මානව හිතවාදී විද්වතාණෝ
නන්දසේන රත්නපාල
වනාන්තරයක හස්තීන් බහුල ව සිටියත්, ගජමුතු සහිත හස්තීන් සිටින්නේ ඉතා කලාතුරකිනි. එලෙස රටක විද්වතුන් බහුල ව සිටියත්, සුවිශේෂ කුසලතා දක්වන විද්වතුන් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. නන්දසේන රත්නපාල යනු එවැනි සුවිශේෂ දක්ෂතා පෙන් වූ, දුර්ලබ ගණයේ පඬිවරයෙකි. සිංහල සාහිත්‍යය, ජනශ්‍රැතිය, සමාජ විද්‍යාව, මානව විද්‍යාව හා අපරාධ විද්‍යාව යන බහුවිධ විෂය ක්ෂේත්‍රයන්ගේ උන්නතිය උදෙසා එතුමාගෙන් සිදුවූයේ අතිමහත් සේවාවකි. ඔහු 1935 වෙසක් මස 19 වැනි දින බණ්ඩාරවෙල කුරුකුදේ නම් පිටිසර ගම්මානයේ උපත ලැබුවේ ය. රත්නපාල සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කුරුකුදේ රජයේ විද්‍යාලයෙනි. එකල එතුමාගේ පියා එම විද්‍යාලයේ විදුහල්පතිවරයා වූයේ ය. ඔහුගේ මව ද එම විද්‍යාලයේ ගුරුවරියක වශයෙන් සේවය කළා ය. රත්නපාලයන්ට සිය දෙමව්පියන්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ ඉගෙනීමට අඩිතාලම ලැබිණ. මේ ශිෂ්‍යයා පාසල් පුස්තකාලයේ තිබූ සියලු ම පොත්පත් කියවා සිය දැනුම වර්ධනය කර ගනියි.
පසුව, ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන රත්නපාල පාණදුර ශාන්ත ජෝන් විදුහලට ඇතුළු වන්නේ ය. අනතුරු ව රත්නපාල කොළඹ රාජකීය විද්‍යාලයට ප්‍රවේශ වෙයි. මේ පාසලේ ඉගෙනුම ලැබූ අවධියේ රත්නපාල ඉගෙනීමට සුවිශේෂ දක්ෂතා දැක්වූ අතර විවාද කණ්ඩායමේ ද පෙරළිකාරයා වූයේ ය. 1955 දී තරුණ රත්නපාල පේරාදෙණිය සරසවියට පිවිසෙයි. ඔහු සරසවියේ සිටි අවධියේ ද කැපී පෙනෙන කුසලතා පෙන්වූයේ ය. ප්‍රථම වර්ෂයේ දී කථික තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන ඔහු සරසවි රන් පදක්කම දිනා ගනියි.
එම වර්ෂයේ දී ම පැවැත්වූ කෙටිකතා නිර්මාණ තරගයෙන් ද හෙතෙම ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය. තරුණ රත්නපාල 1955 වර්ෂයේ දී “නොලියූ පොත” නමින් කෙටිකතා සංග්‍රහයක් ද පළ කළේ ය. මේ තරුණ සරසවි ශිෂ්‍යයා තුළ නායකත්ව ලක්ෂණ ද තිබෙන බව පෙනෙන්නට විය. හේ “බෞද්ධ සහෝදර සංගමයේ” සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ ය. එසේ ම සිංහල භාෂා පෙරමුණේ නායකත්වය ඉසුලුවේ ය. 1959 දී මේ තරුණ විද්වතා දෙවෙනි පෙළ ඉහළ ගෞරව සාමාර්ථයක් දිනාගෙන, එම විශ්වවිද්‍යාලයේ ම සිංහල අංශයේ සහකාර කථිකාචාර්යවරයෙක් වෙයි.
1960 දී විද්‍යෝදය සරසවියේ සිංහල අංශයට සම්බන්ධ වන තරුණ රත්නපාල නූතන සිංහල සාහිත්‍යයේ උන්නතිය උදෙසා දැවැන්ත මෙහෙයක් කළේ ය. නොබෝ කලකින්, නූතන සිංහල අංශයේ ප්‍රධානියා වීමට එතුමාට අවස්ථාව ලැබිණ. සාහිත්‍ය නිර්මාණ හා විචාරය පිළිබඳ ව නව කෝණයකින් බලමින්, එතුමා නව මතවාද ඉදිරිපත් කළේ ය. 1960 දසකයේ මුල් භාගයේ දී රටේ ප්‍රකට ව සිටි විද්වතුන් ගෙන්වා සරසවියේ වටිනා දේශන මාලාවක් පැවැත්වීමට එතුමා පුරෝගාමී වූයේ ය.
එම දේශන නිසා සිසුන්ගේ දැනුම පුළුල් විය. කොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණ දෙස නව ආකාරයකින් බලා රත්නපාල ස්වීය අදහස් ඉදිරිපත් කළේ ය. 1960 දසකයේ දී එතුමා සාහිත්‍ය ග්‍රන්ථ මෙන් ම, සාහිත්‍ය නිර්මාණ පළ කළේ ය. ඔහු 1963 දී පේරාදෙණිය සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය ද දිනා ගනියි. කෙසේ වෙතත්, රත්නපාලයන්ගේ සහජ කුසලතා හා සිසුන් අතර ලබාගෙන තිබූ ජනප්‍රියත්වය විඳ දරා ගැනීමට නොහැකි වූ ඇතැම් සරසවි ගැටමාන්නලාගේ කූට උපක්‍රම නිසා, නූතන සිංහල අංශය වසා දැමිණ. තරුණ රත්නපාල මෙයින් මහත් සේ කම්පා වන්නේ ය. 1963 දී එතුමා වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ජර්මනියට පිටත් වෙයි. 1966 දී රත්නපාල ආචාර්ය උපාධිය දිනාගෙන පෙරළා සිය රට පැමිණෙයි. 1972 දී ආචාර්ය රත්නපාලයන් සමාජ විද්‍යා අංශයට අනුයුක්ත කෙරේ.
නන්දසේන රත්නපාල පෙරළිකාර මහාචාර්යවරයෙකි. සිංහල අංශයේ සිටි අවධියේ දී ද එතුමා තුළ මේ පෙරළිකාරිත්වය තිබිණ. රත්නපාල ලේඛනයට මෙන් ම, කථනයට ද ඉතා හපනෙකි. එම නිසා ම ඔහුගේ පෙරළිකාර ස්වරූපය විවිධ අවස්ථාවල දී ඉස්මතු විය. 1960 දසකයේ දී එතුමා නොමැති සාහිත්‍ය උත්සවවල හිදැසක් තිබෙන බව කාටත් දැනිණ. සමාජ විද්‍යා අංශයට අනුයුක්ත කිරීමෙන් පසුව ද රත්නපාලයන් තුළ පෙරළිකාර ස්වරූපය නො අඩුව දක්නට ලැබිණ. අනෙකුත් සමාජ විද්‍යා ආචාර්යවරුන් අත නොගැසූ ඉසව් කරා එතුමාගේ දෙනෙත් ගමන් කළේ ය.
සමාජ විද්‍යා පර්යේෂණ පවත්වමින්, සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් පොත්පත් ලිවීමට මේ පර්යේෂකයා කැපවෙයි. 1976 දී හෙතෙම හිඟන්නකු වී හිඟන සමාජය පිළිබඳ ව පර්යේෂණයක් කළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් “ලංකාවේ හිඟන්නෝ” නමින් ග්‍රන්ථයක් පළ කෙරිණ. “Beggars in Sri Lanka” යනු එහි ඉංග්‍රීසි පරිවර්තන කෘතියයි. රත්නපාල වැදි සමාජය, අහිගුණ්ඨික සමාජය හා ගණිකා වෘත්තිය පිළිබඳව ද පර්යේෂණ පවත්වා නව දැනුම් සම්භාරයක් අප වෙත ගෙන එයි. ශ්‍රී ලංකාවේ ජනශ්‍රැති පිළිබඳව ද අධ්‍යයනය කොට හේ වටිනා කෘතියක් ජනගත කළේ ය.
නන්දසේන රත්නපාල යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිසුන්ගේ හදවත් දිනාගත් මානව හිතවාදියෙකි. එතුමා හිඟන්නන්, වීදි දරුවන් හා ගණිකාවන් යන සමාජයෙන් කොන් කරන ලද පුද්ගල කොට්ඨාස දෙස බැලුවේ දැඩි අනුකම්පාවකින් යුතු ව ය. එමෙන් ම තමන්ගෙන් උපකාරයක් ඉල්ලා ගෙන එන ඕනෑම තරාතිරමක පුද්ගලයකුට උපකාර කිරීමට ඔහු පුල පුලා බලා සිටියි. මෙරට උද්ගත ව තිබෙන සමාජ ප්‍රශ්නවලට හේතු සොයා පිළියම් යෙදීමට රත්නපාලයෝ උනන්දු වූහ. ඔහු වීදි දරුවන් උදෙසා මීගොඩ ළමා නිවාසයක් ඉදි කිරීමට ද පුරෝගාමි වූයේ ය. සරසවි සිසුන් කෙරෙහි ද රත්නපාල දැක්වූයේ සුවිශේෂ ලැදියාවකි. එතුමාගේ මඟ පෙන්වීම යටතේ ශාස්ත්‍රපති, දර්ශනපති හා ආචාර්ය උපාධි දිනාගත් සිසුන් සංඛ්‍යාව සුවිශාල ය. නැගී සිටීමට උත්සාහ දරන සිසුන්ට අතහිත දීමෙන් රත්නපාල ලැබුවේ අපූර්ව ආස්වාදයකි.
මේ පඬිවරයාගෙන් සිදුවූ විශාලතම සේවාව නම් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සමාජ විද්‍යා අංශයේ ප්‍රගමනය උදෙසා කළ කාර්යභාරයයි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු සරසවියක සමාජ විද්‍යා අංශවල අපරාධ විද්‍යාව විෂය ධාරාවක් ලෙස ආරම්භ කර නැත. 1986 හා 1987 වර්ෂයන්හි එංගලන්තයේ එඩින්බර්ග් සරසවියේ නීති පීඨයේ ආරාධිත මහාචාර්යවරයකු ලෙස සේවය කළ අවධියේ දී හේ අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් ද නව දැනුමක් ලබා ගනියි. ශ්‍රී ජයවර්ධනපුර සමාජ විද්‍යා අංශයේ අපරාධ විද්‍යා විෂයය ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. වර්තමානයේ තත් විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව සඳහා ආචාර්ය උපාධි ද ප්‍රදානය කෙරේ.
මේ ප්‍රඥයා ජීවත් ව සිටි කාලයේ දී රචනා කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව එකසිය දහ අටකි. “කලවානේ සිට ලියූ කවි” එතුමා විසින් ලියන ලද අවසන් කෘතියයි. සිංහල හා ඉංග්‍රීසි පුවත්පත්වලට මෙන් ම, විවිධ සඟරාවලට සපයන ලද ශාස්ත්‍රීය හා ජනප්‍රිය ලිපි සංඛ්‍යාව දහසකට ද වැඩි ය. එතුමා ජීවතුන් අතර සිටි යුගයේ ආචාර්ය උපාධි හතරක් දිනාගෙන තිබිණ. වසර හැත්තෑ දෙකක් වැනි කෙටි කාලය තුළ දී එතුමා විසින් කරන ලද සේවාව, වෙනත් උගතකුට වසර දෙසීයක් ජීවත් ව සිටිය ද කළ නො හැකි ය. වර්තමාන සරසවි උගතුන් විසින් කළ යුත්තේ රත්නපාලයන් නතර කළ තැනින් පටන් ගෙන, අනාගත පරපුරට නව දැනුමක් ප්‍රදානය කිරීම ය. එය රත්නපාලයන්ට කළ හැකි ලොකු ම උපහාරයයි.
1 comments:
ප්‍රඥාවංතයන් අපට අවශ්‍ය යුගයක නංදසේන රත්නපාල මහාචාර්යතුමාගේ අඩුව දැනේ
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි