Wednesday, May 1, 2013

නොමියෙන, "සේකර"


මහගමසේකර කවියෙකි. ගීත රචකයෙකි. නාට්‍යවේදියකි. සිනමාකරුවෙකි. මේ සා පැතිරුණු ඉතා විසල් ක්ෂේත්‍රයන් කිහිපයක් ආවරණය කරන ලද ඔහුගේ නිර්මාණ දායකත්වය පිළිබඳ කවියකු, ගීත රචකයකු, හා සාහිත්‍යධරයකු සමඟ සිදුකරන කෙටි සාකච්ඡාවක් ඇසුරින් මේ සටහන සැකසුණි.

සේකර තරම් පසු පරම්පරාවට බලපෑ වෙන කෙනකු නොමැති තරම්

ඩබ්. ඒ. අබේසිංහ
සේකරයන්ගේ සාහිත්‍ය නිර්මාණයන්හි පොදුවේ ඔබ දකින විශේෂ ලක්ෂණ මොනවාද?
ලංකාවේ බිහිවූ සාහිත්‍යධරයන් අතර මහගමසේකර ඉතා සුවිශේෂි පුද්ගලයෙක්. ඔහුගේ නිර්මාණයන්හි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ තමයි එහි ඇති විවිධත්වය. ඔහු කවිය, ගීතය, වේදිකාව, චිත්‍රපටය, නවකතාව ශාස්ත්‍රීය ලේඛන, මුද්‍රා නාටක යන සෑම අංශයකම සුවිශේෂී ප්‍රතිභාවක් දැක්වූ සුවිශේෂි පුද්ගලයෙක්. මෙවැනි විවිධත්වයක් ඇති වෙනත් සාහිත්‍ය නිර්මාණකරුවකු අප අතර නැති තරම්. මේ සෑම ක්ෂේත්‍රයක් ම එකසේ සාර්ථකව ජය ගැනීමට ඔහුට හැකි වුණා, එයට ප්‍රධාන හේතුව තමයි බස සම්බන්ධව ඔහු සතුවූ සියුම් සංවේදී ස්වභාවය. එමෙන් ම අනුකරණවාදී නොවී තමාගේ ම අනන්‍යවූ නිර්මාණ ශක්තියකින් පිරුණු නිර්මාණ කරුවකු වීම සම්භාව්‍ය සාහිත්‍යය හරහා ඔහු ළඟා කරගත් දැනුම් සම්භාරය ඉතා නිර්මාණශීලී ලෙස පෙළ ගැස්වීමට ඔහුට කදිම හැකියාවක් තිබුණා. අමාවතුර, බුත්සරණ, සුළු කළිඟුදාවත, වෙස්සන්තර ජාතකය, ජාතක කතා පොත ඇතුළු අපගේ සම්භාව්‍ය සාහිත්‍යයෙන් ඔහු ලබාගත් ආභාසය ඉතා විශිෂ්ටයි.
එපමණක් නොවේ කට වහර, ජනවහර, ජනකවිය ආදී සෑම සම්ප්‍රදායක් පිළිබඳව ම ඔහුට ඉතා හොඳ අවබෝධයක් තිබුණා. ඒ ඇසුරින් ඔහු රචනා කරන ලද කවි, ගීත ආදී වෙනත් සෑම නිර්මාණයක් ම ඉතා රසවත් ලෙස පෙළ ගැස්වීමට ඔහුට හැකියාවක් තිබුණා. ඕනෑම සම්ප්‍රදායක් තම නිර්මාණ සඳහා භාවිතා කළ ද ඒ කිසිදු සම්ප්‍රදායක් ඒ ආකාරයෙන් ම ඉදිරිපත් කළේ නැහැ. සේකරයන් අතින් සිදුවූ ප්‍රධානතම හා වැදගත් ම සාහිත්‍ය සේවාව වුණේ සම්ප්‍රදාය ප්‍රතිනිර්මාණය කිරීම. එසේ කිරීමට නම් පළමුව සම්ප්‍රදාය කුමක් ද යන්න පැහැදිලිව අවබෝධ කරගත යුතුයි.
