Sunday, April 28, 2013

ප‍්‍රාථමික සහ ද්විතීයක පාසැල් හය දහසේ සංවර්ධන කටයුතු මැයි 05 නිමවේ



CHILDREN SCHOOL
දැනුම කේන්ද්‍රීය කරගත් සංවර්ධනයක් රට තුළ ඇති කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කරනු ලැබූ ප‍්‍රාථමික පාසල් 5000ක් සහ ද්විතීයක පාසල් 1000ක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනේ අවසන් අදියර යටතේ තෝරාගනු ලැබූ පාසල් 6,000ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සාර්ථක ව සිදු වෙමින් පවතින අතර එය මැයි 05වැනිදා නිමාවට පත්වේ.
 
 මෙම වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය, පළාත්  අධ්‍යාපාන අමාත්‍යංශ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් සිදු කෙරේ. 
 
අති දුෂ්කරතාවලින් සපිරුණු පාසල්වලට මෙම වැඩසටහන යටතේ එම පාසල්වල පවතින අඩුපාඩුකම් සපුරා ගැනීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ප‍්‍රතිපාදන යටතේ එක් පාසලකට රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදී ඇති අතර ප‍්‍රදේශයේ ජනතාවගේ ශ‍්‍රම දායකත්වයෙන් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියෙහි පළමු අදියර යටතේ පසුගිය වසර තුළ පාසල් 1,678ක් සංවර්ධනය කෙරුණු අතර මෙම වසරේ අපේ‍්‍රල් මස 05 වන දින ආරම්භ කරනු ලැබූ දෙවන අදියර යටතේ තවත් පාසල් 3,322ක සංවර්ධන කටයුතු මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ඇරඹිණි.
 
මෙම වැඩසටහන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් සිදුවන අතර පාසල්වල පවතින ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, සෙල්ලම් මිදුල සැකසීම, ආරක්ෂිත වැට, තාප්ප, ගේට්ටු ආදිය සැකසීම, පිවිසුම් මාර්ග සැකසීම, නාම පුවරුව සැකසීම, තීන්ත ආලේප කිරීම, වහළ සැකසීම, පන්ති කාමර පිළිසකර කිරීම ආදී වූ එක් එක් පාසල්වල පවතින අඩුපාඩුවලට ප‍්‍රමුඛත්වය ලබාදෙමින් ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙම වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක කෙරේ.
 
ජනප‍්‍රිය පාසල් වෙත ළමුන් ඇදීයාම හේතුවෙන් එක් අතකින් ගම්බඳ පාසල් වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති අතර අනෙක් පැත්තෙන් නගරාසන්න පාසල්වල ඉඩකඩ සීමාවීම මෙන් ම නගරය තුළ ඇති වන තදබදය වැඩිවීම වත්මනේ දක්නට ලැබෙන සුලභ කරුණකි. අඩු පහසුකම් සහිත පාසල්, ළමුන්ට වඩාත් හිතකර පරිදි සැකසීම තුළින් මෙම ප‍්‍රශ්නය විසදා ගැනීමට හැකියාව තිබෙන නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙම වැඩසටහන දිවයින පුරා ක‍්‍රියාත්මක කරනු ලැබේ.
 
ප‍්‍රාථමික පාසැල් 5,000ක් ළමා මිතුරු පාසැල් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා පිහිටි දිස්ති‍්‍රක්ක 25ක් නියෝජනය වන පරිදි තෝරාගත් පාසැල් 3,322ක් අවසාන අදියර යටතේ සංවර්ධනය කළ අතර ඒ සඳහා වෙන් කළ මුදල් රුපියල් දස ලක්ෂ 1,661කි. මෙම ව්‍යාපෘතියේ ප‍්‍රථම අදියර යටතේ පාසැල් 1678ක් සංවර්ධනය කළ අතර ඒ සඳහා වැයකළ මුදල රුපියල් දස ලක්ෂ 839කි. ව්‍යාපෘතිය නිමවන විට සංවර්ධනය කර ඇති මුළු වටිනාකම දෙමාපියන්ගේ ශ‍්‍රම දායකත්වය සමඟ වෙන්කළ මුදල මෙන් දෙගුණයකටත් අධිකය.
 
DB
© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි