Thursday, June 6, 2013

පාසල තුළින් සාරධර්ම ගිලිහීම සහ රැකගැනීම

පාසල තුළින් සාරධර්ම ගිලිහීම සහ රැකගැනීම

අධ්‍යාපනය යන වචනය තුළ සදාචාරය යන වචනය ගැබ්වෙයි. අධ්‍යාපනය ලබන විට පුද්ගලයන්ගේ ශික්‌ෂණය ඇති වේ. විෂය ඉගෙන ගන්නා විට විනය ලැබෙයි. අධ්‍යාපනය තුළින් ඉහළට යෑම තවත් හැඟීමකි. දැනුම සමග ගුණය මෙහි අන්තර්ගත වෙයි. මෙම තත්ත්වය අතීතයේ දී අධ්‍යාපනය තුළ දක්‌නට ලැබුණි. විද්‍යාවේ දියුණුවත් සමග නව තාක්‌ෂණික ඥනයට අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ වැඩි තැනක්‌ දක්‌නට ලැබෙයි. මේ නිසා ගුණය පැත්ත අධ්‍යාපනයෙන් ඉවත් වෙයි. මෙම තත්ත්වය ලෝකය පුරාම ප්‍රබල ගැටලුවක්‌ බවට පත්වී ඇත. එය සාකච්ඡාවට බඳුන් කිරීමට අවස්‌ථාව උදාවී ඇත.

සාරධර්ම යන්නට නිශ්චිත වූ නිර්වචනයක්‌a ලබාදිය නොහැකිය. හේතුව සාරධර්මයන් තුළ ආකල්ප, අගයන් සහ වටිනාකම් පවතින බැවින් මේ නිසා සාරධර්ම ඉගැන්විය හැකි දෙයක්‌ බවත් නිරායාසයෙන්ම ඉගෙන ගන්නා දෙයක්‌ බවත් පෙනී යයි.

සිසුන් තුළ සාරධර්ම ගොඩනැංවීම සඳහා ආකල්ප වර්ධනය කළ යුතුයි. ආකල්ප සමූහයක්‌ ගොඩනැංවීමෙන් සාරධර්මයන් ගොඩනැඟෙයි. මෙහිදී ආකල්පයන් යනු කිසියම් ඒකකයක්‌ පිළිබඳ ඇති කරනු ලබන ඇගයීමකි. සාරධර්මයන් යනු ඉහත සඳහන් වූ ඒකක සමූහයකින් සැකසුණු සමස්‌ත ගුණය පිළිබඳ ඇති කරගත් ඇගයීමකි. උදාහරණයක්‌ වශයෙන් දත් මැදීම හොඳයි. මුහුණ සේදීම හොඳයි. ස්‌නානය කිරීම හොඳයි. ඉහත ආකල්ප සමූහය එකතු වූ විට ශාරීරික පවිත්‍රතාව පිළිබඳ සාරධර්ම ගොඩනැඟේ.

අගයන් දෙස බලන විට මිනිසුන්ගේ විවිධ වූ දෙයට අගයන් පිරිනමයි. අගය පිරිනමන එක්‌තරා ක්‍රමයක්‌ වටිනාකමක්‌ හෙවත් මිල නියම කිරීමයි. එහෙත් සෑම දෙයක්‌ම මුදලෙන් අගය කළ නොහැකියි. උදාහරණ( හොඳයි, නරකයි, අවලස්‌සනයි ආදී වශයෙන් විවිධ අගයන් ලැබේ.

අගයන් යනු යම් සමාජයක්‌ හෝ සමාජයක වැඩිදෙනා විසින් දරනු ලබන පරමාදර්ශ විශ්වාස හෝ ප්‍රතිමාණ වෙයි.

මේ අනුව මිනිසුන් විසින් වටිනාකම් ලෙස සලකනු ලබන ඕනෑම දෙයක්‌ අගයති. එහෙත් සියලුම අගයන් සාරධර්ම ලෙසට සැලකිය හැකිද? සාරධර්මයන් ලෙස පිළිගත හැකිද? එමනිසා සියලු අගයන් සාරධර්ම නොවේ. මේ අනුව සම්මත සාරධර්ම හා අසම්මත සාරධර්ම ගොඩනැඟේ. සම්මත සාරධර්ම යනු පුද්ගලයා විසින් හෝ සමාජය විසින් අගය කරනු ලබන හෝ පිළිගනු ලබන පුද්ගලයා විසින් හෝ සමාජය විසින් පිළිනොගන්නා සාරධර්ම වෙයි. උදා(- මූලධර්මවාදී ආගමත්, අදහන සමාජයත් ආගමික විචාරය අගය නොකරයි. එහෙත් ආගමික විචාරය සාරධර්ම ගණයට අයත් වෙයි.

මේ අනුව සමාජ සම්මුතියට බැහැරව වුවද සාරධර්ම පවතින බවට පිළිගැනීමට සිදු වේ. එසේ නම් සාරධර්ම ලෙසට පිළිගත හැක්‌කේ පුද්ගලයා, සමාජය හා ජීවිතය සාරවත් කරන පොහොසත් කරන අර්ථවත් කරන මානුෂික ගුණාංගයකි.

සාරධර්ම ඉගෙනීම හුදෙකලා වූ ක්‍රියාවක්‌ නොවේ. එය තවත් අවස්‌ථා කිහිපයකින් යුතු සදාචාර ඉගෙනීම පිළිබඳ දීර්ඝ හා සංකීර්ණ ක්‍රියාවලියෙහි එක්‌ අවස්‌ථාවක්‌ පමණි. එහි එන අනෙක්‌ අවස්‌ථා නම් සිසුන්ගේ චර්යාවන් හැඩගැස්‌සවීමයි. සිසු චර්යාව වෙනස්‌ කිරීම තුළින් විනය, ජීවන දර්ශනය, ආකල්ප, සාරධර්ම, සදාචාර විනිශ්චය වැනි දේවල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා පාසලට සම්බන්ධ වෙයි. ඉහත දක්‌වා ඇත්තේ සදාචාර ඉගෙනුම් ක්‍රියාවලියකි. මෙහිදී ගරු විදුහල්පති භූමිකාවට ඉතා වැදගත් වෙයි.

සාරධර්ම පිරිහීමත් සමග පාසල හා සමාජය තුළ ඇතිවන තත්ත්වයන් මෙසේ වෙයි. සිසු පැමිණීම අක්‍රමවත් වීම, සිසුන්ගේ චිත්ත වේගීය ස්‌වරූපයන් වෙනස්‌වීම ඉගෙනීමේ පසුබට සිසුන් සිටීම, පාසල් දේපළවලට හානි කිරීම, අපේක්‍ෂිත සාධන මට්‌ටමක නොවීම, අකීකරු හා දඩබ්බර සිසුන් සිටීම, විනය ගැටළු ඇතිවීම, අනෙක්‌ පාසල් අතර සිසු ගැටුම්, ප්‍රේම සම්බන්ධතා හා ආදර සම්බන්ධතා පිළිබඳ ගැටලු, පාසල් තුළින් සිසුන් ගිලිහී යැම, පාසලට ප්‍රමාදව පැමිණීම, පාසල් කාලය තුළ පාසලෙන් ඉවත්ව යැමට දරන උත්සාහයන්ය.

සමාජය වශයෙන් ගත්කළ දිනපතා සිදුවන මිනිස්‌ ඝාතන, දිවිනසා ගැනීම්, තරුණ හැසිරීම්වල විශාල වෙනස්‌කම්, සමාජය දූෂිත බව, බේබදුකම වැඩිවීම, අනුන්ට හිංසා කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගික අපචාර, ලෝකයා

රැවටීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්වීම, වාණිජ පැත්තට නැඹුරුවීම නිසා ලාභ සොයා යන ලෝකයක්‌ මැවී ඇත. මෙවැනි ක්‍රියාවන් බහුල වීමට හේතුව අධ්‍යාපනයේ කුමන හෝ ස්‌ථානයක වැරැද්දක්‌ ඇති වීමයි.

ඉහත තත්ත්වයන් බොහෝ විට ඇති වනුයේ සමාජ අසාධාරණකම් නිසා වෙයි. මෙය පාසලටත්, සමාජයටත් පොදු වෙයි. මේ නිසා සාරධර්ම නැංවීම පාසලට පමණක්‌ කළ නොහැකිය. ඒ අනුව සමාජය සදාචාරාත්මක කිරීමට අවශ්‍ය කුලුනු 04 ක්‌ දක්‌නට ලැබෙයි. පවුල, ආගම, පාසල, වැඩිහිටි ප්‍රජාව හා ජනමාධ්‍ය වෙයි.

ඉහත කුලුනු හතර ශක්‌තිමත් නොවී සමාජය ශක්‌තිමත් කළ නොහැකිය. මෙම කුලුනු හතර ගොඩනැඟෙන විට සමාජය ගොඩනැඟෙයි. එය පාසලට පමණක්‌ කළ නොහැකිය.

මෙම භූමිකා හතර ශක්‌තිමත් කිරීම තුළින් සමාජය යහපැවැත්ම නිර්මාණය කිරීමට නම් තමාට අදාළ කාර්ය තෝරාගෙන අදාළ කාර්යය නිවැරැදිව කළ යුතුය.

ඉහතින් සඳහන් කළ දුර්වතාවරණයන් අවම කරලීමට සමාජය සංවර්ධනය කිරීමට සෑම අතකින්ම සමාන වූ සාරධර්ම අධ්‍යාපනයේ අවශ්‍යතාව වර්තමානය වන විට පැන නැගී ඇත.

අධ්‍යාපනය යන වචනය තුළ සදාචාරය යන වචනය ගැබ්වෙයි. අධ්‍යාපනය ලබන විට පුද්ගලයන්ගේ ශික්‌ෂණය ඇති වේ. විෂය ඉගෙන ගන්නා විට විනය ලැබෙයි. අධ්‍යාපනය තුළින් ඉහළට යෑම තවත් හැඟීමකි. දැනුම සමග ගුණය මෙහි අන්තර්ගත වෙයි. මෙම තත්ත්වය අතීතයේ දී අධ්‍යාපනය තුළ දක්‌නට ලැබුණි. විද්‍යාවේ දියුණුවත් සමග නව තාක්‌ෂණික ඥනයට අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ වැඩි තැනක්‌ දක්‌නට ලැබෙයි. මේ නිසා ගුණය පැත්ත අධ්‍යාපනයෙන් ඉවත් වෙයි. මෙම තත්ත්වය ලෝකය පුරාම ප්‍රබල ගැටලුවක්‌ බවට පත්වී ඇත. එය සාකච්ඡාවට බඳුන් කිරීමට අවස්‌ථාව උදාවී ඇත.

වර්තමාන පාසල් පද්ධතිය දෙස බලන විට පවත්නා සාරධර්ම පිරිහීමට ප්‍රබල අභියෝග එල්ල වී ඇත. කෙසේ වුවද සෑම විදුහල්පතිවරයකුගේම, ආචාර්යවරුන්ගේ කාර්ය වනුයේ සමාජයට පලදායී පුරවැසියකු නිර්මාණය කිරීමයි. එයට ප්‍රබල අභියෝග එල්ල වී ඇත. එනම් පාසල් අධ්‍යාපනය තුළදී පාසලේ පවතින භූමිකාවන් ප්‍රබල වීමය. පාසලට පැමිණෙන දරුවන්ගේ පවුලේ සමාජීය ආර්ථික විෂමතාවන් පාසලට ප්‍රබල වී ඇත. අවාසිදායක පවුල්, බිඳුණු පවුල්වලින් පාසලට පැමිණෙන දරුවන් දෙස බලන විට අධ්‍යාපනය සඳහා පවුලෙන් කරනු ලබන බලපෑම අඩුවූ විට පාසල තුළින් කළ යුතු කාර්යය වැඩිවී ඇත. මේ නිසා පාසලට ප්‍රශ්න උග්‍ර වේ. මේ නිසා වර්තමානයේ පාසල තුළින් කළ යුතු කාර්යය කොටස්‌ වැඩිවී ඇත. තවද පාසලෙන් පිටත ශිෂ්‍යයා වැරැදි ලෙස හසුරුවන බලවේග ප්‍රබල වී ඇත. මේ නිසා සදාචාරය වැරැදි ලෙස හැසිරවෙයි. උදා(- සංගීත සංදර්ශන, වැලන්ටයින් දිනය මේවා පසුපස මත්ද්‍රව්‍ය භාවිතය දන්නට ලැබෙයි. මෙය න්‍යායක්‌ බවට පත්වී ඇත. ඉහත තත්ත්වය සාරධර්ම පැවැත්මට හානිකර වෙයි. මේ නිසා යෞවනයට එන බලපෑම වැඩිවී ඇත. මේ තුළින් ලිංගික අපචාර වැඩි වී ඇත. වර්තමානයේ ජනමාධ්‍යවලින් ලබාදෙන පණිවුඩ අර්බුදයක්‌ බවට පත්වී ඇත. සමහර සීමිත දේවල් මත ක්‍රියාකාරී වෙයි. ජනමාධ්‍යය හරහා සිප වැළඳ ගැනීම් විවෘතව දක්‌නට ලැබෙයි. මෙයින් ළමයින් කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගැනීමට කාලයක්‌ ගතවෙයි. රූපවාහිනිය මගින් පෙන්වන දේ ඔවුන් කළ යුතු දෙයක්‌ බවට සලකයි. මේවා ජනමාධ්‍යවලින් ලබාදෙන වැරැදි පණිවුඩ වෙයි. මේ අනුව ජනමාධ්‍ය තුළින් දැනුම විකෘති කිරීමක්‌ සිදු වෙයි. මෙම තත්ත්වයන් තුළ විවිධ අපචාරවලට පෙළඹීමක්‌ දක්‌නට ලැබෙයි. ඒ සඳහා අවස්‌ථා සමාජය විසින් සම්පාදනය කර දී ඇත. මෙම තත්ත්වය තුළ සිසුන් සදාචාර කිරීමේ භූමිකාව ඉතා ඉහළ ගොස්‌ ඇති බවක්‌ දක්‌නට ලැබෙයි.

වර්තමාන පාසලේ පවතින ගුරු ආකල්ප දෙස බලන විට පැරැණි අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර වීමට ගුරු විදුහල්පතිවරුන්ට සිදුවී ඇත. අද පවතින්නේ විෂය නිර්දේශ සමග සටන් කොට විභාග මූලික කරගත් අධ්‍යාපන රටාවකි. එමනිසා විෂය නිර්දේශ තුළින් සාරධර්ම ඉගැන්වීම ප්‍රබල ගැටලුවක්‌ බවට පත්ව ඇත.

වර්තමාන පාසලේ ගුරුවරයාගේ ගුරු ආකල්පවල පිරිහීමක්‌ දක්‌නට ලැබෙයි. මෙය සෑම ගුරුවරයාටම පොදු නොවන තත්ත්වයක්‌ වුවත් මෙය සාරධර්ම පැවැත්මට ප්‍රබල ගැටලුවකි. වර්තමාන සිසුවාට ජීවිතය හා ලෝකය තේරුම්ගත හැකි මූලික දර්ශනයක අවශ්‍යතාව පැන නැගී ඇත. වර්තමාන අධ්‍යාපන විෂය මූලික බව නිසා සිසුන්ට යහපත් ජීවන දර්ශනයක්‌ ගොඩනඟා ගැනීමට කරනු ලබන උපකාරය ඉතාමත් දුර්වල වී ඇත. මෙම අඩුපාඩුව ජීවන මාර්ගෝපදේශනය ලබාදෙන විවිධ විෂය අතිරේක වැඩසටහන් තුළට සිසුන් හසුරුවා ලීමට පාසලට හැකියාව තිබිය යුතුය. මේ සඳහා විවිධ දාර්ශනික සංකල්ප සිසුන්ට හඳුන්වාදී විෂය මාලාව නිර්මාණය කිරීමේදී හා සංශෝධනයේ දී මෙම තත්ත්වය සැලකිල්ලට ගත යුතුය.

තවද වර්තමානයේ ආගමික විෂයන්වලට වැඩි නැඹුරු කිරීමක්‌ දක්‌නට නොලැබෙයි. සෑම ශ්‍රේණියකටම සතියකට කාල පරිච්ඡේද දෙකක්‌ පමණක්‌ අන්තර්ගත කර ඇත. මෙම තත්ත්වයද සාරධර්ම අධ්‍යාපනයට ගැටලුවකි. තවද ආගම විෂයන් උගන්වන ගුරුවරුන් බොහෝ විට නුපුහුණු ගුරුවරුන් වෙයි. කාලසටහන සම්පූර්ණ කරගැනීම උදෙසා මෙම විෂයන්ට කුමන හෝ විෂය ගුරුවරයකුට විෂය බාරදීම තවත් ගැටලුවකි.

වර්තමාන සමාජය ගැඹුරින් අධ්‍යයනය කරනු ලබන ඕනෑම කෙනකුට දැක ගත හැකි වැදගත් ලක්‌ෂණයකි. කණ්‌ඩායම් වශයෙන් සාමූහිකව කටයුතු කිරීමට බොහෝ දෙනෙක්‌ තුළ ඇති අකමැත්ත, විටක ආර්ථික ප්‍රවාහය හේතුවෙන් මිනිස්‌ ජනතා සිත් සතන් තුළ අධික ලෙස වර්ධනය වන්නා වූ පටු ආත්මාර්ථකාමී හැඟීම් හා උග්‍ර තරගකාරීත්වය විසින් මෙවැනි අහිතකර තත්ත්වයන් නිර්මාණය වී ඇත. මෙම තත්ත්වය ගුරුවරුන් අතරද සිසුන් අතරද වර්ධනය වී ඇත. මේ තත්ත්වය පාසල තුළ ඇති සාරධර්මවල පරිහානියට බලපාන බවයි.

පාසල තුළ පැවති සාරධර්මවලට එල්ල වන බලපෑම් හා අභියෝග ජය ගැනීමට හැකි ක්‍රියාමාර්ගවලට අනුව විෂය මාලාව විධිමත් හා අවිධිමත් ලෙස කොටස්‌ දෙකකට බෙදුවත් විධිමත් ලෙස විෂය මාලාව යටතේ පෙළ පොත්, චක්‍රලේඛන, ගුරු අත්පොත් යටතේ විෂය කරුණු ඉගැන්වීම් අවස්‌ථාවලදී සදාචාර අධ්‍යාපන තිබේද යන්න ගැටලුවකි. උගන්වනු ලබන විෂය තුළින් චරිතවත් වන අවස්‌ථා ඉස්‌මතු කිරීමට උචිත උපමා කථා තෝරාගත යුතුයි. කවර අවස්‌ථාවකදී වුවද උපමා කථා චරිත කථා යොදා ගැනීමට අදාළ වන ලෙසට විෂය මාලාව සකස්‌ විය යුතුයි. ළමයින් යම් දෙයක්‌ පිළිබඳ සිතන ආකාරය පිළිබඳ රචනාවක්‌ ලියන්න. ජයග්‍රහණය ලබා ගැනීමට අවස්‌ථා සම්පාදනය විය යුතුයි. උදාහරණ සිංහල සාහිත්‍ය දින තරග, ඉංග්‍රීසි දින තරග, කලා උළෙල, ක්‍රීඩා උත්සව පුහුණුවීම්

නිවැරැදිව කිරීම, දුර්වල සිසුන්ට ධෛර්ය ලබාදීමටත් ඉදිරියට යා හැකි ක්‍රියාමාර්ග ලබාදීම මෙහෙයවීම. දුර්වල ළමයින්ට උදව් කරන ආකාරය කියාදීම, අවිධිමත් ක්‍රියාකාරකම් තුළින් ඔවුන්ට ධෛර්යය ලැබෙන ලෙසට ක්‍රියාකාරකම් ස්‌ථාපනය කිරීම, පංති කාමරය තුළ ආදර්ශ පාඨයන් ලියන්න. පංතියට අනන්‍යතාවක්‌ ගොඩනඟා ගන්න. සහයෝගීව තරග කරන්නේ කෙසේද? යහපත සඳහා තරගකාරිත්වයක්‌ ඇතිකළ යුතුය. නායකත්වය වරින් වර මාරු කිරීම, චරිතවත් අධ්‍යාපනය ලබාදීමේදී හැම කෙනකුටම නායකත්වය ලබාදිය යුතුය. එවිට නායකයා අනුගාමිකයා වෙයි. අනුගාමිකයා නායකයා බවට පත්වෙයි. සාමුහිකත්වය පිළිබඳ සංකල්පය වර්ධනය කළ යුතුය. මමත්වය සිසු හදවත් තුළින් බැහැර කළ යුතුය. කණ්‌ඩායමක්‌ ලෙසට එකට එකතු වූ විට ශක්‌තිය ප්‍රබල වෙයි. පංති කාමරය තුළ හොඳ ලක්‌ෂණ අගය කළ යුතුය. (තමාගේ හොඳම යාලුවා තුළ ඇති හොඳ ලක්‌ෂණ 03 ක්‌ ලියන්න. එම නිසා එකිනෙකා අතර සංහිඳියා හැඟීම් ඇති වෙයි) හැම ළමයෙකුම කිසියම් වගකීම් දරන්නෙකු විය යුතුයි. වගකීම් දරණ විට එය කිරීමට උත්සාහ කරයි. ළමයින් ගුරුවරයාට මෙන්ම ගුරුවරයා ළමයින්ට වගකියන්නකු බවට පත්වෙයි.

පාසල් පද්ධතිය යුතු නීති රීති විනය ස්‌ථාපිත වන විට පාසලට අභිමානවත් බවක්‌ ලැබෙයි. එවිට සිසුන්ට ජනප්‍රිය ස්‌ථානයක්‌ බවට පත්වෙයි. පාසලේ අභිමානවත් පෙනීම තුළින් සිසුන් තුළ අභිමානවත් පෞරුෂයක්‌ ඇති වෙයි. මේ සඳහා පාසල තුළ මාසයකට එක්‌ දිනක්‌ වත් සුවිශේෂී දිනයක්‌ බවට පත්කළ යුතුයි. ඒ සඳහා සිසුන්ට අවස්‌ථා සම්පාදනය කළ යුතුය. මෙම වැඩසටහන්වල සියලුම අවස්‌ථා සම්පාදනය කළ යුත්තේ සිසුන් විසිනි. පාසලෙන් බිහිවන්නේ කුමන ආකාරයේ සිසුවෙක්‌ද යන්න දැක්‌මක්‌ තිබිය යුතුයි. දැක්‌ම ගුරුවරු හා විදුහල්පතිවරුන් විසින් උදෑසන

රැස්‌වීම් වැනි හැම වැඩසටහනකදීම මෙන්ම වැඩසටහන් සම්පාදනය කිරීමේදී පැවසිය යුතුය. පාසල් විෂය සමගාමී කටයුතු වර්ධනය කළ යුතුයි. ක්‍රීඩා හා විවිධ සංගම් පවත්වාගෙන යා යුතුයි. ඒවා නිසි පරිදි අධීක්‌ෂණය හා නියාමනය විය යුතුයි. මෙම හැම අවස්‌ථාවකදීම සිසුවා නායකත්වය ලබාගන්නා නිසා ඔවුන්ගේ පෞරුෂ ගුණාත්මකව වර්ධනය වෙයි. සිසුන් සමග ළඟින්ම මිත්‍රශීලීව කටයුතු කළ යුතුය.

සාරධර්ම ඉගැන්වීමට සාරධර්ම ගැන පමණක්‌ නොව ශිෂ්‍යයන්ගේ ස්‌වභාවයන්ද දැනගත යුතුය. එනම් පවුල් පරිසරය චිත්ත වේගීය ස්‌වභාවයන්, ඔවුන්ගේ ආර්ථිකය, ආගමික පරිසරය යන කරුණු හා එක්‌ එක්‌ ළමයා තුළ පවතින ගුණධර්ම එකිනෙකාට වෙනස්‌ වෙයි. දෙමාපිය තත්ත්වය දෙමාපියන්ගේ අධ්‍යාපනය, සමාජ තත්ත්වය මේ බව ගුරුවරයා දැනගෙන ඔවුන් අභිප්‍රේරණය කළ යුතුයි.

පාසලේ පවතින සංස්‌කෘතික පරිසරය නීති සෑම ශිෂ්‍යයෙකුටම පොදුය. විවිධ පරිසරවලින් පැමිණෙන ළමයින් ඒ අනුව හැඩගැස්‌සවීමට පාසලට සිදු වෙයි. පාසලේ දී අනුගමනය කළ යුතු පාසල් සමාජ නීති පද්ධතියක්‌ ඇත. ඊට හැඩගැස්‌සවීම පාසල තුළින් කරනු ලබයි.

මෙය කිසිම පාසලකට ලියා ලිතව සම්පූර්ණයෙන් නිකුත් කළ නොහැකිය. මෙම ළමයින් හැඩ ගැසෙන්නේ පාසල තුළ පවතින උරුමය තුළය. ඒ සඳහා ගුරුවරුන්ගේ, ශිෂ්‍ය නායකයන්ගේ, විදුහල්පතිවරුන්ගේ උපදෙස්‌ මතය. මෙම හැඩගැස්‌වීම ආදරයෙන් කියා දීමෙන් ආදර්ශමත්ව හැඩගැස්‌වීම දඬුවම් මගින් ළමයින්ට ලැබෙයි. පාසලට එන ළමයින්ගේ අපේක්‌ෂා චර්යාවන් හැඩගැස්‌වීම සඳහා ගුරුවරයා ඔවුන්ට දඬුවම් කරයි. කෝටුවේ බලයෙන් හොඳ ප්‍රතිචාර ලබති. එසේ කෝටුවට බයෙන් ලබන හැසිරීම විනය වශයෙන් සැලකිය නොහැකිය. කෝටුවට කළ හැකි කාර්යයන් දෙකක්‌ වෙයි.

1. තාවකාලිකව ශිෂ්‍යයා හැසිරවීම, ගුරුවරයා හෝ වැඩිහිටියා ඉදිරියේ දී පමණක්‌ ශිෂ්‍යයා හොඳින් හැසිරෙයි. එහෙත් ඉන් ඈත් වූ විට ඔවුන්ගේ ප්‍රකෘති හැසිරීම් විලාසයට නැවත පත්වෙයි. ඇතැම් ළමයින් දඬුවම නිසා ඊට ප්‍රතික්‍රියා වශයෙන් දඩබ්බර ගති පෙන්වති. එවැනි ළමයින්ට දඬුවමෙන් ලැබෙන්නේ තාවකාලික හැසිරවීමක්‌ පමණකි.

2. එහෙත් තවත් ළමයින් දඬුවම් නිසා වරද පිළිගනී. ඔවුන් සඳහා දඬුවම නොහොත් කෝටුව විනය ඇති කරලීමට මඟක්‌ පෙන්වයි.

යෝජනා හා විසඳුම්

විෂය සමගාමී ක්‍රියාවන්ගේ වටිනාකම පිළිබඳව ගුරුවරුන් දෙමාපියන්, සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම, සාරධර්ම

රැකගැනීම පිළිබඳව කිසියම් ආකාරයක ප්‍රතිඥ ලබාදීමේ වැඩපිළිවෙළවල් යෙදීම, ජාතික මට්‌ටමේ ප්‍රතිපත්ති සැකසීමේදී දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, පළාත් මට්‌ටම්, කලාප මට්‌ටමේ, පාසල් මට්‌ටමේ ගුරුවරුන් හා නිලධාරීන් තෝරාගෙන සාරධර්මවලට අදාළ කරුණු සමග බද්ධ කිරීම. සාරධර්ම අධ්‍යාපනය අරමුණු නියමිත වශයෙන් ගොඩනඟා ඒ අනුව විෂය සංචාරය, කල්පනාකාරීව තෝරාගත යුතුය. ඉගැන්වීම් ක්‍රම හා ඇගයීම් ක්‍රම නිර්මාණය කිරීම දක්‌ෂ ගුරුවරයාට අයත් කාර්යයකි. පාසලේ දී උගන්වනු ලබන සෑම විෂයක්‌ම සාරධර්ම මතුකර ඉගැන්විය හැකිය. එයට උචිත පරිදි විෂයමාලා සම්පාදකයන් සාරධර්ම පද්ධතීන් හඳුනාගෙන එම කොටස්‌ විවිධ විෂයන් තුළට විධිමත් ලෙසට අන්තර්ගත කළ යුතුය.

පාසල් පද්ධතියේ බලවත් ලෙස සාරධර්ම පිරිහී ඇති නිසා යෙදිය යුතු ප්‍රතිකර්මය නම් මැනවින් සකස්‌ කරන ලද සාරධර්ම අධ්‍යාපන පද්ධතියක්‌ ලබාදීමයි. එය ප්‍රමාණවත් නොවේ. එනම් වර්තමාන සමාජ පද්ධතිය දූෂණයෙන් හා අගතීන්ගෙන් පිරිහී ගොස්‌ ඇත. එහි ඉතිරිය දුඟද හමන මඩවළක්‌ වැනිය. ඒ මෙවැනි සමාජ පද්ධතියක්‌ තුළ ලැග සිට කොතෙක්‌ දෝංකාර නැගුවද ඉන් කිසිදු පළදායි වැඩක්‌ සිදු නොවේ. නිත්‍ය වශයෙන්ම අර්ථාන්විත පිළිගත හැකි යමක්‌ සිදු වනුයේ ඒ සඳහා දේශපාලන, ආර්ථික, නෛතික, සංස්‌කෘතික ආදී හැම අංශයක්‌ම එක්‌ව සමාජ ව්‍යqහය නිවැරැදි කර ගැනීම පමණි. එබැවින් සියල්ල සම්පූර්ණ වන තෙක්‌ ද ඉබේ සිදුවන තෙක්‌ද උකටලීව හා අකර්මන්‍යව තවදුරටත් බලා නොසිට අපට කළ හැකි දේ අධ්‍යාපනය තුළින් අප කළ යුතුමය.

එච්. එස්‌. හේවගේ
නියෝජ්‍ය විදුහල්පති
පිළියන්දල 


Source - Divayina - http://www.divaina.com/2013/06/04/feature02.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි