V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label අදහස. Show all posts
Showing posts with label අදහස. Show all posts

Friday, May 27, 2016

(MARKER STONE) මීට වසර 2640 ඉහත දී සිදුහත් කුමරු උපන් ස්ථානය දැක්වෙන ලුම්බිනි පුදබිමේ පාෂාණය


සිද්ධාර්ථ කුමාරයා උපන් ලුම්බිනිය පිහිටා තිබෙන්නේ මෙකල ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශසීමාවෙන් කිලෝමීටර් දහයක් පමණ ඇතුළට වන්නට නේපාලයේය. නේපාලයේ බටහිර කේරායි ප්‍රදේශයේ පිහිටි ලුම්බිනි සල් වනය බුද්ධ කාලයට පෙර සිටම කපිලවස්තු සහ දෙව්දහ පුර යන ප්‍රදේශවාසීන්ගේ පොදු විනෝද උයනක් ලෙසින් පැවතුණි.
ප්‍රමෝද වන ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ලුම්බිනි සල් වනය සල්ගස්වලින් පිරී තිබිණි. එපමණක් ද නොවේ, විවිධ වර්ණවලින් යුක්ත පුෂ්පයන් ද පිපී සුවඳ හමමින් පැවැතිණි. විවිධ මීමැසි වර්ගයන්ගෙන් ද ගහන වූ මේ රමණිය දැකුම්කලු සල් වනය කාගේත් සිත්ගත් තැනක් විය. කුරවි කෝකිළ නාදයෙන් යුත් මේ වන උයන බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ඉන්දු දෙවියාගේ චිත්ත ලතා උයනට සමාන කර ඇත. (ARCHAEOLOGICAL REMAINS OF KAPILAVSTU, LUMBINI AND DEVDAHA - B. K. RIJAL - P. 11 - 1979 - KATMANDU NEPAL)
සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මායාදේවි විහාරය - සිරිසමන් විජේතුංග - පි. 55 - 56 (2014) සුබෝධි ප්‍රකාශන)
මීට වසර 2640 ඉහතදී මහ බෝසතාණන් වහන්සේ එම සල් උයනේ උපත ලැබු බව මහා පරිනිබ්බාන සූත්‍රය ඇතුළු බෞද්ධ සාහිත්‍යයෙහි ද සංස්කෘත (මහායාන බෞද්ධ) සාහිත්‍යයෙහි ද සඳහන් වී ඇති කරුණකි.
මෙකල නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 90 පමණ දුරින් පිහිටි මෙම පුද බිමට බෝසතාණන් වහන්සේ උපත ලැබු දිනයේ සිට ක්‍රිස්තු පූර්ව 250කට පෙර බෞද්ධ ජනතාව මෙන්ම විවිධ පුද්ගලයන් පැමිණෙන්නට ඇත. එහෙත් විශේෂිත වූ එක් මහා පුරුෂයෙක් පැමිණියා පමණක් නොව සිදුහත් කුමරු (ශාක්‍යමුනි බුදු රජාණන් වහන්සේ) එහි උපන් බව ද තමාම පැමිණ මෙහි ශිලා ස්තම්භයක් පිහිටුවන ලද බව ද ශිලා ටැඹෙහි අසෝක රජතුමා ලියා තැබුවේය. ඒ ශිලා ටැඹෙහි සඳහන් වන්නේ මෙසේ ය.
“දේවානම්පියදසි (රජු - අසෝක) ගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි ශාක්‍යමුනි බුදු රජාණන් වහන්සේ උපන්නේ යැයි (සලකා) තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප්‍රකාශයට පත්කොට) දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක් පිහිටුවීය. ලුම්බිනි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කළේය.
(අසෝක ධංම ලිපි (ටැම් ලිපි හා ලෙන් ලිපි) මහාචාර්ය අබය ආර්යසිංහ - පි. 38 - 59 (2000)
ස්ථිර ලෙසින්ම මෙම පුදබිමෙහි සිදුහත් කුමරු උපන් බව මෙම ශිලා ලේඛන සාක්ෂිය ඉතා විශිෂ්ට පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙස පිළිගෙන ඇත. මීට පසුව ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ දී ෆාහියන් හිමි හා ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසේදී හියුං සාං යන චීන ජාතික භික්ෂුන් වහන්සේලාගේ වාර්තාවල ද උන්වහන්සේලා මෙම පුදබිම පැමිණි බව ද සිදුහත් කුමරු මෙහි උපන් බව ද ලිඛිත සාක්ෂි ලෙසින් පිළිගෙන ඇත.
සිදුහත් කුමරු මෙම පුදබිමෙහි උපත ලද බව මුළු ලොවම පිළිගෙන ඇත. 2011 වර්ෂයේ සිට 2013 තෙක් මෙම පුදබිමේ මායාදේවි විහාරයෙහි පුරාවිද්‍යා කැණීමක් කරන ලද්දේ එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ අපගේ ද හිතවත් මහාචාර්ය රොබින් කනිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසිනි. ඒ පිළිබඳ මේ ලේඛකයා විසින් 2014 දී “සිදුහත් කුමරු උපන් මායාදේවි විහාරය” නමින් ග්‍රන්ථයක් ද පළ කරන ලදී.
මයාදේවි විහාරය යනු සිදුහත් කුමරු උපත ලද නිශ්චිත වූ ස්ථානයෙහි ලුම්බිනි පුද බිමේ ද සල් ගස වට කර සාදන ලද විහාරයයි. මහාමායා ‍බිසව දරු ප්‍රසූතිය සඳහා සිය දෙමාපියන්ගේ නි‍ෙවස වූ දෙව්දහ පුරයට (කිඹුල්වත් පුරයේ සිට) පැමිණෙන අතරමඟදී මෙම සල් වනයට පැමිණි බව ඉතා ප්‍රකටය. එහි මලින් බර වූ සල් අත්තක් ඇල්ලීමට උත්සාහ කරද්දි සිදුහත් කුමරු උපත ලද බව බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම අමරාවති, ගන්ධාර, ආදි මූර්තිවල ද නිරූපණය කර ඇත.
මෙම මායාදේවි විහාරයෙහි එක් සුවිශේෂ වූ ශිලාමය කොටසක් පුරාවිද්‍යාඥයන්ට ඒ කැණීමට පෙර සිටම හමුවී තිබිණි. ඒ ශිලා ඛණ්ඩය පුරාවිද්‍යාඥයන් විසින් හඳුන්වා ඇත්තේ මාර්කර් ස්ටෝන් MARKER STONE යන නාමයෙනි. එම ස්ථානය ඉතා ආරක්ෂා සහිතව අදත් මායා දේවි විහාරයේ ස්ථානයක තැන්පත් කර ඇත. මෙම පාෂාණය පිහිටුවා තිබෙන්නේ සිදුහත් කුමාරයා සල්ගස් සෙවණේ උපත ලැබු ස්ථානයෙහිය. ඒ වටා සාදන ලද විහාරය මායාදේවි විහාරය නම් වේ. මෙම පාෂාණය (MARKER STONE) ආරක්ෂා කිරීම සඳහා වෙඩි නොවදින වීදුරු ඵලකයකින් ආවරණය කර තිබේ. මෙම වීදුරු ඵලකය දැවයෙන් නිර්මාණය කරන ලද රාමුවකින් ද වානේ රාමුවකින් ද නිර්මාණය කර තිබේ.
මායාදේවි විහාර පුදබිමෙන් හමු වූ (මෙම ස්ථානයෙන්ම) මහාමායා දේවිය ප්‍රජාපති දේවිය සහ සිදුහත් කුමාරයාගේ උපත නිරූපණය කෙරෙන මූර්ති ඵලකයක් ද මෙහි තිබී හමු වී ඇත. එය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට (ගුප්ත රාජ යුගයට) අයත් සේ සැලැකේ. මායා දේවිය ස්නානය කළ පොකුණ ද (මායාදේවි පොකුණ) ද මෙම පුදබිමෙහි දැකිය හැකිය.

රටට වද දෙන සරසවි නවක වද

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදය හා ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, ප්‍රචණ්ඩත්වය වැළැක්වීම හා නිවාරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය විශ්වවිද්‍යාල සංගම සමඟ ඒකාබද්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂඥ උපදේශන සංවාදයක් සංවිධානය කර තිබිණ. නවක වදය නමින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන ක්‍රියාදාමයන් ඉන් පරිබාහිරව සිදුවන්නේ නම් ඒවා බරපතළ අපරාධ වේ. ඒ සඳහා නීතිය මගින් දඬුවම් ලැබිය යුතු වේ.
1998 අංක 20 දරණ නවක වද නිවාරණ පනත තිබියදීත් එය නොසලකා හැරීමේ හා ඊට සංවේදී නොවීමේ සංස්කෘතියක් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දක්නට ඇත. ඒ හේතුවෙන් වින්දිතයන් නිහඬව විඳ දරාගැනීමේ සිට සිය දිවි නසා ගැනීම දක්වා තත්ත්වය දුරදිග ගොස් තිබේ.

නවක වදයෙන් ආබාධිත වෙයි

1975 සිට මේ දක්වා වසර 40 කාලයක් තුළ නවක වදය හේතුවෙන් සිසුන් 9දෙනෙකු මරණයට පත්ව ඇත. වත්මන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා‍ගේ ප්‍රකාශයට අනුව සරසවියට ඇතුළත්වන සිසුන්ගෙන් 5%ක් නවක වදය හේතුවෙන් ආබාධිත වේ. විශ්වවිද්‍යාලයට ඇතුළත්වන සිසුන්ගෙන් 5%ක පමණ ප්‍රතිශතයකගේ මානසික මට්ටම නවක වදය හේතුවෙන් පහළ වැටේ යැයි අනාවරණය වී ඇත. වසර ගණනාවක් තිස්සේ කැපවීමෙන් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයට තේරිපත්වූ සිසුන් අතරින් කොටසක් නවක වදය හේතුවෙන් විශ්වවිද්‍යාල සිහිනය අතහැර දමයි. විශ්වවිද්‍යාල යේ නවක වදයට ලක්වන සිසුන් පීඩාවට පත් වෙද්දී නවක වදය ක්‍රියාත්මක කරවන සිසුන් නීතියේ රැහැනට කොටුකර ගැනිමට නීතිය ක්‍රියාත්මක කරන්න් උත්සුක වෙමින් සිටී. නීතිය නොසලකා හැරීම බරපතළ වරදකි. එහෙත් විශ්වවිද්‍යාල සිසුන්හට නීතියෙන් සහනයක් සැලැසී තිබූණා යැයි කීම වරදක් නොවේ. එහෙත් ඒ සහනය මේ වසරේ සිට නොලැබි යන බව තහවුරුවන්නේ 1998 අංක 20 දරන නවක වදහා වෙනත් සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ අංක 2.1, 2.2, 2.3 වගන්ති යටතේ නවක වදය ක්‍රියාවට නැඟූවන් අත්අඩංගුවට ගැනීමෙන් තහවුරු වේ
සංඛ්‍යා ලේඛන සියල්ල අද අපි අමතක කර දමමු. අය වැයෙන් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වැය කරනු ලබන වැය ශීර්ෂය ද අමතක කර දමමු. ජීවත් වීමට තබා බෝඩින් ගාස්තු ගෙවා දැමීමට වත් ප්‍රමාණවත් නොවූ විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන ශිෂ්‍යාධාර ද නොසලකා හරිමු. ක්‍රමවත් නොවු, විධිමත් නොවූ දේශීය ආර්ථිකයට පලදායී ශ්‍රම දායකත්වයක් බිහි කිරීමට හෝ ජාත්‍යන්තතරයට පිවිසීමට හැකියාව සහිත උගත් බුද්ධිමත් ශික්ෂණයකින් යුතු ශ්‍රමිකයන් බිහි නොකරන නවීකරණය නොවූ අධ්‍යාපන පාඨමාලා සහිත උසස් අධ්‍යාපනයේ අඩු ලුහුඬු සියල්ලද අමතක කර දමමු. ජීවත් වීමට හා ඉගෙනුමට අවශ්‍ය මුදල් සොයා ගැනීම අරබයා කුඩා රැකියාවන්හි නිරත වන තරුණ පිරිස ද අද අපි අමතක කර දමමු. එවිට අපට කතා බහ කිරීමට ඉතිරිවන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ආරම්භයේ සිට ම පැවත ආ මේ වන විට විලාසිතාවක් හෝ වෙන යමක් නොවූ “ නවක වදය“ යන මාතෘකාව පමණි.

කායික මානසික හිංසනය

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ ආරම්භය තරම් ඈතට නවක වදය යන නවමු නොවූ නවමු මාතෘකාව දිව යයි. අතීතයේ එහි අරමුණ වූයේ සමාජානුයෝජන ක්‍රීයාවලියක් ලෙස පවත්වා ගනිමින් එකිනෙකා හඳුනා ගනිමින් සහෝදරත්වය වර්ධනය කර ගැනීම යි. විශ්ව විද්‍යාල උප සංස්කෘතියක් නිර්මාණය කිරීමයි. විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළු වූ වැඩි දෙනෙක් නවක වදයට මුහුණ දෙනු ලැබුවෝය. එය අතීතයෙදී ද කායික මෙන්ම මානසිකව ද සිසුහු අත්වින්දහ. නවකයෝ අද මෙන්ම අතීතයේ දී ද මාස තුනක් තිස්සේ ‍ජ්‍යෙෂ්ඨයන් අතින් හිංසනයට ලක් වූහ. එය ඇතැම් විට ප්‍රිතිය ද වේදනාවද ගෙන ආවේය. එහෙත් නවක වදයට ගොදුරුවූ සියල්ලෝ ම ඉදිරි වසර කිහිපය තුළ විශ්ව විද්‍යාලයට ඇතුළු වන පිරිස් නවක වදයට ලක් නොකළහ. එහෙත් නවක වදයට බියෙන් විශ්ව විද්‍යාලයට සුදුසු කම් ලබා තිබියදී ඒ අවස්ථාව අත්හැර දැමූ පිරිස් ද, එම නවක වදය හේතුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවූ පිරීස් ද අපට නොඅඩුව අතිතයේ දී හමු විණි. එහෙත් අනාගතයේ දී එසේ නොවිය යුතුය.
ශ්‍රී ලංකාව අධ්‍යාපනයට මුල්තැනක් දෙන රටකි. අප දරුවන් ක්‍රමවත් අධ්‍යාපනයක් සඳහා අවුරුදු හයේ සිට යොමු කරවමු. ද්විතීයික අධ්‍යාපනයෙන් පසු ලෝකයේ සමත්වීමට අපහසුම විභාග අතරින් එකක් වන අපොස උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වරම් ලබන්නේ සියයට දෙකක් තරම් වූ කුඩා පිරිසකි. ඔවුහු දුක් ගැහැට විඳ නිදිවරා පාඩම් කොට සරසවියට පැමිණෙති. නවක වදය ඔවුන්ගේ දෑසට කඳුළු එක් කරයි නම් එය නොසලකා හැරිය යුතු තත්වයක් නොවේ.
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් වන පිරිසෙන් බහුතරය නිර්ධන පාන්තික හෝ පහළ මධ්‍යම පාන්තික දරුවෝය. ඒ දරුවන් එපමණ දුරක් ගෙන ඒම සඳහා මාපියන් කොපමණ කැපකිරීම් කර ඇද්ද? ඔවුන් මවුපියන් සතු වගකීම ඉටු කරමින් තම වර්තමානය කැපකර අනාගත අරමුණු ඇතිව තම දරුවෝ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කරති. ඒ දරුවන් සුරක්ෂිතව රටේ ආර්ථික සමාජ සංස්කෘතික දියුණුව අරබයා නිර්මාණය කර ගැනීම විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම රටේ බල පවත්නා රජයේ වගකිමයි.
සරසවියට පැමිණෙන සෑම දරුවෙකු හටම නිරායාසයෙන් ලැබු පරිචයක් තිබේ. විශ්ව විද්‍යාලයෙන් එය වර්ධනය කරගනී. ඔවුන් දහසක් අපහසුතා මැද උපාධියක් ලබා ගැනීම ඔවුන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවේ. එය අපේ රටේ ජයග්‍රහණයකි.

සරසවි දේශපාලන හස්තය

නවක වදය විශ්වවිද්‍යාල කේෂ්ත්‍රයට අලුත් නොවේ. දේශපාලනයද එසේමය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විශ්වවිද්‍යාල පද්ධතිය රසවත් කෑමක් ලෙස සලකා බෙදා හදා ගැනීමට උත්සහ දරයි. ඒ අතරින් ද ඇතැම් දේශපාලන පක්ෂ විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියා කාරිත්වය සම්පුර්ණයෙන්ම තමන්ට නතු කර ගැනීමට ගන්නා උත්සාහයක් ද පෙනී යයි. මේ හේතුවෙන් ශ්‍රි ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පවා ලේ හලන ව්‍යාපාරයක් බවට පත් කරමින් විශ්වවිද්‍යාලය තුළ මැර සංස්කෘතියක් නිර්මාණය කර තිබේ.
මහා ශිෂ්‍ය සංගමය හා ශිෂ්‍ය සංගම් මෙහෙයවන දේශපාලන ව්‍යාපාරයක් අතීතයේ ද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක විය. එම දේශපාලන ව්‍යාපාරය කෙරෙහි රට තුළ වු යම් පිළිගැනීමක් හෝ ආකල්පයක් හේතු කොට ගෙන විනයකින් යුතුව හා වගකීමෙන් යුතුව විධිමත් ආකාරයෙන් විශ්වවිද්‍යාලය තුළ දේශපාලන කටයුතු මෙහෙය විණි. මැත අතීතයේ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන පරිවර්තන හේතුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම රැඩිකල් රාජ්‍ය විරෝධි ව්‍යාපාරයන් ද වර්තමාන ලංකාවේ සැලකිය යුතු දේශපාලන පක්ෂයක් නොවූ, ජාතික තලයේ පිළිගැනිමක් නැති දේශපාලන පක්ෂයක් වූ පෙරටුගාමී පක්ෂය අතට තල්ලු වී ගියේය. මේ වන විට ශ්‍රි ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ දේශපාලනය මෙහෙයවන්නේ පෙරටුගාමී පක්ෂයයි. විශ්වවිද්‍යාල සිසුන්ට දේශපාලනය කිරීමේ අයිතිය තිබේ. එමගින් රටට අවශ්‍ය උගත් නායකයන් බිහිවනු ඇත.
එහෙත් ගැටලුව ඇත්තේ එතැන නොවේ. සිසුන් වර්තමාන සමාජය ලෝක තත්ත්වයේ සිදුවූ ආර්ථික, නවීකරණ, මතවාදි වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කර තිබිමයි. ඒ ලෝක ප්‍රවණතා සමඟ වර්තමානයේ අප රට තුළ ද ප්‍රජාතන්ත්‍රවාදය සමඟ නිදහස ස්ථාපිත විය. ඒ හේතුවෙන් වර්තමාන සමාජය දේශපාලන පක්ෂ හෝ පුද්ගලයන් තුළ පවත්නා අධිපති වාදි මතවාද ඉවසන්නේ නැත.

දුප්පත් පවුල්වල දරුවෝ

1990 දශකය වන තුරුම විශ්ව විද්‍යාලයට ඇතුල් වන තරුණයෝ කායික හා මානසික පීඩනයන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු වූහ. නවක වදය එහෙයින් මහා වියවුලක් වූයේ නැත. වර්තමාන තරුණයා එවන් දරාගැනිමේ හැකියාවකින් තොරය. මක්නිසාද යත් වත්මන් පවුල් සංථාව තුළ රටෙහි බලපවත්නා ආර්ථික සමාජමය හා සංස්කෘතික හේතුන් ප්‍රමුඛ වේ. පවුලේ බොහෝ විට ඇත්තේ එක් දරුවකු හෝ දෙදෙනෙකි. අතීතයේ මෙන් දරුවන් කිහිපදෙනෙක් එකට ගැටෙමින් නොවැඩෙති. මේ හේතුවෙන් දුප්පත් පවුල්වල දරුවෝ පවා පීඩනය දරා ගැනීම, ගැටලුවලට මුහුණ දීම, උත්සහ වත්වීම සම්බන්ධයෙන් ඉතා අවම ශක්‍යතාවන් පෙන්නුම් කරති.
අතීතයේ මෙන් නොව වර්තමානයේ අධ්‍යාපනය දැනුම කුසලතා හා ආකල්පයන ක්ෂේත්‍රයන් හි එකතුවයි. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාලයට ඇතුළුවන සිසුන් නිදහසේ අධ්‍යාපනය ලැබීම විනා තමන්ට හිමිවි ඇති ජීවිතයේ අගනාම කාලයේ පීඩනයට එරෙහි වන්නේ ඔවුන් විශ්වවිද්‍යාලයට පැමිණියේ උප සංස්කෘති හෝ සම්ප්‍රදායන් බිහිකිරීමට පවත්වාගෙන යාමට නොවන බැවිනි. උප සංස්කාති හෝ සම්ප්‍රදායන් ගතිකය බලෙන් පවත්වාගෙන යාමේ හැකියාවක් නැත. සමානාත්මතාව සහෝදරත්වය තහවුරු කරගැනීමට සෑබෑ අවශ්‍යතාවක් පවතී නම් “නවක නවීකරණය“ නමින් තවදුරටත් පවත්වාගෙන යන නවක වදය මගින් යෞවන පිරිස් කායික, මානසික, වද හිංසා කෙරෙහි යොමු කරවීම කිසිසේත් ම අවශ්‍ය නොවේ. මෙම වද හිංසා පැමිණවීම මගින් සැබෑ ලෙස ම සිදු කෙරෙනුයේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නවක සිසුවාට ස්වාධිනව නැඟී සිටිය හැකි ශක්තිය විනාශකර දමමින් පටු දේශපාලන අරමුණු කරා යොමු කරවා ගැනීමයි. පසුව මේ සිසුහු පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනිමට අන්තවාදී සටන් අරගල ආදියේ ඉදිරියට දමා ශිෂ්‍ය නායකයන් යැයි කියා ගන්නා පිරිස් පලායති.
වර්තමානයේ කනගාටුදායකම තත්ත්වය වී ඇත්තේ දේශපාලනයේ හය හතර නොදන්නා පාසැල් සිසුන් පවා මේ තත්ත්වයන්ට ගොදුරු වීමයි. මෙය දේශපාලන ක්‍රියාකාරකමක මුල් පියවර වන බව නොදැන සහයෝගීතාව, සමානාත්මතාව, සහෝදරත්වය වැනි සොඳුරු වදන් වලින් බැඳ පාසැල් පද්ධතිය තුළ ද නවක වදය ක්‍රියාත්මක වෙමින් පවතී. එම තත්ත්වය දුර දිග යාමට නොදී මැඬපවත්වා ගැනීමට අධ්‍යාපන කේෂත්‍රයේ බලධාරින් අවධානය යොමු කළ යුතුවේ.
එසේ කළ යුත්තේ පාසැල් දරුවන් වේවා, විශ්ව විද්‍යාල සිසුන් වේවා ඔවුන්ට නවක වදය වෙනුවෙන් හෝ දේශපාලනය වෙනුවෙන් හෝ වෙනත් කවර හෝ අනවශ්‍ය කාරණාවක් වෙනුවෙන් හෝ මිඩංගු කිරීමට ඇත්තේ තම තරුණ දිවියේ අගනාම කොටසින් බැවිනි. තම දිවියේ අගනා ම කාලය අපතේ නොයවා මේ යෞවනයන් කළ යුත්තේ තම මූලික අභිමතාර්ථය සිහියේ තබාගෙන අධ්‍යාපන කටයුතුවල නිරත වීමයි. ඒ මක් නිසාද යත් රටක දියුණුව කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපෑම් කරනුයේ එම රටේ ජනතාවගේ උසස් අධ්‍යාපන මට්ටම බැවිනි.


Tuesday, May 17, 2016

අම්ම හොඳයි කීවත් වැරදී - තාත්තා හොඳයි කීවත් වැරදී

මනකල් හදවිල් තලය

ගුවන් විදුලි ළමා පිටිය යුග ගණනක් තිස්සේ බාල ළමාවරුන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද රසඥතාව ඉහළ තලයකට ගෙන ඒමට සමත්වූ වැඩ සටහනකි. “සුරතල් නංගියෙ අපේ අම්මා” ළමා ගීතය සිරි අයියාගේ ළමා පිටියේ සිරි අයියා නමින් පෙනී සිටි නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකුවූ යූ.ඒ.එස්. පෙරේරා විසින් රචිත ළමා පිටියෙන් බිහිවූ ගීතයකි. එදවස සැඳෑ කල දොරකඩ පඩිපෙළේ හිඳ අම්මා මෙය හඩනඟා ගායනා කළ හැටි තවමත් මතකයේ දෝංකාර නැ‍ඟෙන්නාසේ ය.
සිරි අයියා කොළඹ යුගයේ කවියෙකි. “සුරතල් නංගියෙ අපෙ අම්මා” දෙබස්මය ගීතයේ අම්මගේ හොඳ මෙන් ම තාත්තගේ හොඳද එකිනෙකා පරදවමින් ළමා ගායක යුවළ දැක්වීමෙන් අනතුරුව සිරි අයියාගේ ගැඹුරු කටහඬ වාදය අවසන් කරමින් මතුවෙයි. “අම්ම හොඳයි කීවත් වැරදී - තාත්තා හොඳයි කීවත් වැරදී - එබැවින් නංගියෙ මල්ලියේ පවසමු දෙන්නම හොඳය කියා” යන්න සිරි අයියාගේ ඔවදන විය.
සිරි අයියාගේ ළමා පිටියෙන් පසුව අපේ ළමා ලෝකයේ රජවූයේ කරු අයියා ය. කරුණාරත්න අබේසේකර සිරි අයියාගේ ළමා පිටියෙන් කලා ලොවට පිවිසි මෙරට රස වින්දනය කෙරෙහි මහත් ආනුභාවක් පෑ කලාකරුවෙකි.
මා ගීත රචකයෙක් බවට පත් කිරීමට ද කරු අයියාගෙන් නොමද පිටුබලයක් ලැබුණි.
කරුණාරත්න අ‍ෙබ්සේකර
කරු අයියා මෙහෙයවූ ඉරිදා “සරස්වතී මණ්ඩපය” හා සඳුදා “මිණි කිකිණි” වැඩ සටහන් ඇසීමට බාලයන් වූ අපි එදවස සවස 5 වන විට ගුවන්විදුලිය වටා රොක්වූයෙමු. මෙම වැඩසටහන් දෙකම සජීවී වැඩ සටහන් ය. මෙම වැඩ සටහන් ඇසීමට සැදී පැහැදෙන්නේ ළමා උපන්දින සුබ පැතුම් තේමා ගීතය වන “ආයුබෝවන් වාසනාවන් - වාසනාවන් - ආයුබෝවන් - ප්‍රිතිමත් සුබ උපන් දිනයක් වේවා ආසිරි වාදයෙන් දිගුකල් වැජඹේවා” ගීතයට සවන්දීමෙනි.
කරු අයියා පබඳන ලද මෙම ගීතයේ තනුව ඩී.ඩී. ඩැනී අයියාගේ ය. මෙම ගීතය ගායනයට ළමා පිටියේ විශාල ළමා ගායක පිරිසක් සහභාගිවී ඇත. එස්. ලියනගේ, නොයෙලින් ලියනගේ, විජිත කුසුම් ලියනගේ, පැට්‍රික් ප්‍රනාන්දු, මල්ලිකා ද සිල්වා (මල්ලිකා කහවිට), සුදර්මා සිල්වා, මානෙල් ඉන්ද්‍රානි උපසේන, චන්ද්‍රානි ගුණවර්ධන, එම්.ඒ. සුමනා ආදිහු මේ අතර මතකයට නැ‍ඟෙයි.
කරු අයියාගේ ළමා පිටියේ “සරස්වතී මණ්ඩපය” හා ”මිණි කිකිණි” වැඩ සටහන් තුළින් නිර්මාණය වූ “අපෙ අම්මා කොළඹ ගිහිල්ලා, දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්කෝලේ, ලේනගේ පිටමැද ඉරිතුන ඇන්දේ, හිනැහේවී බෝනික්කා, අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි, ආච්චියේ බොලන්නේ පාත්වෙලා වරෙන්නේ” ආදී ගීත ඇතුළත් මධුර ගීතාවලිය අදත් අපට ගෙන දෙන්නේ අපූරු ආස්වාදයකි.
කරු අයියා අපට පූර්වාදර්ශයක් වූ ගීත රචකයෙකි. ශබ්දය හා අර්ථය මනාව සංවිධානය කර ගනිමින් ළමා පරිකල්පනයට ගැළපෙන අයුරින් ඔහු පද හසුරුවා ගනී. මෙම දක්‍ෂතාව වටහා ගැනීමට ඩී.ඩී. ඩැනීගේ තනුවකට අනුව එස්. ලියනගේ ගායනා කරන පහත සඳහන් ගීතය ප්‍රමාණවත් ය.
අපෙ අම්මා කොළඹ ගිහිල්ලා - මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගෙ පෑනේ වයිරන් වැටිලා
පැන්සලය ද ගානට කැපිලා
යාළුවො දෙන්නෙක් තවමත් පහලයි
හරි ඉහලයි පන්තිය මාගේ
භූගෝලය ඉතිහාසය ගණිතය ලේසියි
මට රට කජු වාගේ
ගුත්තිලයේ කවි ටික කට පාඩම්
අමාවතුර මට වතුර වගේ
කතා පොත හොඳයි නින්දට යන විට කියවන්නට
එය හරිම අගේ
පෙර’පර දෙ දිගම රසවත් පත පොත
ඉඩ ලැබුණම මම කියවනවා
මා ලොකු වු පසු කවි ගී රචනා ලියලා
පොඩි අය සනසනවා
පාසල් වියේ දී ම කරු අයියාගේ ළමා පිටියට සහභාගි වීමේ වරය මට ලැබුණි. පාසල් කථිකෝදය සමිතියට ගීත ලියා තිබූ මට කරු අයියාගේ ළමා පිටියට ආරාධනා කිරීමෙන් ලැබුණේ නොනිම් සතුටකි.
ගීත දෙකක් ලියාගෙන පැමිණෙන ලෙස කරු අයියා මට දැනුම් දුණි. මවිසින් පබදන ලද ගීත දෙකක් රැගෙන සඳුදාවක් ගුවන් විදුලි කාර්යාලයට ගිය මම ගුවන් විදුලි ඉදිරිපස ආලින්දයට වී ඔහු එනතුරු රැඳී සිටියෙමි.
මේ අතර ඇතුල් ගැබෙහි සිට ඉදිරිපස දොරටුව වෙත පැමිණි සංගීතඥයකුට (ළමා පිටියට සම්බන්ධ) මා ලියූ ගීත පෙන්වීමට සිතක් පහළ වූයෙන් එම ගීත ඔහු වෙත වෙත ඉදිරිපත් කළෙමි.
මා දිරිමත් කරනු වෙනුවට ඔහු එසැණ කියා සිටියේ ”මේවා කවිනෙ” යනුවෙනි. දිවා අහර කිසට ගිය කරු අයියා එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි මම ඉහත කී සංගීතඥයාගේ කියමනෙන් මහත්සේ අධෛර්යයට පත්වීමි.
කරු අයියා එන්නට කලින් ගුවන් විදුලියෙන් පිටවී යෑමට තීරණය කළ ද, මා ඉදිරියේ කරු අයියාගේ රූපකාය මතුවීමත් සමඟ එය වැළකිණි. කොළ පැහැති ට්‍රෑම්ප් හැරල්ඩ් රථයෙන් බැසගත් කරු අයියා ගීත ගෙනාවාදැයි මගෙන් විමසී ය.
ඔහු වෙත ආලින්දයේ දී ම ඉදිරිපත් කළ ගීත අතට ගෙන 10 වන මැදිරිය දෙසට පියනැඟී ය. මම ද ඔහු අනුව ම පිය නැඟුවෙමි‍. ඔහුගේ හිස පිස හමා ආ යාර්ඩිලි හෙයාර් ක්‍රීම් සුවඳ හා දල්වාගත් වැනිලා සුරුට්ටුවේ සුවඳ ද ගුවන් විදුලි කොරිඩෝවේ ගමන් කරන විට තවමත් දැනෙන්නා සේ ය.
දහවෙනි මැදිරියේ විසල් පියානෝව වාදනය කරමින් සංගීතඥ තිලකසිරි ප්‍රනාන්දු මහතා එදින ගුවන්ගත කිරීමට නියමිත ”මිණි කිකිණි” වැඩ සටහනට තනුවක් නිර්මාණය කරමින් සිටිනු දුටුවෙමි.
මවිසින් පබඳ කළ ගීතයක් පියානෝව මත තැබූ කරු අයියා "මේ තියෙන්නේ හොඳ ගීතයක් තිලක් මෙයට තනුවක් දමමු යැයි ” යෝජනා කළේ ය. එසේ වුව ද එම ගීතය තිබිය දී එසැණ ගීතයක් ලියමුදැයි කරු අයියා යළි මට යෝජනා කළේ ය. පියනෝව මත තබාගෙන එසැණ ගීතය මම ලීවෙමි. "කොට්ටෝරුවො ඇයි හොරේ - මොනවද ඔබ නැති වුණෙ ” පද වැලට තිලකසිරි ප්‍රනාන්දු මහතා කදිම තනුවක් නිර්මාණය කළේ ය. එය ගායනා කළේ ලාලනී සෝමසිරි ගායිකාවයි. කොට්ටෝරුවො ගීතය මගේ මෙන් ම ලාලනීගේ ද පළමු ගුවන් විදුලි ගීතය විය.
මිණි කිකිණි වැඩ සටහන සජීවි ලෙස විසීරණය කරන ලද වැඩසටහනකි. පුහුණුව අවසන් වූ සැණින් මා ගුවන් විදුලි කාර්යාලය පිහිටි ටොරින්ටන් සිට එදවස මා පදිංචිව සිටි පාමංකඩ නිවස බලා එක හුස්මට දිවගියේ මගේ පළමු ගීතය මාපියන්ද සමඟ එක්ව අසනු රිසියෙනි. මගෙන් කවියක් දැයි ඇසූ සංගීතවේදියා පසු‍ කලෙක ගීත ලියා ගැනීමට මා වෙත පැමිණියේ ය.
ගුවන් විදුලි සංස්ථාව හා බැඳුණු ජීවන අත්දැකීම් රාශියක් මා ලබා ඇත. මිහිරි අත්දැකීම් මෙන්ම අතිශය කටුක අත්දැකීම් ද ගුවන් විදුලිය නිසා මා අත්වින්දෙමි. එදවස ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රැකියාව අහිමි විී අම්පාර ප්‍රදේශයේ සේවය කරද්දී ගුවන් විදුලි වැඩ සටහන් සඳහා පැමිණි බවට කළ චෝදනාව මත ය.
ගුවන් විදුලි ළමා පිටියට කොට කලිසමකින් සැරසී පැමිණි මට ගුවන් විදුලියේ සභාපති තනතුර දැරීමට සිදුවේයැයි හීනෙකින්වත් නොසිතුවෙමි. කෙසේ වුව ද ගුවන් විදුලි ළමා පිටියෙන් බිහිවී ගුවන් විදුලි සභාපති තනතුර හෙබවීමේ එකම තැනැත්තා වීමේ භාග්‍ය මම ලදිමි.
ළමා පිටිය අවසන් වී නිවෙස් බලා යෑමට පෙර ගුවන් විදුලිය ඉදිරිපිට ක්‍රීඩා පිටියේ හොකී තරග නැරඹුවේ මහත් වූ අභිරුචියෙනි. ගුවන් විදුලි කෙටි තාප්පය මත හිඳගෙන හොකී තරග නැරඹුවන් අතර අජන්තා රණසිංහ, පාලිත පෙරේරා සහ ඩී.ඩී. ඩැනී වැනි මට වඩා ජ්‍යෙෂ්ඨ පිරිස් ද වෙති. එදවස කාන්තා හොකී පිටිය කාලයාගේ ඇවෑමෙන් රූපවාහිනිය ඉදි වූ බිම බවට පත්විය. එහි අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට මා පත්වීම ද දෛවයේ ප්‍රදානයක් කොට සලකමි.
ගුවන් විදුලි ළමා පිටියෙන් බිහි වූ මාහට ලෝකයේ පළමු ළමා ගුවන් විදුලිය බිහිකිරීමට ලැබීම ද භාග්‍යයක් කොට සලකමි.
විදුල ළමා ගුවන් විදුලි සේවය 2006.03.28 දින ආරම්භ කෙරුණි. මෙය වත්මන් ජනාධිපතිතුමන් අතින් අරලියගහ මැදුරේ දී උත්සවශ්‍රීයෙන් ඇරඹුණි. මෙම ඓතිහාසික අවස්ථාවේ දී ”රාජධානි තරගය” යනුවෙන් නම් කළ ධාවන පෙරහරක ළමා ධාවකයන් විසින් රාජධානි හරහා රැගෙන ආ සංදේශයක් ද ඉදිරිපත් කෙරුණි. විදුල ළමා ගුවන් විදුලිය ජාත්‍යන්තර මාධ්‍ය ක්‍ෂෙත්‍රයේ ද අවධානයට පත්වූවකි. දවස පුරා විකාශය වන අධ්‍යාපනික, උපදේශාත්මක හා දරුවන්ගේ මෙන් ම ගරුදෙගුරුන්ගේ ද විනෝදාස්වාදය උසස් තලයකට ගෙන යෑමේ අරමුණෙන් සැලසුම්ගත වැඩ සටහන් මෙයට ඇතුළත් විය.
කරු අයියාට අමතරව එදවස සාර්ථක ළමා පිටිය වැඩ සටහන් ඉදිරිපත් කළ මාධ්‍යවේදීහු කීපදෙනෙක්ම වෙති. එච්. එම්. ගුණසේකර, නන්ද ජයමාන්න, ප්‍රභා පෙරේරා, තිලක සුදර්මන් ද සිල්වා, සරත් විමලවීර චිත්‍රානන්ද අබේසේකර, මඩවල එස්. රත්නායක ආදීහු මේ අතර ගුවන් විදුලි ඉතිහාසයට එක්වී සිටිති. සතියේ දින පහ පුරාම මොවුන්ගේ වැඩසටහන් ප්‍රචාරය විණි.
ගුවන් විදුලි ළමා වැඩ සටහන් තේමා ගීතය වශයෙන් කාලාන්තරයක් තිස්සේ භාවිත වු "මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් - රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්” පරම්පරා කීපයක ළමයින් පුබුදු කළ ගීතය ළමා පිටියෙන් ම බිහිවූ මවිසින් පබැඳීම වෙසෙසින් ස්මෘතියට නැ‍ඟෙන්නකි. මෙයින් කිසියම් ආත්ම තෘප්තියක් ද මම අත්විඳිමි.
අමරදේවයන්ගේ තනුවකට අනුව අමරදේව මහතා ප්‍රමුඛ ගුවන් විදුලි ළමා ගායක ගායිකා පිරිසක් මෙය ගයති.
"මනකල් හද විල් තලයේ” ගීතය පළමුව නිර්මාණය වුයේ එදවස ගුවන් විදුලි ළමා වැඩ සටහන් නිෂ්පාදකවරයකු වූ සුනෙත් ගෝකුල මහතාගේ ආරාධනාවකට අනුව ඔහු විසින් නිෂ්පාදනය කළ ගුවන් විදුලි ළමා වැඩ සටහනක් සඳහා ය.
ගුවන් විදුලි ළමා පිටිය අනාදිමත් කාලයක සිට මෙරට ජන විඥානය කෙරෙහි අනුභාව පා තිබේ. එය ඉදිරියටත් ළමා පරපුරක යහගුණ හා රසවින්දනය වැඩීමට හේතුවේවායි ප්‍රාර්ථනා කරමි.

සුනිල් සරත් පෙරේරා
sunilsarathp@yahoo.com


Thursday, April 28, 2016

අද විශ්වවිද්‍යාල ළමයි කවි ලියන්නෙත් නැහැ කියවන්නෙත් නැහැ


බුද්ධදාස ගලප්පත්ති
බුද්ධදාස ගලප්පත්ති අද සිටින ජ්‍යෙෂ්ඨතම කවීන් කීප දෙනාගෙන් ප්‍රමුඛයෙකි. ඔහු බිහි වූයේ ඉතාම පෙරළිකාර සමයක් වූ හැත්තෑව දශකයේදීය. බුද්ධිගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය ‘තීර්ථය අසබඩ’ පසුගිය දා එළිදුටුවේය. එය ඔහු ලියූ අට වැනි කවි පොතය. මීට ඉහත ඔහු ‘දොළොස්මහේ පහන’ (මහාචාර්ය සුනිල් ආරියරත්න, ජයලත් මනෝරත්න සමඟ) ‘කැටපත් පවුර’ (1972), ‘පාර වසා ඇත’ (1974) ‘රැජිනක් හැඬුවාය’ (1976) ‘දෙදෙනාම දියණියෝ’ (1983) ‘නිශ්චලයි රාත්‍රිය’ (1992) ‘තුරුලිය අකුරු විය’ (1998) ‘දවස හෙටයි’ (2003) යනාදි වශයෙන් කාව්‍ය සංග්‍රහ එළිදක්වා ඇත.
ඔබ නියෝජනය කරන්නේ පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන් පතිරණට සමකාලීන වූ හැත්තෑව දශකයේ නව කවිය
ඔව්. ඒ වෙනකොට පේරාදෙණි කවිය ජනතාවගෙන් ඈත්වෙලා. ඔය අතරේ තමයි විමල් දිසානායකගේ, මහගමසේකරගේ ආගමනය සිද්ධ වෙන්නේ.
පේරාදෙණි කවිය මොකද ජනතාවගෙන් ඈත්වුණා යැයි කියන්නෙ?
එකක් එහි ආකෘතිය. ඒ කවි පොදුජන විඥානයෙන් අඩුවුණා. මහාචාර්ය සිරි ගුනසිංහගේ කවි දාර්ශනිකයි. ඒ කවි තේරුම් ගන්න බුද්ධියක් අවශ්‍යයි. හැබැයි අමරසේකරගේ කවි ඊට වඩා වෙනස්. පේරාදෙණි කවි පරපුර ජනතාවගෙන් ඈත්වුණා. ඒ අතර තමයි සේකර, විමල් දිසානායක මතු වුණේ.
මං හිතන්නෙ මෙතැනදි සේකර සුවිශේෂයි.
සේකරගේ කවිවල නවීන අත්දැකීම් තිබුණා. විශේෂයෙන් නාගරික ජීවිතය ගැන. ප්‍රේමය, හුදෙකලාව ගැන ඔහු රසවත් කවි ලිව්වා. ඔහු ජනකවියෙන් නොමඳ ආභාසයක් ලැබු කවියෙක්. පසු පරපුර කෙරෙහි වැඩිම බලපෑමක් කළේ සේකර. විමල් දිසානායක පැරැණි කවි බස සේකරට වඩා අවශ්‍ය තැන්වලදී මැනවින් යොදා ගත්තා. ඔහුගේ විශේෂම ලක්ෂණය වුණේ රූපක භාවිතය. ඒක තමයි ඔහුගේ අනන්‍යතාව. සංකල්ප රූප මැවීමේ අපූර්ව කුසලතාවයක් විමල්ට තිබුණා. ‘උවැසිය’, ‘දියේ ගිලුණු අයියාට’, ‘පිස්සු වැටුණු උදෑසන’ වගේ කවි එයට උදාහරණ.
ඔබටත් වැඩියෙන් බලපෑවේ සේකර ද?
මම ඉස්කෝලේ යන කාලේ කොළඹ කවියට හුඟක් කැමැති වෙලා හිටියා. සිවුපද කවියෙක් හැටියට කුමාරගමගේ කවි අර්ථාන්විතයි. ඒ වගේම තමයි මානවසිංහ. ඔහුගේ භාෂාවේ විචිත්‍රත්වයට, සෞන්දර්ය භාවයට මගෙ විශේෂ කැමැත්තක් තිබුණා. සේකර පසුකාලීනව සියලු කවීන්ට බලපෑ කවියෙක්. මගේ (මහාචාර්ය සුනිල් ආරියරත්න හා ජයලත් මනෝරත්න සමඟ එක්ව) ‘දොළොස්මහේ පහන’ කවි පොතට සේකර ලවා පිටකවරයක් අන්දවන්නට ලැබීම මා සලකන්නේ වාසනාවක් වශයෙන්.
හැත්තෑව දශකයේදී නව කවියේ පිබිදීමක් ඇති වෙනවා.
ඔව්. අලුත් කවීන් බිහිවෙන්න පටන් ගන්නවා. දයාසේන ගුනසිංහ, බර්ටි බී. කුඩාහෙට්ටි, වින්ටර් කුරේ, ධර්මසිරි රාජපක්ෂ, වැනි කවින් ඊට නිදසුන්. කවි කොළ සාහිත්‍යයක් බිහිවෙන්න පටන් ගන්නවා. ‘මාවත’ වගේ වාර සඟරාවල වැඩි ඉඩකඩක් කවියට ලැබෙනවා. කවිය අළලා විචාරවත් ලිපි පළ වෙනවා.
මං හිතන්නේ ඊට සාපේක්ෂව ශ්‍රී ලාංකික දෙමළ කවියෙත් කිසියම් පුනරුදයක් ඇතිවෙනවා.
විශේෂයෙන් වතුකරයේ කවි. පරාක්‍රම කොඩිතුවක්කුගෙන් සිදුවූ ලොකුම මෙහෙවරක් තමයි ඒ කවි සිංහලට නඟා පළ කිරීම.
හැත්තෑව දශකයේ කවීන් නිසඳැස් කවි ලිව්වත් හතරපද කවිය බැහැර කළේ නැහැ. වඩාත් වැදගත් අන්තර්ගතය බවයි ඔවුන්ගේ පිළිගැනීම වුණේ.
තම අත්දැකීම් සිවුපද ආකෘතියෙන් කියන්න බැරි වුණොත් තමයි ඒක කඩාගෙන ගියේ. නාට්‍ය කලාවෙත් ඕකමනේ සිද්ධ වුණේ. ශෛලිගත සම්ප්‍රදායෙන් කියන්න බැරිවෙනකොට ඒක කඩාගෙන තාත්වික රීතියට ගියා. සංවාද නාට්‍යවලට ගියා.
ඔබේ කවිවල අත්දැකීම් ක්ෂේත්‍රය ගැන යමක් කතා කරමු ද?
විවිධ මානුෂික හා සමාජ අත්දැකීම් මම ග්‍රහණය කරගත්තා. වේදිකා නාට්‍ය වේෂ නිරූපණ ශිල්පියෙක් වශයෙන් මට මුළු ලංකාවේම ඇවිදින්න අවස්ථාව ලැබුණා. ඒ නිසා වඩාත් විස්තීර්ණ අත්දැකීම් ලබන්ට මට පුළුවන් වුණා. පන්ති භේදය, සූරාකෑම, තරුණ අසහනය, මිථ්‍යාව ප්‍රශ්න කිරීම වගේ දේවල් මගේ කවිවල අත්දැකීම් ක්ෂේත්‍රය වී තිබෙනවා.
ඒ අනුව ඒ කවි දේශපාලනිකයි?
අපි කවි ලිව්වේ 1971 කැරැල්ල සිදුවූ කාලයේ. රැකියා නැති උපාධිධාරීන් රස්තියාදුකාරයන් සේ හැසිරුණු කාලයේ. ඉතින් ඒ කවි දේශපාලනික වීම සහේතුකයි.
ඔබේ කවිවල කිසියම් දෘශ්‍යමය ස්වරූපයක් මම දකිනවා.
දෘශ්‍ය මාධ්‍යයත් එක්ක මගේ සම්බන්ධතා තිබෙන නිසා ඒක නිරායාසයෙන් එන්න පුළුවන්. මගේ අලුත්ම කවි පොතේ තියෙන ශිෂ්‍ය අරගලයකදී සිසුන්ට පහර දෙන පොලිස්කාරයෙක් ගැන ලියැවුණු කවිය තනිකරම දෘශ්‍යමයි.
මෙය ඔබේ අටවැනි කවි පොත. අවුරුදු හතළිස් පහකටම ඔබ ලියා ඇත්තේ කවි පොත් අටයි.
සම්මාන ගැනීමේ පටු චේතනාවෙන් අවුරුද්දට එක ගානේ කවි පොත් ලියා පළ කරන්න මං ගියේ නැහැ. අපේ රටේ සම්මාන උමතුවක් තියෙනවනේ. මං ඒ රෝගෙන් පෙළෙන්නේ නැහැ. මගේ කවි පොත්වල විරාම කාලය දිගයි. එයින් අදහස් වෙන්නෙ නැහැ මං කවි නොලියන බවක්. මං කවි ලියනවා. ඒත් කවියක් වුණත් නිරන්තර සංස්කරණයට ලක්වෙමින් එය වර්ධනය කරන්න ඕනැ.
සමකාලීන කවිය ගැන ඔබ මොකද හිතන්නේ?
අසූ ගණන්වල රත්න ශ්‍රී ප්‍රමුඛ තරුණ පිරිසක් කවියට එකතු වුණා. දෙදහ වසර මං හිතන්නේ තවත් කඩඉමක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ප්‍රමුඛ තරුණ කවීන් රැසක් බිහිවෙන්න පටන්ගත්තා. ඔවුන් අතර රුවන් බන්දුජීව, සෞම්‍ය සඳරුවන් ලියනගේ, අනුරාධා නිල්මිණි, මාලති ඇම්බ්‍රෝස් යනාදි වශයෙන් කවි කිවිඳියන් රැසක් ඉන්නවා.
මං හිතන්නේ මොවුන් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාලවලින් පරිබාහිර කවින්?
විශ්වවිද්‍යාල ළමයි කවි ලියන්නෙත් නැහැ. කවි කියවන්නෙත් නැහැ.
නව කවියට හරිහමන් විචාරයක් නැති එක කැපිලා පෙනෙනවා?
විචාර කලාව වැඩුණේ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින්. අද එහි බුද්ධි පරිහානියක් තියෙන්නේ. අනික පාසල් මට්ටමේ සිටම කවියට තැනක් නැහැ. ඒ පසුබිමේ කවීන් බිහිවන්නෙත් නැහැ; විචාරකයන් බිහිවන්නෙත් නැහැ. අද රසිකත්වයේ දැවැන්ත පටුවීමක් දක්නට ලැබෙනවා. එහෙම තියෙද්දි හරවත් විචාර කලාවක් බිහි වෙන්න ඉඩක් නැහැනේ.
ඔබ වේදිකා නාට්‍ය වේෂ නිරූපණය කළාට, තීරු ලිපි ලිව්වට, කෙටිකතා ලිව්වට කලා විචාරයේ යෙදුණට ඔබ ඔබව හඳුනාගන්නේ කවියෙක් විදියට ද?
ඔව්. ඕනෑම කලා මාධ්‍යයක ශක්‍යතා හා සීමා තියෙනවනේ. කවියෙන් කියන්න බැරි දෙයක් තමයි මං කෙටිකතාවෙන් කියන්නෙ; නැත්නම් නවකතාවකින් කියන්නේ.

Thursday, April 21, 2016

අලුත් වෙමු ද....


මම බස් රථයේ කවුළුව අයිනේ ඉඳගෙන සිටින්නෙමි. ගමනාන්තය දීර්ඝ බැවින් මා ගමන ආරම්භ කළේ හිරු පායා එන්නට සිතන්නටත් පෙර ය. ක්‍රමයෙන් බසය නාගරික ප්‍රදේශය පසු කරයි. රාත්‍රී ගැඹුරු නිහැඬියාව ඇතුළතින් ම සෙමෙන් සෙමෙන් බොහෝ ඉවසිලිවන්ත ව ප්‍රභාතය උදා වෙමින් පැවැතිණි.
ගම්බද ට හුරු නිහැඬියාවෙන් ම වෙල්යාය සහ ඈතින් පිහිටි කඳු වළල්ල අවදි වන්නට පටන් ගත්තේ ය. නිහැඬියාවෙන් ම ඇරඔුණු ප්‍රභාතයේ ආලෝක කිරණ මඳින් මඳ රශ්මිය පතුරන්නට වෙර දරයි. කන්ද උඩින් පායා එන හිරුගේ දසුන මනරම් ය.මුල් ම හිරු කිරණ පහස ලබන්නේ වෙනදා මෙන් ම පැරණිතම හා උස් ම ගස් ය.
ඒ ගස් අතුපතර සැඟවී සිටි කුරුල්ලෝ නිද්‍රාශීලී බවක වගක් හෝ නැතිව උදා ගී ගයනු ඇසේ.මේ නම් මනරම් උදෑසනකි. ප්‍රාණවත්, ජීවමාන, රම්‍ය උදෑසනකි. තවකකුගේ පහසින්, වදනින් කිලිටි නොවූ උදෑසනකි. කෙනකු මේ උදෑසනනෙහි ලස්සනින් මවිත වෙයි. පත්‍ර මත ඇති පිනි බිඳු හිරු කිරණ වැටී දිලිසෙන චමත්කාරය සිත මන්මත් කරයි. ඇත්තෙන් ම මේ උදෑසන පෙර නොවූ විරූ පරිදි නිකැලැල් ය.
මා ගමට පැමිණියේ බොහෝ කලකිනි. අඳුරා ගත නොහැකි තරම් කිසිවක් වෙනස් වී නැත. ඈතින් පෙනෙන උස් අඹ ගසෙහි වෙනදා තරම් ගෙඩි හැදෙන්නේ නැත. එහෙත් මීට කලකට පෙර ඒ අඹ ගසෙහි කොළ පරදමින් මල් හැදෙනුත්, අනතුරුව ගහ පුරා පල හටගන්නා අයුරුත් සුන්දර මතකයක් ව ම සිත තැන්පත් ව තිබේ.
දැන් අඔ ගස සිටින්නේ වයස්ගත වෙමිනි. සෑහෙන කාලයක් තිස්සේ අඹ ගස සීත කාලවලට, දැඩි නියං සමයට පමණක් නොව දැඩි කුණාටු සුළංවලට ද හිරුගේ ගිනියම් දෙනෙතට ද ලක් වෙන්නට ඇත. හිරු ගිනි ගෙන දැවෙන අහසේ පීඩාකාරී බවෙන් හෙම්බත් ව කුඩා සන්දියේ සෙල්ලම් කරනා අප ඒ අඹ ගස මුලට දිව එන්නේ මවගේ ඇකයට ආරක්ෂාව පතා එන දරුවන් පරිද්දෙනි.
හිත් පිත් නැති හිරු අඹ ගසේ සෙවණැල්ල පවා ගස මුලට ම ඇද දමා තිබුණ ද අඹ ගස කිසිදා අප ගිනියම් නොකළේ ය. අඹ ගස මහලු ව ගෙඩි වරා සිටින මෙකල්හි පවා අප ව හිරුගෙන් ආරක්ෂා නොකරන්නේ ද? ම සිත විමසයි. එසේත් නැතිනම් හිරු කිරණින් නැහැවුණු ගස්වලට, මල්වලට, ගෙඩිවලට කාලය පිළිබඳ ව හැඟීමක් නැත් ද?
අපට ජීවත් වීමට පැවැත්මක් අවශ්‍ය නො වේ ද? පැවැත්ම අපේ ජීවිතයේ ම කොටසක් යැයි සිතේ. ජීවත් වීම යනුවෙන් හඳුන්වන්නේ මේ පැවැත්මයි. පැවැත්ම මරණයෙන් අවසන් නොවන්නේ ද; ඔබ මගෙන් ප්‍රශ්න කරනු නියතය.
මරණය අප සැමට පොදු කාරණයකි. මරණයෙන් බොහෝ දේ කෙළවර ද වනු ඇත. එහෙත් ඔබ හෝ මා මිය ගියා යැයි කියා මේ ලොව පැවැත්මට තර්ජනයක් වේ ද? මඳක් සිතන්න, අඛණ්ඩ පැවැත්මට අප කිසිවකුත් බාධාවක් නො වේ.
අඛණ්ඩ පැවැත්ම යනු කුමක්ද? ම සිත විමසයි. මා ඔබට කියූ අඹ ගසට මැරෙන තෙක් ම අඛණ්ඩ පැවැත්මක් තිබෙනු ඇත. ඉන් අනතුරුව ඒ ගස මැරුණා යැයි කියා මේ ලොව පැවැත්මට බාධා වේ ද? හිරු ගෙන් අප ගලවා ගන්නේ ඒ ගස පමණක් ද?
ඔබගේ මගේ අඛණ්ඩ පැවැත්ම කිනම් ආකාරයේ දෙයක් ද? ඒ අපගේ මතකයේ ගබඩා කර ගෙන ඇති දැනුම් සම්භාරය ද? අපේ ජීවිතය ම මතක ගබඩාවකි. ඒ මතක, හැසිරීම් ඔස්සේ අප බොහෝ දේ අපේ ජීවිතවලට ආරෝපණය කර ගන්නෙමු.
අප කරන කියන දෑ, හොඳ ගතිගුණ, දියුණු වීමේ අභිලාෂය ආදී බොහෝ දේ අපි අපේ ජීවිත වලට එක් කරගන්නෙමු. මඳක් සිතන්න; මේ සියල්ලේ ම එකතුවක් නො වේ ද කියා අපේ ජීවිතය. නොකඩවා සිදුවෙන පැවැත්මක් පරිද්දෙන් එය එකින් එකට අමුණන ලද දම්වැලක් සේ ගලා යයි.
මා මේ පවසන අඛණ්ඩ පැවැත්ම අප ජීවිතවලින් පලා ගියහොත් ඉතිරි වන්නේ කුමක්ද? අප නිරන්තරයෙන් බිය ගන්වන ශූන්‍ය බව නො වේ ද? ශූන්‍ය බව යනු කිසිවක් නොමැති බවයි. අප නිරන්ත‍රයෙන් කරන්නේ අතීත සිදුවීම් වලින්, අත්දැකීම් වලින් හා එදිනෙදා උකහා ගන්නා දැනුම් සම්භාරයෙන් අපේ මනස පුරවා ගැනීමකි.
එවිට අපේ පැවැත්ම තීරණය වෙන්නේ ඒ අත්දැකීම් අනුසාරයෙන් යැයි අපි සිතමු. එහෙත් ඒ අත්දැකීම් හා දැනුම ඔබේ මනස කුරුවල් කරන්නේ යැයි මා පැවැසුවහොත්; ඔබ සමහර විට එකඟ නොවනු ඇත.
එහෙත් අලුත් දෙයක් පහළ වීමට නම් පැරණි අතීත දැනුම් සම්භාරය මත ම සිටීම ප්‍රයෝජනවත් නො වේ. අලුත් යනු මීට පෙර කවදාවත් නොතිබුණු දෙයකට යොදන යෙදුමකි. 'අලුත්' බව ඇත්තේ සියලු මතක වලට ඔබ්බෙනි.
අඹ ගස තවමත් නිසල ව ප්‍රභාතයට සිය සිරු‍ර ශක්තිමත් ව ප්‍රදානය කරමින් සිටියේ ය. එය දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතික්‍රියාවකින් තොර ව සිදු වූවකි. එනම් පැවැත්මට කිසිදා තර්ජනයක් නොකර එයට මුහුණ දීම ය.
එහෙත් අලුත් අවුරුද්දක් උදා වී ඇති මේ ඇසිල්ලේ පැවැත්මට මුළුමනින් ම යට වෙනවා ද; නැතිනම් අලුත් වී නව චින්තනයක් අනුව නව මාවතකට පිය මනිනවා ද? ඒ ගැන තීරණය කිරීම ඔබ සතු ය. මා යෝජනා කරන්නේ අලුත් වීමට උත්සාහ දරමු ද කියා ය.

http://www.silumina.lk/2016/04/17/_art.asp?fn=sm16041715

Tuesday, April 19, 2016

ගැහැනු දරුවන් සිටින මවු පියවරුන්ගේ අවධානය යොමු විය යුතු පොතක්

මේ කතාවේ එන චරිත, සිද්ධි සහ අවස්ථාවන් බොහෝවිට සැබෑ ජීවිතයේ අප අසා ඇති අප දැක ඇති පුවත්පත් වලින් අප කියවා ඇති දේ සමඟ මනාව සැස‍ඳේ.‍
කර්තෘ - සෝමලතා වෛද්‍යරත්න
මිල - රුපියල් 450
ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ
සෝමලතා වෛද්‍යරත්න ලියූ තුන්වැනි නවකතාව ‘අහස් වියන’ සරසවි ප්‍රකාශනයක් ලෙස මෑතකදී මුද්‍රණය කොට පළවී ඇත. ඉතාම වැදගත්, කාලෝචිත සමාජ ප්‍රශ්නයක් වන පවුලේ මව විදේශ රැකියාවක් සඳහා විදේශ ගත වූ විට දරුවන් මුහුණ දෙන අනාරක්ෂිත තත්ත්වයන් මේ නවකථාවේ හරය වශයෙන් සැලකිය හැකි ය. අද ශ්‍රී ලංකාවේ පවුල් විශාල සංඛ්‍යාවක් මුහුණදී ඇති, එහෙත් බොහෝ විට අප්‍රකට ව පවතින ඛේදවාචක තත්ත්වයක් සිය නිර්මාණ ප්‍රතිභාවෙන් පාඨකයාට ඒත්තු ‍ගන්වන්නට කතුවරිය දරා ඇති වෑයම ප්‍රශංසනීය ය.
මේ නවකතාව හුදෙක් කතුවරියගේ මනසේ ඇඳුණ පරිකල්පනීය කතාවකට වඩා අද අප සමාජයේ විද්‍යමාන ප්‍රායෝගික අවස්ථා මැනවින් නිරූපණය කරන සත්‍ය කතාවක් බව මගේ හැඟීමයි. මේ කතාවේ එන චරිත, සිද්ධි සහ අවස්ථාවන් බොහෝවිට සැබෑ ජීවිතයේ අප අසා ඇති අප දැක ඇති පුවත්පත් වලින් අප කියවා ඇති දේ සමඟ මනාව සැස‍ඳේ.‍ මවගේ විදෙස්ගතවීම නිසා අසරණ වන දරුවන්, විශේෂයෙන් ම දියණියන් ලක් වන අනේකවිධ අපචාර සහ මුහුණ දෙන මානසික ප්‍රශ්න මනාව විවරණය කරමින් සිය පරිකල්පනයේ උපදින සංවාද සහ සිද්ධි ශූර ලෙස හැසිරවීමට කතුවරිය සමත්ව ඇති බව අපේ විශ්වාසයයි.
වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය වසා පිළිලයක් මෙන් ශීඝ්‍රයෙන් පැතිරෙන කාන්තා හා ළමා අපචාර පිළිබඳ ව නීති සම්පාදනය කරන්නන් අතර මෙන් ම පොදුවේ මුළු සමාජයේ ම සංවාදයට භාජනය විය යුතු ය. එවන් පසුබිමක ‘අහස් වියන’ නවකතාව මතු කරන පුළුල් සමාජ විග්‍රහය අප සැමගේ, විශේෂයෙන් ම තරුණ දූ දරුවන් සිටින දෙමාපියන්ගේ නොමඳ අවධානයට ලක් විය යුතු ව ය. සිය ‘විසල් පවුරක් සේ’ නවකතාවෙන් කතුවරිය මතු කළ සමාජ ප්‍රශ්නය තවදුරටත් වෙනත් මානයකට යොමු කරවීමට ගත් උත්සාහය සාර්ථක වි ඇත. නවකතාවේ සියයට අනූවක්ම පුරා පැතිරෙන සංවාද එහි කියවාගෙන යාමේ ගුණයට උත්ප්‍රේරණයක් සපයයි. නවකතාවක අනිවාර්යයෙන් ම තිබිය යුතු පාඨකයාට වෙහෙසක් නොමැතිව එක දිගට කියවාගෙන යා හැකි වීම ‘අහස් වියන’ තුළ සැබැවින් ම ඇත.
සෝමලතා වෛද්‍යරත්න කතුවරිය ‘අහස් වියන’ පෙර වදනෙහි සඳහන් කරන පරිදි ‘කාන්තාවක’ වී මෙලොව ඉපදීම මොන තරම් අභාග්‍ය සම්පන්නදැයි සිතෙන තරමට දැන් සමාජය කාම අපරාධවලින් පිරී පවතී. අසූ වියැති මිත්තණියක පමණක් නොව කටේ කිරි සුවඳ පවා නොගිය කුඩා දරුවන් පවා අමානුෂික ලෙස දූෂණය කර ඉනුදු නොනැවතී ක්‍රෑර වධ බන්ධනවලට ලක් කර මරා දැමීම සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන මේ ධර්මද්වීපයේ සිදුවන බව අදහන්නට නොහැකි තරම් ය. අද දියණියක තම පියා හෝ සොහොයුරා ෙහා් ළඟ තනිව තබා යෑම පවා බිය ජනක වන තරමට සමාජය පිරිහී තිබේ.”
මේ සමාජමය පිරිහීම සිය ‘අහස් වියන’ නවකතාව මඟින් සනාථ කරවන කතුවරිය ස්වකීය නිර්මාණ ප්‍රතිභාව සමාජ ශෝධනය උදෙසා දැරූ ප්‍රයත්නයක් ලෙස හැඳින්වීමට මම පසුබට නොවෙමි. දිනපතා මෙතරම් අපරාධ අසන්නට ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයේ ඒවා මර්දනය කිරීමට බලධාරීන් උත්සුක කිරීමට ඔවුන් ද මෙවන් නවකතා කියැවිය යුතු බව මගේ අදහසයි.
‘අහස් වියන’ නවකතාව අප සියලු දෙනා විසින් ම අගය කළ යුතු, වැදගත් පණිවිඩයක් සමාජයට ලබාදෙන නවකතාවක් බව මගේ විශ්වාසයයි. මේ නවකතාව කියැවීමෙන් පාඨකයා තුළ ඇතිවන දුක, වේදනාව සහ කම්පනය මිශ්‍ර හැඟීම් දරුවන්ගේ විශේෂයෙන් ම ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ව සෑම මවකගේ ම, සෑම පියකුගේ ම නොමඳ අවධානය යොමු කිරීම සඳහා අභිප්‍රේරණයක් වනු ඇත.


http://www.silumina.lk/2016/04/17/_art.asp?fn=sm1604172

Monday, March 7, 2016

'බිග් මැච්' වලින් දෝරෙ ගලන ජනප්‍රිය පාසල් විනය



මිනිසා යමෙක්‌ හෝ යමක්‌ හෘදයාංගමව වැළ`දගන්නේ ඒ පිළිබ`දව ඇති කැමැත්ත නිසාවෙනි. මෙම කැමැත්ත ඇතිවීමට මිනිසා තුළ එම පුද්ගලයා හෝ එම දෙය පිළිබ`දව ආකර්ෂණයක්‌ ඇතිවිය යුතුය. ඒ අනුව ජනප්‍රිය යන වචනයේ උප්පත්තිය සිදුවන්නේ මෙම කැමැත්ත මත බව පෙනේ. ජනයාට ප්‍රියවූ දෙය යන අදහසින් එය ව්‍යවහාරයේදී භාවිතා වේ. ජනප්‍රිය නළු නිළියන්, ජනප්‍රිය වැඩසටහන්, ජනප්‍රිය ක්‍රීඩකයින් ආදී වශයෙන් ජනප්‍රිය යන නාමාවලිය සමාජීය රුචිය අනුව දිග්ගැස්‌විය හැකිය. නූතනයේ ජනප්‍රිය යන සංකල්පීය වචනය සමාජයේ ප්‍රචලිත සෑම පුද්ගලයෙක්‌ වෙනුවෙන් මෙන්ම සෑම දෙයක්‌ වෙනුවෙන්ම භාවිතා වේ. නමුත් එය දෝෂ සහිතය. ඕනෑම පුද්ගලයෙකුට හෝ ඕනෑම දෙයකට යහපත් හෝ අයහපත් හැසිරීම් හා භාවිතයන් තුලින් සමාජයේ ප්‍රසිද්ධ වියහැකි වුවද ජනප්‍රිය විය නොහැකිය. මන්ද, සමාජයට අවැඩක්‌, අයහපතක්‌ වන දෑ යහපත් සමාජීය පුරවැසියන් අනුමත නොකරන නිසාවෙනි. එවැනි දෑ අප්‍රිය කරන නිසාවෙනි. නමුත් යමෙක්‌ හෝ යමක්‌ ප්‍රසිද්ධ නොවූ පමණින් එයට හේතුව ඔහු හෝ එම දෙය සමාජයේ යහපතට ක්‍රියා නොකිරීම බව පැවසීමද යුක්‌ති සහගත නොවේ. ඔහු හෝ එම දෙය තුළද යහපත් ගුණාංග රාශියක්‌ පැවැතිය හැකිය. ජනතාවට ප්‍රිය විය හැකිය. නමුත් මෙයට හේතුව නූතනයේ ජනප්‍රිය යන සංදර්ශනාත්මක සංකල්පීය තත්ත්වය මුදලේ වටිනාකම හා බලයේ හැකියාව මත සමාජගත වන ස්‌වරූපයක්‌ පෙන්නුම් කිරීමය. යහපත් දෙයක්‌ වුවද ජනතාව අතර ජනප්‍රිය කිරීමට මූල්‍යමය හා අධිකාරීය බලයක්‌ නූතන සමාජ යාන්ත්‍රණය තුළට අවශ්‍ය වී ඇති නමුත් ප්‍රසිද්ධවීමට මේ කිසිවක්‌ අවශ්‍ය නොවේ. මෙරට සිටි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අන්වර්ථ නාමය නූතනයේ මෙරට ලොකු කුඩා ජනතාව අතර ඉතා ප්‍රචලිතය. එම ප්‍රචිලිතභාවය ප්‍රසිද්ධියක්‌ මිස ජනප්‍රියත්වයක්‌ නොවේ. ජනයාට ප්‍රිය වූQ ඇතැම් දෑ ප්‍රසිද්ධ නොවුණා සේම ජනයාට අප්‍රිය වූ ඇතැම් දෑ ප්‍රසිද්ධ වේ. යහපත් දෙයක්‌, ජනතාවට ප්‍රිය වූ දෙයක්‌ සමාජය තුළ ප්‍රසිද්ධවීමට නම් ඒ ස`දහා සැපිරිය යුතු සාධක පැවැතියද අයහපත් දෙයක්‌ සමාජය තුළ ප්‍රසිද්ධවීමට එවන් සාධක බලපානු නොලැබේ. මෙහිදී ජනප්‍රිය හා ප්‍රසිද්ධ යන වචන ද්විත්වය පිළිබ`දව පුළුල් කථීකාවක්‌ කිරීමට හේතුව වූයේ, නූතනයේ එම වචන ද්විත්වය එකම අරුතෙන් යොදාගැනීම නිසාය.

නගරයේ ජනප්‍රිය යෑයි සම්මත පාසල් තුලින් වැඩි අධ්‍යාපනයක්‌, හො`ද අධ්‍යාපනයක්‌, වැඩි පහසුකම් ප්‍රමාණයක්‌ ලැබේය යන විශ්වාසය හා ග්‍රාමීය පාසල්වලට යොමුකිරීමෙන් තම දරුවන් ජනප්‍රිය සමාජයෙන් කොන්වේ යෑයි යන බිය හේතුවෙන් නූතන දෙමාපියන් සෑම විටම උත්සාහ ගනුයේ නගරයේ ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුළත් කිරීමටය. මේ ආකාරයට නාගරික පාසල් ජනප්‍රිය පාසල් ලෙස වර්ධනය වීම නිසා නූතනයේ පාසල් ජනප්‍රිය හා සාමාන්‍ය පාසල් ලෙස සමාජීය වර්ගීකරණයක්‌ ඇතිවී තිබේ.

නාගරිකව බිහිවන ජනප්‍රිය පාසල් තුළ ග්‍රාමීය පාසල්වලට වඩා පහසුකම් ඉහළ බව පිළිගත යුතු කරුණකි. ජනප්‍රිය යන ආකල්පය නිසාවෙන් රජයන් විසින්ද ඇතැම් පෞද්ගලික ආයතයන්ද මෙවැනි පාසල්හි සිදුකරන විවිධ වූ ක්‍රියාකාරකම් ස`දහා අනුග්‍රහය ලබාදීමට මැලි නොවෙති. එසේම වැඩි සිසුන් පිරිසක්‌ ඒකරාශි වී සිටීම නිසා රජයන් විසින් ජනප්‍රිය පාසල් වෙත වැඩි පහසුකම් ලබාදීමද අයුක්‌ති සහගත යෑයි පැවැසීම සදාචාර සම්පන්න නොවන්නේ මෙම පාසල්හිද ඉගෙන ගන්නේ අපේම රටේ දරුවන් වන නිසා ය. නාගරිකව බිහි වී ඇති ජනප්‍රිය පාසල් තම පාසලේ නාමය තව තවත් ප්‍රචලිත කරනු වස්‌ නූතනයේ විවිධ ක්‍රියාකාරකම් සිදු කරයි. මෙම ක්‍රියාකාරකම් විටෙක තවත් ජනප්‍රිය පාසලකට එරෙහිව සිදුකරන සීතල යුද්ධයකි. මෙම ලිපියේ අරමුණ වන්නේ නාගරිකව බිහි වී ඇති ජනප්‍රිය පාසල් මගින් සිදුකරන එවැනි ක්‍රියාකාරකම් මෙරට පාසල් විනයට ගැළපේද යන්න අවස්‌ථා කිහිපයක්‌ යටතේ විමසා බැලීමය.

ක්‍රීඩා තරග පාසල් ස`දහා අත්‍යවශ්‍ය ය. මන්ද, පාසල් අධ්‍යාපනයෙන් බිහිවිය යුත්තේ ශාස්‌ත්‍රීය දැනුමකින් හෙබි පිරිසක්‌ පමණක්‌ නොවන නිසා ය. ක්‍රීඩාවෙන් ද අප ලොව ජයගත යුතුම ය. ක්‍රීඩාව තරග ජයග්‍රහණය ස`දහා ම නොව දැයේ දරුවන්ගේ පෞරුෂත්වය වර්ධනය කිරීමටත්, ශාරීරික සෞඛ්‍යය හා මානසික සෞඛ්‍ය ඔප් නැංවීමටත් උපකාරී වේ. මෙරට ජාතික ක්‍රී්‍රsඩාව අත්පන්දු වුවද නූතනයේ පාසල්හි පවතින ජනප්‍රියම ක්‍රීඩාව වනුයේ ක්‍රිකට්‌ ය. මේ නිසා පාසල් අතර වාර්ෂික ක්‍රිකට්‌ තරග (බිග් මැච්) සංවිධානය වේ. මේවා හුදෙක්‌ තරග නොව පාසල් ද්විත්වයක ගෞරවය පිළිබ`ද සංග්‍රාමයක්‌ ලෙස හැ`දින්වීම සුදුසු ය. මෙම ඇතැම් වාර්ෂික පාසල් ක්‍රිකට්‌ තරග නිදහසටත් පෙර යටත් විජිත පාලන සමයේ ආරම්භ වී ඇත. දිවයිනේ ජනප්‍රිය පාසල් මෙම වාර්ෂික ක්‍රිකට්‌ තරග ස`දහා සහභාගි වන අතර ඒ සමග බැ`දුණු ජුගුප්සාජනක සංස්‌කෘතියක්‌ ද වේ. නාගරික ජනප්‍රිය පාසල් හි ක්‍රීඩාවන් ස`දහා පෞද්ගලික අනුග්‍රාහකයන් සිටියද ජනප්‍රිය තලයේ නොමැති පාසල් හි ක්‍රීඩාවන් ස`දහා එවැනි පෞද්ගලික අනුග්‍රාහකයෝ නොමැත. එවැනි පාසල් ස`දහා අනුග්‍රාහකයින් සොයාගැනීම ද අපහසු වන්නේ එම අනුග්‍රහයෙන් අදාළ පෞද්ගලික ආයතනයට ප්‍රචාරණයක්‌ නොලැබෙන නිසා ය. මේ නිසා වාර්ෂික ක්‍රිකට්‌ තරග සංවිධානය කරනු ලබන ඇතැම් පාසලAහි එම වියදම් ස`දහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයාගැනීමට Rජුව ම පාසල් සිසුන් විශේෂයෙන් අදාළ කණ්‌ඩායමේ සිසුහු පාරට බසිති. එහිදී සිසුන් වෙළෙද ආයතන හා පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන් වෙත යමින් සි`ගමනේ යෙදෙන්නන් ලෙස මුදල් සෙවීමට පෙළඹේ. මෙම යාචක කාර්යය සිදුවනුයේ පාසලේ වග කිවයුතු සියල්ලන්ගේ ම අනුදැනුම යටතේ වීම ශෝකජනක ය. අධ්‍යාපනය පසෙක දමා මුදල් සොයා යාචක වෙස්‌ ගැනීමට පාසල් සිසුන්ට ඉඩ ලබාදීම පාසල් විනයට ගැළපේ ද යන්න සිතාබැලිය යුතු ය. මුදල් සෙවීමෙන් පසු තවත් දේ සිදු වේ. එනම් ඒ ඒ පාසල් විසින් තම පාසලේ ක්‍රිකට්‌ කණ්‌ඩායම දිරිමත් කිරීමට බව පවසමින් මහා මාර්ගයේ එක්‌ මංතීරුවක්‌ කිලෝ මීටර ගණනාවක්‌ අත්පත්කරගෙන යන වාහන පෙළපාලිය ය. මෙම වාහන පෙළපාලිය එම පාසල්වල ආදි සිසුන්ගෙන් හා තවමත් අධ්‍යාපනය ලබන සිසුන් බහුතරයකගේ සහභාගිත්වයෙන් පාසල් බලධාරීන්ගේ ද පූර්ණ අනුදැනුම යටතේ පොලිසියේ ද රථ වාහන හසුරුවා මාර්ගය එළිපෙහෙළි කර දෙන දායකත්වය යටතේ සිදුකරනු ලබන්නකි. වාහනවල වීදුරු කවුළු තුළින් තම උඩුකය එළියට ගෙන දිවි පරදුවට තබමින් ඉතාමත් අසංවර ලෙස හැ`ද පැළ`දගෙන මහ හඬින් වාහන නලා හ`ඩවමින්, මාර්ගයේ යන පදිකයින්ට උසුළු විසුළු කරමින්, කෑ ගසමින් ගමන් කරන මෙම වාහන පෙළපාලිය මෙරට පාසල් විනය පද්ධතියට අනුකූලදැයි මෙතෙක්‌ සොයා නොබැලුවේ එවැනි අංග පාසල් ස`දහා අත්‍යවශ්‍ය බව හැෙ`ගන නිසාද යන්න විමසිය යුතුය. මෙම පෙළපාලියේදී සිදුවන තවත් සිදුවීමක්‌ වන්නේ එම මාර්ගයේ බාලිකා පාසල් වෙත් නම් ඒවාට බලෙන් ඇතුළු වී එහි ශිෂ්‍යාවන්ට උසුළු විසුළු කිරීම ය. නූතනයේ විලාසිතාවක්‌ බවට පත්ව ඇති මෙම තත්ත්වය නිසා සිදු වන විනය විරෝධි ක්‍රියා බොහෝ වෙයි. මෙලෙෂ හැසිරෙමින් බාලිකා පාසලකට ඇතුළු වූ සිසුන් පිරිසක්‌ පිළිබඳවත් පෙළපාලියකින් ගමන් කළ වාහනයක්‌ පෙරළීමෙන් කොළඹ ආනන්ද විදුහලේ සිසුන් දස දෙනෙක්‌ පමණ තුවාල ලද බවත් පසු ගිය සතියේ අසන්නට ලැබිණි. මෙම සිදුවීම් දැක දැක නොදැක්‌කා සේ සිටීම වරදක්‌ බව වගකිව යුත්තන් නොසිතීම මෙරට පාසල් විනය පාලනයට සිදුව ඇති බලවත් අභාග්‍යයකි.

වාර්ෂික ක්‍රිකට්‌ තරග සමග ඇතිවන මෙම විනය විරෝධී උන්මාදය ඇතැම්විට පුපුරායන්නේ එක්‌ පාසලක්‌ පැරැදුණු විට හෝ පරාජයවීමට ඉඩහසර පෑදෙන විට ය. බිග් මැච් උන්මාදය එළියට පැමිණි අවස්‌ථා පසුගිය වසරේ දී ද දැකිය හැකි විය. පසු ගිය වසරේ මාර්තු 21 වැනිදා පැවති කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර සීමිත පන්දුවාර ක්‍රිකට්‌ තරගයේ දී ඩී. එස්‌. සේනානායක විද්‍යාලය ජයග්‍රහණය අබියසට පැමිණි විට ප්‍රතිවාදී පාසලේ ආදි සිසුන් හා සිසුන් පිටිය මැදට කඩාපැන ප්‍රතිවාදීන්ට පහරදීමට පටන් ගත්තේ වනචාරීන් මෙනි. එසේම එදිනම අවසන් වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය අතර පැවැති තෙදින තරගය ජය පරාජයකින් තොරව අවසන් වුව ද අවසන් දිනයේදී අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළ මොහොතේ සිසුන් කලහාකාරී ලෙස හැසිරුණ අතර එහිදී විනිසුරුවන් පණ බේරාගත්තේ දෙපයේ පිහිටින් ක්‍රීඩා මණ්‌ඩපයට දිව යාමෙනිs. පෙර වසරේ දී ගාල්ලෙන් ද එවැනි අවස්‌ථාවක්‌ වාර්තා වූ අතර මහින්ද හා රිච්මන්ඩ් විද්‍යාලයන්හි සිසුන් පාලනය කිරීමට කඳුළු ගෑස්‌ පවා යොදාගැනීමට පොලීසියට සිදුවූයේ කාගේ වරද නිසාදැයි වටහාගත යුතු ය. නැතහොත් ක්‍රීඩා පිටිය මැද සිසුවෙකු අවසන් ගමන් යන දිනය ළඟදීම උදාවීම නියතය. නියපොත්තෙන් කඩා ඉවත් කළයුතු දෙය පොරොවෙන් කපන තත්ත්වය දක්‌වා වර්ධනය කරවීම සමාජයේ අභිවෘද්ධියට අහිතකර වේ.

මේ වනාහි සියල්ල නොවේ. ජනප්‍රිය ලෙස පෙනී සිටින පාසල් සිදුකරන එම ක්‍රියාවන් හ`දින්විය යුත්තේ ජනප්‍රිය යන නාමයෙන්ද ප්‍රසිද්ධ යන නාමයෙන්ද යන්න බුද්ධිමත් සමාජීය පුරවැසියන් තීරණය කළ යුතුය. ඕනෑම යහපත් මෙන්ම අයහපත් ක්‍රියාවන්ද ප්‍රසිද්ධ විය හැකි නමුදු අහයපත් ක්‍රිsයාවන් ජනප්‍රිය ලෙස හැ`දින්වීම සුදුසු නොවේ. මන්ද, ඒවා අප්‍රිය ක්‍රියාවන් වන නිසා ය. සමාජ සම්මත ඇතැම් ජනප්‍රිය පාසල් සිදුකරන ක්‍රියාවන් ජනප්‍රිය ද නැතහොත් අප්‍රිය ද යන්න බුද්ධිමත්ව වටහාගත යුතු ය.

කේ. උදේනි අරුණසිරි
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය - කොටුව, ගාල්ල


http://www.divaina.com/2016/03/07/gurusitha01.html

දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන්

මේ යන්නේ අතුරේද අනතුරේද?

දෙන්න දෙපැත්තෙන් සාංචි මැද්දෙන් කිව්ව වගේ, මේ අම්මයි - තාත්තයි හයක් හතරක් නොතේරෙන කිරි සප්පයත් මැදින් තියාගෙන වාහන දුම කපාගෙන යන මේ ගමන මොන තරම් අවදානම් ද? වමෙන් බස් එකක් දකුණෙන් ටිපර් එකක්. කාන්තා දින, මව්වරුන්ගේ පියවරුන්ගේ දින, ළමා දින, අනතුරු වැළැක්වීමේ දින මොනවා තිබ්බත් මොටද? අපේ දරුවන් අරන් අපි යන්නේ මෙහෙම අනතුරුදායක ගමන් නම්?

ඡායාරූපය - සුදම් ගුණසිංහ

http://www.silumina.lk/2016/03/06/

Thursday, March 3, 2016

හෙට උපදින දරුවකුට අවුරුදු 140ක් ආයු විඳින වරම්!


 “වයස්ගතවීම හා ආශ්‍රිත රෝගවලින් බොහොමයක්, මැඬලීමේ හොඳම ක්‍රමය සතිපට්ඨාන භාවනාවයි. නවීන පර්යේෂණ බොහොමයකින් පැහැදිලි වන්නේ ඉතා සුළු වේලාවක්, සතිපට්ඨාන භාවනාවේ යෙදීමේත් සිත එකඟකොට ගෙන සිටීමේත් ප්‍රතිඵලක් වශයෙන්, මානව ආතතිය අඩුවන බවය. වෙනෙකක් තබා, මොළයේ අන්තර්ගත මාංශ පේශිවල දිරාපත්වීම පවා සතිපට්ඨාන භාවනා ක්‍රමය මඟින්, අඩුකරගත හැකිවේ.”
-රිචඩ් ඩේවිඩ්න්, ස්නායු විශේෂඥ
අද යුගයේ අපරදිග සමාජවලින් අසන්නට ලැබෙන විස්මය උපදවන පුවතක් නම්, බටහිර විද්‍යාඥයන් විසින්, මානව ආයු කාලය බොහෝ සේ දිගු කරන ක්‍රමවේද සොයාගෙන තිබෙන බවයි. ඒ පර්යේෂණයන්හි යහපත් බලපෑම, මුළු මහත් මානව සංහතියේ ම සෙත පිණිස වෙයි.
අද ලොව මිනිසාට කොපමණ කලක් ජීවත් විය හැකි ද?
මේ පැනයට විද්‍යාඥයන් සපයන ප්‍රායෝගික පිළිතුර, අනිවාර්යයෙන් ම ඔබ මවිත කරවයි.
ඒ පිළිතුරේ ස්වභාවය සැකෙවින් මෙසේ දැක්විය හැකිවේ.
“මීයන්ගේ සාමාන්‍ය ආයුකාලය මාස 27 යි. එහෙත්, අලුතින් සොයාගත් ඖෂධයක පිහිටෙන්, සාමාන්‍ය මීයෙකුගේ වයස මාස 48 දක්වා දිගු කොට තිබේ. ඒ දීර්ඝායුෂදායි ඖෂධය විසින් මීයාගේ සාමාන්‍ය ආයු කාලය සියයට 1.77 කින් වැඩි කරන ලදී. ඒ අනුව මිනිසාගේ ආයු කාලය දෙස බලමු. මිනිසාගේ සාමාන්‍ය ආයු කාලය අද යුග‍ෙය් අවුරුදු 80 කි. ඒ අනුව, මී ඖෂධයේ පිහිටෙන් තව අවුරුදු පහකින් පමණ උපදින දරුවෙකුට අවුරුදු 142ක් ජීවත්විය හැකිය. මේ අවුරුදු පහකින් පමණයැයි කීයේ, ඒ ඖෂධය මිනිස් දරුවන්ට සුදුසුවන පරිදි දියුණු කරන්නට ගතවන කාලය ගැන සිතමිනි.
අපගේ ශ්‍රී ලාංකික ජන සංස්කෘතියේ දීර්ඝායුෂ ප්‍රාර්ථනාව, ඉතා ප්‍රබල ස්ථානයක් ගනී. අපගේ බෞද්ධ සාමයික ප්‍රකාශයකින් මෙසේ කියවේ: “සුඛී දීඝායුකො භව” (සුවපත්ව දීර්ඝායුෂව වෙසේවා.)
සිංහලයන් දෙදෙනෙකු ඔවුනොවුන් මුණ ගැසුණුවිට ආචාර සමාචාර පවත්වන්නේ ආයුබෝවන් යන ආශීර්වාද පදයෙනි. මෙය ආචාරයක් මෙන් ම සුබ ප්‍රාර්ථනයක් ද වෙයි. “ඔබට ආය‍ු‍බෝ වේවා - ඔබ දීර්ඝායුෂ්ක වේවා” යන ඒ ආචාර සමාචාර පදයේ අරුතයි.
දිවි පෙවෙත සැලසුම් කිරීම
දිගු කලක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ජන සංස්කෘතියෙහි, ඒ දීර්ඝායුෂ ප්‍රාර්ථනාත්මක ආචාර - සමාචාර ක්‍රමය මුල්බැසගෙන තිබුණ ද, අපරදිග නවීන රටවල මෙන්, ශ්‍රී ලංකාවේ ආයුකාලය ක්‍රමවත්ව වර්ධනය කරනු පිණිස යොමුවූ පර්යේෂණ පද්ධතියක් අපේ දේශයේ නොතිබිණි. ඇතැම් ආහාර-පාන වර්ග ආයු වර්ධනයට හිතකාමීයැයි කියන විශ්වාසය ශ්‍රී ලංකාවේ හිතකාමීයැයි කියන විශ්වාසය ශ්‍රී ලංකාවේ ගැමි චිකිත්සාව හා බද්ධව තිබේ.
එහෙත් අපරදිග ලෝකයෙහි, මානව ආයුකාලය වර්ධනය කිරීම සදහා පැවැත්වෙන අති ක්‍රමානුකූල එමෙන් ම උච්චතම නවීන ලක්ෂණ සහිත පර්යේෂණ හා චිකිත්සක මධ්‍යස්ථාන සංඛ්‍යාව තරමක් පෘථුලය. එවැනි පර්යේෂණාගාර හා ආයු වර්ධන චිකිත්සා මධ්‍යස්ථාන විසින්, ලොවට සැපයෙන මාර්ගෝපදේශකත්වය, මුළු මහත් මිනිස් වගට ම සෙත සාදයි. ඒ ප්‍රබල ආයුවර්ධක චින්තනය මඟින් ප්‍රකාශිත ඇතැම් අදහස්, ශ්‍රී ලංකාවේ අපටත් ආයු වර්ධනය පිළිබඳව ගැඹුරට හැදෑරීමේදී මහෝපකාරීය. “දීර්ඝායු විද්‍යාව පිළිබඳ ස්ටැන්ෆර්ඩ් මධ්‍යස්ථානයේ “සමාරම්භිකා ආචාර්ය ලෝරා එස්. කාස්ටන්සෙන් මහත්මිය විසින් උගන්වනු ලබන කරුණු අතර, ලොව කාගේත් ආයු වර්ධනයට හිතැති, මා ඇඟි අදහස් අන්තර්ගතවේ.
ඇය නවීන මිනිසාගේ එක් අඩුපාඩුවක් ඉස්මතුකොට දක්වයි. අවුරුදු 100ක ආයු කාලයක් ලබාගන්නට නම්, අප සතුවිය යුතු ප්‍රධාන ගතියක්, මේ විද්‍යාඥවරිය විසින් ගෙන හැර දක්වයි.
ඒ මෙසේය: “කවර දේශයක විසුවද, කවර සංස්කෘතියක වැඩුණද, දීර්ඝ කාලීනව සිය දිවිපෙවෙත සැලසුම් කිරීමේ ගතිය, ස්වාභාවික ලෙස මිනිසා තුළ පිහිටා නැත. ඒ නිසා මිනිසාට අනාගත වර්ධනය ගැන පැහැදිලිව සිතන්නට බැරිය. එසේ ම, මිනිසාට දීර්ඝයුක්ෂව සිටීම අපහසු කරන තවත් කරුණක් වෙයි. තමන්ගේ ඇතැම් ක්‍රියා නිසා සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල ගැන ද කල් ඇතිව සිතන්නට බොහෝ දෙනා අපොහොසත් වෙති.
මිනිසුන්ට, ඉතා දිගුකලක් විසීමේ කැමැත්ත තිබේ නම්, ඔවුන්, මීට පෙර නො කළ අන්දමෙන්, අනාගතය සැලසුම් කරන්නටත්, දූර්දර්ශීව සිතන්නටත් පුරුදුවිය යුතුවේ.
මෙය දීර්ඝකාලීන ජීවිතයක් කැමැති ශ්‍රී ලාංකිකයන්ටත් ඉතා අගනා පාඩමකි.
අවුරුදු 100ක් විසීමේ ආශාව ඇති අය තවත් පුරුද්දක් ඇතිකරගත යුතුය. “දැන් මා සිටින්නේ කොතැනද? මේ මොහොතේ මගේ තත්වය කෙසේද? කියා දැන ගන්නටත් ඔවුන් පුරුදුවිය යුතුවේ. අනාගතය දැක, අනාගතයට සුදුසු සේ ජීවත්වන්නට ඒ පුරුද්ද අත්‍යවශ්‍ය ඖෂධයකි.
ආචාර්ය ලෝරා මිනිසාගේ දීර්ඝායුෂ්කභාවය පිළිබඳව පෘථුල පර්යේෂණ පවත්වයි. ආර්ථික විද්‍යාඥයන්ගෙන්, වෛද්‍ය විද්‍යාඥයන්ගෙන් කාර්මික ප්‍රධානීන්ගෙන් ඇය ප්‍රශ්නයක් විමසුවාය.
“දීර්ඝකාලීන, සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙත හා සම්බන්ධ වන ගති-පැවතුම් හා පුරුදු වශයෙන් ඔබ දන්නේ කවර විදියේ චර්යාවක්ද?”
මේ පර්යේෂණ මඟින් ඇය විසින් සොයා ගන්නා ලද ප්‍රධාන කරුණු තුනක් වේ,
(1) සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙත
(2) සුරක්ෂිත ධන තත්ත්වය
(3) සමාජය හා ඒකාබද්ධව සැස‍ඳෙමින් ජීවත්වීමේ දක්ෂතාවත්.
දිවිය කෙටි කරන පුරුදු
ලෝකයේ බො‍හෝදෙනා ගේ දීර්ඝායුෂ්කභාවය අඩුකරන - දිවි පෙවෙත කෙටි කරන - චර්යා දෙකක් ඇය සොයාගෙන ඇත. බොහෝ දෙනා දුම්පානය අඩු‍කොට සිටිති. කායික අභ්‍යාසවල යෙදෙති. එහෙත්, ඔවුහු තාමත්, දීර්ඝායුෂභාවයට පටහැණි ක්‍රියා දෙකක යෙදෙති. ඒ දෙක මෙසේ ය:
(1) කායික අභ්‍යාසවල යෙදෙන කාලය තාමත් අඩුය.
(2) අවාසනාවකට මෙන්, බොහෝ දෙනා වාඩිවී සිටින කාල පරිච්ඡේදයත් වැඩිය.
දීර්ඝායුෂ්කභාවයට පටහැණි ප්‍රධාන කරුණක් වශයෙන් ඇය දකින්නේ සාමාජික සබඳතා අඩුකමයි. සමහරු සිය ගෙදර - දොර අය සමඟ පවා දැඩි සබඳතා පවත්වා නොගනිනි. අසල්වැසියන් හා සමඟ ආශ්‍රය අඩුය. වැඩිහිටියන් පමණක් ‍ෙනාව, ඇතැම් දරුවන් ද එසේ සමාජ සම්බන්ධතාවලින් බොහෝසේ තොරය. නවීන රාජ්‍යයක් වන ඇමෙරිකාවේ පවා වයස 65ත් 74ත් අතර අයගෙන් සියයට 57ක් දවසකට පැය හතකටත් වැඩි කාලයක් එක තැනක වාඩිවී කල් ගෙවති. මෙය ආචාර්ය ලෝරා දක්වන්නේ ආයු කාලය කෙටි වීමේ හේතුවක් ලෙසයි. එකතැන බොහෝවේලා වාඩිවී සිටීමෙන් සිරුර ස්ථුලවේ. එය, දියවැඩියා රෝගයට හේතුවකි.
ඇමෙරිකාවේ බොහෝ දෙනාගේ ජීවන කාලය කෙටි කරන රෝගයක් තිබේ. ඒ රෝගය නම් අල්ස්හෛමර් රෝගයයි. ඇමෙරිකාවේ එක්කෝටි හතළිස් ලක්ෂයක් පමණ දෙනා ඒ රෝගයෙන් පෙළෙති. එහෙත්, අලුත් ම ආරංචිය නම් මේ රෝගය සදහටම දුරුකරන ඖෂධයක් අද තැනී තිබීමේ පුවතයි.
ඖෂධ සමඟ දීර්ඝායුෂ සඳහා යහගුණය අත්‍යවශ්‍යය. දීර්ඝායුෂ්කා භාවයට පටහැණි අභියෝග ජයගනු පිණිස, සුබවාදී චින්තනය ද අත්‍යවශ්‍ය බව ආචාර්ය ලෝරා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවට ද මෙය යහපත් ආයුවර්ධන උපදේශයකි.
දීර්ඝායුෂ ලැබීම සඳහා ජෙෆ්රි ක්ලූගර් නම් අපරදිග විද්‍යාඥයා විසින් දෙනු ලබන එක් උපදේශයක ඍජුවම බුදුසමයෙන් ලබාගත්තාක් සේ පෙනේ.
විද්‍යාඥ ක්ලූගර් විසින් පැවසෙන්නේ මරණානුස්මෘතිය, දීර්ඝායුෂ ලැබීමට හේතුකාරක වන බවය. මරණානුස්මෘති භාවනාවේ යෙදෙන අය, හැම අලුත් දවසක් ම ඉතා අගය කොට සලකති.
මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ ශ්‍රාවකයෙකු වූ මනෝවිද්‍යාඥ ඔටෝ රෑන්ක්ගේ මතය නම්, අනිවාර්ය දෙයක් වන මරණය ගැන සිය කැමැත්තෙන් ම සිත යොමු කිරීම නිසා, මරණානුස්මෘති භාවනාව විසින් මිනිසුන්ට, ජීවිතයට මූණපාන්නට නව ශක්තියක් ලබාදෙන බවය. ඒ නිසා එවැන්නෝ අනිවාර්යෙන් ම දීර්ඝායුෂ්ක වෙති.
මහාචාර්ය ක්ලූගර් මෙසේ කියයි. “ගමනාන්තයක් තිබෙන බව ස්ථිරවම දැනගත් විට, අපි සියලුදෙනා ම ඉතා හොඳ සංචාරකයන් බවට පත්වන්නෙමු.”
බුද්ධ චින්තනයට අයත් මරණානුස්මෘති භාවනාව සතු මේ දීර්ඝායුෂ්ක බලය, බටහිර විද්‍යාඥයන් විසින් සොයා ගැනීම, ශ්‍රී ලංකාවේ අපට බොහෝසෙයින් ම අගනා හෙළිදරව්වකි.
ශ්‍රී ලංකාවේ අපට විශේෂයෙන් වැදගත් වන්නේ දීර්ඝායුෂ්ක භාවය සඳහා බෞද්ධ භාවනාවේ අගය, ආයුෂ වර්ධන චිකිත්සාව පිළිබඳ බටහිර සුප්‍රසිද්ධ විද්‍යාඥයන් විසින් ඉතා ඉහළින් කෙරෙන විවරණයයි.
ඇමෙරිකාවේ කැලි‍ෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මනෝ චිකිත්සක විද්‍යාඥ මහාචාර්ය එලිස්සා ස්පල්ගේ අදහස මෙසේය:
“සතිපට්ඨාන භාවනාව නිසා මිනිසුන්ගේ අසුබවාදි චින්තනය පහවී යයි. එසේම, ඇතැම් භාවනාක්‍රම හේතුකොට, ස්වාභාවික කායික පරිහානිය පවා වළකී, වයසට යෑමේ කායික ලක්ෂණ ඉවත්වේ.
කෙනෙකුට ගැඹුරු භාවනාව අපහසු නම්, එවැන්නෙකුට, යටත් පිරිසෙයින් මේ එළඹි වර්තමාන මොහොත ගැන හෝ සිහි එළඹවා සිටිය හැකිය. එවිට කායික වශයෙන් පහළ වන වයෝ ලක්ෂණ තරමකට හෝ අඩුවේ.
බාහිර ලෝකය හේතුකොටගෙන ඇතිවන, මානසික කම්පන පවා භාවනාව නිසා අඩුවෙයි. මෙය වයසට යෑම වළක්වන හොඳ චිකිත්සාවකි.
තරමක සරල ආකාරයේ සති පට්ඨාන භාවනාව වැඩීමෙන් පමණක් වුවද, සිරුරේ වයසට යෑම අඩු කළ හැකියැයි අපරදිග විද්‍යාඥයෝ කියති. සිතේ සතුට, දීර්ඝායුෂ්කතාවයට අත්‍යන්තයෙන් ම හිතකරය. සිතේ සතුටක් නැති වයස්ගත අය, සතුටින් වෙසෙන වයස්ගත අයට වඩා අඩු කාලයකින් මිය යන බව වෛද්‍ය වාර්තා මඟින් ස්ඵුට වී ඇත. කොපමණ ප්‍රශ්න තිබුණද, සිතේ සතුට සහිත වැඩිහිටියෝ, අන් අයට වඩා සියයට තිස්පහකට අධික කාලයක් දීර්ඝායුෂ විඳිති.
සිතේ සතුටින් පසුවන වැඩිහිටියන්ගේ කායික ක්‍රියාකාරීකම්, සිතේ සතුට නැති අයගේ කායික ක්‍රියාකාරීකම්වලට වඩා හොඳ තත්ත්වයක පවත්නා බව පර්යේෂණවලින් හෙළිවී තිබේ.
විද්‍යාඥයන්ගේ නිගමනය නම්, සිතේ සතුට ඇති වැඩිහිටියන් වඩා දිගු කලක් ජීවත්වන බව බවයි. මෙයට හේතුව සුබවාදී, සෝමනස්ස චේතනාවල්, කායික අභ්‍යාස ආදියටත් වඩා වැඩිහිටියන්ගේ කායික මානසික සෞඛ්‍යයට හිතකර ආකාරයෙන් ක්‍රියා කරන බවය.
ඇමෙරිකාවේ විශේෂඥයන් විසින් ඉතා විස්මය උපදවන සිද්ධියක් අනාවරණය කොටගෙන ඇත. එනම් පදවියෙන් ඉවත්වූ ජනාධිපතිවරුන් බොහෝ කාලයක් ජීවත්වන බවය.
හිටපු ජනාධිපති ජිමී කාටර්, ධවල මන්දිරයෙන් ඉවත්ව දැනට අවුරුදු තිස්පහකි. ජනාධිපති කාටර් අදත්, කාර්ය බහුල ජීවිතයක් ගත කරයි. හිටපු ජනාධිපති බුෂ්ට (පියා) අවුරුදු 90 කි. ජනාධිපති ජිමී කාටර් ගේ වයසමය. ජනාධිපති රොනල්ඩ් රේගන් අවුරුදු 93ක් ජීවත් වූයේය.
බෞද්ධ භාවනාවේ අගය
ඒ සා භාරධුර ජගත් කාර්යයක යෙදී සිටත් ඔවුන්ට දීර්ඝායුෂ්ක වන්නට හේතුකාරක වූ සාධක සොයා ගැනීම, වයස්ගතවීමේ රහස සොයන විද්‍යාඥයන්ට බොහෝසේ ප්‍රයෝජනත් වෙයි. ඔවුන් විවිධ අභියෝගවලින්, නව ශක්තියක් ලැබ ගන්නේ විය හැකිය.
සත්ත්ව ලෝකයේ දීර්ඝායුෂ්ක සත්වයන්ගෙන් ද දිගු කළ විසීමේ රහස් සොයාගත හැකිවේ. ගොඩබිම වෙසෙන ඉතාම දීඝායුෂ්ක සත්වයන්ගෙන් එකෙකු නම් අලියායි. ඌ ශාක භක්ෂකය. හේතුව එයද අලියෙකුගේ සාමාන්‍ය වයස අවුරුදු 70යි. ඉදිබුවා ද දිගුකලක් වෙසෙයි. සාමාන්‍ය වයස අවුරුදු 100 ය.
සත්ත්ව ලෝකයේ ඉතා ම දිගු කලක් වෙසෙන සත්ත්වයා හැටියට හැඳින්වෙන්නේ මූදු මට්ටියා යි (sea clam) උගේ සාමාන්‍ය වයස අවුරුදු 500 කි.
මිනිසා අර්ථවත් ආකාරයෙන් වයසට යෑමේ විද්‍යාව, පෙර - අපර දෙදිග දියුණු රාජ්‍යවල ඉතා ප්‍රබල අධ්‍යයන අංශයකි.
ශ්‍රී ලංකාව වැනි දේශයක, අධි වයස පුද්ගලයන් සුලබ නැත.
මේ දේශයේ ජනතාවට, අර්ථවත් ලෙස නිකම් සයනගතව නොව ක්‍රියාශීලීව දීර්ඝායුෂ ලද හැකිවන ආකාරය පිළිබඳ ඉතා ම උච්ච මට්ටමේ වගකිවයුතු පර්යේෂණ පැවැත්වීමට මේ කාලයයි. අපගේ ඉපැරණි ඉතිහාසයේදි අපගේ ආදි මී මුත්තන් දිගුකලක් වාසය කළ බැව, වංශකථාගත වෙයි.
ඒ පිළිබඳව ක්‍රමවත් පර්යේෂණ පැවැත්වීම, අපටත් පොදුවේ මානව වංශයටත් අතිශයින් ම ඵලදායීය.
හැත්තෑවසක් සිරිලක පාලනය කළ පණ්ඩුකාභය රජු අවුරුදු 137ක් ජීවත් වූයේය. රහස කවරේද? අප විසින් ‍ලෝකයේ නවීන තම දීර්ඝායුෂදායක දියුණු පර්යේෂණවල ක්‍රමාවලි සෙවිය යුතුවේ.
අද අපගේ ගෙදරක උපදින දරුවෙකුට, බබෝ අවුරුදු 142ක් ජීවත් වන්නැයි ආශීර්වාද කරනු පිණිස, අපගේ දීර්ඝායුෂ විද්‍යා පර්යේෂණ උච්චාකාරයෙන් දියුණු කිරීම ජාතික වගකීමකි.

Sunday, February 21, 2016

පාසල් ආරාධිත අමුත්තන්ට ප්‍රමිතියක් අවශ්‍ය නැද්ද? (දේශපාලනයක් නොවේ) --- අකමෑතිනම් නොකියවා යන්න

මීට කලකට ඉහතදී ආණමඩුව නවගත්තේගම ගුරුවරියක දණ ගැස්සවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබූ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට නැවත එම විද්‍යාලයේම ක්‍රීඩා උත්සවයක් සඳහා ආරාධනා කිරීම රටේ සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් වී තිබේ.
කෙසේ වුව ද මේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නම හෙළි කිරීමට අකමැති වූ උසස් නිලධාරියකුගෙන් අප විමසීමක් කළ විට ඔහු කියා සිටියේ මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ඇති වර්තමාන නීතිමය තත්ත්වයන් ගැන තමන්ට අවබෝධයක් නැති නමුත් මේ සම්බන්ධයෙන් පූර්ණ වගකීම ඇත්තේ වයඹ පළාත් සභාවට බවය. 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3වන පරිශිෂ්ටයට අනුව මධ්‍යම රජයේ හා පළාත් සභාවල අධ්‍යාපන අමාත්‍යාංශ වගකීම් සම්බන්ධයෙන් ඇති බලතල දක්වා ඇති බවද ඔහු කීය. ඒ අනුව මෙකී කාරණා සම්බන්ධයෙන් පළාත් සභාව තීන්දු තීරණ ගත යුතු බවද හෙතෙම කීය.
කෙසේ වුව ද මේ සිදුවීම අනුමත කළ නොහැකි දෙයක් බව කියූ ඔහු කියා සිටියේ එය සදාචාර විරෝධී බව ය. මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ මේ සම්බන්ධයෙන් වැඩි වගකීම ඇත්තේ පළාත් සභාවට බවය. පළාත් සභාව පවසන්නේ මෙකී කරුණු සම්බන්ධයෙන් වගකීම ඇත්තේ මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බවය. මේ දෙතුන් පිරිස එකතු වී මෙවැනි ක්‍රියා නැවැත්වීමට කටයුතු කළ යුතු බව වියතුන්ගේ අදහසය.

හැම සිද්ධියකටම චක්‍රලේඛ නිකුත් කරන්න බෑ

අධ්‍යාපන ඇමැති අකිල වි‍රාජ් කාරියවසම්

* ගුරුවරියක් දණ ගස්සවා රටම ආන්දෝලනයකට ලක් කළ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු එම විද්‍යාලයේම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැඳවා තිබෙනවා. යහපාලන ආණ්ඩුවක් යටතේ ජනතාව මෙවැනි දේ බලාපොරොත්තු වෙන්නේ නෑ නේද?
මේ සිදුවීම් දෙකම රටේ ආන්දෝලනයකට ලක් වූ සිද්ධියි. මුල්ම සිදුවීමෙන් පසු මෙවැන්නක් කිරීම කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නොවේ. විදුහල්පතිවරයා සම්පූර්ණයෙන්ම මේ සිදුවීමට වගකිව යුතුයි. මේ විද්‍යාලය පළාත් සභාවට අයිති පාසලක්. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගත යුත්තේ පළාත් සභාවයි.
* ඔබ අධ්‍යාපන ඇමැතිවරයා. මෙවැනි ජාතික ගැටලුවකට මැදිහත්වී සෘජු විසඳුමක් ලබාදීමේ හැකියාව පළාත් සභාවේ බලය විසින් අහෝසි කර තිබෙනවාද?
මෙහෙමයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. මෙතැනදී පළාත් සභා පාසල් සම්බන්ධයෙන් පාලන කටයුතු විනය කටයුතු ආදිය පිළිබඳ වගකිව යුත්තේ පළාත් සභාවයි. අපි බලාගෙන ඉන්නවා මේ සිදුවීමේදී අදාළ බලධාරින් හැසිරෙන ආකාරය පිළිබඳව.
අනෙක් අතට විදුහල්පතිවරු කියන්නේ යම් අධ්‍යාපන මට්ටමක් ලබපු අය. විභාග සමත් කරලා ඉහළට ගිය අය. මේ අයට ඥානයක් තියෙන්න ඕනෙ මෙවැනි ප්‍රාථමික ක්‍රියා සිදුනොවන විදියට වගබලා ගැනීමට.
* මෙවැනි දේ වැළැක්වීමට චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍යංශයට බැරිද?
සිදුවීමෙන් සිදුවීමට චක්‍රලේඛ නිකුත් කරන්න බෑ. පවතින නීති රීති වගේම ආචාරධර්මවලට යටත්ව කටයුතු කිරීම සියලුදෙනාගේම වගකීමක්. පසුගිය කාලෙම විදුහල්පතිවරුන්ගේ බොහෝ පත්වීම් සිදුවී තිබෙන්නේ දේශපාලන බලපෑම් මත.
වැඩබලන අයව විදුහල්පතිවරු කරලා තියෙනවා. කැබිනට් පත්‍රිකාවලින් විදුහල්පතිවරු පත්කර තිබෙනවා. නැවත ඒ දේවල් වෙන්න ඉඩ තියන්නේ නෑ.
පසුගිය දවසක විදුහල්පතිවරුන්ට පත්වීම් දීමේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුණා. ඔවුන් පත්කිරිමේ චක්‍රලේඛය කලින්ද, ගෙන්නා ගෙන මම කියෙව්වා. ඒකේ පුදුම විදියේ ලකුණු දීමේ ක්‍රියාපටිපාටියක් තිබුණා. අධ්‍යාපන සුදුසුකම්වලට, ඒ කියන්නෙ උපාධියකට වෙන් කරලා තිබුණේ ලකුණු පහයි. ඉතිරි 95ම වෙන වෙන කරණාවලට. ලකුණු වැඩිපුරම දිය යුතු තැනට ලකුණු 5ක් ලබාදීම පුදුම වැඩක් නෙමෙයිද? මම එවලේම සම්මුඛ පරීක්ෂණ දිනය අවලංගු කළා. මේක හදලා තිබුණෙ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවා ඒකකයෙන්. මම දැන් මේ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවා තිබෙනවා. ඔවුන්ගේ අලුත් තීරණය එනතුරුයි බලා ඉන්නේ.
* කොහොම නමුත් සමස්ත ලංකාවේම අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික වගකීමක් ඔබට තිබෙනවා නේද? කොහොමද ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වන්නේ?
පළාත් සභා කළ යුතු දේ පළාත් සභා කළ යුතුයි. අපි අතර වගකීම ඉටුකරනවා. ඉදිරියේදී පළාත් අධ්‍යාපන බලධාරින් සමඟ සාකච්ඡා කිරීමටත් අපි පියවර ගන්නවා.

මේ සම්බන්ධයෙන් නීති පනවන්න ඕනෑ

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ

* දේශපාලන අධිකාරිය හා අධ්‍යාපන ක්ෂේත්‍රය අතර ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් අනාගත දරුපරපුරට බලපාන්නේ කිනම් අයුරින්ද?
දරුවකු උසස් පුරවැසියකු බවට පත් කිරීමට ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. මූලිකවම බලපාන්නනේ ගෙදර. ඊළඟට පාසල. පාසල කියන්නේ විශ්ව සංකල්පයක්. ලෝකයට වැඩදායි පුද්ගලයකු බිහි කරන්නේ පාසලයි. දරුවා බොහෝ දේ අනුකරණය කරන්න ඉගෙන ගන්නේ පාසලෙන්. අධ්‍යාපනය වගේම බොහෝ වටිනාකම් ඉගෙන ගන්නේ පාසලෙන්. ඒ නිසා පාසල කියන්නේ පරමාදර්ශී ආයතනයක්.
මූලික මිනිස් අයිතීන්, එකිනෙකාට ගෞරව කිරීම්, රටේ නීතියට අනුව ජීවත්වීම යනාදී සියලු දේ මූලිකම ඉගෙන ගන්නේ පාසලෙන්. එවැනි ස්ථානයක ගුරුවරියක දණ ගැස්සවූ දේශපාලකයෙක් නැවත එම විද්‍යාලයේම ආරාධිත අමුත්තකු ලෙස කැඳවීම ඛේදවාචකයක්.
මේ ගෙන්වන අය විශේෂිත පුද්ගලයන් වෙන්න ඕනේ. ඔවුන් දරුවන්ගේ වීරයෝ බවට පත් විය යුතු වෙන්න ඕනෑ. එවැනි අය ආරාධිතයෝ වුණොත් තමයි දරුවන්ගේ පෞරුෂ වර්ධනයට එය හේතුවක් වෙන්නේ.
* මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?
මෙතැනදී එක් එක් ආයතන එකිනෙකාට වගකීම් පවරමින් ඉදලා හරියන්නේ නෑ. මම නම් කියන්නේ ජනාධිපති කොමිසමක් හෝ පත් කරලා මේ දේවල් නැවත නොවෙන්න නීති රීති සකසන්න ඕනේ. බොහෝ වෙලාවට අපේ රටේ වැඩි අවධානය යොමු වන්නේ විෂය නිර්දේශවලට පමණයි.
නමුත් මේ දේවල් සම්බන්ධයෙනුත් නීති රීති, ජාතික ප්‍රතිපත්ති සෑදිය යුතුයි. විශේෂයෙන්ම ආණ්ඩුවට වගේම අධ්‍යාපන අමත්‍යාංශයට මේ සම්බන්ධයෙන් විශේෂ වගකීමක් තියෙනවා. හෙට දවසේ නැවත මෙවැනි දේවල් නොවෙන්න කටයුතු යෙදීම ඒ අයගේ වගකීමක්.

දුෂ්ට චරිතවලට අනුබල දෙන්න හොඳ නැහැ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය ආර්. ඒ. ඩබ්. රණසිංහ

* අධ්‍යාපන ක්ෂේත්‍රයේ වරින්වර විවිධාකාර ආන්දෝලනාත්මක සිදුවීම් වෙනවා. එහිදී දේශපාලකයන්ගේ මැදිහත්වීම වැඩියි. මොකද ඔබ මේ ගැන හිතන්නේ?
ඥානයෙන් හා උගත්කමින් අඩු අය තමන්ට නැති ශක්තිය පෙන්වන්න යන්නේ ශරීර ශක්තියෙන්. එවැනි අඳබාල පුද්ගලයන්ට දේශපාලන බලය ලැබුණාම ඔවුන්ගේ මන්දබුද්ධික ස්වභාවයන් ආවේගශීලීව පිටවෙන්නේ සමාජය වෙතටයි. මේ නිසා තමයි ඔය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ගුරුතුමියව දණ ගැස්සුවේ. මගේ අණසක පිළිගත යුතුයි යන ඔටුනු නොපළන් මෝඩ රජවරුන්ගේ ක්‍රියා කලාපවල ස්වභාවය තමයි ඒ.
කොහොම වුණත් යම් වැරැද්දක් කළ පුද්ගලයකුට නිවැරැදි වෙන්න අවස්ථාව තියෙනවා. ප්‍රසිද්ධියේ සමාජයෙන් සමාව අරගෙන නැවත එවැනි වරදක් සිදු නොවන බවට යම් වරදකරුවකු පොරොන්දු වුවහොත් ශීලාචාර සමාජයට ඔහුව නැවත පිළිගැනීමේ කිසිදු ප්‍රශ්නයක් නෑ.
එහෙත් එසේ නොවන නොහික්මුණු දේශපාලකයන් පාසලකට ගෙන ඒමෙන් සිදුවන්නේ දුෂ්චරිතයන්ට අනුබල දීමයි. ඒ වගේම පවතින ක්‍රමය පිළිබඳ ශීලාචාර සමාජයට කලකිරීමක් ඇතිවෙනවා.
* මේ තත්ත්වය වැළැක්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?
මේ ප්‍රාථමික ක්‍රියා නැවැත්වීමට වහාම පියවර ගන්න ඕනෑ. ආචාර ධර්ම හෝ සාරධර්ම මත මෙවැනි ක්‍රියා වැළැක්වන්නේ නැත්නම් චක්‍රලේඛයකින් හෝ ඒවා වැළැක්වීමට පියවර ගත යුතුයි. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේදී මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි.

සිදුනොවිය යුතු දෙයක්

වයඹ පළාත් සභා අධ්‍යාපන ඇමැති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ

* මේ සිදුවීම ගැන ඔබේ අදහස මොකක්ද?
මෙය සිදු නොවිය යුතුව තිබුණා. විදුහල්පතිවරයා ආරාධනා කිරීම වගේම හිටපු මන්ත්‍රීවරයා මෙතැනට පැමිණීමත් වරදක් විදියටයි මා දකින්නේ.
කොහොම නමුත් මට ඇතුළු ප්‍රදේශයේ දේශපාලනඥයන් කීප දෙනකුටම මීට ආරාධනා කර තිබුණා. මටත් අන් අයටත් වෙනත් වැඩ යෙදී තිබුණ නිසා යන්න බැරි වුණා. ඒ නිසා ඔහු නිකම්ම ප්‍රධාන ආරාධිත අමුත්තා බවට පත්වෙලා. ගුරුවරිය දණ ගැස්සවූ සිදුවීමත් සමඟ තමන්ට නැතිවූ සබඳතා යළි ගොඩනඟා ගන්න ඔහු එතැනට එන්න ඇති. ඒත් විදුහල්පතිතුමා දැනගන්න ඕනෙ මෙවැනි පුද්ගලයෙක් කැඳවන්නේ නැතිව ඉන්න.
මෙවැනි කටයුතුවලට ආරාධනා කරන්නේ පාසල් සංවර්ධන කමිටුවයි. එතැනදී මූලිකවම විදුහල්පතිතුමාට බලය තිබෙනවා. ඒත් කමිටුවේ යම් යම් යෝජනාත් සලකා බැලෙනවා. මේ හිටපු මන්ත්‍රීවරයා පාසලේ සංවර්ධන කටයුතුවලට හුඟක් දායක වෙලා තියෙනවා. මොකද ඔහුගේ දරුවන්ද මේ පාසලට එන නිසා. තවමත් ඔහුගේ දරුවෙක් මෙහි ඉගෙනුම ලබනවා. ඒ නිසා කමිටුවත් ආරාධනා කරන්න ඇති.
කොහොම නමුත් පාසලකට ආරාධනා කළ යුත්තේ කිනම් පුද්ගලයන්ටද යන්න ගැන මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අපට චක්‍රලේඛයක් නිකුත් කරලා නෑ. තූර්යවාදක කණ්ඩායම ගැන විතරයි සඳහන් කරලා තියෙන්නේ.
එහි තූර්ය වාදක කණ්ඩායමට පිළිගත හැකි පුද්ගලයන් ගැන පමණක් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමැති, කතානායක, ප්‍රධාන අමාත්‍ය, අධ්‍යාපන අධ්‍යක්ෂ වගේ තනතුරු කීපයක් පමණයි තූර්ය වාදක ‍කණ්ඩායම මගින් පිළිගත හැකිවන්නේ.
* සම්ප්‍රදායන් හා ආචාර ධර්ම රකින්නේ නැති තත්ත්වයක් යටතේ මෙවැනි දේ පිළිබඳ චක්‍රලේඛයක් හෝ නිකුත් කළොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යංශය එවැන්නක් කළොත් හොඳයි. එවැනි දෙයකට එක පළාතකට පමණක් තනි තීරණයක් ගන්න අසීරුයි. එහෙම නැතිනම් ගුරු සංගමය හෝ විදුහල්පති සංගමය හෝ සංගමයක් අධිකරණය හමුවට ගිහින් නීතිමය නියෝගයක් ගෙනාවොත් අපිට පුළුවන් එම නියෝග ක්‍රියාත්මක කරන්න.
කොහොම වුණත් වැරැදිකරුවකුට යම් දඬුවමක් ලැබුණාට පස්සෙ දිගින් දිගටම ඒ පස්සෙ එලවීමත් ඒ තැනැත්තාගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වෙන්න පුළුවන්. වැරැදිවලට දඬුවම් ලබපු විදුහල්පතිවරුත් ඉන්නවා. පාර්ලිමේන්තු මැති අමැතිවරුත් ඉන්නවා. ඒත් ඒ සිද්ධියට දඬුවම් ලබා හෝ නීතිමය ක්‍රියාමාර්ග අවසන් වුණාම ඔවුන් නැවත රාජකාරී කටයුතුවලත් යෙදෙනවා. ඒ නිසා මේවා නීතියෙන්ම කරන්නත් අමාරුයි. අපේ සදාචාරය හා අවබෝධය තමා වඩා වැදගත්.

දේශපාලන පත්වීම් නැවැත්විය යුතුයි

ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු

* හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් ගුරුවරියක් දණ ගැස්සවූ සිද්ධිය මේ රටේ මහත් ආන්දෝලනයට ලක්වුණා. එහෙත් ඒ මන්ත්‍රීවරයා එම විද්‍යාලයේ ම ප්‍රධාන අමුත්තා ලෙස පසු ගියදා ක්‍රීඩා උත්සවයට සහභාගී වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ?
පාසලක යම් උත්සවයක් තිබෙන අවස්ථාවක ඒ උත්සවයට අමුත්තන්ට ආරාධනා කරන්නේ විදුහල්පතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක්. එහිදී කමිටුවේ සාමාජිකයන්ට පුළුවන් විවිධ අයව යෝජනා කරන්න. ඒත් වැරැදි අයකුව යෝජනා වුණොත් විදුහල්පතිවරයාට හැකියාවක් තියෙන්න ඕනෙ ඒ වැරැද්ද නිවැරැදි කරන්න.
* මෙතැනදී වැරැද්ද නිවැරැදි වෙලා නෑ. ඇයි ඒ?
මෙහෙම වෙන්නේ දේශපාලන හිතවත්කම් මත විදුහල්පතිවරු පත් කිරීම නිසයි. සුදුසුකම් මත යම් ප්‍රතිපත්තියක් මත විදුහල්පතිවරු පත් කරන්න කියලා අපි අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා. මේ වෙනකොට පළාතේ මහජන නියෝජිතයන් එහෙම සම්මත කරගත් මාරු ප්‍රතිපත්තියකුත් තියෙනවා. ඒත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නෑ. දේශපාලන සම්බන්ධකම් මත තමයි මාරුවීම් පවා සිද්ධ වෙන්නේ. දේශපාලන පත්වීම්, මාරුවීම් වෙනකොට විදුහල්පතිවරුන්ට වැඩ කරන්න වෙන්නේ ඒ ඒ දේශපාලකයන් කියන විදියටයි. ඒ නිසා දේශපාලන මැදිහත්වීම්වලින් තොර නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇතිව අධ්‍යාපනය ක්ෂේත්‍රයේ කටයුතු සිද්ධ වෙන්න ඕනෑ.
* විදුහල්පති සංගමය මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ගයක් තියෙනවාද?
මේ සිද්ධ වුණේ වැරැද්දක්. ගුරුතුමිය දණ ගැස්සුවා මෙන්ම මේ වැරැද්දත් බරපතළයි. ආරාධනා කිරීම ත් ආරාධනාව පිළිගැනීමත් වැරැද්දක්. මෙහි අතීත සිදුවීමෙන් එම ගුරුතුමිය වගේම ඒ දවස්වල සිටි විදුහල්පති ‍ඇතුළු ගුරු මණ්ඩලයත් විශේෂයෙන්ම දරු පිරිසත් මහත් අසීරුතාවට පත්වුණා. එවැනි සමාජ විරෝධී දෙයක් සිද්ධ වී තිබෙද්දිත් මේ සිද්ධ වුණේ වැරැද්දක්. මේ පිළිබඳ විරෝධය දක්වමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට අපි සංගමය විදියට පළාත් අධ්‍යාපන ඇමැතිවරයාට ලිපියක් යැව්වා. අධ්‍යාපන ඇමැතිවරයා මේවන කොට මේ විදුහල්පතිවරයාව කලාප අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා තිබෙනවා.
* මේ විදුහල්පතිවරයා චක්‍රලේඛ පවා උල්ලංඝනය කර තිබෙනවා නේද?
ඔව්. අපි ඒ බවත් ඇමැතිවරයාට දන්වා තිබෙනවා. සාමාන්‍යෙයන් පාසල් තූර්ය වාදන කණ්ඩායම වාදනය කරන්නනේ ජනපති, අගමැති, අධ්‍යාපන ඇමැති වගේ විශේෂිත පුද්ගලයන් එනවිට පමණයි. ඒත් මේ හිටපු මන්ත්‍රීවරයා කැඳවාගෙන ඇවිත් තිබෙන්නේ තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගෙනයි. එහෙම ප්‍රභූ පිළිගැනීමක් කරන්න නීතියෙනුත් අයිතියක් නෑ.
මේ සිදුවීම නිසා පාසලේ දරුවන් හා ගුරු මණ්ඩලය මහත් අසීරුතාවට පත්වෙලා තියෙනවා. ආරාධනා ලැබී ඇවිත් සිටි වෙනත් පාසල්වල විදුහල්පතිවරු මේ අවස්ථාවට සහභාගී නොවී නැඟිට ගිහින් තිබෙනවා.
* මෙවැනි තත්ත්වයන් ඇති නොවෙන්න නම් මොනවාද කළ යුත්තේ?
රාජ්‍ය මට්ටමින් ප්‍රතිපත්ති හදන්න වෙනවා. අපි මේ වන විටත් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා අධිකරණයෙන් වැරැදිකරුවන් වූ අයට, විවිධ චෝදනාවන්ට ලක්වූ පුද්ගලයන්ට පාසල්වලට ආරාධනා කරන්න ඉඩ දෙන්න එපා කියලා.

සම්පූර්ණ වැරැද්ද විදුහල්පතිවරයාගේ

ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින්

* ගුරුවරියක් දණ ගැස්සු පළාත් සභා මන්ත්‍රීම එම පාසලේම උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ කොහොමද?
ඒක තමයි අපි කියන්නෙත්. යහපාලනය පවතිනව නම් මේව වෙන්න බැහැ. මේ පළාත් සභා මන්ත්‍රීට විරුද්ධව පුත්තලම මහාධිකරණයේ නඩු පවරලා, වසර දෙකක සිරදඬුවමක් දුන්නා වසර අටකට අත්හිටුවල. ගුරුවරියට ලක්ෂ 3 ක වන්දි මුදලක් ගෙවන්නත් නියම වුණා. ගුරුවරිය එම මුදලින් ශිෂ්‍යත්ව අරමුදලක් හැදුවා “අහිංසාව” කියල.
සමස්ත ගුරු පරපුරම පාරට බැහැල එදා ඒ ගුරුවරිය වෙනුවෙන් පෙනී හිටල කරපු සටනෙන් පස්සෙ තමයි ජයග්‍රහණය කළේ. මේ පාසලේ විදුහල්පතිවරයා තමයි මොහුට ආරාධනා කරලා තියෙන්නෙ. මේක මේ රටේ සමස්ත ගුරු පරපුරටම කරපු කැළලක්. සම්පූර්ණ වැරැද්ද විදුහල්පතිවරයාගෙ. මෙවැනි විදුහල්පතිවරුන්ට උපරිම දඬුවම් දිය යුතුයි.
* විදුහල්පතිවරයා එහෙම දෙයකට පෙලඹෙන්න ඇත්තෙ ඇයි කියලද ඔබ හිතන්නෙ.
මෙවැනි විදුහල්පතිවරු නිසා තමයි පාසල් අධ්‍යාපනය කඩා වැටෙන්නෙ. දේශපාලනඥයන් ඉස්සරහ දණින් වැටෙන මොවුන් ළමයින්ට දෙන ආදර්ශය මොකක්ද? මෙවැනි දීන විදුහල්පතිවරු මේ පද්ධතියටම කැළලක්. පාලකයන් සමඟ අපි ගැටෙනව වගේම මෙවැනි අය සමඟත් අපි ගැටෙනවා. පාසල් පද්ධතියම මෙවැනි වැඩවලින් නිදහස් කරගත යුතුයි.
* ඔබ සංගමයක් හැටියට මේ සඳහා මැදිහත් වුණාද?
ගුරු සංගම් කතා කරනතුරු අධ්‍යාපන බලධාරීන් නිහඬව හිටියේ. තවම වැඩ තහනම් කරල නැහැ. කලාප අධ්‍යාපන කාර්යාලයට මාරුවීමක් දීල විතරයි තියෙන්නෙ.
* යහපාලනය තුළත් නිලධාරීන් මෙවැනි කටයුතු සඳහා පෙලඹෙන්නෙ ඇයි?
මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කළේ මෙවැනි දේ සිදු නොවීමට. දූෂණය, හොරකම් පිළිබඳ ආණ්ඩුව තවමත් දක්වන සහනශීලී පිළිවෙත නිසා රාජ්‍ය නිලධාරීන් හිතනව ඇති තවමත් මෙවැනි දේ සඳහා ඉඩකඩ ඇති කියල. අපි ඒ හින්දා මේ ආණ්ඩුවට කියනව වැරදි කරන අයට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කියල.
සංවාද සටහන

සුමේධා නවරත්න

දුමින්ද සම්පත්

http://dinamina.lk/