Sunday, April 28, 2013

සිව් නිවුන් දැරියන්ට සපිරිලා පස්‌ වසක්‌

සිව් නිවුන් දැරියන්ට සපිරිලා පස්‌ වසක්‌
ඒ උනත් ජීවිතේ සොයයි තව සැනසුමක්‌




ඒ ජයෝද්‍යා ඔෂදී මුතුකුමාර දැරිය බහ තෝරමින් දණ ගා ඇවිදින කාල සීමාවයි. මේ වකවානුවේදී ඕ වඩාත් ආශාවෙන් සිදු කළ එක්‌තරා කෙළි සෙල්ලමක්‌ විණි. කුමක්‌ද ඒ....? තමාට සෙල්ලම් කිරීමට තිබුණු බෝනික්‌කන් හතර පස්‌ දෙනා අතට ගත් ඕ එම බෝනික්‌කන් කොට්‌ට මෙට්‌ට අතර රැඳවූවා ය. ඉනික්‌බිති ඒ බෝනික්‌කන් කූඩයකින් වැසීමට ද ඕ කටයුතු කළාය. ඉන් පසු ගෙදර සැම දෙනාටම ඇසෙන පරිදි "ෂ්..... ෂ්....... සද්ද කරන්න එපා....... බබාලා නිදි...... සද්ද කළොත් එයාලා ඇහැරෙයි." යනුවෙන් පවසා ඕ ලැබුවේ අපමණ සතුටකි. ඊටත් වඩා ජයෝද්‍යා දියණිය, දමිතා නදීශානි (31) මවගේ සහ නයනජිත් මුතුකුමාර (35) පියාගේ තුරුලට වී සුරතල් වෙමින් සැම විටම පැවසුවේ "අම්මී මට සෙල්ලං කරන්න එක නංගියෙක්‌ නොවෙයි. නංගිලා ගොඩාක්‌ ඕනෑ" යනුවෙනි. සැබැවින්ම ඒ වන විට ඇගේ හැසිරීම නිවසේ සැම දෙනාටම පැනයක්‌ වී තිබිණි. ජයෝද්‍යා උපන්නේ 2003 වර්ෂයේ අප්‍රේල් මස 24 දා ය. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී ජයෝද්‍යාගේ මව වන දමිතා නදීෂානී 2008 වර්ෂයේ අප්‍රේල් මස 22 දා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී දියණිවරු සිව්දෙනෙක්‌ම මෙලොවට ජනිත කළ අතර, සතුට නිම් හිම් නැතිව ගිය ජයෝද්‍යා, අම්මේ........ රෝස කැලේ බබාලා ඔක්‌කොම අරන් ආවදැයි......?" යි අසමින් අප්‍රේල් මස 24 දා රෝහලට ගොස්‌ තමන්ට ලැබුණු උපන් දින තෑග්ග හොඳ හැටි බලා කියා ගත්තාය.

"ඒ නයනී නදීරා, නඳුනි දිනාරා, නුවනි පුලාරි. සහ නිදුලි තිනාරා යන දූ සිඟිත්තියන් සිව්දෙනා ය. ඇත්තෙන්ම මේ සිද්ධිය ලොකු දුවගේ හීනය සැබෑ වීමක්‌ විදියට තමයි අපි දකින්නේ. එයා හැමදාම ඉල්ල ඉල්ල හිටිය දේ උපන්දින තෑග්ගක්‌ විදියටම එයාට ලැබුණා. අදටත් ලොකු දුව නංගිලා හතර දෙනාට පුදුම ආදරයක්‌ තියෙන්නේ. හරියටම කියනවා නං අම්මා කෙනෙක්‌ වගේ එයා නංගිලාව රැක බලා ගන්නවා. අපේ ලොකු දුව තමයි පවුලේ හැමෝම අතරින් වැඩිමල්ම දරුවා. ඒ නිසා එයාටත් පවුලේ හැමෝගෙන්ම පුදුම ආදරයක්‌ හිමි වුණේ."

දමිතා ගේ සහ නයනජිත්ගේ සිත් සතුටින් පිරීතිරී ගොස්‌ ඇති සෙයකි. සතුටේ තරම කොතරම් ද යත් ඇතැම් තැන්හිදී ඔවුනට වදන් එකිනෙක හා ගලපා ගනුද අසීරුය.