දෙවනුව නිර්මාණ කාර්යය පිළිබඳ සුවිශේෂි ප්‍රතිභාවක් තියෙන්න ඕන. සේකරයන් සතුව එම ලක්ෂණද්වය ඉතා සාර්ථකව පිහිටා තිබුණා. එහෙයින් ඔහු කවියක්, ගීතයක් , නාටකයක්, නවනතාවක් ඔය කොයි දේ රචනා කළත් ඉතා නිර්මාණශීලීව එමෙන් ම අව්‍යාජව ඒ කාර්ය සිදු කිරීමට ඔහුට හැකි වුණා. එම නිසා පොදුවේ සේකරයන් නිරත වූ සෑම සාහිත්‍ය ක්ෂේත්‍රයක ම ඔහුගේ නිර්මාණ තුළ සුවිශේෂි අපූර්වත්වයක් තිබුණා. එය සාහිත්‍යධරයකුට කලාතුරකින් සිටින ලක්ෂණයක්.
සාහිත්‍යධරයකු වශයෙන් සේකර ඔහුට පෙර සිටි අන් නිර්මාණකරුවන් ගෙන් වෙනස් වන්නේ කුමන ලක්ෂණ මත ද?
මෙහෙමයි. කවිය සම්බන්ධයෙන් ගත්තොත් සේකරට පෙර තිබුණේ කොළඹ කවිය. නමුත් කොළඹ කවිය අතික්‍රමණය කරල නව කාව්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමට ඔහු සමත් වුණා. මුලදී ඔහු නිදහස් කවිය ප්‍රතික්ෂේප කළා. නමුත් පසු කාලයේ දී අනෙකුත් නිසදැස් කරුවන්ට වඩා එම ආකෘතිය පෝෂණය කළා. නිසදැස් කවියට ගීතවත් බවක් ලබාදී එයින් විශාල ප්‍රයෝජන ගත්තා. ඒ වගේ ම තමයි ගීතය ඔහුට පෙර යුගයේ බොහෝ රචනාවල තිබුණෙ වචන විතරයි.
නමුත් ගීතය සාහිත්‍ය භාෂණයක් කිරීමට ඔහු ගත් උත්සාහය ඉතා ප්‍රශංසනීයයි. සේකරයන් නිසා කවිය ද ගීතය ද එයට පෙර පැවති යුගයකට වඩා නිර්මාණාත්මක ලෙස පෝෂණය වුණා. මුද්‍රා නාටක, චිත්‍රපට ගී ඇතුළු අනෙක් සෑම ක්ෂේත්‍රයකට ම මෙය පොදුයි. මේ කුමන ක්ෂේත්‍රයක වුවත් භාෂාව හැසිරීමෙහිලා ඔහු දැක්වූ ප්‍රශස්ත කුසලතාවය එක් පෙර යුගයන්හි අපට එලෙස දකින්නට පුළුවන් කමක් නැහැ. ඔහුගේ බසෙහි ඇති ගීතවත් බව මෙන් ම භාෂාවේ ඇති ශක්තිමත් බව ද එකසේ පසු යුගයට බලපෑව. සේකරයන් තරම් පසු යුගයට බලපෑ වෙනත් නිර්මාණකරුවකු නොමැති තරම්.
නවකතාකරුවකු වශයෙන් මහගම සේකරයන්ගේ නිර්මාණ ඔබ අගය කරන්නේ කෙසේද?
සේකරයන් ගේ නවකතා ද්වය වන ‘තුංමං හන්දිය’ හා ‘මනෝ මන්දිර’ යන නවකතා අපූර්ව නිර්මාණ ශක්තියකින් යුතු ව තමාගේ ම අව්‍යාජ කතා කලාව කදිමට නිරූපණය කරනව. මෙහිදී ‘තුංමං හන්දිය’ සාමාන්‍ය නවකතාවක නොතිබුණු ප්‍රමාණයට ජීවිතයට දැඩි සමීප බවක් දක්වනවා. ග්‍රාමීය පරිසරය පදනම් කොට ගෙන බිහිවුණ උසස් ම නවකතාව තමයි ‘තුංමං හන්දිය’ එහි එන සෑම චරිතයක් ම ඉතා අව්‍යාජ ලෙස නිරූපණය කිරීමට ඔහු දක්වා ඇති කුසලතාවය අනික් සෑම නවකතාකරුවකුටම වඩා විශිෂ්ටයි. එමෙන් ම මෙම නවකතා රචනා කිරීමේදී ඔහු යොදාගනු ලබන අපූරු බස් වහර වැනි බස් වහරක් අපට නවකතාවල හමුවන්නේ නැති තරම්. එසේ වීමට ප්‍රධාන කරුණු දෙකක් බලපා තිබෙනව.
ඉන් පළමු කැරුණ තමයි ඔහුගේ භාෂාවේ ඇති කාව්‍යමය ගතිය හා ගීතමය බව. එම ලක්ෂණ දෙක ඔහු වෙනත් තලයක හිඳුවා නවකතා රචනා කළා. එවැනි දෙයක් වෙන කිසිම නවකතාකරුවකු අතින් සිදුවුණේ නැහැ. ඒ නිසා නවකතාවේ චරිත සාර්ථක වුණා සේම ඒ හරහා ගීතවත් බවක් ද මතු වුණා. දෙවැනි කරුණ තමයි එම නවකතා රචනා කිරීමේදී ඔහු උපයෝගී කොට ගෙන ඇති ගැමි ව්‍යවහාරය ගැමියන් ගේ කථන භාෂාව මෙතරම් සියුම් ලෙස නවකතාවකට නඟපු වෙනත් ලේඛකයකු නැහැ. ඒ අනුව ‘තුංමං හංදිය’ හා ‘මනෝ මන්දිර’ යන නවකතා ද්වය කුමන දෘෂ්ටිකෝණයෙන් බැලුවත් සාර්ථක නවකතා දෙකක්. එම නවකතා දෙක ලියුවට පස්සෙ එතනින් එහාට කිසිම නවකතාවක් රචනා කරන්නට ඔහුට ඉඩක් නැහැ. ඒ කෘති දෙක එතරම් පරිපූර්ණයි.

සේකරට තියෙන්නේ පිරිපහදු කළ බසක්

රත්න ශ්‍රී විජේසිංහ
ගේය පද රචකයකු වශයෙන් සේකරයන් පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ගීත රචකයකු වශයෙන් මහගම සේකරයන් අද්විතීයයි. එයට මුල් වූ ප්‍රධාන පුද්ගලයා වශයෙන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් හඳුන්වන්න පුළුවන්. බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවෙ මානවසිංහයන් කරපු දේශනයක් අහල තමයි සේකරයන් ගීත රචනා කිරීමට යොමු වෙලා තියෙන්නෙ. ඒ අනුව සේකරයන් ගෙ ආරම්භය ඉතා ශක්තිමත්. එසේ ආරම්භ වුණු සේකරයන්ගෙ නිර්මාණ වපසරිය මානවසිංහයන්ට වඩා ඉතා පුළුල් ලෙස පැතිරී ගියා. සරල ගීතය, චිත්‍රපට ගීතය, වේදිකා නාට්‍යය, මුද්‍රා නාටකය, පර්යේෂණ ගීතය යනාදී ඉතා පුළුල් ක්ෂේත්‍රයක ක්‍රියාත්මක වුණා.
ඒ හැම ක්ෂේත්‍රයකම ඉතා ප්‍රශස්ත ලෙස තමන්ගෙ නිර්මාණ කාර්යය ඉටු කරනු ලැබුව. ඒ වගේ ම සේකරයන් මානවසිංහයන් අත නොගහපු විවිධ අංශයන්හි දස්කම් දැක්වූවා. රබීන්ද්‍රනාත් තාගෝර්, ඕමාර් ඛයියාම්, සරෝජිනි නායිදු, වැනි කවි කිවිඳියන් ගේ නිර්මාණ ඇසුරෙන් විවිධ නිර්මාණයන් සිදු කළා. ඒ හරහා සේකර ලකුණක් සිංහල ගීතය තුළ විද්‍යමාන වුණා. එපමණක් නොවේ ජනකවි, ථෙර ථෙරි ගාථා වැනි දේ ඇසුරින් ඉතා සාර්ථක ගී රචනා කළා. පාලි ආභාසයෙන් ඉතා වටිනා ගීත රාශියක් බිහි කිරීමට ඔහු සමත් වූවා.
ගීත රචනාවන්හි සේකරයන් ගේ භාෂා භාවිතය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
සේකරයන් භාෂාව ඉතා රමණීයව යොදාගත් ගී පද රචකයෙක්. ඔහුට තිබුණ හැකියාවන්ගෙන් ප්‍රධාන දෙයක් තමයි ගීතය බිහිවන වටපිටාවට අනුව පද ගැළපීමට ඔහුට තිබුණු මනා හැකියාව. උදාහරණයක් වශයෙන් ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටය වෙනුවෙන් ඔහු රචනා කරන ‘රුවන් වලා දුහුල් කඩින් ගීතය’ වෙස්සන්තර ජාතකය ඇසුරින් රාජ සුකුමාරත්වය විදහා දැක්වීමට කදිමට යොදාගත් පද මාලාවක්. එම පද වැල එම චිත්‍රපටයෙහි පසුබිමට ඉතා හොඳින් ගැළපුණා. එමෙන් ම ‘ගැටවරයෝ’ චිත්‍රපටය වෙනුවෙන් ඔහු රචනා කරන ලද ‘හාරිච්චි බෝරිච්චි’ ගීතයෙහි පදවැල කට වහර හරහා නිර්මාණය වූ උත්ප්‍රාසය දනවන පද වැලක්. එම පදවැල එම චිත්‍රපටයෙහි ස්වරූපය හා ගැළපුණා. මේ ආකාරයට ඕනෑම වටපිටාවක සමාජ චිත්‍රය නිරූපණය කිරීමට හැකියාවක් සේකරයන්ගෙ බස සතු වූවා.
එපමණක් නොවේ සම්භාව්‍ය සාහිත්‍යමය ආභාසය ඔහුගේ ගීත තුළ ඉතා කදිමට නිරූපණය වෙනවා. උදාහරණයක් වශයෙන් “ඔබේ දෑසයි ඔබේ දෑසයි මීන චංචල කිඳුරු දෑසයි” යන්න ථෙර ථෙරි ගාථා වන්හි හමුවන සුභා තෙරණිය ඇසුරෙහි බිහිවූවක්. එහි එන “නයනා කින්නරී මන්ද ලෝචනී” යන්න මීන චංචල කිඳුරු දෑස වුණා. ඒ වගේ ම “ඔබේ නමින් සෑය බඳිමි” ගීතයේ හමුවන “ආලවඩන දන්ත කැකුළු කුන්ද සමන්” යන්න කාලිදාසයන්ගේ ශෘංගාර තිලකේ හමුවන, ගුරුළු ගෝමීන් සුළු කළිඟු දාවත රචනා කිරීමේ දී යොදාගත් යෙදුමක්. එය රසවත් ව ගීතයට නැඟුව. ඒ අනුව පාලි, සංස්කෘත සාහිත්‍යයේ බලපෑම ඔහුගේ බස පෝෂණය වීමට මනා පිටු වහලක් වුණා.
ඒ වගේ ම සරච්චන්ද්‍රයන් ගෙ බලපෑම ද සේකරයන් ගේ නිර්මාණයන්හි සැඟවී තියෙනවා. සරත්චන්ද්‍රයන්ගෙ ‘මනමේ’ නාටකයෙහි හමුවන “ආලයෙන් වෙලි සැදි මෙ ලතා” යන්න “අත් පසුරින් තුරු පෙම්බරයන් බඳ බන්දා සෙනේ තොසිනී” යන්නෙන් ඉතා විසල් පරිසරයක ‘අන්න බලන් සඳ’ ගීතයෙහි රඳවනව. ඒ වගේ ම ජනකවි ඇසුරෙහි පෝෂණය වූ ‘පිලේ පැදුර’ “කන්ද උඩින් එන” “ඉරට මුවාවෙන්” වැනි ගීත තුළ ජනකවි සම්ප්‍රදාය තුළ ඔහු දැක්වූ ප්‍රතිභාව ඉස්මතු වෙනවා.
මේ අනුව සෑම සම්ප්‍රදායකින් ම පිරිපහදු වෙච්ච බසක් ඔහු ගීත රචනා තුළ අපට දැකගන්න පුළුවන්.
සේකරයන්ගේ ගී පද රචනා ඔබගේ ගීත රචනා වෙත යම් බලපෑමක් කළේ ද?
අනිවාර්යයෙන් ම ලොකු බලපෑමක් වුණා. හැබැයි මාව ගීත රචකයෙක් විදියට හඳුන්වනවට මම කොහොමවත් ම කැමැති නැහැ. මම කවියෙක්. මම පාසල් යන කාලෙ ඉඳන් කවි ලියුව. ඒව මම සේකරයන්ට යැවුව. ඔහු එම කවි කියවල මට හොඳ නරක කියා දෙනව. සමහර කවි ඉතා රසවත් කියනව. සමහර කවි ඉතා නීරසයි කියනව. මේ වගේ ඉතා විශාල ගුරු හරුකම් රාශියක් මම එතුමාගෙන් ලබාගත්ත. ඒ වගෙ සමහර වෙලාවට ඔහුව හමුවෙලා උපදෙස් ගන්න අවස්ථාත් තියෙනව. ඒ නිසා සේකර මගේ ගුරු අත්පොතක් හැටියටයි මම සලකන්නෙ.
චිත්‍රපට ගීතය, වේදිකා නාට්‍ය ගීතය, මුද්‍රා නාටක ගීතය යන සෑම අංශයක ම සේකරයන් දැක්වූ ප්‍රතිභාව ඔබ අගය කරන්නේ කෙසේද?
මා මුලදී පැවසුවාක් මෙන් මේ හැම අංශයකම එකසේ සාර්ථක වුණු සාහිත්‍යකරුවා තමයි සේකර. ඔහු ‘රන්සළු’ චිත්‍රපටයට රචනා කරන ලද ‘සිරිපා පියුමේ’ ගීතය ‘බිනරමලී’ චිත්‍රපටයේ හමුවන ‘රටකින් රටකට’ ගීතය ‘තුංමං හන්දිය’ චිත්‍රපටය වෙනුවෙන් රචනා කරන ලද “අතීතයෙන් ගඟ ගලා බසී” ගීතය ‘පරසතු මල්’ චිත්‍රපටය වෙනුවෙන් රචනා කරල ලද “තොලින් තොලට වෑහෙන අම බින්දු” ගීතය ඇතුළු ඔහුගේ සෑම චිත්‍රපට ගීතයක් ම පාහේ සාර්ථකයි. වේදිකා නාට්‍ය ගී අතර ඔහුගේ විශිෂ්ටතම රචනා හමුවන්නෙ ‘මූදු පුත්තු’ නාටකයෙහි. ඒ වගේ ම ‘දේවතා එළි’ නාටකයට රචනා කරන ලද ‘දිව්‍ය අංගනාවන්ට’ වැනි ගීතත් ඉතා ඉහළ නිර්මාණාත්මක ශක්තියක් පෙන්නුම් කරනව. මුද්‍රා නාටක සඳහා රචනා කරන ලද ‘කරදිය’ මුද්‍රා නාටකයේ ගීතත් ‘නල දමයන්ති’ නාටකයේ ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතයත් ඔහුගේ ඉතා වටිනා නිර්මාණ.
