Saturday, April 13, 2013

නැතත් අන් හව්හරණක්‌ දුවේ නුඹ මට රැජිණක්‌




මේ අයුරින් ඔබව අමතන්නට නිමිත්ත වූයේ ගෝර්කිගේ 'අම්මා' පසුගියදාක මගේ දැහින්ම දුටු නිසාය.

මේ මොහොතේදී මගේ මුළු හදවතම පිරී යන්නේ ඒ නන්නාඳුනන අම්මා සහ ඇයගේ සොඳුරු දියණියගේ සේයාරුවෙනි. උදා වූ අලුත් අවුරුද්ද ඔවුන් කොහේ සිට සමරනවා දැයි මම නොදන්නෙමි.

ගෙයි මැද සාලයේ කිරි උතුරුවා, පිසූ කිරිබත අනුභවයේ නැකතටම මේ පුංචි දියණියට ඇය විසින් කැව්වාද කියා මට සිතා ගත නොහැකියි. ඔවුන්ගේ ජීවිතයට උදාවූ සංක්‍රාන්ති සමය, පසුකර යන්නට වීර්ය පාරමිතාව පුරන මේ අම්මා අප දුටුවේ මහරගම පිළිකා රෝහල් පරිශ්‍රයේ වූ තෙමහල් සංක්‍රමණික නිවාසය (CCC HOME) තුළදීය.

ඉකුත් සතියේ "දිවයින ඉරිදා" සංග්‍රහයෙන් අනාවරණය කෙරුණ "සෙනෙහසේ නවාතැන්පළේදී" මා දුටු මේ දයාබර අම්මා සහ දියණිය කව්දැයි කියා හෝ සිටින්නේ කොයිබක කියා හෝ පැවසීමට ඉඳුරාම මා අපොහොසත් වී සිටිනුයේ ඔවුන් දෙදෙනා අප නෙත ගැටුණ මොහොතේ හුන් ලීලාව අපගේ හදවත් එහෙම පිටින්ම අප්‍රමාණ වූ ශෝකයෙන් දවාලූ නිසාමය. වචනය වෙනුවට සුසුම භාවිත කළ අප කඳුළු තෙරපන දෑස්‌ ඉවතට ගත් නිමේශයේදී කීර්ති අමරසේකරයන් කැමරා කාචයේ සඟවාගත් අද ඔබ දකින මේ ඡායාරූපය, අලුත් අවුරුදු දිනයේදීම ඔබ වෙතට ගෙන එන්නේ අතිශයින්ම අවිනිශ්චිත වූ අපේ ජීවිත තුළට සිතන්නට යමක්‌ ගෙන ඒමේ බලයක්‌ එම සේයාරුවට ඇතැයි ලියුම්කරු විශ්වාස කරන නිසාය.

අලි, කොටි, වලසුන්ටත් වඩා සැහැසි බියකරු මිනිසුන් වෙසෙනා රටක, ජීවිතයක වටිනාකම රුපියල් ශතවලට හෙට්‌ටු නොකරන මිනිසුන්ද සිටිනා වග අපට පසක්‌ කළ CCC සංක්‍රමණික නිවාසය.

"ධෛර්යය, අනුකම්පාව සහ කැපවීමට නියත විවරණ දෙමින් අසරණ පිළිකා රෝගීන් උදෙසා සෙනෙහසේ නවාතැන්පළක්‌, බවට පත්වී තිබෙන සැටි ඉකුත් "ඉරිදා දිවයින" සංග්‍රහයේ අපූරුවට සටහන් වෙද්දී මේ දයාබර අම්මා සහ සිඟිති දියණියද එම සංක්‍රමණික නිවාසයේ සුව පහසු කාමරයකට වී සිටියහ.

මෙම නිවාසයේම දුව පැන නටනා පිළිකා රෝගී දරුවන් දෙස බලා සුසුම් හෙළන අම්මලා අතරින්, ජීවිතයට අභියෝග කරන මේ අම්මා අපට සුවිශේෂී වූයේ ඇය සන්සුන් ඉරියව්වක හිඳිමින් තම දයාබර දියණියට පෙළපොත තේරුම් කර දෙමින් සිටිනා අපූරුව අදහාගත නොහැකි වූ නිසාය.

මේ අම්මා මහත් ඕනෑකමින් තම දයාබර දියණියට අකුරු කියවා දෙන්නේ, "මයෙ රත්තරං දූ ලොකුවෙලා දොස්‌තර කෙනෙක්‌ වෙන්න ඕනි" යන අහිංසක සිතුවිල්ලකින් නොවන බව නම් ලියුම්කරුට විශ්වාසය. දැනටමත් වෛද්‍යවරුන් ලියාදී ඇති 'සහතිකය' මේ අම්මාගේ ලේ කිරි අයිතිය පවා නිශේධ කර හමාරය. එහෙත් ඇය ඒ කිසිවකින් කම්පා නොවී තම දයාබර දියණියට නොපෙනෙන හෙටක්‌ පිළිබඳව, සුන්දර චිත්‍රයක්‌ මවා පාන්නේ, තම පිළිකා රෝගී දරුවාට අනාගතය පිළිබඳව අවිශ්වාසයක්‌ වෙනුවට විශ්වාසය ඇති කරමින් නොවේදැයි, යන සිතුවිල්ල අපව විශ්මයට පත් කළේය.

ගෝර්කිගේ අම්මාට මැය සමාන වන්නේ මෙතැනදීය. මහත්වූ ධෛර්යෙන්, මරණයට නොව ජීවිතයට අභියෝග කරන මේ අම්මා, පිළිකා රෝහල් පරිශ්‍රයේදී තම දියණිය විභාගයට සූදානම් කරමින් නිහඬවම අපට පවසා සිටින්නේ, කිසිවකුට වෙනසක්‌ නොකර, ලෝකයම පුබුදු වන උදාහිරු කිරණ සේ, උදා වූ සෑම දිනයක්‌ම ඔබට සේම ඇයටද වෙනසක්‌ නොවේ යෑයි එඩිතරව කියන්නාක්‌ සේය.

ඇය තම දයාබර දියණිය, මේ සූදානම් කරන්නේ කිනම් වූ විභාගයකට ද ? කිනම් වූ ජයග්‍රහණයකටද? කවර නම් වූ තරගයකටද? කඳුළ සඟවාගෙන, සුසුම් ළයෙහි සිරකරගෙන මේ අම්මා අපට කියා දෙන්නේ, අප විසින් කිසිදාක තේරුම් නොගන්නා වූ ජීවිතයේ සදාතනික සත්‍යයි.

අඳුරුවිය හැකි හෙට දවස ගැන ළතැවෙනවාට වඩා, ආලෝකයෙන් පිරී ඇති අද දවස තුළ ජීවිතයට ලබා ගත හැකි යහපත් දේ පමණක්‌ ලබා ගෙන ඒ යහපත් දේම යහපත් සිතින් අන් අය හා බෙදාගෙන අප ජීවත්වන මේ කෙටි කාලය තුළ ජීවිතයේ සැබෑ අරුත වටහා ගැනීමට උත්සුක වීම වනාහී, ජීවිතයට ලැබෙන නිරපේක්‍ෂිත නිර්වචනයයි. මේ ධෛර්යවන්ත අම්මා අපට නිහඬවම පැවසූ කතාවේ සැබෑ අරටුව එයයි. 'මරණයට නොව ජීවිතයට අභියෝගයක්‌ වන්න' එයයි ඇගේ පණිවුඩය.

උත්සාහයෙන්, වෙර වීරියෙන් ජීවිතය ජය ගත් දිරිය මිනිසුන් අප රටේ කොතෙකුත් සිටී. එහෙත් මේ අය අතුරෙන් ඉතාම සීමිත පිරිසක්‌ ජීවිතය සමග පොර බදන අසරණ මිනිසුන් උදෙසා තම සෙනෙහසේ දෑත දිගුකරන අන්දම එදා අප දුටුවේ මහරගම පිළිකා රෝහල් පරිශ්‍රයේ ඉදිකොට තිබූ සංක්‍රමණික නිවාසය දුටු මොහොතේදීය. ඒ තුළ ඔබ මොබ සැරිසැරූ විටදීය.

අද මුළු රටම අලුත් කිරිබතක රස බලන මේ ප්‍රීතිමත් මොහොතේදී වුවද, ජීවිතය ඉල්ලා නිහඬවම ඉකිබිඳින මිනිසුන් සේම, තම දරුවන්ගේ ජීවිත වෙනුවෙන් සියල්ල දන්දුන් අම්මලාගේ සුසුම්ලෑම්ද සමග මරණයේ එළිපත්තේම හිඳිමින්, ඒ වගක්‌ නොදැන සුපුරුදු කෙළි දෙළෙන් දුව පැන නටන පුංචි පැටවුන්ගේ රුව නෙතු ගැටෙන මොහොතක්‌ මොහොතක්‌ පාසා මැරි මැරී උපදින, පියවරුන්ගේ හදවත් ගැහෙනා රිද්මයද යන්තමින් හෝ ඔබ වටහා ගන්නේ නම්, ඔවුන් වෙනුවෙන් කරන්නට හැකි යමක්‌ වේ නම් ජීවිතයටම එකම එක වතාවක්‌ හෝ නිසැකවම ඔබ යන්න· ඔබේ ආදරය දයාව පිරුණ හදවත රැගෙන, මහරගම පිළිකා රෝහලේ සෙනෙහසේ නවාතැන කරා, රුපියල් ශතවලින් ඔබ සොයායන මිරිඟු සැපයට වඩා වැඩියමක්‌, සැබෑ වටිනාකමක්‌ එහිදී ඔබේ ජීවිතයට එකතු වෙනවා නොඅනුමානය.

(අමතන්න ( තුසිතා සොහොයුරිය, 0777915293)

විද්යුත් තැපෑල: tusithakum @gmail.com
ජයන්ත විඡේසිංහ
jayantha oo5@gmail.com
ඡායාරූපය - කීර්ති අමරසේකර 


http://www.divaina.com/2013/04/14/feature06.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි