලැබී ය.
බලගල්ලේ මහාචාර්යතුමා සතු වූ තවත් විශේෂ ලක්ෂණයක් නම් භාෂා සාහිත්‍ය පෝෂණයෙහිලා රචිත ග්‍රන්ථ හා ලිපි ලේඛන සම්භාරය යි. එතුමාගේ කුලුඳුල් ග්‍රන්ථය 1950 දී පළ කළ පංචතන්ත්‍ර අනුවාදය වන අතර, 1958 දී රචිත දෙවැන්න බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු ඇතුළත් පාහියන් දේශාටන වාර්තාව නම් පරිවර්තන ග්‍රන්ථය යි. 1964 දී සිංහල ස්තූපවංස‘‘‘ සංස්කරණය ද (මහාචාර්ය විමල විජේසූරිය සමඟ) පළ කළේ ය. 1995 දී භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය ද 1998 දී සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය යන ශාස්ත්‍රීය ග්‍රන්ථ සඳහා රාජ්‍ය සම්මාන ද හිමි වීම තවත් සුවිශේෂ සිදුවීමකි.
1992 දී සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය, 1996 දී සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනය, 2001 දී මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්: සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය ආදි පොත් සිංහල භාෂාවේ ඉතිහාසය හා ඓතිහාසික වාග්විද්‍යාව සම්බන්ධ විශිෂ්ට පර්යේෂණයෝ වෙති.
සැබැවින් ම මහාචාර්ය බලගල්ලේ මහතා අංග සම්පූර්ණ පඬිරුවනකි. එතුමන්ගේ සේවය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට පමණක් නො ව, අධ්‍යාපන අමාත්‍යාංශයට ද, අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ද, පිරිවෙන් ශාඛාවලට ද, අධ්‍යාපන ප්‍රකාශන උපදේශක මණ්ඩලවලට ද, පාරිභාෂික ශබ්දමාලා උපදේශක මණ්ඩලයට ද, සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලයට ද, ප්‍රාචීන භාෂෝපකාර සමාගමට ද, බුද්ධ ශ්‍රාවක ධම්ම පීඨ විෂයය නිර්දේශ සම්පාදක මණ්ඩලයට ද ආදි වශයෙන් බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලට බලගල්ලේ මහාචාර්යතුමාගේ සේවය මහමෙරක් තරම් විය.
බලගල්ලේ මහාචාර්යතුමාගේ ජාතික මෙහෙවරේ තවත් ක්ෂේත්‍රයක් නම් ශබ්දකෝෂකරණයයි. සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලයේ සේවයට අමතර ව එතුමා සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවූයේ ය. අනෙක් සුවිශේෂ කරුණ නම් වෘද්ධ භාවයට යන විට බොහෝ උගතුන්ට අහිමිව යන පාලි, සිංහල, සංස්කෘත, ප්‍රාකෘත ආදි භාෂා සාහිත්‍යයන්හි ස්මරණ ශක්තිය එසේ ම පැවතීම ය. අදත් ව්‍යාකරණ ගැටලුවක්, භාෂා සාහිත්‍ය ගැටලුවක් මතු වූ කල්හි කිසිදු පැකිළීමකින් තොර ව, පොතපතින් පාඨ පාලි ගාථා, සංස්කෘත ශ්ලෝක ගෙන හැර දක්වමින් ගැටලු විසඳීමේ වෛශාරද්‍යය ප්‍රකට ය. ඒ අතින් සලකා බලන සඳ බලගල්ලේ මහාචාර්යතුමා තවමත් ඥානවෘද්ධ ව භද්‍ර යෞවනස්ථ තාරුණ්‍යයෙන් යුක්ත වූවෙකි. එමතු ද නොව, දැනුම් පිපාසයෙන් තමන් වෙත එන කවරෙකු වුව ද තෘප්තිමත් කිරීමට සැදී පැහැදී සිටීමේ මහඟු දාන වීර ගුණ අතින් එතුමාණෝ සමෝපේත ය.

Monday, January 11, 2016

නොමියෙන ප්‍රබුද්ධයා .....................>>>

මහගම සේකර


මහගමසේකරගේ නිර්මාණාත්මක ප්‍රතිභාව බහුවිධාකාරය. ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක වරක් සේකර නිරත වූ කලා මාධ්‍ය සංඛ්‍යාව ගණනය කර දැක් වූයේ ය. ඔහුට අනුව ප්‍රමාණය දහතුනකි. ඒ මෙපරිදි ය.
සේකර (1) චිත්‍ර ශිල්පියෙකි. (2) කවියෙකි. (3) ගීත නිබන්ධකයෙකි. (4) නවකතාකරුවෙකි. (5) කෙටිකතාකරුවෙකි. (6) වේදිකා නාට්‍ය රචකයෙකි. (7) චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. (8) තිර රචකයෙකි. (9) කලා අධ්‍යක්ෂවරයෙකි. (10) පරිවර්තකයෙකි. (11) දේශකයෙකි. (12) ආචාර්යවරයෙකි. (13) පර්යේෂකයෙකි.
ඊට පරිබාහිරව ගත් විට සේකර පොත් පිටකවර නිර්මාණ ශිල්පියකු ලෙසත් බතික් නිර්මාණ ශිල්පියකු ලෙසත් පෝස්ටර් නිර්මාණ ශිල්පියකු ලෙසත් පුවත්පත් කාටුන් ශිල්පියකු ලෙසත් එම්බ්‍රොයිඩර් නිර්මාණ ශිල්පියකු ලෙසත් මූර්ති ශිල්පියකු ලෙසත් ගුවන්විදුලි පිටපත් රචකයකු ලෙසත් අනේකවිධ කුසලතා විදහා පා ඇත.
සේකරගේ සුවිශේෂත්වය වන්නේ ඔහු තමා නිරත සෑම කලා මාධ්‍යයකින්ම ඉහළම නිර්මාණ මහිමයක් ප්‍රකට කිරීමය. එය කලාකරුවකු වෙතින් දුර්ලභ වශයෙන් පහළ වන්නා වූ ගුණාංගයකි.
සේකර වඩාත් විශිෂ්ට වන්නේ කවියකු වශයෙන් යැයි කීම විවාදයෙන් තොර කියමනකි. ඔහු ස්වකීය ජීවිත කාලයේදී කවි පොත් අටක් ප්‍රකාශයට පමුණුවා ඇත. ඒ මෙආකාරයෙනි. (1) 'ව්‍යාංගා' (කේ. ජයතිලක සමඟ) (2) 'සක්වා ලිහිණි' (3) 'හෙට ඉරක් පායයි' (4) 'මක්නිසාද යත්' (5) 'රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත' (6) 'බෝඩිම' (7) 'නොමියෙමි' සහ (8) 'ප්‍රබුද්ධ'. මේවා නූතන සිංහල කවියේ සරුසාර අස්වැන්න ලෙස අපට සැලකිය හැකිය.
සේකර එක් පැත්තකින් කොළඹ කවියත් තවත් පැත්තකින් පේරාදෙණි කවියත් අතික්‍රමණය කළ අයකු ලෙස මම දකිමි. එය කෙතරම් ද කිවහොත් මුල් කාලයේදී ඔහු නිසඳැස් කවි උපහාසයට පවා ලක්කර ඇත.
සමස්තයක් විදියට ගත් විට සේකරගේ කවිවලින් කියැවෙන්නේ අයුක්තියෙන් අධර්මයෙන් පිරි මේ ධනවාදි සමාජය විවේචක යථාර්ථවාදී දෘෂ්ටියකින් විවරණය කොට, එය පිටුදැක ධර්මය වටහාගත හැකි, සත්‍යය, සුන්දර බව දැකගත හැකි උත්තර සමාජයක් ගොඩනැංවීම පිළිබඳ යැයි සිතමි.
සේකර මුල් කාලයේදී ඉපනැල්ලේ කරල් අහුලන එතනලා ගැනත් කවි ලියා තිබෙනවා නොවේදැයි ඇතැම් විශ්වවිද්‍යාල ඇදුරන් ප්‍රශ්න කළේ ඔහු වැළලීමේ කැත, නින්දිත කුමන්ත්‍රණයකට සහභාගි වෙමිනි. ඇත්ත වශයෙන් ම සේකරගේ අවසාන කාව්‍ය සංග්‍රහය වූ ද, ඔහුගේ උත්කෘෂ්ටතම කාව්‍ය කෘතිය වූ ද 'ප්‍රබුද්ධ' පළවී මාස ගණනාවක් යනතුරුම ඒ ගැන කිසිදු කතිකාවක් සිදු නොවූ බව වරක් ප්‍රවීණ ලේඛක එච්. ඒ. සෙනෙවිරත්න වරක් හෙළිදරව් කර සිටියේය. මේ කාව්‍ය කෘතියේ විශිෂ්ටත්වය සමාජගත වූයේ පසුකලෙකදී ය.
සේකර ඔහුගෙන් පසුව බිහි වූ රත්න ශ්‍රී විජේසිංහ ප්‍රමුඛ නව තරුණ කවි පරපුරකට ප්‍රදීපාලෝකයක් වූ ආකාරය දැක්ක හැකිය. සේකර නිසඳැස් කවිය වඩාත් සුඛනම්‍ය කළ බවත් එසේ නොවන්ට එය විශ්වවිද්‍යාලයටම සීමා වන්ට ඉඩ තිබුණු බවත් මහාචාර්ය සෝමරත්න බාලසූරිය වරක් මා සමඟ කියා සිටියේය.
ගීත රචකයකු වශයෙන් ද සේකරගේ යුග කාර්යභාරය ප්‍රශංසනීය ය. ඔහු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟ එක්ව 'මධුවන්ති' වැනි ගුවන්විදුලි වැඩසටහන් ඔස්සේ ද, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ද සරල ශාස්ත්‍රීය ගී සම්ප්‍රදායක් බිහි කළේ ය. අද සුභාවිත ගීතය ලෙස අප ආදර්ශ කර ගන්නේ එයයි. මෙහිදි ද ඇතැම් කුහක එදිරිවාදිකාරයන් සේකරගේ ප්‍රතිභාව ගර්හාවට ලක්කළ ආකාරය පෙනේ. 'මළහිරු බැස යන හැන්දෑ යාමේ', 'මා මළ පසු සොහොන් කොතේ' වැනි නිබන්ධ, කොළඹ කවීන්ගේ සමනල් අදහස්ම අලුත් ආකෘතියකින් එළිදැක්වීමක් ලෙස ය ගුණදාස අමරසේකර ප්‍රකාශ කර ඇත්තේ.
සේකර නමැති චිත්‍ර ශිල්පියා ද අතිශය නිර්මාණශීලිය. කේ. ජයතිලකගේ මතය වන්නේ සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත්‍ර කලාවට බව ය. කවියේදී මෙන් ම චිත්‍ර කලාවේදී ද මුල් යුගයේ ඔහු අමුර්ත චිත්‍ර ගර්හාවට ලක් කර ඇත. එහෙත් පසුව ඔහු නිර්මාණ බිහි කළේ එම චිත්‍ර ශෛලිය ප්‍රගුණ කරමිනි. මා නිවැරැදි නම් සේකර අවස්ථා තුනකට වඩා චිත්‍ර ප්‍රදර්ශන පවත්වා නැත. ඔහුගේ චිත්‍ර නිර්මාණ විග්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකිය. (1) ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත්‍ර (2) 'තුංමංහන්දිය' චිත්‍රපටය සඳහා නිර්මිත චිත්‍ර (3) පුවත්පත් කාටුන් (4) පොත් කංචුක නිර්මාණ (5) ඉලස්ට්‍රේෂන් (සන්නිදර්ශන) (6) බතික් නිර්මාණ (7) එම්බ්‍රොයිඩර් නිර්මාණ සහ (8) පෝස්ටර්
සේකරගේ චිත්‍ර ගැන මෙතෙක් නිසි විචාරක අවධානයක් යොමු වී නැත. එහි විපාක වශයෙන්දෝ සේකර නමැති චිත්‍ර ශිල්පියා යටපත්ව සේකර නමැති කවියා හා ගීත රචකයා බිහි වූ ආකාරයක් පෙනේ. මෙහි ප්‍රතිවිරුද්ධ දේ සිදු වූයේ ජෝර්ජ් කීට්ය. එහිදී ජෝර්ජ් කීට් නමැති කවියා යටපත්ව ජෝර්ජ් කීට් නමැති චිත්‍ර ශිල්පියා බිහි වූයේ ය.
සේකර නවකතා දෙකක් ද කෙටිකතා සංග්‍රහ දෙකක් ද ලියා පළ කර ඇත. ඔහුගේ නවකතාවක් වූ 'තුංමංහන්දිය' ඔහු විසින්ම චිත්‍රපටගත කරනු ලැබිණි. එය 70 දශකයේ හොඳම චිත්‍රපටය ලෙස ජාතික කතෝලික සිනමා පර්ෂදයෙන් බුහුමන් ලද්දේ ය. 1997 දී සිංහල සිනමාවට 50 වසරක් පිරුණු අවස්ථාවේ තේරූ හොඳ ම චිත්‍රපට දහයෙන් එකක් ලෙස ද 'තුංමංහන්දිය' තේරුණේ ය. එසේම එය 1972 දී ටෂ්කන්ට් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී ඩිප්ලෝමා සහතිකයක් ද දිනාගත්තේ ය.
'මූදු පුත්තු' (ගුණසේන ගලප්පත්ති සමඟ) සේකර ලියූ වේදිකා නාට්‍ය පිටපතකි. ඔහු ලියූ වෙනත් නාට්‍ය 'සද්දන්ත සහ තවත් නාටක', 'හංස ගීතය හා වෙනත් නිර්මාණ' යන කෘතිවල අඩංගු වෙයි.
සේකර සර් ආතර් කොනන් ඩොයිල්ගේ 'ද වයිට් කම්පැනි' නම්වූ කෘතියේ අනුවාදයක් 'ධවල සේනාංකය' නමින් පළ කර ඇත. ඒ හැරුණුකොට තවමත් අප්‍රකාශිත ඔහුගේ පොත් දෙකක් ගැන ද කියැවෙයි. එකක් 'ඊඩිපස්' නාට්‍යයේ පරිවර්තනයකි; අනික ඊට ඉහත ජී. බී. සේනානායක ද මඩවල එස්. රත්නායක ද පරිවර්තිත 'රුබයියාට්' කෘතියේ පරිවර්තනයකි.
සේකර අතිශයින් නිර්ව්‍යාජ කලාකරුවෙකි. ඔහු කොළඹ රැකියාව කොට දුම්රියෙන් ගෙදර ආ කල්හි අමුඩයක් ඇඳ ළි‍ඳෙන් හෝ පීල්ලකින් නා ගනී. එවිට ඔහු මහා කවියා නොවේ. මහා කලාකරුවා නොවේ. ගමේ ජෝන් අයියාගේ පුතාය. සේකර 'තුංමංහන්දිය' නවකතාවේ (එසේම පසුව චිත්‍රපටයේ) අබිලිංගේ චරිතය ඔස්සේ මැවූයේ තමන්ගේ ම ප්‍රතිරූපය ම යැයි වරෙක සිතේ. ඔහු සම්මානවලින් හිස උදුමවා ගත්තේ නැත. 'තුංමංහන්දිය' චිත්‍රපටයට ටෂ්කන්ට් සම්මානය ලැබුණු බව දැනගත් විට ඔහු උපේක්ෂා සහගතව කියා ඇත්තේ 'හොඳා - හොඳා' කියා ය.
සේකර කිසිදා ධනෝපායනය උදෙසා කලාව පරිහරණය කළ අයෙක් නොවීය. ඔහු එය පිළිකුල් කළා සේය. සැබෑ කලාකරුවා සන්තුෂ්ටියට පත්වන්නේ ස්වකීය නිර්මාණයෙන්මය; රසිකයා එය වැලඳ ගත් කල්හිය.
සේකර තමා නිරත සියලු කලා මාධ්‍ය ඔස්සේ රසිකයාගේ කලා රුචිකත්වය වර්ධනය කළේ ය. සමාජය විනිවිද යන්ට දැක්මක් පාදා මතුකර දුන්නේ ය. එහෙත් සමාජයෙන් ඔහුට පෙරළා ලැබුණේ කුමක් ද?
ඔහු උපන් ගමේ ඇතැමුන් කියා ඇත්තේ සේකර මොන තරම් ප්‍රසිද්ධ පුද්ගලයකු වුවත් ගමට එක බෝක්කුවක් බැඳ දීම තරම්වත් සේවයක් කර දී නැති බවය. (අරීසෙන් අහුබුදු කලාකරුවා මියයද්දිත් ඔහුට ඔහු උපන් ගමෙන් ලැබුණේ මෙවන් ප්‍රතිචාරයකි) සේකරගේ පිළිරුව නොයෙක් වර කඩා බිඳ දැමීම්වලට ලක්වූයේ ය. කුල සාධකයක් ද ඊට ඈඳා ගත් ආකාරය දිස්වෙයි.
ගමෙන් පමණක් නොව රටින් පවා සේකරට එතරම් යහපත් සත්කාරයක් නොලැබුණු බව පෙනේ. 'බෝඩිම' කාව්‍ය සංග්‍රහයෙන් පිටපත් කීපයක් විකුණා ගන්ට සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවක සේකර ආපසු හරවා එවා තිබුණේ පොත් මිලට ගන්ට මුදල් නොමැති බව කියමිනි.
සේකර වෙනුවෙන් අද අපට කළ හැකි යමක් ඉතිරි ව ඇත. එනම්; ඔහුගේ සමස්ත නිර්මාණ දෙස අලුත් විචාර එළැඹුමකින් යුක්තව බැලීම ය. නූතන භාෂාවෙන් කිවහොත් නව කියැවීමක යෙදීමය. මෑතදී කේ. කේ. සමන් කුමාර එබඳු උත්සාහයක් ගත්තේ ය. ('සේකරගේ නොදුටු පැත්ත' නම්වූ ලිපි මාලාව) එහෙත් එය පරිසමාප්ත වූවක් නොවීය.
මහගමසේකර නම් වූ 'නොමියෙන ප්‍රබුද්ධයා' හැදෑරීම සමකාලීන කලාවේ පැතිකඩ ගණනාවක් අධ්‍යයනය කිරීමක් වන්නේය. මේ හැදෑරීමේදී මුලින් වේට්ටියක් හා දිග බැනියමක් ඇඳගෙන සඳැස් කවි ලියමින් නිසඳැස උපහාසයට ලක්කළ, අමුර්ත චිත්‍ර ගර්හාවට ලක්කළ සේකර පසුකලෙක විශාල පිම්මක් පැන නූතනවාදී කලාවට ආ හැටි විමසා බැලීම ද කළ යුතු යැයි අවධාරණය කරමි.

කුමාරගම කවියාගේ අවසන් මොහොත


කුමාරගම ජීවත්ව සිටි මුළු කාලයේම සේවය කර ඇත්තේ, වන්නිය, පස්සර, අලියාවැටුණු වැව, කොත්මලේ සහ කොලොන්න ආදි දුෂ්කර ප්‍රදේශවලය. ඒ වනගත ගැමි පරිසරය ඔහුගේ කවිත්වය වඩාත් ඔප් නැංවීමට හේතු වන්නට ඇත.
හේරත් හාමි, අයියනායක, සහ ආරච්චි රාල වැනි වටිනා කවි පන්ති ඔහු අතින් ලියැවී ඇත්තේ ඒ දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදී සිටියදීය.
විමලරත්න කුමාරගම කවියා මිය යන විට ඔහුගේ වයස වසර 43 කි. ඔහු ගැන මේ ලිපිය ලියන විට ඔහු මිය ගොස් වසර 53 කි. 1962 දෙසැම්බර් 29 වැනිදා රාත්‍රියේ රෝගාතුර වී අසාධ්‍යව සිටි කුමාරගම මහනුවර මහ රෝහලට ගෙන ආ බව අසන්ට ලැබී එදින රාත්‍රී 10ට පමණ ආරියවංශ පතිරාජ කවියාත් මමත් වහා එහි ගියෙමු. එහි 10 වැනි වාට්ටුවේ ඇඳක් මත වැතිර සිටි ඔහුට කථා කිරීමට නොහැකි බව දක්නට ලැබිණ.
සිහිසන් නැතිව මෙන් සිටි ඔහු මගේ අත අල්ලා ගැනීමට උත්සාහයක් දරන වග පෙනිණ. ඒ මොහොතේ ඔහු දෙනෙත් විවර කොට අප දෙස බලා සිටියේ අප හඳුනාගෙන ද නැද්ද යන්න නොදනිමු. ගතවූයේ මොහොතකි. අල්විස් පෙරේරා කවියා ද එතැනට පැමිණියේය.
ඒ මූසල රාත්‍රියේ අප තිදෙනා ඉදිරියේදීම කුමාරගම ඇරගෙන සිටි දෙනෙත් පියා ගත්තේය. එදින එතැන සිටි අයගෙන් අද ජීවතුන් අතර සිටින්නේ මා පමණය. අල්විස් පෙරේරාත් ආරියවංශත් මියගොස් බොහෝ කල්ය.
ඒ මොහොතේම මා විසින් ලියැවුණු කවි තුනකින් එකක් මෙසේ ය.
මිනිසුන් අතර නොම දත් මිනිහගෙ අගය
ජීවිතයට වඩා සැප මරණය ළඟය
මට වැටහුණේ මෙහිදිත් ඔබ හරි වගය
අප යා යුතුත් හිතවත ඔබ ගිය මඟය
ඒ අවස්ථාවේම කඩදාසි කැබැල්ලක් සොයාගෙන අල්විස් පෙරේරා කවියා ද දිග විරිතකින් කවි හතරක් ලී‍වේය. එහි අවසන් කවිය මෙසේ ය.
මෙරට කවියන් අතර නොව ලොව
කවින් අතරත් ඔබට තැන ඇත
කන්ද උඩරට උපන් කිසිවකු
ඔබ ලැබූ කවි කුසල ලැබ නැත
තටු දැවී ගිය කුරුල්ලකු මෙන්
වැටී ළතැවෙමි නොදැන යන අත
සදාකාලික සොහොන වේවා
ඔබට මින්පසු මගේ හදවත
කොළඹ යුගයේ ස්වර්ණමය කාල පරිච්ඡේදය හැටියට සැලකෙන එක්දහස් නවසිය හතළිස් ගණන්වල සිට හැටේ දසකය දක්වා වූ කාලය තුළ විමලරත්න කුමාරගම ලියා ඇති කවි ගණන අතිවිශාලය. අල්විස් පෙරේරා කවියා පවත්වාගෙන ගිය 'දේදුන්න' සඟරාවේත් ගාල්ලේ ජෝන් රාජදාසගේ 'මීවදය' සඟරාවේත් මාස්පතාම කුමාරගමගේ කවි පෙළක් පළ විය. පද්‍යාවලී වැනි පොත්වලට ඇතුළත් කර ඇත්තේ ඒවායින් තෝරා ගත් සමහරෙකි.
මීට බොහෝ කලකට පෙර මා පාසල් සිසුවකුව සිටියදී එකල ප්‍රකට කවියකු වූ බඹරකොටුවේ සුධර්ම හිමි කුමාරගමගේ කුලුපග මිතුරෙකි. ඒ හිමි­ෙයා් ඉංග්‍රීසි ඉගෙනීම සඳහා අප විදුහලට පැමිණ සිටියහ. (එකල සිසුන්ට වැඩි වයස් සීමාවක් තිබුණේ නැත) රත්නපුර සීවලී විද්‍යාලයේ සිසුන් වූ අපි සුධර්ම හිමිගේ සහාය ලබාගෙන රත්නපුර සීවලී කලා මණ්ඩලය (ර.සි.ක.) නමින් සංවිධානයක් පිහිටුවාගෙන දේශන පැවැත්වීම සඳහා සුප්‍රකට කවීන් ගෙන්වා ගතිමු. සුධර්ම හිමිගේ මිතුරකු වූ කුමාරගම එකල සේවය කළේ රත්නපුරයට නුදුරු කොලොන්න ප්‍රදේශයේය. සුධර්ම හිමි මඟින් අපේ කලා මණ්ඩලයේ දේශනයකට කුමාරගම කවියා ගෙන්වා ගතිමු.
මහනුවර දිස්ත්‍රික්කයේ නාරම්පනාව නමැති සුන්දර ගමේ 1918 ජනවාරි 18 වැනිදා උපන් කුමාරගම හත්දෙනකුගෙන් යුත් පවුලක දෙවැන්නාය. රජයේ පාසලක මුල් ගුරුවරයකු වූ පුංචි බණ්ඩාර කුමාරගමත් කේ. එම්. බණ්ඩාර මැණිකේ මහත්මියත් කුමාරගමගේ දෙමාපි­ෙයා්ය.
මඩොල්කැලේ වේරපිටිය විද්‍යාලයට මුලින්ම ඇතුළත් වූ කුමාරගම සිසුවා පසුව තෙල්දෙණියේ විද්‍යාලෝක විද්‍යාලයේත් කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබ 1930 වසරේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය.
තරුණ සිසුවකු වශයෙන් මහනුවරට පැමිණි කුමාරගම පාසල් ගොස් ඇත්තේ මහනුවර ත්‍රිකුණාමල වීදියේ (ඩී.‍ එස්. සේනානායක වීදියේ) දැනට අබාන්ස් වෙළෙඳ ‍සල ඇති තැන විසූ නාරම්පනාවේ වෙද මහතාගේ නිවසේ සිටය. එකල සුප්‍රකට වෛද්‍යවරයකු වූ නාරම්පනාව වෙද මහතා කුමාරගමගේ ළඟම ඥාතිවරයෙකි.
දුම්බර කඳු රැළියෙන් වට වූ නාරම්පනාවේ ස්වාභාවික සෞන්දර්යයෙන් රසවත්ව සිටි කුමාරගම මහනුවර පැමිණීමෙන් පසු එහිදී දක්නට ලැබුණේ වඩාත් ශාන්ත නිසල පරිසරයකි.
නුවර වැවේ සහ අවට පරිසරයේ ශාන්ත සුන්දරත්වයෙන් රස විඳිමින් ඔහු කවි ලියන්නට පටන්ගෙන ඇත්තේ පාසල් වියේ සිටියදීමය.
එදා ඔහු ලියූ කවියක් මෙසේ ය.
නිසලය සාන්තය ගස්වැල් වැව අවට
මා විසි කළේ පොඩි ගල් කැටයක වැවට
රස රැළි වළලු දී දිය රඟ ගති රුවට
එක කවියකින් නොකළැකි මොනව ද ලොවට
එකල පැවැති මැට්‍රිකියුලේශන් විභාගයෙන් සමත්ව රජයේ ලිපිකරුවකු ලෙසින් සේවයට බැඳුණු කුමාරගම ක්‍රමයෙන් උසස්වීම් ලැබ ආදායම් නිලධාරියකු (D. R. O.) ලෙස පත්වීමක් ලැබුවේය. කවි ලියමින් විනෝද වෙමින් සිටි ඔහු විවාහ වී සිටියේ නැත. කවිය ඔහුගේ බිරිය බවට පත්ව තිබිණි.
කුමාරගම වන්නියේ ආදායම් පාලක නිලධාරී ලෙස සේවය කළ කාලයේ නිවාඩු ලත් විට ඔහු පාසල් වියේ නැවතී සිටි මහනුවර නිවසට පැමිණ විවේකීව සිටියේය. එහි සිටි තවත් ආයුර්වේද වෛද්‍යවරයකු වූ විමලරත්නගේ ඥාති සොහොයුරකු වූ ඩී. බී. කුමාරගම මහතාත් මැණික්දිවෙල මහතාත් (පසු කලෙක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් වූ) යන අය සමඟ විනෝදයෙන් කාලය ගෙවීමට කුමාරගම පුරුදුව සිටියේය. මගේ වැඩිමහල් සොහොයුරු අභාවප්‍රාප්ත ගාමිණී බුලත්ගමත් ඩී. බී. කුමාරගමත් මිතුරන් වූ නිසා අපි ද නිතර ඒ නිවසට යෑමට පුරුදුව සිටියෙමු.
කුමාරගම අභාවප්‍රාප්ත වී හරියටම වසර හතරකට පසු පූජ්‍ය හික්ගොඩ ඛේමානන්ද හිමියන්ගේ සහ ප්‍රේමතිලක මාපිටිගම (පසුව ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ අධ්‍යක්ෂව සිටි) මහතාගේ මැදිහත් වීමෙන් 1966 දෙසැම්බර් 28 වැනිදා පළ කරන ලද කුමාරගමගේ 'මහ පාර' නමැති පොතේ එතෙක් පළ නොවී තිබුණු ඔහුගේ කෘතී රැසක් දක්නට ලැබේ.
එම පොත ගැන හැඳින්වීමක් ලියන ආචාර්ය වල්පොළ රාහුල හිමියන් මෙසේ සඳහන් කර ඇත.
කුමාරගමගේ කවි නවීනත්වයට හා පාරම්පරික සම්ප්‍රදායට ගැති නොවූ 'විප්ලවකාරි' නිවහල් බවකට පත්ව තිබුණා පමණක් නොව, ඔහුගේ පිරිසිදු සිතත් තාරුණ්‍යය හා දාර්ශනිකත්වයත් එයින් පිළිබිඹුව පැවතුණි.
කුමාරගම විසින් ලියන ලද මෙතෙක් කිසිවක පළ නොවූ කවි රැසක් මා ළඟ තිබුණු නමුත් දැන් ඒවා අස්ථාන ගත වී ඇත.
කුමාරගමගේ මලණුවන් මියගිය අවස්ථාවේ ඔහු විසින් මෙසේ ලියන ලදි.
මොන මොන වෙලාවෙත් ඇවිදින විට දි රටේ
වනපෙත් උයන් වතුවල ඇති හතර වටේ
වටිනාකමක් නැති මල් ගොමු නුවන ගැටේ
සුවඳැති රුවැති පැණි ඇති මල් බිමට වැටේ
කඳුළත් හිනාවත් ලොව අමුතුම දෙකකි
එනමුත් ඒ දෙකම පිටවන තැන එකකි
හිනැහෙන්ට ද අඬන්ට ද නොදැනුම දුකකි
මා වියරුව ද නැද්දැයි මට නම් සැකකි
රාහුල හාමුදුරුවන් සඳහන් කළ පරිදිම කුමාරගමට යමක් ඒ අයුරින්ම කියන්ට වුවමනා වූ විට පැරැණි සම්ප්‍රදාය බිඳ දමා හිතට එන දෑ එලෙසම ලියයි. ඔහුගේ 'මහ පාර' පොතේ ඇති මෙ කව ඊට හොඳ නිදසුනකි.
මහ පාරේ නව වැලි දා
දවසක් නැත ගතවුණේ
රාලහාමි පොලිසියේ
රාලහාමි ඇවිදිනවා
ජරස්! බරස්!
ජරස්! බරස්!
රාලහාමි ඇවිදිනවා...
කුඩා කෙල්ල මහ පාරේ
බඩගින්නේ ළතැවෙනවා
ඇගේ අතේ පොල් කටුවකි
මළකඩ කෑ ටිං කබලකි
රෑ මුරයට ඉන්න අපේ
රාලහාමි ඇවිදිනවා
ජරස්! බරස්!
ජරස්! බරස්!
රාලහාමි ඇවිදිනවා...
වන්නියේ සේවය කරද්දී වැව් බැම්ම දිගේ මොටෝ රිය පදවාගෙන යද්දී ඒ අසල වැවේ තනිවම දිය නාමින් සිටි සුරූපී තරුණියක දුටු කුමාරගම කවියා හිතෙන් කවිය හදාගෙන ගොස් මෙසේ ලියා තැබුවේය.
ලස්සන තරුණියක් දුටු විට එතන හද
දැක්කෙමි නාන හැටි තනියම වැවෙහි හිඳ
එක්කරගෙන යන්ට හිතුණත් අතින් ඇද
රැක්කෙමි දිසාපතිකම දුක් විඳල ලද
කුමාරගම ජීවත්ව සිටි මුළු කාලයේම සේවය කර ඇත්තේ, වන්නිය, පස්සර, අලියාවැටුණු වැව, කොත්මලේ සහ කොලොන්න ආදි දුෂ්කර ප්‍රදේශවලය. ඒ වනගත ගැමි පරිසරය ඔහුගේ කවිත්වය වඩාත් ඔප් නැංවීමට හේතු වන්නට ඇත.
හේරත් හාමි, අයියනායක, සහ ආරච්චි රාල වැනි වටිනා කවි පන්ති ඔහු අතින් ලියැවී ඇත්තේ ඒ දුෂ්කර ප්‍රදේශවල සේවයේ යෙදී සිටියදීය.
විමසිල්ලට ලක්විය යුතු ඔහුගේ තවත් කවියක් මෙසේ ය.
ඉර හඳ තිබේ බටපොතු පෙට්ටියක වසා
ලොව හොඳ නොහොඳ ඇත මගෙ ලේ බිඳු ද අසා
ලෝකය වටකුරුය කීවොත් එය ද මුසා
බල්ලෝ බුරති හඳ හතරැස් නොවන නිසා
මානව දයාවෙන් පිරුණු හදවතක් නැති කෙනකුට කවිත්වයක් පිහිටන්නේ නැත. ඒ බව කුමාරගමගේ කවිත්වයෙන් පැහැදිලි වෙයි. ඔහු ලියා ඇති හැම කවියකින්ම ඒ බව පැහැදිලි වෙයි. නූගත් අහිංසක ගැමියන්ගේ චර්යාවන් දෙස ඔහු බැලුවේ සානුකම්පික හැඟීමකින් යුතුවය. ගැමියන්ගේ පාරම්පරික විශ්වාසයන් සහ ඇදහිලි නිවැරැදි කරන්ට ඔහු ගියේ නැත. ඒවා තමා නොකළත් ඒ දෙස දයානුකම්පාවෙන් බලා සිටියේ මෙසේ ය.
සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලෙක දැවටීම
මා නොකෙරුවත් නො කරමි එය ගැරහීම
කුමාරගම වන්නියේ සිටියදී ලියන ලද කවි අතුරින් වඩාත්ම අගනා කවිපෙළක් ලෙස 'අයියනායක' කවිපෙළ හැඳින්විය හැකිය. වනගත ගැමි පරිසරයේ වෙසෙන අහිංසක මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ හැඟීම් නිර්ව්‍යාජ ලෙස මේ කවිවලින් පිළිබිඹු වෙයි. වනගත දෙවි දේවතාවුන් කෙරෙහි ඔවුන්ගේ ඇති ගෞරව සම්ප්‍රයුක්ත බියජනක බව කුමාරගම මනා ලෙස කවියෙන් විස්තර කරයි.
දෙවි දේවතාවුන් වෙසෙන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකට ද දැනේ
මොළයෙන් තමා ලෝකයෙ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ
මළ හිරු බැස යන හැන්දෑවේ වනය මත තෙරපී සඳ රැස් ගලා යන චමත්කාරය දැක කවියා උද්දාම වී මෙසේ කියයි.
වනපෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳ රැස් ගලන විට තෙරපී වනය මත
එක දෙවියෙක් නොවේ දහසක් එතැන ඇත
සෞන්දර්ය ලෝලීයකු වූ ජීවිතයේ යථාර්ථය මනැසින් දැක කවි ලියූ කුමාරගම කවියා හදිසියේ බරපතළ ලෙස රෝගාතුරව සිටියදී රෝහල්ගත වීමට කලින් කවි දෙකක් ලියා පී. බී. අල්විස් පෙරේරා කවියාට තැපැල් කර යවා ඇත. ඒ ඔහුගේ අතින් ලියැවුණු අන්තිම කවි දෙකය.
එය මෙසේ ය.
අලුත් එළියක ලකුණු මතු වෙයි
එදෙස හිරු රැස් අනුව යන්නම්
මගේ අදහස් මැරෙන්නේ නෑ
ඔබට එය අඩු නැතිව දෙන්නම්
උදෑසන මල් වී පිපෙන්නම්
රෑට හඳ එළියකින් එන්නම්
ඔබේ සුවඳත් මගේ සුවඳත්
එකට කැටි කළ සුළඟ වෙන්නම්
ගමෙන් පිට ඈත පළාත්වල මුළු කාලයම ගෙවී ගියත් තමා දිනූ ගම ඔහුට අමතක වූයේ නැත. කොහේ කොතැනක විසුවත් තමාට හිමි උරුමය ඇත්තේ නාරම්පනාවේ බව ඔහු ලියා තැබුවේය.
නිතරම නිවෙස් වූ හුදු වාසනාවට
කඳු වැටිවලින් මා දිනු ගම උනා වට
මෙලෙසට ගමෙන් පිට පියවර ගෙනා වට
මා උරුමයකි මගෙ නාරම් පනාවට
වෙනසට පත්වුවද අද ඔබෙ මුහුණු වර
සැනසුම ලබමි නම සිහි වන සියලු වර
ඔබ හැර මෙසේ අද පසුවන නමුදු දුර
රැක ගනු මැනවි මගෙ ඇටකටු තුරුලු කර
කුමාරගම ලියූ පරිදිම ඔහුගේ දේහය මිහිදන් කරන ලද්දේ ඔහුගේ උරුමය වූ නාරම්පනාවේ නිවස අසලම ඇති කඳු ගැටයකය.
පසුගිය දා මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැතිව සිටි ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා කුමාරගම කවියාට උපහාරයක් වශයෙන් නාරම්පනාව විද්‍යාලය විමලරත්න කුමාරගම මහා විද්‍යාලය යනුවෙන් නම් කළේය.

Monday, December 28, 2015

මිණි වන් කවි ලියූ මිණිවන්

නිර්මාණකරණය පිළිබඳ ප්‍රශස්ත කුසලතා ප්‍රකට කළ නිර්මාණවේදියකු වූ මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නයන් නිර්මාණ ලෝකයට ප්‍රවේශ වූ ප්‍රථම කලා මාධ්‍යය වූයේ කවියයි. 1969 වර්ෂයේ මුද්‍රිත, පද්‍ය නිර්මාණ අර්ධ ශතකයකින් සමන්විත වූ 'ඡායාමාත්‍ර' නම් ප්‍රථම කාව්‍ය සංග්‍රහය ම කවියාගේ ස්වලක්ෂණ විශද කිරීමට සමත් විය. ස්වකීය නිසර්ග ප්‍රතිභා ශක්තිය, අත්දැකීම් කෙරෙහි දක්වන සංවේදීතාව, උසස් නිර්මාණ සේවනය, නිරන්තර නිර්මාණ කරණය, සුඛනම්‍ය කරගත් සමාජ හා ජීවන දර්ශනය වැනි හේතු සම්පත් නිසා මෙරට නූතන කවීන්ගේ නාමාවලියට ඔහු ද ඇතුළත් වෙයි.

භාවගම්‍ය මාධ්‍යයක් ලෙස කවිය උපයෝගී කරගත් මිණිවන් පී. තිලකරත්නයන්ගේ කවි, කවියා සමඟ අනන්‍ය වෙයි. උසස් ජීවන පරමාර්ථ හා පුරුෂාර්ථ සහිත චරිත ලක්ෂණවලින් හෙබි ඔහු තුළ ලැගුම් ගත් 'කවියා' ද අව්‍යාජ පරමාර්ථගවේෂී කවියෙක් විය. කාව්‍යානුභූතිවලින් සහ ජීවිතාර්ථවලින් සුපෝෂිත කවියකුට ඉටුකළ හැකි නිර්මාණාත්මක මෙහෙවර ප්‍රබලය. විවිධ විෂය කෙරෙහි ව්‍යාප්ත වූ ඔහුගේ අත්දැකීම් ක්ෂේත්‍රය පෘථුලය. දෙස් විදෙස් සිද්ධි හා චරිත නිරීක්ෂණය කිරීමෙන් ද මානව විද්‍යා හා සමාජ විද්‍යා පර්යේෂකයකු වශයෙන් ද දේශීය සම්භාව්‍ය සාහිත්‍යය හා නූතන සාහිත්‍යය ද, විදේශීය සාහිත්‍ය කලාදිය ද සේවනය කිරීමෙන් ලද පෝෂණය ඔහුගේ නිර්මාණවලින් පිළිබිඹු විය.

විශේෂයෙන් රුසියානු සාහිත්‍යය පිළිබඳ වූ පර්යේෂණාත්මක අවබෝධය කවියකු, කෙටිකතාකරුවකු හා නවකතාකරුවකු වශයෙන් ද ඔහු සන්නද්ධ කළේය. ඔහුගේ කවි ශක්තිය, ප්‍රබන්ද කථා කලාවේ දී ඔහු පළ කළ රූපණාත්මක කුසලතාවට ද හේතු සාධක විය. මිණිවන් පී. තිලකරත්නයන්ගේ කාව්‍ය නිර්මාණවලින් වඩාත් කැපී පෙනෙන ලක්ෂණ වන්නේ උපහාස ගර්භ හාස්‍ය රසය සහ පුද්ගල සමාජ සද්භාවය පිළිබඳ සාධනීය ආකල්පයයි. ඔහු විසින් රචිත පද්‍ය සංග්‍රහ සහ ආඛ්‍යාන කාව්‍යය පිළිබඳ විචාරාවලෝකනයකින් ඔහුගේ කවියෙහි ස්වරූපය හඳුනාගත හැකි වේ.
කාව්‍ය රචනය සඳහා ඔහු නිර්මාණාවේශය ලබාගන්නේ කොළඹ කවියෙනි. 1982 වර්ෂයේ දී පළ වූ 'පමා නොවී එමි අකුරට' නම් නවකතාවේ සරණපාලගේ චරිතයට මුවා වී ප්‍රතිනිර්මාණය කොට ඇත්තේ ඔහුගේ ළමා කාලය පිළිබඳ සත්‍යයයි: සිකුරාදා දිනවල ඉස්කෝලේ පැවැත්වෙන කවි මඩුවෙහි ඇතැම් විට වැඩියෙන් ම හිටිවන කවි කීවේ බුවනපාල ය. කවි මඩුවේ දී වැඩිය කවි කීවේ නැතත් කවි හැදීමට නම් සරණපාල බුවනපාලටත් වඩා හපන් බව ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් ම දැන සිටියහ. කවි මඩුවල දී මහ හයියෙන් ඇද පැද ආඩම්බරයෙන් කී බොහෝ කවි ඔහුට රචනා කොට දුන්නේ සරණපාලය.
සිය ළමා වියෙහි සිට කොළඹ කවියෙන් ආභාසය හා ආවේශය ලැබූව ද එහි අනුකාරකයකු නොවීම ඔහුගේ විශේෂත්වයකි. නිරූපිත අත්දැකීමට උචිත පරිදි සඳැස් හා නිදහස් කාව්‍ය ආකෘති සංයෝජනයෙන් මිණිවන් පී. තිලකරත්නයන්ගේ කාව්‍ය රීතිය සංස්කරණය වී තිබේ.

හැටේ දශකයේ අවසාන භාගයේ සහ හැත්තෑව දශකයේ සිංහල කවියේ වස්තු විෂය, ජීවන හා සමාජ දර්ශනය සමාජවාදී නැඹුරුවකින් සන්නද්ධ විය. තිලකරත්නයන්ගේ 'ඡායා මාත්‍ර' කාව්‍ය සංග්‍රහය පළ වන්නේ 1969 වර්ෂයේදීය. මිණිවන් පී. තිලකරත්න හා සාහිත්‍ය ලෝකය නම් ග්‍රන්ථයෙහි මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් සමඟ සිදු කළ පිළිසඳරෙහි ඡායා මාත්‍ර කාව්‍ය සංග්‍රහයේ නිර්මාණ පසුබිම පිළිබඳ කවියා මෙසේ පවසා ඇත:

'1967 දී එංගලන්තයේ සිට ආපසු ආ විගසම මා ආරම්භ කළේ කවි ලිවීමටයි. ඒ කාලයේ දී එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, අයර්ලන්තය වැනි යුරෝපීය රටවල් මෙන් ම ඊජිප්තුව, සෙනෙගාල්, දකුණු අප්‍රිකාව වැනි අප්‍රිකානු මහාද්වීපයේ රටවල් කිහිපයකත් සංචාරය කිරීමෙන් ලබාගන්නා ලද අත්දැකීම් සම්භාරයක් මගේ සිතේ තැන්පත් වී තිබුණා. මගේ ඡායාමාත්‍ර නම් මුල් ම පද්‍ය සංග්‍රහයට විදේශීය පසුතලයක් සහිත නිර්මාණ ගණනාවක් ඇතුළු වීමට හේතු වූයේ එය විය හැකියි... නිදසුන් හැටියට අටවිසි රූප, ගලවන නැටුම, වල්ලබ කුමරුට තෑග්ගක්, දුම්රිය වැරදීම, බම්බිනෝ, ඒත්තු ගැන්වීම වැනි රචනා නම් කරන්නට පුළුවනි.
'අටවිසි රූප' නම් රචනයට මුල් වී ඇත්තේ මා දුටු ලන්ඩනයේ රාත්‍රි සමාජ ශාලාවක දර්ශනයක්. එහි එන ගලවන නැටුම හැඳින්විය හැක්කේ සංගීතමය තාලයකට අනුව නළඟනක විසින් තමන් ඇඳ සිටින ඇඳුම් ආයිත්තම් එකින් එක ගලවා කරනු ලබන නැටුමක් පිළිබඳ විස්තරයක් ලෙසිනි.' (54 - 55 පිටු)
කවියා විප්‍රවාසයේ දී ලැබු අත්දැකීම් සහෘදය සහානුභූති බවට පත් කරමින් පරිකල්පනය කිරීමට යොමු වී ඇති අයුරු ඒ නිර්මාණවලින් ගම්‍ය වේ. ඡායාමාත්‍ර පද්‍ය සංග්‍රහයෙහි ඇතුළත් 'බත් කැවිල්ල' නම් නිර්මාණය සඳහා විෂය වී ඇත්තේ සිංහල සමාජයෙහි දරුවන්ගේ ඉඳුල්කට ගෑමේ චාරිත්‍රයයි. කවියා සාම්ප්‍රදායික අනුකරණාත්මක චාරිත්‍රවල ව්‍යාජය උත්ප්‍රාසයට ලක් කරන්නේ මෙසේය:
කිරිබත් කැටයක් දෙසට ද ගිජු ලෙස ඔබෙ ඇහැ දුවන්නෙ
ඉදිරියෙන්ම තබා තිබෙන පෑන ඇයි ද සිත් නොගන්නෙ
පොතක තිබෙන පිටු පෙරළල, පෑනෙන් එහි ඉරක් ඇඳල
මතු උගතෙක් වන සලකුණු පෙන්වන්නකො අපට පුතේ
(ඡායාමාත්‍ර, 66 - 67 පිටු)
සිය බිරියට යටහත් පහත් නිවට නියාලු ගැමියකුගේ චරිත ස්වභාවය සදය උපහාසයට ලක් කරන; 'කපුරුහාමිගේ කන්නලව්ව' නම් නිර්මාණය කාව්‍ය ආකෘතිය සහ කාව්‍යෝක්ති අතින් ජන කවි රීතියෙන් ලත් පෝෂණය පිළිබිඹු කරන්නකි. බිරිය විසින් තමා ගේපැලෙන් එළියට දමා දොර වසා ගනු ලැබු කල්හි තමා ද ගෙතුළට ගන්නා ලෙස සැමියා කන්නලව් කරන ආකාරය නිරූපණය කොට ඇත්තේ චිත්තරූප උපදවමිනි:

ලිඳක් කපන්නේ ඉන් දිය බොන්ටයි
පැලක් තිබෙන්නේ එහි ලැග ඉන්ටයි
හමක් එළන්නේ එහි සැතපෙන්ටයි
ලියක් සිටින්නේ පහස ලබන්ටයි
වාද කතා මම මතු නොකියන්නේ
බේද වෙන්ට කිසිදා නොසිතන්නේ
හාද කතා හැම විට තෙපලන්නේ
මා ද අනේ පැල ඇතුළට ගන්නේ
(ඡායාමාත්‍ර, 73 පිට)

කාව්‍ය නිර්මාණයක ව්‍යංග්‍යාර්ථ විවිධය. අසීමිතය. කවියා මේ නිර්මාණයෙහි දී සිය බිරියගේ නපුරුකම් දන්නා මේ සන්සුන් ගැමියා රළු පරළු ඇය සමඟ නොගැටී සිත සියුමැලි වෙන කවියේ උදව්වෙන් ඇය හීලෑ කරගන්නා තන්වැසියකු සේ හැඟී යන්නට ද යෝග්‍ය වදන් ඉඟි සපයයි.
'ඡායාමාත්‍ර' කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් 'සුචරිතවාදියාගේ මංගල රාත්‍රිය' නම් නිර්මාණය ව්‍යාජ සද්භාවය උපහාසයට ලක් කරන නිර්මාණයකි. සිය මධු සමය ගෙවන දිනයෙහි දී මනාලයා තම සැතපුණු අවයව' දෙස සරොසින් නොබලන ලෙසත්, රාගයෙන් තොර වූ ප්‍රේමය ම උදාර වන බවත් මනාලියට පවසයි. එහෙත් සිය මංගල රාත්‍රියේ ප්‍රථම හමුව පිළිබඳ සිහින දකින ඇගේ සිත්හසර කවියා නිරූපණය කරන්නේ සියුම් උපහාසය දනවන කාව්‍යෝක්ති ඇසුරෙනි:
පිසුමට වන් කලට
රස්මි නොම දෙන ගින්නෙහි
ඇති හොඳ දකින්නට
මගේ දෑසට නම් පුරුදු නැත
නම කන්තක වුව ද
නොදුවන අසු දඬු කඳකි
සසල විය යුතු තැන
නිසල බව මම අගය නොකරමි
(ඡායාමාත්‍ර, 35 පිට)
මේ නිර්මාණයෙහි ලා උපයුක්ත විරිත ගී විරිත් ප්‍රකාරයකි. එමඟින් සම්භාව්‍ය ගී කාව්‍යවල ඇතුළත් මධුපාන, රතික්‍රීඩා වැනුම් සිහියට නැ‍‍ඟේ. එහි දී පාත්‍රයෝ සක්‍රිය ලෙස ජීවිතාස්වාදය ලබති. එහෙත් වාර්තමානික මනාලයාගේ මංගල ශයනෙහි ශීලය, නිශ්ක්‍රිය භාවය උත්ප්‍රාසය දනවයි.
'ඡායාමාත්‍ර' කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් අඩ සියයක් වූ කාව්‍ය නිර්මාණවල විවිධත්වයක් සහ විචිත්‍රත්වයක් දක්නට ලැබේ. ඇතැම් නිර්මාණවල දී කවියාගේ භාවාතිශය භාවය නිසා ඇති වන වාක් ප්‍රපංච නිසා නිර්මාණයේ සංක්ෂිප්තතා ගුණය ගිලිහී යන අවස්ථා ද නැත්තේ නොවේ. 'ඉවත් කිරීම' වැනි නිර්මාණ ඊට නිදසුන් කළ හැකිය.
1971 වර්ෂයේ දී පළ කෙරුණු මේ කාව්‍ය සංග්‍රහය කාව්‍ය නිර්මාණ 26කින් සමන්විතය: එහි නිර්මාණ පසුබිම පිළිබඳ කවියා මෙසේ සඳහන් කරයි:
'මේ පද්‍ය සමූහය රචනා කිරීමේ දී මා වඩාත් වෑයම් කළේ ජීවිතයේ අහුමුලු ලෙස සැලකිය හැකි ස්ථානවලින් ම වස්තු සපයා ගැනීමටයි.'
මෙහි දී කවියා පෙම් යාදිනි ගැයීමෙන් මෙන් ම සටන්පාඨ ලිවීමෙන් ද වැළකී සිටියි. හැත්තෑව දශකයේ බොහෝ කවීන්ගෙන් මිණිවන් පී. තිලකරත්නයන් වෙනස් වන්නේ ද ඔහු සාර්වත්‍රික අත්දැකීම් කෙරෙහි දක්වන විශේෂ අවධානය නිසාය.
වාණිජ අර්ථ ක්‍රමය නිසා මිනිසා මුදල කෙරෙහි ආකර්ෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස පුරුෂාර්ථවල ද විපර්යාසයක් සිදු විය. දේශ භක්තිය ජාතික උරුමය වැනි සංකල්ප වාණිජත්වය තුළ ගිලී යන ආකාරය පිළිබඳ උපහාසාත්මක දෘෂ්ටියකින් රචිත නිර්මාණයකි 'කෞතුක භාණ්ඩ වෙළඳසැල.'
අවුරුදු දෙදහස් පන්සිය ගණනක්
ගලන ගඟක් සේ නොකැඩී දිව ආ
ඉතිහාසයෙ හැම යුගයක් පාසම
පිළිබිඹු කරනා කෞතුක භාණ්ඩ
අප ළඟ දැන් විකුණන්ට තියනවා
පිටරටවල සිට එන මහතුන් හට
විශේෂ මිලකට අපි විකුණන්නේ
අපේම සේවක මහතුන් නෙක තැන
ඇවිද ඇවිද එක් කරපු අනගි බඩු
අපේම නිදහන් සොරුන් ලවා අපි...
දාගැබ් බිඳවා රැස්කොට ගත් බඩු
මෙහි තොග ගණනින් ගන්ඩ තිබෙනවා
ඉපැරණි වෙහෙරක ධාතු ගර්භයේ
තැන්පත් කොට තිබූ මේ ලොහො බුදු රුව
රාත්තලක් රුපියල් පහ තරමේ
සාධාරණ මිලකට අපි දෙනවා...
සමහර ඉපැරණි කෞතුක භාණ්ඩ
අපේ ම වඩුවන් මෙහි සාදනවා
කවියා සමකාලීන ව්‍යාපාරිකයා මුදලට ගිජු වීමේ ප්‍රතිඵලයක් ලෙස උදාවෙන ජාතික සංස්කෘතික ව්‍යසනය පිළිබඳ සහෘදයා ඥානනය කරවන්නේ උපහාසාත්මක ස්වරයෙනි.
ලංකා සමාජය හා සංස්කෘතිය පිළිබඳ විවිධ අධ්‍යයනය නිරත වූ කවියා එමඟින් ලද සියුම් අනුභූති ස්වකීය කාව්‍ය නිර්මාණ සඳහා ද වෙසෙසින් පාදක කරගෙන ඇත. විවාහ මංගල්‍යයෙන් පසුව සිදුවන 'දෙවෙනි ගමන' නම් චාරිත්‍රය මනාලියගේ පාරිශුද්ධිය තීරණය වන සංසිද්ධියකි. විවාහයේ පැවැත්ම තීරණය වන්නේ; රිදි නැන්දාගේ නිර්දේශය අනුවය. මේ චාරිත්‍රය එක් අතකින් යහපත් ප්‍රතිඵල ද තවත් අතකින් අයහපත් ප්‍රතිඵල ද ලබා දෙන සංකීර්ණ ප්‍රපංචයකි.
කවියා වඩාත් මේ සිද්ධියෙහි උත්ප්‍රාසයක් දකින්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය සිය පරමාදර්ශය කරගත් බෞද්ධ සිංහලයා මේ චාරිත්‍රය පිළිබඳ දක්වන අන්තගාමී ආකල්පයෙහිය.
'ජේත්තුවට ඇද බැඳ ගෙන
ආරිය සිංහල සිරිතට
කැවුං කොකිස් කද බැඳගෙන
නෑදෑයින් රැස්කරගෙන
රිදී නැන්ද පෙරටුව ගෙන
චකිත බවක් හිතින් රැගෙන
ඊයේ කටයුතු මනින්ට
අද ආවා දෙවෙනි ගමන...
එකිනෙකාගෙ මූණු බලන්
තේ මේසෙට වාඩි උණත්
දෙමහල්ලෝ කැවිලි තුළින්
එක පාටින් සිහින දකිති
වෙනදා සුර පුර ද
නිවන් පුරය ද පතනා
ඔවුන් අද පතන්නේ
බෙහෙවින් කුඩා පැතුමකි...
සුදු පිරුවටේ සුද අඩු වී තිබීයන්
පච්චවඩං සලකුණු එහි පෙනීයන්...
(එසේ හෙයින් කියන ලදී, 43, 44 පිටු)
වසරෙන් වසරට සස්‍ය සම්පත් ලබන, ගොවියකුගේ ද වසරෙන් වසරට දරු සම්පත් සදන ගැමියකුගේ ද චරිත දෙක තුලනාත්මකව නිරූපණය කෙරෙන 'ගොවීන් දෙදෙනෙක්', පැවිදි වී සිටිය දී පැවිද්දට නුහුරු, උපැවිදි වූ පසු ගිහිගෙට නුහුරු ප්‍රස්තුතයට නොගැළපෙන චරිත ස්වරූපය විශද කරන 'නුහුරු', රජුන්ගේ අන්තඃපුරයෙහි පවත්නා නිරන්තර අසන්තෘප්තිය, බේදය හා අසාධාරණය අවධාරණය කෙරෙන 'එසේ හෙයින් කියන ලදී' වැනි අගනා නිර්මාණ ඇතුළත් මේ කාව්‍ය සංග්‍රහය පාඨකයාගේ අගනා කාලය අර්ථවත් කරන්නකි.
පද්‍ය නිර්මාණ සතිසකින් පරිමිත 'සංකල්ප රූප' කාව්‍ය සංග්‍රහය 1974 වර්ෂයේ දී පළ විය. එහි ප්‍රවේශ ප්‍රකාශයෙහි මෙසේ සඳහන් වෙයි.
මෙහි එන පද්‍ය සඳහා විවිධ විරිත් තෝරාගන්නා ලද්දේ ඒවාට වස්තු වී ඇති කරුණුවල ස්වභාවය ද සැලකිල්ලට ගනිමිනි. ශ්‍රව්‍ය කාව්‍ය සඳහා කුමන ආකාරයක හෝ විරිත් අවශ්‍ය බව පුන පුනා කිව යුත්තක් නො වේ. ගද්‍යයෙන් පද්‍ය වෙන් කොට හඳුනා ගැනීමට උපකාරී වන්නේ ද එය බැවිනි.
(සංකල්ප රූප - ප්‍රවේශය)
පරාර්ථ චර්යාව, පරිත්‍යාගශිලී භාවය වැනි සාරධර්ම අබිබවමින් ස්වාර්ථකාමය හා අධිපරිභෝජනය වැනි විචලනයන්ට බඳුන් වෙමින් වෙනස් වෙන සමාජය හා එහි ගතිලක්ෂණ මෙහි දී කවියාගේ විශේෂ අවධානයට පාත්‍ර වේ. ඒ හැරුණු විට, සංස්කෘතික සංකල්ප, ගතානුගතික චාරිත්‍ර වාරිත්‍ර පුද්ගල මනෝභාව ආදි තේමා කෙරෙහි ද සාවධාන වී ඇත.
'බල්ලා' නම් හිසින් ලියන ලද පද්‍ය නිර්මාණය සඳහා යොදාගන්නේ මුල අග එළිසමය සහිත වියත් කාව්‍ය ආකෘතියයි. බුද්ධ කාලීන භාරතයෙහි සුනඛව්‍රතය හෙවත් 'බලුතව' තපස් ධර්මයකි. එසේ තපසට ලක්ෂ්‍ය කරගෙන ඇත්තේ බල්ලාගේ අල්පේච්ඡතාවයි. එය නිකෙලෙස් ගුණයකැයි නුවටුවෝ සිතූහ. අමාවතුරෙහි දිගම්බර දමනය ඇසුරු කරගනිමින් රචිත මෙම නිර්මාණය ද කවියා වඩාත් රුචි කරන උපහාසයම සංයෝජනය වූවකි.
සොල්ලා වලග තම ළැදිකම පාන නිති
දල්ලා කට ද දැඩි ඉක්මන් ගමන් ඇති
ගිල්ලා වුව ද කැලි කසළ ද ලෝබ සිතී
බල්ලා සතුව ඇත ගුණ මිනිසුන්ට නැතී
රූමත් බලු ළඳක් දුටු විට වට පිටක
රාදොස් නිසා වහ වැටෙමින් හනි හනික
රෑ ද දවාල ද සිහි නැතිවෙයි විටක
රෝගය එයයි. නැත අන් නුගුණක් මතක
(සං. රූ. 78 පිටු)
සොබා දහමෙහි අරුමය අඟවන 'මදටිය මල' නම් නිර්මාණය ලොව ඒ ඒ වස්තු හා බැඳුණු සත්‍යයක් හෙළි කරන චමත්කාර ජනක නිර්මාණයකි.
පිළිවෙළට කලට වෙලාවට වැඩ කිරීම, සිය සේවයට මුල් තැන දීම වැනි ගුණාංග මිණිවන් පී. තිලකරත්නයන්ගේ චරිතයෙහි ද කැපී පෙනෙන ලක්ෂණයෝ වෙති. එසේ නොවන විට ඔහුගේ විරෝධය මතු වේ. 'සබාවෙන් අවසරයි' නම් නිර්මාණය එබඳු විරෝධාකල්ප ප්‍රකාශයකි. කාලය පිළිබඳ සාවධාන නොවී හරසුන් කතාවක් පවත්වන කථිකයාට සබාවෙන් එල්ල වන විරෝධය පිළිබඳ කවියාගේ සෝපාහාස කථනයයි මේ.
සබාව : මේ කදිම සැන්දෑවේ
පළමුව කිව යුත්තෙ
දෙවනුව කිව යුත්තේ
තුන්වෙනිව කිව යුත්තෙ
ඉඳගනිංඩෝ!
කථිකයා : ඔරලෝසුවට මා පිටුපා සිටිය හෙයින්
නොම දත්තෙමි කොතෙක් කාලය...
සබාව : ඔර්ලෝසුව නොවෙයි බලපන් කැලැන්ඩරේ
නවත්තපන් අග මුල නැති කතන්දරේ.
(සංකල්ප රූප, 29, 30 පිටු)
නිරූපිත භාව අවස්ථාවන්ට අනුරූප පරිදි භාෂාවේ ප්‍රකාශන ස්වරූපය හැසිරවීම කවියාගේ රීතියෙහි එක් ලක්ෂණයකි. ඔහු ප්‍රකාශනය ද රූපණය ද යෝග්‍ය පරිදි භාවිත කරයි. මේ නිර්මාණ සංග්‍රහයෙහි ඇතුළත්, තොටියා නැති තොටුපළ, විරුද්ධත්වය, වෙන් නොකළැකි අඹුසැමියෝ, පොතේ ගුරාට පාඩමක් වැනි නිර්මාණ ද කවියාගේ විවේචනාත්මක දෘෂ්ටිය පිළිබිඹු වන විශේෂ නිර්මාණ ලෙස හැඳින්විය හැකිය. ඇතැම් පද්‍ය රචනාවලදී සහෘදයාගේ ග්‍රහණය කරගැනීමේ ශක්තිය පිළිබඳ කවියා තුළ පවතින සැකය නිසාදෝ ප්‍රමාණය ඉක්මවා පැහැදිලි කිරීමට යෑමෙන් නිර්මාණාත්මක අගය ක්ෂය වී යන බව ද හැඟී යන්නට අවකාශ තිබේ.
මිණිවන් පී. තිලකරත්නයන්ගේ ආඛ්‍යාන රූපී කාව්‍යයක් වන වේග - ආවේග රචනා වී ඇත්තේ 1975 වර්ෂයේ දී ය. වෙලාවට වැඩ කිරීම සංවර්ධනයේ සහ ප්‍රගතියේ සාධකයකි. එහෙත් මෙරට වෙලාවට ම වැඩ සිදු වන්නේ නැකත් අනුගමනයේ දීය. සාමාන්‍ය වේලාව පිළිබඳ දක්වන සැලකිල්ල අල්පය. එහෙත් මේ කාව්‍යයෙහි කථා නායකයා වන දේවසේන වෙලාවට වැඩ කිරීමේ සිරිත අකුරට ම අනුගමනය කරන්නෙකි. ඔහුට උදේ නවයට රැස්වීමකට සහභාගි වීමට ඇරියුම් ලැබී තිබේ. සැලසුම් කළ පරිදි ඔරලෝසුවේ සීනුව නාද වුව ද දැඩි නිදිමත නිසා උදයෙන් ම අවදි වීමට නොහැකි වෙයි. ඔහු අවදි වන්නේ අටයි විස්සට ය. සූදානම් වූ පසු හැතැක්ම දහයේ ගමනට ඇත්තේ විනාඩි විස්සකි. දේවසේන වෙනදා රිය පදවන රටාව නූණත් ඇතැම් විට මාර්ග නීති අකැමැත්තෙන් වුව ද නොතකා හරිමින් දැඩි මානසික කායික පීඩනයක් විඳිමින් නමයට විනාඩියකට පෙර උත්සව ශාලාවට යයි. සංවිධායකයෙක් ඔහු පිළිගෙන, මෙසේ පවසයි:
වෙලාව හරියන් එනවා
තව විනාඩි දෙකයි ඇත්තේ
මහත්මයා නම් හරියට
කිරි ගහකට ඇන්න වගෙයි
තවත් කථික පස් පොළක්ම
එනවා අද රැස්වීමට
නමුත් ඉතින් ඒ හැමෝම
වැඩ කටයුතු බහුල අයනෙ
සංවිධායක තැන පවසන ආකාරයට අනෙක් පස් දෙනාම කටයුතු බහුලැති මහ වැදගත් මහත්තුරුය දේවසේන සබාවෙහි අසුන්ගෙන නවයත් පසු වී විනාඩි විස්සක් ගෙවී ඇත. වේලාවට ම පැමිණි ඔහු වැඩ නැති නිකමකු වී ඇත.
නවය දහය වී ඉන් පසු
දහය එකොළහත් වූ පසු
කවුද කෙනෙක් හෙමින් හෙමින්
වේදිකාව දෙසට ඇදේ...
සිය පමාව පිළිබඳ මඳකුදු පසුතැවිලි නොවන ඔහු ඉදිරි පෙළේ ලොකු අසුනක වාඩි වෙයි. සංවිධායකයෝ ද දෙකට තුනට නැමී වැඳ පුදා ඔහු පිළිගනිති.
කාල ගුණය පිළිබඳ මිස
ඔවුන් මුවින් හෝ ඔහුගෙන්
පමාවීම ගැන කිසියම්
වචනයකුදු පළ නොවීය...
සබාවෙ වැඩ ගජරාමෙට කෙරෙන අතර කවුරුන්දෝ තම හිස අතගාමින් කිසිවක් සොයන බව දේවසේනට දැනෙයි. දේවසේන අතක් යවා හිස අතගාන්නාගේ ඇඟිල්ලක් අල්ලා ගනියි. එවිට ඔහුට දිස් වන්නේ 'ඇතුළු හදා'ගේ මුව ගැබයි. ඉක්බිත් 'ඇතුළු හදා' දේවසේනගේ දෙකනට පැදි පෙළක් ගයයි:
මට මෙතරම් වද ගෙන දුන්
ඔබෙ හිස අතගාමින් දැන්
සෙව්වා මිස ඇද්දැයි අන්
කළා නොවෙයි කිසිවක් අන්
වෙලාවට ම ආපු පවින්
ඔබ නිකමෙකු උනා සැනින්
පමා වෙවී ආපු පිනින්
වීර බවක් ලබපි ඔවුන්
* * *
දේවසේන කිසි දින වත්
නොම කළ සේ නඟා දොහොත්
ඇතුළු හදාගේ හිතවත්
උපදෙස් කෙරුවා වනපොත්
කාව්‍යය සමාප්ත කරන්නේ සහෘදයා තුළ කණස්සල්ලක් සහ කම්පනයක් ඇති කරවමිනි. අපිළිවෙළට වැඩ කරන සමාජයක පිළිවෙළට වැඩ කරන මිනිසා නිකමකු වී අවමානයට ලක් වී අවසානයේ ඔහු ද ඒ අපිළිවෙළ සමාජය තුළ ම ගිලී යන අයුරු කවියා උපහාසාත්මක ලෙස ගම්‍ය කරයි. නීතිය, රීතිය නොතකන සමාජයක අවනීතිය අගයන විට වැරැදි ක්‍රමය නිසි ක්‍රමය බවට පත් වීමේ ඛේදවාචකය කවියා ප්‍රබල ලෙස නිරූපණය කර ඇත.
සමස්තයක් වශයෙන් සමාලෝචනය කිරීමේ දී මිණිවන් පී. තිලකරත්නයන්ගේ නිර්මාණ සමකාලීන කවීන්ට වඩා වෙනස් මඟක් ගත් නිර්මාණ බව පෙනී යයි. එසේ ම ඔහුගේ කවි බස ද වියත් වහරින් ද ජන වහරින් ද, දිවි වහරින් ද, මුසු වහරින් ද සංකලනය වූ භාෂා විලාෂයකි. ඔහුගේ කවිවලින් ප්‍රබල ලෙස මතු වන උපහාසය මුසු හාස්‍ය රසය කවියාගේ අනන්‍යතා ලක්ෂණයකි. ඇතැම් විට ඒ පද්‍ය නිර්මාණවල ප්‍රබලතාව මෙන් ම දුබලතාව ද රැඳී ඇත්තේ මේ සුවිශේෂ ලක්ෂණය මතය.
ඔහුගේ අවසාන පද්‍ය කෘතිය 1996 වර්ෂයේ දී ඉංග්‍රිසියෙන් පළ කළ The Lustre of life නම් කෘතියයි. 1995 වර්ෂයේ ඇමෙරිකාවේ සිටිය දී එය රචනා කොට ඇත 'ජීවිතයේ දිස්නය' යන අරුත ඇති මේ කාව්‍ය සංග්‍රහයට පද්‍ය රචනා 54ක් ඇතුළත් වේ. ඔහු සඳහන් කරන ආකාරයට, නිව්යෝර්ක්හි කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන අතර ම හැදෑරු Diploma in Creative Writing නම් පාඨමාලාවේ කොටසක් හැටියටයි. 1997 වර්ෂයේ භාෂා දින උත්සවයේ දී රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් මේ කෘතියට සම්මාන හා ත්‍යාගයක් ද හිමි වී ඇත.

Monday, December 21, 2015

මගේ චරිතය හැදුණේත් මගේ ගායනය වැඩුණේත් පල්ලිය නිසයි

- අයිවෝ ඩෙනිස්

ජේසු උපන්දා, අති ලෝක වාසි, සිත් තුළ සාමය පුබුදා, තාරකා කියන, දේවදූත... ආදී නත්තල් ගී ඇසෙන විට ඒ අයිවෝ ඩෙනිස් යැයි මතකයට නැ‍ඟෙන්නේ නිතැතිනි. සුනිල් සාන්තයන්ගේ ගී මඟ යමින් සුනිල් සාන්ත ආරට ගී ගයන අයිවෝ මුල්කාලයේ සංගීත ගුරුවරයකු ලෙස ද පසුව සංගීත උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේ ය.
සුනිල් සාන්ත සමග
“වරෙන් හීන් සැරේ... ගීතය ගුවන් විදුලියෙන් මීට දශක ගණනාවකට කලින් ප්‍රචාරය වෙද්දී ගීතයේ හිමිකරුවා වූ සුනිල් සාන්ත ද ඊට කන්දී සිටියේය. එසේ දැඩි අවධානයෙන් කන්දී සිටියේ ඒ ගීතය ගයන්නේ තමන්දැයි සැකහැර දැන ගැනීමට ය. නැත. ගීතය ගායනයේදී සුළු අඩුවක් ඔහුගේ අවධානයට ලක් විය. සුනිල් සාන්තයන් ගීය ගැයූ පුද්ගලයා පිළිබඳව විමසිලිමත් වූයේ ය. අවසානයේ පැට්‍රික් දෙනිපිටියගේ උපකාරයෙන් වරෙන් හීන්සැරේ ගීය ගැයූ ගායකයාට තමන් හමුවට ගෙන්වා ගත්තේ ය.
පණිවුඩය ලද තරුණයා සුනිල් සාන්තයන් හමුවීමට ගීයේ ය. එක් දහස් නවසිය පනස් දෙකේදී ය.
“ඔය කියන කාලෙදි මට අවුරුදු දහ නවයක් විතර ඇති. මම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වෙළෙඳ සේවයෙන් විකාශය වූ ආධුනික පැය ගීතමය වැඩසටහනටයි සුනිල් සාන්තයන්ගේ ‘වරෙන් හීංසැරේ’ ගීය ගායනා කළේ. එය අසාගෙන ඉඳලා ඔහු මට එන්නැයි පණිවුඩය එවා තිබුණා. මා ගොස් ඔහු හමුවුණා. “සංගීතය ඉගෙන ගන්න කැමැති දැයි ඔහු ඇසුවා. අපේ තාත්තා එතරම්ම කැමැති වුණේ නැහැ. නමුත් අම්මා එක පයින් කැමැති වුණා. සුනිල් සාන්ත මහත්මයා තේරුම්කර දුන්නට පස්සේ තාත්තාත් කැමති වුණා. සුනිල් සාන්තගේ සංගීත පන්තිය තිබුණේ මරදානේ නියුටන් බිල්ඩිමේ තැනෙක. මම වසර දෙකක් එහි සංගීතය ඉගෙන ගත්තා. ඔහුගේ පංච මධුර, රන්වලාව සංගීත වැඩසටහන්වල ගී ගැයීමටත් මට අවස්ථාව ලැබුණා.
අයිවෝ ඩෙනිස් විවාහ වූ දා
එදා යෞවනයෙකු ලෙස ගීත ක්ෂේත්‍රයට එක්වූ අයිවෝ ඩෙනිස් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන්නේය. නමුදු ඔහු තුළ එදා තිබූ හඬ පෞරුෂය තවමත් ‍එලෙසම පැවතීම ආශ්චර්යයකි.
එක්දහස් නවසිය තිස් දෙකේ වසරේ මැයි විසි අටවන දින උපන් අයිවෝ ඩෙනිස් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ හතරවැන්නා ය. ඔහු සීදූව දවිසමර ප්‍රාථමික පාසලෙන් ද මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා මීගමුව ලොයෙලා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවේ ය. දශක ගණනාවක් පුරා ගායන ක්ෂේත්‍රයේ රැඳී සිටින අයිවෝ ඩෙනිස්ගේ හඬ පෞරුෂය සුවිශේෂී ය. ඔහු ගයන්නේ අමුතුම ලතාවකට ය. විශේෂයෙන් ම ඔහු ගේ ගී හඬ වඩාත් වටින්නේ නත්තල් සමයට ය. ඔහුගේ ගී හඬ වඩ වඩාත් ඔප මට්ටම් වූයේ කතෝලික පල්ලියෙනි.
“මං උපන්නේ සීදූව ගමේ. අපි කතෝලිකයෝ. ඒ කාලේ මේ අද වගේ සීදූව නගරය ජනාකීර්ණ නැහැ. අපේ ගෙයත් ඇතුළුව තවත් ගෙවල් හතරක් පහක් තමයි මේ අවට තිබුණේ. ඒ ගෙවල් තිබුණෙත් ඈතින් ඈතින්... හැන්දෑවට අපි ඔක්කෝමලා එකතුවෙලා ගීත ගායනා කරනවා. ඒ ගී හඬ ඈතින් ඈතට ඇහෙනවා‍. මගෙ තාත්තා පල්ලියේ ගායන කණ්ඩායම මෙහෙයවූවා. ඒ නිසා පල්ලියත් අපේ පවුලත් අතර තිබුණේ සමීප සම්බන්ධතාවක්. මට යහපත් මනුස්සයෙක් වෙන්න පල්ලියේ ආභාසය බෙහෙවින් ම බලපෑවා. ඒ වගේ ම තමයි මගේ හඬ පෞරුෂය හැදුණේ පල්ලියේ ගීත ගායනා නිසා. පාසල් යන කාලේ ඉඳලම මම පල්ලියේ ගී කණ්ඩායමේ හිටියා.”
අයිවෝ ඩෙනිස් පවසන්නේ අතීත මතකයන් අවුස්සමිනි.
“දැන් නම් නත්තල වානිජකරණය වෙලා. නමුත් අපි පුංචි කාලේ එහෙම දෙයක් තිබුණේ නැහැ. අද නත්තල කිව්වම වැඩිපුරම අවධානය යොමු කරන්නේ කෑමට, බීමට, ඇඳුම්වලට. ඒ කාලේ නත්තල කිව්වම මුල්තැන දුන්නේ ආගමික වැඩවලට. පල්ලියේ දේව මෙහෙයට, නත්තල් කැරෝල් ගීතවලට. කුඩා අපි ඒ කාලේ මේ දේවල් නිසා පුදුමාකාර මිහිරක් වින්දා.”
ඔහු ගැයූ නත්තල් ගීත බොහෝ ය. නත්තල් ගුවන්විදුලි වැඩසටහන්වලට එකල ඔහුගේ හඬ නැතිවම බැරි විය. ඒ තරමට ම නත්තල හා අයිවෝ ඩෙනිස් හඬ එකට බැඳී තිබුණි.
මිනිබිරිය දෙව්මිණි
මම මුලින් ම ගයපු ගීතය තමයි ‘කුරුලු පාරාදීසයේ - කුරුලු සිහින සාගරේ’ ගීතය. මේ ගීතය මම ගැසුවේ සුනිල් සාන්ත මහතාගේ සංගීත පන්තියේ ඉගෙන ගන්නා කාලේ එම පන්තියේ ම හිටපු තිලක සුදර්මන් ද සිල්වා තමයි ගීතය ලිව්වේ. ‍පසුකාලීනව මට චිත්‍රපට කිහිපයකම ගී ගැයීමට අවස්ථාව ලැබුණා. මංගලතෑග්ග, කවුද හරි, පාර දිගේ, ආදී චිත්‍රපටවල ගී ගයා තිබෙනවා. ඒ වගේ ම මට සුනිල් සාන්තයන් සමඟ වගේ ම ඩබ්ලිව්.බී. මකුලොලුව, ප්‍රේමසිරි කේමදාස, වැනි සංගීතඥයන් සමඟත් වැඩ කිරීමේ අවස්ථාව ලැබුණා. බොහෝ අය කියනවා මගේ ගී හඬ සුනිල් සාන්ත‍යන්ගේ හඬට සමානයි කියලා. නමුත් එතුමා කවදාවත් ඊට විරුද්ධ වුණේ නැහැ. ඔහු එය අගය කළා. හඬ වැඩි දියුණු කර ගැනීමට අපට හැමවිට ම උදව් කළා.
දැන් ඔහු අසූ තුන් හැවිරිදි ය. වසර හැට තුනක් තිස්සේ ම ඔහු ගයන්නේ ය. විටෙක මේ ගායකයන් ඇගයීමට ලක්වූවා මදි දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එවැනි ප්‍රශ්නයක් විමසූ විට ද අයිවෝ ඩෙනිස් උත්තර දෙන්නේ බොහෝ ඉවසීමෙනි.
මට OCIC සම්මාන‍යත්, හොඳම චිත්‍රපට ගායකයාට හිමි සම්මානය ඇතුළු තවත් බොහෝ සම්මාන ලැබී තිබෙනවා. ඒ වගේ ම ඒ කාලේ බොහෝ ගුවන් විදුලි වැඩසටහන්වලට සහභාගි වී තිබෙනවා. නමුත් මම වසර හයකින් පමණ ගුවන් විදුලිය සමඟ සම්බන්ධ වී නැහැ. හේතුව දුර බැහැර යාම දැන් අපහසු නිසා. මෙවර නත්තලටත් රූපවාහිනි වැඩසටහනකට ආරාධනා ලැබී තිබෙනවා. එක වෙලාවකට හිතෙනවා අපිව එහෙම පිටින් ම අමතක කර දමලත් නැහැ කියලා.”
දියණිය, පුතු හා මිනිබිරිය ගේ ආදරය ලබමින් ඔහු දැන් වැඩිපුරම කාලය ගත කරන්නේ නිවෙසට වීය. දරුවන් ඔහුගේ අඩිපාරේ නොගියත් දියණියගේ දියණිය දෙව්මිණි ගායන ‍ක්ෂේත්‍රයේ ඉදිරියට යන අයුරු ඔහු බලා හිඳින්නේ හද පිරි සතුටකිනි.
මගේ අම්මා තමයි මගේ සංගීත ජීවිතයට බොහෝ උදව් කළේ. තාත්තා මා සංගීත ක්ෂේත්‍රයට යනවට බය වුණේ දුරාචාරයට යොමුවේවි කියලා. නමුත් පල්ලිය ඇසුරේ මගේ චරිතය යහපත්ව ගොඩනැඟුණා සේ ම, මගේ කටහඬ හැදුණේ පල්ලියේ ගීතිකා ගැයීමෙන් ගායනා කණ්ඩායමේ සිටීමෙන් බව පවසන්නේ බොහෝ ම ගෞරවයෙන්.

http://www.silumina.lk/2015/12/20/_art.asp?fn=af15122017

නත්තල් ගීතිකාවේ පිය ජයකොඩි සලකුණ


නත්තල අපේ සිත් තුළ ජනිත කරන්නේ ආනන්දයක්ම ය. ලොවපුරා කිතුනුවන් කිතු උපත සමරන අද දින ශ්‍රී ලංකාවාසී අපේ නත්තල තුළ සිංහල ලකුණු එක් කළ මහා පුරුෂයෝ ගැන කතා කළ යුතු වේ. මේ රටේ කතෝලිකයන් දේශීය ඌරුවට යොමු කිරීමේ ප්‍රධාන බලවේගය නිර්මාණය කළේ අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා ය. ප්‍රථම සිංහල රදගුරු පමණක් නොව, ‍කතෝලික සභාව එතෙක් පැවැති චූල සම්ප්‍රදායන් ඉවතලා සිංහලේ මහා සම්ප්‍රදායට පියමං කරවූයේ එතුමා ය. සිංහල බෞද්ධ, සිංහල කතෝලික සමඟියේ අත්තිවාරම ද එතුමා ය. උන්වහන්සේ අදීන උරුමයන්ගෙන් කතෝලික පල්ලිය පෝෂණය ‍කළෝ ය. ඒ ගමන් මඟ ගැන අර්නස්ට් පෝරුතොට පියතුමා සඳහන් කරන්නේ මෙසේ ය.
“‍කතෝලික සභාවේ සංගීතඥවරු ද ඒ ඒ කාලයට ඔබින ලෙස සිංහල ගීතිකා රචනය කළහ. මුලින් ප්‍රංශ, ඉතාලි ගීතිකා තාලවලට සිංහල වචන කැවීමට පුරුදු විය. පසුව මර්සලින් ජයකොඩි, එඩ්‍රියන් ජෝෂප්, ජෝෂප් කබ්රාල්, බළන්ගොඩ මෝසස් පෙරේරා ආදී පියවරු සිංහල ගීතිකාවන්ට දේශීය සංගීතයක පදනම ඇතුළු කළහ.”
මෙම කටයුත්තේ දී ජයකොඩි පියතුමා පුරෝගාමී මෙහෙවර අමතක කළ යුතු නොවේ. පිය ජයකොඩි මේ වෙනස්වීම් ගැන දැක්වූ ආකල්පය ‘තටු’ පද්‍ය සංග්‍රහයේ මෙසේ සඳහන් වේ.
“‍අපේ ඇදහිලි ක්‍රම ‍විදේශ විය. ගැයුම විදේශ විය. අපේ සංස්කෘතියට කොතනකවත් ඉඩ නොතිබිණි. එය පිළිකුල් කරනු ලැබුවා පමණි.
මෙයට පටහැනිව ‍මගෙන් ස‍ීතල සටනක් බිහිවීම ඉබේම වූ දෙයකි. මුලින් ම යටත් විජිත බැමිවලින් ලිහෙනු සඳහා ඒ සමයේ තිබුණු දෙමුහුන් ගායනා ක්‍රමය වෙනස් කරනු පිණිස හෙළ තනු පදමාලා - පූජාවලට ඇතුළත් කෙ‍ළෙමි. ඒ වෑයම ඇරඹුණේ තිස් ගණන්වලට ය. මගේ වෑයම ජනප්‍රිය වූයේ වේගයෙනි. කොතනකවත් ඇනහිටිල්ලක් ඇති නොවී ය.
ඒ ම‍ගේ සිංහල සටනේ එක් අදියරකි.
මර්සලින් ජයකොඩි පියා ලියූ මුල් ම ගීතිකාව පහත සඳහන් වේ.
‘සපිරි සෑම - අසිරි සෝම
මවුමරි සේම - පනවැනි
සකල් දෝසයෙහි - නිදොස්
සුවඳ රෝස කුසුමකි’
චිත්‍රා සෝමපාල එය ගුවන්විදුලියට ගැයූ අතර තැටියට නැංවූ ප්‍රථම සිංහල ගීතිකාව වන්නේ ය. මෙහි තනුව බටහිරින් ලබාගත්තක් නොවේ. ජයකොඩි පියතුමාගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි.
උන්වහන්සේ රචනා කළ ගීතිකා අතර ‘රෑ තරු බැබළෙනවා’ ‍වෙසෙසින් සඳහන් කළ යුතුවේ. තනුව මෙන් ම පදවැල් කාව්‍යමය ගුණයෙන් අනූන වේ.
රෑ තරු බබළනවා - මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා - මල් වැහැලා වාගේ
රැව් පිළිරැව් දෙනවා - ගීත නාද වාගේ
බිලිඳෙකු හිනැහෙනවා - මුහුදක රැළි වාගේ
සීත සුළං එනවා - උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා - පැණි බඹරුන් වාගේ
බිලිඳෙකු හිනැහෙනවා - පොපියන කුසුම් වගේ
තුරුලතා පෙරළෙනවා - හිම මත හිම වාගේ
නත්තල් රැය සිදු වූ අසිරිමත් ජේසු උපත චිත්‍රණය කරන මෙම ගීතිකාව රසාලිප්ත වේ. මේ ලෙස මුළු අහස පුරා තරු යායක් ව ඇත‍. එය මල් යායක් සේ ය. සවන් පතින් ඇසෙන්නේ ගීත නාදම ය. උපත ලද ජේසු බිලිඳුන්ගේ සිනාහඬ අප රට වටකර ඇති මුහුදේ රැළි එකපිට එක නැ‍ෙඟන්නා සේ ය. නත්තල් අසිරිය ඒ ජේසු උපත, සිහි කොට සොබාදහම ඔකඳ වන අයුරු ගීතිකාවකට මුසු කළේ එසේ ය.
සිනහවකින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා‍
අහසට පොළොව ගැටේ
තරු එළියක් කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසනු පෙනේ
තටු ගෙන සුදුහිම ඉගිළෙනවා
අතු අග මුතු මෙන් බබළනවා
හිරුකැන් සුදු ඊතල වෙනවා
සැමතැන රිදී වගෙයි...
ගවහලේ අසිරිමත් උපත ලොවට හඬගා කියන්නේ සීනු හඬයි‍. ඒ සමඟ නත්තල දොර ළඟ සිනාසෙයි‍. අහසත් පොළවත් ගැටෙනා සඳ, ගවහල වෙත තරුවක් ඇදෙයි‍. කඳු වැටි සිසාරා බෙත්ලෙහෙමේ එළි අතරින් මල් වැසි වසිනු පෙනේ. සුදුහිම හමා යන්නේ තටු ලැබූසේ ය. ඒ සුදු හිම අතු අග බබළන්නේ හිරු කැන් විහිදුවමිනි.
මුළු කිතුණු ලොවට ම පොදු වූ නත්තල් ගීතිකාවක්සේ එය නත්තල් තේමා ගීතයක් සේ ප්‍රකට ‘සයිලන්ට් නයිට්’ ගීතය ශාන්ත රසය මුසු වූ බටහිර ගීතිකාවකි. මෙම ගීතිකාවේ අරුත මෙන් ම මෙරටට ගැළපෙන අන්දමට අරුත් ගන්වමින් ලියැවුණු ගීතයක් වේ. සෑම නත්තලක දී ම එම ගීය දෙව්මැදුරු තුළ රැව්දෙන ගීතිකාවක් සේ හැඳින්‍විය හැකි ය.
නිසල ඒ - මිහිරි රැයේ‍
රස වදනින් - මුතු පැහැයේ
අහස පුරා - තරු එළිය දිළේ
පොළොව කරා වැද සිරිය හැලේ
ජේසු පුතා බිහිවී
මවු කැකුළේ - රන් උකුලේ
පුත බැබළේ - ගොපලු පැළේ
මෙලොව දුරලන දෙව් බිලිඳා
සිටිනු පෙනේ - පොඩි අත් විසිර
බෙත් ලෙහෙමේ බිහිවී
‍මෙම පරිවර්තනය වෙසෙසින් ම සාර්ථක වූයේ ය. ඒ අන් කිසිවක් ‍නිසා නොව ජයකොඩි පියතුමා භාෂා නෛපුනතාවත්, සංගීත දැනුමත් හේතු කොට ය. මුල් ‘සයිලන්ට්’ තනුව අනුවම එම ගීතිකාවේ පදවැල් ලියවුණ ද ඒ තුළින් කාව්‍යමය ආකෘතියක් බිහිකිරීමට එම ගීතිකාව පිරිපුන් ‍විය.
ජේසු රජ‍ාණෙනි ඔබ වටලා
ගීත ගයා ඔබෙ ගුණ වඩලා
සාදු දිදී පිරිපද පුදලා
පාද සිපා සැනසීම දෙමු
පාද සිපා - පාද සිපා - පාද සිපා - සැනසීම දෙමූ
දුබල අයෙක් වන පව් නොබලා
ලෝකරසය වන පව් නොබලා
නීච අපෙන් ඔබ මෙන් නොබලා
ජේසු ඔබේ - දෙනුමැන සරණේ
බොදුණු සිතුම් කතෝලික ගීතවලට එක් කිරීම විෂයෙහි එතුමාගෙන් සිදුවූ මෙහෙවර දෙආකාරය. අර්ථ රසයෙන් ඒ සඳහා උපයෝගි කරගත් උපමාරූපක වචන ද බොදුන් භාවිතයෙන් උගත් දෑ ය. ‘සාදු දිදී සිරි පා පුදලා’ පාද සිපා සැනසීම දෙමු’ වැනි යෙදුම් එතෙක් කතෝලික ගීතිකාවල පෙර නොවූ විරූ ය. මෙම ගීතයේ තනුව මෙන් ම වදන් මාලාව බොදුණු ආරක් මතුවන, සාර්ථක නිර්මාණයක් සේ හැඳින්විය හැකි ය.
සොඳුරු පැයක - අඳුරු රැයක ජේසු උපන්නේ
අඳුරු පැයක - සොඳුරු ලියක - මුහුණ දිලෙන්නේ
මලුත් පරවෙලා - දලුත් පරවෙලා
සුවඳලාවූ දැල්වී වළලු දුම් ඇදේ
රන්තලා - වළලුලා - අතට බිලිඳුගේ
සුවඳලා - ඇහැරලා - ජේසු බිලිඳාගේ
ජේසු සමිඳුන්ගේ උපත සිදුවූ ඒ රැය, අඳුරු රැයක් විය. ඒ උපත සිදුවූයේ සොඳුරු පැයකය.‍ එම සොඳුරු බවින් අනූන මරියා තුමිය දෙස හෙළු බැල්මක් වේ.
ජයකොඩි පියතුමාගේ නිර්මාණ රැසක් ගුවන් විදුලියට එක් විය. ඒ අතරින් තැටි ගැන් වූ ගීත රාශියක් ගුවන්විදුලියේ තැටි ගබඩාවේ තවමත් ඇත. ඒ අතරින් තුඩ තුඩ රැව්දෙන කිතුනුවන් අතර පමණක් නොව කා අතරත් රැව් දුන් ගීයක් වේ.
රොනට වඩින බිඟු ඔබයි
කුකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි
සිහින් පෙති මමයි‍
ජේසු දෙවියනේ//
විලට වඩින පිනි ඔබයි
පද්මිණිය මමයි
සුළඟ සලන සිරි ඔබයි
ලලිනිය ඔබයි
ජේසු දෙවියනේ//
පහන් දොරට හිරු ඔබයි
කුමුදිනිය මමයි
රැයට දිලෙන සඳ ඔබයි
සඳට රැය මමයි
ජේසු දෙවියනේ//
දියට මුහුද දෙව් ‍ඔබයි
ගලන ගඟ මමයි
දියට පහළ ජල ඔබයි
නගින රළ මමයි//
අතිඋතුම් එඩ්මන්ඩ් රදගුරු තුමන් විසින් කතෝලික සසුන විෂයෙහි ඇති කරන ලද හර පෙරළියේ මංපෙත් ඔස්සේ ගමන් කළ කතෝලික පූජක‍තුමෝ අතර දිවංගත මෝසස් පෙරේරා, මර්සිලින් ජයකොඩි, වෙසෙස් තැනක් ගනිති. දොන් ජෝෂප් හෙවත් සුනිල් ශාන්ත, නයින මඩමේ ජේ‍.කේ‍.එස්. පෙරේරා කතෝලික සභාව දේශජ සංගිත සංකල්පයක් පෝෂණය කළෝ ය.
සිංහල කතෝලික ගීතිකාවේ මූලික වෙනස්වීම් පිළිබඳ විශ්ලේෂණයක යෙදීමේ දී භාග්‍යවන්ත ජුසේවාස් ආරම්භක ‍පුරෝගාමීන් වූහ. එතුමෝ සිංහලකම නො වූයේ ය. එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා බටහිර ගීතිකා මෙන් ම ස්වතන්ත්‍ර ගීතිකා ද නිර්මාණය කළහ. කඨෝර බස් වහර වෙනුවට ගීතිකාවේ බස සුබුහුටි, සුගම වාග්මාලාවක් ගෙනඒමේ ගෞරව මෝසස් පෙරේරා පියතුමාට හිමිවිය යුතු ය. මර්සිලින් ජයකොඩි පියතුමා ගීතිකා නිර්මාණයේ දී කවි සිතුවිලිවලින් පෝෂණය වූ ආගමික දෘෂ්ටියකින් යුතු නව අන්තර්ගතයන් ‘කතෝලික ගීතිකාවට එක් කරමින් මෙරට ජනප්‍රිය ගී ආරක් ගීතිකාවට එක් කිරීමේ ගෞරවය හිමිවිය යුතු යි.”