වර්තමාන ගී පද රචකයන් සේකරයන්ගේ ගී නිර්මාණ අධ්‍යයනය කළ යුතු යැයි ඔබ සිතනවාද?
අනිවාර්යයෙන් ම අධ්‍යයනය කළ යුතුයි. අද ඇත්තට ම ගීත රචකයා මැරිල. ගීත රචකයො නැහැ. ගීත රචනාවන් නැහැ. නපුංසක හඬවල් වලින් මොනව හරි වචන ටිකක් කෑගහනව විතරයි. ගීතය කියන්නෙ ගී පද රචනාව කියන්නෙ ඉතාම සියුම් නිර්මාණයක්. එය ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙමේ. අද ඕන ම වචන පෙළකට පද රචනය කිව්වට ගීතයක පද රචනය ඕන ම වචන පෙළක් වෙන්න බැහැ. හොඳ ගීතයක් රචනා කරන්නේ කෙසේද? යන්න සඳහා සේකරයන්ගේ නිර්මාණ ඉතා හොඳ පිටුවහලක්. අද පවා එම ගීත වලට රසිකයන් පුදුම විදියට ආදරය කරනව. අපි විනෝද චාරිකාවක් යනකොට පවා තාම කියන්නෙ පරණ සින්දු. ඔය අලුත් කියන එක ගීතයක් වත් කියන්නෙ නැහැ. ඒ වගේ ම ඕනෑ ම ගායන තරගයකදී ගායනා වන්නෙ 60, 70 දශකයෙ බිහිවූ ගීත. සේකරයන් ඒ අතර අනිවාර්යයෙන් ම සිටිනවා.

සම්ප්‍රදායේ නවීනත්වය තේරුම් ගත් කවියෙක්

නන්දන වීරසිංහ
“සේකර” යන කවියා ඔබ හඳුනාගන්නේ කෙසේ ද?
තමන් ජීවත්වුණ කෙටි කාලයේදී ඉතා විශාල කාර්යභාරයක් ඉටුකළ නිර්මාණකරුවෙක් තමයි මහගමසේකර. ඔහුගේ නිර්මාණ සමුදාය පිරික්සු විට අපට පැහැදිලිව පෙනී යන විශේෂ ලක්ෂණයක් තමයි එය වසර සියයකින් වත් කරන්න බැරි විශාල වපසරියක විහිදී ඇති බව. ඔහුගේ කෙටි ජීවිත කාලයේදී මේ සා විශාල නිර්මාණ සමුදායක් කරන්න පුළුවන් කොහොම ද? කියලත් හිතෙනව. ඒ අතර කවිය සම්බන්ධව ඔහු කරන ලද දායකත්වය ද අප අගය කළ යුතුයි. නමුත් ඔහුට නියමාකාර ලෙස කාව්‍ය අභිලාසයට ළංවෙන්න බැරිව ගියා. එයට ඔහුගේ කෙටි ජීවිත කාලය බලපෑව වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔහු කවිය සම්බන්ධ සිදු කරන ලද මැදිහත් වීම කිසි ලෙසකින් වත් අවතක්සේරු කරන්න බැහැ. එහෙත් ඔහුගේ කාව්‍යකරණයේ ප්‍රබලතා මෙන්ම දුර්වලතා ද තියෙනව. එය අප පැහැදිලිව අධ්‍යයනය කළ යුතුයි. නමුත් එය එසේ සිදුවන බවක් පෙනෙන්නට නැහැ.
සේකරයන්ගේ කවි බස පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?
සේකරයන්ගේ කවි බසෙහි ඇති සාර්ථකත්වය මට ගොඩක් දැනෙන්නෙ ඔහු නිර්මාණය කරන ලද කෙටි කාව්‍ය නිර්මාණයන්ගෙන්. ඒ අතරින් ඔහුගේ “සක්වාලිහිණි” පද්‍ය සංග්‍රහයේ එන “හඳ සහ නිව්යෝක් නුවර” කවියටත් “කණාමැදිරියෝ” කවියටත් මම හුඟක් ඇලුම් කරනව. මෙම කවි දෙක රචනා කිරීමේ දී සේකරයන් යොදා ගනු ලබන සංක්ෂිප්ත භාෂා විලාසය ඉතාම සාර්ථකයි. ඉතා කෙටි පද පෙළවල් කිහිපයක් හරහා ඔහු බිහිකරන පරිසරය සැබෑ කාව්‍යාත්මකයි. සැබෑ කවියක තිබිය යුතු සෑම ලක්ෂණයක් ම එමෙන්ම සැබෑ කවියකු ගේ වචන පෙළගැස්ම හරහා බිහිවන අපූර්ව චිත්තරූප සමුදාය විශේෂයෙන් “හඳ සහ නිව්යෝක් නුවර” කවි පන්තියෙ පැහැදිලිව දක්නට ලැබෙනව.
නමුත් සේකරයන් දීර්ඝ කාව්‍යයක් නිර්මාණය කිරීමේ දී බසෙහි ඇති මෙම ශක්‍යතාවය පිළිබඳ එතරම් සැලකිල්ලක් දක්වා නැති බව පේනව. එහිදී ඔහු කාව්‍ය උපක්‍රම පසෙකලා බොහෝ විට වාචාර්ථයට මුල් තැන දීමට උත්සාහ අරගෙන තියෙනව. සේකරයන් ගේ බස මුල දී වැඩුණේ සඳැස් ආකෘතිය හරහා. නමුත් ටික කලකින් සඳැස් ආකෘතිය අතික්‍රමණය කරල අතිශය නිදහස් විප්ලවීය කවියෙක් වෙනව. ඒ වගේම ඔහු සම්භාව්‍ය කාව්‍ය රීතින් දැඩි ලෙස විශ්වාස කරපු කෙනෙකුත් නෙමේ. ඔහු කිසිම සම්ප්‍රදායකට ගැති වුණේ නැහැ. සාම්ප්‍රදායික කවින් නිතර උගන්වන සම්ප්‍රදායික රීතින්වලින් බැහැරව සාර්ථකව කවි ලියන්න පුළුවන් බව ඔහු ඔප්පු කරා. ඔහු සම්ප්‍රදායේ නවීනත්වය තේරුම් ගත් කෙනෙක්. එයට අනුකූලව ඔහුගේ කවි බසත් නිර්මාණය වුණා.
“සේකරයන්” කවියකු වශයෙන් ඔබට යම් බලපෑමක් ඇති කළේ ද?
මගෙ කවි මඟට බලපෑමක් කළ පුද්ගලයන් හැටියට මට කියන්න පුළුවන් ජී. බී. සේනානායක, ගුණදාස අමරසේකර, සිරි ගුනසිංහ වැනි අය. සේකරයන් මට එතරම් බලපෑවේ නැහැ. නමුත් සේකරයන් නිසා මගේ කාව්‍ය මාර්ගය එළිපෙහෙළි වුණා. කාව්‍ය මාර්ගය තුළ නිර්භය ව ඉදිරියට යන්න හැකියාව ලැබුණා. නමුත් සේකරයන් ගේ කාව්‍ය මාර්ගය අන්ධ ලෙස පිළිගන්නවත් සේකරයන් වන්දනාමාන කරන්නවත්, ඔහුව පෙරහැරෙහි වඩම්මවා අභිවාදනය කරන්නවත් මට ඕන නැහැ. අපිට සේකරයන් ගෙන් පමණක් යැපෙන්න බැහැ. අපට ඉටු කිරීමට ඉතා විශාල කාර්යභාරයක් තියෙනව. එය කරන්න පුළුවන් ඔහුව කරපින්නා ගෙන යාමෙන් නොවේ. ඔහු පෙන්වා දුන් මඟ අනුගමනය කිරීමෙන්. ඔහු පවා සම්ප්‍රදාය කරපින්නා ගෙන ගියෙ නැහැ. හැබැයි තවමත් අපි අන්ධ ලෙස ඔහුව කරපින්නා ගෙන යනව.
දීර්ඝ කාව්‍ය ආඛ්‍යානයන්හි සේකරයන්ගේ දායකත්වය කොතෙක් දුරට සාර්ථක ද?
ඔහුගේ “නොමියෙමි” කෘතියට මම කැමතියි. එයට මූලිකම හේතුව තමයි සමස්ත නිර්මාණයෙහිම තිබෙන ඒකීය ධාරණාව. එය ඉතා සංවිධානාත්මකයි. මුල සිට අග දක්වා එක ලෙස ගලා යනව. කාව්‍ය උපක්‍රමයන්, සංකල්ප රූප මේ හැම එකක්ම එහි ප්‍රස්තුතය සමඟ අනනුබද්ධයි. “ප්‍රබුද්ධ” කාව්‍ය සංග්‍රහය තුළ විසිරුණු ස්වභාවයක් තිබෙනව. එය වාච්‍යය මුල් කොටගත් ලක්ෂණයකින් යුක්තයි. චිත්තරූප හරහා ප්‍රස්තුතය විදාරණය කරනු වෙනුවට වස්තු විෂය වටා පමණක් කැරකෙන ලක්ෂණයක් පෙන්නුම් කරනව.
ඒ වගේම තමයි එහිදී ඔහු යොදාගෙන ඇති උදෘත. උදෘත හරහා කවිය සාකච්ඡා කිරීමකට වඩා කවියකුගෙන් විය යුතු වන්නේ තමාගේ දැක්ම, ජීවිත නිරීක්ෂණය කවිය තුළින්ම ඉපදීමට අවස්ථාව සැලසීමයි. මෙය ඉතා සූක්ෂම කාර්යභාරයක්. කෙසේ නමුත් සේකරයන්ගේ මේ උදෘත ඊට පසු කවි ලියුව බොහොම දෙනෙක් අන්ධානුකරණය කළා. ඒව අසාර්ථක වුණා. උදෘත තිබුණත් ‘නොමියෙමි’ සාර්ථක කාව්‍ය සංග්‍රහයක්.
වර්තමාන තරුණ කවි පරපුර සේකරයන්ගේ කාව්‍ය මග අධ්‍යයනය කළ යුතු යැයි ඔබ සිතනවා ද?
අනිවාර්යෙන්ම. එහෙත් එය දේව භාෂිතයක් විදියට වන්දනාමාන නොකළ යුතුයි. කවියා කියන්නේ දුබලතා ඉක්මවා හොඳ කරා ගමන් කරන පුද්ගලයෙක්. එසේම ජීවිතය පිළිබඳ කිව නොහැකි දේ කියන්න උත්සාහ දරන පුද්ගලයෙක්. නෑසෙන කන්වලට විවෘත වෙන පුද්ගලයෙක්. එය පද සංඝටනාව හරහා බිහි කරන්නෙක්. ඒ අනුව තමන්ගේ උත්පාදක ශක්තිය වර්ධනය කර ගැනීමට වර්තමාන කවි කිවිඳියො උත්සාහ ගත යුතුයි. එසේ නොවුණහොත් අනුන්ගේ උදෘත නැවත පුනරුච්චාරණය කිරීමක් විනා ඔවුන් අතින් ඔවුනගේ කවි බිහි නොවේවි. ඔවුන් හුදු අනුකරණවාදීන් බවට පමණක් පත්වේවි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි