Monday, April 29, 2013

ශා. පීතර අපරාජිත වාර්තාව බිඳිමින් ත්‍රිත්ව ලකුණු සටහනේ පෙරමුණට



සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය
රාජකීය-ධර්මරාජ-විද්‍යා ජය වාර්තා කරති

16-2සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යටතේ මතෛක් අපරාජිතව සිටි බම්බලපිටිය ශා. පීතර සහ කොළඹ වෙස්ලි විදුහල් පරාජයට පත් කිරීමට මහනුවර ත්‍රිත්ව සහ කොළඹ රාජකීය සමත් වූහ. 
ශා. පීතර සහ වෙස්ලිට අත්වුණ මෙම අමිහිරි පරාජයත් සමග ඔවුන් දෙපළ ප්‍රසාද ලකුණු සටහනේ මතෛක් රැඳී සිටි 
පළමු හා දෙවන ස්ථාන අහිමි වී තිබේ. 
එහි තෙවැනි තැන රැඳී සිටි ත්‍රිත්වයින් පෙරේදා ලද ජයග්‍රහණයෙන් පසු ලකුණු සටහනේ පළමු තැන ගැනීමට සමත් වී තිබිම කැපී පෙනෙන සිද්ධියක් විය. 
ශා. පීතර - ත්‍රිත්ව 
බම්බලපිටිය ශා. පීතර විදුහල් පිටියේ 27 දින පැවැත්වුණ ශා. පීතර - ත්‍රිත්ව තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ඉසිලූ අතර, තරගයේ පස්වන විනාඩිය එළැඹී මොහොතේ 
නරේෂ් පෙරේරා උත්සාහක දිනුමකින් ත්‍රිත්ව වෙනුවෙන් ලකුණු ලැබිම ආරම්භ කළේය. ශා. පීතර වෙනුවෙන් පළමු ලකුණ නිලන්ත පෙරේරා උත්සාහක දිනුමක් මගින් වාර්තා කිරීමට සමත් වූ හෙයින් තරගයේ පළමු අර්ධය අවසන් වන විට ත්‍රිත්ව 28-17ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. 
ශා. පීතරට එරෙහිව සුපුරුදු ආක්‍රමණකාරී තරග රටාව දෙවන අදියර තුළදීත් දියත් කළ ත්‍රිත්වයින් තරගය නිමාවන විට ලකුණු සටහනට ගෝල් 2ක්, උත්සාහක දිනුම් 3ක් හා දඬුවම් පහර 2ක් තුළින් ලකුණු 35ක් ලබාගන්නා විට ප්‍රතිවාදී ශා. පීතර ගෝල් 2ක්, උත්සාහක දිනුම් 1ක් හා දඬුවම් පහර 2ක් මගින් ලකුණු 25ක් ලබා සිටියේය. 
වෙස්ලි - රාජකීය 
තරගයේදී පළමු අර්ධය නිමාවන විට වෙස්ලි ලකුණු 12-07ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. එහෙත් දෙවන අර්ධය තුළදී රාජකීයයන් කණ්ඩායමක් ලෙස සටන් වදිමින් ප්‍රතිවාදී වෙස්ලි විදුහලට එරෙහිව සාර්ථක ගමනක් යමින් තරග නිමාවන විට ගෝල් 4ක් හා දඬුවම් ප්‍රහාරයක් මගින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වූයේ වෙස්ලි විදුහලට දෙවන අර්ධයේදී කිසිදු ලකුණක් එක්කර ගැනීමට ඉඩ නොදෙමිනි. 
ධර්මරාජ - කිංග්ස්වුඩ් 
මහනුවර බෝගම්බරපිටියේ පැවැති ධර්මරාජ - කිංග්ස්වුඩ් තරගය පළමු අර්ධය ලකුණු 21-12ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ ධර්මරාජ තරගය නිමා වන විට ලකුණු 33-24ක් ලෙස සටහන් කරගෙන සිය අපරාජිත තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සමත් විය. මෙම ලකුණු සටහන්කර ගැනීමට ධර්මරාජ ගෝල් 3ක්, දඬුවම් පහර 4ක්, උපයෝගී කර ගත් අතර, පරාජිත කිංග්ස්වුඩ් ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් භාවිතා කර තිබිණි. 
විද්‍යා - ඉසිපතන 
විද්‍යා විදුහල සහ ඉසිපතන විදුහල අතර පැවැති තරගයෙන් ඉසිපතන විදුහලට පිට පිට සිව්වන පරාජයත් අත්වීය. මෙම තරගයේ පළමු අර්ධය ලකුණු 14-03ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන සමත් වුවත්, තරගය නිමාවන විට විද්‍යා විදුහල ලකුණු 27-16ක් ලෙස සටහන් කරගෙන තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය.
විද්‍යා විදුහල මෙම තරගයේදී ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් හා දඬුවම් ප්‍රහාරයක් මගින් ලකුණු සටහන සකසා ගෙන තිබූ අතර, පරාජිත ඉසිපතන ගෝලයකින් සහ දඬුවම් ප්‍රහාර 3කින් ලකුණු ලැබිය.
ජගත් අශෝක 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි