Friday, February 6, 2015

වෛරස් උණක්: කුඩා දරුවන් ප්‍රවේසමෙන්


විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියයි
කුඩා දරුවන් අතර මේ දිනවල වෛරස් උණ රෝගයක් පැතිරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. පාසල් සහ ළදරු පාසල් වාරය ආරම්භ වී ඇති නිසා එක් දරුවකුට උණ රෝගය වැළඳී තිබුණහොත් අනෙක් දරුවන්ට ද රෝගය බෝ වීමේ වැඩි අවදානමක් පවතින බව ද ඒ මහතා පැවැසුවේය.
වියළි කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝගවල පැතිරීම ඉහළ යන බවක් පෙන්වන අතර දින තුනකට වඩා උණ පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගත යුතු යැයිද හෙතෙම අවධාරණය කළේය.
මේ දිනවල ඩෙංගු උණ රෝගයේ ද වැඩි වීමක් පවතින නිසා දින තුනකට වඩා දරුවකුට උණ පවතින්නේ නම් වහාම රුධිර පරීක්ෂයක් කළ යුතු බවත් වෛද්‍ය දීපාල් මහතා කීය.
පාසල් යන දරුවකුට උණ රෝගය වැළඳී ඇත්නම් දරුවා පාසල් නොයවා විවේකීව නිවසේ තබා ගත යුතු බවත් වැඩිපුර දියර ආහාර ලබාදිය යුතු බවත් ඒ මහතා දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට දැනුම් දෙයි.
මදුරුවන් බෝ වන ස්ථාන තමා ජීවත්වන අවට පරිසරය තුළ තිබේ නම් එම ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු උවදුරෙන් වැළකී සිටිය හැකි යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා කරුණාරත්න

http://dinamina.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි