V I D U L A children's Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Lama Pitiya

The timbre of the children's programmes of yesteryear still remain evergreen..

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities....

V I D U L A - This is our R A D I O

Many aired their views on skills and activities.

V I D U L A Radio

The Sri Lanka Broadcasting Corporation's Vidula channel is the first ever radio channel in Sri Lanka as well as in Asia dedicated for the children.

Saturday, November 30, 2013

උදෑසනක අසිරිය


උදෑසනක අසිරිය


සඳ කුමරා හෙමින් හෙමින් බැසගෙන යනවා
හිරු කුමරා හෙමින් හෙමින් නැඟගෙන එනවා
කන්ද උඩින් රන් හිරු එළි නැඟලා එනවා
ඒ එළියෙන් අපේ ගමම අවදි කරනවා
හිරු කුමරා පිළිගන්නට මල් කැකුළු පිපෙනවා
පැණි බේරෙන පලතුරුවල සුවඳ හමනවා
ගම අයිනේ සාර කෙතේ සුවඳ දැනෙනවා
ඒ සුවඳින් අපේ ගමම නැහැවී යනවා
කුකුළු හාමි කුක්කු කූක් කියා හඬනවා
හැම ගෙදරම මුළුතැන් ගෙය වැඩෙහි යෙදෙනවා
කඩි මුඩියේ පුංචි ළමුන් අකුරට යනවා
ගොවි දෙවියෝ උදලු අරන් කුඹුරට යනවා
කුරුලු රෑන් කෑම සොයා ඉගිලී යනවා
තණ අග පිනිබිඳු මුතුකැට සේම පෙනෙනවා
හිරු කුමරා දැන් ටික ටික මුදුනට එනවා
සුන්දර උදයක අසිරිය ගමට ගේනවා
කළනි සඳලිකා ඉහළගම
9 ශ්‍රේණිය ‘බී’,
මධ්‍ය වි.,
අනුරාධපුරය

 http://www.silumina.lk/2013/12/01/_art.asp?fn=au1312011

උදය හිරු රැසින් තව මල් ප‍ූදින්නේ

උදය...

උදය හිරු රැසින් තව මල් ප‍ූදින්නේ
මකරන්දය සොයා සමනලු පියඹන්නේ
මල් වැනි ළමුන් පාසල වෙත යන්නේ
සුමිතුරු උදය මේ ලෙසටයි පවසන්නේ
රැකියාවලට යන මිනිසුන් හනි හනිකේ
විහඟ රංචු සුමියුරු ගී ගයමින්නේ
මඳ සුළඟින් ගස්වල දලු සෙලවෙන්නේ
මඳ නල ගත සිත කාගෙත් පුබුදන්නේ
දිල්මි තත්සරණි,
6 ශ්‍රේණිය ‘ඩී’,
රත්නාවලී බාලිකා විද්‍යාලය,
ගම්පහ.

http://www.silumina.lk/2013/12/01/_art.asp?fn=au1312011

කුරුලු සෙනෙහස

කුරුලු සෙනෙහස

ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවට වෙලා පත්තරයක් කියවමින් හිටපු වෙද මහත්තය කුරුල්ලන්ගෙ කෑගැසිල්ල ඇහිල මිදුලෙ. බුලත් කොටුවෙ තිබුණු කුරුලු කූඩුව දිහාව බැලුවා. කුරුලු අම්මයි තාත්තයි හයියෙන් කෑ ගහගහ කූඩුව දිහාවට ඇදෙන ලොකු ගැරඬියකු එළවනවා. කුරුල්ලන්ගෙ කෑ ගැහිල්ල ගාණක් වත් නෑ වගේ ගැරඬියා හීන් සීරුවෙ කුරුලු කූඩුව දිහාවට ඇදෙනවා. ගල්කැට කීපයක් අතට ගත්තු වෙද මහත්තය ගැරඬියට ගහල එළවල දැම්මා. මේ දවස් ටිකේ වෙද මහත්තයට තිබුණු වටිනාම රාජකාරිය වුණේ කුරුලු කූඩුවට එන ගැරඬියවයි, කුරුලු ගොයාවයි එළවන එක. කූඩුව දිහා බලල සැනසුම් සුසුමක් හෙළුව වෙද මහත්තය ආයිමත් හාන්සි පුටුවෙ දිග ඇදුණා.
ගුරු පාර දිගේ පාසල නිමාවෙලා ගෙදර යන ළමයි රංචුවක් දැකපු වෙද මහත්තයගෙ හිත අතීතෙට ඇදිල ගියා.
එදා බදාද දවසක්. හැමදාමත් වගේ එදත් වෙද මහත්තය ඉස්තෝප්පුවට වෙලා බලාගෙන හිටියෙ පුතා ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකම්. වෙද මහත්තයගෙ එකම දරුව රුවන්. ගමේ ඉස්කෝලෙ ඉගෙන ගත්තු රුවන්ගෙ බලාපොරොත්තුව වුණේ වෛද්‍යවරයෙක් වෙන්න.
“පුතා දැන් ළඟ එනව ඇති. එයා එනකම් මහත්තය කමුකො” හාමිනේ බත් එක බෙදාගෙනම ඇවිත් තිබුණා.
“මේ දවස්වල රටේ වෙන දේවල් ඇහුවම මට මේ දරුව ගැන මහ බයක් දැනෙනව හාමිනේ.”
“මහත්තයට නොකීවට මමත් හරි බයෙන් ඉන්නෙ”
දෙන්නදෙමහල්ලන්ගෙ කථාව නැවතුණේ කඩුල්ල පැනගෙන එන රුවන් දැකල.
“ෂා... මරුනේ කිරිකොස් උයල. මට නම් අද යකෙක් කන්න තරම් බඩගිනියි. අප්පච්චි කටක් කවන්නකො” පිඟානෙන් කොස් ඇටයක් අරන් කටට දාගත්තු රුවන් වෙද මහත්තය ළඟ වාඩි වුණා.
හාමිනේ රුවන්ට බත් බෙදාගෙන ආවා. රුවන් හාමිනේගෙ අතින් බත් එක ගන්නකොටම වේගයෙන් ගුරු පාර දිගේ ආපු වාහනයක් කඩුල්ල ළඟ නතර කළා. සිද්ධ වෙන්න යන්නෙ මොකක්ද කියල හිතා ගන්නවත් තුන්දෙනාට බැරිවුණා. වාහනෙන් බැහැල දුවගෙන ආපු තුවක්කු ගත්තු මිනිස්සු හතර දෙනාගෙන් දෙන්නෙක් රුවන් අල්ල ගත්තා. රුවන්ගෙ අතින් බිමට අතඇරුණු පිඟානෙ තිබුණු බත් රුවන්ගෙ කකුල් දෙක පාමුල විසිරිලා ගියා.
හාමිනේගෙයි වෙද මහත්තයගෙයි විලාප මැද්දෙන් උන් රුවන් ඇදගෙන ගිහින් වාහනේට දැම්මා. දරුවව ගෙනියන්න එපා කියල උන්ගෙ ඇගේ එල්ලුණ හාමිනේවයි වෙද මහත්තයවයි පැත්තකට ඇදල දාපු උන්ගෙ වාහනේ රුවනුත් අරන් ගුරු පාරේ නොපෙනීම ගියා.
රුවන්ගේ කරෙන් ගැලවිලා වැටුණු යන්තරෙත් පපුවට තියාගෙන හාමිනේ විලාප තියද්දී වෙද මහත්තයා රුවන් හොයන්න ගියා. හැම කඳවුරකම, හැම පොලීසියකම පුතා හෙව්වත් ඒ එක තැනකවත් රුවන් හිටියෙ නෑ. පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල මේ හැම තැනම ගිය වෙද මහත්තයයි හාමිනෙයි පුතා හොයන්න හුඟාක් මහන්සි වුණා. අන්තිමට භීෂණ යුගය ඉවර වුණා. රුවන්ගෙ නම අතුරුදන්වූවන්ගේ නාම ලේඛනයට වැටුණා.
වසර ගණනක්ම යන්තරෙත් තුරුලු කරගෙන පුතා එනකම් මඟ බලාගෙන හිටපු හාමිනේ මානසික රෝගියෙක් වුණා. තවත් දවසක වැඩිපුර බේත් පෙති බීපු හාමිනෙත් වෙද මහත්තය දමල යන්න ගියා. තනිවුණු වෙද මහත්තයට මාරය තමන් එක්කගෙන යනකම් උපේක්ෂාවෙන් මඟ බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. තිබුණු හැම දේපළක්ම පාසලට ලියල දුන්නු වෙද මහත්තය පිනක් දහමක් කරගෙන ජීවත් වෙන්නෙ හතුරෙකුවත් මේ වගේ දුකක් උහුලන්න සිද්ධ වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරගෙනමයි.
එක පාරටම කුරුලු කූඩුව පැත්තෙන් ඇසුණු කුරුල්ලන්ගෙයි පැටියගෙයි කෑ ගැසිල්ලට වෙද මහත්තයගෙ කල්පනා දැහැන බිඳුණා. ගල් කැටයකුත් අහුලගත්තු වෙද මහත්තය ඉක්මනටම කුරුලු කූඩුව දිහාවට දිවුවා.
ඒත්... කුරුලු ගොයාගෙ හොටට හිරවෙලා වේදනාවෙන් කෑ ගසන කුරුලු පැටියව බේරගන්න කුරුලුගොයා පස්සෙන් එළවගෙන යන කුරුලු අම්මයි තාත්තයි වෙද මහත්තයගෙ කඳුළු පිරුණු ඇස්වලට බොඳ වෙලා පෙනුණා. මේ වතාවෙත් තමන් පරක්කුයි කියල වෙද මහත්තයට හිතුණා.

http://www.silumina.lk/2013/12/01/_art.asp?fn=au1312011

අම්මට පාඩම් උගන්වන්න ලකුණු 0ක් ගත් පුතෙක්

අම්මට පාඩම් උගන්වන්න ලකුණු 0ක් ගත් පුතෙක්

ශිෂ්‍යත්ව විභාගයට කියන්නේ අම්මලාගේ විභාගය කියාය. දරුවෝ විභාගයට පෙනී සිටිය ද විභාගයට වෙහෙසෙන්නේ තාත්තලාත් දරුවෝත් නොව අම්මලාය. දරුවන් විභාගය නිසා වෙහෙසවන්න එපා යැයි හඬනඟා පැවසුව ද මේ සත්‍ය කතාව එය නෑසෙන අම්මලාට හොඳ පාඩමක්. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අපට මේ සිදුවීම අනාවරණය කළේ ශිෂ්‍යත්ව විභාගයට කුඩා දරුවන් මෙහෙයවන සමස්ත අම්මලාටම ආදර්ශයක් වශයෙනි.
මේ අම්මා ද තම දරුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කළේ දරුවාට කුඩා කළ සිටම අසීමිත බරක් පටවමිනි. පාසල් ගියදා පටන් පන්තිවලට කැඳවාගෙන ගියේ ද ශිෂ්‍යත්ව විභාගය අරමුණු කරගෙනය. දරුවා ඇත්තටම දක්ෂය. ඒ දක්ෂකම ඔහු තුළ උපතින්ම උරුම වුවත් දරුවාගේ දක්ෂ අදක්ෂ බව මවට වැදගත් නැත. මවගේ බලාපොරොත්තුව සෙසු මවුවරුන් මෙන් තම දරුවාට පන්ති හරහා ශිෂ්‍යත්වය සමත්කර වන්නටය.
ශිෂ්‍යත්වයට පෙරම දරුවාට ශිෂ්‍යත්වය එපා විය. එය නොපෙන්වූ දරුවා මවට ද හිතින් බැණ වදිමින් විභාගයට මුහුණ දුන්නේ කරකියාගත හැකි දෙයක් නොමැති තැනය.
ශිෂ්‍යත්ව විභාග නියමිත දින ආරම්භ විය. අම්මා සුබ නැකතින් තම දරුවා විභාග ශාලාවට කැඳවාගෙන ගියේ අසීමිත බලාපොරොත්තු රැසක් සිත තුළ රඳවාගෙනය.
ප්‍රශ්න පත්‍රය අතට ගත් දරුවා එක හුස්මට පිළිතුරු සපයාගෙන ගියේය. ඇත්තටම ඔහුට ප්‍රශ්න පත්‍රය කජු කන්නාක් මෙන් ලෙහෙසිය. වෙලාවටත් පෙර ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා නිම කළ ඔහු නැවතත් ප්‍රශ්න පත්‍රය දෙස බලාගෙන කල්පනා කරන්නට විය. තමාට වද දුන් අම්මාට හොඳ පාඩමක් ඉගැන්වීමට මෙය හොඳම අවස්ථාවක් බව එවේලේ ඔහුට සිතෙන්නට විය. තමා සාර්ථකව ලියූ පිළිතුරු ඔහු පෑනක් ගෙන සියල්ල කපා දැමීය. නැවතත් වැරදි තැන්වල ඉරි ගසමින් වැරදි පිළිතුරු පත්‍රය පුරාම ලිවීය.
විභාගය අවසන් විය. තවත් සති කිහිපයකින් ප්‍රතිඵල නිකුත් විය. ඒ අම්මාගේ බලාපොරොත්තු කඩකරමින් තම දරුවාට ශිෂ්‍යත්ව විභාගයට ලැබුණේ ලකුණු බිංදුවකි. සිදුවූ දේ දන්නේ දරුවා පමණි.
‍මේ අතර මේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයෙන් විමර්ශන ආරම්භ කෙරිණි. දරුවා ගෙන්වා විමර්ශන ඒකකයෙන් ප්‍රශ්න කැරිණි. දරුවාගේ සාර්ථක පිළිතුරු ඒ ආකාරයෙන්ම තිබුණා නම් ඔහුට ලැබෙන්නට තිබූ ලකුණු ප්‍රමාණය 190 ඉක්මවයි. එසේ නම් මේ දක්ෂ දරුවා ලකුණු 0 කරා ගියේ කුමන අරමුණකින්ද?
විමර්ශන නිලධාරීන්ට දරුවා සත්‍යය හෙළි කළේය. “... මම මෙහෙම කළේ අම්මගෙන් පළිගන්න” ඔහු සත්‍ය අනාවරණය කළේ ඒ ආකාරයෙනි. දරුවාට විභාගයෙන් වැඩක් නැත. විභාගය වැදගත් වූයේ ඔහුට නොව අම්මාටය. අම්මාට වැදගත් වූ විභාගය වෙනුවෙන් දස වද, බැණුම් අසන්නට ලැබුණේ තමාට නිසා සිතේ වූ කේන්තිය ඔහු පිරිමසා ගත්තේ ප්‍රශ්න පත්‍රයෙනි.
මේ සත්‍ය සිදුවීමකි. මෙය ඉතා මෑතකදී ශිෂ්‍යත්ව විභාගය ‍ෙවනුවෙන් විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකය විසින් පැවැත්වූ අමිහිරි විමර්ශනයකි.
මේ දරුවා තම දක්ෂතාව, ජයග්‍රහණය පසෙකට ලා පාඩමක් කියාදුන්නේ සමස්ත මවුපියන්ටය. ශිෂ්‍යත්ව විභාගය කිසිසේත් දරුවන්ට අනවශ්‍ය බරක් පැටවිය යුතු නොවේ. ශිෂ්‍යත්ව විභාගය පමණක් නොව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට ද දරුවන් යොමු කළ යුත්තේ එය නිදහස් චින්තනයෙන් පිළිතුරු සැපයීමට ඉඩ කඩ සලසා දෙමිනි.
විභාගයේ දී දරුවන්ට අනවශ්‍ය බරක් පැටවුවහොත් සිදුවන්නේ එයට මුහුණ දීමට පෙරම එය දරුවන්ට අමිහිරි වීමය.
උගත් මවුපියනි, ජීවිතයේ එකම දෙය විභාගය පමණක් නොවෙයි. එසේම අධ්‍යාපනයේ පදනම ද විභාගය නොවෙයි. ඔබේ දරුවාගේ දක්ෂතාවට මුල්තැන දෙන්න. දක්ෂතාවයෙන් හැකියාවෙන් විභාගයට මුහුණ දෙන්නට ඉඩ හරින්න. ඒ සඳහා අවශ්‍ය පසුබිම පමණක් ඔබේ දරුවාට ලබා දෙන්න. අනවශ්‍ය වචන වලින් දරුවාව පිඩාවට ලක් නොකරන්න.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සිළුමිණ පුවත්පතට ලබාදුන් තොරතුරු ඇසුරෙන් සැකසිණි.

අමාරු නෑ

අ.පො.ස.(සා. පෙළ) චිත්‍ර

චිත්‍ර නිර්මාණය අමාරු නෑ


චිත්‍ර විෂය යනු කාණ්ඩ විෂයයකි. චිත්‍ර විෂය සඳහා දරුවන් කැමැත්තක් දැක්වුව ද මේ විෂය සඳහා A සාමාර්ථයක් ලබා ගැනීම අසීරු යැයි මතයක් පවතී. නමුත් උනන්දුව සහ විෂය කෙරෙහි කැමැත්ත ඇත්නම්, විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම අපහසු නොවේ. මා දකින අන්දමට අනෙකුත් සෞන්දර්ය විෂයන් සඳහා ලිඛිත ප්‍රශ්න පත්‍රයක් සහ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයක් ඇත. නමුත් චිත්‍ර විෂය සඳහා ලිඛිත ප්‍රශ්න පත්‍රයක් සහ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍ර දෙකක් ඇත. එය ලකුණු ලබා ගැනීමට දරුවාට කදිම අවස්ථාවකි.
ලිඛිත ප්‍රශ්න පත්‍රය (චිත්‍ර 1 පත්‍රය) කෙටි ප්‍රශ්න 40 න් සමන්විත වන අතර ලබා ගත හැකි ලකුණු ප්‍රමාණය 40 කි. II පත්‍රය නිදහස් රේඛාමය ඇඳීම සහ වර්ණ චිත්‍ර සම්පිණ්ඩනය වන අතර ඒ සඳහා ලකුණු 30 ක් ලබා ගත හැකිය. චිත්‍ර III පත්‍රය ‘අ’ සම්පිණ්ඩනය (ප්‍රකාශන චිත්‍ර) හෝ ‘ආ’ මෝස්තර හා සැරසිලි නිර්මාණය ලෙස කොටස් දෙකක් තිබෙන අතර එයින් ඔබ කැමැති ‘අ’ ‘ආ’ ‘ඉ’ කොටසින් එක් මාතෘකාවක් තෝරාගෙන වර්ණවත් චිත්‍රයක් සම්පිණ්ඩනය කොට ලකුණු 30 ක් ලබා ගත හැකිය.
ලිඛිත ප්‍රශ්න පත්‍රයේ අභිමතාර්ථයන් ලෙස පහත කරුණු සැලකිය හැකිය. ප්‍රායෝගික අභ්‍යාස තුළින් ලබන සිද්ධාන්තමය හා ශිල්පීය ක්‍රම පිළිබඳ අවබෝධය පිරික්සීම, පාරම්පරික සැරසිලි හා කලා කර්මාන්ත පිළිබඳ දැනුම හා කුසලතා ඇගැයීම, විශ්ව ශිල්පීන් හා දේශීය ශිල්පීන් ගේ කලා කෘති ඇගැයීම, ශ්‍රී ලංකාව - ඉන්දියාව - යුරෝපය ආශ්‍රිත සංස්කෘතික පසුබිම පිළිබඳ අවබෝධය මැනීම යනාදියයි. I පත්‍රයේ ප්‍රශ්න 40 සඳහා පිළිතුරු සැපයීමට කාලය පැයක් හිමි වේ. විභාග ශාලාධිපතිතුමන් සපයන ප්‍රශ්න පත්‍රයෙහිම දරුවන් පිළිතුරු සැපයිය යුතුය. ප්‍රශ්න පත්‍රය ඔබට ලැබුණු පසු ප්‍රශ්න අංක 01 සිට 40 දක්වා වූ සියල්ල කියවා බලා තේරුම්ගත යුතුය. එහෙත් මේ සඳහා විනාඩි 10 කට වඩා කාලය වැය නොකළ යුතුය. පිළිතුරු සපයන විට පැහැදිලි අකුරෙන් පිරිසිදු ව පිළිතුරු සැපයීම ඔබ විසින් කළ යුතු කාර්යයකි. ඔබ පිළිතුරු සැපයීමට නිල් පැහැති පෑනක් යොදා ගැනීම යෝග්‍ය වේ.
යම් ප්‍රශ්නයක පිළිතුරු යටින් ඉරි ගැසීමට ඇත්නම්, වඩාත් නිවැරැදි පිළිතුර සොයා ඔබ ඉර ගැසිය යුතුය. එක සමාන පිළිතුරු දෙකක් ඇත්නම්, බොහෝ විට සමහර දරුවෝ එම පිළිතුරු දෙකටම ඉරි ගසයි. මෙයින් එම ප්‍රශ්නයට හිමි මුළු ලකුණු ඔබට අහිමිව යයි. එසේම හිස් තැන් පිරවිය යුතු ප්‍රශ්නවලදී ඔබගෙන් අපේක්ෂා කරනුයේ අර්ථවත් - නිවැරැදි කෙටි ම පිළිතුර පමණි. අනවශ්‍ය විස්තර ලිවීමෙන් ඔබ වැළකිය යුතුය. අංක 36 සිට 40 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී එයට ඉහළින් දී ඇති උපදෙස් හොඳින් තේරුම් ගත යුතුය. දී ඇති රූප සටහන හඳුනාගෙන පිළිතුරු සැපයිය යුතුය. යම් විටෙක දී ඇති රූප සටහන සමඟ හැඳින්වීමේ විස්තරයක් ප්‍රශ්න පත්‍රයේ අඩංගු වන්නේ නම්, එම කරුණු ඔබ නැවත නොලිය යුතුය. මේ ප්‍රශ්නයේ දී ඔබ බලාපොරොත්තු වන්නේ, රූප සටහන පිළිබඳ විස්තරාත්මක රචනයක් නොව අර්ථවත් කෙටි වාක්‍ය පහක ඇගයීමකි. විෂය නිර්දේශයේ සියලු ඒකක හොඳින් අධ්‍යයනය කළ දරුවකුට මේ 1 පත්‍රයට පිළිතුරු සැපයීම අපහසු නොවේ.
අනෝමජී රාජපක්ෂ
දේවි බාලිකා විද්‍යා­ලයේ
චිත්‍ර විෂය බාර ආචාරිණී
II පත්‍රය එනම්, නිදහස් රේඛාමය ඇඳීම හා වර්ණ චිත්‍ර සම්පිණ්ඩනය තුළින්,
1. ස්වාභාවික හා නිර්මිත වස්තූන්ගේ ගති ස්වභාවය හා හැඩය තේරුම් ගැනීම, සිද්ධාන්ත භාවිතයේ කුසලතාව හා ක්‍රම ශිල්ප මැන බැලීම.
2. රේඛා මාධ්‍ය භාවිතයෙන් වස්තූන්ගේ ගති ලක්ෂණ මතු වන සේ චිත්‍රය සම්පිණ්ඩනය කිරීම.
3. වර්ණ මාධ්‍යය භාවිත ක්‍රම ශිල්ප හා වස්තූන්ගේ ගති ලක්ෂණ මතුවන සේ වර්ණ ගැන්වීම.
4. සමස්ත නිමාව සිදුකර ඇති ආකාරය මැන බැලේ.
දරුවන් ඉදිරියේ තබා ඇති ද්‍රව්‍ය සමූහය පිළිබඳ චිත්‍ර ඇඳීමේදී පාසලේ චිත්‍ර ගුරුතුමිය, ගුරුවරයා කියා දී ඇති පරිදි මිනුම් ක්‍රමවේද රැගෙන ද්‍රව්‍ය සම්පිණ්ඩනය ඇඳිය යුතුය. මේ ප්‍රශ්න පත්‍රය කොටස් 2 කි. එනම් රේඛා අධ්‍යයනය සමස්ත ද්‍රව්‍ය සම්පිණ්ඩනය යි. ඔබට විභාග ශාලාධිපති තුමන් කොළ 2 ක් සපයනු ඇත. මින් එකක් ඩිමයි කඩදාසියක් වැනි රළු කඩදාසියක් වන අතර අනෙක ගනකමින් යුතු සුදු කඩදාසියකි. රේඛා අධ්‍යයනය සඳහා ඔබට රළු කඩදාසිය යොදාගත හැකි අතර එහිදී ද්‍රව්‍ය සමූහය රේඛාවෙන් අධ්‍යයනය කළ යුතුය. මෙහිදී රේඛාව කෙසේ හසුරුවා ඇති ද? යන්නට ඔබට ලකුණු 05 ක් හිමි වේ. මේ සඳහා ඔබට විනාඩි 15 ක් වැනි කෙටි කාලයක් වැය කොට ඇඳිය හැකිය.
ඊට වඩා කාලයක් වැය කිරීම ඔබට අවාසි සහගතය. මන්ද යත් ඔබට සමස්ත ද්‍රව්‍ය සමූහය ඇසුරින් යථාරූපී චිත්‍රයක් ඇඳ වර්ණ කර නිම කළ යුතු බැවිනි. මෙහිදී ද්‍රව්‍ය සමූහය ලෑල්ල මත මනා සේ සම්පිණ්ඩනය කළ යුතුය. ද්‍රව්‍ය සමූහය තබා ඇති ලෑල්ල ඔබට අවශ්‍ය පරිදි වෙනස් කළ හැකිය. ඉන්පසු මේ ද්‍රව්‍ය සමූහය වර්ණ ගැන්විය යුතු අතර ඒ සඳහා දිය සායම්, පැස්ටල්, පෝස්ටර් සායම් හෝ මිශ්‍ර මාධ්‍ය භාවිත කළ හැකිය. දරුවන් මුලින් ම ද්‍රව්‍ය සමූහය සහ පැළෑටිය වර්ණ කළ යුතු අතර සියල්ල අවසානයේ ද්‍රව්‍ය ටික මතුවන පරිදි පසුබිම ඔබට කැමැති පරිදි යොදා ගත හැකිය.
මේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය සඳහා සිළින්ඩරාකාර හැඩ (ටින්, වතුර වීදුරු) ගණකයක් හෝ ගණකාභයක හැඩ (පෙට්ටියක්) ගෝලාකාර හැඩ (කළයක්, ගස්ලබු ගෙඩියක්, කැකිරි ගෙඩියක්, තැඹිලි ගෙඩියක්) පැළෑටියක් (ක්‍රෝටන්, ඇන්තූරියම්, අරලිය අත්තක්, හබරල අත්තක්) රෙදි කෑල්ලක් (තනිපාට හෝ මල් වැටුණු) යනාදිය යොදා ගනී. එසේම මේවා ඇඳීමේදී දරුවන් මතක තබා ගත යුතු වැදගත් කාරණයක් ඇත. ඔබ මොන යම් ආකාරයකින් හෝ ජ්‍යාමිතික උපකරණ පාවිච්චි නොකළ යුතුය. එසේ වුවහොත් ඔබට අවාසියක් සිදුවනු ඇත.
චිත්‍ර III පත්‍රය ‘අ’ ‘ආ’ ‘ඉ’ යන කොටස් පිළිවෙළින් චිත්‍ර සංරචනය (ප්‍රකාශන චිත්‍ර), ගැෆ්‍රික් චිත්‍ර, මෝස්තර හා සැරසිලි නිර්මාණය ලෙස පවතී. චිත්‍ර සම්පිණ්ඩනය කිරීමේදී ස්වභාවික මෙන්ම නිර්මිත පරිසරයේ වස්තූන්ගේ ස්වභාවයන්, ඒ තුළ සිදුවන සිද්ධීන් හා ක්‍රියාදාමයන් පිළිබඳව ලබා ඇති ඇති අත්දැකීම්, චිත්‍රමය භාෂාව තුළින් ප්‍රකාශ කිරීමේ කුසලතාව ඇගැයීම සිදු කෙරේ. දරුවන් විසින් තෝරාගන්නා මාතෘකා ප්‍රකාශනය කිරීමේදී විවිධ කුසලතා දක්නට ලැබේ. නමුත් රේඛා, හැඩතල, වර්ණ හැසිරවීමේ විසමතා දැක්වෙන අවස්ථා ද බොහෝය. කුසලතා දක්වන දරුවන් මෙන්ම කුසලතා පෝෂණය කර නොගත් දරුවන් ද සිටී. ඔවුන් කෙසේ හෝ ඉදිරි දින කිහිපයේදී හැකියාවන් වර්ධනය කර ගැනීමට උත්සාහ ගන්න.
තෝරාගත් මාතෘකාව උචිත ලෙස ප්‍රකාශ කර තිබීම, මානව හා සත්ත්ව රූ, සියලු හැඩතල තලය තුළ සම්පිණ්ඩනය කිරීම, රේඛාව හා හැඩතල යොදා ඇති ආකාරය, වර්ණ භාවිතයේ ඇති කුසලතාව, සමස්ත නිමාව යන නිර්ණායක සඳහා ලකුණු 06 බැගින් ප්‍රදානය කෙරේ.
මා වසර 10 ක අ.පො.ස. (සා/පෙළ) චිත්‍ර විෂයය සැලකිල්ලට ගත් අතර එහිදී ධීවර කර්මාන්තය සම්බන්ධ විවිධ තේමාවන්, ඉන් වසර 08 දීම ප්‍රශ්න පත්‍රවල අන්තර්ගත වී තිබුණි. එසේම ආගමික තේමා යටතේ චිත්‍ර සංරචනය කිරීම වසර 06 දීම අන්තර්ගතව තිබුණි. මෙහිදී ඔබට තාත්වික හෝ කල්පිත නිර්මාණයක් කිරිමට ඔබට හැකිය.
‘ආ’ ග්‍රැෆික් චිත්‍ර නිර්මාණකරණය තුළින් මුද්‍රණ ක්‍රම පිළිබඳ සහ නිර්මාණාත්මක බව, සැලසුම්කරණය අගයනු ලබයි. මේ කොටසේ අන්තර්ගත සියලුම තේමා ග්‍රැෆික් ක්‍රමයට කිරීමට උචිත පරිදි ඇදිය යුතුය. බොහෝ විට පෝස්ටර් චිත්‍ර නිර්මාණය කිරීමට, පොත් පිටකවර ඇඳීමට, ආරාධනා පත්‍ර නිර්මාණයට, දවටන නිර්මාණයට මේ තුළින් සිදුවේ.
‘ඉ’ මෝස්තර හා සැරසිලි නිර්මාණය තුළින් නිර්මාණශීලි සැලසුම්කරණය හා අලංකරණය පිළිබඳ ඔබ ලබා ඇති කුසලතාව පිරිස්සීම සිදු කරයි. මාතෘකාව අදාළ ව සැලසුම් කිරීමේ හැකියාව, පාරිහාරික අවශ්‍යතාවන්ට ගැළපෙන බව හා කර්මාන්තයට උචිත බව, රේඛා හා හැඩතල යොදා ගැනීම, උචිත වර්ණ තෝරා ගැනීමේ කුසලතාව, විචිත්‍ර බව, චමත්කාර බව හා සාර්ථකව නිම කිරීමට ලකුණු ප්‍රදානය කෙරේ. මෙහිදී දරුවන් පිටපත් කිරීමේ ක්‍රමවේදය මැනවින් දැන සිටිය යුතු අතර මෝස්තර නිර්මාණය එය වැදගත් වේ. එසේම දරුවන් සිංහල සාම්ප්‍රදායික මෝස්තර අංග තම මතකයෙන් නිවැරදිව ඇඳීමට සමත් විය යුතුය. මේ සඳහා දිය සායම් හෝ පැස්ටල් වර්ණ මාධ්‍යයෙන් චිත්‍රය වර්ණ ගැන්විය හැකි අතර දියසායම් මඟින් මෙය නිර්මාණය කිරීම වඩා ඵලදායි වේ. එහිදී මෝස්තරය වටා රේඛාවෙන් ඇඳීමෙන් (OUTLINE) අලංකාරයක් අත් වේ. මෙම රේඛාකරණය කිරීමට හුරුව ලබා ගැනීමට ඔබ අංක 0 හෝ අංක 1 පින්සල රැගෙන පෙරහුරුවේ යෙදිය යුතුය. එසේ නොවුණ හොත් ඔබගේ අත වෙව්ලා වට රේඛා කරණයේ යෙදීම අසාර්ථක වේ. නමුත් ඔබ නැවත නැවත රේඛා ඇඳීමට පෙරහුරු කිරීමෙන් ඉහත තත්ත්වය 95% ක්ම මඟහරවා ගත හැකිය.
ඔබ චිත්‍ර ඇඳීමට, රේඛාකරණයට 2B හෝ 6B වර්ගයේ පැන්සලක් පාවිච්චි කළ යුතුමය. එය ආධාරයෙන් ඉතා පහසුවෙන් රේඛාකරණය (මහන්සියකින් තොරව) කළ හැකිය. විශේෂයෙන් ද්‍රව්‍ය සම්පිණ්ඩනයේ රේඛා අධ්‍යයනයට මෙම පැන්සල (2B) ඔබට ඉවහල් වේ. ඔබ විභාගය සඳහා යන විට ඔබේ පුරුදු වර්ණ පෙට්ටිය, පැන්සල, පින්සල් රැගෙන යන්න. එසේම පිරිසිදු රෙදි කැබැල්ලක් පින්සල් හා පැස්ටල් කූරු පිරිසිදු කිරීමට රැගෙන යන්න.
විභාගයට තවත් දින කිහිපයක් ඇති බැවින්, පසුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න. වාර විභාගයේදී ඔබ විසින් සිදු කළ වැරැදි, ගුරුතුමා / තුමිය පෙන්වා දුන් වැරැදි නිවැරැදි කර ගන්න. ඔබ විසින් විශ්වාසයක් ගොඩනඟා ගන්න. කාලය අපතේ නොහැර ඉදිරි සම්පූර්ණ කාලයම විභාගය සඳහා සූදානම් වීමට යොදවන්න.
විභාගයේ දී ඔබ, ඔබගේ විභාග අංකය, ප්‍රශ්න අංකය, චිත්‍ර මාතෘකා පැහැදිලිව සඳහන් කරන්න. ප්‍රශ්න පත්‍ර නියමිත පරිදි අමුණන්න. චිත්‍රය වියළී නොමැතිනම් අමුණන්න එපා. ශාලාධිපති තුමන්ට භාරදෙන විට හොඳින් වියළී තිබීමට වග බලා ගන්න. ප්‍රශ්න පත්‍රය ඇලි තිබුණහොත් අවාසියක් සිදු වනුයේ ඔබටය. චිත්‍ර විෂයය හදාරණ දරු දැරියනි, ඔබට චිත්‍ර විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමටත්, ආදරණීය ඔබට අ.පො.ස. (සා.පෙළ) විභාගයට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!

ඩී. එස්. නියමු ආර්. අයි. ටී. අලස්

ඩී. එස්. නියමු ආර්. අයි. ටී. අලස්

රාජකීය විදුහලේ කලබලකාරී පරිසරයක් නිර්මාණය වන්නේ උදේ විදුහල පටන් ගැනීමට පෙරය. ළමෝ කලබලයෙන් පන්ති කාමරවලට යති.  එය 1967 වර්ෂයේ තවත් දිනයකි. අපොස සාමාන්‍ය පෙළ පන්තිවලට ගණිතය උගන්වන මහරගම ගුරු අභ්‍යාස විදුහලේ පුහුණුව ලැබු ආර්. අයි. ටී. අලස් පොත අස්සන් කොට ගුරු කාමරයට වෙනදා වගේම ගියේ කාල සටහන අනුව පන්තියකට යා යුත්තේ දෙවැනි කාල පරිච්ඡේදයේ නිසාය.
එවක රාජකීය විදුහලේ විදුහල්පති වූයේ බෝගොඩ ප්‍රේමරත්න මහතාය. ඔහු අලස්ට කතා කළේ කෙටි නමකිනි. ආර්. අයි. ටී. අලස් කියන නම කෙටි වූයේ Mr. Rita යනුවෙනි.
රාජකීය විදුහලේ කාර්යාල කාර්ය සහායකයා ගුරු කාමරයට යමින් සිටි අලස් සර්ට තුණ්ඩුවක් ගෙනාවේය. තුණ්ඩුව Mr. Rita ටය. එය එවා තිබුණේ විදුහල්පතිය. අධ්‍යාපන ඇමැති අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල, ලේකම් එම්. ජේ. පෙරේරා සහ අධ්‍යාපන අධ්‍යක්ෂ හෙට්ටිආරච්චි යන තිදෙනාට අලස් මුණ ගැසෙන්නට අවශ්‍ය බව විදුහල්පතිගේ තුණ්ඩුවේ සටහන් විය.
ඊරියගොල්ල ගුරුවරුන්ගෙන් පළිගත් ඇමැතිවරයකු හැටියට ප්‍රකටය. ඔහු හමුවන්නට කළ දැන්වීමෙන් අලස් කලබලයට පත්විය. අලස් වෘත්තීය සමිති කාරයෙකි. ඔහු විසින්ම ආරම්භ කළ ද්විතීයික පුහුණු ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියේ ප්‍රථම සභාපතිවරයා ද ඔහුය. ඊරියගොල්ල ඉදිරිපත් කළ අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා විරෝධය පළවිය. අලස් ද වෘත්තීය සමිතිය තුළ ධවල පත්‍රිකාව දැඩි විවේචනයට ලක් කළේය. ඇමැතිවරයා මුණ ගැසෙන්නට අවශ්‍ය බව කියා විදුහල්පති එවු තුණ්ඩුවෙන් අලස් කලබල වූයේ එනිසාය..
ධවල පත්‍රිකාව විවේචනයට ලක්කළ නිසා රාජකීය විදුහලෙන් වෙනත් තැනකට මාරු කරන්නට අධ්‍යාපන ඇමැති තීරණය කළා විය හැකිය. තුණ්ඩුව රැගෙන විදුහල්පති බෝගොඩ ප්‍රේමරත්න හමුවූ අලස් එක්වරම කීවේ “විනාශයි” යන්නය. බෝගොඩගේ ප්‍රතිචාරය වූයේ සිනහවක් පමණි.
අලස් එකල අවුරුදු තිස් පහ නොඉක්මවූ තරුණයෙකි. ඒ නිසා ඔහු අමාත්‍යාංශයේ ප්‍රධානීන් තිදෙනා මුණ ගැසෙන්නට ගියේ කෝට් එකක් හා ටයි එකක් පැලඳ නොව කලිසම හා කමිසයෙන් සැරසිලාය. රාජකීය විදුහලින් දේශපාලන මාරුවක් ලැබෙන්නට සිටියදී මොන ටයි කෝට් දැයි අලස්ට සිතෙන්නට ඇත.
“මට ඇමැතිතුමා හම්බවෙන්න ඕන” අලස් පියන්ට කීය. අලස් දෙස දැඩි උනන්දුවකින් බැලු පියන් සහෝදරයා “නෑ. නෑ. ඇමැති හම්බවෙන්න බෑ” යයි ගුගුලේය.
“මට ඇමැති හම්බවෙන්න ඕන නෑ. ඇමැතිතුමාටයි මා හම්බ වෙන්න අවශ්‍ය” අලස් එසේ කියා තමන් කවුදැයි පියන්ට හඳුන්වා දුන්නේය. පියන් අලස් ඇමැතිතුමා ළඟට කැඳවාගෙන ගියේය.
ඇමති මැද වාඩිවී සිටී. ඔහුගේ දකුණුපස ලේකම් එම්. ජේ. පෙරේරා ය. වම්පස අධ්‍යාපන ලේකම් හෙට්ටිආරච්චිය. ඊරියගොල්ල කෙළින්ම මාතෘකාවට බැස්සේය.
“අපි අලුතින් විදුහලක් පටන් ගන්නවා. ඔයා තමයි ඒකෙ විදුහල්පති. ඒ නිසා ග්‍රෙගරි පාරට යන්න, එතැන ඉඩම් කෑල්ලක් තියෙනවා. අප හිතාගෙන ඉන්නේ ඒ ඉඩමේ ගොඩනැගිල්ලක් හදන්න. ඒ නිසා ඉඩම පවරාගන්න ඕනැ” ඊරියගොල්ල කීවේය.
“ගරු ඇමැතිතුමනි! සමාවෙන්න. විදුහල්පති තනතුරකට මට සුදුසුකම් නැහැ. මම උප ගුරුවරයෙක් විතරයි. පාසල් පරිපාලනය ගැන මට අත්දැකීම් නෑ” අලස් කීවේය.
“ඔබ මෙතැනට ගෙන්නුවේ විදුහල්පතිකම දෙන්නයි. ඔබේ දක්ෂතා අපි දන්නවා. මේක භාර ගන්න ඕනෑ” ඇමැති එසේ කියන විට විදුහල්පතිකම භාර නොගත්තොත් සිදුවිය හැකි දේ ගැන අලස්ට සිහි විය.
“ඇමැතිතුමනි, මං මේ ගැන විදුහල්පතිට දැනුම් දෙන්න ඕන. ඒකට මට වේලාවක් ඕන.” අලස් කීවේය.
“හරි ටැක්සියක් අරන් ගිහින් විදුහල්පතිට කියල ඒකෙන්ම එනවා” ඊරියගොල්ල අණ කළේය.
ඉගැන්වීමටත් පාලනයටත් දක්ෂයකු සොයමින් සිටි ඊරියගොල්ලට අලස්ගේ නම යෝජනා කර ඇත්තේ බෝගොඩ ප්‍රේමරත්න මහතාම බව අලස් ඔහු හමුවී කළ කතාවෙන් හෙළි විය.
ඉඩම් පවරා ගත්තේය. කැලෑවට ගොස් තිබුණ කූඹි කැලේ එළි පහළ වී දින 14 ක් ඇතුළත 80 x 20 ගොඩනැගිල්ල හැදුණේය. එසේ හැදු ගොඩනැඟිල්ලේ 1967 වසරේ ඩී. එස්. සේනානායක විදුහල බිහි විය. අලස්ගේ නමත් සමඟ ඩී. එස්. සේනානායක විදුහලත් සේනානායක විදුහල සමඟ අලස්ගේ නමත් එකට කියැවුණේ ඉන් පසුවය.
අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ පියා, මව, පුතා යන වචන හඳුන්වා දුන්නේ අලස්ය. විදුහල්පති ලියුම්වලට අස්සන් කළේ “විදුහල්පති පියා” යනුවෙනි. ගුරුවරියන් අස්සන් කළේ ගුරු මෑණි ලෙසිනි. ගුරුවරුන් ගුරු පියා ලෙසිනි.
මේ සටහන මෙසේ කෙටියෙන් අවසන් කළ නොහැක. එය අලස් ලියු ජීවිත කතාවටත් වඩා දීර්ඝ විය හැකිය. ඔහුට පක්ෂ දේශපාලනයක් තිබුණේ නැත. ජාත්‍යන්තර පාසල් සංකල්පය යටතේ ද ඔහු ඉහළ පෙළේ පාසල් පද්ධතියක් නිර්මාණය කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස ද ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් ඉටු කෙළේය. ඔහු සිය මාර්ගෝපදේශකත්වය යටතේ සමාජයට දායාද කළ විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා දක්වන බුද්ධිමතුන් රැසක් වෙති.
අපෙන් සදහටම සමුගත් අලස් විදුහල්පතිතුමා ඩී. එස්. විදුහලේ දී නිතර ගායනා කළ කවියකින් මේ සටහන නිමා කරමු.
හාවුන්ට මුවන්ට පැන යන්නමයි හිත
ඌරන්ට මීයන්ට හාරන්නමයි හිත
මාලුන්ට කිඹුලන්ට පීනන්මයි හිත
අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත

Monday, November 25, 2013

සා.පෙළ. විභාගයට ලියන්න පෙර මේ උපදෙස් ටික කියවන්න

සා.පෙළ. විභාගයට ලියන්න පෙර මේ උපදෙස් ටික කියවන්න
 

ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර
විභාග කොමසාරිස් ජෙනරාල්
විභාගය කොයි කාටත් නුහුරු නුපුරුදු අලුත් අත්දැකීමක් නොවේ. දරුවකු පාසලට පියමං කළ දා පටන් වාර විභාගයන්ට මුහුණ දී විභාගයක සරල අත්දැකීම දරුවන් සිය ජීවිතයට එක්කර ගැනිණි. අම්මලාගේ විභාගයක් වූ ශිෂ්‍යත්ව‍යත්, ඉන් අනතුරුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයන්, එයිනුත් අනතුරුව අ.පො.ස. උසස් පෙළ විභාග‍යත් ශිෂ්‍ය ජීවිතයේ ප්‍රධාන කඩඉම් විභාග වෙයි. වසරක් පාසා එක්තරා සිසු කණ්ඩායම් ‍තුනක් මේ තරගකාරී විභාගයට මුහුණදෙති.
අගෝස්තු මාසයේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයත් දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විභාගයත් පැවැත්වෙයි. මේ විභාග තුනේදී විභාග දෙපාර්තමේන්තුවත් අසීමිත කාර්ය භාරයත් ඉටු කරන අතර විභාගය අවසානයේදී විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයටත් විසඳී‍මට ගැටලු රාශියක් පැන නැ‍ඟේ. විභාගයක් යනු ‍අතිශය රහස්‍ය ක්‍රියාවලියකි. විභාගයේදී පිළිපැදිය යුතු නීති මාලාවක් ද ඇත. බොහෝ ශිෂ්‍යයන් දැන හෝ නොදැන විභාගයක තිබිය යුතු නීති මාලාවට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් විභාග ප්‍රතිඵල පවා අත්හිටුවා ගනිති.
විභාගයකට පෙනී සිටින ඔබට පිළිපැදිය යුතු නීති මෙන් ම රීති මාලාවක් ද ඇත. එය විභාගයෙන් විභාගයට වෙනස් ය. මේ නීති විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් පනවනු ලබන අතර බොහෝ දෙනා පිළිබඳ හරි වැටහීමක් නොමැති වීමෙන් අනාගතය අඳුරු කර ගනිති.
වැරැදි කරන්න පෙර
විභාගයකදී ඔබ අවධානය යොමු කළ යුත්තේ කවර කරුණු කෙරෙහිද ඔබ නොකළ යුතු දෑ මොනවාද? ඔබගේ ප්‍රතිඵල අත්හිටුවන්නේ කුමන හේතු පදනම් කරගෙන ද යන්න මෙම ලිපියෙන් විග්‍රහ කැරේ. අතීතයේ කළ වැරැදි උදාහරණයට ගෙන දෙමින් දෙනු ලබන මේ උපදෙස් හෙට දින අ.පො.ස (සා.පෙළ) විභාගයට මුහුණ දෙන ඔබට වඩාත් මහෝපකාරී වෙයි. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා ඔබට මේ උපදෙස් ලබාදෙන්නේ යළිත් මෙවන් වැරැදි ඔබ අතින් ඉටු නොකරන්නටැයි ද ආයාචනා කරමිනි.
විභාග අපේක්ෂකයකු නොකළ යුතු ප්‍රධාන දෙයකි, සටහන් ළඟ තබා ගැනීම. මෙය ඕනෑම කෙනෙක් දන්නා දෙයක් වන අතර ඔබ නොදන්නා කමින් සටහන් ළඟ තබාගත්තා යැයි පැවැසීම නිදහසට කරුණක් ද නොවෙයි. විභාග ශාලාවට කිසිම සටහනක් (එදිනෙදා විෂයට අදාළ දේ හෝ අදාළ නොවන දේ) ගෙනයෑම සම්පූර්ණයෙන් ම තහනම්. විභාග ශාලාවට අපේක්ෂකයන් පිවිසෙද්දී ශාලා බාර ප්‍රධානීන් මේ පිළිබඳ පිරික්සන අතර ඒවාට ද හසු නොවී සමහර සිසුහු සූක්ෂ්ම ආකාරයෙන් සටහන් රැගෙන යති. සමහර සිසුන් ඇඳුම් හෝ යට ඇඳුම් තුළ හෝ නැතිනම් වෙනයම් ක්‍රමයකින් අසුනොවන පරිදි ඉතා සූක්ෂ්ම ආකාරයෙන් සටහන් රැගෙන ගියත් ඒවා ද ඉතා සූක්ෂ්ම ආකාරයෙන් අල්ලා ගන්නට විභාග ශාලාධිපතිවරු ද දක්ෂය.
විභාග ශාලාවට සටහනක් හෝ සටහන් තැබූ කොළයක් ගෙන යාම වරදක් වන අතර වඩා වැදගත් දේ ඔබ ඒ සටහන භාවිතා කළත් නොකළත් එය ද නීති විරෝධී ක්‍රියාවකි. භාවිත කළත් නොකළත් හසු‍වුවහොත් ඔබට දැඩි දඬුවම් විඳින්නට සිදුවේවි.
මේ සටහන විෂයට අදාළ දෙයක් හෝ කිසිසේත් අදාළ නොවන දෙයක් වුවත් ඔබට එම දඬුවම විඳින්නට සිදුවේ. උදා :- කෙනෙකුගේ සාක්කුවක සටහන් තිබී අසුවුවහොත් එයද වරදකි. එය එළියට ගෙන අසුවුවහොත් එය ද වරදක්. සමහරු විභාග අංකය කොළවල ලියාගෙන යති. එසේ කොළයක ලියාගෙන යාමට විභාග දෙපාර්තමේන්තුව අවසර දී නැත. ප්‍රවේශ පත්‍රයේ B කොටසේ ඔබේ විභාග අංකය ඇති නිසා අමතක වේ යැයි සිතා අංකය සටහන් කර ගෙන යාමට ද කිසිවකුට අවශ්‍ය නැත.
පිටතට එපා
විභාග දෙපාර්තමේන්තුවට අයත් කිසිම කොළයක් විභාග ශාලාවෙන් පිටතට ගෙන යාම ද සපුරා තහනම් ය. ඔබට විභාග ශාලාවෙන් රැගෙන යාමට අවසර දෙන ලද ප්‍රශ්න පත්‍රයක් ඇත්නම් විභාගය අවසානයේදී එය පමණක් රැගෙන යා හැක. විභාග දෙපාර්තමේන්තුවට අයත් කොළ යනු ඔබට පිළිතුරු සැපයීමට දෙන කොළය. මේවා කිසිසේත් ඉතුරු වූ ඒවා යැයි කියා පිටතට ගෙන යාම නොකළ යුතු ය. අපේක්ෂකයාට බැහැරට ගෙන යාමට අවසරය ලබාදෙන ප්‍රශ්න පත්‍ර තීරණය කරන්නේ විභාග ශාලාධිපතිය. එසේ අවසරය ලැබුණු කොළ පමණකි ඔබ පිටතට ගෙන යා යුත්තේ. ප්‍රශ්න පත්‍රයේ උපදෙස් වලද ‘බැහැරට ගෙන යා හැක’ ‘ඇමිණීමට අවශ්‍ය නැත’ කියා ඒවායේ සඳහන් ය.
ලිපි ද්‍රව්‍ය ගෙන යාම සම්පූර්ණයෙන් ම තහනම් වෙයි‍. අපි කොතරම් දැනුවත් කළත් සමහර ශිෂ්‍යයන් කොළ පිටතට රැගෙන යති. සමහර ශිෂ්‍යයන් ලියන්න දුන් හිස් පිටපත හොරෙන් ගෙදර ගෙන ගොස් දිනය වෙනස් කර අවශ්‍ය තොරතුරු ලියා පසුදින විභාගයට ඒ කොළය රැගෙන එයි. එය කොතරම් ළඟ තබා ගැනීමට උත්සාහ කළත් විභාග ශාලාධිපතිවරුන්ට පරණ කොළය හඳුනා ගැනීම එතරම් අපහසු නැත. පිළිතුරු පත්‍රයේ ඇති අස්සන දෛනිකව වෙනස් වෙයි. ඒ හරහා පෙර දින පිළිතුරු ලියන්න ලබාදුන් කොළය කුමක්ද අද ලබාදුන් කොළේ කුමක් ද යන්න පහසුවෙන් හඳුනාගත හැක. මේ නිසා බොහෝ දෙනා දුර දිග කල්පනා නොකර අමාරුවේ වැටෙති.
පසුගියදා පැවැති විභාගයකදී විභාගය පැවැත්වීමට ප්‍රථම ශාලාධිපති විසින් සටහන් ඉවත් කරන්න යැයි සිසුන්ට දැනුම් දෙන ලදී. ඉවත් කළ කොළ අතර එක්තරා සිසුවකු කලින් දින විභාග ශාලාවෙන් පිටතට ගෙන යා නොහැකි පිළිතුරු පත්‍රයක්ද තිබී අසුවිය. මේ නිසා ඔහුට දඬවම් නියම විය. දඬුවම් නියම ව‍ූයේ සටහන් ළඟ තබාගත් නිසා නොව පෙරදින කඩදාසි විභාග ශාලාවෙන් පිටතට ගෙන යෑමේ වරදිනි.
විභාග කොළ වෙනත් කටයුතු සඳහා භාවිතා කිරීම ද දඬුවම් ලැබිය යුතු වරදකි. බොහෝ විට කාර්ය මණ්ඩලයද මේ ආකාරයෙන් කටයුතු කළොත් දඬුවම් ලැබෙන වරදකි. ඉතිරි වූ සියලු කොළ නැවත භාරදිය යුතු ය.
කොළ කැබලි
සමහර අය සටහන් ලෙස කොළ කැබලිවල පමණක් නොව ‍ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ද ළඟ තබා ගනිති. මෙය වත්ම‍ෙන් දැකිය හැකි අලුත් ප්‍රවණතාවයකි. දුරකථන මෙන් ම අයිකෝඩ් හරහා ද සමහරු සටහන් තබා ගනිති. පසුගියදා මේ ආකාරයේ අපූරු සිදුවීමක් විභාග දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට හසුවිය. එක්තරා විභාගයකදී එක්තරා හිමිනමක් ලේන්සුව කනේ තබාගෙන පිළිතුරු ලියන ආකාරයත් පසුව එය නැවතත් කට දෙසටත්, නැවතත් කන දෙසටත් ගෙන පිළිතුරු ලියන ආකාරය කිහිප විටක් නිරීක්ෂණය විය. දකින අයට පෙනී යන්නේ දහඩියට මුහුණ පිසදැමීමක් ලෙස ය. පසුව විමසීමේදී පෙනී ගියේ ලේන්සුව තුළ ‘බ්ලූටූත්’ නම් කුඩා උපකරණය රැඳී ඇති බවයි.
එය විභාගයේ අවස්ථාවේ ක්‍රියාත්මකව ඇති අතර විභාග ප්‍රශ්නය කියමින් පිටතින් පිළිතුරු ලබාගැනීමේ ප්‍රයත්නයක මේ හිමිනම නියැළී ඇත. මෙය සම්බන්ධ වූ දුරකථනය ඇත්තේ විභාග ශාලාවෙන් පරිබාහිර තැනකය. අද ශිෂ්‍යයන් මේ නවීන තාක්ෂණික උපකරණ විභාග ශාලාධිපතිවරුන්ට හොර රහසේ ගෙන ගොස් පිළිතුරු සැපයුව ද ඒ සියලු හොර රහස් අනාවරණය කර ගැනීමට ද දැන් විභාග දෙපාර්තමේන්තුවේ නවීන ක්‍රමෝපායන් ඇත. විභාගයක් පැවැත්වෙන්නට ප්‍රථම ඔවුන්ගේ ජංගම දුරකථන හරහා ‘බ්ලූටූත්’ විවෘත වූ දුරකථන හෝ බ්ලූටූත් උපකරණ මොනවාද යන්න සෙවීමට විභාග ශාලාධිපතිවරු කටයුතු කරති.
එක්තරා අවස්ථාවක විභාගයට පෙනී සිටි සිසුවෙක් බරපතළ ලෙස කැඩුම් බිඳුම් තුවාලයක් සේ අතවෙලාගෙන විභාග ශාලාවට පැමිණ ඇත. ඔහුගේ අත තුළ රඳවාගෙන ඇත්තේ ජංගම දුරකථනයකි. මෙයත් විභාග ශාලා‍ධිපතිවරුන්ට හසුවී දඬුවම් විඳින්නට ඒ සිසුවාට සිදුවිය. විභාග වංචා තුළ සිසුන් විසින් කරන මෙවන් රසවත් සිදුවීම් ඕනෑ තරම් ය. ඒ සියල්ල ග්‍රහණය කර ගැනීමට හැකි සූක්ෂ්ම මෙන් ම නවීන උපකරණ ද අද විභාග දෙපාර්තමේන්තුව සතු බව සිසුන් දැනගත යුතු කරුණකි.
විභාගයට තහංචි
මෙවැනි අනවශ්‍ය සටහන් ළඟ තබා ගැනීම නිසා විෂය අවලංගු කිරීම, විභාගය අවලංගු කිරීම මෙන් ම ජීවිත කාලයටම විභාග තහංචි පැනවීම ආදී දඬුවම් වලට යටත් වෙයි. එසේත් නැතිනම් අධිකරණ ක්‍රියාවලියට යාම සිදුවෙයි. විභාග කොමසාරිස් ජනරාල් තුමාගේ තීන්දුවට අනුව මේ දඬුවම පැමිණෙන බව සිසුන් දැනගත යුතු ය‍.
මේ වසරේ සිට අදාළ වැරැදි කළ අයට අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියාට (පත්වීම් බලධාරියාට) දැන්වීමක් කරයි. මොහු විභාග වංචාවක් කර ඇති අතර දඬුවම් ද දී ඇති හෙයින් වෘත්තිමය වශයෙන් දඬුවම් ද ලබා දෙන්නැයි කියා මේ අයට දන්වා යවයි. එය මේ වසරේ සිට ක්‍රියාත්මකයි.
විභාගයේදී නො කළ යුතු වැරැදි අතර කාර්ය මණ්ඩලය විසින් ද සිදු කරන්නාවූ වැරැදි ප්‍රමාණය අපමණය. විභාග වලට උදව් කිරීම මෙන් ම තම රාජකාරියට නොපැවරුණ කොටස් කිරීම නිසා ද විභාග පනත යටතේ දඬුවම් කිරීමට සිදුවේ. සමහර අය සමහර අපේක්ෂකයන්ට උදව් කිරීම මේ අතර ප්‍රධානය. මේවා විභාග ප්‍රධානීන්ට හසු කරගත හැකි ක්‍රම දෙකකි. එකක් වන්නේ විභාග ශාලාවේදී හසුකර ගැනීම ය. දෙවැන්න උත්තර පත්‍ර පිරික්සීමේදී එම වංචාව හසුකර ගත හැක.
යම් සිසුවකුගේ විභාග ප්‍රතිඵල නැවැත්වූයේ යැයි සිතමු. විභාග ශාලාවේදී ඔහු අතින් වරදක් සිදුවූයේ නැතිනම් ඒ ඇයි ද යන්න විමසීමට ඔහු අප වෙත පැමිණිය හැක. විමර්ශනයේදී පෙනීගියේ ඔහු තවත් අයකුගේ උත්තර පත්‍රයෙන් කොපි කර තිබී එය උත්තර පත්‍ර පිරීක්සීමේදී අසුවී ඇති බවයි.
එක සමාන පිළිතුරු ද හඳුනාගත හැක. ශාලාවේදී කාර්ය මණ්ඩලයේ උදව් ලැබුණහොත් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙයි. මේ අනුව පසුවදාට ඒ තොරතුරු ඔස්සේ ගොස් අත්අඩංගුවට ගැනීම් සිදු කළ හැක.
පැමිණිලි
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී ශිෂ්‍යයෝ අනවශ්‍ය දේ ලිවීම ඔවුන් කරන තවත් බරපතළ වරදක්. කවි, අසභ්‍ය වචන, අසභ්‍ය පිංතූර, අනවශ්‍ය පිංතූර, අභියාචනා ආදිය ලියයි. සමහර සිසුන් කිසිම පිළිතුරක් නොදී මේවායින් ම ප්‍රශ්න පත්‍රය පුරවයි. අ‍ඳෝනා ප්‍රශ්න පත්‍රවල නොඅඩුව දකින්නට ලැබෙන දෙයකි. පසුගියදා පැවැති සා/ පෙළ විභාගයක සිසුවෙක් සිය ප්‍රශ්න පත්‍රයේ නයි ‍තිදෙනෙකුගේ ඡායාරූප සහිත සටහනක් ඇඳ තිබුණි. එයින් එක් නයෙක් ඉදිරියේ සටහනක් දමා තිබුණේ “මේ නයා මට ඉදිරි පස සිටින එකා කාපිය” යනුවෙනි.
ඒ තමාට පිළිතුරු පත්‍රය නොපෙන්වීම නිසා ය. දෙවැනි නයාට දමා තිබුණේ “මේ නයා මා අසලින් යන විභාග නිරීක්ෂකයා කාපිය” යනුවෙනි. ඒ තමාට කොපි කිරීමට බාධා වන නිසා ය. තෙවැනි නයාට දමා තිබූ සටහන වන්නේ “මේ නයා විභාග ප්‍රශ්න පත්‍රය හදපු එකා කාපිය කියා ය” ඒ තමාට අමාරු ප්‍රශ්න පත්‍රයක් හැදීම නිසා ය. මෙවැනි වූ හාස්‍යජනක විකාරරූපී පිංතූර අදහස් ප්‍රශ්න පත්‍ර වල අනන්තවත් තිබුණ ද ඒවා ලිවීමෙන් කාලය මෙන් ම ලකුණු ද ගිලිහී යන අවස්ථා ඕනෑ තරම් ය. සමහරු අ‍ඳෝනා සමඟ මුදල් ද අමුණති. මෙය ශිෂ්‍යයන් කරන බරපතළ වරදකි. එක්තරා අවස්ථාවක එක්තරා විභාගයක අපේක්ෂකයෙක් ප්‍රශ්න පත්‍රය සමඟ රු. 15,000 ක මුදල් ඇමිණීමක් කර තිබුණි. එසේ ඇමිණීම තුළත් ඔහුට හෝ ඇයට විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයට පැමිණි උත්තර බැඳීමට ද සිදුවෙයි.
මේ මුදල් රජයේ ආදායමට බැර කරන අතර සිසුන්ගේ කිසිම අපේක්ෂාවක් ඉන් ඉටුනොවේ.
අත් අකු‍රු
ප්‍රශ්න ‍උත්තරවලට අමතරව කිසිම දෙයක් ප්‍රශ්න පත්‍රයක සටහන් කළොත් එයට විමර්ශනයක් සිදු කරන අතර එයට දඬුවම් විඳීමට ද සිසුවාට සිදුවෙයි. සිසුන් නොදන්නා කරුණක් වන්නේ විභාග ශාලාවේදී යමකු වරදක් කළොත් එය අසුනොවූයේ නම් අනිවාර්යයෙන් ම එම වරද හෝ වංචාව උත්තර පත්‍ර පිරීක්සීමේදී අසුවෙයි. විභාග ශාලාවෙන් ඉවතට ගිය පසු තමන් අසු නොවුණා යැයි සිතීම මුලාවකි.
ප්‍රශ්න පත්‍රයේ අත්අකුරු ගැටලුකාරී නම් ඒවා පිරික්සීමට රස පරීක්ෂකට යවයි. බොහෝ ශිෂ්‍යයන් ළඟ ළඟ ඇති අයගේ ප්‍රශ්න පත්‍ර හුවමාරු කරගෙන අමුණන අවස්ථා ඇත. තමන්ගේ ම අත්අකුරු කිහිප වර්ගයක් තිබුණ ද එය නොලියන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවිය යුත්තේ එකම අත්අකුරිණි. එක්තරා ප්‍රශ්න පත්‍රයක අත්අකු‍රු වර්ග 16 ක් තිබී එයට විමර්ශනයක් විභාග දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදී පෙනී ගියේ එය එක් සිසුවකු සතු හැකියාවක් වීමයි. අවසානයේ මේ ප්‍රශ්න පත්‍රය පිළිගන්නේ එක් එක් අත්අකුරු ඒ සිසුවා විසින් විදුහල්පති ඉදිරියේ සහතික කිරීමෙන් අනතුරුව ය. ඔබට කොතෙක් හැකියාවක් තිබුණ ද විවිධ අත්අකුරින් පිළිතුරු පත්‍රයට පිළිතුරු දීමෙන් ඔබ පමණක් නොව විභාග දෙපාර්තමේන්තුව ද අනවශ්‍ය අපහසුතාවයකට පත්විය හැක. සමහර විට එහි පාඩුව ඔබටම විඳින්නට සිදුවිය හැකි නිසා එක් අත්අකුරු වර්ගයක් පමණක් භාවිතා කරන්නට හුරු වන්න.
සමහර ශිෂ්‍යයන් ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගි නොවී සහභාගි වූවා යැයි පවසා විභාග දෙපාර්තමේන්තුවට පැමිණෙයි. බොහෝ මවුපියන් ප්‍රායෝගික පරීක්ෂණය සිදුකරන ශාලාවට ම ගොස් දරුවන් බැස්සුව ද ළමයින් විභාගයට පෙනී නොසිට මඟ හැර ඇත. මෙයට විමර්ශනයක් කැඳවීමේදී පෙනී යන්නේ මවුපියන්ට හොර ‍රහසේ සිසුන් විභාගයට පෙනී නොසිටි බවයි.
යමකු වෙනුවෙන් තවකෙකු විභාගයට පෙනී සිටීම තවත් සමහරු කරන වරදකි. මෙය අත්සනින්, හැඳුනුම්ප‍තින් හඳුනාගත හැක. බොහෝ විට හසුකර ගන්නේ ඔත්තුවෙනි. සමහර අය හැඳුනුම්පත් වෙනස් කරමින් විභාගයට පෙනී සිටි අවස්ථා තිබුණ ද ඒවා විභාග දෙපාර්තමේන්තුවේ සූක්ෂ්ම ඇසට අසුවේ. වෙනස් කරගන්න හැඳුනුම්පත් හඳුනාගැනීමේ විශේෂ ක්‍රම ද පරීක්ෂකවරු සතුව පවතී.
විභාග ශාලාවට මකන දියර ගෙනයාම මෙන් ම මකන දියර භාවිතය ද ‍තහනම් ය. මකන දියර භාවිතා කිරීමෙන් පිළිතුරු පත්‍රවල අනවශ්‍ය ගැටලු මතුවිය හැක.
හොඳින් බලන්න
අස්සන සහතික කරගෙන නොපැමිණීම ද ශිෂ්‍යයන් කරන තවත් වරදකි. පිළිතුරු පත්‍ර හරියට භාර නොදීම තවත් වරදකි. උත්තර පත්‍ර භාරදීමට ප්‍රථම සියලු කොටස් අමුණා ඇත් ද යන්න පිරික්සිය යුතු ය. පසුව ගෙනැවිත් භාරදීම වරදකි.
රතු, දම්, කොළ මෙන් ම විවිධ පාට වර්ග සහිත පෑන් භාවිතා කරමින් පිළිතුරු ලිවීම තවත් වරදකි. විභාගයට පිළිතුරු පත්‍ර ලිවීමේදි භාවිත කළ යුත්තේ නිල් හා කළු පෑන් පමණි. උපදෙස් වලට පටහැනිව පිළිතුරු නොලිය යුතු ය.
පැන්සලෙන් උත්තර සැපයීමට එපා යැයි උපදෙස් ලබා දී ඇතිවිට පැන්සලෙන් පිළිතුරු නොසැපයිය යුතු ය. උපදෙස් වලට පටහැනිව පිළිතුරු සැපැයීම ලකුණු ලබා නොදීමට හේතුවකි.
සමහරු හොර රහසේ පිළිතුරු පත්‍ර මාරු කරගෙන පිළිතුරු සපයයි. මෙය පිළිතුරු ඇගැයීම් ක්‍රියාවලියේ දී හසුවන අතර එය විශාල වරදකි. තමන්ගේ ස්ථානයේ නැතිව වෙනත් ස්ථානවල වාඩිවීම ද වරදකි. වෙන අයකු නොමැති යැයි සිතී එතන වාඩි වී පිළිතුරු සැපයීම වරදකි. පිළිතුරු මේස වල ලිවීම ද වරදකි‍. විභාග ශාලාවට කලින් ඇතුළුවීම ද වරදකි.‍ සමහරු පිළිතුරු පත්‍රයේ දුරකථන අංක, නම, ලිපිනය, පදිංචි ප්‍රදේශ ආදිය සඳහන් කරයි. එවැනි ඒවා විමර්ශනයට කැඳවා අදාළ දඩුවම් දෙන්නට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
පිළිතුරු ලිවීමේදී වැරැදියට ලියවුණොත් එය කපා දැමීම පමණක් කළ යුතු අතර පිළිතුරු පත්‍ර වැරැදි යැයි සිතා ඉරා නොදැමිය යුතු ය. පිළිතුරු පත්‍ර ඉරුවහොත් අනවශ්‍ය සැකයක් මතුවෙයි.
කාලය වැදගත්
විභාග ශාලාවෙන් කලින් නැගිට යාම වරදකි. එසේ උත්සාහ නොකළ යුතු ය. උපරිම කාලය ප්‍රයෝජනයට ගත යුතු ය. විභාග ශාලාවට පැමිණීමේදී පැය 1/2 ක් ප්‍රමාද වුවහොත් ඇතුළුකර නොගනු ලැබේ.
පසුගිය කාලය පු‍රාම සිදුවූ විවිධ වැරැදි වලින් අවසානයේ පාඩමක් උගත්තේ ඒ ඒ සිසුන්ම ය. ඉදිරියේ දී පැවැත්වෙන අ.පො.ස (සා/ පෙළ) විභාගය මුල් කරගෙන විභාග කොමසාරිස් ජනරාල් විසින් නැවතත් මේ පිළිබඳව මෙනෙහි කරන්නේ ඔබ අතින් දැන හෝ නොදැන මේ වැරැදි සිදුවේ යැයි යන අපේක්ෂාවෙනි.

සංගීතය ඉහළින් සමත් වෙන්න පුහුණුව වැදගත් බව සිතන්න

පෙරදිග සංගීතය

සංගීතය ඉහළින් සමත් වෙන්න පුහුණුව වැදගත් බව සිතන්න

අ.පො.ස (සා/ පෙළ) සෞන්දර්යය විෂය ධාරාව අතරින් පෙරදිග සංගීතය විෂය ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන විට ඔබ ප්‍රධාන විෂය ප්‍රශ්න පත්‍රවලට මුහුණදී අවසන්. එයින් ඔබේ හිත තරමක් හෝ නිදහසක් ගෙන දෙන්නට පුළුවන්.
සංගීත විෂයයත් අනෙකුත් විෂයයන් හා සමානවම ඔබට වැදගත්. හරියාකාරව විභාගයට (ලිඛිත හා ප්‍රායෝගික) මුහුණ දුන්නහොත් ඉතා පහසුවෙන් Aසාමාර්ථයක් කරා ඔබට යාමට පුළුවන්.
පෙරදිග සංගීතය ප්‍රශ්න පත්‍රය ප්‍රධාන කොටස් 2 කින් යුතුයි. මුලින් ම ඔබට ලැබෙන්නේ ලිඛිත ප්‍රශ්න පත්‍රයයි. ප්‍රායෝගික පරීක්ෂණයට ‍ඔබට මුහුණ දෙන්නට සිදුවන්නේ ඉන් පසුවයි. ඒ නිසා දැන් ඔබ සූදානම් විය යුත්තේ සංගීතය ප්‍රායෝගික පරීක්ෂණයට නොව ලිඛිත පරීක්ෂණයටයි‍.
ලිඛිත පරීක්ෂණයට සූදානම් වන ඔබට රාගධාරී සංගීතයේ කොටසට ද සූදානම් වන්නට ඔබට සිදුවෙනවා. මේ රාගධාරී සංගීතයේ කොටස් කවදාවත් කටපාඩම් කරන්න බැහැ. එහෙම කර විභාගයට සූදානම් වෙන්නත් එපා. ඔබ රාගධාරී සංගීතයේ ප්‍රශ්නයන්ට සූදානම් විය යුත්තේ රාගධාරී සංගීතයේ කොටස් ප්‍රායෝගිකව පුහුණුවෙමිනි. රාග පවා ඉඩ ලැබෙන ලැබෙන ආකාරයෙන් ගායනා කිරීමෙන් ඔබට ඒවා හොඳින් මතක තබා ගැනීමට හැකිවනු ඇත. අඩුම තරමින් එක් රාගයක් පස් වතාවක්වත් ගායනා කරමින් මතක තබා ගන්නට උත්සාහ කරන්න.
බොහෝ විට විභාගයට බිලාවල් රාගයේ මධ්‍ය ලය ගීතයෙන් ප්‍රස්ථාර ගත කරන්නට එන්න පුළුවන්. එවැනි ප්‍රශ්නයක් පැමිණියහොත් ප්‍රස්ථාර ගත කරන්නට නම් ගීතය ඔබ මතක තබාගත යුතුයි. මා සිතන ආකාරයට, මගේ අත්දැකීම අනුව ඒ සඳහා හොඳම ක්‍රමය ප්‍රායෝගිකව පුහුණුවීමයි.
ඔබට විභාග ප්‍රශ්න පත්‍රයට 8, 9, 10 හා 11 ශ්‍රේණිවල ඉගැන්වූ සියලු රාග එකතු වෙන්න පුළුවන්. ඒ නිසා පෙර ශ්‍රේණිවල ඉගැන්වූ රාග කොටස් ද ඔබ විභාගයට පෙර බලාගත යුතුයි. රාගවල ලක්ෂණ ගීත කොටස් ඔබ කටපාඩම් කිරීම ඉතා වැදගත්‍. සමහර විට විභාග ප්‍රශ්න පත්‍රයට රාග විස්තර ලියන්න එන්න පුළුවන්. ඔබට ලක්ෂණ ගීතය කටපාඩම් නම් රාග විස්තරය පහසුවෙන් ලිවිය හැකියි. සංගීත විෂයට පෙනී සිටීමේදී ඔබ විශේෂ අවධානයක් මේ කරුණට යොමු කළ යුතුයි. ඔබට ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන්නට නම් සංගීත විෂයේ ප්‍රායෝගික කොටස් පාඩම් කළ යුත්තේ ප්‍රායෝගික අභ්‍යාසයේ යෙදෙමිනි.
සංගීතය විෂය ප්‍රශ්න පත්‍රයට ජන සංගීතයේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන් ම එකතු වෙයි. ගැමි ගී, සේ ගීවල විශේෂ ලක්ෂණ මෙන් ම වන්නම් හා තාල පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. ඔබගේ විභාග ප්‍රශ්න පත්‍රයට ගැමි නාද මාලාවක් සහිත ගීතයක් දී ඒ සමඟම ගැඹුරු භාෂාවක් සහිත ප්‍රශස්ත ගීතයක් දී මේ ශෛලීන් දෙකෙහි විශේෂ ලක්ෂණ අහන්න පුළුවන්. ඍජුවම ගැමි ගී හා සේ ගී නොදී ඉහත ආකාරයට වක්‍රාකාරයෙන් ප්‍රශ්න දී මේ දෙකෙහි විශේෂ ලක්ෂණ ඇසීමේදී ඔබ ගැමි හා සේ ගී මොනවද යන්නත් ඒවායේ විශේෂ ලක්ෂණ මොනවාද යන්නත් දැනගත යුතුයි.
එසේ ම ඔබ පිළිතුරු ලිවීමේදී ගැමි ගීයට නිර්මාතෘ කෙනෙක් නැහැ. (නිර්නාමිකයි) සේ ගීය එසේ නොවේ කියා පිළිතුර නොසැපයිය යුතුයි.‍ පිළිතුර ලිවිය යුත්තේ සේ ගී ය ග්‍රන්ථාරූඪ ‍කොට නිර්මාතෘ වරයෙක් සඳහන් වේ යනුවෙනි.
ඔබ ලිඛිත භාෂාවේ පාරිභාෂිත වචන භාවිතා කළ යුතුයි. තාල ප්‍රස්ථාර ගත කිරීමේ දී නිවැරැදි සංඥා භාවිතා කරන්නට ඔබ, උත්සාහ කළ යුතුයි. නිවැරැදි අක්ෂර භාවිත කළ යුතුයි. එසේ නිවැරැදි අක්ෂර නොලියූ විට සම්පූර්ණ ලකුණු ඔබට අහිමි විය හැක. නිවැරැදි අක්ෂර, නිවැරැදි තාල සංඥා, නිවැරැදි ප්‍රස්ථාර ගත කිරීම් විභාගයේදී අත්‍යාවශ්‍යයයි. මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
ශිරෝමි වීරසිංහ
දේවි බාලිකා විද්‍යාලයේ
සංගීත විෂය බාර ආචාරිණී
චිත්‍රපට සංගීතය පිළිබඳවත් ඔබ වි‍ශේෂ අවධානයක් යොමු කළ යුතු ය. විෂය නිර්දේශිත චිත්‍රපට පිළිබඳව ඒවායේ අධ්‍යක්ෂණය, සංගීතය අදාළ චිත්‍රපටවල ඇතුළත් ගීත මෙන් ම ගායක ගායිකාවන් පිළිබඳ හොඳ අවබෝධයක් විභාගයට පෙර ඔබ ලබාගත යුතු ය. ඔබට විෂය නිර්දේශයට පිටතින් කිසිම දෙයක් එකතු නොවන නිසා සෑම විටම විෂය නිර්දේශයේ අඩංගු පාඩම් බලාගන්න.
නූර්ති ගීත, නූර්ති නාඩගම් ශෛලීන් පිළිබඳවත් ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතු අතර අවශ්‍ය වුවහොත් ගීතයක් ප්‍රස්ථාර ගත කිරීමටත් ඔබ දැනගත යුතු ය.
විභාගයට සූදානම් වීමේදී 10 ශ්‍රේණියේ විෂය නිර්දේශ‍ය පිළිබඳවත් ඔබ අවධානය යොමු කළ යුතු ය. ග්‍රැම‍ෆෝන් ගීත, සංගීත ශිල්පීන් පිළිබඳව ද විෂය නිර්දේශයේ අඩංගු පාඩම් බලාගත යුතු ය.
සංගීතය විෂය ප්‍රායෝගික විෂයක් හෙයින් ඔබ පාඩම් කළ යුත්තේ ද ප්‍රායෝගිකව පුහුණු වෙමිනි. බොහෝ ශිෂ්‍යයන් ප්‍රායෝගික පරීක්ෂණය පසුවට යෙදෙන නිසා ප්‍රායෝගික පුහුණුව යෙදීම අනවශ්‍යයැයි සිතයි. නමුත් අවධාරණයෙන් කිව යුත්තේ ප්‍රායෝගිකව යෙදෙමින් පාඩම් කිරීමෙන් හොඳ ප්‍රතිඵල අත්පත් කරගත හැකි බවයි.
ඔබට නූර්ති ගීතයක් ප්‍රස්ථාර ගත කරන්න පැමිණියොත් වයලීනයක් වාදනය කරමින් ඔබ පුරුදු වුවහොත් පහසුවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපයිය හැකියි. එසේත් නොමැති නම් අතින් තාල දමමින් හෝ පුහුණු වන්න.
බටහිර සංගීත කොටසට බොහෝ ශිෂ්‍යයන් දක්වන්නේ අසීමිත බියකි. ඒ නිසා එම කොටස් බොහෝ දෙනෙක් අතහරිනවා. නමුත් 8 ශ්‍රේණියේ සිට නිවැරැදිව ඉගෙන ගෙන පුහුණු වුවහොත් ලකුණු ලබා ගැනීමට පහසුම ප්‍රශ්නය බටහිර සංගීතයේ කොටසයි. ඔබට 11 වසර වනවිට බටහිර සංගීත ප්‍රස්ථාර කියවා ගැනීමේ හැකියාව පවතිනවා. එසේම පෙරදිග සංගීත ප්‍රස්ථාර බටහිරට හරවා ලිවීමට ද ඔබ පුහුණු විය යුතු ය. නිවැරැදි අවබෝධය ලබාගතහොත් ඔබට ලකුණු ලබාගැනීම වඩාත් පහසුයි. එම නිසා විභාගයට පෙර මුල සිට ඉගැන්වූ සියලු පාඩම් නැවත මෙනෙහි කරන්න. නිතරම ප්‍රායෝගික අභ්‍යාසයේ යෙදෙමින් පාඩම් කරන්න. අනිකුත් විෂයන් පාඩම් කරන අතර කෙටි විවේකයක් ගැනීමට ගන්නා කාලය තුළ ඔබට මේ ප්‍රායෝගික පුහුණුවේ යෙදිය හැකියි.
ඔබේ පෙරදිග සංගීතයේ පළමු පත්‍රය (බහුවරණ පත්‍රය) ප්‍රශ්න 40 කින් යුතුයි. දෙවැනි පත්‍රය එනම් ව්‍යුහගත රචනායි. බහුවරණ පත්‍රයට පිළිතුරු සැපයීමේදී 11 ශ්‍රේණියේ දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. විෂයට බාහිර දේ සංගීත භාණ්ඩ, තාක්ෂණ මෙවලම්, සංගීතඥයන් පිළිබඳව ද අවබෝධයක් තිබිය යුතුය.
II පත්‍රයට බොහෝ විට සරල නාද මාලාවක් නිර්මාණය කිරීමට දෙන්න පුළුවන්. එවිට ස්වර 4 ක් හෝ 5 ක සීමාවකට යටත්ව නිර්මාණය කරන්න. ස්වර ප්‍රමාණය වැඩියෙන් යොදා ගැනීම නිසා ඔබට වරදින්න පුළුවන්. සරල පද රචනා දී එයට ගැලපෙන තනුවක් නිර්මාණය කරන්නටත් ඔබ සූදානම් විය යුතු ය.
මෙවර ප්‍රශ්න පත්‍රයට මේ කොටස්වලින් ප්‍රශ්න ඒ යැයි අපට අනුමාන කරන්නට පුළුවන්. චිත්‍රපට සංගීතය, සංගීතයට තාක්ෂණයේ බලපෑම, පරිගණක භාවිතය සංගීතයට බලපාන ආකාරය වැනි කාලයට ගැළපෙන ප්‍රශ්න පැමිණෙන්න පුළුවන්. ඒ ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අමාරු යැයි හිතන්න එපා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  අමාරු යැයි හිතන්න එපා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයට ඇතුළත් වූයේ 2006 වර්ෂයේදී. ඒ නිසා මේ විෂය සා.පෙළ ශිෂ්‍යයන්ට තරමක් අලුත්. මෙහි පළමු විභාගය පැවැත්වූයේ 2007 වසරේදී. අලුත් විෂයක් නිසා බොහෝ ශිෂ්‍යයන් බිය වෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට. මන්ද A සාමාර්ථයක් ගැනීමට අපොහොසත් වෙයි කියා. බොහෝ දෙනෙක් පරිගණකය තමන්ට හොඳින් භාවිත කරන්නට හැකි යැයි සිතා මේ විෂය තෝරා ගන්නවා. එහෙම හැකියාවක් තිබූ පමණින් මේ විෂයයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම අපහසුයි. අනිත් විෂයයන් හා සන්සන්දනයේ දී මේ විෂයට A සාමාර්ථයක් ගැනීමේ සම්භාවිතාව තරමක් අඩුයි. කෙසේ වෙතත් අපි හරියාකාරව ගුරු අත්පොත් හා පෙළපොත් අධ්‍යයනය කරමින් ‍මා මේ කියන ආකාරයට විභාගයට සූදානම් වුවහොත් ඔබට පහසුවෙන් A සාමාර්ථයක් ලබාගත හැකියි.
අනාගතයට සාර්ථකව මුහුණ දීම සඳහාත් රැකියා වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නව දැනුම ලබාගැනීම සඳහාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයක් ලෙස හැදෑරීම පාසල් දරු දැරියන්ට ඉතා වැදගත්ය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ප්‍රශ්න පත්‍ර 2කින් සමන්විත වේ. 1 වන පත්‍රය සඳහා බහුවරණ ප්‍රශ්න 40ක් ඇති අතර ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් මුළු ලකුණු 40කි. මේ සඳහා කාලය පැය 1ක් ලැබේ. පළමු පත්‍රය සඳහා මුළු විෂය නිර්දේශයේ සෑම ඒකකයක්ම ආවරණය වන පරිදි සැකසේ.
II ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 7කින් සමන්විත වන අතර එයින් පළමු ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු අතර තවත් ප්‍රශ්න 4ක් තෝරා ගැනීමට ඔබට සිදුවෙයි. ඒ අනුව II පත්‍රයට ප්‍රශ්න 7න් 5කට පැය 2ක කාලයක් තුළදී පිළිතුරු සැපයිය යුතුය. මෙහි අනිවාර්ය‍ය පළමු ප්‍රශ්නය කෙටි ප්‍රශ්න 10කින් සමන්විත වේ. ඒ සඳහා 1 වන කොටසට ලකුණු 2 බැගින් ලකුණු 20ක් හිමිවේ.
අනෙකුත් ප්‍රශ්න 4 සඳහා එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලකුණු 40ක් හිමිවේ. මේ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රය සඳහා ලකුණු 40කුත් II පත්‍රය සඳහා ලකුණු 60කුත් ලැබෙන අතර මේ දෙකේ එකතුවෙන් අවසන් ලකුණු ගණනය කෙරේ.
II පත්‍රයේ පිළිතුරු පත් ඇගැයීමේ දී පොදුවේ දැකිය හැකි කරුණක් වන්නේ දරුවන් පිළිතුර දැනගෙන සිටිය ද නිවැරැදිව පිළිතුරු ලිවීමට නොදැනීම නිසා බොහෝවිට ලකුණු ගිලිහී යන බවයි.
II පත්‍රයේ පළමු ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට පෙර ඔබ මුළු විෂය නිර්දේශයේ ම අඩංගු කරුණු පිළිබඳ අවබෝධයක් ලබා තිබිය යුතුය. මෙහි කෙටි ප්‍රශ්න 10ට දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ කෙටි හා නිශ්චිත පිළිතුරු පමණි. දීර්ඝ පිළිතුරු සැපයීමෙන් ලකුණු ගිලිහී යනවා පමණක් නොව කාලය ද නිරපරාදේ විනාශ වී යයි. පළමු ප්‍රශ්නයේ සරල ප්‍රශ්න ඇතුළත් වුවත් බොහෝ දරුවන් මේ ප්‍රශ්නයට ද ප්‍රමාණවත් ලකුණු ලබා නොගනී. එසේ වන්නේ නොසැලකිලිමත් බව හා නිශ්චිතව පිළිතුර ලිවීම නිසා ය. එක් කෙටි ප්‍රශ්නයක (a) , (b) යනුවෙන් ප්‍රශ්න‍ කොටස් 2ක් ඇත්නම් පිළිතුරු ලිවී‍ෙ‍ම් දී (a), (b) ලෙස පිළිතුර ද වෙන් වෙන්ව ලිවීමට මතක තබාගත යුතුය.
බොහෝ ශිෂ්‍යයන්ගේ ගැටලුවක් වන්නේ ප්‍රශ්නය පිළිතුරු ලිවීමට පෙර හොඳින් කියවා නොබැලීමයි.
උදා: Bits 7 කින් නිරූපණය කළ හැකි Symbols ගණන කීයද? ගණනය කිරීම් පෙන්වන්න.
මෙහිදී ඇතැම් දරුවන් 128 යනුවෙන් පමණක් පිළිතුරු ලියයි. ප්‍රශ්නයට අනුව ගණනය කරන ආකාරය 27 (2 හි 7 වන බලය) සහ Symbols ගණන 128 ලෙස පිළිතුරට ඇතුළත් විය යුතුය.
ඉමල්කා දිසානායක
දේවි බාලිකා විද්‍යාලයේ තොරතුරු හා
සන්නිවේදන තාක්ෂණ විෂය බාර ආචාරිණී
graphic and animation software ඇතුළත් ඒකකය දරුවන් වැඩි අවධානයක් යොමු නොකරන කොටසකි. පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර පිළිබඳ අවධානය යොමු කළ විට පළමු ප්‍රශ්න 10න් එකක් එම කොටසින් දී ඇත. මේ නිසා අමාරු ඒකක යැයි අත නොහැර සෑම ඒකකයක් පිළිබඳවම අවධානයක් යොමුකර පාඩම් කරන්නට ‍මතක තබා ගන්න.
විෂය නිර්දේශයේ සියලු ඒකක හොඳින් අධ්‍යයනය කළ දරුවකුට II පත්‍රයේ පළමු ප්‍රශ්නය සඳහා ලකුණු ලබාගැනීම ඉතා පහසු වෙයි.
ප්‍රශ්න පත්‍රයේ අනිකුත් ප්‍රශ්න සැලකිමේ දී Spreadsheets සහ Algorithms යන පාඩම්වලින් සෑම වසරකම ප්‍රශ්න 2ක් ඇතුළත් වී ඇත.
Spreadsheets පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී අදාළ cell එකෙහි ඇතුළත් කරන formula / function එක පමණක් පිළිතුර සඳහා ලිවීමට මතක තබාගත යුතුයි.
උදා: D6 Cell එක තුළ ලිවිය යුතු Function එක = Sum (D1 : D5) නම්, D6 = Sum (D1 : D5) ලෙස පිළිතුර ලිවීම ඇතැම් දරුවන් කරන වරදකි. එසේ ලිවීමෙන් සම්පූර්ණ ලකුණු අහිමි වී යයි.
එසේම formula / function ලිවීමේදී ‘=’ ලකුණ යෙදීමට මතක තබා ගන්න. cell references ලිවීමේ දී Absolute references (උදා: B $ 6) ලියන අවස්ථා සහ ආකාර දැන සිටිය යුතුය.
Algorithm පිළිබඳ ප්‍රශ්නය දරුවන්ගේ තර්කානුකූලව සිතීමේ හැකියාව මැන බලන ප්‍රශ්නයකි. මෙය බො‍හෝ දරුවන් අමාරු ප්‍රශ්නයක් සේ සලකා කලින්ම අතහැරීමට තීරණය කළ ද මෙය පහසුවෙන් ලකුණු ලබාගත හැකි ප්‍රශ්නයකි.
Flowcharts / Pseudo Codes වල භාවිතා වන Variable names සඳහන් කිරීමේදී Capital lettersSimple letters වල අක්ෂර වින්‍යාසය නිවැරැදිව ලිවීමට මතක තබාගන්න.
උදා: House = house.
එසේම Flow charts අඳින විට නිවැරැදි සංකේත භාවිත කළ යුතුයි.
මෙවැනි ප්‍රශ්නවලට බිය නොවී දී ඇති සිද්ධිය හොඳින් තේරුම්ගෙන පිළිතුරු ලිවීමෙන් පහසුවෙන් ලකුණු ලබාගත හැකිය.
අවසාන ඒකකය වන ‘තොරතුරු තාක්ෂණය සමාජයේ භාවිතය’ ද සෑම වසරකම ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වන ඒකකයකි. මෙම ප්‍රශ්නය සාමාන්‍ය දැනීමෙන් පිළිතුරු සැපයිය හැකි පහසු ප්‍රශ්නයක් සේ පෙනුණ ද ප්‍රශ්නයට විශේෂිත පිළිතුරු බලාපොරොත්තු වන බව දරුවන් මතක තබාගත යුතුය. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ දී හොඳින් කියවා අවබෝධ කරගෙන, තමා ලියන පිළිතුර ප්‍රශ්නයට අදාළ දැයි තහවුරු කරගෙන පිළිතුර ලිවිය යුතුයි. එසේම විශේෂිත පද (උදා : firewall) පැහැදිලි කිරීම් වලදී එය නිවැරැදිව අවශ්‍ය Key Words යොදා නිර්වචනය කළ යුතු අතර මේවාට බොහෝ විට කොටස් ලකුණු හිමි නොවේ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පරිගණක ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත විෂයක් වුවද සියයට සියයක් ලකුණු ලැබෙන්නේ ලිඛිත පරීක්ෂණයකින් බැවින් අදාළ න්‍යායාත්මක දැනුම තිබීම අත්‍යවශ්‍ය වේ.
මෙම විෂයේ ප්‍රායෝගික කොටසේ විවිධ මෘදුකාංග භාවිතය පිළිබඳ අන්තර්ගතවේ. මෙහිදී විවිධ කාර්යයන් කිරීමට වි‍ෙශ්ෂිත වූ මෘදුකාංග වර්ගය කුමක්ද යන්න දැනගත යුතු අතර ඒවායේ වෙළෙඳ නාමයන් වැදගත් නොවේ. පිළිතුරු ලිවීමේ දී දරුවන් වෙළෙඳ නාමයන් සඳහන් නොකළ යුතුය.
උදා:- documents සැකසීම සඳහා word processing softwaredatabase නිර්මාණය කිරීමට database management Systems යන මෘදුකාංග භාවිතා කරන බව දරුවන් දැනගත යුතුයි. විශේෂිත මෘදුකාංගයක් ආධාරයෙන් යම් කාර්යයක් කිරීමේ පියවර මතක තබා ගැනීම දරුවන්ගෙන් බලාපොරොත්තු නොවේ.
විභාගයට දින කිහිපයක් ඇති බැවින් පසුගිය ප්‍රශ්න පත්‍රවලට නැවත පිළිතුරු ලිවීමෙන් විෂය කෙරෙහි ඔබ තුළ හොඳ විශ්වාසයක් ගොඩනඟාගත හැකිය.
ඔබට මඟහැරී ඇති පාඩම් ඇත්නම් ඒවා පාඩම් කිරීමට දැනටමත් ඇති කාලය ප්‍රමාණවත්ය. මේ කාලය අපතේ නොහරින්න. සම්පූර්ණ කාලයම විභාගය සඳහා සූදානම් වන්න.
පසුගිය වසර පහ තුළ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමෙන් ප්‍රශ්න සකස් කරන රටාව ගැන ඔබට හොඳ අවබෝධයක් ලබාගත හැකිය.
නැවතත් මතක් කළ යුතු කරුණක් වන්නේ විශේෂයෙන්ම සියලුම ප්‍රශ්න හා උපදෙස් හොඳින් කියවා අවබෝධ කරගෙන ඒ අනුව පිළිතුරු ලිවීමයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසු දරුවන්ට ඒ සඳහා විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමටත් මේ කියූ උපදෙස් හොඳින් පිළිපදින්න.

Wednesday, November 20, 2013

ෆ්‍රෙස්‌කෝ හා ටෙම්පරා

සීගිරි සිත්තරාගේ සිතුවම් තාක්‌ෂණය

කේ. උදේනි අරුණසිරි
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය
කොටුව, ගාල්ල.


පුරාවිද්‍යාඥයන්ගේ ද, කලා විශේෂඥයන්ගේ ද හා රසිකයන්ගේ ද මහත් අවධානයට ලක්‌වන්නා වූ සීගිරිය වූ කලී අතීතයේදී මෙන්ම වර්තමානයේ ද බිතුසිතුවම් කලාවට ලැදියාවක්‌ දැක්‌වු මිනිසුන්ගේ අවධානයට පාත්‍ර වූ ලොව වැදගත්ම පෞරාණික ස්‌ථානවලින් එකක්‌ ලෙස සැලකිය හැකි වේ. සීගිරි බලකොටුව පළමුවන කාශ්‍යප (ක්‍රි. ව. 417 -495) රජු විසින් නිර්මාණය කළද සීගිරියේ ඉතිහාසය ඊට ශතවර්ෂ ගණනාවකට පෙර ඇරඹෙයි. කිස්‌තු පුර්ව තුන්වන ශතවර්ෂයේ සිට ක්‍රිස්‌තු වර්ෂ දෙවන ශතවර්ෂය දක්‌වා කාලයට අයත් බ්‍රාහ්මී ලිපි කිහිපයක්‌ සීගිරි පර්වතය පාමුල පිහිටි ගල් ලෙන්වල දක්‌නට ඇත. සීගිරිය වර්තමානයේ ලෝක උරුමයක්‌ වීමට බලපෑ ප්‍රධාන ලක්‌ෂණය වනුයේ එහි දක්‌නට ලැබෙන සිතුවම්ය. සීගිරියේ ප්‍රධාන සිතුවම් පන්තිය මහා පර්වත බෙයදෙහි බටහිර ප්‍රදේශ මුහුණතෙහි පිහිටා ඇත. මෙහි දැනට ඉතිරි වී ඇති රූප ප්‍රමාණය 23 ක්‌ වන අතර ඒ සියලුම රූප ස්‌ත්‍රී රූප වේ. එම ලලනා රූප වලාකුළු අතර පාවෙමින් සිටින ආකාරයට දක්‌වා ඇති අතර සියලුම රූපවල උඩුකය පමණක්‌ නිමවා තිබීම විශේෂය.

අනුරාධපුර අවධියේ සිතුවම් නිර්මාණය කිරීමේ දී යොදාගත් තාක්‌ෂණික විධික්‍රම අධ්‍යයනය කරන විට ඉතාමත් වැදගත් ස්‌ථානයක්‌ සීගිරි සිතුවම්වලට හිමි වේ. කලාකෘතියක්‌ ඇගයීමේදී එහි කලාත්මක බව ගැන පමණක්‌ නොව ඒ සඳහා යොදාගත් ශිල්පක්‍රම ගැනද සැලකිලිමත් වීම වටී. විශේෂයෙන්ම පැරැණි කලාකෘතියක්‌ ඇගයීමේදී එහි ශිල්පක්‍රමය, තාක්‌ෂණය පිළිබඳව දැක්‌විය යුතු සැලකිල්ල අති විශාලය. එවැනි කලාකෘතියක්‌ අද දක්‌වා ආරක්‌ෂා වී පවතින්නේත්, එහි විද්‍යමාන ස්‌වරුපය රඳාපවතින්නේත් ඒ සඳහා යොදාගෙන ඇති තාක්‌ෂණික ක්‍රියාමාර්ගවල සාර්ථකභාවය නිසාමය. මෙරට සිතුවම් කලාවේ කැඩපත එනම් හෙල සිත්තරාගේ ලකුණ ලෙස සීගිරි සිතුවම් අදටත් වැජඹෙන්නේ එම සිතුවම් නිර්මිත සුවිශේෂී තාක්‌ෂණයේ බල මහිමයෙන් ඒවා අද දක්‌වා නොනැසී පැවතීම හේතුවෙනි. සීගිරි බිතුසිතුවම් නිර්මාණකරණයේ තාක්‌ෂණය දෙස අවධානය යොමුකරන විට චිත්‍ර කර්මය සඳහා පර්වත පෘෂ්ඨය සකස්‌ කර ඇති ආකාරය, බදාම තට්‌ටුවේ සංයුතිය සහ චිත්‍රණය කළ ක්‍රමය පිළිබඳව සැලකීම වටී.

සීගිරි බිතුසිතුවම්හි තලය ලෙස භාවිත පර්වත පෘෂ්ඨය මත බදාම ස්‌ථරය හෝ ස්‌ථරයන් යෙදීමට පෙර පර්වත පෘෂ්ඨය සකසාගෙන ඇති ආකාරය පිළිබඳ විවිධ පර්යේෂණ ම`ගින් සාධක ලැබී ඇත. එහිදී මටසිලුටු ස්‌වාභාවික පෘෂ්ඨය ඉවත්කොට රළු පෘෂ්ඨයක්‌ මතු කරගෙන ඒ මත බදාම ස්‌ථරය යොදා ඇති බව අනුර මනතුංග මහතාගේ අදහසයි. කුළුගෙඩි සහ ගල්කටු වැනි දළ මෙවලම් මේ සඳහා යොදාගන්නට ඇති බව ඔහු අනුමාන කරන අතර පර්වත පෘෂ්ඨය මට්‌ටම් කිරීමක්‌ හෝ ක්‍රමවත් සැලැස්‌මකට සකස්‌ කිරීමක්‌ මෙහිදි සිදුවී නැති බව ඔහු තවදුරටත් පෙන්වාදී ඇත. එහිදී කැටපත් පවුර ආශ්‍රිත බටහිර පර්වත බෙයදයේ විශාල කොටසක ස්‌වාභාවික පෘෂ්ඨය මෙලෙස ඉවත් කර ඇත. වැසි දිනවලට පර්වත බෙයදය දිගේ ජලය බැසීම වැළැක්‌වීම සඳහා ඉහළින් කටාරමක්‌ද යොදා ඇති බව මනතුංග මහතා සඳහන් කරයි. නමුත් එම කටාරම ප්‍රමාණවත් නොවු බව දැනට ශේෂ වී ඇති සිතුවම් කිහිපයෙන් සනාථ වේ. පර්වත කෙවෙනි මුළු මනින්ම කැණ සකස්‌ කරගත් ඒවා නොව පර්වත බෙයදයේ පෙර සිට පැවති කුහර බව හඳුනාගෙන ඇත. නමුත් ස්‌වාභාවික පර්වත පෘෂ්ඨය ඉවත් කිරීමේදී මේ කුහරවල විශාලත්වය වැඩිවන්නට ඇත. අනුර මනතුංග මහතා සීගිරි සිතුවම් නිර්මිත පර්වත පෘෂ්ටය මටසිලුටු එකක්‌ නොවන බව පෙන්වාදී ඇති අතර ඒ බව මාලිංග අමරසිංහ මහතා ද සනාථ කර තිබේ. ඒ. වී. සුරවීර මහතාගේ අනුරාධපුර සංස්‌කෘතිය කෘතියේ පෙන්වාදෙන පරිදි පී. ඊ. පී. දැරණියගල මහතා සඳහන් කරන්නේ පර්වත බිත්තිය සමතලා කොට මැටි බදාම ඒ මත යොදා ඇති බවයි. එනම් පෙර සඳහන් කළ රළු පෘෂ්ඨය මත නොව සුමට පෘෂ්ඨයක්‌ මත බදාම ස්‌ථර යොදා ඇති බවය. සිත්තරා පර්වත පෘෂ්ඨය තෝරාගැනීsමෙන් පසු බදාම ආලේපයට ප්‍රථම විෂම පර්වත පෘෂ්ඨයට මඳක්‌ ඔප මට්‌ටම් කර උල් සහිත යකඩයක ආධාරයෙන් එහි සියුම් සිදුරු පන්තියක්‌ සකස්‌ කරගෙන ඇති බව සෝමතිලක මහතා දක්‌වයි. ඒ අනුව ඒ මතුපිට යොදන බදාම ස්‌ථරය ඉතා හොඳින් රළු ගල්තලය මත ස්‌ථිර ලෙසින් රැඳී සිටීමට මෙසේ කළ බවක්‌ පෙනේ. බොහෝවිට මේ කටයුතු සියල්ලම පාහේ දක්‌ෂ ගල්වඩුවකු අතින් සිදුවන්නට ඇත. මෙම කාර්යයේදී සිත්තරාගේ උපදේශයද නිරන්තරයෙන් ලැබෙන්නට ඇත. ගල්පර්වතයේ තිබු විෂමතා එනම් වළගොඩැලි ආදිය එතරම් බාධකයක්‌ ලෙස නොසැලකූ සීගිරි සිත්තරා බුරුල්ව තිබු ගල්පතුරු ගලවා හැරදමා අවශ්‍ය ස්‌ථාන සකසාගන්නට ඇති බවටද මත තිබේ.

මේ සියලු විද්වත් මත සංසන්දනය කිරීමෙන් අපට පෙනීයන්නේ සීගිරි සිත්තරා පර්වත පෘෂ්ඨයේ දැඩි රලු ස්‌වභාවයන් ඉවත් කර මඳ රළු ස්‌වභාවයකින් සකස්‌කරගෙන ඒ මත බදාම ස්‌ථරයන් යොදන්නට ඇති බවය. සිතුවම් පෘෂ්ඨය වඩාත් රළු වුවහොත් මෙන්ම වඩාත් සුමුදු වුවහොත් ගැටලු පැනනගී. වඩාත් රළු පෘෂ්ඨය මත බදාම ස්‌ථර යෙදීමේ අපහසුව මෙන්ම සිතුවම් නිර්මාණයට ද බාධා ඇති වනවා සේම වඩාත් සුමුදු වුවහොත් පර්වත පෘෂ්ඨයට බදාම මනාව නොඅල්ලනු ලැබේ.

සීගිරි සිතුවම් නිර්මාණය කරන ලද තලය සකසා ගැනීමේ දී ඒ සඳහා යොදාගත් බදාමයන්ගේ සංයුතිය පිළිබඳව විද්වතුන් විවිධ පර්යේෂණ සිදුකර අදහස්‌ ඉදිරිපත් කර තිබේ. එහි දී ආනන්ද කුමාරස්‌වාමි මහතා සඳහන් කරන්නේ දහයියා ඇතැම්විට පොල්කොහු එක්‌ කිරීමෙන් ශක්‌තිමත් කරන ලද මැටි (හුඹස්‌) හා කිරිමැටි මිශ්‍රණයක්‌ පළමු කොට අ`ගල් භාගයක්‌ පමණ ඝනකමට යොදා සුදු හුණුවලින් වසා හැන්දකින් පිරිමදිමින් බදාම ආලේප කර තිබෙන බවය. චන්ද්‍රd වික්‍රමගමගේ මහතා ඒ පිළිබඳව ප්‍රකාශ කරන්නේ මැටි, කෙඳි වර්ග හා දහයියා මිශ්‍ර බදාමයක්‌ මත වැලි, මැටි, කෙඳි සහ හුණු මිශ්‍ර බදාමයක්‌ ගා පසුව හුණු ආලේප කර ඇති බවය. සීගිරි බිතුසිතුවම් තලයේ නිෂ්පාදනය පිළිබඳව 1940 මෙරටට පැමිණි ඛාන් බහාදූර් මොහොමඩ් සානා උල්ලා නම් ඉන්දීය රසායන පුරාවිද්‍යාඥයා සුවිශේෂි විස්‌තරයක්‌ දක්‌වා ඇත. ඔහු සඳහන් කරන්නේ බදාම ස්‌ථර තුනක්‌ මත මෙම සිතුවම් නිමකර ඇති බවයි. දැනට සිදුකර ඇති බොහෝ පර්යේෂණ ම`ගින් සීගිරි බිතුසිතුවම් තලය ප්‍රධාන බදාම ස්‌ථර තුනකින් සමන්විත වන බව හඳුනාගෙන ඇති අතර එම ස්‌ථරයන්හි සංයෝග පහත පරිදි හ\qනාගත හැකිය.

පළමු ස්‌ථරය

නන්දදේව විඡේසේකර මහතාට අනුව මෙහි පැළෑටි කෙඳි, දහයියා අඩංගු රතුපැහැ දේශීsය දියළු මැටි ස්‌ථරයක්‌ යොදා ඇති අතර රක්‌ත වර්ණය ගෙනදීමට උපකාරීවන පෙරික්‌ ඔක්‌සයිඩ් ද සැලකිය යුතු ප්‍රමාණයක්‌ එහි අඩංගු කර තිබේ. ඒ මහතා මෙම රතු පැහැ දේශීය දියළු මැටි අක්‌මා රතු පසක්‌ (Liverred) ලෙස හඳුන්වා තිබේ. මෙම පළමු බදාම ස්‌ථරය පිළිබඳව අදහස්‌ දක්‌වන අනුර මනතුංග මහතා එහි අඩංගු පස හුඹස්‌ මැටි විය හැකි බව දක්‌වයි. මෙහි යොදාගෙන ඇති පැළෑටි කෙඳි කැබලි කරන ලද ශාක පත්‍ර හෙවත් පිදුරු බව පෙන්වාදී ඇත. එසේම එම සංයුතියේ නොගෙවුණු වැලිකැට ද අඩංගු බව හෙතෙම හඳුනාගෙන තිබේ. මෙම බදාම ස්‌ථරය පිළිබඳ කරුණු දක්‌වන පී. ඊ. පී. දැරණියගල මහතා වී පොතු, හුඹස්‌ මැටි, මකුළු. කොහු, කසපැන් සහ පැණි යෙදීමෙන් එය තනාගෙන ඇති බව පෙන්වාදෙයි. එය ගල් මුහුණතේ හොඳින් ඇලෙන පරිදි තදින් කොටාගන්නට (බිත්තියේ ආලේප කොට උපකරණයකින් තදකරගන්නට ) ඇති බවද සඳහන් කරයි. නමුත් බෙල් මහතා සඳහන් කරන්නේ මෙය අතින් මට්‌ටම්කර තනාගත් තලයක්‌ බවය. පර්වත පෘෂ්ඨයේ වළ ගොඩැලිවලට අනුව මෙහි ඝනකම විවිධය. ආර්. එච්. ද සිල්වා මහතා පරීක්‌ෂා කළ නියෑදිවලට අනුව මෙහි සාමාන්‍ය ඝනකම සෙන්ටිමීටර් 1.25 ක්‌ පමණ වේ. අග්‍රවාල් මහතා සහ නන්දා වික්‍රමසිංහ මහත්මිය සිදුකරන ලද පර්යේෂණවලට අනුව ඔවුන් සීගිරි සිතුවම් තලයේ පළමු ස්‌ථරයේ සංයුතිය මැටි සහ වැලි මිශ්‍ර බදාමයක්‌ ලෙස දක්‌වයි. එම බදාමයේ කලු පැහැති කුඩා කළු ගල් කැට ද, හණ රෙදි නූල්ද එකතුකර ඇති බව ප්‍රකාශ කර තිබීම සෙසු විද්වතුන්ගේ මතවලට වඩා වෙනස්‌ම සොයා ගැනීsමකි.

දෙවන ස්‌ථරය

සානා උල්ලා මහතා සඳහන් කරන ආකාරයට දෙවන බදාම ස්‌ථරය ලා කළු හෝ අළු පැහැයට ආසන්න පැහැයක්‌ බවද එහි වැලි, මැටි, හුණු හා පැළෑටි කෙඳි කොටස්‌ ද අන්තර්ගත වේ. ඉතා පහසුවෙන් කුඩුකළ හැකි මෙම ස්‌ථරයේ එතරම් ශක්‌තියක්‌ නොමැති බවත් 2.75% ක පමණ හුණු ප්‍රමාණයක්‌ හා 5% ක පමණ කැල්සියම් කාබනේට්‌ ප්‍රමාණයක්‌ද අඩංගු බව සඳහන් කර තිබේ. මෙම බදාම ස්‌ථරය මුල් අවධියෙහි දී බෙහෙවින් ශක්‌තිමත්ව තිබෙන්නට ඇති නමුත් සියවස්‌ ගණනාවක්‌ මුළුල්ලෙහි ස්‌වාභාවික පරිසරයෙහි බලපෑම නිසා වර්තමානය වන විට දුර්වල වී ඇති බවට මත තිබේ. ඇතැම් විට ගොම, ධාන්‍ය වර්ග මැලියම් හා ඉටි වැනි ඇලෙනසුළු ද්‍රව්‍යලුද මේ සඳහා උපයෝගි කරගන්නට ඇතැයි සිතිය හැකි නමුත් විසංයෝජනය නිසා ඒවා කාලයක්‌ සම`ග විනාශ වන්නට ඇත.මෙම මධ්‍ය බදාම ස්‌ථරයේ හුණු, වැලි සහ කළු පැහැති කුඩා ගල්කැට ද එයට සීනි (මී පැණි විය හැක) සහ ඇමයිනෝ අම්ලද මිශ්‍රවී ඇති බවට මත ඇත. අනුර මනතුංග මහතා මෙම මධ්‍ය ස්‌ථරයේ සංයුතිය පිළිබඳව කරුණු දක්‌වමින් පවසන්නේ මේ සඳහා බහුලව මැටි යොදා ඇති බවයි. මඳ ප`ඩුවන් පැහැයෙන් යුත් (මී හරක්‌ හමේ පැහැය) ඒ මැට්‌ට කිරි මැටි ද, පැළෑටි කෙඳි පිදුරු බවට ද එම මහතා පෙන්වා දෙයි. එසේම ශාක පත්‍ර සහ නොගෙවුණු වැලිකැට යන ද්‍රව්‍යයද මෙම ස්‌ථරයේ අඩංගු බව සඳහන් වෙයි. මෙම බදාම ස්‌ථරය මුල් බදාමයේ (පළමු ස්‌ථරයේ) සැම තැනැකම නොමැති බවත් එවන් ස්‌ථානයක්‌ ලෙස -ඒ, කෙවෙනියේ උතුරු කෙළවර දක්‌වා ඇත. එහි ඇත්තේ පාදම් තලය සහ මතුපිට තලය පමණි. මෙම බදාමයේ ඝනකම මි.මී. 5.6- 5.8 අතර වේ.

තුන්වන ස්‌ථරය

අද්විතීය සීගිරි සිතුවම් නිර්මාණය කරන ලද බදාම ස්‌ථරය වන්නේ තෙවන ස්‌ථරයයි. බොහෝ විද්වතුන් සීගිරි සිතුවම්හි බදාම ස්‌ථර තුනක්‌ හඳුනාගත්ත ද මාලිංග අමරසිංහ මහතා බදාම ස්‌ථර දෙකක්‌ පමණක්‌ හඳුන්වා දෙයි. විවිධ විද්වතුන්ගේ දත්ත ඇසුරින් කරණු දක්‌වන එතුමාගේ අදහසට අනුව ගල් පර්වතයේ පළමුව යෙදු බදාමය මත හුණු, පැණි හෝ බිත්තර සුදු මඳ ආදිය එකට අනා සකස්‌ කරගත් බදාමය යොදා සිතුවම් ඇඳ තිබේ. මේ සඳහා ඇතැම්විට දී කිරි ද එකතුකරන්නට ඇත. අමරසිංහ මහතාගේ මෙම අදහස ඒ.වී. සුරවීර මහතා 1961 වර්ෂයේ පළකරන ලද අනුරාධපුර සංස්‌කෘතිය නම් ග්‍රන්ථයේ දී පෙන්වාදී ඇති බව තහවුරුවේ. සානා උල්ලා මහතාගේ මතය අනුව තෙවැනි ස්‌ථරය තුනී බදාම තට්‌ටුවක්‌ වන අතර එය අ`ගලකින් අටෙන් එකක්‌ වේ. එහි වැලි හා හුණු 17.5% ක ප්‍රමාණයක්‌ අඩංගු බවද සඳහන් කරයි. එම බදාමය මතුපිට හොඳින් සිතුවම් ඇඳීමට හැකිවන පරිදි හුණු ස්‌ථරයක්‌ යොදා මැනවින් ඔප මට්‌ටම් කර තිබේ. මෙම සම්පුර්ණ බදාමයේ ඝනකම අ`ගලකින් අටෙන් තුනේ සිට අ`ගල දක්‌වා පර්වත පෘෂ්ඨයේ ආකෘතිය අනුව වෙනස්‌ වී ඇත. මෙම තෙවන බදාමය හුණු තට්‌ටුවක්‌ පමණක්‌ බවටද මත තිබේ. මෙම මතුපිට තලය ඉතා සියුම් එකක්‌ වන අතර සුදු පැහැයෙන් යුක්‌ත වේ. මෙහි හුණු 33.3% ක්‌ද මැටි 0.43% ක්‌ද වන බව අමරසිංහ මහතා දක්‌වයි. එසේම බෙල් මහතා ප්‍රකාශ කරන්නේ මෙම තලය බදාම හැන්දක්‌ උපයෝගිකරගෙන මනාව මට්‌ටම් කර ඇති බවය. මෙහි ඝනකම මි.මී 4-4.6 ක්‌ බව දක්‌වන අතර ඒ අනුව උපරිමය මි. මී. 4.6 කි.

මෙම කරුණු සැලකිල්ලට ගැනීsමේදි බොහෝ විද්වතුන් සීගිරි සිතුවම් නිර්මාණය සඳහා බදාම ස්‌ථර තුනක්‌ යොදාගෙන ඇති බව පෙන්වා දෙන බව සනාථ වේ. මෙම ස්‌ථර තුනේම බැඳියම් මාධ්‍ය ලෙස ශාක මැලියම් සහ වියළි තෙල් අඩංගුකර තිබෙන බවට මත පවතී.

සීගිරි සිතුවම් නිර්මිත තලයේ තාක්‌ෂණික පසුබිම හඳුනාගත් පසු එම සිතුවම් අඳින ලද ශිල්පක්‍රමය පිළිබඳව ද අවධානය යොමු කිරීම වටී. බදාමයක්‌ මත චිත්‍රණය කිරිමේ මූqලික ශිල්ප ක්‍රම දෙකක්‌ ඇති අතර ෆ්‍රෙස්‌කෝ හා ටෙම්පරා යනු එම ක්‍රම දෙකය. මීට අමතරව ෆ්‍රෙස්‌කෝ සෙකෝ නැමැති ක්‍රමයක්‌ ද වේ. ෆ්‍රෙස්‌කෝ ක්‍රමයේදී සිත්තරා තෙත බදාමය මත චිත්‍රණය කරන අතර ටෙම්පරා ක්‍රමයේදි වියළි බදාමය මත චිත්‍රණය කරනු ලබයි. මෙම ක්‍රම දෙකේ සංකලනයක්‌ ලෙස ෆ්‍රෙස්‌කෝ සෙකේ හඳුනාගත හැක. මෙහිදී වියළි බදාමයක්‌ මත චිත්‍රණය කරන අතර නමුත් සිතුවම් ඇඳීමේදී බදාමය තෙත් කරගත යුතුය. එසේම වර්ණ වර්ගද හුණු දියරයක බහා තෙම්පරාදු කරගත යුතුය.

මෙම ක්‍රම අතරින් සීගිරි සිත්තරා අනුගමනය කළ ක්‍රමය කුමක්‌ද යන්න පිළිබඳව විවිධ මත තිබේ. බෙල් මහතා එය ටෙම්පරා ක්‍රමය බව පවසයි. නමුත් පසුව ඔහුම මෙය ෆ්‍රෙස්‌කෝ බව හඳුන්වා දෙයි. සානා උල්ලා මහතා සඳහන් කරන්නේ මෙය ටෙම්පරා ක්‍රමය බවය. නමුත් ඩී. බී. ධනපාල මහතා සහ මහානාම දිසානායක මහතා මේ සිතුවම් ෆ්‍රෙස්‌කෝ ක්‍රමය මත අඳින ලද බව පවසයි. විවිධ විද්වතුන්ගේ අදහස්‌ හි සාරය කැටිකරගත් අනුර මනතුංග මහතා ප්‍රකාශ කරන්නේ මෙම සිතුවම් ටෙම්පරා ක්‍රමයෙන් ඇඳ ඇති බවය. අග්‍රවාල් මහතා සහ වික්‍රමසිංහ මහත්මිය මෙම සිතුවම් ක්‍රමය ෆ්‍රෙස්‌කෝ ලස්‌ට්‍රොa (Fresco Lustro) බව සඳහන් කර ඇත. ෆ්‍රෙස්‌කෝ ක්‍රමය ම`ගින් මෙම සිතුවම් නිර්මිත බව අබේරත්න බණ්‌ඩා මහතාද කරුණු දක්‌වා තිබේ. එනම් බදාමය වේලෙන්නට පෙර සිතුවම් ඇඳි බවය. චන්ද්‍රd වික්‍රම ගමගේ මහතා සඳහන් කරන්නේ මෙම සිතුවම් වියළි බදාමය මත කර ඇති බවයි. පාරම්පරික චිත්‍ර ශිල්පීs චාර්ල්ස්‌ මහතා සඳහන් කරන්නේ තෙත බදාමයේ සිතුවම් නිර්මාණය එකල සාම්ප්‍රදාය නොවන බවයි. ෆ්‍රෙස්‌කෝ ක්‍රමය වන තෙත බදාමයක්‌ මත ඇඳීම දිය සායමින් කළයුතු වේ. මෙම ක්‍රමයේදී වර්ණය බදාමය හා දැඩි අන්තර් සබ`දතාවයක්‌ ඇති කරගනී. ටෙම්පරා ක්‍රමයේදී මෙන් සිතුවම පතුරු වශයෙන් ගැලවී නොයා මුළු බදාමයම පමණක්‌ ගැලවීගිය හොත් පමණක්‌ සිතුවම ගැලවී යා හැකිය. නමුත් වර්ණයේ පැහැය අඩු වී යා හැක. සීගිරි චිත්‍ර මෙසේ ෆ්‍රෙස්‌කෝ ක්‍රමයට සකසන ලද බව පිළිගැනේ. තෙත බදාමය මත සිතුවම් ඇඳීමේදී තෙල් සායම් වර්ණ භාවිතා කළ නොහැක. මන්ද තෙල් මිශ්‍රණ වර්ණ තෙත බදාමය හා එක්‌ නොවන නිසාවෙනි. නමුදු ඇතැම් උගතුන්ගේ මතය වන්නේ සීගිරි සිතුවම් තෙල් සායමින් ඇඳ ඇති බවය. මේ පිළිබඳව අදහස්‌ දක්‌වන නන්දදේව විඡේසේකර මහතා දක්‌වන්නේ පරෙස්‌සමෙන් කරන ලද පරීක්‌ෂණවලදී ශිල්ප ක්‍රම දෙකේම ලක්‌ෂණ අනාවරණය වු බවය. ඒ අනුව මෙහි ෆ්‍රෙස්‌කෝ හා ටෙම්පරා යන ක්‍රම දෙකෙහි මිශ්‍රණයක්‌ අන්තර්ගත විය හැකි බව ඔහු අනුමාන කරයි. ඒ මහතා තව දුරටත් සඳහන් කරන්නේ එකල රෝමය හා පැවැති සම්බන්ධතා බෙහෙවින් කිට්‌ටු ලෙස පැවති හෙයින් නියම ෆ්‍රෙස්‌කෝ ක්‍රමය සිංහලයන් අතර ප්‍රකට වන්නට ඇති බවය. ඒ අනුව නියම ෆ්‍රෙස්‌කෝ ක්‍රමයද ඉගෙන සිටි සිංහල සිත්තරුන් විසින් දේශීය තත්ත්වයන්ට හොඳින්ම යෝග්‍ය වන සේ වෙනස්‌කර දේශීsය මුහුණුවරක්‌ මෙහිදී යොදාගන්නට ඇති බවය. පී. ඊ. පී. දැරණියගල මහතා පෙන්වා දෙන්නේ බදාම තට්‌ටුව සහමුලින් වියළෙන්නට පෙර මෙම සිතුවම් ඇඳ ඇති බවයි. එසේ අඳින ලද සිතුවමෙහි පළඳනාවන්ගේ මැණික්‌ ගල් කැබලි ඔබ්බවන ලද බවටද එතුමා අනුමාන කරයි.

මේ අනුව පැහැදිලිවන්නේ සීගිරි සිතුවම් නිර්මිත ශිල්ප ක්‍රමය පිළිබඳව විද්වතුන් අතර තවමත් මත විචාර පවතින බවයි.
 


http://www.divaina.com/2013/11/20/badada01.html

දීප්තිමත්ම වල්ගාතරුව හිරු වෙත ළඟා වේ

දීප්තිමත්ම වල්ගාතරුව හිරු වෙත ළඟා වේ


2013 වර්ෂයේ දී දක්නට ලැබෙන දීප්තිමත්ම වල්ගාතරුව මේ දිනවල කෙමෙන් කෙමෙන් හිරු වෙත ළඟා වෙමින් පවතී. එය මේ මස 28 වන දා හිරුට ඉතා සමීපයෙන් ගමන් කරයි. ඒ හිරුගේ සිට කිලෝමීටර් මිලියන 1.8 ක් පමණ දුරකිනි. හිරුට මෙතරම් ආසන්න වීම වල්ගා තරුවකට එතරම් සුබදායක නැත.
මන්ද යත් හිරුගේ අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා වල්ගාතරුව හිරු මතට කඩා වැටීමට හෝ කුඩා කැබලි වලට කැඩීයාමට ඉඩ ඇති බැවිනි. අයිසෝන් මේ අනතුරුවලින් මිදුණහොත් පාන්දර අහසේ නැඟෙනහිර දෙසින් දීප්තිමත් වල්ගාතරුවක් ලෙස දර්ශනය වේ.
ආරම්භයේදීම අයිසෝන් පුරහඳටත් වඩා දීප්තිමත්ව දැකිය හැකි යැයි අනාවැකි පළ විය. එනිසාම මෙය “සියවසේ වල්ගාතරුව” ලෙස හැඳින්වුණි. මෙය බොහෝ දුරට දැකබලාගත හැකිවන්නේ දුරේක්ෂවලින් පමණි.
නමුත් නොවැම්බර් 20 වන දා පසුවන විට පියවි ඇසින් එනම්, දුරේක්ෂයක් භාවිතා නොකර අයිසෝන් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ. පාන්දර 5.00 ට පමණ නැඟෙනහිර අහසේ ක්ෂිතිජයට මදක් ඉහළින් අයිසෝන් දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරය පවසයි.
අයිසෝන් වල්ගාතරුව සූර්යයාට සමීපව පිහිටන බැවින් එය නිරීක්ෂණය කරන විට හිරු පායා ඇත්නම් හිරු දෙස එක එල්ලේ නොබලන ලෙසත් හිරු පායා තිඛෙන විට දුරේක්ෂ, දෙනෙති හෝ කාච වැනි ප්‍රකාශ උපකරණ තුළින් හිරු දෙස නොබලන ලෙසත් ශ්‍රී ලංකා ග්‍රහලෝකගාරය නිවේදනය කර සිටී.
අයිසෝන් යනුවෙන් නම්කර ඇති මේ වල්ගා තරුව මුලින්ම සොයාගනු ලැබුවේ 2012 වර්ෂයේ සැප්තැම්බර් මස රුසියානු ජාතික තාරකා විද්‍යාඥයන් දෙදෙනකු විසිනි. මේ වල්ගා තරුව International Scientific Optical Network (ISON) නම් නිරීක්ෂණාගාර ජාලයෙහි ආධාරයෙන් සොයාගත් බැවින් එයට ‘අයිසෝන්’ ලෙස නම් තබා තිබේ.
වල්ගාතරු යනු කාලයෙන් කාලයට අහසේ දිස්වන අභ්‍යවකාශ විශේෂයකි. අභ්‍යවකාශය යනු පෘථීවියේ වායුගෝලය එපිටින් පිහිටි අති විශාල අවකාශයයි. මේ අවකාශය තුළ ඇති ඕනෑම ලොකු කුඩා වස්තුවක් අභ්‍යවකාශ වස්තූන් ලෙස හඳුන්වනු ලැබේ. වල්ගාතරු සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා අභ්‍යවකාශ වස්තූන්ය. මේවායේ දිග පළල කිලෝමීටර් කිහිපයකි.
මේවා තැනී ඇත්තේ මිදුණු ජලය, වායූන්, කුඩා පාශාන කැබලි සහ දුහුවිලි අංශ මිශ්‍රවීමෙනි. බොහෝ විට “අපිරිසිදු හිමබෝල” යනුවෙන්ද වල්ගාතරු හඳුන්වයි. වල්ගාතරු අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් වස්තූන් කාණ්ඩයක් වන අතර සූර්යයා සහ ඒ වටා ගමන් කරනා සියලුම අභ්‍යවකාශ වස්තූන්ගේ එකතුවකින් සෞරග්‍රහ මණ්ඩලය සකස් වී තිබේ.
පැරැන්නන් වල්ගාතරුවක් දර්ශනය වීම අසුභ නිමිත්තක් කොට සැලකුවත් නූතන තාරකා විද්‍යාඥයන්ට නම් වල්ගාතරුවක් යනු ඉතාමත් සුභ දෙයකි. මීට වසර බිලියන 4 කට පමණ පෙර අපේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණයවීමේදී ඉතිරි වූ ද්‍රව්‍ය මිදී, ගල්වී මේ වල්ගාතරු තුළ තැන්පත් වී ඇත.
ග්‍රහලෝක, ග්‍රාහක වැනි අනෙකුත් සෞරග්‍රහ මණ්ඩල වස්තූන් කාලයත් සමඟ විවිධ වෙනස්කම්වලට භාජනය වුවත් වල්ගාතරු තුළ අඩංගු ද්‍රව්‍ය එසේ වෙනස් නොවන බව තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි. සෞරග්‍රහ මණ්ඩලයේ උපත, පෘථීවිය මත ජීවයේ සම්භවය වැනි වැදගත් කරුණු පිළිබඳව විද්‍යාඥයන්ට වඩාත් පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට වල්ගාතරු උපකාරී වේ.

.

ළමා අපයෝජන ඡායාරූප අන්තර්ජාලයෙන් සොයාගැනීම වළක්වයි

ළමා අපයෝජන ඡායාරූප අන්තර්ජාලයෙන් සොයාගැනීම වළක්වයි

ලොව ප්‍රධානතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර දෙකක් වන ගූගල් (Google) සහ මයික්‍රොසොෆ්ට් බින්ග් (Microsoft Bing) මඟින් ළමා අපයෝජන ඡායාරූප අන්තර්ජාලය තුළින් සොයාගැනීම වැළැක්වීමට එම සමාගම් තීරණය කර ඇත‍.
මෙසේ සිදුවන 100,000 පමණ වූ සෑම සෙවීමක්ම ප්‍රතිඵල රහිත කිරීමටත් (no results) එවැනි ඡායාරූප නීතිවිරෝධී බව ප්‍රකාශ කරන අනතුරු ඇඟවීමක් ප්‍රදර්ශනය කිරීමටත් අදාළ සමාගම් දෙක තීරණය කර තිබේ.
මේ පිළිබඳව සිය ප්‍රශංසාව පළ කරමින් අදහස් දක්වන ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා පෙන්වා දෙන්නේ ප්‍රමාද වි හෝ අදාළ සමාගම් පියවර ගැනීම සමස්ත ළමා පරපුරේම සුරක්ෂිතතාවය තහවුරු කරන්නක් බවයි.
එම සමාගම් ගත් මේ පියවර අපේ ඇතැම් මාධ්‍ය ද ආදර්ශයට ගෙන, දරුවන් සම්බන්ධව පුවත් හා ඡායාරූප පළ කිරීමේ දී වඩත් නිවැරදිව කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.
විවිධ අපයෝජනයන්ට ලක් වූ, දූෂණයට පත් වූ දරුවන් සම්බන්ධ පුවත් ඡායාරූප මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමෙන් එම දරුවන් නැවත නැවත අපයෝජනයට ලක් වන බවත එය එම දරුවන්ගේ අනාගතය අදුරු වීමට හේතුවක් බව ද ඇමැතිවරයා කියයි.

Monday, November 18, 2013

“මේං කෙල්ලෙ ඔය තම්බපු බිත්තරේ කාපං”

විභාග, විභාග, විභාග, කොයි කාටත් විභාග ය. පෙර පාසලේ සිට උසස් පෙළ දක්වාත්, විශ්වවිද්‍යාලවලත් විභාග ය. ඒ සියල්ලෙන් සමත් වී රැකියා ලබා ගැනීමට තවත් තරග විභාගයන් ය. ඉන් පසු කඩඉම් විභාග හා උසස්වීම් සඳහා විභාග ය. ඇතැමුන් පාඩම් කරති. ඒ බවත් කියති. ඇතැමුන් බොරු කියති. විශ්වවිද්‍යාල බසින් එය අනුන් අල කිරීමකි. තවත් සමහරු පාඩම් කිරීමට උදලු දමති. මේ සියල්ල විශ්වවිද්‍යාලයේ පමණක් නොව පාසල් පද්ධතියේත් සිවිල් සමාජයේත් දක්නට ඇත.
භාග්‍යා උසස් පෙළ විභාගය ලියා ඇත. ප්‍රතිඵල බලා එනතුරු මව නිවසේ බලා සිටී. මෝටර් රථය නිවසට පැමිණ භාග්‍යාත් නාලකත් බස්සා නැවත යන්නට විය. භාග්‍යාගේ මුහුණ ආලෝකවත් නැත. තත්ත්වය භයානක ය. ඇය විභාගය අසමත් ය. උසස් පෙළ සිංහල සාහිත්‍ය නව විෂය නිර්දේශයට නිර්දිෂ්ට කෙටිකතාවක් වන පියසීලි විජේමාන්න මහැදුරුවරියගේ “අපේක්ෂා” කෙටිකතාව ආරම්භ වන්නේ එකී ප්‍රවෘත්තියෙනි.
මහැදුරු පියසීලි විජේමාන්නගේ “එක්ටැම්ගෙය” කෙටිකතා සංග්‍රහයේ එන අපේක්ෂා කෙටිකතාව හුදෙක් විභාගයක් පදනම් කරගත් කෙටිකතාවක් යැයි ලඝු කළ හැකි නොවන බව මුලින් ම සඳහන් කළ යුතු ය. භාග්‍යා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුගේ දියණියකි. ඔවුන් නැවතී සිටින්නේ ද විශ්වවිද්‍යාල භූමියක පිහිටි නිල නිවාසයක ය. ඒ ආසන්නයේ පිහිටි අනෙක් නිල නිවාසයන්හි සාමාජිකයන් කීප දෙනකුගේ දරුවන් ද භාග්‍යා සමඟ ම විභාගයට පෙනී සිටියෝ ය. කෙටිකතාව දිවෙන්නේ භාග්‍යාගේ මවගේ ආත්ම කථනයකිනි. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙනි.
“මුන්ට මොනවයින් අඩුපාඩුවක් කළා ද? ටියුෂන්වලට කොච්චරනම් සල්ලි යන්න ඇද්ද? සබ්ජෙක්ට්ස් හතරට ගුරුවරු හතර දෙනෙකුගෙන් ටියුෂන් ගත්තා.”
කෙටිකතාව ලියැවෙන්නේ 1995 පමණ කාලයේ ය. මේ වන විට සමාජයේ ඉහළ පැලැන්තිය නියෝජනය කරන භාග්‍යාගේ පවුල් පරිසරයට අනුව ඇයව අධ්‍යාපනයෙන් ඉදිරියට යැවීම උදෙසා ඔවුන්ගේ මාපියන්ට කළ හැකි උසස් ම කාර්යය වූයේ පෞද්ගලික ගුරුවරු ලවා අධ්‍යාපනය ලබාදීම ය. එදා යුගයේ පාසල් සිසුනට පෞද්ගලික පන්ති එතරම් හුරු පුරුදු නැත. පෞද්ගලික පන්ති යන්නේ සමාජයේ ඉහළ පැලැන්තියේ දරුවන් පමණි. අද තත්ත්වය ඊට වෙනස් ය.
භාග්‍යාගේ මවට දුව අසමත් වීම පිළිබඳ දුක, තරහ මෙන්ම කලකිරීම ද මුසු වූ මූසල හැඟීමක් ඇතිවිය.
“මෙලහකට ඩොක්ට වීරසිංහගෙ චතුර ඉහළින්ම පාස් ඇති. දැන් අනුෂා එයි භාග්‍යාගෙ රිසල්ට් කොහොම ද? කියල අහගෙන. ඇයි සපුතන්ත්‍රිගෙ දීපිකා?
පියසීලි විජේමාන්න සිය නිවසේ නොමැති මෙවැනි දරුවන්ගේ තත්ත්වයක් අවට වාසය කළ දරුවන්ගෙන් ආරෝපණය කරගත්තා ය. වසර ගණනාවක් පේරාදෙණිය සරසවියේ පිහිටි ඔගස්ටා කඳු ගැටයේ විශ්වවිද්‍යාල නිල නිවාසයක පදිංචි ව සිටි පියසීලි විජේමාන්න මහැදුරුවරිය ඒ ආසන්නයේ තමන් මෙන් ම වාසය කළ තවත් නිවෙස් දහහතරක පමණ පිරිස හොඳින් ඇසුරු කළා ය.
ඒ නිවෙස්වල මේ කාලය වන විට උසස්පෙළ ලියා ප්‍රතිඵල ලබාගත් දරුවන් කීප දෙනකු සිටියේ ය. ඔවුන් අතර ඇතැමෙක් විභාගය සමත් වුවත් ඇතැමෙක් සමත් වූයේ නැත. මේ තත්ත්වය යටතේ ඔවුනොවුන්ගේ දෙමාපියන්ගේ මනසේ ඇති වූ චිත්ත පීඩාවන් මහැදුරුවරියට නොකීව ද නොවැටහුණා නොවේ.
“අනේ ඔය කොයි කොයි උනුත් ෆේල් නම් හොඳයි. මගෙ කෙල්ල පාස්වුණා නම් මට අනික් වුන් පාස් වුණත් එකයි නැතත් එකයි.”
භාග්‍යාගේ මවට මෙන් එදා ඔගස්ටා කඳු ගැටයේ වාසය කළ සැබෑ චරිතවලටත් සිතෙන්නට ඇත.
භාග්‍යාගේ මව යනු එකල මහැදුරුවරිය ඇසුරු කළ එකී නිවෙස් දහහතරෙන් දුටු එක් කාන්තාවක නොව එකී සියලු කාන්තාවන්ගේ ගති ගුණයන්ගේ පොදු චරිතයයි. ඔගස්ටා කඳු වැටියේ මහැදුරුතුමිය වාසය කළ කාලය ඉතා සොඳුරු ය.
“මට හැඬෙයි. මම නැගිට්ටෙමි. මිදුලට බැස්සෙමි. ගේට්ටුවෙන් පිට වූයෙමි. නිවස ඉදිරියේ පටු මගට පැමිණියෙමි. මේ නිවස පිහිටා ඇත්තේ විශ්වවිද්‍යාල භූමියේ වූ ඔගස්ටා කන්ද නමින් හැඳින්වෙන කුඩා කඳු ගැටයකය.... පහළ ඉතා ඈතට විහිදෙන මිටියාවතකි.
භාග්‍යාගේ මව පරිසරයේ සොඳුරු බව මෙනෙහි කරමින් තනි ව තමා සමඟ ම කතා කරයි.
“අර ගහේ අත්තක කොනේ වහල ඉන්න කුරුල්ලගෙ ලස්සන! ඒ කුරුල්ලා මොකෙද්ද? අත්ත සෙලවෙන තාලෙට ඌත් නැළවෙනවා. චිහ්! ලැජ්ජාව!
කුමන දෙයක් කතා කළත් ඇයට සිය සිතේ ප්‍රශ්නය අමතක කළ නොහැකිය. ඇය නිතර සිතන්නේ මේ කඳු මුදුනේ සිටින පැලැන්තියේ අනෙක් දරුවන්ගේ ප්‍රතිඵල පිළිබඳ ව ය. ඇතැමුන් සමත් වී ඇත. දුව අසමත් ය.
“මහා මාර්ගයේ සිට කන්ද පාමුලින් උඩහට අඩි පාරක් වැටී ඇත. එය කෙළවර වන්නේ ඌරාවල, බෝවලවත්ත, දංගොල්ල පාර, දන්ත වෛද්‍ය පීඨය, විශ්වවිද්‍යාල පාර, ඔගස්ටා කන්ද යන ස්ථාන කරා දිවෙන පාරවල් හයක් යාවෙන මංසන්ධිය සහිත වට රවුම ඇති තැනට ය.
වටරවුමේ සිටින ඕනෑම කෙනකුට මේ ඕනෑම මාවතක ගමන් කළ හැකිය. ඊට තහනමක් නැත. ඉහළ පැලැන්තිය සිටින ඔගස්ටා කඳු වැටියට, දන්ත වෛද්‍ය පීඨයට, විශ්වවිද්‍යාලයට එසේ බැරිනම් වෙනත් මාර්ග තෝරා ගැනීමට නැතුවා නොවේ. භාග්‍යාගේ මව වෙහෙසෙන්නේ දියණිය විශ්වවිද්‍යාල මාවතේම හැරීමට ය.
මේ සැබෑ පරිසරයේ මහැදුරුවරිය දුටු එක්තරා කාන්තාවකි. ඇය මේ නිවෙස්වල රෙදි සෝදා දී, රෙදි මැද දී හෝ දරුවකු පාසල වෙත කැඳවාගෙන යාමෙන් හෝ ඉවුම් පිහුම් කටයුත්තකින් හෝ උපකාර කර යම් මුදලක් සොයා ගත්තා ය. රේල් පාර අසළ කටුමැටි නිවසේ පදිංචිව සිටි ඇගේ පවුලේ උදවිය මහැදුරුවරිය නාඳුනනවා නොවේ. ඇගේ දියණිය යන්නේ සරසවි උයන පාසලට ය. සැමියා මත්පැන් පෙරන්නෙකි. කෙසේ වෙතත් කෙටිකතාවේ හාමිනාගේ චරිතය නිර්මාණය වන්නෙ මේ කාන්තාවගේ චරිතයෙනි. ඇගේ දියණිය සැබෑ ලෝකයේ කුමන චරිතයක් වුවත් කෙටිකතාවේ සියලු අපේක්ෂා මුදුන් පමුණුවා ගත් අපේක්ෂා වූවා ය.
අපේක්ෂා විභාගය සමත් ය. ඈ විශ්වවිද්‍යාල වරම් ලැබීමට නිස්සේ ය. ඇය කුඩා කාලයේ සිට උදව් පදව් කළ භාග්‍යාගේ මව හෙවත් හාමුට ඒ බව කීමට හාමිනා දිව ආවා ය. භාග්‍යාගේ මවට අපේක්ෂා සමත්වීම තවත් දරාගත නොහැකි ය. ඒ අතර භාග්‍යාගේ අභාග්‍ය සම්පන්න ඉරණම සිහි වේ. මේ තත්ත්වය යටතේ හාමිනා පවසන්නේ අපේක්ෂා සමත් වුණේ ඇයගේ හපන්කමකින් නොව හාමු ලබා දුන් ආධාර උපකාරවලින් බව ය. දිනෙක ආභ්‍යාස පොත්, පැන් පැන්සල්, බෑග් ආදිය ද මුදල් ද ඇය හාමිනාට ලබා දෙන්නේ දියණියගේ අධ්‍යාපනය වෙනුවෙන් ය. ඒ අතර ඇතැම් දිනෙක ලැබෙන උපදේශ ඉතා වටින්නේ ය.
“කෙල්ලෙ වරෙං උඹට ගණන් ටිකක් කියල දෙන්න”
“මෙන්න කෙල්ලෙ උඹට කතන්දර පොතක්”
“මේං කෙල්ලෙ ඔය තම්බපු බිත්තරේ කාපං”
ඇතැම් දිනෙක ඈ අපේක්ෂාට බැන්නේ පාසල් නොයා සිටින විටෙක දී ය. හාමිනාට මේ සියල්ල මතක ය. අපේක්ෂාට ද ඒ සියල්ල මතක ය. භාග්‍යාගේ මවට ද ඒ සියල්ලත් ඒ යටින් දිව ගිය ආත්මීය සිතුවිලි ධාරාවනුත් හොඳින් මතක ය.
“මා අපේක්ෂාට ඒ දිනවල නොයෙක් දෑ දුන්නේ, බැන්නේ අණ කළේ, අපේ තත්ත්වය පිළිබඳ හද තුළ උදාරම් හැඟීමෙනි. එසේ මහන්තත්ත්වය පෙන්වීමෙන් මට මහත් තෘප්තියක් ලැබිණි.”
තත්ත්වය එසේ වුවත් ඇගෙන් ලත් දෙයින් අපේක්ෂා වැඩ ගෙන තිබේ. භාග්‍යාට එසේ නොහැකි විය. හාමිනා සිය දියණියගේ සමත්වීමේ ආරංචිය කියා ආපසු යන්න හැරුණි. ඈ සමඟ භාග්‍යාගේ මව ද පසු ගමන් කළා ය. ඒ යන්නේ අඩි පාර දිගේ ය. ඈ කිසි දිනෙක නොගිය අඩි පාර දෙසට ඈ යන්නී ය. ඈ කඳුගැටය බැස අඩි පාර දිගේ ගමන් කරන විට එතැනට අපේක්ෂා ද දිව එන්නී ය. ඒ තමා ලැබු ජයග්‍රහණයේ සොම්නස ද කැටුව ය. මේ හාමුට ඒ සොම්නස නොලැබුණ ද ඒ වගක් ඇයවත් හාමිනාවත් නොදන්නීය. කෙනෙක් කඳුගැටය බැස යන විට තවකෙක් කඳු ගැටය තරණය කරන්නේ ය.
“අපේක්ෂා පඩිය මත වැටී මගේ පා අල්ලා වැන්දා ය. මට සෙනෙහස පිරි මහත් ආවේගයකින් ඇගේ හිස අතගෑවෙමි.”
“හාමිනා චීත්ත පොටින් තම දෑස් පිස දමනු මගේ බොඳ වූ දෙනෙත්හි ගැටුණි.”
මේ වෙනකකු නොව “ඔය කොයි කොයි උනුත් පේල් නම් හොඳයි” කී කාන්තාව ම ය. මේ පරිවර්තනය සැබෑ දීර්ඝකාලීන එකක් නම් කොතරම් වටී ද?