V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Showing posts with label ගී පද. Show all posts
Showing posts with label ගී පද. Show all posts

Monday, January 11, 2016

නොමියෙන ප්‍රබුද්ධයා .....................>>>

මහගම සේකර


මහගමසේකරගේ නිර්මාණාත්මක ප්‍රතිභාව බහුවිධාකාරය. ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක වරක් සේකර නිරත වූ කලා මාධ්‍ය සංඛ්‍යාව ගණනය කර දැක් වූයේ ය. ඔහුට අනුව ප්‍රමාණය දහතුනකි. ඒ මෙපරිදි ය.
සේකර (1) චිත්‍ර ශිල්පියෙකි. (2) කවියෙකි. (3) ගීත නිබන්ධකයෙකි. (4) නවකතාකරුවෙකි. (5) කෙටිකතාකරුවෙකි. (6) වේදිකා නාට්‍ය රචකයෙකි. (7) චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. (8) තිර රචකයෙකි. (9) කලා අධ්‍යක්ෂවරයෙකි. (10) පරිවර්තකයෙකි. (11) දේශකයෙකි. (12) ආචාර්යවරයෙකි. (13) පර්යේෂකයෙකි.
ඊට පරිබාහිරව ගත් විට සේකර පොත් පිටකවර නිර්මාණ ශිල්පියකු ලෙසත් බතික් නිර්මාණ ශිල්පියකු ලෙසත් පෝස්ටර් නිර්මාණ ශිල්පියකු ලෙසත් පුවත්පත් කාටුන් ශිල්පියකු ලෙසත් එම්බ්‍රොයිඩර් නිර්මාණ ශිල්පියකු ලෙසත් මූර්ති ශිල්පියකු ලෙසත් ගුවන්විදුලි පිටපත් රචකයකු ලෙසත් අනේකවිධ කුසලතා විදහා පා ඇත.
සේකරගේ සුවිශේෂත්වය වන්නේ ඔහු තමා නිරත සෑම කලා මාධ්‍යයකින්ම ඉහළම නිර්මාණ මහිමයක් ප්‍රකට කිරීමය. එය කලාකරුවකු වෙතින් දුර්ලභ වශයෙන් පහළ වන්නා වූ ගුණාංගයකි.
සේකර වඩාත් විශිෂ්ට වන්නේ කවියකු වශයෙන් යැයි කීම විවාදයෙන් තොර කියමනකි. ඔහු ස්වකීය ජීවිත කාලයේදී කවි පොත් අටක් ප්‍රකාශයට පමුණුවා ඇත. ඒ මෙආකාරයෙනි. (1) 'ව්‍යාංගා' (කේ. ජයතිලක සමඟ) (2) 'සක්වා ලිහිණි' (3) 'හෙට ඉරක් පායයි' (4) 'මක්නිසාද යත්' (5) 'රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත' (6) 'බෝඩිම' (7) 'නොමියෙමි' සහ (8) 'ප්‍රබුද්ධ'. මේවා නූතන සිංහල කවියේ සරුසාර අස්වැන්න ලෙස අපට සැලකිය හැකිය.
සේකර එක් පැත්තකින් කොළඹ කවියත් තවත් පැත්තකින් පේරාදෙණි කවියත් අතික්‍රමණය කළ අයකු ලෙස මම දකිමි. එය කෙතරම් ද කිවහොත් මුල් කාලයේදී ඔහු නිසඳැස් කවි උපහාසයට පවා ලක්කර ඇත.
සමස්තයක් විදියට ගත් විට සේකරගේ කවිවලින් කියැවෙන්නේ අයුක්තියෙන් අධර්මයෙන් පිරි මේ ධනවාදි සමාජය විවේචක යථාර්ථවාදී දෘෂ්ටියකින් විවරණය කොට, එය පිටුදැක ධර්මය වටහාගත හැකි, සත්‍යය, සුන්දර බව දැකගත හැකි උත්තර සමාජයක් ගොඩනැංවීම පිළිබඳ යැයි සිතමි.
සේකර මුල් කාලයේදී ඉපනැල්ලේ කරල් අහුලන එතනලා ගැනත් කවි ලියා තිබෙනවා නොවේදැයි ඇතැම් විශ්වවිද්‍යාල ඇදුරන් ප්‍රශ්න කළේ ඔහු වැළලීමේ කැත, නින්දිත කුමන්ත්‍රණයකට සහභාගි වෙමිනි. ඇත්ත වශයෙන් ම සේකරගේ අවසාන කාව්‍ය සංග්‍රහය වූ ද, ඔහුගේ උත්කෘෂ්ටතම කාව්‍ය කෘතිය වූ ද 'ප්‍රබුද්ධ' පළවී මාස ගණනාවක් යනතුරුම ඒ ගැන කිසිදු කතිකාවක් සිදු නොවූ බව වරක් ප්‍රවීණ ලේඛක එච්. ඒ. සෙනෙවිරත්න වරක් හෙළිදරව් කර සිටියේය. මේ කාව්‍ය කෘතියේ විශිෂ්ටත්වය සමාජගත වූයේ පසුකලෙකදී ය.
සේකර ඔහුගෙන් පසුව බිහි වූ රත්න ශ්‍රී විජේසිංහ ප්‍රමුඛ නව තරුණ කවි පරපුරකට ප්‍රදීපාලෝකයක් වූ ආකාරය දැක්ක හැකිය. සේකර නිසඳැස් කවිය වඩාත් සුඛනම්‍ය කළ බවත් එසේ නොවන්ට එය විශ්වවිද්‍යාලයටම සීමා වන්ට ඉඩ තිබුණු බවත් මහාචාර්ය සෝමරත්න බාලසූරිය වරක් මා සමඟ කියා සිටියේය.
ගීත රචකයකු වශයෙන් ද සේකරගේ යුග කාර්යභාරය ප්‍රශංසනීය ය. ඔහු ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමඟ එක්ව 'මධුවන්ති' වැනි ගුවන්විදුලි වැඩසටහන් ඔස්සේ ද, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ද සරල ශාස්ත්‍රීය ගී සම්ප්‍රදායක් බිහි කළේ ය. අද සුභාවිත ගීතය ලෙස අප ආදර්ශ කර ගන්නේ එයයි. මෙහිදි ද ඇතැම් කුහක එදිරිවාදිකාරයන් සේකරගේ ප්‍රතිභාව ගර්හාවට ලක්කළ ආකාරය පෙනේ. 'මළහිරු බැස යන හැන්දෑ යාමේ', 'මා මළ පසු සොහොන් කොතේ' වැනි නිබන්ධ, කොළඹ කවීන්ගේ සමනල් අදහස්ම අලුත් ආකෘතියකින් එළිදැක්වීමක් ලෙස ය ගුණදාස අමරසේකර ප්‍රකාශ කර ඇත්තේ.
සේකර නමැති චිත්‍ර ශිල්පියා ද අතිශය නිර්මාණශීලිය. කේ. ජයතිලකගේ මතය වන්නේ සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත්‍ර කලාවට බව ය. කවියේදී මෙන් ම චිත්‍ර කලාවේදී ද මුල් යුගයේ ඔහු අමුර්ත චිත්‍ර ගර්හාවට ලක් කර ඇත. එහෙත් පසුව ඔහු නිර්මාණ බිහි කළේ එම චිත්‍ර ශෛලිය ප්‍රගුණ කරමිනි. මා නිවැරැදි නම් සේකර අවස්ථා තුනකට වඩා චිත්‍ර ප්‍රදර්ශන පවත්වා නැත. ඔහුගේ චිත්‍ර නිර්මාණ විග්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකිය. (1) ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත්‍ර (2) 'තුංමංහන්දිය' චිත්‍රපටය සඳහා නිර්මිත චිත්‍ර (3) පුවත්පත් කාටුන් (4) පොත් කංචුක නිර්මාණ (5) ඉලස්ට්‍රේෂන් (සන්නිදර්ශන) (6) බතික් නිර්මාණ (7) එම්බ්‍රොයිඩර් නිර්මාණ සහ (8) පෝස්ටර්
සේකරගේ චිත්‍ර ගැන මෙතෙක් නිසි විචාරක අවධානයක් යොමු වී නැත. එහි විපාක වශයෙන්දෝ සේකර නමැති චිත්‍ර ශිල්පියා යටපත්ව සේකර නමැති කවියා හා ගීත රචකයා බිහි වූ ආකාරයක් පෙනේ. මෙහි ප්‍රතිවිරුද්ධ දේ සිදු වූයේ ජෝර්ජ් කීට්ය. එහිදී ජෝර්ජ් කීට් නමැති කවියා යටපත්ව ජෝර්ජ් කීට් නමැති චිත්‍ර ශිල්පියා බිහි වූයේ ය.
සේකර නවකතා දෙකක් ද කෙටිකතා සංග්‍රහ දෙකක් ද ලියා පළ කර ඇත. ඔහුගේ නවකතාවක් වූ 'තුංමංහන්දිය' ඔහු විසින්ම චිත්‍රපටගත කරනු ලැබිණි. එය 70 දශකයේ හොඳම චිත්‍රපටය ලෙස ජාතික කතෝලික සිනමා පර්ෂදයෙන් බුහුමන් ලද්දේ ය. 1997 දී සිංහල සිනමාවට 50 වසරක් පිරුණු අවස්ථාවේ තේරූ හොඳ ම චිත්‍රපට දහයෙන් එකක් ලෙස ද 'තුංමංහන්දිය' තේරුණේ ය. එසේම එය 1972 දී ටෂ්කන්ට් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී ඩිප්ලෝමා සහතිකයක් ද දිනාගත්තේ ය.
'මූදු පුත්තු' (ගුණසේන ගලප්පත්ති සමඟ) සේකර ලියූ වේදිකා නාට්‍ය පිටපතකි. ඔහු ලියූ වෙනත් නාට්‍ය 'සද්දන්ත සහ තවත් නාටක', 'හංස ගීතය හා වෙනත් නිර්මාණ' යන කෘතිවල අඩංගු වෙයි.
සේකර සර් ආතර් කොනන් ඩොයිල්ගේ 'ද වයිට් කම්පැනි' නම්වූ කෘතියේ අනුවාදයක් 'ධවල සේනාංකය' නමින් පළ කර ඇත. ඒ හැරුණුකොට තවමත් අප්‍රකාශිත ඔහුගේ පොත් දෙකක් ගැන ද කියැවෙයි. එකක් 'ඊඩිපස්' නාට්‍යයේ පරිවර්තනයකි; අනික ඊට ඉහත ජී. බී. සේනානායක ද මඩවල එස්. රත්නායක ද පරිවර්තිත 'රුබයියාට්' කෘතියේ පරිවර්තනයකි.
සේකර අතිශයින් නිර්ව්‍යාජ කලාකරුවෙකි. ඔහු කොළඹ රැකියාව කොට දුම්රියෙන් ගෙදර ආ කල්හි අමුඩයක් ඇඳ ළි‍ඳෙන් හෝ පීල්ලකින් නා ගනී. එවිට ඔහු මහා කවියා නොවේ. මහා කලාකරුවා නොවේ. ගමේ ජෝන් අයියාගේ පුතාය. සේකර 'තුංමංහන්දිය' නවකතාවේ (එසේම පසුව චිත්‍රපටයේ) අබිලිංගේ චරිතය ඔස්සේ මැවූයේ තමන්ගේ ම ප්‍රතිරූපය ම යැයි වරෙක සිතේ. ඔහු සම්මානවලින් හිස උදුමවා ගත්තේ නැත. 'තුංමංහන්දිය' චිත්‍රපටයට ටෂ්කන්ට් සම්මානය ලැබුණු බව දැනගත් විට ඔහු උපේක්ෂා සහගතව කියා ඇත්තේ 'හොඳා - හොඳා' කියා ය.
සේකර කිසිදා ධනෝපායනය උදෙසා කලාව පරිහරණය කළ අයෙක් නොවීය. ඔහු එය පිළිකුල් කළා සේය. සැබෑ කලාකරුවා සන්තුෂ්ටියට පත්වන්නේ ස්වකීය නිර්මාණයෙන්මය; රසිකයා එය වැලඳ ගත් කල්හිය.
සේකර තමා නිරත සියලු කලා මාධ්‍ය ඔස්සේ රසිකයාගේ කලා රුචිකත්වය වර්ධනය කළේ ය. සමාජය විනිවිද යන්ට දැක්මක් පාදා මතුකර දුන්නේ ය. එහෙත් සමාජයෙන් ඔහුට පෙරළා ලැබුණේ කුමක් ද?
ඔහු උපන් ගමේ ඇතැමුන් කියා ඇත්තේ සේකර මොන තරම් ප්‍රසිද්ධ පුද්ගලයකු වුවත් ගමට එක බෝක්කුවක් බැඳ දීම තරම්වත් සේවයක් කර දී නැති බවය. (අරීසෙන් අහුබුදු කලාකරුවා මියයද්දිත් ඔහුට ඔහු උපන් ගමෙන් ලැබුණේ මෙවන් ප්‍රතිචාරයකි) සේකරගේ පිළිරුව නොයෙක් වර කඩා බිඳ දැමීම්වලට ලක්වූයේ ය. කුල සාධකයක් ද ඊට ඈඳා ගත් ආකාරය දිස්වෙයි.
ගමෙන් පමණක් නොව රටින් පවා සේකරට එතරම් යහපත් සත්කාරයක් නොලැබුණු බව පෙනේ. 'බෝඩිම' කාව්‍ය සංග්‍රහයෙන් පිටපත් කීපයක් විකුණා ගන්ට සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවක සේකර ආපසු හරවා එවා තිබුණේ පොත් මිලට ගන්ට මුදල් නොමැති බව කියමිනි.
සේකර වෙනුවෙන් අද අපට කළ හැකි යමක් ඉතිරි ව ඇත. එනම්; ඔහුගේ සමස්ත නිර්මාණ දෙස අලුත් විචාර එළැඹුමකින් යුක්තව බැලීම ය. නූතන භාෂාවෙන් කිවහොත් නව කියැවීමක යෙදීමය. මෑතදී කේ. කේ. සමන් කුමාර එබඳු උත්සාහයක් ගත්තේ ය. ('සේකරගේ නොදුටු පැත්ත' නම්වූ ලිපි මාලාව) එහෙත් එය පරිසමාප්ත වූවක් නොවීය.
මහගමසේකර නම් වූ 'නොමියෙන ප්‍රබුද්ධයා' හැදෑරීම සමකාලීන කලාවේ පැතිකඩ ගණනාවක් අධ්‍යයනය කිරීමක් වන්නේය. මේ හැදෑරීමේදී මුලින් වේට්ටියක් හා දිග බැනියමක් ඇඳගෙන සඳැස් කවි ලියමින් නිසඳැස උපහාසයට ලක්කළ, අමුර්ත චිත්‍ර ගර්හාවට ලක්කළ සේකර පසුකලෙක විශාල පිම්මක් පැන නූතනවාදී කලාවට ආ හැටි විමසා බැලීම ද කළ යුතු යැයි අවධාරණය කරමි.

Monday, December 21, 2015

කලකට පෙර ඒ | Kalakata Pera Ea


කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ...//

උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එ‍ඬේරු ‍මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ

මරිය තුමීගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ
‍ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට ‍පිටුපෑවේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී

මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා
http://www.sinhalageethika.info/2011/12/kalakata-pera-ea.html

Monday, August 18, 2014

අහුබුදු සැමරුමට 'සමන් වැලේ මල්' 21 දා බිෂොප් විදුහලේ දී



අහුබුදු සැමරුමට 'සමන් වැලේ මල්' 21 දා බිෂොප් විදුහලේ දී

අරිසෙන් අහුබුදු කලාකරුවාණන්ගේ තෙවැනි සමරුව නිමිත්තෙන් සංවිධානය වන ‘සමන් වැලේ මල්’ ළමා ගී උලෙළ මෙම 21 වැනි දින පස්වරු 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. අයිවෝ ඩෙනිස්, ලක්ෂ්මන් විජේසේකර, නිශ්ශංඛ දිද්දෙණිය, රත්නා ලාලනි, ජගත් වික්‍රමසිංහ, ප්‍රියංවදා මධුභාෂිණි සමඟ නාලක ස්වර්ණතිලකගේ ‘වයිට්ලීෆ්’ ඇකඩමියේ සිසු දරුවෝ මෙයට සහභාගි වෙති.

Wednesday, March 27, 2013

ඉස්සර මං ගිය පාසල ඇරිලා



බුදුන් දවස ගහට කොලට මහත් ගෞරවයක් දැකි වූ යුගයකි. සිදුහත් කුමරුගේ උපත සිදු වූයේත්, බුදුන් වහන්සේ සම්බුද්ධත්වට පත් වූයේත්, උන්වහන්සේ පිරිනිවනට වැඩම වූයේත්, හරිත වන උයන් තුළ දීය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව අනිමිස ලෝචන පූජාව පවත්වන්නේ ද උන්වහන්සේට පිහිට වූ බෝ රුකටය. එසේ නම් මේ තුරු ලතා වෘක්ෂ මිහිතලයටම ආරක්ෂාව සපයන ඒවාම වේ. බුදුන් වහන්සේ   එ දවස දම් දෙසීම සඳහා වනාන්තර, වන ලැහැබ්, පිහිට කොට ගත් බවත්, ගංගා,  මහී, අචිරවතී, නර්මදා ආදී නදී තීරයන්හි සංචාරය කරමින් සමවත් සුවෙන් විසූ බව බොහෝ සූත්‍ර  දේශනාවන්හි සඳහන් වේ. එ දවස එසේ වී නම් අද දවසේ අප සහ පරිසරය අතර කොතරම් දුරස් වීමක් සිදුවී ඇත්දැයි අප විසින් ම නුවනින් විමසා බලා දැන ගත යුතුය.
රත්න ශ්‍රී විජේසිංහ කවියාද සොබා දහමට ගහට කොළට මහත් සේ ආදරය කළ කවියෙකි. ඔහුගේ බොහෝ කවි සහ ගීත රචනාවන් නිම වෙන්නේද පරිසරය සහ සොබාදහම ඇසුරින්ම ය.  රත්න ශ්‍රී ගේ “සුබ උදෑසන” පද්‍ය සංග්‍රහයේ “සුබ උදෑසන” කාව්‍යයෙන් මිනිසාගේ අකාරුණික කම් හේතුවෙන් පරිසරයේ  සිදුව ඇති  වෙනස  මෙසේ දකී.
“ඇවිලෙයි ගිනි කබල කඳු අතර ආකහේ
දූවිලි සුළඟ ගිනි පිඹ දුවයි වන පෙතේ
උල්පත් සොය සොයා ළැම සිඳුණු ගං තෙරේ
කළයත් රැගෙන මැළවී හිඳින නංගියේ
පිච්ච මල් මැරී ගිය කෲර සාගතේ
කන බොන දේත් උදුරා ගත්ත සාගතේ
පිපාසව හැඬු රැය නිහඬ වී ගියේ
උදෑසනද මේ නුඹෙ මිහිරී ජීවිතේ..”

රත්න ශ්‍රී සුබ උදෑසන පද්‍යයෙන් කියූ ඒ අදහස පසු කාලයේ කුමාරදාස සපුතන්ත්‍රී විසින් ගිතයකට නැගුවේ ය. සපුතන්ත්‍රී ද පරිසරයට මහත් සේ ආදරය කළ ගීත රචකයෙකි. ඔහු‍ ලියූ  සුනිල් එදිරිසිංහ ගැයූ “ඉස්සර මං ගිය පාසල ඇරිලා” එවැනි සොබාදහම ගැන ගැයුණු තවත් අපූරුව වූ ගීයකි.  
ඉස්සර මං ගිය පාසල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනි වී එනවා

ගහකොල සෙලැවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුණා

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැල පේලි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුස ගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ

පොත් පිටු අතරේ නොරැඳුණු දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවා වී පාසල් යන්නේ
මා දැයි නිකමට මට හිතුනා
ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී
තනුව සහ සංගීතය:
ගැයුම: සුනිල් එදිරිසිංහ