කුළුඳුල් දියණිය ඉපදුනායින් පසු නැවත දරු උපතක්‌ ගැන සිතන්නට දමිතා සේම නයනජිත් ද යොමු වන්නේ ඉන් වසර තුන හමාරකට පමණ පසුවය. යළි දරු ප්‍රසූතියක්‌ සඳහා සූදානම් වූ දමිතා තම ගම් පියසේ වූ සෞඛ්‍ය මධ්‍යස්‌ථානයට ගොස්‌ සායන වලට ද සහභාගි වූවාය. එහිදී ඇගේ උදරය නියමිත මාස ගණනට වඩා ඉදිරියට නෙරා ඇති බැවින් විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා ගන්නා ලෙස යම් උපදෙසක්‌ ලැබෙන්නේය. ඒ අනුව කළුතර - නාගොඩ රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු වන ඕ, තමා නිවුන් දරුවන් සිව්දෙනකුගේ මවක්‌ බව දැනගන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා මහතා විසින් සිදු කරන ලද ස්‌කෑන් පරීක්‍ෂණයකින් අනතුරුවය. ඉන් පසු මාසයක පමණ කාලයක්‌ නාගොඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඕ අනතුරුව ස්‌ව කැමැත්තෙන් ම කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් වන්නීය. සති 17 ක කාල සීමාවේදී ඕ රෝහලට ඇතුළත් වූ අතර, සති 31 ක්‌ ගෙවී ගිය තැන දරුවන් බිහි කළ ද තවත් මාසයක්‌ පමණ ඇයට රෝහලේ රැඳී සිටීමට සිදු වූයේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වන තුරුය. එමතුද නොව දරුවන් සිව්දෙනා නිසි පරිදි වර්ධනය විය යුතු හෙයින් ද ඇයට ඒ කැප කිරීම සිදු කිරීම කිරීමට වූවාය.

"ඇත්තෙන්ම රෝහල්ගත වෙලා හිටපු කාල සීමාව තුළදී රෝහල් කාර්ය මණ්‌ඩලයෙන් පුදුම සහයෝගයක්‌ ලැබුණේ. කිසිම අඩුපාඩුවක්‌ දැනෙන්න ඉඩ තිබ්බේ නෑ. හරියට ගෙදර ඉන්නවා වගේ සතුටකුයි හිතට දැනුණේ. හොඳම ආහාර වේලක්‌ පවා ඒ අය මං වෙනුවෙන් ලබා දුන්නා. ජපානයෙන් රෝහලට තෑග්ගක්‌ විදියට ලැබිලා තිබුණු අලුත්ම 'ඉන්කියුබීටර' ටික තිබුණ එකත් ඒ වෙලාවේ හැටියට ලොකු දෙයක්‌ වුණා. ඒවා නියමිත කාලයට භාර දෙන්නත් පෙර තමයි, මගේ බබාලා හතර දෙනා ඒවායේ තැන්පත් කරන්න රෝහල් කාර්ය මණ්‌ඩලය කටයුතු කළේ. ඒ වගේම නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා මාව බලන්න ඇවිත් අපේ මූලික කටයුතු ටික කරගන්න කියලා ලබා දුන්න රුපියල් පනස්‌දහසක (50,000) මුදලත් අපිට එදා ලොකු ප්‍රයෝජනයක්‌ වුණා.

දමිතා නදීෂානී එලෙසින් අතීතාවර්ජනයක නියෑළුණා. සැබැවින් ම ඒ අතීතාවර්ජනය නම් හෘදයාංගම වූත්, ස්‌තුති පූර්වක වූත් අතීතාවර්ජනයක්‌මය.

දැන් පුංචි දියණියන් සිව්දෙනා කෙමෙන් කෙමෙන් ලොකු මහත් වී දුව පැන ඇවිදින විට මුළු ගෙදරම බලන්න සිරියාවය. දෙන්න දෙමාල්ලන්ගේ ජීවිතවල කාර්ය බහුල බව නම් කොතෙක්‌ වුවද ඒ බැව් එක මොහොතකට මුත් ඔවුනට හිරිහැරයක්‌ නම් වී නැත්තේ තුන් හතර දෙනාම දඟලා කියා ඉන්නවා දකින විට දැනෙන සතුට වදන්වලින් කියා නිම කළ නොහැකි එකක්‌ම වන හෙයිනි. එහෙත් ඒ සුන්දරත්වය පසුපසම සැඟ වී ඇති අසුන්දර කතාවක්‌ ද වෙයි. කටුක වුවද, තිත්ත වුවද ඒ අසුන්දර කතාවද මෙහිලා ගෙන හැර පෑ යුතුව ඇත්තේ මුතුකුමාරගේ සේම නදීෂාගේ ද කැදැල්ල කඳුළුකැට ආයාසයෙන් මුත් යටපත් කරගෙන සිනාසෙන එකක්‌ම බැව් කියා පෑම සඳහා ය. නයනජිත් (35) ගේ මුවින් පිටවන මේ වදන් කිහිපය දෙස ඔබ මඳක්‌ අවධානය යොමු කර බලන්න. සැබැවින් ම අප කියන දේ අතිශයෝක්‌තියක්‌ නොව සැබෑවක්‌ම බැව් කියා පෑමට ඊට වඩා උදාහරණ අවශ්‍ය නැතැයි සිතේ.

අපි සෑහෙන කාලයක්‌ පදිංචි වෙලා හිsටියේ කළුතර - මතුගම. එහෙම හිටපු අපිට එක පාරටම නුවරට එන්න සිද්ධ වුණා. නුවරට ඇවිත් දැන් මාස හතක්‌ (07) විතර වෙනවා. අපි මෙහෙට එන්න හිතාගෙන හිටිය අය නොවෙයි. අහම්බෙන් වුණත් එන්න සිද්ධ වුණේ නෝනාගේ තාත්තාට අයිති වෙලා තිබුණු කුලියට ගත්ත කඩ කාමරයක්‌ ව්‍යාපාරයක්‌ කරගෙන යන්න කියලා අපිට භාරදෙනවා කීව නිසයි. කිව්ව වගේම අපිට ඒ කඩ කාමරේ භාර දුන්නා. අපි සුළු ව්‍යාපාරයකුත් ටික දවසක්‌ කරගෙන ගියා. ඒක ඒ විදියට කරගෙන යද්දී තමයි කුඩම්මා මැදිහත් වෙලා ප්‍රශ්නයක්‌ ඇති කරලා කඩේ ආපහු ගත්තේ. එයා අපි ගැන කේලාම් කියලා තාත්තාව වෙනස්‌ කළා. දැන් මෙහේ ජීවත් වෙන එක හරිම අමාරුයි. ගමේදී නං නෑයෙක්‌ගෙන් හරි යමක්‌ ඉල්ලාගෙන ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒත් මෙහේ හැමදේම සල්ලිවලට ගන්න වෙලා. ඒකත් ලොකු ප්‍රශ්නයක්‌.

කුඩම්මලා දරුවන්ට වස කවන බවද අපි අසා ඇත්තෙමු. එහෙත් වස නොකෑවුවද දරු පවුලක්‌ම අනාථ කර මහ මඟට ඇද දමමින් ඒ කුඩම්මා හැසිරී ඇත්තේ යකිනියක සේම නොවේද?

වැලේ ගෙඩි වැලට බර නැත්තේ යම් සේද මේ මවට හා පියාට ද ඒ දරුවන් කිසිදු අයුරකින් බරක්‌ නම් නොවේ.

එහෙත් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ගොඩ ගැසෙන්නා වූ ආර්ථික ප්‍රශ්න, ස්‌ථිර වාසස්‌ථානයක්‌ තමන්ටම කියා නැතිකම, ස්‌ථිර

රැකියාවක්‌ හෝ ආදායම් මාර්ගයක්‌ නොමැතිකම සේම දරුවන්ට හරිහමන් අධ්‍යාපනයක්‌ ලබාදීමට නොහැකිවේ දෝ යන සැකය යනාදී කාරණා සියල්ල එක පිට එක ගොඩ ගැසෙද්දී ඒ අයගේ ජීවිත තුළින් 'සන්තුට්‌ඨ§ය' කෙමෙන් කෙමෙන් පලා යන බව නම් සක්‌ සුදක්‌ සේම පැහැදිලිය. සැබැවින්ම අද වන විට ඔවුන්ගේ ජීවිතවල කඩාවැටීම් බහුලය. ඊට මූලිකම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ආදායම් මාර්ග සියල්ලක්‌ම ඔවුනට අහිමි වී ගොස්‌ තිබීමය. අද වන විට ඔවුනට මුහුණ පෑමට සිදුව ඇත්තේ තමන් සිහිනෙකිනිදු නොසිතූ නොපැතූ ෙ€දවාචකයකටය. මෙවන් විපතකට මුහුණ පෑමට සිදුවේ යෑයි ඔවුහු සිහිනෙකිනිදු හෝ සිතුවේ නම් එවන් ගමනකට මුල නොපුරනවා නොඅනුමානය. දැන් කවර හෝ සුළු ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමේ අදහස නයනජිත් සතුව ඇත්තේය. ඒ අතරම "දරුවෝ වෙනුවෙන් අනේ දෙයියනේ කියලා කවුරු හරි උදව් කරනවා නං ඒක ලොකු දෙයක්‌." යන සිතුවිල්ල සෑම විටම ඔවුන්ගේ සිත් තුළ ජීවමානය.

දූලා හතර දෙනා මොන්ටිසෝරි යන්නේ හරිම ආශාවෙන්. එයාලා හැමදාම ඇහුවේ කවදාද අම්මේ අපි මොන්ටිසෝරි යන්නේ.." කියලා. මොන්ටිසෝරියේ ලොකු මැඩම් දෙන්නෙක්‌ වෙනුවෙන් විතරයි මාසික ගාස්‌තු අය කරන්නේත්. ඇතුළත්වීමේ ගාස්‌තුවක්‌ අය කළෙත් නෑ. බබාලා හතර දෙනාම එයාලාගේ මූලික වැඩ ටික කරගන්නවා. ඒ නිසා අපිට ලොකු බරක්‌ දැනෙන්නේ නෑ. නමුත් අපි දැන් මෙහේ පදිංචිවෙලා ඉන්නේ කුලියට නිසා බබාලා හතරදෙනා ඉස්‌කෝලෙකට දාගන්න එක සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක්‌ මතුවෙනවා. ආයෙ මතුගමට යන්න අපේ අදහසකුත් නෑ. නමුත් මෙහේ ඡන්ද හිමි නාම ලේඛනයේ අපේ නම ලියාපදිංචි වෙළත් නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේදී බබාලාව ඉස්‌කෝලේ යවාගන්න එක සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක්‌ මතුවෙනවා. ඒ නිසා කවුරු හරි කමක්‌ නෑ අධ්‍යාපනයට සම්බන්ධ ඉහළ පෙළේ කෙනෙක්‌ගේ මැදිහත්වීම මත දරුවෝ හතරදෙනා නුවර ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කර ගැනීමට වටාපිටාව සකස්‌ කර දෙනවා නම් ඒක ලොකු පිංකමක්‌ කියන එක තමයි, කියන්න තියෙන්නේ. අපි විශ්වාස කරනවා, මේක දකින කවුරුන් හෝ බලධාරියෙක්‌ අපිට උදව් කරන්න ඉදිරිපත් වෙයි කියලා.

එලෙසින් වදන් බවට පත්ව අප ඉදිරිපිට දිග හැරුණේ තම දරු පැටවුන් වෙනුවෙන් දමිතා සේම නයනජිත් ද ඉටු කරන්නට සිතාගෙන සිටින්නා වූ යුතුකම් සමුදායෙන් අංශු මාත්‍රයක්‌ පමණි. සැබැවින් ම සල්ලි භාගෙ පොදි බැඳගෙන විසල් මන්දිර ද තනාගෙන මහ ඉහළින් ජීවත් වීමේ බලාපොරොත්තුවක්‌ ඔවුන්ගේ චිත්ත සන්තාන තුළ අබමල් රේණුවක තරමින් හෝ නැත. ඔවුනට ඇති එකම වස්‌තුව සේම සම්පත ද ඔවුන්ගේ දරු පැටවුන් ය. ඉදින් ඒ දරු පැටවුන්ට යහපත් හෙට දිනක්‌ උරුම කර දීම තම යුතුකම හා වගකීම යෑයි මේ මවුපිය දෙපළ සෑම විටම විශ්වාස කරන්නේය. ඔව්........· එය නම් සැබෑවක්‌ මය. එසේ නම් ඒ අහිංසක ප්‍රාර්ථනාවෝ මල්පල ගන්වාලනු වස්‌ අත හිත දිය හැකි කවරෙකු හෝ වේ නම් 0713777733 අංකයට අමතා ඔබේ දැත් ඔවුන් වෙත දිගු කිරීමට මේ හොඳම අවස්‌ථාවයි. ඒ තුළින් එක්‌ පසෙකින් මව්පිය දෙපළකගේ අහිංසක පැතුම් සමුදායකට යම් හෝ සාධාරණත්වයක්‌ ඉටුවන්නේය. තවත් පසෙකින් මල් කැකුළු වන් පුංචි සිඟිත්තියන් සිව්දෙනකුට තම දක්‍ෂතා කලඑළි දක්‌වාලීම ඔස්‌සේ ලොව බබළවාලීමට ද ඉඩ හසර විවිර වන්නේය.

අමිල දොළපිහිල්ල
 

http://www.divaina.com/2013/04/28/feature03.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි