Sunday, April 28, 2013

මේ “පිස්සු පූසා” ‘සුජාත’ කෙළේ ඉසිපතනයයි


මේ “පිස්සු පූසා” ‘සුජාත’ කෙළේ ඉසිපතනයයි

අද කොළඹ ඉසිපතනෙ
රූපවාහිනී හඬ කැවීම් අංශයේ ප්‍රධානී අතුල රන්සිරිලාල්
එදා රජයේ චිත්‍රපට අංශයෙන් ඉවතට වීසිකළ දළසේයාපට එකිනෙක පුරුද්දා අමුතුම උපහාසාත්මක නිර්මාණ හැදු ‘ටයි’ මහත්මයා පසු කාලෙක ලංකාවේ ප්‍රවීණ සිනමා කරුවෙක් විය. අසූව දශකයේ දී පමණ සිනමාවට ආයුබෝවන් කී එතුමා ජාතික රූපවාහිනියට එක්වී කාටුන් චිත්‍ර කලාවේ ස්වර්ණමය දොරක් විවර කළේය. ඒ වනස්පතිය සෙවණේ වැඩුණු අද කාලයේ සුන්දර මිනිසෙක් දැන් මා අභිමුව සිටී. ඒ අතුල රන්සිරිලාල් ය.
‘ටයි’ මහත්මයා ගැන කතා නොකොට රන්සිරිලාල් ගැන කතා කිරීම නොවටින දෙයක් තරමට මොවුන් ගේ සුසංයෝගය රූපවාහිනි විචිත්‍රාංග, කාටුන් හඬ දෙකැවි ක්ෂේත්‍රයට මහ මෙහෙයක්ම විය.
“හිත හොඳ දොස්තර”, “පිස්සු පූසා” වැනි නිර්මාණ අතර ටයි මහත්තයාගේ ඇසුරේ වැඩුණු ඒ සුහුඹුල් පැළෑටිය අද මහා වනස්පතියක් මෙන් මට පෙනේ. ඒ එසේ වන්නේ ගෙදර බත් මුට්ටිය රොස් වෙද්දී ඉන්දියානු මුද්‍රාවේ හරසුන් ටෙලි නාට්‍ය බැලු ගෙදර පොඩි එකාගේ සිට බිරිය ආච්චි අම්මා දක්වා සියල්ලන් “සුජාත දියණිය” ටෙලි නාට්‍යයෙන් ගෙදර මැද සාලයට ඇද ගැනීමට ඔහු සමත් වූ බැවිනි. ඒ කාලයේ කරණවෑමියන් හැන්දෑවේ හයයි තිහේ සිට හතයි තිහ දක්වා රැවුල් කොණ්ඩා නොකපන බවට ‘බෝඩ්’ දැමූහ. පහේ කෝච්චිය කොට්ට පොල් ඇසුරුවක් මෙන් මඟීන්ගෙන් පිරී ඉතිරී ගියේය. හයයි තිහෙන් පසු පිටවන දුම්රිය පවා හතයි තිහ වන තුරු හිස්ව තිබුණේය.
මේ ආකාරයේ විප්ලවයක් කළ ඒ පුංචි මිනිසා දැන් “අභීත දියණිය” හරහා තවත් පෙළහරක් පාමින් සිටියි. ඔහුගේ රමණීය පාසල් මතක අතරින් ඒ පෞරුෂය ගොඩ නැඟුණ හැටි මෙතැන් සිට.
මගේ පියා ප්‍රසිද්ධ වෙද මහත්තයෙක්. බමුණුසිංහ ආරච්චිලාගේ දොන් හේමචන්ද්‍ර නම. තාත්ත වෙද මහත්මයා නිසා ඉස්කෝලෙ කොල්ලො මට විහිළුවට කිව්වෙ වෙදා කියලයි. අපේ තාත්තා කළුතර, අම්මා කළුබෝවිල. අපේ පදිංචිය දෙහිවල කිට්ටුවයි. මොන්ටිසෝරි ගියායින් පස්සෙ තාත්තා මාව දැම්මෙ ඉසිපතනෙට. ඉසිවරුන් බැස්ස ස්ථානය ඉසිපතනය ලෙසින් බරණැස හඳුන්වනව. ඒ වගේම මේ ස්කෝලෙත් බොහොම විදග්ධයන් බිහිකළ තැනක්. 1962 පමණ කාලෙ මං නමෝ විත්තියෙන් ඉස්කෝලෙ යනකොට විදුහල්පති තුමා හැටියට සිටියෙ විජේසූරිය මහත්තයා. ටයිකෝට් ඇන්ද හරිම ප්‍රතාපවත් කෙනෙක්. අපේ නිවාසාන්තර ක්‍රීඩා තරග සඳහා ක්‍රීඩා නිවාස නම් කර තිබුණෙ ලෝකෙ ප්‍රකට කවීන්ගෙ නම් වලින්. මිල්ටන්, රාහුල, ඉක්බාල්, තාගෝර් මේ අපූරු නම්. ඇත්තටම ඉසිපතනෙ තමයි මට ජීවිතය දුන්නෙ.
අපි පුංචිම කාලෙ ඉඳන් කල්ලි වශයෙන් පන්තියෙ හිටියෙ. ගුරුවරුන් ඉදිරියට කැඳෙව්වත් අපි හිටියෙ අන්තිම පේළියෙ. උදේ පාන්දර බුදුන් වඳින්න අපේ කල්ලිය ලෑස්තියි. ඇයිද දන්නව ද? පන්තියෙ ළමයි බුදුන් වැඳල නැවත ගියහම අපි දෙතුන් දෙනා එක්වෙලා බුද්ධ පූජාව කනවා. ඒකෙ සදාචාරයක්, වැරැද්දක් හානියක් තියෙනව ද කියල අපි ඒ කාලෙ දන්නෙ නැහැ. ඒත් අපි කාටත් හොරා බුද්ධ පූජාව කාපු හැම දවසෙම බුදු හාමුදුරුවන් ගෙන් යටි සිතෙන් සමාව ගත්තා. සුදත්, උපුල්, කමල් මේ වැඩේට මාත් එක්ක ‘සෙට්’ වෙච්ච යාළුවො. එක දවසක් එහෙම වුණාට පස්සෙ කමල් අහනව මට මතකයි, අපි හෙටත් බුදු හාමුදුරුවන්ගෙන් සමාව ගමුද කියලා. ඒකෙ යටි අරුත හෙටත් ඒ වැඩේ කරමු ද කියන එකනෙ.
වැල්ලවත්ත විහාර ලේන් එකේ අංක 55 තැන තමයි තාත්තගෙ බෙහෙත් ශාලාව තිබුණෙ. ඒ කාලෙ ඔතන ඔය ඇළ උඩින් තිබුණෙ ලෑලි පාලමක්. උදේ හතට පාර පැනල මං බලන් ඉන්නව බෂීර්ගේ බස් එක එනකන්. ඇල්ප්‍රඩ් අයිය තමයි මේකෙ රියදුරු. බෂීර් කොන්දොස්තර. මේ තට්ටු දෙකේ බස් එකේ උඩම තට්ටුවේ ජනේලය ළඟ පේළි අපේ කොල්ලන්ගෙ. ටිකට් එක සත තුනයි. ඩික්මන් පාරෙන් දාල තිඹිරිගස්යායට යන්නෙ. ඒ කාලෙ මාර ගස් තිබුණ පාර අයිනෙ. ඒ ගස්වල අතු තට්ටු දෙකේ බස් එකේ වහලෙ වදින කොට අපිට හරිම විනෝදයි. අපි පාරෙ යන කෙල්ලන්ට විහිළු කරනවා. බිග් මැච් කාලෙට එකම ගාලගෝට්ටියක්. සමහර දවස්වල ටිකට් ගන්නෙත් නැහැ. මා ළඟ තිබුණෙ මාලා සූට්කේස් එකක්. මේක ඇතුළෙ සමහරදාට තාත්තගේ තෙල් බෙහෙතුත් තියෙනවා. ඒ කොල්ලන්ට කන්ට. බොන්ට. ඒක පස්සෙ කියන්නම්.
පාසල් වත්තෙ කෙළවරේ ගල් සියඹලා ආච්චි ඉන්න දවසට තමයි ගෙදර යන්න සල්ලිත් නැති වෙන්නෙ. අච්චාරු ගෙනාපු ආච්චි කෙනෙකුත් හිටිය. මං දවසක් තාත්තගෙන් රුපියල් හයක් හොරකම් කරල පන්තියෙ හැමෝටම කැන්ටිමෙන් පොල් ටොෆි අරන් දුන්න. මං කුඩා කාලෙ ඉඳල ගණිතයට රුසියෙක්. කවදාවත් චක්කරේ වැරදිලා නැහැ. මගේ යහළුවො චක්කරේ බැරුව අව්වෙ දණ ගහල විජේසේකර මිස් ගෙන් ගුටි කන කොට මං වීරයා වගෙ උඩ ඉඳන් පල්ලෙහාටත් පහළ ඉඳන් උඩටත් හැම චක්කරයක්ම කියනව.
ඉස්කෝලෙදි මං ආසා කළේ නාට්‍ය හදන්න, රඟපාන්න, වේදිකා පරිපාලනය කරන්න, නිවේදකයකු වෙන්න. මේ ඔක්කොම ආශාවල් මට තිබුණ. මේ හැම අංශයකම ඉස්කෝලෙ දීප්තිමත් සිසුවෙක් කියල කියන්නෙ නිහතමානීව.
පාසලේ කථික හා විවාද තරගවලදී මං සමස්ත ලංකා දක්වා තරග දිනල තියනව. වරක් ලංකාවෙ දක්ෂතම කථිකයා බවටත් පත්වුණා.
එක් අවස්ථාවක විදුහල් විවාද තරගයකදී සිදු වූ දෙයක් අද වගේ මට මතකයි. අපත් සමඟ තරගයට වැටුණෙ මොරටුවෙ වේල්ස් කුමරි විදුහල. ඉසිපතනෙ විවාද කණ්ඩායමේ නායකයා මමයි. මාතෘකාව සමාජ සංවර්ධනය කළ හැක්කේ තරුණයන්ට ද? එසේත් නැතිනම් වැඩිහිටියන්ට ද? අපට ලැබුණෙ වැඩිහිටියන්ගෙ පැත්ත. එක්තරා කටකාර කෙල්ලක් ‘සාත්විකාභිනය’ (මුහුණෙන් හැඟුම් නිරූපණය) පාමින් හඬ උස් පහත් කරමින් සභාව විනෝද සයුරක ගිල්වමින් මෙහෙම කීව. “මේ නහින දෙහින වයසෙ අයට තරමක කළුගලක් වත් ඔසොවා ගන්න බැරිව මොන සමාජ සංවර්ධනයක් කරන්න ද? මේ වචන වලින් සභාව තුෂ්ණිම්භූතව සිටිත්දී මං නැගිට්ට. නාට්‍ය කලාවට මං එදා ඉඳල කැමතියි නෙ.
මං ඒ කෙල්ලට වඩා රඟපෑමක් කළා. මං එක පාරටම මගේ හඬ වියපත් කෙනෙකුගේ හඬට සමානව වෙනස් කර ගත්තා. “අනේ මගේ රත්තරං දුවේ, බොලා ගේ මොළය සංවර්ධනය කරන්ඩ අතපය හයි කොරන්ඩ මාත් මගේ මායියාත් කොයි තරං නම් නැහුණ ද? මායියා අද හිටිය නම් පරලොව යන්නෙ මේ කථාව අහල. උඹල වගේ එවුන් හදල සමාජ සංවර්ධනයක් තබා පවුලක සංවර්ධනයක්වත් කරන්ඩ බෑ. ඒක මට දැන් තේරෙනව.” එහෙම කියල මං කඳුළක් වගුරනව වගෙ අභිනය පෑව. ඒ හෘදයාංගම අවස්ථාව ගැන සිතූ විනිශ්චය මණ්ඩලය අපිට ලකුණු දුන්න.
ටී. එස්. ලීලානන්ද විදුහල්පති තුමා ඉන්න කාලෙ එතුමාගෙ මැතිනිය හිටියෙ නුගේගොඩ අනුලාවෙ විදුහල්පතිනිය හැටියට. නිතරම ඉසිපතන - අනුලා විවාද තිබුණා. ගෑනු ළමයින්ගේ ඉස්කෝලවලට යන්න ලැබුණහම අපිටත් ඉතිං ඉහේ මලක් පිපුණා වගේ. අවු. 15 - 16 ගැටවර වයසෙ අයනෙ. අපි විවාද කරන්නෙත් බොහොම ජව සම්පන්නව කෙල්ලෝ ඉස්සරහ වීරයෝ වගේ. ඒ කාලේ අද වගේ මොබයිල් නෑ. එස්. එම්. එස්. නැහැ. තිබුණෙ ඔටෝ ග්‍රාෆ් විතරයි. කෙල්ලො මේව දික්කළහම අපිත් සතුටෙන් අස්සන් කරනව.
කථික තරගවලට යන නිසා නෑදෑ මඟුලකදී හෝ අවමඟුලකදී අනිවාර්යයෙන්ම කතා පවත්වන්න වෙන්නෙ මටයි. ඒක තාත්ත බලාපොරොත්තු වෙන දෙයක්. හොරණ මාම නැති වුණාම දෙහිවල මහප්ප නැති වුණාම මාත් ඉතිං රැහැයිය වගෙ ගුණ කථන අතර කෑගහනව. තාත්ත ගෙදරදි ඉතාම අපූරු තෙල් බෙහෙත් හිඳින කෙනෙක්. එතුමා ‘කුෂ් මුණ්ඩ’ රසායනය හිඳින්න දන්නව. නීල්‍යාදි තෛලය හිඳිනව. ඊටත් අමතරව ‘අශ්වගන්ධ තෛලය’ හිඳින්නත් දක්ෂයි.
කුෂ් මුණ්ඩ රසායනය හිඳගෙන යනකොට එක්තරා අවස්ථාවක් තියෙනව ඒක ජෙල් එකක් වගේ වෙනව. මං ඒව ටිකක් හොරාට ගෙන ගිහින් යාළුවොත් එක්ක බෙදාගෙන කනව. දවසක් එහෙම ජෙල් වර්ගයක් මං ඉස්කෝලෙ ගෙනිහින් ළමයින්ට දුන්නා. කාපු වෙලාවෙ ඉඳන්ම ඔක්කොම ළමයි ‘ටොයිලට්’ යන්න ටීචර්ගෙන් අවසර ගැන්මමයි කරන්නෙ. එදා පන්තියෙ කිසිම වැඩක් කෙරුණේ නැහැ. බලනකොට මං ගෙනත් දීල තියෙන්නෙ විරේක චූර්ණයක්. මමත් තෙල් බේත් හිඳින්න තාත්තගෙන් ඉගෙන ගෙන තියෙනව. ඒත් මෙතන උනේ ලොකු වැරැද්දක්. ඒත් ගුරුවරු මට ගැහුවෙ බැන්නෙ නෑ.
තාත්ත දහම් පාසලට මාව යැව්වෙ මුලින්ම බම්බලපිටියෙ වජිරාරාමයට. ඒකට ආවෙ ලොකු තැන්වල කොල්ලො කෙල්ලො. ඒ නිසා මට එතන ඇල්ලුවෙ නැහැ. ඊළඟට මං ගියේ දෙහිවල පින්වත්තෙ දහම් පාසලට. ඒ කාෙලෙ වෙසක් නාට්‍ය ජනප්‍රියයි. දෙහිවල වොලිෂ් ඡායාරූප ශාලාවේ නාට්‍ය. අපිත් මේ වගේ නාට්‍ය හැදුවා. “බිංකුංඩෝ”, “බවයක ආශා”, “ධීවර ගීතය” කීපයක්. එතනදිත් මං බොහොම නාට්‍ය කළා. සමහර නාට්‍යවල රඟපෑවා. සාමාන්‍ය පෙළ විභාගෙදි මගෙ ගණන් පේපර් එකෙන් තමයි අනෙක් කොල්ලො ටිකත් පාස් වුණේ.
උත්තර පත්‍ර මාරු කරගත්තෙ කාගෙත් ඇස් වහල. රත්නායක කියල කොල්ලෙක් හිටිය. එයා කලින් සකස් කරගත් පිළිවෙළකට එළියෙ ටිං කබල් දෙකක් තියලා හොල්ලනව. එයා ඇතුළෙ හිටියත් බෙලෙක්ක හෙල්ලෙනවා. පරීක්ෂක ඒක බලන්න ගියහම උත්තර පත්‍ර මාරු වෙනව. රසායන විද්‍යාව ලැබ් එකේදිත් හයිඩ්‍රො ක්ලෝරික් අම්ලය තියෙන බීකරයට සල්ෆර් කලින්ම දාල මුළු රසායනාගාරයම කුණු ගඳ ගස්වනව. ළමයින් වැඩ කරන්න බෑ කියනව. රණසිංහ ගුරුතුමා කම්පා වෙනව. මේ වගෙ දඟ වැඩත් අපි නොකළා නොවේ. එහෙත් අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන ගියා. වෙසක් නාට්‍ය ඉවර වුණු සමහර දවස්වලට අපි නිදියගන්නෙ දෙහිවල මිනී පෙට්ටි සාප්පුවක මිනී පෙට්ටිවල.
‘ඒ’ ලෙවල් ලියපු කාලෙත් අපි කොහොමහරි ගොඩ දාගත්ත. හැම ප්‍රශ්න පත්තරයකටම පස්සෙ කොල්ලො ටික හිටියෙ ‘එම්පයර්’ සිනමා හලේ ‘මධුමතී’ බල බලා. ඒත් පාසල් වැඩ ටික අත්හරින්න ලෑස්තිත් නැහැ. හත්බෝධිය පන්සලේ අටවිසි පින්කම කාලෙට අපට හරි ජොලි. පන්සලේ පිළිමවල සායම් පින්තාරු කරල රෑවෙන කොට පන්සලේම නිදියනව. විමලසිරි ලොකු හාමුදුරුවෝ සැතපුණාම පන්සලේ කුරුම්බ ගස්වල කරටියෙම ඉන්නෙ මම. කොල්ලො මා කඩාදාන කුරුම්බා අල්ලන්නේ ලොකු හාමුදුරුවන්ගෙ අඳනකඩයෙන්.
එක දවසක් ඉරිච්ච අඳනකඩය දැකල ලොකු හාමුදුරුවො අපට පන්සල තහනම් කළා. එක් වතාවක් කොල්ලො ටික තමන්ම හදාගත්ත අධ්‍යාපන චාරිකාවකට පොළොන්නරු ගියා. ලොකු ඇළ මාර්ගයක් ඉස්මත්තේ තිබුණු වන වදුලේ වටු කුරුලු කූඩු කැඩීමයි අපේ අරමුණ වුණේ. බොහොම අමාරුවෙන් ඇළ කණ්ඩිය උඩින් නැඟල මං වටු කුරුලු කූඩුවක් කඩන්න අත දැම්ම. දැවැන්ත නාගයෙක්. ‘පුෂ්’ ගාගෙන අත්තෙ ඉඳල නැගිට්ටා. අත හැරුණ විතරයි අපි ඔක්කොම ඇළ පතුළෙ. මේ වගෙ රසවත් අත්දැකීම් ගොඩක් තියෙනව. ‘රෑන ගිරව්’ ‘මාතලන්’ ‘කල්‍යාණි ගංගා’ වැනි චිත්‍රපට අපි පාසල් ‘කට්’ කරල ගිහිල්ල ‘රිට්ස්’ එකේ බැලු අවස්ථා තියෙනව.
පාසලෙන් ලැබුණ ශික්ෂණය නිසයි අපට සමාජයේ ඕනම තැනක නැගී සිටින්න පෞරුෂය ලැබුණෙ. අපේ දඟකම්වලට ගුරුවරු ඉවසුව. අපට යහපත් මාර්ගය කියල දුන්න. පාසල් වැඩ අත්හැරියෙ නැති හින්ද ගුරුවරු අපට ආදරෙයි. ගහ බැන ගන්නව වගේම පාසලේ බාහිර අන්තර් වැඩ අතර සාහිත්‍ය, නාට්‍යය ආදි වැඩවලත් අපි පෙරමුණේ හිටිය. ටයි මහත්තයට මා කිට්ටු කළේ ඒ ශික්ෂණයයි. ‘කස්තුරි සුවඳ’ වගේ චිත්‍රපටයක් කරල සරත් දසනායක ‘හිට්’ එකේ ඉන්න කාලෙ මගේ ඉස්කෝලෙ නාට්‍යයකටත් සංගීතය සැපයුවා. ගුවන් විදුලියට මා මුලින්ම සම්බන්ධ වුණේ දයා නෙල්ලම්පිටිය හා සේන ෆොන්සේකා සමඟ විරිදු ගායනා ඉදිරිපත් කරලා ඒවා රචනා කරලයි. ඊළඟට රූපවාහිනිය. ‘ටයි’ මහත්තය කරපු බොහෝ වැඩවලට ගීත ලියුවෙ ප්‍රේමකීර්ති.
‘පිස්සු පූසා’, ‘දොස්තර හොඳහිත’ මේ හැම එකක්ම. එක් වරක් ප්‍රේමකීර්ති බරපතළ අනතුරකට මුහුණදීල දකුණු අත තුවාල වෛලා බැඳගෙන හිටිය. හෙට විකාශය වන කොටසකට ගීතය අවශ්‍යයි. මං කොළඹ මහ රෝහලට ගිහිල්ල ප්‍රේමකීර්ති හම්බ වුණා. ඒත් ගීතය ඉල්ලන්න බැහැ. ප්‍රේමකීර්තිත් මගෙ තත්ත්වය තේරුම් ගත්තා. ඔහු අනිත් අතින් ‘ඇඳ ඉහපත’ අරගෙන ඒ උඩ තියන් ගීතය ලිව්ව.
අඩි ගණනක වළක් කපලා
අඩි ගාණක් අනුන් හෙළලා
අඩියක්වත් ඉහළ යන්න
නුඹට බෑ පුතේ
ඒ ගීතය වගේම ලබාගත් අවස්ථාව සුන්දරත්වයත් එහෙමයි. ‘සුජාත දියණිය’ කරන්ඩ මට ඒ ගුරු ආභාසය ලැබුණා. ඒ නාට්‍ය මේ රටේ අතිශය ජනප්‍රිය වුණානම් ඒකට ගෞරවය ලබන්න ඕනෑ ටයිටස් තොටවත්ත මහත්තයා වගේ මහ ගුරුවරු. මගෙ පාසල් ගුරුවරු වගේම මගේ ශිල්පීය දක්ෂතා මතුකළ ගුරුවරුත් ඉන්නවා. මොහාන් සමරනායක සභාපතිතුමා විධායක නිලධාරී රාසපුත්‍රම් මහත්මයත් අදත් මට උපදේශ සපයනවා. මේ ජීවිතය ම එක්තරා විදියක තක්සලාවක්. මං තවමත් ජීවිතය ඉගෙන ගන්නා ගෝලයෙක් විතරයි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි